හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

28 July 2014

අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (පළමුවැනි කොටස) The Battle Tank (Part One)

centurion-main-battle-tank-2
   ටැංකි කිව්වම ඉතින් අපේ මතකයට එන්නේ ඔය එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරන ටැංකි වර්ගනේ. ඒ කියන්නේ ගෑස් ටැංකි, වතුර ටැංකි, ඉන්ධන ටැංකි, වගේ දේවල්. මොකද ඒවා තමයි අපේ ජීවිතයට සමීප. නමුත් අපේ ජීවිතය තීරණය කරන ටැංකිත් තියනවා. එක අතකට අර කියපු ටැංකිත් අපේ ජීවිතය තීරණය කරනවා තමයි. මොකද වතුර බිල, ලයිට් බිල, ඉන්ධන මිළ, ගැන සළකා බැලුවම, අපේ ජීවිත කොයිතරම් තීරණාත්මක තත්වයට පත්වෙනවද? පාරේ කොච්චර වාහන ගියත් ටැංකිය පිරෙන්න ඉන්ධන ගන්නේ ඒ වාහන හිමියන්ගෙන් කීයෙන් කී දෙනාද? දිනපතා මෝටර් බයිසිකල් පාවිච්චි කරන අයනම් ඒ බව හොඳට දන්නවා. මොනවා කරන්නද? රටේ ආර්ථිකයට අනුව හැඩගැහෙනවා මිසක්. නමුත්, මේ චූර්ණිකාව ඔබවෙත ගෙනාවේ, ජීවිතයවත් ආර්ථිකයවත් ගැන කියන්න නෙවෙයි. භයානක මෙන්ම, යුද්ධයක තීරණාත්මක යුද අවියක් වන, යුද්ධ ටැංකිය ගැන කියන්නයි. කැමතිද දැනගන්න? එහෙනම් දිගටම කියවන්න. යුද්ධ ටැංකි ගැන ලිපියක් ලියන්න කියලා ඉල්ලීම් ආවේ දැනට සෑහෙන කලකට ඉහතදී. නමුත් නොයෙකුත් හේතු නිසා ඒ ඉල්ලීම ඉටු කිරීම ප්‍රමාද වුණා. ඔන්න අද ඒ ඉල්ලීම ඉටුකරණවා.


  ඔබට මතක ඇති මා මීට ටික කලකට පෙර, කාලතුවක්කු ගැන ලිපියක් ලිව්වා. මා එහිදී සඳහන් කළා, මා කාලතුවක්කු හමුදාවට අයත් නිළධාරියකු නොව, පාබළ නිළධාරියකු බවත්, කෙසේ වෙතත් මා සතු දැණුමෙන්, කාලතුවක්කු ගැන ඔබට යම් සතුටුදායක අවබෝධයක් ලබාදියහැකි බවත්. දැන් මේ යුද්ධ ටැංකි ගැන කියනකොටත්, ඒ ටිකම තමයි මුලින්ම කියන්නට තියෙන්නේ. මා අයිති, යුද්ධ ටැංකි පාවිච්චි කරන, සන්නාහ සන්නද්ධ බලකායට නෙවෙයි. (Armoured Corps) නමුත්, යුද ටැංකි ගැන මා සතු දැණුමෙන්, ඔබට යම් සතුටුදායක දැණුමක් ලබාදෙන්නම්.


  හැමදාම වගේ පුංචි කතන්දරයකුත් කියලම ඉන්නද? ඉස්සර අපේ රටේ හිටිය රාජ්‍ය නායකයකු, බොහොම සාම්ප්‍රදායිකව හැදුනු වැදුණු, නියම සිංහලයෙක්. එතුමා තම මෘදු ගතිගුණ නිසාත්, අල්පේච්ඡතාව නිසාත්, ප්‍රසිද්ධයි. රාජ්‍ය නායකයා වුනත්, ගමේ ගියාම, සරමක් ඇඳගෙන, ඔලුවේ සුම්බරයක් බැඳගෙන, ඉස්සර වගේ තමන්ගේ කුඹුරු බලන්න, පාන්දරින්ම ටිකක් ඇවිදින්නත් එතුමා අමතක කළේ නැහැ. ඒ වෙලාවට, තමන්ගේ ආරක්ෂාවට ඉස්සරහින් පස්සෙන් එන්න හදන ආරක්ෂකයන්ට, බැනලා පන්නගන්නවා 'මට නිදහසේ ඉන්න දීපියවූ' කියලා. මේවා සම්පූර්ණ ඇත්ත තොරතුරු.


  0000-ctank_2අපේ රටට ලොකු යුද්ධ ටැංකි (පස්සේ විස්තර කියන්නම්) ගෙනාව කාලේ, එක්තරා කඳවුරකදී, එතුමාට ඒවා පෙන්නුවා. බොහොම සතුටෙන් ඒවා නිරීක්ෂණය කළ එතුමා, 'මේවගෙන් හොඳ පිට්ටනි දෙක තුනක් කපාගන්න වුනත් පුළුවන් නේ' කියා එහි සිටි හමුදා ප්‍රධානියකුගෙන් ඇහුවා. ඉතින් ඒ හමුදා ප්‍රධානියා, බොහොම කාරුණිකව තේරුම් කර දුන්නා, පෙණුමෙන් බුල්ඩෝසර වල මෙන් දෙපැත්තේ 'ට්‍රැක්' සවිකර තිබුණත්, මේවා බුල්ඩෝසර් නොව යුද්ධ ටැංකි බවත්, බුල්ඩෝසරයක මෙන් පස් කපන තලයක් මෙහි නැති බවත්. මේ කොටසනම් ඉතින් පොඩි ප්‍රබන්ධයක් හොඳේ.


  හොඳයි, ඉතින් දැන් මොනවද දැනගන්න ඕනේ? යුද්ධ ටැංකියකින් යුද්ධ කරන හැටිනේ දැනගන්න ඕනේ? අනේ මන්දා, අන්ධයාට කිරි ගැන කියලා දුන්නා වගේ වෙයිද දන්නේ නැහැ අන්තිමට. හරි හරි, බලමුකො කොහොම කොහොම හරි ටික ටික කතාව ඉදිරියට අරන් යන්න. හැබෑටම මොකද මිනිසාට හිතුණේ මේ යුද්ධ ටැංකිය කියලා දෙයක් හදන්න? ඒකත් රසවත් කතාවක්. අපි හොයලා බලමුද යුද්ධ ටැංකියේ ඉතිහාසය? මොකද අනේ මේකට 'ටැංකිය' කියන්නේ? ඔන්න ඇහුවා කතාවක්. මතකද කාලතුවක්කු ගැන කියද්දීත්, මොකද ඒකට කාලතුවක්කුව කියන්නේ කියලා ඇහුවා? ටැංකිය යනුවෙන් මෙය හඳුන්වන්නට හේතුවී තිබෙන්නේ මෙහි ක්‍රියාකරු කණ්ඩායම, (crew) මෙහි ඇති, ටැංකියක් වැනි හැඩයේ කොටස තුළට බැස, තම සංග්‍රාමික කාර්ය භාරයේ යෙදෙන නිසායි.  සංග්‍රාමික කාර්යයේදී පමණක් නොවෙයි, සිය ජීවිත කාලය පුරාම මිනිසාට නවමු අදහස් පහළ වෙනවා. මෙයත් එවැනි නවමු සංකල්පයක්.


  හැබැයි මුලින්ම මෙවැනි සංකල්පයක් ඉදිරිපත් කල තැනැත්තා ලෙස සැලකෙන්නේ විශ්වකර්ම චින්තක, ලියනාඩෝ ඩා වින්සි නමැති, නවීන විද්‍යාවේ ඍෂි වරයායි. ඔහුගේ සංකල්පය අනුව සැකසු ආකෘතියක් තමයි, මේ පහළ පින්තූරයේ තිබෙන්නේ. නමුත් එය ප්‍රායෝගිකව පාවිච්චි කරලා නැහැ. ඔහුට කරන ගෞරවයක් ලෙස සකසා ප්‍රදර්ශණය කරන්නක්. මෙය ප්‍රංශයේ සුවිශේෂ ස්ථානයක තැන්පත් කර තිබෙනවා.


Da Vinci Tank At Amboise


  'තම සිරුර සතුරු ප්‍රහාර වලින් ආරක්ෂා කරගන්නා අතරම, යුද භූමියේ පයින් ගමන් කරන සොල්දාදුවකුට වඩා වැඩි වේගයකින් ගමන්කර ප්‍රහාර එල්ල කරන්න ක්‍රමයක් තියනවානම් හොඳයි'  කියන අදහස තමයි යුද්ධ ටැංකිය බිහිවීමේ මූලික සංකල්පය.


  ඉතින් ඔය සංකල්පය දිගේ සිය චින්තනය මෙහෙයවූ මිනිසා විසින් නිපදවන ලද මුල්ම සන්නද්ධ රථය තමයි මේ පහළින් තියෙන්නේ. 


Simms Motor Scout 1899


  
  මොකද හිනාවෙන්නේ? හිනාවෙන්න එපා. දන්නවද කොයි කාලේද මේක හදලා තියෙන්නේ කියලා? 1899 දී. ඉතින් ඒ කාලේ හැටියට මදිද මේ වගේ නිර්මාණයක්. මෙය හඳුන්වන්නේ Simms Motor Scout කියලයි. මෙය රෝද හතරක් සහිත යාන්ත්‍රිකව ධාවනය වන රථයක්. ඔබට පෙනෙනවා ඇති පසුපස රෝද දෙක අතර තියන කුඩා එන්ජිම. ක්‍රියාකරුගේ ආරක්‍ෂාව සඳහා ඝන යකඩ තහඩුවක්, (දැන් කාලේ සමහර පොලිස් මෝටර් සයිකල් වල ඇති වා මුවාවෙ හැඩයට) සකසා, රථයේ ඉදිරිපසින් සවිකර ඇති අතර, ලොකු මැෂින් තුවක්කුවක් ද මේ රථයට සවිකර තිබෙනවා. යකඩ තහඩුවේ ඇති කුඩා කවුළුවකින් තමයි ක්‍රියාකරුට ඉදිරි භූමිය පෙනෙන්නේ. සයිකලයේ හැඬලය හරවන පැත්තට තුවක්කුවත් හැරෙනවා. ඉදිරිපස රෝද දෙක මැද පතරොම් පෙට්ටියක් තියනවා. පතරොම් වැල එහි සිට තුවක්කුවට සම්බන්ධ වෙනවා.


  යුද්ධ ටැංකි නිපදවීමට බලපෑ තවත් සාධකයක් වන්නේ යුද අගල්. මොකක්ද යුද අගලක් කියන්නේ? කිසියම් භූමියක දීර්ඝ කාලයක් සටන් පවතින විට පාබල හමුදා සොල්දාදුවන් විසින් යුදබිමේ ලොකු කාණු විශේෂයක් සකස් කරනවා. ඒ කාණුවට බැහැගත්තාම එහි සැඟවී සිට, ඉදිරි භූමිය නිරීක්ෂණය කරන්නත්, සතුරු වෙඩිවලින්, බෝම්බ වලින්, අවම තුවාල ලබා බේරී සිටින්නටත්, හැකියාව ලැබෙන අතරම, ඉදිරියට පැමිණෙන සතුරා නිරීක්ෂණය කර, පහර දෙන්නටත් හැකියාව ලැබෙනවා. මේ බලන්න යුද අගලක හැටි.


a001326


german-trench


   මේ වගේ යුද අගල් තිබෙන භූමියක් හරිම භයානකයි. මේ අගල් යුද භූමිය පුරා විහිදී තිබෙන නිසා සතුරා කොතන සැඟවී සිට පහර එල්ල කරයිද කියලා හිතාගන්න අමාරුයි. අනික මේවා හරියට පිටකොටුවේ හරස් වීදි වගේ තමා විහිදෙන්නේ. මෙන්න මේ නිසා මේ තත්වය මැඩගෙන, තම භටපිරිස් ආරක්‍ෂා කරගනිමින් ඉදිරියට යන්න, බලගතු වහනයක් සෑදිය යුතුයි කියන සංකල්පයත්, යුද්ධ ටැංකිය නිපදවීම කෙරෙහි බලපෑවා.


Caterpillar_experiment_21_Fevrier_1916
බුල්ඩෝසරයක් යුද අගලක් හරහා යන හැටි


   අද කාලයේදීත්, සතුරු යුද්ධ ටැංකි තමන්ගේ ප්‍රදේශයට එන එක වළක්වාගන්න යොදන එක උපක්‍රමයක් තමයි, යුද්ද ටැංකියක් වැටුනොත් ගොඩ එන්න බැරි තරම් පළල, ගැඹුරු, කාණු, යුදබිමේ කැපීම. එව්වා ඉතිං කාණු නෙවෙයි, මහා පතන්දර අගල්. එතකොට කොහොමද එව්වා හරහා යන්නේ? හෙහ් හෙහ්............. කාණුවකට බයවෙලා ආපහු හැරෙන්ඩද කියන්නේ? එව්වට විසඳුම් තියනවා. යේක යෙල්ටීටීඊ අයියලා ඉත්තුවා, කාණු කප්පලා, පෂ් බෙමි හද්දලා, යෙප්පිලාගේ ටෙංකි යෙන්ඩ තෙන්නේ නේ කියලා. පුහ්.....එව්වා කොහෙද අපිත් එක්ක. කාණුවකින් නෙවෙයි, පොඩි ඔයකින් ගඟකින් වුනත් එගොඩ වෙන්ඩ, 'ටිරිකිස් වැඩ' තියනවා. කියනවට වඩා ලේසියි පිචැර්ස් එකකින්ම පෙන්නන එක. ඔං බලාගන්ට මොකෑ වෙන්නේ කියලා.






මීටත් වඩා දියුණු එව්වා දැන් තියනවා. අපේ හමුදාවේත් එව්වා තියනවා. 


   යුද්ධ ටැංකි සංකල්පය ඉතා අගනා බවත්, එයින් විපුල ඵල ප්‍රයෝජන ගතහැකි බවත් වටහාගත් මිනිසා, යුද්ධ ටැංකි නිපදවීම් එදා සිට අද දක්වාම කරගෙන එන අතර, දැන් දැන් එය අභියෝගාත්මක කාර්යයක් බවට පත්ව තිබෙනවා. ලෝකයේ ඕනෑම යුද්ධායුධයකට එරෙහිව වෙනත් ආකාරයේ යුද්ධායුධ නිපදවෙන නිසා, යුද්ධ ටැංකියටත් සතුරන් ඉන්නවා. ඒ තමයි ලොකුම අභියෝගය. සමහර නවීන අවි වලින් සන්නද්ධ තනි පුද්ගලයකුට පුළුවන්, යුද්ධ ටැංකියක් විනාශ කරන්න. අපි ඒ ගැන පස්සේ බලමු. මුල්ම කාලයේ නිපදවුණ යුද්ධ ටැංකි ගැන තවත් විස්තර දැනගන්න ඔබ කැමතිවෙයි. මේ තියෙන්නේ එවැනි පළමුවැනි පරම්පරාවේ යුද්ධ ටැංකි කීපයක්. මේවා සියල්ලක්ම පළමුවැනි ලෝක යුද සමයටයි අයිති. 


Levavasseur_project
යුද්ධ ටැංකියක් කියන්නේ, මෙන්න මේ වගේ දෙයක් කියන එක, 1903 වර්ෂයේදී, ප්‍රංශයේදී, චිත්‍රයකට නැගුනේ, මෙන්න මේ ආකාරයටයි.


1280px-Artillery_tractor_in_France_Vosges_Spring_1915
මේක නම් යුද්ධ ටැංකියක් කියන්න බැහැ. 1915 දී නිපදවන ලද, රෝද වෙනුවට 'ට්‍රැක්' මගින් ධාවනය වන මේ ට්‍රැක්ටරය, යොදාගෙන තිබෙන්නේ, කාලතුවක්කුවක් ඇදගෙන යාමටයි. ඒ නිසා, එක්තරා ආකාරයකින් මෙය, 'සන්නද්ධ රථයක්' කියා කියන්නට පුළුවන්.


Boirault_machine_underway
මොකද්ද මේ යකඩ ගොඩ? ෆුහ්........මේකත් යුදබිමේ යන්න හදපු වාහනයක් තමයි. ඔය යකඩ රාමුව පටියක් වගේ කැරකෙනවා, අර මැද කොටස වටා. මැද කොටසේ තමයි ක්‍රියාකරු සහ 'මගීන්' ඉන්නේ. 1914 දී සැලසුම් කොට 1915 දී ප්‍රංශයේදී නිපදවන ලද මෙම සන්නද්ධ රථය හැඳින්වූවේ, 'බොයිරෝල්ට් මැෂින්' යනුවෙන්.


Fortin_Aubriot_Gabet
සාමාන්‍ය ට්‍රැක්ටර් චැසියකට, ලෝහ ආවරණ තහඩු සවිකර නිපදවා ඇති මේ සන්නද්ධ රථය, කලින් පෙන්වූ ඒවාට වඩා තරමක් ඉදිරියෙන් තිබෙනවා. (වර්ෂය 1915)


Breton-Pretot_machine
මේ යන්ත්‍රයට කියන්න වෙන්නේ 'වැටවල් කඩන්නා' කියලයි. හොඳට බලන්න, මේකත් වැඩි දියුණු කල ට්‍රැක්ටරයක්ම තමයි. මේකෙන් කරන්නේ ඒ කාලේ යුදබිමේ තිබුණු, කටුකම්බි වැටවල් කඩාගෙන ඉදිරියට යන්න, පාබල හමුදාවට උදව් කිරීමයි.


Frot_Laffly_28_March_1915
මේකත් මහ සද්දන්ත එකක් කියලා පෙනෙනවා නේද? ඒ කාලෙටනම් හොඳයි. යන්නේ ගොලුබෙලි වේගෙන්. හසුරවන්න අමාරුයි. 'ගොඩබිමේ යුද්ධ නැව' කියන නමින් හඳුන්වලා තියෙන්නේ. නිපදවලා තියෙන්නේ 1915 දී.


Westfront, deutscher Panzer in Roye
මේක නම් තරමක් දියුණු සන්නද්ධ රථයක්. ජර්මන් නිෂ්පාදනයක්. 1917 දී පමණ.


FT_17


 මෙන්න මේක නම් යුද්ධ ටැංකියක් කියලා කියන්න පුළුවන්. FT 17 යනුවෙන් හැඳින්වුණු මේ යුද්ධ ටැංකිය 1916 දී රේනෝ (අපි රෙනෝල්ට් කියන්නේ) සමාගම විසින් ප්‍රංශයේදී නිපදවන ලද්දක්.  

   ඉතිං ඊට පස්සේ..........? ඔව්, ඉතිං ඊට පස්සේ...... කියන එක මහා දිග කතාවක්. එක ලිපියකින් කියන්න අමාරුයි. අපි ටිකෙන් ටික ඉදිරියට යමුකෝ ඊට පස්සේ මොකද වුණේ කියලා බලන්න.


my-signature-for-blog[1]   2014 ජූලි මස 27 වැනි දින 2320 පැය

24 July 2014

පරණ කතාවක් නැවත කියවමු .................... හේතුහාමි පොහොර ගැහුවා වගේ

   වසර දෙකකට පෙර, මා වර්ඩ්ප්‍රෙස් අඩවිය පමණක් පවත්වාගෙන ගිය අවධියේ ඉදිරිපත් කළ මේ කතාව, මගේම නිර්මාණයක්. මේ දිනවල, හමුදා තොරතුරු ඇතුළත් ලිපි තුනක්, සංස්කරණය කරමින් තිබෙනවා. නමුත් එය ඉතාම වෙහෙසකරයි. හමුදා වාග්මාලාවේ ඇති වචන, සාමාන්‍ය පාඨකයාට වැටහෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීම, ඉතා දුෂ්කර මෙන්ම අභියෝගාත්මක කාර්යයක්. මම ඒ ටික ඉවර කරගන්නා තුරු, ඔන්න පරණ කතාවක් ආපහු ඉදිරිපත් කරනවා. බලන්නකො කියවලා.


  ඉතා කාරුණික ඉල්ලීමයි. මේ ලිපිය ගැන අදහස් දැක්වීමේදී, වර්තමාන සමාජයේ, 'කුණුහරප' වශයෙන් සම්මත වචන නොයොදන ලෙස, ඉතා කාරුණිකව ඉල්ලනවා. එවැනි වචන සහිත ප්‍රතිචාර, සංස්කරණය කොට පළකිරීමට හෝ සම්පූර්ණයෙන් ඉවත් කිරීමට හෝ සිදුවන බවද දන්වනවා.


  හේතුහාමි රජරට ප්‍රදේශයේ ගොවි මහතෙක්. ඔහුගේ වැඩ කඩිසරයි. එමෙන්ම ඔහු නිතරම කෙටි මං ඔස්සේ තම වැඩ කටයුතු කරගන්න දක්ෂයි. ඔහු හේනේ පැල් රැකලා උදේම එනකොට, ඔහුගේ  බිරිඳ නොවරදවාම කන්න උයලා, ගෙයි දොරකඩ කුල්ල අටවලා තියන්නත් ඕනේ. නැත්නම් හේතුහාමි පැරණි සිංහල භාෂාවේ කෘදන්ත, තද්ධිත, ප්‍රත්‍ය, සමාස, රූඪි, පිරුළු, ආදිය නොඅඩුව යොදා,  හාමිනේට ආමන්ත්‍රණ සහ දේශනා පවත්වනවා. 'ආලපන විභක්තියෙන් ස්ත්‍රී ලිංගය' සඳහන් කිරීම බහුළයි. මොකද හේතුහාමිට අවශ්‍ය ඉක්මණින් හොඳට කෑම බීම සහ ....ම ඉවර කරලා, මහන්සි නොබලා කුඹුර පැත්තෙත් රවුමක් යන්නයි.


  ඔන්න එක දවසක්, හේතුහාමි වෙනදා වගේම පැල් රැකලා ඇවිත්, ඉක්මනට කෑම කාලා......ලා,  දඩිබිඩියේ පොහොර ගෝනියකුත් අරගෙන,  අමුඩෙත් ගහගෙන, ගියා කුඹුරට. නමුත් කුඹුරට ගියාට පස්සේ තමයි මතක් වුණේ, කලබලේට ආවට මොකද, පෝර ටික දාගෙන කුඹුර පුරා ඉසිමින් යන්න සුදුසු භාජනයක් ගෙනැවිත් නැති බව. පොහොර ගෝනිය සෑහෙන්න බර නිසා, එය අතේ තියාගෙන පොහොර ඉසින්න බැහැ. හේතුහාමිගේ මල් මසුරන් මොළේට අදහසක් අවා. මුළු යායෙම කුඹුරුවල කවුරුවත් නෑ. හේතුහාමි ටක් ගාලා අමුඩය ගලවලා, ඒ රෙදි කෑල්ලට පොහොර ටිකක් දාගෙන, පොහොර ඉහින්න පටන් ගත්තා. ගොයම් පැල උස නිසා, අවට ප්‍රදේශයට පෙනෙන්නේ හෙතුහාමිගේ ඉනෙන් උඩ කොටස පමණයි.


   අමුඩ ලේන්සුවට එක වරකට පොහොර ටිකක් පමණක් අල්ලන නිසා, වාර කීපයක් කළත් වැඩේ ඉවර වුණේ නැහැ. ඒ අතරේ ඔහු හදිසියේම දැක්ක, අහළ පහළ ගෙදරක ගොවියෙක්, යාය පැත්තට එනවා. හේතුහාමි වහාම අමුඩය ඇඳගත්තා. අර ගොවියා ඇවිත් හේතුහාමි සමග කතාවට වැටුණා. පැය බාගයක් විතර කතා කර කර ඉන්නකොට, හේතුහාමිට යම්කිසි අමුත්තක් දැණුනා. ඒ කියන්නේ ඔහුගේ අමුඩයෙන් ආවරණයවී ඇති ප්‍රදේශයේ, විශාල දැවිල්ලක් හටගෙන ඇති බවත්, තද ගතියක් දැනෙන බවත්. හේතුහාමි ඉක්මනින් කතාව ඉවර කරලා, අර ගොවියට යන්න ඇරලා, අමුඩයෙන් ආවරණයවී ඇති ප්‍රදේශය පරීක්ෂා කිරීමේදී පෙනීගියා, ඒ ප්‍රදේශය ඉදිමී රතුවී තිබෙන බව. රසායනික පොහොර තිබෙන්නේ, කුඹුරට පමණක් ගැසීමට බව හේතුහාමිට අවබෝධ වනවිට, ඔහු ප්‍රමාද වැඩියි.


   ඔහුට අප්‍රමාණ බියක් දැණුනා. මින්පසු තමන්ගේ රසවත් ජීවිතය සදහටම ඉවරවේයැයි සිතුනා. මෙසේ සිතමින් සෑහෙන වෙලාවක් සිටීම නිසා, අර්බුදය තවත් වැඩිවී, අර ඉදිමීම, පොල් ගෙඩියක්/පැපොල් ගෙඩියක්/දෙල් ගෙඩියක්/පොළොස් ගෙඩියක්/ (කැමති එකක් දාගන්න) තරමට විශාල වුණා. ඔහු වහාම ගෙදර යන්න පිටත් වුණත්, ගමන් කරන්නට උත්සාහ කිරීමේදී පෙනීගියා, උඩ යට මාරු කළ ඉංග්‍රීසි V අකුරේ හැඩයට දෙපා විහිදාගෙන පමණයි, අඩිය තැබිය හැක්කේ කියා.


  තම සැමියා එනතුරු බලාසිටි හේතුහාමිගේ බිරිඳ, ඈත තියාම දුටුවා හේතුහාමිගේ ගමනේ අමුත්තක්. ළඟට ආවාමයි ඇයට තේරුණේ, තම සැමියා දෙකකුල්වල ඉහළ ප්‍රදේශය අස්සේ යමක් සඟවාගෙන එන බව. ඇය සිනාසෙමින් කිව්වා 'හා.....හා, මම දැක්කා, මගේ දොළදුක් ගාය ගැන දැනගෙන නේද, හොරා වගේ, වත්ත පහළ නවසි ගහෙන් ගෙඩියක් කඩාගෙන හංගගෙන එන්නේ?' කියලා. හේතුහාමි අර බරපතළ ව්‍යාකරණ භාෂාවෙන් වාක්‍ය කීපයක් කියා, වහාම සරමක් ඇඳගෙන, තුවාය කරේ දාගෙන, බයිසිකල් කටුව ගත්තේ, හොරෙන්ම වෙද මහත්තයා ළඟට යන්නයි. නමුත් බයිසිකලයේ වාඩිවුන ගමන්, ඔහු කෑ ගසාගෙන බිම වැටුණා. ඔහු වාඩිවී තිබුනේ, තමන්ගේම අමුඩයෙන්  වැසී තිබුන, මේ වනවිට ඉහත සඳහන් ගෙඩියක් පමණ විශාල ඉන්ද්‍රිය මතයි.


  දැන් කරන්නට දෙයක් නැහැ. ඔහු අර උඩ යට මාරු කළ V හැඩයට දෙපා තබමින්, වෙද ගෙදර පැත්තට යන්න පටන් ගත්තා. නමුත් අදාළ ඉන්ද්‍රිය පද්ධතියේ පැද්දීම නිසා, එහි දැනට ඇති විශාලත්වය, පිටත සිට බලන කෙනෙකුට හොඳින් නිරීක්ෂණය වුණා. ටික දුරක් යනවිට ඔහුගේ මුහුණටම හමු වුනේ, සිය බිරිඳගේ නැගණියයි. (නෑනා) ඇය ඈත සිට ඔහුට හිනා වේගන ආවත්, ළඟට එනවිට මුහුණ අඳුරු වුණා. 'අපි ඉල්ලයි කියල වෙන්න ඇති ඔය මැල්ලුම් කොස් ගෙඩියක් හංගන් යන්නේ. හපෝ ඔව්වා නැතුවට අපට කන්න දේවල් තියනවා' කියමින් ඇය ගස්සාගෙන යන්න ගියා. හේතුහාමි දත්මිටි කාගෙන ඉවසුවා.


  අමාරුවෙන් වෙද ගෙදරට ගියයි කියමුකෝ. එතන සෙනග පිරිලා. ඔක්කොම බලාගෙන ඉන්නවා හේතුහාමිගේ අමුතු ගමන දිහා. ප්‍රශ්න කෝටියක් ඔහුට එල්ල වුණා. මොනවද හංගගෙන ඉන්නේ, කියන ප්‍රශ්නයට අමතරව, මොකක් හරි ලෙඩකට වෙද මහත්තයා කියපු කෙමක් නිසාද ඔහොම ඇවිදින්නේ?, කාටවත් නොපෙනෙන්න මොකක් හරි බෙහෙත් අවුසදයක් ගේන්න කියලා වෙද මහත්තයා කිව්වද? ආදී වශයෙන්. ටිකක් වැඩිහිටි මනුස්සයා නිසා හැමෝම කිව්වා, 'හේතුහාමි අයියේ වාඩි වෙන්න' කියලා. එහෙම කිව්ව හැමදෙනාම දිහා, 'ආලවකයා වගේ' බලපු හේතුහාමි, බලෙන්ම වගේ වෙද මහත්තයා ලෙඩ්ඩු පරීක්ෂා කරන කාමරයට ගියා. මොහොතකින් ඇහුනා වෙද මහත්තයා කෑගහනවා, 'තොට පිස්සුද බොළ, මරපු මීමින්නෙක් දෙපරැන්ද අස්සේ ගහගෙන ආවේ' කියලා.


  කොහොම කොහොම හරි, වෙද මහත්තයා ඇත්ත තත්වය තේරුම් අරගෙන, ප්‍රතිකාර කළා. හේතුහාමිට ඉස්සර වගේම, අදාළ ඉන්ද්‍රිය පද්ධතියෙන්, අවශ්‍ය 'සියළු දේවල්' කරගන්න පුළුවන් වුණා. නමුත් ගම පුරාම කතාවක් හැදුණා, 'හේතුහාමි පොහොර ගැහුවා වගේ' කියලා.




my-signature-for-blog[1]   නැවත සැකසීම 2014 ජූලි මස 21 වැනි දින 2251 පැය

20 July 2014

සම්සුදීන් නානා - Samsudeen Nana ...වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ කෙටි කතාවක්

   අපේ රටේ තිබෙන ජනවාර්ගික අර්බුදය නැතිකොට සාමකාමී සහජීවනය සහ සංහිඳියාව ඇතිකිරීම සඳහා විවිධ යෝජනා/ව්‍යාපෘති/ප්‍රොජෙක්ට්/වර්ක්ෂොප්/සිම්පෝසියම්/එම්පෝරියම්.........හුටා එව්වා නෑ නේද?/ තව අහවල් එව්වා/මේ එව්වා/ නම් ටොන් ගණනින් ඉදිරිපත් වෙනවා.
   නොර්වේ රාජ්‍යයෙන් ලැබුණු කෝටි ගණනක් මුදල් වියදම් කරලා වාසුදේව නානායක්කාර උන්නැහේ මේ දවස්වල සරුංගල් යවනවා ඊනියා සංහිඳියාව ඇතිකරන්න. අනේ ඒ සල්ලි වලින් අලුත්ගමදී විපතට පත් මුස්ලිම්/සිංහල පවුල් කීපයකට සෙත සැළසුවානම් කොච්චර හොඳද? හරි ඒ ගැන වෙනම කතාකරමුකෝ. වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ කෙටි කතා මීට පෙරත් මා ඔබවෙත ගෙනවිත් තිබෙනවා. මේ ඔහුගේ අලුත්ම නිර්මාණයක්. කියවා බලා ඔබේ අදහස් දක්වන්න.


සම්සුදීන් නානා 



   අඩක් විනාශ කරන ලද තම නිවෙස දෙස සම්සුදීන් බලාසිටියේ ශෝකයෙනි.  දියණිය මුණපුරාට බෝතලයෙන් කිරි පොවමින් සිටියාය​. කිරි දරුවාගේ හිස ප්ලාස්ටරයකින් වෙලා තිබේ. නිවෙස විනාශ කිරීමට පැමිණි මැරයන් විසින් එල්ල කරන ලද ගල් පහරක්  නිසා දරුවාගේ හිස තුවාල වූ අතර රෝහල් ගත කල දරුවා සහ මව ටිකට් කපාගෙන පැමිණියේ අද දහවලය​. තුවාලයේ වේදනාව නිසාදෝ දරුවා වරින් වර අඞයි. දරුවා අඞන වාරයක් පාසා සම්සුදීන් ගේ සිත ශෝකයෙන් බරවී යයි. සිය නෙතට ඉනූ කඳුලු  දියණියගෙන් වසන් කරනු වස් ඔහු මුහුණ අනෙක් පසට හැරවීය​. එවිට ඔහුගේ නෙත ගැටුනේ කඩා බිඳ දමන ලද පැරණි සිංගර් මහන මැෂිමයි. වසර ගානක් පුරා සිත්තියාගේ  දෑත්වල පහස ලැබූ මැෂිම දැන් නටබුන් ගොඩකි.


   නිවසට පහර දීමට පැමිණි මැරයන් ගෙන් කෙනෙක් සිංගර් මහන මැෂිමට පොරෝ පහරවල් කීපයක් එල්ල කොට එය නටබුන් කලේය​. ඔහු එය කරේ තබාගෙන නොගියේ මහන මැෂිම   මළකෑ තිබීම නිසාය​. නිවසින් කොල්ල කෑමට වටිනා දෙයක් සෙවූ ඔහුට දකින්නට ලැබුනේ  මේස පංකාවකි. මේ පංකාව අසම්සුදීන් සීරුවෙන් මුදල් එකතු කොට  මිලට  ගත්තේ රස්නය නිසා රෑට අඞන මුණපුරාගේ සුව පහසුව ගැන සිතාය​.  පොරෝකරු මේස පංකාව සියතට ගැනීමට පෙර තවමත් දැළි රැවුලවත් නොවැඩුනු බෞද්ධ කොඩියක් සරමක් සේ කොට කලිසමට උඩින් දවටාගෙන සිටි ගැටවරයෙක් එය අතට ගත්තේ නිල් මැණිකක් අතට ගත් පතල්කරුවෙකුගේ විලාශයෙනි. නමුත් ගැටවරයාට කොල්ල කෑ වස්තුව භුක්ති විඳීමට හැකි වූයේ තත්පර කීපයකි. මේස පංකාව ග්‍රහනය  කරගෙන සිටි ලාබාල මැරයාට පා පහරක්  දුන් පොරෝකරු එය තමන් සන්තක කර ගත්තේය​.


   සම්සුදීන් ගේ නිවසේ දොරට සහ නිවසේ ඉදිරිපසට පහර දී විනාශ කල මැර සේනාව ඉන්පසු යාබ්ද නිවස කරා ගියහ​. මේස පංකාව සහ පොරව දෑතින් ගෙන සිටි මැරයා සෙස්සන් සමග ගමන් කලේ  ජාතිවාදී උද්‍යෝග පාඨ මුරගාමිනි.


   පැරණි සිංගර් මහන මැෂිමේ කෑලි එකතු කල සම්සුදීන් යළි එය එකලස් කිරීමට හැකිදැයි බැලීය​. පොරෝ පහර නිසා මැෂිම කැබලි වී ගොස් තිබේ. මැෂිමේ කෑලි අතගාන විට ඔහුට සිත්තියාගේ රුව සිතේ මැවිනි.


   සිත්තියා පයාගලදී කහ ඉර උඩ හප්පා දැමුවේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුගේ තරුණ පුතෙකි. ලයිසන්වත් නොතිබූ  තරුණයා පියාගේ අලුත්ම මොන්්ටරෝවට හැපුණු මහළු ගැහැනිය ඉස්පිරිතාලයකටවත් ගෙන යාමට උත්සහ නොගත්තේය​. රිය අණතුර විභාග කිරීමට පැමිණි පොලිස්කරුවන් දේශපාලකයාගේ  පුතාට ගෞරව පූර්වකව  ආරක්‍ෂාව සපයමින්   රිය අණතුර නිසා කපුටන් සමූහයක් මෙන් වටවූ  ජනයා පළවා දැමූහ​.  සිත්තියා රෝහලට රැගෙන යන ලද්දේ හංදියේ ත්‍ර්‍රීවීල්කරුවෙකි. රෝහලට ඇතුලත් කරන විටත් ඇයගේ ප්‍රාණය නිරුද්ද්ධවී තිබුණාය​.


   සිත්තියාගේ මරණයෙන් පසු දියණිය සමග තනි වූ සම්සුදීන් හරි හැටි කෑමක් බීමක් පවා ගත්තේ නැත​. ඔහු තවත් මහළුව ගියේය​. රිය අණතුර සමථයකට පත් කරගනුවස් දේශපාලකයා දුන් රුපියල් ලක්‍ෂය යොදා වියාපාරයක් අරඹන ලෙස අසල්වැසි නූර්දීන් දුන් අවවාද පවා ඔහු අසා සිටියේ හිස් බැල්මකින් යුතුවය​. එම මුදල් අවසානයේ වියදම් වූයේ ඉටි කොල  හා ලෑලි ගසා තිබූ නිවසේ ඉදිරිපස ඉදි කිරීමටය​. සිත්තියාගේ මරණය නිසා හදා ගැනීමට හැකි වූ නිවසද මැරයන් විසින් කඩා බිඳ දැමීම ඔහුගේ මහළු වයසට දරා ගත නොහැක​. එය යළිත් වරක් සිත්තියා අහිමිවීමක් මෙන් ඔහුට දැනේ.


   අද සවස සෞදි අරාබියේ සිටින බෑණාට දුරකථන ඇමතුමක් දිය යුතු බව සම්සුදීන් සිතුවේය​. මොහිදීන් ගේ කොමියුනිකේශන් එකද විනාශ කොට ඇති නිසා දුරකථන ඇමතුම ගැනීමට දැන් ටවුමටම යා යුතුය​.


   බෑනාට මේවා ආරංචිවෙලා කලබල වෙලා ඇති ඔහු සිතුවේය​. මොන විනාශය වූවත් පවුලේ උදවියගේ පණ බේරා ගැනීමට හැකි වූයේ අල්ලා දෙවියන් ගේ මහිමයෙන් බව සිතා ඔහු අහස දෙස බැලීය​.


   ප්‍රහාරය ඇරඹුනේ නොසිතූ මොහොතකදීය​.  පල්ලිය හන්දියේදී   මැරයන් පිරිසක් මුගුරු අමෝරාගෙන එනවා දුටු සම්සුදීන් රිෆයිඩීන් ගේ මස් කඩයේ කොට තාප්පය උඩින් පැන කුරුඳු වත්ත හරහා දිව ගියේය​. සම්සුදීන් මහල්ලෙකු වූවද තරුණයෙකු සේ ජවයන් යුතුව කොට තාප්පයෙන් පැනීමට හැකිවීම  පුදුමයකි.  නිවසේ තනිව සිටින දියණිය සහ කිරි දරුවා මතක්වීම නිසා ඔහුට විඩාවක් දැනුනේ නැත​. ඔහු එක හුස්මට නිවස වෙත දිව ගියේය​. හබරල ගාල අසලදී කිරි දරුවා වඩාගෙන සිටි දියණිය ඔහු දුටුවේය​. දරුවාගේ හිසින් ලේ ගලා යයි. මැරයන් පිරිසක් නිවසට ගල් පහරවල් එල්ල ක​ළ බවත් ඉන් එක් ගලක් ජනේලයේ වීදුරුව බිඳගෙන දරුවාගේ හිසට වැදුන බවත් දියණිය ඉකි ගසමින් පැවසුවාය​.


   දරුවා අතට ගත් සම්සුදීන් දියණිය සමග කුරුඳු කැලය ඔස්සේ මහ පාරට පැමින පාරේ යන ත්‍රීවීලයක් නවතා ගත්තේ අසීරුවෙනි. කිරිකැටියාගේ හිසේ තුවාලය දුටු රියැදුරා කිසිවක් නොදොඩා ඔවුන්ව රෝහල වෙත ගෙන ගියේය​. අතරමගදී කලබලයෙන් දිව යන මිනිසුන් , පොලිස් භටයන් දුටු සම්සුදීන් මහා විනාශයක් සිදුවී යන බව ඉවෙන් මෙන් වටහා ගත්තේය​.


   රෝහලට පැමිණි සම්සුදීන් ත්‍ර්‍රීවීලයට ගෙවීම සඳහා උඩ සාක්කුවට අත දැම්මද කිසිම මුදලක් නොගත් රියදුරා ඉක්මනට බාහිර රෝගී අංශය වෙත දරුවා ගෙන යන ලෙස පවසා යන්නට ගියේ ස්තූති කිරීමටවත් වේලාවක් නොතබමිනි.


   දරුවා රෝහලේ දින හතරක් නවතා ගන්නා ලදි. ඒ කාලය තුල සම්සුදීන් කාලය ගත කලේ රෝහල් වාට්ටුවේ සහ සාලිය​ මුදලාලිගේ කඩයේ පසුපස කොටසේ තිබූ දර මඩුවේය​. සාලිය​ මුදලාලිගේ හාමිනේ ඔහුට සහ දියණියට දිනපතාම ආහාර සකස් කර දුන් අතර ඒ සඳහා සතයක්වත් ගත්තේ නැත​.


   දරුවා සහ දියණිය රෝහලෙන් ටිකට් කප්පවාගෙන පැමිණි සම්සුදීන් දුටුවේ විනාශ කරන ලද තම ගෘහයයි. නිවස දෙස බලා දියණිය කඳුලු වගුරවද්දී සම්සුදීන් සුසුම් හෙලීය​. යන්තම් ඇතුළු කාමරයක් ප්‍රහාරයට අසු නොවී බේරී තිබේ. නමුත් එහි ජනේලය බිඳ දමා තිබේ. ඔහු කාඩ්බෝඩ් කැබැල්ලකින් වීදුරුව ආවරණය කලේය​.  පැරණි මෙට්ටයක් කාමරයේ ගෙබිම එලා  නිවසේ ඒමේ අත දමා තිබූ රෙදි  අතුරා ඔහු දියණියට සහ දරුවාට නිදා ගැනීමට තැනක් පිලියෙල කලේය​. ඒ අතරවාරයේ අසල්වැසියන් කිහිප දෙනෙක් ඔහුගේ නිවෙස වෙත පැමිණියහ​. ඔවුහු බත් පාර්සල් කීපයක් ගෙන ආහ​.

   රිස්විට දුරකථන ඇමතුමක් දිය යුතු බව සම්සුදීන්  දියණියට පැවසීය​. නමුත් පියා ටවුමට යාම පිලිබඳව ඇය බිය ගත්තාය​.


   දියණිය සහ මුණපුරා බලා ගන්නා ලෙස නූර්දීන් ගේ බිරියට ආයාචනාවක් කල සම්සුදීන් දියණියගේ විරුද්ධත්වයද නොතකා ටවුම වෙත පියමැනුවේය​. අතරමගදී ඔහුට මන්සූර් හමු විය​. මන්සූර් ගුරුවරයෙකි. ඔහු තැනින් තැන තරහෙන් සහ කළකිරීමෙන් යුතුව සිටි මිනිසුන් අස්වැසුවේය​. ටවුම වෙතයාම පසෙකලා ඔහු මන්සූර් සමග ගියේය​.


     පල්ලිය අසලදී තරුණයන් කන්ඩායමක් ඔවුන් දෙදෙනාට හමු වූහ​. තරුණයන්  කථා කලේ ආවේගයෙනි.


   අපේ ගෙවල් ගිනිතියලා බඩු කොල්ලකාලා අපිව පාරට ඇදලා දැම්මා. අපි මරාගෙන මැරෙන්න උනත් දැන් ලෑස්තියි" කන්ඩායමේ සිටි උස තරුණයෙකු කීවේය​. ඔහු තුවාන් ගේ පුතා බව සම්සුදීන් අඳුනාගත්තේය​.


   මන්සූර් මහතා ඔවුන්ව අස්වැසීමට තැත් කලද ඔවුන් මන්සූර් මහතා සමගත් එකට එක කීහ​.


  "සර් ගහන්ඩ ගහන්ඩ වඳින එකත් මෝඩයා වඳින්ඩ වඳින්ඩ ගහන එකත් මෝඩයා . අපිටත් පුලුවන් මේවට රිටන් එක දෙන්න "තුවාන් ගේ පුතා මන්සූර් මහතා දෙස බලා   තරහෙන් යුතුව පැවසීය​. මන්සූර් මහතාද ඉන් මෙල්ල නොවූ බව පෙනුනි.


   "උඹලා අර මාළු ගුණපාල ගේ ගෙදරට රිටන් එක දුන්න කියලා මට ආරංචියි. උන් හැමදාම අපි අතර හිටපු අසරණයෝ. උඹලා  අරුන් අපිට ගහන්න එනකොට හැංගිලා ඉඳලා උන් ගියාම පස්සේ මෙහෙ ඉන්න දුප්පත් මිනිස්සුන් ගේ ගෙවල් පිච්චුවා නේද ?
උඹලා වගේ එවුන් නිසා තමයි මේක කවදා හරි ලේ විලක්  වෙන්නේ. මන්සූර් මහතා කෝපයෙන් යුතුව තරුණයන් අමතා පැවසීය​. ඉන් මෙල්ල වූ තරුණයන් තරහෙන් මුමුණමින් විසිර ගියහ​.


    " සම්සුදීන් නානා අපි යමු ගුණපාලගේ ගෙදර"  මන්සූර් මහතා කල ඉල්ලීම  සම්සුදීන්හට ඉවත නොදැමිය හැක​. ඔහු මන්සූර් මහතා පසුපස ගියේය​.


    ගුණපාලගේ නිවස තිබූ තැන දැන් ඇත්තේ දාගිය  අඟුරුය​. වහලයට ගසා තිබූ ටකරං ගින්න නිසා ඇඹරී ගොස් තිබේ. ගුණපාල දුටු සම්සුදීන්ට විශාල කම්පාවක් මෙන්ම වරදකාරී බවක් දැනුනි. ඔහු ගුණපාල වෙත ගියේය​.


   "කුණපාල මොක්කුද උණා " ඔහු අනුකම්පාවෙන් යුතුව විමසීය.



   මොනා වෙන්නද නානා වෙන්න තියන හැම දෙයක්ම උනා. ඔහෙලගෙ වත්තට අරුන් ගහල ගියා අන්තිමට ගුටි කෑවෙ අහක හිටපු අපි. බලන්න උන් මගේ බයිසිකයට කරලා තියන දේ.


    ගින්නට අසුවූ ගුණපාලගේ බයිසිකලය  අලින් පෑගූ යකඩ  බට ගොඩක් මෙන් දිස්වේ. බයිසිකලයේ රබර් ටයර් පිලිස්සීම නිසා මතුවූ ගඳ තවමත් අවකාශයේ පැතිරී තිබේ. ගුණපාලගේ දරුවෙක් සුන්බුන් අතරින් තමන් ගේ පාසල් පොත් බෑගය සොයයි.


    එහෙන්  හැමදාම උදේ හවහා  යකඩ කටවල් වලින් ආගම කියනවා මෙහෙන් හැමදාම උදේ හවහා කඩ කටවල් වලින් පිරිත් කියනවා අන්තිමේදී දෙගොල්ල  සත්තු වගේ කාකොටාගන්නවා ගුණපාල වෙව්ලන ස්වරයෙන් යුතුව කීවේය​.


   මන්සූර් මහතා සහ සම්සුදීන් කිසිවක් කීවේ නැත​. ඔවුන් කම්පිතව ගුණපාල දෙස බලා සිටියා පම​ණි.



වෛද්‍ය රුවන් එම් ජයතුංග 


my-signature-for-blog[1]   2014 ජූලි මස 20 දින 0926 පැය

18 July 2014

ඇත්තටම අපි යුද්දේ පැරදුනා නම්...................... If We Were Defeated......


images
 ඔන්න ඉතින් කේන්ති ගන්න එපා මෙහෙම කිව්වා කියලා. මට මේ නිකමට හිතුන දෙයක් කිව්වේ. මේ දවස්වල මානව හිමිකම් කොමිෂන් ප්‍රශ්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අරක කොරනවලු, මේක කොරනවලු. බ්‍රිතාන්‍ය රජය අපේ රටේ හමුදාව පුහුණු කරලා අහිංසක දෙමල මිනිස්සු මරන්න උදව් කලාලුඒ මදිවට ඉන්දියාවේදී කොටින්වත් පුහුණු කලාලු. දැන් එක එක කතා එළියට එනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, නීත්‍යානුකූල රාජ්‍ය ලෙස පිළිගන්නා රටවල් දෙකක් අතර, යුද්ධාධාර ගිවිසුම් ඇතිකරගැනීම පිළිබඳව, කාටවත් කිසිම චෝදනාවක් නගන්න බැහැ. චෝදනා කලහැක්කේ, එම ආධාර, වෙනත් රටක ස්වාධිපත්‍යය වැනසීම සඳහා බලපෑමක් ඇති කරනවානම් විතරයි.

   ලංකාවේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, බ්‍රිතාන්‍යයේදී පුහුණු කිරීම ආරම්භ වුණේ, අපි නිදහස ලබන්නටත් කළින්. බ්‍රිතාන්‍ය හමුදා නිළධාරීන්/නිළධාරිනියන්, දියතලාව යුදහමුදා විද්‍යා පීඨයේ පුහුණු උපදේශක රාජකාරි සඳහා මුලින්ම පැමිණියේ, 1970 දශකයේ අග භාගයේදී, අපේ රටේ පළමු වරට, කාන්තා බලකායක් ඇතිකළ අවස්ථාවේදීයි. අද දක්වාම ලංකාවේ ත්‍රිවිධ හමුදා නිළධාරීන්, එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, පාකිස්ථානය, චීනය, බංග්ලාදේශය, වැනි රටවල වැඩිදුර පුහුණුව සඳහා යනවා. ඒ යන්නේ දෙමළ මිනිස්සු මරන්න ඉගෙනගන්න නෙවෙයි. ලෝකයේ කොයි හමුදාවත් ලබන වැඩිදුර පුහුණුවීම් ලබන්න. එහෙම යන්නේ ලෝකයේ වෙනත් රටවලට හොරෙන් නෙවෙයි. ඒ ඒ රටේ හමුදා ගැන බුද්ධි තොරතුරු සොයන සෑම රටක්ම දන්නවා, පහුගිය අවුරුද්දේ, ඒ ඒ රටෙන්, ඒ ඒ රටට, කොපමණ හමුදා නිළධාරීන් සංඛ්‍යාවක් පුහුණුවට ගියාද, ඔවුන් ඉගෙනගන්නේ මොනවගේ දේවල්ද, කියලා. මාලදිවයින් යුදහමුදාවට අයත් කෙඩෙට් නිලධාරීන්, දියතලාව යුද හමුදා අභ්‍යාස විද්‍යා පීඨයට පැමිණ පුහුණුව ලැබුවේ/ලබන්නේ, අද ඊයේ නෙවෙයි. ශ්‍රී ලංකා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යා පීඨයේ පුහුණුව ලැබීම සඳහා, විදේශීය හමුදාවන්ට අයත් සිසුන්, සෑහෙන පිරිසක්, වාර්ෂිකව සහභාගි වෙනවා. ඒ නිසා අර චෝදනා එතරම් ගණන් ගතයුතු නැති, මෝඩකමට කියන කතා ලෙසයි මමනම් දකින්නේ.

   හොඳයි. දැන් අපි හැරෙමුකො අපේ මාතෘකාවට. ලෝකය පුරා සිටින දෙමළ ඩයස්පෝරාව, විවිධ රටවල මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේද අනුග්‍රහය, අනුකම්පාව, ඉතාම සූක්ෂ්මව දිනාගෙන, යළිත් අර අඳින්නේ, කෙසේ හෝ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට, 'ද්‍රවිඩ ඊළමක්' ගොඩනැගීමට බව රහසක් නොවෙයි. ඒ සඳහා ඔවුන් ඉදිරියට දාගෙන සිටින ප්‍රශ්නය තමයි මානව හිමිකම්. මානව හිමිකම් තිබිය යුත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට පමණද? උතුරේ ද්‍රවිඩ වැසියන්ට පමණද? අපේ හමුදාවට හා දිවයිනේ දකුණු ප්‍රදේශවල ජනතාවට මානව හිමිකම් නැද්ද? එහෙනම් ඇයි එක පැත්තක විතරක් මානව හිමිකම් ගැන මෙච්චර කෑගහන්නේ? හොඳයි අපි මෙහෙම හිතමු අපි යුද්දේ පැරදුණා කියලා හිතමු. ඒ කියන්නේ ලංකාවෙන් බාගයක් අපිට අහිමි වෙනවා කියන එකයි.



2


   මතකද මේ යුද්දේ දිනන්න බැහැ කිව්ව අය. සෑහෙන දෙනෙක් ඉන්නවා හොඳ ප්‍රසිද්ධ පුද්ගලයෝ, යුද්ධය දිනන්න බැහැ කිව්ව. පහත දක්වනවා ඒ ගැන ලියන ලද පුවත් පත් තීරු ලිපියක්. හැබැයි ඒ ලිපියේ සමහර කරුණු, ටිකක් අතිශයෝක්තියට බරයි. 

කොටින්ට එරෙහි යුද්ධය ජය ගත නොහැකි යෑයි පැවසුවෝ


2007 මාර්තු 22 වැනිදා බ්ලුම්බර්ග් නමැති වෙබ් අඩවිය ආරක්‍ෂක විමර්ශකයන් යෑයි හඳුන්වන පිරිසක්‌ කළ ප්‍රකාශයන් තුළින් කියා සිටියේ රජයට හා කොටින්ට යුද්ධයෙන් ජයගත නොහැකි බවයි.

සිංගප්පූරුවේ ආරක්‍ෂක කටයුතු අධ්‍යයන ආයතනයේ ත්‍රස්‌ත මර්දන පර්යේෂණ ඒකකයේ ප්‍රධානි බැව් කියන රොහාන් ගුණරත්න එකී බ්ලුම්බර්ග් වෙබ් අඩවියට පැවසුවේ අර්බුදයට සාකච්ඡාමය විසඳුමක්‌ අවශ්‍ය බවයි. එසේම රජයට හා කොටින්ට යුද්ධය ජයගත නොහැකි යෑයි ඔහු කියා සිටියේය. කොටි සමග සාකච්ඡාමය විසඳුමක්‌ ඇති කර ගත යුතු යෑයි ගුණරත්න ප්‍රකාශ කර මාස තුනකට පසු ශ්‍රී ලංකා හමුදාව නැගෙනහිර ප්‍රදේශයම සිය පාලනයට ගත්තේය. රොහාන් ගුණරත්න මෙම ප්‍රකාශය කිරීමට පෙර ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවිය මෙහෙයවූ ඩී. පී. සිවරාම් හෙවත් තාරකී ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකා හමුදාව නැගෙනහිර අල්ලා ගැනීමට උත්සාහ කළහොත් එය පාරා වළල්ලක්‌ වන බව සඳහන් කළේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සංජනා හත්තොටුව නමැත්තා බ්ලුම්බර්ග් වෙබ් අඩවියට ප්‍රකාශයක්‌ කරමින් විනයගමූර්ති කරුණා කොටි සංවිධානයෙන් වෙන් වුවත් කරුණාගේ සහය මත යාපනය මුදා ගැනීමට රජයට හැකි දැයි ප්‍රශ්න කළේය.

2007 මැයි මස නෝර්වීජියානුවන් ද පළකළේ රජයට කොටි සංවිධානය පරාජය කළ නොහැකි බවයි. ඊට පෙර හිටපු හමුදා මාධ්‍ය ප්‍රකාශක සරත් මුණසිංහ පැවසුවේ අර්බුදය යුදමය ක්‍රියාදාමයකින් විසඳිය නොහැකි බවයි. හිටපු ගුවන් හමුදාපති හැරී ගුණතිලක ද ප්‍රකාශයක්‌ කරමින් නැවතත් යුද්ධයකට යන අයට ලෝක ප්‍රජාවෙන් සමාවක්‌ ලැබෙන්නේ නැතැයි කීවේය.

කැනඩාවේ ඩී. බී. එස්‌. ජෙයරාඡ් කොටි සංවිධානයට 50,000 ක බළකායක්‌ ඇතැයි ද පළ කළේය. ඉන්දීය "රෝ" ඔත්තු සේවාවේ හිටපු ප්‍රධානි බී. රාමන්ද ශ්‍රී ලංකා හමුදාව ඉල්ලන් කනු ඇතැයි කියා සිටියේය. කිලිනොච්චියේදී හමුදාව මුළුමනින්ම විනාශ වන බව රාමන් පළ කළේය.

ඉන්දීය සාම හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානි කර්නල් හරිහරන් ද ශ්‍රී ලංකා හමුදාව පරාජය වනු ඇතැයි සඳහන් කර තිබිණි.

එසේම මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ද කීවේ කොටින්ව යුදමය ක්‍රියාමාර්ගයෙන් පරාජය කළ නොහැකි බවයි.

මෙයට සමගාමීව වීරකේසරී - සුධර්ඔලි සහ උදයන් යන පුවත්පත් කොටි ජය ගන්නා බවට අතිශයෝක්‌තියෙන් යුත් පුවත් ද්‍රවිඩ ජනතාවගේ මනසට ඇතුල් කිරීමට ක්‍රියා කළේය.

වීරකේසරි හි සත්තිරියන් නමින් හඳුන්වාගත් තැනැත්තා ඊට මුල් විය.

මෙරටින් විදේශ රටකට ගිය මුස්‌ලිම් මාධ්‍යවේදියකු පැවසුවේ කොටි සංවිධානය පරාජය කළ හැකිය යන මතය සිහින ලෝකයේ ප්‍රකාශයක්‌ බවයි.

මේ හැර හිටපු හමුදාපතිවරයකු ද ශ්‍රී ලංකා හමුදාවට වන්නියට යැමට නොහැකි යෑයි කීවේය.

කොළඹ ඉංගී්‍රසි පුවත්පතක ආරක්‍ෂක විමර්ශකයකු කොටි හා හමුදාවට යුද කර ජයගත නොහැකියි යන මතය ඉදිරිපත් කළේය. 2009 මැයි 14 දායින් පසු ඔහු නිහඬ විය. ඉන්දීය ලේ කා ඇනිටා ප්‍රතාප් ද පැවසුවේ හමුදාව විනාශ වී ප්‍රභාකරන් ජය ගනු ඇති බවයි. මම 2009 ජුනි මස ශ්‍රී ලංකාවට අවුත් ප්‍රභාකරන්ගේ ඉතිහාසය ලියනවා යෑයි ඇය කීවාය. එහෙත් ඇනිටා ප්‍රතාප් මේ දක්‌වාම කට ඇරියේ නැත. කොටින්ගේ දේදුන්න පුවත්පත සකස්‌ කළ රෝහිත භාෂණ අබේවර්ධන නමැත්තා කොටි ජයගනු ඇතැයි තරයේ විශ්වාස කළේය.
එහෙත් කොටි පරාජය වීමෙන් පසු ඔහු ජර්මනියට පැනගියේය. එසේ වුවත් කොටින්ව පරාජය කළ නොහැකි බව පැවසූ රොහාන් ගුණරත්න කොටි පරාජය වීමෙන් පසු මෙරටට සම්ප්‍රාප්ත විය. ඔහු ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළු අමතමින් දේශන ද පවත්වනු ලැබීය. මෙරට හමුදා ඉතිහාසයේ ලොකු ම විහිළුව එයයි.

මේ අතීතය මෙරට හමුදා නිලධාරීහු රැසක්‌ නොදනී. අපි මේ අතීතය හෙළි කරන්නේ අතීතය වසන් කිරීමට ඇතැම් පාර්ශ්ව ක්‍රියා කරන නිසාය.

එසේ වුවත් යුද්ධය නිමවීමත් සමගම යුද්ධ කරන්න බැහැ යෑයි පැවසූ ඇතැම් හිටපු හමුදා සහ පොලිස්‌ පාර්ශ්ව ද ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරමින් ලකුණු දමා ගැනීමට උත්සාහ කර ඇත.

- කීර්ති වර්ණකුලසූරිය

   හැබැයි මේ ලිපිය ලියා තිබෙන කීර්ති වර්ණකුලසූරිය ගැනත් යමක් කියන්න ඕනේ. ඔහු කලක් ජෙනරල් සරත් ෆොන්සේකාගේ ගුණ ගයමින්, එතුමා ඉර පෙන්වා හඳ කිව්වත් එය ඉහළින් පිළිගෙන වර්ණනා කරමින්,  පැදුරු තරම් විසාල පුවත්පත් ලිපි මගින් එතුමන්ට ප්‍රශස්ති ගායනා කරමින් සිට, (ඒ කාලේ අපිටවත් ජෙනරල් ළඟට යන්න බැහැ. මෙයා යනවා) ජෙනරල් අමාරුවේ වැටුණු වහාම, එතුමා හැර ගිය අවස්ථාවාදියෙක්. එමෙන්ම මේ ලිපියේදීවත් එතුමාට සාධාරණය ඉටු කරමින් කියා නැහැ, එතුමා තමයි ස්ථිරවම මේ යුද්ධය ජයගන්න පුළුවන් කියලා කිව්ව එකම සෙනෙවියා කියන එක.


iqbal   මේ ලිපියේ කියනවා 'කොළඹ ඉංග්‍රීසි පුවත්පතක ආරක්ෂක විමර්ශකයකු' යනුවෙන් සඳහනක්. මා අනුමාන කරනවා, ඒ කියන්නේ, ඉක්බාල් අතාස් ගැනය කියා. ඉක්බාල් අතාස් ට, ඒ කාලේ, අපේ ත්‍රිවිධ හමුදාවේම, ඉතා උසස් නිළධාරීන් සමග, සෑහෙන සමීප සබඳකම් තිබුණා. හමුදාපති වරයා පවත්වන, ඉහළ පෙළේ සංග්‍රාමික සාකච්ඡා වලදී කතාකළ දේවල් පවා, ඉක්බාල් අතාස් විසින්, Sunday Times පුවත්පතට ලියන ලද, Situation Report  (තත්ත්ව වාර්තාව) කොළමේ සඳහන් වුණා.  ඒ තොරතුරු ඔහුට ආවේ කොහෙන්ද යන්න අබිරහසක්. අද, මේ පුද්ගලයා, කොහාට මංගච්චලාදැයි මම නොදනිමි. ඒ කාලේ ඔහු ලිපි ලිව්වේ, හරියට, යුදබිම පුරා ඇවිද, තොරතුරු එකතුකරගත් ආකාරයක් පෙන්වමින්. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි පුවත්පත් නොකියවන අයද, මේ කොලම කියවන්නට පුරුදුව සිටි අතර, පසුව මෙහි සිංහල පරිවර්තනයක්ද ලංකාදීපයේ පළවන්නට විය. 


p9


   හොඳයි. යුද්දේ පැරදුනානම් අපි මොකද කරන්නේ? ඔබ මොකද හිතන්නේ? මා මෙතැනින් ලිපිය අවසන් කරන්නේ, මෙතැන් සිට බුද්ධිමත් සංවාදයක් ආරම්භ කිරීම පිණිසයි. හිතන්න...........අපිට මොකක් වෙයිද? අපි මොනවා කරයිද? 2009 දී අපි පැරදී යුද්ධය අවසන් වුනානම්, මේ වනවිට අපි කොහේ ඉඳියිද? 


my-signature-for-blog[1]   2014 ජූනි මස 17 වැනි දින 2303 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }