හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

25 May 2020

ස්තූපයේ විකාශනය - 3 කොටස

නැවතුනු තැනින්.........................

3.  පේසාව  හෙවත්  මාළක 

           මාළක යනු ස්තූපයේ පේසා වළළු හඳුන්වන නාමයයි. ඉන්දියාවේ මෙය "මේදි" යනුවෙන් හඳුන්වනු ලැබ ඇත. මහාවංශයේ මෙය "පුෂ්පධාන" යන නමින් හඳුන්වා ඇත. එහි තේරුම "මල් පුදන ස්ථානය යන්නයි".  අතීතයේ දාගැබ්වල ගර්භය පිහිටා තිබුණේ මෙම වටකුරු මාළකයන් තුනක ඉහළම ස්ථානයේ ය. මේවායේ උඩුමාළය ඊට පහතින් ඇති මාළයට වඩා විශ්කම්භයෙන් කුඩාය.  සාංචි ස්තූපයේ ඇත්තේ මෙවැනි මාළක එකකි. දිව්‍යාවදානය නම් කෘතියේ සඳහන් පරිදි  සාංවි ස්තුපයේ මාළක ඉදිකර ඇත්තේ පොළෝ මට්ටමේ සිට ගර්භය ඉදිකර පසුබව සඳහන් වේ.  මහාථූප වර්ණනාවට අනුව ගර්භය  සඳහා පීඨයක් වශයෙන්  මාළකයන් පළමුව ඉදිකර තිබී ඇත . 


මුල් කාලයේ සැදැහැවතුන් බුදුන් පිදිම සඳහා රැගෙන එන මල් තැබීම පිණිස මෙම මාළකය භාවිතා කොට ඇත. අතීතයේ  වන්දනාකරුවන් විසින් ගෙන එන ලද මල් හෝ සුවඳ  දුව්‍ය සහ පහන් තැබීම පිණිස භාවිතා කරන ලද වේදිකාවක් හෝ ගැටියක් ලක්දිව වර්තමාන කුඩා ස්තූපවල පාදය වටේ දක්නට ලැබේ.  ශ්‍රී ලංකාවේ විශාල ස්තූපයන්හි මාළක ඉතා උස්ව පිහිටි බැවින් මේ කටයුත්ත සඳහා භාවිතා නොකරන ලදැයි සිතිිය හැකිය. මුදුන් මාළකයේ පූජා ද්‍රව්‍ය තැබීමට පහත මාළකයන්ට නැඟිය යුතු හෙයින් එය එසේ නොකරන්නට ඇතැයි සිතිය හැකිය. එහෙත් මාළකයන්ට භාවිතා කළ පැරණි නම එලෙසින්ම පැවතිණි.  මෙම මාළකය ස්තූපය වටා ප්‍රදක්ෂිණා පථයක් ලෙස භාවිතා කළ බව පෙනේ .


අනුරාධපුරයේ ස්තූපයන්හි මාළක තුනට වර්තමාන සිංහල ව්‍යවහාරයෙහි හැඳින්වූයේ තුන් මහල් පේසාව හෙවත් පේසා වළළු කියාය.  ලක්දිව පැරණි ස්තූප බොහෝ ගණනක පේසාව ඉදිවී ඇත්තේ ගඩොළින්ය. ඒවායේ බොරදම් හා අවශේෂ ගෘහ නිර්මාණ කොටස් ආරක්ෂා වි තිබුණේ ස්තූප කිහිපයක පමණි. බොහෝ ස්තූපවල පේසාවේ පාදයන් බොරදම්වලින් යුක්ත වේ.  අභයගිරි දාගැබේ පාද බොරදමේ කොටසක් නෙළුම්පෙතිවලින් සරසා තිබේ. මැද පේසාව ද මේ ආකාරයෙන් සරසා තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.  මෙම පේසාවන් සඳහා ගරාඳි වැටවල්ද සකසා තිබී ඇත.  අනුරාධපුරයේ මහා ථූපයට "හත්ථිචේදි' ඉදිකරවූ බව කියවේ.  "චේදි"  යනු ගරාඳි වැටය.  පේසාවට නැගිම සඳහා ගඩොළින් හා ගලින් පඩිපෙළවල් තනා තිබී ඇත. මේවා බොහෝමයක් පසුකාලීනව ඉදිකළ බවට සාක්ෂි ලැබි තිබේ. 


නිලගිරි සෑය පේසාව




අභයගිරිය පේසාව 


බොරදම්

4.  ගර්භය 

              ස්තූපයක ගර්භය යනුවෙන් හඳුන්වන්නේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන ස්ථානයයි.  මෙම ගර්භය හැඳින්විම සඳහා විවිධ නම් භාවිතා කර ඇත. දිව්‍යාවදානය  නම් ග්‍රන්ථයේ මෙය "අණ්ඩ" ලෙස හඳුන්වා ඇත  එමෙන්ම උදර,  ඝට, කුම්බ, කුච්ඡ, ථූප, චේති ආදි නම්වලින්ද මෙය හඳුන්වා ඇත.  විනය ක්ෂුද්‍රකවස්තුව "ඝට' යනුවෙන් ද වංසත්තප්පකාසිනියේ " කුච්ඡ" ලෙස ද හඳුන්වා ඇත. " ථුප" හා "චේති" යන නම් දෙකෙන්  ගොඩ යන අරුත දෙයි.  එහි හැඩය අනුව තුඹස,  ථුප යන නම භාවිතා කොට ඇතැයි  වැලිවිටියේ සෝරත හිමියෝ සඳහන් කරති. ( සුමංගල ශබ්ද කෝෂය ) ධාතු ගර්භය පිහිටියේ  ගැබ අභ්‍යන්තරයේය. ධාතු ගර්භය  පිළිබඳ  අතිශයෝක්තිය විස්තරයක් මහාවංශයේ හා  ථුපවංශයේ  සඳහන් වි ඇතැයි සැළකේ.

        

ඉහත සඳහන් ගර්භයේ පිහිටි ධාතු ගර්භය ස්තූපයේ වැදගත්ම වාස්තු විද්‍යා අංගය වේ. ඊට හේතුව ධාතුන් වහන්සේලා ඇතුළු වැදගත් වටිනා පූජා වස්තු තැන්පත් කරන්නේ මෙහිය.  ගර්භය අභ්‍යන්තරයේ විවිධ උස මට්ටම්වල ධාතු ගර්භ පිහිටා ඇත. ප්‍රධාන ධාතු ගර්භයට අමතරව තවත් ධාතු ගර්භ පිහිටා ඇත.  මේ පිළිබඳව සාහිත්‍යමය හා පුරාවිද්‍යාත්මක සාධක බොහොමයක් හමුවී තිබේ.  පඩුවස්‌නුවර කන්දේ ගෙදර ස්‌තූපයේ එක්‌ ධාතු ගර්භයක්‌ හමුවන අතර තෝපාවැව දැගැබේ ප්‍රධාන හා උප ප්‍රධාන ගර්භ 3 බැගින් 6 ක්‌ විය.  එසේම දැදිගම ස්‌තූපයෙන් විශාල ප්‍රමාණයේ ගර්භ 2 ක්‌ හමු විය. 

ධාතුවංශයට අනුව සේරුවිල චෛත්‍යයේ ධාතු ගර්භය තුන්මහල් පේසාව නිමවා ඉන්පසු ධාතු ගර්භය නිර්මාණය කර ඇත. රුවන්වැලි මහා ථූපයේ ද ධාතු ගර්භය පිහිටුවීමේදී උක්‌ත ආකාරයට සිදුකර ඇත. දැදිගම, සෝමාවතී හා පොළොන්නරුව පබළු යන දාගැබ්හි ගර්භ ස්‌තූපයේ ඉහළ මට්‌ටමේදී දැකගත හැකි අතර පුලියන්කුලම, විජයාරාම හා ශිලාචේතිය යන ස්‌තූපවල ධාතු ගර්භ පේසා මට්‌ටමට පහළ පිහිටුවා ඇත. ස්‌තූප මධ්‍යයේ ධාතු ගර්භය පිහිටිය යුතු බවට මත පැවතිය ද දැලිවල ස්‌තූපයේ ධාතු ගර්භය ස්‌තූපය මධ්‍යයේ පිහිටුවා නොමැත.

ධාතු ගර්භය පිහිටා ඇත්තේ  මුදුන් පේසාව මට්ටමේය.  පොළව ම්ට්ටමට යටින් පිහිටි ගර්භයක් සහ කොටස්වලට බෙදූ  භාජනවල ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇත.  මෙම යන්ත්‍ර ගල් පිළියෙල කොට ඇත්තේ දාගැබේ අත්තිවාරම තුළ මංගල වස්තු තැන්පත් කිරිම සඳහාය.  මංගල වස්තු තැන්පත් කරන ලද්දේ පේළි 3 4 ‍හෝ 5 බැගින් සකස්කළ සම සතරැස් සිදුරු 9ක් 10 ක් හෝ 25 ක්සහිත ගල් පුවරුවක් තුළය.  මෙම ගල්පුවරු නටඹුන්ව ගිය සිද්ධස්ථාන අසළ දැකගත හැකිය 



ස්තූපයක අභ්‍යන්තරය
සිදුරු ලෙස ඇත්තේ යන්ත්‍ර ගල 


සීගිරි දාගැබේ එකිනෙකට එකිනෙකට උඩින් පිහිටි ධාතු ගර්භ 3ක් විය. මින් මුදුන් දාගැබ නිධන් හොරුන්ගේ ග්‍රහණයට හසුවී විනාශ වී තිබේ. දෙවන ධාතු ගර්භයේ එක් පැත්තක දිග අඩි 7කි අඩි 5යි අඟල් 8ක් ගැඹුරුය. එහි හුනු බදාම හා ම්ට්ටම් නොකළ ගල් අල්ලා තිබි ඇත. ගඩොල් අල්ලා නිමවූ පතුල මත යන්ත්‍ර ගල නමින් හැඳින්වූ කරඩු විහේෂයක් විය.  එය පැත්තක දිය අඟල් 10 ක් වූ සමචතුරස්‍ර කාමර 25 කින් සෑදී තිබිණි.  එම කාමර වෙන් ළුි ඇත්තේ අඟල් 5ක් පමණ පළල ඇති ගල් හරහට තැබිමෙනි. යන්ත්‍ර ගලට ඉහළින් එක් එක් බිත්තියේ සම සතරැස් සිදුරු 2 බැගින් දක්නට ලැබී ඇත.


පැරණි චෛත්‍ය ගර්භයේ  දක්නට ලැබෙන තවත් විශේෂ අංගයක් ලෙස මහාමේරුව හැඳින්විය හැකිය. එය ගර්භය මත පිහිටි හතරැස් ගල් ටැඹකි. මහාමේරුවට සියලු ලක්ෂණවලින්යුත් ගලක් තෝපා වැව දාගැබෙන් හමුවී තිබේ.  එහි හතර පැත්තේ ගැටි 7ක් තිබී ඇත. එයින් මහාමේරුව වටා ඇති සත් කුළු පව්ව නිර්මාණය කරඇතිබව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.  මෙය තැන්පත් කර ඇත්තේ කුඩා රුකුල් ගල් 3ක් මතය.  එයින් මහාමේරු පර්වතය ත්‍රිකූටයකින් නැගෙන බව දක්වා ඇත.  ගලෙහි පහත කොටස අත්තිවාරමට යටවි තිබි ඇත. එමගින් පෙන්වීමට උත්සාහ දරා ඇත්තේ මහාමේරුව යට කොටස සාගරයට යටවි ඇති බවයි.  පර්වතයේ පැති හතර වර්ණ හතරකින් යුත්කව තිබි ඇත. මෙහි ගලට පහළින් නාග රුවක්ද තැන්පත් කර තිබේ.  එයින් මහාමේරු පව්ව යට නා ලොව තිබෙන බව පෙන්වා ඇත. මෙම මහාමේරුව බුද්ධ චරිතයේ සළකුණක් ලෙස යොදාගත් බව ද සැළකේ. 



පොළොන්නරු කිරි වෙහෙර




මෙතනින් අදට හමාර කරමි  

අන්තර්ජාලය 
එස්  පරණවිතාන - ලංකාවේ ස්තූපය



විචාරක දියණිය‍ පස්වරු 2200 පැයට





















































  

15 May 2020

ස්තූපයේ විකාශනය - 2 කොටස

මෙම ලිපියෙන් ඔබට ස්තූපයක අංග හා එහි උපයෝගීතාවය පිලිබඳ පැහැදිලි කිරීමක් කරන්නයි බලාපොරොත්තුව. අද අපි දකින ස්තූපයක ප්‍රධාන කොටස් ඔබට පහත දැක්වෙන පිංතූරයෙන් පැහැදිලි කරගත හැකිය.




ඒ අනුව ස්තූපයක කොටස් පහත පරිදි නම් කළ හැකිය. 

  1. අඩිතාලම හෙවත් පාදම 
  2. වාහල්කඩ ( ආයකය) 
  3. මලසුන
  4. පේසා වළළු
  5. ගර්භය
  6. හතරැස් කොටුව 
  7. දේවතා කොටුව 
  8. කොත් කැරැල්ල‍
  9. කොත ( චූඩා මාණික්‍ය)

දැන් අපි ඒ එකිනෙකක් පහත  විග්‍රහ කරඇත.

  1.  අඩිතාලම හෙවත් පාදම 
             මෙම පාදම හා අඩිතාලම පිළිබඳව සාකච්ඡා කිරිමේදී ඉතා සවි ශක්තියෙන් යුක්තව මෙය සකස්කරන ලද බව දක්නට ලැබෙන කරුණකි. ක්‍රි. ව. පළමු සියවසේ මහාථුපය හෙවත් රුවන්වැලිසෑය තැනවිම පිිිළිබඳ දිර්ඝ විස්තරයක් මහා වංශයේ සදහන් වේ.  එනම්

        " මිහිපල් තෙමේ සෑම අයුරින් ම මහා සෑය ස්ථිර කරනු පිණිස සෑය ගොඩනඟන තැන සත් රියනක්  යටට කැණවීය.  අර්ථාන්විත දැක්මෙහි සමත් වූ රජතෙමේ යෝධයන් ලවා හුණුගල් එහි ගෙන්වා, කුළු ගස්වා, පොඩිකළ ගල් භූමිය ස්තිර වනු පිණිස සමින් වැසූූ පතුල් ඇති ඇතුන් ලවා මැඩවීය. "

( බටුවන්තුඩාව දේවරක්ෂිත සංස්කකරණය,  115 )

මෙහිදී ගඩොලින් බඳිනා ලද විශාල දාගැබ එහි බරින්ම කිඳා බැසිම වැළැක්විම සඳහා අඩිතාලම හෙවත් පාදම ස්ථිර ලෙසත් සවි ශක්තිමත් ලෙසත්  සැකසිමට කටයුතු කළ බව මින් පහැදිළි වේ .

මහාචාර්ය එච්. සි. පී. බෙල් මහතා පවසන පරිදි  වර්තමාන අභයගිරි ස්තූපයේ පාදම ( එකල ජේතවනය ලෙස හැඳින්වූ)  පඩි සහිත ගඩොල් බැම්මකින් යුත් එහි අත්තිවාරම මළුව මට්ටමේ සිට අඩි 26ක් යට සිට පටන්ගන්නා බවත් ගඩොල් බැම්මට යටින් කොන්ක්‍රීට්  තට්ටුවක් අතුරා තිබූ බවත් දැක ගන්නා ලදී. මෙහිදී ස්තුපයේ පාදම අඩි 370 ක විෂ්කම්භයකින් යුක්ත බව සලකා බලන කල අත්තිවාරම දැමීමේ දී කෙතරම් ගඩොල් ප්‍රමාණයක් පොළව යට වැළලී  තිබෙනු ඇද්දැයි සිතා ගත හැකිබව ඔහු ප්‍රකාශ කර තිබේ.  මෙම යෝධ දාගැබ් බැන්ඳවුන් ඒ සඳහා කෙතරම් පරිශ්‍රමයක් දරා ඇත්ද යන්නත් එහිදී ගම්‍යමාන වේ.


අභයගිරිය මුලින්  හඳුනා  ගන්නා විට 




2.  වාහල්කඩ හෙවත් ආයකය

            මෙම  ආයකය යනුවෙන් හඳුන්වනු ලබන්නේ පැරණි ස්තුපවල සතර දිශාව බවත් ස්තූපයේ පහළ කොටසට සම්බන්ධව ඉදිකෙරුණු ප්‍රක්ෂේපණ 4ක් වේ. ගල් පුවරුවලින් නිමවා ඇති මෙම අංගය මූලික වශයෙන්ම සෘජුකෝණාස්‍රාකාර හැඩයක් ගනී. මෙහි මධ්‍ය කොටස ඉදිරියට නෙරා ඇති ස්වභාවයකින් යුක්ත වේ.  පහළම කොටස කැටයම්වලින් තොරව සරල ගල් පුවරුවලින් නිර්මාණය කර ඇති  අතර,  ඉහළ කොටස  ඇතුළුපැත්තට  හා පිටපැත්තට නෙරා ගිය ගල්තීරුවලින්  සමන්විත වේ.  එසේම මෙම වාහල්කඩ දෙකෙළවර උස්  ගල්කණු  හා මිටි ගල් කණු දක්නට ලැබේ.  මෙම වාහල්කඩ කැටයම් කිරිම සඳහා විවිධ කැටයම් යොදාගෙන තිබේ.  එම කැටයම්වලින්  සෞභාග්‍ය හා ආරක්ෂාව බලාපොරොත්තු වි තිබේ.


මෙම සතර දිශාවේ ආයකයන්ට ඇතා, අශ්වයා, සිංහයා, ගවයා යන සත්ව රූප යොදාගෙන තිබේ.  මහාචාර්ය සෙනරත්  පරණවිතාන පවසන පරිදි  මෙම සතුන්ගෙන් නිශ්චිත දිශාව හඟවා ඇත.  සිංහ රූපය  සැමවිටම උතුරු දිශාභිමුඛව පවතින බව  ඔහු පවසයි. මීට  අමතරව සත්ව පෙරහැරවල්,  නාගරූපය, වාමන රූප, මකර රූප, හංස රූප, නෙළුම් මල, ලියවැල් හා මල් වැල් මෙම කැටයම් අතර දක්නට ලැබේ.  ශ්‍රී ලංකාවේ පැරණිම වාහල්කඩ දක්නට ලැබෙන්නේ මිහින්තලේ කණ්ඨක චෛත්‍යයෙනි. රුවන්වැලි සැයේ හා මිරිසවැටියේ වාහල්කඩ කැටයම් මීට වඩා තරමක් දියුණු වී ඇති අතර, ජේතවනයේ හා අභයගිරියේ කැටයම් වාඩාත් මුහුකුරා ගොස් ඇති ආකාරය දැකිය හැකි බව පුරාවිද්‍යාඤයන්ගේ මතයයි. එහෙත් පොළොන්නරු යුගයේදී මෙහි කලාත්මක බව නැතිවි ගිය අතර මෙය ගඩොලින් ඉදිවිම ඇරඹුණි.


මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ  වාහල්කඩ ( ආයකය)


           
ලිපිය දීර්ඝ වූ විට එහි රසවත් භාවයට හානිවන හෙයින් දෙවන කොටස මෙතනින් හමාර කරමි.


අන්තර්ජාලය
ශ්‍රී ලංකාවේ ස්තූපය - එස්. පරණවිතාන


විචාරක දියණිය
පස්වරු 21 00 පැයට








                                 




11 May 2020

ස්තූපයේ විකාශනය 1 කොටස

ඔබ සියලුදෙනාම මේ වනවිට අනන්තවාරයක් ස්තූපයන් වන්දනාමාන  කර ඇතැයි සිතේ.  ඒ වගේම විවිධ වූ ස්තූපවර්ග ලංකාවේ මෙන්ම  ලෝකයේද නරඹා ද සිටිය හැකියි. එමෙන්ම ස්තූපය ලංකාවේ ආරම්භය පිළිබඳව ශාසන ඉතිහාසයෙන් හා සාමාන්‍ය ඉතිහාසයෙන් හදාරා ඇතැයි සිතමි. එහෙත් ඔබට මේ වනතෙක් ගෝචර නොවූ ස්තූපයේ විකාශය සහ අංග ඒවායේ උපයෝගීතාවය පිළිබඳ ඔබ සමග බෙදා හදා ගැනීමට කැමැත්තෙමි. 


ස්තූපය නිර්මාණය වූයේ ක්‍රි. පු. 6 වන සියවසේ බුදුන්වහන්සේගේ පහළ වීමත් සමග යැයි පුරාවිද්‍යාඥයන්ගේ හා ඉතිහාසඥයන්ගේ මතයයි. බුදුන්වහන්සේ දේශනා කළ ධර්මයට අනුව ස්තූපයක් ඉදිකළ ගෞරවය දැක්විය හැකි පුද්ගලයන් සතර දෙනෙකි . 

  •   බුදුන් වහන්සේ
  •   පසේ බුදුන් වහන්සේ   
  •   රහතන් වහන්සේ   
  •   සක්විති රජු             
( දීඝ නිකාය මහා පරිනිර්වාණ  සූත්‍රය) 

රුවන්වැලි සෑය



දාගැබ,  ස්තූපය , චෛත්‍යය යන විවිධ නම්වලින්  මෙය හඳුන්වා ඇත. චේතිය හෙවත් චෛත්‍ය  යන නම භාවිතා වී ඇත්තේ උස කඳු මුදුන යන අර්ථය ඇතිවය.  ඊට හේතුව මෙම ස්තූපය සාදන ලැබුවේ  උස්ව පිහිටි භූමි තුළය.  පන්සලක නම් මෙය එම පන්සල් භූමියේ උසින්ම පිහිටි ස්ථානයේ ඉදිකරන ලදී.  "වැවයි දාගැබයි ගමයි පන්සලයි" යන තේමාව පැමිණියේ ද මේ  කරුණු පදනම් කරගෙනය.  අතිතයේ පැරණි වැව් ගම්මානවල සිටි ජනයා වෙනුවෙන් ඔවුන් සාදා ගනු ලබන වැවෙන්  ඉවත් කරන ලද පස් උපයෝගී කරගෙන එම ගමේ උසම ස්ථානයේ මෙම වෛත්‍යය ඉදිකරන ලදී .


අප කවුරුත් දන්නා පරිදි බුදුන්වහන්සේගේ ධාතු වන්දනාව සඳහා  උන්වහන්සේගේ ශ්‍රී දේහයේ  කොටස් තැන්පත් කරමින් මෙම චෛත්‍ය ඉදිකරන ලදී .  ඒ අනුව ලංකාවේ ඉදිකළ මුල්ම චෛත්‍යය ථුපාරාමයයි. එය ක්‍රි පු 3වන සියවසට අයත් වේ.  එම චෛත්‍යය දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග්‍රහයෙන් බුදුන්වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කරමින් සාදවන ලදී.  මෙය "කාල ප්‍රසාද" නමින් හඳුන්වා ඇත.  ඊට  හේතුව නිවැරදි ශිල්පීය තාක්ෂණය නොතිබි එකල තෙත මැට්ට වියළීම සඳහා ගිනි ගසා පිළිස්සිම නිසා චෛත්‍යෙයේ බිත්ති කළු පැහැ ගැන්වීම නිසාවෙනි. 


ස්තූපයේ  විකාශනයත් සමග විවිධ හැඩ ඔස්සේ  ස්ථුපයන් නිර්මාණය කරන ලදී. මෙම හැඩ යන් අනුව ප්‍රධාන වර්ග 6කට මේ ස්තූපයන්  නම් කරනු ලැැබීය.  ඒවා නම් 





  • ඝණ්ඨාකාර‍ - ඝණ්ඨාකාර යනු  ඝාණ්ඪාරයක හැඩය මෙන් සාදා ඇති  චෛත්‍යය වේ. මේවා ප්‍රමාණයෙන් කුඩා  චෛත්‍යය වේ.  මේ ආකාරයේ  චෛත්‍යයකට උදාහරණයක් ලෙස ථූපාරාම චෛත්‍යය,  සේරුවාවිල චෛත්‍යය හැඳින්විය හැකිය.
  • ඝටාකාර - ඝටාකාර යනු කළගෙඩියක හැඩයට සාදා නිමකළ චෛත්‍යයයි.  මීට උදාහරණ ලෙස සෝමාවති චෛත්‍යය හා මගුල්මහාවිහාර චෛත්‍යය හැඳින්විය හැකිය.
  • ධාන්‍යාකාර -  ධාන්‍යාකාර යනු වී  ධාන්‍ය ගොඩක් එක්රැස්කළ හැඩයෙන් යුක්තවන  ආකාරයට නිමවන ලද  චෛත්‍යය වේ.  මෙවැනි චෛත්‍යයනට ඇති හොඳම නිදසුන කැලණි ස්තූපයයි.  එමෙන්ම වර්තමානයේ ලංකාවේ ස්තූප බහුලව ඉදිකරන්නේ මෙම ධාන්‍යාකාර හැඩයටය. 
  • පද්මාකාර -  පද්මාකාර යනු නෙළුමක හැඩය ගන්නා චෛත්‍යයන් වේ.  ඊට උදාහරණ ලෙස දෙමළ මහා සෑය හා බුත්තල යුධගනා චෛත්‍යය වහන්සේ හැඳින්විය හැකිය. 
  • බුබ්බුලාකාර - බුබ්බුලාකාර යනු දිය බුබුළක හැඩයකින් යුතුව නිර්මාණය කරන ලද චෛත්‍යයන‍් වේ.  ඊට නිදසුන් ලෙස තිස්සමහාරාම චෛත්‍යය හා රන්කොත් වෙහෙර  හැඳින්විය හැකිය .
  • ආමලාකාර  - ආමලාකාර යනු  නෙල්ලි ගෙඩියක හැඩයෙන් යුක්තව ඉදිකරන ලද චෛත්‍යය වේ.  මෙවැනි ස්තූප දුර්ලභ වන අතර වර්තමානයේ ලංකාවේ දක්නට නොලැබේ.  



කැළණි දාගැබ 



පලමු කොටස නිමයි.  දෙවෙනි කොටසින්  ස්තූපයක අංග සහ එහි උපයෝගීතාවය පිළිබඳ දැනගනිමු .



පොත පත හා අන්තර්ජාලය  ඇසුරිණි.


විචාරක දියණියපස්වරු 2200 පැයට 


03 May 2020

නිල අම්බරයෙන් මැකීගිය තරු දෙකක් - දෙවැන්න

ලංකාවෙ සිටින  සුවහසක් සිනමා රසිකයන් සිංහල සිනමාවට මෙන්ම හින්දි සිනමාවට දක්වන්නේ පුදුමාකාර ඇල්මක්. මේකට හේතුව අපේ කාලාවේ මූලාරම්භය සිදුවුණේ ඉන්දියාවෙන් විමයි. ඈත අතිතයේ ඉඳලම සුවහසක් සිනමා රසිකයන් අමන්දාන්නදයට පත්කළ ඒ හින්දි චිත්‍රපට සහ ඒවායේ ගීත සමඟ ලාංකික සිනමා රසිකයා සිටියේ බොහොම  ඉහළ තැනකයි.


ඉන්දියාවේ සිනමා වංශ කථාව ගැන සාකච්ඡා කරද්දි  මහා වෘක්ෂයන් දෙකක් වගේ මේ සිනමාවේ මුල් ඇදගත්ත සිනමා පවුල් දෙකක් තියනවා. ඒ තමයි කපූර් පවුල  සහ ඛාන් පවුල . ඉන්දියාවේ කෙතරම් සිනමා තාරකා තාරතාවියන් බිහිවුණත් මේ පවුල් දෙකත් ඔවුන් හා කරට කර තරඟ වදිනවා.  ඉතින් පසුගිය දවසක මේ කපූර් පවුලෙ තුන්වන පරම්පරාව නියෝජනය කරන මහා දැවැන්ත පුරුකක් අපෙන් සමුගත්තා.  ඒ තමයි රිෂී කපූර් 

මේ මහා සිනමා වෘක්ෂයේ පදනම තමයි පෘතවිරාජ් කපූර්.  සිනමා අධ්‍යක්ෂවරයෙක්,  නිෂ්පාදකවරයෙක්, රංගධරයෙක්  වශයෙන් ඔහුගේ‍‍  භූමිකාව නිරූපනය වුණා.  වයස  අවු 17 දි විවාහ විමත් සමග  දරුවන් 6 දෙනෙකුගේ පියෙක්  වුණා.  ඔහුගේ වැඩිමහල්ම පුතා තමයි රාජ් කපුර්.  1924 දි තමයි ඔහු උපන්නෙ.  ඊළගට ශම්මි කපුර්, ශෂි කපූර් දරුවන් , ඉන්පසු  බාල අවධියේ දි අනෙක් පුතුන් දෙදෙනා  මිය යනවා නිවුමෝනියාවෙන් හා වසක් ශරීර ගත විමෙන්.  අනෙක් දරුවා දියනියක්.  ඇය නමින් උර්මිලා කපුර් (වර්තමානයේ සියාල්) 

කෙසේ වෙතත් පෘතවිරාජ්ගේ මේ පුත්‍රයන් තිදෙනාම සිනමාවේ පතාකයෝධයන් වන්නේ ගහේකටු උල් නොකල යුතුයයි යන්න සැබෑවක් කරමින්. එයිනුත් රාජ් කපූර් පියාගේ අඩිපාරේම  යමින් රංගනය,  නිෂ්පාදනය,  අධ්‍යක්ෂණයට පිවිසුණා. 1946 දී ඔහු ක්‍රිෂ්නා කපූර් සමග යුගදිවියට එළඹුණා.  ඉන්පසු ඔහු පුත්‍රයන් තිදෙනකුගේ හා දියණියන් දෙදෙනෙකුගේ පියෙක් වුණා.  ඔවුන් නමින් රාජීවු කපුර්, රන්දිර් කපුර්,  රිෂි කපුර්,  රීමා කපූර් , රිතු කපූර් ( වර්තමානයේ නන්දා)  ඉතින් මේ රිෂිකපුර් ඉපදුනේ ඔන්න ඔය විදියටයි .




රාජ් කපුර් ක්‍රිෂ්ණා කපූර්

                                               


සහෝදරන්  පස්දෙනා  ඉහළ  වමි කෙළවරේ රාජීවිර් කපූර්  රීමා කපූර්
පහළ වම් කෙළවරේ රන්දිර් කපූර් රිතු කපුර්  රිෂි කපුර්


1952  සැප්තැමිබර් 4 වන දින උපත ලද  රිෂි කපූර් බද්‍ර යෞවන අවධියේම රාජ්කපූර් විසින්  සිනමාවට හඳුන්වාව දෙන ලදී.  ඒ 1970 දි තිරගත කරන ලද මේරා නාම් ජෝකර් චිත්‍රපටයෙනි.  එම  සිනමාපටයේ රඟපෑම වෙනුවෙන් ලබාලම ළමා රංගධරයාට හිමිවන ජාතික සිනමා සම්මානය හිමිවිය . මෙහිදී ඔහුට මෙම සිනමාපටය ඔහුගේ ප්‍රථම සිනමා පටය වුවත් ඔහු ඉතා කුචා අවධියේ සිය පියාගේ තවත් සිනමාපටයක් වූ ශ්‍රී 420 සිනමාපටයේ ගීතමය ජවනිකාවකට එක්වීමට මොහුට හැකිවිය.  ඒ ඉතා කුඩා අවධියේය.  


ඉන්පසුව 1973 දි  තම පියා විසින්ම අධ්‍යක්ෂණය කරන ලද බොබී සිනමා පටයෙන් එක රැයින් හින්දි සිනමාවේ සිහින කුමරා බවට පත්වන්නට හැකිවිය. මෙහිදී ඔහු සමග රඟපෑ ඩිම්පල් කපාඩියා නම් රංග වේදිනියගේ ද පළමු සිනමා ආගමනය විය.   මෙය එම දශකයේ බොක්ස් ඔෆීස් වාර්ථා බිඳ දැමූ සිනමාපටයක් විය. මෙම සිනමාපටය වෙනුවෙන් වසරේ විහිෂ්ටතම නළුවා ලෙස අභිශේක ලබන්නට රිෂි කපුර්ට හැකියාව ලැබිණි. මෙම චිත්‍රපටයේ අඩංගු සියලු ගිත  එක රැයින් ජනප්‍රිය විය. 



ඉන්පසු ඔහුට විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ වාණිජ හා කලාත්මක  සිනමාවේ  බොහෝ සිනමාපට සඳහා දායක වන්නට අවස්ථාව  ලැබිණි. ඒ අතර කේල් කේල් මේ,  කබී කබි , හම් කිසිසේ කම් නහි,  ආමර් අක්බර් ඇන්තනි, පති පත්නි ඔර්වො, නයාදෝර්, කර්ස් ,  දිවානා,  නාගිනා,  සර්ගම්,  දාමිනි,  දෝ ප්‍රේමි,  නසීබ්,   ප්‍රේම් රෝග්,  කුලි,  සාගර් ආදී විශාල චිත්‍රපට රැසකට දායක විය.  සිනමා දිවියේ ඔහුගේ දිර්ඝකාලීන  පෙම්වතියක්  වූ  නීතු සිං  සමඟ 1980 දී  මොහු යුග දිවියට එළඹ්යේය. එම විවාහයෙන් ඔවුන්ට රිද්දිමා නම් දියනියක්ද රන්බීර් නමින් පුතෙක්ද ලැබිණි . දියනිය මේ වනවිට විවාහ වි ඇති අතර ඇයටද දියනියක් සිටියි.  ඔහුගේ පුත්‍රයා වන රම්බිර් කපූර් මේ වනවිට ජනප්‍රිය හා දක්ෂ නළුවෙක්වන අතර ඔහුගේ පෙම්වතිය වන්නේ ආලියා භට් ය .




නිතු සිං සහ රිෂි කපුර් යුවල 


රිෂි කපූර් සිය බිරිඳ හා දරුවන් 


ඔහු මියයන තෙක්ම රංගනයේ යෙදුන නළුවෙකි.  ඔහුගේ පරම්පරාවේ මෙන්ම ඔහුගෙන් පසු පරම්පරාවේ නළුවන් හා ද උරෙන්උර ගැටී කටයුතු කිරීමට ඔහුට හැකිවිය. ඒවායේදි සම්මාන පවා දිනා ගැනීමට ඔහුට හැකිවිය.  රාජු චාචා,  යේ හේ ජල්වා,  හම් තුම්, ෆනා , නමස්තේ ලන්ඩන්,   ඕම් ශාන්ති ඕම්,,  ඩෙලි 6,  පටියාලා හවුස්, අග්නිපත්,  ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් , ජබ්තක් හේ ජාන්,  හවුස් ෆුල් 2 ,  බේෂරම්,   කපූර් ඇන්ඩ් සන්ස්,  මුල්ක් මෙවැනි අද්විතිය නිර්මාණ රැසකට දායක වූ ඔහුගේ අවසාන සිනමාපටය වූයේ ද බොඩි  සිනමාපටයයි. තම පුත්‍රයාටද සිනමාවේ දොරකවුළු විවිර කරදුන් අතර,  අද කපූර් පවුලේ සිවුවන පරම්පරාවේ සහෝදර සහෝදරියන් වන කරිෂ්මා, කරීනා මෙන්ම  රාජ් කපූර්ගේ ප්‍රතිභාවන් ද මැනවින් විදහා දක්වමින්  රන්බිර් කපූර් දක්ෂ මෙන්ම ජනප්‍රිය නළුවෙකුව සිටියි.


මොහු විසින් 2017 දි කෘතියක් නිකුත් කර ඇති අතර,  ආ අබ් ලෝට් චලේ මොහු විසින් අධ්‍යන්ෂණය කළ ප්‍රථම හා එකම සිනමා පටයයි.



2018 වර්ෂයේදී මොහුට ප්‍රථම වරට ලියුකේමියා රෝග තත්වයක් පෙන්නුම් කර  ඇති අතර, 2019 දී ඇටමිදුළු සැත්කමකට භාජනය කරන ලද අතර, එය සාර්ථක වී ඇත. එහෙත් 2020 අප්‍රේල් 29 දින හුස්ම ගැනිමේ අපහසුවකින් රෝහල් ගත කරන ලද  රිෂි කපූර් 30 වන දින අවුරුදු 67 දී  සුවහසක් සිනමා රසිකයන්ට සමුදී මෙලොවින් සමු ගත්තේය.

විචාරක දියණිය.

පස්වරු1800 පැයට






01 May 2020

නීල අම්භරයෙන් මැකී ගිය තරු දෙකක් - පළමු තරුව


මේ දිනවල වෙනදාට වැඩියෙන් ශෝක ජනක පුවත් වාර්ථා වෙනවා. ඒ සඳහා මේ වනවිට ලෝතයේ ඇතිවි තිබෙන තත්වය මෙන්ම  අනෙකුත් කාරණා ද ඇතුළත් වෙනවා. කෙසේ වෙතත් ලාංකිය සිනමා ක්ෂේත්‍ර යේ  තරු රැසක් මේ කාලය තුළ  සමු ගත්තා.  එහෙත්  ඊයේ උදැසන මා හට අසන්නට ලැබුණේ  තවත්  ශ්‍රී ලාංකීය සිනමාවේ යකඩයකු මිය ගිය පුවතයි. 

ඔහු නමින්  ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නම් විය. 1925 අගෝස්තු 25  කොළඹ කොටහේනේ  උපන් ඔහුට ලාංකීය සිනමාව මෙන්ම දමිළ හා හොලිවුඩ් සිනමාවේ දික්විජය කරන්නට හැකිවිය.  එකල හින්දි සිනමාවේ ආකෘතියට නැගුණු සිනමාවක් තුළ කථා නායිකාවක්, කථා නායකයෙක් මෙන්ම දුෂ්ටයෙක් ද විය.  මෙම දුෂ්ට චරිතය මැනවින් නිරූපනය කිරීමට මොහු සමත්විය. මේ සඳහා සටන් පුහුණුවද අවශ්‍ය විය.  ඒ අනුව මොහු ඉතා විශිෂ්ට සටන් අධ්‍යක්ෂවරයෙකුගේ භූමිකාවද  මනා ලෙස ප්‍රකට කළේය.


මේ සියල්ලටම ඔහු මනා පසුබිමක් සකසා ගෙන සිටියේය.  වයස අවුරුදු 15 දි පමණ මොහු රෙස්ලින්, ජූඩෝ, කරාටේ වැනි ශිල්පයන් හැඳෑරීය.  එමෙන්ම රෙස්ලින්වලින් ඔහු බස්නාහිර පළාත් පාසල් ශූරතාවය  දිනාගන්නා ලදී.  වර්ෂ 1959 දී  ඔහු ලිපිකරුවෙක් ලෙස මුල්ම රැකියාව ශ්‍රී ලංකා වරායෙන් ආරම්භකරන ලදී. 1961 ජාතික රෙස්ලින් තරඟාවලියද 1962 පොදු රාජ්‍යමණ්ඩල කරග නියෝජනය කිරීමටද ඔහුට හැකිවිය. මේ නිසාම 1964 ටොකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ඔහුට හැකිවිය.  එමෙන්ම 1966 බැංකොක් ආසියානු ක්‍රීඩාවලියද ඔහු නියෝජනය කළේය. පසුකාලයේ ඇතිවූ දනහිසේ ආබාධයක් හේතුකොටගෙන ඔහුට බොහෝ අගනා අවස්ථා මගහැරී ගියේ ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට ගිය එකම නළුවා මොහුය.  


ඔහුගේ සිනමා දිවියේ ආරම්භය සඳහන් වන්නේ වර්ෂ 1963 දිය. ඔහුගේ මුල්ම සිනමාපටය වූයේ වෙන ස්වර්ගයක් කුමටද යන්නයි . එය දමිළ සිනමාකරුවෙක් ටී. සෝමසේකරන් මහතාගේ චිත්‍රපටියකි. මුල් කාලීනව ඔහුට වැඩකිරීමට සිදුවන්නේ එවකට දක්ෂ දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සමගය.  මේ නිසා එය ඔහුගේ සිනමා දිවියට මහත් ආලෝකයක් විය. ඉහත චිත්‍රපටයේ ඔහුගේ මුල්ම රඟපෑම වූයේ සටන් ජවනිකාවකි. ඒ මහා රංගධර හෙන්රි ජයසේන සමගයි.  එහෙත් එම දර්ශනය චිත්‍රපටයෙන්  හිතාමතාව ඉවත්කර තිබුණි. මේ කාලයේදීම ඔහුගේ හොඳම මිතුරෙකු වූ  එච්. ආර්. ජෝතිපාලගේ සහයෙන් ඔහුට ලෙනින් මොරායස් නම් ප්‍රබල සිනමාකරුවාත්, රොබින් ප්‍රනාන්දු නම් සටන් අධ්‍යක්ෂකවරයාත්  හඳුනාගැනිමේ භාග්‍යය හිමිවිය. වර්ෂ 1964 දී ඔහුගේ ආරාධනයෙන් රුහුණු කුමාරි චිත්‍රපටයට එක්විය.  ඉන්පසු 1968 අටවෙනි පුදුමය 1969  කොහොමද වැඩේ යන සිනමාපටවලට දායක විය.  




රුහුණු  කුමාරි  චිත්‍රපටය තිරගතවීමෙන් පසු මොහු ඉතා ජනප්‍රියතාවයට පත්වන අතර,  ඒ නිසාම 1972 ජෝ අබේවික්‍රමයන් විසින් ඔහුට හාර ලක්ෂයෙහි රඟපාන්නට ආරාධනා කළේය.  හාර ලක්ෂය ඔහුට හැරවුම් ලක්ෂයක් විය. ප්‍රථමවරට ඔහු චරිතාංග නළුවෙකු වන්නේ මෙම සිනමාපටයෙනි.  ප්‍රථමවරට  ඔහු දෙබස් කියන්නේ මෙම චිත්‍රපටයටය.  මෙහි නිර්මාණකරු වන්නේ ටයිටස් තොටවත්ත සූරීන්ය.  එම වසරේ තවත් චිත්‍රපට රැසකට දායකවන්නට අවස්ථාව ලැබුණි. රජගෙදර පරවියෝ, සරදියෙල්ගෙ පුතා, එම සිනමාපටයන්ය.  1973 මාතර ආච්චි,  දැන් මතකද,  සුහද පැතුම , සහයට ඩැනී වැනි සිනමාපට  විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ රගපෑවේය.  1977 ව්ර්ෂයේ දී ඔහු හෙළයේ මහා සක්විති ගාමිණි ෆොන්සේකා සමග යකඩයා චිත්‍රපටයේ රඟපෑවේය.  ප්‍රධාන සටන් චරිතයක් රඟ දක්වමින් ඔහු මෙම සිනමාපටයට දායකවිය. මෙහිදී එක් දර්ශනයකදි මොහුගේ ප්‍රහාරයකට නතුවන ගාමිණීට දින තුනක් යනකම් ඇස්දෙ ඇරීමට නොහැකි වී ඇත. 


ඉන්පසු වර්ෂ 1982 පමණ වනවිට වේදිකාවට ද සම්බන්ධ විය.  ඒ සඳහා ඔහුට ඇන්තිනි සී පෙරේරා ගේ සහ  නාමෙල් විරමුණිගේ සහය ලැබුණි.   1983 වර්ෂයේ මර්වින්  ජයතුංග හා ආනන්ද හේවගේ අධ්‍යක්ෂණය කළ පසමිතුරෝ  සිනමා පටයට දායක වූ අතර,  එම චිත්‍රපටයේ යථාර්ථවාදි සිනමා රංගනයක් උදෙසා   ඔහුට ජනාධිපති සම්මාන හිමිවිය.


සිනමාවේදී ඔහුගේ  අතගත් පෙම්වතිය වූයේ සෝනියා දිසාය.  ඇය සමඟ ඔහු පෙමිවතාගේ චරිතය  රඟදක්වමින් බොහෝ  සිනමාපට වර්ණවත් කළේය.  ශ්‍රී මධාරා,  ඇගෙ ආදර කථාව,  සහයට ඩැනී,   කවුද රජා,  හරිම බඩු තුනක් එම සිනමාපට වේ.  ඔහු දමිළ සිනමාවද හොලිවුඩ චිත්‍රපටයකට ද දායක වී ඇත.  


අනෝමා  ලුම්බිණි නමැති  කාන්තාව 1978 විවාහකරගත් ඔහු තිදරු පියෙකි.   මිය යනවිට  79 වන වියෙහි වූ අතර , සිංහල සිනමාවේ තවත් මහා පුරුකක් අද දින අපෙන් සමුගන්නා ලදී .


අන්තර්ජාලය ඇසුරිණි

විචාරක දියණිය  පෙ ව 01 00 පැයට 



.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }