හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label ජීවිත සටහන්. Show all posts
Showing posts with label ජීවිත සටහන්. Show all posts

07 August 2017

පෙළ පාළිය, විසිර යා



විචාරකතුමාගේ  පිංකමට ආවත් , නාවත්  ඔහු මතකයේ තියාගත්ත ඔබ සැමට  ස්තූතියි . ඉතින් ගිය සතියම පිංකමට කාලය වෙන්වුණු නිසා හිතේ තිබුනත් ලියාගන්න බැරිවුනා . 


අදමං කියන්නේ ඔහුගේ හමුදා ජීවිතය මට බැඳුනු හැටි .


සූරියකාන්ත  මල හා දෙබරු 

මේ කතාවට රටේ බොහොම ප්‍රසිද්ධ කාලයක් මතකයට නැගෙනවා . ඒ තමයි  1989  ඒ අවුරුද්දේ තමයි මම හා හා පුර කියාලා 1 පන්තියට ගියේ . විචාරකතුමා තමයි  මගේ පොත්වලට පිට කවර දාලා නම ලියල . එයාගේ පොඩි වැඩ නෑ . ලොකු අකුරින් තමයි නම ලියන්නේ . ඒ දවස්වල ඉඳගන්න පුටුව ළමයා ගෙනියන්න ඕන. ඉතින් මට මතකයි . ලසස්න කොස්  ලී  පුටුවක් හදලා තිබුනා . ඒ කේ හැමතැනම ලොකු අකුරින් විචාරකතුමා මගේ නම ලීවා. ඉතින් කොහේ දාලා තිබුනත් පුටුව හොයාගත්ත හැකි. හරි මේ කතා වැඩක් නෑ . කතාවට එන්ටර් වෙමුකෝ ...................


කාලේ වෙනස් තාලේ අලුත් වගේ වැඩිකල් ඉස්කෝලේ යන්න ලැබුනේ  නෑ. ඉස්කෝලේ නිවාඩු දුන්නා. හැබැයි ගුරුවරු වැඩට යන්න ඕන,  අපේ අම්ම ඉස්කෝලෙට ගිහිල්ල පාඩම් වැඩ ඉල්ලගෙන එනවා.  ඒ දවස්වල රෑට මගේ මව ඇහැරිලා ඉන්නවා . අපේ ගෙදර එතකොට හිටියේ මමයි, අම්මයි, නංගියි,  නංගි බලාගත්ත කෙනයි විතරයි. විචාරකතුමාගේ නිවාඩු කැන්සල්. ඉතින් ඔහු නෑ. තත්වය හොඳ නැතිනිසා හැමෝම කීවා ගෙදර තනියම ඉන්න එපා කියලා ඊට පස්සේ අම්ම අපි දෙන්න අරගෙන වැඩට හිටි ළමයා ගෙදර යවලා  ගියා අපේ ලොකු අම්මගේ ගෙදර. අපිට ඉතින් හොඳයි. උදේ ඉඳන් රෑ වෙනකල් සෙල්ලම් කරනවා . ඔහොම ඉන්නකොට  දවසක් රෑ විචාරකතුමා ඇවිත් කීවා අපි දියතලාවේ හමුදා කඳවුරේ තාවකාලිකව නවතින්න යනවා කියලා . ඒ වෙනකොට රජයෙන් හමුදා පවුල් සාමාජිකයන් තම රාජාකාරි ස්ථාන ආසන්නයේ රඳවා ගැනීමට අවසර දීලා තිබුණා. ඉතින් අපිත් ගියා දියතලාවේ. ඒ වුනාට මොකද නිල නිවාසයේ ඉන්න එක හිර ගෙදරට වඩා හපන් එළියට යන්ඩ බෑ. සෙල්ලන් කරන්න ඉඩ නෑ. කෑගහන්න බෑ. මොකද කඳවුර ඇතුළේ නිල නිවාසයක් තමයි ලැබුනේ . 

ඉතින් ඔහොම ඉන්නකොට  දවසක් මම දැක්කා, මං වගේම තව ගෑනු ළමයි දෙන්නෙක් තවත්  නිල නිවාසයක ඉන්නවා . ඒ වගේම, ඒ අසළ කවදාවත් දැකල නැති ලස්සන ලොකු කහපාට මල් වගයක් තියෙනවා . ඒවත් කඩාගෙන අර ළමයි එක්ක සෙල්ලම් කරන්න යනවා කියා හිතලා ,අම්මට අහුවෙන නිසා ඉස්සරහ දොරෙන් නොයා පිටිපස්සේ තිබුණු කෙටි තාප්පෙන් පැනලා ගියා මල්කඩන්න . මල් වලට ලං වෙනකොට මං දැක්ක මී මැස්සෝ වගේ සත්තු ජාතියක් ඒවායේ කැරකෙනවා . මී මැස්සෝ මට විදින එකක් නෑ , කියලා හිතලා මම මල කඩන්න හදනොකටම, ඔලුව පිටිපස්සට එකෙක් ඇන්නා තරු 10 ක් විතර පේන්න. මොකුත් නෑ. කඩාගත්ත මලත් අතඇරපු මං යටි ගිරියෙන් කෑගැහුවා . එවෙලේ තමයි අම්ම දැක්කේ මං ඉන්න  තැන,  ඒ එක්කම මං දැක්‍කා  පහළින් තිබුන පාර දිගේ රාජකාරී නිම කරලා නිල නිවාසයට එන විචාරකතුමාව . එතකොට නම් මට කලන්තේ දාන සයිස් එකක් තිබුනේ. මොකද මං දන්නවා හොඳට බැණුම් අහන්න  වෙන බව. ඊට පස්සේ අයිස් තියලා, බටර් ගාලා කරන්න පුළුවන් සේරම කරත් දවස් දෙකක් විතර යනකන් ඉදිමුම බැස්සේ නෑ. ඒ මී මැස්සෝ නෙවේ දෙබරු කියලත් මල් සූරියකාන්ත කියලත් මම දැනගත්තේ එදා . විචාරකතුමා මං හිතුවට මුකුත්කීවේ නෑ. එකදෙයයි කීවේ මං හිතුවා කටේ සද්දෙටම මේ ළමයා තමයි කියලා .


පෙළ පාළිය, විසිර යා  


දියතලාවේ  ගෙවුණු මාස 8 ක පමණ ජීවිතේ විවිධාකාර අත්දැකීම වලට මුහුණ දුන්නා. ඔය ඉන්න අතරේ විචාරකතුමා මට කිවුවා , මාව උත්සවයකට එක්ක යනවා ලස්සනට ලෑස්ති වෙන්න කියලා. ඔන්න ඉතින් පහුවදා අම්ම මට ලසස්න ගවුමක් අන්දලා, සපත්තු මේස් දාල ලෑස්ති කරා . විචාරතුමාත් ඉතින් නිල ඇඳුම් ඇඳලා, කඩු කස්තාන ඉනේ ගහගෙන ලෑස්ති වුණා. ඔන්න ඉතින් ජීප් එකක පිටිපස්සේ විචාරකතුමාගේ  යාළුවොයි මමයි විචාරකතුමයි ගියා . යනකන් යාලුවෝ බැන්නා,  ඇයි මේ ළමයා අර ගිනි අවුවට ගෙනියන්නේ කියලා . විචාරකතුමා මුකුත් කීවේ නෑ. හිනාවෙවී හිටියා . ඔන්න මට එතනට ගියාමයි තේරුනේ වැඩේ මොකක්ද කියලා . ඒ තමයි දියතලාව යුධ හමුදා පුහුණු පාසලේ විසිර යාමේ පෙළපාලි පවත්වන භූමිය , මාව ගෙනත් තියෙන්නේ  ඒ විසිර යාමේ උත්සවයක් පෙන්වන්න.  විචාරකතුමාටයි මටයි පෙළපාලිය බලන්න අසුන් දෙකක් ලැබුණා. දැන් ඔහොම සියල්ල නරඹමින් ඉඳලා එක පාරටම විදානයක් දුන්නා ආචාර  පෙළ පාලිය විසිර යා කියලා ඉඳගෙන හිටියට මං විචාරකතුමාගේ  අතත් අල්ලාගෙන හිටියේ .  එකපාරටම නැගිට්ට විචාරකතුමා ටක් ගාලා සීරුවෙන් ඉඳගෙන අත නවාගෙන අර සෙබළුන්ට සැලුට් කරා. මට තේරුණා මමත් දැන් සීරුවෙන් සිටිය යුතුයි කියලා. මමත් ඒ විදියටම සීරුවෙන් හිටියා . ඔන්න ඉතින් අර නිලධාරී  කණ්ඩය විසිර ගියා . ඊට පස්සේ  දවසක විචාරකතුමා ළඟ වැඩකරන කෙනෙක් ඇවිල්ල කියනවලු සර් ,මාරු පොටෝ එකක් තියනවා පෙන්වන්න කියලා . බැලින්නම් අර විසිර යාමේ පෙළ පාළියේ  අපි දෙන්නගේ  ෆොටෝ එකක අරගෙන, ඒක බලලා අර මනුස්සයා කිවුවලු බලන්ඩකෝ සර් දුව නිකන් ඉන්නේ සර් වගේම කියලා. විචාරකතුමා  ඒ කතාව ගෙදර  ඇවිත් අම්මත් එක්ක කිවුවා. 


මළ ගෙදර හා  වමනය 

මම තුනේ පන්තියේ විතර ඉන්නකොට විචාරකතුමා දවසක් ගෙදර ඇවිත් ඉන්න වෙලාවේ කීවා . හෙට ඔයා  මාත්  එක්ක මළ ගෙදරක යනවා කියලා . මට ඉතින් මාර සතුටුයි . මොකද මං පොඩිකාලේ ගමන් යන්න හරි කැමතියි . එහෙම තමයි ඔහු මාව ඉස්සෙල්ලම හමුදාවේ අයෙකුගේ මළගෙදර එක්ක ගියේ . මළගෙදර තිබුනේ නොර්ටන් බ්‍රිජ් වල .එවකට අපි පදිංචි වෙලා හිටියේ රුවන්වැල්ලේ නිසා හැටන්  හරහා තමයි ගමන යෙදුනේ. විචාරකතුමා ඒ මළගෙදරට සහභාගිවුණේ  ඔහුගේ හමුදා ඒකකයේ  මළගෙදර වෙනුවෙන්  සහභාගී වන නිලධාරියා ලෙසයි.  ඉතින් මමත් ඔහුත් බසයෙන් ගිනිගත්හේන නගරට ගිය අතර , හමුදාවෙන් එතැන් සිට මළ ගෙදර දක්වා නිලරථයක්  එවා තිබුණා.  ඔහු එම නිලරථයේදීම නිල ඇඳුම් ද , ඇඳගෙන මා සමග මළ ගෙදරට ගියා. තේ වතු යායක් මැද තනාතිබූ කුඩා නිවසේ  ඔහුගේ දේහය  නොතැබිය හැකි නිසා ටකරං වහලයක් තනා දේහය  තැන්පත් කිරීමට වෙනම ස්ථානයක් තනා  තිබුනා . සෙබළාගේ මෑණියන් පැමිණ විචාරකතුමා සමග ඇඩු කඳුළින් කතා කළා මට මතකයි. කුඩා වයසේ උනත් ඒ දර්ශනය මගේ සිතත් සොලවන්න සමත් වුණා. ඔහොම ඉන්නකොට, එතනට ආපු  විචාරකතුමා  දන්න හමුදාවේ කෙනක් සර්, තේ බොන්න යමු  කියා කතාකරා. ඔහුගේ කීමට ගියත්, විචාරකතුමා  වැඩිය කෑවේ බීවේ නෑ. අර පුද්ගලයා මට කේක් කෑල්ලක් හා ආනමාලු කෙසෙල් ගෙඩියක් දුන්නා. ඒ දවස්වල මට ගමන් යනකොට  වමනේ යනවා . ඒ නිසා විචාරකතුමා බයවෙලා කීව ඔයා ඕවා දුන්නට කමක් නෑ කන්න එපා කියලා ඒ වුනාට ඉතින් මේ මම ඕවා අතේ තියාගන ඉන්න බැරිනිසා කෑවා.  අවසානයේ සියලු  හමුදා  උත්තමාචාර මැද දේහය මිහිදන් කෙරුණා. ඉතින් නැවතත් නිවස බලා සුපුරුදු පරිදි ගමන් ආරම්භ කරපු අපිට ආපසු ගමනේදී නිල රථය නිවස සලටම හමුවුණා. විචාරකතුමාගේ ඔඩොක්කුවේ වාඩිවෙලා හැටන් සිට පල්ලම බහින විට දවල් ඔහු කීදේ සැබෑවක් කරමින් වමනය යාමට සානවා තිබුණි.  කට තදකරගෙන හිටියත් විචාරකතුමාගේ නිල ඇඳුම ද  මගේ ඇඳුම ද ඉවර කරමින් මට වමනේ ගියා. විච්රකතුමා එවෙලේ නම් හිටියේ දැන් මාව වාහනෙන් එළියට දාන සයිස් එකෙන් . මොකද එයා හරි නීට් . ඊට පස්සේ  වාහනේ රියදුරු මහතා කීවා ඔහොම ඉන්ඩ සර් පල්ලෙහා  වංගුවේ පොඩි දිය පාරක් තියනවා එකෙන් හෝදගමු කියලා අවසානේ එතනින් මවත් හෝදලා විචාරකතුමා ඇඳුනුත් මාරු කරලා ගමන පිටත් වුණා. ඊට පස්සේ මට හොඳට නින්ද ගියා. ගෙදර ගිය ගමන් විච්රකතුමා අම්මට මන් ගැන පැමිණිලි කරා . 

විචාරක දියණිය 
13.05 පැයට 

23 July 2017

අනුස්මරණය





තෙමසක් ගතවිය ඔහු අප හැර නික්ම         ගොසින්

ඇරයුම් කරමි ඔබ සැම හට  සැදැහැ           සිතින් 

ඇවිත් යන්න අපෙ නිවසට  බැති                සිතින් 

පින් අනුමෝදම් කරමු ඔහුට සෙනෙහෙ     සිතින් 



දිවංගත විචාරකතුමාගේ  තෙමස්පූර්ණය වෙනුවෙන්  පුණ්‍ය කර්මය ජූලි මස 28 හා 29 දෙදින අප නිවසේ පැවැත්වේ. මේ සඳහා සහභාගී  වන මෙන් ඔබ සහෘද බ්ලොග් සාමාජික සියලු දෙනාට ආරාධනා කරමු .

විචාරක  දියණිය ඇතුළු පවුලේ සැම 


වැඩි විස්තර සඳහා  බ්ලොග් සහෘද ගස්ලබ්බා මහතා අමතන්න . 


20. 45 පැයට  විචාරක දියණිය 





2016 

03 July 2017

මට ජීවිතය කියාදුන් මගේ පියා ........................


ප්‍රතිචාර දැකීමෙන් ලියන්නට සිත් වුවත් රාජකාරිය දේවකාරිය වූ නිසා මෙම සති අන්තය ගතවූයේ අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති විභාග රාජකාරි සඳහාය. 

 නැවතුණු තැනින් .........

       විචාරකතුමා පරිගණකයට මෙතරම් ඇලුම් කළේ ඔහු  Electronic භාණ්ඩ වලට දැක්වූ ඇල්ම නිසාය. කුඩාකල සිට සිය වැඩිමහල් සහෝදරයාගෙන් Electronic පරිපත සැකසීම ඉගෙනගත් ඔහුට  Electronic සම්බන්ධ සියලුම දේ ජානවලින් ලැබී තිබුණේය. මියෙන තුරාවට අප නිවසේ කිසිදු  Electronic භාණ්ඩයක් ඔහුගේ  පරීක්ෂාවෙන් තොරව මිලදීගෙන තිබුණේවත්, අලුත්වැඩියා කතර තිබුණේවත් නැත. ඔහු ඒවා පිටත තැනකට දුන්නේ ඔහුට එය කළ නොහැකිනම් පමණි . මාදිලිය , එහි ප්‍රමිතිය , නිමාව ඔහු සැමවිට අගය කළේය. එහිදී ඔහුට මිල වැදගත් නොවීය. එම නිසා මගේ වයසට සමාන ඇතැම්   Electronic භාණ්ඩ තවමත් අපේ ගෙදර  භාවිතා වේ. ඔහු නව ලෝකයට සැමවිටම ආසාකළ අතර තොරතුරුවලින් සන්නද්ධ විය.

ඔහුගේ  Electronic ආසාව නිසාම ඔහුගේ 50 වැනි උපන්දිනයට මවගෙන්  ඔහුට ලැබුනේ රූපවාහිනී යන්ත්‍රයකි. එයට ඔහු බොහෝ ආසා කළේය .  

ඔහු මට හා මගේ නැගණියට ආදරය හා ආරක්ෂාව සපයන්නට ගත් උත්සාහය අනන්තය. එවකට මා සිවු හැවිරිදි වියේ පසු වූ අතර අප ජීවත්වූයේ කුළි නිවසකය.එහි ලිඳක් තිබුණද , කැළණි ගඟ ආසන්නයේ ජීවත් වූ නිසා නෑම සඳහා ගඟට යාම පුරුද්දක් වී තිබුණි. මේ කාලයේ මා ඉතා දඟකාර බවද පැවසිය යුතුය. කෙස් වෙතත් ඔහුගේ රාජාකාරී ජීවිතය නිසා සැමවිටම අප ළඟ රැඳීමට ඔහුට නොහැකිවිය. දිනක් මව හා අසල නිවසක ළමයෙකු සමග දියනෑමට ගඟට ගිය අතර, ඒ වනවිට අසල්වාසී  බොහෝ දෙනෙක් ද  දියනෑමට ගඟට පැමිණ සිටියහ. ඔවුහු බොහෝ දෙනෙක් ගැඹුරු දියේ සිටියහ. මා වහා වතුරට පැනගත් පසු අම්මා කෑ ගැසුවාය.

අම්මා - ළමයෝ  ගැඹුරට යන්න එපා . ඉක්මණාට නාලා එන්න. 

එය මදකුදු ගණන් නොගත් මමත් ඇයත් ටික වේලාවකින් ගැඹුරු දියට  ගිය අතර ,  අප දෙදෙනාගේ කර වටට පමණ වතුර තිබිණි දෙදෙනාම ඇත අල්ලා සමබරතාව රැකගෙන සිටි අතර, හදිසියේම ඇය මගේ අත අතඇරියාය. සැණකින් දියට වැටුණු මා පහළට ගසා ගෙන යන බව දැනුණි. සැනෙකින්ම මට වැටහුනේ මගේ කටට වතුරපිරෙන බවත් කකුල්  ගැසුවත් වතුර වැඩි නිසා කකුල නොවදින බවත්ය. කෑ ගැසීමට වේර දරන හැම මොහොකම කටට වතුර පිරුණි. අත පමණක් දියෙන් ඔසවා ගැනීමට හකිවූ අතර  මගේ වාසනාවට ගඟේ සෑම කොනකම මා සෙවූ අම්මාට මගේ අත පමණක් දිස්වී තිබුණි. 

අනේ.......... මගේ ළමයා යයි  මව කෑ ගැසූ පසු සියලු දෙනා දුටු අතර , ඊට ඉහළ තොටුපලේ නාමින් උන් මාව දන්නා කෙනෙකු පැමිණණ මාව  හරහට වඩාගෙන ගොස්  බිම තැබූ සැනින් මට වතුර වමනය ගියේය . මගේ මෙන්ම අම්මාගේ නෑමද  අවසන් වූ අතර , ඇය මාවද කැටුව නිවසට පැමිණියාය . ඉන්පසු ටික දිනකින් නිවාඩු පැමිණි මගේ පියා නිවසට ජල සම්පාදනය ලබාගෙන නළ සවිකරන ලදී. එදිනෙන් පසු ඔහු නොමැතිව ගඟට යාම සපුරා තහනම් විය. මා ඉතා බියට පත්වී සිටි නමුත් මට කිසිවක් කීවේ නැත. 

එවැනිම මාගේ වීර ක්‍රියාවක් නිසා වයස අවු 2 දී පමණ මගේ නැගණියගේ කකුලේ  මහපට ඇඟිල්ල දෙකට මැදින් කැඩුණි. සිද්ධිය මෙසේය. එදින සවස සුපුරුදු පරිදි මගේ නැගණියට අහාර ලෙස සුප් කෝප්පයක් දුන් අපේ අම්මා ඇයව සාලයේ තබා මුළුතැන්ගෙට ගියාය. ගෙදර සියලු බිත්ති වලට හා දොර ජනෙල් ආදී සියලු වස්තූන්ට ගුරුවරිය වූ මා  බිත්තියේ යමක් ලිවීමට පැස්ටල් කූරක් රැගෙන ටිපෝව මතට නැග්ගාය . 

බිත්තිය දෙසට වැඩිපුර ඇලවීම නිසා අසමබර වූ ටිපෝව හා මා නැගණිය උඩට වැටුණි. මා ක්ෂණිකව ඉවත් වූ නමුත් ටිපෝදාරයට ඇයගේ දකුණු කකුලේ මහපට ඇඟිල්ල එල්ලෙමින් තිබුණි. ඇය ලතෝනි දෙමින් කෑ ගැසූ අතර , එතනට පැමිණි අම්මා මට දිගට හරහට පහර දී ඇයවද රැගෙන පාරට දිවුවාය. එවෙලේම පැමිණි බයිසිකලයකින් එවකට කරවනැල්ල මූලික රෝහලට ගෙන ගිය අතර , මම මෙහෙකාරිය සමග අඩමින් පාර බලා සිටියෙමි. මා ඉතා බියට පත් වූයේ ඇය මියයාවී යැයි සිතමින්ය . 

මුළු ගමම රෝහලට ගිය අතර සෑම දෙනාම අපාසු පැමිණියත් , මව හෝ නැගණිය පැමිණියේ නැත. අසළ ගෙදරක අයෙක් පැමිණි පැවසුවේ රෝහලේ දෙදෙනාම නවත්වා ගත් බවයි ඉතින් මම අඞමින්ම නින්දට ගියෙමි. එතැන්සිට මාසතුනක් ප්‍රතිකාර ලැබූ පසු දොස්තරවරු පැවසුවේ ඇගේ ඇඟිල්ල වෙන්වූ තැනින් ඉවත් කළ යුතු බවයි . දොස්තරලා සමග මහා  සටනක් කර,  මගේ පියා ඇයව සිය සහෝදරයා සිටි ( Male Nurse) කෑගල්ල මහ රෝහලට ගෙනගොස් ඇඟිල්ල මසා එන්නත් ලබාදී ඇඟිල්ල නොකපා බේරා ගත්තේය. අම්මා රෝහලේ සිටි කාලයේ හැකි අයුරින් මා සමග කාලය ගෙවීමට ඔහු උත්සාහ කළේය. 

ඔහු අපට රසවින්දනය කියා දුන්නේ කුඩාකල සිටය. නිදාගැනීමට යන අතරතුරේදී ඇසීමට සලස්වන්නේ ඔහු විසින් පටිගත කරගන්නා ලද  වේදිකා නාට්‍ය ගීත , පැරණි හින්දි ගීත වැනි දේය. ඒ නිසාම අපිත් ඒ රසට වහ වැටුණි. කෙසේ වෙතත් පරම්පරා ගැටුම සැම විටම පොදු ලක්ෂණයකි. 

එනම් ඔහුගේ පියා ඔහු වික්ටර් රත්නායක මහතාගේ ගීත අහනවාට විරුද්ධ විය . ඔහුගේම වචන වලින් කියතොත්  
මොකාද ඔය වික්ටර් ? යනුවෙන්  විවේචනය කර ඇත. මගේ පරම්පරාවේ දී  අප දෙන්නා 
භාතිය - සන්තුෂ්ගේ ගීත අසනවිට ඔවුන්ව විවේචනය කළේය . 


ගැහැණු දරුවන් ගේ දොර වැඩ නොදන්න්නවා නම් බැනුම් අහන්නේ දෙමවුපියන්ය . මේ ඔහු අප දෙදෙනාට කුස්සියේ වැඩ ඉගැන්වූ ආකාරයයි . ඔහු නිවාඩුවට නිවසට පැමිණි පසු රූපවාහිනිය නරඹන්නේ  ඔහුත් මමත් නැගණියත්ය. දිනක් එලෙස රූපවාහිනී නරඹමින් සිටි අතරතුර ඔහු විසින්  එය ක්‍රියා විරහිත කරන ලදී . අප දෙදෙනාම පුදුමසහගත ලෙස ඔහු  දෙස බැලූ අතර සිනාමුසු මුහුණින් ඔහු පැවසුවේ 

දැන් දෙන්නම කුස්සියට ගිහිල්ලා පැය භාගයක් අම්මාට උදවු කරලා එන්න. එතකන් ටිවී එක බලන්නේ මම විතරයි . 

අප දෙදෙනා කුස්සියට ගියපසු මුලින් මුලින් අම්ම කිසිදු වැඩක් නොදුන් අතර ඔන්න ඔහේ ඉඳගෙන ඉඳලා යන්න කියපු අම්මා පසුව හෙමින් හෙමින් අපට උයන පිහන වැඩ ඉගැන්නුවාය . එහි ප්‍රතිපලයක් ලෙස මගේ නැගණියට කුඩා වයසේම  දරලිප පත්තුකිරීමට හැකිකිවිය . 


අප දෙදෙනාගේ අධ්‍යාපන සාර්ථකවයේදී  ද  නිරතුරුව සතුටු වූ ඔහු අප හැරදා යාම අපගේම අභාග්‍යයකි .................

මතු  භවේදීත් ඔබ මගේ පියා වේවා .........................


විචාරක දියණිය  22. 50 පැයට
 

26 December 2016

කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි

   කාලෝ ෆොන්සේකා මහතා, අපේ රටේ බිහිවූ විද්වතුන් අතර, එක්තරා ආකාරයක විප්ලවීය චරිතයක් බව, ඔබ හොඳින්ම දන්නවා ඇති. ඔහුගේ දේශපාලන දර්ශනය හෝ කාලීනව වෙනස්වන අනෙකුත් ප්‍රතිපත්ති කෙසේ වෙතත්, හේතුවාදී චින්තකයකු ලෙස, 1970 දශකයේදී, ඔහු ලාංකික ජනතාවගේ චින්තනයේ වෙනසක් කරන්නට සමත් වුණා. ඒ තමයි, ලාංකික සමාජයේ මුල්බැස තිබුන මිත්‍යාවක් වන ගිනි පෑගීම, කිසිදු අආගමික වතාවත් කිරීමකින් තොරව, කිසිදු දේව ඇදහිල්ලකින් තොරව, කිසිදු ආගමික හෝ දේව වරමකින් හෝ ආධ්‍යාත්මික බලයකින් තොරව, විද්‍යාත්මක සාධක පමණක් ආධාර කරගෙන,  ඕනෑම කෙනෙකුට කළහැකි බව ඔප්පුකොට පෙන්වීම. 

   මේ දිනවල මට කියවන්නට ලැබුන එක්තරා පොතක් නිසා, මගේ මතකය, 1970 දශකය වෙත ඇදී ගියා. හේතුවාදී චින්තනය පිළිබඳව, එවකට මූලිකත්වය ගෙන ක්‍රියාකළ පුද්ගලයකු වන්නේ, ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර්. ඒ මහතාද මිත්‍යාවට එරෙහිව ජනතාවගේ චින්තනය වෙනස් කරන්නට ඉමහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළා. එවකට පාසල් සිසුන්ව සිටි අප, මේ කරුණු ගැන පුවත්පත්වල පළවුණු ලිපි සෑහෙන ගණනක්,  විශාල උනන්දුවකින් කියවූවා මතකයි. ඒ මහතා ගැන පසුව වෙනම ලිපියක් ලියන්නට සිතා සිටිනවා. 

මට කියවන්න ලැබුන පොත මෙන්න මේකයි.


  මේ  පොත, අද වෙළඳපොලේ මිළදී ගැනීමට තිබෙනවාදැයි, මා දන්නේ නැහැ. නමුත්, බුද්ධි වර්ධනය සහ චින්තනයේ නව පැතිකඩක් විවෘත කරගැනීම සඳහා, අනිවාර්යයෙන්ම කියවියයුතු පොතක් ලෙස, මේ පොත මා නිර්දේශ කරනවා. 

   අද සොයාගන්නට නොහැකි තරම් දුර්ලභ කරුණු රාශියක් කැටිකොට, මේ පොත සැකසීම පිළිබඳව, එහි කර්තෘ, නීතීඥ ධර්මපාල සේනාරත්න මහතාට, මගේ විශේෂ ගෞරවය සහ ස්තුතිය පුදකරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා. 

   හොඳයි, කාලෝ ෆොන්සේකා මහතාගේ ගිනි පෑගිල්ල ගැන, පොතේ තිබෙන පරිච්ඡේදය, එහෙම පිටින්ම මෙහි ඇතුලත් කරන්නේ, එය කිසිසේත් සංස්කරණය කල නොහැකි නිසයි. සංස්කරණය කලොත්, එහි ඇති මූලික රසය විනාශ වෙනවා. ඒ නිසා, ඉවසීමෙන් යුක්තව, පහත දැක්වෙන ස්කෑන් රූප වල ඇති විස්තර කියවන මෙන්, ඔබෙන් කාරුණිකව ඉල්ලනවා. 














































   අද අපේ රටේ, මිත්‍යාව කොතරම් තදින් පැතිරී තිබේද නැද්ද යන්න, ඔබටම සිතාගැනීමට ඉඩ තබා, සමුගන්නවා.

2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය 

21 December 2016

විස්තර කරන්නේ දෑහින් දුටු දේය..........

 හනේ මන්දා.......'මන්දා නාලනී' වගේ, ගජමන් නෝනා කෙනෙක් නොවුනත්, පහුගිය දොහක ගිය ගමනක විස්තරයක් තමා මේ කියන්ඩ තනන්නේ. පහුගිය 10 සහ 11 දවස් දෙකේ, අපේ ගෙදට කට්ටිය සමග පොඩි සංචාරයක් ගියා. පොඩි කිව්වට පොඩිම නෑ. 'දක්ෂිණ සීග්ගරගාමී පාරෙන්' මාතර දක්වා ගිහින්, මාතර සිට පරිසර චාරිකාවක යෙදෙමින්, කතරගම ගිහින්, තණමල්විල උඩවලව, පැල්මඩුල්ල, අවිස්සාවේල්ල, කෑගල්ල, පැත්තෙන් ගෙදර ආවා. කිලෝමීටර් 750 ක විතර චාරිකාවක්. මෙන්න දළ වශයෙන් ගමනේ වැදගත් කොටස්. දකුණු පළාතේ ගිය කොටස විශේෂයෙන්.



මුලින්ම අපේ ගෙදරින් පිටත්වුනා පාන්දර 4.00 ට විතර. කඩවතට ගිහින්, සීග්ගරගාමී පාරෙන් ගියා කොට්ටාවට. එතනින් දාගත්තා, අපේ දෝනියන්දැයි බෑණා පොඩ්ඩයි. ආයෙත් සීග්ගරගාමෙට ඇතුල්වෙලා, යන්ඩ පටන්ගත්තා කියමුකෝ එකසිය ගාණට. අම්මපා සමහර තැන්වලදි නම්, 110 ටත් ගියා, වේගය අල්ලන කැමරා තියේද කියා, බල බලා. මුළු ගමනටම ඉතින් මම තමයි ඩැයිවර. 

ඔය සීග්ගරේ අතරමග තියනවනේ, තේ බොන්ඩ, කෑම කන්ඩ, ආහාර ජීර්ණ පද්ධතියේ සහ මුත්‍රාශයේ බර අඩුකරගන්ඩ/වැඩිකරගන්ඩ තැනක්. එතන නවත්තලා, උදේට කාලා, මාතරට ගියයි කියමුකෝ. නොදෝකින්, අර ගෙඩි රුපියල් 550 ක් ගෙවපු කොළ කෑල්ලේ තියෙන්නේ, දළ වේගය පැ.කි.මී. 66 යි කියලා. ලැජ්ජා හතයි. මං වගේ ආමි ඩැයිවර කෙනෙකුට මොන තරම් අපහාසයක්ද? බැලින්නං අර නවත්තලා හිටිය කාලයත් ඇතුළුකොරලා තමයි, වේගය ගණන් හදන්නේ. අම්මපා මීට පස්සේ යන්නේ 60 ට. 

ඔන්න අපි මාතරට සැපත්වුණා. ඉස්සරවෙලාම ඇහැට වදින්නේ අර සීමාමාලකය නේ. ඉතින් එතනට ගියා. 





කෙළ මලියක්නේ. එතන නීතිරීති බොහොම තදයි. 'හුහ්, පුත්තාකම ලේෂි කෙළියක් නෙවේ' කිව්වලු, වෙසක් තොරණක් දැකපු හාජ්ජියාර් කෙනෙක්.  මේ බලන්ඩකෝ. 



ඒ මදිවට ලාළාමී කෙනෙක් දාලා ඉන්නවා, නීති කඩන එවුන්ට පොලුපාර දෙන්ඩ. මෙන්න ඒ ලාළාමී. බලා....න්ඩ පොල්ල අතේ.




මම අපේ ඇත්තිට කිව්වා, මගේ අහලකටවත් එන්න එපා කියලා. දුවටයි බෑණටයි කිව්වා, තොපි දෙන්නා මෙතැනදී නයයි පොළඟයි වගේ හිටපල්ලා, නැත්තං ලාළාමීගේ පොලුපාර තොපේ ඔලුවටම එයි කියලා.  

මාතර අහට ඇවිල්ලා ඉතිං, මාතර කොටුව නොබැලුවොත් ලොකු අඩුවක්නේ. ඔන්න ඉතින් ඒක බලන්ඩත් ගියා. ඇත්තෙන්ම මේ පාසල් නිවාඩු කාලේ, දරුවන්ට මේවා පෙන්නනවානම් හොඳයි. නමුත් එවැනි කවුරුවත් මෙතනට ඇවිත් හිටියේ නැහැ. 


මේ VOC කෑල්ල ගලවලා විකුණයිද දන්නේ නෑ හොරෙන්ම.


REDOUTE VAN ECK කියන්නේ මොකක්ද කියලා, දන්නා ඇත්තෙක් කියලා දෙනවා හොඳයි.



මෙතන තියන කුරුබිලියෙන්, දොරටු තුනක් එකවර ඇරෙනවා වැහෙනවා, දම්වැල් ලීවර ක්‍රමයකට. මෙන්න මෙව්වා තමයි ළමයින්ට පෙන්නන්ඩ ඕනේ. 




හැබෑටම මේ මක්කැයි කියාලා ලියාලා තියෙන්නේ? 

මෙහි තිබෙන කෞතුකාගාරය ඉතා වැදගත්. ලංකා ඉතිහාසයට අදාළ වැදගත් අභිලේඛනයක් වන, පනාකඩුව තඹ සන්නස මෙහි තැන්පත් කර තිබෙනවා. නමුත් ඡායාරූප ගන්න අවසර නැහැ. එහි හැඳින්වීම පමණක්, ඡායාරූපයට නගාගත්තා. 




අද කාලෙත් අලුත් ඉස්ටැයිල් ඒකෙ සමහර ගෙවල්වල මෙන්න මේ වගේ දොරවල් තියනවා. හැබැයි එව්වට ඔය ඊට පහලින් තියන පින්තූරේ ජාතියේ දොර අගුලු නැති එක ලොකු අඩුවක්. 






මාතර අහ ඉඳලා අපි ගියේ වෙහෙරහේනට. හපුච්චේ එතන නීති තවත් තදයි. මේ බලා........න්ඩකෝ.




ඒ කියන්නේ පෙම් යුවලක් ශෝභනව හැසිරෙනවා නම්, වැරද්දක් නැහැ. අශෝභන කියන්නේ, කැතට ඇඳලා, මූණ කට හෝදන්නේ නැතුව, ඔලුව පීරන්නේ නැතුව, එන එකට වෙන්ටෑ. ශෝභන සහ අශෝභන මට්ටම් පිළිබඳ නිර්ණායක ටික, ඔය බෝඩ් ලෑල්ලේම පහලින් දැම්මානම් ඉවරයිනේ. 

කවුරු මොනවා කිව්වත්, වෙහෙරහේන ගැන මගේ අවංක අදහස මෙයයි. වෙහෙරහේනේ, කිසිදු කෞතුක, ඓතිහාසික, කලාත්මක වටිනාකමක් මම නොදකිමි. මෙහි ඇති නිර්මාණ සියල්ලම පාහේ, ඉතා දුර්වල මට්ටමේ ඒවාය. මෙය, විනෝදයට යාමට සුදුසු ස්ථානයක් ලෙස, බොහෝදෙනා සලකන බව පැහැදිළිවම පෙනුනි. 




ආධාර එකතු කිරීම සඳහා විවිධ උපක්‍රම යොදා ඇත. පොලොව යට පිහිටි කොටසේ සිටි පිරිසක්, ඒ කොටසින් පිටවී යාමෙන්, ආධාර ලබාගැනීම මගහැරෙතැයි සිතා, එක් ස්වාමීන් වහන්සේ නමක්, වැඩ්ඩ වැඩිල්ලේ වේගය දැක, මට සිනහව නවතාගත නොහැකි විය. 

දෙවුන්දර ප්‍රදීපාගාරය නැරඹීමට ගිය අපේ ඔලුවට 'ප්ර්රදීපාගාරය' කඩා වැටුණේ මෙන්න මෙහෙමයි.




ඒ කියන්නේ ලංකාවේ කොයි හද්දිබ්බාගයේ ඉන්න පුංචිඅප්පුහාමි වුනත්, කොළඹ හාබර් මාස්ටර් බැහැදැක, පඬුරු පාක්කුඩම් ඔප්පුකර වරං නොගෙන, මෙතනට ඇතුළුවෙනවා බොරුය. එහෙම වරං ලබා නැත්තං, මෙතන පින්සිබල් මාස්ටර් ඉඩ දෙන්නේ නැත. වයිස් පින්සිබල් නැද්ද කියා අහන්ඩ හිතුනත්, දැන්නම්, 'හාබර්' කියන වචනේ ඇහුනත් ඇඟ හිරිවැටෙන නිසා, කට පියාගත්තෙමි. 

පස්ස පැත්තෙන් ගොස් පින්තූර ගතිමි. (ඒ කියන්නේ, ප්‍රදීපාගාරයේ පසුපස ප්‍රදේශයෙන් ගිහිල්ලාය)








 ඊට පස්සේ අපි දෙවුන්දර බලා ගමන් කළා. දෙවුන්දර උපුල්වන් දෙවාලය ආශ්‍රිත විහාරස්ථානයේ බෝධිය අතිශයින් මා සිත් ගත්තේය. එහි සිසිලස ඇත්තම දහම් සිසිලස සිතට දනවයි. 




උපුල්වන් දේවාලය මනරම්ව වර්ණගන්වා තිබුණත්, එහි විදුලි කම්බි සවිකිරීම නම් බල්ලා මාක් ය. බස් නාක බස්නායක නිලමේටවත් මෙව්වා පෙනෙන්නේ නැද්ද හැබෑට? නවීන තාක්ෂණයෙන්, මේ කම්බි එකක්වත් නොපෙනෙන ලෙස සවිකල හැකි බව, උපුල්වන් දෙවියෝවත් නිලමේට පෙන්වා දෙත්වා!




හුම්...............ගාගෙන වේගයෙන් හුම්මානයට ගියත්, හුම්මානය හුම් කිව්වේ නැත. මූද කඩේ වහලාය. ඒ නිසා, හුම්මානයේ කට නිකම්ම වැහිලාය. දෙවරක් තුන් වරක්, පොඩ්ඩක් හුම් ගෑවා විතරය. ඇහැ රිදෙනතුරු, කැමරාව අටවාගෙන, දැන් එයි වතුර පාරක්, දැන් එයි කියා බලා හිටියත්, ආවේ නෑ ඒයි. ඉතිං මොකුත් නැතුව පල්ලම් බැහීමට සිදුවිය. අපි ගියාම පුවක් ගහෙත් දෙබල් කිව්වලු. 





දීර්ඝ කාලයක් තිස්සේ, යන්නට සිතාසිටි තැනකට යාමේ වාසනාව පැදීම ගැන සතුටු වුයෙමි. ඒ උස්සන්ගොඩ ජාතික උද්‍යානයයි. මෙතනට මගේ සිත වැටුණේ හේම නලින් කරුණාරත්න මහතා, HTV නාලිකාවේදී, මේ ප්‍රදේශය ගැන කළ වැඩසටහනක් දැකීමෙනි.




අනේ අපේ කට්ටිය බයවුනානේ මේ සුන්දර පාලු තැනිතලාවේ ඇවිදින්න. ඒ නිසා යන්තම් පොඩ්ඩක් එහාට මෙහාට ගියා විතරයි.



අපේ බෑණා පොඩ්ඩ නම් ටිකක් ඇවිද්දා.

හෑ.........හදිස්සියෙන් දැක්කා, යම්කිසි පිරිසක්, උද්‍යානයේ සුඛ විහරණය කොරන ආකාරය. නමුත්, මේ උද්‍යානයට, පාපැදියක්වත් ඇතුළු කරන්න තහනම් නේද? අපි නොදන්නා සුඛ විහරණ. මට පට්.......ටාස් ගාලා තේරුණා, මොකෑ වෙන්නේ කියලා. මේ අයගේ අවධානය මා වෙත යොමුවී තිබුණත්, නෑ මේ වෙන පොටෝ ටිකක් ගන්නේ කියන හැඟීම ඔවුන්ට ලැබෙන පරිදි, ඔවුන්ව කැමරාවට අල්ලගත්තා. කලුපාට බයිසිකලයේ, ඉස්සරහ රෝදයට එහාපැත්තෙන් බිම තියන, අපේ මෙන්ඩාගේ බ්‍රෑන්ඩ් එක පෙනෙනවා, පින්තූරය මත ක්ලික් කරලා බැලුවම. මේ අය කාගේ අවසරයක්, බලයක්, වරමක්, බලපුළුවන්කාර කමක් නිසාද මෙහෙම කරන්නේ?




අපි කිරින්දට එනකොට ටිකක් හවස්වෙලා තිබුණා. කිරින්දේ සුන්දරත්වය තරමක් අඩුවී ඇති බවකුයි මා දුටුවේ. මා අවසන් වරට කිරින්දට ගියේ, 1980 දශකයේදී. ඒ කාලයේ එතන නොතිබුණු, මහා විහාර සංකීර්ණයක් දැන් එතන ගොඩ නගලා. ස්වභාව අලංකාරය සහ පරිසරය බරපතළ ලෙස විනාශ කරලා. මේ දේශපාලන ව්‍යාපාරයක් වෙන්න ඇති. ආධාර එකතු කිරීම බොහොම ජයට සිදුවෙනවා. 











සොබාදහම ඇඳි රටා 

ඒ මදිවට ඉතා අප්‍රසන්න දැන්වීම් පුවරුවක් පිහිටුවා තිබෙනවා. කිරින්ද බලන්න ඇවිත්, මුහුදේ ගිලීමෙන් මියගිය අයගේ නාම ලේඛනයක්, බිත්තියක ඇඳ තිබෙනවා. තවත් ලියන්න ඉඩතබා තිබෙනවා. මියගිය අයගේ නම සහ ලිපිනය එලෙස සටහන් කිරීම, බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසයි මා දකින්නේ. 'මේ බලපල්ලා නිකම් නැහිච්ච එවුන්' කියනවා වගේ තමයි, මා ඒ පුවරුව දැක්කේ. 




කිරින්දට වැඩිපුර එන්නේ, බැතිමතුන් නොව සංචාරකයන් බව, විහාරස්ථාන පාලකයන් දන්නේ නැද්ද? මේ විහාරස්ථානයට හොඳ ආදායමක් තිබෙන නිසා, මේ නාම පුවරුව වෙනුවට, ජීවිතාරක්ෂකයන් එක්කෙනෙකුවත් යොදවන්න පුළුවන්. නැත්නම්, වරින්වර, ශබ්ද විකාශන මගින්, සංචාරකයන්ට අවවාදාත්මක පණිවිඩයක් දෙන්න පුළුවන්. 

කතරගමට එනකොට රෑ වුණා. පාසල් වියේ සිට මා කලණමිතු, සුනිල් සහ රාණි යුවළ, කතරගම පිහිටි ඔවුන්ගේ නිවසේ, අපට නවාතැන් දුන්නා පමණක් නෙවෙයි, අන්නපානාදී සියලු සත්කාර සංග්‍රහ ලබාදී සන්තර්පණය කළා. කතරගම් පින්තූර ලෙස මා ඔබට පෙන්වන්නේ කිරිවෙහෙරේ මේ පින්තූරය පමණයි.




ආපසු ගමනේදී, විදානේට සහ දෙමළ නයන්නාට සමන්වාගෙන එන්නට හිතා හිටියත්, කාලය ප්‍රමාණවත් නොවීම නිසා ඉඩක් ලැබුණේ නැහැ. එමෙන්ම, උඩවලවේ ඇත් අතුරු සෙවනට යාමත්, අවලංගු කරන්නට වුණා. ඒ වෙනුවට, උඩවලවේ ජලාශය අසල රැඳී, වැව් දියෙන් සැනහී, දවල් ආහාරය ගෙන පිටත් වුණා. 






අතරමගදී මග කැමරාව දුටු දසුන් කීපයක් පහත දක්වනවා. 













තවත් සංචාරක සටහනකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. 

2016 දෙසැම්බර් මස 21 වැනි දින 1234 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }