හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label ජීවිත සටහන්. Show all posts
Showing posts with label ජීවිත සටහන්. Show all posts

25 November 2017

නවක අනුරූපිතාවය 1

ලියන්නට කතන්දර රාශියක් තිබුණත් අවිවේකි බව හා පලකරන්නේ කුමක්ද? යන්න පිලිබඳ ගැටළුවට මැදිවී සිටින විට පසුගිය සතියේ අරාධනාවක් ලැබුණේ විශ්ව විද්‍යාලයේ අත්විඳි රැග් එක සම්බන්ධයෙන් ලිපියක් පලකරන  ලෙසයි. ඉතින් ඒ ආරාධනාව පිළිගත් මම මේ ලිපිය ලිවීමට පටන්, ගතිමි. ඒ සඳහා අතුරුකථා කීපයකට යාමට ඇති බැවින් ලිපිය කොටස් ලෙස පල කිරීමට සිතුවෙමි. ඒ අනුව පළමු කොටස මෙයයි. 


විශ්ව විද්‍යාලයට යා  යුතුය යන මතය මගේ මනසට මුලින්ම එක්කරන්නේ මගේ පියා විසිනි. දිනක් කිසියම් කටයුත්තක් සඳහා කොළඹ නගරයේ සැරිසරද්දී  අප රැගත්  වාහනය  කොලඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය අසලින් ගමන් කරනවිට මගේ පියා විසින්"ඔය දෙන්නට පුළුවන්නම් කවදාහරි මෙතෙන්ට එන්ඩ උත්සාහ කරන" ලෙස ඉල්ලුවේය.  ඒ වෙලාවේ මගේ ඔළුවට වැටුණ අදහස නම එය හීනයක් බවයි. 


මා පළමුව උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේ 2002 වර්ෂයේය. එහිදී  මගේ ප්‍රතිඵල A, B, S, ය. ඉන්පසු දෙවන වර විභායට 2003 වසරේ මුහුණ දුනි. එවර ප්‍රතිඵලය B, B, B, ය. උපුල් ශාන්ත සන්නස්ගලට පින්සිදුවන්නට සිංහල පේපර් එකට කෙලවී තිබුණි. මම ඉන්පසු  නැවත උසස් පෙළ නොකරන බවට තරයේ අදිටන් කරගත්තෙමි. එහෙත් මගේ මව දැඩි  ලෙස  මට නැවත වරක් උසස්පෙළ කරන ලෙස බල කළ සිටියාය. මගේ හොඳම යෙහෙළියන් දෙදෙනාද  මගේ සිත වෙනස් කිරීම සඳහා යොදවා තිබුණාය.  මගේ මවට දිනුම දෙමින් 2004 වර්ෂයේද උසස් පෙළ විභාගයට මුහුණ දුණි. එවර ප්‍රතිඵලය A, A, B ය. මේ අතරතුර කාලයේ පාඩම් කිරීමට ගොස් මගේ මව හා උරණ වූ අවස්ථා බොහෝය . එවිට මා මගේ පියාට දුරකථනයෙන් කථා කොට කේලම් කියයි. එවිට මගේ පියා මගේ මවට කථා කොට "ඔය ළමයට පාඩුවේ ඉන්ඩ දෙන්න"  යයි  පවසයි. එයද මට බැණුමක් හා සමානය. ඉතින් මම සතුටුවෙමි. 


එම වසරේ උසස් පෙළ ප්‍රතිඵල පිටවූ දා  මගේ නිවසට හා ඒ අවට ප්‍රදේශයට විදුලි බලය ඇණහිට තිබුණි. ඉතින් මට ප්‍රතිඵල බලා දුන්නේ මගේ බාප්පා විසිනි. මගේ ප්‍රතිඵලය පිලිබඳ අතිශය සතුටු වූ ඔහු  මගේ පියාටද මට ප්‍රථම එය පවසා තිබුණි. එවකට මගේ පියා පදවිය ප්‍රදේශයේ රාජකාරි කටයුතු කළේය . මගේ පියාට ඔහුගේ සහෝදරයන් ඇමතුවේ අමුතුම නමකිනි. බුයියාටා ඒ නමයි. වරක් මගේ සීයාට ඔය නම ඇසී "මොකක්ද යකෝ ඔය ඝානාවේ නමක් දාල තියෙන්නේ" . "මොකාද ඕක හොයාගත්තේ" යයි,  අසා තිබුණි. එහෙත් ඒ නම ලියාපදිංචි වී තිබුණි. ඉතින් ඔහු මගේ පියාට පවසා ඇත්තේ මා වෙනුවෙන් වියදම් කිරීමට පවා ඔහු කැමති බවයි .  මගේ නිවැසියන් සියලු දෙනාම එදා සතුටු වූයේ පිය පාර්ශවයෙන් හා මවු පාර්ශවයෙන් විශ්ව විද්‍යාලයට යන පළමු තැනැත්තා මා වීම  හේතුකොටගෙනය. 


මා රජරට විශ්ව විද්‍යාලයට තේරී පත්වී ඇතිබව මා හට මුලින්ම පැවසූවේ 2005. 04. 12 දින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන සේවා කොමිසමේ සේවය කරන ලද මගේ පියාගේ මිතුරියක වන රාණි ඇන්ටි විසිනි. මේ වනවිට මගේ බාප්පා සිය පුතු සමග සුනාමි ව්‍යසනයෙන්  මෙලොව  හැරගොස් තිබුණි. 


ඒ කාලය වනවිට සියලු විශ්ව විද්‍යාලවල නවක වදය නිසා විවිධ ගැටළු මතුවී ශිෂ්‍යන්ට ජීවිත අහිමි වී තිබුණි . අම්පාර හාඩි කාර්මික විද්‍යාලයේ ශිෂයෙක් , ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමන්ත ශිෂ්‍යා පරිගණකයෙන් ඔළුවට ගසා ජීවිතක්ෂයට පත්කිරීම , පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ශිෂ්‍යයෙක් සියදිවි නසාගැනීම ආදී විශ්ව විද්‍යාලවලින්  ඇසුණේ එතරම් යහපත් ආරංචි නොවෙයි.  ඉතින් මේවා ඇසෙද්දී බය ඇතිනොවුනාම නොවෙයි. 


2005 .07. 23 වෙනිදා කණ්ඩායම බඳවා ගැනීමට තිබුනත් අනධ්‍යන සේවක වර්ජනයක් නිසා එය ප්‍රමාද වුණා. ඔය අතර නිවසට ලිපියක් ලැබුණා. උපකුලපතිතුමාගෙන් විශේෂ රැස්වීමක් අනුරාධපුර යොවුන් නිකේතන ශ්‍රවණාගාරයේ පැවැත්වෙන බව දන්වමින්. ඉතින් මමයි මගේ පියයි ඊට සහභාගී වුණා. එහිදී මූලිකවම කතා කෙරුනේ නවක වදය සම්බන්ධව හා ප්‍රේම සම්බන්ධතා  ගැන එහිදී එතුමන් දෙමවුපියන්ට පොරොන්දු වුණා  නවක වදය ලබා නොදීමට කටයුතුකරන බව ඒ වගේම ගැහැණු ළමයින්ට පෙම්වතෙක් නැතත් පෙම්වතෙක් සිටින බව පවසන ලෙසත් උපදෙස් ලැබුණා. 


කෙසේ වෙතත් 2005 . 08. 10 දින විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ කිරීමට මිහින්තලේ ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා.


ඉතිරිය ඊළඟ කොටසින් ....................................



විචාරක දියණිය  9.00 පැයට 


18 November 2017

කළුදිය පොකුණේ මාරයාට අත වැනීම

මේ සිද්ධිය  සිදුවුණේත් ඉතින් මටම තමයි . විශ්ව විද්‍යාල  ජීවිතයේ සුන්දර වගේම අසුන්දර දේවලුත් තියෙනවා. විශේෂයෙන් ඉතින් ගෙදර තියන සැප එහි නෑ කියන්න කවුරුත් දන්නවා. මෙහිදී විශාලම ප්‍රශ්නය තමයි ජල ප්‍රශ්නය. වියළි කලාපයේ පිහිටි මෙම විශ්ව විද්‍යාලයට ජලය සපයා දුන්නේ අනුරාධපුර නුවර වැවෙන් . එහෙත් සමහර  කාලවල පවතින ජල ධාරිතාව අනුව නිකුත් කරන්න පුළුවන් ජල ප්‍රමාණය බොහොම සීමිතයි .  සමහර වෙලාවට මෝටර් පිච්චෙනවා . සම්ප් කැඩෙනවා. ඉතින් ඔහොම තත්වයන් සුලබ නිසා වැඩිය හිතන්නෙත් නෑ. 


මිහිතලේ  පැරණි නටබුන් අතර කළු දිය පොකුණද සුවිශේෂී වෙනවා. පැරණි අනුරාධපුර යුගයේ භික්ෂූන් වහන්සේලාට හා රජාකීයන්ට ජල මූලාශ්‍රයක් වූ කළු දිය පොකුණ වර්තමානයේ මිහින්තලේ අවට සාමාන්‍ය ජනතාවගේ හා සංචාරකයන්ගේ තෝතැන්නක්. එහෙත් මෙහි පිටතින් පෙනෙන සුන්දරත්වය අභ්‍යන්තරයේ නොමැති අතර , සෑම වසරකට වරක් බිලි ගන්නා ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ අතර එහි ගැඹුර  ස්ථානය අනුව වෙනස්වීම සුවිශේෂී ලක්ෂණයක් . 



කළු දිය පොකුණ 


මෙකි නොකී කථා ගැන දැන සිටියත්  මෙහි සුන්දරත්වය බලන්න  වගේම  එහි ජල අසිරිය විදගන්න ගිය අවස්ථා නැතිවාම නොවෙයි. මා නාන්න නොගියත් මේ සිදුවීමට පෙර දිනයක යෙහෙළියන් කිහිප දෙනෙක් සමග ජලස් නානය සදහා මෙහි ගොස් ඇත්තෙමු . මෙහි ඇති වටපිටාවේ පැරණි ස්මාරක  විශාල සංඛ්‍යාවක් දැකිය හැකි වන අතර, ඔබට ඉහත රූපයේ  දැකිය හැකි පරිදි  මෙම පොකුණ මධ්‍යයේ කුඩා  වේදිකාවක තනන ලද  ස්මාරකයක්ද        වෙනවා. විශාල ගල් පර්වතයන් ද   ගස්  හෙවනක් ද  ඇති නිසා මෙහි ජලය  අඳුරු  පැහැයක් ගන්නවා. 


හරි දැන් කථාව පටාන් ගන්නයි යන්නේ. 


මා එවකට තෙවැනි වසරේ සිටි ශිෂ්‍යාවකි . ඒ දිනවල ඉතා දැඩි ලෙස ජල ප්‍රශ්නයකට කාන්තා නේවාසිකාගාරවල සිටි ශිෂ්‍යාවන් මුහුණ දී සිටියා. එනම් විශ්ව විද්‍යාල අභ්‍යන්තරයේ පිහිටි කාන්තා නේවාසිකාගාරවලට ප්‍රමාණවත් ජලය නොමැතිවීමයි . එමනිසා සීමිත ලෙස ජලය පරිහරණය කිරීමට සිදුවුණා. වියළි කාලගුණය හමුවේ ජලස්නානය නොමැතිවීම ද  ගැටළුවක් වුණා. මේ විදියට දින දෙකක් පමණ ගතවී  තිබූ අතර පසුදින දහවල් දේශන නිමවී මා නේවාසිකාගාරයට ආවේ කෙසේ හෝ ස්නානය කර මෙතෙක් සෝදාගත නොහැකි වූ රෙදිද සෝදා ගතයුතුය යන හැඟීමෙනි.  එහෙත් මා මගේ කාමරයට යනවිට මගේ කාමරයේ තවත් යෙහෙළියන් දෙදෙනෙක්  පැමිණ සිටියා. ඔවුන් කීවේ මා කිසි ලෙසත් බලාපොරොත්තු නොවූ කතාවක් 


මම -  මං ආවේ නාල රෙදි හෝදගන්න . වතුර තියද බං


රොෂාන්ති  - අපිත් ආවේ ඒකට තමයි . ඒ වුනාට වතුර තියෙන්නේ සවර්ණපාලියේ විතරයි .


චන්දිමා  - මං ගිහින් බැලුවා.  පෝලිම තියනවා කිලෝමීටරයක් විතර .


මම -  දැන් මොකද කරන්නේ.  අද faculty meet    එකේ    volley ball  match  අපේ කොල්ලොත් ඉන්නවා.  හවස  ඒක බලන්න යන්නත් ඕන. ම් ........... වැඩක් නම් තියනවා ............ හැබැයි කාටවත් කියන්න බෑ.........


රොෂාන්ති - මොකක්ද  ?


මම - අපි යන් කළු දිය පොකුණට නාන්න . එතකොට රෙදිත් හෝදගන ආව හැකි .


රොෂාන්ති -  වැඩේ නම් නියමයි.  අපි කොහොමද යන්නේ ? 


මම - අණබෙර ගහන්න බෑ. අපි තුන්දෙනා  විතරයි . රෙදි දාගම්මු ටියුලිප්  බෑග් එකකට. මේ ඇඳුම් පිටින් යමු . හොඳ ඇදුම් ඇඳගන ඇවිත් මෙහිදී මාරු කරමු .


චන්දිමා - ඒ බං මට පීනන්න බෑනේ.  මං කොහොමද නාන්නේ  ? 


මම - උඹ ගනින් කෝප්පයකුයි, පොඩි බාල්දියයි ඒකත් දාගන්න කවරයකට 


රොෂාන්ති -  කාංචනයි චතුයි ඉනොයි  ආවොත් අපිව හොයයිද ? 


මම - ඒ උනාට උන් එනකන් අපිට ඉන්න බෑ. අනිත් එක උන්ගේ lectures ඉවර වෙන්නේ 4.30 ට අපට එතකන් ඉන්න බෑ. උන් කෙලින්ම  volley ball  match බලන්න එයි.


රොෂාන්ති - හරි එහෙනම් අපි යන්


අප  නේවාසිකාගාරයේ පිටුපස ගේට්ටුව අවතීර්ණ වෙන්නේ  මිහින්තලේ ගම්මානයටයි .මිහිඳු  මාවත ලෙස නම් කල මාවතේ දෙපස නිවාස පිහිටි  අතර   ,   නිවාස තිබෙන පෙදෙස  පසුවන  විට අට සැට ලෙන්වල කොටසක් දැකිය හැකිය. ඉන්පසු  නුවර - යාපනය   (A9 )   මාර්ගයට    අවතීර්ණ වේ . එහිදී පාරේ අනෙක් පසින් කළු දිය පොකුණේ පිවිසීම දැකිය හැකිය. 


දැන් ඉතින් ඔන්න කයියකුත් ගහගෙන  එතෙන්ට ගියා  කියමුකෝ . එදා දවසෙම මගේ ග්‍රහචාරයේ අවුල එතනදිත් හොඳට දකින්න පුළුවන් වුණා. කළු දිය පොකුණේ  හැම තැනින්ම  නාන්ඩ බහින්ඩ බෑ. නාන තැන් කීපයයි තියෙන්නේ .  ඒ  වගේම  ගැඹුර වැඩි සහ අඩු තැන් තියනවා. අනේ.......... අපි යනකොට  නාන්න පහසුම තැන සර් කෙනෙක් ළමයින්ට පීනන්න පුහුණු කරනවා.  ( ඉහත රූපයේ  පඩිපෙළ  වැනි කොටස ළඟ ) එතන බොහොම ලේසියි . වැඩිය ගැඹුරු නෑ. තවත්  තැනක කොලු රෑනක් නානවා.  ඔය විදියට දැන්  නාන්ඩ තැනක් පෙන්න නෑ. හැබැයි වැඩේ අතාරින්නත් බෑ. ඔහොම ඉන්නකොට  මන් දැක්ක ගලක් ලඟ ගෑනු කෙනෙක් නානවා.  ඒ වගේම ගලක් අපි ඉන්න තැනත් තිබුණා. මං යෝජනා කරා එතන නාමු කියලා. කරන්න දෙයක් නැති නිසා  අපි එතෙන්ට ගිහිල්ලා නාන්න ලැස්ති වුණා.






නෑමට යොදාගත් ස්ථානය 


ඇත්තම කියනාවන්  මේ වගේ තැන්වල නාලා වැඩිම පුරුද්දක් තිබුණේ  රොෂාන්තිට.ඇය මැදිරිගිරියේ  වැව්වල, ජලාශවල  නාල පුරුදුයි. මට පීනන්න පුළුවන් වැඩියම නාල තියෙන්නේ කැළණි ගඟේ වැව්වල නාල වැඩි අත්දැකීමක් නෑ. චන්දිමා  මන්දාරම්නුවර  ඒ කියන්නේ  නුවරඑළියේ. ඇයට තිබුණේ   ගේ පල්ලෙහා ඇළ පාරේ තිබෙන අත්දැකීම විතරයි. 


චන්දිමා කිවුව ගල්පොත්ත උඩ  වාඩිවෙලා  එයා හිමින් සැරේ වතුර අරන් නාන්නම් බහින්න බෑ කියලා. මටත් ඕන වුණා මෙතන ගඹුර ගැන අදහසක් ගන්න . ඒ හින්දා මං රොෂාන්තිට කිවුවා  වතුරට පැනලා බලන්න කියලා. ඒ අතර මට ඇහෙනවා  නිකන් ලාවට 


අක්කේ ...................  බහින්න එපා   කියලා වගේ 

....................... අක්කේ  බහින්න එපා 


වටේම බැලුවාම නිකන් හිතුණා අර කොලු රෑන ද කොහෙද කියලා  ඒ වුනාට ඒවා හිතන්න ගියේ නෑ. අපි හිතුවේ කොහෙන් හරි ආපු එවුන් වගයක් අපිව විහිළුවට අරගෙන කියලා. මගේ යෝජනාව පිළිගත්ත රොෂාන්ති වතුරට පැන්නා කිසි ගින්නක් නෑ එයා හොඳට  පීනලා පෙන්නුවා  කිසි අප්සට් එකක් නෑ බං මෙතන ගැඹුර අවුලක් නෑ කියලා ඇය කීවා. ඇත්තටම ඇය මට වඩා කෙට්ටු,  මගේ උස හා සමාන ඇත්තියක්  ඉතින් මාත් මොකද කියලා 


පැන්නා  කළුදිය  පොකුණට............. පැන්නම තමයි. එකපාර යටගියා. කකුල ගහනවා මොන වතුර විතරයි .....  මට දැන් සුදු කොඩි පේනවා.  අර  ඩබලගේ හිතේ මම නානවා කියලා ............... වතුර පෙවෙනවා එකසිය ගානට. දඟලලා................ දඟලලා..................  ආව වතුරින් උඩට 

ඇවිල්ලා  කෑ  ගැහුවා රොෂාන්ති ............................  කියලා 

ඒ වෙලාවේ රොෂාන්ති හිටියේ ගල උඩ රෙදි  හෝදමින්.  ඒවෙලේ  තමයි එයා දැක්කේ මං  නානවා නෙවෙයි ගිලෙනවා කියලා ..............


රොෂාන්ති ඒ වෙලාවෙම පැන්නා..............    වතුරට  පීනලා ඈවිත් මගේ අතකින් අල්ල ගත්තා. ඒත් ඇයට මාව වතුරත් එක්ක අදින්න අමාරුයි. මගේ  මහතත් ඊට බලපෑවා.මගේ අත යටින්  එයාගේ  අත  කොක්කක් වගේ දාලා ඇය මාව ඇඟට හේත්තු කර ගත්තා. දැන් චන්දිමා  හොල්මනක් දැකලා වගේ බය වෙලා කෑ ගහනවා.  ඒ වුනාට කාටවත්  වැඩිය සිද්ධිය නෝට් නෑ.


එකපාරටම  රොෂාන්ති චන්දිමාට කෑ ගැහුවා .   මම දැන් මේ අතින් මාධවිව අදිනවා. ඔයා මගේ අනෙක් අතින් මාව අදින්න ඕන කියලා.  අනේ........... චන්දිමා ගල උඩ ඉඳගෙන  දැන් රොෂාන්ති දික්කරපු  අනෙක් අතින් එයාව අදිනවා. එතකොට අපි දෙන්නම ඇදෙනවා.  රොෂාන්ති කකුල් ගසමින් ගල ලඟට ඇදෙන්න ගත්තා. 


සියලු ප්‍රතිඵල සාර්ථක වී අපි සුරක්ෂිතව ගල නැග ගත්තා. එතැන් සිට රොෂාන්ති පමණක්  දියට බසිමින් අපේ රෙදිද  හොදා දුන් අතර , මටද ගල උඩ සිට ඉතුරු ටික නාන්න වූණා . ඉතා  ඉක්මනින් දිය නා අවසන් කළ  අප තිදෙනා නේවාසිකාගාරයට ගියා . යන අතරමගදී  මා ඔවුන්ට කීවේ මේ සිදුවීම කිසිවෙක් සමග නොපවසන ලෙසයි. කෙසේ වෙතත් එදින නියමිත පරිදි volley ball  match බලන්නත් ගියා.  මං රොෂාන්තිට පිං  දුන්නා  මාව බේරගත්තට. 


එතැනදී  තමයි   අපූරු සිද්ධිය  වුණේ................ 

අපේ ජුනියර් බැච් එකේ මල්ලි කෙනෙක් මැච් එක අතරතුර මා  ළඟට ඇවිත් අපූරු ප්‍රශ්නයක් ඇහුවා .............


අක්කේ ................... කළු දිය පොකුණේ  නෑම මරු නේද ? කියලා............


මට නිකන් පොලොව පාලගන යට ගියානම් හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ ඒ මල්ලි ඔවුන්ගේ සිදුවීම කිවුවා. අක්කේ ඔතෙන්ට නාන්න ඉස්සෙල්ලම ගියේ අපි.  එතැන අපේ කොල්ලෝ දෙන්නෙක් ගිලෙන්ඩ ගියා . පස්සෙ තමයි  වෙන තැනකට ගියේ . අපි ඔයාලට කෑ ගැහුවා ..... ඔයාලට ඇහුනේ නෑ........ ඔයාලා නාන්න ආවානම් අපි එතන දීල යනවා. අපි එතකොට නාල ඉවර වෙලා හිටියේ .......... අක්කා ගිලෙනවා දැක්කා. අපි එන්න හදනකොට අර අනිත් අක්කා,  අක්කව ගන්නවා දැක්කා. අවුලක් වුණේ  නැති හින්දා අපි ආවේ නෑ........


මල්ලි,  අනේ............. ගොඩක් ස්තූතියි. එත් මේ සිද්ධිය කාටවත් කියන්න එපා ........... කියලා මං ඉල්ලා හිටියා .අයියෝ..............පිස්සුද අක්කේ.............. ඒ සීන් එක එතනින් ඉවරයි . අක්කා මැච් එක බලන්න.  මං යනවා කියලා ඌ මාරු වුණා................


එදා හවස  ඇතිවෙනකන්  අනෙක් රූමියෝ තුන්දෙනාගෙන් බැනුම් ඇහුව මං ඔහේ හිටියේ වැරැද්ද මගේ නිසා.  චන්දිමා කියන්නේ ඇත්තටම එක අතක් හරියටම ක්‍රියා කරන්නැති කෙනෙක් . ඇය ඉපදෙන විට අඬුවකින් ඇයව එළියට අරන් තියෙන්නේ. ඒනිසා ඒ අත උස්සන්න පුළුවන් බාගෙට . පොඩි කාලේ ඒ අඬු සලකුණ ඇගේ අතේ දකින්නත් තිබුණාලු. ඉතින්,  ඒ වගේ කෙනෙකුත් අමාරුවේ දැම්මේ මං හින්දා  එදා කණගාටු වුණා.


එහෙත් මේ සිද්ධිය බොහෝ කල් යනකල්ගෙදරට කීවේ නෑ. මොකද ඒක බැනුමෙන් විතරක් කෙළවර නොවන නිසා ..........




විචාරක දියණිය ප.ව. 1.00 පැයට  


11 November 2017

නිවෙස ළඟ පිංකමකි . අතීතය මතක් වුණි.



මා එවකට රජරට විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකි.  තෙවැනි වසර ආරම්භ වූයේ 2007 වසරේ ඔක්තෝබර් මාසයේය.එම අවුරුද්දේ නේවාසික පහසුකම් සපයා දුන්නේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි අලුතින් ඉදිකළ  නේවාසිකාගාරය වූ අනුලා දේවි නේවාසිකාගාරයේය. අධ්‍යයන කටයුතු ආරම්භවීමට පෙරදින අලුත් නේවාසිකාගාරයට යාමට පිටත් විය.


අනුරාධපුරයේ සිට මාතලේ හන්දිය පසුකරමින් ඉදිරියට බස්රථය ඇදෙනවිට කන්නට්ටිය පසුකරන්නට විය. පසෙකින් තේක්ක කැලයක් තිබෙන තර එය අලංකාර වටපිටාවකි. මෙය සැබෑවටම සුන්දර ගම් පියසකි. එක්වරම දිස්වූයේ පාර අයිනේතිබෙන මළගෙදරකි . කෙසේවෙතත් ඒ පිලිබඳ වැඩි සැලකිල්ලක් නොදැක්වූ  මම නේවසිකාගරයට ගියෙමි. මගේ තවත් යෙහෙළියන් දෙදෙනෙක් හමුවුණු අතර , අපට හිමිවූයේ තුන්වන මහලේ කාමරයකි. එක කාමරයක් ශිෂ්‍යන් 6 දෙනෙකුට තට්ටු ඇඳන් තුනකුත්, අල්රිමායකුත් , මේස දෙකක් හා පුටු 3 කුත් කාමරය සතුවිය. මගේ ශරීර සෞඛ්‍ය නිසා මා කවදත් තෝරා ගත්තේ පහළ ඇඳකි.  අප තිදෙනා එක්ව සියලු දේ  සකස් කර අවසන් වනවිට හවස 7.00 පමණ විය. ඒ වන විට කුසගින්නක් දැනුණු හෙයින් අපි කැලේ කඩේට පියමැන්නෙමු.( නේවාසිකාගාර  කැන්ටිම ) එහිදී අපට අපේ බැච් එකේ කොලු සගයෙකු හමුවිය.



මම - ආ................... කොහොමද බං කීයටද ආවේ . කොල්ලෝ ඔක්කොම ඇවිත්ද ?

කොලු සගයා - මම එනකොට 3 විතර වුණා 

මම - මේ බං අර මළ ගෙදර  උඹලගේ හොස්ටල් එක ළඟ නේද ?

කොලු සගයා - ඔව් බං උඹ දන්නවද ඒ මිනිහා මරලා තියෙන්නේ බෙල්ල කපලා 

මම -  බෙල්ල කපලා ............

කොලු සගයා - ඔව් තේක්ක කැලේදී , දර කපන්න ගිහින් ඉන්නකොට , පොලිස් ගාඩ් දීලා තියෙන්නේ පොලිසියට සැකයිලු ඒක ටෙරාලගේ වැඩක් කියලා

මම - අනේ පලයන්  බං යන්න බොරු නොකියා ...............

කොලු සගයා - බොරු නෙවෙයි යකෝ ......... 

මම - හරි හරි අපි යනවා හෙට හම්බවෙමු .


ඔහුගෙන් සමුගෙන අප තිදෙනා නේවාසිකාගාරයට පැමිණි අතර , රාත්‍රි 10.00 ට පමණ නින්දට ගියේ පසුදින උදෑසන දේශනවලට සහභාගී වීම සඳහාය. 

මධ්‍යම රාත්‍රිය පසුවී හෝරා තුනක් පමණ ගතවෙන්නට ඇත. මා අවදිවූයේ භූ කම්පනයකිනි. ඇඳන් ද , දොරවල්ද ජනෙල් ද , ඒ තියා වහලයද ඉතාවේගයෙන් සෙලවෙන බවක් දැනුණි. මා විසින්  මගේ යෙහෙලියන් දෙදෙනා අමතන ලදී 

චතූ............ චතූ.................. ඉනෝ............ඉනෝ.................. මගේ කටහඩට ඔවුන් දෙදෙනා අවදි වූහ. 

මොකක්ද  බං මේ වෙන්නේ ............. භූමි කම්පාවක්ද ?


( එකෙනෙහිම අපේ  නේවාසිකාගාර පාලිකා තුමිය විදුලි පන්දම් දල්වමින් ළමයින්ට කථා කළාය. )

ළමයි ......ළමයි .... නැගිටින්න ..............ලයිට් ඕෆ් කරන්න ....... පහළම තට්ටුවට එන්න ............... කොටි ගහනවා .................


ළමයි ප්ලේන් එකක් ඇවිත් ඉක්මණට එන්න. මා මගේ යෙහෙළියන් දෙදෙනාත් සමග අනෙක් අයද අවදි කළෝය. ඒ අතර එක කාමරයක සිටි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් අවදි කිරීමට සෑහෙන ප්‍රයත්නයක් දැරීමට සිදුවිය. සිනහ උපදවන කරුණ නම් හොස්ටල් ලීඩර් ද එම කාමරයේ විසීමය. 


කොතෙකුත් දොරට ගැහුවද පලක් නැති වූ කළ , මම දොරට තදින් පයින් ගැසුවෙමි.  ඉන්පසු  යන්තම් දොර අරුණු අතර , ආව කෙනා ආවේ මොකද ........ අනේ ............ වගේ යන මූඩ් එකෙනි.ඒ වනවිට ඉවසීමේ රතු කට්ට පැනතිබූ මා  අක්කේ ඉක්මන් කරන්න. පහළට එන්න කොටි ගහනවා කියා පැවසුවාය. 


කෙසේ වෙතත් අප සියලු දෙනාම පහළට පැමිණ  සියලු හඬවල්වලට සවන් දෙන්නට වූහ.  එළිය  අහසේ  විදුලි එළි සංදර්ශනයකි. ඒ වන විට  ඉතා ලඟින් ප්ලේන් එකක ශබ්දය ඇසුණත් එම ශබ්දය එකවර අතුරු දහන් විය. ඒ අතර මැදිරිගිරියේ ජීවත් වූ මගේ යෙහෙළියක් කීවේ  අපට පෙර දැනුණු භූ චලන තත්වය දැනුණේ මෝටාර් ප්‍රහාර දියත් කරන විට බවයි. වැලි කන්දට මෝටාර් ප්‍රහාර එල්ල කරනවිට එම තත්වය මැදිරිගිරියට දැනෙන බව ඇය පැවසුවාය. 


ඉන්පසු සියලු දෙනා මගෙන් ඉල්ලා සිටියේ මගේ පියාට කථා කොට විස්තර දැනගන්නා ලෙසයි.   ඒ වනතුරු මටද එය අමතක වී තිබුණි. ඒ වනවිට වේලාව අලුයම 4 පමණ වන්නට ඇත. ඔහු එවකට වවුනියාවේ සේවය කළේය. 


මම -  තාත්තේ .................. 

මගේ පියා -  ................. ඇයි ළමයෝ මොකක්ද ප්‍රශ්නේ?


මම - තාත්තේ  .............අපට ලයිට් ඕෆ් කරන්න කීවා .... ප්ලේන් එකක්  ඇවිත්ලු . කොහෙට හරි ගහන හඬ ඇහෙනවා . හරි විස්තරයක් දන් නෑ..........

මගේ පියා -  හරි මම තව විනාඩි 5 කින් ඔයාට ගන්නම් .............


ඉන්පසු මගේ පියා මා අමතා කීවේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට කොටි ප්ලේන් එකකින් බෝම්බ හෙලා ඇති අතරම කම්බි වැටවල් කපාගෙන කඳවුරට ඇතුල් වී කොටි කඳවුරට පහර දෙන බවයි. මට බිය නොවන ලෙසත්  කොටින්ගේ ඉලක්කය විශ්ව විද්‍යාලය නොවන බවත් පැවසීය. 


එදින රෑ පුරාවට අප සියලු දෙනා අවදි වී සිටි අතර , පසුදා සියලු දේශන අවලංගු කළ බව විශ්ව විද්‍යාල පාලන අධිකාරිය දැනුම් දෙන ලදී. එමෙන්ම කිසිදු ශිෂ්‍යයෙකුට නේවාසිකාගාරයෙන්  බැහැර වීමද තහනම් කරන ලදී. පසුදා උදෑසන ආරංචි වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක යානාවක් මිහින්තලේ දොරමඩලාවට කඩා වැටී ගුවන් නියමුවා මරණයට පත්වී ඇති බවයි.


දහවල් මගේ මව මා අමතා කීවේ එම ගුවන් නියමුවා විවාහ වී සිට ඇත්තේ අපේ නිවසේ සිට නිවෙස් දෙකක් එහා පිහිටි නිවසක ජීවත් වූ ..............................  ඇන්ටිලාගේ දියණිය බවත්  මළ ගෙදර එම නිවසේ පැවැත්වෙන බවත්ය . 


නමුත් ඇතිවූ තත්වය හමුවේ මට මළ ගෙදරට සහභාගී වීමට නොහැකි විය. අපේ බැච් එකේ පිරිමි ළමයි සියලු දෙනා එම වෙඩි හරඹයන් රිසි සේ නරඹා තිබුනේ ඔවුන් සිටියේ නුවර වැවේ එක කෙළවරක් මායිම් වන නේවාසිකාගාරයක සිටි  නිසාවෙනි . කොටි තේක්ක කැලයේ දින ගණනක් සිට ඔත්තු සපයා ගත් අතර , දර කපන්නා ඔවුන්ට මුණ ගැසිණි. කොටි විසින්ඇඳ සිටියේ යුධ හමුදාවට සමාන නිල ඇනුම් නිසා ඔවුන්ට රැවටුණ දර කපන්නා ඔවුන් සමග කථාවට ගොස් පිහි ඇණුම් කෑවේය.  වෙලාව එනතුරු සිටි ඔවුන් මැදියම් රැයේනුවර වැව තරණය කර කම්බි කපා කඳවුරට ඇතුල් විය . නිල ඇඳුම් සමාන වීම මත ඔවුන්ට අඳුනා ගැනීම අපහසු වී ඇත . 


කෙසේ වෙතත් බුද්ධි අංශයෙන් ඊට මාස 2 කට පෙර ඔවුන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් ඇතිබව දන්වා ඊට සූදානම් වන ලෙස අනතුරු අඟවා තිබි ඇතත්  ඔවුන් එය නොසලකා තීබී ඇත .


අදට වසර  10 කට පෙර සිදුවූ එම සිදුවීමෙන් මිය ගිය එම ගුවන් නියමුවා  වෙනුවෙන් ගිය සතියේ ඔවුන් පිරිතක් කියා දානයක් දුණි. පිරිතට හේවිසි වැයෙද්දී මේ අතීත සිදුවීම මට මතක් විය. 


විචාරක දියණිය  16.00 පැයට 

03 November 2017

පියෙකුගෙ කඳුළු මුතුකැට වුණි දරුකමට

ශ්‍රී ලංකාවේ  පැවති මානුෂීය මෙහෙයුමේ අවසාන භාගයේ සිදුවූ සත්‍ය සිදුවීම් දෙකකි. මෙකල මගේ පියා සේවය කළේ වවුනියාව මැණික් ෆාම් කඳවුරේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරියා ලෙසය . 

යුද්ධයේ අවසාන භාගයේදී උතුරේ සිටි දමිළ ජනයා  ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන ඔවුන්ගේ සුභ සාධන කටයුතු කිරීම සිදුවෙම්න් පැවතිණි. මේ කාලයේ මුලින්ම පැමිණි දමිළ සිවිල් වැසියෝ ඔවුන්ට  හැකි සැමදේම රැගෙන පැමිණියහ. උදාහරණ ලෙස ගවයන් , බයිසිකල්, අත් ට්‍රැක්ටර් වැනි දෑ ඒ අතර විය . ඔවුන් පැමිණි පසු  මුලින්ම සිදුකරන්නේ ඔවුන්ව ලියාපදිංචිකර ඒ ඒ කඳවුරු වලට බස් රථ වලින් රැගෙන යාමයි. එහි පළමු සිදුවීම වූයේ එවැනි අවස්වථාකය .

දිනක් උදෑසන වන විට ඉකුත් දිනවල පැමිණි දමිළ ජනතාව විශාල ප්‍රමාණයක් සිටියහ. ඊලඟට කළයුතු  කාර්යය වශයෙන් තිබුණේ ඔවුන් කඳවුරුවලට රැගෙන යාමයි. මේ අවස්ථාවේදී ඔවුන් හැසිරෙන්නේ ඉතා කලබලයෙනි. ඊට හේතුව ඔවුන්ගේ බිය , සංකාව , අහිමිවීම් සියල්ල එක්තැන් වීම් හේතුකොටගෙනය. කෙසේවෙතත් බස්රථ 5 කින් පමණ ඔවුන්ව කඳවුරුවලට රැගෙන ගියහ. ඉන් මද වෙලාවකට පසු සෙබළෙ පැමිණ පැවසුවේ මෙවන් කථාවකි .

සෙබළා -  සර් බ්ලොක් එකේ  සිවිලියන්ලා දෙන්නෙක් හොඳටම අඬනවා සර් . ඒ අය  කියනවා සර්. ඒ අයගේ ළමයි දෙන්න නැතිවෙලා කියලා.  ළමයි දෙන්න නැගලා තියෙන්නේ වෙන බස් එකකට කියලා. 

මගේ පියා - හරි,  තමුන් යනවා. මම බලන්න  එන්නම් මොකක් ද කියලා. 

එකෙණහිම තවත් කඳවුරක  රාජකාරියේ යෙදෙමින් සිටි සෙබළෙක් දුරකථනයෙන් මගේ පියා අමතන ලදී. 

සෙබළා - සර්  මෙතන පොඩි ප්‍රශ්නයක්. පිරිමි ළමයි දෙන්නෙක් හොඳටම අඬනවා. ඒ දෙන්න කියනවා අම්මයි තාත්තයි මෙතන නෑලු. හොයලා දෙන්නලු.  ඒ දෙන්නා වැරදි බස් එකේලු නැගලා තියෙන්නේ  කියලා .

මගේ පියා - හරි මම කියනකන් ළමයි දෙන්න හොඳට බාලාගන්නවා .   (මේ සිද්ධිය රහසිගත වියයුතු බවත් ප්‍රකාශ කළේය. )

මගේ පියා විසින් දමිළ දෙමවුපියෝ දෙදෙනා මුණ ගැසුණු අතර, ඔවුන් කියා සිටියේ ළමයි දෙන්න සැමවිටම තමා ළඟ සිටියමුත් බස්රථවලට නගින අවස්ථාවේදී ඔවුන් දුවගොස් නැගතිබෙන්නේ වෙනත් බස්රථයකට බවයි.

ඉන්පසු මගේ පියා විසින් ළමයි දෙදෙනා සිටින කඳවුරටද ගියේය. එහිදී  අවුරුදු 12 ක 8 ක් පමණ වයසැති පිරිමි ළමුන් දෙන්නෙක් මුණ ගැසිණි. ඔවුන් ද ප්‍රකාශ කළේ  බස්රථවලට නගින අවස්ථාවේ තම දෙමවුපියන්ගෙන් වෙන්වී ඇති බවයි. තම පියා වැනි කෙනෙක් බස්රථයට නගිනවා දුටුව නිසා ඒ බසයට නැගුනත්, ඒ තම පියා නොවන බව දැනගත්තේ කඳවුර තුළට පැමිණි පසු බව වැඩිමහල් පිරිමි දරුවා පැවසීය. 


ඉන්පසු මගේ පියා ඔවුන් දෙදෙනා කැටුව ඔවුන්ගේ දෙමවුපියන් සිටින කඳවුරට ගොස් ඔවුන් වාහනයේ රඳවා දරුවන්ගේ දෙමවුපියන් දෙදෙනා කඳවුරෙන් පිටතට ගෙන්වා ළමයින්ට දර්ශනය වීමට සලස්වා ඔවුන්ගෙන් අර සිටින්නේ තම දෙමවුපියන් ද යන්න හඳුනාගන්නා ලෙස පැවසීය . එවිට ඔවුන් පවසා සිටියේ ඒ තම දෙමවුපියන් බවයි. ඉන්පසු වාහනයේ දොර විවෘත කර ඔවුන් දෙදෙනාට ඔවුන් ලඟට යනලෙස මගේ පියා පවසා ඇත. 


දරුවන් දෙදෙනා එක පිම්මේ ගොස් ඔවුන් වැළඳ ගත් අයුරුත් දෙමවුපියන් දෙන්නාද ඔවුන් වැළඳ ගත් අයුරුත් සතුරු කඳුළු වගුරවන මගේ පියා සැනසිල්ලේ බලා සිට ඇත. ඒ අවස්ථාවේ සෙබලෙක් පවසා සිටියේ
සර්..........  මාර වැඩේ නේද තව ටිකෙන්  වෙන්නේ  යනුවෙනි . 



( මෙහි ඇති සුවිශේෂිතාවය නම් රජයේ ප්‍රතිපත්තිය වී තිබුණේ  කඳවුරු තුළට  දැමූ පසු කිසිවෙකුත්  මොනම හේතුවකටවත් කඳවුර මාරුකිරීම කළනොහැකි අවස්ථාවක වගකීම  තමන් සතුකරගත් මගේ පියා එම කාර්යය සිදු කිරීමයි ) 


මේ කලාවකවානුවේම තවත් සංවේදී සිද්ධියකට මුහුණ පෑමට මගේ පියාට සිදුවිය . දිනපතා රැයක් එළිවනවිට දමිළ සිවිල් ජනතාව බොහෝ දෙනෙක් හමුදා සීමාවට පැමිණෙමින් සිටියහ . ත්‍රස්තවාදිවිසින් එසේ පලායන දමිළ ජනතාවට ද වෙඩි තැබීමට පසුබට නොවුහ.


දිනක් එදින පැමිණි සිවිල් ජනාතාවගේ අවශ්‍යතා සැපයීම සඳහා කඳවුරු භූමිය පරික්ෂාවක යෙදී සිටියදී මගේ පියා ගේ නෙත ගැටී ඇත්තේ අවුරුදු 4 ක පමණ දැරියක් නොනවත්වා හඩන අයුරු හා ඇය ළඟ සිටින පිරිමි පුද්ගලයා ( ඇයගේ පියා යයි සිතන  ) ඉතා දුකින් පසුවන ආකාරයත් දුටුවේය. පසුව ඔවුන්  දෙදෙනා තම කාර්යාලයට රැගෙන එන ලෙස උපදෙස් දී මගේ පියා ඉන් පිටත් විය. ඉන්පසු ඔවුන් දෙදෙනා කාර්යාලයට පැමිණ තිබුණි. 


ඉන්පසු ඔවුන්ගේ කථාව මගේ පියා  පියා අසා තිබුණි.  මෙම කුඩා දැරියට  මවත් පියාත් සහෝදරයෙකුත් සිට ඇත. ඔවුන් සියලු දෙනා රැයවල් 2 කට ප්‍රථම තම නිවසින් පිටත්වූයේ කොටි ත්‍රස්තයන්ගෙන්  මිදී  හමුදා පාලන ප්‍රදේශ කරා පැමිණෙන විට ඇයගේ මවත් සහෝදරයාත් කොටි වෙඩි පහරට ලක්ව මරුමුවට පත්ව ඇත . ඔවුන් රාත්‍රියේ කාලයේ කැලෑ ප්‍රදේශයක් මැදින්  ගමන් කිරීමේදී කොටි පිරිසකගේ ග්‍රහණයට අසුව ඇති අතර , දියණිය සමග පියා සැඟවුණත් මවට හා පුතුට දිවි බේරා ගත නොහැකි වී ඇත. අවසන් කාලයේ දමිළ වැසියන්  හමුදා පාලන ප්‍රදේශවලට යාම ඔවුන්ට වලක්වා ගත නොහැකි වියරුවෙන් ඔවුන් ඒ දේවල් සිදුකරන ලදී. 


කෙසේ වෙතත් දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වූ මගේ පියාද ඒ මොහොතේ ඇයව වඩාගෙන  සුරතල් කර ඇත. කෙසේ වෙතත් ඉන්පසු  එම කඳවුරට යන සාම අවස්ථාවකම අර කුඩා දැරිය 


පෙරිය දොරේ ...................... කියා  කෑ ගසමින් මගේ පියා අසලට පැමිණෙන අතර එවිට ඇය වඩා ගතයුතු බව මගේ පියා අප සමග පවසන ලදී . ඒ වන විට විශ්‍රාම යාමට ආසන්නයේ සිටි මගේ පියා  ඇය පිළිබඳව සැබවින්ම සංවේදී වූ බව ඔහුගේ කථාබහෙන්  අපට වැටහී තිබුණි . 


කඳවුරු භූමියේ ඇය සිටියදීම 2009 පෙබරවාරි මස 27 වන දින යුධබිමේ සියල්ල අතහැර මතකය පමණක් රැගෙන විශ්‍රාම දිවිය ගතකරන්නට මගේ පියා නිවසට පැමිණියේය . 


විචාරක දියණිය උදෑසන 9.00 පැයට 

23 October 2017

නෑ සර් මං කොලේට පිම්බා

මේ කතාවේ නම් අපේ විචාරකතුමා නෑ. මගේ පාසලේ අත්දැකීමක්. පසුගිය දවසක අන්තර්ජාලයේ තිබුණා පිනා කියලා ප්‍රින්සිපල්ට කිවුවා කියලා විද්‍යාලයක ප්‍රින්සිපල් කෙනෙක්  පැය 4ක් ළමයින්ට දඬුවම් කළ බව එය සවනට වකෙද්දී මට මෙය මතක් උණා. 2001 අවුරුද්දේ මා උසස් පෙළ කරද්දී තමයි මෙය සිදුවුණේ. 


එවකට මම 12 වසර කලා බි පංතියේ ඉගෙනුම ලැබුවෙමි. මගේ හොඳම යෙහෙළිය වූයේ  ධනුෂ්කාය. අගේ පියා විදුහල්පතිවරයෙකු වූ අතර මව අපේ පාසලේ සිංහල ගුරුවරියක් වූවාය.  මගේ කතාවේ කතා නායිකාව ඇයයි . මිශ්‍ර පාසලක් වූ අපේ පාසල පැරණි මධ්‍ය විද්‍යාලවලින් එකකි. සුන්දර පරිසරයකින් පිහිටි මෙය ඉතා අලංකාරය . අප විසින්  අපේ විදුහල්පතිතුමාට දමා තිබූ නම "නැපෝලියන් " යන්නයි. එය කෙටි වූ විට කොල්ලන් කතා කරන්නේ "නැපා" කියාය. එයට හේතුව ඔහු වරදට දඬුවම් කරන්නේ හිත පිත් නැතිව අතර, ගුටි කන්නේ වරද කර එකා නොව වෙනත් අය වීමද විශේෂත්වයකි. හැබැයි පරම සත්‍ය නම් සියලු දෙනා ඔහුට බිය වීමයි . එය ගෞරවයට වඩා ගුටි කෑමට ඇති බියයි .


සිද්ධිය මෙසේය .


දිනක් දහවල්  විවේක කාලය නිමවී සීනුව නාද විය. එහෙත් අපේ වර්ගයාට නම් එය ගානක් නොවිණි. තවමත් පන්තියේ තැන තැනත් කොරිඩෝවලත්  කථාවේ ඉවරයක් නොතිබුණි. ප්‍රේම කථා, ලියුම් ගනුදෙනු , චන්ඩි කථා නිමක් නොමැත.( මං ඕවට නෑ. ඔය කාටත්වඩා මා මගේ පියාට බියෙන් කටයුතු කළ අයෙකි  . ) අපේ පංතියේ  අය වෙනත්  වෙනත් පංතිවලය. වෙනත් අය අපේ පංතියේය.  විදුහල්පතිතුමාගේ කාර්යාලයට යාබදව පිහිටි අපේ ගොඩනැගිල්ලේ පන්ති කාමර 5 ක් තිබූ අතර එය ආරම්භ වන්නේ  පාසලේ පිහිටි දන්ත ශල්‍යාගාරයෙනි. විදුහල්පති කාමරයේ සිට දිගු කොරිඩෝවක් හා පඩි පෙලකින් මෙය එකිනෙක සම්බන්ධ වේ . එම අවස්ථාවේ  අපට තිබුනේ ඉතිහාසය විෂය වුවත් විෂය භාර ගුරුතුමිය එදින පැමිණ නොතිබුණි. එය අපි දැන සිටියෙමු. විවේක කාලය නිමවී විනාඩි 5 ක් පමණ ගතවී තිබුනත්  එම පන්ති පහේ ගුරුවරුන්ගෙන් පැමිණ සිටියේ එක ගුරුවරියක පමණි . එයට හේතුව ගුරු විවේකාගාරය හා අපේ පංති අතර  යම් දුර ප්‍රමාණයක් තිබීමයි. 


කෙසේ  වෙතත් පංති හතරක කොල්ලො කෙල්ලන්ගේ ශබ්දය  විදුහල්පතිතුමා හෙවත් අපේ  නැපාතුමා  එළියට බැස්සවීමට සමත් විය. ඔහු කාර්යාලයෙන් පිටතට පැමිණි විට අපේ පංති සමූහයට  හොඳින් දර්ශනය වේ . එකෙනෙහිම කොල්ලෝ ටික නැපා එනවා බං කියා දුවගොස් පංතියේ  වාඩිවුණි. එය සිනහ උපදවන්නේ පංතියේ පිරිමි හා ගැහැණු ළමුන්ගෙන් ඇතැම් දෙනා අපේ පංතියේ නොව පිට පංතිවල අයය . අපේ පංතියේ වුන් අතුරුදහන්වෙලාය . කෙසේ වෙතත්  හෙමින් හෙමින් පියවර තබමින් නැපාතුමා අප පන්ති දෙසට පැමිණෙන බව දුටහ. මේ වනවිට මුළු ගොඩනැගිල්ලම මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්දය.කට හඬ ඇසෙන්නේ ගුරුවරිය සිටින පංතියේ ඇය උගන්වන හඬයි.


සෙමෙන් සෙමෙන්  අපේ පන්ති කාමරයේ කොරිඩෝව අසළින් ගමන් කරද්දී කිසිවෙකුත් නොසිතූ පරිදි  මා අසළ සිටි මගේ මිතුරිය උරුවම් බෑවාය. මගේ සියොලඟම වෙවුලා ගිය අතර මම අතින් ඇගේ වැලමිටට පහර දුන්නෙමි. එකෙනෙහිම විදුහල්පතිතුමාගේ දැඩි අවදානය පංතියට යොමු වුවත් එය පහව ගියේ ඇය උරුවම් බෑම නැවත්වූ නිසාය.  එහෙත් විදුහල්පතිතුමා තවම අපේ පංතිය අසලින් ගමන් කරමින් සිටියේය.  එකෙණෙහිම  ඇය නැවත වරක් ශබ්ද නගිමින් උරුවම් බෑවාය.  විදුහල්පතිතුමා ඉද්ද ගැසුවාක් මෙන් නැවතුණි . අපේ කොරිඩෝවට යාබදව සිටියේ පිරිමි ළමුන්ය . විදුහල්පතිතුමාගේ කෝපයෙන් දිලිසෙන නෙත් සඟල දුටුවිට මට ඉහිලුම් නැතිවිය.( හොඳට හෝ නරකට මා  පංතියේ නායිකාව විය.)


පිරිමි  ළමුන් දෙසට  නෙත් යොමු කල ඔහු එක්වරම මහා හඩින් කෑ ගසන ලදී .

විදුහල්පතිතුමා -  නැගිටපල්ලා ඔක්කොම 

පිරිමි ළමයි - සියලුදෙනා  නැගිටුණ අතර ඔවුන් අප දස බලා රවන්නට පටන් ගත්තේ තොපි හින්දා අද කන්න වෙනවා යන හැගීමෙනි .

විදුහල්පතිතුමා - මොකාද ? දැන් උරුවම් බෑවේ ...........................

පිරිමි ළමයි  - ( අප දෙස බලමින් ඔරවමින් හා රවමින් )  සර් ... අපි නෙවෙයි සර් ...

මේ සිදුවීම යන අතර මා මගේ යෙහෙළියට පැවසුවේ  ඔයා වරද බාර ගන්න නැත්තන් අද කොල්ලෝ  ඔක්කොම ගුටි කන බව ෂුවර් කියාය. අනෙක් ගැහැණු ළමයින් ද එය අනුමත කළහ. 

විදුහල්පතිතුමා -  අපි නෙවෙයි .... අපි නෙවෙයි නම් කවුද  යකෝ ...........

ඒ අවස්ථාවේ අපි සියලු දෙනා පුදුමයට  පත් කරමින් මගේ යෙහෙළිය  පංතිය ඉදිරියට ගියාය .

ධනුෂ්කා -  සර් .................. සර්...........

විදුහල්පතිතුමා -  (රළු ස්වරයෙන් )    ඔව්  මොකද ?

ධනුෂ්කා  -  ඇය අතේ හාෆ් ෂීට් කොලයක් රෝල්කරගෙන සිටියාය . ඊලඟට ඇය කියා සිටියේ පුදුම හේතුවකි .

සර් ....සර් ............ මං උරුවම් බෑවේ නෑ සර් මං මේ කොලේට පිම්බා 


ම්....අදට සමාව දෙනවා . ආයේ අහුවෙන්න එපා .............

 විදුහපතිවරයා  පවසන ලදී . විදුහල්පතිවරයාගේ කෝපය  හමාරවී ඔහු සිනාවුන අතර එකෙනෙහිම මුළු ගොඩනැගිල්ලේම ළමයින්ගේ සිනහව රැවුදුණි.


විචාරක දියණිය  7.30 පැයට 

15 October 2017

සිහිනෙන් ඇවිදීම හා වෙරි හිඳීම




පියා අහිමිවීමේ ප්‍රතිඵලයක් ලෙස මට සිදුවූ පළමු ඇබැද්දිය පසුගිය 25 අළුයම  සිදුවිය. එනම් රාජකාරියට යාමට නිවස ඉදිරිපිට පාර මාරුවීමේදී මෝටර් බයිසිකලයක ගැටීමය. දින දෙකක් රෝහල් ගත වීමෙන් පසුව අතපය නොකැඩුනත් සිදුවුණු තැලීම් සීරීම් හමුවේ  තරමක් සුවය ලබන්නේ දැන්ය. එදවස ඔහු මා මෝටර් රථයෙන්  දුම්රිය පොළට ගෙනයන අතර එතැන් සිට රාජකාරී ස්ථානයට යනතුරු දුරකථන ඇමතුම් 3ක් වත් ලබාදෙයි . ගිය බවද ඔහුට නොකීවහොත් උදෑසන 9.00 පමණ වන විට නැවත ගනී . ඔහු ගියදා පටන් මා දිනපතා මව සමග පාරට ගොස්  බසයෙන් හා දුම්රියෙන් රාජාකාරියට වාර්තා කරයි. මෙම අනතුර සිදුවූයේ එබැවිණි.


පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව දූ දරුවන් හිනැහී ඇතිදෝ ................................

අද කථාන්දරය මෙසේ අරඹමි.



යුධ හමුදා කඳවුර නුවරඑළිය


මගේ පියා යුධ හමුදා සේවයේ යෙදී සිටියේ ඔහුගේ මවු ඒකකය වූයේ  3 ශ්‍රී ලංකා සිංහ  රෙජිමේන්තුවයි. මෙම රෙජිමේන්තු මූලස්ථානය පිහිටියේ සුන්දර නුවරඑළියේ ග්‍රෙගරි වැව ඉස්මත්තේය . එම නිසා එය රමණීය ස්ථානයක් විය. මෙහි ඇති තවත් සුවිශේෂී කරුණ වන්නේ මෙම ස්ථානය හා ගොඩනැගිල්ල  ඉංග්‍රීසි පාලන සමයේ එවකට ලංකාවේ වතුඅධිකරිවරුන් හා බ්‍රිතාන්‍ය  පාලකයන්ගේ  ළමයින් ඉගෙනගත්  පාසලක් වීමයි.  එම නිසා එය "හිල් ස්කූල් " නමින්  හඳුන්වයි. 


මෙම හමුදා කදවුරට ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස පැමිණ උප අණදෙන නිලධාරියෙකු වනතුරු තම මවු ඒකකයේ ඔහු සේවය කළේය . කෙසේ වෙතත් එහි ඇති නිලධාරී නිවස්නය හා කඳවුර ඉදිරිපිට ඇති රෝස උද්‍යානය එයට ෙප්‍රෘඩතත්වය එක්කරන ලදී . එම රෝස උයන නුවරඑළියේ  වසන්ත සැණකෙළියට සමගාමීව පවත්වන රාජ්‍ය සේවා ගෙවතු තරඟය සඳහා සෑම වර්ෂයකම තරඟ කරන අතර ජයග්‍රහණ ද  ලබා ගනී.

හරි දැන් අටුවා ටීකා ඇති කතාවට එන්ටර් වෙමුකෝ .....................

මේ නිලධාරී නිවස්නයේ විවිධ හේතූන් පදනම් කරගනිමින් සාද පවත්වනු ලබයි. නිලධාරීන්ගේ විශ්‍රාම ගැනීම් , උසස්වීම්, සංවත්සර  ආදිය ප්‍රධාන වේ . එහිදී  නිලධාරීන්ගේ පවුල්වල අයටද ඒවාට සහභාගී වීමට අවස්ථාව හිමිවේ. මෙයත් එවැනි අවස්ථාවකි . එවැනි අවස්ථාවක් එනතුරු මමත් නංගීත් බලා සිටින්නේ ඇත්තටම නුවරඑළියේ යාම හා ඇවිදීම අතිශය ප්‍රිය උපදවන කටයුත්තක් නිසාය. කෙසේ වෙතත් දිනක් එවැනි සාදයකට යාමේ අදහසින් අපි නුවරඑළියේ ගියෙමු . 

                                            රෝස උයනේ මගේ පියා සමග නංගියි මමයි  


එදින සවස පැවති උත්සවය සඳහා උදෑසන පිටත් වූ  අපි  දහවල් වනවිට කඳවුරට ලඟාවුනෙමු . උත්සවය නිමවන්නේ පසුදා අළුයම බව දන්නා නිසාම ( මධ්‍යසාර නැති උත්සව හමුදාවේ නැතිනිසා ) නවතින්නට පැමිණෙන බව කල්තියා පියා විසින් දැනුම් දී තිබුණි. ඒ අනුව මහල් දෙකකින් යුත් නිලධාරී නිවස්නයේ දෙවන මහලේ කෙලවරේ පිහිටි කාමරයක් අපට ලැබුණි . මදි නොකියන්න සීතලද තිබුණි. මේ කාමරයට පැමිණිමේදී  හැඩයට බැසිය යුතු සිමෙන්ති තරප්පු පෙළක් නැගීමෙන් අනතුරුව විශාල කොරිඩෝවක් පසුකර යුතු අතර කොරිඩෝව අවසානයේ  පොඩි ලොබියක්  තිබේ . එම ලොබියේ දකුණු පසින් කාමර දෙකක් තිබෙන අතර පළමු කාමරය අපගේ විය.  මා මෙය පැවසුවේ කථාවේ ඉදිරියට එය අවැසි බැවිනි . කෙසේ  වෙතත් පළමු මහලේ ( OFFICER'S MESS ) හිදී උත්සවය පටන් ගත් අතර  අප වැනි තවත් පවුල් කීපයක් ද නිලධාරීන් තනිවම ද උත්සවයට සහභාගී වූහ. නැටුම් ගැයුම් වැයුම් මැද මධ්‍යම රාත්‍රිය එළඹි අතර ඒ වනතුරුත්  නිලධාරීන් කිසිවෙක් ආහාර ගෙන නොතිබුණි. කාන්තාවන් හා දරුවන් පමණක් අහාර ගෙන සිටි අතර , ළමයින් එකා දෙන්නා උකුල් උඩ නිදියද්දී  කාන්තාවන්ට උත්සවය නිමා කළ හැකි බව පවසා අපි සියලු දෙනාම එතනින් පිටවී  අදාළ කාමර කරා පැමිණියහ. 




විවිධ උත්සව අවස්ථාවල ලබාගත් ඡායාරූප 

එහෙත් මගේ පියා ඇතුළු ඔහුගේ මිතුරන් මධුවිත තොලගාමින් තවදුරටත් රැඳී සිටියහ.( එකල එයට කිසිවක් කිවනොහැක්කේ  සැමදා කැලයක දිවිගෙවන ඔවුන්ට සතුටු වීමට අවස්වථාක් සපයා දුන්නේ  එවැනි  උත්සවයක් පමණක් වීමය. ) කෙසේ වෙතත් මගේ පියා එදින කාමරයට පැමිණි වෙලාව මා දන්නේ නැත. අධික සීතල පවතී බැවින් ජර්සියක් හා බ්ලැන්කට්ටුවක් පෙරවා සිටියද සීතල අධික විය .  එම නිසා නින්ද කඩින් කඩ සිදුවිය. මා තනි ඇඳකත්  අම්ම තාත්තා හා නංගි තවත් ඇඳකත්  නිදියන ලදී. වරක් බලන විට තාත්තා පැමිණ ඇතිබව දක්නට ලැබුණි. ඉන්පසු අනෙක් පසට හැරීනිදාගත් අතර එකවරම සිහිනෙන් මෙන් දුටුවේ කාමරේ දොර කවුරුන් හෝ විවර කරගෙන එළියට ගිය  බවයි. තවත් නිමේෂයක් ගතවෙද්දී අපේ අම්මා මහා හඬ දී කෑ ගැසුවේ ළමයා නෑ අනේ නැගිටින්නකෝ ළමයා නෑ යනුවෙනි . මා එකවර නැගිට කාමරයේ ලයිට් දැමූ අතර තාත්තා  විදුලි වේගයෙන් දිව ගියේය . අම්මගේ කෑගැහිල්ලට අසළ කාමරයේ තාත්තගේ මිතුරන් දෙන්නෙකු ද පැමිණි අතර සුළු වෙලාවකට පසු තාත්තා නංගි හරහට වඩාගෙන පැමිණි අතර  ඇය නින්දේ පසුවිය.  මගේ පියා පැවසූ පරිදි  ඔහුට ඇයව හමුවී තිබුනේ පහල මාලයේ සාදය තිබුණු  විශාල  ආලින්දයේ දොර ළඟදී බවයි . ඇයව තාත්තා  හුරතලයට කතා කලේ "බබ්‍බා" යනුවෙනි . එසේ  කතාකලත්  ඇය නින්දේ පසුවූ බව පවසයි .


                                        කාන්තාව සිටගෙන සිටින්නේ ආලින්දයේ දොර ළඟය 
                                         මගේ පියා සිටින්නේ තරප්පු පෙළ පාමුලය 



මේ සිදුවීම වනවිට පාන්දර 3.00 පමණ වී තිබූ අතර  කරදරයක් වූ නැතිහෙයින් සියලු දෙනා පසුව නිදා ගැනුණි. පසුදා උදයේ අපේ කාමරයට සියලු දෙනා නැගණිය බැලීමට පැමිණි අතර , ඇයට  කිසිවක් මතක නොතිබුණි . වෙරි මතින් නිදාගත් මගේ පියාගේ වෙරි හිදුන බව සියලු දෙනා හිනා ගස්වමින් ඔහු ප්‍රකාශ කළේය . එවකට මගේ නැගණියට අවු 10 ක් පමණ වූ අතර ජීවිත කාලයටම සිහිනෙන් ඇවිද ගිය පළමු හා අවසාන අවස්ථාව මෙය විය .


එම සිදුවීම සිදුවී  මාස කීපයක් ගිය පසු එම උත්සවයට නොපැමිණි  මගේ පියාගේ      යාලුවෙක් පවසා ඇත්තේ එම කාමරයෙදීම වෙනත් දවසකදී  ඔහුද එවැනි අත්දැකීමකට මුහුණ දුන් බවයි. 


විචාරක දියණිය  පස්වරු 16.00 පැයට

23 September 2017

අලිමංකඩ පසුබැසීම හා කැලෑ උණ


එය 1998 වසර විය. මා එවකට 10 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවකි. එවකට මගේ පියා වවුනියාවේ සේවය කළ අතර, ඔහු අණදෙන නිලධාරියෙකු වශයෙන් කටයුතු කරන ලදී . ඔහුගේ නිලයට  එවකට ඔහුට  නවීනතම කැබ් රථයක් ලබාදී තිබුණි.  එකල  ඉදිරි ආරක්ෂක වළල්ලේ මෙහෙයුම් ක්‍රියාත්මකව තිබුණි. දහවල් කාලයේ කඳවුරුවල රැඳී සිටියද රාත්‍රියට සියලු දෙනා කැලෑවේ බංකර තුළ දිවි  ගෙවුහ. එදිනද  එවන් එක්  රැයක් විය. පසුදා අළුයම ඔහුට අනුරාධපුරයේ  රැස්වීමකට යාමට සිදුව තිබුණි. එම නිසා ඔහු කැබ් රථය වෙනදා තබන ස්ථානයේ නොව  කැලය තුළට ගෙන්වා ගත්තේය. ඒ පසුදා අළුයමින්ම යායුතු වූ බැවිනි. 

සියල්ල කණපිට පෙරළීමට ගත වූයේ නිමේෂයකි. දිලිසෙන වෙඩි වරුසාවක්තඋතුරු අහසේ ලෙළ දෙන්නට විය . එකෙනෙහිම කාලතුවක්කු මෝටාර් ප්‍රහාර දසත ගිගුම් දෙන්නට විය. ත්‍රස්තවාදීහු අඳුරු රැයේ අලිමංකඩ  හමුදා කඳවුරේ  වතුර ළිං අත්පත් කරගනිමින් සිටියහ. ඒ විජලනය ඇතිකරමින් අප හමුදා අඩපණ කොට අලිමංකඩ යලිත් ඔවුන් සතුකරගන්නටය. ඒ රැය ඔවුන්ට ජයග්‍රහණයද  අප හමුදා විරුවන්ට මරණයද උරුමකර දුන්හ . බොහෝ සෙබළු විජලනය හේතුවෙන් මිය ගියහ. පසුදා උදෑසන වනවිට තත්වය තවත් දරුණු කරමින් අහසින් හෝ මුහුදෙන් ලඟා විය නොහැකි පරිදි කඳවුර වටකොට තිබුණි.  මුළු ඉදිරි ආරක්ෂක වළල්ලම පසුදා උදෑසන වනවිට  පසු බැස තිබුණි . තවත් වරුවක් ගතවන විට ඔහුගේ බල සේනාධිපති ඔහුව අමතන ලදී .මේ වනවිට සියලු දෙනා පසුබසින බව මගේ පියාගේ සවනත වැකුණද මෙතරම් පසු බැස්මක්  ඔහු අපේක්ෂා නොකළේය . 

බලසේනාධිපතිතුමා -  ගුනේ තවටික වෙලාවක් යනකොට ඔයා බැටෑලියන් එක අරන්  ක්ලියර් කරගෙන පස්සට යන්න . ඔයාට හමුවෙන බැටෑලියන් ඔක්කොම  එකතු කරගන්න.

මගේ පියා - සර් පස්සට යන්න. 

බලසේනාධිපතිතුමා -  ඔව් මම නැවත සනාත කරනවා.  පස්සට යන්න.

තවත් සුළු මොහොතකින් අතට ගත හැකි සියල්ල  එකතුකර ගනිමින්  ඔවුන් වනය මැදින් ගමන් ආරම්භ කරන ලදී . එහි තිබූ ප්‍රධාන ගැටලුව නම් කවර පෙදෙසකට යායුතු දැයි නිශ්චය කරගත නොහැකි වීමයි එමෙන්ම දින කීයක් කවර පැයක්  ගතවේවිදැයි කිව නොහැකි තත්වයක් උදාවී තිබුණි. 

සියලු දෙනා ඉතා දුක්මුසු වුවත් විපරමින් සතුරා පිලිබඳ විමසිල්ලෙන් ගමන් ආරාම්භ කරන ලදී .  මාර්ගයේ පයින් යාහැකිවූ නමුදු වාහනයක් ගෙනයා හැකි තත්වයක් නොතිබුණි. පුළුවන් තරමක් දුර කැබ් රථය වනය මැදින්  ගෙන ආ අතර ඉන් එහාට යා යුත්තේ අඩි පාරක් ඔස්සේය.  අකමැත්තෙන් හෝ කැබ් රථයට සමුදිය යුතුව තිබුණි. එහෙත් සතුරා අතට පත් වීමටද ඉඩ හැරිය නොහැකිය. 

අවසානයේදී  කැබ් රථය නතර කර එහි පෙට්‍රල් ටැංකියට වෙඩිතබා එය පුපුරවා විනාශ කරන ලදී. තමාගේ  බෙල්ල මිරිකනවා වැනි හැඟුමකින් එය අවසන් කර ඔවුහු  වනයේ ඉදිරියට ගමන් කරන ලදී. මගදී ඔවුන්ට තවත් එලෙස පසු බසින තවත් මගේ පියාගේ යහළුවෙකුගේ බෑටෑලියන් එකක් මුණ ගැසිණි. මේ වනවිට ඔවුන් දින දෙකකින් පමණ අහාර ගෙන  නොතිබුණි. මගේ පියාගේ යහළුවා කීවේ ද ඔවුන්ද දින කිහිපයකින් අහාර නොගත් බවයි. මහා වන මැද ඔවුන් හැකි පමණින් බත් උයාගෙන අහාර ගෙන තිබුණි. මේ වනවිට අප නිවසට  යම් පණිවිඩ ඔහු ද මගේ පියාගේ මළනුවන් ද  අපට දන්වා තිබුණි. එකම සැනසිල්ල  වූයේ ඔහු පසු බැස හෝ ජීවත්වීමය. 

තවත් සතියක් පමණ ගතවනවිට සියල්ල තරමක්  සමථයට පත්වූ අතර , ඔහු නිවාඩු ලබා ගෙදර පැමිණියේය . එහෙත් ඔහු  ඉතා  දුකට හා මහන්සියට පත්වසිටි නිසා අපි කිසිවක් නොඇසුවෙමු.   ඔහුගේ කැබ් රථයේ රියදුරා වූ සාජන් ගුණපාල පොඩි දරුවෙකු සේ අඩා වැටුණි. තවත් දවසක් ගතවන විට මගේ පියාට අධික උණ තත්වයක් ඇතිවූ අතර   ගැහෙන තත්වයටද උණ විකාරයෙන් දොඩන තත්වයටද පත්විය.  අධික බියට පත් අප සිතුවේ  කැලෑවේ  සති ගාණක් සිටි නිසා කැලෑ උණ හෙවත් මැලේරියාව සැදී ඇති බවයි . කෙසේ වෙතත් යුධ හමුදා රෝහලට ඇතුළත් කළ පසු  දැනගන්නට ලැබුණේ ඔහුගේ පිත්තාශයේ  ගල් සෑදීම නිසා  පිත්තාශය ඉවත් කළයුතු බවයි. දීර්ඝ කාලයක්  කිවුල් වතුර බීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට මේ තත්වය ඇතිවී තිබුණි . 

පහතින් ඔබට එම කැබ් රථයේ ඡායාරූපයක් දැකිය හැකියි. එහි මැද සිටින්නේ මගේ පියා වන අතර , දකුණු පසින් සාජන් ගුණපාලත්  වම් පසින් උප අණදෙන නිලධාරී මේජර් ප්‍රසන්න ලියනගේත් සිටිති .




විචාරක දියණිය  00.20 පැයට 





15 September 2017

යාල්ගංමෝදර ඛේදවාචකයේ අතුරු කථාවක් 2


නැවතුණු තැනින් ................

එදා උදේ මගේ මව මට පැවසුවේ ඇයට  අත්‍යවශ්‍ය රාජකාරී කීපයක්  සඳහා   ස්ථාන කීපයකටම යාම‍ට තියන බවයි , ඒ නිසා මට සිදුවුනා ඒ සෑම තැනකටම කතා කරන්න . විශේෂයෙන්ම කොට්ඨාස කාර්යාලයට හා කලාප කාර්යාලයට මේ ස්ථාන දෙකෙන්ම මට ලැබුණු පිළිතුර වුනේ  ඇයව උදෑසන  දුටු නමුත් මේ වෙලාවේ ඇය එම ස්ථානයේ නොමැති බවයි . අවසානේ මම අවසාන ඇමතුම ලෙස රුවන්වැල්ල රාජසිංහ මාධ්‍ය විද්‍යාලයේ විදුහල්පති තුමාව ඇමතුවා.

 

ඔහු තමයි එදා මට අස්වැසිල්ල සපයන පිළිතුර දුන්නේ.  මේ තමයි එදා දුරකතන සංවාදය 

මම - සර්  මම ............................................. දුව කතා කරන්නේ 

විදුහල්පති -  ඔව්  දරුවෝ කියන්න.  මොකක්ද ප්‍රශ්නේ? 

මම - සර්  අම්මව අද ඉස්කෝලෙදි දැක්කද ?

විදුහල්පති - ඔව් අද උදේ මම දැක්ක. කලාපෙට යනවා කියලත් කිවුවා . ඇයි මොකක්ද ප්‍රශ්නේ  ?

මම -  සර් මෙහෙ බස් එකක් ගිනි අරන්. මං හිතුවේ අම්මා එකේ හිටියා කියලා .  අනේ සර් අම්මා ආයේ ඉස්කෝලෙට  ආවොත් මට කතා කරන්න කියන්න .

විදුහල්පති - හරි  හරි මම පණිවිඩේ ඉක්මණටම  කොහොම හරි දෙන්නම්.

මම  - බොහොම  ස්තූතියි සර්  

මේ  පණිවිඩය ලබා ගත් විගසම  මම නැවත මගේ පියා ඇමතීය. ඒ වනවිට ඔහු පොල්ගහවෙල මෝචරිය ද  රෝහලේ වාට්ටුද පිරික්සා තිබුණි. මම කීවේ ඒවා අනවශ්‍ය බවත් අම්මා රුවන්වල්ලට ගොස් ඇති බවට මට තොරතුරු ලැබුණු බව හා වහාම කතාකරන ලෙස දැන්වූ බවත්ය. ඒ නිසා ඔහු  නැවත කඳවුරට ගොස්තිබුණි.

වෙලාව දහවල් 1. 00 පමණ වන්නට ඇත. මා බලාපොරොත්තුවෙන් සිටි ඇමතුම ලැබුණි . 
ඒ මගේ මවය . ඇය ඉතාම බියට පත්වූ ස්වරයෙන් ඇසුවේ මා මෙතරම් බියට පත්වූ කාරණාවය . මා මොහොතකට ගොළුවිය. ඒ සමගම මගේ නෙත් දෙකෙන් නොනවත්වා කඳුළු කඩා වැටිණි . ඉන්පසු ඇය සමග විස්තරය කියා හැකි ඉක්මණින් මගේ පියාව ද අමතන ලෙස කීවාය.  ඇය මා පවසන තුරු සිද්ධිය දැන නොසිටියාය. එමෙන්ම ඇය එදින උදෑසන 7. 00 වනවිට සිට ඇත්තේ වරකාපොළ නගරයේය. එදින සියල්ල යහපත් තත්වයට පත්වන විට සවස් කාලය එළඹිණි. මගේ මව බේරුනත් මියගිය අය වනුවෙන් අප තිදෙනාම ශෝක වූහ . තවත් සතියක් ගතවූ පසු මගේ පියා මවට ජංගම දුරකථනයක් රැගෙන දුන්නේය . 

අදද එම ස්තානය පසු කරන විට මට එම සිදුවීම මතකයට නැගේ .


විචාරක  දියණිය 23.00 පැයට 

09 September 2017

යාල්ගංමෝදර ඛේදවාචකයේ අතුරු කතාවක් 1


ඒ 2005 අවුරුද්දය. මගේ පියා සිය සේවා කාලයේ  ක්‍රියාන්විත රාජකාරියෙන් බැහැරව සේවය කළ  එක අවථාවක් විය . ඊට හේතුව පෙර වසරේ ඔහුගේ සහෝදරයා හා ඔහුගේ පුත්‍රයා සුනමියෙන් මියයාම නිසා  ඇතිවූ චිත්ත පීඩාව හේතුකොටගෙන  වැහැර  ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ  රෙජිමේන්තු මූලස්ථානයට අනුයුක්තව සේවය කරන ලදී. 

ඔබට මතක නම් ඒ මහා දුම්රිය අනතුර සිදුවූයේ මේ කාලයේය . එවකට මගේ මව රුවන්වැල්ල  කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක වරියක ලෙස කටයුතු කළ අතර මාරුවීමක් ගත නොහැකි වූ හෙයින් ඇය දිනපතා සේවයට ගියේ නිවසේ සිටය . මේ දිනවල මා විශ්ව විද්යාලවරම් ලබසිටි අතර ,  ඒ සඳහා සූදානම්ව සිටියාය. එමෙන්ම මගේ ශරීර ස්වභාවය නිසා  සෑම උදෑසනකම ජිම් එකට යාමට පුරුදුව සිටියාය.  මේ කාලය වනවිට ජංගම දුරකතනයක් තිබුනේ මගේ පියාට පමණි .

සිද්දිය මෙසේය 

සෑම උදේම  මගේ මව උදෑසන 6 .00 ට පමණ සේවය සඳහා නිවසින් පිටවේ . ඇය රුවන්වැල්ල සඳහා යන්නේ වරකාපොල හරහාය. වරකාපොල නගරයට ඉක්මනින් පිවිසීමට ඇය විසින්  දුර ගමන්සේවා බස්රථ භාවිතා කරයි. ඉතින් ඇතැම් දිනවල මා සමග පවසන පරිදි ඇය ගල්කිරියාගම බස්රථ වලද ගමන් කල බව කියයි .කෙසේ වෙතත් මෙදින උදෑසනද මවත් පියත් තම සේවයන් සඳහා නික්ම ගිය අතර මමද සුපුරුදු පරිදි  ජිම් එකට ගියාය . එය අවසන් කර  නගරයට පැමිණි මට අතොරක් නැතිව කුරුණෑගල නගරයෙන් ඇම්බියුලන්ස් හඬ ඇසෙන්නට පටන් ගත්තාය. කුමක් සිදුවී ඇත්ද  යන්න සොයා ගැනීමට සිතුවත්  ඒ සඳහා කිසිවෙකුත් නොසිටි අතර නිවසට යාම ඉක්මන් කල මම නගර මධ්‍යයෙන් බසයකට ගොඩවිය. එහිදී රියදුරු හා මිනිසෙක් කතාකරන දෙබස මගේ කන වැකිණි. එයින් ඇතිවූ බිය මට  කවරදාවත් දනී නොතිබිණ

රියදුරු - කොහේ යන බස් එකක්ද ?

මගියා -  ගල්කිරියාගම කොළඹ
රියදුරු - කීයටද වෙලා තියෙන්නේ
මගියා -  7.00 විතර තමා වෙලා තියෙන්නේ  බස් එක ගිනි අරන්  තුවාල කාරයෝ මළමිනීයි පොල්ගහවෙලයි කුරුනෑගල ඉස්පිරිතාලෙයි දෙකේම තියනවලු. කොච්ච්යට මුකුත් නෑලු . ගේට්ටුව වහලා තියෙද්දියි බස් එක දාල තියෙන්නේ . 

ඒ වන විට බසය කුරුනෑගල රෝහල පසුකරමින් සිටියේය  එතන එකම හිස් ගොඩකි සාමන්‍ය වාහන වලින්ද තුවාල කරුවන් රැගෙන එමින් තිබුණි මගේ දෙපා පන නැති තත්වයට පත්වී ආයේය. මගේ  මවත් ඒ බසයේ සිටියාද ? ඇගේ තත්වය කුමක්ද ?ප්‍රශ්න පත්‍රයක් මා ඉදිරියේ දිග හැරිණ. සියල්ලටම ගෙදර යායුතු බව මට වැටහින. බසයෙන් බැස ගෙදර  ගියේ කෙසේදැයි මට මතක නැත. ගියා නොව දිවුවාය . ස්ථාවර දුරකතනයෙන් මා පළමුව කතාකරේ මගේ පියාටය . 

මම - තාත්තේ අම්මා මට කියාගත් හැකිවූයේ  එපමණකි පියා - ඔහු මට ප්‍රථම ක්‍රියාත්මක වී තිබුණි . ඔහු සිද්දිය දැනගත් පසු  කුරුනෑගල  රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් මිනී අතගා තිබුණි. ඔහු අඩමින් පැවසුවේ මම කුරුනෑගල ගිහින් බැලුවා. අම්ම කියලා අඳුරගන්න පුළුවන් කවුරුත්  නෑ. මම මිණී ඔක්කොම බැලුවා. ඒවා පිච්චිලා. මම දැන් පොල්ගහවෙල යනවා ඔයා ගෙදරට වෙලා කොහොමහරි අම්මා රුවන්වැල්ලට ගියාද කියල බලන්න කියාය. මම රූපවාහිනියද ක්‍රියාත්මක  කර ඉන්පසු බුදුන් වැන්දේ ආම්ම රැකදෙන ලෙසයි .

විචාරක දියණිය  16.05 පැයට 

31 August 2017

මුදල් ඇමතිතුමාගේ සංග්‍රහය




පසුගිය  සති 2 ට තුන් වතාවක් මේ ලිපිය පලකිරීමට හැදුවත් එය සාර්ථක උනේ නෑ. ඉතින් මටත් තරහා ගිහින් වැඩේ ඇත ඇරියා. මේ උත්සාහය සාර්ථක උනොත් හරි .

මේ දවස්වල මුදල් ඇමතිවරු ගැන වැඩිපුර  සඳහන් වන නිසා  මටත් හිතුනා  1960 දශකයේ මුදල් ඇමති කෙනෙක් ගැන ලියන්න. ඔහු තමයි ආචාර්ය එන්. එම්. පෙරේරා. මේ සිදුවීමට මගේ පියත්  සම්බන්ධයි .

එවකට මගේ පියා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා  විද්‍යාලයේ  ශිෂ්‍ය භට ඛණ්ඩයේ අණදෙන්නා විදියට තමයි කටයුතුකරලා තියෙන්නේ.  මේ විද්‍යාලයේ  පිටටනිය මැද්දෙන් අඩිපාරක් තිබෙන අතර එම අඩිපාර කෙළවර වන්නේ කැළණි ගඟෙන් . පිට්ටනිය කෙළවරේදී මේ ආදී පාර ගුරු පාරක් බව‍ට පත්වෙනවා මේ පාරෙන් මිනිස්සු පිට්ටනිය කෙලවරේ ඇති තාම නිවාස වලටත් කැළණි ගඟින් අනෙක්පස තිබුණු  ගම්මාන වලට යාමටත් භාවිතා කළා.

ආචාර්ය එන්. එම්. පෙරේරා වාසය කළ රතු වලව්ව නමින් හැඳින්වුණු නිවස පිහිටියේ විද්‍යාලය ඉදිරිපිට පාරේ අනෙක් පසින් ( මෙය තවමත් පවතිනවා ) ඉතින් මේ තමයි කතාවේ පසුබිම 

අදාළ සිද්දිය මෙසේයි .

දිනක් පාසල නිමවී මගේ පියා සිය ඛණ්ඩය පිට්ටනියේ  පුහුණුවීම්වල යොදවමින් සිට තිබෙනවා. ඒ අතරතුර මගේ පියා දැක තිබෙනවා  පිට්ටනියේ ඇත කෙලවරින් තුවායකුත් කරේ දමාගෙන  දියනෑමට පැමිණෙන මුදල් ඇමතිතුමාව  ඔහුගේ  පිටුපසින් සබන් කෑල්ලක් හා බාල්දියක්  අතින් ගත්  සේවකයෙක් පැමිණ තිබෙනවා . කෙසේ උනත් මේ ඇමතිවරයෙක් නිසා නිසි ගෞරව දැක්විය යුතුනිසා මගේ පියා ඒ අවස්ථාවේ ඛණ්ඩයට විධාන කරනවා .

මගේ පියා -  ඛණ්ඩය කල්බැලීම නවාතන් , ඛණ්ඩය සීරුවේින් සිටින්

මුදල් ඇමති තුමා -  ඉලන්දාරියා  මොකටද  මේ පුහුණුවීම් ?

මගේ පියා -  සර්, ලබන සතියේ  රන්ටැඹේ යන්න .

මුදල් ඇමතිතුමා -  ම්...........  මෙතන කීදෙක් දැන් ඉන්නවද ?

මගේ පියා -   25 යි  සර් .

 එකෙනෙහිම  ඔහු විසින් තම සේවකයාගේ කණටකර යමක් පවසා  ඔහුව නැවත නිවසට පිටත් කොට ඔහුළඟ තිබූ බාල්දියද  රැගෙන ඇමතිතුමා දිය නෑමට ගොස් තිබුණි. මගේ පියාද සුපුරුදු පරිදි ෆුනුවීම් යලි ආරම්භ කර තිබුණි. මද වීලාවක් ගිය පසු එතනට පැමිණියේ එව්වකට එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් ව පවතී සිසිල හෝටලයේ  සේවකයන් දෙදෙනෙකි . ඔවුන් විසින් බනිස් පෙට්ටියක් හා බීම පෙට්ටියක් පිට්ටනිය මැද තබා ගොස්තිබේ 

මගේ පියාගේ භාෂාවෙන් කියනාවානම් දෙයක්ලැබුණුවිට  ඉඩමේ හතර කොණ නොබැලිය යුතු නිසා බනිෂා බීම පෙට්ටියට වගකියූ ඔවුහු ඇමතිතුමාට පින් දෙමින් නිවෙස් වලට ගියහ .


විචාරක දියණිය  23.00 පැයට




17 August 2017

මරණයේ දෝංකාරය



මගේ පියා  සිය රාජකාරි දිවියේ වැඩිම කාලයක් ගතකලේ වවුනියාව ප්‍රදේශයේය. ඔහු විශ්‍රාම යාමට ආසන්න කාලයේද සේවය කලේ එම ප්‍රදේශයේ වූ අතර යුද්ධය දරුණුවටම පැවති අවදියක් විය. එකළ ත්‍රස්තවාදීන් විසින් නියමුවෙකු රහිත ගුවන් යානා මගින් බෝම්බ හෙලනු ලැබීය . දිනක් අළුයම අප නිවසේ ස්ථාවර දුරකථනය නොනවත්වා නාද වූ නමුත් මගේ නින්ද එය ගැනීමට සිත් නොදුනි.  ඇතැම් විට මගේ පියා පාන්දර කතාකරන බව දැන සිටියත් නින්ද ඊට වඩා මට වැදගත් විය. මේ වේලාවේ මගේ මව සිටියේ කුස්සියේ කෑම පිසිමින්ය. ඇයට මෙය නොඇසෙන්නේ සාලයමැද ඇති දොර වසාගෙන ඇය කුස්සියේ උයන නිසාවෙනි. තවත් වරක් නොනවත්වා නාද වුව ද  මගේ කරුම සිතට එය ගැනීමට සිත් නොදුනි. ඔය අතර , වේලාව අළුයම 5.00 වූ අතර මගේ මව කුස්සියේ තිබෙන රේඩියෝවෙන් ප්‍රවෘත්ති අසා මා වෙත දිවගෙන ආවාය

අම්මා - ළමයෝ වවුනියාවට ගහලා . තාත්තා කතා කලේ නෑ නේද?

මම  -  ඒ වෙලාවේ මට ඇති වූ බිය හා දුක අපමණ වුවත් බයාදු හඩින් මා පැවසුවේ ෆෝන් එක රින් උනා මට  ගන්න බැරි  උනා කියලාය. 

එකෙනෙහිම  නැවත අපේ ගෙදර දුරකථනය නාදවිය. අම්මා විගස ගොස් එය ගත්තාය.

එහෙත්  ඒ පියා නොව ඔහුගේ ඥාති දියණියකි.

ඥාති දියණිය -  නැන්දේ  වවුනියාවට ගහලා නේද ?                        මාමා කතා කළාද ?

අම්මා - අනේ,  කතා කරේ නෑ. කියා මාව බේරා දැමුවාය . එතැන් සිට  ඇය නොනවත්වා ගත්ත ද ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිතය. අම්මා මට  සියලු ගරුසරු පදවලින් අමතමින් නැවත නැවත ඔහුගේ දුරකථන අංක සියල්ල අංකනය කළාය. සියල්ල ප්‍රතිඵල රහිත විය . 

දැන් දෙදෙනාම ගොළුවත රකිමින් පියවර මනිති. ඔය අතර මගේ මව එදින  වැඩට නොයන බව ප්‍රකාශ කළාය. කාලය ගමන් කළේ ඉතා සෙමින්  යයි  මට වරෙක සිතිනි. 

ඔය අතරතුර මා සිතින් මටම බැන ගත්තාය. වෙලාව පෙරවරු 7.00 පසුවී මදක් ගතවී තිබුණි. එකෙනෙහිම අප නිවසේ දුරකථනය  නාදවිය. මාවත් පෙරලාගෙන ගොස් අම්මා දුරකථනය ගත්තාය.

ඒ ඔහුය . ඔයාලගේ වාසනාවට මන් බේරුනා ඔහු කීවේ එලෙසය .

 ඉන්පසු ඔහු ඇසුවේ මන් ගහපු වෙලාවෙම ගත්තා කථා නොකරේ මන්දැයි යන්නය. එවිට අම්මා මට හොඳට ඔහු සමග දෙහි කැපුවාය. 

එදා ඇතිවූ සිද්ධිය මෙසේය . නියමුවෙකු නොමැති ගුවන් යානාවක් ඉරානමඩු සිට පලාලි දක්වා ගොස්  නැවත පැමිණ වවුනියාවේ මෙම කඳවුරට අධි බලැති බෝම්බ හෙලන ලදී. ආලෝකයක් නොමැතිව ගමන්කරන මෙම යානාව නිසා දීශාව විතරක් හඳුනා ගතහැකි අතර  එය ආසන්නයටම එනතුරු දැකිය නොහැකිය. 

එදින අලුයම 3.30 ට පමණ මගේ පියා නිදා සිටින විට ඔහුට දුරකථන ඇමතුමකින් දැනුම් දී ඇත්තේ කාමරය ඉදිරිපස ඇති බංකරයට පැමිණෙන ලෙසයි.  ඔහු දොර අරිනවාත් සමග මෝටාරයක් පැමිණ කාමරයේ වහලයේ වැදීඅති අතර ඒ සමග විසිවූ ඔහු බංකරයට නිකම්ම වැටී ඇත. ඉන්පසු වෙඩි හඬවල්  දසත පැතිරෙද්දී ඔහු ජංගම දුරකතනයෙන් බංකරයේ සිට නිවසට ඇමතුම ගෙන ඇත.  

ඒ අවස්ථාවේ මගේ නින්ද විසින් එය ගනු නොලැබීය .

මෙහි අවාසනාවන්තම සිද්ධිය එය නොවේ . යානයෙන් බිමට හෙලන ලද බෝම්බය බිම පතිත වෙද්දී සියල්ලෝම බංකර වලට රින්ගද්දී සෙබළියක්‌ විසින් සෙබළුන් සිටින බංකරයට යාමට අකමැත්ත ප්‍රකාශ කර ඇත. කොතෙක් උත්සාහ කරද ඇය  එම බංකරයට  නොපැමිණ  එලි මහන් කුටියක සිට ඇති අතර,  බෝම්බය ඒ ආසන්නයට වැටී ඇත. එම බෝම්බ කෑලි ඇගේ උදරයේ වැදී දරුණු තුවාල ලැබූ ඈ එම මොහොතේම මියගොස් තිබිණි. මියගියේ ඇය පමණි . එහෙත් ඈ තුවාල සහිතව අම්මෝ ........ කියා කෑ ගැසූ අවසන් කෑගැහිල්ල මගේ පියාට කාලයක් යනතුරු දෙසවන් දෝං කාර දුන් බව ඔහු මා සමග පැවසුවේය. 

ඔහුගේ වසර 32 ක් පමණ සේවා කාලයේ  මරණය දොරකඩටම පැමිණි  ප්‍රථම අවස්ථාව මෙයයි.  

විචාරක දියණිය  23.00 පැයට 

07 August 2017

පෙළ පාළිය, විසිර යා



විචාරකතුමාගේ  පිංකමට ආවත් , නාවත්  ඔහු මතකයේ තියාගත්ත ඔබ සැමට  ස්තූතියි . ඉතින් ගිය සතියම පිංකමට කාලය වෙන්වුණු නිසා හිතේ තිබුනත් ලියාගන්න බැරිවුනා . 


අදමං කියන්නේ ඔහුගේ හමුදා ජීවිතය මට බැඳුනු හැටි .


සූරියකාන්ත  මල හා දෙබරු 

මේ කතාවට රටේ බොහොම ප්‍රසිද්ධ කාලයක් මතකයට නැගෙනවා . ඒ තමයි  1989  ඒ අවුරුද්දේ තමයි මම හා හා පුර කියාලා 1 පන්තියට ගියේ . විචාරකතුමා තමයි  මගේ පොත්වලට පිට කවර දාලා නම ලියල . එයාගේ පොඩි වැඩ නෑ . ලොකු අකුරින් තමයි නම ලියන්නේ . ඒ දවස්වල ඉඳගන්න පුටුව ළමයා ගෙනියන්න ඕන. ඉතින් මට මතකයි . ලසස්න කොස්  ලී  පුටුවක් හදලා තිබුනා . ඒ කේ හැමතැනම ලොකු අකුරින් විචාරකතුමා මගේ නම ලීවා. ඉතින් කොහේ දාලා තිබුනත් පුටුව හොයාගත්ත හැකි. හරි මේ කතා වැඩක් නෑ . කතාවට එන්ටර් වෙමුකෝ ...................


කාලේ වෙනස් තාලේ අලුත් වගේ වැඩිකල් ඉස්කෝලේ යන්න ලැබුනේ  නෑ. ඉස්කෝලේ නිවාඩු දුන්නා. හැබැයි ගුරුවරු වැඩට යන්න ඕන,  අපේ අම්ම ඉස්කෝලෙට ගිහිල්ල පාඩම් වැඩ ඉල්ලගෙන එනවා.  ඒ දවස්වල රෑට මගේ මව ඇහැරිලා ඉන්නවා . අපේ ගෙදර එතකොට හිටියේ මමයි, අම්මයි, නංගියි,  නංගි බලාගත්ත කෙනයි විතරයි. විචාරකතුමාගේ නිවාඩු කැන්සල්. ඉතින් ඔහු නෑ. තත්වය හොඳ නැතිනිසා හැමෝම කීවා ගෙදර තනියම ඉන්න එපා කියලා ඊට පස්සේ අම්ම අපි දෙන්න අරගෙන වැඩට හිටි ළමයා ගෙදර යවලා  ගියා අපේ ලොකු අම්මගේ ගෙදර. අපිට ඉතින් හොඳයි. උදේ ඉඳන් රෑ වෙනකල් සෙල්ලම් කරනවා . ඔහොම ඉන්නකොට  දවසක් රෑ විචාරකතුමා ඇවිත් කීවා අපි දියතලාවේ හමුදා කඳවුරේ තාවකාලිකව නවතින්න යනවා කියලා . ඒ වෙනකොට රජයෙන් හමුදා පවුල් සාමාජිකයන් තම රාජාකාරි ස්ථාන ආසන්නයේ රඳවා ගැනීමට අවසර දීලා තිබුණා. ඉතින් අපිත් ගියා දියතලාවේ. ඒ වුනාට මොකද නිල නිවාසයේ ඉන්න එක හිර ගෙදරට වඩා හපන් එළියට යන්ඩ බෑ. සෙල්ලන් කරන්න ඉඩ නෑ. කෑගහන්න බෑ. මොකද කඳවුර ඇතුළේ නිල නිවාසයක් තමයි ලැබුනේ . 

ඉතින් ඔහොම ඉන්නකොට  දවසක් මම දැක්කා, මං වගේම තව ගෑනු ළමයි දෙන්නෙක් තවත්  නිල නිවාසයක ඉන්නවා . ඒ වගේම, ඒ අසළ කවදාවත් දැකල නැති ලස්සන ලොකු කහපාට මල් වගයක් තියෙනවා . ඒවත් කඩාගෙන අර ළමයි එක්ක සෙල්ලම් කරන්න යනවා කියා හිතලා ,අම්මට අහුවෙන නිසා ඉස්සරහ දොරෙන් නොයා පිටිපස්සේ තිබුණු කෙටි තාප්පෙන් පැනලා ගියා මල්කඩන්න . මල් වලට ලං වෙනකොට මං දැක්ක මී මැස්සෝ වගේ සත්තු ජාතියක් ඒවායේ කැරකෙනවා . මී මැස්සෝ මට විදින එකක් නෑ , කියලා හිතලා මම මල කඩන්න හදනොකටම, ඔලුව පිටිපස්සට එකෙක් ඇන්නා තරු 10 ක් විතර පේන්න. මොකුත් නෑ. කඩාගත්ත මලත් අතඇරපු මං යටි ගිරියෙන් කෑගැහුවා . එවෙලේ තමයි අම්ම දැක්කේ මං ඉන්න  තැන,  ඒ එක්කම මං දැක්‍කා  පහළින් තිබුන පාර දිගේ රාජකාරී නිම කරලා නිල නිවාසයට එන විචාරකතුමාව . එතකොට නම් මට කලන්තේ දාන සයිස් එකක් තිබුනේ. මොකද මං දන්නවා හොඳට බැණුම් අහන්න  වෙන බව. ඊට පස්සේ අයිස් තියලා, බටර් ගාලා කරන්න පුළුවන් සේරම කරත් දවස් දෙකක් විතර යනකන් ඉදිමුම බැස්සේ නෑ. ඒ මී මැස්සෝ නෙවේ දෙබරු කියලත් මල් සූරියකාන්ත කියලත් මම දැනගත්තේ එදා . විචාරකතුමා මං හිතුවට මුකුත්කීවේ නෑ. එකදෙයයි කීවේ මං හිතුවා කටේ සද්දෙටම මේ ළමයා තමයි කියලා .


පෙළ පාළිය, විසිර යා  


දියතලාවේ  ගෙවුණු මාස 8 ක පමණ ජීවිතේ විවිධාකාර අත්දැකීම වලට මුහුණ දුන්නා. ඔය ඉන්න අතරේ විචාරකතුමා මට කිවුවා , මාව උත්සවයකට එක්ක යනවා ලස්සනට ලෑස්ති වෙන්න කියලා. ඔන්න ඉතින් පහුවදා අම්ම මට ලසස්න ගවුමක් අන්දලා, සපත්තු මේස් දාල ලෑස්ති කරා . විචාරතුමාත් ඉතින් නිල ඇඳුම් ඇඳලා, කඩු කස්තාන ඉනේ ගහගෙන ලෑස්ති වුණා. ඔන්න ඉතින් ජීප් එකක පිටිපස්සේ විචාරකතුමාගේ  යාළුවොයි මමයි විචාරකතුමයි ගියා . යනකන් යාලුවෝ බැන්නා,  ඇයි මේ ළමයා අර ගිනි අවුවට ගෙනියන්නේ කියලා . විචාරකතුමා මුකුත් කීවේ නෑ. හිනාවෙවී හිටියා . ඔන්න මට එතනට ගියාමයි තේරුනේ වැඩේ මොකක්ද කියලා . ඒ තමයි දියතලාව යුධ හමුදා පුහුණු පාසලේ විසිර යාමේ පෙළපාලි පවත්වන භූමිය , මාව ගෙනත් තියෙන්නේ  ඒ විසිර යාමේ උත්සවයක් පෙන්වන්න.  විචාරකතුමාටයි මටයි පෙළපාලිය බලන්න අසුන් දෙකක් ලැබුණා. දැන් ඔහොම සියල්ල නරඹමින් ඉඳලා එක පාරටම විදානයක් දුන්නා ආචාර  පෙළ පාලිය විසිර යා කියලා ඉඳගෙන හිටියට මං විචාරකතුමාගේ  අතත් අල්ලාගෙන හිටියේ .  එකපාරටම නැගිට්ට විචාරකතුමා ටක් ගාලා සීරුවෙන් ඉඳගෙන අත නවාගෙන අර සෙබළුන්ට සැලුට් කරා. මට තේරුණා මමත් දැන් සීරුවෙන් සිටිය යුතුයි කියලා. මමත් ඒ විදියටම සීරුවෙන් හිටියා . ඔන්න ඉතින් අර නිලධාරී  කණ්ඩය විසිර ගියා . ඊට පස්සේ  දවසක විචාරකතුමා ළඟ වැඩකරන කෙනෙක් ඇවිල්ල කියනවලු සර් ,මාරු පොටෝ එකක් තියනවා පෙන්වන්න කියලා . බැලින්නම් අර විසිර යාමේ පෙළ පාළියේ  අපි දෙන්නගේ  ෆොටෝ එකක අරගෙන, ඒක බලලා අර මනුස්සයා කිවුවලු බලන්ඩකෝ සර් දුව නිකන් ඉන්නේ සර් වගේම කියලා. විචාරකතුමා  ඒ කතාව ගෙදර  ඇවිත් අම්මත් එක්ක කිවුවා. 


මළ ගෙදර හා  වමනය 

මම තුනේ පන්තියේ විතර ඉන්නකොට විචාරකතුමා දවසක් ගෙදර ඇවිත් ඉන්න වෙලාවේ කීවා . හෙට ඔයා  මාත්  එක්ක මළ ගෙදරක යනවා කියලා . මට ඉතින් මාර සතුටුයි . මොකද මං පොඩිකාලේ ගමන් යන්න හරි කැමතියි . එහෙම තමයි ඔහු මාව ඉස්සෙල්ලම හමුදාවේ අයෙකුගේ මළගෙදර එක්ක ගියේ . මළගෙදර තිබුනේ නොර්ටන් බ්‍රිජ් වල .එවකට අපි පදිංචි වෙලා හිටියේ රුවන්වැල්ලේ නිසා හැටන්  හරහා තමයි ගමන යෙදුනේ. විචාරකතුමා ඒ මළගෙදරට සහභාගිවුණේ  ඔහුගේ හමුදා ඒකකයේ  මළගෙදර වෙනුවෙන්  සහභාගී වන නිලධාරියා ලෙසයි.  ඉතින් මමත් ඔහුත් බසයෙන් ගිනිගත්හේන නගරට ගිය අතර , හමුදාවෙන් එතැන් සිට මළ ගෙදර දක්වා නිලරථයක්  එවා තිබුණා.  ඔහු එම නිලරථයේදීම නිල ඇඳුම් ද , ඇඳගෙන මා සමග මළ ගෙදරට ගියා. තේ වතු යායක් මැද තනාතිබූ කුඩා නිවසේ  ඔහුගේ දේහය  නොතැබිය හැකි නිසා ටකරං වහලයක් තනා දේහය  තැන්පත් කිරීමට වෙනම ස්ථානයක් තනා  තිබුනා . සෙබළාගේ මෑණියන් පැමිණ විචාරකතුමා සමග ඇඩු කඳුළින් කතා කළා මට මතකයි. කුඩා වයසේ උනත් ඒ දර්ශනය මගේ සිතත් සොලවන්න සමත් වුණා. ඔහොම ඉන්නකොට, එතනට ආපු  විචාරකතුමා  දන්න හමුදාවේ කෙනක් සර්, තේ බොන්න යමු  කියා කතාකරා. ඔහුගේ කීමට ගියත්, විචාරකතුමා  වැඩිය කෑවේ බීවේ නෑ. අර පුද්ගලයා මට කේක් කෑල්ලක් හා ආනමාලු කෙසෙල් ගෙඩියක් දුන්නා. ඒ දවස්වල මට ගමන් යනකොට  වමනේ යනවා . ඒ නිසා විචාරකතුමා බයවෙලා කීව ඔයා ඕවා දුන්නට කමක් නෑ කන්න එපා කියලා ඒ වුනාට ඉතින් මේ මම ඕවා අතේ තියාගන ඉන්න බැරිනිසා කෑවා.  අවසානයේ සියලු  හමුදා  උත්තමාචාර මැද දේහය මිහිදන් කෙරුණා. ඉතින් නැවතත් නිවස බලා සුපුරුදු පරිදි ගමන් ආරම්භ කරපු අපිට ආපසු ගමනේදී නිල රථය නිවස සලටම හමුවුණා. විචාරකතුමාගේ ඔඩොක්කුවේ වාඩිවෙලා හැටන් සිට පල්ලම බහින විට දවල් ඔහු කීදේ සැබෑවක් කරමින් වමනය යාමට සානවා තිබුණි.  කට තදකරගෙන හිටියත් විචාරකතුමාගේ නිල ඇඳුම ද  මගේ ඇඳුම ද ඉවර කරමින් මට වමනේ ගියා. විච්රකතුමා එවෙලේ නම් හිටියේ දැන් මාව වාහනෙන් එළියට දාන සයිස් එකෙන් . මොකද එයා හරි නීට් . ඊට පස්සේ  වාහනේ රියදුරු මහතා කීවා ඔහොම ඉන්ඩ සර් පල්ලෙහා  වංගුවේ පොඩි දිය පාරක් තියනවා එකෙන් හෝදගමු කියලා අවසානේ එතනින් මවත් හෝදලා විචාරකතුමා ඇඳුනුත් මාරු කරලා ගමන පිටත් වුණා. ඊට පස්සේ මට හොඳට නින්ද ගියා. ගෙදර ගිය ගමන් විච්රකතුමා අම්මට මන් ගැන පැමිණිලි කරා . 

විචාරක දියණිය 
13.05 පැයට 

23 July 2017

අනුස්මරණය





තෙමසක් ගතවිය ඔහු අප හැර නික්ම         ගොසින්

ඇරයුම් කරමි ඔබ සැම හට  සැදැහැ           සිතින් 

ඇවිත් යන්න අපෙ නිවසට  බැති                සිතින් 

පින් අනුමෝදම් කරමු ඔහුට සෙනෙහෙ     සිතින් 



දිවංගත විචාරකතුමාගේ  තෙමස්පූර්ණය වෙනුවෙන්  පුණ්‍ය කර්මය ජූලි මස 28 හා 29 දෙදින අප නිවසේ පැවැත්වේ. මේ සඳහා සහභාගී  වන මෙන් ඔබ සහෘද බ්ලොග් සාමාජික සියලු දෙනාට ආරාධනා කරමු .

විචාරක  දියණිය ඇතුළු පවුලේ සැම 


වැඩි විස්තර සඳහා  බ්ලොග් සහෘද ගස්ලබ්බා මහතා අමතන්න . 


20. 45 පැයට  විචාරක දියණිය 





2016 

03 July 2017

මට ජීවිතය කියාදුන් මගේ පියා ........................


ප්‍රතිචාර දැකීමෙන් ලියන්නට සිත් වුවත් රාජකාරිය දේවකාරිය වූ නිසා මෙම සති අන්තය ගතවූයේ අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති විභාග රාජකාරි සඳහාය. 

 නැවතුණු තැනින් .........

       විචාරකතුමා පරිගණකයට මෙතරම් ඇලුම් කළේ ඔහු  Electronic භාණ්ඩ වලට දැක්වූ ඇල්ම නිසාය. කුඩාකල සිට සිය වැඩිමහල් සහෝදරයාගෙන් Electronic පරිපත සැකසීම ඉගෙනගත් ඔහුට  Electronic සම්බන්ධ සියලුම දේ ජානවලින් ලැබී තිබුණේය. මියෙන තුරාවට අප නිවසේ කිසිදු  Electronic භාණ්ඩයක් ඔහුගේ  පරීක්ෂාවෙන් තොරව මිලදීගෙන තිබුණේවත්, අලුත්වැඩියා කතර තිබුණේවත් නැත. ඔහු ඒවා පිටත තැනකට දුන්නේ ඔහුට එය කළ නොහැකිනම් පමණි . මාදිලිය , එහි ප්‍රමිතිය , නිමාව ඔහු සැමවිට අගය කළේය. එහිදී ඔහුට මිල වැදගත් නොවීය. එම නිසා මගේ වයසට සමාන ඇතැම්   Electronic භාණ්ඩ තවමත් අපේ ගෙදර  භාවිතා වේ. ඔහු නව ලෝකයට සැමවිටම ආසාකළ අතර තොරතුරුවලින් සන්නද්ධ විය.

ඔහුගේ  Electronic ආසාව නිසාම ඔහුගේ 50 වැනි උපන්දිනයට මවගෙන්  ඔහුට ලැබුනේ රූපවාහිනී යන්ත්‍රයකි. එයට ඔහු බොහෝ ආසා කළේය .  

ඔහු මට හා මගේ නැගණියට ආදරය හා ආරක්ෂාව සපයන්නට ගත් උත්සාහය අනන්තය. එවකට මා සිවු හැවිරිදි වියේ පසු වූ අතර අප ජීවත්වූයේ කුළි නිවසකය.එහි ලිඳක් තිබුණද , කැළණි ගඟ ආසන්නයේ ජීවත් වූ නිසා නෑම සඳහා ගඟට යාම පුරුද්දක් වී තිබුණි. මේ කාලයේ මා ඉතා දඟකාර බවද පැවසිය යුතුය. කෙස් වෙතත් ඔහුගේ රාජාකාරී ජීවිතය නිසා සැමවිටම අප ළඟ රැඳීමට ඔහුට නොහැකිවිය. දිනක් මව හා අසල නිවසක ළමයෙකු සමග දියනෑමට ගඟට ගිය අතර, ඒ වනවිට අසල්වාසී  බොහෝ දෙනෙක් ද  දියනෑමට ගඟට පැමිණ සිටියහ. ඔවුහු බොහෝ දෙනෙක් ගැඹුරු දියේ සිටියහ. මා වහා වතුරට පැනගත් පසු අම්මා කෑ ගැසුවාය.

අම්මා - ළමයෝ  ගැඹුරට යන්න එපා . ඉක්මණාට නාලා එන්න. 

එය මදකුදු ගණන් නොගත් මමත් ඇයත් ටික වේලාවකින් ගැඹුරු දියට  ගිය අතර ,  අප දෙදෙනාගේ කර වටට පමණ වතුර තිබිණි දෙදෙනාම ඇත අල්ලා සමබරතාව රැකගෙන සිටි අතර, හදිසියේම ඇය මගේ අත අතඇරියාය. සැණකින් දියට වැටුණු මා පහළට ගසා ගෙන යන බව දැනුණි. සැනෙකින්ම මට වැටහුනේ මගේ කටට වතුරපිරෙන බවත් කකුල්  ගැසුවත් වතුර වැඩි නිසා කකුල නොවදින බවත්ය. කෑ ගැසීමට වේර දරන හැම මොහොකම කටට වතුර පිරුණි. අත පමණක් දියෙන් ඔසවා ගැනීමට හකිවූ අතර  මගේ වාසනාවට ගඟේ සෑම කොනකම මා සෙවූ අම්මාට මගේ අත පමණක් දිස්වී තිබුණි. 

අනේ.......... මගේ ළමයා යයි  මව කෑ ගැසූ පසු සියලු දෙනා දුටු අතර , ඊට ඉහළ තොටුපලේ නාමින් උන් මාව දන්නා කෙනෙකු පැමිණණ මාව  හරහට වඩාගෙන ගොස්  බිම තැබූ සැනින් මට වතුර වමනය ගියේය . මගේ මෙන්ම අම්මාගේ නෑමද  අවසන් වූ අතර , ඇය මාවද කැටුව නිවසට පැමිණියාය . ඉන්පසු ටික දිනකින් නිවාඩු පැමිණි මගේ පියා නිවසට ජල සම්පාදනය ලබාගෙන නළ සවිකරන ලදී. එදිනෙන් පසු ඔහු නොමැතිව ගඟට යාම සපුරා තහනම් විය. මා ඉතා බියට පත්වී සිටි නමුත් මට කිසිවක් කීවේ නැත. 

එවැනිම මාගේ වීර ක්‍රියාවක් නිසා වයස අවු 2 දී පමණ මගේ නැගණියගේ කකුලේ  මහපට ඇඟිල්ල දෙකට මැදින් කැඩුණි. සිද්ධිය මෙසේය. එදින සවස සුපුරුදු පරිදි මගේ නැගණියට අහාර ලෙස සුප් කෝප්පයක් දුන් අපේ අම්මා ඇයව සාලයේ තබා මුළුතැන්ගෙට ගියාය. ගෙදර සියලු බිත්ති වලට හා දොර ජනෙල් ආදී සියලු වස්තූන්ට ගුරුවරිය වූ මා  බිත්තියේ යමක් ලිවීමට පැස්ටල් කූරක් රැගෙන ටිපෝව මතට නැග්ගාය . 

බිත්තිය දෙසට වැඩිපුර ඇලවීම නිසා අසමබර වූ ටිපෝව හා මා නැගණිය උඩට වැටුණි. මා ක්ෂණිකව ඉවත් වූ නමුත් ටිපෝදාරයට ඇයගේ දකුණු කකුලේ මහපට ඇඟිල්ල එල්ලෙමින් තිබුණි. ඇය ලතෝනි දෙමින් කෑ ගැසූ අතර , එතනට පැමිණි අම්මා මට දිගට හරහට පහර දී ඇයවද රැගෙන පාරට දිවුවාය. එවෙලේම පැමිණි බයිසිකලයකින් එවකට කරවනැල්ල මූලික රෝහලට ගෙන ගිය අතර , මම මෙහෙකාරිය සමග අඩමින් පාර බලා සිටියෙමි. මා ඉතා බියට පත් වූයේ ඇය මියයාවී යැයි සිතමින්ය . 

මුළු ගමම රෝහලට ගිය අතර සෑම දෙනාම අපාසු පැමිණියත් , මව හෝ නැගණිය පැමිණියේ නැත. අසළ ගෙදරක අයෙක් පැමිණි පැවසුවේ රෝහලේ දෙදෙනාම නවත්වා ගත් බවයි ඉතින් මම අඞමින්ම නින්දට ගියෙමි. එතැන්සිට මාසතුනක් ප්‍රතිකාර ලැබූ පසු දොස්තරවරු පැවසුවේ ඇගේ ඇඟිල්ල වෙන්වූ තැනින් ඉවත් කළ යුතු බවයි . දොස්තරලා සමග මහා  සටනක් කර,  මගේ පියා ඇයව සිය සහෝදරයා සිටි ( Male Nurse) කෑගල්ල මහ රෝහලට ගෙනගොස් ඇඟිල්ල මසා එන්නත් ලබාදී ඇඟිල්ල නොකපා බේරා ගත්තේය. අම්මා රෝහලේ සිටි කාලයේ හැකි අයුරින් මා සමග කාලය ගෙවීමට ඔහු උත්සාහ කළේය. 

ඔහු අපට රසවින්දනය කියා දුන්නේ කුඩාකල සිටය. නිදාගැනීමට යන අතරතුරේදී ඇසීමට සලස්වන්නේ ඔහු විසින් පටිගත කරගන්නා ලද  වේදිකා නාට්‍ය ගීත , පැරණි හින්දි ගීත වැනි දේය. ඒ නිසාම අපිත් ඒ රසට වහ වැටුණි. කෙසේ වෙතත් පරම්පරා ගැටුම සැම විටම පොදු ලක්ෂණයකි. 

එනම් ඔහුගේ පියා ඔහු වික්ටර් රත්නායක මහතාගේ ගීත අහනවාට විරුද්ධ විය . ඔහුගේම වචන වලින් කියතොත්  
මොකාද ඔය වික්ටර් ? යනුවෙන්  විවේචනය කර ඇත. මගේ පරම්පරාවේ දී  අප දෙන්නා 
භාතිය - සන්තුෂ්ගේ ගීත අසනවිට ඔවුන්ව විවේචනය කළේය . 


ගැහැණු දරුවන් ගේ දොර වැඩ නොදන්න්නවා නම් බැනුම් අහන්නේ දෙමවුපියන්ය . මේ ඔහු අප දෙදෙනාට කුස්සියේ වැඩ ඉගැන්වූ ආකාරයයි . ඔහු නිවාඩුවට නිවසට පැමිණි පසු රූපවාහිනිය නරඹන්නේ  ඔහුත් මමත් නැගණියත්ය. දිනක් එලෙස රූපවාහිනී නරඹමින් සිටි අතරතුර ඔහු විසින්  එය ක්‍රියා විරහිත කරන ලදී . අප දෙදෙනාම පුදුමසහගත ලෙස ඔහු  දෙස බැලූ අතර සිනාමුසු මුහුණින් ඔහු පැවසුවේ 

දැන් දෙන්නම කුස්සියට ගිහිල්ලා පැය භාගයක් අම්මාට උදවු කරලා එන්න. එතකන් ටිවී එක බලන්නේ මම විතරයි . 

අප දෙදෙනා කුස්සියට ගියපසු මුලින් මුලින් අම්ම කිසිදු වැඩක් නොදුන් අතර ඔන්න ඔහේ ඉඳගෙන ඉඳලා යන්න කියපු අම්මා පසුව හෙමින් හෙමින් අපට උයන පිහන වැඩ ඉගැන්නුවාය . එහි ප්‍රතිපලයක් ලෙස මගේ නැගණියට කුඩා වයසේම  දරලිප පත්තුකිරීමට හැකිකිවිය . 


අප දෙදෙනාගේ අධ්‍යාපන සාර්ථකවයේදී  ද  නිරතුරුව සතුටු වූ ඔහු අප හැරදා යාම අපගේම අභාග්‍යයකි .................

මතු  භවේදීත් ඔබ මගේ පියා වේවා .........................


විචාරක දියණිය  22. 50 පැයට
 

26 December 2016

කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි

   කාලෝ ෆොන්සේකා මහතා, අපේ රටේ බිහිවූ විද්වතුන් අතර, එක්තරා ආකාරයක විප්ලවීය චරිතයක් බව, ඔබ හොඳින්ම දන්නවා ඇති. ඔහුගේ දේශපාලන දර්ශනය හෝ කාලීනව වෙනස්වන අනෙකුත් ප්‍රතිපත්ති කෙසේ වෙතත්, හේතුවාදී චින්තකයකු ලෙස, 1970 දශකයේදී, ඔහු ලාංකික ජනතාවගේ චින්තනයේ වෙනසක් කරන්නට සමත් වුණා. ඒ තමයි, ලාංකික සමාජයේ මුල්බැස තිබුන මිත්‍යාවක් වන ගිනි පෑගීම, කිසිදු අආගමික වතාවත් කිරීමකින් තොරව, කිසිදු දේව ඇදහිල්ලකින් තොරව, කිසිදු ආගමික හෝ දේව වරමකින් හෝ ආධ්‍යාත්මික බලයකින් තොරව, විද්‍යාත්මක සාධක පමණක් ආධාර කරගෙන,  ඕනෑම කෙනෙකුට කළහැකි බව ඔප්පුකොට පෙන්වීම. 

   මේ දිනවල මට කියවන්නට ලැබුන එක්තරා පොතක් නිසා, මගේ මතකය, 1970 දශකය වෙත ඇදී ගියා. හේතුවාදී චින්තනය පිළිබඳව, එවකට මූලිකත්වය ගෙන ක්‍රියාකළ පුද්ගලයකු වන්නේ, ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර්. ඒ මහතාද මිත්‍යාවට එරෙහිව ජනතාවගේ චින්තනය වෙනස් කරන්නට ඉමහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළා. එවකට පාසල් සිසුන්ව සිටි අප, මේ කරුණු ගැන පුවත්පත්වල පළවුණු ලිපි සෑහෙන ගණනක්,  විශාල උනන්දුවකින් කියවූවා මතකයි. ඒ මහතා ගැන පසුව වෙනම ලිපියක් ලියන්නට සිතා සිටිනවා. 

මට කියවන්න ලැබුන පොත මෙන්න මේකයි.


  මේ  පොත, අද වෙළඳපොලේ මිළදී ගැනීමට තිබෙනවාදැයි, මා දන්නේ නැහැ. නමුත්, බුද්ධි වර්ධනය සහ චින්තනයේ නව පැතිකඩක් විවෘත කරගැනීම සඳහා, අනිවාර්යයෙන්ම කියවියයුතු පොතක් ලෙස, මේ පොත මා නිර්දේශ කරනවා. 

   අද සොයාගන්නට නොහැකි තරම් දුර්ලභ කරුණු රාශියක් කැටිකොට, මේ පොත සැකසීම පිළිබඳව, එහි කර්තෘ, නීතීඥ ධර්මපාල සේනාරත්න මහතාට, මගේ විශේෂ ගෞරවය සහ ස්තුතිය පුදකරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා. 

   හොඳයි, කාලෝ ෆොන්සේකා මහතාගේ ගිනි පෑගිල්ල ගැන, පොතේ තිබෙන පරිච්ඡේදය, එහෙම පිටින්ම මෙහි ඇතුලත් කරන්නේ, එය කිසිසේත් සංස්කරණය කල නොහැකි නිසයි. සංස්කරණය කලොත්, එහි ඇති මූලික රසය විනාශ වෙනවා. ඒ නිසා, ඉවසීමෙන් යුක්තව, පහත දැක්වෙන ස්කෑන් රූප වල ඇති විස්තර කියවන මෙන්, ඔබෙන් කාරුණිකව ඉල්ලනවා. 














































   අද අපේ රටේ, මිත්‍යාව කොතරම් තදින් පැතිරී තිබේද නැද්ද යන්න, ඔබටම සිතාගැනීමට ඉඩ තබා, සමුගන්නවා.

2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }