හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

27 February 2014

එහෙනං නොදැවී 60 ක් ගැහුවා ඈ..............Oh Dear!....I am not out 60

  
life-begins-at-60-birthday-t-shirt_design     ජීවිත සටහනක් ලියන්න මිනිසුන් පෙළඹෙන්නේ විවිධ හේතු නිසා. නමුත් සෑම මිනිසාම කිසියම් ජීවිත සටහනක් තැබීම නම් වැදගත්. ආත්ම කථනය කියන්නේ බොහොම පරෙස්සමෙන් කළයුතු දෙයක්. ආත්ම කථනය මගේ වුනාට එයින් අන් කවරකුට හෝ හානියක් වනවානම් එය අසාධාරණයි. ඒ නිසා මේ සටහන තබන්නේ බොහොම පරෙස්සමෙන් කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි. 60 වැනි උපන්දිනය සමරන අද දවසේ ඇත්තටම මට පසක්වන්නේ 'ජාතිපි දුක්ඛො, ජරාපි දුක්ඛො, පියේහි විප්පයෝගෝ දුක්ඛො, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛො, යන බුදු වදනයි. එය කොතරම් පරම සත්‍යයක්ද යන්න පසුගිය කාලය තුළ මා මොනවට පසක් කරගත්තා.

img019     මගේ ජීවිතය එදා සිට අද දක්වා යන රටාවක් තියනවා. ක්‍රමයෙන් ඉහල නැගීම, සියලු සැප සම්පත් විඳිමින් කෙටි කාලයක් ගත කිරීම, එකවර කඩාවැටීම, මෙය මේ වනවිට අවම වශයෙන් 10 වතාවක් පමණ වී තිබෙනවා. හත් වැනි අටවැනි වර සිදුවන විට මා දැනගත්තා මේ තමයි මගේ ජීවන රටාව කියා. 
1971 දී ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයකු ලෙස මා කටුක අත්දැකීම් රාශියක් විඳ නූලෙන් ජීවිතය බේරාගත්තා. මගේ වාසනාවට ඉන්පසු කාලයේදී අභිධර්මය උගත් බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකගෙන් මට ගැඹුරු දහම් කරුණු රාශියක් ඉගෙනගන්නට ලැබුණා.  එයින් ලද සැනසීම තමයි අදටත් මා ජීවත් කරවන බලවේගය වී තිබෙන්නේ. මේ තියන පින්තූරය තමයි මා දන්නා කාලයක මගේ තනි ඡායාරූපයක් ලෙස ගත් මුල්ම එක.
img020     මම ඉපදුනේ 1954 පෙබරවාරි මස 27 වැනිදා, කෑගල්ල දිස්ත්‍රික්කයේ, අදටත් එතරම් දියුණුවක් නැති, මොරදන නමැති ගමේ. නමුත් ඒ ගම ගැන මට එතරම් මතකයක් නැහැ. ඊට නුදුරු මාබෝපිටිය නමැති ගම ගැන, යන්තම් මතක සටහන් තියනවා. මගේ දෙමවුපියන්  පාසල් ගුරුවරු, පසුකළක මගේ පියා විදුහල්පති කෙනෙක් වුණා. අපේ පවුලේ පිරිමි හතරයි ගෑණු තුනයි. එයින් අද ජීවත්ව සිටින එකම පිරිමියා මම. ගෑණු තුන්දෙනා (මගේ අක්කලා) විවාහකව කෑගල්ල සහ කොළඹ පලාත්වල ජීවත් වෙනවා. අටවැනි දරුවකු ඉපදී, සුළු මොහොතකින් මියගොස් තිබෙනවා. අපේ පවුලේ වැඩි දෙනෙක් (මමත් ඇතුළුව) ඉපදී තිබෙන්නේ ගෙදරමයි. මගේ අම්මාගේ අම්මා තමයි වින්නඹු අම්මාවී තිබෙන්නේ. මගේ අක්කලා කියනවා, මා ඉපදී සුළු මොහොතකින් දොරට වැඩු අවස්ථාව ඔවුන්ට හොඳින් මතක බව. මේ පින්තූරය ගත්තේ තරුණකම ඉහවහා ගිය අවධියක. මගේ ප්‍රථම ප්‍රේමයේ පෙම්වතියට තිළින කළ මේ පින්තූරයේ ඉතිරි කොපියයි මේ. නමුත් ඒ ප්‍රේමය ඉතා දැඩි දුකක් දෙමින් බිඳී ගියා. ඇයත් මාත් අතර තිබුණු සත් වසරක ප්‍රේමය ඉතා දැඩියි. ඇය රැයවල් දෙකක් මා අසළින් නිදා සිට ඇතත්, සිපගැනීමකට එහා නොගිය ඒ රැයවල් දෙක ගැන, අද මටත් වඩා ඇය සතුටු වෙනවා ඇති. අවංකව මමත් සතුටුවෙනවා ඇගේ ආත්ම ගෞරවය රැකගැනීම ගැන. අද ඇය ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිව, සාර්ථක යුග දිවියක් ගතකරනවා. හැබැයි ඒ තොරතුරු මගේ 'බුද්ධි අංශයෙන්' සොයාගත් බව ඇය දන්නේ නැහැ. මට කවදාවත් ඇය ඉන්පසු හමුවී නැහැ. නමුත් ඇය ගැන සියලු තොරතුරු මා සොයාගත්තා. මේ සම්බන්ධය ගැන මගේ බිරිඳ සවිස්තරව දන්නවා. මගේ බිරිඳත් ඇගේ ප්‍රථම ප්‍රේමයෙන් පරාජිත වු පෙම්වතියක්. ඒ ගැනත් මා සවිස්තරව දන්නවා. ඉතා අහම්බෙන්, අප දෙදෙනාටම, අප දෙදෙනාගේ පරණ පෙම්වතා/පෙම්වතිය දකින්නට ලැබී තිබෙනවා. ඉතින් ඔවුන්ට නොදැනෙන ලෙස, 'අර ඉන්නේ අරයා' කියා, අපි දෙන්නාම ඔවුන්ව පෙන්වා දී තිබෙනවා. හැබැයි, මගේ බිරිඳගේ පෙම්වතානම්, මටත් වඩා කඩවසම්, උස මහත පුද්ගලයකු බව අවංකවම කියන්න ඕනේ. 
img021     කාලය ගෙවීයද්දී විවිධ ක්ෂේත්‍ර කෙරෙහි මගේ අවධානය යොමුවුනා, ගායනය, නිවේදන කටයුතු, ශිෂ්‍යභට පුහුණුව, ආදී නොයෙක් දේවල මම නිරත වුණා. මා ලියු කවි ගුවන්විදුලියේ ප්‍රචාරය වුණා. කාර්මික සහකාර තනතුරක් සඳහා ගුවන්විදුලි සංස්ථාවේ සම්මුඛ පරීක්ෂණයකට ගියත් දේශපාලනය ඊට හරස් වුණා. අවසානයේදී ගුරු වෘත්තියට මා නැඹුරුවුනේ, මගේ පියාගේ බලපෑම නිසයි. නමුත් මට වැළඳී තිබුණ 'ආමි උණ' හොඳවුණේ, හමුදාවට බැඳීමෙන් පසුවයි. 

img036     මේ කාලයේදී තරුණියන් දෙදෙනෙකු මගේ ප්‍රේමය පැතුවත්, මා හදවතෙහි තිබුණු ප්‍රථම ප්‍රේමයේ තුවාලය සුවවී තිබුණේ නැහැ. ඒ නිසා එවැනි කිසිවෙකුත් කෙරෙහි මගේ අවධානය යොමුවුණේ නැහැ. මා සිතුවේ මා මෙන්ම ප්‍රේමයෙන් පරාජිතවූ කෙනෙකු සමග විවාහ වෙනවා කියයි. එය එලෙසින්ම සිදුවුණේ අපි දෙදෙනාම දෙදෙනාට අවංකව තම අතීතය පැහැදිළි කළ නිසයි.



img011     හමුදා සේවයට එක්වීමෙන් පසු ජීවිතයේ යථා ස්වභාවය ගැන නොයෙක්දේ අත්විඳ ගන්නට ලැබුණා. තමන්ට තමන්ගේ පිහිට පමණයි යන්න හොඳින්ම වැටහුණේ, හමුදාවට බැඳුණු මුල් කාලයේදීමයි.  හැබැයි හමුදා පුහුණුවෙන් මා ලද පන්නරය, අද දක්වා මට මහත් ඵල ප්‍රයෝජන ගෙනදෙනවා. ඇත්තටම, කාර්යක්ෂම ජීවිතයක් සඳහා මා අඩිතාලම දැමුවේ හමුදා පුහුණුව නිසයි.  


img018     ලංකාවේ විවිධ පළාත්වලට ගොඩබිමෙන් අහසෙන් මුහුදෙන් යාමටත්, යුද්ධය පිලිබඳ විවිධ අත්දැකීම් ලබන්නටත්, මරනවා/මැරෙනවා යන අත්දැකීම් ලබන්නටත් මට ඉඩ ලැබුණා. පොතෙන් දෙන හමුදා දැණුම වගේම සටන් බිමේදී ලැබිය යුතු අත්දැකීම්ද ඉතා වැදගත්වන බව තේරුම්ගත්තේ මේ කාලයේදීයි. හැබැයි සටන් බිමේ පුහුණුවෙන්න වෙලාවක් නැහැ. අත්දැකීම් ලැබීමක් පමණයි.


img016     ඒවා භයානක අත්දැකීම් මිස රසවත් අත්දැකීම් නෙවෙයි. ඇත්තටම සටන් බිමේ මුල්ම අත්දැකීම් ලබද්දේ බයක් දැනෙනවා. 'හයියෝ මොන බයද අපි දුන්නනේ උන්ට දුවන්න' ආදී වශයෙන් බොරු කයිය ගහන්න නම් මම කැමති නැහැ. නමුත් ඒ බය පසුව අත්දැකීමක් බවට පත්වුනාම සහ අත්දැකීම් බහුල අයගේ ආශ්‍රය මෙන්ම උපදෙස් නිසා, චිත්ත ශක්තිය වර්ධනය වීමක් බවට පත්වෙනවා.


img030     මොකක්දෝ හේතුවකට ඉස්කෝලේ යනකාලේ ඉඳලා තිබුන කැමරා පිස්සුව නිසා යුදබිමේ හැකි සෑම තැනටම කැමරාවක් අරන් යන පුරුද්ද මට තිබුණා. අදත් සංචාරයකදී කැමරාව වරදින්නේ නැහැ. මා සතුව යුදබිමේ පින්තූර 200 ක් පමණ තියනවා. නිසි නඩත්තුවක් නැති නිසා තව බොහෝ ගණනක් විනාශ වුණා.



ජීවිතේ ටික ටික ඉදිරියට ගියා ගෙයක් දොරක් හදාගන්නටත් කාලය ආවා. 
img001
ගෙවල් දොරවල් හදන්ඩ ගත්තේ ඒකේ ඉන්න පැටවූ ලැබෙන නිසානේ.
img024
පැටවූ ලැබුනේ මෙන්න මෙව්වා නිසානේ
img025
img015
img023
     විවාහ ජීවිතය ගැන ලියනවානම් වෙනම ලිපියක් ලියන්න ඕනේ. අපේ 33 වැනි විවාහ සංවත්සරය ලබන මාසේ අගට යෙදී තියනවා. නමුත් විශේෂ උත්සවයක් නම් පවත්වන්නේ නැහැ. ඇත්තටම විවාහ ජීවිතය නෙල්ලි ගෙඩියක් වගේ පංච රසයෙන් යුක්තයි. අපි දෙන්නා එදා ඉඳලා අද දක්වා කිරියි පැණියි වගේ ඉන්නේ කියලා බොරු කියන්න නම් මම කැමති නැහැ. මම හමුදා සේවයේ යෙදී ඉන්න කාලෙනම් සමහර විට තරහ වුනාම දවස් ගණන් ගෙදරට කතා නොකර ඉන්නවා. අපේ උන්දැත් එහෙමම තමයි. උඹට ඕනෙනම් කතාකරපන් කියලා සද්ද නැතුව ඉන්නවා. අනේ ඉතින් මමම අන්තිමට කතා කරනවා. දැනුත් තරහා වෙනවා. හැබැයි උපරිම පැයයි දෙකයි. මොකද මේ මහ විසාල ගෙදර ඉන්නේ අපි දෙන්නා විතරයි. අපි දෙන්නට අපි දෙන්නා නැත්නම් වෙන කවුද ඉන්නේ කියන එක හොඳට තේරෙන්නේ දැන්.
කාලය ගතවුණා. මමත් හමුදා ජීවිතයේ ටික ටික ඉදිරියට ගියා. 
img008
img004
img009
img007
img012
img034
පුහුණුව තරම් හමුදා සේවයේදී ලබාගත හැකි තවත් වටිනා සම්පතක් නැහැ. හමුදාවේ කියමනක් තියනවා, 'නිළධාරියකුට තම සෙබළුන්ට දියහැකි වටිනාම දායාදය වන්නේ පුහුණුවයි' කියා. මට ලැබුණු විදෙස් පුහුණුවත් එවැනි වටිනා දායාදයක්. 
3 001
අත්දැකීම් බහුල මහ සෙනෙවියන් යුදපිටියේදී කරන සැළසුම් අපේ පරිණත බව වැඩිකරන්නට සමත්වුණා.
1 001
ඒ වගේම මේ මහ සෙනෙවියන් ඉගැන්වූ දේ තුළින්, ඉන්පසු කාලයේදී පැමිණි අභියෝග ජයගන්නත් පුළුවන් වුණා. එහෙම ආව එක අභියෝගයකට මම පිළිතුරු දෙන හැටි තමයි ඔය පහල පින්තූරේ තියෙන්නේ.
img013
අපි එදා හැඩගසුනේ, ලෝක සංග්‍රාම භූමියේ මහ සෙනෙවියන්ගේ කියමන් ආදර්ශයට ගැනීමෙනුයි. මේ මගේ මව් කඳවුරේ තිබෙන එවැනි ආදර්ශ පාඨයක් සහිත පුවරුවක්.
DSC00615a
ඇත්තටම කාලය ගතවුනේ හොරෙන් හොරෙන්. ළමයි දැන් ලොකුයි, අපි වයසට යන්න පටන් අරන්, කියන එක තේරුණේ, දැනට අවුරුදු හත අටකට උඩදී.
2 001
මම කවදත් පරිසර චාරිකා යන්න හරිම ආසයි. අදටත් ඒ පුරුද්ද අතහැරිලා නැහැ. යුද්ධය මැද වුනත්, ඉඩක් ලද විගස, දරුවනුත් කැටුව, පරිසර චාරිකාවක යෙදීම ඒ කාලෙත් කළා.
4 001
  ජීවිතය කියන්නේ විඳිය යුතු දෙයක් මිස, විඳවිය යුතු දෙයක් නෙවෙයි කියලා, මට කියලා දුන්නේ, අර මම මේ ලිපියේ මුල හරියේදී කිව්ව හාමුදුරුවෝ. ඒ උපදේශයට පින්සිද්ද වෙන්න, අද මම උපරිමයෙන් ජීවිතය වින්දනය කරනවා. මට මහා විසාල බලාපොරොත්තු නැහැ. මගේ දියණියන් දෙදෙනා නිසි මග යන බවට, මට සැකයක් නැහැ. මම තන්හාව බොහෝ දුරට හිතෙන් ඈත් කරලා තියෙන්නේ. අද මම ලබන විශ්‍රාම වැටුපෙන්, පරෙස්සමෙන් ජීවිතය ගැටගහගන්න පුළුවන්. එදා වගේම අදත්, හමුදාවේ යාළුවො මා අමතක කර නැහැ. බොහෝවිට, අදටත් විවිධ කඳවුරුවල තිබෙන උත්සව/සාද සඳහා ඇරයුම් ලැබෙනවා. මේ ලිපිය ලියමින් ඉන්න අතරෙත්, ලබන මස 8 වැනිදා සහ 15 වැනිදා පැවැත්වෙන එවැනි උත්සව දෙකක් සඳහා මටත් බිරිඳටත් ඇරයුම් ලැබුණා. එවැනි විටක එහි ගොස් විනෝදයක් ලබන්නටත් අමතක කරන්නේ නැහැ.
DSC00636
  ඉතින් ඇති නේද? මම හිතනවා කවුරු නැතත්, අවුරුදු දෙකක් මා සමග ඉන්න ඔබ, ඒ විදිහට හැමදාමත් ඉඳියි කියලා. අද මගේ ප්‍රධානම කාර්‍යය වෙලා තියෙන්නේ, බ්ලොග් වැඩේ නේ. ඉතින් ඔබත් සමග අත්වැල් බැඳගෙන, ඉදිරියට යන්නට මා සූදානම්. ඒ සඳහා මට ඇති එකම ශක්තිය හා ධෛර්යය ඔබයි. මට උපන්දින සුබ පැතුම් ගෙගෙන සියළු දෙනාට කියන්න තිබෙන්නේ, මාව දිරිමත් කරන ඔබ සැමට අපමණ පින් කියලයි.
      my-signature-for-blog[1]2014 පෙබරවාරි මස 27 වැනි දින 0001 පැය

23 February 2014

අපේ වාර්ෂික සංචාරේ

  UNITYමම මීට කලිනුත් ලිපි දෙකක් ලියලා තියනවා, අපේ වාර්ෂික සංචාරය ගැන. පළමුවැනි ලිපිය මෙතනින් සහ දෙවැනි ලිපිය මෙතනින් බලන්න පුළුවන්. සෑම අවුරුද්දකම, පෙබරවාරි හතර වැනිදා, ඒ කියන්නේ ජාතික නිදහස් දිනයේදී, අපේ පුංචි ජනාවාසයේ ඉන්න මහජනතාවගේ, සුබසිද්ධිය වෙනුවෙන් පවත්වාගෙන යන, සුබසාධක සංගමයෙන්, චාරිකාවක් යනවා. මේ රූපයේ තියෙන්නේ අපේ සමිතියේ ලාංඡනය. සමිතියේ නම, එක්සත් සුබසාධක සමිතිය. 
  මෙහි අය කිරීම් බොහොම සාධාරණයි. මෙවර, එක පවුලකින් (කීදෙනෙක් ආවත්) අයකළේ, රු 1500/- යි. ඒ මුදලට උදේ දවල් රාත්‍රී ආහාරයත් ඇතුළත්. නමුත් ඒ මුදල මදි අවශ්‍ය වියදම් පියවන්න. ඒ නිසා ඉතිරි වියදම් සියල්ල දරන්නේ සමිති අරමුදලෙන්. වාර්ෂිකව ලොකු පොලියක් ගන්න හොඳ ස්ථිර තැන්පතුවක් අපේ සමිතියට තියනවා. ඒ නිසා මෙවැනි සුබසාධනයක් කරන්න පුළුවන්.
   දැනට අපේ සමිතියේ වයස අවුරුදු 10 යි. නමුත් අපි පොදු සේවා රැසක් සපයනවා. 5 වසර, අපොස සා පෙළ, උසස්පෙළ, ඉහළින් සමත්වන අපේ සාමාජික පවුල්වල දරුවන්ට, ශිෂ්‍යාධාර ලබාදෙන අතර, සමස්ත ලංකා මට්ටමෙන්, ක්‍රීඩා, නර්තන, නව නිර්මාණ, ආදී කටයුතුවලින් විශේෂ දක්ෂතා දක්වන, අපේ සාමාජික පවුල්වල දරුවන්ටත්, විශේෂ මුදල් ත්‍යාග පිරිනමනවා.
   මේ හැර අපි රු 35000/- ක අවමංගල්‍යාධාරයක්, සාමාජිකයකුගේ දෙමවුපියන්ගෙන් අයකුගේ මරණය, ඔහු/ඇය ගේ කලත්‍රයා ගේ මව හෝ පියාගේ මරණය, වෙනුවෙන් ගෙවන අතර තම දරුවන් සහ තමන්ගෙන් යැපෙන අය වශයෙන් සමිතිය විසින් පිළිගන්නා අය වෙනුවෙන්ද රු 35000/- ක අවමංගල්‍යාධාරයක් පිරිනමනවා. සාමාජිකයකු මියගියවිට, ඔහුගේ කලත්‍රයාට හෝ ප්‍රතිලාභියා ලෙස කලින් නම්කර තිබුන අයට, රු 35000/- කුත්, ඔහුගේ/ඇයගේ විවාහක දරුවන්, එක් අයකුට වඩා වැඩි ගණනක්, වෙනමම සාමාජිකයන් ලෙස සමිතියට බැඳී සිටිත් නම්, ඔවුන් අතර සමසේ බෙදීයන පරිදි තවත් රු 35000/- කුත් ලබාදෙනවා.  (මේ ආධාරයට අමතරව කොඩි, පුටු, කූඩාරම්, අවමංගල්‍යය දිනයේ දිවා ආහාරය, ආදියද සැපයෙනවා) 
   මේ හැර අපි මහා පරිමාණයෙන් අවුරුදු උත්සවයක්, පොසොන් සමයේදී අනුරාධපුර වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් බත් දන්සලක්, පවත්වන අතර, සංවත්සර උත්සවයද සංගීත ප්‍රසංගයක් සහිතව මහ ඉහළින් පවත්වනවා. අපේ සමිතියටම වෙන්වූ ක්‍රීඩා පිටියක් සහිත, හොඳ සමිති ශාලාවක්ද අපිට තියනවා. අපේ සමිතියේ මාසික සාමාජික මුදල රු 100/- ක් පමණයි. අපි දැනට රු ලක්ෂ 45 ක පමණ පානීය ජල ව්‍යාපෘතියක් සැළසුම්කර තිබෙනවා. ඔන්න අපේ සමිතියේ චූර්ණිකාව.
   සාමාන්‍යයෙන් අපි වාර්ෂික සංචාරය යන්නේ පෙබරවාරි 4 වැනිදා වුනත්, මෙවර ඊට පසුදිනය වැඩ කරන දිනයක් වූ නිසා පෙබරවාරි 8 වැනි සෙනසුරාදා තමයි සංචාරය යන්න සිදුවුණේ. ඔන්න ඉතින් කතාව ඉවරයි මෙතන ඉඳලා පින්තූර බලමු. මෙවර අපේ සංචාරයේ ප්‍රධාන අරමුණ වුණේ මාදු ගඟේ පරිසර සවාරියක් යාමයි. බෝට්ටු වලින් ගිය මේ සවාරියට පැය 4 ක පමණ ගතවුණා.
හපෝ..........මේ පාන්දර 5 ට නෝනලා තම රැහැයි කටහඬවල් අවදි කල ආකාරය. 
1
කුරුණෑගල ඉඳලා, පස්යාල, කිරිඳිවැල, හංවැල්ල, හෝමාගම, පහුකරගෙන කොට්ටාවෙන් රිංගුවා අධිවේගී මාර්ගයට.  හයිවේ ද බුරුල්වේ ද මම දන්නෑ හැම වාහනයක්ම දිව්වේ, පස්සෙන් කවුරුහරි පන්නනවා වගේ. මම ප්‍රථම වතාවට අධිවේගී මාර්ගයේ බස් එකේ හිටගෙන ගියා පින්තූර ටිකක් ගන්න.
2
මේ පින්තූරයේ වම්පැත්තේ පෙනෙන ආකාරයේ ඉඩකඩ සහිත ස්ථාන කීපයක් තිබෙන බව මේ පාරේ යන අය දන්නවා ඇති. මම මෙවර පැහැදිළිව දැක්කා (බස් එකේ ඉදිරිපස දොර ළඟ හිටගෙන ගිය නිසා) හොරෙන්ම එළියට යන්න පුළුවන් තැනක් තියනවා. අපි ගිය බස් දෙකෙන් එකක රියදුරා උපතින්ම ඇඟ පුරාම මොලය තියන කෙනෙක්. ඒ බස් එකේ ගිය අයගේ කීම නොඅසා දොඩම්ගොඩින් එලියට යන්න තියෙද්දී මෙයා ගාල්ලටම යන්න තියන පිවිසුමට දාලා ආයෙත් බස් එක රිවස් කළා. ඒ වරද වෙනුවෙන් රු 1500/- දඩයක් ගෙවන්නත් මෙන්න මෙතනට වෙලා පැයක් විතර රස්තියාදු වෙන්නත් සිදුවුනා. එයින් සිදුවුණේ උදේ කෑම ගැනීම 10 ට විතර කරන්න සිදුවීමයි. 
3
පුංචි කවීෂාට නම් මෙව්වා ගානක්වත් නැහැ. අනාගතේදී මෝස්‌තර නිරූපිකාවක් වෙන්නද දන්නේ නෑ මේ ඉරියව්වෙන් ඉන්නේ.
4
පිට මාදු ගඟේ සවාරිය සඳහා බලපිටියට යන්න තිබුණත්, උදේ කෑම ගන්න ස්ථානය තිබුනේ දොඩම්ගොඩ නිසයි, අධ්වේගී මාර්ගයෙන් එළියට ආවේ. ඔන්න ඉතින් මාදු ගඟටත් ආවා කියමුකෝ. එක බෝට්ටුවක් රු 4000/- ගානේ, මහ විසාල බෝට්ටු 5 ක් ඕනේ වුණා, අපේ මුළු නඩේම ගෙනියන්න.
5
හැබැයි, බෝට්ටුවට දුන්න සල්ලි කිසිම පාඩුවක් නැහැ කියලා හිතුණේ, දකින්නට දුර්ලභ, අලංකාර, කඩොලාන පරිසරය තුළින්, අපේ බෝට්ටු හෙමින් හෙමින් ඇදීයනවිටයි.
6
මේ ජාකොටු ගැන අපේ පිරිසේ හිටිය පාසල් ළමුන් ප්‍රශ්න කෝටියක් අහන්න පටන්ගත්තා. අපේ බෝට්ටුවේ ක්‍රියාකරු, ඔවුන්ට සියළු කරුණු කියාදුන්නා.
7
පි මුලින්ම ගොඩබැස්සේ, විශාලතම දූපතට. එහිදී අපිට ලස්සන පරිසරයක් දකින්නට ලැබුණා.
8
මේ තියෙන්නේ ලස්සන මලක්. ඇත්තටම මෙය හොඳ ඖෂධයක්. සෙංගමාලය රෝගීන්ට මේ කොළ වලින් කැඳ හදලා බොන්න දෙනවා. මේ තමයි හීන් බෝවිටියා. කවුරුහරි පිටරටක එකෙක් දැනටමත් මේකේ පේටන්ට් අයිතිය අරන්ද දන්නේ නෑ.
9
ඒ විතරක් නෙවෙයි. වයඹ පළාතේ අපිට දකින්නට නොලැබෙන දෙයක් වන, කුරුඳු තැලීම කරන්නේ කොහොමද කියලා බලන්නත් ලැබුණා.
10
පි මෙව්වා බලන අතරේ තවත් කට්ටියක් වෙනත් වැඩක නිරතවුණා. ඒ තමයි මාළුවන්ට කියලා තමන්ගේ දෙපා පිරිසිදු කරගැනීම. මේ සඳහා එක්කෙනෙකුගෙන් රු 50/- ක් අයකළා. නමුත් විදේශීය සංචාරකයකුගෙන් නම් ඊට වඩා මහ ඉහළ ගණනක් අය කරන බව දැනගත්තේ, අපේ නඩයේම සිටි, අපේ එක සාමාජිකයකු මේ තැන් හොඳට හඳුනන, සංචාරක මගපෙන්වන්නකු වීම නිසයි.
11
මේ ඉන්නේ ඒ මාළු. මටනම් දුකයි මේ වගේ ලස්සන මාළුන්ට කියලා කකුල් පිරිසිදු කරගන්න. ඒ නිසා මම කළේ මේවා නැරඹීම පමණයි.
12
ඊළඟට අපි ගියේ තවත් දූපතක පිහිටා තියන කොත්දූව රජමහා විහාරය වන්දනා කරගන්නටයි.
13
ශාන්ත නිසසල පරිසරයක පිහිටි මේ විහාරස්ථානය, ඇත්තෙන්ම, සෑම දෙනා තුළම, බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිකරනවා.
14
කොත්දූව පන්සල බලන්න ඇවිත් හිටිය පුංචි සුද්දියෙක් අපේ කණ්ඩායමේ පුංචි කල්ලියෙක් එක්ක බෝ මළුවේ සෙල්ලම් කළා.
15
මාදු ගඟේ සංචාරය ඉවර කරලා එනගමන් කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් බලන්නත් ගියා. හැබැයි සුදු කැස්බෑවන් නම් දකින්න ලැබුනේ නැහැ. මේ ඉන්නේ කුඩා කාලයේ දී අනතුරකට ලක්ව, කටුව කැඩී ගිය කැස්බෑවෙක්.
15a
කොස්ගොඩට ගොඩබැස්සේ, හෝ ගාන පොකුණෙන් නාගන්නයි.
16
මම අපේ ඇත්තිට  මේ ගමන එන්න කලින්ම කිව්වා,  ඉස්සර කැළණි ගඟේ දිය කෙළියේ යෙදුනු ආකාරයට, (අපි දෙන්නා විවාහවූ අලුත දිනපතා නෑවේ කැළණි ගඟෙන්) අදත්, බලා ඉන්න අයට ආදර්ශයක් වශයෙන්, දිය කෙළියේ යෙදෙමු කියලා. ගෙදරදී, අනේ මට බෑ ඔය මිනිස්සු ගොඩේ නාන්න කියලා කියපු ගෑණි, මෙන්න බොලේ  මටත් හොරෙන්ම ඇඳගෙන හිටිය ඇඳුම් පිටින් මූදට බැහැලා.
17
තවම දාසයයි මාසයයි වගේ පෙණුම ......නේද?
අනේ මමනම් බහියි අපේ නඩේ ගෑණු බලා ඉන්දැද්දී. ඊටත් වැඩිය මං වගේ සත්පුරුසයෙකුට එතන කොහොමවත් නාන්න බැහැ. සිල් බිඳෙනවා. මෙන්න මෙව්වා පිරිලා.
IMG_2611
මම අර අපේ කට්ටියට උදව් කළා, වැටකෙයා පඳුරු හෙවණේ අර අරවා කටේ වක්කරගන්න. 12 ක් ඉවරයි කියනවා වගේ යන්තම් මතකයි. කාටද අප්පා ඔව්වා ගණන් මතක තියෙන්නේ. ඔය අතරේ අර මෙව්වා එකක් ආවා එතනින් යන්ඩ. අනේ ඒක පැදන් ආපු හාදයාට කීයක්ද අත මිටමොලවලා ටිකවෙලාවකට අපේ පොඩිඑවුන් ඒකෙ නැගලා විනෝද වුණා.
18
සමහරුන් පණපිටින් වැලලෙන්න ගියා.  
19
 ඕනෙ මගුලක් කරගනින් කියලා අපි යන්න යනකොට මෙන්න නැගිටලා එනවා. 
නීල මහා යෝධයාගේ මල්ලිත් අපිත් එක්ක සංචාරයට ආවා.
IMG_2615
සැන්දෑවට ගලන්න ඉඩ දෙමින් අපි වෙරල තීරයෙන් සමුගත්තේ ආපහු ගෙදර එන්න හිතාගෙනයි.  
20
රෑ වුණා කියලා බලන්නේ නැතුව පටන් ගත්තේ නැතැයි සාජ්ජේ.
22
ඒ වුනාට කොහෙද 13 වෙනි එක ඇරියේ ආපහු එනගමන්. අනේ ඇත්තට මෙහෙමත් .......................
23
ඔන්න ඔහොමයි අපි 2014 වසර වෙනුවෙන් සංචාරයේ යෙදුනේ. ඔක්කොගෙම කැමරා වලින් ගත්ත පින්තූර හාරසිය ගණනකින් තෝරගත්ත ඒවා තමයි මේ දාලා තියෙන්නේ.
my-signature-for-blog[1]2014 පෙබරවාරි මස 23 වැනි දින 0031 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }