හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label තාක්ෂණික තොරතුරු. Show all posts
Showing posts with label තාක්ෂණික තොරතුරු. Show all posts

29 September 2016

ඕනේ කෙහෙම්මලක් වෙච්චාවේ............. ඔන්න මම කියලා දෙනවා...................... (පළමුවැනි කොටස)

   සෑහෙන කාලයක් අරෙහට මෙහාට අදිමින් හිටියා. කියලා දෙනවද නැද්ද? දෙනවද නැද්ද? කියලා හිතාගන්න බැරුව.  පහුගිය කාලේ පුරාම, එක කට්ටියක් හරී..........ම ආසාවෙන්, මෙව්වා ගැන කියෙව්වා. අරක මෙහෙම වෙන්නේ කොහොමද? මේක අරෙහෙම වෙන්නේ කොහොමද? අරක මෙහෙම කලොත් මොකද වෙන්නේ? මේක අරෙහෙම කලොත් මොකද වෙන්නේ? කියා කියා ප්‍රශ්න ඇහැව්වා. 

   හැබැයි ඉතිං, පුළුවන් ඔක්කොටම උත්තර දුන්නා.  බලගතු රහස් කියලා හිතන එව්වට, උත්තර නොදී මගහැරියා. සමහරු බැන්නා, 'ඇයි යකෝ මේ රහස් මෙහෙම ප්‍රසිද්ධියේ කිව්වම, මහ විනාසයක් වෙන්න පුළුවන් නේද' කියලා. අනේ අනේ නන්නානේ. බලනකොට සිංහලෙන් අන්තර්ජංජාලේ සැරිසරණ එවුන්ට විතරයි තහනම්. වෙනත් බාසා වෙල්ලන්ට භාෂා පාවිච්චි කරන්නන්ට තහනමක් නෑ. ඔන්න ඔහේ, ඕනේ කැකිරි ගෙඩියක්/කැකිරි වත්තක්/කෙහෙම්මලක්/ජංජාලයක්/මගුලක්/ඉලව්වක්/වෙන්න කියලා, අදනම් ඉන්තේරුවෙම්ම/සහසුද්දෙම්ම/හොරබොරු/ගුරුමුෂ්ටි/නැතුව, (හෝව් හෝව්, පොඩ්ඩක් ඇතුව)  කියන එක කියනවා, බොක්කටම වදින්ඩ ඕං.

   මොකක් ගැනද? ඇයි හිතාගන්ඩ බැරිද? අර අරක ගැන. ඔව්, අම්මපා, ඒක ගැන. මෙච්චරකල් වෙන එව්වා ගැන කිව්වට, මේක හංගගෙන හිටියේ, 'හොඳ නෑ නේ ඉතිං' කියලා හිතලා. බලනකොට මේ අපි අතරෙම ඉන්න, මීමින්නෝ, අංකුට්ටෝ, හාල් දන්ඩෝ, කුණකටුවෝ, පඟරනැට්ටෝ, පොල් ඇච්චෝ, හොච්ච දිග්ගෝ, කංකුනාලෑ ඇත්තෝ,  බොට කඳාලා, ඔක්කොම දන්නවා. මේ තමුන්නැහැල වගේ පෘතග්ජනයෝ විතරයි නොදන්නේ. ඒ නිසා, තමුන්නාන්සේලාගේ පහන් සංවේගය හෙවත් ලාම්පු කණගාටුව සඳහා, ඔන්න අද කියනවා, කියනවා, කියනවාමයි. 

   හෝව් හෝව්, ඔච්චර තදවෙන්ඩ කාරී නෑ. මෙව්වා මෙහෙම මේ ඒකෑවර, සුටුස් ගාලා, කියන්ඩ පුළුවන් දේවල් නෙවෙයි. හුද්ද හිංගලෙන්, තාර බර ඇරලා, ලුණු ඇඹුල් දමා, පත අට එකට සිඳලා තමයි, කියන්ට ඕනැන්නේ. මෙන්න කටන්තරේ හෙවත්, මාතෘකාව හෙවත්, විෂයය හෙවත්, වෙන මොකක්හරි කමක් නෑ, අන්න ඒ අහවල් එක තමයි. 





   හෙහ් හෙහ් හෙහ්, කොහොමද? සුපිරියි නේද? 

  ඉතිං මහත්තයෝ මට බැනලා වැඩක් තියේද? මෙව්වා හදන්නේ ජීවිත නැති කරන්න තමයි. මෙව්වා ඉගෙනගත්තට, මොළේ තියන එවුන්, මෙව්වා හොයාගෙන මිනීමරන්න යන්නේ නැහැනේ. 

   මං මහත්තයලට කියලා දෙන්නේ, මෙන්න මෙහෙම දෙයක් තියනවා, ඒක මේවගේ ක්‍රියාකරනවා කියන ටික විතරයි. ඒ ගැන පොතේ දැනුමක් පමණයි දෙන්නේ. 

   කවුරු හරි හිතනවානම්, මේක බලලා, මේ ජාතියේ එකක් අරන්, පට පට ගාලා වෙඩි තියන්න පුළුවන් කියලා, ඒක නිකම්, දෙකොනින් හිනායන විහිළුවක් විතරයි. මේක හරියට ඉගෙනගන්න නම්, ප්‍රායෝගික පාඩම් පහක් තියනවා. එව්වා නොකර, මේ ලිපියක් කියවලා, මෙව්වා පාවිච්චි කොරන්න බැහැ. ගැස්සෙන පාරට, උරහිස් ඇටේ, (ඔව් සමහරවිට තවත් ඇට) කඩාගන්නවා විතරයි. 

   මෙව්වා එකක් හොයාගෙන, තමන්ගේ සතුරන් මරන්න හිතන කෙනා, මේ වගේ එකකින්ම නහිනවා. ඒකත් මතක තියාගන්නවා හොඳයි හිටං. 

විශ්මයජනක AK 47 ප්‍රහාරක රයිෆලය 

   හොඳයි, එහෙනම් අපි අද කතාකරන්නේ ඒ.කේ.47 ප්‍රහාරක රයිෆලය ගැනයි. AK 47 Assault Rifle. මා හිතන්නේ, යුද අවි පිළිබඳව, අවසාන වරට මා ඔබ සමග සාකච්ඡා කළේ, මෙන්න මේ ලිපියෙන්.  AK 47 අවිය ගැන ඔබ බොහෝ දේ දන්නවා. නමුත් ඒ දැනුම, තහවුරු කළ දැනුමක් බවට පත් කරන්නයි, මා උත්සාහ කරන්නේ. අද, පාසල් ශිෂ්‍යභටයන්ටත් මේ අවිය ගැන දැනුමක් ලබාදෙනවා. අපිනම්, පාසල් ශිෂ්‍යභටයන් හැටියට හිටපු කාලේ, ඉගෙනගත්තේ මෙන්න මෙව්වා

මේ ලිපිය ලියන්න කලින් ඔබට එක් කරුණක් අවධාරණය කළ යුතුයි. මෙම රයිෆලය ගැන කරුණු විස්තර කිරීමේදී, සෑමවිටම, අවියේ ඒ ඒ කොටස් පැහැදිළිව පෙන්වීම සඳහා, AK 47 වර්ගයේම රයිෆලයක පින්තූර සොයාගන්න අමාරුයි. ඒ නිසා, සමහර ස්ථාන වලදී පෙන්වන්නේ, ඊට ආසන්න, T 56 හෝ එවැනි නිෂ්පාදනයක පින්තූර වියහැකියි. නමුත්, එයින් ඔබේ දැනුමට බාධාවක්, අඩුපාඩුවක් , වන්නේ නැහැ.


AK 47 බිහිවීම 

    ඉතා කෙටියෙන් කියන්නේ. 

   දෙවැනි ලෝක සංග්‍රාම සමයේදී රුසියානු හමුදා, ජර්මානු ආක්‍රමණික හමුදා ඉදිරියේ පසු බසින ලද අවස්ථා බොහොමයි. මෙයට ප්‍රධාන හේතුවක් වුණේ, ජර්මානු හමුදාව සතුවූ, Sturmgewehr 44 හෙවත්, STG 44 යන කෙටි නාමයෙන් හැඳින්වුන, (ජර්මානු භාෂාවෙන් ප්‍රහාරක රයිෆලය, මෝස්‌තර අංක 44) ස්වයංක්‍රීය තුවක්කුවේ ප්‍රහාරයට මුහුණදීම, රුසියානු හමුදාවට, විශාල අභියෝගයක් වීමයි. 







  මේ කාලය වනවිට රුසියානු හමුදාව පාවිච්චි කලේ රුසියාවේ නිෂ්පාදිත,  PPSh-41 නමැති සබ් මැෂින් තුවක්කුවයි.






  දෙවැනි ලෝක සංග්‍රාමයේ අග භාගයේදී, එනම් 1945 දී පමණ, STG 44 තුවක්කුව දැකීමෙන් රුසියානු හමුදාව විශ්මයට පත්වුණා. STG 44 තුවක්කුවේ හැඩය, ක්‍රියාකාරිත්වය, රුසියානුවන් තුළ ලොකු ආසාවක් ඇති කළා. 

   රුසියානු PPSH 41 තුවක්කුව කෙටියි. එයට යෙදුවේ, කුඩා උණ්ඩයක්. 




   නමුත් STG 44 තුවක්කුව, දිග බටයකින් යුක්ත වූවාසේම, ලොකු උණ්ඩයක්ද යෙදිය හැකිලෙස නිපදවා තිබුණා. 


   වේගවත් ක්‍රියාකාරිත්වය, මීටර් 300 ක පමණ දුරකට සාර්ථකව වෙඩි තැබිය හැකි වීම, වැනි හේතු නිසා ද STG 44 වඩාත් දියුණු අවියක් බව පෙනීගියා.  මේ අවියට සටනක් දීමට හැකි අලුත්ම අවියක් නිපදවීම සෝවියට් දේශයට මහත් අභියෝගයක් වුණා. 

   ඒ අභියෝගය බාරගත්තේ, AK 47 අවියේ නිර්මාතෘ, දැනට වසර තුනකට පෙර අභාවප්‍රාප්ත වූ,  ලුතිතන් ජෙනරල් මිඛායිල් කලෂ්නිකොව් විසින්.



   දෙවැනි ලෝක සංග්‍රාමයේදී තුවාල ලබා, රෝහල්ගතව සුවය ලබමින් සිටියදී, කලෂ්නිකොව් ගේ යාබද ඇඳෙහි සිටි සොල්දාදුවා, ඔහුගෙන් මෙහෙම ඇසුවා.

 'හැම ජර්මන් සොල්දාදුවාටම මැෂින් තුවක්කුවක් තියනවා. අපේ සොල්දාදුවන් දෙතුන් දෙනෙකුගේ කණ්ඩායමකට විතරයි මැෂින් තුවක්කුවක් තියෙන්නේ. ඒ ඇයි?'

   මෙය කලෂ්නිකොව්ගේ සිතෙහි තදින්ම කිඳා බැස්සා. ඔහු අධිෂ්ඨාන කරගත්තා, සෑම රුසියානු සොල්දාදුවකුම, විශිෂ්ඨ ගණයේ මැෂින් තුවක්කුවකින් සන්නද්ධ කිරීමට. 1946 සිට ඇරඹි ඔහුගේ පර්යේෂණ නිමාවුනේ, 1947 දී Avtomat Kalashnikov = AK අවිය නිපදවීමෙන්. (රුසියානු භාෂාවෙන් අව්තමාත් යනු ඉංග්‍රීසි භාෂාවේ ඔටෝමැටික් යන තේරුමයි) 

   මෙහි සඳහන් නොකළ තවත් විස්තර රැසක් තිබෙනවා. ඊළඟ කොටසේදී හෝ, අවශ්‍ය වුනොත් ඔබේ අදහස් වලට දෙන පිළිතුරු වලින්, ඒ තොරතුරු කියන්නම්. 

2016 සැප්තැම්බර් මස 29 වැනි දින 0053 පැය 

26 September 2016

මෙයාව මැරුවේ කොහොමද?

   මෙයා ගැන අමුතුවෙන් හැඳින්වීමක් කරන්න අවශ්‍ය නැහැ නේද? මට නම් මෙයා පත්තරකාරයෙක්.  මෙයාව හඳුන්වන්න වෙනත් මහ බර වචන මට නම් අවශ්‍ය නැහැ. මෙයා ඒ කාලේ පත්තර වලට ලියපු බොහොමයක් තොරතුරු මා කියවා තිබෙනවා. ඒවා සියල්ල පරම සත්‍යය ලෙසත්, සමබර හා සාධාරණ ප්‍රවෘත්ති ලෙසත් පිළිගන්නට මා සූදානම් නැහැ. නමුත් බහුතරය සාධාරණ විවේචන බව මා පිළිගන්නවා. ඔහුගේ දේශපාලන දර්ශනය කුමක්ද යන්න මට වැදගත් නැහැ. මට වැදගත් වන්නේ, ඉතා අවාසනාවන්ත ලෙස ඔහු ඝාතනයට ලක්වීමයි. 

   2009 ජනවාරි මස 8 වැනි දින, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන්නේ ලංකාවේ දේශපාලන අවකාශය තුළ මෙන්ම ජනමාධ්‍ය අවකාශය තුළ ද, මහත් කම්පනයක් ඇතිකරමින්.

   ඔහුගේ ඝාතනය පිළිබඳව දැනට කෙරීගෙන යන පරීක්‍ෂණ අනුව, ඔහු යම් යම් රාජ්‍ය රහස් දැනසිටි බවත්, එම රහස්, මේ රටේ මහජනතාව වෙත හෙළිවීම වලක්වා ගැනීම සඳහා, ඔහුව ඝාතනය කරන්නට ඇතැයි සිතන්නට සාක්‍ෂි ඇති බවත්, ජනමාධ්‍ය ඔස්සේ කියවෙනවා. 

   මාධ්‍යවේදීන් ඝාතනය කිරීම ලංකාවට පමණක් සීමාවූවක් නොවෙයි. ඒ සඳහා කුප්‍රකට රටවල්, ලෝකය පුරා තිබෙනවා. ලංකාවත් එවැනි කුප්‍රකට රටක්. රිචඩ් ද සොයිසා ඝාතනයෙන් තමා, ඒ කුප්‍රකට බව, ලොව පුරා පැතිරීම ආරම්භ වුනේ කියා මා හිතනවා. 

   හොඳයි, දේශපාලන කරුණු පැත්තක දමා, මේ ලිපියෙන් මා අදහස් කරන්නේ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන්නට ඇත්තේ කෙසේද යන්න පිළිබඳව, මා අනුමාන කරන කරුණු, ඔබේ දැනගැනීමට ලක්කිරීමයි. 

   මෙම ඝාතනය සිදුවූ කාලයේදී කියවුනේ, වෙඩි තැබීමකින්, ඔහු ඝාතනය වී ඇති බවයි. පසුව පළවූ පුවත් අනුව, යම් ආයුධයකින් ඔහුට ඇනීමෙන්, ඝාතනය කර ඇති බවට තොරතුරු පළවුනා. ඉතා මෑතකදී පලවූ විවිධ තොරතුරු කීපයක් මෙසේයි.

* උල් ආයුධයකින් අනින්නට ඇතැයි යන සැකය.

* විශේෂයෙන් සකසාගත් සිහින් දිග ලෝහමය කූරක් වැනි දෙයකින් අනින්නට ඇතැයි යන සැකය.

* දිය යට කිමිදී මසුන් දඩයම් කිරීම සඳහා පාවිච්චි කරන තුවක්කුවක් (Speargun) වැනි ආයුධයකින්  පහර දෙන්නට ඇතැයි අනුමාන කිරීම.


* ආරක්ෂක හමුදා සතු යම් විශේෂ අවියකින් පහර දෙන්නට ඇතැයි අනුමාන කිරීම.  (හෙල්ලයක් වැනි ආයුධයක්. එයින් පළමුව ඇන දෙවනුව එහි ඇති උපක්‍රමයක් ක්‍රියාත්මක කිරීමෙන් මරණීය තුවාල ඇතිකළ හැකි ආකාරයේ අවියක්)

   මෙවැනි අවි ලංකාවේ ආරක්ෂක හමුදා සතුව ඇත හෝ නැත කියා ස්ථිරව කියන්නට මම නොදනිමි.  නමුත් එවැනි අවියකට සමාන අවියක්වත්, කිසිදු හමුදා අංශයක් සතුව තිබෙනු මම දැක නැත්තෙමි. මා හිටපු හමුදා සාමාජිකයකු වුනත්, මා නොදන්නා බොහෝ දේ, හමුදාව තුළ එදත් තිබෙන්නට ඇති, අදත් තිබෙන්නට පුළුවන්. 

   ඉහත ප්‍රකාශයන් සියල්ල පදනම් කරගනිමින් මා උත්සාහ කරන්නේ, ඔබේ දැනුමට යමක් එකතු කිරීම, මේ පිළිබඳව ඔබ සතු දැනුමෙන්, මම ද යමක් ඉගෙනගැනීම, මේ පිළිබඳව හරවත් සංවාදයක් ගොඩනැගීම, යන අපේක්ෂාවන් ඉටුකර ගැනීමටයි. 

1. උල් ආයුධයකින් අනින්නට ඇති 

  අනේ මන්දා, ඒ කියන්නේ පිහියකින් ඇන්නා කියලද? එහෙම තුවාල නෙවෙයිනේ තිබිලා තියෙන්නේ. ඒ නිසා ඒ කතාව එතනින් අතාරිනවද? හැබැයි දැන් කාලේ මහා භයානක පිහියා ජාති තියනවා. 

   මේ වීඩියෝ එක බලන්නකෝ. මේ පිහියේ මිටට උණ්ඩයක් දාලා, වායු පීඩන බලයක් ලැබෙන, මහ අමුතු වෙඩි තැබීමක් කරන්න පුළුවන්. වීඩියෝ එකේ ආරම්භයේ සිට, 1.15 වෙලාව දක්වා බැලුවම ඇති.



   මේ ඇන්නේ වතුර බෝතලේකට නේ. මීට වැඩිය ටිකක් තද දේකට ඇන්නොත් මොකද වෙන්නේ? මේ බලන්නකෝ. තත්පර 54 යි. ඒ නිසා ඔක්කොම බලන්න.





   දැන් මොකද හිතෙන්නේ? මේ වගේ එකක් පාවිච්චි කරන්න ඇද්ද? හ්ම්......... ඒක තමා මටත් හිතෙන්නේ. තීරණයක් ගන්න අමාරුයි.

2. යකඩ කූරකින් අනින්න ඇති

   එහෙමත් අනියිද? මේ වැඩේට ඇවිත් තියෙන්නේ නිකං තුට්ටු දෙකේ, බජාර් එකේ අයියලා නෙවෙයි. ටිකක් වැඩකාරයෝ. ටිකක් නෙවෙයි ඉතිං හොඳම වැඩකාරයෝ. කොන්ක්‍රීට් වලට දාන යකඩ කූරක් උල් කරගෙන ඇවිත් අනින්න තරම්, උන් මෝඩ නැහැ. ඒ නිසා මම ඒ අදහස එතැනින්ම අතහරිනවා. නමුත් ඔබට පුළුවන්, මගේ අදහසට විරුද්ධව අදහස් දක්වන්න. 

3.  මසුන් මරණ තුවක්කුවකින් හෝ ආරක්ෂක හමුදා සතු ඒ ආකාරයේ විශේෂ ආයුධයකින් පහර දීම 

   හ්ම්............ඔන්න ඔතන නම් සලකා බැලිය යුතු කරුණු බොහොමයක් තියනවා. ඉස්සරවෙලා බලමුකෝ ඔය මාළු මරණ/අල්ලන දියයට තුවක්කුවේ වැඩකිඩ. දිය යට තුවක්කුව වැඩකරන්නේ මෙන්න මෙහෙමයි. විනාඩි 2.15 යි.



   මේ බලන්න, ප්‍රහාරයක් සඳහා මේ තුවක්කුව සූදානම් කරන හැටි. විනාඩි 1.28 යි.



   ඊළඟට බලමු, කොහොමද දඩයමක් කරන්නේ කියන එක. විනාඩි 1.20 දක්වා බලන්න.



   මේ තුවක්කුව ගොඩබිමදීත් පාවිච්චි කරන්න පුළුවන් කියන එක ඔප්පුවෙන සාක්ෂියක්, මේ වීඩියෝ එකේ තියනවා. පළමුවැනි තත්පර 58 බලන්න. 



දැන්, මෙන්න මේ වාර්තාව කියවා බලන්න.



   දැන් මොකද හිතෙන්නේ? ලසන්තගේ එක් ඇසක් හරහා ගිය ලෝහ උලකින්, ඔහුගේ මොළයට සිදුවූ හානි නිසා, ඔහු මියගිය බව, මෙහි සඳහන් වෙනවා. 

   මට මතක්වෙනවා, කලකට ඉහතදී මා දුටු ඉංග්‍රීසි චිත්‍රපටියක්. මම ඒ චිත්‍රපටියේ නම (ජේම්ස් බොන්ඩ් එකකද මන්දා) මතක් කරන්නටත්, ඒ ජවනිකාවේ දැක්වෙන අවිය ගැන සොයන්නටත් දරන ලද උත්සාහයන්, ව්‍යර්ථ වුණා. ඒ අවියෙන් යමෙකුට ඇන, එහි මිටේ තිබෙන බොත්තමක් එබුවම, අවියේ තුඩේ අගින්, තියුණු කුඩා තල කීපයක්, මලක් පිපෙන්නාක් මෙන් විහිදෙනවා. එවිට අවිය ඇදලා ගත්තම, විශාල හානියක් කරගෙනයි අවියේ තුඩ එලියට එන්නේ. 

   ඉතිං, ලසන්තව මරන්න ඇත්තේ කොහොමද? මා හිතනවා මේ ගැන පරීක්‍ෂණ කරන අපේ ආරක්ෂක අංශ විසින්, වැඩිකල් නොගොස් මෙහි ඇත්ත නැත්ත සොයාගනු ඇතැයි කියා. 

2016 සැප්තැම්බර් මස 25 දින 2356 පැය 

01 August 2016

යුද්ද කෑගැහිල්ල. හෑ.....ඒ මොකක්ද?

   හෙහ් හෙහ් හෙහ්, යුද්දෙට ගියාම සද්දේ වැඩක් නෑ. යුද්දේ තමයි කරන්ඩ ඕනේ. නමුත් ඉතිං දැක්කනේ පහුගිය කාලේ, යුද්දෙයි සද්දෙයි දෙකම තිබුණා. සමහරු කටින් යුද්ද කළා. සමහරු කොළඹ සීතල කාමරවල ඉඳගෙන යුද්ද කළා. සමහර 'මාජ්ජ' කොළඹ ඉඳගෙන, අනුන්ගෙන් තොරතුරු අහගෙන ලිව්වා, මහා යුද වාර්තා හෝ ගාලා.  අපේ රටේ සමහර අහිංසක ජනතාව, ඒ වාර්තා, ජාතක කතා වගේ විශ්වාස කළා. අනේ මන්දා, සිංහල රජකාලෙන් පස්සේ දිනුව ලොකුම යුද්දේ දිනලත්, අපිට තවමත් බැරිවුනා හරියට මිනිස්සුන්ගේ සිත් දිනාගන්ඩ. අන්න ඒක කළ දාට තමයි, යුද ජයග්‍රහණය තහවුරු වෙන්නේ. ඒ සඳහා සෑම ජාතියක්ම, සෑම දේශපාලන පක්‍ෂයක්ම යම් යම් පරිත්‍යාග කලයුතුයි. ඒක තමයි, ජයගතයුතු ලොකුම යුද්දේ. 

   හොඳයි, ඒ කතාව එතනින් නවත්වා, මා කැමතියි, ඔබව අද මාතෘකාව වෙත කැඳවාගෙන යන්නට. මම මාතෘකාවේ සඳහන් කළ, යුද්ද කෑගැහිල්ල කියන වචනය, ඒ ආකාරයෙන් ඔබ අසා නැතුව ඇති. නමුත්, 'Battle Cry හෙවත් යුද ඝෝෂාව' (රණ ඝෝෂාව, රණගොස) යන්න, ඔබ මීට පෙර අසා ඇති.  ඔබ දන්නවා නේද, වෙහෙසවී කරන යම් යම් වෘත්තීන්හිදී, වැඩකිරීමේ වෙහෙස නිවාගන්නට, කම්මැලිකම දුරලන්නට, අලසව වැඩ කරන අය අවදි කරන්නට, සාමූහිකව යොදන මිනිස් බලය ඒකරාශී කරන්නට,  මිනිසා විවිධ හඬ නගන බව? 

   උදාහරණ ගොඩක් කියන්න පුළුවන් නේද? ගොවිතැනේදී, ධීවර කර්මාන්තයේදී, කරත්ත වලින් භාණ්ඩ ප්‍රවාහනයේදී, ඔරු වැනි ජලයාත්‍රා පැදවීමේදී, පතල් කර්මාන්තයේදී, එවැනි හඬනැගීම් කෙරෙනවා. මේවා යම් ආකාරයක ගායනා ස්වරූපයෙන් හෝ එකවර ජවය යෙදවීම සඳහා කෙරෙන, සාමූහික හඬනැගීම් වන්නට පුළුවන්. 

   අදත් අපේ පිරිස්, ලොකු බරක් එසවීමට හෝ තල්ලු කිරීමට උත්සාහ ගැනීමේදී, 'හා ඕං එහෙනං, හා ඕං, හා ඕං ඇල්ලුවා, වැනි කෑගැසීම් භාවිත කරනවා නේද? 

   ඒ විතරක් නෙවෙයි, මතකද බිග්මැච් කාලෙදි, විරුද්ධවාදී පාසලට 'පරිප්පුවෝ' ආදී උපහාර වචන කියමින්, තමන්ගේ පාසලට ජයවේවා,...............කොල්ලො වසයි, යකඩ කඳන් දෙකට කඩයි' ආදී වශයෙන් යුද ඝෝෂා කරපු හැටි. 



   හෙහ් හෙහ්, බාලිකා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල බලන්න ගිහින් අනේ.......(කැමති නමක් දාගන්න) 'හයියෙන් ෆාස්ටර්'.........කියපු හැටි. 



  ඇයි ඉතින්, අදත් ඔය යන්නේ එක එක යාත්‍රා, 'කාගෙද මේ බලවේගේ - අපෙ තොම්මගෙ බලවේගේ' (බලුවේගේ?) කියා කියා. එව්වත් එක ජාතියක යුද ඝෝෂා තමයි, බලාගෙන යනකොට. 

   කෑගැසීම් කියනකොට මතක්වුණේ, මා, ලංකාවේ බටහිර වෙරල ආශ්‍රිත, ධීවර ගම්මාන පිහිටි ප්‍රදේශයක රාජකාරියේ යෙදී සිටියදී, දැල් ඇදීම සඳහා ප්‍රමාදවී පැමිණි තම මවට, තම පියා ඉදිරිපිටදීම, පුතකු ඇමතූ වදන් මෙහි ලියන්නට බැහැ. නමුත් මා පුදුමයට පත්කළ කාරණය වුණේ, ඒ පියාටත්, ඒ මවටත්, ඒ ගැන කිසිදු තැකීමක් නොවීමයි. ඒ මව, ඒ වදන් ඇයට කිව්ව ඒවා ලෙස නොසලකා, දැළ ඇදීමට පටන්ගත්තා. 'දේසේ හැටියට බාසේ' කියනවානේ.

   ඉතිං යුද්ද කරනකොටත් ඒ වගේ කෑගහනවද? අපොයි ඔව්, සතුරු ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර දෙනවිට, අපි සතුරු කඳවුරකට පහර දෙනවිට, 

'වම්පැත්ත බලපල්ලා වම්පැත්ත........'

'3 ඉලක්කමට RPG ගහපන්, එතන ගෘප් එකක් ඉන්නවා වගේ.....'

'ඉස්සරහින් වේව් ඇටෑක් එකක් එනවා වගේ, බලාගෙන හිටපල්ලා......'  

'ඇමෝ ඉවරවේගන යන්නේ, ඇමෝ එවපල්ලා........' 

'උන්ගේ බංකර් වලින් ෆයර් එකක් එනවා.......කවර් අරගෙන ගහපල්ලා.....'

   වගේ කෑගැහිලි සිද්දවෙනවා.  

   ඒ විතරක් නෙවෙයි, සතුරු කඳවුරක් වැනසුවාම, ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ, අපේ කට්ටිය දෙනවා හූවක්, පළාත දෙදරන්න. ඕනෙනම්, අහසට පොකුරු වෙඩි ටිකකුත් තියනවා. සමහර වෙලාවට කෑගහලා නවත්තන්නේ, 'යකෝ ඔය ඇති, හොඳට බලාපියව් වටේ හැමතැනම, හැංගිච්ච එවුන් ඉන්නවද කියලා' කියලා තමයි නවත්තන්නේ.  

   නමුත් මම කියන්න යන්නේ, ඊට වඩා වෙනස් යුද ඝෝෂාවක් ගැන. ඉතා ඈත අතීතයේදී, මිනිසා, කඩු, දුණු, හෙල්ල, වැනි ආයුධ වලින් සටනට යද්දී, තම හමුදාවේ අභිමානය, බලය, ශක්තිය, සතුරා වෙත පෙන්වා සතුරා බියපත් කිරීම සඳහා යම් සාමූහික කෑගැසීම් කළා. මෙය හරියට සමාන වන්නේ, නවසීලන්තයේ ආදිවාසීන් ලෙස සැළකෙන, මඕරි ගෝත්‍රිකයන් විසින් ඉදිරිපත් කරන, හාකා නමැති, සාම්ප්‍රදායික චාරිත්‍ර විධික්‍රමයටයි. 

   


ඇයි මේ විදිහට යුධ ඝෝෂා පවත්වන්නේ? හේතු කීපයක් තියනවා. 

1. තමන්ගේ කණ්ඩායම් හැඟීම සහ චිත්ත ධෛර්යය වර්ධනය කරගැනීමට.

2. සතුරා වෙත තර්ජනාත්මක සහ බියවැද්දීමේ බලපෑමක් ඇතිකිරීමට.

3. ප්‍රහාරය වඩාත් බලවත් ලෙස සතුරා වෙත එල්ල කිරීම සඳහා සියලු දෙනාගේ අවධානය ඒකරාශී කිරීමට. 

   යුධ ඝෝෂා පැවැත්වීම, ලෝකයේ සෑම මහාද්වීපයකම පාහේ ජීවත්වන, ජාතීන්/ගෝත්‍ර අතර, ඉතා ඈත අතීතයේ සිට තිබුණු චාරිත්‍රයක් බව, පුරාවෘත්ත වල සඳහන් වෙනවා. ඒ සෑම එකක්ම, මෙහි විස්තර කරන්නට මා අදහස් කරන්නේ නැහැ. 


   මේ ආකාරයට තම අභිමානය විදහා දැක්වූ/දක්වන, වෙනත් ජාතීන්ගේ යුද ඝෝෂාව ගැන, මෙතැන් සිට කරුණු ඉදිරිපත් කරනවා.



   
   ඇමරිකානු සිවිල් යුද්ධ සමයේදී මෙවැනි යුධ ඝෝෂා ඉදිරිපත් කර තිබෙන්නේ ගීතමය ස්වරූපයෙන්. විශේෂයෙන් යුදජයග්‍රහණ සැමරීම සඳහාත්, එවැනි ගීත සකසා තිබෙනවා. මේ ගීතය ඔබේ පැරණි මතකය අවදි කරනු ඇති. තත්පර 40 ක් ඇහුවම ඇති.




   පහත දැක්වෙන වීඩියෝවේ තිබෙන්නෙත්, ඇමරිකානු සිවිල් යුද්ධයේ ප්‍රවීනයන්ගේ හමුවකදී ඔවුන් එදා කල යුධ ඝෝශාව නැවත කර පෙන්වීමක්.





මේ විදිහට යුධ ඝෝෂා කරමින්, අතීතයේදී, සටනක් සිදුවන්නට ඇත්තේ, පහත දැක්වෙන, ඉතා කෙටි වීඩියෝවෙන් පෙන්වන ආකාරයටයි.




    
   මෙන්න තියනවා බලන්නම වටිනා යුධ ඝෝෂාවක්. රෝමන් අධිරාජ්‍යයේ සෙබළු යුධ ඝෝෂාව කළේ, තම පළිහ, මුහුණට ඉදිරියෙන් අල්ලාගෙනලු. එවිට ඝෝෂාවේ දෝංකාරය වැඩිවෙනවලු. මේ බලන්න, 1964 වර්ෂයේදී තිරගතවූ, 'The fall of the Roman Empire' චිත්‍රපටියේ, එවැනි අවස්ථාවක්.




 රෝම යුධ ඝෝෂාව හැඳින්වුණේ, 'බැරිටස් Barritus' යනුවෙන්. පැරණි රෝම මූර්තියක එවැනි අවස්ථාවක් දක්වා ඇති අයුරු, පහත දැක්වෙනවා.


  ඇමරිකානු නිදහස් සටනේදී, ඒකාබද්ධ හමුදාව විසින් නිර්මාණය කරගත්, ඇඟ කිලිපොලා යන යුධ ඝෝෂාවක් තිබුනා. මෙන්න අහන්න. තත්පර 8 යි ගතවෙන්නේ. මෙය හැඳින්වුණේ Banshee Yell යනුවෙන්. බාන්ෂී කියන්නේ, වියරු හඬින් කෑගසන අවතාරයක්ලු. 






  පැරණි ග්‍රීක සම්ප්‍රදාය අනුව සටනක් සඳහා සටන් බිමට යනතුරු, ග්‍රීක බලසේනා, විවිධ යුද ගීත ගායනා කළ බව, පුරාවෘත්ත වල සඳහන් වෙනවා. සටන් බිමට පැමිණ සතුරා සමග ගැටෙන්නට පෙර, ඔවුන්, තම කඩුව හෝ හෙල්ල, තමන්ගේ පළිහේ ගටමින්,  සියලු දෙනා එකවර 'අලාලා - එලේලූ' යනුවෙන් යුද ඝෝෂා පවත්වා තිබෙනවා. 




  දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී, 1942 වර්ෂයේ මුල් භාගයේදී, ජර්මානු හමුදාව විසින්, රුසියාවේ ස්ටැලින්ග්‍රාඩ් නගරය වටකර, තම ආධිපත්‍යයට නතු කරගත් අතර, ටිකෙන් ටික ඉදිරියට යමින්, රුසියාව සිය ග්‍රහණයට ගැනීමට උත්සාහ කළා. එහෙත්, රුසියානු නායක ජෝසෆ් ස්ටාලින් විසින්, රුසියානු රතු හමුදාවේ ප්‍රතිපත්තියක් ලෙස පවත්වාගෙන ගිය, 'එක පියවරක්වත් පසුපසට නොයනු' යන ආදර්ශ පාඨය ක්‍රියාවට නැංවූ රතු හමුදාව, සෑමවිටම, 'වොල්ගා නදියෙන් මෙහා අපට මව්බිමක් නැත' යන පාඨය හඬ නගා කියමින්, සටනට එළඹුනා. එම පාඨය, ඒ කාලයේ යුද ඝෝෂාවක් ලෙස සැලකෙනවා. ඉහත සඳහන් පාඨ,  ස්ටැලින්ග්‍රාඩ් නගරය ගලවාගත් යුද විරුවන් සමරන ස්මාරක වලද සටහන් වෙනවා. 




   ජපන් රටටත් සෑහෙන යුද ඉතිහාසයක් තිබෙන බව, ඔබ දන්නවා. ජපන් අධිරාජ්‍යය දෙවැනි ලෝක මහා සංග්‍රාමයට එළඹෙන්නට පෙර සිටම, විවිධ සටන් වල යෙදී තිබෙනවා. ඔවුන්ගේ යුද ඝෝෂාවට අදාළ ප්‍රධාන හඬ නැගීමක් වුනේ, Banzai යන වචනයයි. මෙහි තේරුම, 'වසර දස දහසක්' යන්නයි. පසුකාලීනව මෙම වචනයද ඇතුලත්ව, ජපන් හමුදාව සකස් කරගත් යුද ඝෝෂාව වුනේ, 'Tenno Heika Banzai' යන්නයි. මෙයින් අදහස් කලේ, 'අධිරාජයා දිගුකල් වැජඹේවා' යන අදහසයි. තම සිරුරේ බෝම්බ බැඳගෙනගුවනින් ගොස්, සතුරු නැව් වල දුම් කවුළුවට පැන, මරාගෙන මැරෙන, කමිකාසේ සටන් කරුවන්, එසේ පැන්නේ, මේ ඝෝෂාව කියමින්ලු.
   


  මා හිතනවා, යුද ඝෝෂාව යනු කුමක්ද යන්න අවබෝධ කරගැනීමට, මේ කරුණු ඔබට ප්‍රමාණවත්වේයැයි කියා. අද කාලෙදී නම්, කිසිම හමුදාවක්, මෙවැනි යුද ඝෝෂා පවත්වන්නේ නැහැ. 

   හැබැයි, යුද ඝෝෂාවක් ගැන, මේ වෙලාවේ මතක්වුන, පුංචි කතාවක් කියන්නම්. මේක ඇත්ත කතාවක්.



     දන්නවනේ උඩින් ගිහින්, රෙදි ගොට්ටෙන් පැනීම. ඔව් ඔව්, ඉතින් ඒක ගොට්ටක් වගේ නේ. ඔය ගොට්ටෙන් පැනිල්ල උගන්නන්නත්, ඉගෙනගන්නත්, බොහොම මහන්සි වෙන්න ඕනේ. ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකින් සමත් වෙන්නත් ඕනේ. විවිධ ශාරීරික අභ්‍යාස කරවලා, උඩ පිණුම් බඩ පිණුම් ගස්සවලා, ඊළඟට, පොළොවේ ඉඳන් අඩි හැට හැත්තෑවක් විතර උස අට්ටාලයක ඉඳලා, පහළ තියන වතුර ටැංකියකට පන්නවනවා. උඩට ගිහින් බැලුවම, වතුර ටැංකිය පෙනෙන්නේ, ගිනිපෙට්ටියක් තරමටලු. 

   ඔන්න අපේ වීරයන් පිරිසක් ගියා පාකිස්ථානයට, ගොටු පැනිල්ල ඉගෙනගන්න. ඉතින් අර වතුර ටැංකියට පනින අවස්ථාව ආවා. පාකිස්ථානු උපදේශක වරුන් කිව්වා, 'තමන්ගේ රටේ තියන යුද ඝෝෂාවක් කරගෙන' පනින්න කියලා. පළවෙනියා පැන්නා, 'කොමාන්ඩෝ...........' කියාගෙන, දෙවැනියා පැන්නා 'ජයවේවා...........' කියාගෙන, තුන්වෙනියා පැන්නා, 'බුදු අම්මෝ..................' කියාගෙන. පාකිස්ථානු උපදේශකයන්ට තේරිලා තියනවා, ඒ යුද ඝෝෂාව ටිකක් අමුතුයි කියලා. ඒ නිසා පැන්න කෙනාගෙන් අහලා තියනවා, මොකක්ද ඒ යුද ඝෝෂාව කියලා. තවමත් බයේ වෙවුලමින් එයා කිව්වලු, මේක අපේ සිංහල රජ කාලේ යුද ඝෝෂාවක් කියලා.  

2016 ජූලි මස 31 වැනි දින 2327 පැය   

25 July 2016

ඓතිහාසික නාවික සටහන් (පළමුවැනි කොටස)

   අම්මපා, මේ අපේ නැවියෙක් ඉන්නවා, කිසි කමකට නෑ. අඩු ගානේ නැවක රෝද හතර තියෙන්නේ කොහෙද, නැවකට කොච්චර ඉහලට පියාඹන්න පුලුවන්ද, වගේ ලිපියක්වත් ලියපන්කො ඉඳලා හිටලාවත්. කොහෙද මේ යකා ලියන්නෙම, සුබසාධන කතා විතරයි. දැන් අර ලොකු නැව් මහත්තුරු දෙන්නෙක් ලියනවා, ඒත් ලියන්නේ නැහැනේ, ඔය පරණ යුද්ද කතා ටිකක්. මේ දවස්වල, මම ජාලේ කරක් ගහනකොට, අහම්බෙන් දැකපු පින්තූර ටිකකට ආසාවේ බැරුව, ඒ ටික තමුන්නාන්සේලාටත් පෙන්නන්න හිතුණා. ඇත්තටම අපේ රටේ ඉතිහාසයටත්, නාවික හමුදා ඉතිහාසයටත් සම්බන්ධ ඒ පින්තූර, බොහොම වටිනවා. ඔන්න බලමුකෝ ඒ පින්තූර වලින් ටිකක්. තව මහා ගොඩක් තියනවා. ඒවා පස්සේ බලමු. 

   මේ පින්තූර අයත්වන්නේ, දෙවැනි ලෝක සංග්‍රාමය ආරම්භ වීමට ආසන්න කාලයට සහ, දෙවැනි ලෝක සංග්‍රාමය ඇරඹුණු මුල් කාලයට මෙන්ම, එහි අවසාන භාගයටයි. එබැවින්, මේ පින්තූර වල ඓතිහාසික වටිනාකම බොහොම ඉහලයි. 

   එකල බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ලංකාව, පාලනය කෙරුනේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අරමුණු සහ අවශ්‍යතා අනුව බව ඔබ හොඳින්ම දන්නවා. අපේ රටේ එකල දේශීය ත්‍රිවිධ හමුදා නොපැවැති අතර බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවල, ස්වේච්ඡා ඒකක ලෙසයි අපේ රටේ ත්‍රිවිධ හමුදා පවත්වාගෙන ගියේ. මේ අතරින්, රාජකීය  නාවික හමුදාවේ ස්වේච්ඡා උප සේවය (Royal Navy Volunteer Reserve = RNVR) ලෙසයි මෙම කරුණු උපුටාගත් මූලාශ්‍රයේ සඳහන් වන්නේ. 


පුහුණු කටයුතු 

   බ්‍රිතාන්‍ය හමුදාව යටතේ  පවත්වාගෙන ගිය ස්වේච්ඡා නාවික බලසේනාවට, ඉතා හොඳ පුහුණුවක් ලබා දී තිබෙන බව, මේ පින්තූර වලින් පෙනෙනවා. මා දන්නා තරමින්, සාමාන්‍ය නැවියන්ට පවා පුහුණුව ලබා දුන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. 

  පහත දැක්වෙන බොහෝ පින්තූර වලට අදාළ විස්තරයේ සටහන්ව තිබෙන්නේ, Cingalese Ratings  යනුවෙන්. මෙහිදී, Cingalese යන්න යොදා ඇත්තේ, අද අපි, Sinhalese/Singhalese යනුවෙන් කරන යෙදුම් උදෙසා බව පෙනෙනවා. නාවික හමුදා භාෂාවෙන්, Rate කියන්නේ, අදාළ නාවික හමුදා පුද්ගලයාගේ, තත්වය/තරාතිරම/වෘත්තීය/යන්නයි. 

   මේ පින්තූර, 1942 වර්ෂයේදී, කොළඹදී ලබාගත් බවයි, අදාළ මූලාශයේ සඳහන් වන්නේ. ඒ කාලයේ, බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත, .303 Lee Enfield Mark I රයිෆල් තමයි, මේ නාවික සෙබළුන් අත දකින්නට ලැබෙන්නේ. බලන්න, ඒ කාලේ පාවිච්චි කල බයිනෙත්තුව කොපමණ දිගද කියා. එය රයිෆලයෙන් ගලවාගෙන, කෙටි කඩුවක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන්. 


මේ පින්තූරයේ දැක්වෙන සෙබළුන්, අවිය ගෙනයන්නේ, 'උරේ අවි' නමැති ඉරියව්වෙන්. 
අද මෙම ඉරියව්ව අපේ ත්‍රිවිධ හමුදාව භාවිත කරන්නේ නැහැ.











අවිය නිවැරදිව සවිකර, පිරිසිදුව තිබෙනවාද යන්න, පෙරෙට්ටුවේදී, නිලධාරීන් විසින් 
පරීක්‍ෂා කරන්නේ මෙහෙමයි.


පොල් අතු සෙවිලි කළ භට නිවාස තමයි, පහත පින්තූරයේ පසුබිමේ දකින්නට ලැබෙන්නේ.



ඒ ඒ අවස්ථානුකූලව නැවක ඔසවන විවිධ ධජ මගින් ගොඩබිමට නොයෙක් තොරතුරු සපයනවා. 
මේ, ඒ පිලිබඳ පුහුණුවක් ලබන හැටි. 



බර අවි පුහුණුව, සෑහෙන තරම් උසස් මට්ටමෙන් සිදුකර ඇති බව, මේ පින්තූර වලින් පෙනෙනවා. ඇත්තෙන්ම මේ කරන්නේ, ළඟ ළඟ එන ලෝක සංග්‍රාමයකට මුහුණදීම සඳහා සූදානම් වීමයි. 
මේ ඉගෙනගන්නේ ගුවන් යානා නාශක තුවක්කුවක් ක්‍රියාකරවන ආකාරයයි.


රාත්තල් 3 උණ්ඩ, යොදා වෙඩි තබන මධ්‍යම පරිමාණ තුවක්කුව. 
පුහුණුවෙන අයට සපත්තුත් නෑ වගේ.


දේශනයකට සවන්දෙන ලංකාවේ නැවියෝ  


මුහුදු වෙඩි ඇතිරීම පිලිබඳ පුහුණුවක්  


මුහුද යට අතුරා ඇති, සතුරු මුහුදු වෙඩි පිළිබඳව, තොරතුරු සොයා බැලීමේ පුහුණුව  


මුහුදේ අතුරා ඇති, සතුරු මුහුදු වෙඩි, පුපුරුවා හැරීමට පුහුණුව ලබන අයුරු. 


කොහොමද ඒ කාලේ අපේ නේවි කොල්ලෝ  




සතුරු ගුවන් ප්‍රහාර වැළක්වීමේ, ගුවන් යානා නාශක අවි පුහුණුව. 
එළිමහනේ කලයුතු මේ පුහුණුව, වහලයේ කුඩා කොටසක් ඉවත් කල ගොඩනැගිල්ලක් තුළ කරන්නේ, 
සතුරු ගුවන් ප්‍රහාර එල්ලවෙතැයි, අනුමාන කරන නිසා වන්නට ඇති.   
මෙම පුහුණු පාසල හඳුන්වා තිබෙන්නේ 
CEYLON SCHOOL FOR NAVAL GUNNERS යනුවෙන්.




තොරතුරු තාක්‍ෂණය අද මෙන් දියුණු නැතත්, හොඳ පුස්තකාල පහසුකම් ලැබී තිබෙනවා. හොඳින් බලන්න, සිවිලිමේ එල්ලා තිබෙන, කුඩා ගුවන් යානා ආකෘති. මේවා සෑමවිටම ඇස ගැටුනාම, එහි හැඩය මතක හිටිනවා. ගුවනේදී දැක්ක ගමන් හඳුනාගන්න පුළුවන්, ඒ කුමන ගුවන් යානයක්ද කියා.  


ඒයි අපේ නැවියා, කියලා දීපන් Boxing Compass කියන්නේ මොකක්ද කියලා. 
මේ කරන්නේ අන්න ඒ පුහුණුව. මට තේරෙන විදිහට මාලිමාව මගින් දිශා හඳුනාගැනීම. 


බර අවි, කොටස් වලට ගැලවීම, පිරිසිදු කිරීම,
සවිකිරීම, ආදී නඩත්තු වැඩ ඉගෙනගැනීම. 


ලොකුම තර්ජනය ගුවන් ප්‍රහාර. ඒ නිසා සතුරු/මිතුරු ගුවන්යානා, 
දුර තියාම හඳුනාගන්න හැටි කියාදීම වැදගත්.


සතුරු ගුවන්යානා වනසන මහ තුවක්කුවක්. 


කොහොමද ඒ කාලේ පණිවිඩ හුවමාරු උපකරණ.
හැබැයි, මේවා ජංගම යන්ත්‍ර කියලයි මූලාශ්‍රයේ තියෙන්නේ.  


මේ උපකරණය හඳුන්වන්නේ, හේලියෝග්‍රාෆ්  - Heliograph කියලා.
මේකේ තියන කන්නාඩියෙන්, හිරු එළිය, එක්තරා රටාවකට පරාවර්තනය කරලා, 
මෝස් කේත ක්‍රමය වැනි ක්‍රමයක් අනුව, සංඥා ලබාදෙන්න පුළුවන්. 


ඒ කාලේ අප්‍රිකානු සෙබළුන්, ලංකාවට ගෙනැවිත් තිබෙනවා, පුහුණු කටයුතු සඳහා.
මේ එවැනි පිරිසක් අපේ තේ රස බලද්දී.


සතුරු මුහුදු වෙඩි සොයමින්, කොළඹ අවට මුහුදේ මුර සංචාරයක යෙදෙන,  
HMS Sambhur නෞකාව. ඉදිරියෙන් සිටින්නේ, නැවේ කපිතන් වන, 
ලාංකිකයකු වූ, ලුතිතන් සන්සෝනි 


ලංකාවට ඒමට නැව් නගින අප්‍රිකානු සොල්දාදුවෝ.
අප්‍රිකානු සොල්දාදුවන් හඳුන්වන්නේ, Askaris යනුවෙන්. 


'අම්මෝ....පොල්ගස් වල කරටියේ ගෑවී නොගෑවී යන්නේ' කියමින්, 
බෝම්බ ප්‍රහාරක බ්‍රිතාන්‍ය ගුවන් යානා නරඹන, ලාංකික ජනතාව  




අවරපෙති සහිත ගුවන් යානාවල, එම පෙති, වේගයෙන් මේ විදිහට කරකවා, 
පණගන්වන්නට පුළුවන්. මේකත් හරියට, එක්තරා ආකාරයක, 'තල්ලු ස්ටාර්ට්' එකක්.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මේ ද්‍රවිඩ ජාතික ධීවරයන්, අත් උදව් කරුවන් හැටියට, 
මේ වැඩේ කරන්න මුලදී බයවුනත්, පසුව, අති දක්ෂ විදිහට ඒ වැඩේ කල බව, 
මූලාශ්‍රයේ සඳහන් වෙනවා.
ඇත්තෙන්ම, මෙය මරණීය අනතුරු සිදුවිය හැකි දෙයක් වුනත්, අදත් කරනවා. මේ බලන්න.





සුබසාධනය 

එදත් අදත් ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය පාලකයාගේ බිරිඳ 
එම රජයේ සුබසාධන කටයුතු වලදී විශේෂ දායකත්වයක් දරනවා.
දෙවැනි ලෝක සංග්‍රාම සමයේ අවසාන භාගයේ 
ලංකාවේ ආණ්ඩුකාරයා වූ 
ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මූවර් ගේ බිරිඳ 
එවකට බ්‍රිතාන්‍ය රතු කුරුස සේවයේ ලංකා ශාඛාවේ 
සභාපතිනිය ලෙස සේවය කළා. 
මේ ඇය ලංකාවේ සේවය සඳහා පැමිණි අවස්ථාව.


බ්‍රිතාන්‍ය රතුකුරුස සංගමයේ ලංකා ශාඛාවේ සේවය සඳහා පැමිණි
බ්‍රිතාන්‍ය සාමාජිකාවන් මේ ආකාරයටයි සේවයේ යෙදුණේ.


පොල් අතු සෙවිලි කල නේවාසිකාගාර 


පොල් අතු නිවස්නය වුනත්,  පිරිසිදුකම සහ පිළිවෙල නම් තියනවා වගේ.


ඔවුන්ගේ අවන්හල. අවන්හල් සේවය අපේ අයගෙන් වගේ 


විවේකාගාරය 


අපේ නැවියන්ට ඒ කාලේ ලැබුණු දන්ත වෛද්‍ය පහසුකම්. 
මේ ඡායාරූපය ගෙන තිබෙන්නේ, පුත්තලම නාවික කඳවුරේදී බවයි 
මූලාශ්‍රයේ සඳහන් වන්නේ. 


අධීක්‍ෂණය 
අපි එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ අතර 
මේ කාලයේදී රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය 
ක්‍රියාත්මකව පැවතුණා.
පහත අංක 38, 39, සහ 40 යන ඡායාරූප වලින් දැක්වෙන්නේ,
එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රධානියා සහ කෘෂිකර්ම ඇමති වූ 
ඩී.එස්.සේනානායක, 
ප්‍රවාහන සහ ඉදිකිරීම් අමාත්‍ය 
කර්නල් ජේ.එල්.කොතලාවල,
ස්වදේශ කටයුතු අමාත්‍ය ඒ.මහාදේව යන අය 
HMS Ceylon නෞකාවේ නිරීක්ෂණ චාරිකාවකට 
එක්වූ අවස්වථාක්.





ත්‍රිවිධ හමුදා අතර සම්බන්ධිකරණ කටයුතු සඳහා 
පත්කර සිටි, වෘත්තීයෙන් වන සංරක්‍ෂණ නිලධාරියකු වූ 
එවකට 1 වැනි ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරි 
ලුතිතන් කර්නල් සී.පී.ජයවර්ධන වෙත 
1944 වසරේදී MBE (Military) සම්මානය බ්‍රිතාන්‍යයේ 
හයවැනි ජෝර්ජ් රජු විසින් ප්‍රදානය කරන ලදී.
නිල ඇඳුමේ කුරුසයක හැඩයට පැළඳගෙන සිටින්නේ එම සම්මාන පදක්කමයි.


යාත්‍රා තොරතුරු 



HMS OKAPI මුර යාත්‍රාව ලාංකික නැවියන් සමග 
කොළඹ අවට මුහුදේ මුර සංචාරයක 



බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව, ඉන්දීය නාවික හමුදාව, පාකිස්තානු නාවික හමුදාව 
යන හමුදා සමග, ලංකා නාවික හමුදාවේ යාත්‍රා, ත්‍රිකුණාමල වරායේ අභ්‍යාසයක 
1944 වර්ෂය 


ලංකාවේ සේවා කාලය නිමාකොට 
ත්‍රිකුණාමල වරායෙන් 
ආපසු බ්‍රිතාන්‍යය බලා පිටත්ව යන 
HMS NEWFOUNDLAND යුද නැව 


මෙන්න ඉන්නවා ඇම්ඩා
මේ තමයි, ජර්මානු නාවික හමුදාවට අයත් 
 KMS EMDEN නෞකාව
1939 දී ත්‍රිකුණාමලයෙන් පිටත්ව යාම.

ඇම්ඩා ලංකාවට ආව බවට සාක්කි මෙන්න 



   මොකද හිතෙන්නේ? ඇත්තටම මේ පින්තූර වලින් බොහොමයක්, අවුරුදු 75 ක් තරම් පැරණියි. ඒ වගේමයි, මේ පින්තූරවල පෙනීසිටින කිසිවකුත්, අද ජීවතුන් අතර නැහැ. මෙහි පෙන්වා ඇති අවි ආයුධ කිසිවක්, අද භාවිතයේ නැහැ. මෙහි දැක්වෙන කිසිදු නාවික යාත්‍රාවක්, අද භාවිතයේ නැහැ. මේ සියල්ල, අගනා ඓතිහාසික සටහන් පෙළක්.

මූලාශ්‍රය:- http://www.iwm.org.uk/

2016 ජූලි මස 20 වැනි දින 2257 පැය     
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }