හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label ඓතිහාසික කතා. Show all posts
Showing posts with label ඓතිහාසික කතා. Show all posts

25 July 2016

ඓතිහාසික නාවික සටහන් (පළමුවැනි කොටස)

   අම්මපා, මේ අපේ නැවියෙක් ඉන්නවා, කිසි කමකට නෑ. අඩු ගානේ නැවක රෝද හතර තියෙන්නේ කොහෙද, නැවකට කොච්චර ඉහලට පියාඹන්න පුලුවන්ද, වගේ ලිපියක්වත් ලියපන්කො ඉඳලා හිටලාවත්. කොහෙද මේ යකා ලියන්නෙම, සුබසාධන කතා විතරයි. දැන් අර ලොකු නැව් මහත්තුරු දෙන්නෙක් ලියනවා, ඒත් ලියන්නේ නැහැනේ, ඔය පරණ යුද්ද කතා ටිකක්. මේ දවස්වල, මම ජාලේ කරක් ගහනකොට, අහම්බෙන් දැකපු පින්තූර ටිකකට ආසාවේ බැරුව, ඒ ටික තමුන්නාන්සේලාටත් පෙන්නන්න හිතුණා. ඇත්තටම අපේ රටේ ඉතිහාසයටත්, නාවික හමුදා ඉතිහාසයටත් සම්බන්ධ ඒ පින්තූර, බොහොම වටිනවා. ඔන්න බලමුකෝ ඒ පින්තූර වලින් ටිකක්. තව මහා ගොඩක් තියනවා. ඒවා පස්සේ බලමු. 

   මේ පින්තූර අයත්වන්නේ, දෙවැනි ලෝක සංග්‍රාමය ආරම්භ වීමට ආසන්න කාලයට සහ, දෙවැනි ලෝක සංග්‍රාමය ඇරඹුණු මුල් කාලයට මෙන්ම, එහි අවසාන භාගයටයි. එබැවින්, මේ පින්තූර වල ඓතිහාසික වටිනාකම බොහොම ඉහලයි. 

   එකල බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ලංකාව, පාලනය කෙරුනේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අරමුණු සහ අවශ්‍යතා අනුව බව ඔබ හොඳින්ම දන්නවා. අපේ රටේ එකල දේශීය ත්‍රිවිධ හමුදා නොපැවැති අතර බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවල, ස්වේච්ඡා ඒකක ලෙසයි අපේ රටේ ත්‍රිවිධ හමුදා පවත්වාගෙන ගියේ. මේ අතරින්, රාජකීය  නාවික හමුදාවේ ස්වේච්ඡා උප සේවය (Royal Navy Volunteer Reserve = RNVR) ලෙසයි මෙම කරුණු උපුටාගත් මූලාශ්‍රයේ සඳහන් වන්නේ. 


පුහුණු කටයුතු 

   බ්‍රිතාන්‍ය හමුදාව යටතේ  පවත්වාගෙන ගිය ස්වේච්ඡා නාවික බලසේනාවට, ඉතා හොඳ පුහුණුවක් ලබා දී තිබෙන බව, මේ පින්තූර වලින් පෙනෙනවා. මා දන්නා තරමින්, සාමාන්‍ය නැවියන්ට පවා පුහුණුව ලබා දුන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. 

  පහත දැක්වෙන බොහෝ පින්තූර වලට අදාළ විස්තරයේ සටහන්ව තිබෙන්නේ, Cingalese Ratings  යනුවෙන්. මෙහිදී, Cingalese යන්න යොදා ඇත්තේ, අද අපි, Sinhalese/Singhalese යනුවෙන් කරන යෙදුම් උදෙසා බව පෙනෙනවා. නාවික හමුදා භාෂාවෙන්, Rate කියන්නේ, අදාළ නාවික හමුදා පුද්ගලයාගේ, තත්වය/තරාතිරම/වෘත්තීය/යන්නයි. 

   මේ පින්තූර, 1942 වර්ෂයේදී, කොළඹදී ලබාගත් බවයි, අදාළ මූලාශයේ සඳහන් වන්නේ. ඒ කාලයේ, බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත, .303 Lee Enfield Mark I රයිෆල් තමයි, මේ නාවික සෙබළුන් අත දකින්නට ලැබෙන්නේ. බලන්න, ඒ කාලේ පාවිච්චි කල බයිනෙත්තුව කොපමණ දිගද කියා. එය රයිෆලයෙන් ගලවාගෙන, කෙටි කඩුවක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන්. 


මේ පින්තූරයේ දැක්වෙන සෙබළුන්, අවිය ගෙනයන්නේ, 'උරේ අවි' නමැති ඉරියව්වෙන්. 
අද මෙම ඉරියව්ව අපේ ත්‍රිවිධ හමුදාව භාවිත කරන්නේ නැහැ.











අවිය නිවැරදිව සවිකර, පිරිසිදුව තිබෙනවාද යන්න, පෙරෙට්ටුවේදී, නිලධාරීන් විසින් 
පරීක්‍ෂා කරන්නේ මෙහෙමයි.


පොල් අතු සෙවිලි කළ භට නිවාස තමයි, පහත පින්තූරයේ පසුබිමේ දකින්නට ලැබෙන්නේ.



ඒ ඒ අවස්ථානුකූලව නැවක ඔසවන විවිධ ධජ මගින් ගොඩබිමට නොයෙක් තොරතුරු සපයනවා. 
මේ, ඒ පිලිබඳ පුහුණුවක් ලබන හැටි. 



බර අවි පුහුණුව, සෑහෙන තරම් උසස් මට්ටමෙන් සිදුකර ඇති බව, මේ පින්තූර වලින් පෙනෙනවා. ඇත්තෙන්ම මේ කරන්නේ, ළඟ ළඟ එන ලෝක සංග්‍රාමයකට මුහුණදීම සඳහා සූදානම් වීමයි. 
මේ ඉගෙනගන්නේ ගුවන් යානා නාශක තුවක්කුවක් ක්‍රියාකරවන ආකාරයයි.


රාත්තල් 3 උණ්ඩ, යොදා වෙඩි තබන මධ්‍යම පරිමාණ තුවක්කුව. 
පුහුණුවෙන අයට සපත්තුත් නෑ වගේ.


දේශනයකට සවන්දෙන ලංකාවේ නැවියෝ  


මුහුදු වෙඩි ඇතිරීම පිලිබඳ පුහුණුවක්  


මුහුද යට අතුරා ඇති, සතුරු මුහුදු වෙඩි පිළිබඳව, තොරතුරු සොයා බැලීමේ පුහුණුව  


මුහුදේ අතුරා ඇති, සතුරු මුහුදු වෙඩි, පුපුරුවා හැරීමට පුහුණුව ලබන අයුරු. 


කොහොමද ඒ කාලේ අපේ නේවි කොල්ලෝ  




සතුරු ගුවන් ප්‍රහාර වැළක්වීමේ, ගුවන් යානා නාශක අවි පුහුණුව. 
එළිමහනේ කලයුතු මේ පුහුණුව, වහලයේ කුඩා කොටසක් ඉවත් කල ගොඩනැගිල්ලක් තුළ කරන්නේ, 
සතුරු ගුවන් ප්‍රහාර එල්ලවෙතැයි, අනුමාන කරන නිසා වන්නට ඇති.   
මෙම පුහුණු පාසල හඳුන්වා තිබෙන්නේ 
CEYLON SCHOOL FOR NAVAL GUNNERS යනුවෙන්.




තොරතුරු තාක්‍ෂණය අද මෙන් දියුණු නැතත්, හොඳ පුස්තකාල පහසුකම් ලැබී තිබෙනවා. හොඳින් බලන්න, සිවිලිමේ එල්ලා තිබෙන, කුඩා ගුවන් යානා ආකෘති. මේවා සෑමවිටම ඇස ගැටුනාම, එහි හැඩය මතක හිටිනවා. ගුවනේදී දැක්ක ගමන් හඳුනාගන්න පුළුවන්, ඒ කුමන ගුවන් යානයක්ද කියා.  


ඒයි අපේ නැවියා, කියලා දීපන් Boxing Compass කියන්නේ මොකක්ද කියලා. 
මේ කරන්නේ අන්න ඒ පුහුණුව. මට තේරෙන විදිහට මාලිමාව මගින් දිශා හඳුනාගැනීම. 


බර අවි, කොටස් වලට ගැලවීම, පිරිසිදු කිරීම,
සවිකිරීම, ආදී නඩත්තු වැඩ ඉගෙනගැනීම. 


ලොකුම තර්ජනය ගුවන් ප්‍රහාර. ඒ නිසා සතුරු/මිතුරු ගුවන්යානා, 
දුර තියාම හඳුනාගන්න හැටි කියාදීම වැදගත්.


සතුරු ගුවන්යානා වනසන මහ තුවක්කුවක්. 


කොහොමද ඒ කාලේ පණිවිඩ හුවමාරු උපකරණ.
හැබැයි, මේවා ජංගම යන්ත්‍ර කියලයි මූලාශ්‍රයේ තියෙන්නේ.  


මේ උපකරණය හඳුන්වන්නේ, හේලියෝග්‍රාෆ්  - Heliograph කියලා.
මේකේ තියන කන්නාඩියෙන්, හිරු එළිය, එක්තරා රටාවකට පරාවර්තනය කරලා, 
මෝස් කේත ක්‍රමය වැනි ක්‍රමයක් අනුව, සංඥා ලබාදෙන්න පුළුවන්. 


ඒ කාලේ අප්‍රිකානු සෙබළුන්, ලංකාවට ගෙනැවිත් තිබෙනවා, පුහුණු කටයුතු සඳහා.
මේ එවැනි පිරිසක් අපේ තේ රස බලද්දී.


සතුරු මුහුදු වෙඩි සොයමින්, කොළඹ අවට මුහුදේ මුර සංචාරයක යෙදෙන,  
HMS Sambhur නෞකාව. ඉදිරියෙන් සිටින්නේ, නැවේ කපිතන් වන, 
ලාංකිකයකු වූ, ලුතිතන් සන්සෝනි 


ලංකාවට ඒමට නැව් නගින අප්‍රිකානු සොල්දාදුවෝ.
අප්‍රිකානු සොල්දාදුවන් හඳුන්වන්නේ, Askaris යනුවෙන්. 


'අම්මෝ....පොල්ගස් වල කරටියේ ගෑවී නොගෑවී යන්නේ' කියමින්, 
බෝම්බ ප්‍රහාරක බ්‍රිතාන්‍ය ගුවන් යානා නරඹන, ලාංකික ජනතාව  




අවරපෙති සහිත ගුවන් යානාවල, එම පෙති, වේගයෙන් මේ විදිහට කරකවා, 
පණගන්වන්නට පුළුවන්. මේකත් හරියට, එක්තරා ආකාරයක, 'තල්ලු ස්ටාර්ට්' එකක්.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මේ ද්‍රවිඩ ජාතික ධීවරයන්, අත් උදව් කරුවන් හැටියට, 
මේ වැඩේ කරන්න මුලදී බයවුනත්, පසුව, අති දක්ෂ විදිහට ඒ වැඩේ කල බව, 
මූලාශ්‍රයේ සඳහන් වෙනවා.
ඇත්තෙන්ම, මෙය මරණීය අනතුරු සිදුවිය හැකි දෙයක් වුනත්, අදත් කරනවා. මේ බලන්න.





සුබසාධනය 

එදත් අදත් ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය පාලකයාගේ බිරිඳ 
එම රජයේ සුබසාධන කටයුතු වලදී විශේෂ දායකත්වයක් දරනවා.
දෙවැනි ලෝක සංග්‍රාම සමයේ අවසාන භාගයේ 
ලංකාවේ ආණ්ඩුකාරයා වූ 
ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මූවර් ගේ බිරිඳ 
එවකට බ්‍රිතාන්‍ය රතු කුරුස සේවයේ ලංකා ශාඛාවේ 
සභාපතිනිය ලෙස සේවය කළා. 
මේ ඇය ලංකාවේ සේවය සඳහා පැමිණි අවස්ථාව.


බ්‍රිතාන්‍ය රතුකුරුස සංගමයේ ලංකා ශාඛාවේ සේවය සඳහා පැමිණි
බ්‍රිතාන්‍ය සාමාජිකාවන් මේ ආකාරයටයි සේවයේ යෙදුණේ.


පොල් අතු සෙවිලි කල නේවාසිකාගාර 


පොල් අතු නිවස්නය වුනත්,  පිරිසිදුකම සහ පිළිවෙල නම් තියනවා වගේ.


ඔවුන්ගේ අවන්හල. අවන්හල් සේවය අපේ අයගෙන් වගේ 


විවේකාගාරය 


අපේ නැවියන්ට ඒ කාලේ ලැබුණු දන්ත වෛද්‍ය පහසුකම්. 
මේ ඡායාරූපය ගෙන තිබෙන්නේ, පුත්තලම නාවික කඳවුරේදී බවයි 
මූලාශ්‍රයේ සඳහන් වන්නේ. 


අධීක්‍ෂණය 
අපි එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ අතර 
මේ කාලයේදී රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය 
ක්‍රියාත්මකව පැවතුණා.
පහත අංක 38, 39, සහ 40 යන ඡායාරූප වලින් දැක්වෙන්නේ,
එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රධානියා සහ කෘෂිකර්ම ඇමති වූ 
ඩී.එස්.සේනානායක, 
ප්‍රවාහන සහ ඉදිකිරීම් අමාත්‍ය 
කර්නල් ජේ.එල්.කොතලාවල,
ස්වදේශ කටයුතු අමාත්‍ය ඒ.මහාදේව යන අය 
HMS Ceylon නෞකාවේ නිරීක්ෂණ චාරිකාවකට 
එක්වූ අවස්වථාක්.





ත්‍රිවිධ හමුදා අතර සම්බන්ධිකරණ කටයුතු සඳහා 
පත්කර සිටි, වෘත්තීයෙන් වන සංරක්‍ෂණ නිලධාරියකු වූ 
එවකට 1 වැනි ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරි 
ලුතිතන් කර්නල් සී.පී.ජයවර්ධන වෙත 
1944 වසරේදී MBE (Military) සම්මානය බ්‍රිතාන්‍යයේ 
හයවැනි ජෝර්ජ් රජු විසින් ප්‍රදානය කරන ලදී.
නිල ඇඳුමේ කුරුසයක හැඩයට පැළඳගෙන සිටින්නේ එම සම්මාන පදක්කමයි.


යාත්‍රා තොරතුරු 



HMS OKAPI මුර යාත්‍රාව ලාංකික නැවියන් සමග 
කොළඹ අවට මුහුදේ මුර සංචාරයක 



බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව, ඉන්දීය නාවික හමුදාව, පාකිස්තානු නාවික හමුදාව 
යන හමුදා සමග, ලංකා නාවික හමුදාවේ යාත්‍රා, ත්‍රිකුණාමල වරායේ අභ්‍යාසයක 
1944 වර්ෂය 


ලංකාවේ සේවා කාලය නිමාකොට 
ත්‍රිකුණාමල වරායෙන් 
ආපසු බ්‍රිතාන්‍යය බලා පිටත්ව යන 
HMS NEWFOUNDLAND යුද නැව 


මෙන්න ඉන්නවා ඇම්ඩා
මේ තමයි, ජර්මානු නාවික හමුදාවට අයත් 
 KMS EMDEN නෞකාව
1939 දී ත්‍රිකුණාමලයෙන් පිටත්ව යාම.

ඇම්ඩා ලංකාවට ආව බවට සාක්කි මෙන්න 



   මොකද හිතෙන්නේ? ඇත්තටම මේ පින්තූර වලින් බොහොමයක්, අවුරුදු 75 ක් තරම් පැරණියි. ඒ වගේමයි, මේ පින්තූරවල පෙනීසිටින කිසිවකුත්, අද ජීවතුන් අතර නැහැ. මෙහි පෙන්වා ඇති අවි ආයුධ කිසිවක්, අද භාවිතයේ නැහැ. මෙහි දැක්වෙන කිසිදු නාවික යාත්‍රාවක්, අද භාවිතයේ නැහැ. මේ සියල්ල, අගනා ඓතිහාසික සටහන් පෙළක්.

මූලාශ්‍රය:- http://www.iwm.org.uk/

2016 ජූලි මස 20 වැනි දින 2257 පැය     

28 June 2016

ලෝක යුද ඉතිහාසයෙන් (පළමුවැනි කොටස)

   මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට අද දක්වා, ලෝකයේ කොතැනක හෝ යුද්ධයක් පැවතීම, අරුමයක් නොවෙයි. එමෙන්ම, මානව ශිෂ්ටාචාරය මේ මිහිමත පවතින තුරු, යුද්ධයද පවතිනු ඇති බව, විද්වත් මතයක්. යුද්ධය ඇතිකරන්නෙත් මිනිසායි. සාමය ඇති කරන්නේත් මිනිසායි. මිනිස් චිත්ත සන්තානය තුළ, යුද මතය තිබෙනතුරු, ලෝකයේ කොහේ හෝ කොනක යුද්ධයක් පවතිනු ඇති. සාමය ඇති කිරීම කෙසේ වෙතත්, මතුපිටින් පෙනෙන සාමයට යටින්, ලෝකයේ බොහොමයක් රටවල්, තම යුද ශක්තිය වර්ධනය කරගැනීම සඳහා ක්‍රියාකරමින් සිටින බවත්, නොරහසක්. 

   මේ අතර, අපේ රටට අතිරික්ත යුද අවි සහ උපකරණ, එම අවි සහ උපකරණ ලබාගත් රටවලටම, ආපසු විකුණා දැමීමේ අදහසක් තිබෙන බව, කොස්ගම යුදහමුදා පුපුරන ද්‍රව්‍ය ගබඩාව පිපිරීමේ සිද්ධියෙන් පසු, ජනමාධ්‍ය ඔස්සේ කියවුනා ඔබට මතක ඇති. මොකද ඒ ගැන හිතෙන්නේ? යුද වාර්තා, එදත් අදත්, විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්නා තොරතුරු සමුදායක් බව, ඔබ කවුරුත් දන්නවා ඇති. අද මා, එවැනි වාර්තා කීපයකින් උපුටාගත් පින්තූර සහ විස්තර තමයි, ඔබ වෙත මෙසේ රැගෙන එන්නේ. 

   මෙම ලිපියට අදාළ කරුණු සහ පින්තූර උපුටාගත්තේ, HISTORY OF WAR සඟරා වලින් බව, සඳහන් කරන්නට කැමතියි. පින්තූර පෙන්වමින් විස්තරත් දෙන්නම්. 


   වර්ෂ 1941 දී ගත් ඉහත ඡායාරූපයෙන් පෙන්වන්නේ, හිමෙන් වැසී ගිය භූමියක, යුද හමුදා උපදේශක වරුන්ගේ යටතේ, හමුදා පුහුණුව ලබන, රුසියානු පාසල් සිසුන් පිරිසක්. ඔවුන් මෙහි පාවිච්චි කරන සෑම අවියක්ම, ඇත්ත අවියක ලී අනුරුවක් විනා, ඇත්ත අවි නොවෙයි. 1941 වනවිට, ජර්මානු හමුදාවේ තර්ජනය, ඉතා දැඩිව රුසියාවට දැනුනා. තම ත්‍රිවිධ හමුදාවේ භටපිරිස් ප්‍රමාණවත් නොවන නිසා, මෙලෙස, පාසල් සිසුන් පවා, යුද්ධයට සූදානම් කෙරුණා. අද නම් මෙය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති යටතේ තහනම් ක්‍රියාවක්. 


   සටනට උපන් අගමැති. දෙවැනි ලෝක සංග්‍රාම සමයේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය පදවිය දැරූ, ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්, බ්‍රිතාන්‍යයේ සෑන්ඩ්හර්ස්ට් හමුදා විද්‍යාපීඨයේ උපාධිධරයකු වන අතර, ලුතිතන් කර්නල් නිලයේ නිලධාරියකුද විය. එබැවින්, ඔහු සටන් පෙරමුණට ගිය අවස්ථා බොහෝය. ග්‍රීක දූපත් වලට, විශේෂ පුහුණු නාවික යාත්‍රා බලගණයක් යැවූ ඔහු, මේ සිටින්නේ, එම බලගණය පරීක්‍ෂා කරමින්. චර්චිල්ගේ කටේ තියන සුරුට්ටුව, ඔහුගේ අනන්‍යතාවේ ලක්ෂණයක් ලෙස, ලෝක ප්‍රසිද්ධයි. 



   දෙවැනි ලෝක සංග්‍රාම සමයේ ආරම්භ කෙරුණු, බ්‍රිතාන්‍ය විශේය නාවික යාත්‍රා බලගණය, Special Boats Squadron = SBS (අද අපේ රටෙත් තියනවා)  ඉතා රහසිගතව පවත්වාගෙන ගිය, ඉතා සාර්ථක සහ අති ප්‍රබල හමුදා ඒකකයක් වුණා. සතුරා විශ්මයට පත්කරමින්, මාරාන්තික ප්‍රහාර එල්ල කරමින්, උතුරු අප්‍රිකානු වෙරළ ආශ්‍රිතව තම ආධිපත්‍යය ගොඩනගා ගන්නට, ඔවුන් සමත් වුණා. 1944 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රී වරයකු, මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමින්, සතුරු යාත්‍රාවලට පැන, ඔවුන්ගේ බෙල්ල කපා මරා දමන, ම්ලේච්ඡ සටන් කරුවන් පිරිසක්, බ්‍රිතාන්‍ය ධජය යටතේ, මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයේ ඉන්නවාද? කියා විමසීය. එයට පිළිතුරු දුන්, බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්, අපේ රට වෙනුවෙන්, යුද රහස් රැකගන්නට, තමුන්නාන්සේ සහාය නොදෙන්නේ නම්, මම, හෙට තමුන්නාන්සේව එම නාවික කණ්ඩායම වෙත යවනවා, යනුවෙන් ප්‍රකාශ කළා. 


   දෙවැනි ලෝක සංග්‍රාම සමයේ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව වෙනුවෙන් අති විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ, යූ එස් එස් ෆ්‍රෑන්ක්ලින්, ගුවන්යානා හාරක යුද නෞකාව, 1945 මාර්තු මාසයේදී ජපන් ගුවන් හමුදාවේ ප්‍රහාරයකට ලක්ව, අර්ධ වශයෙන් ගිලීගිය අවස්ථාව. 800 ක් පමණ වූ නැවේ කාර්ය මණ්ඩලය, ඉතා අසරණව නැව් තට්ටුව මතට වී බලාසිටින්නේ, තමන් බේරා ගන්නා තුරුයි. 


   කටකාර මෙන්ම හැඩකාර, එමෙන්ම යකඩ ගැහැණිය යයි විරුදාවලි ලත්, බ්‍රිතාන්‍ය අගමැතිනි, මාග්‍රට් තැචර්, සිය සැමියා වන ඩෙනිස් තැචර් (පසුබිමේ) සමග, මේ යුද ගුවන් යානයකට ගොඩවී සිටින්නේ, ඇය අගමැතිනියව සිටි සමයේ, 1982 දී, බ්‍රිතාන්‍ය යුද ගුවන් යානා කම්හලක, නිරීක්ෂණ චාරිකාවක යෙදුන අවස්ථාවකයි. ෆෝල්ක්ලන්ත යුද්ධයේදී, ඇය ඉතා නිර්භීතව ක්‍රියාකල ආකාරය, 'යකඩ ගැහැණිය' යන විරුදාවලියට හොඳින් ගැලපුණා. 

   බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්, ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩි රූස්වෙල්ට්, රුසියානු අගමැති ජෝසෆ් ස්ටාලින්,  මෙසේ කැමරාවට හසුවූයේ, දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසන් භාගයේදී, 1945 වර්ෂයේදී, ක්‍රිමියානු අර්ධ ද්වීපයේ යාල්ටා ප්‍රදේශයේදී පවත්වන ලද, සුප්‍රසිද්ධ 'යාල්ටා සම්මන්ත්‍රණය' සඳහා පැමිණි අවස්ථාවේදීයි. 


  ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයේ පිහිටුවා තිබුණු, 'ඩකාවූ සිර කඳවුරේ' සිටි, යුදෙව් වැසියන් 32000 කට අධික පිරිසක්, ජර්මානු SS භටයන් අතින් ඝාතනයට ලක්වූ අතර, 1945 අප්‍රේල් මස 29 වැනි දින, ඇමරිකානු යුද හමුදාව විසින් මෙම කඳවුර ජර්මානු ග්‍රහණයෙන් මුදාගන්නා ලදී. මෙහිදී එම කඳවුරේ සිටි SS භටයන් පැනයාමට තැත්කළ අවස්ථාවේදී, ඇමරිකානු හමුදාවේ ප්‍රහාරයට ලක්වූ අයුරු. 

   අදට ඇති නේද? මීට වඩා සංවේදී තොරතුරු ඇතුළත්, මෙවැනි ලිපි කීපයක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. 

2016 ජූනි මස 28 වැනි දින 0046 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }