හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

30 November 2015

හමුදා කෙතේ කළමනාකරණය (දෙවැනි කොටස)

එහෙනං තමුන්නාන්සේලා හමුදා කෙතටත් බැස්සා ඈ? හොඳයි හොඳයි, ඔය කොයි කෙතටත් බැහැලා බැලුවම, නවමු අත්දැකීම් ලැබෙනවා. ඒ වගේමයි, ඒ ඒ කෙතේ හැටි සොබාව, බොහොම හොඳින් තේරුම් යනවා. පහුගිය ලිපියෙන් කිව්ව දේවල්, බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වීම ගැන සතුටුවන ගමන්, ඔන්න අද අපි මේ ලිපි මාලාවේ දෙවැනි කොටස, මෙන්න මේ විදිහට ආරම්භ කරනවා.

   එකක් මතක තියාගන්න. මේ විෂයය, ලිපි දෙකකින් අවසන් කරන්න බැරි, මහා කරුණු සම්භාරයක් තියන විෂයයක්. නමුත්, බ්ලොග් ලෝකයේදී, අපි මේවා ලියන්නේ, මෙන්න මෙහෙම දේවල් තියනවා කියලා හඳුන්වා දෙන්න පමණයි. ඒ නිසා, ඉතා සීමිත විස්තර ප්‍රමාණයක් පමණයි, ඇතුළත් කරන්නේ.    පසුගිය ලිපියේදී මා කිව්වා මතක ඇති, හමුදා ක්‍ෂේත්‍රයේ කළමනාකරණය administration in the field නිසිපරිදි සිදු නොවුණොත්, යුදබිමේ සිටින සෙබළා අමාරුවේ වැටෙන බවත්, එයින්ම යුද්ධය පරදින බවත්.

   හමුදා කටයුතු වලදී, මේ ක්‍ෂේත්‍ර කළමනාකරණය සමග තවත් විෂයයක් ඒකාබද්ධ වෙනවා. එය හඳුන්වන්නේ 'භටකාර්ය සම්පාදනය' යනුවෙන්. සාමාන්‍ය ව්‍යවහාරයේදී Logistics නමැති වචනය හමුදා කටයුතු වලදී හඳුන්වන්නේ භටකාර්ය සම්පාදනය යනුවෙන්.

   සාමාන්‍ය ව්‍යවහාරයේදී ලොජිස්ටික්ස් කියන්නේ, යම්කිසි පාරිභෝගික භාණ්ඩයක්, එම භාණ්ඩය නිපදවන ස්ථානයේ සිට, පාරිභෝගිකයා අතට පත්වන තුරු කෙරෙන, ප්‍රවාහනය/හුවමාරුව/ගණුදෙනුව/දාම ක්‍රියාව/ කියලා කියන්න පුළුවන් නේද?


   යුද්ධයේදී, මේ ක්‍රියාදාමය, ඉතා සංකීර්ණ, වගකීම් බහුල, යුද පිටියේ සිටින සෙබළ ජීවිත පිලිබඳ තීරණය කෙරෙන, යුද පිටියෙන් පිටත කෙරෙන තවත් මහා යුද්ධයක්, කිව්වට වැරද්දක් නැහැ. ඒ තරමට එය බරපතළයි. දැන් අපි දන්නවා රටේ පාලන කටයුතු සඳහා එක් එක් අමාත්‍යංශ පිහිටුවා තිබෙන බව. යුද හමුදාවේත්, ඒ ඒ විෂයයන් සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පිහිටුවා තිබෙනවා. මේ වෙලාවේ මතකයට එන ඒවා කීපයක් සඳහන් කරනවා. 

  • ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Operations 
  • පාබල හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Infantry
  • පිරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය - directorate of Personnel Administration
  • සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Supply & Transport
  • වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Army Medical Services 
  • භට නිවාස සම්පාදන අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Army Quartering 
  • ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Engineer Services 
  • යුද්ධෝපකරණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - Directorate of Army Ordnance Services
  • වැටුප් සහ ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලය - Directorate of Pay and Records 
   තවත් තියනවා. දැනට ඔය මදෑ. දැන් මුලින්ම පෙනෙනවා නේද, යුද හමුදාව කොයි තරම් සංකීර්ණද කියලා. මීට පෙර මම ඔබට කියලා දුන්නා, යුද හමුදාවක් සංවිධානය වී ඇති ආකාරය. එතනදී නොකියවුණු, යුදහමුදා ආයතන ගැන, මේ ලිපියේදී කියවෙනවා. ඒ නිසයි මා කිව්වේ, යුදහමුදාව ඉතා සංකීර්ණ සංවිධානයක් බව.

   අමාත්‍යාංශයක් භාරව ඇමති කෙනෙක් ඉන්නවා වගේ, මේ අධ්‍යක්‍ෂ මණ්ඩලයක ප්‍රධානියා වන්නේ, මේජර් ජෙනරල්  වරයෙක්. (ඔන්න දැන් පේනවා නේද, හමුදාවට මෙච්චර මේජර් ජෙනරල් ලා අවශ්‍ය මොකද කියලා) සුදුසු මේජර් ජෙනරල් කෙනෙක් නැත්නම්, බ්‍රිගේඩියර් වරයකු පත්කරනවා, කාර්ය නියුක්ත පත්වීමක් ලෙස.

   හොඳයි දැන් කොහොමද මේ කළමනාකරණ/පරිපාලන සහ භටකාර්ය සම්පාදන යුද්දේ Admin & Logistic Procedure සිද්දවෙන්නේ. ඔන්න හොඳට අහගන්න. හමුදාවේ තියන කාර්ය මණ්ඩල ප්‍රධාන වශයෙන් වර්ගීකරණ තුනකට වැටෙනවා. ඒ මෙන්න මෙහෙමයි.

1 ප්‍රධාන කාර්ය මණ්ඩල රාජකාරි  = 'ප්‍ර මාණ්ඩලික'
  General Staff duties = 'G Staff'

2 පාලන කාර්ය මණ්ඩල රාජකාරි = 'පා මාණ්ඩලික'
  Administrative Staff duties = 'A Staff'

3 උපකරණ පාලක මණ්ඩල රාජකාරි = 'උ මාණ්ඩලික'
   Quartermaster Staff duties = 'Q Staff'

   මේ රාජකාරි සඳහා නිළධාරීන් පත්කරන්නේ, ජ්‍යොෂ්ඨතා අනුපිළිවෙල අනුවයි. ඒ කියන්නේ, ඉහත අංක එකේ මාණ්ඩලික රාජකාරි වලට පත්කරන නිළධාරියකුට සමාන නිළයක නිළධාරියකු, අංක දෙක හෝ තුන මාණ්ඩලික රාජකාරි සඳහා පත්කරන්නේ නම්, ඔහු අංක එක මාණ්ඩලික නිළධාරියාට වඩා කණිෂ්ඨ අයකු වනවා, හැකි සෑමවිටම. එමෙන්ම අංක එකේ මාණ්ඩලික රාජකාරි වලට අයත් වන්නේ, ක්‍රියාන්විත රාජකාරි නිසා, එම මාණ්ඩලික රාජකාරි සඳහා පත්කරන්නේ, සටන්කාරී රෙජිමේන්තුවලට අයත් නිළධාරීන්. අංක දෙක සහ තුන සඳහා පත්කරන්නේ, සටන්කාරී නොවන සහ ආධාරක සේනා වශයෙන් සැළකෙන රෙජිමේන්තු වලට අයත් නිළධාරීන්. නිත්‍ය හමුදාවේ නිළධාරීන්/සෙබළුන් මෙන්ම, ස්වේච්ඡා හමුදාවට අයත් නිළධාරීන්/සෙබළුන් ද, 'ප්‍ර මාණ්ඩලික' රාජකාරි හැර, 'පා' සහ 'උ' රාජකාරි සඳහා යොදවනවා. 

   සටන් කරන්නේ කවුද, නොකරන්නේ කවුද කියලා, මීට කලින් කියලා දුන්නා මතකද. දැන් හිතන්න එපා, පරිපාලන වැඩවලට දාන්නේ, වැඩබැරි ටාසන්ලා කියලා. එහෙම එකක් නැහැ. පරිපාලන සහ භටකාර්ය සම්පාදනය වෙනුවෙන්ම සැකසුන, රෙජිමේන්තු සහ අධ්‍යක්ෂ මණ්ඩලවල ඉන්නේ, ඒ පිළිබඳ විශේෂඥයන්. ඔවුන්, නිසි වෙලාවට, නිසි පියවර ගන්නා නිසා තමයි, සෙබළා බයනැතුව යුද්ද කරන්නේ. 

   හෑ..........ඒ කියන්නේ, යුද්ද කරන්න මණ්ඩල එකයි. පරිපාලන වැඩ වලට මණ්ඩල දෙකයි. අම්මපා ඔහොම කොහොමද යුද්ද කරන්නේ?

   ඔව් ඒක එහෙම තමා මහත්තයෝ. රොකට් එකක් හඳට යවන්න, කොච්චර ලොකු පිරිසක් මහපොළොවේ ඉඳලා වෙහෙසෙනවද? නමුත් අන්තිමට රොකට් එකේ නැගලා යන්නේ, එක්කෙනයි දෙන්නයිනේ.

   හෙහ් හෙහ්.......රොකට් යවන්න එහෙම වැඩ කලාට, යුද්දෙදි එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම වැඩි හමුදා පිරිසක් ඉන්නේ යුදබිමේ. මේ පරිපාලන කටයුතු වලට ඉන්නේ, ඊට වඩා බොහොම අඩු පිරිසක්.

   'ඉතින් මේ පිරිසත් යුද්දෙට යවන්න පුළුවන් නේ'.

   ඔක්කොමලා යවන්න බැහැ. මේ අයගෙන් සමහරු වෛද්‍ය/ඉංජිනේරු/නීතීඥ/ගණකාධිකාරී/විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු/ වැනි වෘත්තීන් පිළිබඳ, විශේෂඥ දැනුමක් තියන අය. ඒ වගේම, පාබල හමුදාවල ඉන්න අයට වගේ, සටන් කිරීමේ විශේෂ පුහුණුවක්, ඔවුන්ගෙන් බහුතරයකට ලැබී නැහැ. ඉතින්, ඔවුන් යුදපිටියට යවා, මරණයට පත්වුනොත්, අපට හොඳ වෘත්තිකයන් අහිමි වෙනවා.

   හැබැයි මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේක මගේ පෞද්ගලික අදහසක්. අනිවාර්ය හමුදා නීතිය යටතේ හෝ ස්වේච්ඡාවෙන් හෝ මේ වෘත්තීන් වලට අදාළ අය හමුදාවට බඳවාගන්න පුළුවන් නම්, ඔවුන්ව මේ පරිපාලන කටයුතු වලට පමණක් යොදවා, ඒ තැන්වල ඉන්න වෘත්තීය සෙබළුන් ඉවතට ගෙන, ඔවුන්ට සටන්කාරී පුහුණුවක් දී, යුද්ධයට සහභාගි කරගන්න පුළුවන්, දෙවැනි පෙළක් ලෙස. (යුදබිමේ පසුපස ආරක්ෂාව, යුද්ධය නැති ප්‍රදේශවල කඳවුරු ආරක්‍ෂාව, විදුලිබලාගාර, රූපවාහිනී/ගුවන්විදුලි මධ්‍යස්ථාන ආරක්‍ෂාව වැනි දේට යොදවන්න පුළුවන්. ඉතා සුළු පරිමාණයෙන්, එහෙම කළ අවස්ථා තිබෙනවා, පසුගිය යුද සමයේ)

   මොකද හිතන්නේ ඒ ගැන? හොඳයි, හිතෙන දේ කියන්නකෝ. අපි යමු ඉස්සරහට.

   යුද හමුදාවේ සියලු කටයුතු කෙරෙන්නේ, යම් යම් න්‍යායන් හෝ පිළිවෙත් පදනම් කරගෙන බව, මේ අඩවියේ පළවන ලිපි කියවන ඔබ හොඳින් දන්නවා. ඉතින්, මේ යුද හමුදා ක්ෂේත්‍ර පරිපාලනය සහ භටකාර්ය සම්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නෙත්, එවැනි න්‍යායාත්මක කරුණු හෙවත්, මූලධර්ම පදනම් කරගෙනයි. මෙන්න මේවා තමයි ඒ කරුණු.

අ. ඉදිරි දැක්ම - Foresight

ආ. අරපිරිමැස්ම - Economy

ඇ. නම්‍යශීලී භාවය - Flexibility

ඈ. සරල භාවය - Simplicity

ඉ. සහයෝගීතාවය - Cooperation 

   දිග විස්තරයක් කෙටියෙන් කියනවානම් මෙහෙමයි. යුද්ධයක් ඇති කාලයක වුනත්, නැති කාලයක වුනත් ඉස්සරහට මොනවා වෙයිද කියන එක ගැන කල්පනාවෙන් ඉඳලා අවශ්‍ය පියවර ගන්න ඕනේ. හමුදාවට ලැබෙන සම්පත් හැමදාම මහා විශාල පරිමාණයෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සම්පත් අරපිරිමැස්මෙන් යොදාගත යුතුයි. යුදභූමි කළමනාකරණය, නම්‍යශීලී ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක වියයුතුයි. සෙබලා අපහසුතාවයට පත්වන ආකාරයේ දැඩි ප්‍රතිපත්ති නොවිය යුතුයි. සැළසුම් සහ ක්‍රියා පිළිවෙත්, සරල වියයුතුයි. ඒ සඳහා මහා පරිමාන සම්පත් වැයවීම් සිදු නොවිය යුතුයි. (කොළඹ ඉඳලා යාපනේට සෙබළුන් 100 ක් යවන්න, එයාර්බස් ගුවන් යානයක් අවශ්‍ය නැහැ) යුදබිමේ තිබෙන විවිධ මූලස්ථාන සහ කඳවුරු සමග සහයෝගයෙන්, තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළයුතුයි.

   මේ පරිපාලන කටයුතු සියල්ල පාලනය කරන ප්‍රධාන මූලස්ථානයක්, යුද බිමට ඉතා ඈතින් තියනවා. එය හඳුන්වන්නේ යුද භූමිකා මූලස්ථානය වශයෙන්. Theatre Headquarters (බෝඩ් ගහන්නේ නැහැ. හමුදාවේ දැනගතයුතු අය විතරයි දන්නේ) එහි සිට තමයි පරිපාලන යුද්දේ කරන්නේ.

   ඒ මොකද එයාලා යුධ භූමිය ලඟට එන්න බයද?

   බයක් නැහැ. නමුත් එයාලවත් යුද භූමිය ලඟට ගෙනත්, සතුරු ප්‍රහාරයකට ලක්වුනොත් අර යුදබිමේ ඉන්න සොල්දාදුවාට නේද පාඩුවෙන්නේ. ඒ නිසයි ඒවා යුදබිමෙන් ඈත්කර තබන්නේ.

   පරිපාලන සහ භටකාර්ය සම්පාදන කටයුතු සඳහා, යුද භූමිය කොටස් වලට බෙදාගන්නවා. මේවා කළාප zones වශයෙන් නම් කරනවා. පොඩි රූප සටහනකින් පෙන්වන්නම්.  

Zones

   නිකං ග්‍රීක් වගේද? වගේ තමා. මෙන්න මේකයි මේ කියන්නේ. ඔබේ වම් අත පැත්තේ සීමාවේ තියෙන්නේ, යුදබිම කියලා හිතන්න. දැන් එහි සිට දකුණු අත පැත්තට කි.මී. 100 ක් පමණ ප්‍රදේශයේ, විවිධ සැපයුම් ස්ථාන හදාගන්නවා, ඒ ඒ අවශ්‍යතා සඳහා. මේවායේ සැපයුම්, පැය 24 පුරාම සිද්ධ වෙනවා, අවශ්‍යතාව පරිදි. අවි ආයුධ, පතරොම් බෝම්බ, කෑමබීම, ඉන්ධන, වගේ දේවල්. මේ කළාපය, ඉදිරි සංග්‍රාමික කළාපය කියලා හඳුන්වනවා. දැන් ඉතින් වැරදි අවබෝධයක් ගන්න එපා, පොළොවේ ඉරි ඇඳලා, මේ දුර හරියටම ලකුණු කරලා තියනවා කියලා. මේවා සම්මතයන් පමණයි. පළමුවැනි කළාපය පළල වැඩියි. එහි ඒ තරම් කඳවුරු රාශියක් තියනවා. අනේ එව්වා කියන්න බැහැ. එව්වා රහස්. 

   දෙවැනි කළාපයේ, ඒ කියන්නේ, පසුපස සංග්‍රාමික කළාපයේ, ඊළඟට අවශ්‍යවන තොග ගබඩාකොට තබනවා. සාමාන්‍යයෙන් පැය 24 පුරා සැපයීමක් සිදුවන්නේ නැහැ. ඉස්සරහා තොග අඩුවෙනකොට යවනවා. පසුපසින්ම ඉන්නේ අර සංග්‍රාමික භූමිකා මූලස්ථානය. ඔවුන් ප්‍රතිපත්ති තීරණ අනුව, සංග්‍රාමෝපකරණ ආනයනය, පාලනය, බෙදාහැරීම, සහ අනෙකුත් පරිපාලනමය කටයුතු කරනවා. මේ කලේ හැඳින්වීමක් පමණයි.

   මේ කළාප තුළ ඇති විවිධ හමුදා කඳවුරු, ඒවා මගින් කෙරෙන දේ,  ආදිය හරිම සංකීර්ණයි. එමෙන්ම ඒවා, හමුදාවේ නොවන අය විසින් දැනගත යුතු නොවන, restricted තොරතුරු හැටියටයි සැළකෙන්නේ. ඔබ මොහොතකටවත් සිතුවාද, මේතරම් සංකීර්ණ පාලන ක්‍රියාදාමයක්, යුද්ධය සඳහා අවශ්‍ය බව. ඒ නිසයි මා නිතරම කියන්නේ, හමුදාවේ ක්‍රියා විවේචනය කරන අය නොදන්නා කරුණු රාශියක්, එහි අභ්‍යන්තරයේ සැඟවී ඇති බව. ඒ නිසයි, ඔය බොහෝ විවේචන වලදී, හමුදාව නිහඬව කරබාගෙන ඉන්නේ. හමුදාවට වෙලාවක් නැහැ (පුරුදුත් නැහැ) වාදවිවාද වලට පැටලෙන්න. හමුදාව තියෙන්නේ, හමුදා ක්‍රියා සඳහා පමණයි. වාද විවාද කිරීම හමුදා කාර්යයක් නොවෙයි. 

   මේ හා සමාන තවත් ලිපි කීපයක්, ඉදිරියේදී බලාපොරොත්තුවන්න. 

2015 නොවැම්බර් මස 29 වැනි දින 2342 පැය 

53 comments :

  1. මම බලාන හිටිය ලිපිය.... මරු විචාරක මාමේ.... මම මොනාද් හමුදාව ගැන දැනන් හිටියෙ කියලා හිතුනා.....ඊ ලඟ ලිපිත් කියවන්න බොහොම කැමැත්තෙන් බලන් ඉන්නවා ... මේ වගේ නොදත් දේ බෙදා ගන්නවට ගොඩක් ස්තූතී

    ReplyDelete
    Replies
    1. අපේ විචා මාමා කවද ඉඳන්ද බොට මාමා උනේ ?

      Delete
    2. දැං බෑනල ටික බලාගන්න විචාට වෙනම පරිපාලන මණ්ඩලයක් හදාගන්න වෙනව.

      Delete
    3. විචාරක තුමාගෙ ගෙදර ඉඳන් මීටර් 100ක් එහායින්

      Delete
    4. බොහොම ස්තුතියි ශානු. ඇත්තටම හමුදාව විවේචනය කරන අය දකින දේවලට වඩා ගොඩක් දේවල් හමුදාව ඇතුලේ තියනවා.

      @ මැලේ, ප්‍රසන්න, සජ්ජා,
      මළ කෙලියක් තමා වෙන්නේ. මට හදන්න වෙනවා Directorate of Son in laws කියලා එකක්.

      Delete
  2. වැදගත් කරුණු ගොඩක්

    ReplyDelete
  3. අද පොඩ්ඩක් හදිස්සියේ ලියල වගේ තව ටිකාක් විස්තර එක්ක තව කොටසක් ඇඩ්කොරලා හරි දැන්මනම් නිකන් හොදයි වගේ කියලා හිතුනා

    ReplyDelete
    Replies
    1. උඹ හිතුව එක හරියටම හරි මැලේ. මේකට එකතුකරන්න තව කෑලි වගයක් තිබුණා. එහෙම වුනානම් ලිපිය දිග්ගැහිලා අප්පිරියා වෙනවා. ඒ නිසා වෙනම ලිපි වලින් ඒ කරුණු කියන්න හිතාගත්තා.

      Delete
  4. සුපිරියි

    විචාමාමේ...... අපි හම්බෙලා තව දේවල් කතා කරමු... මේ ගැන තව තවත් විස්තර අහන්න කැමතියි... ඉතින් මේ වගේ හමුදා පිළිබද සියලු විස්තර අැති බ්ලොගය අපි ලංකාවේ අාරක්ෂක හමුදාවන්ට හදුන්වා දෙමු කියලයි මම නං යෝජනා කරන්නේ..... මේක ඉතා වටිනා සම්පතක් වේවි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      දැනට හමුදා පුහුණුව ලබන සමහර කැඩෙට් නිලධාරීන් මේ ලිපි කියවන බව මට ඊ මේල් මගින් දන්වා තිබෙනවා.

      Delete
  5. හොඳ විස්තර ටිකක් මෙතන තියෙනව.
    ඉදිරියටත් විස්තර ලියමුකො බලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න. තවත් ලිපි කීපයක් ඉදිරියේදී එනවා.

      Delete
  6. නිකම්ම ඈතට වෙලා ඊ ළඟට මොකද වෙන්නේ කියල බලා හිටියට වඩා මේ මොනතරම් සංකීර්ණ ක්‍රියාදාමයක්ද කියල පහැදිලිවෙන්නේ ඔබතුමාගේ මේ ලිපි පෙළ නිසයි. සිංහල මාධ්‍යෙයන් මූලික හැඳිනීමක්වත් ලබාගන්නට ක්‍රමයක් මෙපමණකලක් තිබුණේ නැහැ. ඔබතුමා ගුරු ජීවිතයේත් පරිනත අත්දැකීම් ලැබූවකු වීම නිසා ලිපිපෙළ තරුණ සිසින්ට දිරවන ඉතාම සිත්ගන්නා දැනුම් සම්භාරයක්ම ගෙන එනවා.

    ReplyDelete
    Replies
    1. ගුණසිංහ මහත්තයෝ, ඉතා කෙටි කලකට සීමාවූ මගේ ගුරු භූමිකාවට මා අදටත් ආදරය කරන්නේ, හරියට මගේ බිරිඳට ආදරය කරනවා වගේ. ඇත්තෙන්ම, දැනුම බෙදා දෙන්නේ මෙහෙමයි, කියන අද්දැකීම මා නියම විදිහට විඳගත්තේ, ගුරු වෘත්තියේදීයි.

      හමුදාව ගැන විවේචනය කරන බොහොමයක් දෙනා කරන්නේ 'අලියා සහ අන්ධයෝ' නාටකය රඟපෑමයි. ඔවුන්, ඉතා පැහැදිළිව ලෝකයට පෙන්වන්නේ, තමන් අඳබාලයන් බවයි. ඒකට ඉතින් අපි මොනවා කරන්නද?

      ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  7. ප්‍රා, ප්‍ර, උ මාණ්ඩලික කියල සිංහගෙන් ගහනවද බං සීල්...? බෝම වැදගත් කරුණු.. උඹට කෙතක් තිබුනේ නැතෙයි මාමේ..

    ReplyDelete
    Replies
    1. ගහනවා ගහනවා යකෝ, ලියුම්වල ලියනවා ප්‍රමානි = ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, උමාජෙ = උපකරණපාලක මාස්ටර් ජෙනරල්, පා ශාඛාව, වැනි යෙදුම්. ඒ විතරක් නෙවෙයි තමන්ගේ නමට අගින් ලියනවානේ, ලබා තියන පදක්කම්. ඒවාත් සිංහල කෙටි යෙදුම් වලින් ලියන අවස්ථා තිනවා. රශූප = රණ ශූර පදක්කම.

      මට කෙත් බලියක් තමා තිබුණේ.

      Delete
  8. එල ද බ්‍රා සෑර්..
    ස්වේච්ඡාවෙන් හෝ මේ සදහා සම්බන්ද වෙන්න මම ගොඩක් කැමැත්තෙන් හිටියා ඒ සදහා කිහිප වරක් උත්සහා කරා ඔයාගෙනුත් උපදෙස් ගත්තා ඒත් මට අවස්ථාවක් ලැබුනේ නෑ..තවමත් ඒ බලාපොරොත්තුව තියනවා..

    ReplyDelete
    Replies
    1. මට හරි දුකයි මෙන්ඩෝ උඹට ඒ අවස්ථාව නැතිවීම ගැන. ඒ වැඩපිළිවෙල දැනට නැවතිලා තියෙන්නේ. නමුත් නැවත ක්‍රියාත්මක වුනොත් බලමු මොනවාහරි කරන්න.

      Delete
  9. නේවි එකේ ඔය directorates හදන කොට පොඩි පිස්සුවක් කෙලිනවා.. පත්වෙන නිලධාරියාගේ rank එක මත appointment එකේ නම වෙනස් කරනවා වගේ වැඩක්.. උදාහරණෙකට ඉස්සර නේවි එකේ රියර් අද්මිරාල් ලා හිටියේ දෙන්නයි තුන්දෙනයි.. මාණ්ඩලික ප්‍රධානි සහ බොහෝ විට නැගෙනහිර හා බස්නාහිර අඥාපති වරු.. ඒත් දැන් හෙන ගොඩක් ඉන්නවා.. ඒ ඒ බ්‍රාන්ච් වල රියර් අද්මිරාල් ලා ඉන්නකොට එතන Appointment එක Director ලෙවල් එකේ ඉඳලා Director General ලෙවල් එකට අප් ග්‍රේඩ් කරනවා.. Commodore කෙනෙක් ඉන්නවා නම් Director විදියටම තියනවා.. Staff Officers ලගේත් එහෙමයි.. Command Operations Officer (COPO) කියනඑක එතනට Captain කෙනෙක් එනවනම් Captain Operations Department (COD) වෙනවා.. මටනම් එක මහා විකාරයක්.. ආමි එක ඒ අතින් හොඳයි වගේ..

    ReplyDelete
    Replies
    1. නේවි එකේ ප්‍රමාණය කුඩා වීම සහ ජ්‍යොෂ්ඨ නිලධාරීන්ද සීමාවීම නිසා එහෙම කරනවා කියලයි මටනම් හිතෙන්නේ. මගේ ගෙදර ළඟම ඉන්නවා කමඩෝර් උන්නාන්සේ කෙනෙක්. අර එක දවසක් ඔයාට කතාකළේ. මුණගැහුනම අහන්න ඕනේ.

      Delete
    2. රට වටකර සාගරයයි.නේවි එක පොඩ්ඩයි ලු.අවුල් ද මංදා..( රටක් වශයෙන් ඉදිරි දැක්මේදී.)

      Delete
    3. මේකයි වැඩේ ලබ්ස්, අපිට කවදා හරි ලෝකයේ අපිට වඩා බලසම්පන්න රටක් එක්ක යුද්ධ කරන්න වුණොත් ත්‍රිවිධ හමුදාවට කරන්න තිබෙන කාර්ය භාරය දැඩි අභියෝගයකට ලක්වෙනවා. උදාහරණයක් වශයෙන් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශ්, වැනි රටක්, අපි සමග යුද්ධයට ආවොත්, පැය 24 ක් වැනි කාලයකින් අපිව යටත් කරගන්නවා. මහා පරිමාන ත්‍රිවිධ හමුදාවක් හදන්න බැරි තරම් අපි දුප්පත්. කෝ සල්ලි? කෝ බැඳෙන්න මිනිස්සු? එක හමුදාවකට මිනිස්සු ලක්ෂ 5 ක් වත් ඕනේ? එච්චර ලොකු ත්‍රිවිධ හමුදාවක් නඩත්තු කරන්න සල්ලි කෝ?

      අපේ නාවික හමුදාව LTTE යුද්ධය වැනි දේකට හොඳටම ප්‍රමාණවත්. මතකද ඈත මුහුදට දවස් ගානක් දුර ගිහින්, LTTE නැව් විනාශ කළා? නවීන තාක්‍ෂණය සහ යාත්‍රා, කාලීනව අලුතෙන් ලබාදිය යුතුයි. පිරිස් බලය අලුත් කළයුතුයි.

      Delete
  10. ඉදිරිපස හා පසුපස සංග්‍රාමික කලාප ඔච්චර පුළුල් නම් (100කි.මී) ලංකාවව එව්වට අයිති වෙයි වගේනෙ. අනික් කි.මි. 200ත් ගත්තාම. එතකොට සංග්‍රාමික භූමිකා මූලස්ථානය තිබුනේ කොළඹ වගේද?

    කලින් ලිපියත් කියෙව්වා ඒත් කියන්න දෙයක් තිබුනෙ නෑ. :)

    ReplyDelete
    Replies
    1. ඔවු. ඒක තිබුනෙ කොළඹ තමා. හැබැයි ඒ යාපනේ යුද්ධෙ තියෙන කාලෙ. යාපනෙන් පහළට යුද්ධෙ පැතිරෙනකොට අර කිලෝමීටර් 200 ගැප් එක තියාගන්ට ඕන නිසා ඒක අරන් ගියා මාලදිවයිනට.. ;-)

      Delete
    2. මම කිව්වනේ හරී මේවා සම්මතයන් පමණයි කියලා. මේ පොත් ලියලා තියෙන්නේ, බ්‍රිතාන්‍ය යුද හමුදා ආකෘතිය පදනම් කරගෙන. ඒ නිසා, අපි වගේ කුඩා රටක් ඇතුළේ, මේ පොතේ විදිහම කරන්න බැහැ. සුදුසු විදිහට තමයි කරන්නේ. කොළඹ තමයි ප්‍රධාන ස්ථානය. තවත් තැන් තිබුණා. අනාගතය වෙනුවෙන් ඒ තැන් රහසිගතව තිබුණාවේ නේද?

      කලින් ලිපිය ගැන කියන්න දෙයක් නැත්තේ ඒක ඒ තරම් සවුත්තුද? :e

      @ බූරා.
      හුටා.......... ඒක තමයි ඒ දවස්වල ගෙනාව සමහර පතරොම්, බෝම්බ, වල උම්බලකඩ සුවඳ තිබුණේ.

      Delete
  11. මේ ලිපිය කියවනකොට හමුදා පරිපාලනය කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක් බව පැහැදිලි වෙනවා.
    කාලයත් සමග නවීන තාක්ෂණික මෙවලම් සමග පරිපාලන ක්‍රියාවලියේ ලොකු වෙනස්කම් ඇති වෙනවා ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. හමුදාව සප්ත මහා සාගරය වගේ මනෝ. හමුදාවේ ඉන්න කිසිම කෙනෙකුට බැහැ තම සේවා කාලය තුලදී හමුදාවේ සියල්ල අවබෝධ කරගන්න.

      නවීන තාක්ෂනය යුද්ධ කාලයේදීත් ඉතා ඉහල මට්ටමෙන් ප්‍රයෝජනයට ගත්තා. අද තොරතුරු තාක්ෂනය පදනම් කරගනිමින් වඩාත් වේගවත්ව සහ නිවැරදිව මේ කටයුතු කෙරෙනවා.

      Delete
  12. සංකීර්ණ ක්‍රියාවලියක නේද ? විනය හින්දම ඕව කරනව ඇරෙන්ඩ , නැත්නම් මේ කපේදි යුද්ධ කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. හමුදාවක් පවත්වාගෙන යාමේ පදනම වන්නේ විනයයි. එක අණකට අනුව ක්‍රියා නොකරන හමුදාවක් ඉතා දුර්වලයි.

      ඇත්තටම මේ පරිපාලන වැඩවලට ගියාම වෙලාවකට හිතෙනවා, යුද්දේ මීට වඩා ලේසියි කියලා. එතරම් සංකීර්ණයි.

      Delete
  13. සංකීර්ණ ක්‍රියාවලියක නේද ? විනය හින්දම ඕව කරනව ඇරෙන්ඩ , නැත්නම් මේ කපේදි යුද්ධ කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. දෙපාරක් කියන්න තරං සංකීර්ණයි ද?

      Delete
    2. ප්‍රසන්න උඹ අහලා තියනවද, 'මේ දෑස මගේ පින්වන්තයි - දෙපාරයි' කිව්ව එක.

      Delete
  14. Replies
    1. බොහොම ස්තුතියි. වැඩි දෙනෙකුගේ අවධානයට ලක්කිරීම ගැන.

      Delete
  15. විචාරක තුමා... බොහොම ආසාවෙන් කියෙව්ව... ඔබගෙන් ඇරෙන්න මේව කාගෙන්ද දැනගන්නෙ... ස්තුතියි.. දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සජ්ජා, කියවන්නන් තුළ හමුදාව ගැන ඇති අනවබෝධයන් දුරුවී, අවබෝධය වැඩි වෙනවා නම්, මගේ උත්සාහය සාර්ථකයි.

      Delete
  16. මේ ලිපි සමාජයට ඉතාමත් ප්‍රයෝජනවත්. හමුදාව ගැන තියන වැරදි අවබෝධය නැතිකරන්න මේ වගෙ පැහැදිලිකිරීම් අවශ්‍යයි. හමුදාව කියන්නෙ දැනුම් සම්භාරයක් බෙදාහරින ප්‍රායෝගික පාසලක්. නමුත් ඒ ගැන බොහෝ දෙනෙක් දන්නෙ නෑ. මට හිතෙන්නෙ මෙහෙම පැහැදිලි කිරීමක් සිදුවුනේ පළමු වතාවටද මන්ද.

    ReplyDelete
    Replies
    1. ඉතා අවාසනාවන්ත සහ කණගාටුදායක ලෙස, හමුදාව වැරදියට අවබෝධ කරගත් සෑහෙන පිරිසක්, අපි අතර ඉන්නවා. විශේෂයෙන් ඔවුන්ගේ දුර්මත ඉවත් කිරීමත්, මේ ලිපි ලිවීමේ එක් අරමුණක්.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  17. රටක් පාලනය කොරනවා වගේම තමයි බලනකොට.ඒක තමා පොලිටික්කො හමුදාවට ඔච්චර බය... ඒ වගේම හමුදා ලොක්කො ඔච්චර රෙස්පොට්... හ්ම්ම්... නැතුව කොහොමද?.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ පරිපාලනය යුද්ධය වගේම අමාරු, ඉතා කල්පනාවෙන් කලයුතු, මහා වගකීම් සම්භාරයක්. පරිපාලනය වැරදුනොත් යුද්දේ පරදිනවා.

      බොහොම ස්තුතියි

      Delete
  18. විචාරක තුමෝ,, ඔන්න මේ ලිපියෙනුත් හුඟාක් දේවල් ඉගෙනගත්තා. විචාරක තුමාගේ යෝජනාවට මම පක්ෂයි.. තව දෙයක් කියන්න කැමතියි.. මම ඒ කාලේ කැමැත්තෙන් හිටිය හමුදාවට සම්භන්ධ වෙන්න.. එත් ට්‍රේනින් එක නිසා ඒ ආසාව පසුබෑව. ඔලුව වෙහෙසවල වැඩකරන්න පුළුවන් සහ හොඳට හිතන්න පුළුවන් බොහෝ දෙනෙක් හමුදාවට පොලිසියට බැඳීමේ මීට වඩා ලොකු නැඹුරුවක් තියෙන්න තිබ්බ අසීරු පුහුණුවක් තිබ්බේ නැත්තම්.

    අපේ රටේ හමුදාවට පොලිසියට බැඳෙන්න තරුණයන් බහුතරයක් අකමැත වෙහෙසකාරී පුහුණුව නිසයි.. එත් ඇඟ වෙහෙසීමට නොහැකිවූත් මොලය වෙහෙසවීමට හැකි තරුණ පිරිස් ආරක්ෂක අංශ වෙත බන්දවාගනීමේ කිසිම කෙඅමවෙදයක් අපේ රටේ නැහැ නේද.. එහෙම පාරක් නැත්තේ ඒ ආයත වලට මොලය වෙහෙසවන්නන් අනවශ්‍ය නිසාද???

    ReplyDelete
    Replies
    1. ටයිප් කරපුවා ටිකක් අකුරු වැරදිලා තියෙන්නේ.. ඒ ගැන සමාව භාජනය කරමි..

      Delete
    2. වෘත්තිකයන් හමුදාවට බඳවා ගැනීමේදී වෙහෙසකර පුහුණුවක් දෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය සරඹ, ආචාර සමාචාර විධි, අවශ්‍යනම් පමණක්, T 56 වැනි අවි පුහුණුව පමණයි දෙන්නේ. එය එතනින් ඉවරයි. නැවත පුහුණුව අලුත් කිරීමක් නැහැ. නමුත් වාර්ෂිකව පවත්වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙන්න ඕනේ.

      හමුදා සේවයේදී වෙහෙස නොවී වැඩකරන්නට බැහැ. උදාහරණයක් වශයෙන් වෛද්‍ය වෘත්තිකයකුට සිදුවන්නට පුළුවන් එක දිනක් තුළ විවිධ ස්ථානවල සේවයට යන්න. එවැනි ආකාරයට ක්ෂණික වෙනස්වීම් වලට හැඩගහෙන්නට බැරිනම්, හමුදාවේ සේවය කරන්නට බැහැ. ඇඟ නොවෙහෙසා මොළය වෙහෙසන ක්‍රමයක් ලෝකයේ කිසිම හමුදාවක නැහැ. අවශ්‍ය වුනොත්, පයින් ගමන්කර, (සමහරවිට තම සේවා කාලය තුළ කවදාවත් නොවෙන්නට පුළුවන් බොහෝවිට) තම සේවය ලබාදීමට නොහැකිනම්, ඔහු හමුදා සේවයට සුදුසු නැහැ.

      ඇමරිකා එක්සත් ජනපදයේ, හමුදා මිසයිල් විශේෂඥයන් බොහොමයක්, ඒ විෂයය පිලිබඳ දැනුම තියන සිවිල් පුද්ගලයන්. ඔවුන් නිළ ඇඳුමක් ඇඳ, ලෝකයේ ඕනෑම තැනක රාජකාරියට යනවා.

      අපේ හමුදාවේ ඉන්නවා වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, තොරතුරු තාක්ෂණ පද්ධති කළමනාකාර, නීතීඥ, වැනි වෘත්තිකයන්, ඉඳුරාම හමුදා නිලධාරීන් ලෙස බඳවාගත් අය. කපිතන් නිළයේ සිය බ්‍රිගේඩියර් නිළය දක්වා නිළයන් ඔවුන්ට ලබාදී තිබෙනවා බඳවා ගන්නා අවස්ථාවේදීම. නමුත් ඔවුන්ට යම් සුළු පරිමාන පුහුණුවක් දෙනවා. එහෙම නැත්නම් ඔහු සාමාන්‍ය සොල්දාදුවන්ගේ හාස්‍යයට භාජනය වෙනවා, හමුදා සම්ප්‍රදාය නොදන්නා නිසා.

      ඇගයීම ගැන බොහොම ස්තුතියි. තුමා කෑල්ල කපා විචාරක කිව්වම ඇති.

      Delete
    3. නොදන්නා දේ කියල දුන්නට බොහොම ස්තුතියි විචාරක ...

      Delete
  19. ප්‍රමාද වී පැමිණියෙමි...
    අගේ ඇති ලිපි පෙළ විචා මාමේ...
    අර ඔබ තුමාගේ අදහසක් තිබ්බේ ස්වෙච්චා සේවයක් ගැන, ඒක හොඳ අදහසක් කියල මටත් හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. කිසිදු ප්‍රමාදයක් නැත. ඔබල ලැබුණු අවස්ථාවේදී තමයි පැමිණ තිබෙන්නේ. බොහොම ස්තුතියි අදහස් වලට. මමත් හිතනවා ස්වේච්ඡා යුද හමුදා සේවය මීටවඩා දියුණු කළහැකි බව.

      Delete
  20. එක්සෑම් එකක් නිසා පරක්කු උනා එන්න. අර කියල තියන වැඩේ හොඳයි. මමත් හිතනවා ඒක හොඳ අදහසක් වේවි, හැබැයි දෙවෙනි පෙළක් විදියට පමණයි.
    ඊයේ ලෝඩ් ඕෆ් ද රිංස් බැලුවා. ඒකෙ දෙවෙනි කොටසේ තෙඕඩන්ට් රජතුමා තමන්ගේ බලකොටුව ආරක්ෂා කරගන්න ආයුධයක් අතට ගන්න පුළුවන් හැම කෙනාවම සටන් බිමට කැඳවනවා. ඒ වගේ වැඩ අපි නොකළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔය ඉහතින් ලොකුපුතාටත් කියා ඇති ආකාරයට පැමිණීමේ ප්‍රමාදයක් නැත. කවුරුත් එන්නේ තමන්ට ඉඩ ලැබෙන විදිහටනේ.

      'ආයුධයක් ගතහැකි හැම එකාම සටනට යනු' කියන අදහස ආව්ගය නිසා ක්‍රියාවට නංවන දෙයක් වුනාට බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. පුහුණුවක් නැති සොල්දාදුවා යුදබිමට ගිය සැනින් මළසිරුරක් වීමට බොහෝ ඉඩකඩ ඇත.

      Delete
  21. මේක මිලිටරිපීඩියා වශයෙන් නම් කිරීමට මම යෝජනා කරනවා. කොල්ලනේ මක්කැයි කියන්නේ.....?

    ස්තූතියි විචාරකතුමා!

    ReplyDelete
    Replies
    1. යකෝ, මට බය කවුරුහරි ඔය නම වරද්දාගෙන, මිලිටරිපිඩිය කියලා ලියයිද දන්නේ නෑ :e

      Delete
    2. මිලිටරිපිඩිය? හෙහ් එහෙම උනොත් අපි මෙහෙම කියනවා..

      'වෙඩි ත් කන්න ගිය රටේ... විචා කාපි පිඩි ගැටේ' කියලා.

      @ෆීලිං පරාණ භය. දුවපියො.......................

      Delete
    3. හිටපිය තොට ගහනවා මිසයිල් එකක්.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }