වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත ‘යුද්ධයේ අතුරු කතාවක්’ කෙටි කතාවේ පළමුවැනි කොටස මීට පෙර ඔබ රස විඳින්නට ඇතැයි මා සිතනවා. එය කියවීමට නොලැබුණා නම් මෙන්න මේ සබැඳියෙන් ගොස් එය කියවන මෙන් කාරුණිකව ඉල්ලනවා. අද, ගෙන එන්නේ, එහි දෙවැනි කොටසයි. මෙහිදීද මට කියන්නට තිබෙන්නේ, මෙය වෛද්‍ය ජයතුංගගේ නිර්මාණයක් වන අතර, මා විසින් කරන්නේ එය ඔබවෙත ගෙන ඒම පමණක් බවයි.
යුද්ධයේ අතුරු කතාවක් – දෙවැනි කොටස
වෛද්‍ය රුවන් එම් ජයතුංග
අඳුර දැඩිවී තිබේ. අපට දැනෙන්නේ තනි වී සිටින සෙයකි. කොයි මොහොතේ හෝ ටෙරා පැමිණෙනු නියතය. ක්ලේමෝව මානාගෙන සිටින සාජන් මිත්‍රපාලගේ රුව මා සිතේ ඇඳීණි.
එහෙත් සතුරා පසුපසින් පහර දුනහොත් කුමක් වේද? පසුපස සිටින්නේ තේනුවර පමණි. මාගේ වම් පාර්ශවයෙන් හා දකුණු පාර්ශවයෙන් මීටර් විසිපහක් පමන දුරින් තව සෙබළුන් දෙදෙනෙකු සිටියද ඔවුහු නවකයයෝ වෙති. හදිසි ප්‍රහාරයකදී ඔවුන් තැතිගෙන දිවගියහොත් සතුරාගේ උණ්ඩවලට ගොදුරු වනු ඇත. සාජන් මිත්‍රපාල සහ කෝප්‍රල් තේනුවර සිටීම හිතට ශක්තියකි.
දරුණු ගති තිබුණද මිත්‍රපාල දක්ෂ සටන් සොල්දාදුවෙකි. ඔහු අපගේ පුහුණුවීම් වලදී අපට දැඩිලෙස පහර දුන්නේය. වරක් ඔහු බිම වැතිර සිටි මගේ පිට බූට්ස් වලින් පැගුවේ පිටේ තුවාල මතුවන ලෙසටය. දින කීපයකට පසුව පිටේ තුවාල පැසවා සැරව ගලන්නට විය. මට උණ ගැනිණි. මට ප්‍රතිකාර කළ වෛද්‍ය බලකායේ බලලත් නිළධාරියා පිටේ තුවාල ඇතිවූ අන්දම දැන සිටි අතර ඔහුට මගෙන් ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය විය. එහෙත් මම සාජන් මිත්‍රපාලව පාවා නුදුන්නෙමි. එහෙත් මිත්‍රපාලගෙන් ගුටි බැට කෑමේ අඩුවක් එම සිද්ධියෙන් පසුවද නොවීය.
ක්‍රියාන්විත මෙහෙයුම් වලදී සාජන් මිත්‍රපාල මට හා තේනුවරට විශේෂ කැමැත්තක් දැක්වීය. එහෙත් ලාන්ස් කෝප්‍රල් ප්‍රනාන්දු ප්‍රහාරක කණ්ඩායමට වැද්ද නොගත්තේ ඔහු වරක් ඇම්බුෂ් එකේදී නිදාගෙන සිටීම අසුවීම නිසාය. ලාන්ස් කෝප්‍රල් ප්‍රනාන්දු ගංජා පානය කරයි. ඒ හැර ඔහු මදන මෝදකද හැපුවේය. බංකරයකට වී ගංජා සුරුට්ටුවක් උරමින් සිටි ලාන්ස් කෝප්‍රල් ප්‍රනාන්දු විනයාරක්ෂක භටයෙකුට අසුවිය. ප්‍රනාන්දුට විරුද්ධව චෝදනා ගොනුකිරීමට සැරසෙත්ම කෝප්‍රල් තේනුවරගේ බලවත් ඉල්ලීම අනුව විනයාරක්ෂක භටයා චූදිතයාට දැඩිලෙස අවවාද කොට නිදහස් කළේය. එහෙත් පසුව ප්‍රනාන්දුට තේනුවරගෙන් බැනුම් සංග්‍රහයක් ලැබුණි. දැන් ප්‍රනාන්දු ගංජා පානය කරන්නේ අප හැම දෙනාටම රහසිනි.
මධ්‍යම රාත්‍රියද පසුවිය. මදුරුවන්ගේ ගීත හා නිශාචර සතුන්ගේ ශබ්ද හැරුණු කොට සතුරා පිළිබඳ කිසිම හෝඩුවාවක් නැත. එහෙත් මම නොසෙල්වී විපරම් කළෙමි. උදෑසන එළිය වැටී එත්ම සාජන් මිත්‍රපාලගේ සංඥාව මට ඇසුණි.
‘කට්ටිය විඩ්‍රෝ වෙන්න ලෑස්ති වෙන්න’ එම සංඥාවේ තේරුමයි. මම නියමිත උපදෙස් පරිදි බඩගාමින් මිත්‍රපාල සිටි ඉසව්ව දෙසට ගියෙමි. ඒ සමගම දෙපස සිටි සොල්දාදුවන් දෙදෙනාට හා තේනුවරට කෑරලෙකු හඬ නගන්නාක් මෙන් මුවින් මිත්‍රපාලගේ සංඥාව ප්‍රතිරාව කළෙමි. දෙපස සිටි සොල්දාදුවන් පඳුරු පොඩිකරගන ඉදිරියට ගියේ පළපුරුදු බව අඩු වූ නිසා විය හැක. සාජන් මිත්‍රපාල ක්ලේමෝව හකුලාගනියි. ඒ සමගම කැලේ පොඩිකරගන තමන් දෙසට එන සොල්දාදුවන් දෙදෙනාට නොසරුප් වදනක් කීවේය. නවක සොල්දාදුවන් දෙදෙනාගේ දෑස්වල නිදිබර ගතිය දක්නට ඇත. අනිවාර්යයෙන්ම මොවුන් ඇම්බුෂ් එකේදී නිදාගන්නට ඇත. ඔවුන්ට තවමත් යුද්ධයේ භයංකාර තත්ත්වය සිතට කාවැදී නැති බව ස්ථීරය.
කෝප්‍රල් තේනුවර තවමත් නැත. ඔහු සිටියේ පසුපසින්ය. එම නිසා බඩගාගෙන ඒ මට ඔහුට කාලය ගතවෙනවා විය හැක. ඇරත් තේනුවර ශබ්ද නොනැගෙන සේ බඩගා යෑමට දක්ෂයෙකි. කොයි මොහොතේ හෝ ඔහු මෙතැනට පැමිණෙනු නිසැකය.
තවත් අඩපැයක් ගෙවුණි. තවමත් තේනුවර දක්නට නැත. අප තුළ නොසන්සුන් කම ක්‍රමක්‍රමයෙන් වැඩිවී යයි. නවකයන් දෙදෙනා ඉදිරියේ රඳවා මා හා සාජන් මිත්‍රපාල තේනුවර සිටි ඉසව්වට ගියෙමු. මා ඉදිරියෙන් ගමන් කළ අතර මිත්‍රපාල මා පසුපස පැමිණියේ සුපරික්ෂාකාරී අන්දමට සෑම පාර්ශවයක් දෙසම බලමිනි. දණක් උසට වැඩී ඇති පඳුරු හා කටුකම්බි බාධක වැනි කටුවැල් අපගේ ගමන අවහිර කළේය. පෙරදා රාත්‍රීයේ තේනුවර රැඳී සිටියේ ගල්තලාවක් ආසන්නයේ බව මට හොඳින් මතක තිබුණි. මම ගල්තලාව දෙසට බඩගා ගියෙමි.
මා දුටු දර්ශණයෙන් මගේ ශරීරයේ රෝම කූප පවා කෙළින් විය. කෝප්‍රල් තේනුවර උඩුකුරුව වැතිරී සිටියි. ඔහුගේ උගුරු දණ්ඩ තියුණු ආයුධයකින් කපා ඇත. වියළී ගිය ලේ දහරාව පසට උරාගෙන ඇති නිසා සුදු පැහැති වැලි සහිත පස රතු බොරළු පැහැයක් ගෙන තිබේ. ඔහුගේ අවිය හා පණිවිඩ හුවමාරු යන්ත්‍රය දක්නට නැත. මළ මිනියේ දෙනෙත් ඇරී තිබෙන නිසා ඔහු හිස් බැල්මෙන් අහස දෙස බලා සිටිනවා වැනිය.
මගේ සිතට දැඩි කම්පනයක් මෙන්ම අධික බියක් ද දැනිනි. තේනුවරට නින්ද නොගිය බව මට සහතිකය. ඔහු පළපුරුදු සොල්දාදුවෙකි. මීට පෙරද අපි ඇම්බුෂ්වල දී රැකවල්ලා සතුරාට පහරදී ඇත්තෙමු. තේනුවරගේ උගුරු දණ්ඩ කැපූ සතුරා තේනුවරටත් වඩා දක්ෂයෙකි. ඔහු ශබ්ද නොනැගෙන ලෙස බඩගාගෙන විත් තේනුවරගේ බොටුව කපාදමා ඇත. එහෙත් ඔවුන් අපට පහර නුදුන්නේ මන්ද? මදක් ඉදිරියට පැමිණියේ නම් මගේ දෙපස සිටි සොල්දාදුවන් දෙදෙනාගේ බෙලිකපා යාමට ඔවුන්ට පහසු වෙන්ම ඉඩ ප්‍රස්ථාව තිබිණි. එහෙත් කුමන හේතුවක් නිසාදෝ ඔවුන් තේනුවර පමණක් මරාදමා ගොසිනි.
මට ප්‍රථම වතාවට යුද බිම පිළිබඳව දැඩි බියක් සිත තුළ ජනිත විය. තේනුවර වැනි පළපුරුදු සොල්දාදුවෙකුට මෙවැනි ඉරණමක් අත්විය හැකි නම් අපගේ ජීවිත අතිශයින්ම අවදානම් බව වැටහිණි. මට සතුරා පිළිබඳව නැග එන කෝපය වචනයෙන් විස්තර කළ නොහැකිය. කෝප්‍රල් තේනුවර මගේ හොදම මිත්‍රයාය. අපි වසරගණනාවක්ම යුද බිමේ මෙහෙයුම්වල යෙදුනෙමු. එහෙත් දැන් ඔහු නිසලව වැතිර සිටියි. ඔහුගේ මරුවා මට හමුවූයේ නම් මම එම සතුරා පිහියෙන් කැබලි කර ගින්නෙන් පුලූස්සමි. මගේ කෝපය බුර බුරා නගින්නට විය.
මගේ මිතුරාගේ මළකඳ කොළ පැහැති හමුදා පොරෝනයකින් එතුවෙමි. ඉක්බිතිව මළ කඳ කරට ගතිමි. අප කඳවුර බලා ගියේ මග දෙපස සුපරික්ෂාකාරීව බලමිනි. තේනුවරගේ ජීවිතය බිලිගත් යකෂයා මට මුණගැසේවායි මම දහස් වාරයක් පැතුවෙමි.
කඳවුරේදී තේනුවරගේ මෘත ශරීරය පොලිතින් බෑගයක බහා පලාලි ගුවන්තොට බලා යන වාහනයක පටවන ලදි. මම නිහඬවම මගේ මිතුරාට සමු දුන්නෙමි. නැවත කිසිදිනෙක මට ඔහු දකින්නට නොලැබෙනු ඇත. ක්‍රියාන්විතයේදී මිය ගිය තේනුවරගේ මිනිය මිනීපෙට්ටිය තුළ බහා තිඛෙන අයුරු මම මනසින් මවාගත්තෙමි. ඔහු නිළ ඇඳුම ඇඳ පෙට්ටියේ වැතිර සිටියි. ඔහුගේ නිළ ඇඳුමේ වෙනදා තිබෙන පටි දෙක වෙනුවට පටි තුනක් දක්නට ලැබේ.
දෑත්වල සුදු අත්වැසුම් පළඳවා අත්දෙක පපුව මත තබා තිබේ. ඔහුගේ මුහුණ සුදුමැලිය. ඉහ ඉද්දර පොල්තෙල් පහනකි. තේනුවරගේ අවමංගළ්‍යයට සහභාගි විමට මට අවසර නැත. හෙට මා යළි ක්‍රියාන්විතයට යා යුතුය. මගේ සිත හිස් බවකින් වෙළී තිබෙන අතර තේනුවර නැති අඩුව වැඩි වැඩියෙන් දැනේ.
බස්රථය ගමනාන්තයට පැමිණ ඇත. මම යළිත් පියෙවි ලොවට පැමිණ සිටිමි. ගෙදර යාම සඳහා මිළට ගත් සිල්ලර බඩු මල්ල අතට ගත් මම බස් රථයෙන් බැස්සෙමි. යළිත් වරක් මගේ මනස යුද්ධ භූමිය පුරා සැරිසරන්නට විය.
කෝප්‍රල් තේනුවගේ මරණයෙන් පසු මම දැඩි මානසික කම්පනයකට මුහුණ දුන්නෙමි. ඔහුගේ මරණයට මා වගකිවයුතුය. ඔහු ක්‍රියාන්විතයේ දී මගේ ජීවිතය බේරාගත්තේය. එහෙත් මට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට බැරිවිය. ඒ සම්බන්ධයෙන් මම කිසි කලෙක මට සමාව නොදෙමි. තේනුවරගේ මරණයෙන් පසු ගත වූ සති කිහිපය මා ගතකළේ කෙසේද යන්න මට හරි හැටි මතකයක් නැත. මට නින්ද ගියේ නැත. මට නිතරම සිහිවූයේ උගුරුදණ්ඩ කපා තිබුණු තේනුවරගේ දේහයයි. ඔහුගේ දෑස මලානිකව අහස දෙස බලා සිටියි. උගුරේ වූ කැපුම් තුවාලය ගැඹුරුය. සුදු පැහැති බටයක් වැනි දෙයක් තුවාලය ඇතුළතින් පෙනේ. එය ඔහුගේ ශ්වාසනාලය විය හැක. මළකඳේ තිබූ වියළි ලේ සුවඳ මට දැනුදු දැනේ.
තේනුවරගේ මරණින් පසු සුළු සුළු ක්‍රියාන්විත වලට මම සහභාගි වූයෙමි. ඔහු නැති අඩුව මට තදින්ම බලපායි. මට සිතෙන්නේ මා අනාරක්ෂිත බවය. එසේම ඔහුගේ ජිවිතය බේරා ගැනීමට නොහැකිවීම නිසා මා සොල්දාදුවෙකුවන්නේ කෙසේද? මා නිවටයෙකි. මම මිතුරා බිල්ලට දුන්නෙමි. මට සතුරා කෙරෙහි උග්‍ර කෝපයක් ඇතිවෙයි.
තේනුවරගේ මරණයෙන් පසුව අප සතුරන් තිදෙනෙකු වෙඩි තබා මරාදමා ඇත. ඉන් එක් අයෙකු අත තියුණු වක් පිහියක්ද තිබුණි. මොහු තේනුවරගේ මාරයා විය නොහැකිද? වක්පිහිය අයිතිව තිබූ ත්‍රස්තවාදියාගේ මුහුණට මම තුවක්කු මිටෙන් ඇන්නෙමි. ඔහුගේ මළ සිරුර විකෘති කිරීමෙන් මා තිරිසන් සතුටක් ලැබූ බව නොරහසකි. ලූතිනන් සේනාරත්න මට බැණ නොවදින්නට මා ත්‍රස්තවාදියාගේ මළ සිරුර පෙතිගසා දමනු නිසැකය.
තේනුවරගේ මරණයෙන් මාස තුනකට පසුව මා ඇතුළු අපගේ සෙබල ඛණ්ඩය මුරුක්කන් වෙත යවනු ලැබීය. මුරුක්කන්හීදී මා ඇතුළු සෙබලූන් ගමන්ගත් කැබ් රථය බෝම්බයකට අසුවීම මට අවාසනාව ගෙන ආවේය. කැබ් රථයේ පසුපස බක්කියේ සිටි මා ඇතුළු සෙබලූන් තිදෙනෙකු විසි වී ගොස් බිම වැටුණි. මගේ වම් අත කැඩී ගොස් ඇත. රථයේ ගමන් කරමින් සිටි කපිතාන් අජන්ත හා රියදුරු සාජන් ගමගේත් මියගොස් තිබුණි. වරින් වර සතුරා අපට වෙඩි තැබුවද පසුපසින් පැමිණි හමුදා ට්‍රක්රථයේ සෙබලූන් බිමට පැන සතුරා සැඟවී සිටි ඉසව්වට වෙඩි තැබූහ. සෙබළුන් දෙදෙනෙකු විසින් වැටී සිටි මා වත්තන් කරගෙන විත් ට්‍රක්රථයට දමන ලදි. ඉන්පසු මට සිහිය නැති විය.
යළි සිහිය එන විට මා සිටියේ අනුරාධපුර රෝහලේය. මගේ වම් අත බැන්ඩේජ් පටි වලින් වෙලා තිබි‚. වේදනාව නිසා මා සිටියේ කෙදිරිගාමින්ය. හෙදියක් පැමිණ මට ඛෙහෙතක් විද්දාය. මගේ හිස කැරකෙන්නට වූ අතර මට කැඩී ගිය කැබ් රථය, කළු දුමාරය, කපිතාන් අජන්තගේ දෙකට කැඩී ගිය මළ සිරුර මතකයට නැගණි. ඒ අතර තේනුවරගේ මලානික දෙනෙත් අහස දෙස බලාසිටින හැටි පෙනේ.
මම මාස එකහමාරක කාලයක් රෝහලේ රැදී සිටියෙමි. මගේ ශරීරයේ තුවාල සුව වුවද මනස දරුණු ලෙස තුවාල වී ගොසිනි. එය කවදා සුවවේදැයි මට නොතේරේ. මා ක්‍රියාන්විතයේ දහතුන් වසරක් සේවය කර ඇත. දැන් මගේ ශරිර ශක්තිය හින වී ගොසිනි. පෙරදා මෙන් මට මගේ සිතේ හයියක් නැත. මට නින්ද යන්නේ අඩුවෙනි. සුළු ශබ්දයකට වුවද මා තිගැස්සී ඇහැරෙයි. කොයි මොහොතක මා අසල ආටියක් පුපුරාවිද නැතහොත් මා ගමන් කරන වාහනය බිම් බෝම්බයකට හසුවේද ආදී වශයෙන් මට අහේතුක බියක් නිතරම දැනේ. රාත්‍රී නින්දේ දී මට මුරුක්කන්හී බිම් බෝම්බය හා තේනුවරගේ මරණය පෙනේ. එම දර්ශනය නිසා මා සිත බියෙන් ඇළලී යයි. එවිට මම අවදිවෙමි. මා රාත්‍රියට නින්දෙන් කෑගසන බැවින් අනෙකුත් සෙබලූන් මා දෙස බලන්නේ අවඥාවෙනි.
බෝම්බයට අසුවීම නිසා මගේ වම් අතේ වැලමිටෙන් පහළ තුවාල කැලලක් තිබේ. යම් අයෙකු එම කැළල පිළිබඳව ඇසුවොත් මට මුරුක්කන්හී සිද්ධීන් මාලාව මතක්වෙයි. එම නිසා එසේ අසනවාට මම මුළුමනින්ම අකමැතිමි. එසේම කැබ් රථවල නැගී යාම මට බිය උපදවයි. නිර්භීත, බියයනු කුමක්දැයි නොදත් මා හට සිදුවූයේ කුමක්ද? රතිඤ්ඤා කරලක ශබ්දයක්, දොරක් තදින් වැසෙන ශබ්දයක් මට බිය ගෙන දෙයි. එවිට මගේ බඩ හා පපුව දන්නට පටන් ගනියි. මා තුළ ඇතිවන තිගැස්සීම මටම පාළනය කරගත නොහැකිය.
මා යළි පියවි ලොවට පැමිණියේ වෑන් රථයක බ්‍රේක් පහර සමගය. නොදැනුවත්වම මා පාර මැදට ගමන් කර තිබේ. වෑන් රථයේ රියදුරුගේ බැණීම නිසා මට සිහි කල්පනාව ඒමත් සමගම බැනුම් ඇසීමෙන් මා තුළ කෝපයක් ඇති විය. ඔහුව බිම දමා පහර දෙන්නට මට සිතින. අපහසුවෙන් මගේ කෝපය මැඩ පවත්වාගෙන නිවස කරා පැමිණියෙමි.
තුවාලවීමෙන් පසු හොඳටම සුව වී තිබුණු නමුදු මා තුළ නොරිස්සුම් ස්වභාවයක් මතු වී තිබේ. තුවාල සුව වුවද හිතේ තුවාලය ඔඩු දුවා ඇතැයි මට සිතේ. දැන් සුළු කරුණකට වුවද මගේ කෝපය ඇවිස්සෙයි. එය පාළනය කරගැනීම අපහසුය. පසුගිය සතියේ බිරිඳ සමඟ ඉතා සුළු බහින් බස්වීමක් කෙළවර වූයේ නිවසේ පිඟන් කෝප්ප පොළවේ ගැසීමෙනි. ඇතැම්විට මට සිහිනෙන් ඇවිදීමේ රෝගය සැදී ඇත්දැයි සිතේ. මම කිහිප වරක් නින්දෙන් ඇවිද ඇත්තෙමි. මා එවිට සිටින්නේ යථාර්ථයක් මායාවක් අතරය. හිටිහැටියේම ක්‍රියාන්විතයේ සිටින බවක් මට හැඟේ. මට වෙඩි ශබ්ද ඇසේ. සතුරාගේ කෑගැසීමේ හඬ, හෙලිකොප්ටර් වල අවර පෙති කැරකැවෙන හඬ ඇසේ. එවැනි අවස්ථාවල මා සිටින්නේ සිටින්නේ සතුරා අපේක්ෂාවෙනි. මා ළඟට පැමිණෙන කාහට වුවද මගෙන් අනතුරක් සිදුවිය හැක. එම නිසා මා සිටින්නේ දැඩි බියෙනි. වරක් මා නොදැනණුවත්වම කුඩා දියණියගේ බෙල්ල මිරිකා ඇත. බිරිඳගේ අඳොනාව අසා පැමිණි අසල්වාසින් නොසිටින්නට ඇගේ සිගිති උගුරුදණ්ඩ මගේ රළු අත්වලින් කැඩීයනු ඇත. එම හේතුව නිසා රාත්‍රියට මම තනිවම නිදාගනිමි.
කඳවුරේ මම බොහෝ අපහසුතාවන්ට මුහුණ දෙමි. මා ජ්‍යොෂ්ඨ සොල්දාදුවෙකු නිසා ඔවුන් මට බැන නොවැදුනද මා බිලට් එකේ අනෙක් සොල්දාදුවන්ට කරදරයක් බව දනිමි. රාත්‍රි නින්දෙන් කෑගැසීම, සුළු හේතුවකට වුවද කෝපගෙන අන්‍යයන්ට පහරදීමට පෙළඹීම නිසා අනෙක් සොල්දාදුවෝ මා මඟහරිති. මගේ පසුපස සිට යම් යම් දෑ පවසති. එම නිසා කඳවුරේ ජීවිතයද මට රිසි නොවීය.
මෑතකදී මම සිහිනෙන් බිය වුනෙමි. සතුරා මගේ බංකරයට පහරදීමට බඩගාගෙන එනු මට පෙනේ. ඉදිරියෙන්ම එන ත්‍රස්තවාදියා කොට කලිසමක් ඇඳ අතේ ගිනිඅවිය දරා මා වෙතට ඇදී එයි. ඔහුගේ පසුපස RPG එකක් පිටේ බැඳගත් කොටි කෙල්ලෙකි. මම මගේ ටී 56 අවිය ගෙන ත්‍රස්තවාදියාගේ හිසට එල්ල කොට ට්‍රිගරය තද කළෙමි. එහෙත් අවිය ක්‍රියා නොකරයි. මගේ සිතේ භීතිය උත්සන්න වෙයි. එවිට සතුරා ග්‍රනේඩ් බෝම්බයක් බංකරය තුළට විසි කළේය. මම කෑගැසිමින් බංකරයෙන් එළියට පැන්නෙමි. එහෙත් මා වැටී ඇත්තේ ඇඳෙන් බිමටය. මගේ කෑගැසීම නිසා කඳවුරේ අනෙක් සෙබළුන් පවා සතුරු ප්‍රහාරයක් සිදුවන බව සිතා සීරුවෙන් අවි දරාගත්හ. එහෙත් මා සිහිනෙන් බිය වූ බව වටහා ගත් ඔවුහු මට සමච්චල් කළහ.
පසු දින සාජන් මේජර් මා කැඳවා අණදෙන නිළධාරියාට ඉදිරිපත් කරනු ලැබීය. මා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවාදැයි ඔහු මගෙන් ඇසීය. එම ප්‍රශ්ණය මා තුළ ඇති කළේ තදබල කෝපයකි. මම සීරුවෙන් සිට නිළධාරියාගේ දෙනෙත් දෙස බලා මම කිසිදු මත්ද්‍රව්‍යයක් පාවිච්චි නොකරන බව කීවෙමි. ඔහු පසුදා මා යුදහමුදා රෝහලට යැවීය.
රෝහලේ දී මා පරික්ෂා කළ වෛද්‍ය නිලධාරීන් මා ක්‍රියාන්විතය මගහැරීම සඳහා ව්‍යාජ ලෙසරෝග මවා පාන්නේ දැයි ඇසීය. එවිට මම මගේ ක්‍රියාන්විත රාජකාරියේ ඉතිහාසය ගැන කීවෙමි. වසර ගණනාවක් පුරා මා යුද පිටියේ සතුරාට එරෙහිව සටන් කළ අයුරු විස්තර කලෙමි. මගේ හිතමිත්‍ර කෝප්‍රල් තේනුවර ගැන කීවෙමි. අනතුරුව ඔවුන් මා පුනරුත්ථාපන අංශයට යැවීය.
පුනරුත්ථාපන අංශයේ මා සමග කථා කළ වෛද්‍ය නිළධාරිනියට සෙබළුන්ගේ දුක් කරදර තේරුම් යන්නේදැයි මට කුකුසක් ඇති විය. ඇය නිළයෙන් උසස් වුවද ඇයට මගේ සිත තේරුම් ගැනීමට නොහැකි බව හොඳාකාරවම පැහැදිලිය. ඇය මට කථා කළේ සමච්චල් සහගත අවමන් වන අයුරිනි. මා වංචාකාරයෙක් යැයි ඇය චෝදනා කළාය. මා ඇයට හමුදා ක්‍රමයට ආචාර කොට පිටවී ගියේ මගේ කෝපය ඉහළ ගිය බැවිනි. සෙබළුන්ගේ විවේකාගාරයේ දී මට කෝප්‍රල් බස්නායක හමුවිය. මා ඔහුට පුනරුත්ථාපන අංශයේ නිළධාරිණිය ගැන කීවෙමි. ඔහු සුසුමක් හෙළිය. අනතුරුව ඇය විසින් ඔහුගේ නිදහස් ගමන් බලපත්‍රය අවලංගු කළ අයුරු කීවේ දෑසින් වැටෙන කඳුළු පිසදාගනිමිනි. කෝප්‍රල් බස්නායකගේ වම් පාදය ජොනී බට්ටෙකුට අසුවීම නිසා ඔහුගේ මහපට ඇඟිල්ල ඇතුළු ඇඟිලි දෙකක් කපා ඉවත් කෙරිණි. පාදයේ ඇඟිලි තුනක් පමණක් අහිමිව කකුල බේරාගැනීමට හැකිවීම නිසා ඔහු වාසනාවන්තයෙකු ලෙස හැඳින්වූවාට වරදක් නැත. එහෙත් ඔහු ඇවිදින විට නොන්ඩි ගසයි. ඔහු ගමන් කරන්නේ සැරයටියක ආධාරයෙනි. රට වෙනුවෙන් සටනට ගොස් පාදයේ ඇගිලි අහිමි වූ සෙබලෙකුගේ නිදහස් බස් ගමන් බලපත්‍රය අවලංගු කළ නිළධාරිණියක කෙරෙහි මට ඇති වූයේ තදබල අප්‍රසාදයකි.
දැන් මා රාජකාරි කරන්නේ අවි නොමැතිවය. මට අවි නොදෙන්නැයි, නියෝගයක් පනවා තිබේ. සිතේ නැගඑන කෝපය නිසා මට කඳවුරේ අවි ගබඩාවෙන් අවියක් උදුරාගෙන දකින දකින සෑම පුද්ගලයෙකුටම වෙඩිතබා අවසානයේ දී මගේ යටිතල්ලට වෙඩි තබා ගෙන මිය යාමට සිතේයි. එවිට සිදුවන්නේ කුමක්ද? මා මිනීමරුවෙක් වෙයි. එවිට බිරිඳට හා කුඩා දියණියට යන කළ දසාව කුමක්ද?
මට කඳවුරේ වාසය තිත්ත වී ඇත. හමුදාවෙන් පලාගොස් කුලී වැඩක් හෝ කරගෙන ඉන්නට ඇත්නම් එයද සහනයකැයි සිතේ. එහෙත් හමුදාවෙන් පළාගිය වහාම නිවසට පොලිසියෙන් පැමිණේ. එවිට අප්‍රසන්නතා වැලකි. මට දිවි නසා ගැනීමටද සිතේ. එවිට මගේ දරු පවුලට සියළු දීමනා නොලැබී යයි. අවිරහිතව සිටින මම සතුරු සීමාවට ඇවිද ගෙන යමි. එවිට ස්නයිපර්වරයෙකුට මා ගොදුරු වනු ඇත. එවිට ත්‍රස්ත ප්‍රහාරයකින් මා මියගිය බවට වාර්තා වනු ඇත. එවිට මගේ විශ්‍රාම වැටුප මගෙන් යැපෙන්නන්ට ලැඛෙනු නිසැකය.
එහෙත් එවැනි ළාමක ක්‍රියාවක් කරන්නේ කෙසේද? මම සොල්දාදුවෙක්මි. මම ක්‍රියාන්විතයේදී වීරෝදාර අයුරින් සතුරාට එරෙහිව සටන් කළෙමි. දැන් මම දැඩි ශාරීරික මානසික වෙහෙසට පත්වී සිටිමි. මගේ අපහසුතා කිසිවෙකු තේරුම් නොගන්නා බව සැබෑය. එහෙත් මට තණකොළ බුදිය නොහැක. මම කෝප්‍රල් තේනුවරගේ වර්ගයේ සොල්දාදුවෙක්මි. අභියෝගය හමුවේ නොසැලී ජීවිතයට මුහුණ දෙන සොල්දාදුවෙකි. මාගේ මියගිය සගයන් වෙනුවෙන් මා නිවැරදිව ජීවත් විය යුතුය. මා නිවසට ගොඩවූයේ නිදහස් වූ සිතිනි. මට දින දහයක නිවාඩුවක් ලැබී තිබේ. මම නිවාඩුව හැකිතාක් හොඳින් ගත කරමි. දවස් දහය අවසානයේදී අනිවාර්යයෙන්ම කඳවුරට වාර්තා කරමි.
නිමි
ඇත්තටම පුනරුත්ථාපනය අවශ්‍ය එල්ටීටීඊ සොල්දාදුවන්ට විතරයි කියල හිතන එක මහ මෝඩකමක්....
ReplyDeleteයුද්ධය නිසා මානසික විකෘති තත්වයන්ට මුහුණ දුන්න සොල්දාදුවන් කොතරම් ඇත්ද? ඒ අය වෙනුවෙනුත් මානුෂිකව මැදිහත් වීම අවශ්‍යයි... නමුත් ඒ ගැන තියෙන අවධානය නම් හරිම අඩුයි..
සමහර දේශපාලුවෝ හිතන්නේ නොතේරෙනවා වගේ ඉඳීමත් ප්‍රශ්න වලට එක්තරා විසඳුමක් කියලයි.
ReplyDelete