හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

28 July 2013

අනේ…. මගේ පළවෙනි එක – Oh!….My First One


  img014පළවෙනි එක ගැන කියන මේ කතාව, බලාපොරොත්තු රහිත ලෙස, දෙවැනි වරටත් සංස්කරණය කරන්නට සිදුවුණා. මේ කතාව මුලින්ම බාගයක් විතර ලියලා තියෙද්දී, මගේ අතින්, වැරදීමකින්, පාලක පුවරුවේ (පාලක පුවරුව වෙලාවකට පෙනෙන්නේ ‘පාල කපුරුවැව’ වගේ :D)  ’ප්‍රකාශයට පත්කිරීම’ බොත්තම එබුනා. මොනවා කරන්නද බාගෙට ලියපු ලිපිය පටස් ගාලා පළවුනා. මමත් පටස් ගාලා ලිපිය ‘අබලි ද්‍රව්‍ය පෙට්ටියට’ යොමු කළත්, සමහර සින්ඩිකේටර වල, ඒ ලිපිය තවමත් පෙන්වනවා. නමුත් සබැඳියාව පමණයි. ලිපිය බලන්නට බැහැ. මේ සිදුවූ අතපසුවීම නිසා, ඔබට යම් අපහසුතාවක් වුනානම්, සමාව අයදිනවා. ‘අටං උන්නැහේඒ ටිකටත් රිංගලා ඔලුව දාලා අහනවා ‘කෝ මගේ පළවෙනි එක’ කියලා. අම්මපා මේකා කන්නේ (මම කියන්නේ නෑ අනිත් එක) බුදියන්නේ ඔක්කොම කරන්නේ කොම්පියුටරේ උඩ ඉඳගෙනද කොහෙද. පළවෙනි එක කිව්වම, ජීවිතයේ පළවෙනි එක වශයෙන් සඳහන් කළහැකි, කීයක් නම් දේවල් මතකයට එනවද? පළවෙනි වරට කළ දේවල්, සිදුවූ දේවල්, වශයෙන් අපට කොච්චර අත්දැකීම් තියනවද. ඒ ඔක්කොම මෙතන ලියන්න ගියොත්, මහා දිග ලැයිස්තුවක් වෙනවා. නමුත් මේ ලිපියෙන් ලියන පළවෙනි එකට, බ්ලොග් ලියන - නොලියන, කියවන - නොකියවන, නමුත් තමන්ටම අයත් පරිගණකයක් පාවිච්චි කරණ අය, සැමදෙනා සම්බන්ධයි.  මම අද කතාකරන්න යන්නේ, මගේම කියා අයිති කරගත්, පළමුවැනි පරිගණකය ගැන සහ ඒ අත්දැකීමම ඔබ ලබපු ආකාරය ගැන ඔබේ අදහස් විමසීමකුත් කරන්නයි. මේ ලිපිය ලියන්නට නිමිත්ත පහළ වුණේ, අද මම මගේ පැරණි ඡායාරූප ඇල්බම් එකක් පරීක්ෂා කරමි සිටියදී, මේ ඉහත දක්වා තියන ඡායාරූපය නෙත ගැටීමයි. ‘අනේ මගේ පළවෙනි කොම්පියුටර් එක’ මට හිත යටින් කියවුනා. ඒ නිසා ඔන්න ලිපියක් ලියවෙනවා.  
  මේ සමග ඉහත ඇති පින්තුරයේ තිබෙන්නේ, මම, මගේම කියා පළමුවැනි වරට අයිති කරගත්, (මිළදී ගත්) පරිගණකයයි. ඒ 1998 වර්ෂයේදී. (පින්තුරයේ දිනය තිබෙනවා 1998/07/23 එය පරිගණකය මිළදී ගත් දිනය නොවේ) මේ පින්තුරයේ ඉන්න ‘පරිගණක වැඩකාරිය’ මගේ චූටි දුව.  (හොදට බලන්න, කකා හිටිය රඹුටන් ගෙඩියක ලෙල්ලත් තියනවා මේසය මත) අදනම් ඇය සෑහෙන්න පරිගණක වැඩ කාරියක්. ඇයත් අද පාවිච්චි කරන්නේ ඇගේ දෙවැනි ලැප්ටොප් පරිගණකය. මේ පරිගණකයේ විස්තර මෙන්න මෙහෙමයි. මෙය නියම original  IBM අයි.බී.එම් පරිගණකයක්.
6282-830

එතැනින්ම බලන්න පුලුවන් සියළු තාක්ෂණික විස්තර
  මෙය මිලදී ගන්නාවිට CD ROM එකක් තිබුනේ නැහැ. එය වෙනමම මිළදීගෙන සවි කරගත යුතුයි. ඔබ විශ්වාස කරයිද මන්දා, කොළඹින්ම තමා ඒ කාලේ මේවා කරගන්න ඕනේ. මේ පරිගණකයේ RAM එක තිබුනේ 32 MB පමණයි. CD ROM එකක් සවි කරගෙන VCD එකක් දාලා බැලුවම පින්තුර කැඩි කැඩී පෙනෙන්න පටන්ගත්තා. කාර්මික උත්තමයා කිව්වා RAM එක 64 MB කළයුතුයි කියා.  මට ඒ කාලේ මේවා ග්‍රීක් වගේ. CD ROM එකටයි, අමතර 32 MB RAM එකටයි, (ඒ RAM එක අපි අද දකින ආකාරයේ හැඩයක් නෙවෙයි තිබුණේ හරියට IC එකක් වගේ) Desktop Speakers දෙකටයි, මගෙන් ගෙඩි රුපියල්ම 11000 කට ආසන්න මුදලක් ගත්තා.  :D :D ඒ රිසිට් එක මේ මෑතක් වනතුරු තිබුණා. මේ ලිපිය ලියද්දී හෙව්වත් හම්බ වුනේ නැහැ. Printer එක සහ UPS එකත් සහිතව මට රු 50000/- කට ආසන්න මුදලක් වැයවුණා. (Printer එක තවදුරටත් අලුත්වැඩියා කිරීම නිෂ්ඵල වනතුරුම පාවිච්චි කර අද පරණ බඩු පෙට්ටියක සුවෙන් ඉන්නවා) :D  ණයට සල්ලි අරගෙනයි මම මේ පරිගණකය ගත්තේ. දෘඪ තැටිය 3.5 GB, ෂෝක් නේද? පරිගණකය සඳහා මා ලබාගත් CD ROM එක Creative වර්ගයේ එකක්. එහි ඒ කාලේ අපට ලොකු මැජික් එකක් තිබුනා. පරිගණකය ක්‍රියාත්මක කලපසු සිත්ගන්නා සුළු කාන්තා කටහඬකින් මෙහෙම කියනවා. “Wecome, Thank you for using Creative Infra Red Multimedia CD ROM” ඒ වගේම CD ROM එකට දුරස්ථ පාලකයක් තිබුණා. CD ROM එකේ Tray එක විවෘත වනවිට, “Tray Open” කියලා අර සුමුදු කටහඬින් කියනවා. Tray එක වැසුනාම “Tray Close” කියා, ඊළඟට කියනවා, “Media is Audio CD/Video CD/Data CD” වශයෙන් අදාළ එක කියනවා. ඒ කාලේ DVD තිබුනේ නැහැ. ඒ වගේම ගීත ඇතුළත් CD එකක් නම් “Track One” යනුවෙන් පටන්ගෙන සෑම ගීතයක්ම ආරම්භ කිරීමට ප්‍රථම එහි ට්‍රැක් අංකය කියන අතර, ගීත හෝ වෙනත් අංග එකකට වැඩි VCD එකක්නම් ”File One, Two, Three” ආදී වශයෙන් කියනවා.
  මේ පරිගණකය සමග Microsoft සමාගමෙන් නිකුත්කළ නියම Windows 95 Software CD එක සහ ඒ ගැන ලැබෙන සහතිකය,  (එය හරියට මුදල් නෝට්ටුවක්, එහෙමත් නැත්නම් බැංකු ස්ථාවර තැන්පතු සහතිකයක් වගේ ගරු ගාම්භීර විදිහට එම්බෝස්ඩ් අකුරු වලින් මුද්‍රණය කර තිබුනේ), ඊට අමතරව Windows 95 ගැන ලියවුන පොතක්, පරිගණකය ගැලවීම, සවිකිරීම, නඩත්තු කිරීම ගැන උපදෙස් පොතක් ලැබුණා. එමෙන්ම මේ පරිගණකය සමග මව් පුවරුවට අදාළ CD එකත්, නඩත්තු කිරීම ගැන තව CD එකකුත්, Norton Antivirus CD එකකුත් ලැබුණා. පසු කාලයේදී මම මේ පරිගණකයට Windows 98, ME, යන OS යොදා සාර්ථකව පාවිච්චි කළා. මට මතක හැටියට 2002 දී පමණ, පරිගණක විකුණන කඩයකට දී, මදි පාඩුවට මුදල් ගෙවා මම, P IV පරිගණකයක් ගත්තා. මේ IBM පරිගණකය හරිම බරයි. මේසයෙන් සෑහෙන ඉඩකඩක් ගන්නවා, ‘Tower Casing’ වර්ගයේ නොවන නිසා. මෙහි යතුරු පුවරුව මේ මෑතක් වනතුරු මා සතුව තිබුණ අතර, තම පරිගණකයේ යතුරු පුවරුව ක්‍රියා විරහිතවූ බව සඳහන් කළ මගේ මිතුරකුට මා එය පරිත්‍යාග කළා.  පසුකාලීනව මම පරිගණක දෘඪාංග කාර්මික ශිල්පය ගැන දැඩි උනන්දුවකින් කටයුතු කළා. හැකි සෑම ආකාරයකින්ම ඉගෙනගත්තා. ඒ දැණුමේ අග්‍ර ඵලයක් ලෙස, අද මා පාවිච්චි කරන්නේ මගේම අතින් එකළස් වූ පරිගණකයක්. 
  මෙන්න එහි විස්තර සැකෙවින්
  • Motherboard :  Intel DG31PR  
  • Socket : LGA775
  • Processor : Pentium (R) Dual Core E 5300 2.6 GHz
  • RAM : 4 GB  DDR 2
  • VGA (external) : Radeon ATI 1 GB DDR 2
  • HDD :Toshiba 5700 500 GB SATA
  • Multimedia : Samsung DVD Writer SATA (Light Scribe ready)
  • Sound : Mercury SW 1980 R (500 W rated) 5.1 sounds with FM Radio
  • Monitor : LG LCD 24″
  ඉහත සියල්ලම එකවරම ගත්ත දේවල් නෙවෙයි. 2007 පමණ සිට 2010 පමණ වනතුරු වරින් වර වැඩි දියුණු කරමින් තමයි ඔය තත්වයට ගත්තේ. මේ පරිගණකයට අධික විදුලියක් වැය වෙනවා. ඒ නිසා හොඳ ලැප්ටොප් පරිගණකයක් ගන්නට ආසාව තිබුණත්, මූල්‍යමය ශක්තිය මා හට බාධාවක්ව පවතිනවා. (පැන්සොන් කාරයානේ) :D දැනට කෙළ හලමින් ඉන්න HP වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් තියනවා. එය රු 62000/- ක් වෙනවා. ලෝකය පුරා ඉන්න මගේ පාඨකයන් එක්කෙනෙකුගෙන් රුපියල බැගින් ඉල්ලාගත්තොත් බැරිවෙන එකක් නැහැ. :D :D  (මතක තබාගන්න යන්තම් අවුරුදු 55 පිරිලා විශ්‍රාම ගිය, ඉතා ඉහළ විශ්‍රාම වැටුපක් ලබන, රජයේ සේවකයකුටවත්, කිසිදු ආයතනයකින් ගෙවීමේ ක්‍රමයට කිසිම භාණ්ඩයක් දෙන්නේ නැහැ) ඔන්න පහත පින්තූරයේ වැඩ ඉන්නේ මගේ වර්තමාන පරිගණක යන්ත්‍ර රාජයා.
DSC02631
  ඔන්න දැන් ඉතිං ඔබේ වාරය. කියන්න මට කොහොමද ඔබේ පළවෙනි එක. පරිගණකය, පරිගණකය, මම කියන්නේ ඔබේ පළමුවැනි පරිගණකය ගැන කියන්න කියලා. ආය මේ මංගල්ලයක් කතා කරනවා. මම කිව්වයැ එව්වා කියන්න කියලා. :D:D
My Signature for Blog2013 ජූලි මස 27 වැනි දින 0116 පැය

24 July 2013

යුද්ධයේ අතුරු කතාවක් (දෙවැනි කොටස) – වෛද්‍ය රුවන් එම් ජයතුංග


  වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත ‘යුද්ධයේ අතුරු කතාවක්’ කෙටි කතාවේ පළමුවැනි කොටස මීට පෙර ඔබ රස විඳින්නට ඇතැයි මා සිතනවා. එය කියවීමට නොලැබුණා නම් මෙන්න මේ සබැඳියෙන් ගොස් එය කියවන මෙන් කාරුණිකව ඉල්ලනවා. අද, ගෙන එන්නේ, එහි දෙවැනි කොටසයි. මෙහිදීද මට කියන්නට තිබෙන්නේ, මෙය වෛද්‍ය ජයතුංගගේ නිර්මාණයක් වන අතර, මා විසින් කරන්නේ එය ඔබවෙත ගෙන ඒම පමණක් බවයි.
white space
යුද්ධයේ අතුරු කතාවක් – දෙවැනි කොටස  
වෛද්‍ය රුවන් එම් ජයතුංග
  අඳුර දැඩිවී තිබේ. අපට දැනෙන්නේ තනි වී සිටින සෙයකි. කොයි මොහොතේ හෝ ටෙරා පැමිණෙනු නියතය. ක්ලේමෝව මානාගෙන සිටින සාජන් මිත්‍රපාලගේ රුව මා සිතේ ඇඳීණි. 
  එහෙත් සතුරා පසුපසින් පහර දුනහොත් කුමක් වේද? පසුපස සිටින්නේ තේනුවර පමණි. මාගේ වම් පාර්ශවයෙන් හා දකුණු පාර්ශවයෙන් මීටර් විසිපහක් පමන දුරින් තව සෙබළුන් දෙදෙනෙකු සිටියද ඔවුහු නවකයයෝ වෙති. හදිසි ප්‍රහාරයකදී ඔවුන් තැතිගෙන දිවගියහොත් සතුරාගේ උණ්ඩවලට ගොදුරු වනු ඇත. සාජන් මිත්‍රපාල සහ කෝප්‍රල් තේනුවර සිටීම හිතට ශක්තියකි. 
  දරුණු ගති තිබුණද මිත්‍රපාල දක්ෂ සටන් සොල්දාදුවෙකි. ඔහු අපගේ පුහුණුවීම් වලදී අපට දැඩිලෙස පහර දුන්නේය. වරක් ඔහු බිම වැතිර සිටි මගේ පිට බූට්ස් වලින් පැගුවේ පිටේ තුවාල මතුවන ලෙසටය. දින කීපයකට පසුව පිටේ තුවාල පැසවා සැරව ගලන්නට විය. මට උණ ගැනිණි. මට ප්‍රතිකාර කළ වෛද්‍ය බලකායේ බලලත් නිළධාරියා පිටේ තුවාල ඇතිවූ අන්දම දැන සිටි අතර ඔහුට මගෙන් ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය විය. එහෙත් මම සාජන් මිත්‍රපාලව පාවා නුදුන්නෙමි. එහෙත් මිත්‍රපාලගෙන් ගුටි බැට කෑමේ අඩුවක් එම සිද්ධියෙන් පසුවද නොවීය. 
  ක්‍රියාන්විත මෙහෙයුම් වලදී සාජන් මිත්‍රපාල මට හා තේනුවරට විශේෂ කැමැත්තක් දැක්වීය. එහෙත් ලාන්ස් කෝප්‍රල් ප්‍රනාන්දු ප්‍රහාරක කණ්ඩායමට වැද්ද නොගත්තේ ඔහු වරක් ඇම්බුෂ් එකේදී නිදාගෙන සිටීම අසුවීම නිසාය. ලාන්ස් කෝප්‍රල් ප්‍රනාන්දු ගංජා පානය කරයි. ඒ හැර ඔහු මදන මෝදකද හැපුවේය. බංකරයකට වී ගංජා සුරුට්ටුවක් උරමින් සිටි ලාන්ස් කෝප්‍රල් ප්‍රනාන්දු විනයාරක්ෂක භටයෙකුට අසුවිය. ප්‍රනාන්දුට විරුද්ධව චෝදනා ගොනුකිරීමට සැරසෙත්ම කෝප්‍රල් තේනුවරගේ බලවත් ඉල්ලීම අනුව විනයාරක්ෂක භටයා චූදිතයාට දැඩිලෙස අවවාද කොට නිදහස් කළේය. එහෙත් පසුව ප්‍රනාන්දුට තේනුවරගෙන් බැනුම් සංග්‍රහයක් ලැබුණි. දැන් ප්‍රනාන්දු ගංජා පානය කරන්නේ අප හැම දෙනාටම රහසිනි.
  මධ්‍යම රාත්‍රියද පසුවිය. මදුරුවන්ගේ ගීත හා නිශාචර සතුන්ගේ ශබ්ද හැරුණු කොට සතුරා පිළිබඳ කිසිම හෝඩුවාවක් නැත. එහෙත් මම නොසෙල්වී විපරම් කළෙමි. උදෑසන එළිය වැටී එත්ම සාජන් මිත්‍රපාලගේ සංඥාව මට ඇසුණි.
    ‘කට්ටිය විඩ්‍රෝ වෙන්න ලෑස්ති වෙන්න’ එම සංඥාවේ තේරුමයි. මම නියමිත උපදෙස් පරිදි බඩගාමින් මිත්‍රපාල සිටි ඉසව්ව දෙසට ගියෙමි. ඒ සමගම දෙපස සිටි සොල්දාදුවන් දෙදෙනාට හා තේනුවරට කෑරලෙකු හඬ නගන්නාක් මෙන් මුවින් මිත්‍රපාලගේ සංඥාව ප්‍රතිරාව කළෙමි. දෙපස සිටි සොල්දාදුවන් පඳුරු පොඩිකරගන ඉදිරියට ගියේ පළපුරුදු බව අඩු වූ නිසා විය හැක. සාජන් මිත්‍රපාල ක්ලේමෝව හකුලාගනියි. ඒ සමගම කැලේ පොඩිකරගන තමන් දෙසට එන සොල්දාදුවන් දෙදෙනාට නොසරුප් වදනක් කීවේය. නවක සොල්දාදුවන් දෙදෙනාගේ දෑස්වල නිදිබර ගතිය දක්නට ඇත. අනිවාර්යයෙන්ම මොවුන් ඇම්බුෂ් එකේදී නිදාගන්නට ඇත. ඔවුන්ට තවමත් යුද්ධයේ භයංකාර තත්ත්වය සිතට කාවැදී නැති බව ස්ථීරය.
  කෝප්‍රල් තේනුවර තවමත් නැත. ඔහු සිටියේ පසුපසින්ය. එම නිසා බඩගාගෙන ඒ මට ඔහුට කාලය ගතවෙනවා විය හැක. ඇරත් තේනුවර ශබ්ද නොනැගෙන සේ බඩගා යෑමට දක්ෂයෙකි. කොයි මොහොතේ හෝ ඔහු මෙතැනට පැමිණෙනු නිසැකය. 
  තවත් අඩපැයක් ගෙවුණි. තවමත් තේනුවර දක්නට නැත. අප තුළ නොසන්සුන් කම ක්‍රමක්‍රමයෙන් වැඩිවී යයි. නවකයන් දෙදෙනා ඉදිරියේ රඳවා මා හා සාජන් මිත්‍රපාල තේනුවර සිටි ඉසව්වට ගියෙමු. මා ඉදිරියෙන් ගමන් කළ අතර මිත්‍රපාල මා පසුපස පැමිණියේ සුපරික්ෂාකාරී අන්දමට සෑම පාර්ශවයක් දෙසම බලමිනි. දණක් උසට වැඩී ඇති පඳුරු හා කටුකම්බි බාධක වැනි කටුවැල් අපගේ ගමන අවහිර කළේය. පෙරදා රාත්‍රීයේ තේනුවර රැඳී සිටියේ ගල්තලාවක් ආසන්නයේ බව මට හොඳින් මතක තිබුණි. මම ගල්තලාව දෙසට බඩගා ගියෙමි. 
  මා දුටු දර්ශණයෙන් මගේ ශරීරයේ රෝම කූප පවා කෙළින් විය. කෝප්‍රල් තේනුවර උඩුකුරුව වැතිරී සිටියි. ඔහුගේ උගුරු දණ්ඩ තියුණු ආයුධයකින් කපා ඇත. වියළී ගිය ලේ දහරාව පසට උරාගෙන ඇති නිසා සුදු පැහැති වැලි සහිත පස රතු බොරළු පැහැයක් ගෙන තිබේ. ඔහුගේ අවිය හා පණිවිඩ හුවමාරු යන්ත්‍රය දක්නට නැත. මළ මිනියේ දෙනෙත් ඇරී තිබෙන නිසා ඔහු හිස් බැල්මෙන් අහස දෙස බලා සිටිනවා වැනිය.
  මගේ සිතට දැඩි කම්පනයක් මෙන්ම අධික බියක් ද දැනිනි. තේනුවරට නින්ද නොගිය බව මට සහතිකය. ඔහු පළපුරුදු සොල්දාදුවෙකි. මීට පෙරද අපි ඇම්බුෂ්වල දී රැකවල්ලා සතුරාට පහරදී ඇත්තෙමු. තේනුවරගේ උගුරු දණ්ඩ කැපූ සතුරා තේනුවරටත් වඩා දක්ෂයෙකි. ඔහු ශබ්ද නොනැගෙන ලෙස බඩගාගෙන විත් තේනුවරගේ බොටුව කපාදමා ඇත. එහෙත් ඔවුන් අපට පහර නුදුන්නේ මන්ද? මදක් ඉදිරියට පැමිණියේ නම් මගේ දෙපස සිටි සොල්දාදුවන් දෙදෙනාගේ බෙලිකපා යාමට ඔවුන්ට පහසු වෙන්ම ඉඩ ප්‍රස්ථාව තිබිණි. එහෙත් කුමන හේතුවක් නිසාදෝ ඔවුන් තේනුවර පමණක් මරාදමා ගොසිනි. 
  මට ප්‍රථම වතාවට යුද බිම පිළිබඳව දැඩි බියක් සිත තුළ ජනිත විය. තේනුවර වැනි පළපුරුදු සොල්දාදුවෙකුට මෙවැනි ඉරණමක් අත්විය හැකි නම් අපගේ ජීවිත අතිශයින්ම අවදානම් බව වැටහිණි. මට සතුරා පිළිබඳව නැග එන කෝපය වචනයෙන් විස්තර කළ නොහැකිය. කෝප්‍රල් තේනුවර මගේ හොදම මිත්‍රයාය. අපි වසරගණනාවක්ම යුද බිමේ මෙහෙයුම්වල යෙදුනෙමු. එහෙත් දැන් ඔහු නිසලව වැතිර සිටියි. ඔහුගේ මරුවා මට හමුවූයේ නම් මම එම සතුරා පිහියෙන් කැබලි කර ගින්නෙන් පුලූස්සමි. මගේ කෝපය බුර බුරා නගින්නට විය.
  මගේ මිතුරාගේ මළකඳ කොළ පැහැති හමුදා පොරෝනයකින් එතුවෙමි. ඉක්බිතිව මළ කඳ කරට ගතිමි. අප කඳවුර බලා ගියේ මග දෙපස සුපරික්ෂාකාරීව බලමිනි. තේනුවරගේ ජීවිතය බිලිගත් යක‍ෂයා මට මුණගැසේවායි මම දහස් වාරයක් පැතුවෙමි. 
  කඳවුරේදී තේනුවරගේ මෘත ශරීරය පොලිතින් බෑගයක බහා පලාලි ගුවන්තොට බලා යන වාහනයක පටවන ලදි. මම නිහඬවම මගේ මිතුරාට සමු දුන්නෙමි. නැවත කිසිදිනෙක මට ඔහු දකින්නට නොලැබෙනු ඇත. ක්‍රියාන්විතයේදී මිය ගිය තේනුවරගේ මිනිය මිනීපෙට්ටිය තුළ බහා තිඛෙන අයුරු මම මනසින් මවාගත්තෙමි. ඔහු නිළ ඇඳුම ඇඳ පෙට්ටියේ වැතිර සිටියි. ඔහුගේ නිළ ඇඳුමේ වෙනදා තිබෙන පටි දෙක වෙනුවට පටි තුනක් දක්නට ලැබේ.  13262232-sexy-chica-morena-en-bikini-azul
  දෑත්වල සුදු අත්වැසුම් පළඳවා අත්දෙක පපුව මත තබා තිබේ. ඔහුගේ මුහුණ සුදුමැලිය. ඉහ ඉද්දර පොල්තෙල් පහනකි. තේනුවරගේ අවමංගළ්‍යයට සහභාගි විමට මට අවසර නැත. හෙට මා යළි ක්‍රියාන්විතයට යා යුතුය. මගේ සිත හිස් බවකින් වෙළී තිබෙන අතර තේනුවර නැති අඩුව වැඩි වැඩියෙන් දැනේ. 
  බස්රථය ගමනාන්තයට පැමිණ ඇත. මම යළිත් පියෙවි ලොවට පැමිණ සිටිමි. ගෙදර යාම සඳහා මිළට ගත් සිල්ලර බඩු මල්ල අතට ගත් මම බස් රථයෙන් බැස්සෙමි. යළිත් වරක් මගේ මනස යුද්ධ භූමිය පුරා සැරිසරන්නට විය.
  කෝප්‍රල් තේනුවගේ මරණයෙන් පසු මම දැඩි මානසික කම්පනයකට මුහුණ දුන්නෙමි. ඔහුගේ මරණයට මා වගකිවයුතුය. ඔහු ක්‍රියාන්විතයේ දී මගේ ජීවිතය බේරාගත්තේය. එහෙත් මට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට බැරිවිය. ඒ සම්බන්ධයෙන් මම කිසි කලෙක මට සමාව නොදෙමි. තේනුවරගේ මරණයෙන් පසු ගත වූ සති කිහිපය මා ගතකළේ කෙසේද යන්න මට හරි හැටි මතකයක් නැත. මට නින්ද ගියේ නැත. මට නිතරම සිහිවූයේ උගුරුදණ්ඩ කපා තිබුණු තේනුවරගේ දේහයයි. ඔහුගේ දෑස මලානිකව අහස දෙස බලා සිටියි. උගුරේ වූ කැපුම් තුවාලය ගැඹුරුය. සුදු පැහැති බටයක් වැනි දෙයක් තුවාලය ඇතුළතින් පෙනේ. එය ඔහුගේ ශ්වාසනාලය විය හැක. මළකඳේ තිබූ වියළි ලේ සුවඳ මට දැනුදු දැනේ. 
  තේනුවරගේ මරණින් පසු සුළු සුළු ක්‍රියාන්විත වලට මම සහභාගි වූයෙමි. ඔහු නැති අඩුව මට තදින්ම බලපායි. මට සිතෙන්නේ මා අනාරක්ෂිත බවය. එසේම ඔහුගේ ජිවිතය බේරා ගැනීමට නොහැකිවීම නිසා මා සොල්දාදුවෙකුවන්නේ කෙසේද? මා නිවටයෙකි. මම මිතුරා බිල්ලට දුන්නෙමි. මට සතුරා කෙරෙහි උග්‍ර කෝපයක් ඇතිවෙයි. 
  තේනුවරගේ මරණයෙන් පසුව අප සතුරන් තිදෙනෙකු වෙඩි තබා මරාදමා ඇත. ඉන් එක් අයෙකු අත තියුණු වක් පිහියක්ද තිබුණි. මොහු තේනුවරගේ මාරයා විය නොහැකිද? වක්පිහිය අයිතිව තිබූ ත්‍රස්තවාදියාගේ මුහුණට මම තුවක්කු මිටෙන් ඇන්නෙමි. ඔහුගේ මළ සිරුර විකෘති කිරීමෙන් මා තිරිසන් සතුටක් ලැබූ බව නොරහසකි. ලූතිනන් සේනාරත්න මට බැණ නොවදින්නට මා ත්‍රස්තවාදියාගේ මළ සිරුර පෙතිගසා දමනු නිසැකය. 
  තේනුවරගේ මරණයෙන් මාස තුනකට පසුව මා ඇතුළු අපගේ සෙබල ඛණ්ඩය මුරුක්කන් වෙත යවනු ලැබීය. මුරුක්කන්හීදී මා ඇතුළු සෙබලූන් ගමන්ගත් කැබ් රථය බෝම්බයකට අසුවීම මට අවාසනාව ගෙන ආවේය. කැබ් රථයේ පසුපස බක්කියේ සිටි මා ඇතුළු සෙබලූන් තිදෙනෙකු විසි වී ගොස් බිම වැටුණි. මගේ වම් අත කැඩී ගොස් ඇත. රථයේ ගමන් කරමින් සිටි කපිතාන් අජන්ත හා රියදුරු සාජන් ගමගේත් මියගොස් තිබුණි. වරින් වර සතුරා අපට වෙඩි තැබුවද පසුපසින් පැමිණි හමුදා ට්‍රක්රථයේ සෙබලූන් බිමට පැන සතුරා සැඟවී සිටි ඉසව්වට වෙඩි තැබූහ. සෙබළුන් දෙදෙනෙකු විසින් වැටී සිටි මා වත්තන් කරගෙන විත් ට්‍රක්රථයට දමන ලදි. ඉන්පසු මට සිහිය නැති විය.
  යළි සිහිය එන විට මා සිටියේ අනුරාධපුර රෝහලේය. මගේ වම් අත බැන්ඩේජ් පටි වලින් වෙලා තිබි‚. වේදනාව නිසා මා සිටියේ කෙදිරිගාමින්ය. හෙදියක් පැමිණ මට ඛෙහෙතක් විද්දාය. මගේ හිස කැරකෙන්නට වූ අතර මට කැඩී ගිය කැබ් රථය, කළු දුමාරය, කපිතාන් අජන්තගේ දෙකට කැඩී ගිය මළ සිරුර මතකයට නැගණි. ඒ අතර තේනුවරගේ මලානික දෙනෙත් අහස දෙස බලාසිටින හැටි පෙනේ. 
  මම මාස එකහමාරක කාලයක් රෝහලේ රැදී සිටියෙමි. මගේ ශරීරයේ තුවාල සුව වුවද මනස දරුණු ලෙස තුවාල වී ගොසිනි. එය කවදා සුවවේදැයි මට නොතේරේ. මා ක්‍රියාන්විතයේ දහතුන් වසරක් සේවය කර ඇත. දැන් මගේ ශරිර ශක්තිය හින වී ගොසිනි. පෙරදා මෙන් මට මගේ සිතේ හයියක් නැත. මට නින්ද යන්නේ අඩුවෙනි. සුළු ශබ්දයකට වුවද මා තිගැස්සී ඇහැරෙයි. කොයි මොහොතක මා අසල ආටියක් පුපුරාවිද නැතහොත් මා ගමන් කරන වාහනය බිම් බෝම්බයකට හසුවේද ආදී වශයෙන් මට අහේතුක බියක් නිතරම දැනේ. රාත්‍රී නින්දේ දී මට මුරුක්කන්හී බිම් බෝම්බය හා තේනුවරගේ මරණය පෙනේ. එම දර්ශනය නිසා මා සිත බියෙන් ඇළලී යයි. එවිට මම අවදිවෙමි. මා රාත්‍රියට නින්දෙන් කෑගසන බැවින් අනෙකුත් සෙබලූන් මා දෙස බලන්නේ අවඥාවෙනි. 
  බෝම්බයට අසුවීම නිසා මගේ වම් අතේ වැලමිටෙන් පහළ තුවාල කැලලක් තිබේ. යම් අයෙකු එම කැළල පිළිබඳව ඇසුවොත් මට මුරුක්කන්හී සිද්ධීන් මාලාව මතක්වෙයි. එම නිසා එසේ අසනවාට මම මුළුමනින්ම අකමැතිමි. එසේම කැබ් රථවල නැගී යාම මට බිය උපදවයි. නිර්භීත, බියයනු කුමක්දැයි නොදත් මා හට සිදුවූයේ කුමක්ද? රතිඤ්ඤා කරලක ශබ්දයක්, දොරක් තදින් වැසෙන ශබ්දයක් මට බිය ගෙන දෙයි. එවිට මගේ බඩ හා පපුව දන්නට පටන් ගනියි. මා තුළ ඇතිවන තිගැස්සීම මටම පාළනය කරගත නොහැකිය. 
  මා යළි පියවි ලොවට පැමිණියේ වෑන් රථයක බ්‍රේක් පහර සමගය. නොදැනුවත්වම මා පාර මැදට ගමන් කර තිබේ. වෑන් රථයේ රියදුරුගේ බැණීම නිසා මට සිහි කල්පනාව ඒමත් සමගම බැනුම් ඇසීමෙන් මා තුළ කෝපයක් ඇති විය. ඔහුව බිම දමා පහර දෙන්නට මට සිතින. අපහසුවෙන් මගේ කෝපය මැඩ පවත්වාගෙන නිවස කරා පැමිණියෙමි. 
  තුවාලවීමෙන් පසු හොඳටම සුව වී තිබුණු නමුදු මා තුළ නොරිස්සුම් ස්වභාවයක් මතු වී තිබේ. තුවාල සුව වුවද හිතේ තුවාලය ඔඩු දුවා ඇතැයි මට සිතේ. දැන් සුළු කරුණකට වුවද මගේ කෝපය ඇවිස්සෙයි. එය පාළනය කරගැනීම අපහසුය. පසුගිය සතියේ බිරිඳ සමඟ ඉතා සුළු බහින් බස්වීමක් කෙළවර වූයේ නිවසේ පිඟන් කෝප්ප පොළවේ ගැසීමෙනි. ඇතැම්විට මට සිහිනෙන් ඇවිදීමේ රෝගය සැදී ඇත්දැයි සිතේ. මම කිහිප වරක් නින්දෙන් ඇවිද ඇත්තෙමි. මා එවිට සිටින්නේ යථාර්ථයක් මායාවක් අතරය. හිටිහැටියේම ක්‍රියාන්විතයේ සිටින බවක් මට හැඟේ. මට වෙඩි ශබ්ද ඇසේ. සතුරාගේ කෑගැසීමේ හඬ, හෙලිකොප්ටර් වල අවර පෙති කැරකැවෙන හඬ ඇසේ. එවැනි අවස්ථාවල මා සිටින්නේ සිටින්නේ සතුරා අපේක්ෂාවෙනි. මා ළඟට පැමිණෙන කාහට වුවද මගෙන් අනතුරක් සිදුවිය හැක. එම නිසා මා සිටින්නේ දැඩි බියෙනි. වරක් මා නොදැනණුවත්වම කුඩා දියණියගේ බෙල්ල මිරිකා ඇත. බිරිඳගේ අඳොනාව අසා පැමිණි අසල්වාසින් නොසිටින්නට ඇගේ සිගිති උගුරුදණ්ඩ මගේ රළු අත්වලින් කැඩීයනු ඇත. එම හේතුව නිසා රාත්‍රියට මම තනිවම නිදාගනිමි. 
  කඳවුරේ මම බොහෝ අපහසුතාවන්ට මුහුණ දෙමි. මා ජ්‍යොෂ්ඨ සොල්දාදුවෙකු නිසා ඔවුන් මට බැන නොවැදුනද මා බිලට් එකේ අනෙක් සොල්දාදුවන්ට කරදරයක් බව දනිමි. රාත්‍රි නින්දෙන් කෑගැසීම, සුළු හේතුවකට වුවද කෝපගෙන අන්‍යයන්ට පහරදීමට පෙළඹීම නිසා අනෙක් සොල්දාදුවෝ මා මඟහරිති. මගේ පසුපස සිට යම් යම් දෑ පවසති. එම නිසා කඳවුරේ ජීවිතයද මට රිසි නොවීය. 
  මෑතකදී මම සිහිනෙන් බිය වුනෙමි. සතුරා මගේ බංකරයට පහරදීමට බඩගාගෙන එනු මට පෙනේ. ඉදිරියෙන්ම එන ත්‍රස්තවාදියා කොට කලිසමක් ඇඳ අතේ ගිනිඅවිය දරා මා වෙතට ඇදී එයි. ඔහුගේ පසුපස RPG එකක් පිටේ බැඳගත් කොටි කෙල්ලෙකි. මම මගේ ටී 56 අවිය ගෙන ත්‍රස්තවාදියාගේ හිසට එල්ල කොට ට්‍රිගරය තද කළෙමි. එහෙත් අවිය ක්‍රියා නොකරයි. මගේ සිතේ භීතිය උත්සන්න වෙයි. එවිට සතුරා ග්‍රනේඩ් බෝම්බයක් බංකරය තුළට විසි කළේය. මම කෑගැසිමින් බංකරයෙන් එළියට පැන්නෙමි. එහෙත් මා වැටී ඇත්තේ ඇඳෙන් බිමටය. මගේ කෑගැසීම නිසා කඳවුරේ අනෙක් සෙබළුන් පවා සතුරු ප්‍රහාරයක් සිදුවන බව සිතා සීරුවෙන් අවි දරාගත්හ. එහෙත් මා සිහිනෙන් බිය වූ බව වටහා ගත් ඔවුහු මට සමච්චල් කළහ. 
  පසු දින සාජන් මේජර් මා කැඳවා අණදෙන නිළධාරියාට ඉදිරිපත් කරනු ලැබීය. මා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවාදැයි ඔහු මගෙන් ඇසීය. එම ප්‍රශ්ණය මා තුළ ඇති කළේ තදබල කෝපයකි. මම සීරුවෙන් සිට නිළධාරියාගේ දෙනෙත් දෙස බලා මම කිසිදු මත්ද්‍රව්‍යයක් පාවිච්චි නොකරන බව කීවෙමි. ඔහු පසුදා මා යුදහමුදා රෝහලට යැවීය. 
  රෝහලේ දී මා පරික්ෂා කළ වෛද්‍ය නිලධාරීන් මා ක්‍රියාන්විතය මගහැරීම සඳහා ව්‍යාජ ලෙසරෝග මවා පාන්නේ දැයි ඇසීය. එවිට මම මගේ ක්‍රියාන්විත රාජකාරියේ ඉතිහාසය ගැන කීවෙමි. වසර ගණනාවක් පුරා මා යුද පිටියේ සතුරාට එරෙහිව සටන් කළ අයුරු විස්තර කලෙමි. මගේ හිතමිත්‍ර කෝප්‍රල් තේනුවර ගැන කීවෙමි. අනතුරුව ඔවුන් මා පුනරුත්ථාපන අංශයට යැවීය. 
  පුනරුත්ථාපන අංශයේ මා සමග කථා කළ වෛද්‍ය නිළධාරිනියට සෙබළුන්ගේ දුක් කරදර තේරුම් යන්නේදැයි මට කුකුසක් ඇති විය. ඇය නිළයෙන් උසස් වුවද ඇයට මගේ සිත තේරුම් ගැනීමට නොහැකි බව හොඳාකාරවම පැහැදිලිය. ඇය මට කථා කළේ සමච්චල් සහගත අවමන් වන අයුරිනි. මා වංචාකාරයෙක් යැයි ඇය චෝදනා කළාය. මා ඇයට හමුදා ක්‍රමයට ආචාර කොට පිටවී ගියේ මගේ කෝපය ඉහළ ගිය බැවිනි. සෙබළුන්ගේ විවේකාගාරයේ දී මට කෝප්‍රල් බස්නායක හමුවිය. මා ඔහුට පුනරුත්ථාපන අංශයේ නිළධාරිණිය ගැන කීවෙමි. ඔහු සුසුමක් හෙළිය. අනතුරුව ඇය විසින් ඔහුගේ නිදහස් ගමන් බලපත්‍රය අවලංගු කළ අයුරු කීවේ දෑසින් වැටෙන කඳුළු පිසදාගනිමිනි. කෝප්‍රල් බස්නායකගේ වම් පාදය ජොනී බට්ටෙකුට අසුවීම නිසා ඔහුගේ මහපට ඇඟිල්ල ඇතුළු ඇඟිලි දෙකක් කපා ඉවත් කෙරිණි. පාදයේ ඇඟිලි තුනක් පමණක් අහිමිව කකුල බේරාගැනීමට හැකිවීම නිසා ඔහු වාසනාවන්තයෙකු ලෙස හැඳින්වූවාට වරදක් නැත. එහෙත් ඔහු ඇවිදින විට නොන්ඩි ගසයි. ඔහු ගමන් කරන්නේ සැරයටියක ආධාරයෙනි. රට වෙනුවෙන් සටනට ගොස් පාදයේ ඇගිලි අහිමි වූ සෙබලෙකුගේ නිදහස් බස් ගමන් බලපත්‍රය අවලංගු කළ නිළධාරිණියක කෙරෙහි මට ඇති වූයේ තදබල අප්‍රසාදයකි. 
  දැන් මා රාජකාරි කරන්නේ අවි නොමැතිවය. මට අවි නොදෙන්නැයි, නියෝගයක් පනවා තිබේ. සිතේ නැගඑන කෝපය නිසා මට කඳවුරේ අවි ගබඩාවෙන් අවියක් උදුරාගෙන දකින දකින සෑම පුද්ගලයෙකුටම වෙඩිතබා අවසානයේ දී මගේ යටිතල්ලට වෙඩි තබා ගෙන මිය යාමට සිතේයි. එවිට සිදුවන්නේ කුමක්ද? මා මිනීමරුවෙක් වෙයි. එවිට බිරිඳට හා කුඩා දියණියට යන කළ දසාව කුමක්ද? 
  මට කඳවුරේ වාසය තිත්ත වී ඇත. හමුදාවෙන් පලාගොස් කුලී වැඩක් හෝ කරගෙන ඉන්නට ඇත්නම් එයද සහනයකැයි සිතේ. එහෙත් හමුදාවෙන් පළාගිය වහාම නිවසට පොලිසියෙන් පැමිණේ. එවිට අප්‍රසන්නතා වැලකි. මට දිවි නසා ගැනීමටද සිතේ. එවිට මගේ දරු පවුලට සියළු දීමනා නොලැබී යයි. අවිරහිතව සිටින මම සතුරු සීමාවට ඇවිද ගෙන යමි. එවිට ස්නයිපර්වරයෙකුට මා ගොදුරු වනු ඇත. එවිට ත්‍රස්ත ප්‍රහාරයකින් මා මියගිය බවට වාර්තා වනු ඇත. එවිට මගේ විශ්‍රාම වැටුප මගෙන් යැපෙන්නන්ට ලැඛෙනු නිසැකය.
  එහෙත් එවැනි ළාමක ක්‍රියාවක් කරන්නේ කෙසේද? මම සොල්දාදුවෙක්මි. මම ක්‍රියාන්විතයේදී වීරෝදාර අයුරින් සතුරාට එරෙහිව සටන් කළෙමි. දැන් මම දැඩි ශාරීරික මානසික වෙහෙසට පත්වී සිටිමි. මගේ අපහසුතා කිසිවෙකු තේරුම් නොගන්නා බව සැබෑය. එහෙත් මට තණකොළ බුදිය නොහැක. මම කෝප්‍රල් තේනුවරගේ වර්ගයේ සොල්දාදුවෙක්මි. අභියෝගය හමුවේ නොසැලී ජීවිතයට මුහුණ දෙන සොල්දාදුවෙකි. මාගේ මියගිය සගයන් වෙනුවෙන් මා නිවැරදිව ජීවත් විය යුතුය. මා නිවසට ගොඩවූයේ නිදහස් වූ සිතිනි. මට දින දහයක නිවාඩුවක් ලැබී තිබේ. මම නිවාඩුව හැකිතාක් හොඳින් ගත කරමි. දවස් දහය අවසානයේදී අනිවාර්යයෙන්ම කඳවුරට වාර්තා කරමි.
නිමි
My Signature for Blog2013 ජූලි මස 21 වැනි දින 2242 පැය

20 July 2013

යුද්ධයේ අතුරු කථාවක් (පළමුවැනි කොටස) – වෛද්‍ය රුවන් එම්. ජයතුංග


  Ruwan-M_-Jayatunge-150x150වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත, ‘සංග්‍රාමයට පසු’ නමැති කෘතිය ඇසුරෙන්, ‘යුද්දේ ඉවරයිනේ ඉතිං දැන් මොකටද ආමි කාරයෝ’ යනුවෙන්, මා පසුගිය අප්‍රේල් මාසයේදී ලිපියක් ඉදිරිපත් කළා, ඔබට මතක ඇති.  ඒ ලිපිය, වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතාගේ දැඩි අවධානයට ලක්වී තිබෙනවා. ඒ පිළිබඳව අගයමින් එතුමා මට ඊ මේල් එකක් ඒවා තිබුන අතර, ඒ අනුව එතුමා සහ මා අතර පසුගිය කාලයේ ඊ මේල් පණිවිඩ ගණනාවකින් අදහස් හුවමාරුවක් සිදුවුනා. එතුමා මේ දිනවල යෝක් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳව පර්යේෂණාත්මක කටයුතුවල යෙදී සිටිනවා. එතුමා විසින් රචිත කතාවක් සහ පශ්චාත් යුද කළමනාකරණය පිළිබඳව එතුමා විසින් රචිත පොතක්ද, මා වෙත ඊමේල් මගින් එවා තිබුනා. ඉතින් මෙවැනි කතාවක් ඔබ සමග බෙදා හදා ගැනීම මගේ යුතුකමක් යයි හිතුන නිසා ඒ දිග/කෙටි කතාව :D කොටස් දෙකකට කඩා ඔබ වෙත ගෙන එන්නටයි මේ සූදානම.  මේ සඳහා, වෛද්‍ය ජයතුංගගේ පූර්ව අනුමැතියද මා ලබා සිටින බව, මෙහි සඳහන් කරනවා.  මේ කතාව කියවා ඔබ දක්වන අදහස් වලට, මේ අඩවියෙන්, වෛද්‍ය ජයතුංග පිළිතුරු දෙනු ඇතැයි මට සහතික කර කියන්නට බැහැ. අනික් කාරණය වන්නේ මට ද එතුමා වෙනුවෙන් පිළිතුරු දෙන්නට නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැහැ. කතාවේ ඇති හමුදා තොරතුරු සම්බන්ධව යම් යම් පැහැදිළි කිරීම් පමණයි මට කළහැක්කේ. එහෙනම්, මෙතැන් සිට කියවන්න ඒ කතාවේ පළමුවැනි කොටස. මෙය මා විසින් කළ පරිවර්තනයක් නොව, වෛද්‍ය ජයතුංගගේම වචන බවද සඳහන් කරනවා.
white space
යුද්ධයේ අතුරු කතාවක්
වෛද්‍ය රුවන් එම් ජයතුංග
  මම බස්රථයේ වාඩි වී සිටියෙමි. මහා මාර්ගයේ ඇති වළවල් නිසා වරින්වර ගැස්සෙන බස් රථය තුළ සුව පහසු කම අඩු වූවත්, වෙහෙස නිසා මගේ දෙනෙත් පියවි‚ මම සැබෑ ලොවින් සිහින ලොවට පිවිසුණෙමි.
  දැන් මා සිටින්නේ කෝප්‍රල් තේනුවර සමගයි. කෝප්‍රල් තේනුවර හොඳ සෙබලෙකු මෙන්ම හිත හොඳ මිනිසෙකි. අපි එකට අවි දරා සතුරා එනතෙක් සැඟවී සිටියෙමු. අපට ඉදිරියෙන් සාජන් මිත්‍රපාල සිටියි. ඈතින් දෙපස තවත් සෙබළු දෙදෙනෙකි. අප අතර තිබූ පරතරය නිසා කථා කිරීම හෝ සංඥා මගින් අදහස් හුවමාරුකර ගැනීම හෝ අසීරු කරුණකි. වෙනෙකක් තබා කථාකිරීම පමණක් නොව කිවිසුම් ඇරීම, කැහීම, නිදාගැනීම තහනම්ය. මේවා එකක් හෝ කර අසුවූවහොත් ලැබෙන දඩුවම සාජන් මිත්‍රපාලගෙන් කනේ පහර කෑමය.
  කෙමෙන් කෙමෙන් අඳුර දැඩිවෙත්ම අපට දැණුනේ තනිකමකි. අවට මිත්‍ර කණ්ඩායමක් සිටින බව පවා දැණුනේ අඩු වශයෙනි. මදුරු කරදරය නිසා දෙකන් රතු වී ඇත. මුළු දවස පුරා බූට්ස් දමාගෙන සිටීම දෙපා රිදුම්කයි. මම LMG අවිය දරා සිටියෙමි. සතුරා පිළිබඳ අවිනිශ්චිතතාව නිසා නිදිමත දැණුනේ නැත. මම බිම වැතිරී පඳුරුවලට මුවා වී කැලය දෙස බලා සිටියෙමි. මට මීටර් විස්සකට පමණ පසුපසින් කෝප්‍රල් තේනුවර සිටියි. ඔහුට මා නොපෙණුනනද ඔහු මගේ පසු පස සිටීමත් මට අස්වැසිල්ලකි. ක්ලේමෝව අටවාගෙන ඉදිරියෙන් සිටින සාජන් මිත්‍රපාල මගේ සිතේ ඇඳුණි.
  අපි පැය ගණනාවක් සතුරා එනතෙක් බලා සිටියෙමු. දැඩි පවස නිසා මා හෙමිහිට වතුර බෝතලයෙන් වතුර බිදක් බීවේ කිසිම හඬක් නොනැගෙන ලෙසටය. ශරීරය සෙලවීම ඉතා සෙමින් කළ යුතු බැවින් වතුර උගුරු කිහිපයක් බීමට කාලය වැඩිපුර ගතවිණි. වතුර තිබහ නිවී යත්ම මට මුත්‍රා බර ඇතිවිණි. මට කළහැකි දෙයක් නැත. මෙම ඇඳ සිටි කලිසමේම මුත්‍රා පහවීමට ඉඩ හැරියෙමි. මගේ යට ඇඳුමේ සිට දුඹුරු කොළ පැහැති නිල ඇඳුමේ කලිසම තෙමීයන පරිදි පිටවී ගිය මුත්‍රා පාර වියළී පස විසින් උරාගනු ලැබීය. මගේ නිල ඇඳුමෙන් දහඩිය හා මුත්‍රා මිශ්‍ර ගඳක් දැනේ. දිය නෑමට මා තුළ ඇතිවූයේ නොමද ආශාවකි. එහෙත්…………..
  ක්‍රියාන්විතයේදී ආශාවන්ට තැනක් නැත. අපගේ තීරණය වන්නේ නියෝගයයි. එම නියෝගය මත ගල් පිළිමයක් සේ මම නිසලව සිටියෙමි. එහෙත් මගේ දෑත අවිය දරා සිටියි.
 එදින සඳ නොමැති කළුවර රාත්‍රියකි. හොල්මන් හා අවතාර වලට මම බිය නැත. යුද්ධයේ දී මියගිය මගේ සගයන්ගේ භූතාත්ම මා වටා සැරිසරනවා විය හැක. එහෙත් ඔවුන්ට මා බිය නොවිමි. මා බියවූයේ සතුරාටය. එය සෑම සොල්දාදුවෙකුටම පොදු වූ බියකි. බිය නිසා අපි සතුරා කෙරෙහි විමසිලිමත්ව සිටිමි. එසේම සතුරා දුටුවිට පහර දෙමු.
ඒ මා සමඟ පුහුණුව නිම කළ ජගත්, සිල්වා, සරණපාල, උස්ගොල්ලෑව යනාදීන් අතරින් මා සමඟ එකට සිටින්නේ කෝප්‍රල් තේනුවර පමණි. ජගත් පේසාලේදී වෙඩි වැදී මිය ගියේය. සිල්වා මුහමලේ දී ආටි ප්‍රහාරයකට හසුවිය. බිම් බෝම්බයකට අසුව මියගිය සරණපාලගේ කැබලිවී ගිය සිරුරු කැබලි මම සියතින්ම පොලිතින් වලින් වැසුවෙමි. උස්ගොල්ලෑව ක්‍රියාන්විතයේදී අතුරුදහන් විය. තේනුවර සහ මම තවම නිරුපද්‍රිතව ක්‍රියාන්විතයේ සිටිමු.
  පසුගිය නිවාඩුවට අප නුවර ගියේ එකටය. දිවා ආහාරය අප ගත්තේ චීන අවන් හලකිනි. හොඳට සප්පායම් වී සිටි අපි උස්හඬින් කථා කරමින් සිටියෙමු. මේ අතර ට්‍රේල් බයිසිකල් වලින් පැමිණි‚ තරුණයන් තිදෙනෙක් බියර් බොමින් සිටි අතර හදිසියේම මා සමග වාදයක පැටලූනේය. ඔවුහු අපට පඩත්තර සොල්දාදුවන් යැයි අපහාස කළහ. කලබලයක් වීමට පෙර මම තේනුවර සමගින් අවන්හලින් පිටතට ආවෙමි. එවිට එම කණ්ඩායමේ සිටි තරුණයන් දෙදෙනෙක් මට පහරදීමට පැමිණියහ. තේනුවර ඉදිරියට පැන ඔවුන් දෙදෙනාට පහරවල් දෙකක් දුන් අතර ඒ දෙදෙනා හතර ගාතයෙන් බිම වැටී කෙඳිරි ගාන්නට පටන්ගත්හ. අපි ත්‍රීවිලරයකට නැගගත්තෙමු. නුවර බස් නැවතුම්පළේ දී තේනුවර සමග වත්තේගම යන බස්රථයක් බලාපොරොත්තුවෙන් ඉදිරියට ඇදුනෙමි.
  ජයසිකුරු ක්‍රියාන්විතයේදී මගේ කකුළට වෙඩි වැදුණි. ලේ ගලා යාම නිසා මා මිය යතැයි බියක් දැනුණි. තේනුවර මා කරට ගෙන කිලෝමීටර් දෙකකටත් වඩා ඈතින් පිහිටි වෛද්‍ය ඒකකය වෙත ගෙන ගියේය. ඔහු නොසිටින්නට මා මළවුන් අතර විය හැක.
  වෛද්‍ය ඒකකයේ ඉටි කොළ මත තබා තිබුණ මළ සිරුරු දෙළහක් පමණ විය. ඉන් එක මළ සිරුරක් ස්ටාෆ් සාජන් පෙරේරාගේ බව මම හඳුනාගතිමි. වෙඩි ප්‍රහාරය නිසා ඔහුගේ හිස්කබල පැලී විශාල කුහරයක් සෑදී ඇති බව දුටිමි. එක ඇසක් දොට්ට පැන ඇත. ලේ වලින් නැහැවී තිබුණු මුහුනේ භයානක බැල්මකි. ඔහුගේ මුව ඇරිලාය. තොල්මත මැස්සෝ වසා සිටිති. ප්ලාස්ටික් බටයක් මුව තුළ රඳවා තිබුණු තවත් මළසිරුරක් මගේ නෙත ගැටිණි. ඔහුගේ මළ සිරුරේ කිසිම තුවාලයක් පෙනෙන්නට නැත. එහෙත් කොළ පැහැති හමුදා බැනියම වම් තනපුඩුව අසලින් ඉරී තිබේ. එතැනින් ලේ ස්වල්පයක් ගලා තිබිණි. ආටි ප්‍රහාරය නිසා විසිවී ගිය යකඩ කැබලි ඔහුගේ හදවත පසාරු කළා විය හැක. මෙවැනි මරණ මා යුද බිමේ දී දැක තිබේ. ලාබාල තරුණ සෙබලාගේ මුව තුළ තිබූ බටයේ වියලූණු ලේ දැකිය හැකි විය. ඔහුගේ තොල්වල කුහුඹුවන් පිරිලාය. තවත් මළ සිරුරක දෙපා සුණු විසුණු වී ගොසිනි. තුවාලවූ දෙපාවල මස් වැදලි එල්ලෙමින් තිබේ. කලවා යුගල පිලිස්සීම නිසා කළු පැහැවී තිබුනි.
  මගේ තුවාලය පරීක්ෂා කළේ කපිතන් වරයෙකි. ඔහු මට එන්නතක් දී වේදනාව අඩුකොට කකුලට තිරිංගයක් දමා රුධිර වහනය නතර කළේය. අනතුරුව මා ඇතුළු තවත් සොල්දාදුවන් කීපදෙනෙක් ට්‍රැක්ටරයක නංවා පලාලි රෝහල වෙත යවනු ලැබීය. ට්‍රැක්ටරයේ ට්‍රේලරයේ වැතිර සිටින අප ගැස්සෙන විට ඇදුම්කන තුවාල නිසා ඉබේම කෙඳිරි ගෑවෙයි. එක් සෙබලෙකුගේ දෑස් බැන්ඩේජ් පටියකින් වෙලා තිබේ. ඔහුගේ මුහුණේ බෙල්ලේ පිළිස්සුම් තුවාළ තිබිණි. වේදනාව නිසා ඔහු පරුෂ වචනයෙන් කෑගැසීය. තුවාල ලැබූ බලලත් නිලධාරියෙකුගේ මුත්‍රා මාර්ගයට සවිකළ බටයක් සහ මුත්‍රා පිරුණු පිලාස්ටික් බෝතලයක් ඔහු අතින් අල්ලාගන සිටියි. මුත්‍රා බෝතලය පිරී ඇත්තේ ලේ වලිනි. ඔහුගේ මුහුණ මගහරිනු වස් මම ඉවත බලා ගතිමි.
  තුවාලකරුවන්ගෙන් පලාලි රෝහල පිරී පැවතිණි. ශල්‍ය ඇඳුම් ඇඳ සිටි වෛද්‍යවරු කලබලයෙන් ඒ මේ අත දිවයනු පෙනෙයි. ඒ අතරවාරයේ තුවාල ලැබූ කර්නල්වරයෙකු ගිලන් රථයක තබා ගෙන ආවේය. මම රෝහලේ පඩියක් මත වාඩිවී සිටියෙමි. මගේ තුවාලයෙන් දැන් ලේ වහනය නොවන හෙයින්ද, මගේ තත්ත්වය දැන් බරපතල නොවන බව මට වැටහිණි. එහෙත් රෝහලේ සති තුනක් මා නවතා ගන්නා ලදි.
  තුවාල ලැබූ මා කරගසාගෙන පැමිනීම ගැන තේනුවරට මේවනතුරු මා ස්තූති කර නැත. අපි සොල්දාදුවෝ වෙමු. එම නිසා අප එකිනෙකාට ස්තූති කිරීම අවශ්‍ය නැත. අවශ්‍ය ඕනෑම මොහොතකදී අප එකිනෙකා වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කිරිමට වුවද සූදානමින් සිටිය යුතුය.
  කෝප්‍රල් තේනුවර අළුතින් සාදන නිවසේ වහලය ගැසීම ලබන සතියට යෙදී තිබේ. ඒ නිසා ඔහු නිවාඩු යාමට සිටින බව මට කියා තිබුණි. ඒ හේතුවෙන් ලබන සතියම කාන්සියන් ගෙවී යනු ඇත.
  තේනුවර හා මම ජොනී බට්ටන්ට බියවීමු. එම නිසා අප තණකොළ මත පය තැබුවේ ප්‍රවේශමිනි. පයින් යන විට වාහන ගමන්ගත් ටයර් පාර උඩ පා තබන විට සුරක්ෂිත බවක් දැනේ. සතුරාගෙන් මුදාගත් භුමියේ ගමන් කරන විට අපි එකිනෙකාට අනතුරු අඟවා ගත්තෙමු. අපරික්ෂාකාරි ලෙස ගමන් ගත් නවක සොල්දාදුවෙකු ජොනී බට්ටෙකුට අසු වුයේ අප දෑස් ඉදිරිපිටදීය. කන් බිහිරි කරවන ශබ්දය හා දුමාරය සමග මස් වැදලි වලින් එල්ලෙන පාදය මම දුටුවෙමි. කම්පනය නිසා ඔහු නිහඩව වැතිර සිටියි. අවට බිම් බෝම්බ තිබිය හැකි නිසා අප ගියේ ප්‍රවේශමිනි. තේනුවර තුවාල ලත් සෙබලා ඔසවා ගත්තේය. මම ඔහුගේ අවිය අතට ගත්තෙමි. වසරකට පමණ පසුව අපගේ රෙජිමේන්තු මූලස්ථානයේ දී මම ඔහු දුටුවෙමි. කෘත්‍රීම පාදයක් පැළඳ සිටි ඔහු මා හඳුනා නොගත් බව මට සහතිකය.
  ආටි වැටෙන විට අපි වහාම බිම දිගාවෙමු. එවිට ධුලි සහිත පස් අපගේ ශරීරය පුරා විසිරී යයි. පිපිරුම් හඬ නිසා කන් අඩියෙන් ලේ ගලන්නාක් මෙන් දැනේ. අවිය අතට ගෙන අප ඉදිරියේ සිටින සතුරාට වෙඩි තැබුවෙමු. එහෙත් නිශ්චිතව සතුරන් කොතනක සිටින්නේ දැයි අපට නොපෙනේ. එහෙත් අපි නොනවත්තාම වෙඩි තබමු.
  වරක් ආටි ප්‍රහාරයකදී මට හා තේනුවරට පිහිට වූයේ විශාල නුග ගසකි. ආටිය වැටීම නිසා සීසීකඩ විසිර ගිය යකඩ කැබලි නුග ගසේ කඳට වැදී ගසේ පොතු පවා ගැලවී ගියේය. එහෙත් අප දෙදෙනා හිස පහත් කරගෙන නුග ගහ මුල ගුලිවී සිටියෙමු. මහා ධාරානිපාත වර්ෂාවක් මෙන් සතුරා මෝටාර් එවයි. තුවාල ලත් සොල්දාදුවන්ගේ කෙඳිරිලි හඬ යුද බිම පුරා පැතිරී ඇත. එහෙත් අපගේ වීර සෙබළු සතුරාට පහර දීමට ඉදිරියට යති. ආටි වැස්ස තුරල් වී ගිය වහාම අප දෙදෙනා සතුරා සොයා ඉදිරියට දිව ගියෙමු.
  කිලාලි වලදී එල්. ටී. ටී. ඊ. කණ්ඩායමක් සැඟවී සිට අපට පහර දුණි. අපි පෙරලා ප්‍රහාර එල්ල කෙළෙමු. ප්‍රහාර වලට මුහුණ දිය නොහැකිව ඔවූහු පලා ගියහ. පසුව කළ සෝදිසි මෙහෙයුමකදී ටී 56 අවි දෙකක් හා පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් සමග තුවාල ලබා සිටි එල්. ටී. ටී.ඊ. ළමා සොල්දාදුවෙක් අපට හමුවිය. ඔහුගේ වයස අවුරුදු එකොළහක් පමණ විය. කොට කලිසමක් හා එල්. ටී. ටී.ඊ. නිළ ඇඳුමට අයත් කමිසයක් ඇඳ සිටි ඔහුගේ උදරයට වැදුණු වෙඩි පහරින්, බඩවැල් එළියට පැමිණ සිටි බව පෙනිණි. ළමයා දෙමලෙන් අපට යමක් කීය. එය, ‘මා මරන්නට එපා’ යන්න විය හැක. ළමයාගේ දෙනෙත් බියට පත් හාවෙකුගේ මෙනි. මම ඔහුගේ හිස පිරිමැද්දෙමි. තේනුවර තම සෙබල වතුර බෝතලයෙන් වතුර ස්වල්පයක් ළමයාගේ මුවට දැමීය. පිපාසයෙන් පීඩිතව සිටි ඔහු ජලය පානය කළේ ශබ්ද නගමිනි.
  ඔහුගේ ජීවිතය බේරා දීමට අපට අවශ්‍ය වුවත් ඔහු ලබා ඇති බරපතල තුවාල අනුව ළමා සොල්දාදුවාට දින දෙකක්වත් ජීවත් විය නොහැකියැයි මට සිතිණි. ඔහුව රැගෙන අපට නගර් කෝවිල් දෙසට ගිය නොහැක. ලැබී ඇති අණ පරිදි එළුතුමඩුවාල් දෙසට ගමන් කළ යුතුව ඇත. නගර් කෝවිල් බලා යන ට්‍රැක්ටරයක් හෝ තිබුණේ නම් ළමයා වෛද්‍ය ඒකකය වෙත යැවිය හැකිව තිබුණි. අප සිටින්නේ ශුෂ්ක භූමි ප්‍රදේශයකය. පෙනෙන තෙක් මානයේ මිතුරු වාහනයක් නැත. ඔහුගේ උරයේ තිබුණු බර ඇති මල්ල මා සෙමින් මුදා හැරියේ ඔහුට හුස්ම ගැනීම පහසු වනු පිණිසය.
 ’මුගේ ඔළුවට එකක් තියලා යමු. මූට සනීප වුනොත් අපට ගහන්න  RPG අරගෙන එයි’.  නවරත්න කීය. නවරත්න හමුදාවෙන් පළාගොස් පොදු සමාව යටතේ පැමිණි අයෙකි. ලාන්ස් කෝප්‍රල් නිළයේ සිටි ඔහු දැන් නිළයෙන් පහත් කරනු ලැබුවෙකි. කෝප්‍රල් තේනුවර නවරත්නගේ වචන වලට කුපිත වූයේ අනපේක්ෂිත ලෙසිනි. ඔහු නවරත්න දෙසට තුවක්කුවේ මිට අමෝරාගෙන පැන්නේ ඔහුට පහර දීමට මෙනි. මම වහාම මැදට පැන තේනුවර අල්ලා ගත්තෙමි. එම පහර වැදුණේ නම් නවරත්නගේ හක්ක කැඩී යනු නොඅනුමානය.
  මෙතැන සන්ඩුසරුවල් කරගන සිටිය යුතු තැනක් නොවේ. සතුරා විසින් අප වටකරනු නිසැකය. අපගේ කණ්ඩායමේ සිටින්නේ අට දෙනෙකු පමණි. සාජන් හේරත් කණ්ඩායමේ සිටින නායකයා වුවද ඔහු එතරම් පළපුරුදු ඇති අයෙකු නොවේ. එම නිසා කණ්ඩායමේ නිළ නොවන නායකත්වය තිබුණේ මා හා තේනුවර අතය. අපගේ අද්දැකීම්වලට ඔවුහු ගරු කළහ.
  ‘අපි දැන් යමු’ මම දැඩි තීරණයක් ගතිමි. තුවාල ලත් ළමයා තනිකොට අපි ඉදිරියට ගමන් කළෙමු. එල්. ටී. ටී. සාමාජිකයන් විසින් ළමයාට ප්‍රතිකාර කිරීම සඳහා ගෙන ගියාද? නැතහොත් තුවාල නිසා ඔහු එම ස්ථානයේම මිය ගියාද? මම නොදනිමි. එහෙත් ළමා සොල්දාදුවාගේ වේදනාත්මක දෙනෙත් මට අමතක කළ නොහැකිය.
ඊළඟ කොටස ළඟදීම බලාපොරොත්තු වන්න.
My Signature for Blog2013 ජූලි මස 20 වැනි දින 2344 පැය

18 July 2013

වදන් බලය (උපුටා ගැනීමකි) – Word Power (from Siwdesa Magazine)


img002  ඊයේ පෙරේදා මගේ පැරණි සඟරා එකතුවක් අවුස්සමින් සිටියදී නෙත ගැටුණු, සිව්දෙස සඟරා ගොන්නකින් එකක තිබුණු මේ ලිපිය, ඔබෙත් අවධානයට යොමු කරන්නට සිතුනා. මෙය, ලිපි මාලාවක් ලෙස එම සඟරාවේ වරින්වර පළවූ අතර ඉතා අගනා නිර්මාණයක් ලෙසයි මම දකින්නේ. අපේ භාෂාව වදන් වලින් කොපමණ පොහොසත් භාෂාවක්ද යන්න මෙවැනි ලිපි වලින් පැහැදිලි වෙනවා. මේ පිටු කීපය උපුටාගත්තේ, 1994 ජූනි මාසයේ පළවූ, ලංකාවේ සුප්‍රසිද්ධ, ‘සිව්දෙස’ සඟරාවෙන්. ඔබටත් පුළුවන් මෙය කියවා ඔබේ සිංහල භාෂා දැනුම උරගා බලන්න. පිළිතුරු මේ ලිපියේම පහළින් දැක්වෙනවා. නමුත් මම ඔබට යෝජනා කරන්නේ එක් එක් වචනය කියවා පිළිතුරු නොබලා, තමන් උපකල්පනය කරන පිළිතුර කොලයක සටහන් කරගෙන අන්තිමට පිළිතුරු සමග සසඳා බලන ලෙසයි. මෙන්න එහෙනම් සිව්දෙස සඟරාවෙන් උපුටාගත් පිටු කීපය.
img002
img003
img004

පිළිතුරු බලන්න යන්න
img157img004
My Signature for Blog2013 ජූලි මස 18 වැනි දින 0955 පැය

15 July 2013

සහස්‍රයේ දුෂ්ටයා නික්ම ගිය වගයි – The Departure of Pran


  photoහින්දි සිනමාව කෙරෙහි මා ඇල්මක් දක්වන්නට පටන් ගත්තේ 1960 දශකයේ දීය. මගේ ඥාති සහෝදරයකු වූ විරාජිත් මහේන්ද්‍ර ආර්යසිංහ මේ සඳහා මට මග පෙන්වූ ප්‍රධානතම පුද්ගලයා යයි අනිවාර්යයෙන්ම මෙහිදී සඳහන් කළ යුතුය. ඔහු ගැන වචනයක් නොකියා මේ සටහන තැබිය නොහැක්කේය. භාෂාව, සාහිත්‍යය, වේදිකා නාට්‍ය, සිනමාව, (සිංහල/හින්දි/ඉංග්‍රීසි) කෙරෙහි මා යොමු කරන්නට ඔහු ගත් වෙහෙස අපමණය. ඔහු සාමාජික මුදල් ගෙවා කෑගල්ල මහජන පුස්තකාලයේ මට සාමාජිකත්වය රැගෙන දුන්නේ, මා පූර්ව ජ්‍යොෂ්ඨ පන්තියේ (Senior School Certificate Preparatory Class = SSC Prep;) ඉගෙනුම ලබමින් සිටියදීය. ශිෂ්‍ය ගුරුවරයකු ලෙස 1960 දශකයේදී රුපියල් 100 මාසික වැටුපට (සමහරු ඒ කාලේ ශිෂ්‍ය ගුරුවරුන්ට කිව්වේ 99.90 කියාය. හේතුව ඔවුන්ට තම මාසික වැටුප් පත්‍රිකාවේ, වැටුප ලබාගත් බවට අත්සන් කිරීමට, ශත 10 මුද්දරයක් අවශ්‍ය වූ (ඔවුන්ට විතරක් නොවේ රජයේ සේවකයන් බොහොමයකට) අතර, එහි වටිනාකම ගෙවා ගත  නොහැකිව වැටුපෙන්ම එම ශත10 අඩු කරගත්තා යයි අපහාස කිරීමටය) මට වඩා වසර 10 කින් පමණ වැඩිමල් ඔහු කිසි දිනක මට ‘මල්ලී’ කියා අමතා නැත. ඔහු මට කතා කරන්නේ ‘මොකුත් නැති’ ආමන්ත්‍රණයකිනි.  ‘ආ කොහොමද’ ‘කොහෙද යන්නේ’ ‘යමු චිත්‍රපටියක් බලන්න’ ආකාරයටය. කේන්ති ගියවිට ‘ඔය ළමයා’ කියයි. නැතහොත් මා සමග කතාබහක් නැතිව දවස් ගණනක් සිටියි. එය මට මහත් මානසික පීඩාවකි. ඔහු නැවත යාළු කරගන්නට කිසිසේත් නොහැකිය. කවදා හෝ දිනක ඔහුම යළි මට කතා කරනතුරු ඉවසා සිටින්නට සිදුවේ. ගැලරියේ සිට චිත්‍රපටි බලන්නට, ශත 10 ක් 15 ක් ගෙවා, තෝසේ කඩයකින්, බඩ පැළෙන්න කන්නට මට ඉගැන්නුවේ ඔහුය. හින්දි සහ බටහිර නළු නිළියන් ගැන මට කියාදුන්නේ ඔහුය. නවකතා, කෙටි කතා, කවි, රසවිඳින හැටි කියාදුන්නේ ඔහුය. ඔහු විදුහල්පති වරයකු ලෙස සේවය කොට, අද විශ්‍රාම ලබා, බියගම, දෙල්ගොඩ ප්‍රදේශයේ වාසය කරයි. ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ චිත්‍ර එකල පුවත්පත් වල නිතර පළවිය. 1960 දශකයේදී, වරක්, එකල ‘රිවිරැස’ පත්‍රයෙන් සංවිධානය කළ කාටූන් චිත්‍ර තරගයක ප්‍රථමස්ථානය ඔහුට හිමිවිය. කලා රසවින්දනයෙහි මා තුළ යම් පරිණත බවක් වේ නම්, කලා ක්‍ෂේත්‍රය පිළිබඳ ලිපි ලිවීමට මට හැකියාවක් ඇත්නම්, එහි පදනම ඔහුම වෙයි. 
  pran1හොඳයි, ඒ චූර්ණිකාවෙන් පසුවයි, මා, අද දින, මේ කෙටි සටහනේ නිමිත්ත වෙත ඔබ ගෙනයන්නේ. හින්දි සිනමාවේ දුෂ්ඨ නළුවකු ලෙස ලෝක ප්‍රසිද්ධ ප්‍රාන් ගැන ඔබ අතරින් සෑහෙන දෙනෙකු අසා ඇතැයි මා සිතනවා. නව පරපුරේ සිනමා රසිකයන් නම් ඔහු ගැන දන්නේ නැතුව ඇති. ඔබට පුදුමත් හිතෙනවා ඇති ඇයි මා මෙලෙස හින්දි සිනමා නළුවකු වර්ණනා කරන්නේ කියා. ඇත්තේ එකම හේතුවකි. දක්ෂයා, ශ්‍රේෂ්ඨයා, ජාති, ආගම්, කුල, භේදයෙන් තොරවම දක්ෂයා, ශ්‍රේෂ්ඨයා ලෙස පිළිගැනීම, අපි, අප තුළ වඩවාගත යුතු, අගනා මිනිස් ගුණයක් බව මෙහිදී අවධාරණය කරන්නට සිදුවෙනවා. මේ නළුවා ගැන මා මෙසේ ඇගයීමක් කරන්නේ එහෙයිනි. මේ දක්ෂයා, මේ ශ්‍රේෂ්ඨයා, 93 වසරක් ආයු වළඳා පෙරේදා (2013/07/12) අප අතරින් සමුගත්තේය. මේ සටහන ඔහු වෙනුවෙනි. 
  1920 වර්ෂයේදී උපන් ‘ප්‍රාන් ක්‍රිෂන් සිකන්ද්’ සිනමාවේ දුෂ්ඨයකු වුවද, අනෙක් සෑම දුෂ්ඨ නළුවකු මෙන්, සැබෑ ජීවිතයේ දුෂ්ඨයකු නොවූ බව නොකිවමනාය. ඔහු, මෙතෙක් ලොව බිහිවූ, ශ්‍රේෂ්ඨතම දුෂ්ඨ නළුවායයි මම නොකියමි. එහෙත්, ඔහු තරම්, මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කිරීමේ පුදුමාකාර දක්ෂතාවක් ඇති දුෂ්ඨ නළුවකු, මා නුදුටු තරම්ය. දැන් ඉන්න සිල්ලර දුෂ්ඨ නළුවන්ගේ ‘වැඩ කෑලි’ සමග සසඳා බලනවිට, මෙවන් නළුවකු කොතරම් ශ්‍රේෂ්ඨද යන්න මනාව පසක්වෙයි.
  Pran 2ඔහුගේ විශේෂත්වය වන්නේ, හුදු දුෂ්ඨ චරිතයටම සීමා නොවී, මිනිස්කම විදහා දැක්වෙන චරිත වලටද පණ පෙවීමයි. එමෙන්ම සමහර චිත්‍රපටි වලදී ඔහු දැක්වූ විකට රංගන ප්‍රතිභාවද, අනෙකුත් විකට නළුවන්ට සැබෑ අභියෝගයක්ම විය. ඔහු මගේ සිතෙහි පැළපදියම් වුයේ, ‘මධුමතී’‘ජිස් දේශ් මෛන් ගංගා බෙහෙති හෛ’ වැනි චිත්‍රපටි වලින් බවයි මගේ මතකය. එතැන් සිට ඔහුගේ චිත්‍රපටි ලැයිස්තුව කියන්නට මේ අවස්ථාව නොවේ. ප්‍රාන් ගේ ‘අති දක්ෂ දුෂ්ඨකම්’ :D කොතරම් ඇගයීමට ලක්වුයේද යත්, සුප්‍රසිද්ධ ‘ස්ටාර්ඩස්ට් – Stardust’ සඟරාව, වර්ෂ 2000 දී ඔහු ‘සහස්‍රයේ දුෂ්ඨයා - Villain of The Millenium’ යන විරුදාවළියෙන් පිදීය. පහත දැක්වෙන වීඩියෝ වලින් ඔබට ඔහු ගැන මතකය අළුත් කරගන්නට හැකිවේයැයි සිතනවා.


මේ වීඩියෝවත් ඔහු ගැනමයි. ටිකක් දිගයි.


මේ ශ්‍රේෂ්ඨයා ‘අපේ කාලයේ වීරයෙක්’ ලෙස නම් කිරීමට, මම කිසිසේත් පසුබට නොවෙමි. ප්‍රාන්, ඔබට මෝක්ෂ සුවය ලැබේවා!
My Signature for Blog2013 ජූලි මස 14 වැනි දින 2356 පැය

07 July 2013

තවත් කතන්දර තුනක් – Another Three Stories


2  කාලෙකින් පුංචි කතන්දර කීපයක් ලියන්න බැරිවුනා. හමුදා තොරතුරු දිගටම ලියාගෙන යනකොට ඒ දීර්ඝ ලිපි ඔබට එපාවෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි බොහොමයක් බ්ලොග් අඩවි වල පුංචි කතන්දර බහුලව තියනවා. හැම පැත්තක්ම සමබර කරගැනීමට කරන උත්සාහයක් මෙන්ම, රසයේ විවිධත්වයක් ඔබ වෙත ගෙන එන්නයි,  මේ පුංචි කතන්දර කීපය ලියන්නේ. හැබැයි ඉතින් අපේ රට, දිනපතා, ජනතාවට සෑහෙන්න විහිළු සපයන නිසා, මෙවැනි කතාවලින් හිනායන්නේ නැති තරමට, ජනතාව දැන් විවිධ දේශපාලන විහිළු වලින් හෙම්බත් වෙලා ඉන්නේ. ‘දිනපතා පාර්ලිමන්ට් ජෝක්ස් බලන අපිට මෙව්වත් විහිළුද’ කියා ඔබ ආපහු මගෙන්ම අහන්නත් ඉඩ තියනවා. කියවලා බණින්න හරි කමක් නෑ, ඉස්සර වෙලා කියවලාම බලන්නකෝ. 

 1. රතු ඉන්දියානු සංඥාව

 contatti රතු ඉන්දියානු ගෝත්‍රික නායකයෙක්, ඇමරිකාවේ ජනශූන්‍ය පළාතක, සිය වාහනය පදවාගෙන යමින් හිටියා. හදිසියේම ඔහුගේ වාහනය ක්‍රියාවිරහිත වුනා. ඔහු දන්නා තරමින් උත්සාහ කළා, එහි දෝෂ නිවාරණය කරගන්නට.  නමුත් හරිගියේ නැහැ.  ඔහුට වැටහුණා, කාර්මිකයකුගේ සහාය ලබාගන්නට වෙන බව.  සාක්කුවට අත දා බැලුවම, අතේ තිබුනේ ඩොලර් 4 යි. ඒ කාළේ ජංගම දුරකථන තිබුණේත් නැහැ.  ඔහු නොබියව, තම සාම්ප්‍රදායික පණිවිඩ හුවමාරු ක්‍රමය වන, දුම් සංඥා ක්‍රමය භාවිත කරන්නට තීරණය කළා. ඒ අනුව ඔහු වහාම ගිනිගොඩක් ගසා,  තම වර්ගයා ඉන්න ඈත ප්‍රදේශයකට පෙනෙන ලෙස, දුම් සංඥාවක් යැව්වා, ‘මගේ කාර් එක කැඩුණා. මම අහවල් ප්‍රදේශයේ ඉන්නවා. ඩොලර් 500 ක් අරන්, වහාම කවුරුහරි එකෙක් වරෙල්ලා’ කියලා. ඇමරිකන් කාරයන්ව ආශ්‍රය කරලාම, රතු ඉන්දියන් වරුනුත් බොහොම කපටි වැඩ ඉගෙනගෙන තිබුනා. ඉතින් අර ඈත ගමේ අය හිතුවා ‘මේ නම්  ලොක්කාගේ සංඥාවක් වෙන්න බැහැ. කවුරුහරි එකෙක් ලණුවක් දෙන්නේ’කියලා. එයාලා පිළිතුරු දුම් සංඥාවක් යැව්වා ‘මොකටද ඔච්චර සල්ලි?  ඔයා අපේ ලොක්කානම්, ඔයාගේ බාල පුතාගේ නම, දුම් සංඥාවකින් පෙන්නන්න’ කියලා.  මේ වෙලාවේ, අර රතු ඉන්දියන් ලොක්කා ඉන්න ප්‍රදේශයට ආසන්නව, ඇමරිකානු හමුදාව විසින්, පරමාණු බෝම්බ අත්හදා බැලීමක් සිදුකෙරුණා. එයින් අහසට නැගුණ, බිම්මලක හැඩය ගත්, මහා විශාල දුම්වලාව, අර රතු ඉන්දියන් ගමට පෙණුනා. ඒගොල්ලෝ වහාම නැවතත් දුම් සංඥාවක් එව්වා, මෙන්න මෙහෙම. ‘හා හා ලොක්කා, ඔච්චර කේන්ති ගන්න එපා. අපි සල්ලිත් අරන් දැන්මම එනවා.

2.  නෝනට ඇත්ත කියනවා

0511-0712-3112-4935_Old_Fashioned_Pilot_clipart_image  ඔබ බොහෝදෙනෙක් අහලා ඇති, ඇමරිකා එක්සත් ජනපදයේනෙවාඩා ප්‍රාන්තයේ තිබෙනවා, ඉතාම රහසිගත අධි ආරක්‍ෂිත කලාපයක්,51 වැනි ප්‍රදේශය (Area 51) කියලා. මෙහි ඇත්තටම සිදුවන්නේ කුමක්ද කියලා, නොයෙක් කතා ලෝකය පුරා පැතිරිලා තියනවා. එක ඉරිදා දවසක, මේ කඳවුරේ (අපි කියමුකෝ ඒක කඳවුරක් කියලා) ආරක්ෂාවට යොදා සිටි සොල්දාදුවෝ, ටිකක් වැඩිවෙන්න සුරාමේරය කළා. දවල් කෑමෙන් පස්සේ එයාලා නොදැනීම නින්දට වැටුනා. එක වරටම, කොහෙන් ආවද දන්නේ නෑ, ඉතා කුඩා පෞද්ගලික ගුවන් යානයක්, මේ කඳවුරේ ගුවන් පථයට ගොඩ බැස්සුවා. මුළු කඳවුරම කැළඹීමට පත්වුනා. හා පැටවකු අල්ලගන්න එන වෘක රැළක් වගේ, අවි අමෝරාගත් සොල්දාදුවෝ, යුද්ධ ටැංකි, ජීප්, ට්‍රක් රථ, ගිනි නිවන රථ, අර ගුවන්යානය වටකරගත්තා. බීමත්ව සිටි සොල්දාදුවන්, යානය ගොඩබස්වද්දී වෙඩි තැබුවත්, ඔවුන්ගේ ‘බීමත්කමට පින්සිද්ධ වෙන්න’ :D :D යානයට කිසිදු හානියක් වෙලා තිබුනේ නැහැ. යානය වටකරගත් සොල්දාදුවෝ, කෑ ගහලා කිව්වා, නියමුවාට යානයෙන් එළියට එන ලෙස. සියළු දෙනා පුදුමයට පත්කරමින්, අවුරුදු 70 – 80 පෙනුමකින් යුතු පුද්ගලයෙක්, යානයෙන් එළියට ආවා. වෙන කවුරුවත් හිටියේ නැහැ. නියමුවා පමණයි. ඔහුගේ පෙණුම දැක්කම ,ගුවන් යානයක් පදවනවා තියා, බයිසිකලයක් තල්ලු කරන්නවත් පණ තියනවාද කියලා සැක හිතෙනවා. එයා මෙන්න මෙහෙම කිව්වා. ‘අද උදේ අපේ නෝනා කිව්වා, ඈත ප්‍රාන්තයක ඉන්න, එයාගේ තනිකඩ නංගිගේ ගොවිපොළට ගිහින්, අපේ නෝනා දෙන තෑගි පාර්සලය දීලා, එහෙන් දවල්ට කෑම කාපු වහාම එන්න. ඊට වැඩිය එක මොහොතක්වත් ඉන්න එපා කියලා.  ටිකක් කුණාටු ගතියක් තිබුණා. අර නංගී එන්න එපා කියද්දීත් මම ආවා. මාව කුණාටුවකට අහුවුනා. පියාසර කලයුතු දිශාව වැරදුණා. යානයේ ඉන්දන ඉවරවේගන ආවා. තව විනාඩි 10 කට වඩා පියාසර කරන්න බැරි තරමට ඉන්දන අඩුවුණා. මේ වෙලාවේ මම අහම්බෙන් දැක්කා ගුවන් පථයක්. ඉතින් ඒකට යානය බැස්සුවා. හැබැයි මම මේ ඉන්නේ කොහෙද කියලවත් මම දන්නේ නැහැ’. එයාට මේ ටික කියලා කට ගන්න හම්බවුනේ නැහැ, එතකොටම අර කුණාටුව ඒ ප්‍රදේශයටත් ආවා. දැන් යානය ගුවන්ගත කරන්නම බැහැ. කඳවුරේ පාලකයා තීරණයක් ගත්තා. ඔහු දන්නවා, තමන් ඉන්නේ කොහෙද කියලා, අර පුද්ගලයා නොදන්නා බව. කොහොම වුනත් එදා රෑ ඔහුව කඳවුරේ සිර මැදිරියකට දැම්මා. හොඳින් කන්න බොන්නත් දීලා, පහුවදා  උදේම, යානයේ ටැංකි පිරෙන්නම, ඉන්දනත් නොමිළේම දීලා, ඔහුගේ ඔළුවට පිස්තෝලයක් තියලා, මෙන්න මෙහෙම තර්ජනය කළා. ‘මෙහෙම කඳවුරක් තියනවා දැක්කා කියලා, තමුසේ කාටහරි කිව්වොත්, තමුසෙගෙ ජීවිතය ඉවරයි, හොඳද? තමුසේ මෙහෙම කඳවුරක් ගැන දන්නෙත් නෑ, දැක්කෙත් නෑ, තමුසෙගෙ ප්ලේන් එක ගොඩබෑවෙත් නෑ හරිද? පණපිටින් ඉන්න කැමතිනම්, ආයෙ කවදාවත් මේ පැත්තෙන්වත් පියාසර කරන්නත් එපා හරිද?’   ඔන්න ඉතින් අර ගුවන්යානය පිටත්වී ගියා. කඳවුරේ පාලකයා සැනසුම් සුසුමක් හෙළුවා. එදා හවස මහා පුදුම දෙයක් සිදුවුනා. ඉතාම පහතින්, ඊයක වේගයෙන් පැමිණි අර කුඩා ගුවන්යානය, ආයෙත් මේ කඳවුරේ ගුවන් පථයට ගොඩ බැස්සුවා. මුළු කඳවුරම යක්ෂාවේශ වුනා. ‘අදනම් මූව ආපහු යවන්නේ නැහැ’ කියලා, යානය වටකළා. කියන්නත් කලින් අර මහළු නියමුවා යානයෙන් එළියට ආවා. ඇවිත් මෙන්න මෙහෙම කිව්වා. ‘තමුසෙලාට ඕනෙනම්, මාව මරන්න බැරිනම්, ඕනේ කෙහෙම්මලක් කරනවා. හැබැයි ඊට කළින්, මෙන්න මේ ප්ලේන් එක ඇතුළේ ඉන්න මගේ ගෑණිට කියනවා, මම ඊයේ රෑ හිටියේ නංගිලාගේ ගෙදර නෙවෙයි කියලා’.

3.  හොඳම  ආදර්ශය හෙවත් පොඩි රවුම සහ ලොකු රවුම

judge1  කුඩු බොන්නට පුරුදුවෙලා හිටිය විශ්ව විද්‍යාල සිසුන් දෙන්නෙක්, කුඩු උරමින් සිටියදී, පොලීසියට කොටුවුනා. දෙන්නවම උසාවියට ඉදිරිපත් කළා. විනිශ්චයකාර වරයා, දෙන්නා ගැන තොරතුරු විමසලා, අමුතු ආකාරයේ තීන්දුවක් ගත්තා. ‘හොඳයි, තමුන් වගේ අය තමයි අනාගතයේදී මේ රට පාලනය කරන්න බාරගන්නෙත්, ඉතින් මේ රටට මොකක් වෙයිද කුඩු කාරයෝ පාලකයෝ වුනාම. (ලංකාවේ නෙවෙයි අනේ. මම කිව්වේ නෑනේ ලංකාවේ කියලා) මම තමුන්ට මාසයක් කල් දෙනවා. මේ මාසය ඇතුළත, තමුන් වගේ කුඩු බොන්න පෙළඹිලා ඉන්න විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක්, එයින් අත්මිදෙන්න පොළඹවලා, තව මාසෙකට පස්සේ එයාලත් එක්කම මේ උසාවියේ පෙනීසිටින්න ඕනේ. ඒ වැඩපිළිවෙලේ සාර්ථකත්වය අනුව මම තීරණය කරනවා තමුන්ට දෙන දඬුවම ලිහිල් කරන්න’. කියලා. ඔන්න අතින් මාසෙකට පස්සේ පොලීසිය ආයෙත් මේ දෙන්නව උසාවියට ගෙනාවා. එක්කෙනෙක් තරුණයන් හත් දෙනෙක්ව අරන් ඇවිත් තිබුණා. අනිත් එක්කෙනා එක්ක මහා සෙනගක් ඇවිත් හිටියා. දැන් විනිශ්චයකාර වරයා කරුණු විමසනවා. අර සුළු පිරිසක් එක්ක ආව කෙනාගෙන් මුලින්ම කරුණු විමසුවා. ‘ඔව් කියමු බලන්න තමුන් කී දෙනෙක්ව මත්කුඩු බීමෙන් මුදාගත්තද කියලා’. නඩුකාරතුමා ඇහුවා. ‘ස්වාමීනී මම මගේ යාළුවන් හත් දෙනෙක් කුඩු බීමෙන් ඉවත් කරගත්තා’. අර විශ්ව විද්‍යාල සිසුවා පිළිතුරු දුන්නා.‘කොහොමද ඒක කළේ’ විනිසුරුතුමා ඇහුවා. ‘හරි සරල ක්‍රමයකට ස්වාමීනි. මම කොළයක් අරගෙන ඇන්දා රවුම් දෙකක්. පළවෙනි රවුම ලොකුයි, දෙවැනි එක පොඩියි. o  මම මේ සහෝදර ශිෂ්‍යයන්ට, ඒ රවුම් දෙක පෙන්නලා කිව්වා, මල්ලි මේ බලන්න, මෙන්න කුඩු බීලා හිරේ යන්න කලින්, ඔයාලගේ මොළේ තරම තමයි, මේ ලොකු රවුමෙන් පෙන්නන්නේ. මේ පුංචි රවුමෙන් පෙන්නන්නේ, කුඩු බීලා අහුවෙලා, හිරේ ගිහින් එළියට එනකොට, ඔයාලගේ මොළේ තරම කියලා. මෙයාලා ඒක හොඳින් තේරුම් අරගෙන, කුඩු බීමෙන් ඉවත් වුණා’. විනිසුරුතුමා බොහොම සතුටට පත්වුනා. ‘කෝ ඊළඟ එක්කෙනා’ කියලා එයාටත් කතා කළා. ‘ඔව්, මොකද මේ තමුන් මහා සෙනගක් අරන් ඇවිත් ඉන්නේ? උසාවිය රවට්ටන්නද හදන්නේ. මම දන්නවා කුඩු බොන අය එහෙම ලේසියෙන් එයින් අත්හරවන්න බැරි බව. බොරු කතා නොකියා, ඇත්ත කියනවා, තමුන් මොකද කලේ කියලා’. කිව්වා. ඔන්න ඉතින්, අර දෙවැනි විශ්වවිද්‍යාල ශිෂ්‍යයා, තමන් කළදේ විස්තර කළා. ‘ස්වාමීනි මමත් 156 දෙනෙක්ව කුඩු බීමෙන් ඉවත් කරගත්තා. මමත්, මගේ යාළුවා වගේම කොළයක් අරගෙන, රවුම් දෙකක් ඇන්දා. පළවෙනි එක පොඩියි. දෙවැනි එක ලොකුයි. o  oමම මගේ යාළුවන්ට කිව්වා, ‘මල්ලිලා, මෙන්න උඹලා, කුඩු බීලා අහුවෙලා, හිරේ යන්න කළින්, උඹලාගේ ගුද මාර්ග ජිද්‍රයේ ප්‍රමාණය,මෙන්න…………………………..
දැන් ඉතිං ඇති නේද? තවත් මෙවැනි කතා පසුව කියන්නම්. ගොහිං එඤ්ඤං හොඳේ.
පින්තූර ගත්ත තැන්
My Signature for Blog2013 ජූලි මස 07 වැනි දින 1125 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }