හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

02 July 2015

මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ.................. (හතරවැනි කොටස)

   තවත් දීර්ඝ ලිපි මාලාවක අවසානයි මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ. බොහෝ දෙනා තුළ, හමුදාමය කරුණු ගැන දැනගන්නට මහත් කුතුහලයක් තිබෙන බව, මා බ්ලොග් ලිවීම ආරම්භ කරන්නටත් පෙර, දැන සිටියා. ඔබ වෙනුවෙන් මෙසේ හමුදා තොරතුරු ඉදිරිපත් කරන්නට ලැබීම සතුටක්.  

   අප මෙතෙක් සාකච්ඡා කල හමුදා පදක්කම් ගැන තවත් තොරතුරු මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙනවා. මේ ලිපි මාලාවේ පසුගිය කොටස් කියවන්නට ඔබට අවස්ථාවක් නොලැබුණා නම්,  




කියවන්නට පුළුවන් බව මතක්කරනවා. 

   මේ ඉහත තිබෙන පින්තූරයේ සිටින්නේ, අද අප අතර නැති, යුද විරුවෙක්. මොහු දෙවැනි ලෝක යුද සමයේදී ලාංකිකයකු වශයෙන් බ්‍රිතාන්‍ය හමුදාවට බැඳී මැදපෙරදිග ප්‍රදේශයේ මහ යුද්ධයේදී සේවය කළ, බලලත් නිලධාරි II පර්සි පෙරේරා. අවුරුදු 92 ක් ආයු වළඳා 2010 වසරේදී අභාවප්‍රාප්ත වුනා. බලන්න ඔහු පැළඳ සිටින්නේ බ්‍රිතාන්‍ය හමුදා පදක්කම්. ඔහු බ්‍රිතාන්‍ය හමුදාවේ සොල්දාදුවෙක්. මෙවැනි අය රාශියක් අපට හිටියා. ඔවුන්ගේ විශ්‍රාම වැටුප් පවා ගෙවන්නේ බ්‍රිතාන්‍යයෙන්.


   
   දැන් ඔබට අපේ හමුදාවේ පදක්කම් ගැන සතුටුදායක අවබෝධයක් තිබෙනවා. අද අපි මුලින්ම බලන්නේ වෙනස් විදිහක පදක්කම් වර්ගයක් ගැනයි. සාමාන්‍යයෙන් පදක්කමක් රවුම් හැඩයෙන් තිබෙන බව ඔබ දන්නවා. එහි විෂ්කම්භය සෙන්ටි මීටර් 3.5 ක් පමණ වනවා. නමුත් සෑම පදක්කමක්ම ඊට වඩා කුඩාවට සකසා නිකුත් කරනවා. එහි ප්‍රමාණය සෙන්ටි මීටර් 2.5 ක් පමණ වනවා. ඊට අනුකූලව පීත්ත පටියේ පළල ද අඩුවෙනවා. මොකටද මේ කුඩා පදක්කම්? මේ පදකම් විශේෂයෙන් පළඳින්නේ අධිකාරිලත් නිළධාරීන් ඒ කියන්නේ දෙවැනි ලුතිතන් සිට ෆීල්ඩ් මාර්ෂල් දක්වා නිළධාරීන්. සෙසු නිළයන් අතරින්,  මෙවැනි කුඩා ප්‍රමාණයේ පදක්කම් පළඳින්නට අවසර තිබෙන්නේ බලලත් නිළධාරි I තනතුරේ අයෙකුට පමණයි. මේ පදක්කම් වර්ගය හඳුන්වන්නේ Miniature Medals යනුවෙන්. 

   කුමන අවස්ථා වලදීද මේ පදක්කම් පළඳින්නේ? 

   
   නිළධාරී නිවස්නයක පැවැත්වෙන සාම්ප්‍රදායික හමුදා සාද (විසිර යාමේ පෙළපාලියකට අදාලව පැවැත්වෙන රාත්‍රී සාද, රෙජිමේන්තු/බලඇණි සංවත්සරයක් වෙනුවෙන් පැවැත්වෙන සාද වැනි) වලදී අඳින අංක 3 නිළ ඇඳුමෙහි තමයි මේ කුඩා පදක්කම් පළඳින්නේ. මේ බලන්න, ශ්‍රී ලංකා යුද හමුදා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් මේජර් වරයකු, තම නිළ ඇඳුමේ මෙම කුඩා පදක්කම් පැළඳ සිටින ආකාරය.  





   යුද හමුදාවෙන් විශ්‍රාම ගත් නිලධාරීන්ටත්, ජ්යොෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ටත් (සැරයන් සිට බලලත් නිලධාරි I දක්වා) එවැනි සාදයකට ඇරයුම් ලැබුණොත්, මෙම කුඩා පදක්කම්,, තමන් අඳින යුරෝපීය ඇඳුමේ කෝට් එකෙහි පළඳින්නට පුළුවන්. එමෙන්ම විශ්‍රාමික නිලධාරියකුට පුළුවන්, යුද හමුදා අවමංගල්‍ය උත්සවයකට සහභාගි වන අවස්ථාවකදීද, මෙම පදක්කම් පළඳින්නට. 


   තමන්ට තිබෙන පදක්කම්, හිතෙන හිතෙන විදිහට, ඕනෑම නිල ඇඳුමක පළඳින්නට බැහැ. ඒ සඳහා අදාළ හමුදා නියෝග තිබෙනවා. සාමාන්‍යයෙන්, යුද හමුදාවේ, පහත දැක්වෙන නිළ ඇඳුම් වල පමණයි, පදක්කම් පළඳින්නට අවසර තිබෙන්නේ; 


අංක 1 නිළ ඇඳුම; 



අංක 2 නිළ ඇඳුම; 



අංක 3 නිළ ඇඳුම; 



අංක 4 නිළ ඇඳුම; 


   යන නිළ ඇඳුම්වල පමණයි. කාන්තා සෙබළියන්ට/නිළධාරිනියන්ට කියා වෙනසක් නැහැ. 

   මා දන්නවා දැන් ඔබට විශාල ගැටළුවක් තිබෙනවා ඒ ඒ අංකයට අදාළ නිළ ඇඳුම යනු කුමක්ද? හමුදාවේ එවැනි නිළ ඇඳුම් වර්ග කීයක් තිබේද? කියා. ඒ සියල්ල විස්තර කෙරෙන ලිපියක් වෙනමම ලියන්නම්. 


   පදක්කම් පළඳින්නට දෙන්නේ, මේ නිළ ඇඳුම් හතරේ විතරක් නම්, මොකක්ද පදක්කම් වලින් ඇති වැඩේ? අනික් වෙලාවට කවුරුවත් දන්නේ නැහැනේ, ඒ ඒ හමුදා පුද්ගලයාට තිබෙන පදක්කම් මොනවද කියලා? 


   පදක්කම් කියන්නේ යම්කිසි ගෞරවාන්විත පළඳනාවක්. ඒවා ඔය හැම වෙලාවේම එල්ලගෙන ඉන්න නෙවෙයි තියෙන්නේ විශේෂ අවස්ථා වලදී පමණක් පළඳින්න. අනික් එක හොඳින් බලන්න මේ අංක 1 සිට 4 දක්වා නිළ ඇඳුම් දෙස. ඒවා සාමාන්‍යයෙන් යුද්ධයට අඳින නිල ඇඳුම් නොවෙන බව පේනවා නේද? ඒවා විශේෂ උත්සව අවස්ථා වලදී පමණක් අඳින නිළ ඇඳුම්.


   අනෙකුත් නිළ ඇඳුම් වලදී, ඒ කියන්නේ අංක 5, 6, 6A, 7, යන නිළ ඇඳුම් වලදී, මෙම පදක්කම් නියෝජනය කරන්නේ වර්ණ පටි විශේෂයකින්. සාමාන්‍ය හමුදා ව්‍යවහාරයේදී ඒවා හඳුන්වන්නේ, Service Ribbons හෙවත් Service Bar යනුවෙන්. මේ වර්ණ පටියක් කියන්නේ පදක්කම සමග ලැබෙන පීත්ත පටියෙන්ම කපාගත් අඟල් 1 .25 ක පමණ කෑල්ලක්. එය පිත්තල තහඩුවක, තදින් ඇදී සිටින සේ ගම වර්ගයකින් හෝ මැහුම් යෙදීමෙන් රඳවනවා. මේ බලන්න, මෙන්න මේකට තමයි සර්විස් බාර් එක කියන්නේ. 





අපි බලමු, පදක්කම් පළඳින්නේ කොහොමද කියලා.  



   දැන් ඔබට වැටහෙනවා ඇති පදක්කම් සහ සර්විස් බාර් එක අතර වෙනස.

   පදක්කම් සම්බන්ධ තවත් නීති රීති තිබෙනවා. ඒ තමයි ආරක්ෂක අමාත්‍යාංශය මගින් මේ සෑම පදක්කමකටම, ජ්‍යොෂ්ඨත්වයක් ලබාදී තිබීම. ඒ අනුව, ත්‍රිවිධ හමුදාවේ කිසිම කෙනෙකුට බැහැ, තමන්ට හිතෙන හිතෙන විදිහට පදක්කම් පළඳින්න. සර්විස් බාර් එකේ රිබන් කෑලි හයිකරගන්න. අර ජ්‍යොෂ්ඨත්වය අනුව තමයි, පැළඳිය යුත්තේ. 

   ඒ අනුව ජ්‍යොෂ්ඨත්වයෙන් වැඩිම පදක්කම, තම නිළ ඇඳුමේ පපුව මැද්දට වන්නට පැළඳිය යුතුයි. කණිෂ්ඨතම පදක්කම තමා පපුවේ වම්පස කෙළවරට වන්නට පැළඳිය යුත්තේ. තමන්ට ලැබී තිබෙන පදක්කම් ප්‍රමාණය අනුව, හමුදා නියෝගයේ දක්වා ඇති ආකාරයට, තම පදක්කම් සකසාගත යුතුයි. 

   එතකොට සර්විස් බාර් එක? ඒකත් එහෙමම තමයි. නමුත් ඔබට පෙනෙනවා ඇති, පදක්කම් පැළඳීමේදී,  එක පෙළකට සිටින සේ පළඳින බවත්, සර්විස් බාර් එක පැළඳීමේදී එහි පේළි කීපයක් ඇති බවත්. මොකද ඒ? එතකොට කොතනද ජ්‍යොෂ්ඨතම සහ කණිෂ්ඨතම බාර් කොටස පළඳින්නේ? 

   ඒක කරන්නේ මෙහෙමයි. සර්විස් බාර් එක සැකසියයුතු ක්‍රමයත්, හමුදා නියෝගවල තියනවා. සර්විස් බාර් එකේ එක පෙළට පළඳින්න පුළුවන් රිබන් කෑලි හතරයි. ඊට වැඩි වෙනකොට, පළමුවැනි පෙළට ඉහළින් දෙවැනි පෙළක් යෙදිය යුතුයි. ඒ ආකාරයට පේළි ගණන වැඩිවෙනවා, අලුතෙන් තවත් පදක්කම් ලැබෙනවිට. ජ්‍යොෂ්ඨතම පදක්කමට අයත් රිබන් කෑල්ල තිබෙන්නේ, ඉහළම පේළියේ, පපුව මැදට වන්නට, කණිෂ්ඨතම පදක්කමට අයත් රිබන් කෑල්ල තිබෙන්නේ පහළම පේළියේ පපුවේ වම් පැත්තට වන්නට. 

   තවත් නීති තිබෙනවා. අපි හිතමු, කෙනෙකුට පදක්කම් පහක් තියනවා කියා. ඒ අනුව සර්විස් බාර් එක සකස් කලයුත්තේ, නීතියේ හැටියට, එක පෙළක රිබන් කෑලි හතරක් සහ, පස්වැනි රිබන් කෑල්ල ඊට ඉහළින් පේලියේ නෙවෙයි. එහෙම ගැහුවම කැතයි. ඒ නිසා, පහළ පේළියේ කෑලි තුනක් සහ ඉහළ පේළියේ කෑලි දෙකක් ගහනවා. මේ විදිහට රිබන් කෑලි ගැසීම සඳහා නියමිත ක්‍රමය පහළින් දක්වනවා.  



   රිබන් කෑලි 4,8,12,16, යන අවස්ථා වලදී එන්නේ කෑලි හතරේ පේළි බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. රිබන් 10 ක් තියනවා නම්, හතරේ පේළි දෙකයි, දෙකේ පේළි එකයි. 

   යුද හමුදාව සහ ගුවන් හමුදාව මේ ආකාරයට සර්විස් බාර් එක ඇන්දත් නාවික හමුදාව අඳින්නේ වෙනස් ආකාරයකටයි. ඒ ලොව පුරා නාවික හමුදා සම්ප්‍රදායයි. එහිදී කරන්නේ දිගින් අඩු පේළිය පහළම පේළිය සේ සලකා ඇඳීමයි. නමුත් රිබන් වල ජ්‍යොෂ්ඨත්වය වෙනස් වන්නේ නැහැ. මේ බලන්න.



   හොඳයි, ඔබ මෙතෙක් වෙලා නොසිතුව ප්‍රශනයක් අහන්නම්. හමුදා සේවයේ යෙදී ඉන්න කෙනෙකු, කරන ලද වීරක්‍රියාවක් හේතුවෙන්, ඔහුට වීර පදක්කමක්, උදාහරණයක් වශයෙන් රණශූර පදක්කම, ලැබෙනවා. කලකට පසු ඔහු නැවතත් එවැනිම වීරක්‍රියාවක් කරනවා. නැවතත් ඔහුට රණශූර පදක්කම ලැබෙනවා. දැන් මොකද කරන්නේ? එකම පදක්කම් දෙවරක් ලැබුන නිසා, පදක්කම් දෙකක් සහ රිබන් කෑලි දෙකක් පළඳිනවද? 

   නැහැ නැහැ. එහෙම ක්‍රමයක් නැහැ. ඒ වෙනුවට වෙනත් සංකේතයක් තමා පළඳින්නේ. එය හඳුන්වන්නේ සන්දාරය - Clasp නමින්. මේ බලන්න, ඒ සන්දාරය කියන ලෝහමය ක්ලිප් එකක් වැනි කොටස, පදක්කමේ රිබන් එකට සවිකර පළඳිනවා. 






   පැළඳ සිටින සන්දාර ගණන අනුව කියන්න පුළුවන්, ඒ පුද්ගලයාට ඒ ඒ පදක්කම, කී වරක් ප්‍රදානය කර තිබෙනවාද කියා. පදක්කම් සමග මෙවැනි සන්දාරයක් පළඳින නමුත්, සර්විස් බාර් එකේ පළඳින්නේ, කුඩා තරුවක් හෝ බොත්තමක් වශයෙන් සකසා ඇති සන්දාරයක්. මේ බලන්න. 



   ඉතින්, හමුදා තොරතුරු ඉදිරිපත් කරන තවත් ලිපි මාලාවක අවසානයට අපි මෙසේ ළඟාවෙනවා. මා හිතනවා මෙයින් ඔබේ දැනුම දියුණු වන්නට යමක් එකතුවන්නට ඇතැයි කියා. හමුදා තොරතුරු ඇතුලත් තවත් ලිපි රාශියක් සැකසෙමින් පවතිනවා. ඔය අතරේ බල්ලෝ බිරුවත්, තවලම ඉදිරියටම යනවා. තවත් ලිපියකින් ළඟදීම හමුවෙමු.

2015 ජූලි මස 2 වැනි දින 1114 පැය


.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }