හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

30 May 2014

කටපුංචලාගේ ලොකු අයියලා (දෙවැනි කොටස) Machine Guns and There Applications (Part Two)


  Donald Duck Machine Gun  කටපුංචලාගේ ලොකු අයියලා ගැන ලියවෙන  මේ ලිපි මාලාවේ පළමුවැනි කොටස  ඔබ කියවන්නට ඇතැයි මා සිතනවා. සමහරු කියා තිබුණා එය කෙටි වැඩියි කියා. හරි, දිගටනේ ඕනේ. දෙන්නම් දිගට. හැබැයි ඊළඟට කියන්න එපා දිග වැඩියි කියලා. ඇත්තටම සිදුවුණේ මේ ලිපිය කොටස් දෙකකට කඩන්න තරම් කොට වැඩියි, එක කොටසකින් අවසන් කරන්නට තරම් දිග වැඩියි, යන හැඟීමේ මා දෝලනය වීමයි. ඔන්න අදනම් කොච්චර දිග වුනත් ඔක්කොම කියනවා. මුලින්ම එක ඉල්ලීමක් ඉටු කරන්න කැමතියි. පසුගිය කොටසේදී මා සඳහන් කල සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුවේ ගති ලක්‍ෂණ = Characteristics පැහැදිළි කරදෙන මෙන් කර තිබුන ඉල්ලීම පහත ඉටු කරනවා. (පින්තූරය ගත්තේ මෙතනින් )

   මුලින්ම කියන්නම් පසුගිය ලිපියේ සඳහන් කල .303 සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව = LMG එක ගැන.

Bren1

  • වර්ගීකරණය : සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව Light Machine Gun = LMG
  • නිෂ්පාදිත රට : මුල්ම මෝස්තරය චෙකොස්ලෝවේකියාව. වැඩි දියුණු කල මෝස්තරය බ්‍රිතාන්‍යය
  • සේවා කාලය : 1938 සිට 2006 දක්වා
  • අවියේ බර (මෝස්තරය අනුව) : කි.ග්‍රෑම් 10.35 සිට 11.25 දක්වා
  • අවියේ දිග : මීටර් 1.15
  • යොදන පතරොම් වර්ගය : බ්‍රිතාන්‍ය .303 පතරොම, නේටෝ කාණ්ඩයේ 7.62 x 51 පතරොම
  • වෙඩි තැබීමේ වේගය : විනාඩියකට උණ්ඩ 500 - 520 අතර
  • තුවක්කුවෙන් උණ්ඩ පිටවීමේ වේගය (Muzzle Velocity) : තත්පරයකට මීටර් 743.7
  • සඵල වෙඩි දුර (අනිවාර්යයෙන්ම ඉලක්කයක් සපුරා ගතහැකි උපරිම දුර - Effective Range) : මීටර් 550
  • උණ්ඩයක් සාර්ථකව යොමු කළහැකි උපරිම දුර (Maximum range) : මීටර් 1691.61

   පසුගිය ලිපියෙන් කිව්ව ඊළඟ තුවක්කුව තමයි චීනයේ නිෂ්පාදිත 7.62 සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව. පහත දක්වන්නේ ඒ ගැන විස්තරයයි. මේ තුවක්කුවට යොදවන්නේ T 56 ප්‍රහාරක රයිෆලයට යොදන 7.62 x 39 වර්ගයේ පතරොමමයි. ඒ නිසා මේ තුවක්කුව T 56 LMG කියා හඳුන්වන්නට අපේ හමුදාවේ අය පුරුදුවී සිටිනවා.

F1DSARPD1

  • වර්ගීකරණය : සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව LMG
  • නිෂ්පාදිත රට : මේ තුවක්කුව රුසියානු ජාතික Vasily Degtyaryov විසින් 1943 - 44 කාලයේදී සැලසුම්කර සෝවියට් රුසියාවේදී නිපදවන ලද්දේ 1945 දී ය. ඉන්පසු එහි විවිධ මෝස්‌තර නිපදවින. වර්තමානයේදී ශ්‍රී ලංකා යුද හමුදාව පාවිච්චි කරන්නේ 1960 දශකයට පසු චීනයේ නිෂ්පාදිත මෝස්තරයයි.
  • අවියේ බර (පතරොම් රහිතව) : කි ග්‍රෑම් 7.43
  • අවියේ දිග : මීටර් 1.037
  • පතරොම් වර්ගය : මි මී 7.76 x 39
  • විනාඩියකට වෙඩි තැබිය හැකි උණ්ඩ ගණන : 650 - 750 අතර
  • තුවක්කුවෙන් උණ්ඩ පිටවීමේ වේගය (muzzle Velocity) : තත්පරයකට මීටර් 735
  • සඵල වෙඩි දුර : අවම මීටර් 100 සිට උපරිම මීටර් 1000 දක්වා
  • උණ්ඩයක් සාර්ථකව යොමු කළහැකි උපරිම දුර (Maximum range) : මීටර් 1700 ක් පමණ

   මේ අවියේ තවත් එක මෝස්තරයක් තියනවා. නමුත් එය එතරම් ජනප්‍රිය නැහැ. මා හිතනවා එසේ වීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ ඉහත දැක්වෙන LMG එකට පතරොම් 100 ක ඩ්‍රම් මැගසින් එකක් යෙදිය හැකි වුනත් මේ තුවක්කුවට යෙදිය හැක්කේ පතරොම් 75 ක ඩ්‍රම් මැගසින් එකක් වීමයි.  මේ මැෂින් තුවක්කුව T 81 ප්‍රහාරක රයිෆලය ආශ්‍රිතව නිපදවා ඇති නිසා මෙය T 81 LMG කියා හඳුන්වනවා.

400px-Type_81_Machine_Gun

Machine_gun_Type81

   තවත් LMG දෙකක් විතරක් පෙන්නලා LMG ගැන කතාව අවසන් කරන්නයි හදන්නේ මොකද MPMG, GPMG, HMG, කියලා තව ලොක්කො ගොඩක් ඉන්නවා. තව කොටස් හැටහුටහමාරක් ලියන්න වෙයිද මන්දා ඒ ඔක්කොම ගැන කියන්න. කමක් නැද්ද? 1970 - 80 දශක වල ජනප්‍රියව තිබුණු එහෙත් දැන් ක්‍රමක්‍රමයෙන් භාවිතයෙන් ඉවත්වෙමින් පවතින LMG එකක් ඊළඟට පෙනන්නම්. ඒ තමයි FN MINIMI නමැති තුවක්කුව. ඔන්න පහලින් තියනවා.

FN_Minimi_B

1975 වසරේදී බෙල්ජියමේ නිෂ්පාදිත මේ තුවක්කුව අද බහුලවම පාවිච්චි කරන්නේ බෙල්ජියම අවට පිහිටි බටහිර යුරෝපීය රටවල්. අපේ හමුදාවේත් මේ තුවක්කුව තියනවා. නමුත් දැන් භාවිතය අඩුයි. මෙහි අලුත් මෝස්‌තර පවා වැඩියෙන්ම පාවිච්චි කරන්නේ බටහිර රටවල් සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල්. මේ තුවක්කුවේ තාක්ෂණික විස්තර කෙටියෙන් දක්වනවා.


  • නිෂ්පාදිත රට : බෙල්ජියම

  • මුලින්ම නිපදවුවේ : 1975 දී

  • තුවක්කුවේ බර : කි ග්‍රෑම් 6.85

  • තුවක්කුවේ දිග : මීටර් 1.040

  • පතරොම් වර්ගය : පැරණි මෝස්තරය 5.56 x 45 නව මෝස්තරය 7.62 x 51

  • වෙඩි තැබීමේ වේගය : විනාඩියකට උණ්ඩ 700 - 800 අතර

  • සඵල වෙඩි දුර : මීටර් 300 - 1000

  • පතරොම් යෙදීම : උණ්ඩ 200 වැලක් සහිත මැගසිනයක් මගින්
   
ලෝකෙට ලොක්කා ඇමරිකාව මොකක්ද පාවිච්චි කරන LMG එක? කීපයක් තියනවා. බහුලවම පාවිච්චි කරන එක මෝස්තරයක් විතරක් පෙන්වන්නම්. ඒ තමයි M 249 LMG එක. ඇත්තම කියනවානම් මේ තුවක්කුව අර ඉහත දැක්වූ Minimi එකේ, ඉතා දක්ෂ ලෙස වැඩි දියුණු කල මෝස්තරයක්. 1980 දශකයේදී තමයි හදලා තියෙන්නේ. ඉතා සියුම් ක්‍රියාකාරිත්වයකින් යුත් මේ තුවක්කුවේ මිල බදු රහිතව බැලුවත් රුපියල් ලක්ෂ 5.5 ක් පමණ වෙනවා.

PEO_M249_Para_ACOG

   බර කි.ග්‍රෑම් 7.2 යි, දිග මීටර් 1.02, විනාඩියකට උණ්ඩ 800 ක් විතර වෙඩි තියන්න පුළුවන්, 5.56 x 45 පතරොම් යොදන්නේ වැලක් සහිත මැගසින් එකකින්. සඵල වෙඩි දුර මීටර් 700 යි, උණ්ඩයක් යන උපරිම දුර මීටර් 3600 යි.

 ඊළඟ කරුණු වලට යන්න කලින්, Ayilas A විසින් විමසා තිබුණු, ඉතා අගනා පැනයකට අදාළ, කරුණු පැහැදිළි කිරීමක් ඉදිරිපත් කිරීම සුදුසු බව පෙනීගියා. ඔහු අසා තිබුණු ප්‍රශ්නය මේකයි. මේ ලිපියෙන් කතාකරන්නේ මැෂින් තුවක්කු ගැන. ඒවා පූර්ණ ස්වයංක්‍රීයයි කියලා කියවෙනවා. T 56 කියන්නෙත් පූර්ණ ස්වයංක්‍රීය අවියක් full automatic ඉතින් ඒවා මැෂින් තුවක්කු නෙවෙයිද?

   මෙන්න පිළිතුර. T 56 කියන්නේ පූර්ණ ස්වයංක්‍රීය තුවක්කුවක් කියන එක ගැන වාදයක් නැහැ. ඒක ඇත්තයි. නමුත් ඒ වගේ අවියක් එක සෙබළකුගේ තනි පාවිච්චිය සඳහා නිකුත් කරන පෞද්ගලික අවියක් personnel weapon ලෙසයි සැලකෙන්නේ. නමුත් මැෂින් තුවක්කු කියන ඒවා, කුඩා සෙබල කණ්ඩායමක සිට, බලඇණියක් තරම් විශාල සෙබල පිරිසකගේ ආරක්‍ෂාව සහ, යුද බිමේදී අවශ්‍ය ආධාරක වෙඩි බලය support or covering fire  දීම සඳහා යොදාගන්නා, ආධාරක අවි support weapon ලෙසයි සැලකෙන්නේ. ඒවා තනි සෙබළකුට ක්‍රියාකරවන්න අමාරුයි. අවම වශයෙන් දෙදෙනකුවත් අවශ්‍යයි. ඒ නිසා තනි සෙබළකුට නිකුත් කරන්නෙත් නැහැ.

  ඉතින් මොකක්ද මේ සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු වලින් ගන්න ප්‍රයෝජනේ? යුද්දෙදි මේවා යොදවන්නේ කොහොමද?

   හොඳයි, ඒ විස්තර කෙටියෙන් කියනවානම් මෙන්න මෙහෙමයි. සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුවක් කියන්නේ, හමුදාවක තියෙන කුඩාම ඒකකය වන, සෙබළ පෙළක - section තිබෙන ආධාරක අවියයි. section support weapon ඔන්න ඉතින් ආයෙත් අමතක කරලනේ සෙබළ පෙළක් කියන්නේ මොකක්ද කියන එක. ඉතින් කොහොමද මේ පන්තිය කරන්නේ? යනවා යනවා, දුවලා ගිහින් බලාගෙන එනවා හමුදාවේ ඒ ඒ සංවිධාන ව්‍යුහයන් මොනවද කියන එක. මේ ලිපියේ ඉදිරි කොටස් තේරුම් ගන්න ඒ දැණුම නැතුව බැහැ.

   සෙබළ පෙළක ඉන්න ලාන්ස් කෝප්‍රල් Lance Corporal අතේ තමයි LMG එක තියෙන්නේ. ඔහුගේ ආධාරයට තවත් සෙබළකු ඉන්නවා. සෙබළ පෙළ යුද බිමේ ඉදිරියට යද්දී, ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා ආවරණ වෙඩි (විශාල කෝණයක් ආවරණය වන පරිදි හෝ කිසියම් තැනකින් එල්ල වන සතුරු වෙඩි මැඩපැවැත්වීම සඳහා හෝ එල්ල කරන ප්‍රබල වෙඩි මුරය) සැපයීම සඳහා තමයි LMG එක යොදවන්නේ. හමුදා සිතියමක LMG එකක් ලකුණු කරන සංකේතයක් තියනවා. ඒ මොකටද? පස්සේ කතාකරමු වෙන ලිපියකින්. මෙන්න ඒ සංකේතය.

Japanese_Type_11_LMG_from_1933_book

  මෙය නිල් පාටින් ලකුණු කර තිබුනොත්, එය අපේ එකක්. රතුපාටින් නම්, සතුරාගේ එකක්. මේ ළකුණ සහ සිතියමේ ඇති ඊතල ලකුණු මාරු වෙන්නේ නැහැ. හමුදා සිතියමක ඊතල ලකුණු කරන්නේ මීට වඩා වෙනස් හැඩයකින්.

  හොඳයි, අද ලිපිය අවසන් කරන්න කලින් මේ පූර්ණ ස්වයංක්‍රීය full automatic කියන එක තව ටිකක් විස්තර කරලා දෙන්නම්. පූර්ණ ස්වයංක්‍රීය කරණය ක්‍රම දෙක තුනකින් සිද්ධ වෙනවා. ඔන්න එක ක්‍රමයක් කියලා දෙන්නම්. අපි කවුරුත් දන්නා T 56 තුවක්කුවෙන්ම කියන්නම්කො. කොහොමද එක පිට එක වෙඩි පිටවෙන්නේ කියලා. ඔබට පුදුම හිතෙයි ඒ යාන්ත්‍රනය දැක්කම. තුවක්කුවක් ඇතුලේ පතරොමක් පත්තු වුනාම විශාල වායු පීඩනයක් ඇතිවෙනවා. ඒ පීඩනය ආධාරයෙන් තුවක්කුවේ යාන්ත්‍රණයේ කොටසක් ක්‍රියාකරවන්න පුළුවන්. 

  මේ විදිහට වායු පීඩනයෙන් ස්වයංක්‍රීය කරණය හඳුන්වන්නේ gas operated automatic gun කියලයි. T 56 තුවක්කුව ඇතුලේ තියනවා වායුවෙන් සිසිල්වන පිස්ටනයක්. මේ පිස්ටනය  පළමුවරට ඉදිරියට යැවීම සඳහා බලය දෙන්නේ තුවක්කුව කොක් කිරීමෙන් හෙවත් කොකින් හැඬලය පසුපසට ඇදීමෙන්. ඊට පස්සේ එය පසුපසට එන්නේ පතරොම පත්තුවී දෙන වායු පීඩනයෙන්. උණ්ඩ ඉවර වෙනතුරු එය ස්වයංක්‍රීයව සිදුවෙනවා. නැවත මැගසින් එකක් සවිකලොත් ආයෙත් කොක් කරන්න ඕනේ. පහත තිබෙන සටහන සහ වීඩියෝව බලා ප්‍රශ්න ඇත්නම් අහන්න.

KONICA MINOLTA DIGITAL CAMERA






  LMG ගැන මේ කතාකරපු දේවල් හොඳටම ඇති. ඊට වැඩිය සංකීර්ණ තොරතුරු කියන්න ගියොත් LMG අජීර්ණය හැදෙන්න ඉඩ තියනවා. ඊළඟ කොටසින් හමුවෙමු. 


my-signature-for-blog[1]   2014 මැයි මස 30 දින 0035 පැය

25 May 2014

කටපුංචලාගේ ලොකු අයියලා (පළමුවැනි කොටස) Machine Guns and There Applications (Part One)


download (1)    'කලකට පස්සේ වෙලකට බැස්සේ' කියලා පැරණි කියමනක් තියනවා අහලා ඇති නේද? ඔන්න මමත් කාලෙකට පස්සේ තමයි යුද අවි ගැන එහෙමත් නැත්නම් හමුදාවට සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපියක් ලියන්නේ. මම හිතන්නේ 'සංග්‍රාමයේ පියසටහන්' ලිපියෙන් පස්සේ තමයි මේ 'හමුදා ලිපියක්' ලියන්නේ. සෑහෙන කාලයක්.

   සමහරු නෝක්කාඩු කියලත් තිබුණා, අපි මේ අඩවියට එන්නේ හමුදා තොරතුරු මිසක් වෙන වෙන දේවල් බලන්න නෙවේ කියලා. තවත් සමහරු අහලා තිබුණා හමුදා තොරතුරු උල්පත හිඳිලද කියලා. අනේ නැහැ. ඒ ගඟ එහෙමම තියනවා. තවත් තොරතුරු මහා ගොඩක් තියනවා එකතු කරගෙන. ඉතින් ඒ තොරතුරු ගංගාවෙන් දැණුම නමැති දිය දෝත බැගින් ගෙන ඔබට පොවන්නම් ඉදිරියේදීත්. 2013 දී ආරම්භ කළ කෙටුම්පත් පවා තවම තියනවා. හොඳයි හොඳයි. තරහ අවසර, මෙන්න ලියනවා හමුදා කතන්දරයක්.

  කටපුංචලා ගැන මීට කලින් අපි කතාකළා මතකද? මතක නෑ? හයියෝ.......ඕකනේ කියන්නේ අතීතය අමතක කරන්න එපා කියලා. හොඳයි හොඳයි, කමක් නැහැ. ඉස්සර කතාකරපු කට පුංචලාගෙන් දෙන්නෙක්ව වත් මතක් කරගන්නකො මෙන්න මෙතනින් ගිහින්. ඊට කලිනුත් කටපුංචලා ගැන කියලා තියන බව අමතක කරන්න එපා. ඕනෙනම් තවත් පරණ ලිපි අවුස්සා බලන්න. තුවක්කු ගැන ජීවිත කාලයක් ලිව්වත් ඉවර කරන්න බැරි බව මම මීට කලින් ලිපිවලදීත් ඔබට කියලා ඇති. (පින්තූරය ගත්තේ මෙතනින්


   මෙවර මම ඔබ අතට පත්කරන්නේ;
  • මැෂින් තුවක්කු කියන වර්ගීකරණයට වැටෙන තුවක්කු.
  • පාවිච්චි කරන ආකාරය අනුව ඒවා වර්ග කරන හැටි.
  • යුද බිමේදී ඒවා යොදවන ආකාරය. පිලිබඳ විස්තරයි.
   හැබැයි ඉතින් 'අ'යන්නේ ඉඳලා 'අඃ'යන්නට වෙනකල් ඔක්කොම කියන්න බැහැ. සමහර දේවල් හංගන්න වෙනවා. හමුදාවේ රහස්‍ය තොරතුරු පිළිබඳව කටයුතු කිරීමේදී එක්තරා ප්‍රමිතියක්, නීතියක්, පිළිවෙතක්, තියනවා. ඒ තමයි අවශ්‍ය පුද්ගලයාට, අවශ්‍ය ප්‍රමාණයට, සීමාකොට තොරතුරු ලබාදීම. need to know basis කියලා තමයි ඒ පිළිවෙත හඳුන්වන්නේ. ඉතින් ඔබටත් ඒ හැන්දෙන් තමයි බෙදන්න වෙන්නේ. තරහ නැහැනේ. නමුත් ඔබ ජීවිතේ කවදාවත් අහලා නැති තොරතුරු මෙතන තියනවා.

   මේ අඩවිය ඇසුරු කිරීම නිසා, විවිධ ගිනි අවි ගැන පමණක් නෙවෙයි, කාලතුවක්කු ගැන වුනත් ඔබට යම් දැණුමක් තියනවා. ඒ අතරේම, මම මීට පෙර, ඔබට පරණ මැෂින් තුවක්කුවක් ගැනත්, අලුත් මැෂින් තුවක්කුවක් ගැනත්, කියාදී තිබෙනවා. ඒ නිසා 'මැෂින් තුවක්කු' කියන යෙදුම ඔබට එතරම් අලුත් දෙයක් නෙවෙයි. ඒ වුනාට ඉතින් මම දන්නවනේ කට්ටියගේ හැටි. දැන් අහයි මෙන්න මෙහෙම........


මොකක්ද මැෂින් තුවක්කුවක් කියන්නේ? 

  මැෂින් තුවක්කුව කියන එක තුවක්කු පිලිබඳ තාක්ෂණය පදනම් කරගනිමින් නිර්වචනය කරන්නේ මෙහෙමයි. 'තුවක්කුවේ කොකා trigger මිරිකාගෙන සිටිනතාක්කල්, එම තුවක්කුවට යොදවා ඇති සියලුම උණ්ඩ අවසන් වනතුරු, සීඝ්‍රයෙන් නොකඩවා වෙඩි තැබියහැකි තුවක්කුව, මැෂින් තුවක්කුවයි' එමෙන්ම, එකක් පසුපස එකක් වශයෙන් තමයි මැෂින් තුවක්කුවකින් උණ්ඩ පිටවෙන්නේ. මෙයින් පෙනෙනවා නේද මැෂින් තුවක්කුව සම්පූර්ණ ස්වයංක්‍රීය තුවක්කුවක් කියන එක. එතකොට සම්පූර්ණ ස්වයංක්‍රීය නොවන තුවක්කුත් තිබෙන බව පෙනෙනවා. අපි ඉස්සරවෙලාම ඔය වර්ග දෙක පැහැදිළිව තේරුම් ගම්මුද? ඒ කියන්නේ, අර්ධ ස්වයංක්‍රීය තුවක්කු සහ සම්පූර්ණ ස්වයංක්‍රීය තුවක්කු කියන වර්ග දෙක. 


අර්ධ ස්වයංක්‍රීය තුවක්කු - Semi Automatic Guns
   
   මේ තුවක්කුවකට පතරොම් සහිත ගැබක් හෙවත් මැගසින් - magazine එකක් සවි කරලා, වෙඩි තැබීමට සූදානම් cock කළපසු, තුවක්කුවේ කොකා trigger, මිරිකන එක වාරයකට එක උණ්ඩයක් පිටවන අතර, ස්වයංක්‍රීයව ඊළඟ උණ්ඩය පත්තුවීමට සූදානම් කරනවා. හැබැයි සෑම උණ්ඩයක්ම වෙඩි තැබීම සඳහා යලි යලිත් ට්‍රිගරය මිරිකිය යුතුයි. බලන්න පහළ තිබෙන වීඩියෝවෙන් පෙන්වන්නේ අර්ධ ස්වයංක්‍රීය ලෙස තුවක්කුවක් ක්‍රියාකරන ආකාරයයි. (තත්පර 12 යි යන්නේ බයිට් ගැන නොහිතා බලන්න. නැත්නම් දැණුම ලැබෙන්නේ නැහැ)







පූර්ණ ස්වයංක්‍රීය තුවක්කු - Full Automatic Guns

   අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. තේරෙනවනේ. පූර්ණ ස්වයංක්‍රීය කියන්නේ, පතරොම් ගැබක්/වැලක් සවිකරලා, වෙඩිතැබීමට සූදානම් කර, (කොක් කර) කොකා හෙවත් ට්‍රිගරය මිරිකාගෙන සිටිනතුරු, සියලු පතරොම් අවසන්වන තෙක් වෙඩි තැබිය හැකි තුවක්කුවයි. ඔන්න බලන්න පහළ වීඩියෝවෙන් පූර්ණ ස්වයංක්‍රීය තුවක්කුවක ක්‍රියාකාරිත්වය. මෙහිදී, පූර්ණ ස්වයංක්‍රීය තුවක්කු කීපයක්, වෙඩි තැබීමට සූදානම් කරන ආකාරයත්, වෙඩි තබන ආකාරයත්, ඉතා පැහැදිළිව පෙන්වා දෙනවා. 






ඔන්න දැන් තේරෙනවා නේද පූර්ණ ස්වයංක්‍රීය කියන නම්බු නාමය ගන්න නම් පට පට ගාලා වෙඩි තියන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි දැන් අපි බලමු මැෂින් තුවක්කු වර්ග මොනවද තියෙන්නේ කියලා. ඒ කියන්නේ වෙළඳ නාම නෙවෙයි. එහෙම කියන්න ගියොත් ලිපි දහයක් විතර ලියන්න වෙයි. මොකටද වෙළඳ දැන්වීම් ලියන්නේ :D

  මැෂින් තුවක්කු;
  •   ඒවායේ ප්‍රමාණය Size
  • වෙඩි බලය Fire Power
  • යුද බිමේදී පාවිච්චි කරන ආකාරය Application 
   අනුව වර්ග කර තිබෙනවා. මෙන්න මේ විදිහට තමයි වර්ග කර තිබෙන්නේ;
  • සැහැල්ලු මැෂින් තුවක්කු - Light Machine Guns = LMG
  • මධ්‍යම ප්‍රමාණයේ යෙදවුම් සඳහා මැෂින් තුවක්කු Medium Purpose Machine Guns = MPMG
  • විශාල (බර) මැෂින් තුවක්කු Heavy Machine Guns = HMG
   හොඳයි. ඊළඟට මේ තුවක්කු එකින් එක ගැන විස්තර කතාකරමු.

   මුලින්ම සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව හෙවත් LMG එක.

  අපේ හමුදාව 1980 දශකයේ මුල් කාලය දක්වා පාවිච්චි කළේ, බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත, .303 LMG වර්ගයේ සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුවයි.

G__0939_BrenLMG_720

   මීට කලින් මම ඔබට ඒ තුවක්කුව ගැන දීර්ඝ විස්තරයක් කියාදී තිබෙන බව අමතක කරන්න එපා. ලෝකයේ මුල් වරට සම්පූර්ණ ස්වයංක්‍රීය තත්වයේ සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුවක් හදලා තියෙන්නේ 1908 තරම් ඈත අතීතයෙදීයි. ප්‍රංශ යුද හමුදාවේ කර්නල් වරයකු විසින් තමයි එය නිපදවා තිබෙන්නේ. "Fusil Mitrailleur Modele 1915 CSRG" ( in English: "Machine Rifle Model 1915 CSRG" )

csrg_1915_1

  1920 දශකය පමණ වනවිට ජපානයත් LMG එකක් නිපදවා තියනවා. එය හඳුන්වා තිබෙන්නේ Type 11 Machine Gun යනුවෙන්. පහත දක්වන්නේ ඒ තුවක්කුවයි.


Japanese_Type_11_LMG_from_1933_book


   අද අපේ හමුදාව පාවිච්චි කරන ප්‍රධාන (එකම) සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව තමයි චීනයේ නිෂ්පාදිත 7.62 x 39 මැෂින් තුවක්කුව. මෙය රුසියානු RPD තුවක්කුවේ කොපියක්.    RPD (Russian: ручной пулемёт Дегтярёва Ruchnoy Pulemyot DegtyaryovaEnglishhand-held machine gun of Degtyaryov) එක වරකට පතරොම් 100 ක ඩ්‍රම් මැගසින් එකක් යොදවා වෙඩි තැබිය හැකි මෙම තුවක්කුව සඳහා දෙදෙනෙකු යොදවා සිටියත් අවශ්‍යනම් එක් අයකුට මෙය අතේ තබාගෙන වුනත් වෙඩි තියන්න පුළුවන්. පින්තූරයට පහළින් තියන වීඩියෝවෙන් බලන්න මේ තුවක්කුවෙන් වෙඩි තියන හැටි.


F1DSARPD1







   අදට මේ ඇති නේද? ඉතුරු ඔක්කොම කියන්න ගියොත් මහා දීර්ඝ සහ සංකීර්ණ ලිපියක් වෙනවා. ඊළඟ කොටසින් හමුවෙමු.


my-signature-for-blog[1]     2014 මැයි මස 25 දින 0039 පැය




16 May 2014

සතුරා සමග සෙනෙහසින් - Stockholm Syndrome

   මේ කතාව කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් මා කියන්නට උත්සාහ කරනදේ ඔබ වටහාගනු ඇතැයි කියා මා තුළ දැඩි විශ්වාසයක් තියනවා. සමහරු කියනවා මම මානසික වශයෙන් පීඩනයට පත්වෙලා ඉන්නවා කියලා. දොස්තරවරු කියනවලු ඒ තත්වයට කියන්නේ Stockholm Syndrome කියලා. මට ඒ මොකවත් තෙරුම්ගන්නවත්, පිළිගන්නවත් අවශ්‍ය නැහැ. මට වැදගත් මගේ කතාවයි. මම ඒ කතාව කියනකම් ඔබ අහගෙන ඉන්නවා නේද? ඔබ මාව තේරුම් ගත්තොත් මට ඒ ඇති.

   ඔබට පුලුවන්ද ඔබේ සතුරා සමග ස්නේහයෙන් බැඳෙන්න? ඔහු ඔබට දරුණු ලෙස සලකද්දීත්, ඔහුට වචනයකින්වත් විරුද්ධ නොවී ඉන්න? ඔහු කවුදැයි කියා තවමත් හරිහැටි නොදැන, ඔහු සමග හැමදාම ඉන්නට වුනත් කැමතියි කියන්න? ..........මම එහෙම කළා.........

   කතාව ඉවරවුනාම ඔබ කියයි මට පිස්සු කියලා. ඔව් මම දන්නවා මට පිස්සු. හැබැයි මට පිස්සු හැදෙව්වේ මගේම මාමා. මගේ සුන්දර ළමා ලෝකය විනාශ කරලා, ඔහුගේ සිතැඟි පරිදි, මාව මල් කැකුළක්, බෝනික්කියක්, වගේ කියා රවටා, මා විනාශ කලේ ඔහු. ඔහුගෙන් ලැබුනේ වැඩිහිටියකුගෙන් බලාපොරොත්තුවෙන රැකවරණය නෙවෙයි. විනාශය, වේදනාව, බලාපොරොත්තු සුන්වීම, කලකිරීම. මගේ අම්මා? ඔව් අම්මා.......එදා මම ඒ ඔක්කොම අම්මට කිව්වම, අම්මා කිව්වේ, කාටවත් කියන්න එපා කියන එක විතරයි. ඇයි අම්මේ එහෙම කළේ?..........ඇයි?....ඇයි?

  මගේ නම 'වීරා ත්‍රිපාටි'. මගේ පියා කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඔහුට බොහොම බලගතු දේශපාලනඥයන් සහ ලොකු ලොක්කන් සමග සමීප සබඳතා තියනවා. 'විනේ' කියන්නේ මගේ අනාගත සැමියා. අපේ විවාහය තීන්දුයි. මම හරිම කැමතියි ත්‍රාසය මුසු නිදහසට. මම විනේට පෙරැත්ත කළා හයිවේ එක දිගේ රාත්‍රියේ කාර් එකෙන් ටිකක් දුර යමු කියලා. ඔහු මුලදී අකමැති වුනත් මගේ දැඩි ඉල්ලීම නිසා එකඟ වුණා. 

21

  නමුත් අපි දෙන්නම නොසිතූ ඉරණමකට ගොදුරුවෙන්න සිදුවුනා අපිට. කාරෙකට ඉන්ධන ලබාගන්න ගිය වෙලාවේදී එක්තරා පිරිසක් විසින් මාව පැහැරගනු ලැබුවා. ඔවුන් කවුද මට මොනවා වෙයිද කියන එක මට හිතාගන්නවත් බැරිවුණා.

22


3


7

   එතැන් සිට මට අත්වුණේ මහා පුදුම ඉරණමක්. මාව පැහැරගත් පිරිස දෙකඩ වුණා. එයට හේතුව මගේ පියා බලගතු පුද්ගලයකු කියා දැනගත් පසු, තමන් අමාරුවේ වැටෙයි කියා හිතපු පිරිසක් වෙන්වී යාම නිසයි. නමුත් මා පැහැරගත් 'මහබීර් භාති' නමැති පුද්ගලයා මා රැගෙන රට පුරාම නොනවතින ගමනක යෙදෙන්න පටන්ගත්තා. එක තැන රැඳුනොත් මා සොයාගනියි කියන බයටයි ඔහු එහෙම කළේ. මෙන්න මේ ලොරියෙන් තමයි මාව අරගෙන ගියේ.

4

   මුලදී මේ ගමන මට විශාල කරදරයක්, හිරිහැරයක්, වදයක්, ලෙසයි දැණුනේ. නමුත් මගේ හිතේ ඉස්සර ඉඳලා තිබුන නිදහස සහ ස්වාධීනත්වය කියන හැඟීම් ඉස්මතු වුණේ මෙන්න මේ වෙලාවෙදියි. මාමගේ අතවර නිසා මට අපේ ගෙදර පෙනුණේ අපායක්, ගිනිගොඩක්, හිරගෙයක්, වගේ. එදා විනේ එක්ක නිදහසේ රවුමක් යන්න හිතුනෙත් ඒ නිසයි. මට ඕනේ කිරිල්ලියක් වගේ නිදහසේ පියාඹන්න. ඉතින් දැන් හිරකාරියක් ලෙස වුනත්, මම යන්නේ එක්තරා නිදහස් ගමනක් කියලයි මට හිතුණේ. ඒ නිසා මාව පැහැරගත් මහබීර් ට මම කිව්වා, මම පැනලා යන්නේ නැහැ මට නිදහසේ ඉන්න දෙන්න කියලා. 

5

  මට වැටහුනා මහබීර් ටිකෙන් ටික මාව තේරුම් ගන්න බව. මෙතෙක් දවස් ලොරියේ පිටිපස්සේ හංගගෙන ගිය මට, ලොරියේ ඉදිරිපස අසුනේ ඉඳගෙන යන්න අවස්ථාව ලබුණේ, මම කරපු එක පුදුමාකාර වැඩක් නිසා. එක තැනකදී පොලීසියෙන් ලොරිය පරීක්ෂා කරද්දී, මම කාටවත් හොයන්න බැරිවෙන්න ලොරිය ඇතුළේ හැංගුනා. ඒ නිසා වෙන්න ඇති මහබීර් ටිකක් මට බුරුලක් දුන්නේ.  ඒ ගමන්ම මහබීර් සමග වචනයක් දෙකක් කතාකරන්න මට පුළුවන්කම ලැබුණා. මම උත්සාහ කළේ හැකිතරම් ඔහුගේ සිතට එබී බලන්නයි. නමුත් ඔහුගේ හිතේ තියෙන්න ඇත්තේ, මාව ඇපයට තියා කප්පම් ගන්න බවත්, හැකිනම් මාව ගණිකා මඩමකට විකුනන්න ඔහු නොපැකිලෙන බවත්, මම දැනහිටියා. ඒ ඔක්කොම එහෙම වුනත්, මට ඔහු සමග කිසියම් සුහදතාවක් ගොඩනගාගන්න ඕනෑවුණා.

13


9

   තමන් මහා දරුණු මිනීමරුවෙක් මංකොල්ල කාරයෙක් කියලා මහබීර් මට බොහොම දරදඬු විදිහට කියලා තිබුණා. නමුත් මට හිතුනා ඔහුට තවත් ටිකක් ළංවී බලන්න. මහබීර් කුඩා කාලයේදී ඔහුගේ මව කියාදුන් නැලවිලි ගීතයක් මට අල්ලාගන්න පුළුවන් වුණා. මම ඒ ගීතය ටිකෙන්ටික මුමුනද්දී ඔහු වෙනස්වුනා. හරියට නයි නලාවේ හඬින් දැපනේ වැටෙන නයකු වගේ.

14

   ඔහුගේ ගල් හිත මොලොක් කරන මන්තරේ මට අහුවීමේ ප්‍රඵලය වුණේ, ඔහු තුළ මා කෙරෙහි යම් සෙනෙහසක්, අනුකම්පාවක්, වැනි හැඟීමක් ඇතිවීමයි.

8


12

   නමුත් ඔහුට හිතෙන්න ඇති ඔහුගේ ප්‍රධාන අරමුණ මේ විදිහට මා එක්ක බැඳීමක් ඇතිකරගන්න එක නෙවෙයි කියලා. අනික් අතට මාව නිකම්ම අතහැරලා දාලා යාමෙන් මට අනතුරක් වෙයි කියන හැඟීමත් ඔහු තුළ තියෙන්න ඇති. ඒ නිසා ඔහු එක් දිනක් මාව රැගෙන පොලීසියක් ළඟට ගොස් මට කරුණාවෙනුත්, තදිනුත්, කිව්වා පොලීසියට භාරවෙන්න කියලා. නමුත් මට ඕනෑවුණේ මහබීර් එක්ක යන මේ කෙළවරක් නොදත් ගමනේ දිගටම යෙදීම මිසක් ආපහු ගෙදර යාම නෙවෙයි.

15


29

   අන්තිමේදී ඔහු තීරණයක් ගත්තා. ඔහු මාවත් රැගෙන ඉන්දියාවේ ඇති සුන්දරතම ප්‍රදේශයක් වන කාශ්මීරයට ගියා. ඒ ගමන මගේ ජීවිතයේ සුන්දරතම අත්දැකීමක් වුණා. ඔබ කවදාහරි බස් රථයක වහලය මත නැගී ගමන් කර තියනවද. සීතල හිම කඳු අතරින් ගිය ඒ ගමන මටනම් දැනුනේ දිව්‍ය ලෝකයට යනවා වගේ.

16


25


26


27

  කාශ්මීරයෙදී අපි එඬේර ගම්මානයක ජනතාව සමග මිතුරු වුණා. ඔවුන් අපිට නවාතැන් දුන්නා ඔවුන්ගේ නිවහනක. ජීවිතයේ පළමුවෙනි වතාවට, මම, අර පෙම්වතුන්ගේ සිහිනයක් වන, ලස්සන පලාතක ඈත කන්දක හදපු, පුංචි ගෙයක මගේ සිතගත් කෙනා එක්ක තනිවුනා. එදා ඔහුගේ සිත මුළුමනින්ම විවර වුණා. ඔහු කුඩා දරුවකු මෙන් හඬා වැලපුනා. ආදරය, සෙනෙහස, අනුකම්පාව, ප්‍රේමය, ආත්මාවබෝධය, වැනි සියලු සීමාවන් පසුකර යන්නට අපි දෙදෙනාට හැකිවුණේ ඒ සුන්දර පරිසරය තුළදීයි.

19


20

  ඒ පුංචි නිවහනේ ගතකල රාත්‍රියෙන් පසු මට දැනුනේ මගේ ජීවිතයේ සියල්ල සම්පූර්ණ වූ බවයි. පසුදා උදේ ඔහු ඒ පුංචි නිවහනට පහළින් ඇති මිටියාවතේ සිටියා. මා ඔහු දෙස බලාගෙන, කවදත් ටිකක් සැර මගේ කට පාවිච්චි කරමින් හිටියා. ඒ වෙලාවේ...............

23

  ඔව්, ඒ වේලාවෙන් පස්සේ මොකද වුණේ කියලා ඔබම බලනවානම් තමයි හොඳ.

Highway_Hindi_Film_Poster
my-signature-for-blog[1]     2014 මැයි මස 15 දින 2225 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }