හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label කලාව සහ සාහිත්‍යය. Show all posts
Showing posts with label කලාව සහ සාහිත්‍යය. Show all posts

12 September 2016

හරියට නොපැදපු 'මෝටර් බයිසිකල්'

   මම අද මෝටර් බයිසිකල් චිත්‍රපටිය නැරඹුවෙමි. චිත්‍රපටිය නරඹා, ආපසු නිවස වෙත වාහනය පදවන අතර, මා, මගේ බිරිඳ සහ, දියණියන් අතර ඇතිවූ සංවාදයද පදනම් කරගනිමින්, ඊට අමතරව තනිවම සිතමින් ආ කරුණු ද සලකා බලමින්, රාත්‍රී ආහාරයෙන් පසු, හරි බරි ගැසී පරිගණකය වෙත වාඩිවුණේ, සිනමා විචාරයක් කෙසේ වෙතත්,  මගේ සිතුවිළි අකුරු කරන්නටය. 

   මේ ලියන්නේ, අවංකවම මේ චිත්‍රපටිය ගැන මගේ හිතේ ඇතිවුණු අදහස් ය. ඒ අදහස් සමග ඔබ එකඟවීම මට අවශ්‍ය නැත. මා බලන්නේ මගේ දෘෂ්ටි කෝණයෙනි. මගේ දෘෂ්ටි කෝණයෙන් බලන්නට ඔබ බැඳී නැති අතර, මම ද ඔබේ දෘෂ්ටි කෝණයෙන් හෝ එසේ නැතහොත්, මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂ වරයාගේ දෘෂ්ටි කෝණයෙන් බලන්නට බැඳී නැත්තෙමි. අප සියලුදෙනා ස්වාධීන පුද්ගලයන් බැවින්, ස්වාධීනව අදහස් දැක්වීමේ අයිතිය, මම මෙහිදී භුක්ති විඳින්නෙමි. 

   මේ චිත්‍රපටිය නරඹන්නට පෙර, අජිත් පැරකුම් ජයසිංහ විසින් මෙම චිත්‍රපටිය පිළිබඳව ඉදිරිපත් කරන ලද ලිපිය කියවා තිබුනෙමි. කෙසේ වෙතත්, ඒ ලිපිය කියවා, මා මෙම චිත්‍රපටිය ගැන සිතා සිටි අදහස්, සම්පූර්ණයෙන්ම වෙනස් වූ බව, මුලින්ම කිවයුතුයි. එය, අජිත් පැරකුම්ගේ වරදක් නොවේ. ඔහු ලියන්නේ, ඔහුගේ දෘෂ්ටි කෝණයෙනි. ඒ සඳහා පූර්ණ නිදහස හා අයිතිය ඔහුට ඇත. 

  මගේ මතකයේ හැටියට, චිත්‍රපටියක් යනු කුමක්ද යන්න තේරුම් ගතහැකි ආකාරයට, මා චිත්‍රපටි නැරඹීම ආරම්භ කලේ, 1960 දශකයේ අග භාගයේදීය. මගේ සිනමා ගුරුවරයා වූයේ, සැබෑ ජීවිතයේදී ද ගුරුවරයකු සහ පුවත්පත් චිත්‍ර ශිල්පියකු වූ, මගේ බාප්පාගේ පුතාවන, විරාජිත් මහේන්ද්‍ර ආර්යසිංහ ය. ඔහු මට, සිංහල , ඉංග්‍රීසි, හින්දි, චිත්‍රපටි රාශියක් නැරඹීමේ අවස්ථාව සලසා දුන් අතර, එසේ නැරඹීමෙන් පසු, ඒ චිත්‍රපටි ගැන, මා සමග සාකච්ඡා කරමින්, යම්කිසි විචාරයක යෙදීමටත්, එකල පුවත්පත්වල පළවුණ සිනමා විචාරයන් කියවීම සඳහා, මා පෙළඹවීමටත්, ක්‍රියාකළේය. 

   මේ වනවිට මා, යටත් පිරිසෙයින්, චිත්‍රපටි 500 ක් පමණ නරඹා ඇතැයි සිතමි. සිනමාහල් වලදී ද, වීඩියෝ කැසට් මගින් ද, ඩීවීඩී තැටි වලින් ද, අන්තර්ජාලයෙන් බාගත කරගැනීමෙන් ද, සිංහල, ඉංග්‍රීසි, හින්දි සහ සමහර වෙනත් භාෂා වලින් නිපදවා ඇති චිත්‍රපටි ද, නරඹා ඇත්තෙමි.

   මෙතෙක් මා චිත්‍රපටියකදී අසා ඇති, අතිශයින් කර්ණ කඨෝර, අවිනීත, අසංවර, ජුගුප්සාජනක, බෑඟිරි ගෑමක් අසා ඇත්නම්, එය මේ 'මෝටර් බයිසිකල්' චිත්‍රපටියේ, 'ඊනියා පසුබිම් ගීත' ලෙස ඔබා ඇති, විප්‍රකාරයන් බව ඉඳුරාම ප්‍රකාශ කරමි. මේවා ගීත නම්, මහ පාර අයිනේ,  පදික වේදිකාවේ සිඟා කමින්, ජපන් මැන්ඩලීනයකින්, 'අඩු කුලේ කියාලා අසරණයා' ගීතය, යන්තමින් වයන යාචකයා, මහා ගාන්ධර්වයෙකැයි, මම නොබියව කියමි. මුළු චිත්‍රපටිය පුරාම පැතිරී තිබුණු, මේ අප්‍රසන්න බව, අමාරුවෙන් ඉවසා සිටියෙමි. 

   මෙහිදී අධ්‍යක්‍ෂ වරයාට එක් දෙයක් කීමට කැමැත්තෙමි. රැඩිකල් සංගීතය කියා දෙයක්, අද්‍යතන සමාජය විසින් සම්මත කරගෙන තිබෙන්නට පුළුවන්. එය සම්මතයක් විනා, සම්ප්‍රදායක් හෝ, යම් මූලධර්ම මත පිහිටි දෙයක් නොවේ. 'ඒක තමා ඕයි  එව්වට රැඩිකල් කියන්නේ' කියා, අධ්‍යක්‍ෂවරයා කියන්නේ නම්, ඒ රැඩිකල් කම මටනම්, සුනඛයකුගේ පශ්චාද් භාගයේ බැඳී මීයක් හා සමානයැයි කියමි. 

   මුල මැද අග සහිත කතා හෙවත්, 'ඔන්න එකෝමත් එක රටක' කියා පටන්ගෙන, 'ඉක්බිති සියල්ලෝ සතුටින් ජීවත් වූහ' යනුවෙන් අවසන් කරන චිත්‍රපටි, දැන් යල් පැනගොස් ඇති බවත්, ප්‍රේක්ෂකයාගේ මනස තුළ යම් කම්පනයක් ඇතිකොට, ඒ ඔස්සේ, ඔහුද චිත්‍රපටියේ පාත්‍ර වර්ගයාගේ සමාජයේ සාමාජිකයකු ලෙස සිතන්නට පොළඹවන චිත්‍රපටි, වර්තමාන ලෝකයේ සිනමා නිර්මාණවල පදනම වී ඇති බවත්, එය එසේම වියයුතු බවත්, මම පිලිගනිමි. 'රෂොමොන්' වැනි චිත්‍රපටියක ඇති එකී සුවිශේෂී ලක්‍ෂණය, සිනමාව, කොතරම් ප්‍රබල ලෙස, මානව චර්යාවන් විග්‍රහ කිරීමේ මාධ්‍යයක් ලෙස භාවිත කළහැකිද යන්නට, එක් උදාහරණයක් පමණි. 

   නවක සිනමාවේදීන්, නවමං ඔස්සේ ගමන් කිරීම, සතුටට කරුණකි. එහෙත්, එකී නවමං, සිනමානුරූපී වන්නේද නැද්ද යන්න පිළිබඳව, සැලකියයුතු තරම් බරපතළ මට්ටමෙන් සිතා බැලීමට ද, අධ්‍යක්‍ෂ වරුන් උත්සුක වියයුතුය.

   මෝටර් බයිසිකල් චිත්‍රපටියේ ප්‍රධාන නළුවා, මීට පෙර මම කිසිදු චිත්‍රපටි/ටෙලි නාට්‍ය/ නිර්මානයක දැක නැත්තෙමි. එබැවින්, මට ඔහු නවක නළුවෙකි. සමනලී ෆොන්සේකා නමැති නිළිය, මා මුල්වරට දුටුවේ, ටෙලි නාට්‍යයකිනි. එහිදී ඇයට පැවරී තිබුණේ, බොළඳ තරුණියකගේ චරිතයකි. එහිදී ඇය, සෑහෙන තරම් සාධාරණයක්, එම චරිතයට ඉෂ්ඨ කළාය.  

   මෝටර් බයිසිකල් චිත්‍රපටියේ දී, මේ නළු නිලි යුවල, අධ්‍යක්‍ෂවරයා විසින් කියාදුන් අභ්‍යාස, (drill) අකුරටම කර පෙන්වනු විනා, කිසිදු රංගන වින්‍යාසයක්, ප්‍රතිභාවක්, නොපෙන්වයි. මට මතක්වුනේ, 'හෝ ගානා පොකුණ' චිත්‍රපටියේ ප්‍රධාන නිළිය වූ, අනසුයා සුබසිංහ ය. (නම හරිද මන්දා) හෝ ගානා පොකුණේ ඇය දැක්වූ රංගන ප්‍රතිභාව, ප්‍රවීණයන්ට පවා අභියෝගාත්මක බව, මගේ අදහසයි. මෝටර් බයිසිකල් නළු නිළි යුවල, අධ්‍යක්‍ෂ වරයාගේ සෘෂි භාෂිතයෙන් එකදු මිලි මීටරයක්වත් වෙනස් වී, ස්වාධීනව යමක් කිරීමට උත්සාහ නොකිරීම නිසා, ඔවුන් සතු යම් රංගන කුසලතාවක් ඇත්නම්, එය මොටවී ගොස් ඇත්තේ ඉතා අවාසනාවන්ත ලෙසටය. 

   වීණා ජයකොඩි, නෙතලී නානායක්කාර, දෙදෙනා අධ්‍යක්‍ෂ වරයා විසින් පාවිච්චි කරන්නේ නිකම් සක්ක ගල් දෙකක් ලෙස පමණි. වීණා ජයකොඩි, ඇගේ මව වූ රෝහිනී ජයකොඩි මෙන්ම, ජනප්‍රිය නිළියක මිස දක්‍ෂ නිලියක් නොවේ. අම්මා සහ, පියා නැති පුතා අතර සම්බන්ධය, මීට වඩා තීව්‍ර ලෙස දැක්වූවානම්, කතාවේ ගැඹුරක් ඇතිකළ හැකිව තිබුන නමුත්, කණගාටුදායක ලෙස එය චිත්‍රපටියෙන් ගිලිහී ඇත. 

   කුමාර තිරිමාදුරට රඟපෑමට චිත්‍රපටි හෝ ටෙලිනාට්‍ය නැත්නම්, ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගැටගසාගනීම යෙහෙකි. 

   අනෙකුත් සුළු චරිත සඳහා ගෙන තිබෙන නවක නළු නිලියන්, ඉදිරියේදී, රංගනය ගැඹුරින් හදාරනු ඇතැයි සිතමි. ඔවුන් ගැන දැන්මම යමක් කීමට, මම ඉක්මන් නොවෙමි. 

   මහේන්ද්‍ර පෙරේරා, හැමදාම, මේ චිත්‍රපටියේ දැක්වෙන ආකාරයේ චරිත වලට කොටු නොවී සිටින්නට උත්සාහ කරනවානම් හොඳයි. ප්‍රධාන නළුවා, මහේන්ද්‍ර පෙරේරාගෙන් බයිසිකලය මිලදීගන්නා අවස්ථාවේදී, මහේන්ද්‍ර පෙරේරාගේ ප්‍රතිභාව ඉදිරියේ, ප්‍රධාන නළුවා දැඩි පසුබෑමකට ලක්වෙයි. 

   ට්‍රැෆික් පොලිස් විහිළු, පාක් එකේ ලව් කරන විහිළු, අද්‍යතන තරුණ පරපුරේ ගැටළු විග්‍රහ කිරීමක් ලෙස, මම නොදකිමි. යටත්පිරිසෙයින්, පෞද්ගලික අංශයේ රැකියා ස්ථානයක, මෙවැනි තරුණයන් සූරාකෑමට ලක්වන හැටි, ඔවුන් බලාපොරොත්තුවන සංගීත ලෝකය තුළ ඇත්තේ ද, නවකයන්ගේ හැකියාව විකුණාගෙන කෑමක් බව පෙන්වාදෙන අවස්ථා නිරූපනයක් ඇතිකලානම්, මීට වඩා අර්ථවත් ලෙස, මේ පරපුර, 'විහින්ම පැන නැසීයන' ඛේදවාචකයේ මහත නිරූපණය කරන්නට ඉඩ තිබුනි.

   චිත්‍රපටියක් වේගයෙන් ගලායාම පමණක්, එහි සාර්ථකත්වයට හේතු නොවේ. සංස්කරණ ශිල්පියා, රූප ඡේදනය කරන සමහර අවස්ථා, නිකම් කතුරෙන් කපා ඇලවීමක් වැනිය. පෙම්වතුන් යුවල මෝටර් බයිසිකලයේ යන අවස්ථා කීපයකදී, ඒ දුර්වලත්වය දකින්නට ලැබුණි. ආලෝක කරණයේදී සෑහෙන තරම් සාර්ථක බවක් දුටුවෙමි. 

   අවසාන ජවනිකාවේදී,  ප්‍රධාන නළුවා, රාත්‍රියේ පාර දිගේ ඇවිද එන අවස්ථාවේදී, පාරේ විදුලිපහන් කණු වලින් ආලෝකය පතිත වන ආකාරය, සාර්ථකව සකසා නැත. නළුවාට සමාන්තරව ගෙනයන ආලෝක කදම්බය, දැඩි කෘත්‍රිම බවක් පෙන්වයි. හිසට ඉහලින් මාරුවන (අඩුවී වැඩිවන) ආලෝක ධාරාවක් යෙදවූයේ නම් වඩාත් උචිතයි. 

   වෙඩි හඬ ඉදිරිපත් කිරීම අතිශයෙන් අසාර්ථකය. පිස්තෝල වෙඩිල්ලක හඬ, බටහිර චිත්‍රපටියකින් අසා, ඒ අනුව හඬ මුසුකලානම් වඩාත් උචිතයි. මෙතන ඇහෙන්නේ ගල්බෝර හඬකි. 

   මේ අධ්‍යක්‍ෂවරයා, අද්‍යතන තරුණ පරපුරවෙනුවෙන් හඬක් නගන්නට දරන ලද උත්සාහය ප්‍රශංසනීයය. ඒ සඳහා ඔහු යම් අධ්‍යයනයක් කර ඇති බවත්, යම් වෙහෙසක් දරා ඇති බවත් පෙනීයයි. කෙසේ වෙතත්, අද්‍යතන තාරුණ්‍යයේ සැබෑ ගැටළු ප්‍රාමාණික ගැඹුරකින් නිරූපණය කරන්නට 'මෝටර් බයිසිකල්' චිත්‍රපටිය 100%ක් සමත් නොවුනද, සමාජයේ අවධානය දිනාගැනීමට සමත් නිර්මාණයක් ලෙස මෙම චිත්‍රපටිය හැඳින්විය හැකිය. 

මේ අධ්‍යක්‍ෂවරයා,  තවදුරටත් සිනමාව හදාරනු ඇතැයි අපේක්ෂා කරමි. 

2016 සැප්තැම්බර් මස 11 වැනි දින 2345 පැය   

05 September 2016

වඩු කිරිල්ලිගෙ කතාව

වඩු කිරිල්ලිගෙ කතාව අහලා නැද්ද? අහපු අයත් ඇති, නොඅහපු අයත් ඇති. අහපු අයගේ මතකය අලුත් වෙන්නත්, නොඅහපු අයගේ රසවින්දනය සඳහාත්, විශේෂයෙන්ම අපේ දරුවන්ට කියාදීම සඳහාත්, මේ කතාව මෙහෙම සටහන් කරන්නේ, කුඩා කාලයේදී මට මේ කතාව කියාදුන්, මගේ අම්මා බුදුවේවා! කියන ප්‍රාර්ථනයත් සමගයි.

මගේ අම්මා ගුරු දෙගුරු කියන දෙවර්ගයටම අයත් වෙනවා. අම්මා නිවසේදී මට දෙගුරුන් ගෙන් එක්කෙනෙකු වූ අතර, පාසලේ පහල බාලාංශ පන්ති වලදී, මගේ පන්ති භාර ගුරුතුමිය වුණා.

ඒ කාලේ අදවගේ රූපවාහිනී කාටූන් තිබුණේ නැති නිසා, අම්මලා, කිරි අම්මලා, ආච්චිලා, සීයලා, කිරි අත්තලා, කියාදුන් මෙවැනි කතා වලින්, ඉතා අගනා චිත්තරූප, දරුවන්ගේ මනසේ වර්ධනය වූ අතර, ඔවුන්ගේ චින්තනය මෙන්ම චර්යාව වෙනස් කරන්නත්, එයින් යහපත් බලපෑම් ඇතිවුණා.

හොඳයි, මෙන්න මේකයි කතාව. හෝව්! කතාව කියන්න කලින් තවත් එක දෙයක් කියන්න තියනවා. කතාව අහන ගමන් හූමිටි තියන්න ඕනේ. එහෙමයි ඒ කාලේ අපේ වැඩිහිටියෝ, මේ කතා අපිට කියලා දුන්නේ.

ඔන්න එකෝමත් එක රටක වඩු කිරිල්ලියක් හිටියා. මේ වඩු කිරිල්ලී ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ගල ඇතුළට ගියා. වඩු කිරිල්ලී දුකෙන් කෑගහමින්, උදව්වට කෙනෙක් හෙව්වා, බිත්තරය ගල ඇතුලෙන් එලියට ගන්න. වඩු කිරිල්ලී ගියා ගල් වඩුවෙක් ළඟට, ගිහින් මෙහෙම කිව්වා.



‘අනේ ගල් වඩුවෝ, ගල් වඩුවෝ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, අනේ ඒක අරන් දීපන් ගල් වඩුවෝ..........’ කියලා.

ගල් වඩුවා වඩු කිරිල්ලිට කිව්වා ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.

වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.

ගල් වඩුවා කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.

ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, ඌරෙක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ ඌරට කිව්වා,



‘අනේ ඌරෝ ඌරෝ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාපන් ඌරෝ............’ කියලා.

ඌරා වඩු කිරිල්ලිට කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.

වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.

ඌරා කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.

ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, ගිනිගොඩක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ ගිනිගොඩට කිව්වා,

‘අනේ ගින්දරේ ගින්දරේ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාපන් ගින්දරේ............’ කියලා.

ගිනිගොඩ වඩු කිරිල්ලිට කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.

වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.

ගිනිගොඩ කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.

ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, වතුර වලක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ වතුර වලට කිව්වා,

‘අනේ වතුරේ වතුරේ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාන්ඩ බෑ කිව්ව ගිනිගොඩ, නිවලා දාපන් වතුරේ............’ කියලා.

වතුර වල වඩු කිරිල්ලිට කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.

වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.

වතුර වල කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.

ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, අලියෙක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ අලියට කිව්වා,



‘අනේ අලියෝ අලියෝ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාන්ඩ බෑ කිව්ව ගිනිගොඩ, නිවලා දාන්ඩ බෑ කිව්ව වතුර වල බීලා දාපන් අලියෝ............’ කියලා.

අලියා වඩු කිරිල්ලිට කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.

වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.

අලියා කිව්වා, ‘එහෙනං මට බෑ, මට බෑ,’ කියලා.


ඉතිං වඩු කිරිල්ලී අඬ අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, කටුස්සෙක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ කටුස්සට කිව්වා,

‘අනේ කටුස්සෝ කටුස්සෝ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාන්ඩ බෑ කිව්ව ගිනිගොඩ, නිවලා දාන්ඩ බෑ කිව්ව වතුර වල, බීලා දාන්ඩ බෑ කිව්ව අලියාගේ, හොඬේ අස්සට රිංගපන් කටුස්සෝ............’ කියලා.



කටුස්සා කිව්වා, ‘හරි හරි මං ඒ වැඩේ කරන්නං’ කියලා.  

ඔන්න කටුස්සා දුවගෙන දුවගෙන ගියා අලියගෙ හොඬේ අස්සට රිංගන්ඩ,

අලියා බයවෙලා දුවගෙන දුවගෙන ගියා වතුර වල බීලා දාන්ඩ,

වතුර වල බයවෙලා ගලාගෙන ගලාගෙන ගියා ගිනිගොඩ නිවලා දාන්ඩ,

ගිනිගොඩ බයවෙලා ඇවිලීගෙන ඇවිලීගෙන ගියා ඌරව පුච්චලා දාන්ඩ,

ඌරා බයවෙලා දුවගෙන දුවගෙන ගියා ගල් වඩුවගෙ හේනේ තියන අල බතල කාලා දාන්ඩ,

ගල් වඩුවා බයවෙලා දුවගෙන දුවගෙන ගිහින්, ගල පලලා, වඩු කිරිල්ලිගෙ බිත්තරේ අරන් දුන්නා.

වඩු කිරිල්ලී කටුස්සට පින් දීලා, බිත්තරෙත් අරන්, සතුටෙන් ගෙදර ගියා.




මේ කතාවේ ආදර්ශය කුමක්ද කියා, ඔබ කියනවානම් හොඳයි. 


2016 සැප්තැම්බර් මස 5 වැනි දින 0938 පැය 

22 August 2016

මේගොල්ලන්ව හඳුනනවාද?

   මදෑ කොළා. ඉයන් ගොයියා බට කැලේට ගිනි තිබ්බා. දැන් ඒක ඇවිලෙනවා පට පට ගාලා බට පුපුරමින්, සිංහල බ්ලොග් අහස ඒකාලෝක කරමින්. අම්මපා මේ මනුස්සයට මොකක්හරි සම්මානයක් දෙන්න වටිනවා මේ ගිනි තැබිල්ලට. නෑ මං කියන්නේ, ඔය විදිහේ සුන්දර ගිනි තැබිලි හැමදෙනාටම කරන්න බැහැ. ඒකටත් උපතින් ගෙනා දක්ෂකම් තියෙන්න ඕනේ. අපි දන්නේ ඉතිං අමු කැලෑ ගිනිතියන්න නේ. මම හිතන්නේ, මේ අවුරුද්ද ඉවරවෙනතුරු, මේ සොළොස් මහා ගීත වන්දනාව තියෙයි. 

   ඒ අල්ලපනල්ලේ, මගේ මතකය කඩාගෙන බිඳගෙන දුවන්න පටන්ගත්තේ නැතෑ අතීතයට. එහෙම ගිහින් ගිහින්, 'අපි චුච්චි බබා කාලේ ලේදියෝ එකෙන් තින්දු ආපු' කාලෙටම ගියා. ඒ කාලේ හිටිය ගායක ගායිකාවන් බොහොමයක් ගැන මතකයට ආවත්, ඒ ඔක්කොම ගැන කියන්ඩ ගියොත් මේ වගේ ලිපි හතරක් පහක්වත් ලියන්ඩ වෙන නිසා, කීපනෙක් ගැන විතරක් ලියන්ඩ හිතාගත්තා. මේ ඉතා කෙටි ලිපිය ඒ තිදෙනා ගැන කරන සරල හැඳින්වීමක්. 

සී.ඩී.ෆොන්සේකා 
   මේ ගායකයා, 1960 දශකයේ සිට, අපේ සිත තදින් පැහැරගත් ගායකයකු බව, නොකියා බැහැ. එමෙන්ම ඔහු අද අප අතර නැතත්, ඔහුගේ අමරණීය හඬ අපේ මතකයේ තිබෙනවා. ඉතා පුදුමාකාර ලෙස ඔහුගේ හඬේ තිබුණු තරුණ බව ඔහු ගීත ලොවින් සමුගන්නාතුරු ම පැවතුනා. 60 - 70 දශකවල සංගීත සංදර්ශන වල ඔහු අනිවාර්යයෙන් ගීත තුන හතරක් ගායනා කළා. ඒ ගීත සියල්ල තරුණ හදවත් ඇමතූ ගීත. එමෙන්ම ඒ ගීතවල රිද්මය නිසාම ඉක්මනින් ජනප්‍රිය වුවා පමණක් නොව, රසිකයන්ගේ මතකයේද හොඳින් තැන්පත් වුණා. ඔහුගේ ගීත තුනක් පහත දක්වනවා. 











කාන්ති වක්වැල්ල 

   කාන්ති වක්වැල්ල කියන්නේ, ගායිකාවක් නෙවෙයි ගායකයෙක්. ඔහු අමුතුම හඬකින් සහ අමුතුම ශෛලියකින් ගායනා ඉදිරිපත් කළා. ඔහුගේ හඬේ යම් ශෝකී බවක් ගැබ්වී තිබුණා. නමුත් ඒ ගීත තුළ සැඟවුණු අමුතුම මිහිරකුත් තිබුණා.  ඔහුගේ ගීත එකතුවක් සොයාගැනීම තරමක් අපහසුයි. 












   මේ ගීතයේ mp3 පිටපතක් පමණයි තිබුණේ. මා එයට ඔහුගේ පින්තූරය එක්කර, මේ ගීතය සැකසුවා. මේ ගීතයේ විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි, ඒ කාලයේ සිදුවූ සත්‍ය සිද්ධියක්, එනම් ප්‍රේම වියෝවක් පදනම් කරගෙනයි, මේ ගීය ලියවී තිබෙන්නේ. පෙම්වතියත් ගායිකාවක්. ඊට වඩා තොරතුරු කියන්නට මා අකමැතිවන්නේ, ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන නිසා.


ස්වර්ණා අබේරත්න 

   ඇය ගායිකාවක් ලෙස බොහෝ දෙනා හඳුනාගත්තේ, පැරණි සිංහල චිත්‍රපටියක් වන 'සුභද්‍රා' චිත්‍රපටියේ ඇය විසින් ඉදිරිපත් කල පසුබිම් ගායනයක් නිසයි. ඒ ගීතය පහතින් දක්වනවා. මේ ගීතයත් බොහොම අමාරුවෙන් හොයාගෙන ඇගේ ඡායාරූපයකුත් හොයාගෙන, මෙලෙස සකසා ඉදිරිපත් කරන්නේ. 




   මේ ගීතය, බොහොම ජනප්‍රිය ගීතයක් වුණා. විශේෂයෙන් විවාහක කාන්තාවන් අතර, ඒ කාලයේදී අතිශයින් ජනප්‍රිය ගීතයක් මෙය. නමුත්, මේ ගීතයේ තනුව නම්, පැරණි හින්දි චිත්‍රපටියකින් ගත් එකක්. මේ තියෙන්නේ මුල් හින්දි ගීතය. ටිකක් අහලා බලන්න. 




   ස්වර්ණා අබේරත්නගේ තවත් ගීත ඔබට මෙතනින් අහන්න පුළුවන්. එමෙන්ම ඇය ගැන විස්තරයක් මෙතනින් කියවන්න පුළුවන්.


ලතා දිසානායක 

   මේ ගායිකාව එදා ජනප්‍රියත්වයේ ඉහලටම පැමිණි ගායිකාවක්. ඇය නැති සංගීත සංදර්ශනයක් ඒ කාලේ තිබුණේ නැහැ. ගායිකාවක් වගේම ඈ රූමතියක්. මා දන්නා තරමින් අද ඇය විදේශගතව යි ඉන්නේ. එදා ඇගේ ජනප්‍රිය ගීත තුනක් පහත ඉදිරිපත් කරනවා. එදා ඇගේ හඬ, ගුවන්විදුලිය, සංදර්ශන වේදිකාව පුරා, පැතිරී තිබුණා.









ලතා දිසානායක ගැන කෙටි විස්තරයක් ඔබට මෙතනින් කියවන්න පුළුවන්. හොඳයි. එහෙනම් අදට සමුගන්නේ, අවකාශ ලැබෙන පරිදි තවත් මෙවැනි ලිපියක් ලිවීමේ අදහස ද ඇතිවයි.

2016 අගෝස්තු මස 22 වැනි දින 0736 පැය 

18 August 2016

සොළොස් මහා ගීත වන්දනාව

   ඉයන් උන්නැහේගේ ගීතාභියෝගය, සිංහල බ්ලොග් ලෝකය තුළ, නව රැල්ලක් ආරම්භ කරන්නට සමත්වී තිබෙන බව පෙනෙනවා. ඇත්තෙන්ම, මේ අදහස, සාර්ථකව බ්ලොග් රචකයන් අතර පැතිරී ගොස් තිබෙන බව පෙනෙනවා. ටිකක් ප්‍රමාද වී හෝ, මේ සොළොස් මහා ගීත වන්දනාවේ යෙදෙන්නට මටත් හිතුනත්, මතකයේ ඇති ගීත සිය ගණනක් අතරින්, දහසයක් තේරීම ම, ලොකු අභියෝගයක්. ඒ වගේමයි, ගායක ගායිකාවන් දහසය දෙනෙකු පමණක් තෝරාගැනීම, ඊටත් වඩා ලොකු අභියෝගයක්. මෙහිදී මා අවසානයට ගත් තීරණය වුනේ, 1960 දශකයෙන් පටන්ගෙන, සොළොස් මහා ගීත වන්දනාවේ යෙදෙන්නයි. 



1. මහා ගාන්ධර්වයාගේ විස්ම ප්‍රාතිහාර්යය 

මහා ගාන්ධර්වයා, මුලින්ම අප සිත් තුළට එබී බැලුවේ, ඈත කඳුකර හිමව් අරණක සිට ය. එම දිව්‍යමය ස්තෝත්‍ර ගායනය, දන මන පුබුදුවන, තුරුණු සිත් පොළඹවන, සුගායනයක්ම විය. ආචාර්ය පණ්ඩිත් අමරදෙව් ශූරීන්, ලොවට දායාද කල අනුපමේය මහා ගීත සාගරයෙන්, එක් බිඳක් හෝ කණ වැකීම ම, මෙලොව අමා මහ සුවයකි. නාරි ලාලිත්‍යය මෙන්ම ස්වභාව සෞන්දර්යය ද, අපූරු රටාවකට එකට ගොතා, ශෘංගාරය මුසුවූ ලෝක ස්වභාවය, බෞද්ධ දර්ශනයේද ඡායාවක සඟවමින්, යථාර්ථවාදීව ඉදිරිපත් කළ, දර්ශනවාදී ගීයකැයි හඟිමි. අග්‍රගණ්‍ය ගේය පදරචක, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ශූරීහු මේ ගීයේ පදමාලාව මැවූහ.


2. සුසිල්වත් මනමෝහකයා 

සුසිල්වත් මනමෝහකයා, බහුවිධ දක්ෂතාවන්ගෙන් හෙබි, විශ්වකර්මයෙකි. වරෙක හෙතෙම, තම සිතුවම් මැවීමේ ප්‍රාතිහාර්යයෙන් අප දෙනෙත්, අප සිත්, අපූර්ව මනෝ ලෝකයකට රැගෙන යයි. වරෙක තම සොඳුරු සුගායනයෙන් අප මත් කරයි. ශ්‍රාවකයාගේ මනස තුළ චිත්තරූප මැවීම අතින් ද, විදිලි සරයක් මෙන් තුරුණු සිතක ඇතිවූ, ක්‍ෂණික ප්‍රේමාවනද්ධ  හැඟීමක් පිළිබඳ අපූර්ව ගේය කථනයක් මවන මේ ගීතය, මා සිත තුළ අදත් නොමැකී පවතී.




3. මෝහනීය සිසිර මාරුතය 

ඔහුගේ කඩවසම් බව තිබුනේ, රූපකායේ පමණක් නොවේ. ගීත ගායනයේ ද, ඒ කඩවසම් බව මොනවට රැඳී තිබුණි. ඒ ගායනයෙන් මත් නොවුණු, මෝහනය නොවුණු තරුණ සිතක්, ඒ කාලයේදී නොතිබුණු තරම් ය. තම දැඩි ශික්ෂිත හඬ මාධූර්යයට,  නිවැරැදි උච්ඡාරණ කුසලතාවද කැටිකොට, ඔවුන් විසින් ගුවනේ පා කළ ගීත ධූප වලාවෝ, අද ද අප හදවත් සුවඳ කෙරෙති.




4. ගී රද වූ නාරද 

විරහවේ යථාර්ථය කෙබඳුද යන්න, ලාංකේය ගායන ඉතිහාසයේ සටහන් කළ මුල්ම ගායකයන් අතර, නාරදට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. පිදූ ප්‍රේමය, අවතක්සේරුවට, අපහාසයට, ගර්හාවට, නොසැලකිල්ලට ලක්වීම, අසන්නා තුළ දැඩි කම්පනයක් ඇතිවන පරිදි, තම පෞද්ගලික අද්දැකීමක් ඉදිරිපත් කරන ආකාරයට කෙරෙන, මේ අපූර්ව ගීතය, මතකයේ නොමියෙන්නකි. මෙහි දැක්වෙන්නේ, මුල් ගායනය නොව පසුකලෙක, නොගැලපෙන සංගීතයක් සහිතව කළ ගායනයකි. මුල් ගායනයට ඉතා ආසන්න ලෙස ගායනය කළ අවස්ථාවක්, මෙතැනින් ඇසිය හැකියි.






5. මහා ගායනා කළ කුඩා මිල්ටන් 

ශරීර ප්‍රමාණයෙන් කුඩා වූ ඔහු, ලාංකේය ගීත ක්ෂේත්‍රයේ මහා ප්‍රතිරූපයක් විය. මුල් කාලයේදී අනුකරණ ගීත වෙත වැඩි අවධානය යොමු කළ ද, දක්ෂ සංගීතවේදීන්ගේ ඇසුර තුලින්, ඔහු තම හැකියාව ඔපමට්ටම් කරගෙන, ස්වතන්ත්‍ර නිර්මාණ තුළින්, ගීත ලෝකයේ ඉහළටම ගොස්, තම කීර්ති කදම්බය පතුරවාලීමට සමත්විය. මේ ගීතය, එකල්හි, ගුවන්විදුලියෙන් ඇසෙනවිට, කඳුළු සලන පෙම්වතුන් පෙම්වතියන් සිටි බව, මට හොඳටම මතකය. සරල පදමාලාවක් තුලින්, ඔහු මවන භාවමය හැඟීම් සමුදාය අද ද, එදා මෙන්, එක සේ අගය කළහැකිය. වීඩියෝවක් සොයාගැනීමට නැත. ගීතය මෙතනින් අසන්න.



6. තරුණ බවින් කුල්මත් හඬ 

මේ කතාව CD ගැනවත්, 'ෆොන්සේකා' ගැනවත් නෙවෙයි. ඒ දෙකම එකට එකතුවුන සී.ඩී.ෆොන්සේකා ගැන. 60 දශකයේ ජනප්‍රිය ගායකයන් අතර ඔහු ඉහලින් සිටියේය. ඒ හඬ තරුණ සිත ඇමතීම සඳහාම උපන් හඬකැයි සිතෙයි. ඔහු වයසට ගියද, ඔහුගේ තරුණ හඬ වයසට නොගියේය. පාසල් ප්‍රේමය පාදක කරගත් මේ ගීතය, සරල ජනප්‍රිය ගීතයක් ලෙස, හදේ කොනක අදත් ලැගුම්ගෙන සිටී. 



7. සංගීතය ඉක්මවා ගිය විස්මිත දේවානන්ද හඬ 

ඔහුගේ ගායන විලාශයට, සංගීතය කුමකටදැයි බොහෝවිට මට සිතේ. ඔහුගේ මධුර ස්වරය, එකම සංගීතයකි. එහි ඇත්තේ, හුදු කටහඬ පමණක් නොවේ. ස්වර පරාසයන් තුළ දිවෙන, සංගීතමය මන්ත්‍රයකි. ඒ ගායනය, සිත් පහන් කරයි. මනස සන්සුන් කරයි. අසන්නාගේ සිත, සංගීතමය භාවනාවක් වෙත පා කර යවයි.




8. පරිපූර්ණ සංගීතඥයා 

ගායන ලොවට පිවිසි මුල් යුගයේ සිට, ඔහුගේ ගැඹුරු එහෙත් සන්සුන් හඬ, අසන්නන්ගේ සිත් තදින් පැහැරගත්තේ, මන්ද්‍ර, මාධ්‍ය, උච්ඡ, සප්තකයන් තුළ, වේගවත්ව, තානය, ලය, ශ‍්‍රැතිය, අපූර්ව ලෙස සුරකිමින්, ගීතය රසමසවුලක් සේ අප සවන්පත් වෙත ගලා එවීමේ නෛසර්ගික හැකියාව නිසාමය. ඇත්තෙන්ම ඔහුගේ ගීතසමුදාය අතරින් එකක් තෝරාගැනීම දුෂ්කරක්‍රියාවකි. මේ ලිපිය ලියන මොහොතේදී ද, ලිපිය ලිවීම පසෙක තබා, ගීතය යලිත් වරක් රසවින්දෙමි. 




9. හදවත් සනසන්නා මුසපත් කරන්නා 

ඔරුවක පාවෙන රෑ ගැන අඳුරේ ගීතය, 60 දශකයේදී එළිදැක්වූ මොහොතේදී, එය හින්දි ගීතයක අනුකරණයක් දෝ, යන සැකය, බොහෝ දෙනා තුළ මතුවිණි. එහෙත්, ඊනියා අනුකාරකයකු බවට පත්නොවුණු ඔහු, ගායකයකු ලෙස, තමන් තුළ, ඕනෑතරම් ශක්‍යතා, කුසලතා, සහජ දක්ෂතා ඇති බව, මොනවට ඔප්පු කළේය. මගේ පෞද්ගලික ජීවිතයේදී, මා අත්විඳි විරහ වේදනාවක ප්‍රේමනීය රසය, අද ද නොඅඩුව ලැබෙන මේ ගීතය, මා ජීවිත සිහිවටනයකි. 





10. හදවිල කැළඹෙයි 

කවදත් කොතනත් ඉක්මනින් කැළඹෙන්නේ, තරුණ හදවත් බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ කැළඹීම වඩාත් තීව්‍ර වන්නේ, හදවත් දෙකක් අතර ඇතිවන කැළඹීමක්, ඒ දෙහදටම දැනෙන රිද්මය අනුවයි. පාසල් යන කාලයේදී, හෙමින් හෙමින් අපේ හිතට, ආදරය යන මිහිරි සිහිනය මෝදුවුනේ, මෙන්න මේ වගේ ගීත ඇසීමෙන්. එදා ඇගේ හිරිමල් තරුණ හඬ, මේ ගීතය තුළ මොනවට ගැබ්ව පවතිනවා.

 


11. නිහඬවූ සුරඟන 

සැබෑ ලෝකයේ සුරඟනන් ඇතැයි කියා විශ්වාස මම විශ්වාස නොකරමි. 
නමුත්, සිංහල ගීත ලෝකයේ සුරඟනන් ඇතැයි විශ්වාස කරමි. අකාලයේ නිහඬ වූ මේ සුරඟන, අප හදවත් දිනාගත්තේ, ළමා ගායිකාවක ලෙස ගීත ලෝකයට පිවිසි යුගයේ සිටයි. ඇගේ කුමන ගීතය තෝරාගතයුතුදැයි උභාතෝකොටිකයකට පත්ව සිටින කල්හි, වත්මන් පෙම්වතුන් පෙම්වතියන්ටද ඔබින, පෙරදිග චින්තනයද පිළිබිඹු කරන, ඇගේ සුරංගනා හඬ උපරිමයෙන් ඇතුලත් මේ ගීතය, මතකයට නැගුණා. 







12. ගීතයේ සිරිමතිය 

සංගීත ගුරුවරියක ලෙස, සිය දිවිය පුරා කල මහා මෙහෙයට අමතරව, ගායිකාවක ලෙස, සිංහල ගීත කෙත අස්වැද්දීමට ඇය ගත් වෙහෙස අපමණය. වර්ණනා විෂයාතික්‍රාන්ත ය. සරල සුගම පදමාලා, ඇගේ සුකොමල හඬින්, අප සවන් පිනවද්දී, එමගින් අප මහත් අමන්දානන්දයට පත්කරද්දී, 'ජීවිතය නම් මේ යැ'යි සිතු වාර අනන්තය. ඇය සුවඳැති ගීත පුබුදුවන නෙලුම් විලක්ම වූවාය. 




13. ගීතයේ සිහල රූපය 

දේශීය සංගීතය නම් මේ යැයි කියන්නට, උදාහරණ සපයද්දී, ඇගේ ගීතමය ස්වරය, ඒ සඳහා ලබාදිය හැකි ඉහලම ප්‍රමිතියේ පරමාදර්ශයක් බව නොකිවමනාය. දේශීය සංගීතය තුළ, ඈ ලද ශික්ෂණය සහ සතතාභ්‍යාසය, ඇගේ සෑම ගායනයක් තුලින්ම, මනාව පිළිබිඹු වෙයි. නිරායාසයෙන් නැගෙන ඇගේ ගීතමය ස්වරය තුළ, කිසියම් ශෝකී බවක ඡායාවක් මම දකිමි. එම ස්වභාවයෙන්, ඇගේ ගායන විලාශයට, ධාරාලෝකයක් සැපයුවාක් වැනි, අමුතු අලංකාරයක් ගෙනදෙයි. 





14. අකාලයේ වියෝවූ පෙම්වතිය 

ඇගේ අකල් වියෝවෙන්, සිංහල ගීත ක්‍ෂේත්‍රය තුළ ඇතිවූ මහා හිඩැස පුරවන්නට, කිසිවකු නූපදින බව සක්සුදක් සේ පැහැදිළිය. අපේ ගීත ක්‍ෂේත්‍රය තුළ විස්කම් පෑ ගායිකාවන් බොහොමයක්, සංගීත ගුරුවරියන් වීම විශේෂත්වයකි. එමෙන්ම ඒ සංගීත ගුරුවරියන්, කිසිදු විටක ජනප්‍රියත්වය හඹා නොගියවුන් වීම ද, විශේෂත්වයකි. ප්‍රේම ගීත මෙන්ම, විවිධ විෂයයන් අළලා ගැයුණු ඇගේ ගීත සමුච්චය, සිංහල ගීත ලෝකය වෙත පැළඳවූ මුක්තහාරයකි. 




15. ලංවෙන හැටි වෙන්වෙන හැටි කිව්වේ ඔහුයි

ඔහු ආවේ බොහොම නිහඬවයි. ඔහුගේ කාලයේදී බොරු පිම්බිලි, විකුණාගෙන කෑම්, ප්‍රදර්ශන ගායනා, ගැයුමට වඩා දැඟලීමට තැන දීම්, විච්චූරණ ඇඳුම් නොතිබුණි. එබැවින්ම ඔහු, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ගායකයකු විය. ඔහු ආවේ, සිහිල් සුළං රැල්ලක් මෙනි. ඒ සිහිල් සුළං රැල්ල, සොබා සොඳුරු බව සමග කැටිවූ, අපරිමිත ප්‍රේමයේ ලගන්නා සුලු බව, ලොව්තුරු රසය, සංවර සහ සමීප බව කදිමට පිළිබිඹු කළේය. ශෘංගාරයෙන් තොර ආත්මික ප්‍රේමය මේ යැයි කියන්නට, මේ ගීතය හොඳම උදාහරණයකි. 





16. සුන්දර මිනිසෙකි රන් සමනලයෙකි 

පුංචි දියසීරාවක් ලෙස පටන්ගෙන, සුන්දර දියදහරාවක් බවට පත්වූ ඔහු, ගීත ලෝකය අතික්‍රමණය කලේ, කිසිදු අභියෝගයකින් තොරවය. ගැමි දිවියේ සොඳුරු බව, යථාර්ථවාදීව ඉදිරිපත් කරන මේ ගැයුම, සිංහල ගීත කලාවේ අගනා පියසටහනක් ලෙස හැඳින්වීමට, මම කැමැත්තෙමි. මෙහි ඇති සරල සුගම බව නිසාම, ගීතයක් වශයෙන් එහි ඇති කලාත්මක වටිනාකම, ඉතා ඉහල තැනක පවතී. 




ඔන්න එහෙනම් ලිව්වා ඉයන්. 

2016 අගෝස්තු මස 18 වැනි දින 0107 පැය

08 August 2016

වික්ටර් රත්නායක ගැන සොඳුරු මතකයක්

   මේ ලිපිය ලියන්න නිමිත්ත පහළවුනේ, ඉතා අහඹු විදිහකටයි. අද, අපේ ප්‍රදේශයේ, සුබසාධක සංගමයේ මාසික සභා රැස්වීම පවත්වන දිනය. (සැම මසකම පළමුවැනි ඉරුදින) මම සමිතියේ ගරු ලේකම්. ඇත්තෙන්ම මේ ලේකම් තනතුර බාරගත් දා සිට, ඒ වෙනුවෙන් සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා. නමුත්, මා, සාමාජිකයන්ගේ සියලු තොරතුරු, සමිති වාර්තා, ගනුදෙනු වන සියලු ලිපි, ආදී මෙකී නොකී සියල්ල, පරිගණක ගතකරගෙන තිබෙන නිසා, සෑහෙන පහසුවක් තිබෙනවා. සමිති රැස්වීම පටන් ගන්නේ සවස 4.00 ට. 

   සමහර දිනවල සභාව උණුසුම් වෙමින්, රාත්‍රී 7.00 පමණ වනතුරු ඇදෙනවා. සමිති වාර්තාව, පිටු 10 ක් තරම් දිගට ලියවෙන අවස්ථා තිබෙනවා. සමිතිය අවසන්වී, 'අපේ කට්ටිය' අල්ලාප සල්ලාපයේ යෙදීමත් සිරිතක්. බොහෝවිට එය කෙලවර වන්නේ, නගරයේ අවන්හලකට ගොඩවී හෝ, අපේ ගෙදර ඉදිරිපස මිදුලේ රවුමට තැබූ පුටුවලට වී, සංවාදය සහ ලේ නහරද, තවත් උණුසුම් කරගැනීමෙන්.  

   මම අද කලින්ම අපේ කට්ටියගෙන් මිදී ගෙදර ආවේ, අද බ්ලොග් ලිපියක් ලියන්නට සිතා සිටි නිසයි. ඒ මාතෘකාව මෙය නොවේයි. වෙනත් දෙයක්. එය පසුවට තබා, මෙය ලියන්න සිදුවුණේ, ස්වාධීන රූපවාහිනී සේවයේ, වික්ටර් රත්නායකගේ සංගීත සේවය අළලා ප්‍රචාරය වුන වැඩසටහනක්, අද සවස අහම්බෙන් නැරඹීම නිසයි. 

   වික්ටර් රත්නායකගේ හඬට, මා දක්වන පෙරේතකම නිසාම, Home Theater System එක මගින්, ඒ හඬ, ඉහල මධුර තත්වයෙන් ඇසීම, එක්තරා ආකාරයකින්, මධුවිතක් රසවිදීමක් හා සමානවුවායයි කීම, අතිශයෝක්තියක් නොවෙයි.  පසුගිය දිනවල, ප්‍රේමකීර්ති ද අල්විස් සැමරුම වෙනුවෙන්, ජාතික රූපවාහිනියෙන් ප්‍රචාරය වූ වැඩසටහන, රාත්‍රී 1.00 ට අවසන් වන තුරුත්, සිරස රූපවාහිනියෙන් කල වැඩසටහන මධ්‍යම රාත්‍රිය වනතුරුත්, 'අහල පහල මිනිස්සු නිදාගන්නේ නැද්ද' කියා, බිරිඳගෙන් දෝෂාරෝපණ එද්දීත්,  හෝම් තියටර් එකෙන්ම ඇහුවේ, නිසි ශබ්ද ගුණය ඇසිය යුතු නිසාය. 

   ඇත්තෙන්ම, අවසන් මධු බින්දුව වීදුරුවට හලා ගන්නවාක් මෙන්, වැඩසටහනේ අවසන් වාද්‍ය ඛණ්ඩය දක්වාම, එම වැඩසටහන් රසවින්දෙමි. ඒ මධුර මනෝහර හඬ තුළ ගිලුනෙමි, පිහිනුවෙමි, සම වැදුනෙමි, මෝහනය වීමි, විශ්මයට පත්වීමි, සියලු මනෝ භාවයන් සංවර භාවයට පත්කරගතිමි.  

   වික්ටර් රත්නායකයන් මගේ සිතට ඇතුළුවුණේ, 1960 දශකයේදීය. ඒ කාලේ අපි, අපේ ඉස්කෝලෙන් පොසොන් පෝයට තොරණක් හැදුවෙමු. කොළඹ - මහනුවර මාර්ගයට දර්ශනය වන සේ ඉදිකරන මේ තොරණේ, ලයිට් වැඩ කලේ, ලොකු අයියලාය. ඒ කියන්නේ, උපනන්ද සේනාරත්න අයියා, දයා සඳගිරි අයියා, නිහාල් ජයකොඩි අයියා, ෂොම්බේ අයියා, (ඒ කාලේ සිටි අප්‍රිකානු ජන නායකයකුගේ මුහුණුවර තිබුන නිසා පටබැඳි නමක්. ඒ අයියගේ ඇත්ත නම මතක නෑ) මෞර්යවංශ අයියා, විජේනන්දන අයියා, ජයසේකර අයියා, (රැබිට්) (රැබිට් ජයසේකර අයියා, රෝසපාට මිනිගවුමක් හැඳ, සුදුම සුදු කකුල් පෙන්නමින්, සන්ග්ලාස් එකක් සහ බටකොළ තොප්පියක් දමාගෙන, බිග් මැච් එකට ආවම, වැඩිපුර රැවටෙන්නේ, අපේ ලේඩි ටීචර්ලාය)  ආනන්ද සූරියබණ්ඩාර අයියා, මගේම අයියා ලක්‍ෂ්මන්, වැනි අය ය. 

   අපේ කස්ටියේ, රාජා විජේතුංග, කේ.ඩී.එස්.ජයවර්ධන, ආනන්ද ජයවර්ධන, අසේල හඳගම, මයිකල් ගම්මන්පිල, බන්ධුල ජයවික්‍රම, භාතිය පියතිස්ස, අයි. ආර්. හරිශ්චන්ද්‍ර,  ගුණතිලක(ඩෝපර්), දේවදාස (හඩ්ඩා), (අම්මෝ........බෑ බෑ, පස්සේ වෙන ලිපියක දාන්නං ලැයිස්තුව) අනෙකුත් 'ඔඩ් ජොබ්' කාරයෝය. 

   පොසොන් පෝය විශේෂ වන්නේ, අනාදිමත් කාලයක සිට පවත්වන මිහිඳු පෙරහැර නිසාය. මේ සියල්ලට සමගාමීව, භක්ති ගීත සන්දර්ශයක්ද සංවිධානය කෙරෙනවා. විවිධ පාසල් වලින්ද එහිදී ගායනා ඉදිරිපත් කෙරෙනවා. 

  අපේ කස්ටිය, තොරණේ ලයිට් දැමු පසු 'පොඩි මල්ලිලාට' තොරණ බලාගන්න කියා, නගරයේ ඉහල පහල 'කරුණා කරන්නේ' හුදු විනෝදය මෙන්ම, නගරයේ ඉදිකෙරෙන තොරණ දැකබලා ගැනීමට සහ, (මගේ මතකයේ හැටියට, 1968 වර්ෂයේ තොරණ 9 ක් තිබුනා) කඩචෝරු කෑම, විවිධ තොප්පි, වේවැල්, වෙස්මුහුණු, නලා, ආදිය මිලදී ගෙන, එයින් නානාප්‍රකාර වින්දනයක් ලබාගැනීම, පෙරහැර බලන්නට පැමිණ සිටින ජනතාවගෙන් හරුප අසාගැනීම, ඒකාලේ අපි කළුද සුදුද කියා නොදන්නා දෙයක් වුනත්, 'ආදරය සුන්දර වරදකි' යන හැඟීමෙන්, (එතකොට ඒ සින්දුව තියා ගායකයාවත් ඉපදිලා නැතුව ඇති) තම තමන්ගේ සෙනෙහෙවන්තියන්ට ආලහැඟුම් පාන අපේ කස්ටියේ අයගේ, හැලුප්කරුවා ලෙස සේවය කිරීම, ආදී දහසකුත් එකක් රාජකාරි කිරීම සඳහාය. 

  එක දෙයක් දිවුරා ප්‍රකාශ කලහැකිය. අපි කිසිවෙකුත්, ඒ කාලේ, සිගරට් එකක්වත් නොබිව්වෙමු.  බිග් මැච් එක දවසේදී වත් නොබිව්වෙමු. 

   ඉතින් කෝ ඕයි වික්ටර් රත්නායක? 

   හරි හරි දෙයියෝ මේ එනවා, මේ එනවා. කොහොමද අප්පා අර රසගුලාව අමතක කොරන්නේ. 

   ඔන්න ඉතින් 1967 - 68 කාලේ තිබුන මේ පොසොන් සංගීත සන්ධ්‍යාවකට පැමිණි එක ගායකයකු, නිවේදකයා විසින් හඳුන්වා දුන්නේ, කඩුගන්නාවේ කලායතනයකින් හෝ පාසලකින් පැමිණි, 'සංගීතාචාර්ය වරයකු' ලෙස බව මතකය. ඔහුගේ නම එදා මතක හිටියේ නැත. නමුත් ඔහු සිහින් සිරුරක් ඇති, තරමක් උස පුද්ගලයකු බව මතකය. එමෙන්ම ඔහු ගැයූ ගීත කීපය, සියලු දෙනා විසින් ඉතා ආසාවෙන් අසා සිටි බවත් මතකය. ඔහු කළු පැහැති දිග කලිසමක්, සුදු පැහැති අත් දිග කමිසයක් හැඳ, කළු පැහැති සිහින් ටයි පටියක් පැළඳ සිටි බවත් මතකය. ක්‍රීම් ගා, ඉහලට පීරා තිබුණු රැළිති කේශ කලාපය, සීගිරි පර්වතය මෙනි. අපි 70 දශකයට පා තබද්දී, වික්ටර් රත්නායක අපේ හදවත් අරක් ගත්තේ, අපට නොදැනීමය. 

   අපේ පාසල් කාලයට පින් සිද්ධ වන්නට, භාෂාව, සාහිත්‍යය, (විශේෂයෙන් පැරණි සාහිත්‍ය කෘති පරිශීලනය ඇතුලත්, සාහිත්‍ය ඉතිහාසය) ගැන ලද අවබෝධය, පුවත්පත් සහ ගුවන්විදුලිය ඇසුරෙන්, කියවා අසා දැනගත් හරවත් විද්වත් අදහස් සමුදාය හේතුකොටගෙන, එවකට තිබුණු ජනප්‍රිය රැල්ල සහ සරල ශාස්ත්‍රීය සංගීත ධාරාව වෙන්කර ගැනීමට තරම් දැනුමක්, අපට ලැබුණි. 

   එහි පුරෝගාමීන් වුයේ, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, මඩවල එස් රත්නායක, වැනි ගේය පද රචකයන්, සුනිල් සාන්ත, ඩබ්ලිව්.ඩී.අමරදේව, සුසිල් ප්‍රේමරත්න, නාරද දිසාසේකර, ඇතුළු මහ පිරිසකි. 

   වික්ටර්ලාගේ කාලයේ මේ ගායක පරපුර අතර, මහා පුදුමාකාර සහෝදරත්වයක් තිබුණු බව, වරින්වර එම ගායකයන් විසින් කල ප්‍රකාශ වලින් පසක් කරගැනීමෙන් පසු, ඔවුන් ලද සංගීත ශික්ෂණය තුළින්, ඔවුන් තුළ මානව දයාව කොතරම් තිබුනේද යන්න අවබෝධ වෙයි. 

   බොහෝවිට ඔවුහු, සමකාලීන තවත් ගායකයකු උදෙසා, තනු නිපදවති, තමන්ට ලැබෙන පදමාලා කියවා බලා, මෙය මට වඩා ගැලපෙන්නේ අහවලාගේ හඬට කියා තීරණය කර, එකී ගායකයාට එම පදමාලාව ගැයීමට පවරති. අවශ්‍යනම්, සංගීතය ද සකසා  සපයා දෙති. වික්ටර් රත්නායකයන්ගෙන් ම උදාහරණයක් ගතහොත්, මිල්ටන් මල්ලවාරච්චි ගයන, 'සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ' ගීතයේ පදමාලාව, මුලින්ම ලැබී ඇත්තේ, වික්ටර් වෙතටය. එය කියවූ වික්ටර්, එකවරම තීරණය කරන්නේ, මේ පදමාලාව වඩාත් සුදුසු මිල්ටන් මල්ලවාරච්චිට බවය. ඉදින් ඔහු, ප්‍රේමකීර්ති ද අල්විස්ද සමග, මේ ගීතය නිමවා, මිල්ටන් ලවා ගායනා කරවා, ඔහු, ශ්‍රීලංකා ගුවන්විදුලි සේවයේ වර්ගීකරණයෙන් සමත් ගායකයකු බවට පත්කර දෙයි. 


  මිල්ටන් මල්ලවාරච්චි ගයන, 'තනිවී සිටින්නයි මා අදහස් කලේ' ගීතයද, ඒ ආකාරයෙන්ම, ක්ලැරන්ස් විජේවර්ධන වෙත ලැබුන පදමාලාවකි. නමුත් ක්ලැරන්ස්, එය තමන්ට වඩා මිල්ටන්ට සුදුසුබව කියා, ගීතය සකසා දුන්නේය.  

   වික්ටර් රත්නායකගේ කටහඬ තුළ මා දකින විශ්මය වන්නේ, එය එන්න එන්නම වඩාත් හැඟුම්බර වීමය. පරිණත වන්නට වන්නට, ඒ ගැයුමෙන් උපදින රසභාවයන් වඩාත් තීව්‍ර වීමය. කිසිදු ස්වරස්ථානයක්, වෙනස් නොකිරීමය. 1970 දශකයේදී ඇසූ ප්‍රමිතිය එලෙසින්ම රැකී තිබීමය. 

   එය නිරායාසයෙන් ගලා එන කටහඬකි, එහි මානව ප්‍රේමය ගැබ්ව තිබෙන්නේය, ඔහු ගයන්නේ, අප සිත තුළ, භාවමය ශාන්තිය උපදවන ආකාරයට විනා, භාව ප්‍රකෝපයන් ඇති නොකරන ආකාරයටය. එය, සිත නිවන, භාවමය සිහිල් සුළං රැල්ලකි.





   වික්ටර් රත්නායක පිලිබඳ මගේ සිහිනයක් සැබෑ වුයේ, 1974 වසරේදීය. එවකට මා පදිංචිව සිටියේ, අවිස්සාවේල්ලට නුදුරු දෙහිඕවිට ප්‍රදේශයේය. ඊට ආසන්න නගරයක් වන රුවන්වැල්ල නගරයේ, පොදු ක්‍රීඩාංගනය හෙවත්, පොදු ව්‍යවහාරයේ පවතින 'මහවත්ත පිට්ටනියේ' පැවැත්වුනු සංගීත සංදර්ශනයකට පැමිණෙන ගායක ගායිකාවන් 'බලාගැනීමේ' කාර්යය, මා වැනි තරුණ තරුණියන් පිරිසකට භාරවී තිබුණි. අපට තිබුණේ, ඔවුන්ව ඛාජ්ජ භෝජ්ජයෙන් සන්තර්පණය කරවා, සංදර්ශන වේදිකාව අසල සිට පැමිණෙන බයිසිකල් කරුවකුගේ පණිවිඩය අනුව, (මේ මොනවා අහනවද? කොහෙද දුරකථන තිබුනේ?) සංවිධායකයන් විසින් සපයා තිබුණු මෝටර් රථයකින්, ඔවුන්ව වේදිකාව වෙත රැගෙන යාමයි. 

  අනේ මගේ පූරුවේ පිනක් පළදීමෙන්, මට, වික්ටර් රත්නායක සහ ටී.එම්.ජයරත්න යන ගායකයන් දෙදෙනාගේ ආවතේවකරු වීමේ වරම ලැබුණි. වික්ටර් රත්නයකයානෝ මට, 'මල්ලි' කියා ඇමතූහ.  මට එකවරම කියවුනේ 'සර්' කියාය. 'නෑ නෑ මල්ලි මට අයියේ කිව්වම ඇති' කියා, ඒ එදත් අදත් නොවෙනස් කරුණාබර හඬින්, එතුමෝ පැවසුහ. සංග්‍රහ කටයුතු අවසානයේ, මම ඔවුන්ව මෝටර් රථය වෙත ගෙනගියෙමි. 'එහෙනම් අයියලා යන්න මම මේ ටික බයිසිකල් එකේ එනවා' කිව්වෙමි. 'නෑ නෑ, මල්ලි ඉස්සරහින් නගින්න, අපි පස්ස සීට් එකට නගිනවා' කියූ ඔවුන් දෙදෙනා, ඔවුන්ගේ විෂයයට අදාළ යමක් කතාකරමින්, වේදිකාව වෙත ගියහ. මා වේදිකාව අසලින් බැස්සේ, මහා සෙනෙවියන් දෙදෙනෙකු, ආරක්ෂා සහිතව රැගෙන ආ, ආරක්ෂක නිලධාරියකුගේ වේශයෙන් පපුව පුම්බාගෙනය. 

'ස ප්‍රසංගය' තුළින් ඔහු දායාද කළ, මහඟු දියමන්ති නිධානයක් හා සමාන ගීත සමුච්චය, ලෝකයේ ඕනෑම ගායකයකු හට, තම ගායන දිවිය තුළ උපදවා ගතහැකි, උපරිම කුසලතාවය පිලිබඳ, පරමාදර්ශයකි. ඔහුගේ ගායනා, විවිධ විෂයයන් අළලා නිමවීමද, ඉතා අගනේය. එය, හුදෙක් ලාබ ප්‍රේමයට සීමා නොවුණු, විවිධ පැතිකඩ ඔස්සේ පැතිරෙන ගී ගඟුලකි. එය, ඔහුගේ පූර්වජන්ම කුශල ඵලදීමකින්ම ලද දායාදයකි. 

   යුගයේ මහා ගාන්ධර්වයාණනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා!

2016 අගෝස්තු මස 07 වැනි දින 2354 පැය


16 July 2016

ධනුෂ්ක, රාෆි, සහ අපතේ යන තාරුණ්‍යය

   රූපවාහිනී සංගීත වැඩසටහන් අතරින්, මා නරඹන්නේ, ජාතික රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරය වන, ශාස්ත්‍රීය  සහ/හෝ, සරල සංගීත වැඩසටහන් ය. එම නාලිකාවල වුවද ප්‍රචාරය වූ, 'සංගීත තරු' බිහිකරන වැඩසටහන්, මා නැරඹුවේ නැත. ත්‍රිවිධ හමුදා සාමාජිකයන් උදෙසා ඉදිරිපත් කල 'සුපිරි තරු' වැඩසටහනේ, මා හොඳින් දන්නා හඳුනන අයද ගායනා ඉදිරිපත් කල නමුත්, එම වැඩසටහන් ද, මම නොබැලුවෙමි. 

මෙයට හේතුව වන්නේ, සිරස රූපවාහිනී නාලිකාව විසින් ආරම්භ කොට, පසුව වසංගතයක් බවට පත්වූ, 'තරු නිපදවන සංගීත වැඩසටහන්' කිසිසේත් මා සිත් නොගන්නා බැවිනි. පළමුවැනි 'සුපිරි තරු' වැඩසටහන,  සිරස නාලිකාවෙන් නැරඹු නමුත්, එය, හුදෙක්, වාණිජ පරමාර්ථ උදෙසා ඉදිරිපත් කරන්නක් විනා, දේශීය සංගීතයේ ප්‍රගමනය කෙරෙහි කරන්නාවූ ව්‍යායාමයක් නොවන බව, පසක් විය.   එතැනින්ම, එවැනි හරසුන් වැඩසටහන් නැරඹීම අත්හළෙමි. 

   අන්තර්ජාලයේ සැරිසරන අතරද, මා, පරිගණකය අසල සවිකරගෙන තිබෙන, 1990 දී මා මිලදීගත්, දැනට මා මෙන්ම වයස්ගත, ගුවන් විදුලි යන්ත්‍රයෙන්, දේශීය ගුවන්විදුලි නාලිකා වලට සවන්දෙන්නේ, බොහෝවිට දේශීය ප්‍රවෘත්ති පැයකට පමණ වරක්, දැනගැනීම සඳහාය. ඒ අතර, Gold FM වැනි නාලිකා වලට සවන් දෙන්නේ, 'අපේ කාලයේ' පැරණි බටහිර ගීත වලට සවන්දීමට ඇති ආසාව නිසාය. අද දින මට අහම්බෙන් එක්තරා සිංහල ගීයක් අසන්නට ලැබුණි. එය වෙනත් බොහෝ ගීත මෙන්, අහම්බෙන් අසන්නට ලැබුණා විනා, සිතාමතා අසා සිටීමක් නොවුනි. ඒ ගීතය, ඔබෙන් බොහෝ දෙනෙකු, හොඳින් දන්නවා ඇතැයි සිතමි. 

   මේ ගීතයට සවන් දෙන අවස්ථාවේ දී, මගේ සිතේ එකවරම ඇඳී ගියේ, 'මේ ගීතය මා මීට පෙර අසා තිබෙනවා' කියන හැඟීමයි.  නමුත්, ඇසුවේ කවදා කොහෙදිද යන්න මතක් කරගැනීමට, සියලු උත්සාහයන් දැරුවද, එය අසාර්ථක විය. ගීතය අවසානයේ, එය ගැයුවේ, එම්.ජී.ධනුෂ්ක විසින් බව, නිවේදිකාව පැවසුවාය. කවුද එම්.ජී ධනුෂ්ක? කොහොමද මම එයාව දන්නේ? මම එයාගේ සින්දු කීයක් දන්නවද? යන්න මතක් කරගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.  මෙන්න ගීතය.



   ඉන්පසු මා කලේ, ඒ ගීතයේ පදමාලාව ඔස්සේ, සෙවුම් යන්ත්‍රයෙන් සෙවීමක් කිරීමයි. මගේ උත්සාහය සාර්ථක වූ අතර, ගීතය නැවතත් ශ්‍රවනය කිරීමේ අවස්ථාව මට ලැබුණි. තවදුරටත් කරුණු සොයා බැලීමේදී, ඔහු, මෑත කාලීන 'සුපිරි තරු' ගායකයකු බව දැනගතිමි. කෙසේ වෙතත්, තවමත් මට සිතාගන්නට නොහැකි කාරණය වුයේ, මේ ගායකයා ගැන කිසිවක් කියන්නට දැනුමක් මට නැතිව තිබියදීත්, ඔහුගේ මේ ගීතය, මගේ සිතේ කොහේදෝ තිබෙන බව දැනෙන්නේ ඇයි? යන්නය. 

   සාමාන්‍යයෙන් මා දිනපතා ස්නානය කරන්නේ, රාත්‍රී 7.30 ට පමණය. යුද්ධ කාලේ පුරුද්දක් නිසා, මම ජංගම දුරකථනයද, නිවසේ රැහැන් රහිත දුරකථනයද, codeless phone නාන කාමරයට ගෙනයමි. එහෙම නොකළොත්, මට ඇමතුමක් ආවොත්, අපේ උන්දෑ, රැහැන් රහිත දුරකථනය උස්සාගෙනවිත්, දොරට ගසයි.

    මේ රැහැන් රහිත දුරකථනය ගෙදරකට ලොකු පහසුවකි. ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින්, පළමුව රු 500 ක් ගෙවා, ඉන්පසු,  මාසිකවරු 350 ක් වැනි මුදලක් කැපෙන ආකාරයට මිළ දී ගත හැකිය. දුරකථනයේ වටිනාකම රු 7500 කි. ගිගා හර්ට්ස් පරාසයේ ක්‍රියාකරන නිසා, සෑහෙන තරම් දුරකට ගෙනයා හැකි අතර, බිත්ති වලින් බාධාවක් නොවේ. (ප්‍රචාරක අනුග්‍රහය විචාරක සහ සමාගම)  දුරකථනයේ තිරයෙන්, ගෙදරට එන ඇමතුම් සහ මට එන ඇමතුම් බලාගතහැකි නිසා, ගෙදරට එන ඇමතුමක් නම්, නාන කාමරයේ සිට උත්තර නොදෙමි. එවිට අපේ උන්දෑ, රැහැන් සහිත දුරකථනයෙන් පිළිතුරු දෙයි.

   හැබැයි අපරාදේ කියන්න බැහැ, සබන් ගාගත්ත ගමන්, කවුරුහරි කතාකරනවාමය. ඉතිං සබන් පිහදාගෙන උත්තර දෙමි. (යුද්ධ කාලේ, කඳවුරු ජීවිතයේදී, ඊට අමතරව, පණිවිඩ හුවමාරු කරන කුඩා යන්ත්‍රයද රැගෙන යමි. එක එක ලොක්කා, කොයි වෙලාවේ කතා කරයිද කියන්න බැරිය. 'මම බාත්රූම් එකේ හිටියා' කියා කීම, කිසිසේත් නිදහසට කරුණක් ලෙස පිළිගනු නොලැබේ. යුද්ධයේදී, තත්පර කීපයක ප්‍රමාදයකින්, ජීවිත ගණනක් අහිමිවිය හැකිය)

   තවමත් මට මේ ගීතය ප්‍රහේළිකාවකි. නාන ගමන්, මමත් ඒ පදමාලාව මුමුණන්නට පටන්ගත්තෙමි. ටිකක්වෙලා මුමුණන විට, යුරේකා පහළවිය. (කොහොමටත් යුරේකා කියන්න පුළුවන් විදිහටනේ හිටියේ. හැබැයි යුරේකා ඉරියව්වෙන් එලියට ආවානම්, අපේ උන්දෑ, මාව අංගොඩ ගෙනයනු නොඅනුමානය) හෙහ් හෙහ්, මොකක්ද මේ තනුව? මේ තනුව තමයි මගේ මතකයේ තිබුණේ. මේ ගීතය සහිත, 'ප්‍යාර් කා සාගර්' (ආදර සයුර) චිත්‍රපටිය, 1960 දශකයේ දිනක,  කෑගල්ලේ (දැනට නැති) පරාක්‍රම සිනමාහලේ නැරඹු හැටි, මට මතක්විය. මෙන්න එම මුල් තනුව සහිත ගීතය. මේ ගීතයෙන් අඩක්වත් අසන ලෙස, මම ඔබෙන් කාරුණිකව ඉල්ලමි. මන්ද, ඉදිරියේදී මා කියන කරුණු සනාථ වන්නේ එවිටය. රූප දෙස බලන්න එපා. දෙනෙත් පියාගෙන ගීතය අසන්න.


  1961 දී තිරගතවූ, (ලංකාවේ තිරගතවුණේ ඊට පසුව) ප්‍යාර් කා සාගර් චිත්‍රපටියේ සංගීතය, භාරතීය සිනමා සංගීතඥයන් අතර අග්‍රගන්‍යයකු වූ, භාරතයේ විවිධ සම්මානයෙන් පුද ලද, 2012 වර්ෂයේදී අභාවප්‍රාප්තවූ, පොදුවේ 'රවී' යන නමින් ජනප්‍රිය, රවී ශන්කර් ශර්මා විසිනි. පදමාලාව, ප්‍රේම් ධවාන් ගෙනි. සිත් අලවන මෝහනීය ගායනය, මොහම්මද් රෆී සහ ආශා භෝස්ලේ ගෙනි. 

   මීළඟට මා කලේ, මේ ගීත දෙක සංසන්දනය කර බැලීමයි. අහෝ එවිට දැනුනේ දැඩි වේදනාවකි. මුල් ගීතයේ තනුවට කර ඇති අපරාධය, වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය. මේ 'සුපිරි තරු' වැඩසටහන් බලන 'කට්ටියට' අප්පුඩි ගහන්න, තාලය අල්ලන්න, ටිකක් නටන්න, සුදුසුවන පරිදි, අර අගනා තනුව, දඩබඩ ක්‍රමයකට වෙනස් කරලා ය. පදමාලාව, බල්ලාගේ පුකේ පදමාලාවකි. හිඟන ප්‍රේමාලාපයකි. භාෂාව හෝ සාහිත්‍යය නූගත්, පදික වේදිකා යාචකයකුගේ පදමාලාවකි. 

   සුපිරි තරු කියන්නේ, ගායකයන් හෝ ගායිකාවන් බිහිකරන වැඩසටහන් නොවන බව, මම හොඳින්ම දනිමි. හොඳයි, අපි මොහොතකට හිතමු, එහෙම නොවුනාට කම් නැත කියා. එහෙනම්, මේ තරුණ පරපුර, සුපිරි තරු ඔස්සේ යන්නේ කොහේද?  මට තේරෙන විදිහට මේ අය විශාල මුදල් ත්‍යාගයක්, ප්‍රසිද්ධිය, සහ ඉතා කෙටිකලක් පවතින ජනප්‍රියත්වය උදෙසා, තම තාරුණ්‍යයේ නම්බුව, ගෞරවය, හරය, ශුද්ධත්වය, ලාබෙට විකුණා දැමීමක් පමණයි කරන්නේ. ටික කලකින්, මෙහෙම කෙනෙක් හිටියාද කියා කවුරුවත් දන්නේ නැත.

   'අනේ ගොනෝ, සුපර්ස්ටාර් කියන්නේ ඒකට තමයි' කියා, මට කීමට සූදානම් වන මහත්වරුනි, නෝනා වරුනි, මට කියාදෙන්න, කාලෙන් කාලෙට සුපිරි හෝටල්වල, අර නිකල් ප්ලේට් බටය දිගේ ඉහලට පහලට ඇඹරෙමින්, තම ඇඳුම් එකින් එක උනා දමමින්, තව නොයෙක් නොයෙක් 'වැඩකෑලි' පෙන්වමින්, කුලියට නටන ගණිකාවක සහ, මේ සුපිරි තරු අතර වෙනස කුමක්ද කියා? එම ගණිකාවට අලුත් අලුත් වැඩකෑලි උගන්වා, ඒවා ප්‍රදර්ශනය කොට, ඉහල ලාභයක් උපයන්නේ, අර හෝටලයේ අයිතිකාරයාය. අපි ටික කාලයක් එම ගනිකාවගේ 'සුපිරි දස්කම්' බලන්නට යන්නෙමු. නමුත් ටික කලකින්, එකම දේ දැකීමෙන්, අපිට ඒ ගණිකාව එපා වෙනවාය. ඒ බව දන්න හෝටල් කාරයා, ඊට වඩා හොඳ 'කෑල්ලක්' ඉදිරිපත් කරයි. එහෙම නොකලොත් බිස්නස් එක වැටේ. අලුතෙන් එන කෑල්ලට, හෝටල් කාරයා ගෙවන ගාන කොපමණ ඉහලද යත්, 'ඕනෑම දේකට' ඒ කෑල්ල ඔට්ටුය. ඔය සුපිරි නාලිකා කරන්නේත්, ඔය සෙල්ලමම ය. වෙනසකට ඇත්තේ, නිරුවත නැති එක විතරයි.

   මෙතෙක් බිහිවූ සුපිරි තරු අද කෝ? ඔවුන්ට හැකියාව ඇත්තේ, ඊනියා සංගීත කළබෑගෑණියක, කවදත් සුපුරුදු සිංදු සැට් එකක් කියා, ගාන අතට ගෙන, වේදිකාවෙන් බැසයාම පමණි.  ඒ කියන්නේ, ඔවුන් සින්දු ඉදිරිපත් කරන්නන් මිස, ගායක ගායිකාවන් නොවේ. විච්චූරණ ඇඳුම් ඇඳ, නානාප්‍රකාර ඉරියව් පාමින්, ගායනා කිරීම ප්‍රාසාංගික කලාවක් බව අද සම්මතයකි. වැරැද්දක් නැත. ගායකයාගේ හෝ ගායිකාවගේ ඒ සුපිරි පෙණුමට (කෘත්‍රිමව කරගත් අලංකරණයට) සාපේක්ෂව, ගායනයද උසස් විය යුතුය. වෙනත් වචන වලින් කියනවානම්, හඬ පමණක් වෙනම ගෙන අසා සිටින විට, එහි ගීතමය වටිනාකමක්, හරයක්, තිබිය යුතුය. ධනුෂ්කගේ ඉහත ගායනයේ මෙන්ම සුපිරි තරු බවට පතු අනෙකුත් අයගේද එවැනි අඩුපාඩු නැතුවා නොවේ. 

   නමුත්, සුපිරි තරු ප්‍රසංගයකට එන විනිශ්චය මණ්ඩලයටද, කල්තබා දෙන උපදෙස් තිබෙන බව දන්නවාද? ඔවුන්ද ගීය අනුව නොනටා නැටිය යුතුය. හායි හූයි වචන හෝ, ඔබ තමයි යුගයේ හඬ වැනි, අමු ඔලමොට්ටල කතා දෙසා බෑ යුතුය. ඔවුන්ගේ අත මිට මෙලවීම වැඩි වෙන්නේ එවිටය. 

   ධනුෂ්කගේ ගායනය, මොහම්මද් රෆී ගේ වගේ නැතැයි කියා, 21 වැනි සියවසේ ජෝකරයකු වන්නට, මම කිසිවිටකත් නොසිතමි. නමුත් ධනුෂ්කට සහ, අනෙකුත් ධනුෂ්කලාට ධනුෂ්කිලාට,  ඇත්තටම අවශ්‍යතාවක් ඇත්නම්, මොහම්මද් රෆීලා, ආශා භෝස්ලේ ලා වන්නට පුළුවන. 

  අපිට අවශ්‍යත් එය බව, අවධාරණය කරමි.  

   හැමදාම අපේ පරණ සැට් එකට ආවඩන එහෙයියකු වීමටත්, මට අවශ්‍යතාවක් නැත. 

   මා කියන්නේ මෙයයි. ගායන හැකියාව ඇති මේ තරුණ පරපුර, වෙළඳ උපක්‍රම වලට රැවටී, අවසානයේ ඉච්ඡාභංගත්වයට පත්වීමෙන්, තම හැකියාව මොට කරගනිති. හොඳ සහජ හැකියාව තියන තරුණ පරපුර, සංගීතයේ හරවත් පැත්තට යොමුකරවීමට සිටින ගුරු පරපුර පවා, පස්ස උඩ දාගෙන, 'සුපර්ස්ටාර්' සේවනයේ යෙදීමෙන්ම, ඔවුන්ගේ විචාර බුද්ධිය කොතරම් පහත් මට්ටමක ඇද්ද යන්න, පසක්වේ.  සංගීතය තියා, මෙලෝ හසරක් නොදන්නා බොහෝ දෙමව්පියෝ, හයහතර නොදන්නා පොඩි එවුන්, සුපර්ස්ටාර් වලට දැක්කීම තරම් අපරාධයක් තවත් ඇද්ද කියා මට බොහෝවිට සිතෙයි. කුඩා කාලයේදීම, ඒ දරුවන් ඉච්ඡා භංගත්වයට පත්වන සැටි, කණගාටුවෙන් යුක්තව වරක් අත්වින්දෙමි

   ටකරම් සංදර්ශන ඔහේ තිබුනාවේ, කේ ජී කෑල්ලක්, මලක්, පැකට් එකක් ගසා, ඒවා බලන අය බලපුවාවේ. දක්ෂතා ඇති, සහජ කුසළතා ඇති තරුණ පරපුර, සංගීත ඥානය, සතතාභ්‍යාසය, වැඩි දියුණු කරගනිමින්, අද්‍යතන ලෝකයේ තිබෙන මනෝ විකාරයන්ගෙන් මිදුණු, සුභාවිත සංගීතයේ කොටස් කරුවන් කරගැනීමට, ඔවුන්ගේ උරුමය ඔවුන්ට කියාදෙමු. සැබෑ සංගීත ලෝකයක් ඔවුන් ලවා ගොඩ නංවමු. එසේ නොකොට, අපිත්, අර නරා වල සැපයෙකැයි කියා, ඒ වෙතම අපේ තරුණ පරපුර සහ බාල පරපුර දක්කන්නේ නම්, අපේ මිනී වලටත් හෙණ ගහනු නොඅනුමානය.

2016 ජූලි මස 16 වැනි දින 0020 පැය 

28 April 2016

ඉස් ඉස්සෙල්ලම හිටං කිව්වේ කවුද හිටං

   අම්මපා මේ හිටං කියන එක, මෑත කාලයේ ඉඳලා අපිට එකතුවුන යෙදුමක් කියලා හිටං, පෙනෙන්න තියනවා. නමුත් මේ හිටං කියන එක, සෑහෙන තරම් අතීතයක ඉඳලා හිටං,  අපේ රාජ රාජ මහාමාත්‍යාදීන් විසින්, පාවිච්චි කොරලා තියනවා හිටං කියලා, මම මේ මෑතකදී තේරුම් ගත්තා හිටං. දැන් බළනකොට මේ හිටං කියන එක කිසිම අවුලක් නැති යෙදුමක් කියලා හිටං තේරෙන්නේ දැනුයි හිටං. මේ හිටං කියන යෙදුම, අපේ ජන නායකයන් විසින්, මීට අවුරුදු හැට හැත්තෑවකට උඩදිත් පාවිච්චි කොරලා තියනවා කියලා හිටං, ඔහෙලා බොහොමයක් දන්නේ නැතුව ඇති හිටං. ඉතිං අප්පා, කාටද තංතෝස කියලා මං අහන්නේ හිටං. මෙව්වා අපේ සඟිස්කුරුතියේ, පරණ කියමන් කියලා දැනුයි ඕං තේරෙන්නේ හිටං. 

   අපේ වර්තමාන ජනාධිපතිතුමා, හිටං කියනවා කියලා හිටං, හුඟක් දෙනෙක්,  අරවා මෙව්වා කියනවා හිටං. ඒ උනාට, එතුමාටත් කලින් හිටං, හිටං කියන යෙදුම පාවිච්චි කල උත්තමයෝ හිටියා කියලා හිටං, ඔහෙලා දැනගන්නවා හොඳයි හිටං. මං මෙව්වා කිව්වට විස්වාස නැත්තං හිටං, ඔන්න ඔය පහලින් තියන, තප්පර 35 ක් විතරක් යන වීඩියෝ එක, බලනවා හොඳයි හිටං. කොම්පීතරේ ළඟ හිටගෙන හිටං. 




   ඕං බලනවාලා හිටං, ජාතියේ පියා කියලා කියන උත්තමයා හිටං, මේ හිටං කියන එක කියලා තියනවා හිටං. හැක්, ඉතිං කියනවලකෝ හිටං, දැං ඔහෙලා මොකද කියන්නේ හිටං?

2016 අප්‍රේල් මස 27 වැනි දින 2354 පැය

18 April 2016

අවුරුදු කෑවා කියන්නේ.........................


   හප්පොච්චියෙ, අවුරුදු කෑවා කියන්නේ කෑමක්, මදි නොකියන්න කෑවා. ආයෙත් අවුරුදු ගානකට අවුරුද්ද නම් එපා. (ඔය කිව්වට අපිනේ දන්නේ.......හෙහ් හෙහ්) නෑ නෑ, මේ කියන්නේ කෑමබීම ගැන විතරක් නෙවෙයි. කවුරු කවුරුත් අවුරුද්දට විශේෂ කෑම බීම හදලා කනවා බොනවා නේන්නම්. නැතුව මම විතරයැ. අපි කාටත් නානාප්‍රකාර අවුරුදු අද්දැකීම් ලැබී තිබෙන බව, මේ දවස්වල බ්ලොග් ලෝකයේ පලවෙන අවුරුදු ලිපි වලින් පෙනෙනවා. 

   ඕං එහෙනං අහගන්ඩකො මේ සැරේ අවුරුද්ද නිසා මට වෙච්චි දේවල්. සෑම වසරකම අපේ පුංචි ජනාවාසයේ,(මේක ගමක් කියන්න බැහැ. ඉඩම් වෙන්දේසියකින් මිලදීගත්, පර්චස් 20 - 30 ඉඩම් කෑලිවල හදාගත්ත ගෙවල් යායක් තියෙන්නේ) අවුරුදු උත්සවය නොවරදවාම සිදුකෙරෙනවා. (අපේ ජනාවාසයටම වෙන්වූ ක්‍රීඩාපිටියක් සහ සමිති ශාලාවක් තියනවා) අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න තරම්, අවුරුදු උණ තියෙන්නේ, අපි කීපදෙනෙකුට විතරයි. නමුත් ඉතින් කොහොම හරි, මේ පවුල්වල දරුවන් වෙනුවෙන් වත්, මොනවාහරි කරන්න එපායැ. 

   සෑම නිවසකින්ම මුදල් ආධාරයක් අරගෙන, පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුන මුදලුත්, අපේ සමිති අරමුදල් වලින් කොටසකුත් දාලා, වැඩටික සංවිධානය කළා. වැඩේ බොහොම ඉහලයි. නමුත් ජනතාවගේ සහභාගිත්වය නම් හොඳටම දුර්වලයි. කොහොම හරි, උදේ 9.00 ට පටන් ගම්මු කියලා හිතාගෙන හිටිය අවුරුදු උත්සවේ, පළමුවැනි තරගය තියන්න වුනේ, උදේ 10.20 ට. අපේ අය ඒ තරම් හොඳට ප්‍රමාද වෙන්න දන්නවා. 

   අපේ රටේ ජාතික ගීයේ, මොකවත් කුණුහරප වචන තියනවද මන්දා, බොහෝ දෙනෙක් ජාතික ගීය වාදනය කරනකොට, එය ගායනා කරන්න කියා ඉල්ලා හිටියත්, වටපිට බලමින්, ඉඟිබිඟි පාමින්, ඇඳුම කොණ්ඩය හදමින්, හිටියා විතරයි. මගේ වයසේ කීපදෙනෙක් සහ පාසල් ළමුන් පමණයි, ජාතික ගීය ගායනා කළේ. අනේ අපේ ජාතිය. 

   අපේ අවුරුදු උත්සවය සඳහා අපිම දාගන්න සංස්කෘතික පොලීසියක් තිබෙනවා. අහවල් එව්වා පානය කොට පැමිණීම තහනම්, පිටිය තුල දුම්බීම තහනම්, එවැනි අය ආපහු හරවා යවනවා.  දරුවන්ට පෙනෙන්න ඉඩතියන්නේ නැහැ එවැනි දේවල්.

   මෙවර නිවේදකයකු ආනයනය කර තිබුනා, වෙනත් ගමකින්. උන්නැහේ, දවල් කෑම වෙලාව කිට්ටු වෙනකොට, තරග වල නම් අලුත් කරන්න පටන් ගත්තා, 'අන්ධයා කිරි කා, මුට්ටිය බිඳ, පොල් අතු වියා, සූප්පුවෙන් කිරිබීම' වැනි අලුත් තරග ගැන කියන්න පටන් ගත්තා. උන්නැහේගේ දිව ටැපලෙන බව, අපිට පැහැදිළිවම පෙනුන නිසා, උන්නැහෙව වහාම උන්නැහේ ආව දිහාවක් බලාගෙන යන ලෙස, අපනයනය කළා. අපි කීපදෙනෙක්, මාරුවෙන් මාරුවට, නිවේදක රාජකාරිය කළා. 

    (නෑ නෑ අවුරුදු උත්සවේ ඉවරවෙලා ලස්සන ඇල ඉවුරක, මහා කජුගහක් යට අපේ කට්ටිය රැස්වෙනවා. ඒ වෙලාවට සියලු පානීය වර්ගත් එතැනට රැස්වෙනවා, මිලදීගැනීම් සහ පරිත්‍යාග කියන දෙආකාරයටම. රාත්‍රී 2.00 විතර වෙනතුරු සාජ්ජය පැවැත්වෙනවා. පුටු පෙරලාගෙන ඇලට වැටෙනවා. සමහරු ඇලට බැහැලා පානය කරනවා. ඇලේ ප්ලාස්ටික් පුටුවක් තියාගෙන, ඉනවටක් වතුරේ ඉඳගෙන පානය කරනවා. මේ දවස්වල රෑටත් ගිරීස්මයි නෙව) 

   පරණ සින්දු වලට තමයි වැඩි තැනක් ලැබෙන්නේ. හැබැයි හිටපු ගමන් පදමාලාව වෙනස්වෙලා කියවෙනවා. හොඳ පදත් කියවෙනවා ඉඳලා හිටලා. අහල පහල ගෙවල් දොරවල් නැති නිසා හොඳයි. 

   මෙතන ලියන්න පුළුවන් උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔන්න මේ වගේ. 'සඳ කොමලී තරු පිරිවරලා' කියන, ලතා වල්පොල මහත්මිය ගයන ගීතය, සමහර වෙලාවට, 'සඳ කොමලී වර තරු පිරිලා' කියලා තමයි කියවෙන්නේ. 

   අවුරුදු උත්සවය බලන්න/සහභාගිවෙන්න එන සියලුදෙනාට, නොමිලේ දිවා ආහාරය දෙනවා. මෙවර අපි අලුත් හාල් බත් උයලා, පොලොස් මාළුවක්, අඹ ඇඹුලක්, පරිප්පු, මාළුමිරිස්/තක්කාලි/අඟුළු කරවල/ මිශ්‍රකොට තෙලෙන් බැද, පපඩම්, බැදපු මිරිස්, සහ තම්බපු මඤ්ඤොක්කා ලබාදුන්නා. උයන්නෙත් අපි අපිමයි.

   සංවිධායක මණ්ඩලයේ සමහර වහන්සේලා කරන වෘෂභ රාජ වැඩ නිසා, තරගයක ඇති සජීවී ලක්ෂණ අඩු වෙනවා. කණා මුට්ටිය බිඳීමේ තරගයේ, මුට්ටි ටික එල්ලන්න ඕනේ, ජනතාව පිටියට එන්න කලින්. ඒ වගේම නිල් දියර තිබෙන්නේ කොයි මුට්ටියේද කියා, ඉඟියක් වත් ලැබෙන ආකාරයට, කතා කරන්න හොඳ නෑ. කුමක් හෝ ප්‍රමාද දෝෂයකින් ඔත්තුවක් ගිහින්. හොඳ ඇට්ටර කොල්ලෙක්, තරගය ආරම්භ කර වැඩි වෙලාවක් යන්නට පෙර, ඇදලා ඇරියා නිවැරදි මුට්ටියට පාරක්. හැබැයි අපරාදේ කියන්න බැහැ, ඒ මුට්ටියට දාලා තිබුනේ, තනිකරම නිල් දියර කුප්පි පහක දියර. අර කොලුවා ඇඳගෙන හිටියේ, වැඩිපුර සුදුපාට තියන කළු සුදු මෝස්තරයකින් යුත් අලුත් කමිසයක්. කොල්ලාගේ කමිසය අහක දාන තරමට නිල් දියරෙන් නෑවුණා.

 පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගයේදී, එක 'මහත්තයෙක්' හෙමින් සීරුවේ බුද්ධි අංශය මෙහෙයවලා හොයාගෙන තියනවා, කොතන තියන පැපොල් ගහකින්ද, ගෙඩිය කඩාගෙන තියෙන්නේ කියලා. මිනිහා බයිසිකලයකින් ගිහින්, ඒ පැපොල් ගහ අයිති ගෙදරට කියලා තියනවා, උදේ ගෙනිච්ච් පැපොල් ගෙඩිය කොහේදෝ දාගෙන හොයාගන්න බැරුව ඉන්නවා, තව ගෙඩියක් දෙන්න කියලා. අනේ ඉතින් ඒ ගෙදරින්, තව පැපොල් ගෙඩියක් කඩලා දීලා. මිනිහා ඒකත් අරන් ගෙදර ගිහින්, කපලා ඇට ගණන් කරලා ආපහු ඇවිත්, ලොක්කා වගේ තරගයට ඉදිරිපත්වෙලා. තරගයට තිබුන පැපොල් ගෙඩියේ ඇට 487 ක් තිබුනා. අර මනුස්සයාගේ පිලිතුර 486 යි. දිනුම එයාට ලැබුණා. 

  සැඟවුණු අමුත්තා තේරීම කරන්නේ, සම්පූර්ණ නොමග යැවීමේ ක්‍රමයකටනේ. ඇත්තටම සැඟවුණු අමුත්තා කියා කෙනෙක් පිටියේ නැතත්, බොරුවට කියනවා, අතන හිටියා මෙතන හිටියා, තොප්පියක් දාගෙන හිටියා, වගේ දේවල්. දවසේ වැඩසටහන අවසාන වෙන්න ලංවෙලා තමයි, කාවහරි යොදවන්නේ, සැඟවුන අමුත්තා ලෙස. මේ සඳහා මම පරිගණකයෙන් මුද්‍රිත කාඩ්පතක් හැදුවා, සැඟවුන අමුත්තාගේ හැඳුනුම්පත ලෙස. මම ඒක දුන්නා, සැඟවුන අමුත්තා තරගය භාර, සමිති සාමාජිකයාට. අනේ උන්නැහේ ඒ හැඳුනුම්පත අමුත්තාට දෙනවා, කොලු රංචුවකට අතටම අහුවෙලා. විනාඩියෙන් අමුත්තා වේදිකාවට ඇදගෙන ආවා, ඒ පොඩි එවුන් ටික.  

   කඹ ඇදීමේ කාන්තා තරගයේ දී, පොඩි ගෝරියක් යන්න ගිහින්, නූලෙන් බේරාගත්තා. දිනපු පැත්තේ කාන්තාවක්, පැරදුන පැත්තේ කාන්තාවකට කියලා, 'දැන් වැල වෙලා හින්දා අදින්න බෑ නේද' කියලා. හප්පොච්චියෙ තව ඩිංගෙන් සාමසාධක හමුදාවක් ගෙන්නන්න වෙනවා, එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියලා. ඒ වගේමයි, වයස අවුරුදු 40 න් ඉහල කාන්තාවන්ගේ සමබරදිවීමේ තරගයේදී, 'ඇයි ඔයා යන්නේ නැද්ද තරගයට' කියලා, එක කාන්තාවක් තව කාන්තාවකගෙන් අහලා. අරයා අවුරුදු 40 ට අඩුයිලු. තව පොඩ්ඩෙන් බෝම්බ වැලක් පිපිරෙන්න තිබුනා, අපි වැඩේ ෂේප් නොකලානම්. 

   තෑගි වශයෙන් ලබාදුන් සමහර එව්වා, සමහර අයට අල්ලලා නැහැ. ever silver වර්ගයේ පිඟන් කීපයක් ලැබුන කෙනෙක් අහනවා, හිතුවද අපි දිනපතා තෝසේ කනවා කියලා, මේ තෝසෙ කඩවල පිඟන් දෙන්නේ කියලා. කාලා වරෙන්කො.  

   ඔන්න ඉතින් අවුරුදු උත්සවේ ඉවරවුනා කියමුකො. අස්පස් කරන වැඩ පටන්ගත්තේ පහුවදා. අර ගෙදර බඩු මේ ගෙදරට ගිහින්, මේ ගෙදර බඩු තව ගෙදරකට ගිහින්. යන්තම් බොහොම අමාරුවෙන්, මාරු ඔක්කොම නිවැරදි කරගත්තා. 

   ඊළඟට පටන්ගත්තා ටෙන්ට් ගලවන්න. අපරාදේ කියන්න බෑ, අවුරුදු උත්සවයේදී මට තෑග්ගක් නොලැබුන නිසා, එක ටෙන්ට් එකක පතන්දර යකඩ පොල්ලක්, මගේ වම් කකුලේ පිටිපතුලට වැටුණා. චූ යන තරම් වේදනාවක් සහ සෙන්ටිමීටරයක තරම් දිග, මිලිමීටර් 5 ක් පමණ ගැඹුරු තුවාලයක්, තෑග්ග වශයෙන් ලැබුනා. අපේ කට්ටිය, වහාම මාව වාහනයක පටවාගෙන ගිහින්, ප්‍රතිකාර ලබාදුන්නා. දැන් ඉතින් මේ තුවාලය සුව වෙනතුරු, අවුරුදු සතුට විඳිනවා.  

2016 අප්‍රේල් මස 18 වැනි දින 1308 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }