හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

29 June 2015

මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ................. (තුන්වැනි කොටස)

AAA
 මේ ලිපි මාලාව ගැන, ඔබ බොහෝ දෙනෙකු තුළ, දැඩි උනන්දුවක් ඇති බව, ඒ සම්බන්ධ අදහස් දැක්වීම් මගින් දකින්නට ලැබෙනවා. අපි පුංචි රටක් වුනත්, ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙත පිරිනමනු ලබන පදක්කම්, සෑහෙන ගණනක් තිබෙනවා. ඒ අනුව හිතාගන්න පුළුවන් නේද, ලෝකයේ විශාල රටවල, කොපමණ පදක්කම් ප්‍රමාණයක් ඇද්ද කියලා. ලිපි මාලාවේ කලින් කොටස් නොකියවූ අයට, පළමුවැනි කොටස මෙතනින් සහ දෙවැනි කොටස මෙතනින්, කියවන්න පුළුවන්.  මෙතෙක් මා ඔබවෙත පදක්කම් හඳුන්වාදීම කළා. අද ඒ පදක්කම් හඳුන්වාදීමේ අවසාන කොටසයි ඉදිරිපත් කරන්නේ.

   පසුගිය ලිපිය අපි අවසන් කළේ, ක්‍රියාන්විත මෙහෙයුම් සම්බන්ධව පිරිනැමෙන පදක්කම් පිළිබඳව විස්තර කිරීමෙන්. තවත් වර්ගීකරණ තුනක් තියනවා. ඒවා කෙටියෙන් සලකා බලමු.


5. රාජ්‍යත්වය සහ පරිපාලන භූමිකාව වෙනස්වීම පිලිබඳ අනුස්මරණ පදක්කම්
     Coronation/Inauguration Medals


1. ශ්‍රී ලංකා සන්නද්ධ සේවා ප්‍රතිෂ්ඨාපන අනුස්මරණ පදක්කම - 1956
    Ceylon Armed Services Inauguration Medal - 1956

25
   මේ පදක්කම මීට පෙර 1951 වර්ෂයේදීද නිකුත්කර තිබෙනවා. නමුත් අද එය භාවිතයේ නැහැ. 1956 දී නැවත නිකුත් කළ පදක්කම තමා අද පිළිගන්නේ. ඒ කාලයේ ත්‍රිවිධ හමුදා සේවයේ යෙදී සිටි සියලු නිලයන්ට මෙය හිමිවුණා. මැද රතු පැහැති පළල තීරුවකින් යුත් පීත්ත පටියේ දෙපස රිදී, කහ, කොළ, ගුරු, යන පැහැයෙන් යුත් වර්ණ තීරු ඇති අතර, ඉදිරිපස, ශ්‍රී ලංකාව ජනරජයක් වීමට පෙර භාවිත කල රාජ්‍ය ලාංඡනයත්, පසුපස II වැනි එළිසබෙත් රැජිනගේ රූපයත්, දකින්නට ලැබෙනවා. මිශ්‍ර ලෝහයෙන් නිමවූ, ලෝකඩ පැහැති පදක්කමක්. 


2. II වැනි එළිසබෙත් රැජිණියගේ මෞලි මංගල්‍ය අනුස්මරණ පදක්කම - 1953 
     Queen Elizabeth II Coronation Medal - 1953 

18
   අද නම් මේ පදක්කම පළඳින කෙනෙක් දකින්නට නැහැ. ඒ කාලයේ සේවයේ යෙදී සිටි යට පමණක් හිමිවූවක්. නමුත් තවමත් වලංගු පදක්කමක්. දෙපස රතු පැහැති තීරු දෙකක් සහ මද කළු තීරුවක් සහිත පීත්ත පටියට පදක්කම අමුණා තිබෙන්නේ කාදුවකින්. ඉදිරිපස රැජිණගේ අනුරුවක් සහ පසුපස බ්‍රිතාන්‍ය කිරීටයේ අනුරුවක් ඇතුලත් වෙනවා. රන් පැහැති ලෝහයකින් නිමවූවක්. 


1. ශ්‍රී ලංකා ජනරජයේ සන්නද්ධ සේවා පදක්කම - 1972 
    Republic of Sri Lanka Armed Services Medal 1972 

17


 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්, ශ්‍රී ලංකාව ජනරජයක් වීම අනුස්මරණය කිරීම සඳහා මෙම පදක්කම නිකුත් කෙරුණ අතර, එවකට සේවයේ යෙදී සිටි ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන් වෙත ප්‍රදානය කෙරුණා. රිදී පැහැති පදක්කමේ මුහුණත නව ජනරජයේ රාජ්‍ය ලාංඡනයත්, පසුපස ත්‍රිවිධ හමුදා නිරූපණය වන ලාංඡනයත් ඇතුලත්ව තිබෙනවා. පීත්ත පටියේ, නිල් පැහැති පසුබිමක, රතු, රිදී, කහ, යන වර්ණ වලින් යුත් සිහින් තීරු දෙපස පිහිටා තිබෙනවා. 


2. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 
    විධායක ජනාධිපති ධුරය පිහිටවීම අනුස්මරණ පදක්කම - 1978 
    Executive President Inauguration Medal - 1978  

24
   1978 වර්ෂයේදී, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරුණු, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඇරඹුණු, විධායක ජනාධිපති ධුරය පිහිටවීම ( නව සේනාධිනායකයකු බිහිවීම, එතෙක් සිටියේ අග්‍රාණ්ඩුකාර කාර වරයායි) අනුස්මරණය කිරීම සඳහා, 1978 වර්ෂය වනවිට, ත්‍රිවිධ හමුදා සේවයේ යෙදීසිටි, සියලු නිලයන් වෙත මේ පදක්කම පිරිනැමුණා. රන් පැහැති ලෝහයකින් නිමවූ මේ පදක්කම මගින්, ධර්ම චක්‍රය නිරූපණය කෙරෙනවා. පීත්ත පටිය හරිමැද, රිදී පැහැති සිහින් තීරුවක් තිබෙන අතර, දෙපස එක හා සමාන කළු, රතු, කහ, පැහැති තීරු දක්නට ලැබෙනවා. 



6. සංවත්සර අනුස්මරණ පදක්කම්
    Anniversary Medals  

   මෙවැනි පදක්කම් නිකුත් කරන්නේ, කාලීනව අනුස්මරණය කරන විශේෂ සංවත්සර අවස්ථා වලදීයි. එම සංවත්සරය පැවැත්වෙන කාලයේ ත්‍රිවිධ හමුදා සක්‍රිය සේවයේ යෙදී සිටින සියලු නිලයන්ට මේ පදක්කම් පිරිනැමෙනවා. 


1. ශ්‍රී ලංකා යුද හමුදා 25 වැනි සංවත්සර පදක්කම - 1974 
    Sri Lanka Army 25th Anniversary Medal - 1974 

19
   ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිෂ්ඨාපනය කර තිබෙන්නේ 1949 අංක 17 දරන යුද හමුදා පනතින්. ඒ අනුව 1974 වර්ෂය වනවිට වසර 25 ක් සම්පූර්ණවීම නිමිත්තෙන් මේ පදක්කම එවකට යුද හමුදාවේ සේවය කල සියලු නිලයන්ට පිරිනමා තිබෙනවා. රිදී පති මිශ්‍ර ලෝහ පදක්කමේ මුහුණත පැරණි සාම්ප්‍රදායික කදු දෙකකට මැදිව පිහිටි ජනරජ ලාංඡනය සහ පසුපස රාජ්‍ය ලාංඡනය පමණක් දැක්වෙනවා. මැද රතු පැහැති තීරුවකින්ද දෙපස නිල් සහ රිදී පැහැති තීරුවලින්ද යුක්ත පීත්ත පටියක් මේ පදක්කමට තිබෙනවා. 

  මේ ආකාරයටම, නාවික හමුදාවට සහ ගුවන් හමුදාවටද, 25 වැනි සංවත්සර පදක්කමක් සහ 50 වැනි සංවත්සර පදක්කමක්, ඔවුන්ට අදාල වර්ෂ වලදී පිරිනමා තිබෙනවා.


2. ශ්‍රී ලංකා යුද හමුදා 50 වැනි සංවත්සර පදක්කම - 1999 
    Sri Lanka Army 50th Anniversary Medal - 1999 

21
   දීර්ඝ විස්තරයක් කිරීමට අවශ්‍ය නැහැනේ. ඉහත 25 වැනි සංවත්සර පදක්කම නිකුත්කළ ආකාරයටමයි, මේ පදක්කම  නිකුත් කර තිබෙන්නේ. ජාතික ධජයේ සහ යුද හමුදා ධජයේ ඇති වර්ණ මෙම පදක්කමේ පීත්ත පටියට ඇතුලත් කර තිබෙනවා. ලෝකඩ වැනි පැහැයකින් යුත් මිශ්‍ර ලෝහ පදක්කමේ ඉදිරිපස සොල්දාදුවකුගේ රූපය, යුද හමුදා ලාංඡනය, 50 ඉලක්කම නිරූපණය වන අතර, පසුපස රාජ්‍ය ලාංඡනය නිරූපණය වෙනවා.


5. 50 වැනි නිදහස් දින සමරු පදක්කම - 1998 
    50th Independence Anniversary Medal - 1998

20
   1948 පෙබරවාරි මස 4 වැනි දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා, 1998 වර්ෂය වනවිට වසර 50 ක් සම්පූර්ණවීම නිමිත්තෙත්, 1998 දී ත්‍රිවිධ හමුදාවේ සේවය කල සියලු නිලයන් වෙත, මේ පදක්කම පිරිනැමුණා. රිදී පති මිශ්‍රලෝහ පදක්කමේ මුහුණත 50 ඉලක්කම සහ නෙලුම් මලක මෝස්තරයක් නිරූපණය වන අතර පසුපස රාජ්‍ය ලාංඡනය තිබෙනවා. කහ රන්වන් පැහැති පීත්ත පටියේ මැද ථ්රිඑඉධ හමුදා නියෝජනය වන වර්ණ පටි යොදා තිබෙනවා. 


6. ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා ශත සංවත්සර පදක්කම - 1981 
    Sri Lanka Army Volunteer Fore Centenary Medal - 1981

26
   අපේ රටේ නිත්‍ය හමුදාව පිහිටුවන්නට කලින්, බ්‍රිතාන්‍ය පාලන සමයේදී තමයි යුද හමුදාවක් පිහිටුවා තිබෙනේ. එය, ස්වේච්ඡා හමුදාවක් ලෙසයි පවත්වාගෙන ගොස් තිබෙන්නේ. මේ ගැන පසුව ලියන්නම්. ඒ අනුව, ස්වේච්ඡා හමුදාව, නිත්‍ය හමුදාවට වඩා පරණයි. ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය පවා පිහිටුවා තිබෙන්නේ, 1881 දී. ඒ අනුව, 1981 දී, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට, වසර 100 ක් සම්පූර්ණවීම අනුස්මරණය කිරීම සඳහා, එවකට, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ, සක්‍රිය සේවයේ යෙදී සිටි සියලු නිලයන් වෙත, මේ පදක්කම ප්‍රදානය කෙරුණා. පීත්ත පටියේ ඇති කහ සහ කළු වර්ණ වලින් නිරූපණය වන්නේ ස්වේච්ඡා බලසේනාවේ වර්ණ. රිදී පැහැති මිශ්‍ර ලෝහ පදක්කමේ මුහුණත, ස්වේච්ඡා බලසේනා ලාංඡනයත්, පසුපස, ජනරජ ලාංඡනයත් ඇතුලත් වෙනවා. 



7. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක කටයුතු වෙනුවෙන් පිරිනැමෙන පදක්කම් 
    United Nations Peacekeeping Service Medals 

1. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොංගෝ පදක්කම 
    United Nations Congo Medal 

28
   1960 දී, කොංගෝ රාජ්‍යය, ප්‍රංශ අධිරාජ්‍ය පාලනයෙන් මිදී, නිදහස් රාජ්‍යයක් වීමත් සමගම, එරට තුළ, දේශපාලන වියවුල් සහ සන්නද්ධ ගැටුම් උත්සන්න වුනා. මේ පිළිබඳව සලකා බැලූ එක්සත් ජාතීන්ගේ සංවිධානය, සාමසාධක හමුදාවක් යෙදවීමට තීරණය කළා. එම සාම සාධක හමුදාවේ සේවය සඳහා, සෑම රටකින්ම පැමිණි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත, මේ පදක්කම පිරිනැමුණා. මේ පදක්කම අදටත් වලංගුයි.  තඹ පැහැයෙන් යුත් පදක්කමේ ඉදිරිපස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය ඇතුලත් වෙනවා. මා, මෙම පදක්කම දැක නැහැ.  


2. එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා පදක්කම - 2004 (හයිටි)
    UN Peacekeeping Force Medal - 2004 - (Haiti) 

29

   මෙම පදක්කම MINUSTAH යන කෙටි යෙදුමෙන් හඳුන්වනවා. එයින් අදහස් කරන්නේ United Nations Stabilization Mission In Haiti (UNSTAMIH) යන්නයි.  MINUSTAH යන්න සෑදී තිබෙන්නේ, මෙම සාම සාධක හමුදා මෙහෙයුමේ, ප්‍රධානතම භූමිකාවක් ඉටුකළ, ප්‍රංශ හමුදා විසින්, ප්‍රංශ භාෂාවෙන්, මෙම මෙහෙයුම හැඳින්වූ,  Mission des Nations Unies pour la stabilisation en Haïti යන්නෙහි මුල අකුරු ගෙන, කෙටි යෙදුමක් සැකසීමෙන්. මෙම මෙහෙයුමට සම්බන්ධවූ, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ, නිත්‍ය සහ ස්වේච්ඡා ඒකක වලට අයත් සියලු නිලයන් වෙත, මෙම පදක්කම ප්‍රදානය කෙරෙනවා. පදක්කම ලෝකඩ වැනි ලෝහයකින් නිමවා ඇති අතර, ඉදිරිපස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය දක්නට ලැබෙනවා. පීත්ත පටිය ලා නිල්, සුදු, කොළ, තද නිල්, යන වර්ණ වලින් යුක්තයි.

   පදක්කම් හඳුන්වාදීම මෙතෙකින් අවසන් වෙනවා. නමුත්, පදක්කම් කතාව තවත් ඉදිරියට යනවා. මෙහිදී මා අවධාරණය කරනවා, අද භාවිතයේ නැති පදක්කම්, මෙම විස්තරයට ඇතුලත් කර නැති බව. ඒ සියල්ල කියන්නට යාම, ලිපිය නීරස වන්නට හේතුවෙතැයි සිතනවා. ඔබ මේ දැනගත්තේ අපේ ත්‍රිවිධ හමුදාවටම පොදුවූ පදක්කම් පමණයි. මා යුද හමුදා සාමාජිකයකු නිසා, යුද හමුදාවට පමණක් ආවේනික පදක්කම් ගැනත්, මෙහි සඳහන් කර තිබෙනවා.

   නමුත්, ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට ආවේනික පදක්කම් ඇති අතර, ඒ පිලිබඳ විස්තර මා නොදන්නා නිසා, ලියන්නට නොහැකිවීම ගැන කණගාටු වෙනවා.  

   පදක්කම් ලැබුන පලියට ඒවා පළඳින්නට බැහැ. ඒ සඳහා අදාළ හමුදා නියෝග තිබෙනවා. පදක්කම් පැළඳිය යුත්තේ, ඒ හමුදා නියෝග අනුවයි. සෑම පදක්කමකට ම, ජ්‍යොෂ්ඨත්වයක් තිබෙනවා, මේ ලිපියේ මා දක්වා ඇති පදක්කම් පින්තූරවල, කුඩාවට ඉලක්කමක් සඳහන් වෙනවා. එයින් අදහස් කරන්නේ ජ්‍යොෂ්ඨත්වයයි. එමෙන්ම ඔබ දැක ඇති, හමුදා සාමාජිකයන්, මේ පදක්කම්, සෑම නිළ ඇඳුමකම පළඳින්නේ නැහැ. සමහර නිළ ඇඳුම්වල, ඔවුන් පළඳින්නේ වර්ණ පටි විශේෂයක්. ඒ පටි වලින් මේ පදක්කම් නියෝජනය වෙනවා. ඒ තොරතුරු ඊළඟ කොටසේදී සාකච්ඡා කරමු. 


2015 ජූනි මස 29 වැනි දින 0041 පැය 

25 June 2015

මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ (දෙවැනි කොටස)

Medals
 ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පිරිනමනු ලබන පදක්කම් පිළිබඳව, ඔබට යම් අවබෝධයක් ලබාදීමටයි, මේ ලිපි පෙළ ලියන්නේ. පසුගිය ලිපියෙන්, පදක්කම් වර්ගීකරණය, පිරිනැමීමේ පිළිවෙත් සහ වීර පදක්කම් පිළිබඳව ඔබට සරල අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතනවා.පසුගිය ලිපියේදී අපි සාකච්ඡා කළා මේ පදක්කම් වර්ගීකරණය කර ඇති ආකාරය. අද අපි බලමු වීර පදක්කම් ලෙස සැලකෙන පදක්කම් වලට පසුව එන පදක්කම් මොනවාද කියා. 


2. විශේෂ කුසලතා/දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන පදක්කම්
Meritorious Awards & Medals

 මේ වර්ගීකරණයට වැටෙන පදක්කම් දෙකක් තිබෙනවා. ඒ තමයි දේශපුත්‍ර සම්මානය සහ උත්තම පූජා පදක්කම. මෙයින් දේශපුත්‍ර පදක්කම ත්‍රිවිධ හමුදාවේ මෙන්ම ශ්‍රී ලංකා පොලිස් සේවයේද නිර්දේශිත අයවලුන් වෙත ප්‍රදානය කරනු ලබනවා. (ජීවත්ව සිටින/නොසිටින) නමුත් උත්තම පූජා ත්‍රිවිධ හමුදාවේ සේවය කරන හෝ කළ අයට දෙන්නේ නැහැ. එය ලබාදෙන්නේ ත්‍රිවිධ හමුදාවේ සේවය කොට දිවිපිදූ රණවිරුවන්හේ පවුල් වලටයි. ඒ බව මා මෙතනදී සඳහන් කරන්නේ එම පදක්කම පිළිබඳව කලින් දැන සිටින අයගේ සිතේ ඇතිවන ගැටලුවට පිළිතුර වශයෙනුයි.


1. දේශපුත්‍ර සම්මානය 
10
   මිශ්‍ර ලෝහයකින් සකසා ඇති මෙම පදක්කම රිදී පැහැයෙන් යුක්තයි. පදක්කමේ ඉදිරිපස, ත්‍රිවිධ හමුදා නිරූපණය වන සංකේතයක් ඇතුලත් වන අතර, පසුපස තිබෙන්නේ රාජ්‍ය ලාංඡනයයි. දෙපස රිදී පැහැති තීරු දෙකක් සහිත, දම් පැහැති පීත්ත පටියක, පදක්කම රඳවා තිබෙනවා. සතුරු ප්‍රහාර ඉදිරියේ අභීතව මුහුණ දෙමින් සටන් කොට, තරමක් බරපතළ යන වෛද්‍ය නිර්දේශය ලබන තරමේ, තුවාල ලබන හෝ තුවාල ලැබීමෙන් මියයන, ත්‍රිවිධ හමුදා අයවලුන් සහ පොලිස් සේවයේ අයවලුන් වෙත, මෙම පදක්කම ප්‍රදානය කරනු ලබනවා. මෙම පදක්කම ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා සාමාජිකයන්ට පිරිනමන, 'දම් පැහැ හදවත - Purple Heart' පදක්කමට සමානයි කියන්නටත් පුළුවන්. 


2. උත්තම පූජා පදක්කම 
Uththama Pooja Padakkama

   මා කලින් සඳහන් කලාක් මෙන් වරදවා වටහාගන්නට එපා මෙය ත්‍රිවිධ හමුදා සාමාජිකයනට පිරිනැමෙන පදක්කමක් කියා. මෙය පිරි නමන්නේ සංග්‍රාමයේදී දවිපිදූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ කලත්‍රයා වෙතටයි. මෙම පදක්කම පිරිනැමීම ආරම්භ වූයේ 2010 වර්ෂයේ සිටයි. රිදී පැහැති මිශ්‍ර ලෝහයකින් සාදා ඇති පදක්කමේ මුහුණත ලංකා සිතියමේ අනුරුවක්, පුද්ගල අනුරුවක් ඇතුලත් වන අතර, තද නිල් පැහැති පීත්ත පටියක පදක්කම රඳවා තිබෙනවා.

   හමුදාවේ අය පදක්කම් පළඳිනවා වගේ මේ පදක්කම ලැබෙන කෙනාටත් මේ පදක්කම තම ඇඳුමේ පළඳින්න පුලුවන්ද?

  පුළුවන්. මෙන්න මෙහෙම. 

   පියාට අයිති පදක්කම පුතාට පළඳින්න පුළුවන්, සම්පූර්ණ යුරෝපීය ඇඳුම හෝ අපේ ජාතික ඇඳුම ඇඳ, ජාතික උත්සවයකට සහභාගිවන (බලන්න යන) අවස්ථාවකදී, හමුදාවෙන් ආරාධනා ලැබූ උත්සවයකදී, වෙනත් ජාතික ආගමික උත්සවයකදී පළඳින්න පුළුවන්. පැළඳිය යුත්තේ පපුවේ දකුණු පැත්තේ. (පපුවේ වම් පැත්තේ පදක්කම් පළඳින්නේ, දැනට සේවයේ යෙදී ඉන්න හමුදා/පොලිස් සාමාජිකයන්) එමෙන්ම මියගිය තම පියාගේ අනෙකුත් පදක්කම්, එලෙසම තම පපුවේ දකුණු පැත්තේ පළඳින්නත් පුතාට අවසර තියනවා, ඉහත සඳහන් අවස්ථා වලදී. පුත්තු ගොඩක් ඉන්නවනම් ලොක්කට තමයි පුලුවන්.

දියණිවරු  මේක අහලා තරහ වෙන්න එපා. ලෝකයෙම තියෙන්නේ ඒ ප්‍රතිපත්තිය. 



3. සේවය ඇගයීම සඳහා පිරිනමනු ලබන පදක්කම්/සම්මාන
       Service Medals and Decorations

     මෙම වර්ගීකරණයට වැටෙන පදක්කම් හයක් තිබෙනවා. (යුද හමුදාවට අදාළ ඒවා පමණයි) අපි ඒවා එකින් එක ගෙන බලමු.


1. විශිෂ්ඨ සේවා විභූෂණය - VSV
6

   මෙම පදක්කමේ විශේෂත්වයක් තිබෙනවා. එනම්, මේ පදක්කම පිරිනමනු ලබන්නේ, ත්‍රිවිධ හමුදාවේ, නිත්‍ය සේවයේ Regular Force සාමාජිකයන්ට පමණක් වන අතර, එයින්ද, වර්තමානයේදී මේ පදක්කම සඳහා නිර්දේශ ලබන්නේ, මේජර් ජෙනරල් සහ ඊට ඉහළ නිලයේ අයවලුන් පමණයි. (නාවික හමුදාවේ රියර් අද්මිරල්, ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල්)  කළු පැහැති මිශ්‍ර ලෝහයකින් නිමවා ඇති මෙම පදක්කමේ මුහුණත, පැරණි සිංහල රජසමයේ, අසුපිට ගමන්කරන සොල්දාදුවකුගේ ලාංඡනයක් නිරූපණය වන අතර, පසුපස රාජ්‍ය ලාංඡනය දැක්වෙනවා. දෙපස කොළ පැහැති තීරු දෙකක් සහිත, කහ පැහැති පීත්ත පටියක පදක්කම රඳවා තිබෙනවා. ශ්‍රී ලංකා ජනරජයේ නිත්‍ය හමුදාවට අයත් ජ්‍යොෂ්ඨ නිළධාරියකු වශයෙන් කර ඇති, අවංක, පක්ෂපාතී, විශිෂ්ඨ සේවය ඇගයීම සඳහා මෙම පදක්කම පිරිනමනු ලබනවා. පදක්කම් ලාභියාට තම නමට අගින් VSV යන අකුරු යොදන්නට අවසර තිබෙනවා. 


2. උත්තම සේවා පදක්කම - USP

8

   මෙම පදක්කම පිරිනමනු ලබන්නෙත්, නිත්‍ය හමුදාවේ නිළධාරීන්ට සහ සෙසු නිළයන්ට පමණයි.  තම හමුදා සේවා කාලය තුළ, නොකැළැල් සේවා වාර්තාවක් හිමි, රාජකාරිය සඳහා දැඩි කැපවීමකින් යුත්, කැපීපෙනෙන ඉහළ විනයක් සහ පැවැත්මක් ඇති අයවලුන්ට, මෙම පදක්කම පිරිනමනු ලබනවා. නිල් පැහැති පීත්ත පටියක, කහ පති තීරු දෙකක් සහිත පීත්ත පටියක රඳවා ඇති පදක්කම, මිශ්‍ර ලෝහයෙන් නිමවා ඇති අතර මුහුණත පිල් විදහා සිටින මොනරකුගේ ලාංඡනයක් සහ පසුපස රාජ්‍ය ලාංඡනය දැක්වෙනවා. පදක්කම් ලාභියාට තම නමට අගින් USP යන්න යෙදිය හැකියි.


3. විදේශ සේවා පදක්කම
27


   ශ්‍රී ලංකා ජනරජයට අයත් භූමියෙන් පිටත පිහිටි ප්‍රදේශයකදී, සංග්‍රාමික රාජකාරි ඉටු කරනු ලබන, ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය/ස්වේච්ඡා සියලු නිළයන් වෙත, මෙම පදක්කම පිරිනමනු ලබනවා. නිල් පැහැති පසුබිමක ඇති, රිදී පැහැති තීරු දෙකකින් යුත් පීත්ත පටියක රඳවා ඇති, මෙම පදක්කම, ලෝකඩ වලින් නිමවා ඇති අතර, මුහුණත මහනුවර යුගයේ කැටයමක් සහ, පසුපස රාජ්‍ය ලාංඡනය දැක්වෙනවා.


4. ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම - 1979 


23

   ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය හමුදා සේවයේ යෙදී සිටින, නිළධාරීන්ට සහ සෙසු නිලයන්ට පමණක් පිරිනැමෙන මෙම පදක්කම, ලබාගැනීම සඳහා සුදුසුකම වන්නේ, නොකැළැල්, විශිෂ්ඨ සේවා වාර්තා සහිතව, නොකඩවා අවුරුදු 12ක් හමුදා සේවයේ යෙදී සිටීමයි. රතු පැහැති පීත්ත පටියක, යුද හමුදාව නිරූපණය කරන ගුරු පැහැති තීරුවකුත්, නාවික හමුදාව නිරූපණය කරන තද නිල් පැහැති තීරුවකුත්, ගුවන් හමුදාව නිරූපණය කරන ලා නිල් පැහැති තීරුවකුත් තිබෙනවා. පදක්කම රිදී පැහැති මිශ්‍ර ලෝහයකින් නිමවා ඇති අතර, ඉදිරිපද රාජ්‍ය ලාංඡනය සහ භාෂා තුනෙන් ශ්‍රී ලංකා ජනරජය යන වචනත්, පසුපස ත්‍රිවිධ හමුදා ලාංඡනයත් දක්නට ලැබෙනවා. 


5. කාර්යක්‍ෂම සේවා විභූෂණය - KSV

7

   මෙම පදක්කම පිරිනමනු ලබන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලසේනාවට අයත් නිලධාරීන්ට පමණයි. එයින්ද වර්තමානයේදී මෙම පදක්කම සඳහා නිර්දේශ ලබන්නේ කර්නල් සහ ඊට ඉහළ නිලයේ නිලධාරීන් පමණයි. සාමාන්‍යයෙන් වසර 20 ක පමණ නොකැළැල් සේවා වාර්තාවක් හිමි අයටයි මෙය ප්‍රදානය කරන්නේ. පදක්කම් ලාභියාට තම නමට අගින් KSV යන අකුරු ලියන්නට අවසර තිබෙනවා. මැද කළු පැහැති තීරුවකින් යුත් පීත්ත පටියේ, වමට සහ දකුණට සමව පිහිටන, කොළ, කහ, රතු, දම්, යන වර්ණවලින් යුත් තෙරු දක්නට ලැබෙන අතර, පදක්කම අඳුරු පති මිශ්‍ර ලෝහයකින් නිමවා තිබෙනවා. ඉදිරිපස කදු දෙකකට මැදිවූ රාජ්‍ය ලාංඡනයත් පසුපස ස්වේච්ඡා බලසේනා ලාංඡනයත් දක්නට ලැබෙනවා. 


6. කාර්යක්‍ෂම සේවා පදක්කම - KSP


9

   මෙම පදක්කම පිරිනමන්නේ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට අයත් සෙසු නිළයන්ට පමණයි. වර්තමානයේදී බොහෝවිට නිර්දේශ ලබන්නේ, සැරයන් සහ ඊට ඉහළ නිළ වල අයවලුන්. පදක්කම ලබාදීමේ සුදුසුකම්, ඉහත කාර්යක්ෂම සේවා විභූෂණය ලබාගැනීමට අවශ්‍ය සුසුසුකම් ම වන අතර, පදක්කම් ලාභියාට තම නමට ඉදිරිරියෙන්, KSP යන අකුරු ලියන්නට අවසර තිබෙනවා. පීත්ත පටිය, මීට ඉඅහත දක්වා ඇති පදක්කමේ පීත්ත පටියම වන අතර, පදක්කමේ ඇතුලත් ලාංඡනද සමාන වන නමුත්, වෙනසකට ඇත්තේ, මෙම පදක්කම ඊයම් පැහැයට හුරු මිශ්‍ර ලෝහයකින් නිමවා තිබීමයි. 



4. ක්‍රියාන්විත සහ මෙහෙයුම් සඳහා පිරිනැමෙන පදක්කම් 
     Campaign Medals 


   යම්කිසි රටක ත්‍රිවිධ හමුදාව, කාලීනව සිදුකරනු ලබන, සංග්‍රාමික මෙහෙයුම් සහ මානුෂික ආධාර ලබාදීමේ මෙහෙයුම් වෙනුවෙන්, පිරිනමනු ලබන පදක්කම්, මේ ගණයට අයත්වනවා. 


1. උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම 


14

   1983 ජූලි මස 23 වැනි දිනට පසු, නොකඩවා වසර 3 ක කාලයක්, ශ්‍රී ලංකාවේ උතුරු හෝ නැගෙනහිර යන පළාත්වලින් එකක හෝ ඒ දෙකෙහිම සේවය කර ඇති, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නිත්‍ය ස්වේච්ඡා සියලු නිළයන්ටත්, පොලිස් නිළයන්ටත්, මෙම පදක්කම පිරිනැමෙනවා. කොළ, රතු, කහ, සමාන තීරු තුනකින් යුත්, පීත්ත පටියක් සහිත මෙම පදක්කම ලෝකඩ වලින් නිමවා ඇති අතර, මුහුණත ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් පෙන්වන රූපයකින් ද පසුපස රාජ්‍ය ලාංඡනයෙන්ද යුක්ත වෙනවා. 


2. පූර්ණභූමි පදක්කම 


13

   1977 වර්ෂයේ, ජූලි මස 22 දිනට පසුව, අවම වශයෙන්, එක් වසරක කාලයක්, යාපනය දිස්ත්‍රික්කයේ හෝ 1983 සැප්තැම්බර් මස 16 වැනි දිනට පසුව, අවම වශයෙන්, එක වසරක කාලයක්, වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යන දිස්ත්‍රික්කවල සේවය කර තිබෙන ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදා නිත්‍ය/ස්වේච්ඡා හමුදා සියලුම නිළයන්ටත්, පොලිස් නිළයන්ටත් හමුදා සිවිල් සේවකයන්ටත්, (ලිපිකරු, අරක්කැමි, වේටර්, බැට්මන්, කම්කරු, වැනි. ඔවුන්ට එය පළඳින්නට බැහැ. සිහිවටනයක් පමණයි.) මෙම පදක්කම පිරිනැමෙනවා. මැද රතු පැහැති පළල තීරුවක් සහ දෙපස සමාන පළලින් යුත් කහ සහ කොළ පැහැති තීරු දෙකකින් යුත් පීත්ත පටියක රඳවා ඇති පදක්කම රිදී පැහැති මිශ්‍ර ලෝහයකින් නිමවා ඇති අතර, ඉදිරිපස නෙළුම් මලක පෙති මෝස්තරයක් මැද ලංකාවේ සිතියම දැක්වෙන අතර, පසුපස රාජ්‍ය ලාංඡනය දක්නට ලැබෙනවා. 


3. වඩමාරච්චි ක්‍රියාන්විත පදක්කම 


15

   යාපනය අර්ධද්වීපයේ පිහිටි, වඩමාරච්චි ප්‍රදේශය, LTTE ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා, 1987 වර්ෂයේදී දියත් කල, වඩමාරච්චි මෙහෙයුම, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ කැපීපෙනෙන ක්‍රියාන්විතයක් ලෙස සැලකෙනවා. මෙම මෙහෙයුම සඳහා සටන්කරී භූමිකාවෙන්ද, භට කාර්ය සම්පාදන/වෛද්‍ය/අවට ආරක්‍ෂාව/සේවා සැපයුම්/ ආදී විවිධ ආකාරයෙන් දායකවූ, ත්‍රිවිධ හමුදා නිත්‍ය/ස්වේච්ඡා සාමාජිකයන් වෙත, මෙම පදක්කම පිරිනැමුණා.  අටපට්ටම් හැඩයකින් යුත්, ලෝකඩ පැහැති පදක්කමේ මුහුණත, ශ්‍රී ලංකාවේ සිතියමත්, පසුපස රාජ්‍ය ලාංඡනයත් දැක්වෙන අතර, පීත්ත පටිය මැද තැඹිලි පැහැති පළල තීරුවකින්ද, දෙපස කළු, සුදු, රතු, යන වර්ණ තීරු තුන බැගින්ද යුක්තයි. 


4. රිවිරැස ක්‍රියාන්විත/මෙහෙයුම් පදක්කම 


16

   යාපනය නගරය LTTE ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා දියත්කළ, රිවිරැස මෙහෙයුමට සෑම අයුරින්ම දායකවූ, ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය/ස්වේච්ඡා සියලු සාමාජිකයන් වෙත මෙම පදක්කම පිරිනැමුණා. පදක්කම රිදී පැහැයෙන් යුක්තවන අතර සූර්යයාගේ හැඩයෙන් යුක්ත මුහුණතක් සහ පසුපස රාජ්‍ය ලාංඡනයෙන් යුක්තයි. පීත්ත පටියේ මැද තිබෙන තැඹිලි, තද නිල්, සහ ලා නිල්, යන වර්ණ වලින් යුද, නාවික, ගුවන්, හමුදා නිරූපණය වනවා. 


5. උතුරු පළාත් මානුෂීය මෙහෙයුම් පදක්කම 


12

   2009 වර්ෂයේදී, ඊලාම් යුද්ධය ජයග්‍රහණයෙන් නිම කරමින්, උතුරු පළාතේ මහජනතාව වෙත, විවිධාකාරයේ සහන සහ පහසුකම් සැලැස්වීමට දායක වූ, ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය/ස්වේච්ඡා සියලුම සාමාජිකයන් වෙත මෙම පදක්කම පිරිනැමුණා. රිදී පැහැති මිශ්‍ර ලෝහ පදක්කම නිල්,රතු,කහ,කළු යන වර්ණ සහිත පීත්ත පටියක රඳවා තිබෙනවා. ඉදිරිපස ලංකාවේ උතුරු පළාත සහ ආරක්ෂක සේනා දැක්වෙන එම්බෝස් කැටයමකින්ද, පසුපස රාජ්‍ය ලාංඡනයෙන්ද යුක්තයි. 


6. නැගෙනහිර පළාත් මානුෂීය මෙහෙයුම් පදක්කම 

11

එදා මාවිල්ආරු මෙහෙයුමෙන් ඇරඹී, නැගෙනහිර පළාත පුරා දියත් කළ, මානුෂීය මෙහෙයුම් තුළින් ඊලාම් සටන ජයග්‍රහණය කරන්නට උරදුන්, ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය/ස්වේච්ඡා සියලුම සාමාජිකයන් වෙත, මෙම පදක්කම පිරිනැමුණා. ත්‍රිවිධ හමුදාව, නියෝජනය වන වර්ණ සහිත පීත්ත පටියක් ඇති මෙම පදක්කමේ, මාවිල්ආරු සොරොව්වේ ලාංඡනයක් සහ රාජ්‍ය ලාංඡනයත් පසුපස රාජ්‍ය ලාංඡනයත් තිබෙනවා.  

අද කොටස මෙතනින් අවසන් කරනවා. තවත් කොටසකින් හමුවෙමු. 



2015 ජූනි මස 25 වැනි දින 1420 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }