හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

04 November 2014

කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (හතරවැනි කොටස) – Battle Appreciation and Plan (Part Four)

Lovers
 කොහොමද සැපදුක්? මාත් එක්ක යුද්දෙට යන්න ලෑස්තිවෙන නිසා හිතට බයක් චකිතයක් එහෙම දැනෙනවද? එහෙම නැත්නම්, කවදද 'ඔපරේෂන් ගර්ල් ලිෆ්ට්' හෙවත්, කෙල්ල ඉස්සීමේ මෙහෙයුම කරන්නේ කියලා, ඇඟිලි ගනිමින්ද ඉන්නේ........? ඔපරේෂන් එක සාර්ථක කරගන්න නම්, ඉතා හොඳ සැලැස්මක් තිබිය යුතුයි. නිකං ආවට ගියාට කෙල්ල උස්සන්න ගියොත්, කෙල්ලගෙ පැත්තේ අය, අපේ බෙල්ල ගලෝලා අතට දෙයි, 'යන ගමන් මේකත් අරං යන්න' කියලා. අන්න ඒ නිසයි මෙච්චර සවිස්තරව සැළැස්ම හදන්නේ. සමහර අයට මතක නැතුව ඇති මේ කතාවේ කොටස් තුනක් දැනට පළවෙලා තිබෙන බව. නොදන්නා අය වගේම, අමතක අයත්, අලුතෙන්ම දැනගැනීම සඳහා සහ මතකය අලුත් කරගැනීම සඳහා,


   බලනවානම් එය පහසුවක් වෙයි. හොඳයි, අපි පසුගිය ලිපියේදී, මේ සැලැස්මේ 10 වැනි කාරණයේ සිට 20 වැනි කාරණය දක්වා, කරුණු සාකච්ඡා කළා. එහිදී විශේෂයෙන් අවධානය යොමුකළේ, අපේ සතුරා මොනවගේ ශක්තියකින් යුක්තද යන්න, අවබෝධ කරගැනීමට සහ ඒ අනුව අපට එල්ලවන අභියෝගයට මුහුණදීම සඳහා ගතයුතු පියවර කුමක්ද, යන්න පිළිබඳවයි. අද එතැන් සිට ඉදිරියට යමු.


21. අදාළ කාර්ය භාරය සඳහා භටපිරිස් තක්සේරු කිරීම  
            Assessment of Troops to Task

1879.2.1 Assembly of Troops before the Battle of Baltimore

a. මේ අවස්ථාවේදී අපට මෙම සංග්‍රාමික කාර්යය සඳහා කොපමණ භට පිරිසක් එක්රැස් කරගත හැකිද? කෑම්ප් එකේ ඉන්න කොල්ලයි බල්ලයි ඔක්කොම යවන්න බැහැ. එතකොට කෑම්ප් එක බලාගන්නේ කවුද? තුවාල කාරයෝ බලාගන්නේ කවුද? යුද්ද කරන එවුන්ට කෑම ටිකක් උයලා යවන්නේ කවුද? වාහන වලට තෙල් ගහන්නේ කවුද? පණිවිඩ හුවමාරු කරන්නේ කවුද? අමතර අවි පතරොම් බෝම්බ යුද පිටියට යවන්නේ කවුද?

පේනවා නේද රඟේ?

මෙන්න මේ විදිහට පිරිස ගණන් බලනවා.

පාබල භටපිරිස්.....................මෙච්චරයි

ක්‍රියාන්විත සඳහා විශේෂ පුහුණු භටපිරිස්.............මෙච්චරයි

සන්නාහ සන්නද්ධ බලකායේ සහාය ලැබෙනවාද (ඒ කියන්නේ යුද්ධ ටැංකි කීයක් යොදවන්න පුලුවන්ද කියන එක) ..................ටැංකි මේ මෙම වර්ගයෙන් මෙච්චරයි.

කාලතුවක්කු හමුදාවේ සහාය ලැබෙනවාද (ඒ කියන්නේ කාලතුවක්කු, මල්ටි බැරල් රොකට් විදින යන්ත්‍ර කීයක සහාය ගන්න පුළුවන්ද කියන එක) මේ මේ වර්ගයෙන් මෙච්චරයි. කාලතුවක්කු සහාය ලැබෙනකොට කෙලින්ම හෝ වක්‍රව ලැබෙන්නේ. ආපහු කියවලා බලන්න.

ඉංජිනේරු භටපිරිස් සහාය ලැබෙනවාද (ඉංජිනේරුවෝ අරං යන්නේ ගෙවල් හදන්න නෙවෙයි. එයාලා අපිට කරන උදව්ව තමයි, අපේ පාබල භටපිරිස්වලට යුදබිමේ ඉදිරියට යාම සඳහා බාධකයන් වන, ස්වභාවික බාධක, ඒ කියන්නේ දිය පහරවල් වලින් එගොඩ වීම, කඳුකර මාර්ග, මඩ වගුරු, වැනි බාධකවල ඇති දුෂ්කරත්වය අවම කරදීම, සතුරා විසින් අටවා ඇති විවිධ මර උගුල්, බිම් බෝම්බ වැනි බාධක ඉවත්කරදීම, අපට ජලය සහ විදුලිය සපයාදීම, සතුරාට අපවෙත එන්නට අපහසුවීම සඳහා හැකිතරම් බාධක ඇටවීම)

අප සතුව මෝටාර් විදිනයන් තිබේද කොපමණක් යෙදවිය හැකිද  ඔන්න දැන් අපි ඔය තක්සේරුව අවසන් කරගත්තා කියමුකෝ. ඊළඟට ඔය පිරිස කොටස් වලට බෙදලා ඒ ඒ කොටසට අයිති කාර්ය භාරය බෙදලා දෙන්න ඕනෙ. අපි හිතමු දැන් කෙල්ල උස්සන්න යනකොට අපේ යාලුවන්ට කාර්ය භාරයක් Task බෙදලා දෙනවා. කාර් එක එලවන්නේ උඹ, බයික් එක පදින්නේ උඹ, ත්‍රී වීල් එක එලවන්නේ උඹ. මුලින්ම කෙල්ලගේ ගෙදර තාප්පෙන් පනින්නේ උඹ, කෙල්ලගේ ගෙදර ඇතුලේ ඉඳලා, අපිට ගහන්න එන එවුන්ට ගහන්නේ උඹලා, කෙල්ලගේ ගෙදර අයගේ ආධාරයට කවුරුහරි පිටින් එනවානම්,   මග රැකලා උන්ට ගහන්නේ උඹලා. දැන් තේරුණා නේද වැඩේ. 

යුද්දෙදි වෙන්නේ මෙහෙමයි.

a. ඉලක්කය අත්පත් කරගැනීමේ capture කණ්ඩායම

b. සතුරාගේ ආධාරයට එන භටපිරිස් වලට රැක සිට පහරදෙන කණ්ඩායම/කණ්ඩායම් Blocks/Cut offs 

c. මෝටාර්/බර මැෂින් තුවක්කු ආදිය රඳවා තබන ස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන කණ්ඩායම Secure of Fire Base (මෝටාර්, දුර වදින ලොකු මැෂින් තුවක්කු අපි අල්ලගන්න යන ඉලක්කය ළඟටම ගෙනියන්න ඕනෙ නැහැ. දුර ඉඳලා වැඩේ දෙන්න පුළුවන්. ඉතිං ඒවා රඳවා ගන්න ස්ථානයට ආරක්ෂක භට පිරිසක් ඕනෙ . ඒවා ක්‍රියාකරවන අයගේත් ඒ ආයුධවලත් ආරක්ෂාව සඳහා) 

d. ආරම්භක ස්ථානය ආරක්‍ෂා කිරීම - Secure FUP (යුද්දෙදි තියනවා Forming Up Place = FUP කියලා එකක්.  එතන සමහරවිට සතුරා ඉන්න තැනට මීටර් හාර පන්සීයකටත් වඩා අඩු දුරකින් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සද්ද නැතුව එතනට කිට්ටු කරලා, සියලුම අවි ආයුධ, ප්‍රහාරක කණ්ඩායම් නැවත පරීක්ෂා කරනවා. ප්‍රහාරය ආරම්භ කරන්නට ආසන්න ඒ මොහොතේ අපි ඉන්නේ අනාරක්ෂිතව. අපි ප්‍රහාරය එල්ල කරන්න ඉස්සරවෙලා සතුරා අපිව දැක්කොත්/දැනුනොත් අපිට හොඳටම ගහනවා. ඒ නිසා FUP එක රැකගන්න වෙනම පිරිසක් යනවා)

e. සටනේදී වෙනත් දෙසකින් පැමිණ අපට එකතුවන අපේ පිරිස් - link up forces මතකද එල්ටීටීඊ යුද්දෙදි රූපවාහිනියෙන් පෙන්නුවා, අපේ භටපිරිස් පැති කීපයකින් සතුරාට පහරදීගෙන, යටත් කරගෙන ඇවිල්ලා, අන්තිමට එකිනෙකා හමුවෙලා සතුටුවෙන හැටි. අන්න ඒ වුණේ link up forces එකතුවීමයි.  අවශ්‍ය අවස්ථා වලදී මෙවැනි භටපිරිස් යෙදවිය යුතුයි. 

f. අතිරේක භටපිරිස් Reserves අපි බලාපොරොත්තු නොවන අවස්ථා වලට හදිසියේ මුහුණ දෙන්න ඉඩ තිබෙනවා. අපි කලින් දැන නොසිටි සතුරු කණ්ඩායම් අපිට ප්‍රහාර එළ කරන්න ඉඩ තියනවා. එහෙමත් නැත්නම් සතුරාගේ ප්‍රතිප්‍රහාර අපි හිතා හිටියාට වඩා ප්‍රබල වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වේලාවකදී ප්‍රයෝජනයට ගන්න අතිරේක භට පිරිස් වෙනමම සූදානම් කර තබනවා.

g. පැති ආරක්ෂාව - Flank Protection සටනට මුහුණ දෙන අපේ ප්‍රධාන භාටපිරිසට දෙපැත්තෙන් එල්ල වියහැකි ප්‍රහාර වැළක්වීමේ කන්ඩායම්

h. රැවටිල්ලෝ :D - Deception සතුරාගේ අවධානය වෙනත් අතකට යොමුකරවාගෙන අමගින් අපේ අරමුණ ඉටුකරගැනීමට වාසියක් අත්වන ආකාරයේ ක්‍රියා. උදාහරණයක් වශයෙන්, අපි සතුරාගේ ප්‍රධාන කඳවුරට ගහන්නයි යන්නේ. නමුත් අපේ ප්‍රධාන ප්‍රහාරය එල්ල කිරීමට පෙර අපි සතුරාගේ ප්‍රධාන කඳවුරට ආසන්න වෙනත් කුඩා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කරනවා. එවිට සතුරාගේ අවධානය ඒ වෙතට යොමුවෙනවා. ඒ අල්ලපනල්ලේ අපි අපේ වැඩේ දෙනවා.

j. (i අකුර මේ සැලැස්මේදී යොදන්නේ නැත. එය සම්ප්‍රදායකි) ඉංජිනේරුවන්ට ලබාදෙන කාර්ය භාරය. සතුරු බිම්බෝම්බ ඉවත් කිරීම, සතුරු යුද ටැංකි නාශක බිම්බෝම්බ සවි කිරීම, සතුරු කඳවුරේ බාධක පුපුරවා හැරීම වැනි කරුණු.

k. තුවාලකරුවන් යුදබිමෙන් ඉවත්කර ගැනීම Casualty Evacuation = Casvac මේ සඳහා වෙනමම කණ්ඩායමක් යොදවනවා. ඔවුන් නොපමාව තුවාල කරුවන්ට අවශ්‍ය ප්‍රථමාධාර දී, තුවාලකරුවන්ව යුදබිමේ පසුපසට ගෙන ආ යුතුයි. එහිදී වෛද්‍ය බලකාය තුවාලකරුවන් බාරගන්නවා.  

දැන්, මේ කාර්යය සඳහා අවශ්‍ය භටපිරිස් වල එකතුව මෙච්චරයි කියලා ගණනය කරනවා.


22. සැකසුම් - Deductions 

   මෙතැනදී නැවත සිතා බලනවා, තවත් අතිරේක භටපිරිස් කාලතුවක්කු/යුද ටැංකි/ගුවන් ප්‍රහාර/ ආදිය අවශ්‍යද කියා. අවශ්‍යනම් ලබා ගැනීමට ක්‍රියාකළ යුතුයි.


23. කාලය සහ අවකාශය Time and Space 

   ඔක්කොම සැලසුම් අවසානයේ කාල ගණනයක් කලයුතුයි. එය ඉතා වැදගත්. කාලගණනය වරද්දා ගත්තොත් සම්පූර්ණ ක්‍රියාන්විතයම අවුල් වෙන්න පුළුවන්. එහිදී යොදාගන්න ක්‍රමවේදය මෙන්න මේකයි.

a. ඉදිරියට ඇති උපරිම කාලය - Time Available
(මෙය බලන්නේ මෙන්න මෙහෙම)

1. දැන් වෙලාව

2. ඉලක්කය(මතකනේ මේ කතාවේ මුලදීම කිව්ව අරමුණ. අන්න ඒක)..........දින ..............වෙලාව වනවිට සම්පූර්ණ (අත්පත්) කරගත යුතුයි

3. සියලු කටයුතු සඳහා ඉතිරිව ඇති කාලය

4. දිවා කාලයේ කොපමණ පැය ගණනක් තිබේද?

5 රාත්‍රී කාලය කොපමණ තිබේද?


b. ඉදිරි කාල ගණනය - Forward Calculation 

1. අණදෙන නිලධාරි වරුන් විසින් නිරීක්ෂණ සංචාර කොට, සැලසුම් සකස් කර, භටපිරිස් වලට ක්‍රියාන්විතය සඳහා සූදානම්වීමේ නියෝග ලබාදීමට ගතවන කාලය.

2. ඒ ආකාරයටම කණ්ඩායම් භාර නිලධාරීන්ගේ සැලසුම් සහ නියෝග සඳහා ගතවන කාලය.

3. ඒ ආකාරයටම ඛණ්ඩ භාර නිලධාරීන්ගේ සැලසුම් සහ නියෝග සඳහා ගතවන කාලය.

4. දැන් අපි සිටින ස්ථානයේ (අපේ කඳවුර වෙන්නත් පුළුවන්, යුද බිමේම තැනක් වෙන්නත් පුළුවන්) ඉලක්කය සපුරා ගන්නාතුරු කලයුතු සියල්ල සඳහා ගතවන කාලය.

5. FUP ස්ථානයේ කොපමණ වෙලාවක් ඉන්නට සිදුවේද. (FUP එකේ පදිංචි වෙන්න බැහැ. එතැනදී කරන්නේ ඔක්කොම හරිද කියලා නැවත පරීක්ෂා කරන එකයි. එතනින් ඉදිරියේ තියනවා Start Line = SL කියලා එකක්. ඒක සමහරවිට සතුරු ඉලක්කයට මීටර් 100ක් වත් දුර නැති තැනක් වෙන්න පුළුවන්. එතන ඉඳලා තමයි එකපාරට වෙඩිතියාගෙන කඩා බිඳගෙන ඉදිරියට දුවන්නේ. ඉතිං FUP ඒකෙදි අනවශ්‍ය සද්ද බද්ද කළොත් වැඩේ දෙල් වෙනවා. SL ඒකෙදි ඊටත් වඩා සැලකිලිමත් වියයුතුයි)

6. ක්‍රියාන්විතයට පිටත් වුනාම FUP එකට යාම සඳහා කොපමණ කාලයක් ගතවේද?

7. FUP එකේ සිට SL එක දක්වා යන්නට කොපමණ වෙලාවක් ගතවේද?


8. වෙඩිතියාගෙන කුඩු පට්ටම් කරගෙන සතුරු ඉලක්කය හරහා ගොස් අවසන් කරන්නට කොපමණ වෙලාවක් ගතවේද?


c. ආපසු ගණනය - backward Calculation 

දැන් අගසිට මුලට ආපසු ගණනය කර බලනවා කාලය සමානද කියලා. 



සතුරා විසින් ගැනීමට ඉඩ ඇති ක්‍රියාමාර්ග

 Enemy Courses 

   
   MV5BMTc2NTU3MzUxNl5BMl5BanBnXkFtZTcwOTM4OTMyMQ@@._V1_SX214_AL_කෙල්ලගෙ පැත්තේ ඉන්නේ නිකම්ම නිකං බබාලා නෙවෙයිනේ. උනුත් ඕනෙම දෙකට ලෑස්තිවෙලයි ඉන්නේ. සතුරු ප්‍රහාර වගේම රැවටිලි කරන්නත් පුළුවන්. කොහොමද ඉතාම දක්ෂ වේශ නිරූපන ශිල්පියකු මගින්, කෙල්ලගේ ආච්චි අම්මව, කෙල්ල වගේම පෙනෙන්න වේශ නිරූපනයක් කරලා, අපිට පහසුවෙන් අරං එන්න පුළුවන් විදිහට තිබ්බොත්? අපි මගට ඇවිත් බලනකොට වහකන්නනේ සිද්ද වෙන්නේ. ඒ නිසා, අපි නැවත වරක් සලකා බලනවා, අපේ ක්‍රියාන්විතයට එරෙහිව, සතුරා විසින්, කෙබඳු ක්‍රියාමාර්ග ගනීද යන කාරණය. එහිදී සතුරා විසින් ගනු ඇතැයි සිතන සෑම ක්‍රියාමාර්ගයක් ගැනම වෙන වෙනම විශ්ලේෂණයක් කරනවා. 


25. සතුරු ක්‍රියාමාර්ගය (අ) - Enemy Course (a)

   සියලු ආධාරක භටපිරිස් ගෙන්වාගෙන, කාලතුවක්කු/මෝටාර් වැනි ආධාරක සේනා/ආයුධ සහයත් ලබාගෙන, සතුරා, තමන් සිටින ස්ථානය රැකගැනීම සඳහා, දීර්ඝ සටනකට අවතීර්ණ විය හැකිය. (කාමිණීගේ බාප්පාගේ යාළුවො/වැඩපොළේ යාළුවො/ගමේ යාළුවො ඔක්කොම ගෙන්වාගෙන, අපිට අම්බානක නෙලන්නට ඉඩතිබේ)

විශ්ලේෂණය කලයුතු කරුණු;

a. ඉහත සතුරු ක්‍රියාමාර්ගය සඳහා ඇති සම්භාවිතාව

b. ප්‍රතිඵල/බලපෑම්

ඒ අනුව සලකා බලනවිට;

1. අපේ ප්‍රහාරය අවුල් කිරීමට සතුරාට හැකිවේ.

2. අපිට සිදුවන හානි බරපතල වියහැකිය.


26. සතුරු ක්‍රියාමාර්ගය (ආ) - Enemy Course (b)

   අපි ඉලක්කය වෙත ළඟාවීමට පෙර සතුරා අපට රැකසිට පහරදීම්, වෙනත් පැති ප්‍රහාර එල්ල කර, අපව අධෛර්යයට පත්කර, පසුබැසීම සඳහා අපිව යොමුකිරීමට ඉඩ ඇත. (අපි නුගේගොඩ දේවාල පාර කිට්ටුවට එන්නත් කලින්, වෙන තැනකදී මග රැකසිට අපිට වැඩක් දෙන්නට ඉඩ තිබේ)

a. ඉහත සතුරු ක්‍රියාමාර්ගය සඳහා ඇති සම්භාවිතාව

b. ප්‍රතිඵල/බලපෑම්

ඒ අනුව සලකා බලනවිට;

1. අපේ ප්‍රහාරය ප්‍රබල ලෙස අවුල් කිරීමට සතුරාට නොහැකිවේ.

2. අපිට සිදුවන හානි බරපතල නොවියහැකිය.

   නමුත් හීන ලෝකයක ජීවත්වීමෙන් පලක් නැත. යුද්ධයේදී හීන මැව්වොත් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ. ඒ නිසා අපි සිතිය යුත්තේ, සතුරා ඉහත අංක 25 යටතේ දක්වා ඇති ක්‍රියාමාර්ගය ගනු ඇතැයි කියායි. 

   දැන් මොකද කරන්නේ?
කරන්න දෙයක් නැහැ.
ලිපියේ ඊළඟ කොටස එනතුරු,
බොහොම කල්පනාවෙන් ඉන්න.



my-signature-for-blog[1]   2014 නොවැම්බර් මස 04 වැනි දින 0050 පැය

28 October 2014

කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (තුන්වැනි කොටස) – Battle Appreciation and Plan (Part Three)

lineofduty200904112
 අනේ මන්දා, මම මේ ලිපි පෙළ ලියන්න පටන් අරං තියෙන්නේ, මොකක්දෝ මහා අපල ග්‍රහචාරයක් තියන වේලාවකද කියලා හිතෙනවා. මේ ලිපියේ පළමුවැනි කොටසේදී මම කිව්වනේ, ලිපිය ලියන්න පටන්ගත්තේ 2013 වර්ෂයේදී කියලා.


   ඉතිං බලන්න, පළමුවැනි කොටස පළකර ගන්නම කොච්චර කාලයක් ගියාද. ඊළඟ දෙවැනි කොටස පළකරන්න ලැස්ති වෙනකොටම, වෙනත් වැදගත් මාතෘකා දෙකක් ඔලුවට ආව නිසා, ඒ ගැන ලිපි දෙකක් ලියන්න සිද්දවුනා. ඊළඟට මේ ඊයේ පෙරේදා, ලැජ්ජා නැති පුඟුලෙක්, මගේ ලිපියක් හොරකම් කරලා තිබුණා. ඒ ගැනත් ලියන්න සිද්දවුණා. ඒ නිසා තමයි මම කිව්වේ, මේ ලිපි මාලාව ලියන්න පටන් අරං තියෙන්නේ, මොකක්දෝ මහ අපල ග්‍රහචාරයක් පවතින වෙලාවකයි කියලා.

   හරි හරි, ඔන්න තුන්වැනි කොටස පටන්ගන්නයි හදන්නේ. කලින් කොටස් දෙක මතක නැතුවනම්, මේ කොටස බලලා වැඩක් නැහැ. ඒ නිසා ලිපිය කියවන්න කලින්,



කියවලා ආවොත් හොඳයි. නැත්නම් මොකවත් වැටහෙන්නේ නැතිවෙයි. වෙන දේවල් වගේ නෙවෙයිනේ. ඔබෙන් බොහෝ දෙනෙකු මීට කළින් අහලා නැති කරුණු තමයි මේ ලිපි මාලාවේ අඩංගු වෙන්නේ. එමෙන්ම මා දන්නා තරමින් මේ කරුණු සිංහල භාෂාවෙන් මෙසේ ලියා ඇති වෙනත් තැනක් නැහැ.

හොඳයි, අපි දැන් කරුණු අධ්‍යයනය කරමින් සිටින්නේ, 'කෙල්ල ඉස්සීමේ මෙහෙයුම හෙවත් - Operation Girl Lift' ක්‍රියාන්විතය කොයි මොහොතේ හෝ දියත් කරන්නයි. ඒ සඳහා න්‍යායාත්මකව කෙරෙන කරුණු අධ්‍යයනයෙදී, පසුගිය ලිපියෙන් අපි, අපේ පැත්ත හෙවත් Own Force ගැන කරුණු සලකා බැලීම අවසන් කළා. අද අපි කරන්නේ, සතුරු පක්‍ෂය හෙවත් Enemy Force ගැන කරුණු අධ්‍යයනය කිරීමයි. මෙහෙම හිතලා බලන්න. ඔන්න දැන් කෙල්ල උස්සන්න යන්න ලෑස්ති වෙලා, අපි බලනවනේ, මට යාළුවො කීදෙනෙක් ඉන්නවද, උන්ට කරන්න පුළුවන් දේවල් බැරි දේවල් මොනවද, ආයුධ වශයෙන්, අඩු ගණනේ, පොලු කෙටි දෙකතුනක් වත්, අපි අතේ තියනවද, මොනවද තියන වාහන, යන්නේ කොහොමද, විකල්ප ක්‍රියාමාර්ග මොනවද. ඔන්න ඔවනේ අපි මෙතෙක් දවස් කතාකළේ. ඒ විතරක් මදි. සතුරා මොනවගේද කියලා, හැකිතරම් සවිස්තරාත්මකව අධ්‍යයනය කළේ නැත්නම්, අපේ පරාජය ස්ථිරයි. ඒ නිසා, සතුරා ගැන අපේ දැනීම, හැකි තරම් ඉහළ මට්ටමක තිබිය යුතුයි. මෙන්න මේවා තමයි අපි සතුරා ගැන දැනගතයුතු කරුණු. 


know thy enemyසතුරා - Enemy 


10. සතුරාගේ ශක්තිය/බලය - Enemy Strength 

   (මොකක්ද මේ 10 ඉලක්කම කියලා දැන් අහන්න එපා. අංක 1 තියෙන්නේ මේ ලිපියේ පළමුවැනි කොටසේ. 9 ඉලක්කමෙන් තමයි දෙවැනි කොටස අවසන් වුණේ) 

   මේ කාරණයේදී මුලින්ම බලන්නේ, සතුරාට කොපමණ පිරිස් බලයක් තිබෙනවාද කියන එකයි. හොඳින් මතක තියාගන්න. අපිට කවදාවත් බැහැ, හරියටම මෙන්න මෙච්චරක් ඉන්නවා කියලා හොයාගන්න. සතුරාටත් බැහැ, අපි ගැන එහෙම හොයාගන්න. ආසන්න වශයෙන් කොපමණද කියන එක තමයි, ගණනය කරන්නේ. අපේ සැළසුම් හදන්නේ, ඒ ගණනය කිරීම් ගැන සෑහීමකට පත්වුණාමයි. එක වරක් දෙවරක් නෙවෙයි, කීපවරක් පරීක්ෂා කර තහවුරු කරගත යුතුයි.

11. සතුරාගේ අවි සහ උපකරණ බලය 
 Enemy Weapons and Equipment

   විශේෂයෙන් විස්තර කරන්න ඕනෙ නැහැනේ. සතුරා පාවිච්චි කරන්නේ මොනවගේ ආයුධ ද, ආධාරක අවි (මෝටාර්, බර මැෂින් තුවක්කු, ආර්.පී.ජී වැනි) තිබෙන්නේ මොනවාද, ආධාරක සේනා (කාලතුවක්කු, මිසයිල්, යුද්ධ ටැංකි) බලය කෙසේද, රේඩාර් වැනි විශේෂ උපකරණ තිබේද, වැනි කරුණු තමයි මෙහිදී සළකා බලන්නේ.  

12. සතුරු බිම් වෙඩි කෙත් තිබේද 
   Enemy Mine Fields

   සතුරා බිම්වෙඩි වළලා තිබුණොත්, අපේ ගමන අවසන් වෙන්නේ, අපේ සෑහෙන පිරිසකගේ පාද අහිමිවීමෙන් හෝ මරණයෙන්. ඒ නිසා අපේ ඔත්තු සේවා, චන්ද්‍රිකා පද්ධති, නිරීක්ෂණ ගුවන් යානා, මගින් හොයාගන්න වෙනවා, බිම්වෙඩි කෙත් තියනවාද කියා. 

13. සතුරාගේ චිත්ත ධෛර්යය සහ හැසිරීම් රටාව 
  Enemy Moral and habits 

  අපි දන්නවනේ, මම බජාර් එකේ චන්ඩියානම්, කාටත් පෙනෙන්න පිහිය/පිස්තොලේ ඉනේ ගහගෙන තමයි, බජාර් එකේ හක්කොලං කොරන්නේ. නමුත්, ගමේ පොලොසියට අලුත් ඕ අයි සී මහත්තැන් කෙනෙක් ඇවිත් ඉන්නවා, ඕනෙම චන්ඩියෙක් පෙරේතයා වගේ උස්සලා පොළොවේ ගහන කියලා ආරංචි වුනොත්, මම ඒ චන්ඩියා විදිහට නෙවෙයි නොන්ඩියා වගේ තමා ඉන්නේ. යුද්ධයේදීත් එහෙමයි. තමන්ගේ පිරිස් බලය, ආයුධ බලය, ආධාරක භට පිරිස් බලය, ආධාරක අවි බලය, බොහොම ඉහළ තත්වයක තිබෙනවානම්, සතුරා තමන්ගේ කඳවුරු වලට වෙලා නිකම් ඉන්නේ නැහැ. ටිකක් ඇවිදලා කූරු ගාලා බලනවා, කොහොම හරි අපිට වැඩක් දෙන්න පුලුවන්ද කියලා. ඒ වගේමයි, මෑත කාලයේදී අපෙන් කාලා ඉන්න සතුරෙක් නම්, වැඩිය සෙල්ලම් දාන්න යන්නේ නැතුව පාඩුවේ ඉන්නවා. කාමිනීලගේ බාප්පා ඇතුළු පිරිස ගැනත් හොයලා දැනගන්න වෙනවා මේ ආකාරයට. 

14. සූදානමින් සිටින/අතිරේක/ආධාරක/ භටපිරිස් යෙදවීමේ ශක්‍යතාව - Reserve/Reinforcement/ Capabilities

   මතකනේ මේ කතාවේ ඉන්න මගේ සතුරු පක්ෂය. ඒ කියන්නේ මගේ පෙම්වතිය වන කාමිණීගේ දෙමාපියන්, ඥාතීන්, මිත්‍රයන්, අසල්වැසියන්, ආදී මහා සතුරු සේනාවක් ඉන්නවනේ. ඉතිං මම කෙලලා ඉස්සීමේ ක්‍රියාන්විතය දියත් කළ වහාම, ඔය සතුරු සේනාව කුමන ආකාරයකින් ක්‍රියාත්මක වෙයිද කියලා හැකිතරම් තොරතුරු සොයාගත යුතුයි. අපි හිතමු මෙහෙම එක නාඩා පිරිසක් ඉන්නවා බොරැල්ලේ. තව පිරිසක් කොට්ටාවේ, තවත් අය කිරුලපනේ. ඔන්න ඔය විදිහට ඒ අය කෙල්ල ඉස්සීමේ ක්‍රියාවට එරෙහිව කොපමණ වෙලාවක් ඇතුළත කොයි පැත්තෙන් ඇවිත්, 'සීන් එකට ඇන්ටර් වෙයිද' කියන එක හරිම වැදගත්. මම උන්ට වැඩක් දෙන විදිහ ගැනත් හිතන්න වෙනවා. 

15. සතුරු පක්ෂයේ සූදානම - Preparedness 

   සතුරු පක්ෂයේ ඉන්නේ බබාලා නෙවෙයිනේ. එයාලා සෑමවිටම සූදානමින් ඉන්න බව මම මුලින්ම දැනගන්න ඕනෙ. හැබැයි ඒ සූදානම මොන වගේද කියලා දැනගන්න පුලුවන්නම් වැඩිය හොඳයි. අපි හිතමු මෙහෙම. මම කෙල්ල උස්සන්න එනවා ඇති කියලා හිතෙන හැම පාරකම ඒගොල්ලෝ ඇම්බුෂ් හෙවත් රැකසිට පහර දීමේ කණ්ඩායම් යොදවන්න පුළුවන්. අපට වෙඩි තියන්න, පිහියෙන් අනින්න, ඇසිඩ් ගහන්න, ගෙදර ඇතුලෙත් කණ්ඩායම් සූදානම් කරලා තිබෙන්න පුළුවන්. ඒ වගේම තමයි එහි අනික් පැත්ත. සතුරාත් මා ගැන හොයනවානේ. මගේ බලපුළුවන්කාරකම් ගැන අහලා සතුරා සමහරවිට ටිකක් බයවෙලා උදාසීන වෙලා ඉන්නත් පුළුවන්. ඒ නිසා සතුරාගේ පෙර සූදානම ගැන දැනගැනීම හරිම වැදගත්. 

16. සතුරා රැඳී සිටින ආකාරය - Disposition 
 
   
මෙයින් අදහස් කරන්නේ සතුරා, තමන්ට අයත් බල ප්‍රදේශයේ ඉන්නේ කුමන ස්ථාන වලද කියන එකයි. දැන් මම උස්සන්න යන කෙල්ලයි, කෙල්ලගෙ අම්මයි තාත්තයි, මල්ලියි, අයියයි, ඉන්නේ කෙල්ලගේ ගෙදර. අල්ලපු ගෙදර ඉන්නවා අර මහා නපුරු, ගණන්කාර, බාප්පා. ඊට ගෙවල් දෙකකට එහා ඉන්නවා ඒ බාප්පාගේ තග් ගැන්සියේ එවුන් දෙන්නෙක්. ඔන්න ඔය විදිහට සතුරා කොයි ආකාරයෙන් කුමන ස්ථානවලද ඉන්නේ කියන එක හරිම වැදගත්. මගේ ප්‍රහාරක සැළැස්ම සකස් කිරීමේදී ඒ ගැන විශේෂයෙන් සිතිය යුතුයි.  

17. සතුරාගේ විශේෂ දක්ෂතා/හැකියා - Special capabilities

   අපි හිතමු සතුරාගේ ගුවන් බලය/කාලතුවක්කු බලය/යුද්ධ ටැංකි බලය/ මෝටාර් බලය/ මිසයිල් බලය/ වැනි සාධක වලින් එකක් හෝ කීපයක් ප්‍රබලව තිබෙනවානම්, එහෙමත් නැත්නම් ආධාරක භට පිරිස් ඉතා සුළු වෙලාවකින් ගෙන්වා ගැනීම වැනි විශේෂ හැකියා තිබෙනවානම්, මගේ කතාවේ හැටියට, කෙල්ලගේ දෙමවුපියන්ට, කෙල්ලවත් අරං මට අහුනොවෙන්න පලායන්න පුළුවන් බව පෙනෙනවානම්, අන්න ඒ වගේ සතුරාගේ විශේෂ හැකියා වලට ප්‍රතිවිරුද්ධව මා කුමක් කළයුතුද යන්න තීරණය කළයුතු වෙනවා. 

18 . සැකසුම් - Deductions 

   ඉහත අංක 10 සිට 17 දක්වා සියලු කරුණු කාරණා සැලකිල්ලට ගැනීමෙන් පසු, මගේ සැලැස්මේ අවශ්‍ය සැකසුම් කිරීමේදී, පහත දැක්වෙන යුධ  න්‍යායාත්මක පිළිවෙත අනුව කටයුතු කළයුතුයි. මෙව්වට පිටින් ගියොත් එහෙම බඩුම තමයි. 
  • අ. ප්‍රහාරක භටපිරිසේ සංයුතිය (කොපාමන භට පිරිසක් යොදවනවද, කාලතුවක්කු, යුද්ධ ටැංකි, ආධාර ලබාගන්නේද)
 
  • ආ. වෙඩි ප්‍රහාර සැළැස්ම (මේ වැඩේ හරි සංකීර්ණයි. කෙටියෙන් මෙහෙම කියන්නම්. වැඩේට බැස්සම ඒ ඒ අවස්ථාවේදී පාවිච්චි කරන්නේ කුමන ආයුධද, කවුද ඒ ඒ කණ්ඩායමේ ඉන්නේ, සතුරු පැත්තෙන් එන වෙඩි වලට ප්‍රති ප්‍රහාරක වෙඩි ලබාදෙන්නේ කවුද, ආදී වශයෙන්)
 
  • ඇ. ඉලක්කය වෙත ළඟාවීම සඳහා හඳුනාගත් මාර්ග අතරින් ප්‍රමුඛතාවය තෝරාගැනීම. 
 
  • ඈ. ප්‍රහාරයේ ඒ ඒ අවස්ථා සඳහා කාල රාමුවක් සැකසීම. (කෙල්ලගේ ගෙට කඩාවැදීම විනාඩි තුනයි, බාධා කරන්නට එන අයට ගහලා බිම දැමීම විනාඩි හතයි, කෙල්ල උසාගෙන එලියට එම විනාඩි දෙකයි ආදී වශයෙන්) 
 
  • ඉ. ප්‍රහාරයේ අරමුණු ප්‍රමඛත්වය සැකසීම (ඉස්සර වෙලාම කෙල්ලගේ ගෙදර ගේට්ටුවෙන් පැනීම, ඊළඟට කෙල්ලව ගෙදර පස්ස දොරෙන් වෙන කවුරුහරි පන්නාගෙන යාම වැලැක්වීම, ඊළඟට කෙල්ලගේ ගෙදර අය යටත් කර ගැනීම, ඊළඟට අපිට ගහන්න එන එවුන්ට වැඩේ දීම, ඊළඟට කෙල්ල අරං එලියට ඊම, ඔන්න ඔය විදිහට මුලින් කලයුත්තේ කුමක්ද දෙවනුව තුන්වනුව කලයුත්තේ කුමක්ද කියා සැළසුම් කළයුතුයි)
 
  • ඊ. අතිරේක/අධාරක භටපිරිස් සූදානම් කිරීම. මගේ ඉන්න පිරිස මදි කියා හිතෙනවානම්, ආධාරයට තවත් යාළුවො අරං යන්න ඕනෙ. උන්ව හොඳ සූදානමකින් හදිස්සියකට ටක් ගාලා අපි ඉන්න තැනට එන්න පුළුවන් විදිහට යාන වාහන සහිතව රඳවා තියන්න ඕනෙ.
 
 19. ද්විපාර්ශ්ව සංසන්දනය Relative Strength 

   මෙතැනදී කරන්නේ මේකයි. සතුරු පක්ෂයේ ශක්තිය සහ අපේ පක්ෂයේ ශක්තිය සංසන්දනය කරනවා. සැලැස්මේම ලියනවා මෙහෙම,

   සතුරාගේ පාබල භටපිරිස් ප්‍රමාණය (මෙච්චරයි) අපේ පාබල භටපිරිස් ප්‍රමාණ (මෙච්චරයි) ඊළඟට යුද්ධ ටැංකි, කාලතුවක්කු, මෝටාර්, ඉංජිනේරු බලය යන කරුණු, ඒ විදිහටම, ප්‍රමාණාත්මකව සංසන්දනය කරනවා.  එතකොට අපිට පැහැදිලි චිත්‍රයක් මැවෙනවා මේක මොනවාගේ සටනක්ද කියන එක.

20. සැකසුම් - Deductions 

   ඔබ මේ ලිපි මාලාව උනන්දුවෙන් කියවාගෙන ආවානම්, මේ රටාව දැන් පැහැදිලි ඇති. තත්ත්ව ඇගයීමක් කළ වහාම ඊට අදාළව සැකසුම් කරනවා. දැන් අපි දෙපැත්තේ ශක්තිය සංසන්දනාත්මකව බැලුවා. අපි හිතමු, මේ කෙල්ල උස්සන වැඩේට, මට ඉන්නේ හත් දෙනයි. කෙල්ලගේ පැත්තේ 13 දෙනෙක් ඉන්නවා කියලා. මොකද කරන්නේ වැඩේ අතාරිනවද. නැහැ. මතකනේ ඔබ SPBR කෙනෙක්. ඒ නිසා සටන අතාරින්නෙ නැහැ. දැන් අපි සැලසුම් කළයුතුයි 7 දෙනෙකුගෙන්, 13 දෙනෙකුට වැඩේ දෙන්නේ කොහොමද කියලා.  ඇත්තටම යුද්ධයේදීත් මෙහෙම වෙනවා. 

හොඳයි අපි ඊළඟ කොටසේදී බලමු, සීමිත භටපිරිසක් යොදාගෙන, මම කොහොමද කෙල්ල උස්සන්නේ කියලා. 


my-signature-for-blog[1]   2014 ඔක්තෝබර් මස 28 වැනි දින 2224 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }