හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

01 October 2015

අපිට බයිසිකල් පදින්නවත් බැරිද?

Cyclist
අනේ මන්දා, අලුතෙන් ක්‍රීඩා ඇමති කෙනෙක් පත්වෙලා ඉන්නවා. උන්නැහේට අර, එක එක ජාතියේ සෙල්ලම් දාන්න එහෙම, දැනුම තියනවනේ. ඒ නිසා, ක්‍රීඩා සෙල්ලම් ගැනත්, එතුමා යමක් කමක් කොරයි කියලා, බොහෝදුරට හිතනවා. හැබැයි, එතුමා අනික් ඔක්කොම සෙල්ලම් නවත්තලා, අපේ රටේ ක්‍රීඩා ක්‍ෂේත්‍රය නගා හිටුවීමේ සෙල්ලම තමයි පටන්ගන්න ඕනේ. සෙල්ලම් වැරදුනොත්, ඊළඟ මැතිවරණෙදී සල්ලම් වෙන බව, එතුමා දන්නවා ඇතැයි හිතනවා.


Dayasiri in Action

   මේ ටික කිව්වේ, ඊයේ පෙරේදා, චන්ද්‍රිකා රූපවාහිනිය ඔස්සේ, Eurosport නාලිකාව නරඹමින් සිටියදී, හිතට දැනුණු, වේදනාත්මක සිතුවිලි නිසයි. ඒ නාලිකාව ඔස්සේ, පසුගිය දිනවල, ලෝකප්‍රකට Tour de France බයිසිකල් තරගාවලිය මෙන්ම, බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, බෙල්ජියම, ඉතාලිය, ස්පාඤ්ඤය, වැනි රටවල් ගණනාවක පැවැත්වුණු, අන්තර්ජාතික මට්ටමේ තරගාවලි, නරඹන්නට හැකිවුණා. මේ තරගාවලි නරඹන අතරේ, මට බොහෝ වාර ගණනක් හිතුනේ, අපේ රටේ, බයිසිකල් පැදීමේ ක්‍රීඩාව දියුණු කරන්නට බැරි ඇයි කියලයි.

   ඇත්තෙන්ම, බයිසිකල් පැදීමේ ක්‍රීඩාව අතින් අපි ඉන්නේ, තවම ප්‍රාථමික අවධියේ කියලයි, මටනම් හිතෙන්නේ. බයිසිකල් පැදීම කිව්වම, අපි තවමත් හිතන්නේ, මාර්ග ධාවන තරග ලෙස පැවැත්වෙන, බයිසිකල් තරග පමණයි. නමුත්, අද ලෝකය අපිට වඩා බයිසිකල් තරග අතින්, බොහෝ දුරට ඉදිරියට ගොස් තිබෙනවා. අපි, අන්තර් ජාතික මළල ක්‍රීඩා අතින්, යම් දියුණුවක් ලබාගෙන ආවත්, දැන් එය අඩාළවී ගිහින්. අපි පාපන්දු, රග්බි වැනි ක්‍රීඩා වලින් ඉහළට යන්න උත්සාහ කළත්, සාර්ථක නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවත්, ආයෙත් බින්දුවෙන් පටන්ගන්න වෙලා වගේ. අපි බිලියර්ඩ්/ස්නූකර් ලෝක ශූරයකු බිහිකළා. නමුත් එතනින් එහා දියුණුවක් නැහැ.

(පරිගණකයෙන් ස්නූකර් ගහන්න ඕනෙනම්, මෙන්න මේක දාගන්න. හමුදා කඳවුරු වලදී, මා බිලියර්ඩ් සහ ස්නූකර් දෙකම, ක්‍රීඩා කර තිබෙනවා. මේ පරිගණක ක්‍රීඩාව, අදත් සමහරවිට මා ක්‍රීඩා කරනවා)

   බයිසිකල් පැදීම, පහසුවෙන්, ගම්බද ප්‍රදේශවල පවා ව්‍යාප්ත කරන්න පුළුවන්. අද අපේ රටේ, පාසල් සිසුන් දස දහස් ගණනක්, දිනපතා බයිසිකලයෙන් පාසල් යනවා. විශේෂයෙන් උතුර, නැගෙනහිර, වයඹ, සහ උතුරු මැද යන පළාත්වල, එසේ බයිසිකලයෙන් ගමන් කරන, පාසල් සිසුන් මෙන්ම, සාමාන්‍ය ජනතාවද, සෑහෙන්න ඉන්නවා. මෙය, බයිසිකල් පැදීමේ ක්‍රීඩාව නංවන්න, හොඳ අවස්ථාවක් කරගතහැකි බව, මගේ විශ්වාසයයි. 

   හෙට අනිද්දා දවසක ශ්‍රී ලංකාවේ ජාතික පාසල් අතර, වාර්ෂික පාපැදි ධාවන තරගය, කොළඹදී පැවැත්වෙන බව දැනගන්නට ලැබුණා. ඔබ දන්නවද වාර්ෂිකව මෙහෙම තරගයක් පැවැත්වෙනවා කියා? ක්‍රිකට් තරග වලට දෙන පූර්ව ප්‍රචාරය, මේවාට දෙන්නේ නැත්තේ ඇයි? මේ පාසල් දරුවන්, මේ සඳහා පුහුණු කළේ කුමන පුහුණුකරුවන් යටතේද? ඔවුන්ගේ සුදුසුකම් මොනවාද? ඒ පුහුණුව සම්මත න්‍යාය සහ ක්‍රීඩා නීති රීති වලට එකඟද? තරගකරුවන්ගේ සෞඛ්‍යය, පෝෂණය සහ ශාරීරික යෝග්‍යතාව ගැන, සම්පූර්ණ පුහුණු කාලයට අදාළ වාර්තා තිබේද? තරගයට කලින් දින, තරගකරුවකු වෙනුවෙන්, වෛද්‍ය සහතිකයක් ගැනීම පමණක් ප්‍රමාණවත්ද? මේවා ඉතා ගැඹුරින් සලකා බැලියයුතු කරුණු.

    අපි පාසල් සිසුන් ලෙස හිටිය කාලේ, යාලුවෙකුගේ බයිසිකලයක් හෝ පැද්දා. කියන්න ලැජ්ජයි, මම එක් වරක්, අලුතෙන් හමුදාවට බැඳුන සොල්දාදුවන් පිරිසකගේ, පශ්චාත් පුහුණු කටයුතු අධීක්ෂණය කරමින් හිටිය අවස්ථාවක, නිකමට ඇහුවා, බයිසිකල් පදින්න දන්නා අය අත උස්සන්න කියලා. එතන හිටිය පිරිසෙන් තුනෙන් එකකට පමණ, බයිසිකල් පදින්න බැහැ. මම වහාම නියෝග කළා, ඔවුන් භාරව හිටිය නිළධාරියාට, ඒ සියලුම දෙනාට, සතියක් තුළ බයිසිකල් පැදීම උගන්වා, කි.මී. 10 ක පමණ බයිසිකල් රේස් එකක් පවත්වන ලෙස. (හදිස්සියකට බයිසිකලයක්වත් පැදගන්න බැරි මුන් එක්ක යුද්ද කරානම්, යුද්දේ පරාදයි)

   අවංකව කියන්න, ඔබට මේ දැන්, හදිසියක් සඳහා, නගරයේ වාහන තදබදය මැද්දෙන් බයිසිකලයක් පදින්න පුළුවන්ද? එමු බලන්න, නාකියා එක්ක බයිසිකල් පදින්න, කුරුණෑගල නගරයේ, උදේ 7 - 9 අතර. ඇත්තටම බයිසිකලයක් පදින්න දැන සිටීම, ඉතාම වැදගත්. එයට ගැහැණු පිරිමි භේදයක් තිබියයුතු නැහැ.

'සයිකල් පැදපු කෙල්ලෙක් - කිසිදා බඳින්නෙපා' සංකල්පය, දැන් නැහැ නේද?

   අද සෑම නගරයකම පාහේ, පිටරටවලින් ගෙන්වන ලද පාවිච්චි කළ බයිසිකල්, විකිණීමට තිබෙනවා. මිළ රු 4000 පමණ සිට ඉහළට තිබෙන්නේ, මට මතක හැටියට. කුරුණෑගල නගරයේ නම්, බයිසිකල් දහස් ගණනක්, එලෙස විකුණන්නට තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත්වලින් එන ලොරි වලින්, විශාල තොග රැගෙන යනවා. නරකද ඔබේ පැත්තෙත් හොයලා, එකක් අරන්, සති අන්තයේදීවත් ටිකක් පැද්දොත්? ශරීර සෞඛ්‍යයට බොහොම හොඳයි නේද?

   හොඳයි, අපේ රටේ බයිසිකල් පැදීමේ ක්‍රීඩාව දියුණු කරන්න මොනවද කරන්න පුළුවන්? පළමුවෙන්ම බයිසිකල් පුහුණුව සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් හොඳ පුහුණුකරුවන් බිහිකරගත යුතුයි. අපේ රටේ තියනවා නේද බයිසිකල් පෙදරේරු ෆෙඩරේෂන් ද මොකක්ද කියලා එකක්. මම හොයලා බැලුවා. මෙන්න මෙච්චරයි හම්බවුණේ. ඉතිං අපේ කිරීඩා ඇමෑත්ත තුමාට, පණ දාගෙන, හිටගෙන පාගන්න වෙනවා, නග්ගලා ගන්න. (බයිසිකලේ බයිසිකලේ........., ආයේ වෙන මොන කෙහෙල්ගෙඩියක්ද නග්ගලා ගන්නේ)

   හොඳ විද්‍යාත්මක දැනුමක් තියන බයිසිකල් පුහුණු කරුවන් දහදෙනෙක්, හදාගන්න පුළුවන් නම්, වේගවත් වැඩපිළිවෙලක් යටතේ, එක පළාතකට එක බයිසිකල් පුහුණු පාසලක් හදලා, මේ ක්‍රීඩාව නංවන්න පුළුවන්. නමුත් ඉතින්, පුහුණුව සඳහා පිට රටකට යවන අය, එහෙදි අතුරුදහන් වෙනවානම් ප්‍රශ්නය බරපතලයි. ඒ වෙනුවට, විදේශීය පුහුණු උපදේශකයන් මෙහාට ගෙනෙන එක තමයි හොඳ. අඩු ගණනේ,  මෙන්න මේ වගේ පොත් ටිකක්, සිංහලට/දෙමළට පරිවර්තනය කරලා, පහසු මිළට ගන්න ක්‍රමයක් හදන්න බැරි ඇයි? පොත් විතරක් අරගෙන මදිනේ. බයිසිකලුත් පහසුවෙන් ගන්න පුළුවන් වෙන්න ඕනෙනේ.

   ඔබ අපි කවුරුත් දකිනවා, සමහර විට, තනි තනිව හෝ දෙන්නා තුන්දෙනා බැගින්, දිනපතාම පාහේ, මහා මාර්ගවල, මාර්ග ධාවන තරග සඳහා බයිසිකල් පැදීම පුහුණුවන තරුණයන්. කලාතුරකින් (සිංහල අවුරුදු උත්සව කිට්ටුව) තරුණියන්. නමුත් මා හිතන්නේ නැහැ, ඔවුන් කිසියම් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව, ඒ පුහුණුව ලබනවා කියා. ව්‍යායාම, අභ්‍යාස, පෝෂණය, තරග කිරීමේ තාක්ෂණික ක්‍රම, බයිසිකලය නඩත්තු කිරීම, වැනි විෂයයන් පිලිබඳව, ඔවුන්ට ඇත්තේ, අසා දැනගත් දැනුමක් පමණයි කියා, මා හිතනවා.

   අන්තර්ජාතික මට්ටමේ තරග සඳහා සුදුසු බයිසිකල්වල, මිල ගණන් දැක්කම, ඇඟ හිරිවැටෙනවා. මේ බලන්නකෝ.

Screenshot (53)

   විදේශ වෙළඳපොළේ තිබෙන, ජාත්‍යන්තර තරග සඳහා සුදුසු බයිසිකල් වල මිළ, පහත දක්වනවා. මේ තියෙන්නේ, මේවා ලංකාවට ගෙන්වීමේදී අය කරන තීරුබදු සහ වෙනත් විවිධ බදු නැතිව මිළ.

Screenshot (54)


Screenshot (56)


Screenshot (57)

   ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. කොහොමද ඉතිං මේ ක්‍රීඩාව නංවන්නේ? මේ බදු රහිත මිළ, බැංකු ණයක් හැටියට ලබාදෙන්න පුළුවන්නම්, කොච්චර වටිනවද? හැබැයි ඉතිං එහෙම හිතන ලොකු උන්නාන්සේලා, මේ රෙටේ ඉන්නවද කියන එකයි ප්‍රශ්නේ.

   මාර්ග ධාවන බයිසිකල් තරග විතරක් නෙවෙයිනේ. අද තියනවා, ගෘහ අභ්‍යන්තර බයිසිකල් ධාවන තරග, රළු භූමි ප්‍රදේශ ආශ්‍රිත බයිසිකල් තරග, කඳුකර බාධක තරණ බයිසිකල් තරග, ආදී වශයෙන්, මේ ක්‍රීඩාවේ විවිධ අංශ ගණනාවක්. ඒ ඒ අංශයට ගැලපෙන බයිසිකල් වෙනම තියනවා. බයිසිකල් ධාවනයද ඇතුළත්, තුන් ප්‍රයාම තරගත්, ඔය අතරේ අමතක කරන්න බැහැ.

   බයිසිකල් තරග පැදීම මගින්, ශරීර සෞඛ්‍යය රැකීමට අමතරව, තියුණු ලෙස කල්පනාකාරී වීම, අභියෝගයන්ට මුහුණ දීම, දරාගැනීමේ හැකියාව වැඩිවීම, වැනි මානසික ශක්තීන් ද දියුණු වෙනවා. ඇත්තටම පාසල් දරුවන් මේ සඳහා සෑහෙන දුරට යොමුකරන්න පුළුවන්.

   දැන් ඔය නිල් බලකායවල් තිබ්බට, ක්‍රීඩා නැංවීමක් වුණේ නැහැනේ. ඉතිං එහෙනම්, කොළ බලකාය හරි, තණකොළ බලකාය හරි, සම්මුතිවාදී බලකාය හරි කියලා එකක්වත් හදලා, නරකද මේ වගේ දේවල් ක්‍රියාත්මක කරන්න උත්සාහ කළොත්?

   අද, (2015/09/28) රූපවාහිනී ප්‍රවෘත්ති වල මම දැක්කා, ප්‍රවීණ ක්‍රීඩිකා, සුසන්තිකා ජයසිංහ, ක්‍රීඩා පුහුණු ආයතනයක් පටන්ගන්න යන බව. ඇය කිව්වේ, අද අපේ රටේ මළල ක්‍රීඩා, පසුබෑමකට ලක්ව තිබෙන නිසා, මෙවැනි දෙයක් අරඹන්නට කල්පනා කළ බවයි. මෙය අගය කරමින්, යෝගානන්ද විජේසුන්දර, ඩර්වින් පෙරේරා වැනි, ක්‍රීඩා විශේෂඥයන් අදහස් දැක්වුවා.

   දැන් අපේ රටේ මාර්ග පද්ධති, සෑහෙන තරම් දියුණුවකට පත්වී තිබෙන අතර මාර්ග සංවර්ධන කටයුතු නොකඩවා සිදුවෙමින් පවතිනවා. අධිවේගී මාර්ග පද්ධතියද (ඒවා හයිවේ, අපිට ගම්වල ඉතුරු වෙලා තියෙන්නේ බුරුල්වේ ද? :D ) දියුණු වෙමින් පවතින නිසා, පළාත්බද ප්‍රධාන මාර්ග, තරමක් නිදහස් වෙමින් පවතිනවා. තවමත් තිබෙනවා, අවධානය යොමු නොවුන අතුරු මාර්ග, මෙවැනි බයිසිකල් ධාවන තරග සඳහා දියුණු කළහැකි. දැනට ලංකාවේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව පවත්වන බයිසිකල් තරග නැහැ නේද? ශ්‍රී ලංකා ගුවන් හමුදාව, වාර්ෂිකව පවත්වන, මාර්ග ධාවන බයිසිකල් තරගයේ ප්‍රමිතිය, මා දන්නේ නැහැ.

   යුද හමුදාව සහ නාවික හමුදාවත්, මේ ක්‍රීඩාවට සම්බන්ධ කර, යම්කිසි ප්‍රමිතියකට අනුව, ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කළහැකිවනු ඇතැයි මා හිතනවා.  යුද හමුදාවේ විවිධ රෙජිමේන්තු විසින්, මෝටර් රථ සහ මෝටර් බයිසිකල් යොදාගනිමින්, තරග පවත්වනවා ඉතා සාර්ථකව. එහෙනම්, බයිසිකල් තරග සංවිධානය කිරීමත්, මහලොකු දෙයක් නෙවෙයි. ඒ සඳහා, ක්‍රීඩා අමාත්‍යාංශයත් සම්බන්ධ වෙනවානම්, වැඩේ බොහොම සාර්ථකව ආරම්භ කරන්න පුළුවන් වෙයි.

මොකද මේ ගැන හිතන්නේ?

2015 සැප්තැම්බර් මස 29 වැනි දින 0021 පැය 

75 comments :

  1. හොඳ අදහසක්.මම රියදූරු පුහුනු උපදේශක පාඨමාලාව හදාරනකොට අපේ ගුරුවරුය කිව්ව දෙයක් තමයි කවදාවත් බයිසිකලයක් පැද්දෙ නැති අයට වාහන යක් එලවන්න උගන්නන එක හරිම අමාරුය කියල.මොකද පාර පුරා යනව.ඒක හරියටම හරි බව පස්සෙ මට තේරුනා.

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් කුඩා කාලයේදීම බයිසිකල් පැදීමට ඉගෙනීම හරිම වැදගත්. ඔබේ රියැදුරු පුහුණු උපදේශකගේ කතාව හරි.

      Delete
  2. බයිසිකල් ධාවනය ගැන කියද්දී දුප්පතාගේ ක්‍රීඩාව කිව්වට හොඳ බයිසිකලයක මිල තවම ක්රීදයකන්ට දරාගන්න් බෑ. ඊට වඩා හොඳයි ත්‍රීවීල් එකක් අරන් කීයක් හරි හොයාගන්නවා කියලා හිතෙනවා එතකොට. අනික විදේශ සංචාර හැම එකකම පාහේ අපිට හිටපු හොඳ පාපැදි ක්‍රීඩකයන් අතුරුදහන් වුනා. මට මතකයි එක විදේශ සංචාරයකදී කමල් පාලිත් ඇතුළු අපිට හිටපු හොඳම පාපැදි කරුවන් රොත්තක්ම අතුරුදහන් වුනා , මතක් විදිහට කොරියන් හරි ඉතාලි හරි ටුවර් එකකදී

    ReplyDelete
    Replies
    1. මුලින්ම රටේ විනය හදලා ඒ තුලින් ක්‍රීඩා විනය හදන්න ඕනේ. ඔය අතුරුදහන් වෙන අය ඇත්තටම ඕනෙකමක් තියනවනම් අල්ලන්න පුළුවන්. නමුත් එච්චර එලවන්නේ නැහැ.

      බදු රහිත වාහන ගේනවා. පිට රටක අවුරුදු ගානක් සේවය කරලා එන මිනිහෙකුට බයිසිකලයක්වත් ගෙන්න බැහැ.

      Delete
  3. ඕනෑ කම තියේනම් මොනවද කරන්න බැරි විචා. ගොඩක් වෙලාවට වැඩේ ජෝන් බාස්ට යන්නේ ගානක් කපා ගන්නේ කොහොමද, ලකුණු දා ගන්නේ කොහොමද කියන ඒවා අරමුණු කරගෙන වැඩ කරාම.
    ලංකාවේ ක්‍රිකට් පාඩුවට දුවන්න යකඩෝ මුං කොහොම කෑමක් කන්න ඇතිද.මහා පරිමාණයෙන් මිනිස්සු ප්‍රියකරන ලංකාවේ එකම ක්‍රීඩාව.අනුග්‍රාහකයෝ ඕනි තරං ඒත් පාඩුයි.යකා ඔලුව මුදුනටම නැග්ගේ කොහේදෝ ක්‍රිකට් ක්‍රීඩා පිට්ටනියක් විවෘත කරන්න වෙනත් ක්‍රීඩාංගනයක සවිකර තිබුණු පුටු ගලවගන්න ගිය නිවුස් එක දැකලා.
    //බිලියර්ඩ්/ස්නූකර් ලෝක ශූරයකු බිහිකළා
    මේ කියන්නේ එම්. ඡේ. එම්. ලාෆිර් මහත්තයා ගැන නේද

    //'සයිකල් පැදපු කෙල්ලෙක් - කිසිදා බඳින්නෙපා'
    මේකට නං හිනා.යකාගේ සංකල්පයක්
    බයිසිකල් පදින්න වගේම ගස් නගින්නත් පීනන්නත් දැනගන්න ඕනි කොල්ලෙක් වුනාම
    චඃ අර අවුල් වෙච්චි අරූ ගොය්යා හිටියනං බයිසිකල් ගැන නියමෙට උත්තර ලියාවි.

    ReplyDelete
    Replies
    1. අරු කියන්‍ෙනෙේ කවුද බ්‍ෙලෙොග් ලියාපු ‍ෙපෙොරක්ද

      Delete
    2. බෝ බබා වර නලවන්න
      ඔයි යෝදයට වංගියක් බෝ ආයි ලියන්න කියලා අඬපු පොස්ට් එකකුත් අමුණලා මේලක් ගැහුවා.ම්හු තාම සද්දක් නෑ.කොහොම හරි ඔයි අවුල ලිහාගත්තොත් සිංහල කියවන එවුන්ට රත්තරං ඉල්ලමක්.

      Delete
    3. සිරිස්... බිරිස්...සිරිබිරිස්... සිස් සිස්...
      //'සයිකල් පැදපු කෙල්ලෙක් - කිසිදා බඳින්නෙපා'

      ඔක සිංදුවක් නෙ සුනිල් ගවස්කාර් (වැරදුනා - එදිරිසිංහ) ගෙ.
      "...කකුලක් කැඩුනු කුකුෙළක් - කිසිදා මරන්නෙපා
      සයිකල් පදින කෙල්ලන් - කිසිදා බඳින්නෙ නෑ..."

      Delete
    4. @ සිරිබිරිස්
      ඉස්සරවෙලාම ඒ ඒ වැඩේට ඇත්තටම ගැලපෙන මිනිස්සු හොයාගෙන පක්ෂ පාට භේදයෙන් තොරව වගකීම් පවරන්න ඕනේ. ඒ වගේම ඒ මිනිස්සුන්ට පරිපාලන කටයුතු ගැන නිදහසක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් ක්‍රීඩාව ඉවරයි.

      ලෆීර් ගැන තමයි කිව්වේ.

      අරූ ආයෙත් ලියයි කියලා මම බලාගෙන ඉන්නවා.

      @අටම්
      ඔයා තවමත් හන්තාන ලිනක්ස් එකෙන් පැන්සල මගින්ද සිංහල ලියන්නේ? ඔයාගේ හැම කමෙන්ට් එකක්ම අකුරු වෙනස් වෙලා පෙනෙන්න. පොඩ්ඩක් හොයලා බලන්න.

      අරූ මට අන්තිමට කතාකළ වෙලාවේ කිව්වා, දිනපතා දුම්රියෙන් විශාල දුරක් යන බවත්, සමහරවිට වැඩ කරන ස්ථානයේ දින ගණන් නැවතී සිටින බවත්. ඒ කාර්ය බහුලත්වය නිසා වෙන්න ඇති නොලියන්නේ.

      @ ඩ්‍රැකී
      සුනිල් ගවස්කාර් නෙවෙයි සුනිල් ශාන්ත. එයානේ ගායකයා.

      Delete
    5. විචා,
      සුනිල් පෙරේරා නෙවෙයි නේ?

      Delete
    6. නෑ නෑ අර හින්දි චිත්‍රපටි වල රඟපාන සුනිල් ශෙට්ටි. ඒ කියන්නේ මෙහෙ ඉන්න සුනිල් හෙට්ටිආරච්චි.

      Delete
  4. බයිසිකල් එකක් පැද්ද කාලයක් මතක නෑ. මේ පෝස්ට් එක දැක්කාම ඉක්මනින් බයිසිකලයක් පදින්ට හිතුනා.

    කාරෙකේ ඕනම තැනක හොයාගෙන ගිය හැකි. බයිසිකල් එකක කොළඹ නගරයේ යන්ට නම් හිතන්ටවත් බෑ.

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ ළමයා. බයිසිකල් පැදලා ගත්ත ප්‍රතිඵලේ අපටත් කියන්න.

      ඔයා දන්නවද, මම කොළඹ නගරයේ පාරවල් ඉගෙන ගත්තේ, බයිසිකලයකින්, අරමුණක් නැතුව ඔහේ රස්තියාදු ගැහීමෙන්.

      Delete
  5. විචාරක, මමත් බයිසිකලයක් ගොඩ කාලෙකින් පැද්දේ නෑ. හැබැයි බැරිත් නෑ.

    ක්‍රීඩාවෙන් දියුනු වෙනවට වඩා ක්‍රීඩාව දියුනු කරන්න උනන්දුවක් තියෙනවනම් මේ කිසි දෙයක් නෑ. අපේ අයියලා බලන්නෙ ක්‍රීඩාව විකුනලාහරි සල්ලි හොයන්න.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙවල් ළඟ පොඩි එවුන් 16" විතර රෝද තියන ටොමාහෝක් පදිනවා. මමත් ඉල්ලගෙන පදිනවා. :e

      දැන් ඉන්න සමහර අසමජ්ජාතියෝ අම්මා අප්පා වුනත් විකුණනවා සල්ලි හම්බවෙනවානම්

      Delete
  6. ලිපිය නම් පංකාදුයි. ප්‍රංශ සවාරිය නම් මමත් බැලුවා දිගටම. ඒක දකිද්දි නම් දුක හිතුනා අපෙ රටේ ටීම් එකක් කවදා ඕකට සෙල්ලම් කරයිද කියලා. ඒක දවසකට ලංකාවෙ දිග වගේ දුරක් පදිනවා දැක්කාම මතක් වෙන්නෙ අපෙ රටේ රේස් පදින කෙනෙකුට මේක කරන්න කොච්චර කැප වීමක් ගන්න ඕනෙද කියලා. ඒ ධාවකයො වෘත්තීය ධාවකයින්. ඒත් අපෙ රටේ වෘත්තීය ක්‍රීඩකයෙක් වෙන්න අවස්ථාවක් තියෙනවද කියන එකත් ඕකට හේතුවක්. ක්‍රීඩාවෙන් විතරක් ජීවත් වෙන්න පුළුවන් රටක් නෙවෙයි නේද ලංකාව? ඉතින් වෙන රැකියාවක් කරන ගමන් ප්‍රංශ සවාරිය වගේ දේකට පුහුණු වෙන්න බැරි ගැටළුවකුත් තියෙනවා කියලා මං හිතනවා.

    ReplyDelete
    Replies
    1. තව දෙයක්. ඔය ලංකාවෙන් බිහිඋනු හොඳම ස්නූකර් ක්‍රීඩකයා කවුද කියලා බහුතරයක් දෙනා දන්නෙ නෑ. අඩුම තරමෙ ඒ මනුස්සයා ජාත්‍යන්තර තරඟයක් දිනලා ආපු වෙලාවෙ ඔය ලොක්කොයි කියන එකෙක් ගිහින් නෑ ඌව පිලිගන්න.
      තව ඉන්නවා නුවරඑලියෙ ගොල්ෆ් සමාජෙක ක්‍රීඩකයින්ගෙ සහකරුවෙක් (හරි නම නම් දන්නෙ නෑ. අර ගොල්ෆ් පිති බෑග් එක අරන් යන ගමන් ක්‍රීඩකයට අවශ්‍ය උපදෙස් දෙන කෙනා) විදිහට හිටපු කෙනෙකුත් ජාත්‍යන්තර මට්ටමටම ආවා තනි උත්සාහයෙන්.
      අනික් කෙනා තමා අර ජපානෙ පෙල පොත් වල පවා සඳහන් වෙන කෙනා. ඒ ගැන සඳහනක්වත් කරනවද මේ එකෙක්වත්.

      Delete
    2. ඇගයීම ගැන ස්තුතියි.

      මම හිතන්නේ අපි මුලින්ම හොඳ ජාතික සංචිතයක් හදාගෙන අවුරුදු කීපයක් යන වැඩපිළිවෙලකට යායුතුයි. ක්‍රීඩකයන් නඩත්තු කිරීම පෞද්ගලික අංශයටත් දෙන්න පුළුවන්. එක ක්‍රීඩකයකුගේ වාර්ෂික නඩත්තු මුදල, පෞද්ගලික අංශයේ අදාළ ආයෝජකයාගේ බදු වලින් අඩුකරන්න පුළුවන්. කරනවානම් ක්‍රම තියනවා. නිකම් බොරු වැඩනේ කරන්නේ.

      ලෆීර් ගේ නමවත් දන්නේ නැති බොහෝ දෙනෙක් අද ඉන්නවා. ගොල්ෆ් ක්‍රීඩාවේදී ඉන්න සහායකයා හඳුන්වන්නේ කැඩී කියලා.

      කැඩී Caddy

      මේකද කිව්වේ?

      Delete
  7. ලංකාවෙ සයිකලෙි විතරක් නෙවී හැමදේම අනාගන යන්නෙ
    දැක්කනෙ පහුගිය දවස් වල තිබ්බ නෙට්බෝල් චැම්පියං සිප්පෙක කාපු ලස්සන
    රගර් අනං මනං ඉවරයි පුට් බෝලෙ පුබ්බෝල වෙලා...
    වොලිබෝල අපිට වඩා තායි කාරයො ගහනව
    සයිකල්...???? ඒ මොනාද කියල දයාසිරිය අහන්නත් බැරි නෑ...
    ඔය තේරීම් කමිටු වල ඉන්නව නේද විචාරක තුමා පඩත්තර වේසා හොරම හොර හැතිකරයක්
    අන්න උං ටික පන්න ගත්ත නං මං හිතන්නෙ මීට වඩා ස්පෝර්ට්ස් දියුණු වෙනව
    මොකෝ දන්නවද ස්පෝට්ස් වලට දෙන හැම සතයකම අරුං හොරා කනවනෙ නැත්තං උං ඒවැයිං සවාරි යනව

    ReplyDelete
    Replies
    1. මා හිතනවා අපි මේ සියල්ල ගැන සාමූහිකව රැස්වී සාකච්ඡා කොට, කාටවත් පෞද්ගලිකව ලකුණු දාගන්න බැරිවන ආකාරයේ වැඩපිළිවෙලකට යායුතුයි කියා.

      Delete
  8. අධික රථ වාහන තද බදය වෙනුවෙනුත් බයිසිකල් ධාවනය වැදගත් පියවරක්. නගර සීමාව ඇතුලත 10 km ක් වගේ දුරක් යන්න කාර් එකක්, මෝටර් බයිසිකලයක් වෙනුවට සයිකලයක් භාවිතා කරද්දී රථ වාහන තදබදය, ඉන්ධන සඳහා වියදම, වායු දුෂණය, ශබ්ද දුෂණය, ගෝලීය උණුසුම වගේම තමන්ගේ සිරුරේ තියන අනවශ්‍ය කැලරි ප්‍රමාණය උනත් අඩු කරන්න පුළුවන්. ගොඩක් රටවල් දැනටමත් ප්‍රධාන මංතීරුවට අමතරව දෙපසින් සයිකල් සඳහා පමණක් කුඩා මංතීරු හදලා තියනවා. ගාලු පාරට BRT සිස්ටම් එක දාන්න යෝජනා කරපු වෙලාවේ මේ වගේ දෙයක් ක්‍රියාත්මක කෙරුවා නම් ගොඩක් වැදගත්

    ReplyDelete
    Replies
    1. අද අපේ රටේ ප්‍රධාන මාර්ගවල බයිසිකල් පැදීම් හරිම භයානකයි. අවිනීත මිනීමරු රියදුරන් සෑහෙන්න ඉන්නවා. 2000 වර්ෂයේදී මා වැලිඔය ප්‍රදේශයේ සේවය කිරීමේදී කඳවුරු පරීක්ෂාවට ගියේ බයිසිකලයකින්. මාස දෙකක් තුළ මගේ බඩ අඟල් තුනක් අඩුවුණා. කලිසම් වල ඉන හදන්න වුනා. :e

      Delete
  9. ඔයාට නම් තොත්තුවක් දෙන්න ඕන විචා මේ වගේ දෙයක් ගැන කතා කිරීම ගැන. මාගේත් විනෝදාංශ වලින් එකක් තමයි බයිසිකල් පැදීම. මේ දිනවල මගේ බයිසිකලය නම් මමම පින්තාරු කරනවා. ඒක මොඩිෆයි කිරීමෙන් මා ලබන්නේ අපමණ තෘප්තියක්. බයිසිකල් පැදීමේ රසය දන්නෙත් එහෙමත් කෙනෙක්.
    අපේ රටේ ක්‍රීඩාවට කරන සැලකීම නම් සෘණ මට්ටමේ. මීට මාස දෙකකට පමණ ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පැවැත්වුවා ලෝක ප්‍රසිද්ද. ලෝකයේම පොලිසි වලින් පැවැත් වූ ඔලිම්පික් වැනි ක්‍රීඩා උත්සවයක්. එයට රටවල් 70 පමණ සහබාගි වුවා. ගාල්ලේ උපත ලැබූ පොලිස් උප පරීක්ෂක සනත් උදයංග (විශේෂ කාර්ය බලකාය) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තුන් පිම්ම ඉස්සව්වට සහබාගි වී ලොව ප්‍රථමයා වෙමින් රන්පදක්කමක් ලංකාවට දිනා දුන්නා. එතුවක් මෙතුවක් කාලෙකට ශ්‍රී ලංකා පොලිසියෙන් එක්සත් ජනපදයේ තරගයකින් ලබා ගත් පළමු රන් පදක්කම ලබා ගත්තා. අඩුම ගානේ එක පොලිසියේ අයවත් දන්නේ නැති එක ඉතා ශෝචනීයයි. ඔහුට ගමන් වියදම්, ඉඳුම් හිටුම්, සියල්ලටම වැය වුයේ පෞද්ගලික මුදල්. ඉතින් ලක්ෂ ගණනක් වියදම් කරමින් (සමහරවිට නය වෙලා) එහෙම සහබාගී උනාම ඒ මුදල හොයාගන්න ගල් ටික් වෙන්නත් වෙනවා

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන ස්තුතියි දිලීප. ඔබ හොඳ බයිසිකල් රසිකයකු බව පෙනෙනවා.

      ඔබ කියන පොලිස් නිලධාරියාගේ ජයග්‍රහණය ගැන මාත් මෙතෙක් දැනසිටියේ නැහැ. හරිම කනගාටුයි අපේ රටේ තත්වය ගැන.

      අපේ රටේ ක්‍රීඩාව නැංවීම මහා විශාල ව්‍යාපෘතියක් ලස දියත් කලයුතුයි.

      Delete
  10. මාත් දැං කාලෙකින් සයිකලයක් පැදල නෑ.
    සයිකල් කියනකොට මටනං මතක් වෙන්නෙ සුමනවීර තමයි.
    යහ පාලනය යටතෙවත් ඔය කියන විදියට පිළිවෙලකට වැඩක් උනොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියා. ඇයි සයිකල කරු …

      Delete
    2. අපේ කාලයේ හිටියේ මොරිස් කුමාරවේල්. අනික් නම් මතක නැහැ.

      මොන පාලනයෙන් හරි කමක් නැහැ මේ වැඩේ කෙරෙනවනම්.

      @ පත්තරේ
      ඇයි පත්තර බයිසිකලේ පදින එකා.

      Delete
  11. ෙහාඳයි... මං අභියෝගෙ බාර ගන්නවා. විචා කුරුණෑගලින්, මං කඩවතින්. එකම වෙලාවට පටං අරං, ඉක්මණින්ම පෑලියගොඩ හංදියට එන්නෙ කවුද බලමු...

    මා ළඟ තියෙනවා රැලේ 69 මොඩල් ස්ටෑන්ඩර්ඩ් බයිසිකලයක්. තාත්තගෙන් උරුම වෙච්ච.

    ReplyDelete
    Replies
    1. අර වවුල් ෆෝසස් එහෙම නැතුව පාගන්න ඕනේ හැබැයි ඈ.. මම නිරීක්ෂණ පීරිසියක් එවනවා..

      Delete
    2. බැට් ෆෝසස් ආර් ද කී...

      Delete
    3. @ ඩ්‍රැකී
      හරි හරි. මම කුරුණෑගල කියලා ලියපු බෝඩ් එකක් ගෙනල්ලා ගහනවා කඩවත් ඩිපෝව ලඟ. එතනින් පටන්ගම්මු.

      @ අඟහරු
      අම්මටසිරි මෙයාට වවුල් හමුදාවක් ඉන්නවා කියලා ඔයා කිව්වමනේ මතක්වුනේ. එහෙනම් මම ගෙදර ඉන්නවා.

      Delete
    4. විචා,
      කඩවත ඩිපෝව ළඟ නං මාත් එකඟයි. මොකෝ, කඩවත ටවුමට කඩවත ඩිපෝවෙ ඉඳං බස් දෙකක විතර යන දුර තියෙනවා. හෙහ් හෙහ්... ඒක තියෙන්නෙ ගණේමුල්ලෙ කමාන්ඩෝ කෑම්ප් එක හරියෙ...

      අඟහරුවා,
      නිරීක්ෂණ පීරිසිය නිකං එවන්න එපා, කඩල ටිකක්වත් දාලා එවහං.

      Delete
  12. වටිනා යෝජනාවක් විචාරකතුමා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගුණසිංහ මහත්මය.

      Delete
  13. බයිසිකල් තරඟ පටන්ගන්නවා නම් මමත් කැමතී සහභාගී වෙන්න. මම 2002 ඒ කියන්නේ මම 4 වසරේ ඉඳන් බයිසිකල් පදිනවා. දැනටත් ගම්පොළට බයිසිකල් එකේ ගිහිල්ල එනවා වෙලාවකට. වැඩකට නෙවේ, නිකම්. නැත්තම් අඩුම ගානේ පේරාදෙණියට වත් යනවා. ගෙලිඔයේ ඉඳන්.
    බයිසිකල් වලට තියන තවත් අපහසුතාවයක් තමයි නිසි ප්‍රමිතියකින් තොර අමතර කොටස්. ඒවලත් මිල ඉතා අධිකයි. ගියර් 7 ෆ්රීවීල් එකක් 400න් එහා. එකත් පාවිච්චි කරන්න පුළුවන් පොඩි කාලයයි. මේ ළඟදිත් බල්ල කට්ට අල්ලන්නේ නැති වෙලා මම පරණ තිබ්බ එකක කෑලි දාල ඒක හදාගත්තේ අලුතෙන් එකක් ගන්න සල්ලි නොතිබුණු නිසා. දැන් වෙළඳපොලේ තියන චේන් එහෙමත් එච්චරයි. හුටාස් ගාල කඩල යනවා..

    ReplyDelete
    Replies
    1. ඈ බං උඹේ වතුර තියෙනව කියල හොයාගන්න නාස එකෙන්ම එන්න උනා එහෙනං නේද මල්ලි.

      Delete
    2. ගම්පල උඩහේන්තැන්න මගේ මවගේ උපන් ගම. මා කුඩා කාලයේ වසර කීපයක් ගෙලිඔය නගරයේ ජීවත්වුණා. ගෙලිඔය පන්සලේ ලොකු හාමුදුරුවෝ (පුවක්දෙණියේ පඤ්ඤාරතන) තමයි මට කුඩා කාලයේ ගුරුහරුකම් දුන්නේ. (ඒ කාලේ අපේ තාත්තා වැඩකලේ ගෙලිඔය ඉස්කෝලේ) ඔය දුම්රියපොළ එතකොට කෝච්චි පෙට්ටියක තිබුනේ. ජින්නා හෝටලය ඒ කාලෙත් තිබුණා. විස්තරය බොහොම දිගයි.

      අද බයිසිකල් ටයර් එකක මිල ඇහුවත් පපුව පත්තුවෙනවා. අනික් ඒවා ගැන කුමන කතාද?

      @ප්‍රසන්න
      ඔය නාසා ආයතනයෙන් කරන්නේ මිනිස්සුන්ගේ නහය ගැන පරීක්ෂා කරන එකද?

      Delete
    3. ස්ටේෂන් එක තිබ්බ ඒ පොඩි පෙට්ටිය නම් දැන් හොයන්නවත් නෑ. දැන් ඒ කතාව කවුරුත් දන්නෙවත් නෑ. ලොකු හාමුදුරුවෝ නම් තාම ඉන්නවා. ෆේස්බුක් එකෙන් ෆොටෝ එකක් එවන්නම්කො.

      ආපෝ නාසා එක හදාගන්නත් කලින් තමා අපි අපේ ලෝකේ වතුර ගැන දැනගෙන හිටියේ. අපි ඔය පෘථිවියේ අයගෙන් ඒ වතුර ටික හංගගෙන හිටියේ. මුන් ඒකත් හොයාගත්තනේ..

      Delete
    4. ගෙලිඔය හරහා ගමනක් යනවානම් මම ලොකු හාමුදුරුවන්ව බලලමයි යන්නේ. ගිහින් අහන්න 'කෑගල්ලේ චන්ඩි පුතා' කියන්නේ කවුද කියලා.

      Delete
  14. ..//(හදිස්සියකට බයිසිකලයක්වත් පැදගන්න බැරි මුන් එක්ක යුද්ද කරානම්, යුද්දේ පරාදයි)//..

    කෙනෙකුට නිකමටවත් හිතෙන්නේ නැති පොයින්ටි එක්ක ඒක.අර තරමි දරැනු ත්‍රස්තවාදි කණ්ඩායමක් පරාජය කලේ ආයුධවලින් විතරක්ම නෙවෙයි. විශාල සොල්දාදුවන් පිරිසක් ආයුධ ශක්තිය වගේම නිලධාරින්ගේ දුර දක්නා සියුමි තීක්ෂණ ඤාණය ඒ ජයග්‍රහණ පිටි පස්සේ තිබුනා කියන එක ඔබෙ වචන වලින් කියවෙනවා.

    ඊ ලගට බයිසිකලේ
    මමනමි මුලින්ම පදින්න පුරැදු වුනේ පොල්ල යටින්.ඉන් පසසේ පොල්ල උඩින් පුරැදු උනා.පස්සේ පොල්ල උඩ ඉදගෙන වැටෙන්නේ නැතිව පදින්න පුරැදු වුනා.ඔන්න ඔහොමයි මම පදින්න පුරැදු වුනේ. ( කැත විදියට හිතයිද මෙ කොමන්ටුව ගැන. මම මෙ කීවෙ බයිසිකල් පදින්න පුරැදු වුන විදිය)

    ReplyDelete
    Replies
    1. මේ මනෝ, උඹ කවදාවත්ම බයිසිකලේ සීට් එකේ ඉඳගෙන පැදල නැද්ද බං.

      Delete
    2. පැදලා තියනවා බං.පොල්ල හොදට පුරැදු වුනාට පස්සේ උඩට නැග්ගා.සෑහෙන වගකීමක් තියන වැඩක්නේ බං බයිසිකල් පදිනව කියන්නේ.

      Delete
    3. @ මනෝ
      ඇත්තනේ මම කියලා තියෙන්නේ. හදිස්සියකට බයිසිකලයක්වත් පදින්න බැරි එකාට සොල්දාදුවෙක් වෙන්න බැහැ.

      මමත් බයිසිකල් පුරුදුවුනේ, පොල්ල යටින්, පොල්ල උඩින්, ඊළඟට සීට් එකේ ක්‍රමයට තමා. කකුල් දිග මදිව, සීට් එකේ ඉඳන් පදිනකොට, ඒ කාලේ කිව්වේ, 'මිරිස් අඹරනවා' කියලා. :e

      Delete
  15. මං ක්‍රීඩා ඇමති උනානම් කියල හිතල දිග කොමෙන්ටෙකක් ටයිප් කරා .. සයිකල් තරඟ කරුවන්ගේ පුල් එකක් හදල උන්ට අමත්යන්ශේ ගානේ බයිසිකල් ඔය හොඳම ඒවායින් අරන් දීලා.. ඔහොම පලන් කරගෙන යනකොට.. කවදාවත් වෙන්නේ නැති එකක් නිසාද කොහෙද කොම්පීටරේ ස්ටක් වෙලා කොමෙන්ටෙක මැකුනා..

    අර ලෝක සුර ස්නුකර් බොස් එක්ස්-ආමි නේද? ඔය කියන්නේ මෑන්ස් නම්.. හම්මේ මට (අපිට) දවසක් සෙට් වුනා ඇඹිලිපිටියේ තුනකම කෑම්ප් එකේදී.. පූල් ටේබල් එකක් තිබ්බේ.. බ්‍රේක් එකෙන්ම දෙසිය ගානක් ස්කෝර් කරනකම් අපි කට අරගෙන බලන් හිටියා.. බලන්න ලස්සනයි ෂොට්ස් නම්.. :)

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්......කවුරුහරි බයිසිකල් බූතයෙක් මැෂින් එක ස්ටක් කරන්න ඇති.

      මම දන්නේ නැහැ M.J.M. ලෆීර් හමුදාවේ හිටියා කියලා. සෙල්ලම් කරනවා එක වරක් ටී වී එකේ පෙන්නුවා. පිස්සු හැදෙනවා.

      Delete
  16. බයිසිකල් පැදිල්ල ව්‍යායාම කරන්න හොර එවුන්ටත් හොඳ වැඩක්. මාත් හිතං ඉන්නව එකක් ගන්න.

    ReplyDelete
    Replies
    1. ඔහොම බලා ඉඳල බැහැ. ඉස්සරවෙලාම රෝදතුනේ පොඩි බයිසිකලයක් ගන්න. :e

      Delete
  17. මේක නම් වගකිය යුත්තන්ගේ ඇසට ලක්විය යුතුම ලිපියක්. ඔන්න මං ලින්ක් එක ක්‍රීඩා ඇමැති තුමාට ට්වීට් කළා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලීන්. ඇත්තටම එතුමාට ලොකු වගකීමක් තියනවා අපේ රටේ සෑම ක්‍රීඩා අංශයක් ගැනම යලි මහා පරිමාණයෙන් සැලැස්මක් හදන්න.

      Delete
  18. /* සයිකල් පැදපු කෙල්ලෙක් - කිසිදා බඳින්නෙපා */

    පරණ රසවත් කවියක්!

    ReplyDelete
    Replies
    1. මේ දාලා තියෙන්නේ මුල් පද දෙකෙන් කොටස් ටපලවලා!

      මුල් පද දෙක මෙහෙමයි.

      සයිකල් පදින කෙල්ලෙක් කිසිදා සොයන්නෙපා
      ලැබුණත් එවැනි කෙල්ලෙක් කිසිදා බඳින්නෙපා

      Delete
    2. කකුලක් කැඩුණු කුකුලෙක් කිසිදා මරන්නෙපා
      මුල් පදය ඉන්පසු ඔබේ පද දෙක අවසන් පදය මෙහෙමයි
      බැන්දත් එවැනි කෙල්ලන්හට සුදු රෙදි එලන්නෙපා

      Delete
    3. හට කෑල්ල නෑ .. එක අයින් කොරන්න

      කකුලක් කැඩුණු කුකුලෙක් කිසිදා මරන්නෙපා
      සයිකල් පදින කෙල්ලෙක් කිසිදා සොයන්නෙපා
      ලැබුණත් එවැනි කෙල්ලෙක් කිසිදා බඳින්නෙපා
      බැන්දත් එවැනි කෙල්ලන් සුදු රෙදි එලන්නෙපා

      (කියවා සිනාසීම සඳහා පමණි, බක පණ්ඩිතයන්ගේ විචාර සඳහා නොවේ )

      Delete
    4. (කියවා සිනාසීම සඳහා පමණි, බක පණ්ඩිතයන්ගේ විචාර සඳහා නොවේ )

      ඉවාන් ++++++++++++++++++++++++++++++

      නැත්තං කෙලියා !!!

      Delete
    5. නලීන් සහ ඉවාන් යොදා ඇති මුල් පදය ගැලපෙන්නේ නැති බව පැහැදිලියි නේද?

      ඒක කුකවියෙකු එකතු කළ පදයක්.

      මෙන්න මා අසා ඇති සම්පූර්ණ නිවැරදි කවිය.

      සයිකල් පදින කෙල්ලෙක් කිසිදා පතන්නෙපා
      පැතුවත් එවැනි කෙල්ලෙක් කිසිදා බඳින්නෙපා
      බැන්දත් එවැනි කෙල්ලෙක් සුදු රෙදි එලන්නෙපා
      එලුවත් එවැනි රෙද්දක් පැල්ලම් සොයන්නෙපා

      පෙර පදයේ අග වචනය ආශ්‍රයෙන් දෙවෙනි, තෙවෙනි, සිව්වෙනි පද ඇරඹෙන මේ කවිය අපූරු ආකෘතියකට බැඳුණු කවියක්.

      Delete
    6. රසික ඔබේ කව සාර්ථකයි... මම දැමුයේ එකල මා අසා තිබු විදියටයි. මා හිතන්නේ ඉවාන් ද කරන්න ඇත්තේම ඔහුත් අසා තිබු විදියට ම විය හැකියි.

      Delete
    7. කැම්පස් වර්ෂන් එක
      කැම්පස් යනෙන කෙල්ලක් කිසිදා බඳින්නෙපා
      බැන්දත් එවැනි කෙල්ලක් සුදුරෙදි එලන්නෙපා.
      එලුවත් එවැනි රෙද්දක් පැල්ලම් සොයන්නෙපා.
      තිබුනත් එවැනි පැල්ලම් ලේයයි සිතන්නෙපා

      Delete
    8. හප්පොච්චියේ............ සින්දු කැල්ලක් ගිය දුරක්. දැන් අන්තිමට බයිසිකලේ පැත්තක්. සින්දුව මාතෘකාව වෙලා.

      මෙහෙමයි. මේ සින්දුව මම ටපලවලා දම්මේ නැහැ. මේ වගේ සින්දු සමාජයේ විවිධ ස්ථර වලදී ගන්නේ විවිධ පදමාලා ඔස්සේ. සමහරවිට ඒ ඒ ක්ෂේත්‍රයට අදාළ පාරිභාෂික වචන දාලා. මෙතන තියන හොඳම එක තමයි රාජ් දාලා තියෙන්නේ.

      නමුත් මම ලිව්ව පද දෙක අමාරුවෙන් තමා එතනටත් දැම්මේ. මොකද, හමුදාවේ මේ සින්දුවේ පදමාලාව කොහොමටවත් මෙතනට දාන්න බැහැ.

      Delete
  19. රට වටේම මුහුද තිබිලා පීනන්න පුළුවන් උන් ඉන්නවද....?

    ඇත්ත කතාව ඕක නෙමෙයි... අපේ රටේ උන් විතරක් නෙමෙයි දකුණු ආසියාවෙම් උන් ශාරිරික ශක්තියෙන් වගේම දරාගැනීමේ ශක්තියෙනුත් අරුන්ට වඩා සෑහෙන පිටිපස්සේ ඉන්නේ... මම නම් හිතන්නේ ලක් ඉතිහසයේම ජාත්‍යන්තරය දිනපු එකම ක්‍රීඩිකයා හෝ ක්‍රීඩිකාව සුසන්තිකා පමණයි... ඒක අහම්බයක්..

    අනික අපේ ආහාර සඟිස්කුරුතිය, බත් විතරක් කෙලීම... හරක් මස් නොකෑම... බිත්තර කන්න මර බිය වීම.... ආහාර නැතිව නෙමෙයි... ඒත් ගොන් කෑම වේලක් කන්නේ..

    මම ඉන්නේ මේ මෑතකදි හරකෙක් උනත් මහින්දානන්දයා කියපු කතාවත් එක්ක... මුන්ට වියදම් කරනවට වඩා හොඳයි... ඒ සල්ලි වෙන දෙයකට යොදවන එක කියලා... මම ඉන්නෙත් ඒ මතයේ..

    ReplyDelete
    Replies
    1. එහෙම බැහැ මාතේ. අපි පුළුවන් තරම් ඔය පසුගාමී සිතුවිල්ල අපේ හිතෙන් අයින් කරන්න බලන්න ඕනේ. එක අවුරුද්දකින් හමාරකින් මෙව්වා කරන්න බැහැ. ආණ්ඩු වෙනවුනට වෙනස් නොවෙන දීර්ඝකාලීන වැඩපිළිවෙලක් හදාගන්න ඕනේ. එහි මුල් අවස්ථාව තමයි මිනිසුන් හිතන විදිහ වෙනස් කිරීම.

      Delete
    2. සංසාරෙදි නොවෙන්නෙත් ඒ දේ...

      Delete
  20. දන්නවද ලංකාවේ බයිසිකල් පැද්දේ නැති උනාට EU එකට බයිසිකල් අපනයනය කරන ප්‍රධාන රටක් අපි. සාමාන්‍යයෙන් මිලියනයක් විතර බයිසිකල් අපෙන් එහෙට යනවා අවුරුද්දකට. චීනෙන් ගෙනල්ලා අපේ ලේබල් ගහලා තමයි යවන්නේ. නැතිව අපේ හදලා යවන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අපි වෙළෙන්දෝ විතරයි. සල්ලි විතරයි බලන්නේ. දැන් අපි මිනිස්සුන්ට කියන්න ඕනේ අලුත් විදිහකට හිතපල්ලා කියලා.

      Delete
  21. මොනවා කියනවද විචාරකතුමා. ඔය තරම් පරිසර හිතකාමී ඔය තරම් සැහැල්ලු ඔය තරම් සෞඛ්‍ය සම්පන්න වාහනයක් තවත් තියේද? කොහොමද පල්ලමක් යනකොට කිසි සද්දයක් නැතිව, හයිබ්‍රිඩ් කැලේ! විනෝදාංශය පිණිස ඉස්සර පැද්දා කාලයක්. දැන්නම් මේ වෙන වෙන ඒවා පදිංට තියෙන නිසා වෙලාවක් නෑ විචාරකතුමා. :b

    ReplyDelete
    Replies
    1. යකෝ, මෙව්වා පැද්දොත් තමා වෙන වෙන එව්වා පදින්ට ඇඟට හයි හත්තිය එන්නේ. අද්දැකීමෙන් කියන්නේ. :e

      Delete
  22. මේකට පත්තර මල්ලිගේ කමෙන්ටුව අනිවාර්්‍යයයි...
    පුරේ කොල්ලන්ට බයිසිකල් කියන්නෙ BMW එකක් වගේ තමයි..
    තිසාවැව බන්ට් එකේ වෙස්සගිරියේ...ඒ දවස් වල රස්තියාදු ගහපු තරම්..
    කෙල්ලෝ පොල්ලේ තියාගෙන පාගපුවා ගනන් හැදුවානම් මාව බයිකල් සංගමයේ සභාපති කරවනවා..

    ReplyDelete
  23. ඔව් ඔව් පත්තරේ දවසක් කිව්වා උඹයි පත්තරයයි ලේඩීස් බයිසිකල්වල පොල්ලේ තියාගෙන ගෑණු ළමයින්ව තිසා වැවේ බැම්මේ එක්ක ගියා කියලා.

    ReplyDelete
  24. ලංකාවේ පාපැදි ක්‍රීඩවක් ලෙස කොහොම වුනත්, විනොදාංශයක් ලෙස සීග්‍ර වර්ධනයක් පසුගිය කාලෙ ලබා ගෙනතිබේ. දිවයින වටා යන, දුෂ්කර මාර්ඝ ඔස්සේ යන සවාරි සෑහෙන ගනණක් විදේශිකයන්ගෙ පවා සහභාගීත්වයෙන් පැවැත්වුනා. පාපැදි තේමාව කරගත් කෝපි හලක් පවා බිහිවී තිබේනවා
    https://www.facebook.com/pages/Cafe-Spinner/106445349687625
    www.wroom.lk

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීම ගැන.

      මෙලෙස බයිසිකල් සවාරි යාම වුනත්, නව ආරම්භයක් ලෙස හොඳයි. නමුත් මීටවඩා මහා පරිමාණයෙන් මේ ක්‍රීඩාව සංවිධානය කලයුතුයි කියන එකයි මගේ හැඟීම.

      Delete
  25. බයිසිකල් පදින්න බැරි කමයි පීනන්න බැරි කමයි ප්‍රශ්නයක් තමා . මේ ලනගකදී සහෝදරයාගේ පොඩි එකට බයිසිකලයක් අරන් දුන්න ඉස්කෝලේ යන්න. ටිකක හැබැයි ලංකාවේ බයිසිකල් පදින්න අමාරුයි නේද පාරේ. වාහන යන විධිහට.

    ReplyDelete
    Replies
    1. අද ලංකාවේ ප්‍රධාන මාර්ගවල බයිසිකල් පැදීම අන්තිම භයානකයි. මිනීමරු රියදුරන් ඉන්න නිසා. නරකම අය තමයි වැලි ලොරි, බස්, කියන දෙවර්ගය.

      බයිසිකල් පදින අයගෙන් සෑහෙන පිරිසකගේ බයිසිකල් වල ලයිට් නැහැ. පසුපස පරාවර්තක රතු එලිය නැහැ.

      Delete
  26. එල පෝස්ට් එකක්.
    'සයිකල් පැදපු කෙල්ලෙක් - කිසිදා බඳින්නෙපා' - ඇයිද දන්නැ නේද එහෙම මතයක් තිබුණේ..
    සර්..
    මට මතකයි කවුරුහරි ලියලා තිබුණා ගැණියෙක්ගෙයි බයිසිකලෙයි වෙනස මොකක්ද කියන එක.

    ReplyDelete
    Replies
    1. ඒ සින්දු කෑල්ලට හේතුව අහලා බලපන් R කහඳගමගේ වගේ කෙනෙක්ගෙන්.

      වෙනස ඉතිං හුළං ගහලා නැගීම සහ නැගලා හුළං ගහන එක නේ.

      Delete
  27. මමත් ගත්තා ලඟදි බසෙිකොල් එකක්.... පුත්‍රයාගේ කැඩිලා තිබුන එකත් හදා ගත්තා... දැන් අපි දෙන්නා හැම වීකාන්තයකම උදේ පහට නැගිටලා පැයක් පදිනවා...

    ReplyDelete
    Replies
    1. හුට්ට බටා.......... වීකාන්තය කියන එක මීටර් වෙන්න මීටර් 500ක් විතර දුර හිතන්න වුණා.

      2000 වර්ෂයේදී, මම දිනකට කි.මී. 10 ක් බයිසිකල් පැද, අඟල් 3 ක් බඩ අඩුකරගත්තා.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }