හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

14 January 2014

රන බළලුව සොයාගතිමි (පළමුවැනි කොටස)

  The_Cat_From_Outer_Space_1978_801ජොනී ශ්‍රී වර්ණසිංහ නමැති ලේඛකයා විසින් රචිත, ‘රණ බළලුව’ නමැති නවකතාව පිළිබඳව, වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද කෙටි ලිපියක්, පසුගිය නොවැම්බර් මාසයේ දී, මේ අඩවියේ පළවුනා ඔබට මතකද? මතක නැති අයට,මෙතනින් එය කියවා බැලිය හැකියි. එම ලිපිය කියවූ, දැනට විදෙස් ගතව සිටින මහතකු, තමන්ට කිසිදු ප්‍රසිද්ධියක් අවශ්‍ය නොවන බවත්, තම පියා  සතුව එම පොත ඇති බවට මතකයක් ඇතිබවත්, අවශ්‍යනම් ඒ පොත මා වෙත ලබාදිය හැකි බවත්, දන්වා තිබුනා. මා ඒ සඳහා දැක්වූ ප්‍රතිචාරයට පිළිතුරක් වශයෙන්, ඒ මහතාගේ පියා වන විජේරත්න නමැති මහතා විසින්, තැපැල් මගින් මට මේ පොත ලැබෙන්නට සැලැස්වූවා. සිංහල බ්ලොග් ලිපි කියවන සියළුම පාඨකයන්ගේ යහපත තකා, එතුමන් දෙදෙනා විසින් කරන ලද මේ සත්කාර්යය වෙනුවෙන්, ඒ දෙදෙනාටම, මාගේ හද පත්ලෙන්ම නැගෙන කෘතවේදීත්වය, මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට කැමතියි. එමෙන්ම මගේත් පාඨක ඔබ සැමගේත් අවධානය මේ පොත වෙත යොමු කළ, වෛද්‍ය රුවන් එම්. ජයතුංග වෙතද, අප සැමගේ විශේෂ ස්තුතිය හිමි වියයුතුයයි මා සිතනවා.
  මේ කෘතිය කියවා බැලීමෙන් පසු මට විශාල සතුටක් මෙන්ම දුකක්ද ඇතිවුණා. සතුටක් ඇතිවුනේ, ඉතා දිගු කලකට පසු, අපේ ළමා කාලයද සිහිගන්වන අගනා ළමා කතාවක් කියවන්නට ලැබීම නිසයි. දුකක් ඇතිවුනේ, අප එදා ඉහළින්ම රසවිඳි ගැමි පරිසරය තුළ ගතකළ අපේ ළමා කාලය, අද දරුවන්ට අහිමි වීම සහ ඒ පරිසරයද අද අපිට අහිමිවී තිබීම නිසයි. වෛද්‍ය ජයතුංග මේ පොත ගැන කර තිබුණු සටහනේද සඳහන්වන පරිදි, මෙවැනි අද්භූත රසය සහිත කතාවක් 1960 දශකයේදී ලියන්නට තරම්, මේ ලේඛකයා තුළ මුහුකුරා ගිය චින්තනයක් මෙන්ම, ළමා කතාවක් ලිවීමේ භාරධූර කාර්යය පිළිබඳව, පෘථුල අවබෝධයක් ද තිබුණු බව, මනාව පැහැදිළි වෙනවා. මා සිතුවා මුලින්ම පොතේ පිට කවරය, පසු කවරය සහ ආරම්භක පිටු කීපය ඔබට පෙන්වන්නට.
a
e
d
c
f
  මේ පින්තූර වලින් සාක්‍ෂි ලැබෙන නිසා පොතේ පැරණි බව ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැතැයි මා හිතනවා. ඒ කාලයේ ලංකාවේ මුද්‍රණ කර්මාන්තයේ ප්‍රමිතිය කෙබඳුද යන්නත් මෙවැනි පොත් වලින් පැහැදිළි වෙනවා.
  පොත ආරම්භයේදීම කතුවරයා අපට කතා නායකයා හඳුන්වා දෙනවා. ඔහු කුඩා පිරිමි ළමයෙක්. එමෙන්ම කතුවරයා ඒ දරුවාගේ සිතුවිලි අපූර්ව ආකාරයෙන් අපවෙත ඉදිරිපත් කරනවා. ආරම්භක පරිච්ඡේදය කියවා බලමු. 
8
10
11
12
  මේ පළමුවැනි පරිඡේදය කියවද්දී ඔබට ඇතිවුණු හැඟීමම තමා මටත් ඇතිවුනේ. අද වැඩිහිටියකුව සිටින මේ කතානායකයා, එදා තම ළමාකාලය ගැන කියන විස්තරයක්, මේ පොතේ ඇතුළත්ව ඇතැයි යන හැඟීම තමයි මටත් ඇතිවුනේ. නමුත් එක් එක් පරිඡේදය තුළින් කතුවරයා පාඨකයාව විවිධ මානයන් වෙත ගෙනයනවා. සාමාන්‍ය දැනුම, විද්‍යා තොරතුරු, වලින් පටන්ගන්න මේ කතාවේ, සමහර පරිච්ඡේද දේශපාලන සහ සමාජ විවරණ අදහස් වලින්ද පරිපූර්ණ වන අතර, එය ඉතා අපූරු ලෙස අදටත් ගැලපෙනවා.
  පොතේ දෙවැනි,  තුන්වැනි, සහ හතරවැනි ඡේද වෙන්වී තිබෙන්නේ අඟහරු ලෝකයෙන් පැමිණෙන මේ අපූරු බළලා සහ කතානායකයා වන කුඩා පිරිමි දරුවා අතර හමුවීම සහ ඔවුන් දෙදෙනා තර මිත්‍ර සම්බන්ධය ගොඩනැගීම සහ තහවුරු වීම පිළිබඳව කදිම විස්තරයක් ගෙන එන්නටයි. එම ඡේද වලින් තෝරාගත් කොටස් කීපයක් පහත දක්වනවා. 
21
22
23
තමන් මේ පොත ලියන්නේ අඟහරු ලොවින් පැමිණි බළලාගෙන් අසාගෙන බව කතුවරයා කියනවා.
24
එමෙන්ම ඔහු මේ කතාව මගින් සරල විද්‍යා දැනුමක් පාඨකයාට ලබාදෙන්නට උත්සාහ කරනවා.
25
  අඟහරු ලෝකයට බළල්ලු ගිය හැටි කියන්නේ මෙහෙමයි. අතීතයේ දඹදිව වේදේහ රජ්ජුරුවෝ කාන්තාවන්ට බොහොම ආසයිලු. ඉතින් මේ රජ්ජුරුවන්ගේ අසාවට එක්තරා කුමාරියක් විවාහ කරගන්න හිමාලයේ හිටිය රත්තරන් කෙඳි සහිත බලලුන්ව මරා සේලයක් සාදා අර කුමරියට තෑග්ගක් හැටියට යවන්න හදනවා. මහෞෂධ පණ්ඩිතයෝ ඒ කාලේ හිටිය විද්‍යාඥයන් මගින් ඒ බළලුන්ව අඟහරු ලෝකෙට යවනවා. 
29
අපූර්වත්වය තුළ, ඉතිහාසය, නවීන විද්‍යා දැණුම, කැටිකරගනිමින් ඇදීයන මේ කතාවේ, එදාට මෙන්ම අදටත් වලංගු දේශපාලන ප්‍රහසනය මීළඟ කොටසෙන් ඔබවෙත ගෙන එන්නම්.
 my-signature-for-blog[1]2014 ජනවාරි මස 14 දින 1410 පැය

10 January 2014

බැරි සිල් නොගන් අබරෝ කිව්වලු

අහලා තියනවා නේද බැරි සිල් නොගන් අබරෝ කියන කතාව. ඒ කියන්නේ තමන් හරියට ඉගෙන ගෙන, පුරුදු පුහුණු කරලා තියන, ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා දෙයක් හැර, වෙනත් දේවල් කරන්නට උත්සාහ නොකරනු කියන එකනේ. අබරා සිල් ගන්න ගිහින් අර හාමුදුරුවෝ කියන කියන එකම කියන්න ගිහින් වෙච්චි දේ දන්නවනේ. අපි හැමදෙනාටම පුළුවන් දේවල් තියනවා, බැරි දේවල් තියනවා. නමුත් ඉතින් මොනවා කරන්නද? කරුමෙට ගාත් අටයි, මෝඩකමට බෙහෙත් නැහැ, කියන කියමන් මටම කියාගන්න වැඩක් මේ දැන් පැය දෙකකට කලින් සිද්දවුනා.
  කතන්දරේ මෙන්න මේකයි. හෙට උදේ කොළඹ රටේ රවුමක් යන්න තියනවා. අද දවසම අතිශයින් කාර්ය බහුලවයි හිටියේ. හවස හතට විතර මතක් වුනා කාර් කට්ට ටිකක් පරීක්ෂා කරලා බැලුවොත් හොඳයි කියලා. කරුමයක් පලදෙන්න තියනවානම් ඉතින් ඒක පලදෙනවාමනේ. කාර් කට්ටේ ඉස්සරහ වම්පැත්තේ රෝදේ සද්දයක් තියනවා වගේ කියලා සැකයක් තිබුණා. හනේ අම්මපා වාහන තුනක්, රියැදුරන් තිදෙනෙක් තියාගෙන හිටිය මම, අද තනියම ජැක් ගහනවා. (කාර් එකට, කාර් එකට, නැත්නම් වෙන අහවල් කෙන්ගෙඩියකටද ජැක් ගහන්නේ. මොනවා අහනවද මන්දා. මොකද අද එව්වා හිතුවට කොරන්ඩ පුලුවනැයි) ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ.
  ඔන්න ඉතිං ජැක් ගහලා බඩ තඩිය අමාරුවෙන් පාලනය කරගෙන කාරෙක යටට රිංගුවා, අර සැර එළිය තියන ටෝච් එකත් ඇන්න. ම්හු.......සැක කටයුතු කිසිවක් නැහැ. අපේ උන්දැගෙන් ඇහුවා කාර් එක නියුට්‍රල් කරන්න දන්නවද කියලා. මොන විකාරද අනේ මම ඔව්වා දන්නේ නෑ කියලා උත්තර ලැබුණා. අම්මපා අල්ලපු ගෙදර නෝනට කතා කරානම් නියුට්‍රල් කරවාගන්න තිබුණා. නැද්ද මං අහන්නේ? එකත් අමතක උනානේ. මම කිව්වා  කිව්වා ගියර් පොල්ල ටිකක් ඉස්සරහට පස්සට කරන්න (කාරෙකේ, කාරෙකේ, ආයෙත් අනං මනං ඇහුවොත් ඔන්න කතාව නවත්තනවා ඈ) එතකොට බුරුල් ගතියක් දැනෙයි එහෙමම තියන්න කියලා. ඔන්න මාගේ පියඹ ලෝක වාර්තාවක් තබමින්, ජීවිතයේ පළමුවැනි වතාවට, කාරයක් නියුට්‍රල් කළා.
  රෝදේ කරකවන්න පොඩ්ඩක් කියලා කිව්වා මම. හරි තදයි කැරකෙන්නේ නෑ කියලා උත්තර ලැබුනා. හුටා...... බ්‍රේක් බයින්ඩ් වෙලා ඇති. බ්රේක් පෑඩ් ගැලවෙලා ඩිස්ක් එකත් එක්ක හිරවෙලාද දන්නේ නෑ. ඔහොම හිතමින් මම කාරෙක යටින් එළියට ආවා. රෝදේ අල්ලලා කරකවන්න බැලුවා මොන විකාරද නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්. හෑ.............බලනකොට ලොක්කි කාරෙක නියුට්‍රල් කරලා නැහැනේ. පොල්ල (යකෝ දැන් දෙතුන් සැරයක් කිව්වා නේද කාරෙකේ කියලා) නිකම් හොල්ලලා විතරයි. මට ආව කේන්තියට කාරෙක නියුට්‍රල් කරා, දඩස් ගාලා ගියර් පොල්ලට එකක් ගහලා. කැරකුවා එක පාරටම රෝදේ. මගේ අත ලිස්සලා ගියා ඇලෝයි වීල් එක අස්සට. ඩ්‍රම් එකයි වීල් එකයි අතරට අත හිරවුණා. මෙන්න ප්‍රතිඵලේ.
photo0098
  ඉස්පිරිතාලේ ගියේ නැහැ. ප්‍රථමාධාර සහ බෙහෙත් අපේ ගෙදරම තියනවා. අපේ උන්දැ දුන්න විලාපෙට මගේ යාලුවෙක් දුවගෙන ආවා. මම කිව්වා පොඩ්ඩක් අත වැදුනා අනේ ඔය කාරෙකේ රෝදේ ගලවලා චෙක් කරලා දෙන්න කියලා. රෝදේ කිසිම ලෙඩක් නැහැ. මගේ මනස්ගාතයක් තමයි අර සද්දේ. මේ පින්තූරය ගත්තේ අපේ උන්දැගේ විලාප අස්සේ. හොඳ වෙලාවට මට මේ ඇඟිල්ල පාවිච්චි නොකර ටයිප් කරන්න පුලුවන්. මෙව්වත් තුවාලද අපිට වෙලා තියන තුවාලවල හැටියට. 
හැබැයි බැරි සිල් නොගන් අබරෝ 
my-signature-for-blog[1]2014 ජනවාරි මස 10 දින 2158 පැය

08 January 2014

දරු සම්පත - වෛද්‍ය රුවන් එම් ජයතුංග

වෛද්‍ය රුවන් එම් ජයතුංග, 2008 - 2009 කාල වකවානුවේදී, ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සිදුවූ සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින් ලියන ලද කෙටිකතාවක්, පහත පළකරනවා. මේ කෙටි කතාවේ ඇති සංවේදී බව නිසයි, එය ඔබත් සමග මෙසේ බෙදාගන්නට සිතුවේ. කතාව කියවා ඔබේ අදහස් දක්වන්න.
my-signature-for-blog[1]
2014 ජනවාරි මස 08 දින 0004 පැය

දරු සම්පත
 Short Story_pagenumber.001
Short Story_pagenumber.002
Short Story_pagenumber.003Short Story_pagenumber.004Short Story_pagenumber.005Short Story_pagenumber.006Short Story_pagenumber.007Short Story_pagenumber.008Short Story_pagenumber.009Short Story_pagenumber.010Short Story_pagenumber.011Short Story_pagenumber.012Short Story_pagenumber.013Short Story_pagenumber.014Short Story_pagenumber.015Short Story_pagenumber.016Short Story_pagenumber.017Short Story_pagenumber.018Short Story_pagenumber.019Short Story_pagenumber.020Short Story_pagenumber.021

02 January 2014

දෙයියෝ සාක්කි මමත් සාක්කි

අලුත් අවුරුද්දේ දෙවැනි දවසේදීම සාක්කි කාරයෙක් වෙන්න උනානේ මට. මීට කලිනුත් මේ වගේ සාක්කි කාරයෙක් වෙලා තියනවා. අම්මපා මේ සාක්කිය අර උසාවියේ සාක්කි කීම තරම් වැදගත් විදිහට නොසැළකුවත්, මොකක් හෝ නීති හුටප්පරටක් වුනොත් එහෙම කපෝතියි නේද? ඒ නිසා ඔය කිව්ව පලියට සාක්කි කාරයෙක් නොවී, කරුණු සොයා බලා සාක්කි කාරයෙක් වීම තමයි ණුවනට හුරු. නෑ මම මේ කිව්වේ, අද මම ගියා දඹුල්ල ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකට. ඒ මංගල්‍යයේදී මනමාලයාගේ පාර්ශ්වයේ සාක්ෂිකරු ලෙස අත්සන් කරන්නටත් සිදුවුනා මට.
  (මේ දැන් මතක් වෙච්චි පොඩි රහසක් කියන්නද මගේ විවාහ සහතිකයේ තිබෙන අත්සන අද මා පාවිච්චි කරන අත්සනට සමාන නැහැ. කාටද අප්පා පුළුවන් අවුරුදු 32 කට කලින් අත්සන් කරපු විදිහටම අදත් අත්සන් කරන්න. නෑ මේ මම කියන්න හැදුවේ මේ තියෙන්නේ මගේ අත්සන නෙවෙයි කියලා අද මට උසාවියකදී කියන්න බැරිවෙයිද දන්නේ නෑ. හපොයි මේ ටික ලිව්වේ පස්ස හැරී හැරී බලබලා බැරිවෙලාවත් ලොක්කි මේ පැත්තට එයිද කියලා)
  මේ මනමාලියි මනමාලයයි විශ්ව විද්‍යාල පෙම්වත්තු. මනමාලි කැකිරාවේ. මනමාලයා කෑගල්ලේ. (කැ  කෑ) මනමාලි රැකියාව කරන්නේ කැකිරාවේ, මනමාලයා රැකියාව කරන්නේ කොරියාවේ. (කැ කො) :D අනේ ඒ කොල්ලාට ප්‍රමාණවත් නිවාඩුවක් දීලා නැහැ කොරියාවෙන්. ආයේ ගියාම එන්නේ අවුරුදු තුනකින්ද කොහෙද. ඒ එනකොට අවුරුදු තුනක දරුවෙක් හිටියොත්? එකා මරහඬ තියයි මේ මොකාද ආවේ කියලා. මෙන්න මේ තියෙන්නේ මුන් දෙන්න අමාරුවේ වැටිච්ච තැන.
top 
  අපේ උන්දැගේ එක අක්කා කෙනෙකුගේ පුත්තරයත් සාර්ථකව ඒ වැඩේ කරලා තියනවා. ඌ මැද පෙරදිග රැකියාවක. මෙන්න මෙහෙ උගේ ඇඹේණිය නලවනවා ඌ තවම දැකලාවත් නැති දරුවා. (පින්තූරනම් යවන්න ඇති)  
  අද තිබුණු මංගල්‍යයේ දෙන්නම මගේ ලොකු දුවගේ විශ්වවිද්‍යාල සගයෝ. (සගයා කිව්ව්වට සගයී කියන්නේ නැහැ නේද?) මනමාලී පහුගිය කාලේ කීප වතාවක් අපේ ගෙදර ආවා, මංගල්‍ය උත්සවයට අවශ්‍ය අඩුම කුඩුම ගන්නයි, තව ඔය එක එක විච්චූරණ වලටයි.  අපේ දෝණියන්දෑ තමයි නගරයට එක්ක ගිහින් අතේ තියන සේසතම ඉවරවෙන සාප්පු ඒ ළමයට පෙන්නුවේ. අනේ ඉතින් ඒ දැරිවිත් අරාධනා කොලේ නැතැයි, ඔක්කොම වරෙල්ලා කියලා අපේ පවුලටම. හොඳ වෙලාවට අපේ චූටි දුවට තවම අවසාන විභාගේ පැවැත්වෙනවා වෙද ඉස්කෝලේ. ඒ නිසා එයා අවේ නැහැ. හතරදෙනාම සූරයෝ වගේ ගියානම් සෑහෙන්න වටිනා ත්‍යාගයක් දෙන්න වෙනවා. ඒ නිසා තුන්දෙනා ඩබල්දාලා නෑ නෑ තුන්දෙනා ගියා. දැන් කාලේ අමාරුයි අනේ. එක දිගට මගුල් ගෙවල් හතර පහකට යන්න වුනොත්, ඒ ජෝඩු ඔක්කොටම සිද්දවෙනවා, හිඟමනට වැටී මියගිය මගේ මළ ගෙදරට එන්න.
මේ ඉන්නේ මෙව්වට උල්පන්දම් දෙන සැට් එකක්.
photo0072
  හනේ මන්දා, මගුලක් කන එකත් පණ යන වැඩක් කියලා හිතෙන්නේ මෙව්වට තමයි. අම්මපා ජම්පිං ගොයිං ලාබයි කියලා හිතෙන්නේ ඔන්න ඔය වෙලාවට.  රෑ දෙකටලු මනමාලිටයි මනමාලයාටයි අන්දන්න පටන්ගත්තේ. හරී සනීප ඇති අර උඩරට ඇඳුම ඇඳගෙන රෑ දෙකේ ඉඳන් හවස හතර පහ වෙනකල් ඉන්නකොට. ඇයි දෙයියනේ ඔය ජාම වෙලාවට යක්කු පෙරේතයොත් බැල්ම හෙලනවානේ. අනේ අම්මෝ ඔව්වට අපි මොකවත් කියන්න යන්න හොඳ නෑ. පොන්ත නෝනගේ කොන්ඩේ බඳින්නේ පොන්ත නෝනට ඕනේ විදිහටයි කියනවලුනෙ. හැබෑටම මනමාල මනමාලියන්ට ඇන්දවීම/රූපාලංකාර කටයුතු, ඡායාරූප ගැනීම, කේක් හැදීම, ඇඳුම් මැසීම ආදී මෙකී නොකී දහසකුත් එකක් දේවල් නිසා තම බඩවියත රැකගන්න (අහිංසකයන් හූරාකන) කී දාහක් අද මේ රටේ ඇද්ද? යන්නන් වාලේම නොගිහින්, තමන්ට ගැලපෙන විදිහට තමන්ගේ මංගල්‍යය සැලසුම් කරගන්නේ කීයෙන් කීදෙනාද? හැබැයි මේ ජෝඩුවත් අනවශ්‍ය විච්චූරණ කරලා තිබුනේ නැහැ. සරලව එහෙත් අලංකාරව සියල්ල සිදුවුනා. ඉතින් මම සිහිවටනයක් වශයෙන් මගේ ජංගම දුරකතනයෙන් ලබාගත් පහත දැක්වෙන පින්තූරයත් සමගින් මේ දෙන්නට සුබ පතනවා. 
Wedding Photo
          2014 ජනවාරි මස 02 දින 2207 පැය                                                              my-signature-for-blog[1]

01 January 2014

හැමදාම සුබ අලුත් අවුරුද්දක් වේවා! කියමුද? කරගනිමුද? - An Everlasting New Year

  ??????????????????????????????????????????????????????????????????????????????????ඔබෙන් සමහර අයට මතක ඇති මම 2013 ජනවාරි පළමුවැනිදා ලිව්වා, සුබ නව වසර අපිම උදාකරගනිමු කියලා සුබ පැතුමක්. අපි ගෙවන්නේ කොයි තරම් ඒකාකාරී ජීවිතද? ඔබට හිතෙන්නේ නැද්ද අපි හැමදාම එකම රවුමේ යන්නේ කියලා. හිතලා බලන්න. අලුත් අවුරුද්ද, (ව්‍යවහාරික වර්ෂ ක්‍රමය අනුව) තෛපොංගල් උත්සවය, නබි තුමාගේ උපන්දින සැමරුම, මහා සිවරාත්‍රි දිනය, සිංහල දෙමළ අළුත් අවුරුදු උත්සවය, මහ සිකුරාදා දිනය, වෙසක් උත්සවය, පොසොන් උත්සවය, හජ්ජි උත්සවය, දීපාවලී උත්සවය, නත්තල් උත්සවය. ඔය විදිහට අපි එක අවුරුද්දක් තුළ විවිධ ජාතීන් හා ආගම් පදනම් කරගෙන, සංවත්සර හෝ සැමරුම් පවත්වනවා. රාජ්‍ය නායකයෝ, ආගමික නායකයෝ, මාධ්‍ය වෙත පණිවිඩ නිකුත් කරනවා. ඒවා මහා ඉහළින් පළ කරනවා. හැමදාම කියන්නේ එකමදේ. කරන්නේ එකම දේ. වෙන්නෙත් එකම දේ. ඊළඟ අවුරුද්දෙත් අපි ඔය රවුමේම යනවා.
  tumblr_mrtqa8pFOU1qfvq9bo1_500ඔය කාලසටහනට සාපේක්‍ෂව අපේ ජීවිතවල කොපමණ වෙනස්කම් වෙනවාද කියා සොයා බැලුවොත්, සිදුවෙන්නේ බොහොම ටිකයි. එයිනුත් බොහොමයක් භෞතිකමය වෙනස්වීම්. ඉඩමක් ගැනීම, ගෙයක් හැදීම, පදිංචිය වෙනස් වීම/කිරීම, රැකියාවක් ලැබීම/රැකියාවේ වෙනස්වීම්, එහෙම නේද? මම කියන්නේ ඒවා නරකයි කියලා නෙවේ. ඒවා කරන්න එපා, ඒවා පලක් නැති වැඩ කියලා නෙවෙයි, ඊට සාපේක්‍ෂව ආධ්‍යාත්මික වශයෙන් වෙනස්වීම් සිදුවන්නේ බොහොම ටිකයි. විවාහ වීම/දික්කසාද වීම, දරුවන් ඉපදීම/පවුලේ අය මියයාම  භෞතිකමය වෙනස්වීම්ද ආධ්‍යාත්මික වෙනස්වීම්ද? ඔබම සිතා බලන්න. 
   going-round-in-circles-G-Gawne-Kelnar මම කියන්න හදන්නේ මෙයයි. අපි මේ රවුමේ යාමෙන් වෙනස්විය යුතුයි කියලා ඔබට කවදාවත් හිතිලා නැද්ද? හිතුනත් කොහොමද එහෙම වෙනස්වෙන්නේ කියලා හිතෙන් තර්ක කරලා නැද්ද? මම මෙතනට කිසිම ආගමක් ගාවගන්න කැමති නැහැ. මම කියන්නේ නිදහසේ හිතන්න කියලා විතරයි. ඇත්තටම සමහර දේවල් තියනවා අපට වෙනස් කරන්න බැරි. නියමිත වෙලාවට රැකියාවට යාම, දරුවන් පාසල් යැවීම, වැනි දේවල්. ඒවා පැත්තක තියන්න. ඒවායින් සමහරක් අපි කරන්නේ කැමැත්තෙන් නොවෙයි. නොකර බැරි නිසා. අපේ ජාතික ආගමික චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමත් අර දිනපතා කරන අනෙක් කටයුතු මෙන් ඒ නියමිත දිනයේදී අවම මට්ටමෙන් කරලා 'ඔන්න ඒ වැඩෙත් ඉවරයි' කියලා හිත හදාගන්න එකද හරි, එහෙම නැත්නම් එයින් තමන්ටත් පවුලේ අයටත් යම්කිසි ආධ්‍යාත්මික සුවයක් දෙන ආකාරයට කරන එකද හරි.
  මම හිතන්නේ, ව්‍යවහාරික වර්ෂ ක්‍රමය නිසා, ජනවාරි පළමුවැනිදා, කිසියම් ආරම්භයක් ලෙස සළකනු විනා, සැමරුමක් ලෙස සළකා කටයුතු කිරීම අපේ රටේ බොහෝ දුරට සිදුවන්නේ නැහැ. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද තමයි සැමරුමක් ලෙස වඩාත් තැනක් ලබන්නේ. එතැනදී නම් චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැනක් ලැබෙනවා. චාරිත්‍ර වාරිත්‍ර කියන්නේ කලයුතු දේ සහ නොකර වැළකී සිටියයුතු දේ කියන එකනේ. ඒවා අනුගමනය කිරීම හොඳයි. බාල පරපුරත් ඒ වෙත යොමුකිරීම හොඳයි. හැබැයි එය අන්ධානුකරණයක් නොවියයුතුයි. අද ඉන්න ළමයි තර්කානුකූලව විමර්ශනශීලීව ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන වියහැකියි.
  මට මතක් වෙනවා බොහොම කාලෙකට ඉහත මා දුටු පුවත්පත් කාටූනයක්. මගුල් ගෙදරකට ගිය කුඩා දරුවකු (අර හැමදේම ගැන නොකඩවා ප්‍රශ්න අහන වයසක් තියෙන්නේ. අන්න ඒ වයසේ ළමයෙක්. මම දැකලා තියනවා හරකුන්ටත් වඩා පහළ මට්ටමේ මොළයක් තියන දෙමවුපියෝ, එවැනි ළමයින්ට තරවටු කර කටවසා, ඒ ළමයා සදාකාලික මොට්ටයෙක් කරන හැටි) තමන්ගේ පියාගෙන් විමසනවා 'අර මොකද තාත්තේ අර මනමාලයාගෙයි මනමාලිගෙයි ඇඟිලි දෙක එකට අල්ලලා බැඳලා තියෙන්නේ' කියලා. තාත්තා කියනවා 'ඒ පුතේ අර කුඹුරේ හානකොටත් ගොන්නු දෙන්නා එකට බඳින්න එපායැ. අන්න ඒ වගේ තමයි' කියලා.   :D
 13518511808067 අපි සිංහල/දෙමළ/මුස්ලිම්/ වුනේ කොහොමද? අපි බෞද්ධ/කතෝලික/හින්දු/මුස්ලිම් ආගමේ වුනේ කොහොමද? ඇයි අම්මේ අපි සිංහලෙන් ගාථා කියලා බුදුන් වඳින්නේ නැත්තේ? ඉතින් අම්මේ, බුදු හාමුදුරුවන්ට තිබුණනේ, සතියක් ඇහිපිය නොහෙලා බෝධිය දිහා බලා ඉන්නවාට වඩා, බෝධියට වතුර ටිකක් පෝර ටිකක් දාලා සත්කාර කරන්න. මෙන්න මේ වගේ ප්‍රශ්න ඔබේ දරුවා ඇහුවොත් ඔබ කෝප වෙනවද? දරුවාට තරවටු කරනවද මෝඩ ප්‍රශ්න අහන්න එපා කියලා? ඔබම හිතා බලනවද මොකක්ද දියයුතු සුදුසුම පිළිතුර කියලා? ඇත්තටම සමහර ප්‍රශ්න බොළඳ, මෝඩ, ඒවා වියහැකියි. ඒ ප්‍රශ්න අහන්නේ ළමයෙක්. හොඳින් මතක තියාගන්න ළමයා කියන්නේ පුංචි මිනිහෙක් නෙවෙයි. ළමයා කියන්නෙ ළමයාට. ඔහුට බැහැ මනසින් අපේ තත්වයට ඇවිත් ප්‍රශ්න අහන්න. ඔහු ඉන්නේ ඔහුගේ ලෝකයේ. අපි තමයි ඒ ලෝකය වනසන්නේ. අන්තිමට අපිම තමයි ළමයාව මානසිකව දූෂණය කරන්නේ.  
  හොඳයි, දැන් කොහොමද අළුත් අවුරුද්ද කියන එක හැමදාම තියාගන්නේ? ජනවාරි පළමුවැනිදාත් වෙනදා වගේම ඉර පායලා බැහැලා යනවා. ආයෙ අපට පුළුවනෑ ඒක අතින් අල්ලලා නවත්තන්න. අතින් අල්ලලා නවත්තන්න බැරි නම් අපි කරන්න ඕනේ හිතින් අල්ලලා නවත්තගන්න එක. ඔය බොහොමයක් දේවල් තියෙන්නේ අපේ හිතේනේ. අපි නිතර හිතෙන අලුත් වෙනවානම් (වෙන්න පුළුවන්නම්) අළුත් අවුරුද්ද අපේ හිතේ දිගටම තියනවා. ඒ කියන්නේ උදාවන හැම දවසම අලුත් දවසක් කියනඑක අඩු ගානේ උදේ වරුවටවත් හිතේ ධාරණය කරගන්න පුලුවන්නම් එය අපේ සාර්ථකත්වයට හේතුවක් වෙනවා. ඔව්වා කරන්න ආය මේ ධනාත්මක චින්තන පාඨමාලා කරන්න අවශ්‍ය නැහැ.  හොඳයි, දැන් මම ඔබට පුංචි යෝජනාවක් කරන්නයි හදන්නේ. මොකක්ද දන්නවද? මම පහත සඳහන් කරනවා කරුණු දහයක්. හිතලා බලන්න මේ දේවල් හාරන්න පුලුවන්ද බැරිද කියලා. ඉස්සරවෙලාම කරුණු දහය කියන්නම්කො.
1.  දිනපතාම වගේ දකින (පාරේදී/බස් නැවතුමේදී/කෝච්චියේදී/කාර්යාලයේදී) එහෙත් තරහත් නැති, යාළුත් නැති කෙනෙකුට, සුබ උදෑසනක්/අද පරක්කු වුනා නේද/අද බස් නැද්ද/එපාවෙන වැස්සනේ/ වගේ වචනයකින් සංග්‍රහ කරන්නකෝ.
2. ඔබේ රැකියාව අභියෝගයක් කරගන්න. එය ජයගන්නට උත්සාහ කරන්න. දවස අවසානයේ සතුටුවියහැකි කාර්යභාරයක් අවසන් කරන්න. අද කොහොමහරි ඉවසීමෙන් වැඩ කරනවා. ඔෆිස් එකේදී කේන්ති ගන්නේ නැතුව ඉන්නවා කොච්චර වැඩ ආවත්. ඔන්න ඔයවගේ සිතුවිල්ලක් දෙකක් දෙකක් දිනපතාම හිතේ ඇතිකරගන්නකෝ.
3. උදේට වැඩට යන්න පෙර හෝ රාත්‍රියේ නිදාගන්න යන වෙලාවටවත් තමන්ගේ ආගම සිහිකරන්නකෝ. (මහා කැලේ ගස් යට කූඩාරම් වල ඉඳගෙන යුද්ද කරන සෙබළු බොහොමයක් දිනපතා ආගම අදහන්නේ ජීවිතයට තියන බය නිසා නෙවෙයි. භික්ෂූන් වහන්සේලා යුද බිමට ඇවිත් කළ ධර්මදේශනා ඇසීමෙන්) මම රෑ වෙනතුරු පරිගණකයේ එල්ලිලා ඉඳලා, නිදාගන්න යන්නේ, අපේ ගෙදර තැන්පත් කර තිබෙන බුදු පිළිමය පසුකරගෙනයි. ඉතින් අනිවාර්යයෙන්ම මතකයට එනවා ආගම සිහිකරන්න, නිදාගන්නට පෙර.  
4.  අද මම මෙන්න මේ හොඳ දේවල් කළා කියලා මතක්කරන්න නින්දට පෙර.  
5. විනාඩි පහක්වත් වෙන්කරගන්න සිරුර සැහැල්ලුවෙන ව්‍යායාමයක් කරන්න. (වෙහෙසවී වැඩ කරන අයටත් තියනවා සිරුරට සහනය දෙන එවැනි ව්‍යායාම)  
6.  ඔබ නිතර ලියන කෙනෙක් නෙවෙයිනම් දිනපොතක හෝ හැමදාම මොනවාහරි සටහන් කරන්න. විශේෂයෙන් තමන්ගේ සිතුවිලි සටහන් කිරීම සිත සැහැල්ලු කරගැනීමේ එක සාර්ථක ක්‍රමයක්.
7.  ලිවීම වගේම තමයි කියවීම. මමනම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ පොතක් කියවීමෙන් ලැබෙන වින්දනය බ්ලොග් කියවීමෙන් ලැබෙනවා කියා. ඒ නිසා මුද්‍රිත පිටු කියවීමත්, දැනුම දියුණුවන, මනසට විවේකයක් දෙන, හොඳ ව්‍යායාමයක්.
8.   ගෙදර තියන ප්‍රශ්න කාර්යාලයටත්, කාර්යාලයේ තියන ප්‍රශ්න ගෙදරටත්, ගෙනයාම/ගෙන ඒම වළක්වාගන්න සියළු උත්සාහ දරන්න.
9. දිනපතාම ඔබේ අසල්වැසියන්ගෙන් එක්කෙනෙකුටවත් කතාකරන්න. ඒ අසල්වැසියාට කරදරයක් නොවේනම් විනාඩි පහක්වත් ඒ ගෙට ගොඩවී කතාකරන්න. යටත්පිරිසෙයින් දුරකථනයෙන් වත් කතාකරන්න. ගෙදර හදන කෑමබීම වලින් මොනවාහරි ඉඳහිටවත් දෙන්න. ආපසු බලාපොරොත්තු නොවන්න.
10.  ඔබේ දුර්වලතා හඳුනාගන්න. අනෙක් අය නිරීක්ෂණය කරන ඔබේ දුර්වලතා මගහරවා ගන්නට පැහැදිලි සැලැස්මක් හදාගන්න. (මම මේ දිනවල අධිෂ්ඨාන කරගෙන තිබෙන්නේ අන්‍යයන් උවමනාවට වඩා විශ්වාස කිරීමේ දුර්වලත්වය මගෙන් ඉවත් කරගැනීමටයි)
  මම මෙතන කිව්වේ කරුණු 10 ක් පමණයි. තව කරුණු එකතු කරන්න පුළුවන්. නමුත් මම හිතුවේ 10 ක් පමණක් කියන්නයි. අපි හැමදෙනාටම හැමදාම මේ ඔක්කොම කරන්නට බැහැ. මෙය අපේ චර්යාවන් වෙනස්කරගැනීම සඳහා කිසියම් රුකුළක් කරගැනීම තමයි කරන්න පුළුවන්.
අධිෂ්ඨානය
බුද්ධිය
චිත්තධෛර්යය තුළින්
සුබ නව වසරක් උදාකරගැනීමට
ඔබට හැකිවේවා! 
my-signature-for-blog[1]2014 ජනවාරි මස 1 දින 0001 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }