හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

25 August 2013

කේළමා, අවලමා, ඔත්තුකාරයා, මිනීමරුවා, (දෙවැනි කොටස) – The Drone (Part Two)


  drones-1කේළමා, අවලමා, කතාවේ පළමුවැනි කොටසට ඔබෙන් සෑහෙන පිරිසකගේ අවධානය යොමුවී තිබීම ගැන සතුටු වෙනවා. මේ එම ලිපියේ දෙවැනි කොටසයි. මේ කොටසේදී Drone යානා පිළිබඳව විශේෂ කරුණු රැසක් ඔබ සමග සාකච්ඡා කරන්නට මා බලාපොරොත්තු වෙනවා. මේ කොටස මීට කලින් ඔබ වෙත ගෙන එන්නට සිතා සිටියත් පසුගිය දිනවල බලාපොරොත්තු රහිත ලෙස මා අධික කාර්ය බහුළ තත්වයක පත්වුණා.(පින්තූරය ගත්තේ මෙතනින්)
  කේළමා කියන වචනය, හමුදාවේ යොදාගන්නා රහස් සංකේත නාමයක් බව මම දැනගත්තේ 1980 දශකයේ මැද භාගයේදීයි. ඒ කාලයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාවිච්චි කරන නියමුවන් රහිත යානය හඳුන්වන ලද රහස් පදය Code Name වුනේ ‘කේළමා’ කියන වචනයයි. එය හරියටම ගැලපෙනවා නේද? ඔත්තු බලාගෙන ඒවා සජීවීව අපට කියන එකත්, (පාලක මධ්‍යස්ථානය වෙත එවන සජීවී පින්තූර සහ දත්ත) එමෙන්ම පටිගත කරගෙන ඇවිත් ආපහු කියන එකත් නේ මේ කේළමා කරන්නේ.  
    මම පසුගිය ලිපියෙන් කිව්වනේ යාන්ත්‍රික කේළමෙකු, අවලමෙකු, ඔත්තුකාරයකු, මිනීමරුවකු හඳුන්වා දෙනවා කියලා. ඔන්න දැන් කේළමා සහ ඔත්තුකාරයා හඳුන්වා දුන්නා. ඊළඟට ඉන්නේ අවලමා සහ මිනීමරුවා. drone යානයක සවිකර තිබෙන කැමරා පද්ධතිය ඉතා තියුණු හා සංවේදී රූප ලබාගතහැකි ආකාරයටයි සකසා තිබෙන්නේ. අධෝරක්ත කිරණ ඡායාරූප/වීඩියෝ පවා ලබාගන්න පුලුවන්. කණාමැදිරි ආලෝකයක් තිබුණත් ඉතා විශිෂ්ඨ ගණයේ ඡායාරූප/වීඩියෝ ගන්න පුළුවන්. ඉතින් ඒ කැමරා පාවිච්චි කර, ඔබේ නිවසට ඉහළ අහසේ සිට පෑන්ලයිට් එක තුළින් ඔබේ නාන කාමරයටත්, යන්තම් විවරවී ඇති කවුළුවකින් හෝ ග්‍රිල්/ලැටිස් අතරින්, ඔබේ නිදන කාමරයටත් ‘එබී බලන්නට’ මේ ‘අවලමාට’ පුළුවන්.  එමෙන්ම තමන්ගේ තටුවල යට සවිකර ඇති මිසයිල් එකක් දෙකක් යොදවා ‘මිනීමරුවකු’ බවට පත්වන්නටත් පුළුවන්. දැන් පේනවා නේද drone යානයක තරම.
Drone Camera System
  medusa1මේ මහා මාරක ඔත්තු බැලිල්ල දැන් කොයිතරම් දියුණුද කියන එකට උදාහරණයක් කියන්නම්. ඇමරිකා එක්සත් ජනපදය විසින් වැඩි දියුණු කර තිබෙන Drone යානා වර්ගයක් තිබෙනවා. එහි තිබෙන කැමරා පද්ධතියෙන්, ඉතා විශාල ප්‍රදේශයක් එකවර නිරීක්ෂණය කර, දත්ත ලබාගෙන, මහා ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්. මේ ආකාරයට කැමරා පද්ධතියෙන් කරන නිරීක්ෂණය හඳුන්වන්න ඔවුන් යොදාගෙන තියන නම, පැරණි ග්‍රීක මිථ්‍යා කතාවක් පදනම් කරගෙනයි සකස් කරගෙන තියෙන්නේ එයට කියන්නේ ගෝගන් ස්ටෙයා -  Gorgon Stare කියලයි. වර්තමානයේදී එය අති සූක්ෂ්ම නිරීක්ෂණ කැමරා පද්ධතියක් වුනත්, ඒ සම්බන්ධ ග්‍රීක මිථ්‍යා කතාව මෙහෙමයි. ක්‍රිස්තු පූර්ව එක්දහස් ගණන්වල ග්‍රීසියේ හිටියලු මහා භයානක මන්තර බලයක්, ශාප කිරීමේ හැකියාවක් සහ යම් කිසිවකු දෙස රවා බලා ඒ පුද්ගලයාව ගලක් බවට පත්කිරීමේ හැකියාවක් ඇති සහෝදරියන් තිදෙනෙක්. එයාලගේ නම් තමයි,  Medusa මෙඩුසා,Stheno ස්හීනෝ(ශීනෝ) සහ Euryaleයුරාලේමේගොල්ලන්ගේ හිසේ කෙස් වෙනුවට ඉඳලා තියෙන්නේ ඉතා විෂකුරු සර්පයන්. මේ කතාව කෙටියෙන් කියනවානම් අනික් සහෝදරියන් දෙන්නා මරණයට පත්වුණා. ජීවත්ව හිටියේ මෙඩුසා පමණයි. Perseus පර්සියස් නමැති, දේව බලයෙන් යුත් වීරයා, මෙඩුසාගේ හිස කඳෙන් වෙන් වෙන්න කඩු පහරක් දුන්නාලු.
  දැන් පෙන්නන්නම් ඇමරිකානු ගෝගන් ස්ටෙයා එක. ඇමරිකන් කාරයා මේ drone යානා නිරීක්ෂණ ක්‍රමයට ගෝගන් ස්ටෙයා කියලා නම දැම්මේ මේ නිරීක්ෂණ පද්ධතියෙන් ලබාගන්න තොරතුරු ආධාර කරගෙන මාරාන්තික ප්‍රහාර එල්ල කළහැකි නිසයි. එයත් හරියට අර මෙඩුසා ගේ ශාපය වගේ. 


gorgon_stare

බලන්න සිදුවනදේ. කැමරා 12 කින්, එකවර ලබාගන්නා ඡායාරූප/වීඩියෝ දර්ශණ, වෙන වෙනම හෝ, අංශක 360 ප්‍රදේශයක් ආවරණය වන, එක වීඩියෝවක්/රූපයක් ලෙස සකසා, පාලක මැදිරියට යවනවා. නැත්නම් පාලක මැදිරියේදීත් අවශ්‍ය සැකසුම් කරගන්න පුළුවන්. එම පින්තූර, යුදබිමේ සිටින සෙබළාගේ හෙල්මට් එකේ තිබෙන, විශේෂ වීඩියෝ දර්ශන තිරයකට වුනත් යවන්න පුළුවන්. එවිට, තම අවට භූමියේ, තමන්ට නොපෙනෙන ප්‍රදේශවල සිදුවන දේ ගැන අවබෝධයක්, සෙබළාට ලැබෙන අතර, ගතයුතු ක්‍රියාමාර්ගය ක්ෂණිකව ගතහැකි වෙනවා. එපමණක් නෙවෙයි යුදබිමේ තිබෙන යුද ටැංකි සහ කාලතුවක්කු අණදීමේ ප්‍රධානීන් වෙතත්, මේ පින්තූර ලබාදීමෙන් නිවැරදිව ඉලක්ක ලබාගැනීමට හැකිවෙනවා. 
  Drone යානා හදන්න ලෝකය මෙතරම් උනන්දු වෙන්නේ ඇයි? ඔබ දන්නවා නේද එක්තරා කියමනක් තියනවා, අඬුව තියෙද්දී අත පුච්චාගන්නේ මොකටද කියා. එහි වාච්‍යර්ථය වන්නේ, රත්වූ යමක් අල්ලන්න අඬුවක් තිබියදී, එය අතින් අල්ලා අත පුච්චා ගැනීම, මෝඩ වැඩක් බවයි. භාවාර්ථය වන්නේ, තමන්ට හානියක් නොවී, බේරී සිටිමින් කළහැකි ක්‍රියාවක් වෙනුවෙන්, අනවශ්‍ය අනතුරුදායක බවකට අත පෙවීම මෝඩකමක් බවයි. ඒ කියන්නේ, නියමුවන් රහිත යානයකින් ගතහැකි ප්‍රයෝජනය සඳහා, නියමුවන් සහිත යානයක් යොදවා, ඒ නියමුවන්ගේ ජීවිතය අනතුරේ හෙලීම මෝඩකමක් බවයි. ප්‍රහාරක ගුවන් නියමුවකු පුහුණු කරන්න අති විශාල ධනස්කන්ධයක් මෙන්ම වටිනා සම්පත් සහ කාලය වැය වෙනවා. දක්ෂ ප්‍රහාරක ගුවන් නියමුවකු කියන්නේ මිළ කළ නොහැකි සම්පතක්. එවැනි නියමුවකු අහිමි වීම, කියන්න බැරිතරම් පාඩුවක්. මේ නිසා හැකි සෑමවිටම නියමුවන් රහිත යානා යොදාගැනීම ප්‍රඥාගෝචරයි.
Drone යානයකින් ප්‍රහාරයක් එල්ල කරන්නේ කොහොමද?
  ලොකු විස්තරයක් ලියනවාට වඩා පහසුයි පහත දැක්වෙන වීඩියෝ එක බලන එක.(මේ ලිපියේ තිබෙන සියලුම වීඩියෝ ඉතා කෙටි ඒවා බව අවධාරණය කරනවා.)


පේනවා නේද ඉහළ අහසේ ඉඳලා ඉලක්ක ගන්න හැටි. මේ සජීවීකරණයෙන් බලන්න, ඒ ප්‍රහාරය සඳහා යොදාගන්නා මිසයිල් Drone යානයකින් නික්ම යන හැටි.



 දැන් පෙනෙනවානේ Drone යානාත් එක විදිහක මාරයෙක් කියන එක.
Drone යානා විවිධ කටයුතු වලට යොදාගන්නා නිසා වර්ගීකරණයකට ලක්කර තිබෙනවා. හැබැයි ඒ වර්ගීකරණය හරිම සංකීර්ණයි. මේ යානා වර්ගීකරණය සඳහා යොදාගන්නා නිර්ණායක ගණනාවක් තිබෙනවා. ඒ මෙන්න මෙහෙමයි.
  • යානයේ බර
  • දරාසිටීමේ හැකියාව සහ එක වරකට යාහැකි දුර
  • යා හැකි උපරිම උස
  • බර ඉසිලීම සඳහා යානයේ තටු වලට ඇති හැකියාවේ ප්‍රමාණය
  • එන්ජිමේ වර්ගය
  • යානයේ ගුවන්ගතවීමේ බලය
මෙන්න මේ සාධක පදනම් කරගනිමින්, ප්‍රධාන වශයෙන් මේ යානා වර්ග කරන්නේ මෙහෙමයි.
  • ඉලක්ක ලබාදීමේ සහ ඔත්තු සැපයීමේ යානා – Target and decoy සතුරු මිසයිල, සතුරු ගුවන්යානා, ආදිය පිළිබඳව පොළොවේ පිහිටවා ඇති තම කාලතුවක්කු, ගුවන්යානා නාශක තුවක්කු, මිසයිල් මධ්‍යස්ථාන වෙත තොරතුරු ලබාදීම.
  • නිරීක්ෂණ කටයුතු පමණක් කරන යානා – Reconnaissance පහළ භූමියේ ස්වභාවය සජීව වීඩියෝ/නිශ්චල ඡායාරූප මගින් පාලක මධ්‍යස්ථානය වෙත වාර්තා කිරීම.
  • ප්‍රහාරක යානා – Combat role UAVs නියමුවන් සහිත යානා යෙදවීම දැඩි අවදානම් සහිත තත්ත්වයන්හිදී සාර්ථක විකල්පයක් ලෙස ප්‍රහාර සඳහා යොදවන යානා.
  • කාර්ය සම්පාදන යානා – Logistics UAVs  භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා පමණක් යොදාගන්නා යානා.
  • පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් සඳහා යොදාගන්නා යානා – Research and development අනාගත වැඩිදියුණු කිරීම් පිලිබඳ පර්යේෂණ සඳහා පමණක් යොදාගන්නා යානා.
  • සිවිල් සහ වාණිජ කටයුතු සඳහා යොදාගන්නා යානා – Civil and Commercial UAVs කාලගුණ දත්ත සෙවීම, භූමි සිතියම් සැකසීම, වැනි සිවිල් කටයුතු හෝ විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි සන්නිවේදන, ප්‍රවාහන, ප්‍රචාරක කටයුතු සඳහා යොදාගන්නා යානා.
  අනික් යානා පැත්තක තබා එක ප්‍රහාරක යානයක් අරගෙන බලමු.
UAV_Drone_InfoGraphic_MQ-9_Reaper
මේ යානය පොළොවේ පිහිටි පාලක මධ්‍යස්ථානයේ සිට හසුරවන්නේ ප්‍රහාරක ගුවන් යානා නියමුවකු විසින්. ඒ සඳහා චන්ද්‍රිකා තාක්ෂණය පවා යොදවා ගන්නවා.  මෙවැනි යානා 30 ක් පමණ ඇමරිකාව සතු යයි උපකල්පනය කරනවා.
පොළොවේ සිට මේ යානා පාලනය කරන්නේ කොහොමද?
  ඔබ දැනටමත් දන්නවා, මේ යානා, දුරස්ථපාලක remote control ක්‍රමයටයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ යානයක් පාලනය කරන්නට, පාලක මධ්‍යස්ථානයක් අවශ්‍යයි. ඒ මධ්‍යස්ථාන ප්‍රධාන වශයෙන් වර්ග තුනක් තිබෙනවා.
1. ස්ථාවර පාලක මධ්‍යස්ථාන – Main Groud Conrtol Stations මේවා පොළොවේ ස්ථිර ගොඩනැගිලිවල සවිකර තිබෙන (සමහරවිට බංකරයක හෝ පොලොව යට කුටියක විය හැකියි) පාලක මධ්‍යස්ථාන.  මේ තියෙන්නේ එවැන්නක්. මේවායෙන් 99% කට චන්ද්‍රිකා පණිවිඩ හුවමාරු පද්ධතිවල සහයත් ලැබෙනවා.
38756144
  2. අර්ධ ස්ථිර (උපක්‍රමික) පාලක මධ්‍යස්ථාන – Tactical Ground Control Stations මේවා කන්ටේනරයක සවිකර තිබෙන්නේ. අවශ්‍ය විටකදී ගළවා ඉවත්කරගෙන ගොස් තවත් තැනක නැවත සවිකළ හැකියි. වාහන ගමන් කිරීමට අපහසු ප්‍රදේශවලට, හෙලිකොප්ටරයකින් ඔසවාගෙන ගොස් තැබිය හැකියි.
GCS1-cropped
3. ජංගම පාලක මධ්‍යස්ථාන - Mobile Stations මේවා ස්ථිරවම විශේෂයෙන් සැකසු වාහනයක/නැවක/බෝට්ටුවක/තවත් ගුවන්යානයක/ සවිකර තිබෙන්නේ. අවශ්‍ය තැනකට ගමන්කර එහිසිට තම කාර්ය භාරය ඉටුකළ හැකියි. 
30
මේ වගේ පොඩි වාහන වලිනුත් කරන්න පුළුවන්.
SONY DSC
  ඒ විතරක් නෙවෙයි. අතේ (කරේ එල්ලගෙන) ගෙනයන ප්‍රමාණයේ (Man Portable) කුඩා පාලක මධ්‍යස්ථානත් තියනවා හදිසි මෙහෙයුම් සඳහා මෙන්ම,  ප්‍රධාන පාලක මධ්‍යස්ථානයට ආධාර වශයෙන් යොදාගතහැකි.
t-images_table1180B-36
ලෝකයේ තත්වය ඔහොමයි. අපේ තත්වය කොහොමද?
  අපිටත් නියමුවන් රහිත ගුවන් යානා තිබෙන බව ඔබෙන් සෑහෙන පිරිසක් දන්නවා. හැබැයි අප සතුව තිබෙන්නේ නිරීක්ෂණ යානා පමණයි ප්‍රහාරක යානා නැහැ. අම්මෝ ප්‍රහාරක යානයක මිළ ඩොලර් මිලියන 10.5 ක් කියලා අර ඉහත තිබෙන, ‘ඇමරිකානු ඩ්‍රොන් යානා මෙන්න මෙහෙමයි’ කියන රූපයේ පහළින් තියනවා. එය 132 න් වැඩි කරලා රුපියල් වලින් ගණන හදාගන්න. අපේ ගුවන් හමුදාව ‘කේළමා’ලා වර්ග දෙකක් පාවිච්චි කරනවා. මෙන්න එක වර්ගයක්. හැබැයි අමතක කරන්න එපා. මේ යානා වලින් පසුගිය එල්.ටී.ටී.ඊ. යුද්ධයේදී සිදුවූ සේවය වචනයෙන් විස්තර කරන්න බැරිතරම්.
429732652_5c6ecce892
  1980 දශකයේදී, ඊශ්‍රායලයේ නිපදවා වැඩි දියුණු කර ඇති මෙම යානය, රටවල් ගණනාවකම පාවිච්චි කරනවා. වැඩිදුර විස්තර මෙතන තියනවා. අපේ රටේ පාවිච්චි කරන අනෙක් යානා වර්ගය වන්නේ මෙහි දෙවැනි මෝස්තරයයි Searcher II මේ යානාවල තාක්ෂණික තොරතුරු පහත දක්වනවා.
  • වර්ගීකරණය – නියමුවන් රහිත
  • ගෙනයාහැකි බර – කිලෝග්‍රෑම් 68 යි
  • යානයේ ඉදිරිපස සිට පසුපසට දිග – මීටර් 5.85 යි
  • එක තටුවක කෙළවරේ සිට අනෙක් තටුවේ කෙළවරට දිග – මීටර් 8.54 යි
  • යානයේ උස – මීටර් 1.25 යි
  • යානයේ දළ බර – කිලෝග්‍රෑම් 500 යි
  • එන්ජිමේ බලය – කිලෝ වොට් 35 යි (අශ්ව බල 47 යි)
  • උපරිම වේගය - පැ.කි.මී. 200 යි
  • ගමන් කළහැකි උපරිම උස -  මීටර් 6100 යි (අඩි 20000 යි)
  • ගුවනේ රැඳී සිටිය හැකි උපරිම කාලය – පැය 18 යි
  මේ සම්බන්ධ තවත් විශේෂ තොරතුරක් ඔබට කියන්නට තිබෙනවා. මොරටුව විශ්ව විද්‍යාලය මගින් නියමුවන් රහිත යානා පිළිබඳව යම් යම් අත්හදා බැලීම් කර සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. ඒ පිළිබඳව විස්තර මෙතනින් සහ මෙතනින් බලන්න පුළුවන්. ඇත්තෙන්ම එය සතුටක්. එමෙන්ම ඒ පර්යේෂණ වැඩි දියුණු තත්වයකට ගෙන ඒමට රජයේ විශේෂ උනන්දුව සහ සහයෝගය ලැබිය යුතුයි. එහිදී ප්‍රමුඛත්වය දියයුත්තේ යුද කටයුතු ගැන නොවෙයි. කාලගුණ තොරතුරු සෙවීම, සුනාමි, ගංවතුර වැනි ස්වභාවික විපත්වලට ගොදුරුවූවන් ගැන සොයාබැලීමේ කටයුතු සඳහා, වෙරළාරක්ෂක/මුහුදු සීමාරක්ෂක/ගුවන් සීමාරක්ෂක/ කටයුතු සඳහා, සිතියම් සැකසීම සඳහා, වැනි කරුණු වලටයි. 
නියමුවන් රහිත යානාවල අනාගතය කෙබඳු වෙයිද?
  අපට හිතාගන්නවත් බැරි තරම්, සියුම්, සංකීර්ණ, විවිධ සතුන්ගේ වෙස්ගත් යානා ගැන දැනටමත් සාර්ථක අත්හදා බැලීම් කර තිබෙනවා. එක ලොකු යානයක් ගුවනට ගිහින්, ඒ යානයේ සිට පිටත් කර හරින ඉතා කුඩා යානා Micro UAV (MAV) මගින් හෝ තනිවම ගමන් කළහැකි කුඩා යානා මගින් විශ්මය ජනක දේවල් කළහැකි බව දැනටමත් තහවුරුවී තිබෙනවා. (ඔන්න අරයත් එක්ක ඩේටින් වලට රස්තියාදුවේ යන්න එපා. ඔයාගේ ගෙදරින්, රහස් පරීක්ෂක පුද්ගලික සමාගමකට කතා කරලා, Micro UAV එකක් කුලියට අරගෙන ‘ඔක්කොම දේවල්’ වීඩියෝ කරගනියි.) :D
micro-air-vehicle-mav
UAV යානා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බල ශක්තිය සූර්ය බලය මගින් ලබාගෙන, යානය ‘සදාකාලිකවම’ ගුවනේ රඳවා තබාගතහැකි බව න්‍යායාත්මකව ඔප්පුකර තිබෙනවා. මේ හේතුව නිසා භූ ස්ථායි චන්ද්‍රිකා (Geostatic Satellites) වලින් කෙරෙන කාර්ය භාරය මෙවැනි යානා වලට පැවරීමෙන්, චන්ද්‍රිකා සඳහා වැයවන ඉතා අධික පිරිවැය, විශාල ලෙස අඩු කරගැනීමටත්, එමගින්, චන්ද්‍රිකා දුරකථන, අන්තර්ජාල, සහ අනෙකුත් දුරකථන, රූපවාහිනී, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු සේවා සඳහා අයකෙරෙන ගාස්තු, විශාල වශයෙන් පහළ දැමීමටත්, හැකිවනු ඇතැයි විශ්වාස කරනවා.
solar-drones-0813-mdn
UAV-Helios-Zephyr
නියමුවන් රහිත යානා වලට ගහන්න බැරිද?
  පුළුවන්. හැබැයි හිතන තරම් ලේසිත් නැහැ. වියදම අධිකයි. මොකද එන්ජිමේ උෂ්ණත්වය හොයාගෙන ගිහින්‍, ගුවන්යානා වලට ගහන මිසයිල් Heat Seeking Missile මෙව්වට හරියන්නේ නැහැ. එහෙම හරියනවනම් ‘අපේ එව්වා’ වලට ‘අරුන්’ ඒ කාලෙදිම වැඩේ දෙනවා. එක්කෝ වෙන සාමාන්‍ය ගුවන් යානයකින්/ප්‍රහාරක ගුවන් යානයකින්/හෙලිකොප්ටරයකින් ගිහින් අහසේදී ගහන්න ඕනේ. එහෙම නැත්නම් මේ ජාතියේම නියමුවන් රහිත ප්‍රහාරක යානයක් යොදවන්න ඕනේ. ඒ දෙකම ලේසි නැහැ. අපේ ‘බජාර් එකට’ (ගුවන් සීමාවට) පිටින් එකෙක් ආව ගමන්, අපේ රේඩාර් වලට අහුවෙනවා. අපේ UAV එකටත් අහුවෙනවා. ඉතින් ඒ පිටින් ආපු එකාට වැඩි වෙලා අපේ බජාර් එකේ සෙල්ලම් දාන්න ලැබෙන්නේ නැහැ. නිකං නහිනවා විතරයි. අපි වෙන බජාර් වල අවලමේ යනවානම් :D :D  අපිට ගහන්න එන එවුන්ගෙන් බේරෙන්න සන්නද්ධව (Combat UAV) සිටිය යුතු අතර, සපෝටර්ලා (close air support by normal combat aircrafts) තියෙන්න ඕනේ. (මෙහෙම ඉංගිරිසි කෑලි දදා ලියනකොට මාව අර ‘දියවෙන’ පත්තරේට ලියන ‘වර්ණ කූරු’ ජෝකරයා වගේ පෙනෙනවද? :D ) ඔන්න ඉතින් කොහොමෙන් කොහොමහරි, ඇමරිකන් කාරයා, මේ යානා වලට වැඩේ දෙන්න ක්‍රමයක් හොයාගෙන තියනවා. ඒ යකා මෙව්වට ගහන්නේ ලේසර් කිරණ මගින්. ඔන්න බලන්න ගහන හැටි.


 ඒ විතරක් නම් මදෑ. මේ ලේසර් තුවක්කු ගුවන් යානා වලටත් හයි කරලා තියනවා. මෙන්න බලන්න. මේක හදලා තියෙන්නේ නම් මිසයිල් වලට ගහන්න. ඉතින් මිසයිල් එකක වේගෙට වඩා බොහොම අඩු වේගෙකින් යන UAV එකකට ගහන එකත් කජ්ජක්ද?




දැන් ඔබේ හිතට එන්නේ, නියමුවන් රහිත යානා පාවිච්චි කිරීම වාසිදායකද අවාසිදායකද කියන හැඟීමනේ. මෙන්න තියනවා දෙපැත්තටම කියන්න තියන කරුණු.
වාසි හෙවත් හොඳ පැත්ත;
  • ජීවිත අනතුරු අවම කරගැනීම – යුද්ධයේදී මියයන සොල්දාදුවන් ගණන අඩු කරගන්න විවිධ ආකාරයෙන් සහාය වෙනවා. ගුවන් නියමුවන්ගේ ජීවිතද අනතුරෙන් ගැලවෙනවා.
  • වියදම – සාමාන්‍ය ප්‍රහාරක ගුවන් යානයකට හෝ තොරතුරු සොයා බලන ගුවන් යානයකට වඩා නිෂ්පාදන සහ නඩත්තු වියදම ඉතා අඩුයි.
  • දේපල හානිය අඩුයි – සාමාන්‍ය ප්‍රහාරක යානයකට අලාභහානි සිදුවුනොත් හෝ විනාශ වුනොත් බරපතල දේපල හානියක් සිදුවෙනවා. නමුත් මේ යානයකට සිදුවන  එවැනි හානියක ප්‍රමාණය සාපේක්ෂව අඩුයි.
  • ක්‍රියාත්මකව තබන (ගුවනේ සිටින) කාලය – සාමාන්‍ය ප්‍රහාරක හෝ තොරතුරු සොයන යානයක් ගුවනේ සිටියහැකි කාලයට වඩා ඉතා දිගු කාලයක් මේ යානයකට ඉන්න පුළුවන්. නියමුවන් වෙහෙසවීම්ක් නැහැ. ඉන්දන නැවත පිරවීමක් අවශ්යනහ ඉතා දිගු වෙලාවක් යනතුරු. ස්වයංක්‍රීය පාලනය (Auto Pilot) ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. එසේ පාලනය මාරුකිරීම ඉක්මනින් කරන්න පුළුවන්.
  • ඉලක්ක හඳුනාගැනීමේ නිරවද්‍යතාව – සාමාන්‍ය ගුවන්යානයකට වඩා මේ යානයක ඉලක්ක හඳුනාගැනීමේ හැකියාව බොහොම ඉහලයි. මේ නිසා, මිත්‍ර හමුදා භටපිරිස් වලට සහ සාමාන්‍ය ජනතාවට වැරදීමකින් එල්ලවිය හැකි ප්‍රහාර ඉතා අවම තත්වයක පවතිනවා.
  • මාරාන්තික බව – මේ යානයකින් කිසිදු සැකයකින් තොරව ගොඩබිම් සහ ගුවන් ඉලක්ක වෙත මාරාන්තික ප්‍රහාර එල්ල කලහැකියි.
  • ඔත්තු බැලීමේ හැකියාව – මෙම යානා සංග්‍රාමික කටයුතු වලට යෙදවීමට පෙර අත්හදා බැලුණු අවස්ථාවේ සිටම නිරීක්ෂණය, විමර්ශනය, සාමාන්‍ය ඔත්තු බැලීම යන කටයුතු වලදී ඉහල දස්කමකින් යුක්ත වීම.
  • යෙදවීමේ හැකියාව – ලෝකයේ ඕනෑම දේශගුණික කාලගුණික රටාවන් තුළ කිසිදු අපහසුවකින් තොරව යෙදවීමට හැකිවීම.
අවාසි හෙවත් නරක පැත්ත;
  • සීමිත හැකියාවන්ගෙන් යුක්තවීම – භූමියේ සිටින මහජනතාව සමග අදහස් හුවමාරු කරගන්න බැහැ. ගුවන් නියමුවෙකුට පුළුවන් යානය පහතට අරන් අතින් පයින් හෝ ජංගම දුරකථනයකින් හෝ පොළොවේ ඉන්න අයත් එක්ක කතාකරන්න. මේ යානාවලට ඒ හැකියාව නැහැ. ඒ වගේම යානය බිමට බාලා සැකකරුවන් අල්ලගන්න, ඔවුන් දමාගිය වැදගත් දේවල් අල්ලගන්න, අවට එකින් එක ස්ථාන පරීක්ෂා කරන්න, මිනිසෙකු මෙන් සිතා ක්‍රියාකරන්න බැහැ. නියමුවෙකුට පමණයි එහෙම කරන්න පුළුවන්.
  • අත්වැරදීම් නිසා බොහෝවිට සිවිල් ජනතාවට හානිවීමේ ප්‍රවනතාවක් තියනවා. හේතුව මේ යානා වලින් ලබාදෙන තොරතුරු 100% ක් ම නිවැරදිව තේරුම්ගන්න පාලක මධ්‍යස්ථානයේ ඉන්න අයට නොහැකිවීමයි.
  • බලාපොරොත්තු රහිත සහ අස්ථාවර ප්‍රතිඵල ලැබීම – තවමත් ලෝකයේ බහුතර සිවිල් ජනතාවගේ මතය මෙව්වා මහා අවිශ්වාස සහගත, කරදරකාරී, ආක්‍රමණශීලී, මාරක, යානා බවයි. එය කිසිසේත් බලාපොරොත්තු නොවුණු තත්වයක්. මේ නිසා සිවිල් ජනතාව හිතන්නේ UAV යානා තමන් හමුදා සෙබළුන් ලෙස දකිමින් කටයුතු කරන, තම පෞද්ගලිකත්වය වනසන, ආගමික සහ සංස්කෘතික නිදහස වනසන, දේපල හානි ඇතිකරන කරදරකාරී යක්කු වගයක් ලෙසයි.
  • උවමනාවට වඩා පහසුවීමේ විපාකය – මේ යානා පාලනය කරන පාලක මැදිරියේ සිට යානා හැසිරවීම හරියට වීඩියෝ ගේම් එකක් ගහනවා වගේ. රූපවාහිනී තිරයකින් බලාගේනනේ කරන්නේ. ඒ නිසා පොළොවේ සිටින අයගේ ජීවිත සහ දේපල ගැන එතරම් තැකීමක් නොකර කූඹි මරනවා වගේ ‘ඔන්න ඔහේ දීලා අදිනවා’ කියන හැඟීමෙන් අර යානා පාලකයන් ක්‍රියාකරන්නට පෙළඹෙනවා.
  • සටන් කිරීම සහ සාමාන්‍ය ජීවිතය යන දෙක සමතුලිත කරගැනීමේ අපහසුව -  මේ යානා ක්‍රියාත්මක කරවන නියමුවන් හෝ ශිල්පීන් සෑමවිටම එක්තරා පීඩනයක සිටින බැවින් සටන්කාරී තත්වය සහ සාමාන්‍ය ජීවිතයේ කටයුතු යන දෙක අතර මානසිකව වෙනස්වීම ඉතා අවම තත්වයට පත්වීමේ අවදානමක් තිබෙනවා.
  • ඉතාම භයානක අවාසිදායක තත්වය වන්නේ මේ යානයක් හෝ පාලක මධ්‍යස්ථානයද ඇතුළුව යානා සමූහයක් සතුරන්ගේ පාලනයට යටත් වුනොත් සිතන්නට පවා අපහසු භයානනක තත්වයක් ඇතිවීමට ඉඩකඩ තිබීමයි.
  මේ වාසි අවාසි කොහොම වෙතත්, UAV යානා හැදීමේ තරගය තවමත් බොහොම තදින් ලෝකය පුරා පවතිනවා. ‘යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ’කියලා පැරණි කියමනක් තියනවානේ. එහි භාවාර්ථය වන්නේ, අවදානම සහ භයානකත්වය දැන දැනම තමයි, යම්කිසි අභියෝගයක් බාරගන්නේ කියන එකයි. UAV යානා විනාශ කිරීමට කොයි තරම් ප්‍රබල අවි නිපදවුවත්, නවීන, අති ප්‍රබල යානා, නිපදවීම දිගටම කෙරෙනවා. අනාගත ලෝකයේ යුද්ධයකදී, සොල්දාදුවන් වෙනුවට රෝබෝ යන්ත්‍ර සහ ගුවන් යානා වෙනුවට drone යානා යොදාගැනීම පුදුමයක් නොවනු ඇති. මේ බලන්න අලුත්ම ප්‍රහාරක drone යානා දෙකක හැටි.
dvd-157-2A-660x527
x-47a-660x417
  ඉහත සඳහන් යානා දෙකම අති ප්‍රබල යානා ලෙසයි සැලකෙන්නේ. විස්තර මෙතනින්සහ මෙතනින් බලන්න පුළුවන්. ප්‍රහාරක ශක්තිය අතින් ඉතා ඉහළ මේ යානා දෙකටම අඩි 40,000 ක උසකින් පැ.කි.මී. 500 කට වැඩි වේගයකින් පියාසර කලහැකි අතර, ගුවනේ සිට වෙනත් ගුවන් යානා වලට මෙන්ම භූමියේ පිහිටි ඉලක්ක වෙත ප්‍රබල ප්‍රහාර එල්ල කළහැකි අවි පද්ධති වලින් සමන්විතයි.
  UAV නමැති මාතෘකාව ඔස්සේ මා ඔබ සමග පැවැත්වූ මේ දීර්ඝ සාකච්ඡාව, තවත් කොටස් කරා ගෙනයාහැකි නමුත්, මෙතෙකින් අවසන් කරන්නට සිතනවා. මෙයට සම්බන්ධ වෙනත් මාතෘකා අනාගතයේදී ඉදිරිපත් කරන්නට සිතා සිටිනවා. මෙයින් ඔබ යම් දැනුමක් ලැබුවානම් එය මට මහත් සතුටක් බව විශේෂයෙන් සඳහන් කරනවා. මා සතුව විවිධ විෂයයන් යටතේ මෙවැනි ලිපි රාශියක් ලිවීමට තරම් තොරතුරු ඇතත්, එවැනි ලිපි ලිවීම තරමක් වෙහෙසකර අභ්‍යාසයක් බවද කියන්නට කැමතියි.
My Signature for Blog
 2013 අගෝස්තු මස 25 වැනි දින 0821 පැය
මූලාශ්‍ර;
(ප්‍රධාන වශයෙන් තෝරාගත් මූලාශ්‍ර පමණි)

16 August 2013

කේළමා, අවලමා, ඔත්තුකාරයා, මිනීමරුවා (පළමුවැනි කොටස) – The Drone (Part One)


485464,1302695287,3  ඉහත මාතෘකාවේ සඳහන් වචන වලින් අපි යමෙකු අමතනවානම්, එසේ කරන්නේ, පහන් හැඟීමකින් නොව හෙළා දැකීමේ, ගර්හා කිරීමේ, අපහාස කිරීමේ, අදහසින්. වාග් මාලාව අතින් අපේ භාෂාව කොතරම් පොහොසත් ද යන්න හිතාගන්නට බැරි තරම් විශාලයි. එහෙත්, කණගාටුවට කරුණ වන්නේ, අපේ රටේ අද මව් භාෂාව දෙවැනි තැන්හි ලා සළකන, කටයුතු කරන, පිරිසක් බිහිව සිටීමයි. මෙයට හේතු කීපයක් මා දකිනවා.
  • වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ සිංහල භාෂාව උගන්වන ආකාරය.
  • ඉංග්‍රීසි භාෂාවේ බලපෑම නිසා, සංසන්දනාත්මකව සිතා, සමාජයේ බලපෑමට යටත්ව, ස්වාධීන චින්තනය පසෙකලා, ඉංගිරිසිය වඩා උසස්යයි සිතීම.
  • අද්‍යතන, ඒකාකාරී, වෙහෙසකර, සීඝ්‍රගාමී, දැඩි තරගකාරී, ජීවන රටාව තුළ, බහුළව භාවිත කෙරෙන ඉංගිරිසි කෙටි යෙදුම්, ඇමතීමේ, හැඳින්වීමේ, විස්තර කිරීමේ, යෙදුම් (verbal phrases) ආදිය, සමාජ සම්මතයන් බවට පත්කරගැනීම සහ/හෝ ඒවාටම ආවඩන පිරිසක් වර්ධනය වීම.
  • ‘සිංහල භාෂාව යනු, අ.පො.ස. සාමාන්‍ය පෙළ/උසස් පෙළ  විභාග සඳහා ඉගෙනගතයුතු විෂයයකි’ යන හැඟීමෙන් පමණක් භාෂාව ඉගෙන ගන්නා පිරිස වැඩිවීම.
  • භාෂාවට සමගාමීව සාහිත්‍යය ඉගෙන නොගැනීම නිසා ‘සීනි නැති තේ’ බවට පත් මානසිකත්වයක් ඇතිවීම. ඒ හේතුව නිසාම භාෂාවේ රීතිය, රටාව, පදනම නොදත්, ඕනෑම භාෂා උගුඩුවකු විසින් හදන, සූකර වසුරු හා සමාන අවජාතක වචන, හඳුන් කල්ක මෙන් නළලේ උලා ගැනීම.
  • මව් භාෂාව යනු තම මව හා සම්පූර්ණයෙන් සමාන වස්තුවකි යන්න අවබෝධ කරගත් පිරිස ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම.

  • බාහිර කියවීම්, පුස්තකාල පරිහරණය, භාෂා විෂයයික සංවාද, පර්යේෂණ, ඈ ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි නැඹුරු නොවීම.
  මේ නිසා තමයි අර අපේ ජනප්‍රිය භාෂාවෙන් කියනවානම්, ‘කෂඩ’ වචන හා යෙදුම් අපේ භාෂාවට එකතුවී සම්මතයන් බවට පත්වී තිබෙන්නේ. බොහෝ දෙනා හිතන්නේ ඕනෑම වචනයක් ඕනෑම අතකට අඹරවා, කරකවා, හදන සක්ක වචන, කාලීන භාෂා විකාශය ලෙසයි. ඒ අනුව බලනවානම්, අපේ භාෂා විශාරදයන් වියයුත්තේ, ‘සොකට් සෝබර්’, ‘චිං පින්’, ‘වීල් බ්‍රෂ්’, ‘වීල් එලයිමන්ට්’, ’ත්‍රී වීල්’, ‘ටෑර්’, ‘වෑර්’, ‘ඩෙක් එක’, ‘කැසට් පීස්‌’, ‘සෝටීස්’, ‘ප්‍රයිඩ් රයිස්’, වැනි වචන නිර්මාණය කළ කාර්මිකයන්/බාස් උන්නැහේලා ය.  භාෂා කතන්දරය එතෙකින් නවතා විෂයයට බහිමු.
  Dec. 17 airpower summary: Reapers touch enemy forcesකේළමා කියන්නේ තැන් තැන් වල ගිහින්, අනුන්ගේ අඩු පාඩු, අතපසුවීම්, දුර්වල තැන් හොය හොයා, එවැනි තොරතුරු, ඒ ඒ පුද්ගලයාට හානියක්, පාඩුවක්, අපහාසයක්, අමාරුවේ දැමීමක්, කිරීම සඳහා, තවත් කෙනෙකු වෙත වාර්තා කරන පුද්ගලයා බව ඔබ හොඳින්ම දන්නවා. මම අද ඔබට ඒ වගේ යාන්ත්‍රික කේලමෙකු ගැන කියා දෙනවා. අවලමා කියන්නේ අරමුණක් ඇතුව හෝ නැතුව ඔහේ හිතුන හිතුන අතේ රස්තියාදුවේ සහ වනචරකමේ යන පුද්ගලයානේ. මම අද ඔබට එවැනි නවීන අවලමෙකු ගැන කියා දෙනවා. ඒ වගේම මේ කේළමා, අවලමා, මිනීමරුවකු වෙන අවස්ථාත් තියනවා. ඒ ඔක්කොම කරුණු සහිතව අපි කතාකරමු, වර්තමානයේ ලොව කළඹන, නියමුවන් හෝ මිනිසුන් රහිත ගුවන් යානා හෙවත්, UAV හෙවත්, DRONE යානා ගැන. කැමතියි නේද?
  මේ දිනවල වරින්වර අසන්නට දකින්නට ලැබෙනවා මේ drone යානා මගින් ඇමරිකානු හමුදාව විසින් මැදපෙරදිග කළාපයේ ඇෆ්ඝනිස්ථානය, පාකිස්ථානය, වැනි රටවලදී ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව. අනාගත ලෝකය බොහෝවිට රෝබෝ යන්ත්‍ර මගින් යුද වදින තත්වයකට පත්වීමට හොඳටම ඉඩ තිබෙන බව ඔබ බොහෝදෙනෙක් දන්නවා ඇති. මිනිසුන් රහිත ගුවන් යානා සම්බන්ධ මේ ලිපිය ලිවීම සඳහා මා අන්තර්ජාලය ඇසුරෙන් කරුණු සෙවීම ආරම්භ කළේ දැනට මාස කීපයකට උඩදීයි.  එහිදී මා විශ්මයට පත්කළ තොරතුරු ඉතා විශාල ප්‍රමාණයක් දැනගන්නට හැකිවුනා. මේ සම්බන්ධ ලිපි 50 කට වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබුන අතර එයින් වඩාත්ම වැදගත් යයි හැඟුණ ලිපි 35 ක් පමණ කියවීමෙන් අනතුරුවයි මේ ලිපිය ලියන්නේ. ඇත්තටම මෙය ගැඹුරු විෂයයක් වන අතර සමහර ලිපිවල අඩංගු යම් යම් රහසිගත කරුණු මා මෙහි ඇතුළත් කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ.   
  UAV කියන යෙදුමේ තේරුම නම් ඔබ බොහෝ දෙනෙක් දන්නා බවට සැකයක් නැහැ. නොදන්නා අයත් ඇතිනේ.  UAV කියන කෙටි යෙදුමෙන් කියන්නේ Unmanned Aerial Vehicle කියන එකයි. එයින්ම පැහැදිළි වෙනවානේ, මේ යානය මිනිසුන් රහිත එකක් බව. එතකොට DRONE කියන්නේ මොකක්ද? ඔබ දන්නවානේ මීමැසි සමූහයක විවිධ මී මැස්සන් සිටින බව. රජ මැස්සිය, වැඩකාර මී මැස්සෝ, පැණි හොයන මැස්සෝ, ආදී වශයෙන්. ඔය අතර ඉන්නවනේ මොකූත් වැඩක් නොකර රජ මැස්සියගේ ඇසුර පතමින්ම ඉන්න මැස්සෝ.  :D උන් සෑමවිටම මී වදය ආශ්‍රිත ප්‍රදේශය වටා ගුවනේ කැරකෙමින් ඉන්නවා. අන්න උන්ට කියනවා Drone කියලා. මේ නම ශබ්ද කළයුත්තේ ‘ඩ්‍රොවුන්’ යන හඬට ආසන්නවයි. දුරස්ථ පාලක ක්‍රමයකින් ක්‍රියාත්මක වන මිනිසුන් රහිත ගුවන්යානය කියන තේරුම සඳහා තමයි අද Drone යන වචනය බහුලව යොදාගන්නේ. ඒ කියන්නේ, එක් පාලන මධ්‍යස්ථානයකින් දෙන සංඥා ඔස්සේ, කිසියම් සීමිත ප්‍රදේශයක් තුළ ගමන්කරණ යානය යන අදහසින්. හරියටම අර මීමැස්සා වගේ. මුල් කාලයේදී මේ යානා, RPV’s = Remotely Piloted Vehicles, RPA = Remotely Piloted Aircraft  යන නම් වලින්ද හඳුන්වා තිබෙනවා.
   image සෑම දේකටම ඉතිහාසයක් තියනවනේ. අපි බලමු මේ යානාවල ඉතිහාසය මොන වගේද කියලා. ගුවන් යානා නිපදවීම පිලිබඳ දැනුම දියුණු වීමෙන් අනතුරුව, මිනිසා ඉටුකරගැනීමට උත්සාහ කළ ඊළඟ අරමුණක් වුයේ මිනිසුන් රහිත ගුවන් යානා නිපදවීමයි. මේ සඳහා දරන ලද මුල්ම උත්සාහයන් දකින්නට ලැබෙන්නේ, 17 වැනි ශතවර්ෂයේදී පමණ යයි කිව්වොත් ඔබ පුදුමයට පත්වන්නටත් පුළුවන්. ඇත්තෙන්ම ඒවා නියමුවන් රහිත ගුවන්යානා කියන්නට බැහැ. නමුත් මිනිසුන් රහිතව, යුද කටයුතු සඳහා, ගුවනින් බෝම්බ දැමීමට ගත් උත්සාහයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ සිද්ධිය මෙන්න මේකයි. 1849 දී ඔස්ට්‍රියාව විසින් ඉතාලියේ වෙනිස් නගරයට ප්‍රහාරයක් එල්ල කරලා තියනවා බැලූන් වල එල්ලන ලද බෝම්බ මගින්. ඉතින් ඒවා ගුවන් යානා නොවුනත්, මිනිසුන් රහිතව බෝම්බ ගුවනින් යැවීමක්නේ. බැලූන් කිව්වට ඒවා එකක විෂ්කම්බය අඩි 23 ක් විතර වෙලා තියනවා. මේවා පාවිච්චි කරලා තියෙන්නේ කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට අපහසු, කඳු වලින් වටවූ ප්‍රදේශ සහ, කළපු වැනි ප්‍රදේශ වලට බෝම්බ දැමීමටයි. (පින්තූරය ගත්තේ මෙතනින්)
  ඉන් අනතුරුව 19 වැනි සියවසේදී තමයි ගුවන් යානය නමැති සංකල්පයට අනුකූලවූ මිනිසුන් රහිත යානා නිපදවීම ආරම්භ වුනේ. විශේෂයෙන් පළමුවැනි ලෝක යුද්ධයෙන් පසුව එවැනි යානාවල අවශ්‍යතාව දැනෙන්නට පටන්ගත් නිසා ඒ ඔස්සේ විවිධ පර්යේෂණ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1916 දී පමණ ඒ කියන්නේ පළමුවැනි ලෝක සංග්‍රාමය ආරම්භක යුගයේදී එංගලන්තයේ නිපදවුනා ‘ඒරියල් ටාගට්’ නමින් දුරස්ථ පාලන ක්‍රමයකින් බෝම්බයක් යැවීමේ උපක්‍රමයක්. එය වැඩි දියුණු කළ අවස්තාවක් ලෙස සඳහන් කළහැකි වන්නේ පසුව නිපදවන ලද ‘ඒරියල් ටෝර්පිඩෝ’ නමැති උපක්‍රමය සාර්ථක වීමත් සමගයි. හැබැයි මේ කිසිවක්, අද තිබෙන UAV කියන වර්ගීකරණයට ඇතුළත් කරන්න අමාරුයි. ඒවා වඩාත් සමීප වුයේ ‘මිසයිල්’ සංකල්පයටයි. ඒරියල් ටොර්පිඩෝව ගුවන්විදුලි තරංග මගින් පාලනය කෙරුණත්, මුලින්ම ගුවනට නැංවීම සඳහා ගුවන් යානයක ආධාරය අවශ්‍ය වුනා. 1920 – 1940 කාලය තුළ ඇමරිකාවත් බ්‍රිතාන්‍යයත් අතර රහසිගත තරගයක් ඇතිවුනා, නියමුවන් රහිත ගුවන්යානා නිපදවීම පිළිබඳව. විවිධ අත්හදා බැලීම් රාශියක් තුළින් මේ රටවල් දෙකම ඒ පිළිබඳ සෑහෙන සාර්ථකත්වයක් අත්පත් කරගත්තා.
  MarilynMonroe_-_YankArmyWeeklyදෙවැනි ලෝක යුද සමයත් සමග මේ තරගයේ උච්ඡතම අවස්ථාවක් ඇතිවුණා. 1940 පමණ වනවිට බ්‍රිතාන්‍යය මේ තරගයේ පෙරමුණ ගත්තා. ඒ කාලයේ බ්‍රිතාන්‍යයේ තිබුණු Radio plane Company නමැති ආයතනය විවිධ මාදිලියේ දුරස්ථ පාලක කුඩා යානා අත්හදා බැලුවා. මේ කාලයේ තවත් වැදගත් සිදුවීමක් වුනා. අර සමාගමේ වැඩ කටයුතු ගැන වාර්තාවක් සකසන්නට පැමිණි යුද හමුදා ඡායාරූප ශිල්පියකු දුටුවා, ඒ සමාගමේ වැඩ කරන එක්තරා රූමත් තරුණියක්. ඇය දුටු පමණින් මේ ඡායාරූප ශිල්පියාට අවබෝධවුණා, නිරූපිකාවක් වශයෙන් ඇයට ඉතා දිගු ගමනක් ගියහැකි බව. ඇගේ නම නෝමා ජීන් - Norma Jeane ඔබ අහලා තියනවාද එහෙම නමක්? මමත් අහලා නැහැ. එහෙනං මොන…… :D ………..ද කිව්වේ? පොඩ්ඩක් ඉන්න. ඉතින් මේ ඡායාරූප ශිල්පියාගේ මේ නවතම සොයාගැනීම, පසු කාලයේ ලොව හෙල්ලූ, එමෙන්ම ලොව කම්පනයට පත්කරමින් අකල් මරණයකට ගොදුරුවූ, අග්‍රගණ්‍ය සිනමා නිළියකගේ/නිරූපිකාවකගේ/ගායිකාවකගේ/කාම ධේනුවකගේ  පහළවීම බවට පත්වුණා. ඇය තම නම වෙනස් කරගනිමින් තමයි සිනමාවට එක්වුණේ. ඇය තමයි මැරිලින් මොන්රෝ - Marilyn Monroe.(පින්තුරය ගත්තේ මෙතනින්)
   1950 - 1970 කාලය තුළ නියමුවන් රහිත ගුවන් යානා නිපදවීමේ තරගය බොහොම සීඝ්‍රයෙන් සිදුවුණා. රුසියාවත් මේ වැඩේට ‘හොට දැම්මා’ :D මේ කාලයේදී ඇමරිකාව වැඩිදියුණු කළ ඒරියල් ටෝර්පිඩෝ වර්ගයේ යානයක් ගැන විස්තර පහත දක්වනවා. 1930 දශකයේදී ජෙට් එන්ජිම සොයාගැනීමත් මෙවැනි යානා නිපදවීමට රුකුළක් වුණා. ඒ පහසුකම ආධාර කරගනිමින් 1960 දශකයේදී නිපදවන ලද, එමෙන්ම පල්ස් ජෙට් – Pulse Jet  ක්‍රමය මගින් ක්‍රියාත්මකවන, දුරස්ථ පාලක ඒරියල් ටාගට් යානයක් ලෙස, මෙය හැඳින්විය හැකියි. BQM-74 Chukar III යනුවෙන් තමයි මේ යානය හැඳින්වුයේ. මේ යානය අද තිබෙන යානා සමග සසඳා බැලීමේදී ඉතා ප්‍රාථමික මට්ටමේ යානය. නමුත් ඒ කාලයේදී මෙය මාරක, අති භයානය යානයක් ලෙසයි සැළකුණේ.
Twuav021
space 2800px-BQM-74E_launch
space 2
800px-MQM-74C_Chukar_II_floating
space 2
BQM-74E_Diagram
  1950 දශකයේ අග භාගයේ සිට 1960 දශකයේ මැද භාගය වනවිට ඇමරිකා එක්සත් ජනපදය විවිධ වර්ගවල දුරස්ථ පාලක යානා මෝස්‌තර කීපයක් සාර්ථකව අත්හදා බලා තිබුණා. එමෙන්ම සාමාන්‍ය යුද ගුවන් යානා වලට ගුවන්විදුලි දුරස්ථපාලක ක්‍රම සවිකරඉතා සාර්ථකව ගුවන්ගතකරනු ලැබුවා. දෙවැනි ලෝක යුද සමය වනවිට ඇමරිකාව නියමුවන් රහිත ගුවන් යානා තරගයේ මුල්තැන ගෙන තිබුණා. ඉන්පසු ඇමරිකාව බහුළ ලෙස නියමුවන් රහිත ගුවන්යානා යොදවාගත්තේ වියට්නාම් යුද්ධයේදීමේ සඳහා ඇමරිකාව යොදාගත්තේ ඉතා කුඩා ගුවන් යානා විශේෂයක් වන අතර, ඒවා යොදාගත්තෙත් ඔත්තු බලන යානා වශයෙන්. එමෙන්ම ඒවා ගුවන්ගත කළේහර්කියුලිස් ප්‍රවාහන යානා  වල තටු දෙකේ එල්ලා යවා ඉහළ අහසේදී මුදා හැරීමෙන්. නියමිත කාර්යයයෙන් පසුව පැරෂූට් මගින් පොළොවට පහත්වන මේ යානා, හෙලිකොප්ටර් යවා සොයා බලා ‘ඇහිඳගෙන’ ආවා. :D මේ ක්‍රමය එතරම් සාර්ථක නොවුනේ, වියට්නාම් හමුදාව එයින් බොහොමයකට ‘වැඩේ දුන්න’ :D  නිසයි.
  ඇත්ත වශයෙන්ම නියමුවන් රහිත ගුවන්යානා නිපදවීමේ පෙරළියක් ඇතිවුනේ 1970 දශකයෙන් පසුවයි. මෙහිදී ඇමරිකා එක්සත් ජනපදය අබිභවා යන්නට වෙනත් කිසිම රටක් සමත්වුනේ නැහැ. ඉතා වෙහෙසකර, දීර්ඝ පර්යේෂණ රාශියකින් පසු නිපදවන ලද, මුල්ම, සාර්ථක, නියමුවත් රහිත, තොරතුරු සෙවීමේ යානය වුනේ, 2001 වර්යේදී නිපදවන ලද, එහෙත් නිළ වශයෙන් 2007 දී එළිදැක්වූ,  MQ-9 Reaper නමැති යානයයි.  මේ යානය යොදාගත්තේ වෙරළාරක්‍ෂක කටයුතු සහ ස්වභාවික විපත් වලදී තොරතුරු සොයාබැලීම පිණිසයි.
MQ-9-Reaper
MQ-9_Reaper_CBP

මා හිතනවා මේ ලිපියේ පළමුවැනි කොටස මෙතෙකින් අවසන් කළයුතුයැයි කියා. නියමුවන් රහිත යානා ගැන තවත් විස්තර ඊළඟ කොටසෙන් ඉදිරිපත් කරනවා. මා දන්නවා ඔබට ප්‍රශ්න රාශියක් ඇති මගෙන් අහන්න. සමහරක් ප්‍රශ්න වලට ඊළඟ කොටසේදී පිළිතුරු ලැබෙයි. මෙවැනි ලිපියක් සැකසීම තරමක් වෙහෙසකර කටයුත්තක්. ඒ නිසා කාලය ලබාගෙන ඊළඟ කොටස ගෙන එන්නම්.
My Signature for Blog2013 අගෝස්තු මස 16 වැනි දින 2322 පැය

12 August 2013

“ප්‍රභාකරන් සාධකය” සහමුලින්ම පරාජය කිරීම – වෛද්‍ය රුවන් එම් ජයතුංග


  වෛද්‍ය රුවන් එම් ජයතුංග, ඔහු විසින් කලකට ඉහතදී ‘සිංහලයා පුවත් අඩවිය’වෙනුවෙන් ලියන ලද, ‘ප්‍රභාකරන් සාධකය සහමුලින් පරාජය කිරීම’ නමැති ලිපිය, ඊ මේල් මගින්, මා වෙත එවා තිබුණා. එය කියවූ පසු මා හිතුවා, එය ඔබේ අවධානයටත් ලක්කළයුතු බව. මේ සඳහා වෛද්‍ය ජයතුංගගේ අනුමැතිය ලබාගැනීමෙන් පසුවයි, මෙසේ ඔබවෙත මේ ලිපිය ගෙන එන්නේ. මෙහිදී එක් කරුණක් විශේෂයෙන් සඳහන් කලයුතු වෙනවා. මේ ලිපිය ගැන ඔබ දක්වන අදහස් වලට පිළිතුරු දීමට මට හැකියාවක් නැහැ. එයට හේතුව මේ ලිපිය මගේ නිර්මාණයක් නොවීමයි. මටද කලහැක්කේ ඔබ සමග එක්වී අදහස් දැක්වීම පමණයි. කෙසේවෙතත්, මෙය කියවීමට තරම් වටිනාකමක් ඇති ලිපියක් බව නම් පෙනීයනවා. හොඳයි, එහෙනම් මෙතැන්සිට ඒ ලිපිය කියවා බලන්න.
 prabhakaran_ltte_terrorist-300x265ප්‍රභාකරන්ගේ තිස් වසරක යුදමය ක්‍රියාදාමය පරාජය කිරීම ශ්‍රී ලංකාව ලත් සුවිසේෂි ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණය ලබා ගත්තේ දහස් ගණනක ජිවිත පරිත්‍යාගයෙනි. මෙම යුද්දය නිසා කායික සහ මානසික වශයෙන් ආබාධිත වූ සංඛ්‍යාව සටනින් මියගිය ප්‍රමාණයටත් වඩා අධික ය. එසේම එල්.ටී.ටී.ය විසින් ආර්ථික මර්මස්ථාන වලට කරන ලද පහර දීම් සහ සිදුකල විනාශයන්, යුද්දය සඳහා සිදු කල වියදම් මෙන්ම යුද්දය විසින් ඇති කළ ආර්ථික අවපාතය නිසා ගතවූ කාලය තුල ලංකාවට අහිමි වූ මුදල අතිශයින්ම විශාල ය. එම නිසා යුද්ධය ශ්‍රී ලංකාවට කළ විනාශය අති දැවැන්ත බව පැහැදිලි කරුණකි. මේ හේතුවෙන් තිස් වසරක යුද්දයක ශාපයෙන් ශ්‍රී ලංකාව මිදීම යනු, මේ රටේ සිංහල දෙමල, මුස්ලිම් ජනතාව ලත් ජයග්‍රහණයකි.
  ශ්‍රී ලංකාව තුල ඇතිවූ යුද ගැටුම සමහරු අර්ථකථනය කරන්නේ ජනවාර්ගික ගැටලුවක් ලෙසට ය. සමහරු එය ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ලෙස දකිති. ඇතැමෙකු එය ඉන්දියානු ව්‍යාප්තවාදයේ අතුරු එලයක් ලෙස පෙන්වා දෙති. කුමන අර්ථකථන තිබුන ද යුද්දය සෑම ජන වර්ගයකටම විනාශයක් වූ බව ඇස් පනාපිට ඔප්පුවූ කරුණකි. දෙවන ලෝක මහා යුද්දයෙන් පසු ආසියානු කලාපයේ රටක දැවැන්ත ගරිල්ලා යුද්දයක් ඇති වුයේ කෙසේද යන්න අධ්‍යනයට, විමර්ශනයට සහ විශ්ලේෂණයට බඳුන් කළ කරුණක් වුවද ඊලාම් යුද්දය වාර්තාකරණය මිස හැදෑරීම පසුගිය දශක තුන පුරා ලක් කොට නොමැත. එය හැකි ඉක්මනිම සිදු කළ යුතු කර්තව්‍යකි.
  සමාජ විද්‍යාත්මක කෝණයෙන් බලන විට අවිහිංසාව ගරු කළ උතුරේ දෙමල සමාජය තුල හිංසනය සහ ත්‍රස්තවාදය පැන නැගුනේ කෙසේ ද යන පැනයකි. පෘතුගීසි යුගය දක්වා ඉතිහාසය බලන විට දමිල ප්‍රජාව අතර රණකාමීන්ට සිටියේ සන්කිලියන් පමණි. සියවස් ගණනාවක් පුරා උතුරේ ද්‍රවිඩ සමාජය තුල ප්‍රචණ්ඩත්වය සඳහා හිතකර උපස්තරයන් නොවිය. නමුත් 1976 පමණ කාලය වන විට මෙම තත්වය උඩු යටිකුරු වන්නේය. මහාචාර්ය රාජන් හූල් පෙන්වා දෙන අන්දමට 1970 දශකයත් සමග ද්‍රවිඩ ප්‍රජාව තුලින් ප්‍රජාතන්ත්‍රවාදී පරමාර්ථ ක්‍රමක් ක්‍රමයෙන් ගිලිහි යාමට පටන් ගනියි. මේ සඳහා දකුණේ දේශපාලන ක්‍රියාකාරකම් ද ඉවහල් වූ බව නොරහසකි.
ප්‍රභාකරන් සාධකය:

ප්‍රභාකරන් සාධකය යනු නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතලම අර්බුදය විය. ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සහ සමාජ ගමන් මග වෙනස් කිරීමට ප්‍රභාකරන්ට හැකි විය. ඔහුගේ මරණින් පසුවද ප්‍රභාකරන් සාධකයේ තර්ජන අවසන් වී නැත. ප්‍රභාකරන් යනු ශ්‍රී ලංකික මිලිටරිවාදය විසින් ඇති කරන ලද්දක් බව මහාචාර්ය දයා සෝමසුන්දරම් ඔහුගේ Sacred Minds කෘතියෙන් පවසයි. නමුත් මෙය මුළුමනින්ම නිවැරදි ප්‍රකාශයක් නොවන බව මගේ වැටහීමයි. 2006 වසරේ මම ඇමරිකාවේ කැන්සාස් හි වොෂ්බර්න් සරසවියේ යුද ආතතිය පිලිබඳ ආරාධිත දේශනයකට ගියෙමි. එම දේශනයේදී එක් මහාචාර්යවරයෙකු මගෙන් මෙම ප්‍රශ්නය ඇසීය. මගේ අදහස අනුව ප්‍රභාකරන් යනු සාධක රැසකින් ජනනය වූ විනාශකාරී බලවේගයකි. සිංහල සහ ද්‍රවිඩ ජාතිවාද විසින් ප්‍රභාකරන් නමැති ප්‍රපංචය නිර්මාණය කරන ලදී. ඔහු තමන්ගේ ජනතාව පවා අනතුරේ හෙළුවේය. ඔහු ද්‍රවිඩ සමාජයේ අධ්‍යාත්මය විනාශ කළේය. ද්‍රවිඩ ඩයස්පෝරාව විසින් උපයන මිලියන ගණනක මුදල් සහ එකී මුල්‍යමය වාසි නිසා ඇතැමෙකු ප්‍රභාකරන් සාධකයේ පැවති විනාශකාරී පාර්ශවය ගැන කතා නොකල ද යම් දිනක ද්‍රවිඩ ජනතාව විසින් ම ඔහු පිළිබඳව විනිශ්චයක් දෙනු ඇත.
  ප්‍රභාකරන් තුල ව්‍යාථවේදී පෞරුෂ සාධක දක්නට ලැබුණි. නමුත් මේ ගැන කතිකාවට බඳුන් වී ඇත්තේ ඉතාම අඩුවෙනි. 2004 වසරේ ප්‍රභාකරන් දේශපාලනමය සහ යුදමය වශයෙන් ඉතා බලවත්ව සිටි අවදියේ දී ඔහුගේ පෞරුෂ සාධක හෙළි කරමින් කරමින් ප්‍රභාකරන් සාධකය පිලිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් යන කෘතිය මම එළි දැක්වුයෙමි. එම ගවේෂණාත්මක කෘතිය මගින් ළමා ප්‍රභාකරන් චර්යාත්මක අක්‍රමතාවයකින් (Conduct Disorder) පෙළුණු බවත් පසුකාලීනව වැඩිහිටි දිවියේදී ඔහු තුල සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ (Antisocial Personality Disorder) තිබෙන බවද ඔහුගේ ජිවිත කතාව සහ චර්යාව මගින් පෙන්වා දුනිමි. මේ මතය ඇතැම් වියතුන්ගේ විවේචනයට ද ලක් විය. නමුත් 2011 වසරේ මම යාපනය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ මහාචාර්ය දයා සෝමසුන්දරම් මහතා අමතමින් 2004 වසරේ ප්‍රභාකරන් පිළිබඳව මගේ අධ්‍යනයන් ගැන තතු පැවසුවෙමි. වේලුපිල්ලේ ප්‍රභාකරන් සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ වලින් යුතු පුද්ගලයෙකු බව මහාචාර්ය දයා සෝමසුන්දරම් ද පිලිගත්තේ ය.
  ප්‍රභාකරන් තුල දැඩි ආත්ම කේන්ද්‍රියතාවක් (self centered) තිබුණි. ඔහු සංවෘත (introverted) පෞරුෂ ලක්ෂණ දැරිය. එසේම ධ‍්‍රැවගත සහ ඒකාකෘති චින්තනයකින් යුක්ත විය. හීන වූ සහකම්පනිය අවබෝධයක් සහිත නාසිස්ටික නිව්රෝසියතාවයේ (Narcissistic Neurosis) ලක්ෂණ ඔහු කෙරෙන් දැක ගත හැකි විය. (හීන වූ සහකම්පනිය අවබෝධය නට්සීන් තුලද තිබු බව හර්මන් ගෝරිඞ් ඇතුළු නට්සි නායකයන් මනෝවිද්‍යාත්මකව විශ්ලේෂණය කළ ගුස්ටාව් ගිල්බර්ට් පෙන්වා දෙයි) ඔහු මරණයට බිය විය. (මේ පිළබඳව ද්‍රවිඩ කවියෙකු වූ කාසි ආනන්දන් පවා කියා තිබේ) එම නිසා මරණය කල්ට් වන්දනාවක් ලෙස කරමින් මරණය උත්කර්ෂයට පත් කරමින් මරණය වන්දනා කරන කළු කොටි සංකල්පය ඔහු බිහි කළේය.
  හිංසනය ප්‍රතික්ෂේප කල සම්ප්‍රදායික දමිල සමාජය උඩු යටිකුරු කරමින් සයනයිඩ් සංස්කෘතියක් ඇති කළේය. ළමා සොල්දාදුවන් ඇති කිරීම මගින් ද්‍රවිඩ සමාජයේ අනාගතය ද විනාශ කළේය. මේ සියලු විනාශකාරී ක්‍රියා සිදු කළමුත් නාභිගතවූ චින්තනයක් සහිත වූ ප්‍රභාකරන් දැඩි ආත්ම ශක්තියකින් යුක්ත විය. පුරා වසර 30 ඔහු ලංකාණ්ඩුවට එරෙහි ව්‍යාල යුද්දයක නිරත විය.
ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීම:

ප්‍රභාකරන් යනු හුදු එක පුද්ගලයෙක් පමණක් නොවිය. දෙස් විදෙස් බලවේග ඔහු වටා තිබුණි. එවැනි බලවේගයක් පරාජය කිරීම සුළු පටු ක්‍රියාවක් නොවිය. නමුත් ත්‍රිවිධ හමුදාවට ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීමට හැකි විය. වර්තමානයේ ප්‍රභාකරන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම ගැන බොහෝ වාද විවාද පවතී. ජයග්‍රහණයට පියවරු රැසකි. දේශීය මෙන්ම විදේශීය බලවේග ප්‍රභාකරන්ට සහය දීමට සිටියහ. ඔහු අපරාජිත බව යුද ප්‍රවීණෝපදේශකයන් පුන පුනා කිහ. නමුත් අවසානයේදී ප්‍රභාකරන් පරාජය කිරීමට ත්‍රිවිධ හමුදාවට හැකි විය.

එවැනි බලවේගයක් පරාජය කිරීමට හැකි වුයේ කෙසේද?
  2002 වසරේ සිට 2006 දක්වා මම ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාම ආතති ප්‍රතිකාර අංශයේ සංග්‍රාම විඩාවට ලක් වූ සොල්දාදුවන්ට සහ නිලධාරීන්ට ප්‍රතිකාර කලෙමි. මේ වකවානුව තුල හමුදාවේ උසස් නිලධාරීන් තුල පවා එල්.ටී.ටී.ය යුදමය වශයෙන් පරාජය කිරීමට නොහැකි බවට පොදු මතයක් තිබෙන බව මට වැටහුණි. මා සමග අදහස් හුවමාරුවේ යෙදුනු හිටපු යුද හමුදාපතිවරයෙක් පවා මේ අදහස දැරීය. යුදමය සහ දේශපාලන අනාවැකි සාර්ථකව කීමේ හැකියාව තිබු දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස නම් දරා සිටි හිටපු ගුවන් හමුදාපති හැරී ගුණතිලක මහතා පවා දැරුවේ මේ අදහසයි. එතුමාගේ රණවිරු වැන්දඹුවන් ගේ සුභ සාධන කටයුතු වලදී උපදේශන වැඩසටහන් පැවැත්වීමට මට ආරාධනා කර තිබු අතර හැරී ගුණතිලක මහතා සමග මම දිවයිනේ බොහෝ පළාත් වලට ගියෙමි.
  එතුමාගේ මරණයට දින 5 පමණ පෙර (2008 අප්‍රේල් මාසයේදී) අප අනුරාධපුරයට ගියෙමු. එම චාරිකාවේදී ද එල්.ටී.ටී.ය යුදමය වශයෙන් පරාජය කිරීමේ අසීරුතාවය ගැන එතුමා මට කිවේය. නමුත් 2009 මැයි මාසය වන විට ගුවන් හමුදාපති ව සිටි එතුමාගේ පුත්‍රයා ඇතුළු යුද සහ නාවික හමුදාපතිවරුන් එල්.ටී.ටී.ය යුදමය වශයෙන් සහමුලින්ම පරාජය කළහ. මෙවැනි අසීරු ඉලක්කයක් සපුරා ගැනීමට හැකි වීමට හේතු කවරේද යන්න අපගේ සාකච්ඡාවට බදුන් විය යුතුය. අවසන් යුද මෙහෙයුම වන 2001 අග්නිකීල මෙහෙයුමෙන් පසුව සොල්දාදුවන් තුල පොදුවේ කලකිරීම්, සහ හීන වූ සටන්කාමිත්වයක් දක්නට තිබුණි.
  ආබාධිත වූ සොල්දාදුවන්ගේ සුභසාදනය අක්‍රමවත් විය. 2001 – 2006 අතර කාලයේ සොල්දාදුවන්ගේ පුනරුත්ථාපන නිසි ලෙස සිදු නොවුනි. අබාධිත සොල්දාදුවන්ගේ නිදහස් ගමන් බලපත්‍ර පවා කපා දමන මට්ටමට නිලධාරිවාදය නරුම වී තිබුණි. මේ නිසා සටන් ඒකක වල සිටි සොල්දාදුවන් පවා යලි යුද්දයක් ඇති වුවහොත් ජිවිත අවදානමට පත් නොකර ගන්නා සෙයක් තිබුණි. යුද්දයේ දස්කම් දැක්වූ නිලධාරීන් වෙනුවට යුද්දයේදී බියගුළු වූ සහ සොල්දාදුවන් අතරමං කොට පලා ගිය නිලධාරීන්ට උසස්වීම් ලැබුණි. යුද ශිල්පය මනාව දත් නිලධාරීන් වෙනුවට අංජනම් බලන, අපල උපද්‍රව වලට සෙත් කවි කියන, ප්‍රභාකරන් පැරදීමට නම් හනුමා කෝවිල් තැනිය යුතු බව කියන නිල ඇඳුම ඇඳි අරිට්ඨ කී වෙන්ඩු ලා හමුදාපතිවරුන්ගේ උපදේශකයන් වුහ. මෙවැනි විකාරරූපී තත්වයක් තිබු හමුදාව 2009 වන විට ලෝකයේ අති දක්ෂ ප්‍රහාරාත්මක හැකියාවක් තිබු හමුදාවක් බවට පත් විය. මේ සඳහා නායකත්ව සාධක අනිවාර්යෙන්ම හමුදාවට බලපෑවේය.
  ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට චන්ද්‍රිකා මැතිනිය දක්වා සිටි ජනාධිපතිවරුන් යුද්දයට නිසි දේශපාලන නායකත්වයක් දුන්නේ නැත. ඔවුන් විදේශ ඇඟිලි ගැසීම් හමුවේ පසුබා ගියහ. නැතහොත් යුද්දයට දේශපාලන ඉලක්කයන් ගාවාගෙන යුද මෙහෙයුම් අඩාල කළහ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්දය පැවති සමයේ දුන් දේශපාලන නායකත්වය මිට ඉහත සිටි කිසිදු ජනාධිපතිවරයෙකු ලබා දී නොමැත. එම සාර්ථක දේශපාලන නායකත්වය මත යුද්දය ජයග්‍රහණය කර ගෙන යාමට ත්‍රිවිධ හමුදාවට හැකි විය. නමුත් පශ්චාත් යුද සාමය වන විට මෙම තත්වය වෙනස් වී ගිය බව පෙනී යයි. යුද සමයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙන්වන ලද කුසලතා පරිපුර්ණ නායකත්වය පශ්චාත් යුද සමයේදී ද පෙන්වන ලද්දේ නම් වර්තමානයේ අන්තර් ජාතික වශයෙන් ලංකාව කොටු කර ගැනීමට බටහිර රටවල් ඇතුළු ද්‍රවිඩ ඩයස්පෝරාව දරණ වෑයම නිශේදනය කිරීමට හැකිව තිබිණි.
  ජනාධිපතිවරයා විසින් දුන් දේශපාලන නායකත්වයට අමතරව ආරක්ෂක ලේකම්වරයා යුද්දයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ආරක්ෂක ලේකම් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද සමයේදී පෙන්වන ලද කාර්යක්ෂමතාව ලඝු කළ හැක්කේ දේශපාලන විරුද්ධවාදියෙකුට පමණි. එතුමාට පෙර සිටි ආරක්ෂක ලේකම්වරුනට යුද හමුදාවක විවුහය ගැන කිසිම අවබෝධයක් නොතිබුණි. එක් ආරක්ෂක ලේකම්වරයෙකු පුලිදේවන්ට මචන් පුලි යැයි කීමට පවා දීන විය. හමුදා නිලධාරියෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව මහතා සමග වඩමාරච්චි මෙහෙයුමේ නිරත වූ අත්දැකීම් බහුල නිලධාරියෙකු විය. ඔහුට හමුදාව සටන් කරන අන්දම, භට සම්පාදනය ගැන අවබෝධයක් තිබුණි. යුද සමයේදී තිවිධ හමුදාපතිවරුන් සමග මනා සබඳතාවක් ගෙන යමින් යුද්ධය කාර්යක්ෂමව කරගෙන යාමට ඔහු සමත් විය.
  යුද හමුදාපතිවරයා වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ යුදමය නායකත්වයද ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා අනවතරයෙන් බලපාන ලදී. ඊලාම් යුද්දය ජය ගැනීමට ඔහු දුන් දායකත්වය අති විශාලය. ජෙනරාල් සරත් ෆොන්සේකා සම කළ හැක්කේ ජෙනරාල් ජෝජ් පැටන් වැනි කඪෝර නමුත් යුද්දයේ දක්ෂ සේනා හසුරුවීමෙහි සමර්ථ සෙන්පතියෙකුට ය. ඔහු උතුරේ යුද මෙහෙයුම් මනාව දැන සිටියේය. කනිෂ්ට නිලධාරින්ට මෙහෙයුම් වලදී ඔහුට බොරු කිරීමට නොහැකි විය. ඔහු ප්‍රභාකරන්ගේ මර්මස්ථාන බිඳ දමන ක්‍රමය දැන සිටියේය. ඔහුගේ යුද උපක්‍රම ප්‍රභාකරන්ට විනාශය ගෙන ආවේය. යුද්දය ජය ගැනීමට ගුවන් හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිසිය, ජාතික ආරක්ෂක බලමුළුව විසින් දෙන ලද දායකත්වය ද අති විශාලය. මනා සහයෝගිතාවයකින් සහ විශිෂ්ට සම්බන්ධීකරණයකින් යුතුව ප්‍රභාකරන් සාධකය පරාජය කිරීම සඳහා ආරක්ෂක හමුදාවෝ ක්‍රියා කළහ.
පශ්චාත් යුද සමයේදී ප්‍රභාකරන් සාධකය ඉස්මතු වීම:

වේලුපිල්ලේ ප්‍රභාකරන් ශාරීරිකව විනාශ කලද ඔහු විසින් ලෝකය පුරා පතුරවා හරින ලද බෙදුම්වාදය නිශේදනය කිරීමට අසමත් වීම ශ්‍රී ලංකාව විසින් කරන ලද එක් වරදකි. ද්‍රවිඩ ඩයස්පෝරාව මුල්‍යම වශයෙන් ශක්තිමත් අතර දේශීය දේශපාලකයන්, සමාජ ක්‍රියාධරයන් මෙන්ම බටහිර රටවල මන්ත්‍රීවරු පවා ඔවුන් මිලට ගෙන තිබේ. මේ නිසා අද බෙදුම්වාදය ජිවන මාර්ගයකි. එබැවින් පශ්චාත් ප්‍රභාකරන් සාධකය පරාජය කිරීම සඳහා ලංකාණ්ඩුව විසින් සාර්ථක මූලෝපායන් භාවිතා කල යුතුය.
  ඩයස්පෝරාව විසින් ලංකාව කොටු කර ගැනීම සඳහා ක්‍රියා කරති. මේ තත්වයට මුහුණ දීමට නම් මනා රාජතාන්ත්‍රික සබඳතාවන් අනෙකුත් රටවල් සමග පවත්වා ගනිමින් ප්‍රභාකරන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදු කල විනාශයන් පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කල යුතුය. අවාසනාවකට මෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදු කල ජන ඝාතන ගැන අන්තර්ජාතික ප්‍රජාව නියමාකාර ලෙසින් දැනුවත් වී නොමැත. මේ නිසා ඊලාම් යුද්දයේ වග උත්තරකරුවන් අනියම් ලෙසින් ලංකාවට චෝදනා එල්ල වේ. නමුත් ඊලාම් යුද්දයේ සැබෑ ඉතිහාසය සොයා බැලුවහොත් මෙය ලංකාව මත පැටවූ යුද්දයක් බව පෙනී යයි. බෙදුම්වාදීන්ට ආයුධ පුහුණුව ලබා දෙන ලද්දේ ඉන්දියාව විසිනි. එසේම ඇතැම් බටහිර රටවල් විසින් ද එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයුධ මෙන්ම තාක්ෂණය ලබා දෙන ලදී.
  පුරා දශක තුනකට අධික කාලයක් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් උතුරේ සහ දකුණේ සිදු කල විනාශය සහ ද්‍රවිඩ ජනතාව 20,000 අධික ප්‍රමාණයක් මරා දැමීම ගැන ගැන නියමාකාරයෙන් අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කලේ නම් ලංකාව කොටු කර ගැනීම සඳහා ඩයස්පෝරාව දරණ වෑයම ප්‍රතිවර්තන කිරීමට ලංකාණ්ඩුවට හැකියාවක් තිබුණි. නමුත් මේ සඳහා යුද්දයෙන් පසු වැඩපිළිවෙලක් නොවිය. එය ලංකාවට අවාසිදායක විය. යටත් පිරිසෙයින් ඉදිරි කාලයේදී ඊලාම් යුද්දය සහ ප්‍රභාකරන් සාධකයේ විනාශකාරී මුහුණුවර විද්‍යාත්මක වශයෙන් අධ්‍යනය කිරීමට ලංකාවේ මධ්‍යස්ථානයක් ඇති කල යුතුය. පොල්පොට් විසින් කරන ලද සමාජ වියසනය ගැන අධ්‍යනය කිරීමට කම්පුචියාවේ මෙවැනි මධ්‍යස්ථානයක් ඇති අතර එම මධ්‍යස්ථානයට විදේශීය සරසවි වලින් පවා පිරිස පැමිණෙති.
  මෙවැනි මධ්‍යස්ථානයක් ලංකාවේ තිබුනේ නම් ප්‍රභාකරන් සාධකය ශක්තිමත් කරවමින් ද්‍රවිඩ ඩයස්පෝරාව විසින් මුදල් පොම්ප කරමින් උතුරේ කල භෞතික සහ සංස්කෘතික විනාශය ගැන පැහැදිලි චිත්‍රයක් අන්තර්ජාතික ප්‍රජාවට ලබා දීමට තිබුණි. මේ නිසා ප්‍රභාකරන් සාධකය අධ්‍යනය කිරිමටත් එහි විනාශකාරීභාවය ගැන දෙස් විදෙස් ප්‍රජාව දැනුවත් කිරීමත් අත්‍යවශයෙන්ම සිදු කල යුතු කර්තව්‍යකි. මේ හැර යලිත් මෙවැනි විනාශකාරී යුද්දයක් ලංකා භුමියේ යලි පැන නොනැගීමට අවශ්‍ය ප්‍රාග්ඥානයක් මෙවැනි අධ්‍යනයක් තුලින් සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවට ලබා දිය හැකිය. එමගින් බෙදුම්වාදය මුල් කොට ගත් ප්‍රභාකරන් සාධකය සහමුලින්ම පරාජය කිරීමට අවශ්‍ය දැනුම සහ ශක්තිය ලැබෙනු ඇත.
සිංහලයා පුවත් ඒජන්සිය වෙනුවෙන්,
වෛද්‍ය රුවන් එම්. ජයතුංග
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }