හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

30 January 2012

මොනවද මේ අමුතු අකුරු


මේ රූපයේ ඇති අකුරු මොනවාද? එයින් කියවෙන්නේ කුමක්ද? ලිපියේ ඉතිරි කොටස කියවන්නට පෙර ටිකක් වෙලා උත්සාහ ගෙන ඉන්පසුව කියවන්න.

සිංහල භාෂාව මහා පුදුම භාෂාවක්. අපේ භාෂාවේ අදහස් ප්‍රකාශ කිරීමේ ශක්තිය ඉතා ප්‍රබලයි. අපේ අකුරු වලින් ඕනෙම ශබ්දයක් පහසුවෙන් උච්ඡාරණය කළහැකි විදිහට ලියන්නටත් පුළුවන්. උදාහරණයක් වශයෙන් ‘ආර්නෝල්ඩ් ශ්වාසෙනෙගර්’ කියන නම සමහර වෙනත් භාෂා වලින් ලියු විට, ඒ භාෂාව තම මව් භාෂාව ලෙස පාවිච්ච්චි කරන අය පවා එය උච්ඡාරණය කරන්නේ විවිධ ආකාරයට. නමුත් සිංහල භාෂාවේදී එහෙමෙ වෙන්නේ නැහැ. සිංහල හරියට උච්ඡාරණය කරන්නට දන්නා සියලුදෙනාම එය නිවැරදිව කියවනවා. සමහර භාෂා වල අපේ තියන ‘ඇ’ ‘ඤ’ ‘ඍ’ වැනි ශබ්ද නැති නිසා සමහර සිංහල වචන ඔවුන්ට තම භාෂාවෙන් ලියාගෙනවත් නිවැරදිව උච්ඡාරණය කල නොහැකියි. සමහර විදේශීය ක්‍රිකට් විස්තර ප්‍රචාරකයන් අපේ ක්‍රීඩකයන්ගේ නම් උච්ඡාරණය කරනකොට අපට හිනා යන අවස්ථාත් තියනවා නේද?

හොදයි. දැන් බලමු, මේ සමග ඇති රූපයේ තියන අකුරු මොනවද කියලා. අපේ ළමා කාලය බොහෝ දුරට ගත වුනේ පරිසරයත් සමග වැඩෙන ගස්වැල් වගේ. ඒ තරමට අපි පරිසරය නිරීක්ෂණය කරන්නටත්, එයින් විශාල ආස්වාදයක් ලබන්නටත් පුරුදුව සිටියා. පරිසරයේ තිබෙන දේවල් ගැන කියන තේරවිලි, තේරුම් කවි, ආදිය අපේ වැඩිහිටියන්ගෙන් අපට ලැබුණු මිළ කළ නොහැකි දායාදයන්. මේ රූපයේ දැක්වෙන්නේ ඒ කාලයේ (1960 දශකයේ) අපි කුඩා ළමුන් ලෙස එකිනෙකාට අභියෝග කරගනිමින් ලියූ තනි අකුරේ වැකි. මේවා බැලූ බැල්මට එක අකුරක් මූලික කරගෙන එයට වෙනත් අකුරු කොටස් යාකර සකස් කල අකුරු හරඹයක් යයි කීම වඩාත් නිවැරැදියි. මම පිලිවෙලින් 1,2,3, සහ 4 යන ‘අකුරු රූප’ වලින් කියවෙන්නේ කුමක්ද කියා පහත දක්වනවා. ඔබ මුලින්ම මේවා කියවීමට උත්සාහ කළ අවස්ථාවේ මෙලෙස කියවුනාදැයි බලන්න. හොඳින් මතක තබාගන්න මෙහි ඇත්තේ තනි අකුරක් නොවේ අකුරු කොටස් අමුණා සැකසූ රූපයක්.
1. ලෑලි වලේ ලූලා.
2. වලව්වේ වේවැලේ වවුලා.
3. ක්‍රී කෑ කොකා
4. පාර පුරා පේර පඳුර

ඉස්කෝලේ යන කාලේ 9


  නයි කාරයෝ සහ බේත් තෙල් කාරයෝ ගැන කියවලා, දැන් ඔබට මාව එපා වෙලා ඇති. ඒ නිසා ඉස්කෝලේ යන කාලේ වෙනත් දේවල් ගැන කියන්නම්. මෙතෙක්කල් මා ඔබට කිව්වේ නැති හොල්මන් කතාවක් කියන්නම්. අපේ නව යොවුන් වියේදී ඒ කියන්නේ 1960 දශකයේදී රූපවාහිනිය තිබුනේ නැහැ නොවැ. ඉතින් සිනමාව තමයි එකම ආස්වාදය. හැබැයි එකක් පැහැදිලිව කිව යුතුයි. රූපවාහිනියෙන් අපි නරඹන්නේ නිකම් සරුවපිත්තල රූප. ත්‍රිමාන රූපවාහිනියකින් පවා අපි නරඹන්නේ සිනමාවෙන් නරඹන රූප වලට කිසිසේත් ලං නොවියහැකි රූප. අනික් දේ තමයි අපි නැරඹු, ලෝකයේ සම්භාව්‍ය චිත්‍රපට රාශියක් අද දකින්නටවත් නොලැබීම. මේ නිසා අද යුගයේ සීනිබෝල චිත්‍රපටි සම්භාව්‍ය කෘති බවට පත්වෙලා. සම්භාව්‍ය චිත්‍රපටි පැත්තක තබා, ජනප්‍රිය මාදිලියේ චිත්‍රපටි ලෙස අපි නැරඹු ‘ජේම්ස් බොන්ඩ්’ ‘කව් බෝයි’ වැනි චිත්‍රපටි වලට ලං වියහැකි චිත්‍රපටි පවා අද සිනමාවේ ඉතා දුර්ලභයි. එය වෙනම දවසක සාකච්ඡා කිරීමට ඉඩ තබා අර හොල්මන් කතාවට යන්නම්.

  ගෙදරට හොරෙන් පික්චර් එකක් බැලීම අදටත් තරුණයෙකුට කොතරම් ‘ත්‍රිල්’ එකක්ද. එය කවදත් එහෙමමයි. ඔන්න මම දවසක් හොරෙන් පැන්නා පික්චර් එකක් බලන්න. මොකක්ද පික්චර් එක? ‘ඩ්රැකියුලා’ පුහ්. . . . බලලා තියනවද ‘ඩ්රැකියුලා’? සමහරවිට ඔබ බලලා නැතුව ඇති. නමුත් මතක තබාගන්න. ‘බ්‍රැම් ස්ටෝකර්’ නමැති කතුවරයා විසින් රචිත ‘ඩ්රැකියුලා’ කතා මාලාව ලෝකය පුරා අතිශයින් ජනප්‍රිය බව. එහි ‘ඩ්රැකියුලා’ ලෙස රඟපාන ‘ක්‍රිස්ටෝපර් ලී’ නමැති නළුවා අදටත් අපේ සිතෙන් නොමැකී සිටිනවා.
  ඔන්න ඉතින් මම ‘ඩ්රැකියුලා’ බලලා ගෙදර එන්න පිටත් වුනේ රෑ 9 ට විතර. අපේ ගෙදරට යන අතර මග සොහොන් පිට්ටනියක් පහු කරන්න තියනවා. ඒ කාලේ ඒ පැත්තේ විදුලි එලිය නැහැ. කට්ට කළුවරයි. මගේ අතේ කිසිම එළියක් නැහැ. තරු එළියෙන් යන්නේ. ‘නොදකින් කරගත්ත ගොන්කම’ කියලා තේරුනේ සොහොන් පිට්ටනිය ලඟට එනවිටයි. මොනවා කරන්නද. සොහොන් පිට්ටනිය ලඟට එනකොට මතක් වෙන්නේ ‘ඩ්රැකියුලා’ බෙල්ල හපලා ලේ බොන හැටි. ටිකක් වෙලා හිතලා පාර හදන්ඩ ගෙනත් දාපු ගල් ගොඩකින් ගත්තා හොඳ ගල් දෙකක් අතට. දැන් සොහොන් පිට්ටනිය දෙස නොබලා ඒ අසලින් යනවා මම. සීතල දාඩිය බින්දු නළල දෙපැත්තෙන් වැගිරෙනවා. එක පාරටම ‘සරබරාස්’ සද්දයක් ආවා සොහොන් පිටියෙන්. චූ යන්ඩ ලඟයි. මට එතනම බිම ඉන්දවුනා. මම හිතුවා හොල්මනට ගහනවා නැත්නම් මැරෙනවා කියලා. නැගිටලා ගැහුවා ගල් දෙකම හොල්මන හිටිය පැත්තට. හොල්මන කෑ ගැහුවා. ‘උම්බෑ’ කියලා. ආය කියන්ඩ ඕනේ නැහැනේ. සොහොන් පිටියේ හිටිය හරකෙකුට තමයි මම බයවෙලා තියෙන්නේ. තනියම හිනා වෙවී ගෙදර ආවා.

29 January 2012

ඉස්කෝලේ මහත්තයාගේ ‘ජම්ප් එක’

මේ කතාව ඔබ බොහෝ දෙනෙක් අසා ඇතුවාට කිසිදු සැකයක් නැත. එහෙත් මේ කතාව කියන බොහෝ දෙනා, එහි නිර්මාතෘ කවුදැයි දන්නේ නැත. සමහර විට මෙය පෙරදිගට ගැලපෙන සේ අනුවර්තනය කල බටහිර කතාවක් විය හැකිය. මම, මේ කතාව කියනවාටත් වඩා උනන්දු වන්නේ, එය මුලින්ම තීරු ලිපියක පලකල, ඒ ශ්‍රේෂ්ඨ තීරු ලිපි රචකයා, ඉතා ගෞරවයෙන් සිහිපත් කිරීමටය. ඒ වෙන කිසිවකු නොව ‘අමිත අබේසේකර’ මහතාය. ඔහු විසින් ‘ද අයිලන්ඩ්’ පුවත්පතට ‘This is My Island’ යන මාතෘකාවෙන් ලියූ තීරු ලිපි, එකල පාඨකයන් අති විශාල ප්‍රමාණයක් විසින්, මහත් අභිරුචියකින් කියවූයේ, එහි ඇති හාස්‍යය මෙන්ම සියුම් උපහාසයද, නිතර කියවන්නට නොලැබෙන, අපූර්ව රසයකින් යුක්තවූ නිසාය. දේශපාලනය, කාලීන තොරතුරු, කලාව, ආදී නොයෙකුත් මාතෘකා පදනම් කර ගනිමින්, ඔහු ලියූ ලිපි ගණන අපමණය. මේවා එකතුවක් ලෙස පළ කර ඇද්දැයි මම නොදනිමි. දන්නෝ ඒ ගැන මා දැනුවත් කරත්වා. ඒ ශ්‍රේෂ්ඨයාට උපහාරයක් වේවායි පතමින් කතාව ඉදිරිපත් කරමි. මෙය අමිත අබේසේකර මහතා ගේ ඉංග්‍රීසි තීරු ලිපිය මා විසින් මාගේ දැනුමෙන් කල පරිවර්තනයක් බව සලකන්න. කතාව පුවත්පතේ පළ වූවේ 1989 දී පමණ බව මගේ මතකයයි.


ගම්බද, කඩවසම්, නිහතමානී, තරුණයකුට දුෂ්කර පළාතකට ගුරු පත්වීමක් ලැබුනා. දේශීය සම්ප්‍රදාය ගරු කරන පවුලක අයකු වූ ඔහු, සිය දෙමවුපියන්ගෙන් සමුගෙන, නව පත්වීම ලද පාසල සොයා පිටත්වූයේ, තම ඇඳුම් බැඳුම් පොත්පත් අසුරාගත් සූට්කේසයක්ද අතැතිවයි. කොළඹ සිට මහනුවර බලායන බසයකට කෑගල්ලේදී ගොඩවූ ඔහුට, යන්තම් වාඩිවෙන්නට ඉඩක් ලැබුනා. ඔහුට ඉදිරිපස අසුනේ වාඩිවී සිටියේ සුන්දර තරුණියක් බව ඔහුට පෙනුනා. ටික දුරක් යනවිට ඔහු තරමක් අපහසුතාවයට පත්වූයේ සුළඟට ඇගේ කොණ්ඩය ඔහුගේ මුහුණ කරා පැමිණ සිප ගැනීමත් කිති කැවීමත් නිසයි. ඔහු අතින් කොණ්ඩය ඉවත් කලත් එය නැවත නැවතත් සිදුවුනා. බැරිම තැන ඔහු ‘නෝනා’ කියා අයව ඇමතුවා. ඇයට අසුනේ නැහැ. කීප වතාවක් ‘නෝනා’ කියූ පසු ඇය තේරුම්ගත්තා ඔහු අමතන්නේ ඇයට බව. ‘yes what’ ඇය පිළිතුරු දුන්නා. ‘අනේ නෝනා තරහ වෙන්න එපා. නෝනාගේ කොණ්ඩය හුළඟට මගේ මූනේ වදිනවා’ තරුණයා කීය. ‘Oh I’m sorry’ කියූ ඇය කොණ්ඩය ගෙන ඇගේ පපුව දෙසට දමාගත්තා. කෙසේ වෙතත් ඇගේ කෙස් ගස් කීපයක් ඔහුගේ මුහුණේ රැඳුණු අතර ඇයගේ කේශකලාපයේ තිබුණු විලවුන් සුවඳ ඔහුගේ සිත සොරාගත්තා.


තරුණයා මහනුවර නගරයේදී බසයෙන් බස බදුල්ල බලා යන බසයකට ගොඩවූවා. අර තරුණියද තමන් ගෙනයන ප්‍රමානයේම සූට්කේසයක්ද සහිතව එම බසයේ සිටිනු දුටු ඔහු තරමක් පුදුම වූවා. ඇය ඇඳ සිටින්නේ නිල්පැහැති ඩෙනිම් ජීන්ස් එකක් සහ කළු පැහැති කුඩා මල් වැලක් සහිත සුදු පැහැති ටී ෂර්ට් එකක් බවත් ඇය ඉතා රූමත් බවත් ඔහු පළමු වරට දැක්කේ එවිටයි. ඔහු ඇයට සිනහවකින් සංග්‍රහ කලත් අයගෙන් ප්‍රතිචාරයක් නොලද නිසා තමන්ගේ පාඩුවේ ගමන ගියා. නමුත් ඔහුට සිය දෙනෙත් අදහාගත නොහැකි වූයේ බදුල්ලේදී බසයෙන් බැස, තමන් වැඩ බාර ගැනීමට නියමිත පාසල පිහිටි ප්‍රදේශය දක්වා ධාවනය වන බසයට ගොඩවූ විට අර තරුණියද එහි සිටිනු දැකීමෙන්. තමන් බැසිය යුතු තැන ඔහු බසයේ කොන්දොස්තරගෙන් විමසුවා. ‘හරි හරි මහත්තයා, අර නෝනත් බහින්නේ එතනින්. මම කියන්නම් එතැනදී’ කියා ඔහුට පිළිතුරු ලැබුනා. අපේ තරුණයාගේ සිතෙහි විදුලියක් කෙටුවක් මෙන් සැකයක් මතුවූවා. ‘එකත් එකටම මෙයත් ගුරු පත්වීමක් ලැබිලා මම යන ඉස්කොලෙටම යන කෙනෙක් තමයි. බලපල්ලකො ඇඳුමේ හැටි. ඕවත් ඇඳගෙනද ළමයින්ට උගන්නන්න යන්නේ. හොඳට හිටී’ ඔහු තමන්ටම කියාගත්තා. කොන්දොස්තර සීනුව නාද කර බසයෙන් බැසිය යුතු තැන පෙන්වා දුන්නා. දෙදෙනාම බසයෙන් බැස්සා. එතනින් ගුරු පාරක් විහිදෙනු ඔහු දුටුවා. බසයෙන් බැස්ස ඇය පාරේ සිටම තරමක් හඬ නගා ‘මුදලාලි . . . .විද්‍යාලයට යන්නේ කොහෙන්ද? කියා එතන තිබුණු කඩයෙන් විමසුවේ, තමන් ඒ ප්‍රශ්නය අහන්නේ කාගෙන්ද කියා අපේ වීරයා සිතමින් සිටින විටයි. තරමක් පුදුමයෙන් මෙන් ඇය දෙස බැලූ මුදලාලි ‘ඔය පාරේ නොම්මරයක් විතර ගියාම ඉස්කෝලේ හම්බ වෙනවා නෝනා’ කීවේය. ‘නොම්මරයක් what is නොම්මරයක්’ කියා තමන්ටම තනියෙන් කියාගනිමින් ඇය පිටත්වනු දුටු ඔහු, ඇය පසුපසින්ම වාගේ ගමන ඇරඹුවා. 

පාර තරමක් පාලු ස්වභාවයක් ගත්තත් ඇය නොබියව යන අයුරු ඔහුගේ පුදුමයට හේතු වුනා. ඔහුත් තම සිතට ධෛර්යය ටිකක් ගත්තා. ‘ඔයා . . . විද්‍යාලයටද යන්නේ? ඔහු ඇසුවා. ‘ඔවු, ඇයි අහන්නේ? ඇයගෙන් දමාගසන පිළිතුරක් ලැබුනා. ‘නැහැ, මටත් ඒ ඉස්කෝලේ සිංහල සහ සමාජ අධ්‍යයනය විෂයයන් උගන්නන්න පත්වීමක් ලැබුනා. මේක මගේ මුල්ම පත්වීම’ ඔහු කිව්වා. ‘Oh I see, මට ඉන්ග්ලිෂ් ටීචින් අපොයින්ට්මන්ට් එක හම්බවුනා’ ඇය කිව්වා. දෙදෙනා ටික වෙලාවකින් පාසලට ළඟාවුනා. මැදි විය පසුවූ විදුහල්පති වරයා සිටියේ ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන්. ‘ කොළඹ ඉඳලා අපට අලුත් ඉස්කෝලේ නෝනා කෙනෙකුයි කෑගල්ලේ ඉඳලා මහත්තයෙකුයි එනවා කියලා ලියුම් ලැබුනා. බොහොම සන්තෝසයි නෝනයි මහත්තයයි ආව එකට’. විදුහල්පති තුමා දෙදෙනාව පිළිගෙන, ඒ වනවිට පාසැල ඇරී තිබුන බැවින්, ඔවුන්ව කෙලින්ම විදුහල්පතිගේ නිල නිවාසයට කැටුව ගියා.



ඉතා රසවත් ගැමි ආහාර වේලකින් ඔවුන්ට සංග්‍රහ කල විදුහල්පති තුමා, ඊලඟට බැස්සේ මේ දෙදෙනාගේ නවාතැන් ප්‍රශ්නය පිලිබඳ මාතෘකාවටයි. ‘මහත්තයෝ, නවාතැන් දීමේදී නම් පොඩි කොස්සක් තියනවා’. විදුහල්පති තුමා කතාව ඇරඹීය. ‘මේ ගුරු නිවාසයේ අමතර කාමර තියෙන්නේ එකයි. අර තියන ඉස්තෝප්පු කාමරය. ගෙයි ඉතිරි කොටසේ මමයි නෝනයි ළමයි තුන්දෙනයි ඉන්නෙත් හොඳටම ගුලි වෙලා. මේ ගමේ කොහෙවත් නැහැ, නෝනටවත් මහත්තයටවත් නවතින්න සුදුසු ගෙවල්, හරී අහිංසක දුප්පත් මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සු ඔය යන්තම් අටවගත්ත පැල් කොට තමා තියෙන්නේ. වැසිකිලි යන්නෙත් කැලේට, (අලුත් ගුරුතුමීට ‘Oh my God’ කියවුනා) ඒ නිසා අපි කොහොමහරි පිරිමහගෙන මේ ගුරු නිවාසේම ඉම්මු. නෝනමහත්තයට ඉතින් කාමරේ දෙන්න එපාය. මම මහත්තයට ඉස්තෝප්පුවේ බූරු ඇඳක් දාලා දෙන්නම්. ඔය රෑ ගත කරන එක විතරනේ. කියලා විදුහල්පතිතුමා නවාතැන් ප්‍රශ්නේ විසඳුවා. සියල්ල හොඳින් සිදුවුනා. ජීන්ස් එකක් ඇඳ වැඩ බාර ගැනීමට පැමිණි ඇය පසුදින සාරියකින් සැරසුන විටයි අපේ වීරයාට ඇගේ නියම ලස්සන පෙනුනේ. දෙදෙනාම පාසලේ වැඩ කටයුතු උනන්දුවෙන් කළා. හැබැයි වැඩි අඟෑලුම් කමක් දෙදෙනා අතර නැහැ. කතා කලේ අවශ්‍යම දේකට පමණයි. මේ වනවිට ඒ ප්‍රදේශයට මෝසම් වැස්ස ලැබෙන්නට වුනා. පැල් බැඳගෙන වහින මහා වැස්ස ආරම්භ වුනා. රෑට ඉස්තෝප්පුවේ ඉන්න අපේ වීරයා, වැස්සේ හිරිකඩ වැදී මහත් අපහසුතාවයට පත්වුනා. ඔහු තමන්ගේ බූරු ඇඳ අකුලාගෙන බිත්තියට හේත්තු වුනේ ‘දැන් ඉතින් රෑ එළිවෙනකල් හිටගෙන ඉන්න තමයි වෙන්නේ’ කියලා හිතාගෙන. ඔහු පුදුමයට පත් කරමින් හිටි හැටියේම ඉස්තෝප්පු කාමරයේ දොර අරුනා. ‘ඇය’ රාත්‍රී ඇඳුමෙන් ඔහු අසලට ආවා. ‘තෙමෙනවා නේද? තමුසෙට කැමතිනම් කාමරේට එනවා’ ඇය කිව්වා. ‘පිස්සුද? ලොකුමහත්තයා මොනවා හිතයිද? ඔහු පිළිතුරු දුන්නා. ‘මේ තමුසෙයි ලොකු මහත්තයයි හිතන ඒවා මට වැඩක් නැහැ, තමුසෙට නොතෙමී ඉන්න ඕනෙනම් එනවා’. ඇය කවදත් පුරුදු දැඩි ස්වරයෙන් කිව්වා. ඔහු සිතුවා වැස්ස අඩුවනතුරු කාමරයේ සිට එලියට එන්නට. කාමරයට ගිය ඔහු එහි තිබුණු එකම පුටුවේ වාඩි වුනා. ‘මොකද තමුසේ එළිවෙනකල් ඔහොම ඉන්ඩද කල්පනාව. මට මේ ඇඳේ ඕනේ තරම් ඉඩ තියනවා. තමුසේ ඔය පැත්තෙන් නිදා ගන්නවා’ ඇය කිව්වා. ‘ඔයාට පිස්සුද මොනවද මේ කියන්නේ? ඔහු වෙවුලන ස්වරයෙනුයි ඇහුවේ. ‘මේ ඕයි ඔය තමුසේ හිතන ජාතියේ දෙයක් නෙවෙයි මම කිව්වේ. තමුසේ කැමතිනම් ඔන්න මම මෙතනින් කොට්ටයක් තියනවා, කොට්ටෙන් මෙහා පැත්තේ මම නිදා ගන්නවා. තමුසෙට කැමතිනම් ඔය පැත්තෙන් නිදාගන්නවා’ කියූ ඇය බිත්තිය දෙසට හැරී නිදන්නටවුනා. ඔහු ටික වෙලාවක් කල්පනා කළා. රෑ එළිවෙනතුරු පුටුවේ ඉන්නවාද නැද්ද කියා සිතමින් සිට අවසානයේදී ඇඳට යන්නට තීරනය කළා. යන්තම් ඇඳේ අද්දර ඇයට පිටුපා නිදාගත්තත් නින්ද ගියේ නැහැ. එහෙත් පාන්දර ඇය විසින් අවදි කරන විටයි ඔහුට දැනුනේ තමන්ට නින්ද ගිය බව.’මේ ලොකු මහත්තය දකින්න කලින් එලියට යනවා නැත්නම් අර තමුසේ හිතපුවා එයත් හිතයි’ ඇය කීවාය.

මුළු වර්ෂා සමය පුරා මේ ‘ක්‍රමවේදය’ මෙලෙසම සිදුවුණා. තද වර්ෂාව වැටෙනවිටම ඔහු බූරු ඇඳ අකුලයි. ඇය දොර අරියි. ඔහු ඇතුලට යයි. ඇය දොර වසා ඇඳේ මැද කොට්ටය තබයි. ඔහු ඇඳේ නිදාගනියි. අලුයම ඇය ඔහුගේ ඇඟට තට්ටු කරයි. ඔහු නැගිට එලියට යයි. මේ ක්‍රියාදාමයේදී ඔවුන් අතර එකදු වචනයක්වත් කතා නොකෙරෙයි. මෙය ස්වයංක්‍රීයව සිදුවන දෙයක් වැනිය. ඒ පාසල් වාරය අවසානයේදී මේ විදුහලේ ළමුන් සහ ගුරුවරු අධ්‍යාපන චාරිකාවක යන්නට තීරණය කළා. බොහෝ ස්ථාන වලට ගිය ඔවුන් සීගිරිය නරබන්නටද අමතක කලේ නැහැ. සීගිරිය මුදුනට නගිද්දී ‘ඇය’ පන්කොළ තොප්පියක් පැළඳ සිටියා. හදිසියේම ආ සුළං පහරක් ඇගේ පන්කොළ තොප්පිය සීගිරිය මුදුනේ ඇති නටබුන් වූ කෙටි බිත්තියකින් එපිටට ගෙනගියා. ‘ඔහු’ වහාම බිත්තියෙන් එපිටට පැන තොප්පිය ගෙන එන්නට සූදානම් වූයේ පසුගිය වැසි කාලයේදී ඇය කල උපකාරයට ප්‍රති උපකාරයක් කරන්නයි. ඇය අවඥා සහගත සිනාවක් සමග මෙහෙම කිව්වා. ‘Don’t try to be a joker and don’t make me laugh, you couldn’t jump over pillow for the last three months. How can you jump now over a parapet wall? ‘තමුසේ නිකන් ජෝකරයෙක් වෙලා මාව හිනස්සන්න හදන්න එපා. පහුගිය මාස තුන තිස්සේ කොට්ටෙකට උඩින් පනින්න බැරිවුණු තමුසේ, දැන් කොහොමද මේ බිත්තියට උඩින් පනින්නේ?

උස හොයන හැටි


එක්තරා හමුදා කඳවුරක අණදෙන නිලධාරියා දිනක් සැරයන් වරයකුට කිව්වා කඳවුරේ ඇති කොඩි කණුවේ උස මනින ලෙස. සැරයන් එය සෙබළුන් දෙදෙනෙකුට පැවරුවා. සෙබළුන් දෙදෙනා කොඩි කනුව ගලවා බිම තබා මැනුම් පටියකින් එය මැනීමට සූදානම් වනවිටම සැරයන් ආවා. ‘ඔය මොකද කරන්නේ? කවුද උඹලට කිව්වේ කොඩි කණුවේ දිග මනින්න කියලා? වහාම කනුව ආපහු හිටවලා උස මැනපල්ලා මගෙන් කන පලාගන්නේ නැතුව’ කියා ගෝරනාඩු කළේය.

නැරඹිය යුතු චිත්‍රපටියක් ‘ද ඩර්ටි ඩසන්’ (1967)

දෙවන ලෝක යුද සමය පසුබිම් කරගනිමින් 1967 වර්ෂයේදී නිපදවා ඇති ‘ද ඩර්ටි ඩසන්’ චිත්‍රපටිය ඇකඩමි සම්මානයෙන් පුද ලද විශිෂ්ඨ ගණයේ චිත්‍රපටියක් ලෙස ප්‍රචලිතය. මෙය, සත්‍ය සිදුවීමක ඡයානුවාදයක්වූ නවකතාවක්, පාදක කොටගෙන නිපදවූ චිත්‍රපටියකි. රොබර්ට් ඔල්ඩ්රිච් නමැති අධ්‍යක්ෂවරයා මේ විශිෂ්ට සිනමා කෘතියේ නිර්මාතෘ වන අතර චිත්‍රපටිය ලෝකප්‍රසිද්ධ එම්.ජී.එම්. සමාගම වෙනුවෙන් නිපදවන ලද්දකි. 1944 පමණ කාලයේ සිදුවීම් නිරූපණය කරන මේ චිත්‍රපටිය, එංගලන්තයේ රූපගත කරන ලද්දකි. චාර්ල්ස් බ්‍රොන්සන්, ජිම් බ්‍රවුන්, වැනි ලෝක පූජිත නළුවන් රංගනයෙන් ඔපවත් කල මේ චිත්‍රපටිය 1969 වර්ෂයේදී ලංකාවේ තිරගතවූ  අතර, පාසල් සිසුවකු ලෙස එදා එය නැරඹු හැටි මට තාමත් මතකය.

මෙම චිත්‍රපටය සඳහා IMDb වර්ගීකරණයේ 7.8 ක් ලැබී ඇත. මෙය ටොරන්ට් ගොනුවක් ලෙස පහත දැක්වෙන සබැඳියෙන් බාගත කරගත හැකිය.

 
The_Dirty_Dozen_1967_MultiSub_and_DVDExtra_-_WunSeeDee_-.3885809.TPB

28 January 2012

ඉස්කෝලේ යන කාලේ 8



අපේ නගරයේ තිබුණු පචගස් හෙවත්, විවිධාකාර වෙළෙන්දන් අරක්ගත් මාර ගස් තුනක් තිබුණු බව, මීට පෙර මම ඔබට කිව්වෙමි. එයින් වඩාත්ම ජනප්‍රිය වූයේ, නගරය මැද, මා පසුගිය ලිපියේ සඳහන් කල සිනමාහල ඉදිරිපිට තිබුණු මාර ගසයි. විශේෂයෙන්ම මේ ගස යටට පැමිණියේ විවිධ බෙහෙත් තෙල් වෙළෙඳුන්ය. ඒ අතර මා පෙර ලිපියක සඳහන් කලාක් මෙන් වඩාත් අප සිත් ගත්තේ විවිධ සර්පයන් ප්‍රදර්ශනය කරමින් බෙහෙත් තෙල් විකිනූ වෙළෙඳුන්ය. අපි කරන සමහර ඇට්ටර වැඩ නිසා, මේ වෙළෙඳුන් සමග සුළු සුළු ගැටුම්ද ඇතිවූ අවස්ථා නැතුවාම නොවේ. තමා වටේට තබාගත් නයි පෙට්ටි කීපයක නයින් තබාගෙන, චතුර කතාවෙන්, බලාසිටින්නා ආකර්ෂණය කරගෙන, ඔහු කරන්නේ සුළුපටු කාර්යයක් නොවේ. මෙසේ කතාකරන අතරතුර, සෑම නයි පෙට්ටියක් කෙරෙහිම අවධානය තබාගන්නට ඔහුට නොහැකි වෙයි.

නරඹන්නන්ගේ පසුපසින් සිටගන්නා අපි, අපේ පොත් ගොඩෙන් හෙමින් අඩිරූල එලියට ගෙන, නරඹන්නන් අතරින් අත දමා, නයකුගේ ඔලුවට ‘ටොක්’ ගා පහරක් දී විදුලි වේගයෙන් අත ආපසු ගනිමු. නයා මහා හඬින් ‘ෆූස්’ ගා පිඹ පෙනය පුප්පන අතර නරඹන්නෝ බියවී දුවති. බෙහෙත් තෙල් වෙළෙන්දාට උන්හිටි තැන අමතක වන්නේ එවිටය. ඔහු අප අසා නැති හරුපද කියමින් වනචර කොල්ලන්ට දෙස් දෙවොල් තියයි. නැවත ඒ පැත්ත පළාතට දින ගණනාවක් යනතුරු පාසල් සිසුවකුට ඒමට ඉඩ නොතබයි. එහෙත් නරඹන්නන්ට පසුපසින් සැඟවී අලුත් ජවනිකා නරඹන්නට අපි පසුබට නොවෙමු.

ඒ කාලයේ නිල් චිත්‍රපටියක් බැලීමටත් වඩා භයානක දෙයක් පෙන්වන බව අපේ ඔත්තු සේවා මගින් අපර ආරංචි විය. (මම මුලින්ම නිල් චිත්‍රපටියක් බැලුවේ 1970 දශකයේ මැද භාගයේදීය. එකල වීඩියෝ තාක්ෂනය නිවෙස්වල පාවිච්චි කරන මට්ටමෙන් ලංකාවට පැමිණ නොතිබුණි. ඒ නිසා මම ග්‍රෑන්ඩ්පාස් පැත්තේ මුඩුක්කුවක රිංගා, මගේ මිතුරකුගේ උදව්වෙන් එය බැලුවේ මිලිමීටර් 16 සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රයකිනි. එහි පින්තූර ලා නිල් පාටය.) ඒ භයානක දෙය පිලිබඳ ආරංචිය නම්, කාන්තාවන් සඳහා නිපදවා ඇති, අමෙරිකාවෙන් ආනයනය කල, රබර් වලින් සාදන ලද, කෘත්‍රිම පශ්චාද්භාගයක්, සුළං පුරවා පෙන්වන බවයි. එදා අපි කාලවේලා ඇතිව ස්ථානගත වුවද එදින පැමිණ සිටි වෙළෙන්දා, ‘පොඩිමහත්තුරුන්ගේ ‘පින්සිබල්’ මහත්තයාටම ගිහින් කියන්නද? නැත්නම් මෙතනින් යනවාද?’ කියා ඇසූ නිසා අපට පසුබසින්නට සිදුවිය. ඊළඟ සතියේ මගේ මිතුරෙක් අර නයාට ගැසීමේ සෙල්ලම කළේය. කෝපාවිෂ්ඨ වූ වෙළෙන්දා ඉනෙන් පිහියක් ඇදගෙන අපි පසුපස පැන්නුවේය. පණ එපා කියා දිවගොස් බේරුණ අපි, ටික කලක් නයි සෙල්ලමෙන් ඈත් වී සිටියෙමු.

26 January 2012

‘සුළඟ එනු පිණිස’ නැරඹුවාද?

විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ සුළඟ එනු පිණිස චිත්‍රපටිය, ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට අවසර දී නැත. 2005 වර්ෂයේදී තිරගතවූ මේ චිත්‍රපටිය සඳහා IMDb වර්ගීකරණයේ 6.2 ක් ලැබී ඇත. මෙම චිත්‍රපටියේ කොටස් පහත දැක්වෙන පුරුක ඔස්සේ නැරඹිය හැකිය.
එමෙන්ම පහත දැක්වෙන පුරුක මගින් මෙම චිත්‍රපටිය ටොරන්ට් ගොනුවක් ලෙස බාගත කිරීමටද හැකිය.
[kat.ph]sulanga.enu.pinisa.aka.the.forsaken.land.2005
කෙසේ වෙතත් මේ චිත්‍රපටිය නරඹා ඇති අයට, ඒ ගැන අදහස් රැසක් හුවමාරු කර ගැනීමට ඇතැයි සිතන අතර, මට මේ චිත්‍රපටිය නැරඹීමට ලැබුනේ ඉතා මෑතකදී බැවින්, ඒ ගැන අදහස් දැක්වීමට සිතුවෙමි. මෙතෙක් මෙය නරඹා නැති අයට කිවයුත්තේ, මෙය, කිසිසේත් පවුලේ අය එකට සිට නැරඹිය නොහැකි චිත්‍රපටියක් මෙන්ම, සදාචාරය ඉහලින් අගය කරන අඹුසැමි යුවලකට පවා, නැරඹීමේදී යම් අපහසුතාවක් ඇතිවිය හැකි බවය.

මෙය කතාවක් කියන චිත්‍රපටියක් නොවේ. අධ්‍යක්ෂ වරයා කිසියම් සමාජ තලයක් නිරීක්ෂණය කිරීමෙන් හා ඇසුරු කිරීමෙන් උකහාගත් සිද්ධි මාලාවක් තිරය මත පතිත කිරීමකි සිදුවන්නේ. ඒ සඳහා ඔහු අපවෙත කැඳවාගෙන එන චරිත නිදහස්ව හා ස්වාධීනව හැසිරෙන බවක් පෙනෙයි. එහෙත් අනාදිමත් කාලයක සිට සමාජය තුල සැඟවී කෙරෙන ගනුදෙනු මෙතරම් එළිපිට, මෙතරම් කෙලින්, මෙතරම් නිර්භීතව, ඉදිරිපත් කිරීම, අපගේ සංස්කෘතික මිනුම් දඬු කඩා බිඳගෙන යන්නක් වූ බැවින් මේ චිත්‍රපටියට ලංකාව තුල ප්‍රදර්ශන අවසරය නොලැබුණු බව පෙනෙයි. මවිසින්ම ගණන් බලා ඇති ආකාරයට, මේ වනවිට මම, සිංහල චිත්‍රපටි 150 ක් පමණද, ඉංග්‍රීසි චිත්‍රපටි 300 ක් පමණද, හින්දි චිත්‍රපටි 100 ක් පමණද, නරඹා ඇත්තෙමි. ඒ හැර වෙනත් විදේශීය භාෂා වලින් නිපදවූ චිත්රපටිද නරඹා ඇත්තෙමි. මේ චිත්‍රපටි තුල ජනප්‍රිය, සම්භාව්‍ය, මෙන්ම හඩු චිත්‍රපටිද ඇත. ඒ චිත්‍රපටි අතර මේ චිත්‍රපටියට සුවිශේෂී ස්ථානයක් හිමි නොවන බව මුලින්ම කිවයුත්තේ මෙවැනි ආකාරයේ බටහිර චිත්‍රපට රැසක් මා නරඹා ඇති බැවිනි.

මෙහි මුලින්ම මා දකින විශේෂත්වය වන්නේ රූප රචනයයි. මා දැක ඇති බටහිර චිත්‍රපටි වල ඇති රූප රචනා කලාව මනාව උකහාගෙන නිසි සංකලනයකින් යුතුව ඉදිරිපත් කර ඇති අතර, සාමාන්‍ය සිංහල චිත්‍රපටියක දක්නට නොලැබෙන තාක්ෂණික ගුණාංග ද ඇතුලත්ව තිබේ. ඒ ගුණාංග මට සිහිපත් කරවූවේ මා නරඹා ඇති උසස් බටහිර චිත්‍රපට කීපයකි. අදාළ දර්ශනය තුලම තමන්ද සිටින බව ප්‍රේක්ෂකයාට දැනෙන තරමට මෙහි රූප රචනය හා සංස්කරණය ඉහල මට්ටමක පවතී. (මා මෙය නැරඹුවේ පුළුල් තිර රූපවාහිනියකිනි. එය මා විසින්ම අන්තර්ජාලයෙන් බාගත කරගත් පිටපතකි. සිනමා තිරයක නරඹන්නට ශ්‍රී ලාංකිකයන්ට තව කොපමණ කලක් බලා සිටින්නට වේදැයි නොදනිමි.)

සෑම සමාජ තලයකම, සඟවාගත්, නැතහොත් සීමා කළ, එසේත් නැත්නම් ප්‍රසිද්ධියේ කතා බහ නොකරන, කරුණු තිබේ.


  පෙරදිග සමාජයේ, විශේෂයෙන් එසේ එළිපිට කතා නොකරන්නේ, ලිංගික චර්යාව පිලිබඳ කරුණුය. ඒවා එලියට එන්නේ සණ්ඩු සරුවල් වන අවස්ථාවන්හිදී පමණි. මේ චිත්‍රපටියේදී ඒ කරුණු කෙලින්ම ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒම ශ්‍රීලාංකික ප්‍රේක්ෂකයා විසින් කෙසේ බාරගනීද යන්න දැනගත නොහැක්කේ, එය බහුතර ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා විසින් නරඹා නැති බැවිනි. කෙසේ වෙතත් මේ චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කළහොත්, හුදු ලිංගික දර්ශන නැරඹීමෙන් කාමුක තෘප්තියක් බලාපොරොත්තු වන්නන්ගෙන්, සිනමාහල පිරෙන බව නම් කිව හැකිය. සම්මතයට පටහැනි ලිංගික චර්යා නොමැති සමාජයක්, ලොව කොතැනකවත් නැත. අනාගතයේ ඇතිවන්නේත් නැත. එහෙත් පෙරදිග සමාජය ආගමික ශික්ෂණය කෙරෙහි ඇති නැඹුරුවත්, සාම්ප්‍රදායික චර්යා පාලනය පිලිබඳ අනුගමනය කිරීම් නිසාත්, ඉවසා වදාරන කරුණු, මෙලෙස උලුප්පා දැක්වීම, අනුමත වේයැයි සිතීම උගහටය. එය කුහක කමක්ය යන තර්කයේ පැවැත්ම ඇත්තේ 50 ට 50 මට්ටමේය.
අවසාන වශයෙන් සාමාන්‍ය ශ්‍රීලාංකිකයකු ලෙසද, හිටපු යුද හමුදා නිලධාරියකු වශයෙන්ද අදහස් කීපයක් දක්වමි.
  • යුද්ධය පැවති සමයේ, එයට මැදිව සිටි සිංහල ගමක සිදුවන මෙවැනි සිදුවීම්, සටන් බිමෙන් එහාපැත්තේ තිබුණු දෙමල ගම්මාන වල සිදු නොවූවායයි, අධ්‍යක්ෂ වරයා සිතන්නේද?
  • සිංහල දෙමල ජාතීන් දෙකම සම්මිශ්‍රණය කොට මේ නිර්මාණය කලානම් ප්‍රේක්ෂක ග්‍රහණය මීට වඩා වැඩිවීමට ඉඩ ඇති බව අධ්‍යක්ෂ වරයා නොසිතන්නේද?
  • යුද හමුදාව හුදෙක් තම අධිපතිවාදය ගම්මුන් වෙත පටවාගෙන සිටි අතර යුද්ධය වෙනුවෙන් කල කිසි දෙයක් නැති බවත් අධ්‍යක්ෂ වරයාගේම වචන වලින් කිවහොත් ‘බඩු ගැහීම’ හැර වෙනත් යමක් නොකළ බව, ප්‍රේක්ෂකයාට හැඟෙන පරිදි මේ නිර්මාණය කිරීම, එක අතකට අසාධාරණ බව නොසිතේද?
  • ග්‍රාමාරක්ෂක භටයා යනු, යුද හමුදාවේ ගැරහීමට පරිභවයට ලක්වන, යුද හමුදාවේ ඔනෑ එපාකම් ඉටු කිරීමට බැඳී සිටින ප්‍රවේනි දාසයෙක්ය යන සම්පූර්ණයෙන්ම වැරදි අදහස අධ්‍යක්ෂකගේ ඔලුවට දැම්මේ කවුද?
  • යුද හමුදාව ග්‍රාමාරක්ෂකයන් ලවා මිනී මැරවූ බව කවුරුන් විසින් අධ්‍යක්ෂ වරයාට දුන් ‘ගොන්පාට්’ අදහසක්ද. (මරන්නට අවශ්‍යමනම්, මරන්නට කිසිම හමුදාවක් පැකිලෙන්නේ නැත. නොමරුවොත් සිදුවන විනාශය බරපතල නිසා. ඒ සඳහා ග්‍රාමාරක්ෂකයකු ලවා පොල්ලෙන් ගැස්සවීමට වඩා ‘දියුණු ක්‍රම’ යටත්පිරිසෙයින් තුනක්වත් අධ්‍යක්ෂවරයා දන්නවා ඇත.)
  • සිනමානුරූපී සංකේතයක් ලෙස ගමේ සැරිසරන යුධ ටැංකිය මගින් හමුදා අධිපතිවාදය පෙන්වූවත්, දැන්කාලයේ මේ චිත්‍රපටිය මෙහි පෙන්වූවානම්, ත්‍රිවිධ හමුදාවේ කීදෙනෙක් මෙය බලා හූ කියයිද? හේතුව තනි යුද්ධ ටැංකියක් කිසි විටකත් මුර සංචාරයේ යෙදීම යුධ ටැංකි යෙදවීම පිලිබඳ මූලික න්‍යාය බිඳ දැමීමකි. එමෙන්ම ග්‍රාමාරක්ෂක භටයා පැළඳ සිටින නිල ඇඳුමේ ‘ලෙනියාඩ්’ එක ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නාහ සන්නද්ධ බලකායට අයත් එකකි. ග්‍රාමාරක්ෂක භටයන් අඳින වෙනම ලෙනියාඩ් එකක් තිබේ. යුද හමුදා භටයන් ඇඳ සිටින නිල ඇඳුම්ද සමහර විට පෙනෙන්නේ එල්. ටී. ටී. ඊ. නිල ඇඳුම් මෙනි. යුද හමුදාවෙන් උපදෙස් ගැනීම තම තත්වයට මදිකමක් යයි අධ්‍යක්ෂවරයා සිතුවාද?
  • අධ්‍යක්ෂවරයා බොළඳ මනොලෝකයක  සිටින්නකු බව පෙන්වන එක් සිද්ධියක් වන්නේ, හෙලිකොප්ටරයක ගමන්කිරීම, දෙයියෙකු තමන් සමග ගුද ලිංගික සංසර්ගයේ යෙදීම (චිත්‍රපටියේ දෙබස ලෙස ඇත්තේ මා මෙහි ලිවීමට අකමැති කුණුහරුපයකි)  තරම් සැපක් යයි සොල්දාදුවා ග්‍රාමාරක්ෂකයාට කීමයි. අධ්‍යක්ෂවරයා මේ මෝඩ සිතුවිල්ලට ආවේ කොහෙන්ද? ඔබ යටත්පිරිසෙයින් සොල්දාදුවන් කීප දෙනෙකු සමගවත් සාකච්ඡා කලාද? යුද සමයේදී හෙලිකොප්ටරයේ යාම කිසිසේත් සතුටක් නොවේ. හෙලිකොප්ටර ප්‍රධාන වශයේ යොදාගත්තේ,
  • 1. හදිසි ආධාර, අහාරද්‍රව්‍ය, ප්‍රවාහනය.
  • 2. නිවාඩු යන/එන සෙබළුන් කෙටි දුර ප්‍රවාහනය. (මිසයිල් තර්ජන මැද මේ ගමන යාම අධ්‍යක්ෂවරයා කියන අහවල් සැප දෙන්නක් නොවේ.)
  • 3. තුවාල ලැබූ සොල්දාදුවන් ක්ෂේත්‍ර රෝහල් වෙත ගෙනයාම සඳහාය. සොල්දාදුවන් හෙලිකොප්ටරවල හෝ ගුවන් යානාවල ගියේ විනෝද ගමන් නොවේ. ඇත්ත දන්නෝ දනිති. අධ්‍යක්ෂ වරයා එතනදීනම් හමුදාවට එල්ල කර ඇත්තේ සමාව දිය නොහැකි අපහාසයකි.
  • චිත්‍රපටියේ ඇති දර්ශන වලට අදාලව නිරුවත් සහ ලිංගික සංසර්ගය දැක්වෙන දර්ශන ඇතුලත් කිරීම සාධාරනයි සිතිය හැකි වුවද වයසක ග්‍රාමාරක්ෂක භටයා නිරුවත් කරන්නේ කුමකටද?

25 January 2012

Those who drink


Those who drink get drunk
Those who drunk goes to sleep
Those who goes to sleep does not sin
Those who does not sin goes to Heaven
So let’s all dink and go to Heaven
* Please note that this is only for fun and not to promote alcoholism.

24 January 2012

බෙරේ නම් නැහැ කේස් එක තියනවා


  නවක සොල්දාදුවන්ට, යුද හමුදාවට බැඳුනු පසු, තම බඩු බාහිරාදිය දමාගැනීම සඳහා, සිලින්ඩරාකාර හැඩයකින් යුත්, කැන්වස් රෙද්දෙන් මැසූ, විශාල බෑගයක් ලැබේ. සිංහලෙන් ‘ඔලොගු කට්ටලය’ ඉංග්‍රීසියෙන් (Duffle Bag) යනුවෙන් හැඳින්වෙන මෙය අලියකුගේ පාදයේ පහළ කොටස මෙන් පෙනෙන නිසා, ‘අලි කකුල’ යන ජනප්‍රිය නාමයෙන්, යුද හමුදාවේ සියලු දෙනා අතර ප්‍රචලිතය. මෙය කොතරම් විශාලද යත්, උඩරට ගැට බෙරයක් එහි පහසුවෙන්ම දැමිය හැකිය. එමෙන්ම සොල්දාදුවකු පළඳින එක් හිස්වැස්මක් වන්නේ ‘බෙරේ’(Beret) යනුවෙන් හැඳින්වෙන හිස්වැස්මයි. (සමහර නිලධාරීන් පවා මෙය ‘බෙරෙස් එක’ යනුවෙන් හඳුන්වන්නේ නොදන්නාකම නිසාය. නිවැරදි නම වියයුත්තේ ‘බෙරේ එක’ යන්නය.) සමහර අවස්ථා වලදී, සොල්දාදුවකු සතුව, මෙසේ යුද හමුදාවෙන් නිකුත් කරන සියළු උපකරණ තිබේද යන්න, පුහුණුකිරීම් භාර උපදේශකයන් විසින් පරීක්ෂා කරනු ලැබේ. මේ එවැනි එක් දිනයකි. සියළු දෙනා පෙළගස්වා, පරීක්ෂණය සිදුවෙමින් පවතින අතරතුර, එක් උපදේශකයෙක් ‘කෝ තමුන්ගේ බෙරේ එක?’ කියා ආධුනික සොල්දාදුවකුගෙන් විමසීය. බෙරයක් ගැන ඔහුට හාන්කවිසියක් නැත. නමුත් බෙරයක් වුවත් දැමිය හැකි මල්ලක් තිබෙන බව මතක් විය. සොල්දාදුවා වහාම පිළිතුරු දුන්නේය. ‘බෙරේ නම් ලැබුනේ නැහැ කෝප්‍රල්, එත් බෙරේ දාන කේස් එකනම් ලැබුනා’ ඔහු තම ඔලොගු කට්ටලය පෙන්වමින් කීය.

23 January 2012

නිළ ඇඳුමෙන් සිටි කාලේ 7

Quantcast


  නුවරඑළිය යුද හමුදා කඳවුර පිහිටුවා ඇත්තේ 1969 වර්ෂයේදී බව මීට පෙර කොටසේ සඳහන් කළා ඔබට මතක ඇති සිතමි. මේ භූමියේ මුලින්ම පිහිටුවා තිබෙන්නේ ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව පවතී සමයේදී නුවරඑලිය ප්‍රදේශයේ තිබුණු තේ වතුවල සේවය කල බ්‍රිතාන්‍ය ජාතික වතු පාලකයන්ගේ දරුවන් සඳහා පාසලකි. ඒ 1940 දශකයේය. ඒ පාසල හඳුන්වා ඇත්තේ ‘හිල් ස්කූල්’ (Hill School) යනුවෙනි ඒ නාමය කොතරම් ස්ථාවරවී තිබේදැයි කිවහොත් අදටත් හිල් ස්කූල්, නුවරඑළිය යන ලිපිනයට එවන ලිපි නොවැරදීම කඳවුරට ලැබේ. ඒ කාලයේ පාසල් දරුවන් පාසල් භූමියේ සිටින ආකාරය දැක්වෙන ඡායාරූප තවමත් කඳවුරේ ඇත.

  1990 දශකයේදී පවා බ්‍රිතාන්‍යයේ සිට සංචාරකයන් ලෙස පැමිණි මේ පාසලේ ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් මම දැක ඇත්තෙමි. ඔවුන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් විශේෂ අවසරය මත මෙහි පැමිණ කඳවුරු භූමිය පුරා ඇවිදිමින්, ‘මේ අපේ පන්තිය තිබුණු තැන, මේ අපි ක්‍රීඩා කල තැන’ ආදී වශයෙන් එක් එක් ස්ථාන පෙන්වන අතර සමහරු සමුගන්නේ කඳුළු පිරි දෙනෙතිනි. නුවරඑළිය යුද හමුදා කඳවුර ශ්‍රී ලංකාවේ යුද හමුදා කඳවුරු අතරින්, ස්ථානගතවීම අනුව, ඉතාම අලංකාර ලෙස ස්ථාන ගතවී ඇති කඳවුරක් බව අවධාරණය කල යුතුය. මෙහි ඇති රෝස උයන ශ්‍රී ලංකාවේ ඇති රෝස උයන් අතරින් සුවිශේෂී රෝස උයනකි. සෑම වසරකම නුවරඑළියේ පැවැත්වෙන වසන්ත උත්සවයේදී මේ රෝස උයනට, රාජ්‍ය අංශයේ රෝස උයන් තරගයෙන් පළමුවැනි ස්ථානය ලැබුණු වාර ගණන බොහෝය.

  මෙහි උයන්පාලක ලෙස සේවය කළේ ඒ විෂයය පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති ‘වේලු’ නමැති ද්‍රවිඩ ජාතිකයෙකි. උදේ පාන්දරින්ම මොන කාලගුණ තත්වයක් තිබුනත් ඔහු කඳවුරට පැමිණෙයි. වැඩ අධිකනම් ඔහු සිය බිරිඳ හා දරුවන්ද ඇත උදව්වට කැටුව එයි. රෝස මල් ගැන ඇති දැනුම මෙන්ම ඔහුගේ ඉංග්‍රීසි දැනුමද විශිෂ්ඨය. උයනේ ඇති රෝසමල් පිළිබඳව ඔහු කරන විස්තර අප පුදුමයට පත්කරන අතර උද්‍යාන පාලනය ගැන කිසිදු උසස් අධ්‍යාපනයක් නොලබා ප්‍රයෝගික දැනුමෙන් හා මතකයෙන් ඔහු මේ උයන නඩත්තු කරන ආකාරයද විශ්මයජනක විය. මේ උතුම් මනුෂ්‍යයා අද ජීවතුන් අතර නැත. 1991 වර්ෂයේදී මෙම උයනට රාජ්‍ය අංශයේ තරගයෙන් ප්‍රථම ස්ථානය ලද අවස්ථාවේදී අපගේ බල ඇණියේ අණදෙන නිලධාරී වරයා නියෝජනය කරමින් මම ජය සංකේතය භාර ගතිමි. වේදිකාවෙන් බසින විට මා දුටුවේ ලස්සන සුදු සරමකින් සහ අළු පැහැති ජර්සියකින් සැරසී කුඩා දරුවකු මෙන් සතුටින් අත්පොලසන් දෙන වේලු ය.


මම වහාම ජය සංකේතය ඔහුගේ අතට දුනිමි. ඔහු සතුටු කඳුළු හෙලනු මම දුටිමි.


වේලු මෙන්ම අපගේ නිලධාරීන් අතර වඩාත් ප්‍රියතම පුද්ගලයකු විය. ඒ නිලධාරී නිවස්නයේ ප්‍රධාන සූපවේදියා වූ ‘ෂෙල්ටන්’ ය. ඉතා නිහඬ පුද්ගලයකු වූ ඔහුගේ ඉවුම් පිහුම් ගැන වර්ණනා කරන්නට මට හැකියාවක් අැතැයි මම නොසිතමි. අපේ බලඇණිය වවුනියාව ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටි අවධියේදී ඔහු වරක් විදේශීය අමුත්තන් පිරිසක් වෙනුවෙන් සකස් කල භෝජන, එම විදේශිකයන් විශ්මයට පත් කළේ, එවැනි ප්‍රදේශයකදී එවැනි ආහාර වර්ග කෙසේ සැකසූයේද යන්න සිතාගත නොහැකිවය. මේ විශිෂ්ටයාද අප අතරින් 2008 වසරේදී සමුගත්තේය. මීළඟ කොටසෙන් තවත් විස්තර. . . .

දන්නවද මම කවුද කියලා


අලුතෙන් හමුදාවට බැඳුනු සොල්දාදුවන් පුහුණුවට ආවේ තරමක් උස මහත, එමෙන්ම දරදඬු, සාජන්ට් වරයෙකි. සොල්දාදුවන් සරඹ පිටියේ පෙළ ගැස්වූ ඔහු, නවක සොල්දාදුවන්ට තමාව හඳුන්වා දුන්නේ මෙසේය. ‘මම සාජන් ‘ගල්ගෙඩියාන’. හොඳට මතක තියාගන්නවලා, මම මගේ නමටත් වැඩිය තදබල මිනිහෙක්’ ඉන්පසු ඔහු එක් එක් සොල්දාදුවන්ගේ නම විමසමින් පේලිය දිගේ ගියේය. පුංචි කැහැටු සොල්දාදුවෙක් පේලිය කෙලවරේම සිටියේය. ‘මොකක්ද ළමයා තමුන්ගේ නම? සාජන්ට් විමසුවේය. බයෙන් ගැහෙමින් ඔහු තමන්ගේ නම කිව්වේය. මම ආධුනික සෙබල ‘ගල්කඩුව’ සාජන්.

22 January 2012

ඉස්කෝලේ යන කාලේ 7

Quantcast

ඉස්කෝලේ යන කාලේ 6 වැනි කොටසෙන් මා ඔබට කිව්වේ අපේ නගරයේ තුබුණු මාර ගසක් (පච ගහ) පිලිබඳ මගේ මතකයන්ය. මෙවැනි පච ගස් තුනක් අපේ නගරයේ තිබුණි. එයින් පළමුවැන්න පසුගිය ලිපියෙන් මම ඔබට හඳුන්වා දුනිමි. දෙවැනි පච ගස තිබුනෙ මේ නගරයේ පැරණි රෝහල් භූමියේය. අද එම භූමිය අධිකරණ සංකීර්ණය බවට පත්ව ඇත. 1960 දශකයේදී අපේ නගරයට නව රෝහල් සංකීර්ණයක් ලැබූනි. අද එය ශික්ෂණ රෝහලකි. එම රෝහල විවෘත කරන ලද දිනයේ පාසල් සිසුන් විසින් ඉදිරිපත් කල ආචාර පෙළපාලියේ අපේ පාසල් ඛණ්ඩය අණ දුන්නේ ගරු මම තුමා විසිනි. පැරණි රෝහල් භූමිය තවත් විශ්මලන්තයකි.

ඇත්තෙන්ම මම ඒ භූමියට මුලින්ම පිවිසුනේ මගේ මව මට බාලම සහෝදරයාට උපත දීම හේතුවෙනි. අම්මා නැතිව දින දෙක තුනක් මා ගතකලේ දැඩි වේදනාවකිනි. අලුත උපන් රෝසපාට පුංචි එකාද සහිතව අම්මා ගෙදර එනු මට අද වගේ මතකය. හැබැයි ඒ පුංචි එකා අපි හැම හඬවා 2002 දී හදිසි අනතුරකින් අප හැර ගියේය. මේවා දකින්නට ඒ වනවිට මගේ දෙමවුපියන් ජීවතුන් අතර නොසිටීම ඔවුන්ගේ වාසනාවකි. රෝහලේ පච ගහ ළඟ ‘රටේ වෙද්දු’ පිරී සිටියහ. එකල්හි ඔවුන් නොකළේ ශල්‍යකර්ම පමණි. සර්වාංග රෝග විශේෂඥයන් වූ ඔවුන් අත ඕනෑම රෝගයකට ප්‍රත්‍යක්ෂ ඔෳෂධ තිබුණි. මේ ඔෳෂධ වෛද්‍ය වරුන්ට හොරෙන් තම රෝගීන්ට දීම හේතුවෙන් කී දෙනෙක් රැකුනේද නැසුනේද යන්න මම අදටත් නොදනිමි. තුන්වැනි පච ගස තිබුනේ අද පොලිස් ස්ථානය පිහිටා තිබෙන, එකල අධිකරණ සංකීර්ණය වූ භූමියේය. එහි වැඩිපුරම සිටියේ අධිකරණය වෙත ‘ඔප්පු කිරීම’ සඳහා පෙත්සම් ලියන අයවලුන් (ටයිප් රයිටරයක් කුඩා බංකු කැබැල්ලක් මත තබාගෙන සිටින මොවුන් දිවුරුම් පෙත්සම් ආදිය ටයිප් කර දීමෙන් අහිංසක ගැමියන් ගසා කෑවේ නිර්දය ලෙසිනි.) ‘ගොඩ පෙරකදොරුවන්’ සහ නීතීඥයන්ගේ තැරැවුකරුවන් ය. ඒ සමග අත බලා සාස්තර කියන අයවලුන් මෙන්ම තවත් ‘සේවා’ සපයන්නන්ද වූ බව මා දැනගත්තේ පාසලෙන් අස්වූ පසුවය.
එකල ‘කළු ජේන්’ නමින් කුප්‍රකට කාන්තාව විසින් මුදල් පොලියට දීමට අමතරව, ගංජා සුරුට්ටු, කසිප්පු, පමණක් නොව ගණිකාවන්ද අවශ්‍ය අයට සැපයූ බව ම දැනගත්තේ, මගේ විමර්ශනශීලී මිතුරන්ගෙනි. ඇගේ ‘අතීසාර’ මිතුරියක් වූ ‘රැසිලින්’ එකල කුප්‍රසිද්ධ ගණිකාවක් වුවද, කිසි දිනක පොලිස් අත්අඩංගුවට පත්වූ බවක් මා අසා නැත. රැසිලින් වර්ණයෙන් කළු වුවද අතිශයින් ‘දැකුම්කළු’ බව මට හොඳට මතකය. (එකල මගේ වයස අවුරුදු 16 ක් වුවද ‘රස වින්දනය’ ඉහල මට්ටමක පැවතුන බව සහතික කල හැකිය) උසාවිය ළඟ පච ගස අරක්ගත් සාස්තර කාරයන් අතර අපේ ගෙදර අය විසින් ‘ශාස්ත්‍රම්’ නමින් හැඳින්වුණු පුද්ගලයකු විය. ඔහු කිසියම් ස්නායු රෝගයකින් පෙළුණු අතර ගමන් කළේ අඩි දෙකතුනකට වරක් මග නවතිමිනි. ඔහුගේ බිරිඳ ඔහුගේ අතින් අල්ලාගෙන ගමන් කළාය. පච ගස යටදී ඔහු තරම් දක්ෂ ශාස්ත්‍රඥයෙක් මෙලොව නොවීය.

මම මීට පෙර ලිපියෙන් කියූ පච ගස අසල තිබුණු සිනමා ශාලාව අද පෙම්වතුන් අතර වඩාත් ජනප්‍රියය. එයට සුවිසේශී හේතුවක් ඇත. මුල් කාලයේදී මේ සිනමාහලට බැල්කනියක් නොතිබුණි. 1970 දශකයේදී බැල්කනියක් ඉදිවූ අතර එම සිනමා ශාලාවේ ප්‍රක්ෂේපණ යන්ත්‍රය පිහිටා ඇත්තේ බැල්කනියට පහළිනි. මේ නිසා චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරන විට බැල්කනිය සම්පූර්ණයෙන් අඳුරුය. ඒ නිසා මේ සිනමාහල පෙම්වතුන් අතර ඉතා ජනප්‍රියය. තවත් විස්තර පසුව. . . . ..

21 January 2012

නිළ ඇඳුමෙන් සිටි කාලේ 6


යුද හමුදාවට බැඳී, පුහුණු පාසලකින් මූලික පුහුණුව ලබා, කිසියම් යුද හමුදා රෙජිමේන්තුවකට එක්වන සොල්දාදුවන්ට, පශ්චාත් මූලික පුහුණුවක් ලබා දෙන බව, මීට පෙර මා, නිළ ඇඳුමෙන් සිටි කාලේ ලිපියකදී සඳහන් කළා ඔබට මතක ඇතැයි සිතමි. මූලික පුහුණුව පමණක් ලැබූ සොල්දාදුවකු කිසි විටකත් යුද බිමේ සටන් සඳහා එක වරම යොමු කරන්නේ නැත. තව දුරටත් ඔහුගේ චිත්ත ධෛර්යය, ආත්ම විශ්වාසය සහ පාබල සොල්දාදුවකු තුල තිබිය යුතු සුවිශේෂී ගුණාංග වර්ධනය කෙරීම සඳහා කෙරෙන පාඨමාලාවකින් පසුව පමණකි, ඔවුන් සටන් බිම වෙත යැවෙන්නේ.
එහිදීද මුලින්ම යොදවන්නේ පළපුරුදු අයගේ දැඩි අධීක්ෂණය යටතේය. මේ නිසා පශ්චාත් මූලික පුහුණු පාඨමාලාව දිවා රාත්‍රී අභ්‍යාස රාශියකින් යුත් අති සංකීර්ණ පාඨමාලාවක් වෙයි. කාන්තා බලකායට වූවද මෙය මෙසේමය. කෙසේ වෙතත් කාන්තා බලකාය කෙලින්ම සටන් බිමේ ඉදිරියට ගොස් පහර දීමේ රාජකාරි සඳහා යොදවන්නේ නැත. එහෙත් සතුරු ප්‍රහාර වලදී ඔවුන් නොබියව සටන් කල අයුරු මම කීප විටක්ම දැක ඇත්තෙමි. නුවරඑලිය ප්‍රදේශය පශ්චාත් මූලික පුහුණුව සඳහා යොදා ගන්නේ මා අයත්ව සිටි රෙජිමේන්තුව පමණක්ම නොවේ. කොමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය වැනි රෙජිමේන්තුද මේ ප්‍රදේශයේ අභ්‍යාස සඳහා වරින්වර පැමිණෙයි. පශ්චාත් මූලික පුහුණු පාඨමාලා කීපයකම උපදේශක නිලධාරියකු ලෙස මා සේවය කල අතර ඒ පාඨමාලා හා බැඳුනු ඉතා රසවත් අත්දැකීම් රාශියක් මා සතුවෙයි.
මාර්ග බාධකයක් දමා මගීන් සහ වාහන පරීක්ෂා කරන ආකාරය පුහුණු කිරීම, පුහුණුවේදී සොල්දාදුවන්ට උගන්වන, එක වැදගත් කාර්යයක් වෙයි. ඔබ සියලු දෙනා ජීවිතයේ එක්වරක් හෝ ආරක්ෂක හමුදා මාර්ග බාධකයක් හරහා ගොස් ඇතැයි සිතමි. මේ මාර්ග බාධකයක් යොදවන්නේ මෙහි විස්තර කල නොහැකි, සංග්‍රාමික මූලෝපාය (battle tactics) පදනම් කරගෙනය. එය නිකම් ආවාට ගියාට කලොත් ප්‍රතිඵලයද ආවාට ගියාට ප්‍රතිඵලයක් වෙයි. ඒ නිසා සියලු උපදෙස් සෑම විටම අකුරට පිළිපැදිය යුතු අතර, එක උපදෙසක්වත් අඩුවෙන් හෝ වැඩියෙන් ඉටු නොකිරීමට වග බලාගත යුතුය.
පුහුණු උපදේශක මණ්ඩලයට අයත් කාර්යක්ෂම එමෙන්ම සෙබළුන්ට තරමක් අනුකම්පා විරහිතව සැලකූ කෝප්‍රල් වරයෙකි ‘කෝප්‍රල් වික්ටර්’. ඔහු සියල්ල අකුරට කරන නියම පාබල සොල්දාදුවෙකි. එක්තරා පාඨමාලාවක දී මාර්ග බාධකය පිලිබඳ මූලධර්ම ඇතුලත් දේශනය අවසන් කල මම, එහි ප්‍රායෝගික කොටස, නවක සොල්දාදුවන්ට කරවීම සඳහා, සියල්ල සූදානම් කරවූයෙමි. කෝප්‍රල් වික්ටර් සහ අනෙකුත් උපදේශක මණ්ඩලය මේ සඳහා යුහුසුළු වූහ. ‘තමන් දන්නා කෙනෙක් වුනත් මාර්ග බාධකය හරහා යන්න අවොත් පරීක්ෂා කරන්න ඕනේ හරිද?’ එතකොට යාලු මිත්‍රකම් දැන හැඳුනුම්කම් මොකවත් නැහැ. මහත්මයා කවුද, කොහෙද යන්නේ එහෙම තමයි අහන්න ඕනේ හරිද?’ කෝප්‍රල් වික්ටර් උපදෙස් දෙනු මම අසාගෙනය. ‘හරි කෝප්‍රල්’ කියා සිසුන් සියලු දෙනා එකවර මහා හඬින් කියූහ. ඒ ඔවුන් එක අණක් යටතේ ක්‍රියා කිරීම සඳහා හැඩගස්වන එක ක්‍රමයකි. කෝප්‍රල් වික්ටර් මාර්ග බාධකය යෙදෙව්වේ නුවරඑලිය නගරයේ වැව අසළ පිහිටි වයි අකුරේ හැඩයට තිබෙන ‘වයි’ හන්දියේය. මමද එහි ගොස් පුහුණුව පරීක්ෂා කරමින් සිටියෙමි. සියල්ල ඉතා හොඳින් සිදුවේ. ‘යුද හමුදා අභ්‍යාසයකි’ යන දැන්වීම් පුවරු යොදා තිබුනත්, සාමාන්‍ය මාර්ග බාධකයක මෙන් සියල්ල සිදුවූ අතර මහජනතාවගෙන්ද වාහන රියදුරන්ගෙන්ද අවශ්‍ය සහාය නොමඳව ලැබුණි. ඔය අතරේ මා ලඟට පැමිණි කෝප්‍රල් වික්ටර් ‘සර් මම ටක් ගාලා සිවිල් ඇඳුමක් ඇඳගෙන බස් එකක එල්ලිලා එන්නම්, බලමු මුන් මාව චෙක් කරන හැටි’ කිව්වේය. ‘ඒක හොඳයි, බලමු, අපි කිව්වනේ මාර්ග බාධකයකදී දැන හැඳුනුම්කම් නැහැ කියලා’ මම කිව්වෙමි. ඔහු වහාම නොපෙනී ගියේය. විනාඩි 10 කට පමණ පසුව වැලිමඩ බලා යන බස් රථයක් මාර්ග බාධකය වෙත පැමිණි අතර සොල්දාදුවෝ කඩිනමින් නිසි පිළිවෙතට අනුව මගීන් හා බස් රථය පරීක්ෂා කරන්නට විය. සිවිල් ඇඳුමෙන් සැරසුන කෝප්‍රල් වික්ටර් බස් රථයෙන් බැස්සේ මේ වේලාවේදීය. ඔහු දුටු ගමන් එක් සොල්දාදුවෙක් ‘ගූඩ් ආෆ්ටර්නූන් කෝප්‍රල්, කොහෙද යන්නේ’ කියා විමසීය. ‘යනවා. . . . . . . . . . . . . . . . (දන්නවනේ, මෙතන ලියන්න බැහැ)’ කියූ කෝප්‍රල්, ‘මට සමාවෙන්න සර්, මගේ වචන වලට. මටනම් තේරෙන්නේ නෑ සර් කොහොම කියලා දෙන්ඩද කියලා’ යනුවෙන් පවසා ඉවතට ගියේය. මට මගේ සිනහව සෑහෙන වෙලාවක් යනතුරු නවත්වා ගත නොහැකි විය.

එහෙනම් සර් . . . . .

Quantcast

මම ඒ කාලයේ සිංහල විෂයය ඉගැන්වූයේ අ.පො.ස.සාමාන්‍ය පෙළ පන්ති වලටයි. එක දිනක් විදුහල්පතිතුමා හදිසියේම ගුරුවරුන්ගේ විවේක කාමරයට ආවේ මාව හොයාගෙන. ‘අනේ බලන්නකෝ මිස්ට . . . . . .අර හය බී පන්තියේ . . . . වතී ටීච අද ඇවිල්ලා නැහැනේ’. ‘අනේ මේ පීරියඩ් එකේ තියන සිංහල පාඩම කවර් කරලා දෙන්න පුළුවන් නේද? විමසීය. අපේ විදුහල්පතිතුමා ඔලුව උදුම්මාගත් පාලකයකු නොවේ. ඔහුගේ කාරුණික ඉල්ලීම් අපි කිසිවකුත් කවරදාකවත් ප්‍රතික්ෂේප නොකළෙමු. නියෝග වශයෙන් දිය හැකි දේ පවා ඔහු ඉදිරිපත් කලේ කාරුණික ඉල්ලීම් හැටියටය. මේ නිසා ඔහුට අපගේ පූර්ණ සහයෝගය ලැබීම පාසලේ දියුණුවට හේතු විය.
‘හය බී’ පන්තියට මා ආසාවෙන් ගියේ පොඩි එවුන්ට පාඩමක් කියාදීම කෙසේ වෙතත්, කතන්දරයක් හෝ කියාදී ඔවුන් පන්තිය තුළ නිහඬව තබා ගැනීමටයි. පන්තියට ගිය මා විමසූයේ අද මොනවද කරන්නේ කියාය. පුංචි පන්තියකින් ප්‍රශ්නයක් ඇසුවොත් මුළු පන්තියම වහලයේ උළු උඩ යන තරම් මහා හඬින් සියලුදෙනා එකවර පිළිතුරු දෙයි. ‘ඊයේ ගෙදරදී කරපු දේවල් ලියාගෙන එන්න කිව්වා’ කන් පැලෙන හඬින් පිළිතුරු ලැබුණි. නැවත ප්‍රශ්න නොඇසිය යුතුයි සිතාගත්තේ අහල පහල පන්ති වලට බාධා නොකිරීම සඳහාය. ඉදිරි පෙලේ සිටින හුරුබුහුටි පැටික්කියක් මට ඇයගේ අභ්‍යාස පොත දිගු කරගෙන සිටී. ‘කෝ ගෙන්න බලන්න ඔයාගේ පොත’ මම කිව්වෙමි. කෙල්ල තප්පරයකින් මා ලඟට ආවාය. ඊයේ කල දේවල් ලස්සනට ලියලාය. නමුත් අන්තිම වාක්‍යයේ වැරැද්දක් තිබේ. ඇය ලියා තිබුනේ ‘මම ඊයේ රෑ අම්මා ළඟ නිදා ගත්තාය’ කියායි. ‘එහෙම නෙවෙයි ළමයෝ මම ඊයේ රෑ අම්මා ළඟ නිදා ගත්තෙමි’. මම කිව්වෙමි. කෙල්ල පුදුමව මාදෙස බැලුවාය. ‘ආ එහෙනම් මට නින්ද ගියාට පස්සේ සර් එන්ඩ ඇති’ එක වරම කිව්වාය.

20 January 2012

මෙහෙම ගිහින් කොහෙද යන්නේ 2

මෙහෙම ගිහින් කොහෙද යන්නේ ලිපි මාලාවේ පළමුවැන්න මා අවසන් කලේ, සමහරු, භාෂාව ස්කොෂ් පන්දුවක් මෙන් භාවිත කරන බව හා ‘එදාවේල ක්‍රමයට’ භාෂාව යොදාගන්නා බවද සඳහන් කරමිනි. භාෂාව නමැති මෙවලම පන්දුවක් මෙන් පහරදෙන හෝ දමා ගසන දෙයක් නොකරගෙන, වයලීනයක් මෙන් වැයීමෙන්, ඉමිහිරි වින්දනයක් ගෙනදෙන මෙවලමක් බවට පත්කරගැනීමට, අප සියලුදෙනා එක්ව ක්‍රියා නොකළහොත්, එහි අනිටු පල විපාක අත්විඳින්නේ අනාගත පරපුරයි.
කිසියම් පුද්ගලයකුට තම උපත සහ පරම්පරාව ගැන පැහැදිලි විස්තරයක් කල නොහැකිනම්, අවුලට පත්වන්නේ ඔහුගේ අනන්‍යතාවයි. සමාජ තත්වය දෙවනුව සමහර විට අවුල් විය හැකිය. මොහොතකට සිතන්න, උපතේ ප්‍රශ්නයක් නිසා උප්පැන්න සහතිකයක් ලබාගත නොහැකි පුද්ගලයකුට, තම ජීවිත කාලය පුරාවට කෙබඳු විඳවීම් රැසකට මුහුණ දීමට සිදුවේද? කිසියම් භාෂාවක් එහි මූලාරම්භය වැනසෙන පරිදි වර්ධනය වූවොත්, එම භාෂාවේ අනන්‍යතාවද එලෙසින්ම වැනසී යයි.
සෑම භාෂාවකටම කාලීන අවශ්‍යතා අනුව හෝ දේශපාලනමය බලපෑම් (යටත් විජිතයක්ව පැවතීම වැනි) නිසා හෝ වෙනත් භාෂාවල වචන එක්වෙයි. හොඳම උදාහරණය වන්නේ සිංහල භාෂාවට එක්වී ඇති පෘතුගීසි, ලන්දේසි සහ දෙමළ වචනය. දීර්ඝ කාලයක් භාවිතයේ පවතින එම වචන නිසා සිංහල භාෂාවේ හෝ සිංහල ජාතියේ අනන්‍යතාවට එතරම් හානියක් සිදුවී ඇති කිව නොහැකිය. මන්ද භාෂා ව්‍යවහාරය මෙන්ම සාහිත්‍ය නිර්මාණ තුලින්ද එම අනන්‍යතාව මනාව සුරකින බැවිනි. එහෙත් භාෂාව සහ සාහිත්‍යය ව්‍යවහරිකයන්, අයාලේ යන්නේනම්, තම භාෂාවේ මූලාරම්භය අමතක කරන්නේනම්, ඕනෑම යෙදුමක් ‘අපිට හොඳනම් පාවිච්චි කලාට මොකද’ යන සංකල්පය තුළ පිහිටා ක්‍රියා කරන්නේනම්, ඒ භාෂාව සතු සුවිශේෂී අනන්‍යතා ලක්ෂණ තවදුරටත් රැඳෙයිද? එසේ නොරැඳීම ඒ භාෂාව විකෘති වීමට සහ වෙනත් භාෂාවල ලක්ෂණ ඉස්මතුවී පෙනීමෙන් ඒ ජාතියේ අනන්‍යතාවට පවා හානි වීමට ඉඩ ඇති බව නොපිළිගත හැකිද? ලෝකයේ සමහර භාෂා ලියන්නට අකුරු නැත.
උදාහරණයක් වශයෙන් ෆිලිපීන භාෂාව ලිවීම සඳහා යොදාගන්නේ ඉංග්‍රීසි අකුරුය. ෆිලිපීනය කෙරෙහි බලපෑ විදේශ බලවේගයන්හි තරම එයින් පිළිබිඹු වෙයි. එය භාෂාව සහ සංස්කෘතිය කෙරෙහි ඇතිකළ බලපෑමේ ප්‍රතිඵල ෆිලිපීනය අද අත් විඳින්නේ ඒ ආකාරයෙනි. අපි අද සිංහල භාෂාව ව්‍යවහාර කිරීමේදී ඉංග්‍රීසි වචන කලවම් කරමින් කතා කරන්නේ සිංහල වචන හිගයක් නිසා නොවේ. පුහු සමාජ තත්වයක් පෙන්නුම් කිරීමටය. එසේ කතාකරන්නන්ගෙන් බහුතරය, ඉංග්‍රීසි භාෂාව සතුටුදායකව හැසිරවිය හැකි අයවළුන් හෝ පැහැදිලි සිංහල භාෂාවෙන් කතාකල හැකි අයද නොවෙති. මේ ‘අච්චාරු’ භාෂා විලාශයේ අනිටු ප්‍රතිඵල මොනවාද? භයානකම ප්‍රතිඵලය නම් බාල පරපුර එය අනුකරණය කිරීම හා එය නිවැරදි භාෂා විලාශය බව විශ්වාස කිරීමයි. ඉදින්, මෙලෙස තව එක පරම්පරාවක් ගතවූවොත්, සිංහල භාෂාව යනු, ඉංග්‍රීසි බසින් බිඳී අවෙකැයි යමෙකු නිගමනය කළද, එහි දොසක් දැකීමට නොහැකි වන්නේය.

සිංහල පුවත්පත් කලාව විකාශය වී ඇති ආකාරය සලකා බැලීමේදී තවමත් බස රැකෙන තත්වය සතුටුදායක මට්ටමක ඇතැයි කිව හැකිය. එහෙත් ජනප්‍රියත්වය, පාඨක ආකර්ෂණය, තකා කුණු සිංහල පද යොදන පුවත්පත් නැතුවාම නොවේ. කුඩු සමග දෙන්නෙක් ‘මාට්ටු’, ‘වයිෆ්’ ට හොරෙන් ‘ෆිල්ම්’ බලන්න ගිහිල්ලා, ‘මොබයිල්’ එකෙන් ‘ලව්’ කරද්දී ‘අතේකෝට්’, මේ පසුගිය කාලයේදී මා දුටු පුවත් සිරස්තල කීපයකි. මෙලෙස සිරස්තල යොදන්නෝ, පාඨක අවධානය ගැන පමණක් සිතා, තම මඩිය තරකර ගැනීමට දත කන අමනයන් විනා, පුවත්පත් කලාවේදීහු නොවෙති. වාර්තාකරුවෝද නොවෙති. වර්තමානයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තියක සිංහල උගන්වන ගුරුවරයකු සමග සාකච්ඡා කර බලන්න.
සැලකිය යුතු ළමුන් පිරිසක් මේ කුණු සිංහල නිවැරැදි සිංහල ලෙස සිතා සිටින බව පැහැදිලි වේ. ළමා මනස කා දමන්නට බලපෑ ප්‍රධානතම සාධකයක් ලෙස ජනප්‍රිය ව්‍යවහාරයේ ‘මල් පත්තර’ යනුවෙන් හැඳින්වුන අවර ගණයේ පුවත්පත් දැක්විය හැකිය. එම පුවත්පත් වලින් භාෂාව හා සංස්කෘතිය වෙත කරන හානිය සුළු පටු කොට තැකිය නොහේ. කෙසේ වෙතත් අද ඒවායේ ජනප්‍රියත්වය අඩුවනු දැකීම, ජාතියේ වාසනාවක් මෙන්ම ඒවා පිටු දකින්නට දරන ලද විවිධ උත්සාහයන් මල්ඵල ගැනීමකි. එහෙත් ඒ ගිනිදැල්ල වෙනත් වේශයකින් එනම් බහුමාධ්‍ය ජංගම දුරකථන සහ අන්තර්ජාල පහසුකම් තුලින් හිස ඔසවා තිබෙන්නේ මහා ව්‍යසනයක පෙරනිමිති පෙන්වමිනි. වර්තමානයේදී දිනපතා පුවත්පත් කියවන පාඨක සංඛ්‍යාව අඩු යයි සිතීම උගහටය.
මෑත කාලය තුළ දිනපතා සිංහල පුවත්පත් කීපයක්ම බිහිවිය. පුවත්පතක් පාඩුවට පවත්වාගෙන යා නොහැකිය. එහෙත් ඒ සෑම පුවත්පතකම පාහේ වැඩි නැඹුරුවක් ඇත්තේ ‘ඉල්ලන දේ’ දීමට බව පෙනීයයි. මෙය එතරම් හොඳ ප්‍රවණතාවක් නොවේ. විශ්ව විද්‍යාල සිසුන් පවා බාහිර කියවීම් වලින් ඈත්ව සිටින යුගයක පාසල් සිසුන් ඒ සඳහා යොමු කරවීම එතරම් පහසු නොවේ. කඩඉම් පැනීමේ අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව ගවේෂණශීලී අධ්‍යාපන ක්‍රමයක් එනතුරු සමස්ත ජීවන සෝදාපාළුව මගහරවා ගැනීම සිහිනයක් පමණකි.
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }