හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

30 November 2012

පරිගණකයට එරෙහිව කාරය – Car Vs Computer


  CAR Cartoonමුලින්ම කියන්න ඕනේ මෙය අන්තර්ජාලයේ දී මා විසින් කියවන ලද ඉංග්‍රීසි විකට කතාවක සිංහල පරිවර්තනය බව. මෙන්න මෙහෙමයි ඒ කතාව.
  මෑතකදී තිබුන නවීනතම පරිගණක ප්‍රදර්ශනයකට පැමිණුනා ‘බිල් ගේට්ස්’ එයා මේ ප්‍රදර්ශනයේදී කතාවක් පවත්වමින් පරිගණකය සහ මෝටර් රථය කියන දෙක සංසන්දනය කළා. ඒ මෙන්න මෙහෙමයි.
  “පරිගණක නිෂ්පාදනයේ තාක්ෂණික  දියුණුව හා සමාන වන ආකාරයට ඇමරිකාවේ ‘ජෙනරල් මෝටර්ස් ‘ සමාගමේ මෝටර් රථ නිෂ්පාදන තාක්ෂනය  දියුණු වුනා නම්  ඩොලර් 25 කට විතර මිලදීගතහැකි කාර් එකකින්, පෙට්‍රල් ගැලුමකින් සැතපුම් 1000 ක් විතර, යන්න තිබුනා”
  මේ ප්‍රකාශයට ජෙනරල් මෝටර්ස් සමාගමෙන් පුවත්පත් නිවේදනයකින් පිළිතුරක් ලැබුනා. ඒ මෙන්න මෙහෙමයි.
  image001‘මයික්‍රොසොෆ්ට්’ ආයතනය යන වේගයෙන් ‘ජෙනරල් මෝටර්ස්’ ආයතනයත් කටයුතු කලානම්, ජෙනරල් මෝටර්ස් වෙතින් වෙළඳපොළට එන වාහන, පහත දැක්වෙන ගති ලක්ෂණ වලින් යුක්ත වන්නට හොඳටම ඉඩ තිබුනා.
  • හේතුව කුමක්දැයි කිසිසේත් සිතාගත නොහැකි ලෙස, ඔබේ කාරය, යටත්පිරිසෙයින් දිනකට දෙවරක්වත්, ක්‍රියාකාරිත්වය බිඳ වැටීමකට ලක්වෙයි. (crash)
  • මාර්ග සංඥා සහ පාරේ සුදු ඉරි අලුතෙන් අඳින සෑමවිටම ඔබට අලුත් කාරයක් ගන්නට සිදුවෙයි.
  • ඉඳහිට ඔබ කාරය දකුණට හෝ වමට හැරවීම වැනි ක්‍රියාවක නිරත වෙද්දී බලාපොරොත්තු රහිතව කාරය ස්වයංක්‍රීයව නැවතී, (Auto Shutdown) නැවත පණගැන්වීම (Restart) ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබේ. මෙම ගැටලුව විසඳාගැනීම සඳහා ඔබට කාරයේ එන්ජිම ප්‍රතිස්ථාපනය (Reinstall) කිරීමට සිදුවේ.
  • ‘මැකින්ටොෂ්’ ක්‍රමයට සාදා ‘සන්’ ක්‍රමයට බලය සපයන කාරයක්, වෙනත් කාරයකට වඩා පස් ගුණයක ඉහල විශ්වාසයක් තැබිය හැකි අතර, පැදවීමේදී, වෙනත් වර්ගවල කාර් වලට වඩා දෙගුණයක් පහසු වනු ඇත. එහෙත් ඒවා සාමාන්‍යයෙන් ධාවනය කළහැකි වන්නේ මාර්ගයක නියමිත දුරෙන් 5% ක දුරක් පමණි.
  • වාහනයේ ආසන, එකම ප්‍රමානයෙන් හා හැඩයෙන් යුක්තවන බැවින්, විශාල පශ්චාද්භාගයක් හිමි අයට, ඒ ආසන වලට ගැලපෙනසේ, සිය සිරුර සකස්කර ගැනීමට සිදුවේ.
  • සමහර අවස්ථා වලදී, ඔබේ කාරය, ඔබ කාරයෙන් බැසගිය පසු,  ඉබේම අගුලු වැටෙන අතර, (lockout)   විවෘතවීම ප්‍රතික්ෂේප කරයි. විවෘත කරගැනීමට නම්, ඔබ එකවර ඔබේ දෑතින්, දොර හැඬලය ඉස්සීම, යතුර කරකැවීම, කාරයේ රේඩියෝ ඇන්ටෙනාව අල්ලාගෙන සිටීම කලයුතුය.
  • සෑම කාරයක් සමගම ඔබට කිසිසේත් අවශ්‍ය නැති මාර්ග සිතියමක් මිලදී ගැනීමට සිදුවනු ඇත. මෙම විකල්පය මකා දැමුවොත් (delete) කාරයේ ක්‍රියාකාරිත්වය 50% කින් පමණ අඩුවනු ඇත.
  • ඔබ අලුත් කාරයක් මිලදීගන්නා සෑමවිටම, යලිත් මුලසිට රිය පැදවීමේ පුහුණුවක් ලැබීමට සිදුවනු ඇත. එයට හේතුව වන්නේ, සෑම අලුත් කාර් මොස්තරයකම, ස්ටියරින්ග් වීල් එක, බ්රේක්, ක්ලච්, සහ අනෙකුත් පාලක උපකරණ කලින් මෝස්තරයේ තිබුනාට වඩා වෙනස් තැන්වල සවිකර තිබීමයි.
  • එන්ජිම නැවත්වීම සඳහාද ඔබට ස්ටාර්ට් බොත්තම එබීමට සිදුවෙයි.
   කතාව මෙතෙකින් අවසන් වුණත්, මා හිතනවා ඔබට හැකිවෙයි කියා, මේ සඳහා තවත් කරුණු එකතු කරන්නට.

27 November 2012

යුද ටැංකි නඩත්තුවට විකල්ප නැත


  යුද ටැංකි නඩත්තුවට විකල්පයක් යනුවෙන් මා ලියන ලද ලිපිය, විශාල පාඨක සංඛ්‍යාවකගේ අවධානයට යොමුව තිබුණා. නමුත් එහි සැඟවුන යමක් තිබුණා. මා සිතුවා, ඔබ අතරින්, යුද කටයුතු පිලිබඳ දැනුමක් ඇති අයකු, ඒ හොරය අල්ලා ගනියි කියා. ඒ විතරක් නෙවෙයි, යුද කටයුතු ගැන දැනුමක් නැතත්, අලෙවිකරණය පිලිබඳ දැනුමක් ඇති අය එම ලිපිය කියවා, එය විවේචනය කරනු ඇතැයි මා සිතුවා.
  මට මේ මොහොතේ මතක් වෙන්නේ අන්දරේගේ කතාවක්. රජ්ජුරුවෝ ඇතා පිටේ යනගමන්, ගහකින් කොලයක් කඩලා, ඉඹලා බලලා, ඇමති වරුන්ට දුන්නලු, ‘මේ බලන්න, මේ කොලවල ගෑවීගෙන උරුලෑවෙක් ගිහින් තියනවා වගේ. මේ කොළ උරුලෑ ගඳයි’ කියලා. ඇමති වරුත් එය ඉඹලා බලලා කිව්වලු, ‘ඔව් ඔව් රජතුමනි, මේ කොළ උරුලෑ ගඳයි’ කියලා. ඊළඟට රජතුමා අන්දරේට දුන්නලු කොලයක් කඩලා, උරුලෑ ගඳයි ද කියලා බලන්න. අන්දරේ හිනාවෙලා කවියකින් උත්තර දුන්නලු, ‘ඇතෙකුටත් වඩා ඉහලින් යන උරුලෑවෝ ඉන්නේ කොයි රටේද රජතුමනි’ කියලා. ඒ කියන්නේ ඇමති වරු, රජ්ජුරුවන් කියන කියන දේ හරි කියනවා මිසක්, විචාර බුද්ධියෙන් විමසා බැලීමක් කරන්නේ නැහැ. නමුත් අන්දරේ ස්වාධීනව හිතලා, රජ්ජුරුවෝ බොරුවට කියපු දේ අල්ලාගත්තා.
 ඔබට නිකමට හිතුනේ නැද්ද මෙන්න මේ වගේ කරුණු.
 වෙළඳ ප්‍රචාරයක් දෙන්නේ ඉලක්කගත ප්‍රේක්ෂක පිරිසකටයි. යුද බිමේ කොහෙන්ද එහෙම අය?
 මෙය කිසිසේත් තේරුමක් ඇති දෙයක් නොවන බව (තමන්ට ලාභයක් නොලැබෙන) දන්නා නිසා, කිසිදු සමාගමක්, මෙවැනි ප්‍රචාරයකට මුදල් යොදවනු ඇතැයි සිතන්න අමාරුයි.
 යුද ටැංකිය, යුද බිමේ පාවිච්චි කරන ප්‍රබල අවියක් විනා, පාරේ දුවන වාහනයක් නෙවෙයි. යුද බිමේදී සොල්දාදුවන්ට හෝ සතුරන්ට මේ දැන්වීම් කියව කියවා ඉන්න වෙලාවක් නැහැ.
 යුද ටැංකියක්, යුද බිමේදී, අඳුරු පැහැ ගන්වා, (කාන්තාර වලදී වැලි වල පාටින්) සමහර විටදී කොළ අතුද එල්ලා, තවත් හොඳින් වසා දමා තමයි සටනට යොදවන්නේ. ඉතින් මෙවැනි දිලිසෙන දැන්වීම් පුවරු සවි   කළොත් යුද්ධ ටැංකිය ඈත සිටම සතුරාගේ අවධානයට ලක්වෙනවා නේද?
 යුද්ධ ටැංකියක් නඩත්තු කරන්න ආධාර අවශ්‍ය නැහැ. අවශ්‍ය වුනත් මේ ක්‍රමයට දැන්වීම් ප්‍රචාරය මගින් ගන්නේත් නැහැ. කළු කඩ වලින් කවදාවත් බඩු ගන්නේ නැහැ. ඒ වගේම කළු කඩ හෙවත් හොර අවි ජාවාරම් කරුවන් සමග ගණුදෙනු කරන්නේ ත්‍රස්තවාදී සංවිධාන.  යම්කිසි රටක්, තවත් රටකින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන්, සියලුම ආකාරයේ යුද්ධායුධ (යුද/නාවික/ගුවන්) මිලදී ගැනීමේදී, ගිවිසුමකට එළැඹෙනවා. එහිදී, කිසියම් නිශ්චිත කාලසීමාවක් සඳහා, අදාළ යුද්ධායුධ සඳහා අමතර කොටස් සහ සේවා කිරීම් ලබාදීම සඳහා ගිවිසගන්නවා. ඉන්පසු වුවද නව ගිවිසුම් මගින් ඒ සේවා නැවතත් ලබාගත හැකියි.
 මේ විස්තරය කියවා මා සමග උරණ වන්නට එපා. මා අදහස් කලේ ඔබේ විමර්ශනශීලී බව කොතරම්ද කියා මැන බැලීමටයි. ඔබෙන් සමහර අය මෙසේ විය හැකිද යන්න අනුමාන කර අදහස් දක්වා තිබුණු අතර ඔවුන්ට තවදුරටත් ඉදිරියට සිතීමට, මා ඉඟි වැකි මගේ පිළිතුරු ලෙස ලබා දුන්නේ ඔවුන්ව තව දුරටත් සිතීමට පෙළඹවීම සඳහායි.
 මා සාමාන්‍යයෙන් හාස්‍යය මුසු පුංචි කතන්දර ලියනවා තමයි. නමුත් බොහෝවිට ලියන්නේ තාක්ෂණික තොරතුරු නිසා, ඔබ සෑමවිටම මාව විශ්වාස කරනවා මා ලියන සියල්ල තාක්ෂණික තොරතුරු ලෙස සිතා. මතකනේ මීට කලින් මා ලියපු අලුත්ම ත්‍රස්තවාදියා. නමුත් අසන්න, දකින්න, සොයන්න ඇත්ත කුමක්ද කියා. (අසමි දකිමි සොයමි)
 මීළඟ ලිපි වලින් මා ඔබව යුද්ධයේ තවත් ඔබ නොදුටු පැති වෙත ගෙනයන්නට බලාපොරොත්තු වෙනවා. හැබැයි යුද්ධයට ඉඳුරාම සම්බන්ධ තොරතුරු ලියනකොටනම්, මේ ආකාරයේ අතාත්වික තොරතුරු නොලියන බව, අවධාරණය කරන්න කැමතියි.

25 November 2012

යුද ටැංකි නඩත්තුවට විකල්පයක්

යුද ටැංකියක් නඩත්තු කිරීම ඉතා අධික පිරිවැයක් යෙදවියයුතු කාර්යයකි. සාමාන්‍ය වාහන අමතර කොටස් මෙන් නොව යුද ටැංකි සඳහා අමතර කොටස් ලෝක විවෘත වෙළඳපොලේ වුවද, උවමනා කරන සෑම විටම මිලදීගැනීමට නැත. යුද ටැංකි නිපදවන රටවල ඇතිවන දේශපාලන අර්බුද, වෙනත් රටවලින් එල්ලවන බලපෑම්, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පනවන සම්බාධක, ආදිය ගැන සලකා බලන කල තුන්වැනි ලෝකයේ රටකට, යුද ටැංකි සඳහා අමතර කොටස් ලබා ගැනීමට සිදුවනුයේ, ලෝකයේ සිටින, යුද අවි පිලිබඳ හොර ජාවාරම් කරුවන්ගෙනි. එය සිතන තරම් පහසු නැත. ඒ සඳහා යන මුදල සෙවීම අතිශයින්ම දුෂ්කර වනු ඇත. මේ සඳහා දැනට යෝජනා වී තිබෙන්නේ වානිජමය අරමුණු මගින් අදාළ පිරිවැය සපයාගනීමයි. මෙහිදී කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද, යුද ටැංකිවල වෙළඳ දැන්වීම් ප්‍රදර්ශණය කිරීමට සිදුවනු ඇත. එහෙත්, එක් අතකින් බලන කල, වර්තමාන ලෝකය, වානිජකරණය වී ඇති ආකාරය පිළිබඳව සිතා බැලීමේදී, මෙය එතරම් පුදුමයට පත්විය යුතු කරුණක් නොවනු ඇත. වෙනත් ආයතන සහ ව්‍යවස්ථාපිත මණ්ඩල පවා, තම අධික පිරිවැය සමතුලනය කරගැනීම සඳහා, වාණිජ පරමාර්ථ පිළිබඳව සිතා බලන මෙවන් යුගයක, යුද ටැංකි නඩත්තුව මෙලෙස වානිජකරණය වීම කෙරෙහි විරෝධාකල්ප දැක්වීම සාධාරණ නොවනු ඇත.
  ඒ අනුව අනාගත යුද ටැංකියක් අපට මෙසේ දිස්වනු ඇත.
  පැහැදිළිව බලාගැනීමට පින්තුරය මත ක්ලික් කරන්න.

23 November 2012

මේජර් සහ ඔටුවා (අතිශයින්ම 21 +++)


   මීට පෙර බොහෝ අවස්ථා වලදී, ඔබෙන් බොහෝ දෙනෙක් ඉල්ලා තිබෙනවා, මා දන්නා, ලිංගික කරුණු පදනම් කරගත්, හාස්‍ය ජනක කතා ලියන ලෙස. එහෙත් මා විසින් මටම පනවාගත් ස්වයං වාරණ නීති හේතුවෙන්, මතකයේ ඇති එවැනි කතා ඉතා විශාල ගණනක්, අදටත් මතකයේම තිබෙන්නට ඉඩ හැරලයි ඉන්නේ. නමුත්, මේ මෑතකදී, මගේ මිතුරන් කීපදෙනෙකු සමග සල්ලාපයේ යෙදී සිටි අවස්ථාවක, එක් මිතුරකු මේ කතාව මතක් කරමින් මගෙන් ඇසුවා, ඔයා ඒ කාලේ කියපු මේ කතාවවත් ඇයි බ්ලොග් එකේ නොලියන්නේ කියා. ටිකක් කල්පනා කළ මම, මගේ බ්ලොග් මිතුරකුගෙන් ඉල්ලීමක් කළා, මට මෙය ලියන්න ටිකක් ලැජ්ජයි වගේ, ඒ නිසා ඔහුට මෙය ඔහුගේ බ්ලොග් එකේ ලියන්න කියා. කතාවත් මම ඊ මේල් මගින් ඔහුට යැව්වා. ඔහු ඒ කතාව ඉහළින් අගය කර, කතා ලිවීම පිලිබඳ ඔහුගේ එක්තරා ප්‍රතිපත්තියක් නිසා මගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකිවීම ගැන කණගාටුව ප්‍රකාශ කර, මා දිරිමත් කළා මේ කතාව මටම ලියන ලෙස. ඒ අනුව කෙටුම්පත සැකසුවත් නැවතත් එය නොලියා ඉන්න හිතුනා. ඔන්න අන්තිමට හිතට හයිය අරගෙන ලියනවා. 
   මම ඔබ සියලුදෙනාගෙන් එක කාරුණික ඉල්ලීමක් කරනවා. අනේ ඔබේ අදහස් දැක්වීමේදී, අසභ්‍ය යයි අද සමාජයේ සම්මත වචන ලියන්න එපා. මම මෙතෙක් කල්, කිසිම විටක,  මේ බ්ලොග් එකේ පළවන ලිපි පිළිබඳව ඔබ දක්වා ඇති අදහස්, වාරණය කර හෝ සංස්කරණය කර නැහැ. ඒ නිසා, තෝරාගත් සරල වචන වලින් අදහස් ප්‍රකාශ කිරීමෙන්, මේ කතාවේ රසය විඳගනිමු කියා, ඔබට ඉතා කාරුණිකව යෝජනා කරනවා. ඒ අනුව තමයි ඉදිරියේදී තවත් මෙවැනි කතා ලියනවාද නැද්ද යන්න මා තීරණය කරන්නේ. එහෙනම් මෙන්න කතාව.
  එක්තරා අති දුෂ්කර ප්‍රදේශයක යුද හමුදා කඳවුරක් පිහිටවා තිබුණා. ඔබ කියයි යුද හමුදා කඳවුරු තියෙන්නේ ඉතින් අති දුෂ්කර ප්‍රදේශ වල නේන්නම් කියා. මේ කඳවුර අති විශේෂයි. දුර්ග මාර්ග ඔස්සේ සෑහෙන දුරක් වාහනයෙන් යායුතුයි. ඉන්පසු, වාහන යා නොහැකි මාර්ගයක, තවලමක බඩු පටවාගෙන තවත් විශාල දුරක් යායුතුයි. ඉන්පසු ගඟකින් එගොඩවී, අඩිපාරක ගමන් කළ යුතුයි. මේ ගමනාගමන දුෂ්කරතාව නිසා නිතර භට පිරිස් මාරු කිරීම අපහසු බැවින්, මේ ප්‍රදේශයට යැවෙන භට පිරිස්, අනිවාර්යයෙන් මාස 6 ක් ඒ ප්‍රදේශයේ සේවය කළ යුතුයි.
  මේ කඳවුර භාරව සිටි මේජර් වරයා හදිසියේ අසනීපවීම නිසා, ප්‍රතිකාර සඳහා යවන්නට සිදුවූ අතර, වෙනත් මේජර් වරයකු ඒ වෙනුවට පත්කර එවනු ලැබුවා. හැඩිදැඩි පෙනුමකින් යුත් ඔහු දුටුවිට, සොල්දාදුවන්ට ඇතිවුනේ බයක්. ඔහු වැඩ බාරගත් දිනයේ නිළධාරියකු නොසිටි නිසා කඳවුර භාර සැරයන් වරයා අලුත් මේජර්ට, කඳවුරේ සෑම තැනම පෙන්වා විස්තර කරමින්, ඔහුව කඳවුරු චාරිකාවක රැගෙනගියා. ඒ යන අතර මේජර් දුටුවා සෙබළුන්ගේ භට නිවාසය අසළ ඔටු දෙනක් කණුවක ගැටගසා තිබෙනවා. මේජර්, සාජන්ගෙන් ඇසුවා ‘සාජන්, මේ මොකද මෙතන ඔටුවෙක්‌ ඉන්නේ?’ කියා. සාජන් බොහොම බයෙන්, ගොත ගසමින් වගේ කිව්වා, සර්…..මේ……මේ…….දන්නැද්ද……මේ…….මේ…….අපේ කොල්ලන්ට………..මේ………ඉතින්……….මාස 6 ක් යනකල්…………මේ………නිවාඩු නැහැනේ සර්…………ඉතින්……..මේ……….මේ……….උන්ට……..කෙල්ලෙක්වත් දකින්න, මේ……..මේ……..හම්බ වෙන්නේ නැහැනේ සර්………ඉතින් මේ……..කොල්ලෝ……..මේ………ඔටු දෙන………….කියනකොටම මේජර් කට කොනකින් හිනා වෙලා කිව්වා, හරි හරි මට තේරුණා කියලා.  
  කාලය සෙමෙන් ගතවුණා. අලුත් මේජර් දරදඬු වගේ පෙනුනට සොල්දාදුවන්ට කරදරයක් වුනේ නැහැ. ඔහු තමන්ගේ පාඩුවේ හිටියා. සාජන්, නියෝග පරිදි සොල්දාදුවන් පාලනය කළා.
  එක දවසක් මහ රෑ, මේජර් තමන්ගේ නිළ නිවාසයෙන් එළියට බැහැලා, සා………ජ………..න්………..කියා මහා හඬින් ගෝරනාඩු කළා. සැරයන් නිවස්නයේ සිටි සාජන් උඩ ගිහින් බිම වැටුණා. ‘ස……..ර්’ කියාගෙන ඔහු දුවගෙන ඇවිත් සීරුවෙන් සිට මේජර් දෙස බැලුවා. එවිට තමයි සාජන් දැක්කේ, මේජර් අතේ තුන්කාලක් පමණ අවසන්වූ විස්කි බෝතලයක් තිබෙන අතර, මේජර් ගේ ඇස්, ලොවි ගෙඩි මෙන් රතුවී තිබෙන බවත්, මේජර් බොහොම දැඩි බැල්මෙන් තමන් දෙස බලා සිටින බවත්. සාජන් නිහඬව සිටියා. මේජර් ගොරහැඩි හඬින් කිව්වා ‘ගෙනෙන් ඔටුවා’ කියලා. සාජන් පුදුම වෙලා වගේ ඇහුවා ‘සර් මේ මහා රෑ……..’ නමුත් සාජන් අහන්න හදපු දේ අවසන් කරන්නත් ඉස්සර මේජර් කඩන් පැන්නා.  ‘තමුන්ට බලයක් නැහැ මගේ වැඩ ගැන උපදෙස් දෙන්න. ගේනවා ඔටුවා’  කියා මේජර් යලිත් ගෝරනාඩු කළා.  සාජන් බයවෙලා දුවගෙන ගිහින් ගෙනාවා ඔටුවව. ‘බැඳපන් ඕකාව අර කණුවේ හොඳට හිරවෙන්ඩ’ මේජර් කිව්වා. සාජන් බැන්දා ඔටුවව ඒ කණුවේ හොඳට හිරවෙන්ඩ. ‘අර පුටුව ගෙනෙන් මෙහාට’ මේජර් තමන්ගේ නිවස්නයේ ඉස්තෝප්පුවේ තිබුන පුටුවක් පෙන්නලා සාජන්ට කිව්වා. සාජන් තත්පරයකින් පුටුව ගෙනත් දුන්නා. මේජර් පුටුවට නැගලා ………………………………………………………..තමන්ගේ කාර්යය අවසන් කළ මේජර්, හති දමමින් සාජන්ගෙන් ඇහැව්වා, ‘ හඃ හා…..අපේ කොල්ලොත් මෙහෙම නේද’ කියලා. සාජන් කිව්වා………….
   ‘අනේ නෑ සර්, උන් මේ ඔටුවව පාවිච්චි කරන්නේ, උගේ පිටේ නැගලා අර ටිකක් ඈතින් තියන ගමට යන්ඩ. එහෙදි තමයි උන්ට ඒ ගමේ කෙල්ලන්ව මුණගැහෙන්නේ’ කියලා. 

17 November 2012

ලොව හෙල්ලූ ගොපල්ලෝ – The Cowboys


  ලෝක සිනමාව පිලිබඳ ඇල්මක් තිබෙන සියලු දෙනා කව්බෝයි හෙවත් ගොපල්ලන් ගේ ජීවන රටාව පසුබිම් කරගනිමින් නිපදවූ චිත්‍රපට නරඹා ඇති. කාලෙන් කාලෙට යම් යම් තේමාවන් පදනම් කරගනිමින් චිත්‍රපටි නිපදවීම ලෝක ප්‍රවනතාවක්. යුද්ධය පසුබිම් කරහත් චිත්‍රපටි, (ද ලෝන්ගස්ට් ඩේ වැනි) අද්භූත හෝ මාරක කතා පසුබිම් කරගත් චිත්‍රපටි, (ඩ්රැකියුලා, හැරී පොටර් වැනි ) ත්‍රාසය පදනම් කරගත් චිත්‍රපටි, (මිෂන් ඉම්පොසිබල්, ජේම්ස් බොන්ඩ්, වැනි) ශ්රුන්ගාරය පදනම් කරගත් චිත්‍රපටි, (බයි නයිට් චිත්‍රපටි මාලාව) හාස්‍යය පදනම් කරගත් චිත්‍රපටි, (මට මේ වෙලාවේ මතක් වෙන්නේ ක්‍රේසි බෝයිස්‌ චිත්‍රපටි මාලාව) ඒ සඳහා උදාහරණ කීපයක්. මේ අතර ලෝකයේම ප්‍රේක්ෂක අවධානය දිනාගත් චිත්‍රපට මාලාවක් ලෙස කව්බෝයි හෙවත් ගොපළු චිත්‍රපටි හඳුන්වන්න පුළුවන්. ගොපළු චිත්‍රපට ලෝකය පුරා ජනප්‍රියව පැවතියේ 1950 දශකයේ අග භාගයේදී සහ 1960 දශකයේදී යි. එහෙත් ඇමරිකා එක්සත් ජනපදයේ දී, කව්බෝයි චරිත සහිත චිත්‍රපටි 1930 දශකයෙදීත් නිපදවා තිබෙනවා.
පින්තුරය ගත්තේ මෙතනින්
  කාලෙන් කාලෙට එන විවිධ තේමා පදනම් කරගත් චිත්‍රපට මාලාවන් ඉක්මනින් වැළඳගන්නේ තරුණ පරපුර නොවැ. අපි තරුණ කාලේ කියා එහි වෙනසක් නැහැ. ඒ කාලේ රුපවාහිනිය ලංකාවට ඇවිත් නොතිබීමේ ‘වාසනාව’ නිසාත්, පුවත්පත්වල පළවූ සිනමා තීරු ලිපි සෑහෙන සංඛ්‍යාවක් කියවන්නට තරම් ගුරුවර වැඩිහිටියන්ගේ මග පෙන්වීම ලද නිසාත්,  ජරාව සහ හොඳ නිර්මාණය වෙන්කර හඳුනාගැනීමේ ඉවක් අප තුළ පහළ වුනා. ඒ ඉව අදටත් නොනැසී පැවතීම වාසනාවක්. ඒ ඉව අපට ලබාදුන් ගුරුවර, වැඩිහිටි, දෙමවුපිය, උත්තමයෝ උත්තමාවියෝ මතු බුදුවෙත්වා! ඉතින් මේ චුර්නිකාවෙන් පසු ප්‍රස්තුතයට බසිමු. කව්බෝයි චිත්‍රපට සඳහා පදනම වැටුනේ 18 වැනි සියවසේ අග භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ බටහිර ප්‍රාන්තවල (මෙතන මුලින්ම ලියා තිබුණු ‘ උතුරේ’ යනුවෙන් සඳහන්ව තිබීම වැරදි බව, ඒ ගැන දන්නා අරුණි ශපිරෝ විසින් පෙන්වාදීමෙන් පසු, නිවැරදි කරන ලදී. ඒ පිළිබඳව ඇයට මාගේ ස්තුතිය) විසු ගොපළු ජන කොට්ටාශය පිළිබඳව ඇමරිකානු සමාජය පුරා පැතිරුණු විශේෂ අවධානයේ ප්‍රතිඵලයක් වශයෙන්.
  කව්බෝයි යනු කවරකුද? ඔහුගේ ජීවන රටාව කෙබඳුද? අපි එය කෙටියෙන් විමසා බලමු. ගොපල්ලන් කියන්නේ ගවයන් පාලනය කරන අය බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නමුත් උතුරු ඇමරිකාවේ සහ කැනඩාවේ දකුණු ප්‍රදේශවල සිටින කව්බෝයි යනුවෙන් හඳුන්වන ගොපල්ලන් ගවයන්ට අමතරව අශ්වයන්, බැටළුවන්, එළුවන් ආදියත් ඇති කරනවා.
  ඒ වගේම ඔවුන් මේ සඳහා යොදාගන්නේ අක්කර සිය ගණන් දහස් ගණන් තිබෙන අති විශාල භූමි ප්‍රදේශ. ඒ බිම් විවිධ භූවිෂමතා ලක්ෂණ වලින් යුක්තයි. සත්ව පාලනය සඳහා යොදාගන්නා එවැනි බිම් පෙදෙස් හඳුන්වන්නේ රෑන්ච් (Ranch) යනුවෙන්. 
ඉහත පින්තූර දෙක ගත්තේ 1 මෙතනින් සහ 2 මෙතනින්
  කව්බෝයි චිත්‍රපටිවල බොහෝවිට සඳහන් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම පෙදෙස් වල ඇති රෑන්ච් සම්බන්ධවයි. ඔබ බොහෝවිට රූපවාහිනියෙන් හෝ චිත්‍රපටි වලින් දැක ඇති මේ රෑන්ච් වල සිදුකරන ක්‍රීඩාවක්. එය හැඳින්වෙන්නේ රෝඩියෝ (Rodeo) යනුවෙන්. මෙහිදී ගවයකු හෝ හීලෑ නොකළ අශ්වයකු පිට නැගී, ඒ සතා දඟලද්දී කිසියම් නිශ්චිත කාලසීමාවක් නොවැටී සිටීම,
  දුවන වසුපැටවකු පසුපස, අශ්වයකු පිට නැගී හඹාගොස්, මද්දක් ගසා අල්ලාගැනීම. වැනි ක්‍රීඩා දකින්නට ලැබෙනවා. මේ ක්‍රීඩා කව්බෝයිලාගේ ක්‍රීඩා ලෙස සැළකෙනවා. මෙය දක්ෂතාවය මෙන්ම නිර්භීත භාවයද පෙන්වන ක්‍රීඩාවක් වුනත් පොඩ්ඩ බැරිවුනොත්, හොම්බෙන් යන අවස්ථාත් නැතුවාම නොවේ.  එහෙම වෙන අවස්ථාත් ඔබ දැක ඇති.
මේ පින්තූර තුන ගත්තේ 1 මෙතනින්2 මෙතනින්3 මෙතනින්
කව්බෝයි චිත්‍රපට වල ඉතිහාසය
  කව්බෝයි චිත්‍රපට වල ඉතිහාසය බටහිර සිනමාවේ මුල් අවස්ථාව තරම්ම පැරණියි. 1900 දී පමණ ඇරඹුණු ඒ සිනමාව වෙත කවුබෝයි චිත්‍රපට මුසු වන්නේ 1930 දී පමණ. එහෙත් එහි කුටප්‍රාප්තිය ලෙස සැලකෙන්නේ 1950 – 60 දශක දෙකයි. එමෙන්ම බොහොමයක් කව්බෝයි චිත්‍රපට සඳහා පසුබිම් කරගන්නා කාලසීමාව වී තිබෙන්නේ 1860 ගණන් වල සිට 1900 – 1920 පමණ වන කාලයයි. මේ සෑම කතාවකම පාහේ දකින්නට ලැබෙන මුලික ලක්ෂණය වන්නේ, කළු සුදු චරිත හෙවත්, නරකට විරුද්ධව සටන් කරන හොඳ මිනිහා, හෙවත් වීරයා සංකල්පයයි. කතානාද චිත්‍රපටි බිහිවීමට පෙර යුගයේ තිබුණු ‘නිහඬ සිනමාව Silent Films’ පැවති කාලයේත්, කව්බෝයි මෝස්තරයේ චිත්‍රපටි බිහිවුණා. නමුත්, ප්‍රේක්ෂකයන් විසින් තදින් වැළඳගත් ප්‍රථම කව්බෝයි චිත්රපටිය වන්නේ 1939 දී තිරගතවූ ‘ස්ටේජ්කෝච් Stagecoach’ චිත්‍රපටියයි.  එමෙන්ම බටහිට සිනමාවේ යෝධයකු වූ ‘ජෝන් වේන් John Wayne’ නමැති ලෝකප්‍රසිද්ධ නළුවා ප්‍රේක්ෂක හදවතට ඇතුළු වුයේද මේ අවදියේදීය. 
කව්බෝයි චිත්‍රපටි වල තිබෙන විශේෂත්වය කුමක්ද?
  කව්බෝයි චිත්‍රපටි ජනප්‍රිය වීමට විශේෂ හේතුවක් වශයෙන් සළකනු ලබන්නේ එම චිත්‍රපටි වල තිබෙන තුවක්කු/රිවෝල්වර වලින් වෙඩි තබාගැනීමේ ජවනිකා සහ අශ්වයන් පිට වේගයෙන් ගමන් කිරීමේ ජවනිකාය. මේ ජවනිකා අතිශයින් තාත්වික ලෙස රූපගතකර තිබීම නිසා ප්‍රේක්ෂකයාට වඩාත් සජීවී ගුණයකින් යුක්තව චිත්‍රපටිය රසවිඳීමට හැකිවෙයි. පින්තුරය ලබාගත්තේ මෙතනින්
  අශ්වයන් පිට ගමන් කිරීම සඳහා ත්‍රාසජනක ක්‍රියා නළුවන් (Stunts) නොයොදා, ඒ ඒ චරිතාංග නළුවාම, හොඳ පුහුණුවකින් පසුව සිය රඟපෑම ඉදිරිපත් කිරීමද විශේෂත්වයකි. මෙහිදී නළු නිලි දෙපාර්ශ්වයම මේ සඳහා පුහුණුවීම් ලැබීමද විශේෂත්වයකි. එමෙන්ම පසුතල නිර්මාණයේදී 1930 – 40 දශක පවා නිරූපණය වන පරිදි සකස්කර ඇති පසුතල මෙන්ම ඇඳුම් සහ වේශ නිරූපණයද චිත්‍රපටියේ තාත්විකත්වය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් ලබාදෙයි. පින්තුරය ලබාගත්තේ මෙතනින්
කව්බෝයි යනු කෙබඳු පුද්ගලයකුද?
  කව්බෝයි කෙනෙක් කියන්නේ පරමාදර්ශී චරිතයක්. ඔහුගේ ගුණාංග විස්තර කෙරෙන අචාරධර්ම පද්ධති කීපයක් තිබෙනවා. ඒ සියල්ලේ සංකලනයක් තමයි පහතින් දක්වන්නේ.
  • ඔහු කිසිවිටකත් ප්‍රශ්න ඇතිකරගැනීමට උත්සාහ නොකරයි.
  • එහෙත් ප්‍රශ්නයක් ආ විට නොබියව එයට මුහුණ දෙයි.
  • ඔහු සෑමවිටම හරි පැත්ත ගනියි.
  • ඔහු සෑමවිටම හොඳ මිනිසුන් නරක මිනිසුන්ගෙන් බේරාගැනීමට ක්‍රියාකරයි.
  • ඔහුගේ ආත්ම විශ්වාසය ඉතා ඉහළය.
  • ඔහු හොඳ හික්මුණු ගති වලින් යුක්තය.
  • ඔහු අවංකය.
  • මිනිසුන් කුමක් සිතුවත්, දේශපාලන අර්ථකථනය කුමක් වුවත්, ඔහු සෑමවිටම සිය සිතට එකඟව ඇත්ත කතාකරයි.
  • ඇමරිකානු වනගත ප්‍රාන්තයන්හි ඔහු සමගියේ පහන් ටැඹයි.
  • ඔහු සෑමවිටම ගරු බුහුමන් ලබන පුද්ගලයෙකි. එකල සැලෝන් යනුවෙන් හැඳින්වුන අවන්හලකට ඔහු ගොඩවැදුනොත් (ඔහු බොන්නේ සාසපෙරිලා Sarsaparillaනමැති ස්වභාවික පානය පමණි) මුළු අවන්හලම නිශ්ශබ්ද වන අතර එතන සිටින ඒ ප්‍රදේශයේ ගණන්කාරයෝ ඔහුගෙන් ඈත්ව සිටිති.
  • තුවක්කු/රිවෝල්වර් හරඹයකදී, තම සතුරා, ඔහුගේ අවිය අතට ගන්නට පෙර, තම අවිය කොපුවෙන් ඇද වෙඩි තැබීමට ඔහු සමත්ය. මුෂ්ටි ප්‍රහාරයකදී වුවද ඔහු සතුරාට වඩා ඉක්මන්ය
  • ඔහු සෑමවිටම ජයග්රාහකයෙකි. ඔහු සෑමවිටම තමා තුල සිටින මිනිසා දිනවයි. සටනකින් ජය ලැබූ වහාම ඔහු නිහඬව තම අසු පිට නැගී ඉර බසින දිශාවට මුහුණලා පිටව යයි.
  කව්බෝයි කෙනෙකුගේ පෙනුම මොනවගේද? ඔන්න පහලින් තියනවා පින්තුරයක්. ඊට පස්සේ විස්තරේ තියනවා.
පින්තුරය ලබාගත්තේ මෙතනින්
  කව්බෝයි සමහරවිට සංචාරකයෙක්. තවත් සමහරවිට රහස් පරීක්ෂකයෙක්. කොහොම වුනත් ඔහු තම අශ්වයා සමග එළියට බහින්නේ, ඕනෑම දෙකට ඔට්ටුයි කියාගෙනයි. මේ පින්තූරය දෙස බැලුවිට ඔබට පැහැදිලි වෙනවා ඇති තුවක්කුව, රිවෝල්වරය, වතුර මල්ල, ඇතිරිල්ල, කඹය, ඔහුගේ ප්‍රධාන උපකරණ බව. ඔහුගේ ඇඳුම රළු පරිසරයට අනුව සකසාගත් එකක් බවත් පෙනෙනවා නේද?
කව්බෝයි චිත්‍රපට සංස්කෘතියේ කැපී පෙනෙන චරිත
  ඔබ හොඳින් දන්නවා ඇති, ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රඟපාන නළුවා කාලීනව වෙනස් වුනත්, එහි ජනප්‍රියත්වය අඩු නොවුන බව. කවුබෝයි චිත්‍රපට බොහෝ දුරට එක හා සමාන තේමාවන් රැගත් කතා මාලාවක් වුවත්, එකම ප්‍රධාන නළුවා, ඊළඟ,ප්‍රධාන නළුවා පහල වනතුරු රඟපෑවේ නැහැ. ඒ වගේම ජනප්‍රියත්වය අඩු වුනෙත් නැහැ. අපි බලමු මුල් යුගයේ සිට ජබන්ප්රිය කව්බෝයි නළුවන කීප දෙනෙක්.
1. ජෝන් වේන් (ඉහත ඡේදයකත් දක්වා ඇත) ඇමරිකානු සිනමා ඉතිහාසයේ පතාක යෝධයකු වු මොහු කව්බෝයි චිත්‍රපට මෙන්ම අනෙකුත් වෘතාන්ත චිත්‍රපට වලින්ද අතිශයින් ජනප්‍රිය විය.
මේ පින්තූරය ගත්තේ මෙතනින්
2. ක්ලින්ට් ඊස්ට්වුඩ් :- කව්බෝයි චිත්‍රපට පිළිබඳව කතා කිරීමේදී කිසිදින අමතක නොවන නාමයක් තමයි ක්ලින්ට් ඊස්ට්වුඩ්. විශේෂයෙන් ඔහු සිය අතිශයින් ප්‍රත්භා සම්පන්න රංගන හැකියාව ප්‍රදර්ශනනය කළ චිත්‍රපට තුන හෙවත්, ‘ඩොලර් සීරිස්’‌ නමින් ප්‍රකට ‘For A Few Dollars More’ , ‘A Fistfull of Dollars’ ‘The Good, The Bad, And The Ugly’ යන චිත්‍රපට තුන නරඹා නැති කව්බෝයි චිත්‍රපට රසිකයකු ඇත්නම්, ඔහු  කව්බෝයි චිත්‍රපටි නරඹා නැතැයි කිව්වාට වරදක් නැත.
මේ පින්තූරය ගත්තේ මෙතනින්
3. රොබට් ඩුවාල්:- මේ ශේෂ්ඨ නළුවාගේ විශේෂත්වය වන්නේ දුෂ්ඨ චරිත රංගනය අතින් ඔහු දැක්වූ අසමසම විශිෂ්ටතත්වයයි. ඇත්ත වශයෙන්ම ඔහු වඩාත් ජනප්‍රිය වුයේද අපරාධ කල්ලි පසුබිම් කරගත් චිත්‍රපටි වල රඟපෑම නිසාය.
පින්තූරය ලබාගත්තේ මෙතනින්
4. මෝර්ගන් ෆ්‍රීමන් :- බටහිර සිනමාවේ පතාක යෝධයකු වන මෝර්ගන් ෆ්‍රීමන් චරිතාංග නළුවකු ලෙස අද කාලයේ වුවද උසුලන්නේ අනබිභවනීය ස්ථානයක්.
පින්තූරය ගත්තේ මෙතනින්
5. ලී වෑන් ක්ලීෆ්:-  කව්බෝයි චිත්‍රපට බොහොමයක චරිතාංග නළුවකු වු ලී වෑන් ක්ලීෆ් වඩාත් ජනප්‍රිය වුයේ ඩොලර් චිත්‍රපටි මාලාව නිසයි.
පින්තූරය ගත්තේ මෙතනින්
  මෙහි දැක්වුවේ කවුබෝයි චරිතාංග නළුවන අතරින් ප්‍රධාන පෙලේ පස දෙනෙකුගේ විස්තර පමණයි. තවත් 10 ක් පමණ ඉන්නවා මෙවැනි චිත්‍රපට නිසාම ප්‍රසිද්ධවූ අය. එහෙත් ලිපිය දිග වැඩි වන නිසා ඒ සියල්ල ඇතුළත් කරන්නේ නැහැ.
කව්බෝයිස්ලා විතරද ඉන්නේ කව් ගර්ල්ස්ලා නැද්ද?
ඉන්නවා ඉන්නවා. හැබැයි කව් ගර්ල්ස්ලා, කව්බෝයිස්ලාගේ ‘ලව් ගර්ල්ස්ලා’ විතරයි. ඉඳහිට පොඩි සටනකට අවතීර්ණ වන අවස්ථාත් තියනවා. කව්බෝයි චිත්‍රපටවල රඟපෑ සහ රඟ නොපෑ, එහෙත් බටහිර සිනමාවේ ගිනිසිළු ලෙස හැඳින්විය හැකි නිලියන් 100 දෙනෙකුගේ විස්තර මෙතනින් බලන්න.  කව්බෝයි චිත්‍රපටි වලට සම්බන්ධ කීප දෙනෙකුගේ පින්තුර පෙන්වන්නම්.
අමන්දා බ්ලේක්ජීන් ක්රෙන්
ගෙයිල් ඩේවිස්
මොරීන් ඕ හාරා (මේ නම තිබෙන ශ්‍රී ලාංකික සිනමා/රුපවාහිනි නිලියක් ඉන්නවා. නමුත් දැන් ඇය, ‘ඕ හාරා’ කියන කොටස පාවිච්චි කරන්නේ නැහැ. මුල් කාලයේ ඇය චිත්‍රපටවල මේ නමින් පෙනීසිටියා.)
ඇවා ගාර්ඩ්නර්
වර්ජිනියා මයෝ
බාර්බරා ස්ටෑන්වික්
මේ නිලියන් ගැන විස්තර මෙතනින් බලන්න.
ලිපිය අවසන් කිරීමට පෙර, කව්බෝයි චිත්‍රපට කීපයක දර්ශන පෙළක් ඔබට ලබාදෙන්නට හිතුවා. ඒවා පහත දක්වනවා.
‘අ ෆිස්ට්ෆුල් ඔෆ ඩොලර්ස්’ චිත්‍රපටියේ ත්‍රාසජනක රිවෝල්වර් හරඹයක්. මේ ඉන්නේ ක්ලින්ට් ඊස්ට්වුඩ්

‘ෆෝ අ ෆිව් ඩොලර්ස් මෝ’ චිත්‍රපටියේ සදා නොනැසෙන තේමා වාදනය.



‘ෆෝ අ ෆිව් ඩොලර්ස් මෝ’ චිත්‍රපටියේ ප්‍රචාරක පටිය


ද ගුඩ්, ද බෑඩ්, ඇන්ඩ් ද අග්ලි චිත්‍රපටියේ තේමාව


ද ගුඩ්, ද බෑඩ්, ඇන්ඩ් ද අග්ලි චිත්‍රපටියේ ප්‍රචාරක පටිය


ද ගුඩ්, ද බෑඩ්, ඇන්ඩ් ද අග්ලි චිත්‍රපටියේ ජවනිකාවකදී, හොඳම වැඩ කාරයන් දෙදෙනකු වන, කලින්ට් ඊස්ට්වුඩ් සහ ලී වෑන් ක්ලිෆ් අතර රිවෝල්වර් හරඹයක් මේ. මෙය ඇතුළු කර ලිපිය යලි සැකසීමට මතක් කරදුන් Buratheno වෙත මාගේ විශේෂ ස්තුතිය.


ඇමරිකානු ගොපලු ජීවිතය නිරුපනය කරන මේ චිත්රපට ටොරන්ට් මගින් බාගත කරගෙන නැරඹීමේ පහසුව තිබෙනවා. අතීත ඇමරිකානු සමාජයේ එක පැතිකඩක් පිළිබඳව කෙරෙන විවරණයක් ලෙසද මේ චිත්‍රපට හඳුන්වන්න පුළුවන්.

03 November 2012

ප්‍රභාකරන්ගේ බංකරේ? පුඃ ඒකයැ මේකනේ බංකරේ – The Underground Ward


  මගේ සහෝදරියක රෝහල් ගතවී දින කීපයක් ගත වුනත්, ඇය බැලීමට යාමට නොහැකි වූයේ, අධික වර්ෂාපතනය මැද වාහනයක් පදවාගෙන යාම, මටනම් අතිශයින්ම අප්‍රසන්න කාර්යයක් වන බැවිනි. කෙසේ වෙතත් අද දිනය තරමක් පැහැපත් වූ නිසා, අපේ භාර්යා තොමෝ උදේ ඇඳෙන් නැගිට්ටේ, ‘අදවත් අක්කා බලන්න යන්නේ නැද්ද?’ කියා අසාගෙනය. අපේ නෝනා, ඇගේ නෑනලාට ආදරේ වීම මා ලද මහත් භාග්‍යයකි. ඒ නිසා, එයාගේ පාර්ශ්වයේත්, මගේ පාර්ශ්වයේත්, නෑදෑකම් පැවැත්වීම නමැති මහා භාරදූර කාර්යය මම ඇයටම පවරා තිබෙන්නේ මගේ ගැලවීම පිණිසමය. ඕව්වා මහා භයානක වැඩය. පොඩ්ඩ වැරදුනොත් නවතින්නේ මහා කිරිමේල් එකක් වෙලාය. ඒ නිසා කිරිමේල් වලට නොපැටලී සිටීම ඇඟට ගුණය. ඔන්න ගන්නවානම් නෝනලා :D :D :D හරි හරි දැන් කතාවට බහිමුකෝ.
  මග දිගට, ඇගේ රිය පැදවීමේ උපදෙස් ඉතා ඉවසීමෙන් අසාගෙන, (හිත යටින් දත්මිටි කමින්) හරියටම අද දහවල් 12.00 ට මහනුවර මහ රෝහල වෙත ආවෙමු. අප්පොච්චියේ……… මහනුවර මහ රෝහල පැත්ත පළාතේ කොතනකවත් වාහනයක් නවත්තන්නට ඉඩක් නැත. ඒ ගැන උකටලීව ඉන්නා අතර මගේ සිත පස්වණක් නොව එකසිය පස්වණක් ප්‍රීතියෙන් පිනා ගියේ, නිල්පාට පසුතලයේ ඇඳි සුදුපාට P අකුරක් හදිසියේම දැකීමෙනි. වහාම එතනට වාහනය එබුවෙමි. අඳෝමැයි, එතන ඇත්තේ පර්චස් 20 කටත් අඩු භූමියකි. (පෞද්ගලික අයිතියක් යටතේ ඇති වාහන නවතුම්පොලකි) නමුත් ඒ ස්ථානයේ පාලනාධිකාරිය උත්සාහ කරන්නේ, කොහොම හරි වාහන හැකි තරමක් ගාල් කරගෙන කල දුටු කළ වල ඉහ ගැනීමටය. (මගේ වාහනය ආපසු ගන්නට ගිය වෙලාවේ තවත් වාහන හතරක් එහාට මෙහාට තල්ලු කොට යන්තම් ඉඩක් ලබාදීමට ඔවුන්ට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය)
  මොනවා කරන්නද. යන්තම් වාහනයේ දොර අල්ලාගෙන, එය අනික් වාහනයක වැදීම වළක්වාගෙන, වාහනයෙන් එළියට බඩගෑවෙමි. ඔන්න අපේ නෝනා වගේ ‘පෝටබල් සයිස්’ අයට නම් එවැනි තැන්වලදී කරදරයක් නැතුව වාහනයෙන් බසින්නට පුළුවන. ( මගේ බඩ වාහනයෙන් එලියට ගන්න එකනේ වැඩේ. දවසක් යාළුවෙක් කිව්වා, එයා, එයාලගේ ගෙදර ගේට්ටුව දිහා බලා ඉන්නකොට දැක්කලු, බඩක් ඇතුල් වෙනවා ගේට්ටුවෙන්. ඉතින් ඒ බඩ ඇවිල්ලා ඇවිල්ලා, අන්තිමට මම ආවලු ගේට්ටුවෙන් ඇතුළට :D)
  හරි හරි තවම නෝනයි, වාහනයයි, බඩයි. නෑ නෑ ඔන්න කතාව.  ඔන්න ඉතින් ඉස්පිරිතාලේ ඇතුළට ගිය කියමුකෝ. වාට්ටුව මොකක්ද කියලා දැනගත්තේ එතන ඉඳලා රෝගියාට දුරකථන ඇමතුමක් දීලයි. අක්කා කිව්ව මං සළකුණු අනුව, බාහිර රෝගී අංශය පසු කරගෙන, අපි දෙන්නා යායුත්තේ අංක 26 වාට්ටුවටය. ඒ හරියේ නම් 26 වාට්ටුවට යන මං සළකුණක් දැක්කේ නැත. බොහෝ රෝහල් වල වාට්ටු අංක හා ඒවාට යන මාර්ගය පෙන්වන ඊතල, අපි වැනි වයසක පුද්ගලයන්ගේ පහසුව සඳහා පොල්ගෙඩි සයිස් එකෙන් ලියා ඇතත්, මෙහිදීනම් මම එවැන්නක් නොදුටිමි. පසුව අවබෝධ කරගත් කරුණක් වූයේ, සායන වලට පැමිණි රෝගීන්, බාහිර රෝගී අංශයට පැමිණි මහජනතාව, රෝගීන් බැලීමට පැමිණෙන අය, වැනි මහා ජන ගංගාවක් එතනින් ගලන බැවින්, බිත්තිවල යමක් ලියා ඇත්නම්, ඒ කිසිවක් නොපෙනෙන බවයි. 26 වාට්ටුවට යාම සඳහා මහල් තුනක් පහළට බැසිය යුතුය. නේස් මිසීලාගෙන් ඇහුවම කියන්නේ ඔහොම යන්න, මෙහෙම යන්න, අරෙහෙම යන්න කියාය. අන්තිමට හමුවූ රෝහල් සේවක මහතකු, අලුතෙන්ම පැමිණි අයකු නිසා, කිසිවක් දැන නොසිටියේය. මහල් තුන පහළට බහිද්දී, මට එක්වරම මතකයට ආවේ, එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ බංකරයයි. (ඔබෙන් සෑහෙන පිරිසක් යුද ජයග්‍රහණයෙන් පසු, එහිගොස් එය නරඹා ඇතැයි සිතමි) ඒ බංකරයට ද ඇතුළු විය යුත්තේ මෙලෙස පහළට බැසීමෙනි. එමෙන්ම ඒ බංකරය අඳුරුය. මේ මහල් තුන බැස පතුළටම ගියවිට ආලෝකය බෙහෙවින් අඩු වෙයි. අන්තිමේදී 26 වාට්ටුව සොයාගැනීමට තරම් අපි වාසනාවන්ත වීමු.
  නමුත් අපි දෙදෙනාම මහත් දුකටත්, කම්පනයටත්, කළකිරීමටත් පත්වුයේ ඒ වාට්ටුව ඇතුළට ගිය පසුය. ඒ වාට්ටුවට කිසිසේත් ආලෝකය හෝ වාතාශ්‍රය නොලැබෙයි. එහි ඇති විදුලි පහන් දොළොස්මහේ පහන්ය. ඒවා පැය 24 ම ක්‍රියාත්මක කර නොතිබුනොත් වාට්ටුව ඝන අඳුරක ගිලී යනු ඇත. දිවා ආලෝකය දැක ගැනීම, එහි සිටින රෝගීන්ට, සිහිනයක් පමණි. විදුලි පංකාද අනිවාර්යයෙන් නොකඩවා ක්‍රියාත්මක කර තිබිය යුතුය. නැතහොත් ඒ රෝගීන් පාන්ගෙඩි මෙන් තැම්බී යනු ඇත.   මේ වාට්ටුව පමණක් නොව ඊට යාබද වාට්ටුවද මේ තත්වයේම බව දුටිමි. මේ වාට්ටුවේ හෙද කාර්ය මණ්ඩලය සිටින ස්ථානයට රෝගීන් නොපෙනේ. ඒ නිසා රෝගීන්ගේ තත්වය නිරීක්ෂණය කිරීම කෙබඳු මට්ටමකින් සිදුවේද යන්න ගැටලුවකි. මේ ගැන විමසීමට යාම කිසිසේත් පළක් ඇති දෙයක් නොවන බව  වැටහුණේ, රෝහල් කාර්ය මණ්ඩලයෙන් මෙය විමසීම විහිළුවක් වන බැවිනි. මේ රෝගීන්ගේ මානසික තත්වය කෙබඳු වේද? දිවා රාත්‍රිය ගැන අවබෝධයකින් තොරව මේ බංකරය තුළ ඔවුන් ලබන ප්‍රතිකාර, ඔවුන්ට කෙබඳු අයුරකින් බලපායිද? දීර්ඝ කාලයක් මෙහි රැඳී සිටින රෝගියකු, කෘත්‍රිම ආලෝකයේම සිටීම නිසා, ඔවුන්ගේ ඇස් පෙනීමට කෙබඳු බලපෑම් එල්ලවේද? මේ ගැන අසන දකින සොයන කෙනෙක් මේ සිරි ලංකාවේ තවම පහළ වුනේ නැද්ද? අනේ දළදා හාමුදුරුවනේ………………………

02 November 2012

මෙන්න තවත් පරපුටුවෙක්


  බලුකිරි ඩොට් කොම් නමැති අසික්ෂිත ජාලගත සමාජය විසින් මගේ ලිපි අමු අමුවේ කොපි කිරීම පිළිබඳ ලිපිය ඔබ කියවන්න ඇතිනේ. ඒ සමගම අප හිතවත් Gayan 540 මහතා, මගේ ලිපි කොපි කරන තවත් පරපුටුවකු ගැන තොරතුරු දී තිබුනා. ඔබට සමහරවිට මතක ඇති, මම කලකට පෙර, ඉන පටි පැළඳීම ගැන ලියා තිබුන ලිපිය. (2012 මැයි මස 2 දින)
මෙතනින් බලන්න මගේ ඒ ලිපිය
  එක උන්නැහේ කෙනෙක් අනේ කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව මෙන්න මගේ ලිපිය ගෙඩි පිටින් කොපි කරලා පලකරලා. ඒ මදිවට ඒ ගැන අදහසුත් දෙන්නලු. මම නම් දුන්නා, තවම වෙන කවුරුවත් දීලා නෑ වගේ. අනේ ඔබට පුලුවන්නම් එයාට අදහස් ටිකක් කියන්නකෝ. හැබෑටම මුන්දලට ලැජ්ජාවක් නැද්ද?
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }