හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

23 February 2013

අපි අහපු වෑර්ලස් (දෙවැනි කොටස) – Vintage Radio Sets (Part Two)


LabuKendit  අපි අහපු වෑර්ලස් පළමුවැනි කොටසට ඔබෙන් ඉතා සතුටුදායක ප්‍රතිචාර ලැබී තිබුනා. මා මේ ලිපියේ පළමුවැනි කොටස ලියද්දී සිතුවේ නැහැ මෙපමණ ප්‍රතිචාර ලැබෙයි කියා. නමුත් ඔබ අතරින් බොහෝ දෙනෙක් මේ විෂයයට ඇළුම් කරන බව දැනගන්නට ලැබීම සතුටක්. ඒ දිරිමත් කිරීම නිසා ඒ ලිපියේ දෙවැනි කොටස මෙසේ ඔබ අතට පත්කරනවා. පසුගිය ලිපියේදී ඔබෙන් බොහෝ දෙනෙකුගේ අවධානය වෑල්ව් රේඩියෝ වලට යොමුවී තිබුනා. ඒ නිසා වෑල්ව් ගැන තවත් තොරතුරු ටිකක් මේ ලිපියෙන් කියන්නම්.
  වෑල්ව් හෙවත් Vacuum Tube නිපදවීමේ ඉතිහාසය 18 වැනි ශතවර්ෂයේ අග භාගය තරම් ඈත අතීතයකට ඇදී යනවා. කෙසේ වෙතත් සාර්ථක සහ කාර්යක්‍ෂම වෑල්ව් නිපදවීම ආරම්භ වුනේ 19 වැනි සියවසේ මුල් භාගයේදීයි. මා පසුගිය ලිපියෙන් ඔබට කිව්වා මතක ඇති, වෑල්ව් එකක් සාමාන්‍යයෙන් සිලින්ඩරාකාර හැඩයෙන් යුක්තයි කියලා. පසුගිය ලිපියේදී මා ඔබට වෑල්ව් වල පින්තූරයක් පෙන්නුවා මතක ඇති. මෙවර පෙන්වන්නේ වෑල්වයක සැකැස්ම කෙබඳුද කියන එකයි. 
  tworks_fig3[1]වෑල්ව් එකක ක්‍රියාකාරිත්වය සංකීර්ණ එකක් නිසා මා ඒ ගැන විස්තර කියන්න යන්නේ නැහැ. මේ රූපය දුටු පමණින්ම ඔබට ඒ සංකීර්ණත්වය ගැන අදහසක් ඇතිවෙයි කියා සිතනවා. පින්තුරයේ මැද තියෙන්නේ වෑල්ව් එක. වටේට කුඩා රූප වලින් දක්වලා තියෙන්නේ එහි ඇතුලත සවිකර ඇති කොටස්. එයින්ම ඔබට වැටහෙනවා ඇති වෑල්ව් එකක් කොතරම් සංකීර්ණද කියා. වෑල්ව් ගැන මම මෙතරම් කතා කරන්නේ හේතු කීපයක් නිසා. එක. වෑල්ව් කියන්නේ ගුවන්විදුලි/රූපවාහිනී කාර්මික ශිල්පයේ මහා විප්ලවයක්. දෙක. වෑල්ව් අදත් පාවිච්චි කරනවා. තුන. ට්‍රාන්සිස්ටර් සහ අයි.සී. අතහැර නැවත වෑල්ව් වෙත යාමේ අදහසක් සමහර ඉලෙක්ට්‍රොනික විද්‍යාඥයන් තුල තිබෙනවා. සමහරවිට ඒ අදහස නුදුරු අනාගතයේදී ක්‍රියාත්මක වෙන්න පුළුවන්.
  06අද කාලයේ කොහෙද වෑල්ව් පාවිච්චි කරන්නේ කියන ගැටලුව සමහරවිට ඔබට ඇතිවෙන්න පුළුවන්. ගුවන්විදුළි/රූපවාහිනී විකාශන යන්ත්‍රවල විකාශන බලය පිට කරන කොටසේ (output stage) තිබෙන්නේ වෑල්ව් එකක් හෝ දෙකක්. එවැනි විකාශන යන්ත්‍රයකින් සාමාන්‍යයෙන් අවම වශයෙන් කිලෝවොට් 10 ක වත් බලයක් පිටකරනවා. ඒ සඳහා ට්‍රාන්සිස්ටර් හෝ අයි. සී. යොදාගනීම සාර්ථක නැති නිසයි වෑල්ව් යොදාගන්නේ. මේ සමග ඇති රූපයෙන් පෙන්වන්නේ රූපවාහිනී විකාශන යන්ත්‍රයක ඇති වෑල්ව් එකක්. හිතාගන්න පුළුවන් නේද එහි විශාලත්වය. මෙවැනි වෑල්ව් වීදුරු ආවරණයක් සහිතව හදන්න බැහැ. එයට හේතුව මෙවැනි වෑල්ව් ක්‍රියා කරන විට ඉතා අධික ලෙස රත්වීමයි. වීදුරු වලින් හැදුවොත් පුපුරන තරම් උෂ්ණත්වයක් ඇතිවෙනවා. ඒ නිසා මෙවැනි වෑල්ව් සාදන්නේ පිඟන් මැටි (ceramic) ආවරණයක් සහිතවයි. එමෙන්ම මෙවැනි වෑල්ව් වලට විශේෂ සිසිලන වායු ධාරාවක් නොකඩවාම වදින ලෙස සකසා තිබෙනවා. නැත්නම් වෑල්වය බෝම්බයක් වගේ පුපුරනවා.
  Tubesවෑල්ව් වලින් ක්‍රියාත්මක වන ඕනෑම ගුවන්විදුලි/රූපවාහිනී/ශබ්ද විකාශන/පටිගත කරන/ යන්ත්‍රයකින් පිටවන උෂ්ණත්වය පැහැදිලිව දැනෙනවා. මේ නිසා එවැනි යන්ත්‍ර වලට ඉතා හොඳ වාතාශ්‍රයක් ලැබෙන ආකාරයටයි එහි කැබිනට්ටුව සකස් කර තිබුනේ. එමෙන්ම වෑල්ව් ක්‍රියාකරන විට එහි ෆිලමන්ට් එකෙන් පුංචි එළියක් විහිදෙනවා. මේ පින්තූරයේ තිබෙන්නේ වෑල්ව් වලින් ඒ වගේ එළියක් විහිදෙන ආකාරයයි. ඉතින් මේවගේ වෑල්ව් වලින් ක්‍රියාකරන ගුවන්විදුලි යන්ත්‍ර තමයි රේඩියෝ කියන දේ මා හඳුනාගත් කාලයේ දී තිබුනේ.
  වෑල්ව් ගුවන්විදුලි යන්ත්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තිබුනා. එකක්, ප්‍රධාන විදුලියෙන් ක්‍රියාකරන වර්ගය. අනික තමයි බැටරි වලින් ක්‍රියාකරන වර්ගය. මේ බැටරි වලින් ක්‍රියාකරන වර්ගයත් කොටස් දෙකක් තිබුනා. ඒ තමයි කාර් බැටරි වලින් ක්‍රියාකරන වර්ගය සහ ඩ්‍රයි බැටරි වලින් ක්‍රියාකරන වර්ගය. ප්‍රධාන විදුලියෙන් ක්‍රියාකිරීම අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැනේ. දැනුත් අපි ගුවන්විදුලි රූපවාහිනී යන්ත්‍ර ක්රියකරවන්නේ ප්‍රධාන විදුලියෙන් නේ. ඇතුලත උපකරණ වෙනස් වුනත් න්‍යාය එකයි. කාර් බැටරියකින් ක්‍රියාත්මක වෙන ගුවන්විදුලි යන්ත්‍රයක් මා කුඩා කාලයේ අපේ ගෙදර තිබුනා. ඉතින් බැටරිය බැස්සම? අනේ. . . .  . නගරයට ගිහින් බැටරිය චාජ් කරගෙන එනතුරු හුළං තමයි. 
 7976055072_892d5db0a3_z ‘ඩ්‍රයි බැටරි’ කියන වචනය ඔබෙන් සමහර අයට කුතුහලය දනවන්නක් වෙනවා ඇති. ඩ්‍රයි බැටරි කියන්නේ වියළි බැටරි කියන එක නේ. ඉතින් තෙත බැටරි නැත්නම් ‘වෙට් බැටරි’ කියලා ජාතියකුත් තියනවද? තියනවා නේන්නම් ඇයි කාර් බැටරි? ඒවාගේ ඇතුළේ ආසෘත ජලය සහ අම්ල තියනවා නේද? එතකොට වියළි නැහැනේ. අපි අපේ ගෙදර තිබෙන දුරස්ථ පාලක, ඔරලෝසු, විදුලි පන්දම්, ආදියට යොදන්නේ වියළි කෝෂ නේ. ඉතින් මේ වෑල්ව් රේඩියෝ වැඩ කලෙත් විශේෂ වියළි කෝෂ වර්ගයකින්. ඒ වියළි කෝෂය පොඩි කාඩ්බෝඩ් පෙට්ටියක් වගේ. මට කියන්න අමතක වුනා, මේ වෑල්ව් රේඩියෝ වලට බලය සපයන්නේ අමුතුම ක්‍රමයකට. ඒ සඳහා බල සැපයුම් මාර්ග දෙකක් ලබාදිය යුතුයි. එකක් තමා වෑල්ව් වල ෆිලමන්ට් සඳහා වෝල්ට් 1.5 ක විදුලි බලයක් (සරල ධාරාවක්) ලබාදිය යුතුයි. එය හඳුන්වන්නේ LT  = Law Tension Current කියලයි. ගුවන්විදුලි යන්ත්‍ර පරිපථයේ සෙසු කොටස් සඳහා වෝල්ට් 9/12/15/13.5/15 වැනි ඒ ඒ පරිපථය අනුව ගැලපෙන විදුලියක් ලබාදිය යුතුයි. (සරල ධාරාව)  එය හඳුන්වන්නේ HT = High Tension Current කියලයි. ඉතින් අර ඩ්‍රයි බැටරියේ ඇතුලත තිබෙනවා සැකසුම් දෙකක්. එකක තිබෙන්නේ අපි විදුලි පන්දම් වලට යොදන බැටරි කෑලි වලට වඩා මඳක් උස බැටරි කෑලි. එයින් තමා 1.5 විදුලිය ලබාදෙන්නේ. ඒවා සමාන්තරව අමුණා තිබෙන්නේ. (parallel circuit) අනෙක් කොටසේ තිබෙන්නේ අඟල් 1.5 x 1.5 පමණ දිග පළලින් යුත් සෙන්ටිමීටර් තුන්කාලක පමණ ඝනකමකින් යුත් පැතලි බැටරි කෑලි 10ක් පමණ එකමත එක තබා කුඩා හතරැස් කණු ලෙස පෙනෙන ආකාරයට සකසන ලද ඇටවුම් කීපයක්. මේ ඇටවුම් ද සමාන්තරව අමුණා තිබුනා. මේ සියල්ල තමයි අර පෙට්ටිය ඇතුලේ තිබුනේ. නියම ඩ්‍රයි බැටරියක පින්තූරයක් හොයන්න උත්සාහ කලත් හරිගියේ නැහැ. ඒ නිසා ආසන්නයෙන් යන පින්තූරයක් දෙන්නේ.  
  UX_baseබැටරියේ සිට රේඩියෝවට බලය ගෙනයන්නේ වයර් 4 කින්. ඒ කියන්නේ HT, LT බල සැපයුම් මාර්ග දෙක. ඒ වයර් හතර බැටරියට සවිවන්නේ පින් 4 ක ප්ලග් එකකින්. මේ බැටරි නැවත ආරෝපණය කල නොහැකියි. බැටරිය බැස්සම විසිකරලා වෙන එකක් ගෙනෙන්න වෙනවා. අම්මෝ……. ඒ කාලේ අපි වගේ අයට ඒ බැටරියක මිල දැරිය නොහැකි තරම්. මට මතක හැටියට රු 45 – 60 අතර. හොඳම බැටරි වර්ග වුනේ ‘එවරෙඩි’ සහ ‘බෙරෙක්’ යන වර්ග දෙක. ඉවත්කළ පරණ බැටරියේ අර පැතලි හැඩයේ කෑලි, බට්ටෝ පනින්න ගන්නවා මට මතකයි. බැටරිය බැහැලා ගියාම අව්වේ වරුවක් තියලා ගත්තම පැයක් විතර අහන්න පුළුවන් රේඩියෝ එක. අපේ අක්කලාට, අලුත් බැටරියක් ගේන දවස හරියට මනමාලියක් කැන්දාගෙන එනවා වගේ. විනෝදයක් කියලා එච්චරනේ දෙයියනේ තියෙන්නේ. ඔබ දන්නවනේ අපි රූපවාහිනී යන්ත්‍රයේ ස්විච් එක දාපු ගමන් පින්තූර පෙනෙන්නේ නැතිබව. තත්පර කීපයක් යනවා. මේ වෑල්ව් රේඩියෝ වල ස්විච් එක දාපු ගමන් ශබ්දය එන්නේ නැහැ. රූපවාහිනී යන්ත්‍රයකට වඩා වැඩි වෙලාවක් ගන්නවා. සමහරවිට තත්පර 10 ක් 15 ක් පමණ. එයට හේතුව වෑල්ව් වල ෆිලමන්ට් එක පත්තුවීමට ගතවන කාලයයි. දැන්නම් අපි සෑමවිටම වගේ උනන්දු වෙන්නේ ජපානයේ නිෂ්පාදිත ගුවන්විදුලි/රූපවාහිනී යන්ත්‍ර මිලදීගන්නයි. නමුත් දැන් එන්නේ චීනයේ හෝ මැලේසියාවේදී එකලස් කල ජපන් නම සහිත යන්ත්‍ර. ජපානයේම නිෂ්පාදිත යන්ත්‍රයක් කාර් එකක් තරම් මිල වෙයි කියලා මගේ මිත්‍රයෙක් කිව්වා. අපි කුඩා කාලයේදී දකින්නට ලැබුනේ යුරෝපීය රටවල නිෂ්පාදිත ගුවන්විදුලි යන්ත්‍ර පමණයි. එයින් කීපයක් ඔබට හඳුන්වා දෙන්නම්. ඒ ඒ රේඩියෝව නිපදවූ සමාගමේ ලාංඡනයද දක්වා තිබෙනවා. මේ සියල්ලම ප්‍රධාන විදුලියෙන් හෝ බැටරි බලයෙන් ක්‍රියාකරන වෑල්ව් රේඩියෝ. 
බුෂ් රේඩියෝව ජර්මනියේ නිෂ්පාදනයක්.  
Bush Radiobushගෘන්ඩිග් රේඩියෝවත් ජර්මන් නිෂ්පාදනයක්
Grundig
 Grundig Logoතවත් ජර්මන් නිෂ්පාදනයක් බ්ලවුපුන්ක්ට් (නිල් තිත – Blue Dot)
Blaupunkt
blaupunkt-logo
ටෙලිෆන්කන් රේඩියෝවත් ජර්මන් නිෂ්පාදනයක්
telefunk-55sm
Telefunken_logo_svg
නොර්ඩ්මන්ඩි රේඩියෝව ඕලන්ද නිපැයුමක්
Nordmende
ෆිලිප්ස් රේඩියෝව ඕලන්දයේ (නෙදර්ලන්තයේ) නිෂ්පාදනයක්
Philips1947
DSC06044
පයි රේඩියෝව බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක්
PYE Radio
1fc1c1c2db5852e08ffc380475e263365d961db03a9c0cc3066f33d9fa734b5f
තවත් ලෝක ප්‍රසිද්ධ නිෂ්පාදනයක් බ්‍රිතාන්‍යයේ HMV = His Masters Voice රේඩියෝ
HMV
HMV Logo
GEC = General Electric Company කියන්නේ සුප්‍රසිද්ධ ඇමරිකානු නිෂ්පාදනයක්
GEC Radio
GEC_logo
තවත් ලෝකපරසිද්ධ ඇමරිකානු නිෂ්පාදනයක් සෙනිත්
ZenithA600L-4
1035_m  මා හිතනවා අපිට තවත් කොටස් දෙකකට පමණ මේ කතාව ගෙනයන්නට වෙයි කියා. ඒ තරමට තොරතුරු රැසක් තිබෙන නිසා. ඔබේ ප්‍රතිචාර වලින් ඉල්ලාසිටි, මතක් කර තිබුන අදහස් වලටත් ඉඩ දෙමින් ඉතිරි කොටස් ලියන්නම්.
  මෙහි ඇතුළත් සියළුම ඡායාරූප Google Images වෙතින් ලබාගත් බව සලකන්න.
My Signature for Blog2013 පෙබරවාරි මස 23 වැනි දින 0102 පැය

19 February 2013

අපි අහපු වෑර්ලස් (පළමුවැනි කොටස) – Vintage Radio Sets (Part One)


  122750013214Pmpu‘වෑර්ලස්’ කියන වචනය අපි කුඩා කාලයේ සමාජය තුළ නිතර භාවිත වුන වචනයක්. ඒ කාලේ වෑර්ලස් හෙවත් ගුවන්විදුලි යන්ත්‍ර ඉතා සීමිත සංඛ්‍යාවක් තමයි භාවිතයේ තිබුනේ. පැරණි ගමක නම්, ගමේ ආරච්චි මහතා, වෙල් විදානේ, ඉස්කෝලේ ලොකු මහත්තයා, ගමේ කඩේ මුදලාලි, වැනි අයගේ නිවෙස්වල තමයි ගුවන්විදුලි යන්ත්‍ර තිබුනේ. මගේ පියාත් ඉස්කෝලේ ලොකු මහත්තයෙක් නිසා මා කුඩා කාලයේ සිටම අපේ ගෙදරත් වෑර්ලස් එකක් තිබුනා. සමහරු ‘වෑර්ලස් සැට් එක’ කියලත් කිව්වා. වෑර්ලස් කෑල්ල නැතුව නිකම්ම ‘සැට් එක’ කිව්ව අයත් හිටියා.
  හැබෑට මොකද ගුවන්විදුලි යන්ත්‍රයට වෑර්ලස් කිව්වේ? ඒ කතාව දැනගන්න ටිකක් අතීතයට යා යුතුයි. ඒ අතීතය ඉතා රසවත්. සමහර තොරතුරු ඔබට හාස්‍යජනක වෙතැයි සිතනවා. ඉතින් මේ ලිපියෙන් මා ඔබ සමග කතාකරන්නේ පැරණි ගුවන්විදුලි යන්ත්‍ර සහ හඬ පටිගත කරන සහ වාදනය කරන යන්ත්‍ර පිළිබඳවයි. 
  වෑර්ලස් කියන්න වචනය ඉංග්‍රීසි භාෂාවේ Wireless වය(ර්)ලස්  කියන වචනය සිංහල අපේ කණට ඇසුන ආකාරය අනුව සකසාගත්තක්. ඔබ දන්නවාද අපේ රට යටත් විජිතයක්ව පැවතී අවදියේදී සුද්දන්ගේ වචන අපේ කනට ඇසෙන ආකාරය අනුව සකසාගත් වචන රාශියක් භාවිත වුනා. උදාහරණ වශයෙන්, Criminal යන වචනයට අපේ අය කිව්වේ ‘කිරිමේල්’ කියලයි. Government යන වචනය ‘ගෝරමේන්තුව’ කියලා භාවිත කළා. වයර්ලස් යන්ත්‍රය සොයාගන්නට කලින් තිබුනේ වයර් හෙවත් කම්බි මගින් සම්බන්ධ කර පණිවිඩ යවන දුරකථනය පමණයි. ඒ හැර මහජනතාවට යම් රසාස්වාදයක් ලබාගැනීම සඳහා තිබුනේ ග්‍රැමෆෝනය වැනි උපකරණ පමණයි.
  vintage,gramophone,music,phonograph-a8fb526379443f836cf07f827dccef75_hග්‍රැමෆෝනයට අපේ ගැමියා කිව්වේ ’ගිරැංපෝං’ එක කියලයි. ග්‍රැමෆෝන් තිබුන කාලේ ගුවන්විදුලි යන්ත්‍ර තරම්වත් ඒවා සමාජයේ ප්‍රචලිතව තිබුනේ නැහැ. ‘ගිරැංපෝං’ එක ගැන මම මෙතැනදී දීර්ඝ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සරලව කියනවානම් මෙහෙමයි. වයින් කරන දුන්නකින් බලය ලබාගෙන කරකැවෙන වෘත්තාකාර තට්ටුවක් මත, වයිනයිල් නමැති ද්‍රව්‍යයෙන් සකසන ලද තැටියක් රඳවනවා. එම තැටියේ, කලින් සකසන ලද, සියුම් සර්පිලාකාර කානුවක් තිබෙනවා. ඒ කාණුව දිගේ ඇදීයන ලෙස, ලෝහ ඉදිකටුවක් තබා තිබෙනවා. (අවශ්‍ය වෙලාවට තැබීමට සහ ඉවත් කිරීමට හැකියි) ඒ කාණුව, තැටි සකසන යන්ත්‍රය වෙත ලැබෙන, කිසියම් ශබ්ද මාලාවකින් ඇතිවන, කම්පන රටා අනුව, උස්පහත්වී සැකසුන කාණුවක්. එම කාණුව ඔස්සේ, අර ඉදිකටුව ඇදී යද්දී, කාණුවේ ගැටිති වල ස්වභාවය අනුව, අර ඉදිකටුව ඉහළ පහළ කම්පනය වෙනවා. ඒ කම්පනයෙන් උපදින හඬ, ලෝහ නලයක් මගින්, විශාල ලෝහ කේතුවකට යොමු කරනවා. එවිට, අර ශබ්ද වර්ධනයවී ඇසෙනවා. ඒ තමයි ග්‍රැමෆෝනයේ ඉතා සරල යාන්ත්‍රික විස්තරය.
  Rediffution 1හොඳයි ඉතින් කෝ වයර්ලස් කතාව? ඒ කතාවට යන්න කලින් තව එක කාරණයක් තියනවා. මම කිව්වනේ වයර්ලස් (වයර් රහිත) වුනේ වයර් සහිත තත්වයෙන් තිබුණ පණිවිඩ යැවීම නව වෙනසකට භාජනයවීම නිසා කියලා. ඉතින් මිනිස්සු වයර් දිගේ එන සංගීතය, ප්‍රවෘත්ති එහෙමත් ඇහුවද? අපොයි ඔව්. ඉස්සර අපේ රටෙත් තිබුනා. හැබැයි කොළඹ විතරයි. ඒ මෙන්න මෙහෙමයි. වයර් සහිත දුරකථන මාර්ග සකසන ආකාරයටම කණු සිටුවා කම්බි යොදවා නිවෙස්වලට හෝ ඉල්ලාසිටින වෙනත් ස්ථිර ගොඩනැගිලි වෙත මේ සේවය ලබාදුන්නා. මාසික ගාස්තුවක් ගෙවිය යුතුයි. එහිදී සිදුවන්නේ ස්පීකරයක් සහිත පෙට්ටියක් වැනි උපකරණයක් සවිකිරීමයි. පෙට්ටියේ තියනවා හඬ අඩුවැඩි කරගැනීමට පාලකයක් සහ අපි බිත්ති විදුලිපංකාවක වේගය අඩුවැඩි කරන ආකාරයට කරකවියහැකි තවත් පාලකයක්. එයින් කෙරෙන්නේ නාලිකා තේරීමයි. ප්‍රධාන මධ්‍යස්ථානයේ සිට තැටි/පටි මගින් වාදනය කරන සංගීතය කම්බිදෙක දිගේ නිවසට එනවා. (නාලිකා කිව්වට දැන් වගේ නෙවෙයි. සිංහල දෙමල ඉංග්‍රීසි භාෂා තුන පමණයි) ලංකාවේ මේ ක්‍රමය පවත්වාගෙන ගියේ ‘රෙඩිෆියුෂන් Rediffusion’ නමැති පෞද්ගලික සමාගමක් විසින්. 1970 දශකයේත් මේ සේවය කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තිබුනා.  ඒ කියන්නේ, ලංකා ගුවන්විදුලි සේවය ආරම්භ කලාට පස්සෙත් රෙඩිෆියුෂන් අහපු අය හිටියා. ඒකට එක හේතුවක් වුනේ, ගුවන්විදුලියේ ප්‍රචාරය නොවෙන ‘නැගලා යන සින්දු’ රෙඩිෆියුෂන් එකේ අහන්න ලැබුන නිසයි.
  628x471ගුවන්විදුලි යන්ත්‍රය සොයාගැනීම නිසා ලෝක ඉතිහාසයේ මහත් විප්ලවයක් වුනා. මුළු ලෝකයම ගුවන්විදුලි තරංග වලින් එකට සම්බන්ධවුනා. එක රටක සිදුවන දෙයක් සජීවීව හෝ ඉතා සුළු වෙලාවක් තුළ ලෝකයටම දැනගන්න පුළුවන් වුනා. මගේ ජීවිතකාලය තුළ, මෙතෙක් මා අසා ඇති, වැදගත්ම සජීවී ගුවන්විදුලි ප්‍රචාරය ලෙස මා සලකන්නේ, මිනිසා හඳට ගොඩබට මොහොත අසන්නට ලැබීමයි. එවකට පාසල් සිසුවකු වූ මා, සහ අපේ පවුලේ සියළු දෙනා,  මේ විශ්මයජනක ප්‍රචාරය අසා සිටියේ ප්‍රාතිහාර්යයක් අත්විඳිනවා හා සමානවයි. ඇමරිකාවේ සිට කරන සජීවී විකාශය ඒ මොහොතේම සිංහලට පරිවර්තනය කර විකාශනය කෙරුණා. අදනම් අපේ ජංගම දුරකතනයෙත් ගුවන්විදුලි පහසුකම තිබෙනවා. පහසුකම වැඩි නිසාදෝ අද ගුවන්විදුලිය මහජන අප්‍රසාදයට ලක්වන අවස්ථා බහුලයි. ගුවන්විදුලි යන්ත්‍රය සොයාගැනීමේ ගෞරවය එක් අයකුට හිමි දෙයක් නොවෙයි. ඒ බව විකිපීඩියාවේ මේ ලිපියෙන් බලන්න පුළුවන්. නමුත් වැඩි ගෞරවය දිනාගත්තේ මාර්කෝනි නමැති විද්‍යාඥයා. නමුත් මේ ලිපියෙන් මම ඒ ගැන කතාකරන්න යන්නේ නැහැ.
  මා පාසල් සිසුවකුව සිටියදී, කාලයක්, විනෝදාංශයක් ලෙස, ගුවන්විදුලි කාර්මික විද්‍යාව සහ රූපවාහිනී කාර්මික විද්‍යාව ඉගෙනගත් අතර, තරුණ වියේදී, මගේ අතින්ම කොටස් සවිකර, විවිධ ආකාරයේ ගුවන්විදුලි යන්ත්‍ර කීපයක් නිපදවා තිබෙනවා. මා මුලින්ම ගුවන්විදුලි කාර්මික විද්‍යාව ඉගෙන ගනිද්දී, ලෝකයේම බහුලව තිබුනේ රික්ත නළ Vacuum Tube හෙවත් එදිනෙදා ව්‍යවහාරයේදී වැල්ව් (මේ වචනයත් සමහරු කියන්නේ ‘වෑල්’ කියලයි. සමහරු වයර් වලට ‘වෑර්’ කියනවා වගේ) යනුවෙන් හැඳින්වෙන ක්‍රියාකාරිත්වය සහිත, ගුවන්විදුලි යන්ත්‍ර. මෙහිදී ඩයෝඩ්, ට්‍රයෝඩ්, ටෙට්‍රෝඩ්, පෙන්ටෝඩ්, ආදී වශයෙන් ක්‍රියාකාරී මූල දෙකක්, තුනක්, හතරක්, පහක්, ඇති වෑල්ව් ගැන ඉගෙනීම අති සංකීර්ණ බව මතකයි. මා අටවැනි පන්තියේ සිසුවකුව සිටියදී, තනිවම සෑදු ගුවන්විදුලි යන්ත්‍රයේ පරිපථ සටහන, ඔබට පෙන්නුවොත් ඔබට ඇතිවන්නේ හාස්‍යයක් බව හොඳටම විශ්වාසයි. පළමුව බලන්නකෝ ඒ පරිපථය.  
oatboxcomp3 කොහොමද ඔබට ඇතිවෙන සිනාව? හැබැයි මතකතබාගන්න මේ ගුවන්විදුලි යන්ත්‍රයෙන් විදේශීය ප්‍රචාර පවා අහන්න පුළුවන්. හැබැයි එක්කෙනෙකුට පමණයි. මොකද මෙහි තිබෙන්නේ ඉයර්ෆෝනයක්. විදුලිබලය හෝ බැටරි බලය අවශ්‍ය නැහැ. මේ පරිපථය වෙත ලැබෙන ගුවන්විදුලි තරංග වල බලයෙන්ම තමයි ක්‍රියාකරන්නේ. මෙහි හඬ අඩුවැඩි කරන පාලකයක් නැහැ. එවැන්නක් අවශ්‍ය නැති නිසා. මෙහි තිබෙන්නේ අඟල් දෙකක පමණ විෂ්කම්බයෙන් යුත් අඟල් හතරක් පමණ දිග කාඩ්බෝඩ් නලයක්. එහි තඹ කම්බියක් පොටවල් 40ක් ලෙස ඔතා තිබෙනවා. ඒ එතුමේ පොටවල් පහකට එකක් පමණ වන පරිදි සම්බන්ධක සකසා තිබෙනවා. Antenna කියන තැනට කම්බියක් (අඩි 10ක් පමණ උසට) යොදවන අතර Ground කියන තැනට තවත් කම්බියක් සවිකර එය ඉතා හොඳින් භූගත Earth කලයුතුයි. ඉන්පසු ඉයර්ෆෝනය කනේ රඳවාගෙන Alligator Clip යනුවෙන් දක්වා ඇති ක්ලිප් එක අර නලයේ ඔතා ඇති කොයිල් එකේ එක් එක් සම්බන්ධක ස්ථාන වලට සවි කරාම විවිධ ගුවන්විදුලි ප්‍රචාර අහන්න පුළුවන්. හැබැයි ඝෝෂාකාරී ශබ්දත් එනවා. නමුත් ලොකු විනෝදයක් ලැබෙනවා. මෙහි තවත් ක්‍රමයක් තිබුනා. මෙහි Diode නමැති ස්ථානයේ තිබෙන්නේ  ක්‍රිස්ටල් නමැති ගලක්. අඟල් කාලක පමණ, කිසිදු සම්මත හැඩයක් නැති රිදී/රන් පැහැය මිශ්‍ර ගලක්. (ලෝහ/ඛනිජ) උල් කරන ලද කම්බි කැබැල්ලක් ඒ ගලේ එක එක ස්ථානවලට තැබුවිටත් හඬ පැහැදිලි කරගන්න පුළුවන්. මා දන්නේ නැහැ දැන් පාසල් සිසුන් විනෝදය සඳහා මෙවැනිදේ කරනවාද කියා. (විකාරද? නෙට් එක තියනවනේ. මොකටද ආය කම්බි කෑලි?) මා ඉගෙනගත් පොතේ තිබුනේ මෙන්න මෙහෙමයි.
img011
  ඉහත දක්වා තිබෙන්නේ, මා, පාසල් සිසුවකු ලෙස ගුවන්විදුලි කාර්මික ශිල්පය ඉගෙනගත් අවධියේ, පරිහරණය කල පොතකින් පිටුවක්. ඒ පොත අදත් මා සතුව තිබෙනවා. මේ පොත මට කළින් මගේ පියාත්, මගේ අයියාත්, පරිහරණය කර තිබෙනවා. මේ පොත 1950 දශකයේ අග භාගයේදී හෝ 1960 දශකයේ මුල භාගයේදී මුද්‍රණය කරන්නට ඇති බවයි සිතන්නේ. පිට කවරය නැති නිසා හරියටම කියන්නට බැහැ.
img010
මුල්ම කාලයේ නිපදවුණ ගුවන්විදුලි යන්ත්‍ර පෙනුමෙන් නම් එච්චර ලස්සනවුනේ නැහැ. ඒ කාලයේ ගුවන්විදුලි යන්ත්‍ර කීපයක් පහත දක්වනවා.
Gamage%203%20valve%20receiver%201926%20(voor)
EHSCOTT_ALLWAVE15-1
Zenith712b
ලස්සනයිද? හැබැයි එකක් මතකතබාගන්න. මේවා අද මිල කළ නොහැකි කෞතුක භාණ්ඩ. මේවා ළඟ තියන කිසි කෙනෙක්, කීයටවත්, ඒවා විකුණන්නේ නැහැ. මා ඔබට කිව්වා මුල් යුගයේ මේ ගුවන්විදුලි යන්ත්‍ර රික්ත නළ හෙවත් වෑල්ව් මගින් ක්‍රියා කලේ කියලා. නරකද වෑල්ව් ගැනත් සරල දැනුමක් ලබාගත්තොත්? මේ බලන්න මෙන්න මේවට තමයි වෑල්ව් කියන්නේ.
il_fullxfull_347210583
මේවාගේ පිටත ආවරණය නිපදවා තිබෙන්නේ වීදුරු වලින්. (ඒ කාලේ මා අතින් මේවා කීපයන්ම බිඳිලා තියනවා නොසැළකිල්ලෙන් බිම වට්ටවා ගැනීමෙන්) ගුවන්විදුලි යන්ත්‍ර පරිපථයක එක් එක් ස්ථානය සහ ස්වභාවය අනුව විවිධ වර්ගවල, විවිධ හැඩයේ, විවිධ ප්‍රමාණයේ, වෑල්ව් නිපදවෙනවා. නමුත් ඒ සියල්ල බොහෝදුරට සිලින්ඩරාකාර හැඩයෙන් යුක්ත වන අතර ක්‍රියාකරන්නේ එකම න්‍යායක් අනුවයි. ඔබ දැකලා නැතිව ඇති කොහොමද ගුවන්විදුලි යන්ත්‍රයක මේවා සවිකර තිබෙන්නේ කියා. මෙන්න බලන්න.
nordmendeturnadotinside
අදට මේ ඇති නේද? තව ගොඩක් විස්තර තියනවා. දැනට පෙනෙන විදිහට කොටස් තුනකටවත් යන්න වෙයි වගේ. සියල්ල රඳා පවතින්නේ ලැබෙන ප්‍රතිචාර මත තමයි.
මෙම ලිපියෙහි දක්වා ඇති, පොත්පිටු දැක්වෙන ඡායාරූප දෙක හැර, අනෙකුත් සියලුම ඡායාරූප, Google Image වෙතින් ලබාගත් බව සඳහන් කරමි.
My Signature for Blog2013 පෙබරවාරි මස 19 වැනි දින 0113 පැය

15 February 2013

අපේ වාර්ෂික සංචාරය

අපේ ප්‍රදේශයේ මහජනතාවගේ සුබ සිද්ධිය සඳහා පිහිටුවාගෙන තිබෙන ‘එක්සත් සුබසාධක සංගමය’ සෑහෙන තරම් සේවයක් ඉටු කරනවා. අවමංගල්‍ය සඳහා පමණක් ආධාර කරන වෙනත් සමිති මෙන් නොව (අවමංගල්‍යයකදී රු 30000 ක් ගෙවනවා) 5 වැනි ශ්‍රේණිය, අ.පො.ස. (සා.පෙ.) සහ (උ.පෙ.) ඉහලින් සමත්වන දරුවන්ටද ශිෂ්‍යාධාර ලබාදෙනවා. තවත් විවිධ ව්‍යාපෘති රැසක් මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

සෑම වසරකම පෙබරවාරි මස 4 වැනිදා (නිදහස් දා) සාමාජික පවුල්, විනෝද සංචාරයක යෙදෙනවා. එය සහන මිලකට සිදුකෙරෙන්නේ. මෙවර සංචාරයේදී එක පවුලක් (පවුලේ කීදෙනෙක් හිටියත්) සඳහා ගමන් ගාස්තුව සහ උදේ, දවල්, රාත්‍රී ආහාරද ඇතුලත්ව රුපියල් 1000 යි.
පසුගිය පෙබරවාරි 4 වැනිදාට යෙදුණු මෙවර සංචාරයේදී මගේ කැමරා ඇස ගියතැන් කීපයක් පහත දක්වනවා. රිටිගල වනෝද්‍යානය, විජිතපුර, අවුකන, කලාවැව, රාජාංගනය, වැනි ප්‍රදේශ අපේ සංචාරයේදී නරඹන්නට හැකිවුනා.  
1
2
  රිටිගලට ගියාට පස්සේ ලස්සන වැඩක් වුනා. ඉහත රූපයේ තියන සංචාරක මධ්‍යස්ථානයේ සිට රිටිගලට කි.මී. 2 ක් යා යුතුයි. නමුත් වනජීවී නිලධාරීන් කිව්වා අත දරුවන්ද රැගෙන ඒ දුර පයින් යාම අනතරුදායකයි එයට හේතුව පාර දෙපස වල් අලි ගැවසෙන නිසා කියලා. ඒ දුර බස් රථවලට යන්න බැරි, පසුගිය මහා වැසි කාලයේදී පාර අබලන් වීමයි. 4 x 4 ජවය සහිත වාහන වලට යා හැකියි. ඒ නිසා අපි තීරණය කළා, ඒ අනතුරුදායක ගමන නොගොස්, සංචාරක මධ්‍යස්ථානයේ නිලධාරියකුගේ දේශනයකට සවන්දීමට සහ රිටිගල ගැන සැකසූ වීඩියෝ චිත්‍රපටියක් නැරඹීමට.
3
රිටිගලින් පිටත්වූ අපි ඊළඟට නැවතුනේ කළා වැව අසළයි
4
කළා වැව අසල සෑහෙන වෙලාවක් ගතකළා. ඉන්පසු අවුකන වෙත ළඟා වුනා.
5
6 a
මටනම් අවුකන පිළිම වහන්සේ දිහා දවසක් බලා හිටියත් මදි වගේ.
රාජාංගණයට යනතුරු පිරිස හිටියේ බොහොම නොඉවසිල්ලෙන්.
6
7
8
9
10
11
12
13
IMG_2981
14
15
16
17
14 b1819
18 a
මේ වාර්ෂික සංචාරයේදී සෑම දෙනාගේම කැමරා වලින් ලබාගන්නා ඡායාරූප එකතුකර DVD Slide Show එකක් නිර්මාණය කිරීමත් මගේ සිරිතක්. අපේ සමහර අය ඒකට කියන්නේ ‘මඩ ඩී.වී.ඩී. එක’ කියලා. හැබැයි ඒ කවුරුවත් අමනාප නැහැ එහෙම කරනවාට. පහත දැක්වෙන්නේ මෙවර ඒ සඳහා සැකසෙමින් පවතින රූප රාමු වලින් කීපයක්.
2021
2425
  සියලුම කැමරා වලින් ලබාගත් පින්තූර ගණන 500 කට වැඩියි. ඒවා තෝරලා බේරලා සංස්කරණය කරලා ඉවරවෙන්න තව සෑහෙන දවසක් යයි. පුළුවන් වුනොත් ‘මඩ ඩී.වී.ඩී’ එක දාන්න බලන්නම්.
  සමහරවිට මේ පින්තූර වල ඔබ හොඳින් දන්නා හඳුනන අයත් ඇති. අනේ වඳිඤ්ඤං, මේ පින්තුරේ ඉන්නේ අරයා නේද? අර පින්තුරේ ඉන්නේ මෙයා නේද? කියලා පුද්ගල නාම වලින් අහන්න නම් එපා.
26
My Signature for Blog2013 පෙබරවාරි මස 15 වැනි දින 2245 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }