හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

05 December 2013

'හරාකිරි' - වෛද්‍ය ජයතුංගගේ කාව්‍ය නිර්මාණ එකතුවක්

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත, 'හරාකිරි' නමැති කාව්‍ය එකතුව මා වෙත ලැබී තිබෙනවා. ඔබ සමග එහි රස විඳගන්නටයි මේ ලිපිය ඉදිරිපත් කරන්නේ. වෛද්‍ය ජයතුංග සිය ආවේනික වෘත්තියෙහි යෙදී සිටිමින්ම ලේඛන කලාවේද නිරත වන අයකු බව මේ අඩවියට නිතර පිවිසෙන අය හොඳින්ම දන්නවා. ඒ නිසා ඔහු ගැන තවත් වර්ණනා නොකොට අපි ඔහුගේ නිර්මාණය දෙසට හැරෙමු.
  මේ නිර්මාණ තුළ යම් නවමු බවක් ඇතිබව පෙනීයන නිසයි, ඔබවෙත ඉදිරිපත් කරන්නට සිතුනේ. ඔබට මතකද, කලකට ඉහත, ජාතික රූපවාහිනියේ විකාශයවූ, එක්තරා ටෙලි නාට්‍යයක ජනප්‍රිය චරිතයක් තිබුනා 'ලීලසේන' නමින්. වෛද්‍ය ජයතුංග ලීලසේන ගැන මෙහෙම කියනවා.
11
දෙමව්පිය වැඩිහිටි ගුරුවර සියළු දෙනා විසින්, දරුවනට උගන්වන ආගමික සදාචාරය දෙස, ජයතුංග මහතා බලන්නේ මේ ආකාරයෙන්.
77
යුද්ධය ගැන කියවෙන නිර්මාණ දෙකක් අතරින් පළමුවැන්නයි  මේ.
img039
රූපවාහිනියේ කෙරුවාව ඔහු දකින්නේ මෙලෙසයි.
22
ගුත්තිල මූසිල කතාව දෙස නව දෘෂ්ටි කෝණයකින් කතුවරයා බලා ඇති ආකාරයයි පහත දැක්වෙන්නේ.
88
සාහිත්‍යය පරිහරණයෙන් ඈත්වී සිටින වත්මන් සමාජය කතුවරයා දකින්නේ මෙහෙමයි.
33
  මේ කාව්‍ය සංග්‍රහයේ මා සිත තදින් වෙලාගත් නිර්මාණයයි, අවසාන වශයෙන් ඔබවෙත ඉදිරිපත් කරන්නේ. අපේ රටේ පැවති යුද්ධය, කළු ජූලිය, ජනවාර්ගික අර්බුදය, සංහිඳියාව, යන සියල්ල දෙස, යථාර්ථවාදී ලෙස හෙලන ලද බැල්මක් වශයෙන්, මේ නිර්මාණය හඳුන්වන්නට පුළුවන්.
abcd
  මේ කාව්‍ය නිර්මාණ සියල්ල අති විශිෂ්ට නිර්මාණ යයි මම නොකියමි. එහෙත් මේ මනෝ වෛද්‍යවරයා මානව දයාව පෙරදැරි කරගත් චිත්ත සන්තානයකින් යුතුව තමන් මේ සමාජය වෙත හෙලන බැලුම් අපූර්වෝක්තියකට නගා ඇති බව මට හැඟෙයි. ඔබට සිතෙන්නේ කුමක්ද?
my-signature-for-blog[1]2013 දෙසැම්බර් මස 5 වැනි දින 2152 පැය

01 December 2013

මං ඔයාට ප්‍රසිද්ධියේම රහසක් කියන්නං – The Slidex System


couple-sharing-secrets-5689251අපිට අපේ ජීවිතයේ කොච්චර තියනවද රහසිගත වැඩ. හය හතර දන්න වයසේ සිටම අපට යම් යම් රහසිගත දේවල් තියනවා අවට ලෝකයෙන් සඟවාගන්න. සමහර රහස්, අපි මැරෙනතුරුත් එළියට එන්නේ නැහැ. සමහර රහස්, අතිශයින්ම විශ්වාසවන්ත අය සමග බෙදාගන්නවා. නමුත් එහෙම කරන්න ගිහින් අමාරුවේ වැටුන අය අතර, ඔබත් මමත් ඉන්නවා නේද? සමහර රහස්, හැමදාම හංගගෙන ඉන්නට පුළුවන්. නමුත් හැම රහසක්ම හැමදාම හංගගෙන ඉන්නටනම් බැරිවෙනවා කියලයි මමනම් හිතන්නේ. සංග්‍රාමික කටයුතු වලදී රහසිගත භාවයට ලැබෙන්නේ ඉතා වැදගත් තැනක් බව මම ඔබට අමුතුවෙන් කියාදෙන්නට අවශ්‍ය නැහැ. සංග්‍රාමික කටයුතු රහසිගතව කරන්නට නොහැකිවුනොත් සතුරා අතට අපේ යුද රහස් පත්වීමෙන් ඇතිවන ප්‍රතිඵලය කොයිතරම් භයානකද කියන එකත් කියන්න අවශ්‍ය නැහැනේ. යුද්ධ හමුදාවක් විසින් පණිවිඩ හුවමාරු කටයුතු වලදී ඉංග්‍රීසි හෝඩියේ අකුරු උච්ඡාරණය කරන විශේෂ ක්‍රමයක් තිබෙන බව මම මීට පෙර ඔබට කියාදුන්නා මතකද? අද මම ඔබ සමග සාකච්ඡා කරන්නේ, ඒ අකුරු උච්ඡාරණ ක්‍රමය භාවිත කරමින්, ආරක්ෂක හමුදා විසින් කරනු ලබන, රහස් පණිවිඩ යවන ක්‍රමයක් පිළිබඳවයි. මේ පණිවිඩ හුවමාරු ක්‍රමය හඳුන්වන්නේ ‘ස්ලයිඩෙක්ස් Slidex’ යනුවෙන්.  
  chimneyදෙවැනි ලෝක යුද සමයේදී නිවසක උණුසුම රැකගැනීම සඳහා දල්වන ගල් අඟුරු උදුනක චිමිනිය පිරිසිදු කරමින් සිටි පුද්ගලයකුට දැවීගිය පරෙවියකුගේ සිරුරක් හමුවුනා. ඌ සම්පූර්ණයෙන් දැවී තිබුණේ නැහැ උගේ කකුලක ගැටගසා තිබුන කඩදාසි කැබැල්ලක තේරුම් ගත නොහැකි, ඉංග්‍රීසි අකුරු හතරේ වචන සහිත, පණිවිඩයක් ලියා තිබුනා. පහත දක්වා තිබෙන්නේ ඒ පණිවිඩයයි. ඔබත් කියවා බලන්න ඔබට මෙය තේරුම් ගතහැකිද කියා.
pigeoncipher
මොකක්ද ස්ලයිඩෙක්ස් – Slidex කියන්නේ?
   බොහොම ඈත අතීතයේ සිටම මිනිසා රහස් සංකේත මගින් පණිවිඩ යවන්න ක්‍රම සහ විධි සොයාගෙන තිබුනා. යුද්ධ කටයුතු වලදී, අතිශයින් රහසිගත තොරතුරු ලියන ලද ලිපි, විශේෂයෙන් පුහුණු කරනලද පරෙවියන්ගේ කකුලක ගැටගසා, නියමිත ස්ථානයකට යැවීමට ක්‍රමයක් සලසා තිබුන බව ඔබ අතරින් සෑහෙන පිරිසක් මීට පෙර අහලා ඇති. හොඳයි ඉතින් මේ පරෙවියා මගදී අල්ලගත්තොත්? වෙඩි තියලා/දුන්නකින් විදලා/බිම දාගත්තොත්? වෙන පරෙවියකු මගින් බිමට බස්සවලා (හොඳ පරෙවි ධේනුවක් උකුළු මුකුළු පෑවම කොයි පරෙයියද යන ගමන පැත්තක දාලා පෙම් කෙලින්න නොයන්නේ? :D ) ඒ පරෙවියා අල්ලගත්තොත්? අර රහස් පණිවිඩය නිකම්ම සතුරා අතේ. ඉතින් ඒ නිසා නිකම් සාමාන්‍ය භාෂාවෙන් නෙවෙයි මේ ‘පරෙවි සංදේශ’ :D යැව්වේ. යවන අය සහ ලබන අය පමණක් දන්නා රහසිගත භාෂාවකින් තමයි ලියලා යැව්වේ. ස්ලයිඩෙක්ස් කියන්නෙත් අන්න ඒ වගේ එක්තරා රහස් භාෂා ක්‍රමයක්.
  මේ පණිවිඩ හුවමාරු ක්‍රමය අද අභාවයට ගිහින් තිබෙන්නේ. එයට ප්‍රධානතම හේතුව වන්නේ පරිගණක තාක්ෂණය ඇසුරෙන් ඊට වඩා අතිශයින්ම දියුණු ආකාරයට රහස්‍ය පණිවිඩ යැවීමට දැන් හැකියාව ලැබී තිබීමයි. නමුත් අවශ්‍යනම් අද වුනත් මේ ක්‍රමය භාවිත කරන්නට පුළුවන්. සමහරවිට ලෝකයේ සමහර රටවල මෙය අදටත් භාවිත කරනවා ඇති. (ශ්‍රී ලංකා යුද හමුදාව 1980 දශකයෙන් පස්සේ මේ ක්‍රමය අතහැරියා. එයට හේතුව වුනේ රහස්‍ය පණිවිඩ හුවමාරු පහසුව සහිත අධිතාක්ෂණික ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර අපේ යුදහමුදාවට ලැබීම නිසයි. අනේ අප්පොච්චියේ මම තරුණ නිලධාරියකු කාලේ මේ වගේ පණිවිඩ ලිවීම සහ ලැබුන පණිවිඩ පරිවර්තනය කිරීම encryption and decryption තුන් හාරසිය වතාවක් විතර කරලා ඇති. එපාම වෙන වැඩක්.) මෙය නිවැරදිව ඉගෙනගත්තොත් ඔබට මෙයින් විනෝදයක් ලබන්නත් පුළුවන්. ඒ තමයි ඔබේ මිතුරු මිතුරියන් අතරේ ස්ලයිඩෙක්ස් ක්‍රමයෙන් SMS පණිවිඩ හුවමාරු ක්‍රමයක් හදාගන්න පුළුවන් වීම. හොඳයි දැන් මම ඔබට ස්ලයිඩෙක්ස් ගැන විස්තර කරන්නම්. මෙවැනි පණිවිඩ හුවමාරු ක්‍රම හඳුන්වන්නේ රහස්‍ය කේතකරණය මගින් පණිවිඩ හුවමාරු කිරීම Encrypted Messaging යනුවෙන්. වර්තමානයේදී රහස්‍ය කේතකරණය ඉතා දියුණු විද්‍යුත් ක්‍රමෝපායයන් මගින් සිදුකෙරෙනවා. ඒ ගැන පසුව කතාකරමු. ස්ලයිඩෙක්ස් පණිවිඩයක් යැවීමට නම් ඔබත් මමත් අතරේ පහත දැක්වෙන ලෙස සබඳතාවක් තිබිය යුතුයි.
  • 1. දුරකථන සම්බන්ධතාවක් හෝ ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර සම්බන්ධතාවක්.
  • 2. එකම ආකාරයට සකසන ලද ස්ලයිඩෙක්ස් කාඩ්පත් දෙකක් අප දෙදෙනා ළඟම තිබිය යුතුයි. (දෙදෙනෙකුට වැඩි ගණනක් සම්බන්ධවන්නේනම් ඒ සැමදෙනා අතරම එකම වර්ගයේ ස්ලයිඩෙක්ස් කාඩ්පත් තිබිය යුතුයි)    
                                                     
මොකක්ද ස්ලයිඩෙක්ස් කාඩ්පතක් කියන්නේ?  
  මේක ටිකක් සංකීර්ණ දෙයක්. ඒ නිසා මෙය අවබෝධ කරගැනීමට නම් ඔබේ සම්පූර්ණ අවධානය අවශ්‍යයි. ඔබ මේ ලිපිය උඩින් පල්ලෙන් කියෙව්වොත්, මේ ගැන අවබෝධ කරගන්නට නොහැකි වෙනවා. ඒ නිසා මේ ලිපිය හොඳින් විවේක ඇත්නම් පමණක් කියවන්න. හොඳයි, ස්ලයිඩෙක්ස් කාඩ්පතක් කියන්නේ බ්‍රිස්ටල් බෝඩ් වැනි ඝන කඩදාසියක මුද්‍රණය කළ, සිරස් තීරු  Columns 12 ක් සහ තිරස් පේළි Rows 17 ක් ඇති රහස්‍ය ලේඛනයක්. හිතන්නකෝ මේක MS Excel spread sheet එකක් වගේ කියලා. මේ කොලයේ තිබෙන කොටු වල, වචන, අකුරු  සහ ඉලක්කම් මුද්‍රණය කරලා තියනවා. සමහර වචන, අකුරු සහ ඉලක්කම් කළු පාටයි. සමහර වචන, අකුරු සහ ඉලක්කම් රතු පාටයි. සමහරවිට මේ කඩදාසිය විනිවිද පෙනෙන ඝන පොලිතීන් ආවරණයක තිබෙන්නේ. එහෙම කරන්නේ ජලයෙන් හානිවීම වලක්වාගන්නයි. (මේවා පාවිච්චිකළ කාලයේ මම ලැමිනේටින් දැකලා/අහලා තිබුනේ නැහැ) ඒ කඩදාසියට ඉහළින් තිරස් අතට සහ බලන කෙනාගේ වම් අත පැත්තෙන් සිරස් අතට, එහා මෙහා කළහැකි, කඩදාසි පටි දෙකක් තිබෙනවා. ඒවා හඳුන්වන්නේ ‘කර්සර්’ කියලා. පරිගණක ගැන ඉගෙනගන්නට පෙර, මම ජීවිතයේ පළමුවැනි වතාවට, කර්සර් කියන වචනය ඉගෙනගත්තේ මේ ස්ලයිඩෙක්ස් පුහුණුවෙදියි.  මේ පටිවල අර කාඩ් එකේ තියන කොටු වලට සමාන ප්‍රමාණයේ කොටු සකසා ඒ හැම කොටුවකම ඉංග්‍රීසි කැපිටල් අකුරු දෙක බැගින් ලියලා තියනවා. මේ තොරතුරු වඩාත් හොඳින් අවබෝධ කරගන්නට මම ස්ලයිඩෙක්ස් කාඩ් එකක පින්තූරයක් පහත පෙන්වනවා. 
slidex-a1ඊළඟට බලමු අර කර්සර් පටි සවිකළාම කොහොමද පෙනෙන්නේ කියලා.
download
  එකම කාඩ් එකට යොදන කර්සර් කාලෙන් කාලෙට වෙනස් කරන්න පුළුවන්. ඉතින් මොකටද කර්සර් වෙනස් කරන්නේ? යුද්දයකදී අපි රහස්‍යභාවය රැකගන්න නොකරන දෙයක් නැහැ. ඔබ සමහර අය දැක ඇති, හමුදා සෙබළුන් තමන්ගේ අතේ වර්ණ පටියක් පළඳිනවා. එයින් අදහස් කරන්නේ, සතුරන් සහ අපේ හමුදාව නිවැරදිව හඳුනාගැනීමයි. සතුරා අපේ නිළ ඇඳුමක් ඇඳගෙන ආවත්, වර්ණ පටිය නිසා අපට ඔහුව අල්ලාගන්න පුළුවන් වෙනවා. මේ වර්ණ පටිය, එක දිනක් තුළ වරින් වර මාරුකරනවා. ඒ සඳහා රහස්‍ය වචන තියනවා, අපි හිතමු ‘ගිරවා දකුණේ’ කිව්වොත් ‘රතුපාට පටිය වම් අතේ බැඳගනින්’ කියන තේරුම වෙන්න පුළුවන්. තව ටිකවෙලාවකින් ‘එළුවා ගහේ’ කිව්වොත් ‘නිල්පාට පටිය දකුණු අතේ බැඳගනින්’ කියන තේරුම වෙන්න පුළුවන්. පටි සෙට් එකම සෙබළාගේ මල්ලේ තියනවා. අර රහස් වචන ටික ලියපු කොලයක් තියනවා කණ්ඩායම භාර එක්කෙනා අතේ. ඉතින් මේ ස්ලයිඩෙක්ස් ක්‍රමයේදී   ඒ ඒ කර්සර් එකටත් අංකයක් ලබාදුන්නම, ‘අහවල් කර්සර් දෙක දාගනින්’ කියලා, රහස්‍ය වචනයකින් අනික් පැත්තේ ඉන්න මිනිහට කිව්වම හරි. අමතර කර්සර් ඕනෙතරම් ඔය තියෙන්නේ පහළින්.
Gessler8-CryptoStrips
  ඉතින් මොනවද මේ ස්ලයිඩෙක්ස් කාඩ් එකේ මුද්‍රණය කරලා තියන දේවල්. එදිනෙදා රහස් පණිවිඩ හුවමාරුවේදී බහුලවම පාවිච්චි කරන වචන මාලාවක් තමයි මුද්‍රණය කරලා තියෙන්නේ. ඔන්න මම එවැනි ස්ලයිඩෙක්ස් කාඩ් පතක තිබෙන ඉංග්‍රීසි වචන අතරට සිංහල වචන දැම්මා ඔබේ පහසුව සඳහා. හැබැයි හොඳින් මතක තියාගන්න. ඉතිහාසයේ  කවදාවත් සිංහල ස්ලයිඩෙක්ස් කාඩ්පත් හදලා නැහැ. ගරු මම තුමා තමයි එහෙම කරපු පළමුවැනි වීර (මෝඩ) යා.
full Card
  මේ කාඩ් එකට කර්සර් පටි යෙදීම වෙනුවට මම කරලා තියෙන්නේ කාඩ් එකේ ඉහල සිරස් තීරුව සහ වම් අත පැත්තේ තිරස් තීරුව මකලා කර්සර් පටිවල තියන අකුරු ඒ තැන්වලට යෙදීමයි. ඒ නිසා ඒ තියෙන්නේ කර්සර් පටි කියලා හිතාගෙන මෙතැන් සිට ඉදිරියට කටයුතු කරමු. පින්තූරය මත ක්ලික් කරලා ලොකු කරලා බලන්න. හොඳයි දැන් අපි ස්ලයිඩෙක්ස් පණිවිඩයක් ලියමුද? බයවෙන්න එපා ‘මෛන් හූන් නා’ (මම ඉන්නවනේ. හැබැයි බැරි වුනොත් එහෙම දාලා දුවනවා :D ) හොඳයි. මෙන්න මේකයි පණිවිඩය.
අද රාත්‍රියේ යාපනය ප්‍රදේශයේ හමුදා කඳවුරකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවිය හැකිය සියලුම කඳවුරු උපරිම සූදානමෙන් තබන්න. 
  අප්පොච්චිගේ පප්පේ…………… කොහොමැයි මේක ඔය ස්ලයිඩෙක්ස් ද මොන ඩෙක්ස් ද මන්දා කොරන්නේ?…….. වැරි සිම්පල් අනේ. ඉස්සර වෙලාම තමන්ට යවන්න අවශ්‍ය පණිවිඩය අමු හිංගලෙන්………හුටා, හිංගලෙන් යවන්න පුළුවන් මේ මම හදපු කාඩ් එකෙන් විතරනේ. අමු ඉංගිරිසියෙන් තමයි ලියන්න වෙන්නේ. කමක් නෑ අපි මේ අපේ කාඩ් එක කුඩු කරගන්නේ නැතුව සිංහලෙන් යවමුකෝ. ඔන්න දැන් අර සිංහල පණිවිඩේ තියනවනේ. මොන බාසාවෙන් ලිව්වත් යවන්නේ මෙහෙමයි.
1. පණිවිඩය ලිවීමේදී හැකිතරම් (99% ක්) කාඩ් එකේ තිබෙන වචන වලින් ලියන්න ඕනේ. නමුත් අපිට කියන්න අවශ්‍ය අර්ථය විකෘති වෙන්න බැහැ කාඩ් එකේ වචන යෙදුවා කියලා.  අත්‍යවශ්‍යම තැනකදී එක වචනයක් හෝ දෙකක් කෙලින්ම වචන හැටියට කියන්න පුළුවන්. නමුත් එහෙම නොකර ලියන්න පුළුවන් ආකාරයටයි බොහෝවිට කාඩ් හදලා තියෙන්නේ.
2. පණිවිඩය කෙටි වූ තරමට කාර්යය පහසුයි. ඒ නිසා පණිවිඩය වචන වලින් ලියා නැවත සලකා බැලිය යුතුයි අර්ථයට හානි නොවන පරිදි තව කෙටි කළහැකිද කියා.
3. මේ පණිවිඩය යවන්නේ ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රයකින් හෝ දුරකථනයකින් බව ඔබ දැන් දන්නවනේ. ඒවා රහස්‍ය පණිවිඩ යවන අධි තාක්ෂණික පණිවිඩ හුවමාරු යන්ත්‍ර හෝ දුරකථන වීමට අවශ්‍ය නැහැ.
4. කාඩ් එකේ තියන සෑම වචනයක්ම තිබෙන්නේ කොටුවක් ඇතුලෙනේ. ඒ හැම වචනයකටම වම් ඇත පැත්තෙන් තියන සිරස් කර්සර් පටියේ අකුරු දෙකක් සහ ඉහල තිරස් කර්සර් පටියේ අකුරු දෙකක් පිහිටනවා. උදා හරණයක් වශයෙන් බලන්න ‘යුද ටැංකි’ කියන වචනය තිබෙන කොටුවට අයත් වන්නේ සිරස් කර්සරයේ MN කියන අකුරු දෙක සහ තිරස් කර්සරයේ JU කියන අකුරු දෙකයි. හරියටම එක්සෙල් වලදී සෑම සෙල් එකකටම අංකයක් තියනවා වගේ. දැන් අපිට ස්ලයිඩෙක්ස් වලින් යුද ටැංකි කියා ලියන්න අවශ්‍යනම් අදාළ සෙල් එකේ සිරස් සංකේතය පළමුවත් තිරස් සංකේතය දෙවනුවත් ලියනවා. එය ලියන්නේ අකුරු හතරම එකට මෙන්න මෙහෙම MNJU, ඊළඟ වචනය ලියන්නට පෙර කොමාවක් යොදනවා.  ’අයියෝ මාමේ දැන් දෙන්නම්කො ඇට්ටි නෙවෙයි ගොබළු ගෙඩිත් හැලෙන්න’. ඔන්න ඕකනේ කියන්නේ බෑණෝ, සිවිඩ්ඩෙන් එලියට එන්නත් කලින් කොස් ඇටේ පැලවෙන්න හදනවා කියලා. අර චොප්පේ අයියා ඒ කාලේ ඇහුවා වගේ මම අහන්න කැමතියි එතකොට අර රතුපාට අකුරු ඉලක්කම් තියෙන්නේ…………………………..ද? කියලා.  :D
5. රතුපාට අකුරු හෝ ඉලක්කම් වලින් කියවෙන දෙයක් පණිවිඩයට ඇතුලත් කරන්න අවශ්‍යනම් මුලින්ම රතුපාටින් තිබෙන SWITCH ON කියන සෙල් එකකට යොමුවක් දියයුතුයි. එයින් අදහස් කරන්නේ එතැන් සිට පණිවිඩය කියවෙන්නේ රතුපාටින් ලියා ඇති දේවල් වලින් පමණයි කියන එකයි. ආපහු කළු අකුරු වලට එන්න අවශ්‍යනම්  SWITCH OFF කියන සෙල් එකකට යොමුවක් දෙන්න ඕනේ. යොමුවක් දෙනවා කියන්නේ අදාළ සෙල් එකේ සිරස් තිරස් සංකේත දෙක දීමයි. එය පනිවිඩයේම වචනයක් ලෙස ලියවෙන්නේ නමුත් කාඩ් එකෙන් පණිවිඩය කියවාගෙන යනකොට තේරෙනවා මේ කියන්නේ මොකක්ද කියලා. තමුන්නාන්සේලා තවම ආධුනිකයන් නිසා මම කළුපාටින් පමණක් ලිවීම කියවීම කළහැකි පණිවිඩයක් තමා ඉහත දී තිබෙන්නේ.
  ඔය මොකද, ඔය මොකද නිදිකිරා වැටෙන්නේ? නැගිටිනවා පුටුවෙන්, එලියට ගිහින් දුවනවා ලෙක්චර් හෝල් එක වටේ රවුම් පහක්. කෝප්‍රල්, බලන්ඩ මෙයා රවුම් පහක් දුවනවද කියලා. හරි, ආයේ කවුරුහරි නිදිකිරා වැටුනොත් දානවා ‘ඊසි පොසිෂන්’ හරිද? මෙවැනි දේශන දවල් කෑමෙන් පස්සේ තිබ්බම නින්ද යනවාමයි සෑහෙන දෙනෙකුට. අප්පොච්චියේ මමත් පුහුණු කාලයේදී කාලා තියනවා ඇතිවෙන්ඩ උපදේශකයන්ගෙන්, නින්ද ගිහිල්ල අහුවෙලා. දන්නවද හමුදාවේ ‘ඊසි පොසිෂන් Easy Position’ හෙවත් පහසු ඉරියව්ව කියන්නේ මොකක්ද කියලා. සපත්තු දෙකේ ඉදිරිපස හෙවත් ‘ටෝ’ එක පුටුව උඩ තබා අත් දෙක බිම තබා දිගාවෙනවා. අත්දෙකේ අල්ල පොළොවේ පිහිටලා තියෙන්නේ ටෝ දෙක පුටුවේ. වෙනත් ආධාරකයක් නැහැ. දැන් හිස ඔසවා දේශකයා දෙස බලාගෙන දේශනයට ඇහුම්කන් දියයුතුයි. මම දෙවරක් ඊසි පොසිෂන් ඉඳලා තියනවා. හරී…………………..සනීපයි. :D
  හරි, එහෙනම් දැන් ලියමුද පණිවිඩේ? ලෑස්තිද? එහෙනම් හොඳ ළමයා වගේ දුවලා දුවලා දුවලා ගිහින් ස්ලයිඩෙක්ස් කාඩ් එකයි, හිස් කඩදාසියකුයි, පෑනකුයි, අරන් එන්න. ඔන්න අපි ලියනවා. TYHK, RGPL, RGHK, RGWA, CHCR, CHNG, EWCR, CHHK, CHWA, DGHK,මම කියන්නද එතනින් එහා ටික ඔයා ලියන්න. නැත්නම් මේ අභ්‍යාසය සම්පූර්ණ වෙන්නේ නැහැ. නිවැරදිව ඉතුරු ටික ලියන ළමයාට  හමුදා කඳවුරක් තෑගී දෙනවා. :D
ඉතින් මේ පණිවිඩේ කොහොමද ගුවන්විදුලියෙන් හෝ දුරකතනයෙන් යවන්නේ?
  ඉස්සරවෙලාම පණිවිඩය යවන පැත්තේ ඉන්න එක්කෙනා පණිවිඩය ලබන පැත්තේ ඉන්න එක්කෙනාට කියනවා ‘ස්ලයිඩෙක්ස් මෙසේජ්’ කියලා. ඊළඟට කියනවා ස්ලයිඩෙක්ස් කාඩ් එකේ අංකය. (ආරක්ෂාව සඳහා මේ කාඩ් කාලෙන් කාලෙට වෙනස් කරනවා. සතුරන් අතට එකක් හරි ගියොත් ඒ කාඩ් එක අවලංගු කරනවා. ඒ කාඩ් එකෙන් නැවත කවදාවත් පණිවිඩ යවන්නේ නැහැ. අලුත් එකක් හදනවා. ඒ නැතත් එක කාඩ් එකක් අවුරුද්දකට වඩා පාවිච්චි කරන්නේ නැහැ) ඊළඟට කියනවා කර්සර් පටි දෙක කුමන කර්සට් පටි දෙකද කියලා. ඒ සඳහා සංකේත වචන තියනවා. එතැන් සිට අර එක කොමාවකින් වෙන්වී තිබෙන අකුරු හතරක් එක වරකට කියනවා. අපි ලියලා තියන පණිවිඩයේ පළමුවැනි වචනය කියන්නේ ටැංගෝ යැංකි හොටෙල් කීලෝ  කමා කියලයි. දැන් ආයෙත් අහන්න එපා ඒ මොනවද කියලා. දෙවැනි සැරේටත් කියන්නේ.  මතකයි නේද කියලා දුන්නා.
  ස්ලයිඩෙක්ස් කාඩ් එක අතිශයින් රහසිගත හමුදා ලේඛනයක්. එය අනිවාර්යයෙන්ම වගකිවයුතු (සාමාන්‍යයෙන් කපිතන් හෝ ඊට ඉහල නිලයක) නිලධාරියකුගේ භාරයේ සේප්පුවක තැන්පත්කර තැබිය යුතුයි. ස්ලයිඩෙක්ස් කාඩ්පත එහා මෙගා ගෙනයන්නේ පහත දැක්වෙන ආකාරයේ ආවරණයක දමාගෙනයි.
full (1)
ලැබුන පණිවිඩයක් පරිවර්තනය කිරීම කලයුත්තේද නිලධාරියකු පමණයි. ඔහුට පොතක ලියා අත්සන් කර කාඩ් එක ලබාදෙන්නේ. පරිවර්තනය අවසන් කලපසු වහාම කාඩ් එක ආපසු භාරදිය යුතුයි. ස්ලයිඩෙක්ස් කාඩ්පතක් යුදබිමට රැගෙන යන්නේනම් විශේෂ ආරක්ෂාවක් යටතේ තබාගත යුතුයි. (සෙසු නිලයන්ට උගන්වන්නේ නැහැ. සංඥා ක්‍රියාකරු දන්නේ ලියාදුන් පණිවිඩ යැවීම සහ ලැබෙන පණිවිඩ ලියාගැනීම පමණයි) ස්ලයිඩෙක්ස් හා සමාන තවත් පණිවිඩ හුවමාරු ක්‍රම අතීතයේදී තිබිලා තියනවා ඒවා විස්තර කරන්න ගියොත් ලිපිය අනවශ්‍ය ලෙස දික් ගැහෙනවා. ඒ නිසා මෙතනින් ලිපිය අවසන් කරනවා.
මූලාශ්‍ර;
my-signature-for-blog[1]2013 දෙසැම්බර් මස 01 දින 1318 පැය

22 November 2013

මගේ පඩි වැඩි කළාට එතුමාට නිවන් සැප ලැබේවා!

189176-a-canadian-soldier-sheds-a-tear-during-the-last-remembrance-day-ceremo-2k1a1t8-e1323213655489                                               අනේ එතුමා මගේ පඩි වැඩි කරලානේ. කවුද අප්පා හිතුවේ එතුමා මෙහෙම පඩි වැඩිවීමක් කරයි කියලා. දිසාපති තුමාලාට, නඩුකාර උන්නාන්සේලාට, විස්ස විද්‍යාල මහා ආචාර්ය උන්නාන්සේලාටත් වැඩි කොරලාලු.  එව්වා මොන සුම්මා පඩි වැඩි කෙරිලිද. මේකනේ වැඩේ. එතුමාට පැන්සොන් කාරයෝ මතක්වුනේ ළඟදීම පැන්සොන් යන්නවත් අදහසක් ඇතිවෙලාද දන්නේ නෑ. අනේ එහෙම උනොත් අපිත් එක්කම එක පොලිමේම ගිහින් පඩි ගන්න එන්නේ නැතැයි. අපේ ලොකු දුවත් කිව්වා, ‘තාත්තේ මම කොළඹ හතේ බෝඩිමකට යනවා මේ අපාය අතහැරලා. අපේ ජීවන වියදම් දීමනාව රුපියල් 1200 කින් වැඩිකරලා නිසා’ කියලා. අම්මපා මටනම් ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා. මම අද අහල පහල ඔක්කොටම කිව්වා ඊළඟ සැරේ මගේ පැන්සොන් පඩිය ගත්ත ගමන්, අම්මපා ගම හෙල්ලෙන්න පාටියක් දමනවා කියලා.  සෙල්ලන්ද කොල්ලෝ කිව්වලු. මම දැන් ඇඟිලි ගැන ගැන ඉන්නේ, අම්මපා අර 'චොගම් බෙන්ස්' එකක් වෙන්දේසියේ දැම්මොත් එහෙම, ගන්නවා ගන්නවාමයි ආයේ දෙකක් නැහැ. ඉස්සරවෙලාම යන්නෙත් එතුමා බලලා පුලුවන්නම් කිරිජ්ජපල්ලේ පඬුරක් ගැටගහලා එන්ඩ, ලබන අයවැයේදීත් මේ වගේම පඩි වැඩි කරලා දෙන්ඩ එතුමාට යෝද බල යෝද සක්තිය ලැබේවා! ඒ සත්තිය ‘වෙන එව්වාට’ පාවිච්චි නොකරත්වා! කියන ප්‍රාර්………….. 'තනේ' කරමින්.
  ඉතින් ඔහේලා දන්නවැයි  මගේ පඩිය කීයකින් වැඩිවුනාද කියලා, උන්නැහේ මේ අද කරපු අවයව පෙන්නීමෙන්?……….. නෑ නෑ අයවැය  ඉදිරිපත් කිරීමෙන්?

දවසකට රුපියල් 11.66 යි.

අම්මපා කාටද ආඩම්බර? ආඩම්බරකාර කුඩප්පොච්චිටම නේද?

ජිල් තක බුං හියඃ පුහ්

2013 නොවැම්බර් මස 22 දින 0001 පැයmy-signature-for-blog[1]

19 November 2013

බිහිසුණු සිහිනයක අතරමංව – Shell Shock to Palali Syndrome

වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත
මනෝවිද්‍යාව හා සමාජ විද්‍යාව පදනම් කරගත්
ග්‍රන්ථයක් පිළිබඳව
කෙරෙන හැඳින්වීමකි.
army-lanka
මේ බ්ලොග් අඩවිය කියවන ඔබට, වෛද්‍ය රුවන් එම් ජයතුංග දැන් අමුත්තකු නොවෙයි. ඔහුගේ කෘති සම්බන්ධවත්, ඔහුගේ සාහිත්‍යමය නිර්මාණ පිළිබඳවත්, ලිපි ගණනාවක් මේ අඩවියේ මීට පෙර පළකර ඇති බැවින්, මා නැවත නැවතත් ඔබට ඔහුව හඳුන්වාදෙන්නට යන්නේ නැහැ.
සංග්‍රාමයකදී අසීමාන්තිකව සිදුවන, බෝම්බ/කාලතුවක්කු/යුද ටැංකි/බිම් බෝම්බ/මර උගුල්/මෝටාර් වෙඩි/ ප්‍රහාර වලට නිරාවරණයවී, තුවාල ලබා හෝ නොලබා දිවි රැකගන්නා සෙබළුන්ගේ මානසිකත්වය, බරපතළ ලෙස වෙනස්වීම් වලට භාජනය වන බවත්, එය Shell Shock යනුවෙන් හඳුන්වන බවත්,  එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු තුළ ඇතිවන මානසික අසමතුලිතතාව හේතුකොටගෙන, ඔහු, උන්මත්තක/අපරාධකාරී/සමාජ විරෝධී/ පුද්ගලයකුගේ තත්වයට පත්විය හැකි බවත්, මනෝවිද්‍යාඥයන් විසින් සාධක සහිතව පෙන්වාදී තිබෙන්නේ පළමුවැනි ලෝක සංග්‍රාම අවධියේ සිටයි. මෙම මනෝ ව්‍යාධී තත්වය, සෙබළුන්ට පමණක් නොව, සෙබළුන්ගේ පවුල්වල අයටත් ඇතිවියහැකි බව සොයාගෙන තිබෙනවා.
තම පුතා/පියා/සහෝදරයා/දුව/අම්මා/සමීප ඥාතියා/ දීර්ඝ කාලය යුද්ධයේ යෙදීසිටීම නිසා කුමන මොහොතක හෝ ඔහු/ඇය මියයාමට ඉඩ ඇති බවට සිත තුළ ඇතිවන කම්පනය හෝ ඇත්තටම එසේ මියයාම හෝ ආබාධිත තත්වයට පත්වීම නිසා ඇතිවන දුක සහ කම්පනය හේතුවෙන්ද, සුනාමි/සුළි සුළං/ගංවතුර/නායයෑම්/ වැනි ස්වභාවික විපත් වලට ලක්වීමෙන් තම පවුලේ අයගේ ජීවිත/ළඟම ඥාතීන්ගේ ජීවිත නැතිවීම සියැසින් දැකීමේ ප්‍රතිඵලයක් වශයෙන් පවා මෙවැනි මනෝ ව්‍යාධී තත්වයන් ඇතිවිය හැකි බවද මනෝවිද්‍යාඥයන් පෙන්වාදෙනවා. මේ තත්වය හඳුන්වන්නේ,
Post Traumatic Stress Disorder = PTSD
යනුවෙන්. මේ මානසික ව්‍යාධී තත්වය නිසා පුද්ගලයකු තුල ඇතිවන මානසික වෙනස්වීම් ඉතා බරපතළයි. ඔහුට හොඳ නරක/සදාචාරය/එදිනෙදා කටයුතුවලදී අවශ්‍ය තාර්කිකව සහ සංසන්දනාත්මකව සිතීමේ හැකියාව/ අහිමිව යනවා.  සමහරවිට මෙය පිටතට පෙනෙන අතර සමහරවිට නොපෙනෙන්නටත් ඉඩ තිබෙනවා. මේ නිසයි මනෝවිද්‍යාඥයන් කියන්නේ මේ සෑම දෙනාම සායනික ප්‍රතිකාර/ප්‍රතිකර්ම සඳහා යොමු කිරීම් අතිශයින් වැදගත්වන බවත්, නොඑසේනම් සිදුවන්නේ සියදිවි නසාගැනීම්/අපචාර/අනෙකුත් සමාජ විරෝධී ක්‍රියා වර්ධනයවී බරපතල සමාජ ගැටළු ඇතිවියහැකි බවත්.
වෛද්‍ය  රුවන් එම් ජයතුංග තම මනෝවිද්‍යා ග්‍රන්ථය සම්බන්ධව සකසා ඇති කෙටි වීඩියෝවක් ඔබවෙත ගෙන එන්නට මා අදහස් කළා. මෙය හඳුන්වා තිබෙන්නේ Shell Shock to palali Syndrome යනුවෙන්. ඊලාම් යුද්ධයේදී යාපනය අර්ධද්වීපය පුරා සිටි සියළුම සෙබළුන් බාහිර ලෝකය සමග සම්බන්ධ කළ මර්මස්ථානය වූයේ පලාලි ගුවන්තොටුපොලයි. නිවාඩු යන/එන සෙබළුන් ප්‍රවාහනය, ආහාර සහ ඖෂධ සැපයුම්, අවි ආයුධ සහ පතරොම් සැපයීම, වෛද්‍ය සේවා ලබාදීම, තුවාල ලත් සෙබළුන් හදිසි ප්‍රතිකාර සඳහා කොළඹට හෝ අනුරාධපුරයට රැගෙනයාම, සෙබල මළසිරුරු කොළඹට ප්‍රවාහනය කිරීම, ආදී සේවා ගණනාවක් සඳහා තිබුණු එකම මධ්‍යස්ථානය වූයේ පලාලි ගුවන්තොටුපොළයි.
ඒ කාලයේ මා කන්කසන්තුරේ ප්‍රදේශයේ සේවයේ යෙදී සිටියදී ලද අත්දැකීම් අපමණයි. සමහරවිට මාස හතරකට පහකට පමණ පසු දින පහක පමණ නිවාඩුවක් ලබා (ලංකාවේ කොහේ හිටියත් අනිවාර්යයෙන්ම පලාලි සිට රත්මලාන ගුවන් තොටුපොල දක්වා යායුතුයි. ඉන්පසු පාරේ බස් එකකින් ගෙදර යන්නේ. සමහර අයට ගෙදරට ළඟාවෙන්න දින දෙකකට ආසන්න කාලයක් වැය වෙනවා) පලාලි ගුවන් තොටුපොළට එන්න හදවිට හෝ ගුවන්තොටුපොළට ගියාට පස්සේ දැනගන්න ලැබෙනවා අද ගුවන්යානා එන්නේ නැහැ කියලා. ගුවන් තොටුපොළට එන්නේ භට පිරිස් යොදවා මාර්ග දෙපස ආරක්ෂක මුර යොදවලයි. එය ඉවත් කලපසු ආපසු යන්න බැහැ. ගුවන්තොටුපොළේ ඉඳලා පහුවදා උදේ ආරක්ෂක මුරය යෙදුවම ආපහු කඳවුරට යනවා.
jfn
සමහර දවස්වලට කියනවා අද එළවලු මස් මාළු කිසිවක් ලැබෙන්නේ නැහැ ගුවන් යානා එන්නේ නැති නිසා කියලා. අපි නිකම් බත් තම්බාගෙන ලුණු ඉහලා කනවා. බත් එක්ක කන්න යාපනයේ ගෙවතු වලින් මුරුන්ගාකොල කඩා ගන්නවා. ඒ ප්‍රදේශයම ජනශූන්‍යව පැවතුනේ. වරක් මා බඩගින්නේ ඉන්නහැටි බලන්න බැරි සොල්දාදුවෙක් පැපොල් ගකට නැග්ගා පැසුණු පැපොල් ගෙඩියක් කඩා බත්කන්න මාළුවක් උයන්න. ඔහු පැපොල් ගසේ සිටියදී, එල්.ටී.ටී.ඊ. ස්නයිපර් ප්‍රහාරයකට ලක්වී මියගියා. හොඳයි දැන් අපි වෛද්‍ය යයතුංග වෙත යොමුවෙමු. ඔහු විසින් කර තිබෙන හැඳින්වීම කියවා, ඉන්පසු වීඩියෝව නැරඹීමෙන් ඔබට පුළුල් අවබෝධයක් ලැබෙනු ඇති.
Shell Shock to Palali Syndrome  
 Ruwan-M_-Jayatunge-150x150Palali is a well-known area in the Jaffna Peninsula in the Northern Sri Lanka. Palali has an important airport that serves as the main lifeline in the North. A large number of soldiers travel to the Northern Peninsula through the Palali Airbase. During the Eelam War, Palali Air Base played a key role (like the Tan Son Nhut Air Base during the Vietnam conflict) providing essential food items, medicines and ammunition to the troops. Throughout the Eelam War, many battle casualties were transported to Colombo via Palali. Therefore, Palali is a part of the combatants who fought in the Eelam War for nearly three decades. Palali is in their memories, sometimes in their intrusions. Palali has become a symbol and metaphor that recounts combat trauma in Sri Lanka.  Palali represents the symptom complex of battle stresses that has been experienced by the new generation of combatants.  It has developed in to a syndrome.  Palali syndrome describes various clinical and psychosocial ailments experienced by the Sri Lankan combatants and in the final scores how it affects the society at large.   Shell shock to Palali Syndrome was a long and agonizing path for the soldiers who fought numerous battles. These battles were fought in different countries under different circumstances. But in every battle the combatants experienced the gruesome realties of war. Combat trauma made dramatic transformations among the soldiers. Some were healthy transformations and some transformations were extremely detrimental. Shell Shock and Palali Syndrome describe the destructive effects of combat trauma on soldiers, their family members and the society.



වෛද්‍ය ජයතුංග විසින් රචිත PTSD Sri Lankan Experience නමැති ග්‍රන්ථය ඇසුරෙන් සැකසු තවත් වීඩියෝවක් පහත දක්වනවා.




මනෝවෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු මහතා සහ වෛද්‍ය රුවන් ජයතුංග එක්ව ශ්‍රී ලංකා යුදහමුදා සෙබළුන් තුළ ඇතිවන පශ්චාත් යුද මානසික ආතතිය ගැන දක්වන ලද අදහස් සහිත මෙන්න මේ ලිපියත් කියවන ලෙස මා ඔබට ඇරයුම් කරන්නට කැමතියි.
my-signature-for-blog[1]
2013 නොවැම්බර් මස 19 දින 0849 පැය

13 November 2013

ඇඳුම් මැදිල්ල තමයි එපාවෙන වැඩේ - Ironing Your Cloth


man-hates-ironing_1
  දිනපතා අඳින ඇඳුම් ස්ත්‍රික්කයකින් මැදගැනීම, සමහර අයටනම් එපාම කරුපු වැඩක්. අද කාලයේ තිබෙන බොහොමයක් ඇඳුම්, මදින්නේ නැතිව අඳින්නත් පුළුවන්. නමුත් එවැනි ඇඳුම් අතරින්, පිරිමි අය අඳින කමිස සහ කලිසම් වලින් බොහොමයක්, නොමැද ඇන්දොත්, අවලස්සන පෙණුමක් එන බවත් රහසක් නෙවෙයි. 'අනේ ඔන්න ඔහේ ඕනේ එ(පු)කක් කවුරු බලන්නද කවුරු දකින්නද' කියලා අඳින අයත් ඉන්නවා. නමුත් කාර්යාල සේවයේ යෙදෙන අයට එහෙම ආවට ගියාට ඇඳුම් අඳින්න බැහැනේ. මැදිවිය පසුවූ බොහෝ දෙනෙක් ඇඳුම් ගැන එතරම් සැළකිලිමත් වෙන්නේ නැහැ. නමුත් දිනපතා ටයි එකක් අඳින/අඳින්නේ නැති එහෙත් තම බාහිර පෙනුම රැකියාව කෙරෙහි බලපාන ආකාරයේ රැකියාවක යෙදෙන අයටනම්, වයස කුමක් වුනත් ඇඳුමේ පෙණුම වැදගත් වෙනවා. සමහර වෘත්තීන්හි යෙදීසිටින අය, රැකියා ස්ථානයට ඇඳගෙන එන කලිසම් කමිස දැක්කම 'අනේ අනිච්චං' කියවෙන අවස්ථාත් තියනවා. මොකද ඒ අය දුප්පත් අය නෙවෙයි. නොසැළකිල්ල හෝ කම්මැලිකම නිසයි ඔවුන් අපිළිවෙලට ඇඳුම් අඳින්නේ. විශේෂයෙන්ම පිරිමි ගුරුවරුන් බොහොම කල්පනාකාරී වියයුතුයි සිසු දරුවන් ඉදිරියේ අඳින ඇඳුම්වල පෙණුම ගැන. ඇඳුමෙන් මිනිහෙක් මනින්නෑ කියලා කවුරු කොහොම කිව්වත්, යම් පුද්ගලයකුගේ පෞරුෂත්වය කෙරෙහි ඔහුගේ/ඇයගේ ඇඳුමෙන් කිසියම් බලපෑමක් එල්ල වෙනවා. (පින්තූරය ගත්තේ මෙතනින්)
  මහත්වරුන්ගේ කමිසයක් සහ දිග කලිසමක් කඩිනමින් සහ නිවැරදිව මැදගන්නේ කොහොමද යන්න කියාදෙන මෙන්, මට ඉල්ලීම් ආවේ, දැනට සෑහෙන කලකට ඉහතදී මා ලියන ලද,  සපත්තු පොලිෂ් කිරීම පිළිබඳ ලිපිය සහ ඉන පටියක් පැළඳීම ගැන ලියන ලද ලිපිය පළකිරීමෙන් පසුවයි. නමුත් අද තමයි ඒ ඉල්ලීම ඉටු කරන්න පුළුවන් වුනේ. ප්‍රමාදය ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.
  රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් බොහොමයක් ආයතනවල කාර්ය මණ්ඩලයේ ඇඳුම පිළිබඳව විශේෂ උපදෙස් අද කාලයේ ලැබෙනවා. මෙතනදී නෝනලාට නම් එච්චර කරදරයක් නැහැ. සාරි අඳින්න කියලා නියෝග කලත් ඒවා මැදලා අඳින ඇඳුම් වර්ගයක් නොවන නිසා, (වොයිල් වැනි සාරි මදින අයත් ඉන්නවා) ප්‍රශ්නයක් නැහැ. (කලකට ඉහත මා දැන සිටි පාසල් ගුරුවරියක් සිටියා සාරි 600 ක් හිමි. සාමාන්‍යයෙන් අහන්න දකින්න අමාරු දෙයක්. ඇය සතුව දොර තුනේ අල්මාරි තුනක් තිබුණාලු මේ සාරි තබන්න. ඇය කිසිවිටක එක සාරිය දෙවරක් අඳිනු දැක නැති බව ඒ ගුරුමණ්ඩලයේ සිටි ගුරුවරියන් මා සමග කියා තිබෙනවා. (ඒගොල්ලෝ කිව්වනම් ඇත්තම තමයි. මොකද එයාලා එච්චරම හොඳ 'උනන්දුවීලා' නේ. :D)
  නෝනලා මෙහෙම කරද්දී, මහත්තයලා තමයි අමාරුවේ වැටෙන්නේ, දිනපතා රාජකාරිය සඳහා අඳින කමිස කලිසම් මදින්න ගියාම. දැන් කාලේ තියන විදුලි ස්ත්‍රික්ක ක්‍රියාත්මක කලාම, විදුලි මීටරය කැරකෙන්නේ විදුලි පංකාවක් වගේ. මීටරයේ වීදුරු ආවරණය නැත්නම් විදුලි පංකාවක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් :D :D  නෝනලා කෑගහනවා කරන්ට් එක යනවා වැඩියි කියලා. ඒ වගේම තමයි වැඩට යන්න පිටත් වුනාට පස්සේ, ආයේ මතක්වෙනවා ස්ත්‍රික්කය නිවා දැමුවාද නැද්ද කියලා. සංසාරේ එපා වෙන්නේ ඒ වෙලාවට. ඒ වගේමයි දැන් තියන සමහර රෙදි. පොඩ්ඩක් උෂ්ණත්වය වැඩියෙන් තියලා මැද්දොත් රෙද්ද උණුවෙලා ඇකිළිලා යනවා. අද කාලේ හොඳ කමිසයක කලිසමක මිල ඇහුවම අමුඩ ගහගෙන වැඩට යන්න හිතෙනවා. :D :D
  Charcoal_ironඅනේ අපේ පුංචි කාලේ ඇඳුම් මැද්දේ පොල්කටු අඟුරු දාන 'ඉස්තිරික්කෙන්' ඒ කාලේ අපි ඇඳපු ටොකටලිසම් (හමුදාවේ කොටකලිසම් නැහැ. තියෙන්නේ ටොකටලිසම් :D) එංගලන්තෙන් ගෙනාපු ඉස්තරම් ඩ්‍රිල් රෙද්දෙන් මහපුවා. පොල්කටු අඟුරු ඉස්තිරික්කේ එකසියගානට රත්කරලා මැද්දත් කිසිම පුරස්නයක් නැහැ අගේට මැදෙනවා. ඒ ස්ත්‍රික්කය හදලා තිබුනේ පිත්තලෙන් හෝ චීනච්චට්ටි නමැති මිශ්‍ර ලෝහයෙන්. කිලෝ 2 ක් විතර බරයි. :D ඒ කාලේ ලොන්ඩරිවල තිබුන පිත්තල ඉස්තිරික්ක, දැන් කාලේ තියන ත්‍රිරෝද රථයකට වඩා පොඩ්ඩයි පුංචි. :D පඳුරු තැලුවා කියලා හිතන්න එපා. මෙව්වා නොකියාම බැරි දේවල්නේ.
Iron
space 2
Ironing Lady
space 2
  හොඳයි දැන් බහිමුකො මාතෘකාවට. හැබෑටම මොකද මේ ඇඳුම් මැදිල්ල මේ තරම් මහා පුරස්නයක් වෙලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් මහත්වරුනි, තමුන්නාන්සේලාගේ කම්මැලිකොමත් ටිකක් විතර (සමහරවිට හුඟක් විතර) බලපානවා ඔය ඇඳුම් මැදිල්ල මහා අවුලක් වීමට.  හොඳයි ඔන්න අපි පටන්ගන්නයි යන්නේ ඇඳුම් මැදිල්ල. මොනවද සම්පූර්ණ කරගතයුතු ප්‍රධාන කරුණු. ප්‍රධානම කරුණ ඉතිං මදින්න ඇඳුම් තියෙන්නේ එපායැ. ඒ කෙහෙම්මල් නෙවෙයි ඇඳුම් නැත්නම් රෙද්දද මදින්නේ. :D අම්මපා රෙද්දත් මදිනවා නේන්නම්. හරි මෙන්න මේකයි රෙදි මැදීම සඳහා ඔබෙන් සමහර ඇය විවිධ ආකාරයේ මතුපිටවල් පාවිච්චි කරනවා. නමුත් නිර්දේශිත හොඳම ක්‍රමය තමයි රෙදි මැදීමේ මේසයක් Ironing Table පාවිච්චි කිරීම. ගන්නකොට නිකම් ගින්දර වගේ මේසයක් ගන්න ඈ.
Sexy Girl Ironing
  ඉතිං ඔය කොහෙද බලන්නේ. මම කිව්වේ රෙදි මදින මේසය ගැන. හරියන්නෑ වැඩේ. මේ මේසේ අතෑරලා වෙන එකක් බලමු. ඇත්තටම මේ ඉහත රූපයේ තිබෙන ආකාරයේ රෙදි මදින මේස ඉතා අඩුමිලට ගන්න තියනවා. නමුත් එයින් බොහොමයක් කල්පැවතීම අතින් ඉතා දුර්වලයි.  එමෙන්ම රෙදි මදිනවිට මේසය එහා මෙහා පැද්දෙනවානම් එය එතරම් සුදුසු නැහැ. දුර්වල යකඩ පයිප්ප රාමුවක් මත, යන්තම් අටවන ලද ලෑල්ලක් සහිත එවැනි මේස, කිසිදු වැදගැම්මක් නැහැ. මේ පහත තියන පින්තූරයේ තියනවා හොද මේසයක්. නමුත් ඇත්තම කියනවනම් සමහරු කරන්නේ ගෙදර ටයිල් පොලොව මත ඝන රෙද්දක් එලා ඒ මත තබාගෙන ඇඳුම් මැදීමයි. මෙහිදී අධික ලෙස උෂ්ණත්වය අපතේ යනවා. ඔබ සාමාන්‍ය මේසයක් මත තබා ඇඳුම් මදින්නේනම් මෙන්න මේ වැඩේ කර බලන්න. ඔබ දන්නවා නේද, ඇසුරුම් සඳහා ගන්න ඝන ඊයම් කොළ විශේෂයක් තිබෙනවා, එක පැත්තක් ඊයම් කොලය, අනික් පැත්ත දුඹුරු පාට තරමක් ඝන කඩදාසි. අන්න ඒ කොලයක් අරගෙන කඩදාසිය පැත්ත යටටත් ඊයම් කොලය පැත්ත උඩටත් සිටින සේ, එය මේසය මත එලා, ඉන්පසු තරමක් ඝන කපු රෙදි දෙකක් ඊයම් කොලය මත  එලා, ඇඳුම් මැදීම කරන්න. එවිට උෂ්ණත්වය අපතේ යාම බොහෝ දුරට අවම වෙනවා. විදුලි බිල අඩුවෙනවා. 
Aris-Wood-Ironing-Board
  ඊළඟට සළකා බලන්න ඕනේ, ඔබ පාවිච්චි කරන ස්ත්‍රික්කය මොනවගේ එකක්ද කියන කරුණ.මම කලින් සඳහන් කළ ආකාරයට, අපි කුඩා කාලයේදී තිබුන ඝන කපු රෙදි බොහොමයක් ඉතා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙනවා. නමුත් වර්තමානයේදී කෘතීම කෙඳි මිශ්‍ර ඇඳුම් තමයි බහුලව තිබෙන්නේ. ඒ නිසා ඒ ඒ රෙද්දට අවශ්‍ය උෂ්ණත්වය කුමක්ද කියා සෑම නිමි ඇඳුමකම පාහේ සංකේතයකින් දක්වනවා. ඔබ බොහෝ දෙනෙක් එය දන්නවා. නැවත මතක් කිරීමක් ලෙස සඳහන් කරන්නම්. අපි බලමු සාමාන්‍යයෙන් සෑම ඇඳුමකම පාහේ තියන ලේබලයක්.
carelabelමේ ලේබලයේ උපදෙස් සියල්ල වචන වලින් විස්තර කර තිබෙනවාට අමතරව සංකේතත් යොදලා තිබෙනවා. නමුත් සමහර ඇඳුම් වල තිබෙන්නේ සංකේත පමණයි. මේ නිසා මා හිතුවා සංකේත පිලිබඳ සවිස්තර සටහනක් ඔබට දෙන්න. පින්තූරය වෙනම ගෙන බලන්න.
gar0800ස්ත්‍රික්කයේ උෂ්ණත්වය පිලිබඳ ඇති සංකේත වලින් කෙරෙන විස්තර ඇතුලත් පින්තූර දෙකක් මීළඟට පෙන්වන්නම්.
consejos-lavado-6_en
space 2
chart
දැන් ඉතින් මේ ටික බලලා හාපෝ............මේ මොන මගුලක්ද කියලා මේ පහල තියන පින්තූර වගේ වෙන්න එපා  :D  මේවා මහා විශාල සංකීර්ණ තොරතුරු නෙවෙයි. 
steam-dryers-eliminate-ironing-1
16522019-fed-up-housewife-sitting-amongst-her-clean-laundry-piled-on-the-ironing-board-daydreaming
හොඳයි. ඔන්න මෙතැන් සිට මම පින්තූර වලින්ම පියවරෙන් පියවර විස්තර කරනවා කොහොමද කමිසයක් සහ කලිසමක් මදින්නේ කියන එක. අපි මුලින්ම බලමු කොහොමද කමිසයක් මදින්නේ කියන එක. සමහරවිට ඔබ දීර්ඝ කාලයක් පුරුදුවී සිටින වෙනත් ක්‍රම ඇති. නමුත් මම කියන්නේ මම හමුදාවෙන් ඉගෙනගත් ක්‍රමයයි. මටනම් මේ ක්‍රමය හරි පහසුයි. 
1
space 2
2
space 2
3
space 2
4
space 2
5
space 2
6
  කමිස මැදීම පිලිබඳ වීඩියෝ යූ ටියුබ් එකේ තියනවා. නමුත් මම ඒවා මෙතනට නොදාන්නේ ඔබේ කාලය ඉතිරි කරන්නයි.  අපි ඉක්මනින්ම යමු නේද කලිසමක් මදගන්න. උඩ කෑල්ල මැදලා යට කෑල්ල නොමැද අඳින්න බැහැනේ. එහෙම වුනොත් මෙන්න මෙහෙම කරගන්න තමයි වෙන්නේ. :D :D
Head_up_ass_zpsbb559eb7
  කලිසම මැදීමනම් කමිසය මැදීම තරම් සංකීර්ණ නැහැ. නමුත් කලිසමේ ඉදිරිපස තිබෙන ප්ලීට්ස් නිවැරදිව මැදගැනීමට නම් හොඳින් පැතලිව තබා ප්ලීට් එකේ නියමිත දිග පමණක් මැදිය යුතුයි. මෙන්න ඒ පිලිබඳ පින්තූර.
T1
space 2
T2
space 2
T3
space 2
T4
T5
  මීට වඩා විස්තර කලයුතු දේ ඇතත් ලිපිය දිග වැඩිවන නිසා මෙතෙකින් අවසන් කරනවා. ප්‍රශ්න අසා තවත් කරුණු තහවුරු කරගන්න පුළුවන් නේ? ලිපිය දිගයි වගේ පෙනුනත් ඇත්තටම වචන 1000 කට ටිකක් වැඩියෙන් තියෙන්නේ.
සියළුම පින්තූර Google Images වෙතිනි
my-signature-for-blog[1]
2013 නොවැම්බර් මස 12 වැනි දින 2336 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }