හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

30 May 2013

අපේ තුවක්කූ ඉහළම කාලතුවක්කූ……….(පළමුවැනි කොටස) – The Artillery Gun (Part One)


civil-war-cannon-FH2345_1-front   මාතෘකාවට යොදා තිබෙන ගීය ඔබට මතකද? අපේ තුවක්කු ඉහලම කාලතුවක්කු………ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්කු…..(පුරුතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා) ඒ ගීතය තියෙන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්  අධ්‍යක්ෂණය කල ‘සංදේශය’ චිත්‍රපටියේ. එච්.ආර්.ජෝතිපාල ශූරීන් ඇතුළු පිරිස ගයන මේ ගීතයේ පදමාලාව, අරිසෙන් අහුබුදු ශූරීන්ගේ. සංගීතය ආර්.මුත්තුසාමි ශූරීන්ගේද පී.එල්.ඒ. සෝමපාල ශූරීන්ගේද යන්න මට දැන් මතක නැහැ. (හොයන්න උත්සාහ කලෙත් නැහැ) ගී තනු සුනිල්ශාන්ත ශූරීන්ගේ බව මතකයි. 
  අපේ රටේ පැවති පසුගිය යුද සමයේදී නම්, ඔබ කාලතුවක්කු ගැන නිතර තොරතුරු අහන්න/දකින්න/කියවන්න ඇති. ඔබෙන් සමහරු කාලතුවක්කු අතපතගාලත් ඇති, ‘දැයට කිරුළ’ වැනි ප්‍රදර්ශන වලදී. (අනේ බලන්න මහතුනි, කවුද එකෙක් කට කැඩිච්ච කතාවක් කියලා තිබුනා, දැයට කිරුළ නෙවෙයි, නියම නම ‘ජාතියටම තොප්පිය’ කියලා)
  කාලතුවක්කු ගැන කියද්දී එකවරම මගේ මතකයට මේ සිද්ධිය ආවා. 1980 දශකයේ මැද භාගයේදී, පොළොන්නරුවේ දිඹුලාගල පන්සලේ, විශාල හමුදා කඳවුරක් තිබුණා. අවුරුදු තුනේ, හතරේ, පහේ, කුඩා සාමනේර හිමිවරුන් මහා රාශියක්ද ඒ පන්සලේ වැඩහිටියා. ඒ පන්සල අසළ තිබුණු කාලතුවක්කු බතරොයිය බලන්න, මේ හිමිවරු නිතර වඩිනවා. වෙලාවකට හරිම කරදරයක්. ඔක්කොම දේවල් අදිනවා. කාලතුවක්කු බටය දිගේ නගිනවා. සිවුර බිම. අඳනේ පිටින් නගින්නේ. බැරිම තැන අපේ සොල්දාදුවෝ හීනි කෝටු කඩාගෙන සැර කරලා තමයි උන්වහන්සේලාව ඉවතට වඩම්මාගන්නේ.  :D :D
  prePic1_gifනෑ නෑ කෝටු තිබුනට ගැහුවේ නැහැ කවදාවත්. නායක හාමුදුරුවන්ට (එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ, කිතලගම ශ්‍රී සීලාලංකාර – ‘දිඹුලාගල ලොකු හාමුදුරුවෝ’) කිව්වොත්, ඒ සාමනේර හිමිවරුන්ට දැඩි දඬුවම් ලැබෙන නිසා, කවදාවත් කාලතුවක්කු බතරොයියේ සේවය කල අපේ අය ලොකු හාමුදුරුවන්ට පැමිණිලි කලේ නැහැ.
ඒ චූර්නිකාවත් සමග අද මා ඔබව කැඳවාගෙන යන්නේ කාලතුවක්කුව කියන්නේ මොකක්ද කියලා හඳුන්වා දෙන්නටයි.හැබැයි මුලින්ම එක දෙයක් කිව යුතුයි. මා කාලතුවක්කු හමුදාවට අයිති නිලධාරියකු නොවෙයි. ඒ නිසා මා සතුවන්නේ කාලතුවක්කු පිලිබඳ සීමිත දැනුමක්. නමුත් මා විශ්වාස කරනවා, කාලතුවක්කු පිළිබඳව ඔබට ‘සතුටුදායක දැනුමක් ‘දෙන්න තරම්, මගේ දැණුම ප්‍රමාණවත් කියා.
  කාලතුවක්කුවට මොකද හැබෑට කාලතුවක්කුව කියන්නේ? ඕං අහපල්ලකෝ කතාවක්? අතට අත කියන්නේ මොකද? කකුලට කකුල කියන්නේ මොකද කියලා අහනවා වගේ වැඩක්නේ යකෝ මේක.
  (එදිනෙදා කතාබහේදී මට ‘යකෝ’ කියන වචනය නිතර කියවෙනවා. ඔබටත් එහෙමද? යකෝ කියන්නේ ඉස්සර අපේ රටේ හිටිය යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවතුන අය කියලා දවසක් මගේ යාලුවෙක් කිව්වා. හරි හරි, එයාගේ කතාව හරි. ඉතිං මම යකෙක් නිසානේ, ආමි එකට ගියේ :D )
  හැබෑටම මොකද මේකට කාලතුවක්කුව කියන්නේ. දැන් ඔය අනික් තුවක්කු තියනවනේ. ඒවාගෙන් වෙඩි තියපුවාම……….
    (හයියෝ……… අතුරු කතා හරියට ඔළුවට එනවා මේවා ලියද්දී. කාලතුවක්කු හමුදාවේ හිටියා, ‘තිබ්ස්’ කියන අන්වර්ථ නමෙන්, එයාගේ යාළුවො විසින් අමතනු ලැබූ නිලධාරියෙක්. එයා නැති තැන, එයාට පහලින් හිටිය නිලධාරියෝ, එයාව හැඳින්වූවේ ‘තිබ්බා’ කියලා. එයා ඒක දැනගෙනයි හිටියේ. අල්ලගත්තානම් හම ගහනවා, ඒ විදිහට ‘තිබ්බා’ කියන අයව. හරිම සැරයි එයා. එයාගේ ලොකු අක්කා මම හෝඩිය, පළවෙනිය, දෙක, තුන, පන්තිවල ඉගෙනගන්න කාලේ ඒ ඉස්කෝලේ විදුහල්පතිනිය. අපි ඉස්කෝලේ ගිය කාලේ මුලින්ම හෝඩිය, ඊළඟට පළවෙනිය, ඊළඟට දෙක,තුන,හතර,පහ, විදිහට ’තිබ්බේ’.මේ ‘තිබ්බා’ කියන එකට අරයා වැඩිය කැමති නැහැ. දවසක් එයාගේ සහායකයා (බඩී) ලිපිගොනුවක් ගෙනල්ලා, ‘සර් මම මේ ෆයිල් එක මෙතනින් තිබ්බා’ කිව්වලු. එතකොට අරයා කිව්වලු ‘ළමයා, තිබ්බා නෙවෙයි තැබුවා කියනවා මීටපස්සේ’ කියලා :D )  
  හරි, ආපසු හැරෙන්…..ගමනේ යා….’යා කිව්වම යාකො ඉතිං’ කිව්වලු එක සැරයන් කෙනෙක්. ඔන්න ආපහු ආවා, අර ඉහත නැවැත්තුවේ, ඒවාගෙන් වෙඩි තියපුවාම කියලා. අන්න හරි, තිත් දාලා නැවැත්තුව තැනට.
  සාමාන්‍ය තුවක්කු වලින් වෙඩි තියපුවාම ‘ඩීං…’ ගාලා වෙඩිල්ල වදිනවනේ. නමුත් කාලතුවක්කුවෙන් ‘ඩිබුම්..ම්..ම්..’ ගාලා පිටවෙන උණ්ඩය සෑහෙන වෙලාවක් ‘ෂියූ ………’ ගාගෙන (කාලයක් අරගෙන) අහසේ ගමන් කරලයි ඉලක්කය මත ‘දඩ්ඩොං……’ ගාලා පතිත  වෙන්නේ.  :D :D එහෙම කාලය ගන්න නිසයි මේකට කාලතුවක්කුව කියන්නේ. වෙනත් වචන වලින් කියනවානම් තුවක්කුවෙන් පිටවන උණ්ඩය මුලින්ම අහසට නැග, පරාවලයාකාර (parabolic) ගමන්මගක අහසේ ගමන්කර, ඉලක්කයට පතිත වන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් කාලතුවක්කුවට කියන්නේ Artillery Gun කියලා ඔබ දන්නවනේ. අතීතයේදී මේ නම යෙදුවේ, ලොකු තුවක්කුව, දිග බටයක් තියන, ලොකු කටක් තියන විශාල තුවක්කුව, ලොකු උණ්ඩ දමා වෙඩි තියන තුවක්කුව යන තේරුම සඳහායි. නමුත් වර්තමානයේදී, යුද ටැංකි වල, නැව් වල, සවිකර තිබෙන විශාල තුවක්කු, භූමියේ සිට ක්‍රියාකරවන, මෝටාර් බෝම්බ විදිනයන්,  ගුවන් යානා නාශක විශාල ප්‍රමාණයේ තුවක්කු,  ආදී සියල්ලම, කාලතුවක්කු යන වර්ගීකරණය තුළ ගැබ්වෙනවා. (මේවා ඔක්කොම ගැන පස්සේ කතා කරමු)
  අපි යුද භූමියේ ඉන්නකොට අපේ හමුදාවට අයිති කාලතුවක්කු තියෙන්නේ අපි ඉන්නවාට වඩා කිලෝමීටර් කීපයක් පසුපසින්. (ඉස්සරහට ගන්න අවශ්‍යතාවක් නැහැ. කාලතුවක්කුවකින් ඉතා ඈතට වෙඩි තියන්න පුළුවන්. ඉස්සරහට ගෙනල්ලා, ඒවා ‘අරුන්ට’ දන් දෙන්නද කියන්නේ? :D ) ඉතිං අපි ඉදිරි භූමියේ තත්වය අනුව කාලතුවක්කු සහාය ඉල්ලුවම අපේ ඔලුවට උඩින් යන්න තමයි වෙඩි තියන්නේ.
  (බයවෙන්න එපා……. ඔය මොනවද කකුල්දෙක දිගේ පහළට වැක්කෙරෙන්නේ?………. ඒවා යන්නේ අපේ ඔලුවට වඩා අඩි සිය ගණනක් උඩින්……..හයියෝ………කාලතුවක්කුව ළඟ හිටියනම්, කාලතුවක්කුවයි ඔයාවයි, හෝදන්න වෙනවා.)
  අන්න එහෙම යන උණ්ඩය ගමන් කරන ශබ්දය හොඳට ඇහෙනවා ‘ෂියූ……’ ගාලා.  ගොඩක් එකවර ගහනකොට ‘ෂියූ……’ ‘ෂියූ……’ ‘ෂියූ……’  :D දැන් හරිද?  නෑ හරි නෑ. සාමාන්‍ය තුවක්කුවකයි කාලතුවක්කුවකයි අතර වෙනස මේකයි………..  
  The Musical Showආයෙත් අතුරු කතාවක්.  මේකටත් කාලතුවක්කු සම්බන්ධයි. මම වැලිඔය ප්‍රදේශයේ සේවය කරද්දී, සුප්‍රසිද්ධ නළු නිලියන් ගායක ගායිකාවන් කීප දෙනෙක් ඇවිත් හිටියා හමුදාව වෙනුවෙන් නොමිළේ ප්‍රසංගයක් පවත්වන්න. ඇත්තටම ඒ කාලේ වැලිඔයට කොටි තර්ජන තියෙද්දිත්, මේ පිරිස ජීවිත පරදුවට තියලා පැමිණීම අපි හරියට අගය කළා. ඔන්න ඉතිං එදා රෑ නළුවන්ට සහ ගායකයන්ට  නිලධාරි නිවස්නයේත්, නිළියන්ට සහ ගායිකාවන්ට කාන්තා සෙබළියන්ගේ නිවස්නයේත්, නවාතැන් දුන්නා. (ඇත්තටම මේ නිලියෝ සහ ගායිකාවෝ , සෙබළියන් සතු ඉතා දුර්වල මට්ටමේ වැසිකිළි/නානකාමර පහසුකම් ලබාගත්තේ, වචනයකින්වත් කිසිවක් නොකියමින්. අපි ඒ ගැන කණගාටුව ප්‍රකාශ කළාම ඒගොල්ලෝ කිව්වේ, ‘මීට වඩා දුක් විඳින්න බලාගෙනයි අපි ආවේ. දැන් තමයි යුද්දේ හැටි තේරෙන්නේ. මේ සෙබළියෝ අපිට වඩා කොච්චර වටිනවද කියලා තේරුණා’ කියලයි) ප්‍රසංගය පැවැත්වූදාට පහුවදා රාත්‍රියේ අපි ඒ අය වෙනුවෙන් සාදයක් සහ භෝජන සංග්‍රහයක් පැවැත්තුවා. (හුඟ දෙනෙක් ආමි එකෙන් කාලා නෑ වගේ පෙනුනේ :D ) සාදය ඉහළින්ම පැවැත්වෙමින් මධුවිත සෙමෙන් සෙමෙන් හිස්වෙමින්, හමුදා කැලිප්සෝ කණ්ඩායමක සංගීතය අඩ අඳුරේ සෙමෙන් ගලායමින්, අපේ නිලධාරීන්ගේ ඇස්, සමහර කලාකාරියන් වෙතත්, සමහර කලාකරුවන්ගේ ඇස් අපේ නිලධාරිනියන් වෙතත්, යොමු වෙමින් තිබුනා.(නිලධාරිනියන් දෙන්නෙක් හිටියා. පහල තියනවා ඒ ගැන. මේ කඳවුර, ආරක්ෂක වලල්ලේ සිට කිලෝමීටර් 10ක් පමණ පසුපසින් තිබුණ නිසා, රාත්‍රියේ මෙහෙම සාදයක් පැවැත්වීම භයානක නැහැ) ඔන්න ඉතිං මේ අල්ල පනල්ලේ, ඉදිරි ආරක්ෂක ප්‍රදේශයේ Forward Defended Locality = FDL හිටිය බලඇණියකින්, ගුවන්විදුලි පණිවිඩයකින් දැනුම්දීමක් ලැබුණා, ඉදිරි භූමියේ සතුරු ක්‍රියාකාරකම් නිරීක්ෂණය වන බවත්, ඔවුන් විසින් දන්වන ඉලක්කයට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරන ලෙසත්. කාලතුවක්කු තිබුනේ අපි හිටිය කඳවුරේ. අපි එදා හවස මේ අමුත්තන්ට කියලයි තිබුණේ, හදිසියේ ඇහෙන වෙඩි ශබ්ද වලට බයවෙන්න එපා. අපේ අය සෑමවිටම ඔබ අසළ ඉන්නවා. හදිසියකදී ඒ අය දෙන උපදෙස් අනුව ක්‍රියාකරන්න කියලා. (පේනවනේ මම කලින් කිව්වා වගේ කාලතුවක්කු තියෙන්නේ කොච්චර පසුපසින්ද කියලා) එහි තිබුනේ අපේ හමුදාව සතු විශාලම කාලතුවක්කු වර්ගය වන මිලි මීටර් 130 කාලතුවක්කු තුනක්. ඒ කාලතුවක්කු වලින් කිලෝමීටර් 27ක් දුරට වෙඩි තියන්න පුළුවන්.
    (ඉතිං කවුද ගිහිං බලන්නේ කිලෝමීටර් 27 ඈත තියන ඉලක්කයට වැදුනද කියලා? හුහ්….මම කියන්නේ නෑ යවන්නේ කාවද කියලා…..කිව්වා කියලා හිතාගන්නවා :D :D)
  Night Firingකාලතුවක්කු තිබුනේ, අපි සාදය පැවැත්වූ එළිමහන් භූමියේම, අප සිටි ස්ථානයේ සිට මීටර් 150ක් පමණ දුරින්. කැලය මැද නිසා, තුවක්කු පිටතට පෙනෙන්නේ නැහැ. ඒ කාලතුවක්කු තුනෙන්ම එකවර වෙඩි තිබ්බා. (‘තිබ්බා නෙවෙයි ළමයා තැබුවා’  :D :D )  හෙන හතක් එකවර ගැහුවා වගේ සද්දේ. භූමිකම්පාවක් වෙනවා වගේ පොලොව හෙල්ලුනා.  අපිට නම් ඉතිං, කම්මලේ බල්ලට හෙන ගැහුවා වගේ තමයි, ගානක් නෑනේ. අනේ අර කලාකරුවන් පිරිස මරහඬ තියන්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි සමහරු කලුවරේම දිව්වා. කොහේ දිව්වද කියලා හොයාගන්න බැරිවුණා. අපි ඊට වඩා බයවුනා. මේගොල්ලෝ කඳවුරෙන් එලියට දුවන්න හැදුවනම්, කඳවුරු ආරක්ෂක මුරයෙන් වෙඩිකාලා, මහා ජංජාලයක් වෙලා, අපට තරු පටි ගලවලා, ගෙදර යන්න වෙනවා. ඒ වෙලාවේ, සාදයේ වැඩවලට උදවු කරමින් ,එතන හිටිය සොල්දාදුවෝ, ‘…..මහත්තයා’, ‘…..අයියේ’ බයවෙන්න එපා දුවන්න එපා, අපි වෙඩිතිබ්බේ (තිබ්බා නෙවෙයි යකෝ තැබුවා  :D ) කියමින්, ඔවුන් පසුපස දුවන්න පටන් ගත්තා. මම කිව්වනේ ඒ කාලේ අපට කාන්තා නිලධාරිනියන් දෙදෙනෙක් හිටියා කියලා. අනේ ඒ දැරිවියෝ දෙන්නා, එදා ඒ දෙන්නට තියන ලස්සනම සාරි වලින් සැරසිලා, කේශාන්තයේ සිට පාදාන්තය දක්වා අලංකරණය වෙලා, සාදයට ඇවිත් හිටියේ. ඇයි අප්පච්චියේ ලේසියෙන් හම්බවෙන ‘චෑන්ස්’ එකක්ද, ඔය මහා කැලේ ඔච්චර ලස්සනට අඳින්න. (අපිනම් අත්කොට කමිසයක් කලිසමට උඩින් දාලා, තමයි යන්නේ)  මට මුලින් හඳුනාගන්නවත් බැරිවුනා, ‘අම්මපා මේ අර නිතර දෙවේලේ දකින කිකිලියෝ දෙන්න නේද’ කියලා. :D  අනේ……… උන් දෙන්නත්, අත් දෙකෙන් සාරිය දනිස්ස ළඟටම (ඊටත් උඩටද මන්දා…. මේ වයසක මට, කළුවරේ ඔව්වා හරියට පේන එකක්යැ) උස්සගෙන, අර කලාකාරියෝ පස්සේ පැන්නුවා ‘…….අක්කේ’, ‘….අක්කේ’, ‘බයවෙන්න එපා අපෙන් වෙඩිතිබ්බේ’ (කිව්වා නේද දැන් දෙතුන් සැරයක් හොඳ හිතින්, තිබ්බා නෙවෙයි තැබුවා කියලා :D :D ) කියාගෙන.  කොහොම හරි විනාඩි තිහකට විතර පස්සේ මේ ‘කලාකාර සැට් එක’ ආපහු සාද භූමිය වෙත එක්කරගන්න අපට පුළුවන් වුනා. කීප දෙනෙක් දුවද්දී වැටිලා, කකුල් ඇමැට්ටි වෙලා, දණිස් ලෙලි ගිහිල්ලා තිබුනා. සමහරු හොයාගෙන තියෙන්නේ වැසිකිළිවල ඉඳලා. සමහරු ඇත්තටම වැසිකිළි ගිහිල්ලා (යැවීලා :D ) ඔක්කොටම ඉහළම වෛද්‍ය ප්‍රතිකාර ලබාදී, බය ඇරලා, නැවත සාදය පටන්ගත්තා. හැබැයි ඉතිං පහුවදා උදේ අපි ගහපු ‘කාඩ්’ වලට කනේ ඇඟිලි ගහගන්න වුනා සමහර අයට.  :D නම් කියන්න හොඳ නෑනේ එයාලගේ.
  මං අහන්නේ අද මේ කතාව කියනවද නැද්ද?
හෝව්  හෝව් …..තරහගන්න එපා……… ඉතිං මේ එක එක දේවල් ඔළුවට එනකොට ඒවා නොකියා කොහොමද? ඔන්න එහෙනම්, ඔයාට ඔයවගේ තද වෙනවනම්, ආයේ කතා මතක් වුනත් කියන්නේ නෑ හොඳද…….?
දැන් පුරස්නේ මේකයි……… අද මේ එක එක කතන්දර අහලා, වැදගත් තොරතුරු කිව්වත් ඔළුවේ හිටින්නේ නැහැ.
මම කියන්නද, අදට මෙහෙම කරමු, සාමාන්‍ය තුවක්කුවක් සහ කාල තුවක්කුවක් අතර වෙනස විතරක් කියලා නවත්තමු අදට. ඊළඟ කොටසෙදි, ඉතුරු ඔක්කොම කතාකරමු. එහෙම හොඳයි නේද?
  •   සාමාන්‍ය තුවක්කුවක් අපි සෑමවිටම පාහේ පොළොවට සමාන්තරව (තිරස්ව) තියලානේ වෙඩි තියන්නේ. අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්. නමුත් කාලතුවක්කුවක් ඉතාම කලාතුරකින් තමයි සාමාන්‍ය තුවක්කුවක් මෙන් පොළොවට තිරස්ව තබා වෙඩි තියන්නේ.
bullet_drop
parabola
  •      සාමාන්‍යයෙන් මහා විශාල මැෂින් තුවක්කුවකින් වෙඩි තියන්න, උපරිම වශයෙන් හතර දෙනෙක් හිටියම හොඳටම ඇති. නමුත් කාලතුවක්කුවකින් වෙඩි තියන්න 6 – 10 වැනි විශාල කණ්ඩායමක් අවශ්‍ය වෙනවා.
  •   සාමාන්‍ය තුවක්කුවක් ගැලවීම පිරිසිදු කිරීම, නඩත්තු කිරීම, ප්‍රවාහනය කිරීම පහසුයි. හංගලා තියන්නත් පුළුවන්. නමුත් කාලතුවක්කුවක ඉහත කී කරුණු සියල්ලම බොහොම වෙහෙස මහන්සියෙන් කරන්න ඕනෙ. හංගලා තියන්න පුළුවන්. නමුත් නවීන විශේෂ රේඩාර් පද්ධති තියනවා, කාලතුවක්කුව තියන තැන අල්ලගන්න පුළුවන් වෙඩි තැබීමේදී.
  ඊළඟ ලිපිය එනතුරු කරන්න වැඩක් දෙන්නම්. යන්න  මෙන්න මෙතනට එතන තියන ගැඹුරු තාක්ෂණික තොරතුරු කියවන්න අවශ්‍ය නැහැ. එතැනදී හම්බවෙනවා, ඔය ඉහත රූපයේ තියන කාලතුවක්කුව. යතුරු පුවරුවේ ඊතල යතුරු වලින් කාලතුවක්කුව උස්සන්න පාත් කරන්න පුළුවන්. FIRE  කියන රතු බොත්තම ඔබලා වෙඩි තියන්න පුළුවන්.
  අනේ මේ…….වඳිඤ්ඤං………..මේක කාලතුවක්කුවක් ඈ………ඉස්සර කියලා දුන්න තුවක්කු වගේ නෙවෙයි හොඳද…….. අර මොකාටද මොකක්ද එක අහුවුනා වගේ, හතර අතට වනන්න යන්න එපා හොඳේ.
මෙම ලිපියේ ඇති පින්තූර Google Images වෙතින් ලබාගත් ඒවාය.
My Signature for Blog2013 මැයි මස 11 වැනිදින 0051 පැය

19 May 2013

මේ දෙන්නව හඳුනාගන්න කැමතිද? G3A3 and HK MP 5

මෙම බ්ලොග් අඩවියේ ඉතිහාසයේ පළමුවැනි වතාවට, එකම දිනකදී, පාඨකයන් වැඩිම දෙනෙකු විසින් කියවනලද ලිපිය මෙන්ම, කෙටි කාලයක් තුළ වැඩිම පාඨක සංඛ්‍යාවක් විසින් කියවනු ලැබූ ලිපිය.
(ලිපිය පළ කළ පළමුවැනි දිනය තුළ පමණක්, කියවන ලද පාඨක සංඛ්‍යාව 703 යි. මුල්ම දින හතර තුළ පමණක් කියවන ලද පාඨක සංඛ්‍යාව 1799 යි) ඉහත සටහන 2013/05/23 දින ඇතුළත් කරනලදී.
මෙම ලිපිය පළකළ 2013/05/19 දින සිට 2013/05/29 දක්වා දින 10 තුළ ලිපිය කියවන ලද පාඨක සංඛ්‍යාව 3122 යි.
long-00027.jpgලෝකයේ තිබෙන විවිධ ගිනි අවි වර්ග ගැන මා ඔබට සෑහෙන තරම් කරුණු කියාදී තිබෙනවා. නමුත් කවදාවත් එක පුද්ගලයකුට බැහැ ලෝකයේ තියන සියලුම ගිනි අවි ගැන තම ජීවිත කාලය තුලදී ලියා අවසන් කරන්න. එයට හේතු කීපයක් තියනවා.
  • අපි නොදන්නා, රහසිගතව තබාගෙන ඇති, ගිනි අවි වර්ග සමහර රටවල තිබෙනවා.විවිධ අලුත් ගිනි අවි මෝස්‌තර, අපි නොසිතන තරම් වේගයෙන්, නිරතුරුව බිහිවෙනවා. මේ නිසා වාර්ෂිකව අළුත් ගිනි අවි පිළිබඳ ජර්නල්, (තාක්ෂණික විස්තර පොත්) නිකුත් වෙනවා. සමහර ගිනි අවි වර්ග දැක තිබුනත්, ඒවා ගැන තාක්ෂණික තොරතුරු රහසිගත නිසා, ලබාගන්නට බැහැ. ප්‍රධාන මෝස්තරය එක වුනත්, ලෝකයේ සමහර රටවලදී, හැඩය විවිධ වෙනස්කම් වලට භාජනය කල අවි තිබෙනවා.
  සාමාන්‍යයෙන් මම ඔබ සමග බොහෝවිට සාකච්ඡා කරන්නේ, ඔබ අපේ රටේ පාරතොටේ යනවිට, අපේ ආරක්ෂක හමුදා අතේ තිබෙනු දකින්නට ලැබෙන අවි ගැනයි. ඒ අවි ගැන ඔබට තිබෙන කුතුහලය එයින් තරමක් දුරට සංසිඳේ යයි මා සිතනවා. හැබැයි කෙනෙක් කියන්න පුළුවන් මම වක්‍රව අවි පුහුණුවක් දෙනවා කියලා. නමුත් හොඳින් මතක තබාගන්න. බයිසිකලයක් අතින්වත් අල්ලලා නැති කෙනෙකුට පුළුවන්ද, බයිසිකල් පැදීම ගැන දීර්ඝ විස්තරයක් කියවා, එක වරම බයිසිකල් පදින්න. බයිසිකලය දැකලා තියන නිසාත්, මිනිස්සු බයිසිකල් පදිනවා දැකලා තියන නිසාවත් සමහරවිට සෑහෙන සාර්ථකත්වයක් ලබන්න පුළුවන් වෙයි. නමුත් ගිනි අවි එහෙම නෙවෙයි. ඔබ දන්නවා ක්‍රියාදාම සහ යුද්ධ චිත්‍රපටිවල තුවක්කු හරඹ පෙන්වන හැටි. නමුත් ඒ දර්ශන වල ඉතා කලාතුරකින් තමයි පෙන්වන්නේ,
  • වෙඩි තැබීම සඳහා මුලින්ම තුවක්කුව සූදානම් කරන ආකාරය,
  • පතරොම් හිස්වූ විට පුරවන ආකාරය,
  • වෙඩිතැබීමකදී තුවක්කුව හිර වුනොත් එය නිවැරදි කරගන්නා ආකාරය,
  • තුවක්කුවේ සියලු කොටස්වල ක්‍රියාකාරිත්වය, ආදිය.
  මා ඔබට කියාදෙන කරුණු වලදීත්, මා ඉතා ගැඹුරට නොයන්නේ, මගේ පරමාර්ථය ඔබට සරල අවබෝධයක් ලබාදීම විනා, අවි පුහුණු පන්තියක් පැවැත්වීම නොවන නිසයි. කවුරුන් හෝ මෙවැනි සටහනක් මගින් එසේ අවි පුහුණුවක් දෙන්නට උත්සාහ කරනවානම්, එය හරියට තැපෑලෙන් පිහිනීම උගන්න උත්සාහ කිරීමක් වගේ. කවදාවත්,
  • 1. අවිය,
  • 2. පුහුණුවන්නා,
  • 3. පුහුණු උපදේශක,
  එකතැන නොසිට අවි පුහුණුවක් ලබාදිය නොහැකියි. වීඩියෝවක් මගින් පෙන්නුවත්, අවිය අතට ගත්තමයි රඟේ තේරෙන්නේ. “තේරුනේ……දැන් තමයි” Open-mouthed smile හොඳයි ,එහෙමනම් අද මා රැගෙනවිත් තිබෙන අවි එළියට ගන්නම්. අපි මුලින්ම මේ දෙකෙන් ලොකු අවිය ගැන ඉගෙනගනිමු.
space 2
G3A3 ප්‍රහාරක රයිෆලය – G3A3 Assault Rifle
  HK%2091මේ අවියේ උපත 1959 වර්ෂය තරම් ඈතට දිවයනවා. විශේෂත්වය වන්නේ මෙය අදටත් ලෝකයේ සමහර රටවල පාවිච්චි කරන අවියක් වීමයි. මේ අවිය අපේ යුද හමුදාවට 1980 දශකයේ දී ලැබී තිබුනා. තෝරාගත් සමහර රෙජිමේන්තු වලට පමණක් නිකුත්කළ බවයි මගේ මතකය. නමුත් එය හමුදාව තුළ ‘ජනප්‍රිය’ අවියක් වුනේ නැහැ. එයට හේතු කීපයක් තිබුණා.
  • මේ අවිය සෑහෙන්න බරයි.
  • අපිට ලැබුණු මෝස්තරය අර T 56 අවිය වගේ මිට (බට් එක) නවන්න හෝ හකුලන්න බැහැ) ඒ නිසා එහෙ මෙහෙ ගෙනයාමේදී ටිකක් කරදරයි.
  • හරියට ගැස්සෙනවා. ඒ වගේම හෙණ ගහනවා වගේ ලොකු හඬක් දෙන්නේ වෙඩි තියනකොට.
  • අපිට ලැබුන මෝස්තරය අර්ධ ස්වයංක්‍රීයව වෙඩි තැබීමේ හැකියාව පමණක් තිබුන මෝස්තරයක්. එය යුද්ධ භූමියට ගැලපෙන්නේ නැහැ. (ඒ වනවිට එල්.ටී.ටී.ඊ. සංවිධානය T 56 අවිය පාවිච්චි කරන්න පටන් අරං තිබුණේ)
  • ඒ දිනවලම T 56 අවිය අපටත් ඇවිල්ලා තිබුණේ. ඉතිං එයාගේ ‘වැඩ කිඩ’ දැක්කම මෙයා එපාවෙන එක අහන්නත් දෙයක්ද?
  • විවිධ තුවක්කු වර්ග රාශියක් නඩත්තු කිරීම අපිවගේ දුප්පත් හමුදාවකට නොගැලපෙන නිසා G3A3 අවිය භාවිතයෙන් ඉවත් කළා.
  හැබැයි මේ තුවක්කුව ස්නයිපර් තුවක්කුවක් ලෙස ඉතා හොඳ අවියක්. නමුත් ඒ කාලේදී ඒ අදහස ක්‍රියාත්මක කෙරුනේ නැහැ. මේ තුවක්කුවේ බටයේ (බැරල්) දිග සහ තුවක්කුවේ ශක්තිමත් නිමාව අනුව නම්, මෙය ඉතා හොඳ ස්නයිපර් අවියක් බව කියන්න පුළුවන්. අපිට ලැබී තිබුන අර්ධ ස්වයංක්‍රීය මෝස්තරය පාකිස්ථානයේ නිෂ්පාදිත එකක්. නමුත් ඇත්තටම අපට අවශ්‍යව තිබුණේ පූර්ණස්වයංක්‍රීයව වෙඩි තැබීමේ පහසුකමත් තිබෙන තුවක්කුවක්. මේ තුවක්කුවේ මුල්ම නිෂ්පාදනය කර තිබෙන්නේ ජර්මනියේ ‘හෙක්ලර් ඇන්ඩ් කොච්  – Heckler & Koch’ සමාගම විසින්. ඒ සමාගම මෙය නිපදවා තිබෙන්නේ පූර්ණ ස්වයංක්‍රීය අවියක් ලෙසයි. 
DCB_Shooting_G3_pictures
තුවක්කුවේ තාක්ෂණික විස්තර මෙන්න
(මේ කියන්නේ අපේ හමුදාවේ පාවිච්චි කල මෝස්තරය ගැනයි)
  • තුවක්කුවේ කැලිබරය…………………………………..මිලිමීටර් 7.62 x 51
  • තුවක්කුවේ දිග……………………………………………මිලිමීටර් 1025 යි
  • තුවක්කු බටයේ දිග ……………………………………..මිලිමීටර් 450 යි
  • තුවක්කුවේ බර (මැගසිනය රහිතව)…………………..කිලෝග්‍රෑම් 4.40 යි
  • පතරොමක බර……………………………………………ග්‍රෑම් 24 යි
  • වෙඩි තැබීමේ දුර සකසනයේ පාඨාන්ක………………මීටර් 200,300,400,
  • විනාඩියකට වෙඩි තැබිය හැකි පතරොම් ගණන (අර්ධ ස්වයංක්‍රීය) 100 – 150
  • වෙඩිල්ලක සාපේක්ෂ ප්‍රවේගය …………තත්පරයකට අඩි 2458 – 2624 අතර
  • සඵල වෙඩි දුර…………………………………………….මීටර් 500 යි
space 2
තුවක්කුවේ කොටස් සහ වෙඩි තැබීමට සුදානම් කිරීම
G3 A3 1
G3 A3 2
G3 A3 3
img074
G3 A3 5
G3 A3 6
cartridge  
  මේ තුවක්කුවේ මැගසිනයට පතරොම් 20 ක් දමන්න පුළුවන්. මීට කලින් ඔබ තුවක්කුවක මැගසිනය ගලවන සවි කරන හැටි ඉගෙනගෙන තියනවා. ‘මැගසින් කැච්’ එකක් තියෙන්නේ, මැගසිනය තුවක්කුවෙන් ගලවා ඉවත් කර ගැනීමට බව ඔබ දන්නවා. මා හිතනවා මේ තුවක්කුව හඳුනාගැනීම සඳහා මේ විස්තරය ප්‍රමාණවත් වේයැයි කියා. ප්‍රශ්න තිබෙනවානම් විමසන්න. අපි දැන් යමු ඊළඟ අවිය වෙත. එය නම් බොහොම ජනප්‍රිය අවියක්. G3 A3 අවියෙන් වෙඩිතබන අවස්ථාවක් පහත වීඩියෝවෙන් බලන්න.


මේ වීඩියෝවෙන් පෙන්නන්නේ අර්ධ ස්වයංක්‍රීය G3 A3 තුවක්කුවෙන් වෙඩි තියන ආකාරයයි. බලන්න සෑම වෙඩිල්ලක් සඳහාම ට්‍රිගරය නැවත නැවත මිරිකිය යුතුයි.



මීළඟට බලමු සම්පූර්ණ ස්වයංක්‍රීය G3 A3 අවියෙන් වෙඩි තියන හැටි. බලන්න මේ ශක්තිමත් පුද්ගලයා කොච්චර ගැස්සෙනවද කියා. මේ තුවක්කුව හරියට ගැස්සෙන බව මා ඉහත කිව්වා මතකද?



HK MP 5 ස්වයංක්‍රීය තුවක්කුව
 HK MP 5 A 2 Additional Photo මේ තුවක්කුව තරම් ජනප්‍රිය, මේ තුවක්කුව තරම් විවිධ මෝස්‌තර සහිත, මේ තුවක්කුව තරම් බහුලව භාවිත කරන, තවත් තුවක්කුවක් නැති තරම් කියලා කීමේ වරදක් නැහැ. එමෙන්ම මේ තුවක්කුව තවමත් විවිධ වෙනස්කම්, නවීකරණය කිරීම් වලට භාජනය වන තුවක්කුවක්.  මේ ලිපිය ලිවීම සඳහා කරුණු සොයා බැලීමේදී මට පෙනීගියා HK MP මෝස්‌තර 30 ක් පමණ තිබෙන බව. එයින්ම පෙනෙනවා නේද මේ අවිය කොයිතරම් වැදගත් ද කියන එක. අපේ හමුදාවේ විශේෂ බලකාය සහ කමාන්ඩෝ රෙජිමේන්තුව මේ තුවක්කුවේ මෝස්‌තර කීපයක් පාවිච්චි කරනවා. කෙසේ වෙතත් මා මෙහිදී මුල්තැන දෙන්නේ HK MP 5 මෝස්තරයට පමණයි. ඔබ දැන් දන්නවනේ HK කියන්නේ Heckler & Koch නමැති, ගිනි අවි හදන සමාගමේ නම කියලා. එතකොට MP කියන්නේ මොකක්ද? හාපෝ……අපිටනම් මේ MP කියන වචනය දැන් එපාවෙලා නේද තියෙන්නේ අපේ MP ලාගේ වැඩ නිසා. හැබැයි මෙතන කියන්නේ ජර්මන් භාෂාවේ වචනයක්. ඒ වචනය තමයි Maschinenpistole මෙය ජර්මන් භාෂාවේදී උච්ඡාරණය කරන්නේ ‘මෂීන්පිස්තෝල’ යනුවෙන්. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් Machine Gun කියන එකයි. (තුවක්කු නිසා භාෂාවත් ඉගෙනගන්න වෙනවා) මේ තුවක්කුවේ උපත සිදුවී තිබෙන්නේ 1964 තරම් අතීතයේදී. 1966 දී තමයි වෙළඳපොළට ඇවිත් තියෙන්නේ. මේ තුවක්කුවේ මුල් නිෂ්පාදන සැලසුම් කීප වතාවක්ම ‘හෙක්ලර් ඇන්ඩ් කොච්’ සමාගමෙන් හොරකම් කර තිබෙනවා. ඒ නිසා වෙන්න ඇති මෙපමණ මෝස්‌තර අද තිබෙන්නේ.
  මුලින්ම තුවක්කුවේ තාක්ෂණික තොරතුරු පිළිබඳව අවබෝධයක් ලබාගනිමු.  පහත දැක්වෙන්නේ ඒ තාක්ෂණික තොරතුරුයි.
  • කැලිබරය …9 x 19 මිලිමීටර්
  • තුවක්කුවේ දිග (ස්ථිර බට් එක සහිත මෝස්තරය)…සෙ.මී. 68 යි (අඟල් 26.77 යි)
  • හැකිලිය හැකි බට් එක සහිත මෝස්තරයේ දිග…සෙ.මී.66 යි (අඟල් 25.98 යි)
  • අවියේ බර (ස්ථිර බට් එක සහිත මෝස්තරය)…කිලෝග්‍රෑම් 2.54 යි (රාත්තල් 5.59යි)
  • මැගසිනය රහිතව අවියේ උස …සෙ.මී.62 යි (අඟල් 10.2 යි)
  • විනාඩියකදී වෙඩි තැබිය හැකි පතරොම් ගණන …800 යි  (මෝස්තරය අනුව අඩු වැඩි වේ)
  • උණ්ඩ පිටවීමේ සාපේක්ෂ ප්‍රවේගය …තත්පරයකට මීටර් 400 යි (අඩි 1312 යි) (මෝස්තරය අනුව අඩු වැඩි වේ)
  • ප්‍රතිඵලදායි වෙඩි තැබීමේ දුර …මීටර් 200 යි (අඩි 656 යි)
  • මැගසින් වර්ග …පතරොම් 15, 20, 30, 32, සාමාන්‍ය මැගසින් හෝ පතරොම් 100 රවුම් මැගසිනය
තුවක්කුවේ කොටස් මේ රූපයෙන් බලන්න.(සරල හැඳින්වීමක් පමණි)
HK MP 5 A 2
HK MP වර්ගයේ ප්‍රධාන මෝස්‌තර දෙක තමයි මේ.
Two Main Types
අපේ හමුදාවේ පාවිච්චි කරන වෙනත්  HK MP මෝස්‌තර
MP5K & MP5KA1
HK MP 5 K1  මේ මෝස්තරයේ විශේෂත්වයක් තිබෙනවා. රතු ඊතල වලින් පෙන්වන්නේ එයයි. බලන්න සේෆ්ටි ලිවරය Single කියන තැනට දැම්මොත් ට්‍රිගරය මිරිකන එක වරකට එක උණ්ඩයක් පමණයි පිටවෙන්නේ. හරියට අර්ධ ස්වයංක්‍රීය තුවක්කුවක් වගේ. ඊළඟට Three Burst කියන තැනට සේෆ්ටි ලිවරය දැම්මොත් ට්‍රිගරය මිරිකන වාරයක් පාසා උණ්ඩ තුන බැගින් පිටවෙනවා. අන්තිමට තියෙන්නේ Full Auto Mode එක. එතනට සේෆ්ටි ලිවරය දැම්මම මැගසිනයේ පතරොම් අවසන් වනතුරු  සම්පූර්ණ ස්වයංක්‍රීය ක්‍රමයට වෙඩි තියන්න පුළුවන්.  පහළින්ම තියන සුදුපාට තැනට සේෆ්ටි ලිවරය දැම්මම, තුවක්කුව ලොක් වෙනවා.
 දැන්නම් විස්තර කතාකරා ඇති නේද. මේ අවියේ එක එක මෝස්‌තර ගැන කියන්න ගියොත් ලිපි දහයක් විතර ලියන්න වෙනවා. ඔබට එපාවෙයි එකම අවිය ගැන එච්චර විස්තර ලිව්වම. ඉතුරු දේවල් වීඩියෝ වලින් බලමු.
තුවක්කු පිස්තෝල වලට සයිලන්සර් සවි කරන්න පුළුවන් බව මම ඔබට කියලා දුන්නනේ ‘තුවක්කුවක කට වැසීම’ ලිපියෙන්. මෙන්න බලන්න සයිලන්සරය සහිත HK MP 5 W මෝස්තරයේ තුවක්කුවකින් වෙඩි තියන හැටි.  


තුවක්කුව ගලවන්න හයිකරන්න ඉගෙනගත්තොත් නරකද? එහෙනම් මේ වීඩියෝව බලන්න.




මේ වීඩියෝවෙන් පෙන්වන්නේ එළිමහනේ කෙරෙන වෙඩි තැබීමක්
තුවක්කුව දෙස පමණක් බලනු

කොහොමද ‘තුවක්කුව’ ? +++ නේද? :D :D :D   ඉතිං අදට මා ඔබෙන් සමුගන්නවා. ප්‍රශ්න තියනවනම් අහන්න. :-? ඉදිරි කාලයේදී තවත් මෙවැනි තුවක්කු ගැන කතා කරමු.  
මේ ලිපියේ සමහර පින්තුර අනතර්ජාලය වෙතින්ද, තවත් සමහර පින්තුර මගේ පුස්තකාලයෙන්ද ලබාගත් ඒවාය.
My Signature for Blog2013 මැයි මස 19 වැනි දින 1404 පැය

16 May 2013

ලංකාවේ දිගම, එල්ලෙන (සංගිලි) පාලම – The Longest Suspension Bridge in Sri lanka


  Ruwanwella Dutch Fortමම 1979 සිට 2000 දක්වා පදිංචිව සිටියේ සබරගමු පළාතේ, කෑගල්ල දිස්තිරික්කයට අයත්, රුවන්වැල්ල ප්‍රදේශයේ. අදටත් ඒ ප්‍රදේශය සමග තියන සබඳතා පෙර ලෙසම පවතිනවා. අවම වශයෙන් මාස දෙක තුනකට වරක්වත් ඒ පැත්තේ යැවෙනවා. වෙන එකක් තියා, මගේ ජංගම ගිණුම තවම තිබෙන්නේ, රුවන්වැල්ල ලංකා බැංකු ශාඛාවේ. ඔබ දන්නවා ඇති රුවන්වැල්ල කියන්නේ ඓතිහාසික කෝට්ටේ, සීතාවක, මහනුවර යන රාජධානි සමයයන්හිදී  බොහොම ප්‍රචලිත නගරයක් බව. කෝට්ටේ රාජධානියේ සිට සීතාවක හරහා කන්ද උඩරටට යන මාර්ගය වැටී තිබුනේ මේ අසළින්. මේ නගරය ආශ්‍රිතව කැළණි ගඟේ තිබෙන ඓතිහාසික තොටුපොළ අතීතයේදී කැළණි ගඟ ඔස්සේ ගමන් කල යාත්‍රා නැවැත්වීමේ ප්‍රධාන තොටුපොළ වුනා. ලන්දේසීන් පවා එය පාවිච්චි කර තිබෙනවා. ඒ වගේම රුවන්වැල්ල නගරයේ අද පොලිස් ස්ථානය සහ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල අතර ප්‍රදේශයේ තිබෙනවා, ඉපැරැණි ලන්දේසි බළකොටුවක කොටස්. ක්‍රි.ව. 1817 දී තමයි මෙය ඉදිකර තිබෙන්නේ. රුවන්වැල්ල ගැන සංක්ෂිප්ත විස්තරයක් මෙතනින් බලන්න පුළුවන්. මේ පින්තුරයේ පෙනෙන්නේ බලකොටුවේ දොරටුවයි.
රුවන්වැල්ල නගරය අසළින් ගලා බසින කැළණි ගඟ, නගරයට එක්කරන්නේ, වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සිරියාවක්.
  ඊයේ මගේ ලොකුදුවට හදිසි රාජකාරි අවශ්‍යතාවක් පැන නැගුනා, රුවන්වැල්ලට යන්න. ඉතින් අද (2013/05/15) මමත්, බිරිඳත්, ලොකු දුවත්, රුවන්වැල්ලට ගියා. ලොකු දුවගේ අවශ්‍යතාව ඉටුවනතුරු නගරයේ රැඳී සිටි මම, හිතවතුන් සමග කතාකරමින් නගරය පුරා ඇවිද්දා.
  ප්‍රධාන පාර පළල් කිරීම සඳහා, (සබරගමු පළාතේ ප්‍රධාන නගර දෙක වන රත්නපුර සහ කෑගල්ල නගර දෙක යා වෙන මාර්ගය) නගරයේ වෙළඳසල් සහ වෙනත් ගොඩනැගිලි රාශියක් කඩා ඉවත් කර තිබෙනවා. මේ කඩා බිඳ දැමීම් රුවන්වැල්ල බලකොටුවට බලපෑමක් වේදෝ යන හේතුව නිසා ඒ පැත්ත කැඩීම අත්හිටවා තිබෙනවා. මේ තියෙන්නේ ඊට අදාළ ප්‍රවෘත්ති වාර්තාවක්.


තමන්ගේ කඩ කැඩීම නිසා දුකට පත්,  මා හඳුනන කඩ මුදලාලිලාගේ අෙඳා්නා වලටත් ඇහුම්කන් දෙමින්, මහජන පොළ ළඟට පැමිණිවිට, මගේ පැරණි හිතවතකු හමුවුනා. ඔහු සමග පිළිසඳරේ යෙදෙමින්, ගඟ දෙසට ඇවිදිමින් සිටියදී තමයි, මේ එල්ලෙන පාළම නෙත ගැටුනේ. අපි කුඩා කාලයේදී නම් මෙවැනි පාළම් වලට කිව්වේ, ‘සංගිලි පාළම’ කියලයි. මා උපන්, කෑගල්ල දිස්ත්‍රික්කයේ, උඳුගොඩ, මොරදන, ගම ආශ්‍රිතව මෙවැනි පාළමක් තිබුනා මතකයි. මට එක වරම මතක් වුනේ ඔබ සැමදෙනා. ඒ නිසා මම හිතුවා ඔබටත් එය පෙන්වන්න.
  මේ පාලම අඩි 550 ක් දිග බව එහි සමරු ඵලකයේ සඳහන් වෙනවා. අද මෙය ලංකාවේ දිගම එල්ලෙන පාලම (Suspension Bridge) ලෙස සැළකෙන බවයි මගේ මිතුරා මට කිව්වේ. මේ පාළම 2007 වර්ෂයේදී සබරගමුව පළාත්සභාව විසින් ඉදිකරන ලද්දක්. මා සොයා බැලුවා ලංකාවේ එල්ලෙන පාළම් ගැන වෙනමම තොරතුරු ඇද්ද කියා. නමුත් එය සාර්ථක වුනේ නැහැ.
  පාළමෙන් එගොඩවෙන ප්‍රදේශය හඳුන්වන්නේත් ‘පාලංගමුව’ කියලයි. ඊට එහා තියෙන්නේ නිකවලමුල්ල, කුරුපැත්ත වැනි ගම්මාන.  ගම්පොල කඳුවැටි ආශ්‍රිතව උපත ලබන ගුරුගොඩ ඔයත් ශ්‍රීපාද කඳු පන්තිය ආශ්‍රිතව උපත ලබන කැළණි ගඟත් රුවන්වැල්ලේදී එක්වෙනවා. (මට මතක්වෙනවා ඉන්දියාවේ අලහබාද් නගරය. එහිදී මා දුටුවා ගංගා සහ යමුනා නදී දෙක එක්වන ස්ථානය. හින්දු විශ්වාසයේ හැටියට පියවි ඇසට නොපෙනෙන සරස්වතී නදියත් එතැනදී අනෙක් ගංගා දෙකට එකතු වෙනවාලු)    මෙතනින් එහාට කතා නෑ පින්තුර විතරයි.
Ruwanwella
1
2
3
4
5
6
රුවන්වැල්ල බලකොටුවේ පින්තුරය Google Images වෙතින් උපුටාගන්නා ලදී.
My Signature for Blog2013 මැයි මස 16 වැනි දින 0018 පැය

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }