හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

26 October 2016

අතුරුදහන් වෙන්න ඕනෙද?............... එහෙනම් මෙන්න ක්‍රමේ

   අතුරුදහන් වීම හෙවත් අන්තරස්දාන වීම ගැන, අපේ සමාජයේ නානාප්‍රකාර කියමන් තියනවා. 'මේ දැන් මෙතන හිටියා/තිබුණා, කොහාට අන්තරස්දාන වුණාද දන්නේ නෑ' කියන කියමන, නිතර අහන්න දකින්න ලැබෙනවා. මතකද ඉස්කෝලේ යන කාලේ අපි ඉස්කෝලෙන් අන්තරස්දාන වෙලා මොකක්හරි අණ්ඩපාල වැඩකට යනවා, ගෙදරින් අන්තරස්දාන වෙලා, බජාර් එකේ කට්ටිය එක්ක, සමාගම් පවත්වන්න යනවා. ඇයි ඉතිං, ප්‍රේමාවතීලා ප්‍රේමදාසලා, කොච්චර නම් අන්තරස්දාන වෙනවද පෙම් කෙළිය වෙනුවෙන්. 

   නමුත් අද මම ඔබ සමග සාකච්ඡා කරන්න යන්නේ ඒ විදිහේ තාවකාලික අතුරුදහන්වීම් ගැන නෙවෙයි. ස්ථිර අතුරුදහන්වීම් ගැනයි. හෙහ් හෙහ්, බයවුනාද? ටිකක් තරහත් ආවද? මේ යකා මිනීමරන වැඩ ගැන නේද කියන්නේ කියලා. නැහැ නැහැ, ඔය අපේ රටේ කුප්‍රකට සුදු වෑන්, කළු ඩිෆෙන්ඩර්, ගැන නෙවෙයි මේ කියන්නේ. 

   ඇත්තටම මිනිස්සු අතුරුදහන් වෙනවද? එහෙම අතුරුදහන් වෙන්නේ ඇයි? එහෙම අතුරුදහන්වීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද යන කාරණා අපි සලකා බලමු. 

   අම්මපා මට අතුරුදන් කරවන්න ඕනේ එවුන් ලැයිස්තුවක් ඉන්නවා, අර කමකට නැති විදනයා, ඕකා මට වලා කිව්වා, ඊයේ පෙරේදා, සඳුමල්ගේ ගේ අඩවියේදී, නමුත් කිව්වේ නෑ කළු වලා ද, නිල් වලා ද, සුදු වලා ද,  කියලා. ඒ වගේම මට නාකිවිසේ කියන අර ලැට්ච්චරයා, එතකොට අර කමකට නැති කොමෙන්ට් ගහන දෙමළ නයන්නා, අහුවෙයව්කෝ මට. මම තොපි ඔක්කොම අතුරුදන් කරනවා මන්තර බලෙන්.  

   මේ ලිපිය ලියන්න පාදක වුන කරුණක් තමයි, ඊයේ පෙරේදා දවසක අපේ දොස්තර මහත්තයාගේ ලිපියක තිබුණු, අතුරුදන්වීමේ කතාව. ඒ කතාව අනුව, සිය බිරිඳ සහ දරුවා ඝාතනය කල එක්තරා වෛද්‍යවරයෙක්, අධිකරණ ක්‍රියාමාර්ග පැවැත්වෙන අතර, අතුරුදන් වී තිබෙනවා. මා ඔබ සමග කතාකරන්න බලාපොරොත්තු වන්නේ, අන්න ඒ ආකාරයේ අතුරුදන්වීම් ගැනයි.

   කිසියම් අපරාධයක ගොදුරක් වීමෙන් තොරව, සිය කැමැත්තෙන් අතුරුදන් වන මිනිසුන් ලෝකයේ ඉන්නවද? අපොයි, එක අවුරුද්දකට, ලක්ෂ ගණනක්, එහෙම සිය කැමැත්තෙන් අතුරුදන් වෙනවා. අපේ රට පුංචි රටක් නිසා, අතුරුදන් වී ජීවත්වීම ටිකක් අමාරුයි. කොහෙන් හෝ තම මුල් අනන්‍යතාව එලියට එනවා. 

   නමුත්, 1971 කැරැල්ලේ ප්‍රබල සාමාජිකයකු වන මගේ මිත්‍රයකු, 1998 වර්ෂයේදී, මට අහම්බෙන් මුණගැහුණා. ඔහු 1971 කාලයේදීම අතුරුදන් වූ කෙනෙක්.  ඔහු මගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලුවා, ඔහු ගැන කිසිවක් හෙළි නොකරන ලෙස. අද ඔහු ජීවත්වන්නේ, බස්නාහිර පළාතේ. 

   මිනිස්සු මෙහෙම ස්ව කැමැත්තෙන් අතුරුදන් වෙන්නේ ඇයි?

  • ගෙවාගත නොහැකි තරම්, ණය උගුල් වල පැටලීම නිසා, එයින් ගැලවෙන්නට. 

  • සමහරවිට, තම රැකියාවට අදාළ මූල්‍ය වංචා, අල්ලස්, දූෂණ, ආදිය නිසා, වරදකරුවකු වී, සිරගෙට යන්නට සිදුවන බව පැහැදිළි වීම.

  • පවුල් ජීවිතයේ ඇතිවන, අර්බුද, ආරවුල්, සණ්ඩු සරුවල් සහ/හෝ, වගකීම් දරන්නට ඇති නොහැකියාව හෝ අකමැත්ත.

  • මේ සියල්ලෙන් වෙන්වී, අලුත් ජීවිතයක් පටන්ගත යුතුයැයි, කාලයක් තිස්සේ හෝ එකවරම, සිතට එන අදහස ක්‍රියාත්මක කිරීම. 

  • යම් යම් අපරාධ වලට සම්බන්ධ තම අතීතය වසා දමා, නව ජීවිතයක් ඇරඹීම. 

   මා හිතනවා ඔබ තවත් හේතු ඉදිරිපත් කරනු ඇතැයි කියා. 

   හොඳයි, ඉතින් කොහොමද අතුරුදන් වෙන්නේ? මේ සඳහා ඔබට යම් සැලැස්මක් තිබිය යුතුයි. ලෝකයේ විවිධ රටවල පුද්ගලයන්, තම රටේ ස්වභාවයට ගැලපෙන ක්‍රමවේදයක් හදාගන්නවා. දේශසීමා මගින් තවත් රටකට යාව තිබෙන රටවල නම්, මෙය තරමක් පහසුයි. දේශසීමාවෙන් පැන්නට පස්සේ, නොයෙක් මාර්ග හොයාගන්න පුළුවන්, අලුත් අනන්‍යතාවක් හදාගෙන ජීවත්වෙන්න. 

   මතකයි නේද අයික්මාන් සිද්ධිය? ඒ විදිහට අතුරුදන් වී, තවමත් සොයාගත නොහැකි පුද්ගලයන්, ලෝකයේ ඕනෑතරම් ඉන්නවා. 

   අතුරුදන් වන පුද්ගලයන් වැඩිපුරම අනුගමනය කරන ක්‍රමවේදය වන්නේ, අනවරත ගමනක යෙදෙන්නෙකු හෙවත්,  හෝබෝ කෙනෙකු බවට පත්වීමයි. තම අනන්‍යතාව සඟවාගෙන, එදිනෙදා කුමක් හෝ තාවකාලික වැඩක් කර, කීයක් හෝ උපයාගෙන, නොනවතින ජීවිත ගමනක යෙදීමයි, හෝබෝ වරුන් කරන්නේ. මා හිතනවා අපේ රටෙත් එවැනි අය ඇතැයි කියා. 

   මෙසේ අතුරුදන්වීම සඳහා, වයස බලපාන්නේ නැති තරම්. ගැටවර වියේ සිට අවරුදු 70 ඉක්මවූ අය දක්වා විවිධ වයස් කාණ්ඩ වලට අයත් ස්ත්‍රී/පුරුෂ දෙපක්‍ෂයේම අය, අතුරුදන් වෙනවා. 

   මෙතනදී මා, යුද්ධ කලකෝලාහල, සුනාමි, නාය යෑම්, සුළි සුළං, ගංවතුර, වැනි ස්වභාවික විපත් සහ වනයේ සංචාරයට යාම, තනිව යන මුහුදු ගමන්, කඳු නැගීම්, ආදී ත්‍රාසජනක ක්‍රියා නිසා අතුරුදන්වීම් ගැන කතාකරන්නට උත්සාහ කරන්නේ නැහැ.

   මෙලෙස අතුරුදන්වීම නීත්‍යානුකූලද? මා හිතන්නේ නැහැ එය නීත්‍යානුකූල යයි කියා. ඒ නිසා, ඔබ අතුරුදන් වනවා නම්, එහි සම්පූර්ණ වගකීම තිබෙන්නේ ඔබේ අතේ. 

අතුරුදන්වීම සඳහා යොදාගතහැකි ක්‍රමවේද මොනවාද?

  • තමා සියදිවි නසාගත් හෝ, ස්වභාවික හේතුවක් නිසා මියගිය බව, සමාජයට ඒත්තු ගැන්වීම.

  • තමා පැහැර ගැනීමකට ලක්වූ බව ඒත්තු ගැන්වීම.

  • කිසිවකු හෝ නොදන්නා හේතුවක් නිසා අතුරුදන්වීම.

  • රැකියාවක් හෝ අධ්‍යයන කටයුත්තක්, සංචාරයක්, සඳහා විදේශ ගතවීමෙන් පසුව අතුරුදන්වීම. 

   අතුරුදන්වීම සඳහා සාර්ථක සැලැස්මක් හදාගන්නේ කොහොමද? 

   පළමුවැනි දේ තමයි තමන් අතුරුදන් වෙන්න හිතා ඉන්නවා කියා කිසිම කෙනෙකුට කල්තබා දැනුම් නොදීම. 

   අද ඉතාලියේ ඉන්න මගේ හමුදා ගෝලයෙක්, (කවුද? පිස්සුද, ඒකා ගෝලයෙක් ද? ඌ දන්නේ 'පාද්රේ' වගේ ෂෝ එක දාන්න විතරයි) 1999 දිනක මට කිව්වා, සර් මට පොඩි උදව්වක් කරන්න කියා. ඔහු මගෙන් උපකාරයක් ඉල්ලුවා, හදිසියේ ලංකාවට එන ඔහුගේ සහෝදරයා රැගෙන එන්න, වාහනයක් ලබාදෙන්න කියා. 

   වැඩි හොඳට මම ම ගියා උදව්වට. ඔහු ලොකු බෑග් එකකුත් පටවාගත්තා වාහනයට. මම ඇහුවා ඒ මොකටද කියා. ඒක සහෝදරයා කලින් එවපු එකක් බවත්, එය ඔහුට ලබාදෙන බවත්, ඔහු කටුනායක සිට වෙනත් නිවසකට යන බවත්, කිව්වා. ගුවන් තොටුපොළට ගියපසු, ඔහු මගේ අත්දෙක අල්ලාගත්තා. දෑසේ කඳුළු පිරී තිබුණා. 

   'සර්, මම අද හමුදාවෙන් පැනලා ඉතාලියට යනවා. මට සර් විතරයි විශ්වාස, සර් අවුරුද්දක්වත් යනකල් මේ ගැන කාටවත් කියන්න එපා' කියා, ඔහු මට සමුදුන්නා. අද ඔහු, ඉතාලියේ හෝටලයක front office manager ලෙස සේවය කරනවා. 2005 න් පසු කීපවතාවක් ලංකාවට ආවත්, ඔහු හමුදාවට අහුවුනේ නැහැ. අපි අල්ලලා දුන්නෙත් නැහැ.

  ඊළඟට වැදගත් කාරණේ, තමන්ට බොරු අනන්‍යතාවක් හදාගැනීම. හොර පාස්පෝට්, හොර හැඳුනුම්පත්, හොර රියදුරු බලපත්‍ර, සකසා ගැනීම සහ ඒවායේ නම ගම, තමන්ගේ නියම නමගම නොවීම මෙන්ම, අලුතෙන් රැවුල්, කණ්නාඩි, මුහුණේ ලප ආදිය එකතුකොට, තමාගේ නියම පෙනුම වසන් කරගැනීම. මේවා මහාලොකු වැඩ නෙවෙයි. සල්ලි වලට මේ ඔක්කොම කරගන්න පුළුවන්.

   තමන් මියගිය බව/දිවිනසාගත් බව පෙන්වීම. 

  මෙතනදී ඉතා පරෙස්සම් වියයුතු කරුණු තිබෙනවා. තමන්ට තියෙන්නේ, අපරාධ, වංචා, දූෂණ, සම්බන්ධ අතීතයක් නම්, පොලීසිය මේ වගේ 'මියයෑම්' විශ්වාස කරන්නේ නැහැ. සෑහෙන කාලයක්, මේ මියයෑම පස්සෙන්, පොලීසිය එලවනවා. ඒ නිසා, තමන් මියයනවා නම්, පිළිගතහැකි ආකාරයකට මැරෙන්න. (ඒ රඟපෑම කරන්න) ගඟේ මූදේ පැන්නම, මිනිය හොයාගන්න පුළුවන් බොහෝවිට. මිනියක කෑලි/ඇටකටු හම්බවුනත් ඇති, DNA පරීක්‍ෂණයක් මගින් ඇත්ත හෙළිකරගන්න. ඒ නිසා, මැරෙනවානම් හරියට මැරෙන්න. 

   කොහොමද හරියට මැරෙන්නේ? ඉතිරිවී ඇති සාක්‍ෂි, විශ්වසනීය වියයුතුයි. මළ සිරුරක් හමු නොවිය යුතුයි. 

   ඔබ අපරාධකරුවකු නම්, අතුරුදන්වීම පහසු නැහැ. මන්ද ඔබේ මානසිකත්වය ස්ථාවර නැහැ. ඔබ සිත පාලනය කරගත්තේ නැතිනම්, අතුරුදහන් වීමෙන් පසුවත් ඔබ අපරාධ කරන්නට පෙළඹෙනවා. ඔබ එසේකොට හසුවුවහොත්, ඔබේ අතීතයත් එලියට එනවා. ඔබට එවැනි දුර්දාන්ත අතීතයක් ඇත්නම්, මුලින්ම කලයුත්තේ, අතිශයින් විශ්වාසවන්ත කෙනෙකුගේ ආධාරය යටතේ, හැකිතරම් කල් සැඟවී සිට, පසුව අනන්‍යතාවය වෙනස් කරගැනීමයි. නමුත්, ඔබට ආධාර කරන තැනැත්තා, පොලීසිය විසින් අටවන උගුල් වලට හසුවීමේ, දැඩි අවදානමක් තිබෙනවා. 

   ඒ නිසා ඉතා හොඳින් සැකසූ සැලැස්මක් තිබිය යුතුයි. ජංගම දුරකථන වලින් පණිවිඩ හුවමාරුව අන්තිම භයානකයි. දෙදෙනාටම ඊ මේල් පහසුව ඇත්නම්, නව ඊ මේල් ගිණුම් සාදාගැනීම සහ නිරන්තරව පාස්වර්ඩ් වෙනස්කිරීම කලයුතුයි. 

   අතුරුදන්වීම සඳහා ලැබෙන, බලාපොරොත්තු රහිත අවස්ථා;

  • තමන්ගේ සේවා ආයතනයෙන් ලැබෙන විදෙස් සංචාර. (සම්මන්ත්‍රණයකට, ව්‍යාපාරික කටයුත්තකට, වැඩිදුර අධ්‍යයනයකට) 

  •  ක්‍රීඩා හෝ විශේෂ කුසලතා වෙනුවෙන් ලැබෙන විදෙස් සංචාර. 


  • විදේශ රැකියා.  


   අතුරුදන්වීම සිතාසිටිනවානම්, මෙවැනි අවස්ථා ලැබෙයි සෙවිල්ලෙන් සිටීම සහ ඒ සඳහා යම්කිසි සැලැස්මක් සකසාගෙන තිබීම වැදගත්. 'උඹ කොහොමහරි මෙහාට පැනපන්, මම උඹව බලාගන්නම්' කියන, විශ්වාසවන්ත යාළුවන් ඒ රටේ ඉන්නවානම්, වැඩේ පහසුයි.

පනින්න පෙර සිතා බලනු 

   ඔබ අතුරුදන්වීමට සූදානමක් ඇත්නම් පහත දැක්වෙන කරුණු ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. 

  • ඔබ, මොකුත්ම බැරි, නිකම්ම නිකම් නිකමෙක් නම්, වැඩේ හරියන්නේ නැහැ. ඔබ සතුව යම් දක්ෂතා, කුසලතා, හැකියා, තිබිය යුතුයි. භාෂා දැනුම, කාර්මික/තාක්ෂණික දැනුම, අඩුගානේ පාර අතුගාන්නවත් දැනුමක් තිබිය යුතුයි.
  • වයස ගැන හිතන්න. ඔබට පුලුවන්ද සියල්ල අතහැර ගොස්, තනිව දරාගෙන ඉන්න? ඔබේ සෞඛ්‍ය තත්වය කොහොමද? මේ වයසේදී ඔබට පුලුවන්ද, කටුක දේශගුණික තත්වයන් යටතේ, එය දරාගෙන රැකියාවක් කරන්න? රැකියාවේ ඇති අවදානම් සහගතබව දරාගන්න? නැවක, ගල් අඟුරු ආකාරයක, මුහුදේ ඇති ඛනිජ තෙල් අටල්ලක, ඔබට සේවය කළහැකිද? 

පොඩි ට්‍රයල් එකක් දාලා බලන්න බැරිද?

   පිස්සුද? අතුරුදන්වීමේදී ට්‍රයල් නැහැ. එහෙම කෙටි කලකට අතුරුදන් වුනොත්, ඊළඟ වතාවේදී ඔබ අතුරුදන් වුනාම, ඔබ කලේ හිතාමතා අතුරුදන්වීමක් කියලා හිතන්න 100% ක් ඉඩ තියනවා. ඒ නිසා  ට්‍රයල් එකක් කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ අය සමග සම්බන්ධතාවය තබාගනිමින්. ඒ කියන්නේ, ඔබ ඉන්නේ වෙනත් රටක නම්, අනේ බලන්නකෝ මම අතරමං වුනානේ' කියා, ඔබේ පවුලේ යට අඟවා,  ඒ රටේ අලුත් අනන්‍යතාවක් හදාගන්න පුලුවන්ද කියා හොයාබැලීම කලහැකියි. සමහර රටවල, පුද්ගල අනන්‍යතාව එතරම් භාරදූර ලෙස සැලකිල්ලට ගන්නේ නැහැ. 

   සමහර අතුරුදහන් වන්නන් කරන, භයානක වැඩක් තියනවා. ඒ තමයි, වෙනත් කෙනෙකුගේ අනන්‍යතාව සොරාගැනීම. ඒ කියන්නේ, වෙනත් පුද්ගලයකුගේ උප්පැන්න සහතිකය, හැඳුනුම්පත, ගමන් බලපත්‍රය ඒ පුද්ගලයාගේ නම තිබියදී, තමන්ගේ ඡායාරූපය යොදා සකසාගැනීම. මේ මගඩිය, අද බොහෝ රටවල සිදුකෙරෙනවා. මේ විදිහට අනන්‍යතාව වෙනස් කරගත්තම, කාටවත් නොදැනෙන්න, රටකින් රටකට පනින්න පුළුවන්.

   මතකතියාගන්න, අද කාලයේ, එක තත්පරයක් ඇති, ඔබේ හැඳුනුම්පතේ, ණයවර පත්‍රයේ, උප්පැන්න සහතිකයේ, විවාහ සහතිකයේ, ගමන් බලපත්‍රයේ, බැංකු ගිණුම් පොතේ, රියදුරු බලපත්‍රයේ, ඇති තොරතුරු සියල්ල සොරාගන්න. 

   ඒ වගේමයි, ඔබේ ඊ මේල් ගිණුමටත් රිංගන්න පුළුවන්කම තියනවා. 

  අතුරුදන්වීමට අලුතෙන් ලිපි ලේඛන සාදාගැනීමේදී කරන කපටිකමක් තමයි, ඉතා දීර්ඝ හෝ කියවා මතක තබාගැනීමට අපහසු නම් යොදාගැනීම. 

 'අංගම්මන රන්පන්හිඳ ලත්, විජේසුන්දර වාසල බණ්ඩාර මොහොට්ටි රාලලාගේ සඳුන් චමුදිත මේඝවර්ණ සම්පත් බණ්ඩාර අංගම්මන' 

   කොහොමද වැඩේ? මතක තියාගනිල්ලකෝ.    

   'අන්ද්‍රයස් පපන්ද්‍රයස්' කිව්වම, නම කෙටි වුනත් මතක හිටින්නේ නැහැ. පේනවා නේද අපි ජීවත්වන ලෝකයේ හැටි. 

   අතුරුදන් වන පුද්ගලයන්, ඊළඟට කරන වැදගත්ම දේ තමයි, තමන් අලුතෙන් ආව පළාතට, රටට, අදාලව, බැංකු ගිණුම්, රියදුරු බලපත්, වෙනත් එවැනි ලිපි ලේඛන, සකසා ගැනීම. එවිට ඔහුට ඒ පලාතට රටටයම් අයිතිවාසිකමක් ගොඩනැගෙනවා. 

  හොඳින් සැලසුම් කර අතුරුදන් වන්නේ නම්;

අතුරුදන්වීමට මාස 12 කට පෙර;

  • වෙන්වීම, තනිවීම පිලිබඳ කිසිදු චකිතයක්, කම්පනයක් නැතිව, ඔබට මේ දේ කළහැකි බව සිතෙන් තහවුරු කරගන්න.

  • කවදා කොහොම කොතනටද යන්නේ කියා, ස්ථිරව අධිෂ්ඨාන කරගන්න.

  • අතුරුදන්වීම සඳහා පාවිච්චි කිරීමට බලාපොරොත්තුවන මුදල්, රහසිගත ස්ථානයක හෝ රහසිගත ගිනුමක තනාගන්න.

  • අදාළ සියලු ලිපි ලේඛන කිසිවකුගේ නෙත නොගැටෙන, සැක ඇති නොවන තැනක තබාගන්න.

  • ඉදිරියේදී කිරීමට නියමිත කිසිදු කාර්යයක් පිළිබදව, අවිනිශ්චිත තත්වයන් ඇති කර නොගන්න.

අතුරුදන්වීමට මාස 9 කට පෙර;


  • ඔබ යාමට නියමිත ස්ථානය පිලිබඳ දැනගතහැකි සියලු තොරතුරු ඔබේ රහසිගත ගොනුවේ රැස්කරගන්න. සිතියම්, දුරකථන අංක, බැංකු, රජයේ කාර්යාල, දුම්රිය/බස්රිය නැවතුම්පොළවල්, බස්/දුම්රිය කාලසටහන්, නවාතැන්, සැඟවී සිටීමට හැකි තැන්, ආදිය.

  • එහි ළඟාවූ අවස්ථාවේ සිට කරන කියන දෑ, පියවරෙන් පියවර සැලසුම් කර තබාගන්න. විකල්ප ක්‍රියාමාර්ග ද, සටහන් කර තබාගන්න. 

  • භාෂාව පිලිබඳ ගැටළු මතුවේනම්, එයින් ගැලවෙන ක්‍රම සැලසුම් කරන්න.

  • කරන්නට යන රැකියාව ගැන, දක්ෂතා කුසලතා වර්ධනය කරගන්න.

  • ඔබ සමග දැන් සිටින අය රැවටීමේ ක්‍රියාමාර්ගයක්, ප්‍රදර්ශනය කරන්න. ඔබ සංචාරයට ප්‍රිය කරන බව, රාජ්‍ය නොවන සංවිධාන සමග කටයුතු කිරීමට අවස්ථාවක් හොයන බව, ආදිය.

  • අතුරුදන්වීමේ අරමුදල තවත් තරකරගන්න.


අතුරුදන්වීමට මාස 6 කට පෙර;


  • තමන්ගේ ගමන වසන් කිරීම සඳහා, අන්‍යයන් රැවටීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. රතුකුරුස සංවිධානය වැනි සංවිධානයකට බැඳී, ලෝකයේ දිළිඳු රටවලට උදව් කරන්නට යන්න ඇත්නම් හොඳයි, එවැනි පුහුණුවක් සඳහා බැඳෙන්න කැමතියි, වැනි අදහස් පතුරවන්න.

  • දින දෙකතුනකට සීමාවන නිවාඩුවක් සඳහා, ඔබ පැනයාමට බලාපොරොත්තුවන රටට ගොස්, තොරතුරු අධ්‍යයනය කර ඒමට හැකිනම් ඉතා හොඳයි. නමුත් මෙය ඉතා අවදානම් ක්‍රියාවක්. ඔබ ගැන, කිසිවකුටත් සැකයක් ඇති නොවිය යුතුයි. 

  • ඔබ ඔබේ පරණ නම වෙනස්කර, අලුත් අනන්‍යතාවක් හදාගත්තා නම්, නිතර ඒ අලුත් නම මෙනෙහි කරන්න. ඔබේ නම කුමක්ද කියා අසන පැනයට, ඒ නම කියා උත්තර දීමට පුහුණුවන්න. වරද්දගන්න එපා. ඔක්කොම ඉවරයි වැරදුනොත්.

  • නැවතත් ඔබේ අරමුදල වැඩිකර ගැනීමට බලන්න.


අතුරුදන්වීමට මාස 3 කට පෙර;

  • අතුරුදන්වීමේ සැලැස්ම, නැවත මුලසිට ගැඹුරින් අධ්‍යයනය කරන්න. ඉතා සියුම් තැන් පවා, නිවැරදි කරගන්න.

  • භාෂා හැකියා හැකිතරම් ඔප්නංවාගන්න.

  • ගමන් බලපත්‍ර, වීසා, කිසිදු සැකයක් ඇති නොවන පරිදි තිබෙන බව, තහවුරු කරගන්න.

  • මුදල්, විදේශ මුදල් වලට හුවමාරු කරගැනීම හෝ බැංකු සහතික බවට පත්කරගැනීම ගැන, තීරණය කරන්න. 

  • ගුවන් ටිකට්පත මිලදීගෙන, ගමන තහවුරු කරගන්න.

හොඳයි එහෙනම් සුබගමන් ඈ. ගියාට පස්සේ මේ සැලැස්ම කියලා දුන්න අපිව අමතක කරන්න එපා හොඳද?

මේ ලිපියේ මූලාශ්‍රය රහසිගතයි. 

2016 ඔක්තෝබර් මස 25 වැනි දින 2355 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }