හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

22 December 2019

අටවැන්න

කුඩා ළමුන් බොහෝ විට අත්හදාබැලිම්වලට පෙළඹෙන්නේ ඔවුන් කුඩා වයසේදී සියලු දෑ ඉගෙන ගන්නේ තම ජීවතවන පරිසරයේ  අහන්නට දකින්නට ලැබෙන දෑ සමග අත්හදා බැලීම් සිදුකරමින්ය. 1979  මාර්තු 18 වන දාක සිය පළමු පත්වීම ගුරුවරයෙකු ලෙස තම උගත් පාසලටම ලබාගනිමින් තම රාජ්‍ය සේවය ආරම්භ කළ මගේ පියා 1981 දි ස්වේච්ඡා හමුදාවට යොමුවන්නේ එවකට යුද්දයේ ආරම්භක අවධියේ පුහුණු  කැඩේට් භටයන්ට කැමතිනම් හමුදා සේවයට එක්වීමට අවස්ථාව ලැබෙන නිසාය. එසේ ස්වේච්ඡාවෙන් හමුදා සේවයට එක්වන මගේ පියා 1983 අධිකාරිලත් දෙවන ලුතිතන්වරයෙකු ලෙස ස්ථිර  සේවයට එන්වන අතර ඔහු 2009 පෙබරවාරි 27 මේජර්වරයෙකු ලෙස විශ්‍රාම ගියේය. 


එතැන් සිට ඔහු තම විශ්‍රාම දිවිය අර්ථවත්ව ගතකරන්නට නෙයෙකුත් කාර්යන්වල නිරතවිය. ඔහු කුඩාකල සිට ඉලෙක්ට්‍රෝනික මෙවලම් කෙරෙහි දක්වන්නේ තදබල ඇල්මකි. එය ඔහුගේ පවුලේ වැඩිමහල් සහෝදරයාටත් තිබුණි. ඔහුගේ මාර්ගයෙන් මගේ පියා රේඩියෝ සහ රූපවාහිනි අලුත්වැඩියාව ආදී නොයෙකුත් දේ ඉගෙනගත්තේය. ඔහුට එම හැකියාව ජන්මයෙන්ම ලැබුණු දෙයක් යැයි මට හැගෙන කරුණයි.  ඒ කටයුතු නැවත ඔහු ආරම්භකළේ  ඔහුගේ විශ්‍රාම දිවිය තුළය.  කෙසේ වෙතත් පරිගණකය ඔහුගේ සදාතනික මිතුරා බවට පත්වන්නට වැඩිකාලයක් ගත නොවුණි.  ඒඅනුව 2011 පමණ වන විට  ඔහු පරිගණකය සමග ගනුදෙනු කිරිම තම ප්‍රථම රාජකාරිය කර/ත්තේය. ඔහු එහි තිබෙන අලුත් අලුත් දේ අත්හදා බැලිම් කළේ ය. 

ඒ අනුව ඔහු  2011 දෙසැම්බර් 15  ඔහු  තම මුල්ම බ්ගොග් පෝස්ටුව වාක්‍ය 2කින් ආරම්භ කළ අතර  එයට ලැබුණු ප්‍රතිචාර 5කි.  


ඒ අනුව  මෙම වසරේ දෙසැම්බර් 15 වන දා මෙම බ්ගොග් අඩවිය සිය අටවැනි කඩයිම පසුකරන ලදී.   

ඔහුට තිබුණ ලේඛන හැකියාව හා ඔහු සතු දැනුම අන් අය සමග බෙදා හදා ගැනීමටත්,  විවේකය  ඵලදායි ලෙස යොදා ගැනීමටත්  ඔහු මෙය යොදාගන්නා ලදී.  මිය යනතුරුම ඔහු මෙයට සක්‍රිය දායකත්වය සැපයූ අතර, ඔහුගේ අවසන් ලිපිය කාලෝ ෆොන්සේකාගේ ගිනි පෑගිල්ලයි. එම ලිපිය සඳහාඳ ඉතා හොඳ ප්‍රතිචාර ලැබී තිබුණි.   2016 දෙසැම්බර් 30 වනදා හදිසියේ රෝගාතූර වූ ඔහු 2017 අප්‍රේල් 28 වනදා සදහටම දෙනෙත් පියා ගත්තේය.  ඔහු බ්ලොගයට ආදරය කළ හැටි මම සියසින් දුටුව නිසා මෙය ඉදිරියට පවත්වාගෙන යන්නෙමි. මේ සඳහා විශේෂ ස්තූතියක් ගස්ලබ්බා මහතාට හා දේශකයා මහතාටත් මාගේ ලිපිවලට ප්‍රතිචාර දක්වන අනෙක් බ්ලොග්කරුවන් සියලු දෙනාටත්  සිදු කරමි . 


නම් නොකීවාට තරහා නොවේවා !



විචාරක දියණිය.පෙ. ව .  11. 00 පැයට 



08 December 2019

මතකය අතරින්

බොහොම නරක විදියට පසුගිය කාලය පුරාවට කිසිම පෝස්ටුවක් නොදැම්මට හිතට බොහොම දුකයි. ඒත්  ඇතැම් ගැටලු මෙන්ම කම්මැලි කමත් මේකට මුල්වුණා කියලා මට හිතෙනවා. කෙසේ වෙතත් පරණ මතකය අලුත් විදියට දැක්ක මං හිතේ අදහස් කොලේකට කැටිකරන්නයි මේ වෑයම ......................


60 දශකයෙ හා 70 දශකයෙ තාරුණ්‍යයේ සිිටියවුන්ට පික්චර්පිස්සො කිව්වෙ කටකහනවට නෙවෙයි. අදවගෙ රූපවාහිණි,  පරිගණක,  හෝම් තියටර්,  නොතිබුණු එවැනි යුගයක රස වින්දනය සඳහා තිබුණ එකම අවස්ථාව ගිතය හා සිනමාවයි.  භාරතයේ හින්දි සිනමාවේ  මෙන්ම ලාංකීය සිනමාවේ ද ස්වර්ණමය යුගය  70 දශකයයි. මගේ පියාද එවකට තාරුණ අවදියේ සිටි අයෙක් මෙන්ම හොඳ පික්චර් පිස්සෙකියැයි කිව හැකිය.  ඔහුගේ සහෝදරයන් ද එසේම ය.  මා පෙර ලිපිවල සඳහන්  කළාක් මෙන් මගේ රසවින්දනයේ මුල් ගුරුතුමා ඔහුය.  


එකල  මා  බහතෝරන වියේදී මා හට ගිත ශ්‍රවණය ක‍ළේ කිසිදු බලපෑමකින් තොරවය. එහෙත් ඔහු ඒවා නිසිපරිදි කළමණාකරණය කළ බව සැබෑය. මා බහ තෝරන කාලය වන විට රූපවාහිනිය මෙරටට පැමිණ තිබුණු අතර , මගේ නිවසේද  කළු සුදු  රූපවාහිනියක් විය. එහි විකාහය වූ  වැඩසටහන්  තවමත් මා මතකයේ ඇත්තේ ස්වාධීන රූපවාහිනිය හා ජාතික රූපවාහිනිය පමණක් තිබුණු ඒ යුගයේ වැඩසටහන් විකාශය වූයේ ද සිමිත පරිදි නිසාය. එහි ගිය සංගීක වැඩසටහන් අතර නන්දන වින්දන  හා මධු රසාංග මා මතකයේ  හොඳින් තිබේ. එකල එම වැඩසටහන් කළ  ආරියසිරි විතානගේ මහතා හා ඉඳුනිල් දිසානායක මහත්මිය ද ප්‍රවීණ මාධ්‍යවේදීන්ය. ආරියසිරි විතානගේ මහතා ව්‍යාපාරික ලෝකය වෙත ගියත් ඉඳුනිල් දිසානායක මහත්මිය වර්තමානයේ ද නිවෙිදන වෘත්තියේ යෙදෙයි. එවකට මිල්ටන් මල්ලවාරච්ච් , වික්ටර් රත්නායක,  සුනිල් එදිරිසිංහ,  ටී එම් ජයරත්න , අබේවර්ධන බාලසූරිය, එඩ්වඩ් ජයකොඩි,  නිරංජලා සරෝජිනී,  වන්ද්‍රලේඛා පෙරේරා වැනි අය ගී ලොව රජකර වූහ.


හින්දි ගිත ද තරමක් ප්‍රචාරය වූ ඒ අවදියේ  චම්පා කල්හාරි , ටෝනි හසන්  එහි මුල් අත්පොත් තැබූ අයයි.  ඉතිරි සියලු දෙනා පැමිණෙන්නේ ඉන් පසුවය.  එකල ජනප්‍රිය මා මතකයේ රැඳුන හින්දි ගිත ද ගොන්නකි. 


එකල සිනමාව ද    ඉතා ජනප්‍රිය මටිටමක පැවතිය නිසා  විත්‍රපට රැසක් ද  එළි දැක්විය.  එකල 1990 - 1994 කාලයේදී  මගේ පියා විසින් අරලිය මල්,  ආදර හසුන  ආදි ව්ත්‍රපට  නිවසට ඩෙක් යන්ත්‍රයක් මිළදිගෙන විත්  නැරඹීමට අවස්ථාව සලසා දෙන ලදී.  ඔහු  විසින් කළ එවැනි බොහෝ දේ නිසා නිර්මාණයක සැබෑ රසය අත්විඳීමට  මටද මාගේ නැගණියට ද  වර්තමානයේ හැකිවී තිබේ. 



මෙම  කථාවට මූල භීජය සැපයූයේ  අපේ කාර්යාලයේ වාර්ෂික  විනෝද  චාරිකාවයි . දෙදිනක් පුරාවට  නායකත්ව සංවර්ධන පුහුණුවකුත් සමග පැවති විනෝද චාරිකාව කිරිඇල්ල විජය රිසෝට් හි පැවතිණි . එහදී රාත්‍රිියේ පැවති පැදුරු සාජ්ජයේ දී අපගේ කොමසාරිස් ජනරාල්තුමා  විසින් පැරණි මධුර ගීතාවලියක් ගායනා කරන ලදී. ඔහු සැබැවින්ම රසවතෙකි. ඔහු ගයන ලද ගීත පරාසය  ඔහුගේ වයසට ද ඔබ්බෙන් වීම විශේෂත්වයකි. එම ගීත ඇතැමුන්ට නවතාවයක් වූ බව නොරහසකි. ඊට හේතුව ඔහු   50 දශකයේ ගීතද ගයානා කිරීමයි . 



කෙසේ වෙතත්   ඒ රාත්‍රියේ  ඔහු විසින් ගයන ලද ගීත  මා පැරණි මතකයට මෙන්ම මගේ පියාවද සිහිකිරීමට සමත් විය. 


කාලයේ වැලිතලාවෙන් වැසුනද ඔබ මට එළියකිෙ  මේ ගණඅදුරේ.......................


විචාරක දියණිය
2019 දෙසැම්බර් 8   19.00  පැයට



04 August 2019

හොල්මන් කතා



කාලෙකින්  ලියන්න බැරිවුණ නිසා හිතට දුකයි . ලියන්නත් යමක් සොයාගන්න අතිතයේ සැරිසරන්න වෙලාවක් නැතිවුණා . ඔහොම ඉන්නකොට පාසල් කාලයේ  උසස්  පෙළ පංතියේ සිදුවුූණු රසවත් සිදුවිම් කිහිපයක් ලියන්න සිතුවා . 

අපි අපටම කියලා නිවසක පදිංචියට ආවේ  2000 වර්ෂයේ . මම  එතකොට උසස් පෙළ  පංතියේ තමයි හිටියේ.  පදිංචියට කුරුණැගල ආවත් මා ඉගෙන ගත්තේ රුවන්වැල්ලේ නිසා අවුරුද්දකට පාසැල වෙනස්කරන්න හිතුවෙ නෑ. ඒ වෙනුවට මා පාසලේ නේවාසිකාගාරයට ආවා.1995 - 2001 අවුරුද්දේ. මා පාසලේ බටහිර තුර්යවාදක  කණ්ඩායමේ සාමාජිකාවක් ව හිටියා.

ඔය කාලෙ පාසලේ නිවාසාන්තර ක්‍රිඩා උළෙල ආවා . හරියටම උත්සවේ හෙටයි කියලා ඉතින් නේවාසිකාගාරයේ සියලු දෙනා බරටම වැඩ. සමහරු ඇඳුම් මදිනවා , සමහරු සපත්තු පොලිෂ් කරනවා , සමහරු අලුතෙන් මහපු තමන්ගේ අයිටම් එකට අදාල ඇඳුම්වල හැඩ බලනවා. දැන් වැඩ ගොඩයි. අපේ නේවාසිකාගාරය බොහොම පරණතාලෙ එකක්. ඒකෙ නානකාමරය පිහිටලා තිබුණේ වෙනම.   දොරක් එලියට ඇරලා තමයි යන්න ඕන. මේ ගොඩනැගිලි දෙකටම මීටර් 100 ක් විතර ඇතින් පංති කාමර පේළියත් තියනවා. ඒ පංති කාමරයි මේ ගොඩනැගිලි දෙකයි අතර මිදුලේ පංති කාමරවලට අද්දරව තැඹිලි ගහකුත් තියනවා .  එදා රෑ පිරිමි ළමයි ඉස්කෝලේ පිට්ටනියේ හට්  ගහනවා කියලා අපි දැනගෙන හිටියා . ඇඳුම් මැදලා මහන්සි මට වතුර තිබහක් ඇවිල්ලා වතුර බොන්න බලනකොට වතුර නෑ. මම තීරණය කරා වතුර ගන්න ටැප් එකට යන්න.  නංගිලා කිවුවා අක්කේ දැන් රෑ වෙලා කියලා. එතකොට වෙලාව 10.00 විතර ඇති . මම කිවුවා හරි බයවෙන්න එපා මං ඉක්මනට වතුර ගන්නං කියලා .


මම දොර ළගට ගිහිං දොර ඇරියා විතරයි , මම දැක්කා තැඹිලි ගහේ ඉඳලා සුද ඇඳුමක් ඇඳගත්ත එක්කෙනෙක් එකපාරම මං දැක්කා විතරයි ගහෙං පැනලා දිව්වා. නිකං නෙවෙයි සොරි මැඩම් කියාගෙන . මමත් ඒ පැනිල්ලට  බයවුණ පාර ටක් ගාලා දොරවහලා ඇතුළට ඇවිල්ලා අනිත් අයට කිව්වා . දිවවෙ කුවුරු උනත් කොල්ලෙක් තැඹිලි ගහේ ඉඳලා  බයවෙච්ච පාර දිවවා කියලා ෂුවර් . එතකොටම තමයි මට සොරි මැඩම් කියලා කිව්ව වචන මතක් වුණේ. වෙච්ච සිද්දිය මුල ඉඳලා ගළපන කොට තමයි තේරුණේ මේ කොල්ලා මම හොස්ටල් එකේ මැඩම් කියලා හිතලා පැනලා දිවුවා කියලා. මොකද මැඩමුත් මහතයි.  මමත් මහතයි . ඒකට හිනාවෙලා අපි ඔක්කොම නින්දට ගියා .


 පහුවදා හවස 2.00  උත්සවේ පටන් ගත්තට ළමයි ඔක්කොම උදේ 8.00 විතර පාසලට ගියා. මමත් බෑන්ඩ් රිහසල් තිබිච්ච නිසා සංගිත කාමරේ පැත්තට යනකොට අපේ හවුස් කැප්ටන් චාමර අයියා එනවා මං දිහාට අමුතම හිනාවකුත් දාගෙන මං ඇහුවා මොකද අයියේ කියලා. ඒ පාර මෙයා කියනවා සොරි නංගි , ඊයේ බය වුණාද ? කියලා මං ඇහුවා එතකොට ගහේ හිටියේ ඔයා ද  ? කියලා. මේ යකා කියාපි ඔව් නංගී , කියලා. මට  හොඳටම හිනා ගියා.  ආපහු සිද්දිය මතක් වෙලා.  මෙයා කියනවා ඊයේ දවල් ඉඳළම අපි ඔය ගහේ තැඹිලි කඩනවා කියලා හිතාගෙන හිටියෙ. ගහත් පොඩි නිසා ලේසියිනෙ  ඉතින් මමයි තව එකෙකුයි ආවෙ ඔයා ඌ දැක්කෙ නෑ. ඌ හිටියෙ පංතියක හැංගිලා. මම ගහට නැග්ගා විතරයි  එකපාරටම දොර ඇරුණා. මම දැක්කෙම ඔයා මැඩම් වගේ . මට බය හිතුණා ඒකයි පැනලා දිව්වේ කියලා. ඊට පස්සේ  මං ඇහුවා , ඔයා කොහොම ද දන්නේ හිටියේ මැඩම් නෙවේ මං කියලා . ඒ පාර කියනවා දුවලා ඇවිල්ලා පිට්ටනියට ගිහිං කල්පනා කරාලු , ඒ මැඩම්ම ද ? කියලා,  පස්සේ හිතුවලු මැඩම් ඉන්නේ ඉස්සරහ පැත්තේ නිසා ඒ මැඩම් නෙවේ කියලා. ඊට පස්සේ උදේ අපේ හොස්ටල් එකේ නංගි කෙනෙක් යාලුවෙකුට මේ සිද්දිය කියනවා මේ ගොල්ලො අහගෙන ඉඳලා . කොහොම උනත් අපි එදා ඇතිවෙනකං ඒ වෙච්ච සිද්ධියට හිනා වුණා.


මේකත් හොස්ටල් සිද්දියක් තමයි. අපේ හොස්ටල් එක භාරව හිටිය මැඩම් ගම්පහ . එයාට තිබුණා එහේ අන්නාසි වත්තක් . සතියට දවස් 2ක් හෝ 3ක් මෙයා ඔය වත්තට  යනවා,  පෝර දාන්න. අරවට මේවට කියලා. මෙි සිද්දිය වුණේ 2002 අවුරුද්දේ මම විභාග ලියන අවුරුද්ද,  13 වසරේ නිසා මම තමයි හොස්ටල් එකේ ලිඩර් වෙලා හිටියෙත්.   ඒ දවස්වල ලංකාවට දැඩි නියඟයක් ඇවිල්ලා පැය 6ක් විතර එක දිගට ලයිට් කපනවා.  මට අම්මා ලාම්පුවකුත් ගෙනල්ලා දුන්නා පාඩම් කරන්න.  ඔන්න එදත් උදේ මැඩම් ගියා අන්නාසි වත්තට  යනවා කියලා . අපිට උයලා දෙන්න කාන්තාවන් දෙන්නෙක් හිටියා. ඒගොල්ලෝ උදේ 5.00 ඇවිල්ලා  රෑ 8.00  ට යනවා.  සාමාන්‍යෙයන්  මැඩම් වත්ත්ට ගියාම හවස 6.30 හෝ 7.00 වෙද්දි එනවා.  එදා ඔන්න 7.00  විතර ලයිටුත් කැපුවා. ලයිට් කපන්න කලින් කට්ටියම රෑ කැමත් කෑවා.  ඒත් මැඩම් ආවෙ නෑ.  වැස්සකුත් පටන් ගත්තා. ඇන් උයන ඇන්ටි මැඩම්ට  දෙහි කපනවා එකසිය ගාණට. මොකද දැන් එයා යන වේලාව හරි නිසා . අවසානේ රෑ අටත් වුණා. මැඩම් ආවේ නෑ. අන්තිමට උයන ඇන්ටි ප්‍රින්සිපල්ගේ  ගුරු  නිවාසයට ගිහිල්ලා කියලා තිබුණා මැඩම් ආවේ නැ කියලා. ඊට පස්සේ ප්‍රින්සිපලුයි , එයාගේ නෝනායි එයත් ගුරුවරියක් ඇවිල්ලා කථාකරලා ගියා. දැන් කටිටිය හොස්ටල් එක ඇතුළේ  ලාම්පු, ඉටිපන්දම් පත්තු කරගෙන ඉන්නවා.  6 වස‍රේ ඉඳලා 8 වසරේ අයට මම කිව්වා නිදාගන්න  කියලා .   11 වසරේ නංගිලා කිවුවා හෙට ඇගයිම් වගයක් තියනවා කියලා පාඩම් කරන්න ඕනෑ කියලා . 9- 10 අය මා එක්ක එකතුවෙලා කයිය ගැහුවා. හොස්ටල් එක පරන එකක් නිසා සමහර ජනෙල්වල කොකු කැඩිලා තිබුණේ.  ඒවා රෙදි පටිවලින්  තමයි ගැට  ගහලා තිබුණේ .


දැන් ඔහොම තව පැයක් විතර ගියා. මම පාඩම් කරන තැන මේසෙ ළග ජනේලෙත් රෙදි පටියකිත් තමයි ගැට ගහලා තිබුණේ. පාඩම් කරකර හිටිය ළමයි දෙන්නෙක් එක පාරට මගේ ළඟට ඇවිල්ලා කිවුවා අක්කේ ඔයාගෙ ජනේලේ රෙදි පටිය බුරුල් යෙවලාද කෙහෙද හෙලවෙනවා කියලා. මේ වෙලාවේ  ලයිට් නැතිවුණාට ලොකු වැස්සකුයි හුළඟයි තිබුණා. දැන් මේ කතාවෙන් ඇහැරලා හිටිය අය ඔක්කොම බයවුණා. ඒ පාර මමත් බය වුණොත් කටිටිය තවත් බයවෙන නිසා මම කිවුවා අයියෝ බය වෙන්න එපා, මගේ ජනේලෙනේ මම ගිහිං බලන්නම් කියලා. මම ළඟට ගිහිං  ජනේලේ ගැටේ බුරුල් වෙලා තිබ්බ තැන හදලා මගේ පැත්තට ජනේලෙ අදින්න හදනකොටම මහා බලයකකින් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට  ජනේලේ ඇරුණා. එකපාරටම නොහිතපු දෙයක් සිද්ධ වෙච්ච නිසා මට කෑ ගැහුණා. ඒ එක්කu ළමයි ඔක්කොම කෑ ගැහුවා . පස්සේ මම ඉක්මනට ජනේලේ ඇදලා වහලා කට්ටියව සන්සුන් කරලා සියලු දෙනාම නිදාගමු කියලා යෝජනා කරා. ඒ අතර පුළුවන් අය පුුළුවන් වෙලාවක් ඇහැරගන ඉම්මු කියලත් යෝජනා කරා. පස්සේ අපිට නින්ද ගිය වෙලාව අපිම දන්නේ නෑ . මට ඇහැරුණේ උදේ උයන ඇන්ටි ඇවිල්ලා දොරට ගහන කොටයි.  මැඩම් ඇවිල්ලා තිබුණේ පහුවෙනිදත් දවල් 10. 00 විතර. ඒ සතියෙම මැඩම්ව ආපහු යවන්න් ප්‍රින්සිපල් කටයුතු කළා. ඉන්පසුව අපේ ඉස්කෝලෙ චිත්‍ර ටිච අපේ පාළිකාව වුණා. 

විචාරක දියණිය
රාත්‍රී 12. 50  පැයට
  



19 May 2019

පාරුවේ කථාව



අතීතයේ මිනිසුන් තම ගමනාගමන හා ප්‍රවාහන මාධ්‍යයක් ලෙස පාරුව යොදාගෙන තියෙන බවට සාධක හමුවෙනවා. වැලි ගොඩ දැමීම හා පතල් ආශ්‍රිතව  පාරුව යොදාගන්නවා.


 හදිසියේම මේ පාරු ගැන උනන්දුවක් ඇති වුනේ කොහොමද ? කියන ප්‍රශ්නයට පිළිතුරක් වෙන්නේ ඊයේ පෙරේදා කියවන්න ලැබුණු පොතක් හේතුවෙන් තමයි.  මොහාන් රාජ් මඩවලයන් රචිත කලම්බො කියන කෘතියෙ මේ පාරු සංස්කෘතිය ආශ්‍රයෙන් ලියවුණු කෘතියක්. එය කියවීමෙන් පසුව තමයි මේ ලිපිය ලියවෙන කරුණු කාරණා මතුවුනේ.


 ඉස්සර අපේ තාත්ත කියනවා  අපේ අම්මා පාවිච්චි කරන උම්බලකඩේ පාරු කාරයාගේ උම්බලකඩේ වගේ කියලා .  එහෙම කියන්නේ ඇය ටිකක් අරපරිස්සමින් ඒක පාවිච්චි කරන නිසයි.



පාරුවේ ගමන් කරන්නන් දින ගණන් ගමන් කරන නිසා ඔවුන්ගේ ආහාර ඔවුන් විසින් පාරුවේ ම උයා පිහා ගන්නවා. මේකට කියන්නේ  පාරු බත කියලා මේ පාරු බත ඉතා රසවත් කියලා තමයි කියන්නේ. කරවල වගේම ගඟේ පාරුව පදින ගමන් අහුවෙන මාළු  වගේ දේවල් මේ පාරු බතේ වරදින්නේ නෑ. ඉතින් ඔවුන් කෑම රසවත් කරන්න උම්බලකඩත් භාවිතා තරනවා.




 මොනවද මේ පාරුවල ප්‍රවාහනය කළේ ?


මේ පාරු සංස්කෘතිය ලංකාව් දියුණුම යුගය තමයි ලන්දේසි යුගය හා ඉංග්‍රීසි යුගය හඳුන්වන්න පුළුවන් . ආර් ථික වශයෙන් ඔවුන්ගේ ලාබ සොයා ගැනිම උදෙසා ඔවුන් විවිධ භාණ්ඩ මේ පාරු යොදාගෙන පුවහන කටයුතු සිදුකළා  මිනිසුන්   ප්‍රවාහනය කිරීමත් සුලබව සිදුවුණා. විශේෂයෙන්ම රේන්ද ප්‍රවාහනය සිදුවු‍ණේ ද පාරුවෙන්. රේන්ද කියන්නේ  මොනවද කිවුවොත් මත්පැන් තමයි මෙලෙස ප්‍රවාහනය කළේ. මත්පැන් පීප්ප වශයෙන් එක් රැස් කරලා ඉන්පසු ප්‍රවාහනය කළා. ඒ වගේම දැව, කුළුබඩු ආදියත් මෙලෙස ප්‍රවාහනය වුණා. දින ගණන් ගතවෙන මේ පාරු ගමනෙ නවාතැන් පොළවල් තිබුණා.  කොළොම්තොටට ගොඩබස්සන මේ පාරු නාවැතැන් ගත්ත වෙළෙඳුන් එනකම් භාන්ඩ තබාගත්ත පාරු තොටවල් තිබුණා. රාජගිරිය  සිට බත්තරමුල්ල  දෙසට යනවිට හම්බවෙන පාලම් තොටත් එවැනි ස්ථානයක්. මෙවැනි ස්ථාාන ගනණාවක්ම  තිබිලා තියනවා .



 පාලම් පාරුව කියන්නේ මොකක් ද?


භාණ්ඩ ප්‍රවහනයට වගේම මිනිසුන් පුවාහනය සඳහාත් පාරු තිබුණා . මේ පාරුව මිනිසුන් ට පාලමක් නොමැති තැන්වලින් ගංගා තරණය කරන්න පාලමක් ලෙස ක්‍රියාත්මක වුණා.  ඒකයි මේකට පාලම් පාරුව කිවුවේ.  මේ පිළිබඳ කියවෙන අලංකාර ගීතයකුත් තියනවා.



මේ ගීතය ලියවෙන්න පාදක වෙලා තියෙන්නේත් කොළඹ අතීත පිංතූරයක්.  ඒක අලංකාරව සුනිල් එදිරිසිංහ මහත්තයා ගයනවා



 එහෙනම් පාරුවේ කථාවට මෙයින් සමුදෙනවා ................

විචාරක දියණිය  ප.ව. 18 00 පැයට  

22 April 2019

දෑ අවුරුද්ද


කලකින් ගොඩවැදුනේ මේ අඩවිය                           පැත්තේ

එවුනේ නැතත් තරහත් නෑ සිත                                ඇතුලේ 

අධිකව  රාජකාරිය  අවිවේකව  ගෙවි                       ඇත්තේ  

සිතුනත් ලියන්නට වේලාවක්                                  නැත්තේ


හදිසියෙ ඇවිත් කඩිමුඩියේ කීමට                               ඇත්තේ 

දෑ වසරකුත් ගෙවුණී  ඔහු  නැතිවී  මේ                        වසරේ   

වාතාවරණය හොඳ නෑ රට හැම තැන යම                  යුද්දේ

එන්නට කියන්නෑ ඒ නිසා මේ                                   පැත්තේ 


නමුත් කිසිවෙකුත් අමතක නොකරමි                         සත්තේ

දානෙයි බණයි විසිහත විසි අට                                   ඇත්තේ 

අම්මා ඇහුවා  ළමයෝ  අර අඩවිය                             පැත්තේ

කාලයකින් ඇයි නුඹ දැන් ගියෙ                                 නැත්තේ  

                         

ඉක්මණින්ම නැවතත් ලියන්නට                                සිතුවේ

ඔහු නැති අඩුව  සැමදා මගෙ හිත                               ඇතුළේ

ඊයේ පෙරේදා හීනෙන්                                              දැක්කේ

අපිත් සමග සුහදව පිළිසඳරේ                                     යෙදුණේ්



විචාරක දියණිය ප. ව 19 30 පැයට

04 March 2019

ඔබට සුබ උපන් දිනයක් වේවා.........................



මේ ලෝකයේ ඇත්තේ යාම් ඊම් පමණය.
නාවොත්  යාමට නොහැකිය.
නොගියොත් ඒමට නොහැකිය.
(එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන් - මළවුන්ගේ අවුරුදු දා)


දෙවසරක්  ගතවී ඇතත් අමතක කළ නොහැකි මතකයක් හදවතේ ඉතිරි කරමින් ඔබ  නික්ම ගොස් ඇත. 


ඔබගේ  65 වන උපන් දිනය පසුගිය පෙබරවාරි 27 වන දිනට යෙදී තිබුණි. ඔබේ සොයුරියන් තිදෙනාගෙන් එක් සෙයෙුරියක් ද එදින අප නිවසට පැමිණියේ එබ වෙනුවෙන් අප සූදානම් කළ පුංචි පිංකමට දායක වීමටයි. දෑ වසරක්  ගියත් අපට පෙරළිය නොහැකි  ඡායාරූප ගොන්න ඇය අතට පත්කර ගෙන අතීත සැමරුම් ඈ සිහිකළේ හදවතේ කඳුලකුත් සඟවාගනිම්නි.


ඒ අතර ඔබ විසින්  අප සමඟ සැමරූ අවසාන උපන්දින සාදයේ ඡායාරූප ද විය.
  

 






















ඉපදුනොත් මිය යන සනාතන  සත්‍යය අපට පසක් කරදී ඔබ නික්ම ගිය ද මේ මතකය සදා අමරණීයයි.



විචාරක දියණිය ප. ව. 12 00 පැයට ..................





17 February 2019

අසහාය රංගධරයා හා සොඳුරු මිනිසා


 

සෑම රංගන ශිල්පියෙක්ම ශිල්පිණියක්ම  උත්සාහ  කරන්නේ රසික හදවත් ඔවුන් සතු කරගන්නයි. එහෙත් ඒක ලෙහෙසි පහසු කර්තව්‍යක් නොවෙයි. ජීවිතයෙන් සමු ගත්තත් සදා අණුස්මරණීය චරිතයක් විමත් එතරම්ම අපහසු කාර්යයකි. කෙසේ වෙතත් අද මගේ කථාවේ නායකයා  ඔහුයි.


හේ නමින් කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග නම් විය. මහා පෞර්ෂයක්, මනස්කාන්ත මුහුණක්, අපූරු කටහඬක්, මානව දයාවත් පෙරදැරිව පැමිණි ඔහු 1945 ඔක්තොබර් 9 දින රාගම දී උපත ලැබීය.

කොටහේන  ශාන්ත බෙනඩික් විද්‍යාලය හා කඳාන ද මැසනඩ් විද්‍යාලයෙන් සිප්සතර හදාරන ඔහුගේ පාසල් මිතුරා වන්නේ රවින්ද්‍ර රන්දෙනියයි.


තරුණ විජය කුමාරතුංග ඔහුගේ පළමු සිනමා නිර්මාණය වන හන්තානේ කතාවක් චිත්‍රපටයට දායක වන්නේ වර්ෂ 1968  දීය. සිය කුළුඳුල් රංගනයෙන් මනා ප්‍රතිභාවක් පෙන්වන මේ රංගනවේදීයා 1970 සහ 1980 දශකයේ සිනමාව තමන් සන්තක කරගන්නට සමත් වන්නේය . යෞවනියන්ගේ සිහින කුමරා බවට පත්වන මොහුට වාණිජ සිනමාව  මෙන්ම කලාත්මක සිනමාවේද දිග්විජය කරන්නට පාර තනා දෙන්නට මෙරට ප්‍රබල සිනමා අධ්‍යක්ෂකවරුන්ට හැකිවන්නේය.  බිරහස, තුෂාරා, හතර දෙනාම සූරයෝ, එදත් සූරයා අදත් සූරයා,  කෙස්ර සිංහයෝ ,  මේ දැස් කුමටද,  සංගීතා,   දුලීකා ,වාසනා  , මදු සිහින, අනුපමා, දෙව්දුව,  නොම්මර 17, මධුසමය,  මරුවා සමග වාසේ , දියමන්ති, යුක්තියද ශක්තියද, කැඩපතක ඡායා, සූරියකාන්තා, ආදරේ හිතෙනව දැක්කම  වැනි විශාල වාණිජ චිත්‍රපට රැසකත් අහස් ගව්ව,  බඹරු ඇවිත්, පාරදිගේ, එයා දැන් ලොකු ළමයෙක්, කරුමක්කාරයෝ, බැද්දේගම, ගඟ අද්දර,   යස ඉසුරු,  අහසින් පොළොවට, පාරමිතා  වැනි කලාත්මක චිත්‍රපට රැසකත් සිය රංඟන කෞෂල්‍ය මතු කළේය.




 












ඔහු  රගපෑ අවසන් චිත්‍රපයට ක්‍රිස්තු චරිතයයි. එය ඔහුගේ මරණයෙන් වසර 2කට පසු තිරගත විය. ඔහු විසින් රග දක්වන ලද මුළු සිනමා නිර්මාණ ගණන 114 පමණ වේ. 1978 – 1983 දක්වා අඛණ්ඩව පස්වතාවක් සරසවිය සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවා වන්නට සමත්වන මොහු සරසවිය, OCIC , ජනාධිපති ආදි සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ඔහු විසින් ගයන ලද ගීතයන් බොහෝ ප්‍රමාණයක් ඇත. ඊට ජනප්‍රිය ගීත රැසක්  අඩංගුය.

1.   දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අළුගෝසුවනේ එල්ලාපන්...........
2.   ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී..........
3.   රූස්ස ගහ යට ...........
4.   මිණි කිංකිණි හඬ පරදා .............
5.   සැරයටියෙන් අපි යනෙන තුරා .............
6.   පායා සීත රැයේ...........
7.   රැල්ළෙන් රැල්ළට පාවෙන ඔරුවේ...............
8.   වළාකුළක් ගෙන ...........
9.   පාට සරුංගල් වාගේ අපේ ජීවිතේ.....................
10.                   ආදරයක හැඟුමක් .....................                                       


ඔහුගේ  මෙම රංගන කාර්යය තුළ සාර්ථක වන්නට ඔහුට අතහිත දුන් නළු නිළි පිරිසක් ද සිටියෝය. ඔහු සමග කථා නායිකාව වන්නට බොහෝ අය පෙරුම්පිරුවත් ඉන් ජයගත්තේ කිහිප දෙනෙකි. මාලනි ෆොන්සේකා ඒ අතර සුවිහේෂී විය. ස්වර්ණා මල්ලවාරච්චි, ගිතා කුමාරසිංහ,  නීටා ප්‍රනාන්දු,  බියුලා ඩයස්,  වසන්ති චතුරාණි, සබීතා පෙරේරා, නදිකා ගුණසේකර , ශ්‍රියානි අමරසේන, වැනි නිළියන් ද  රවීන්දු රන්දෙනිය , සනත් ගුණතිලක, ෆෙඩී සිල්වා,  විමල් කුමාර ද කොස්තා,  ගාමිණී ෆොන්සේකා,  ජෝ අබේවික්‍රම, ක්ලීටස් මෙන්ඩිස්   වැනි නළුවන් ඔහුගේ සමීපතයන් මෙන්ම සගයෝ වූහ.



ඔහු විසින් සිනමාවට ඔහුගේ ඥාති පුත්‍රයා වූ ජීවන් කුමාරතුංග හඳුන්වා  දුන්නේය. මේ සිනමා කාර්යය තුළ ඔහුගේ පෙද්ගලික ජිවිතය ද ගලාගෙන ගියේය. 70 දශකයේ මැද භාගයේදී ඔහුගේ දිගුකාලීන සහායිකාව වූ මාලනී විවාහ කරගැනිමට විජය සියල්ල සැළසුම් කළේය. කසාදය ලියාපදිංචි කොට පසුව සුළු උත්සවයක් පැවැත්වීමට දෙදෙනා තීරණය කළ අතර, මෙම කාලයේ ද ඔවුන් දෙදෙනා චිත්‍රපටයකට දායක වෙමින් සිටියහ . කතිකා කරගත් පරිදි මාලනි රෙජිස්ටාර් කාර්යාලයට වි බලා සිටියේ විජය එනතුරුය. විවාහය සඳහා යාමට වීමට සුදානම් වන විටදි ඔහුට ආරංචි වුයේ  ඔහුගේ වැඩිමහල් සහෝදරයා එනම් ජීවන් කුමාරතුංගගේ පියා මියගොස් ඇති බවයි. සියල්ල පසෙක දමා මල්ශාලාවට ගිය ඔහු, තම මංගල ඇඳුම සිය සහෝදරයාගේ දේහයට ඇන්දවීය. මාලනියට පණිවිඩයක් යවමින් පවසා සිටියේ සිය සහෝදරයා මිය ගිය බවත් අද මංගල්ලය නොකරන බවත්ය. එදා නොකෙරුණු මංගල්ලය කිසිදා සිදු නොවුණි.


70 දශකය අගභාගයේදි  විජය සම සමාජ පක්ෂයට එකතුවෙමින්  සිය දේශපාලන ගමන්මග ද ආරම්භ කළේය. පසුව ඔහු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සම්බන්ධ විය. එවකට බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි වී තිබු අතර, ඒ සඳහා දැවැන්ත සටනක් ආරම්භ කර තිබුණි .එම රැස්විම් සංවිධානය කිරිමට ද වෙනත් කටයුතු සඳහා මැතිණිය හමුවීමටද විජය නිතර හොරගොල්ලට යාම සිදුවුණි. මුලින්ම අනුර සමග කුළුපග වු අතර විජයගේ කථිකත්වයට පෙම්බැඳි එවකට යෞවනියක් වු චන්ද්‍රිකා කුමාරතුංග  ද ඔහු සමග රැස්වීම්වලට සහභාගි වූවාය. දෙදෙනාටම හොරා දළු ලෑ ප්‍රේමය වර්ෂ 1978   දි විවාහයකින් කෙළවර විය. මෙම විවාහයෙන් විමුක්ති හා යශෝදරා ඔවුනට දායාද විය.











විජය 1982 දී ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ හෙක්ටර් කොබ්බෑකජුව මහතා වෙනුවෙන් සහය දැක්වීම නිසා  සිරගත කළ  අතර,  හිරෙන් නිදහස් වූ ඔහු මහර අතුරු මැතිවරණයට ඉදිරි පත් වූ අතර ,එහිදි ඔහුව මරණ තර්ජන කොට එයින් ඉවත් කරවිය. එහිදි ඔහුගේ  හිතවාදි අයෙක් මරණයට පත්විය. ඉන්පසු ඔහු සිය මතය ගොඩනැගිම සඳහා ශ්‍රී ලංකා මහජන පක්ෂය ගොඩනැගීය. 1986 වන විට  කිසිම දේශපාලකයෙකුට  යා නොහැකිව තිබූ යාපනයේ සංචාරය කළ ඔහු එල් ටී ටී ඊ සංවිධානය සමඟ  සාකච්ඡාවක් පවත්වා අපේ සිරකරගෙන සිටි සෙබව 4ක් නිදහස් කරන ලදි. යාපනය නගර මධ්‍යයේ සිට කථාවක් ද පවත්වා  දෙමළ ජනතාවගේ සිත්සතන් දිනාගත් ඔහු නල්ලූර් කෝවිලද වැඳ පුදා ගත්තේය. මෙය එවකට පැවති දේශපාලනය උඩුයටිකුරු කිරීමට සමත්විය. දෙමළ - සිංහල ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ සාමය හා සංහිඳියාව තුළින් පමණක් බව ඔහු තරයේ විශ්වාස කළ අතර, ඔහු ඒ සඳහා ක්‍රියා කළේය. එහි අවසන් මහා සටන 1988 ජනවාරි 28 වනදා  ඔහු පවතින ආණ්ඩුවට එරෙහිව සියලු පක්ෂ එකතු කළ අතර,  කැම්බල් පිටියේ  විශාල දේශනයක් ද සිදුකළේය. එ් ඔහුගේ අවසන් දේශපාලන රැළිය විය.




මරුවා ඔහුට පෙර  පිඹුරුපත් සැකසුවේය. 1988 පෙබරවාරි මාසයේ මුල් දිනක ඔහුගේ නිවසට දුරකථන ඇමතුමකින් පවසන්නේ දිවා හෝජනයක් සඳහා ඇරයුමකි. ඒ කාලය එතරම් සුබවාදී නොවූ නිසා චන්ද්‍රිකා ඊට තදින්ම විරුද්ධ විය. එහෙත් විජය ආරාධනාව පිළිගත් අතර, සුපුරුදු දින එනම් 1988 පෙබරවාරි 16 වන දින නිවසින් පිටවීමට සූදානම් වන අතර චන්ද්‍රිකා ඔහුට පිළිගැන්වීමට ගෙනා දොඩම් වීදුරුව අතට ගන්නටත් පෙර වැටී බිඳෙන්නේ ඇගේ හිත කීරි ගැස්සෙමිනි. දැන් යන්න එපා  යැයි ඈ කීවත්, දෛවය ඇයට පෙර ඉස්සර විය ඇයව සැනසූ ඔහු, ඉක්මණට එනවා යැයි පවසා ගේට්ටුව දෙසට ගිය අතර, වාහනය ගේට්ටුවෙන් පිට නවතා තිබුණි. කිසිත් නොදත් කුඩා යශෝදරා තාත්තී මාත් එනවා යයි පවසමින් ඔහු  ලඟට දිව යමින් සිටියාය. එ් අඳුරු නිමේෂයේ දී පාරේ සැගවි සිටි සාහසිකයෝ  සතර දිගින් වෙඩි තබන ලදි. වහා පැන සිය දියණීය දැතට ඔසවා ගත් විජයගේ පිට දෙපැත්තට පළමු වෙඩිපහර දෙක වැදෙන අතර, වැරෙන් සිය දියණිය වත්තට තල්ලු කරන අතර, දුවන්න යයි කෑ ගසන අතර, වෙඩි ශබ්දය ඇසී චන්ද්‍රිකා දුවගෙන එන විටත් ලේ විලක් මැද විජය සියල්ල දමා අවසන් සුසුම් හෙළා තිබුණි . මරණ තර්ජනවලදි පැවසු පරිදිම විජයගේ මුහුණට වෙඩි තබා තිබූ අතර එම නිසා දේහයේ මුහුණ වසා තිබුණි.


එවකට පස් හැවිරිදි වියේ සිටි මට ගුවන් විදුලියේ ප්‍රවාත්ති ඇසූ අපේ අම්මා ළමයෝ විජේ කුමාරතුංග මරලා යනුවෙන් කී හැටි තවම මතකය. එසැණින් රූපවාහිණිය ක්‍රියාත්මක කළ විට සියලු විස්තර සජීවිව පෙන්වමින් තිබුණි. ඊට දින 6 කට පසුව  එනම් 1988 පෙබරවාරි 21 විජයගේ ආදාහන උත්සවය ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සෝ සුසුම් මැද නිදහස් චතුරස්‍රයේ දි සිදුවිය. විජයගේ පක්ෂය හා ප්‍රතිපත්ථි හා ඉදිරියට ගෙනයාමය වන්ද්‍රිකා මැතිණිය දේහය ඉදිරියේ සපථ කරත් මවක් වශයෙන් ඈ අඩියටම වැටී සිටියේ  විජය මිය ගිය දිනයේ සිට කුඩා යශෝදරා ඉතා තදින් ගිලන් විමත් සමගයි . පැවති තත්ත්වය හමුවේ ඇයට ළමයින්ගේ යහපත වෙනුවෙන් රට අතහැර යෑම හැර විකල්පයක් නොවීය.


විජයගේ අවසන්  වචන වූයේ  මෙයයි.


මරණය කියන අකුරු හතරට මගෙ කිසීම බයක් නෑ. කවුරු මොන විදියෙ චෝදනා කෙරුවත් මගෙ හෘද සාක්ෂිය දන්නව මං නිර්දෝෂයි කියලා. අන්න ඒ හින්දා මට කිසිම කණගාටුවක් නැතුව පෝරකයට නගින්න පුළුවන් .......................


 වසර 32 නික්ම  ගියත් අද ද ඔබ ජිවමානය


                                                                                                                                                                                                                                                                                                                                 

  

විචාරක දියණිය 17.00 පැයට








.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }