හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

01 December 2013

මං ඔයාට ප්‍රසිද්ධියේම රහසක් කියන්නං – The Slidex System


couple-sharing-secrets-5689251අපිට අපේ ජීවිතයේ කොච්චර තියනවද රහසිගත වැඩ. හය හතර දන්න වයසේ සිටම අපට යම් යම් රහසිගත දේවල් තියනවා අවට ලෝකයෙන් සඟවාගන්න. සමහර රහස්, අපි මැරෙනතුරුත් එළියට එන්නේ නැහැ. සමහර රහස්, අතිශයින්ම විශ්වාසවන්ත අය සමග බෙදාගන්නවා. නමුත් එහෙම කරන්න ගිහින් අමාරුවේ වැටුන අය අතර, ඔබත් මමත් ඉන්නවා නේද? සමහර රහස්, හැමදාම හංගගෙන ඉන්නට පුළුවන්. නමුත් හැම රහසක්ම හැමදාම හංගගෙන ඉන්නටනම් බැරිවෙනවා කියලයි මමනම් හිතන්නේ. සංග්‍රාමික කටයුතු වලදී රහසිගත භාවයට ලැබෙන්නේ ඉතා වැදගත් තැනක් බව මම ඔබට අමුතුවෙන් කියාදෙන්නට අවශ්‍ය නැහැ. සංග්‍රාමික කටයුතු රහසිගතව කරන්නට නොහැකිවුනොත් සතුරා අතට අපේ යුද රහස් පත්වීමෙන් ඇතිවන ප්‍රතිඵලය කොයිතරම් භයානකද කියන එකත් කියන්න අවශ්‍ය නැහැනේ. යුද්ධ හමුදාවක් විසින් පණිවිඩ හුවමාරු කටයුතු වලදී ඉංග්‍රීසි හෝඩියේ අකුරු උච්ඡාරණය කරන විශේෂ ක්‍රමයක් තිබෙන බව මම මීට පෙර ඔබට කියාදුන්නා මතකද? අද මම ඔබ සමග සාකච්ඡා කරන්නේ, ඒ අකුරු උච්ඡාරණ ක්‍රමය භාවිත කරමින්, ආරක්ෂක හමුදා විසින් කරනු ලබන, රහස් පණිවිඩ යවන ක්‍රමයක් පිළිබඳවයි. මේ පණිවිඩ හුවමාරු ක්‍රමය හඳුන්වන්නේ ‘ස්ලයිඩෙක්ස් Slidex’ යනුවෙන්.  
  chimneyදෙවැනි ලෝක යුද සමයේදී නිවසක උණුසුම රැකගැනීම සඳහා දල්වන ගල් අඟුරු උදුනක චිමිනිය පිරිසිදු කරමින් සිටි පුද්ගලයකුට දැවීගිය පරෙවියකුගේ සිරුරක් හමුවුනා. ඌ සම්පූර්ණයෙන් දැවී තිබුණේ නැහැ උගේ කකුලක ගැටගසා තිබුන කඩදාසි කැබැල්ලක තේරුම් ගත නොහැකි, ඉංග්‍රීසි අකුරු හතරේ වචන සහිත, පණිවිඩයක් ලියා තිබුනා. පහත දක්වා තිබෙන්නේ ඒ පණිවිඩයයි. ඔබත් කියවා බලන්න ඔබට මෙය තේරුම් ගතහැකිද කියා.
pigeoncipher
මොකක්ද ස්ලයිඩෙක්ස් – Slidex කියන්නේ?
   බොහොම ඈත අතීතයේ සිටම මිනිසා රහස් සංකේත මගින් පණිවිඩ යවන්න ක්‍රම සහ විධි සොයාගෙන තිබුනා. යුද්ධ කටයුතු වලදී, අතිශයින් රහසිගත තොරතුරු ලියන ලද ලිපි, විශේෂයෙන් පුහුණු කරනලද පරෙවියන්ගේ කකුලක ගැටගසා, නියමිත ස්ථානයකට යැවීමට ක්‍රමයක් සලසා තිබුන බව ඔබ අතරින් සෑහෙන පිරිසක් මීට පෙර අහලා ඇති. හොඳයි ඉතින් මේ පරෙවියා මගදී අල්ලගත්තොත්? වෙඩි තියලා/දුන්නකින් විදලා/බිම දාගත්තොත්? වෙන පරෙවියකු මගින් බිමට බස්සවලා (හොඳ පරෙවි ධේනුවක් උකුළු මුකුළු පෑවම කොයි පරෙයියද යන ගමන පැත්තක දාලා පෙම් කෙලින්න නොයන්නේ? :D ) ඒ පරෙවියා අල්ලගත්තොත්? අර රහස් පණිවිඩය නිකම්ම සතුරා අතේ. ඉතින් ඒ නිසා නිකම් සාමාන්‍ය භාෂාවෙන් නෙවෙයි මේ ‘පරෙවි සංදේශ’ :D යැව්වේ. යවන අය සහ ලබන අය පමණක් දන්නා රහසිගත භාෂාවකින් තමයි ලියලා යැව්වේ. ස්ලයිඩෙක්ස් කියන්නෙත් අන්න ඒ වගේ එක්තරා රහස් භාෂා ක්‍රමයක්.
  මේ පණිවිඩ හුවමාරු ක්‍රමය අද අභාවයට ගිහින් තිබෙන්නේ. එයට ප්‍රධානතම හේතුව වන්නේ පරිගණක තාක්ෂණය ඇසුරෙන් ඊට වඩා අතිශයින්ම දියුණු ආකාරයට රහස්‍ය පණිවිඩ යැවීමට දැන් හැකියාව ලැබී තිබීමයි. නමුත් අවශ්‍යනම් අද වුනත් මේ ක්‍රමය භාවිත කරන්නට පුළුවන්. සමහරවිට ලෝකයේ සමහර රටවල මෙය අදටත් භාවිත කරනවා ඇති. (ශ්‍රී ලංකා යුද හමුදාව 1980 දශකයෙන් පස්සේ මේ ක්‍රමය අතහැරියා. එයට හේතුව වුනේ රහස්‍ය පණිවිඩ හුවමාරු පහසුව සහිත අධිතාක්ෂණික ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර අපේ යුදහමුදාවට ලැබීම නිසයි. අනේ අප්පොච්චියේ මම තරුණ නිලධාරියකු කාලේ මේ වගේ පණිවිඩ ලිවීම සහ ලැබුන පණිවිඩ පරිවර්තනය කිරීම encryption and decryption තුන් හාරසිය වතාවක් විතර කරලා ඇති. එපාම වෙන වැඩක්.) මෙය නිවැරදිව ඉගෙනගත්තොත් ඔබට මෙයින් විනෝදයක් ලබන්නත් පුළුවන්. ඒ තමයි ඔබේ මිතුරු මිතුරියන් අතරේ ස්ලයිඩෙක්ස් ක්‍රමයෙන් SMS පණිවිඩ හුවමාරු ක්‍රමයක් හදාගන්න පුළුවන් වීම. හොඳයි දැන් මම ඔබට ස්ලයිඩෙක්ස් ගැන විස්තර කරන්නම්. මෙවැනි පණිවිඩ හුවමාරු ක්‍රම හඳුන්වන්නේ රහස්‍ය කේතකරණය මගින් පණිවිඩ හුවමාරු කිරීම Encrypted Messaging යනුවෙන්. වර්තමානයේදී රහස්‍ය කේතකරණය ඉතා දියුණු විද්‍යුත් ක්‍රමෝපායයන් මගින් සිදුකෙරෙනවා. ඒ ගැන පසුව කතාකරමු. ස්ලයිඩෙක්ස් පණිවිඩයක් යැවීමට නම් ඔබත් මමත් අතරේ පහත දැක්වෙන ලෙස සබඳතාවක් තිබිය යුතුයි.
  • 1. දුරකථන සම්බන්ධතාවක් හෝ ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර සම්බන්ධතාවක්.
  • 2. එකම ආකාරයට සකසන ලද ස්ලයිඩෙක්ස් කාඩ්පත් දෙකක් අප දෙදෙනා ළඟම තිබිය යුතුයි. (දෙදෙනෙකුට වැඩි ගණනක් සම්බන්ධවන්නේනම් ඒ සැමදෙනා අතරම එකම වර්ගයේ ස්ලයිඩෙක්ස් කාඩ්පත් තිබිය යුතුයි)    
                                                     
මොකක්ද ස්ලයිඩෙක්ස් කාඩ්පතක් කියන්නේ?  
  මේක ටිකක් සංකීර්ණ දෙයක්. ඒ නිසා මෙය අවබෝධ කරගැනීමට නම් ඔබේ සම්පූර්ණ අවධානය අවශ්‍යයි. ඔබ මේ ලිපිය උඩින් පල්ලෙන් කියෙව්වොත්, මේ ගැන අවබෝධ කරගන්නට නොහැකි වෙනවා. ඒ නිසා මේ ලිපිය හොඳින් විවේක ඇත්නම් පමණක් කියවන්න. හොඳයි, ස්ලයිඩෙක්ස් කාඩ්පතක් කියන්නේ බ්‍රිස්ටල් බෝඩ් වැනි ඝන කඩදාසියක මුද්‍රණය කළ, සිරස් තීරු  Columns 12 ක් සහ තිරස් පේළි Rows 17 ක් ඇති රහස්‍ය ලේඛනයක්. හිතන්නකෝ මේක MS Excel spread sheet එකක් වගේ කියලා. මේ කොලයේ තිබෙන කොටු වල, වචන, අකුරු  සහ ඉලක්කම් මුද්‍රණය කරලා තියනවා. සමහර වචන, අකුරු සහ ඉලක්කම් කළු පාටයි. සමහර වචන, අකුරු සහ ඉලක්කම් රතු පාටයි. සමහරවිට මේ කඩදාසිය විනිවිද පෙනෙන ඝන පොලිතීන් ආවරණයක තිබෙන්නේ. එහෙම කරන්නේ ජලයෙන් හානිවීම වලක්වාගන්නයි. (මේවා පාවිච්චිකළ කාලයේ මම ලැමිනේටින් දැකලා/අහලා තිබුනේ නැහැ) ඒ කඩදාසියට ඉහළින් තිරස් අතට සහ බලන කෙනාගේ වම් අත පැත්තෙන් සිරස් අතට, එහා මෙහා කළහැකි, කඩදාසි පටි දෙකක් තිබෙනවා. ඒවා හඳුන්වන්නේ ‘කර්සර්’ කියලා. පරිගණක ගැන ඉගෙනගන්නට පෙර, මම ජීවිතයේ පළමුවැනි වතාවට, කර්සර් කියන වචනය ඉගෙනගත්තේ මේ ස්ලයිඩෙක්ස් පුහුණුවෙදියි.  මේ පටිවල අර කාඩ් එකේ තියන කොටු වලට සමාන ප්‍රමාණයේ කොටු සකසා ඒ හැම කොටුවකම ඉංග්‍රීසි කැපිටල් අකුරු දෙක බැගින් ලියලා තියනවා. මේ තොරතුරු වඩාත් හොඳින් අවබෝධ කරගන්නට මම ස්ලයිඩෙක්ස් කාඩ් එකක පින්තූරයක් පහත පෙන්වනවා. 
slidex-a1ඊළඟට බලමු අර කර්සර් පටි සවිකළාම කොහොමද පෙනෙන්නේ කියලා.
download
  එකම කාඩ් එකට යොදන කර්සර් කාලෙන් කාලෙට වෙනස් කරන්න පුළුවන්. ඉතින් මොකටද කර්සර් වෙනස් කරන්නේ? යුද්දයකදී අපි රහස්‍යභාවය රැකගන්න නොකරන දෙයක් නැහැ. ඔබ සමහර අය දැක ඇති, හමුදා සෙබළුන් තමන්ගේ අතේ වර්ණ පටියක් පළඳිනවා. එයින් අදහස් කරන්නේ, සතුරන් සහ අපේ හමුදාව නිවැරදිව හඳුනාගැනීමයි. සතුරා අපේ නිළ ඇඳුමක් ඇඳගෙන ආවත්, වර්ණ පටිය නිසා අපට ඔහුව අල්ලාගන්න පුළුවන් වෙනවා. මේ වර්ණ පටිය, එක දිනක් තුළ වරින් වර මාරුකරනවා. ඒ සඳහා රහස්‍ය වචන තියනවා, අපි හිතමු ‘ගිරවා දකුණේ’ කිව්වොත් ‘රතුපාට පටිය වම් අතේ බැඳගනින්’ කියන තේරුම වෙන්න පුළුවන්. තව ටිකවෙලාවකින් ‘එළුවා ගහේ’ කිව්වොත් ‘නිල්පාට පටිය දකුණු අතේ බැඳගනින්’ කියන තේරුම වෙන්න පුළුවන්. පටි සෙට් එකම සෙබළාගේ මල්ලේ තියනවා. අර රහස් වචන ටික ලියපු කොලයක් තියනවා කණ්ඩායම භාර එක්කෙනා අතේ. ඉතින් මේ ස්ලයිඩෙක්ස් ක්‍රමයේදී   ඒ ඒ කර්සර් එකටත් අංකයක් ලබාදුන්නම, ‘අහවල් කර්සර් දෙක දාගනින්’ කියලා, රහස්‍ය වචනයකින් අනික් පැත්තේ ඉන්න මිනිහට කිව්වම හරි. අමතර කර්සර් ඕනෙතරම් ඔය තියෙන්නේ පහළින්.
Gessler8-CryptoStrips
  ඉතින් මොනවද මේ ස්ලයිඩෙක්ස් කාඩ් එකේ මුද්‍රණය කරලා තියන දේවල්. එදිනෙදා රහස් පණිවිඩ හුවමාරුවේදී බහුලවම පාවිච්චි කරන වචන මාලාවක් තමයි මුද්‍රණය කරලා තියෙන්නේ. ඔන්න මම එවැනි ස්ලයිඩෙක්ස් කාඩ් පතක තිබෙන ඉංග්‍රීසි වචන අතරට සිංහල වචන දැම්මා ඔබේ පහසුව සඳහා. හැබැයි හොඳින් මතක තියාගන්න. ඉතිහාසයේ  කවදාවත් සිංහල ස්ලයිඩෙක්ස් කාඩ්පත් හදලා නැහැ. ගරු මම තුමා තමයි එහෙම කරපු පළමුවැනි වීර (මෝඩ) යා.
full Card
  මේ කාඩ් එකට කර්සර් පටි යෙදීම වෙනුවට මම කරලා තියෙන්නේ කාඩ් එකේ ඉහල සිරස් තීරුව සහ වම් අත පැත්තේ තිරස් තීරුව මකලා කර්සර් පටිවල තියන අකුරු ඒ තැන්වලට යෙදීමයි. ඒ නිසා ඒ තියෙන්නේ කර්සර් පටි කියලා හිතාගෙන මෙතැන් සිට ඉදිරියට කටයුතු කරමු. පින්තූරය මත ක්ලික් කරලා ලොකු කරලා බලන්න. හොඳයි දැන් අපි ස්ලයිඩෙක්ස් පණිවිඩයක් ලියමුද? බයවෙන්න එපා ‘මෛන් හූන් නා’ (මම ඉන්නවනේ. හැබැයි බැරි වුනොත් එහෙම දාලා දුවනවා :D ) හොඳයි. මෙන්න මේකයි පණිවිඩය.
අද රාත්‍රියේ යාපනය ප්‍රදේශයේ හමුදා කඳවුරකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවිය හැකිය සියලුම කඳවුරු උපරිම සූදානමෙන් තබන්න. 
  අප්පොච්චිගේ පප්පේ…………… කොහොමැයි මේක ඔය ස්ලයිඩෙක්ස් ද මොන ඩෙක්ස් ද මන්දා කොරන්නේ?…….. වැරි සිම්පල් අනේ. ඉස්සර වෙලාම තමන්ට යවන්න අවශ්‍ය පණිවිඩය අමු හිංගලෙන්………හුටා, හිංගලෙන් යවන්න පුළුවන් මේ මම හදපු කාඩ් එකෙන් විතරනේ. අමු ඉංගිරිසියෙන් තමයි ලියන්න වෙන්නේ. කමක් නෑ අපි මේ අපේ කාඩ් එක කුඩු කරගන්නේ නැතුව සිංහලෙන් යවමුකෝ. ඔන්න දැන් අර සිංහල පණිවිඩේ තියනවනේ. මොන බාසාවෙන් ලිව්වත් යවන්නේ මෙහෙමයි.
1. පණිවිඩය ලිවීමේදී හැකිතරම් (99% ක්) කාඩ් එකේ තිබෙන වචන වලින් ලියන්න ඕනේ. නමුත් අපිට කියන්න අවශ්‍ය අර්ථය විකෘති වෙන්න බැහැ කාඩ් එකේ වචන යෙදුවා කියලා.  අත්‍යවශ්‍යම තැනකදී එක වචනයක් හෝ දෙකක් කෙලින්ම වචන හැටියට කියන්න පුළුවන්. නමුත් එහෙම නොකර ලියන්න පුළුවන් ආකාරයටයි බොහෝවිට කාඩ් හදලා තියෙන්නේ.
2. පණිවිඩය කෙටි වූ තරමට කාර්යය පහසුයි. ඒ නිසා පණිවිඩය වචන වලින් ලියා නැවත සලකා බැලිය යුතුයි අර්ථයට හානි නොවන පරිදි තව කෙටි කළහැකිද කියා.
3. මේ පණිවිඩය යවන්නේ ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රයකින් හෝ දුරකථනයකින් බව ඔබ දැන් දන්නවනේ. ඒවා රහස්‍ය පණිවිඩ යවන අධි තාක්ෂණික පණිවිඩ හුවමාරු යන්ත්‍ර හෝ දුරකථන වීමට අවශ්‍ය නැහැ.
4. කාඩ් එකේ තියන සෑම වචනයක්ම තිබෙන්නේ කොටුවක් ඇතුලෙනේ. ඒ හැම වචනයකටම වම් ඇත පැත්තෙන් තියන සිරස් කර්සර් පටියේ අකුරු දෙකක් සහ ඉහල තිරස් කර්සර් පටියේ අකුරු දෙකක් පිහිටනවා. උදා හරණයක් වශයෙන් බලන්න ‘යුද ටැංකි’ කියන වචනය තිබෙන කොටුවට අයත් වන්නේ සිරස් කර්සරයේ MN කියන අකුරු දෙක සහ තිරස් කර්සරයේ JU කියන අකුරු දෙකයි. හරියටම එක්සෙල් වලදී සෑම සෙල් එකකටම අංකයක් තියනවා වගේ. දැන් අපිට ස්ලයිඩෙක්ස් වලින් යුද ටැංකි කියා ලියන්න අවශ්‍යනම් අදාළ සෙල් එකේ සිරස් සංකේතය පළමුවත් තිරස් සංකේතය දෙවනුවත් ලියනවා. එය ලියන්නේ අකුරු හතරම එකට මෙන්න මෙහෙම MNJU, ඊළඟ වචනය ලියන්නට පෙර කොමාවක් යොදනවා.  ’අයියෝ මාමේ දැන් දෙන්නම්කො ඇට්ටි නෙවෙයි ගොබළු ගෙඩිත් හැලෙන්න’. ඔන්න ඕකනේ කියන්නේ බෑණෝ, සිවිඩ්ඩෙන් එලියට එන්නත් කලින් කොස් ඇටේ පැලවෙන්න හදනවා කියලා. අර චොප්පේ අයියා ඒ කාලේ ඇහුවා වගේ මම අහන්න කැමතියි එතකොට අර රතුපාට අකුරු ඉලක්කම් තියෙන්නේ…………………………..ද? කියලා.  :D
5. රතුපාට අකුරු හෝ ඉලක්කම් වලින් කියවෙන දෙයක් පණිවිඩයට ඇතුලත් කරන්න අවශ්‍යනම් මුලින්ම රතුපාටින් තිබෙන SWITCH ON කියන සෙල් එකකට යොමුවක් දියයුතුයි. එයින් අදහස් කරන්නේ එතැන් සිට පණිවිඩය කියවෙන්නේ රතුපාටින් ලියා ඇති දේවල් වලින් පමණයි කියන එකයි. ආපහු කළු අකුරු වලට එන්න අවශ්‍යනම්  SWITCH OFF කියන සෙල් එකකට යොමුවක් දෙන්න ඕනේ. යොමුවක් දෙනවා කියන්නේ අදාළ සෙල් එකේ සිරස් තිරස් සංකේත දෙක දීමයි. එය පනිවිඩයේම වචනයක් ලෙස ලියවෙන්නේ නමුත් කාඩ් එකෙන් පණිවිඩය කියවාගෙන යනකොට තේරෙනවා මේ කියන්නේ මොකක්ද කියලා. තමුන්නාන්සේලා තවම ආධුනිකයන් නිසා මම කළුපාටින් පමණක් ලිවීම කියවීම කළහැකි පණිවිඩයක් තමා ඉහත දී තිබෙන්නේ.
  ඔය මොකද, ඔය මොකද නිදිකිරා වැටෙන්නේ? නැගිටිනවා පුටුවෙන්, එලියට ගිහින් දුවනවා ලෙක්චර් හෝල් එක වටේ රවුම් පහක්. කෝප්‍රල්, බලන්ඩ මෙයා රවුම් පහක් දුවනවද කියලා. හරි, ආයේ කවුරුහරි නිදිකිරා වැටුනොත් දානවා ‘ඊසි පොසිෂන්’ හරිද? මෙවැනි දේශන දවල් කෑමෙන් පස්සේ තිබ්බම නින්ද යනවාමයි සෑහෙන දෙනෙකුට. අප්පොච්චියේ මමත් පුහුණු කාලයේදී කාලා තියනවා ඇතිවෙන්ඩ උපදේශකයන්ගෙන්, නින්ද ගිහිල්ල අහුවෙලා. දන්නවද හමුදාවේ ‘ඊසි පොසිෂන් Easy Position’ හෙවත් පහසු ඉරියව්ව කියන්නේ මොකක්ද කියලා. සපත්තු දෙකේ ඉදිරිපස හෙවත් ‘ටෝ’ එක පුටුව උඩ තබා අත් දෙක බිම තබා දිගාවෙනවා. අත්දෙකේ අල්ල පොළොවේ පිහිටලා තියෙන්නේ ටෝ දෙක පුටුවේ. වෙනත් ආධාරකයක් නැහැ. දැන් හිස ඔසවා දේශකයා දෙස බලාගෙන දේශනයට ඇහුම්කන් දියයුතුයි. මම දෙවරක් ඊසි පොසිෂන් ඉඳලා තියනවා. හරී…………………..සනීපයි. :D
  හරි, එහෙනම් දැන් ලියමුද පණිවිඩේ? ලෑස්තිද? එහෙනම් හොඳ ළමයා වගේ දුවලා දුවලා දුවලා ගිහින් ස්ලයිඩෙක්ස් කාඩ් එකයි, හිස් කඩදාසියකුයි, පෑනකුයි, අරන් එන්න. ඔන්න අපි ලියනවා. TYHK, RGPL, RGHK, RGWA, CHCR, CHNG, EWCR, CHHK, CHWA, DGHK,මම කියන්නද එතනින් එහා ටික ඔයා ලියන්න. නැත්නම් මේ අභ්‍යාසය සම්පූර්ණ වෙන්නේ නැහැ. නිවැරදිව ඉතුරු ටික ලියන ළමයාට  හමුදා කඳවුරක් තෑගී දෙනවා. :D
ඉතින් මේ පණිවිඩේ කොහොමද ගුවන්විදුලියෙන් හෝ දුරකතනයෙන් යවන්නේ?
  ඉස්සරවෙලාම පණිවිඩය යවන පැත්තේ ඉන්න එක්කෙනා පණිවිඩය ලබන පැත්තේ ඉන්න එක්කෙනාට කියනවා ‘ස්ලයිඩෙක්ස් මෙසේජ්’ කියලා. ඊළඟට කියනවා ස්ලයිඩෙක්ස් කාඩ් එකේ අංකය. (ආරක්ෂාව සඳහා මේ කාඩ් කාලෙන් කාලෙට වෙනස් කරනවා. සතුරන් අතට එකක් හරි ගියොත් ඒ කාඩ් එක අවලංගු කරනවා. ඒ කාඩ් එකෙන් නැවත කවදාවත් පණිවිඩ යවන්නේ නැහැ. අලුත් එකක් හදනවා. ඒ නැතත් එක කාඩ් එකක් අවුරුද්දකට වඩා පාවිච්චි කරන්නේ නැහැ) ඊළඟට කියනවා කර්සර් පටි දෙක කුමන කර්සට් පටි දෙකද කියලා. ඒ සඳහා සංකේත වචන තියනවා. එතැන් සිට අර එක කොමාවකින් වෙන්වී තිබෙන අකුරු හතරක් එක වරකට කියනවා. අපි ලියලා තියන පණිවිඩයේ පළමුවැනි වචනය කියන්නේ ටැංගෝ යැංකි හොටෙල් කීලෝ  කමා කියලයි. දැන් ආයෙත් අහන්න එපා ඒ මොනවද කියලා. දෙවැනි සැරේටත් කියන්නේ.  මතකයි නේද කියලා දුන්නා.
  ස්ලයිඩෙක්ස් කාඩ් එක අතිශයින් රහසිගත හමුදා ලේඛනයක්. එය අනිවාර්යයෙන්ම වගකිවයුතු (සාමාන්‍යයෙන් කපිතන් හෝ ඊට ඉහල නිලයක) නිලධාරියකුගේ භාරයේ සේප්පුවක තැන්පත්කර තැබිය යුතුයි. ස්ලයිඩෙක්ස් කාඩ්පත එහා මෙගා ගෙනයන්නේ පහත දැක්වෙන ආකාරයේ ආවරණයක දමාගෙනයි.
full (1)
ලැබුන පණිවිඩයක් පරිවර්තනය කිරීම කලයුත්තේද නිලධාරියකු පමණයි. ඔහුට පොතක ලියා අත්සන් කර කාඩ් එක ලබාදෙන්නේ. පරිවර්තනය අවසන් කලපසු වහාම කාඩ් එක ආපසු භාරදිය යුතුයි. ස්ලයිඩෙක්ස් කාඩ්පතක් යුදබිමට රැගෙන යන්නේනම් විශේෂ ආරක්ෂාවක් යටතේ තබාගත යුතුයි. (සෙසු නිලයන්ට උගන්වන්නේ නැහැ. සංඥා ක්‍රියාකරු දන්නේ ලියාදුන් පණිවිඩ යැවීම සහ ලැබෙන පණිවිඩ ලියාගැනීම පමණයි) ස්ලයිඩෙක්ස් හා සමාන තවත් පණිවිඩ හුවමාරු ක්‍රම අතීතයේදී තිබිලා තියනවා ඒවා විස්තර කරන්න ගියොත් ලිපිය අනවශ්‍ය ලෙස දික් ගැහෙනවා. ඒ නිසා මෙතනින් ලිපිය අවසන් කරනවා.
මූලාශ්‍ර;
my-signature-for-blog[1]2013 දෙසැම්බර් මස 01 දින 1318 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }