හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label කලාව සහ සාහිත්‍යය. Show all posts
Showing posts with label කලාව සහ සාහිත්‍යය. Show all posts

29 March 2018

70 වසක් සපුරන සිංහල රිදී තිරය


ලාංකීය සිනමා වංශකතාවේ මූලාරම්භය සඳහා ඉන්දියානු හා දකුණු ඉන්දියානු , ආසියානු සිනමාව මෙන්ම ලෝක සිනමාව ගුරුකොට ගත්හ. 1947  ජනවාරි 21 වැනිදා සිංහල රිදී තිරයේ  කුළුදුල් නිර්මාණය වූ “කඩවුණු  පොරොන්දුව “   තිරගත වීමත් සමග  හෙළ සිනමාවේ ආරම්භය සනිටුවහන් විය . බි. ඒ .ඩබ්ලිවු. ජයමාන්න, රුක්මණී දේවිය ප්‍රධාන නළුනිළි යුවල වූ අතර  එහි අධ්‍යක්ෂක්වරයා වූයේ ජෝයිටිෂ් වික්‍රමසිංහ මහතායි  . එලෙස ඇරඹි ලාංකිය සිනමාවේ ඊළඟ හැරවුම් ලක්ෂය වූයේ වර්ෂ  1956 තිරගත වූ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කළ “රේඛාව” චිත්‍රපටියයි. මුල්වරට ස්වභාවික දර්ශනතල හා ලාංකීය කථා තේමාවක් පදනම් කරගනිමින් නිර්මාණය වුණු මෙහි ප්‍රධාන චරිත රඟපෑවේ ආනන්ද ජයරත්න , අයිරාංගනී මීදෙනිය විසිනි . එහි සංගීත නිර්මාණය සුනිල් ශාන්තයන් විසිනි .


රුක්මණී දේවි

ශ්‍රී ලාංකීය  සිනමා  අඹරේ  පළමු වර්ණ චිත්‍රපටය  වර්ෂ 1962 මයික් විල්සන් විසින් අධ්‍යක්ෂණය කළ “ රන්මුතුදූවයි “  එහි ප්‍රධාන නළු නිළි යුවල වූයේ ජීවරාණි කුරුකුලසූරිය සමග ගාමිණි ෆොන්සේකා මහතායි . සංගීතය ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී අමරදේව සූරීන් විසිනි . නන්දා මාලිනි , නාරද දිසාසේකර  ප්‍රධාන ගායක ගායිකා යුවල විය .  සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිනමාවට පිවිස, දෛවයෝගය චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයකට පණපොවමින් රංගනයට පිවිසි ගාමිණි ෆොන්සේකා මහතා ,පළමුවරට ප්‍රධාන චරිතයක් නිරුපණය කරන්නේ මෙම සිනමා පටයේය.  ශේෂා පලිහක්කාර හා ආතර් සි ක්ලාර්ක් මහතා මෙහි සම නිෂ්පාදකවරුන්ය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේම තවත් නිර්මාණයක් වූ ”ගම්පෙරළිය” සිනමා පටය  ශ්‍රී ලාංකික රසික ප්‍රජාටව කලාත්මක සිනමාව හඳුන්වාදීමට ගත් අතිශය සාර්ථක වෑයමක් ලෙස හැඳින්විය හැකිය. වර්ෂ 1963 තිරගතවුණු මෙම සිනමා පටය පුන්‍යා හීන්දෙනිය , හෙන්රි ජයසේනයන් අතින් හැඩ විය.ටෝනි රණසිංහයන්ගේ පළමු සිනමා ආගමනය විය.  කිසිදු ගීතයක් අන්තර්ගත නොවූ පළමු චිත්‍රපටය ලෙස මෙය සිනමා වංශ කතාවේ සනිටුවහන් වි තිබේ.

60 දශකය වර්ණවත් කළ සිනමාපට මෙන්ම එය සුපෝෂණය කළ අධ්‍යක්ෂකවරු මෙන්ම සංගීත නිර්මාපකයන්ද ගායක ගායිකාවන්ද රැසකි . සංදේශය , අදට වැඩිය හෙට හොඳයි , සිකුරු තරුව, සාරවිට , දෙලොවක් අතර, සැනසුම කොතනද,  ගැටවරයෝ , පරසතු මල් , සත් සමුදුර, ධීවරයෝ , අක්ක නගෝ , ගොළු හදවත , රන්සළු , බිනරමලී, දරුවා කාගේද , සත පනහ , සිඟිති සුරතල් , ස්වීප් ටිකට් , නාරිලතා, රෑන ගිරවු , කුරුළු බැද්ද, බක්මහදීගේ  එම සිනමාපට පොකුරේ රිදී සීනුය . වර්ෂ 1968 තිරගත වූ “පුංචි බබා” චිත්‍රපටය , හෙළ සිනමාවේ නිළි රැජිනිය වූ මාලනි ෆොන්සේකා මහත්මියගේ කුළුදුල් සිනමා ප්‍රවිෂ්ඨයයි. ප්‍රධාන චරිතයකට පණ පොවමින් ඈගේ රංගන දිවිය ආලෝකමත් කළේ තිස්ස ලියනසූරිය මහතා විසිනි. 1955 වර්ෂයේ තිරගත වූ  දේවසුන්දරී  චිත්‍රපටයෙන් සිනමාලොවට පිවිසි ජෝ අබේවික්‍රම මහතා සාරවිට චිත්‍රපටය තුළින් ජනප්‍රියත්වයට පත්විය එමෙන්ම වර්ෂ 1969 තිරගතවුණු සුගතපාල සෙනරත් යාපා අධක්‍ෂණය කළ “හන්තානේ කතාව ” ඒ අසහාය සොඳුරු මිනිසා වූ විජය කුමාරතුංග මහතාගේ  සිනමා ආගමනය සනිටුවහන් කළේය.  ඒ අනුව 60 දශකය වර්ණවත් කිරීමට දායකත්වය සැපයූ අධ්‍යක්ෂකවරුන් රාශියකි.  ලෙස්ටර් ජේම්ස් පීරිස් , තිස්ස ලියනසූරිය , කේ . ඒ. ඩබ්ලිවු . පෙරේරා , එම් මස්තාන් , මයික් විල්සන් , රොබින් තම්පෝ , ටයිටස් තොටවත්ත , කිංස්ලි රාජපක්ෂ , ඩබ්ලිවු. එම්. එස්. තම්පෝ, ලෙනින් මොරායස්, ටී සෝමසේකරන් , එල් එස් රාමචන්ද්‍රන්   ආදීන් වූහ . හින්දි සිනමාවේ හා දමිල සිනමාවේ අධ්‍යක්ෂකවරු ඒ අතර වූහ.  ආර් මුත්තුසාමි ,  එම් කේ රොක්සාමිගේ, ධර්මදාස වල්පොල, ඩබ්ලිවු. ඩි. අමරදේව   සිනමා සංගීතයෙන් මෙම සිනමා පට ආලෝකමත් විය. සුජාතා අත්තනායක, නන්දා මාලිනි, ඉන්ද්‍රානි විජේබණ්ඩාර , සිසිර සේනාරත්න ,  නාරද දිසාසේකර, වික්ටර් රත්නායක , ජේ. ඒ. මිල්ටන් පෙරේරා ලතා වල්පොල ,  ඇන්ජලින් ගුණතිලක ,  එච්. ආර්. ජෝතිපාල , ෆ්‍රෙඩි සිල්වා ගේ  සුමදුර ගායනයෙන්  රිදීතිරය ඒකාලෝක විය.

ශ්‍රී ලාංකේය  ඉතිහාසයේ  රිදීතිරයේ මෙන්ම සප්ත ස්වරයේ  ස්වර්ණමය  යුගය 70 දශකයයි. හෙළ සිනමා වංශකතාවට බොහෝ දෑ එකතු පහදු  කරන්නට  මේ දශකයේ සිනමාවට හැකිවිය. අක්කර පහ, නිධානය , දෑස නිසා , වීර පුරන් අප්පු , අහසින් පොළවට, මඩොල් දූව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ සිනමා කාචයෙන් වර්ණවත් විය . 1972 තිරගතවුණු  “නිධානය” ලාංකීය සිනමාවට සැබවින්ම නිධානයක් විය. සිනමා සක්විති  ගාමිණි ෆොන්සේකා මහතා හෙළ නිළි රැජින මාලනී ෆොන්සේකා රංගධරයන්ගේ විශිෂ්ට රංගනයෙන් ඔපවත්වුණු මෙම සිනමාපටය අන්තර්ජාතික සිනමා උළෙලවල් නියෝජනය කරන ලදී . ලන්ඩන් අන්තර්ජාතික සිනමා උළෙලේ 50 වසරක හෙළ සිනමාවේ විශිෂ්ටතම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්නා ලදී . තිස්ස අබේසේකරගේ තිර රචනයෙන්ද ප්‍රේමසිරි කේමදාස සූරීන්ගේ සංගීතයෙන් එය තවදුරටත් රසවත් විය . මහගම සේකර සූරීන් සිය  නිර්මාණයක් වූ  තුං මං හන්දිය සිනමාවට නගන ලදී . නීල් රූපසිංහ  විසින්   හතර දෙනාම සූරයෝ,  ටයිටස් තොටවත්ත සූරීන් විසින් හාර ලක්ෂය , මංගලා , මරුවා සමග වාසේ , සාගරිකා,  හඳයා යන සිනමා පට රිදී තිරයට දායාද කළේය . හඳයා ලාංකීය සිනමාවේ ළමයින් වෙනුවෙන් නිර්මාණය කළ පළමු  චිත්‍රපටයයි . මේ යුගයේදී කලාත්මක සිනමාව හා වාණිජ සිනමාව ඉතා දියුණු මට්ටමක පැවතිණි. ඒ නිසාම නළු නිළි යුග බිහිකරන්නට සමත් විය . ගාමිණි - මාලනී යුගය  හතර දෙනාම සූරයෝ , නිධානය , සහනය , එදත් සූරයා අදත් සූරයා, ආදරේ හිතෙනව දැක්කම, සදහටම ඔබ මගේ , කස්තුරි සුවඳ , සැණකෙළිය , ආවා සොයා ආදරේ , සූරයා සූරයාමයි , නයනා මෙන්ම තුෂාරා , මේ දෑස කුමටද , එයා දැන් ලොකු ළමයෙක් , සංගීතා , දියමන්ති , අනුපමා, කුණ්ඩලකේසි යන සිනමා පටතුළින්  විජය - මාලනී යුගයක්ද බිහිවිය

                                                        නිධානය සිනමා පටයෙන් 

මෙම දශකය තුළ රවින්ද්‍ර රන්දෙනිය, ගීතා කුමාරසිංහ ශ්‍රියානි අමරසේන , අමරසිරි කලන්සූරිය,  නීටා ප්‍රනාන්දු , තිස්ස විජේසුරේන්ද්‍ර,  මානෙල් වානගුරු , සෝනියා දිසා වැනි රංගවේදීන් හා රංග වේදිනියන් සිනමාවට එක්විය. වැලි කතර , දෑසනිසා , ආශා දෑසින් , අපේක්ෂා, ලසඳා ,සුහද පැතුම, සුරේඛා, නිල්ල සොයා,  සිකුරු ලියා , දුහුළු මලක් , වාසනා , රජගෙදර පරවියෝ , නෑදෑයෝ, තරංගා,  හිත හොඳ මිනිහෙක්, සරුංගලේ  වැනි සිනමාපට තුළින් මොවුන් ජනප්‍රියත්වයට පත්විය. සිය සැමියා සමග නිරන්තර සිනමා අත්දැකීම් විඳි සුමිත්‍රා පීරිස් සිය කුළුදුල් නිර්මාණය වූ “ගැහැණු ළමයි” වර්ෂ 1978 දී තිරගත කළාය. එහිදී “වසන්ති චතුරානි” නම් සිනමාවේදිනියගේ දොරට වැඩිම සිදුවිය. එමෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් , ලෙනින් මොරායස් , කේ. ඒ . ඩබ්ලිව් පෙරේරා , සුගතපාල සෙනරත් යාපා  ඩි. බී. නිහාල්සිංහ, සුනිල් ආරියරත්න , යසපාලිත නානායක්කාර,  එච් .ඩි. ප්‍රේමරත්න යන සිනමාවේදීන් මේ දශකයේ පුරෝගාමි සිනමා කරුවෝ වූහ.  ධර්මසේන පතිරාජයන් සිය කුළුදුල් සිනමා නිර්මාණය 1974 වර්ෂයේදී “ අහස් ගව්ව “  නමින් සිනමාවට දායාද කළේය. ඉන්පසුව ,  එයා දැන් ලොකු ළමයෙක් , බඹරු ඇවිත් සිනමාපට තුළින් ප්‍රවිෂ්ට වුණු පතිරාජයන් පාරදිගේ , සොල්දාදු උන්නැහේ , වාසුළි , සක්කාරන් හරහා සිය සමාජ මෙහෙවර ඉටුකළේය. මැද මාවතේ සිනමා කරුවෙක් ලෙස විචාරක අවධානය දිනාගත් මෙතුමාගේ නිර්මාණ සියල්ලම පාහේ අන්තරජාතික සම්මානවලින් පිදුම් ලැබීම විශේෂත්වයකි.

               1980 දශකය වනවිට එවකට පැවති ආර්ථික ප්‍රතිපත්තියත් සමග වාණිජ සිනමාව බොහෝ දුරට ඉස්මතු විය. එහෙත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ කලියුගය හා යුගාන්තය චිත්‍රපටි නැවතත් කලාත්මක සිනමාවේ රස ස්පර්ශ කළේය. සුමිත්‍රා පීරිස් මැතිණිය ගඟ අද්දර , මායා, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා යන සිනමාපට දායාද කළාය.  ස්ත්‍රීවාදී චරිත ඉස්මතු කරමින් ඇය මෙම නිර්මාණ ප්‍රතිරූපණය කළාය. යසපාලිත නානයක්කාර , එච්. ඩි. ප්‍රේමරත්න , සුනිල් සෝම පිරිස් , සුනිල් ආරියරත්න , ගාමිණී ෆොන්සේකා , වසන්ත ඔබේසේකර,  රෝයි ද සිල්වා, තිස්ස අබේසේකර, හර්බට් රංජිත් පීරිස්, සේන සමරසිංහ, ඩි. බී. නිහාල්සිංහ , දිනේෂ් ප්‍රියසාද්, හේමසිරි සෙල්ලපෙරුම  වැනි සිනමා නිර්මාණකරුවන් මේ යුගයේ රිදීතිරය එකළු කළහ. උතුමාණෙනි , ටක් ටික් ටුක් , ආදර රත්නේ, පරිත්‍යාගය, එක් ටැම් ගේ , සිරි බෝ අයියා , කරුමක්කාරයෝ , වජිරා බැද්දේගම , බිත්ති හතර ,  යහළු යෙහෙලි , චංචල රේඛා , සුමිතුරෝ, දඩයම, ඈතින් ඈතට, දෙවෙනි ගමන , මිහිදුම් සළු ,අරලිය මල්,  ඔබට දිවුරා කියන්නම් , රෝසි , යලි හමුවෙන්නයි , පෙරළිකාරයෝ, මල්දෙනියේ සිමියොන් , කොටි වලිගය,  දිනුම , ආදර හසුන , මංගල තෑග්ග , රජ වැඩ කාරයෝ , නොම්මර එකයි , කවුළුව ,  විරාගය , ඔබටයි ප්‍රියේ ආදරේ , රස රහසක් , නැව ගිලුනත් බෑන්චූන් , මමයි රජා , කැඩපතක චායා, නොම්මර 17 , ඔබට රහසක් කියන්නම් , සිරි මැදුර යන සිනමාපට රිදී තිරය වර්ණවත් කළහ. සනත් - සබීතා , ජීවන් - සබීතා යන යුගයන් බිහිවිය සබීතා පෙරේරා ජීවන් කුමාරණතුංග , සනත් ගුණතිලක , ශෂී විජේන්ද්‍ර , අනෝජා වීරසිංහ මේ දශකයේ සිනමාව බිහිකළ සිනමාවේදීන් වූහ. එම යුගහේ බිහිවූ විශිෂ්ටම සිනමාවේදියා ලෙස ධර්මසිරි බණ්ඩාරනායක මහතා හැඳින්විය හැකිය. 1980 වර්ෂයේ  “ හංසවිලක් “ සිනමාකෘතියෙන් අරඹා,  තුන්වෙනි යාමය,  සුද්දිලාගේ කථාව,  බව දුක හා බව කර්ම ඔහුගේ සිනමාභිශේකයයි.

1990 දශකයේ සිනමාව මෙතෙක් ආ සිනමා ගමනේ  යම් හැරවුම් ලක්ෂයක් පෙන්නුම් කළ දශකයකි. ඉකුත් දශකයේ අගභාගයේ සිදුවූ දේශපාලන ක්‍රියාකාරකම් සිනමාවටද බලපෑමක් එල්ල කිරීමට සමත්විය. කෙසේවෙතත් 1990 දශකයේ සිනමාව ලාංකීය සිනමා කරළියට  තවත්  සුරුපිනින් දෙදෙනෙක් දායාද කළහ. ඒ 1990 වර්ෂයේ යසපාලිත නානායක්කාරගේ දේදුන්නෙන් සමනලියක්“ සිනමාපටයෙන් පිවිසි දිල්හානි ඒකනායක හා 1993 සප්ත කන්‍යා “  සිනමාපටයෙන්  සිනමාවට පිවිසි සංගීතා වීරරත්නයි. සප්ත කන්‍යා සිනමාපටය ඒ යුගයේ සිනමාපට අතර සුවිශේෂී නිර්මාණයක් විය. යෞවනත්වය කුල්මත් කළ සිනමාපටයක් ලෙස එය හැඳින්විය හැකිය.  පාලම යට , ක්‍රිස්තු චරිතය , චණ්ඩිරජා , කෙළිමඩල , මධු සමය , සලඹක් හඬයි,  ධනය, මල්සර දෝණි,   ඡායා,  ගුරුගෙදර ,සුරබිදෙන , චායා මායා , යසස , ලඳුනි ඔබ දෙවඟනකි , නොමියෙන මිනිස්සු , ධවල පුෂ්පය , සුජාතා, පවන රළුවිය,  සුදු පිරුවට,  අරගලය,  මී හරකා,  වාසනා වේවා, සිසිල ගිනි ගනී ,  සෙයිලම,  මාරුතය,  අවරගිර,   සිහින දේශයේ, සුර දරුවෝ , ලොකුදුව, යසෝමා,  දුවක මවට මිස,  තරණය,  විසි දැළ , චන්ද කින්නරී , ගිනි අවි සහ ගිනිකෙළි , පවුරු වළල්ල, චෙරියෝ කැප්ටන්,  චෙරියෝ ඩොක්ටර් ,  රෑ දනියෙල් දවල් මිගෙල් 1, බහු භාර්යා , දොරකඩ මාරාව,  ජුලියට්ගේ භූමිකාව වැනි නිර්මාණ බිහිවිය.  රන්ජන් රාමනායක , ඩිලානි අබේවර්ධන , මහේන්ද්‍ර පෙරේරා , කමල් අද්දරආරච්චි , ලින්ටන් සේමගේ , දමිත් ෆොන්සේකා, යශෝධා විමලධර්ම  වැනි සිනමා රංගධරයන්ගේ ප්‍රවිෂ්ටය මෙම යුගයේ සිදුවිය. විශ්වනාත් බුද්ධි කීර්තිසේන , ප්‍රසන්න විතානගේ, උදයකාන්ත වර්ණසූරිය , හේමසිරි සෙල්ලපෙරුම, දිනේෂ් ප්‍රියසාද් , යසපාලිත නානායක්කාර , සුනිල් ආරියරත්න , සුනිල් සෝම පීරිස්, වසන්ත ඔබේසේකර, අශෝක හඳගම , ඩි. බී. නිහාල්සිංහ , එච්. ඩි. ප්‍රේමරත්න, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්,  සුමිත්‍රා පීරිස් මෙම සිනමාපටවල නිර්මාණ කරුවන් වූහ . මේ කාලය වනවිට කාම චිත්‍රපට රැල්ලක්  සිනමාවේ ගමන් ගනිමින් තිබුණි . දේශපාලන වියවුල් සහගත බව හමුවේ සිනමා  ශාලා ගිනි තැබීම , සිනමා ශාලා  ඉවත් කිරීම වැනි දෑ හමුවේ  ප්‍රේක්ෂකයා ඒ වෙත යොමුකර ගැනීමට විවිධ අත්හදා බැලීම් සිදුකරන ලදී . එහිදී රෝයිද සිල්වා වැනි අධ්‍යක්ෂකවරුන් කාමරැල්ල වෙනුවට ප්‍රහසන රැල්ලක් නිර්මාණය කළේය.


                            සප්ත කන්‍යා සිනමාපටයෙන් 
  
2000 දශකය් වනවිටත් කාම රැල්ල තවදුරටත් ක්‍රියාත්මක වුවත් උදයකාන්ත වර්ණසූරිය , ප්‍රසන්න විතානගේ , සෝමරත්න දිසානායක, බෙනට් රත්නායක ,  ජයන්ත චන්දරසිරි වැනි නිර්මාණ කරුවන් අශෝක  හඳගම නව සිනමාවක් කර ගමන් අරඹන බවක් දක්නට ලැබුණි . එමෙන්ම නව සිනමා කරුවන්ගේ විශිෂ්ට ප්‍රවිෂ්ටයන් දක්නට ලැබුණි . විමුක්ති ජයසුන්දර බූඩි කිර්තිසේන , චන්න පෙරේරා රන්ජන් රාමනායක සංජය නිර්මාල් , සනත් ගුණතිලක , ගිරිරාජ් කෞශල්‍ය , ජැක්සන් ඇන්තනි, සුදත් රෝහණ  එවැනි නිර්මාණ කරුවන් කිහිපදෙනෙකි  රාජ්‍ය සේවය පිණිසයි රෝස වසන්තේ කිණිහිරියා මල් , සරෝජා,  අනන්ත රාත්‍රිය,  මේ මගේ සඳයි,  පුරහඳ කළුවර,  අස්වැසුම , සුදු සෙවනැලි , බහුභූතයෝ, පුංචි සුරංගනාවී,   සලෙළු වරම,  අග්නි දාහය ,  පුරසක්මන,  තනි තටුවෙන් පියාඹන්න , ලේ කිරි කඳුළු,  සුළඟ එනු පිණිස,  සුදු කළුවර,  වෑකන්ද වලව්ව,  සුළං කිරිල්ලී ,  සක්මන් මළුව, සූරිය අරණ , ආදරණීය වස්සානය , මිල්ලේ සොයා,  රන්දිය දහර , අසනී වර්ෂා,  ඉර මැදියම,  ගරිල්ලා මාර්කටින්,  සමනල තටු,  සුළඟ , හිරිපොද වැස්ස , නිලම්බරේ,  සමාරා, අංජලිකා , අම්මාවරුනේ ,  සංඛාරා , උත්පලවන්ණා,  සිකුරු හතේ,  ආසයි මං පියාඹන්න,  යහළුවෝ,   හාර්ට් එෆ් එම්,  සිරි රජ සිරි ,  රෝස කැලේ ,  අබා,  මචං,  පායා එන්න හිරුසේ,   ලීඩර්,  ආකාස කුසුම්,  ඩාන්සින් ස්ටාර්,  අලිමංකඩ,  එකමත් එක රටක එම දශකයේ සිනමාව එකළු කළේය. මේ යුගයේ නිර්මාණය වුණු ආදරණීය වස්සානය සිනමා පටය සහශ්‍රකයේ තාරුණ්‍යයේ සිත් ගත් සිනමා පටයක් විය. 

2000 දශකයේ සිනමාවට නව අරුතක් එක කරන ලදී .  පූජා උමා ශංකර් , කාංචනා මෙන්ඩිස්, අනර්කලී ආකර්ෂා , රෝෂන රණවන , චතුරිකා පීරිස් , උදාරි වර්ණකුලසූරිය , සචිනි අයේන්ද්‍රා,  තුමිදු දොඩන්තැන්න, නිරෝෂා පෙරේරා , සුරාජ් මාපා , දමිතා අබේරත්න , නිල්මිණි තෙන්නකෝන් , පුබුදු චතුරංග , ගයාන් වික්‍රමතිලක , අකිල ධනුද්දර , වැනි බොහෝ පිරිසක් මේ සිනමා පට හරහා ක්ෂේත්‍රයට අවතීර්ණ වූහ.  

මෑත යුගයේ සිනමාව තවත් බොහෝ දුර ගමනක් යාම සඳහා  ආයෝජනය කරමින් සිටිනු දක්නට ලැබේ එවැනි කලෙක ජයන්ත චන්ද්‍රසිරි ගේ  “ සමනල සංධ්‍වනිය “ වැනි සිනමා පට විශිෂ්ට නිර්මාණ වේ . ප්‍රවේගය , කලර් , හෝ ගානා පොකුණ, සරිගම  , නෙලා , වැනි නිර්මාණයන් ඔස්සේ 70 වසරක් අභිමානවත් සිනමාවක් අපි පසුකර සිටින්නෙමු.    













09 December 2016

වටු කිරිල්ලී හමුවීම සහ කැකිරිහේනේ රජ්ජුරුවෝ

ඔය ඇත්තන්ට මතකද මම ටික දොහකට උඩදී කතාවක් හෙවත් කටන්තරයක් ලිව්වා, වඩු කිරිල්ලියෙක් ගැන. අපේ ඉකොනොමැට්ටා තුමා, ඒ කතාව කියවලා මතයක් ප්‍රකාශ කළා, එය වඩු කිරිල්ලී වෙන්න බැහැ, වටු කිරිල්ලී වියයුතුයි කියලා. 

හරිනේ වැඩේ. බලනකොට වටු කිරිල්ලී නේන්නම්. ඊයේ පෙරේදා මගේ අසල්වැසියකුගේ නිවසේ ඉඳලා, මේ වටු කිරිල්ලිව මට අහම්බෙන් මුණගැහුණේ නැතෑ. ඕකනේ කියන්නේ, අර අහවල් එකට අහවල් එකක්, අහවල් දිහාවේදී හමුවෙනවා කියලා. මේ ඉන්නේ වටු කිරිල්ලී.



මේක ලස්සන ජනකතා එකතුවක්. ඒ.පී.ගුණරත්න මහතා ගැන තමුන්නාන්සේලාට අමුතුවෙන් හැඳින්වීමක් කරන්න අවශ්‍ය නැහැනේ. එතුමාගේ පරිවර්තන කෘති කියවා නැත්නම් වැඩක් නෑ හරිය? 

මේ පොතේ කථා 40 ක් තියනවා. මේ නිවාඩු කාලේ කියවන්න කියලා, පාසල් දරුවන්ට මේ පොත අරං දුන්නොත් නාකද? නිකං කාටුන් බල බලා, පෝන් ගේම් ගගහා ඉන්න වෙලාවේ, මොළයට යමක් දාගැනීම සඳහා. අනික විෂයය බාහිර කියවීම් අතින් අපේ දරුවන් බොහොම දුර්වලයි. 

ඔන්න මේ පොතේ තියන කතාවක් පහළින් දානවා. අනේ මේ, මට තේරෙන්නේ, මේක කතාවක් කියලා විතරයි. ඔය ඉකොනොමැට්ටා තුමා, රාජ් ගොයියා, අර නාහෙට නාහන මාතලන් ගොයියා, අපේ ඉයන් උන්නැහේ, මේ කතාව කියවලා මොන මොන අර්ථකථන දෙයිද මන්දා. මම මේ කතාව දාන්නේ පාසල් නිවාඩුව ගතකරන ළමයින්ට කියවන්නයි. මක්කිව්වා? ඔව් ඉතින් දියවන්නා පාසලේ දරුවන්ටත් ගැලපෙනවා මේ කතාව. 




හ්ම්.............මටත් කැකිරිහේනක් තිබුණානම්................

2016 දෙසැම්බර් මස 09 වැනි දින 2330 පැය 

07 November 2016

හින්දි ටොප් 10

   මේ ලිපිය ලියන්න පාදක වුණේ, අපේ දිනේෂ් මහතා විසින් පවත්වාගෙන යන වර්ණ බ්ලොග් අඩවියේ පළවූ හින්දි ටොප් 10 ලිපියයි. පහුගිය දිනවල ඉයන් උන්නැහේ බෝකරපු සිංහල ගීත 16 ලෙඩේ තව පැත්තකට හැරිලා, වර්ණ අඩවියට හින්දි ටොප් 10 ඇවිල්ලා තිබුණා. වර්ණ අඩවියේදී මා සඳහනක් කළා, මමත් හින්දි ටොප් 10 ලිපියක් ලියන්නම් කියා. ඔන්න ඒ අදහස, අදයි මුදුන් පමුණුවා ගන්නේ. කී දෙනෙක් මේ ලිපිය රසවිඳියිද කියා කියන්න බැහැ. මක්නිසාද යත්, හින්දි චිත්‍රපටි ගීතවලට, සිංහල බ්ලොග් ලෝකය තුළ, එතරම් කැමැත්තක් නැතිබව තමා, මා මෙතෙක් කල් ලබා තිබෙන අත්දැකීම. ඒ කෙසේවෙතත්, හින්දි ගීත ප්‍රියකරන කීපදෙනා වෙනුවෙන් හෝ මේ ලිපිය ඉදිරිපත් කරනවා. 

   හින්දි චිත්‍රපටි නරඹන්නත් පෙර සිට, මා අවුරුදු 8 - 10 වයසේ සිටියදී තමයි, ගුවන් විදුලියෙන් සහ/හෝ LP තැටිවලින්, හින්දි ගීත අහන්නට ලැබුනේ සහ ඒ ගැන යම් ඇල්මක් ඇතිවුණේ. මේ ගීතවල වාච්‍යාර්ථය නොදැන සිටියත්, ඒ ගායනා තුළ ඇති, සංවර, මධුර මනෝහර, ලයාන්විත බව, හා සුඛෝච්ඡාරණ බව, මා තුළ කිසියම් භාවෝද්දීපනයක් ඇති කළායයි කියා කිව්වොත්, මා නිවැරදියි. පසු කාලයේදී, හින්දි චිත්‍රපටි නරඹන්නට ලැබීමත් සමග, ඒ බැඳීම තවත් තරවුනා. 

   ඇත්තෙන්ම, එදාමෙදාතුර මා නරඹා ඇති හින්දි චිත්‍රපටි වලින්, පසුබිම්  ගීත දහයක් තේරීම, ඉතා අපහසු ක්‍රියාවක්. කීප වතාවක් කටු සටහන් යොදා බැලුවත්, එය මට විශාල අභියෝගයක්. අවසානයේදී, තරමක් සිත දැඩි කරගෙනයි, මේ ගීත දහය තෝරාගත්තේ. 

   මේ ගීත තෝරන්නේ, මා මනසට නැගුනු ආකාරයට විනා, හොඳම ගීත දහයක්, 1,2,3,4, ලෙසින් දැක්වීමක් නොවන බවත්, අවධාරණය කරන්නට කැමතියි. 

1. විරහවේ උච්ඡ ස්වරය - මා හද ඔබ අමතයි ප්‍රියේ, එනුමැන මා සොයා 

  මේ ගීතය අයත්වන්නේ මා මෙලොව එළිය දුටු 1954 වසරටයි. දැන් ඔබ අහයි, ඉපදුන ගමන් චිත්‍රපටි බැලුවද කියා. නැහැ. මේ ගීතය ඇතුළත් 'නාගින්' චිත්‍රපටිය, මා නැරඹුවේ, 1960 දශකයේදීයි. එකල, සිය තාරුණ්‍යයේ උච්ඡ අවස්ථාවේ සිටි, ඉන්දීය චිත්‍රපටි නිළි වෛජයන්තිමාලා, මේ චිත්‍රපටියෙන්, ප්‍රේක්ෂක හදවත් ඇද බැඳ තබාගත්තේ, ඉතා විශ්මයජනක ආකාරයටයි. ප්‍රේමයේ විරහව, සිය රංගනයෙන් මොනවට පිළිබිඹු කරන ඇය, මේ ගීතයේදී මෙසේ කියනවා. 

   පෙම්වත, විරහ දුකින් පෙලෙන මා හදවත, මෙලෙස ඔබ අමතයි. තෙත්බර කාලගුණයක මම සිටිමි. ඔබ කොහිද? එන්න මා වෙත සැනසුම රැගෙන. ඔබ නැති මේ වසන්තය සහ සිහිල් මන්ද මාරුතය කුමටද? ඔබ නැති ලොව පාළුවී ඇත. මා කුමක් කලයුතුදැයි, මෙහි පැමිණ මට කියන්න. මගේ ආදර නිවස, කුණාටුවලින් වනසා දමා ඇත. සිනහවෙන් පිරි මගේ ආදර ලොව, සොරකම් කර ඇත. මා වියැකී යන්නට පෙර, ඔබේ මන්දස්මිතයක්වත් දැකගන්නට, මෙහි පැමිණෙන්න මා පෙම්වත.

මෙරා දිල් යේ පුකාරේ ආජා - චිත්‍රපටිය:- නාගින් (1954), රංගනය:- වෛජයන්තිමාලා,  ගායනය:- ලතා මංගෙස්කාර්, ගීත රචනය: රාජේන්ද්‍ර ක්‍රිෂන්, සංගීතය:- හේමන්ත් කුමාර්. (1954 වර්ෂයේ, හොඳම චිත්‍රපටි පසුබිම් සංගීතය සඳහා, 'ෆිල්ම්ෆෙයා' සම්මානය) අධ්‍යක්‍ෂණය:- නන්ද්ලාල් ජස්වන්ත්ලාල්.




2. ලොවට බිය නැති ආදරය - සඳේ, ඉවත බලාගන්න. මේ අපේ ආදර  සමයයි.

   මේ ගීතය, කළින් සඳහන් කළ ගීතයටත් වඩා පැරණියි. ගීතය අයත්වන්නේ, 1951 දී තිරගතවුණු, 'ආවාරා' = (පාදඩයා) චිත්‍රපටියටයි. මේ ගීතයේ පෙනීසිටින්නේ, හින්දි සිනමාවේ අති දැවැන්ත චරිත ලෙස, අදත් සැලකෙන, රාජ් කපූර් සහ නර්ගීස්  දත් නළු නිළි දෙදෙනායි. (යුවළ හෝ දෙපළ කියා ලියන්න බැහැ, ඔවුන් අඹු සැමියන් නොවන නිසා)  අද්‍යතන හින්දි චිත්‍රපටි ගීතයක දකින, හුදු කාමෝද්දීපනයට වඩා, මේ ගීතයේ රංගනය තුළ, යටින් දිවයන ශෘංගාරය, අසමසමයි, අද්විතීයයි.  තම සිතැගි, අහිංසකව, දඟකාරව නිදහස් කරන ආකාරය, නර්ගීස් නිරූපණය කරන්නේ, ප්‍රේක්ෂක සිත මන්මත් කරමින්. 

   ඇය මෙහෙම කියනවා:-  සඳේ, මොහොතකට ඉවත බලාගන්න. මේ, මා ඔහුට පෙම් කරන වෙලාවයි. ඔහුට කියන්නට දහසක් දේ මට තිබේ. මා හදවත පැතුවේ මෙවැනි ආලයක්. දැන් මට ඒ ආලය හිමිව තිබේ. සඳේ, ඔබේ ආලෝකය අපි හැමදාම දකිනවා. නමුත්, මේ මගේ ප්‍රථම රාත්‍රිය, ඔව්, ප්‍රථම රාත්‍රිය. ඉතිං දැන්වත් අහක බලාගන්නකෝ.

   ඔහු මෙහෙම කියනවා:- මම හොරෙක්. මගේ කාර්යය හොරකම් කිරීමයි. සමාජය මට ගරහයි. එහෙත්, මම ඇගේ හදවත සොරකම් කරමි. ඈ දෙස හොරෙන් බලා, ඇයව සොරකම් කරමි. සඳේ, ඔබ සාක්‍ෂි දරන්න. 


දම් භර් ජො උධර් මූ පේරේ -  චිත්‍රපටිය:- ආවාරා (1951), රංගනය:- රාජ් කපූර් සමග නර්ගීස් දත්, ගායනය:- ලතා මංගෙස්කාර් සමග මුකේෂ්, ගීත රචනය:- ශෛලේන්ද්‍ර, සංගීතය:- ශංකර් - ජායිකිෂන්, අධ්‍යක්‍ෂණය:- රාජ් කපූර් 





3. අහඹු හමුවීමක ප්‍රේමනීය කූටප්‍රාප්තිය - ඔබ දකින්නට වෙහෙසෙන මා හදවත 

   1958 දී තිරගතවූ මධුමතී චිත්‍රපටිය, හින්දි සිනමාවේ ඓතිහාසික සලකුණක් ලෙස අදටත් වැජඹෙනවා. ආදරය, අහිංසක ආදරයකට එල්ලවන සමාජයීය බලපෑම්, පුනරුත්පත්තිය, වැනි කරුණු ඇතුළත්, සාමාන්‍ය ජනප්‍රිය සම්ප්‍රදායේ කථාවක්, අපූර්වත්වයෙන් යුක්තව හා මනමෝහනීය සංගීතයෙන් යුතුව ඉදිරිපත් කිරීමයි, මේ චිත්‍රපටියේ ඇති විශේෂත්වය.   මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුනිළි දෙදෙනා වන වෛජයන්තිමාලා සහ දිලිප් කුමාර් අතිශයින් ජනප්‍රියත්වයට පත්වීමට, මේ චිත්‍රපටිය විශේෂ බලපෑමක් සිදුකළා. මේ ගීතයට මා ප්‍රියකරන්නේ, ඉතා සරල, එහෙත් තාත්වික ලෙස, ප්‍රේමනීය හැඟීම් උද්දීපනය වනසේ කරන රංගනයට සහ, ඊට දැඩි ආලෝකයක් ලබාදෙන, අති දක්‍ෂ ගායනයටයි. 

ඔහු:- මහද හඬ නගයි, තැවුලට පත්වෙයි, ඔබ මෙහි කැඳවා ගන්නට. මගෙන් සැඟව නොයනු මැනවි, දිවුරන්න ඔබ එන බවට. ඔබ නැති මේ පරිසරය කුමන පරිසරයක්ද? මල් කැකුළු පූදින්නට බලාසිටින්නේ, ඔබ එනතුරු විනා, මා මෙහි රැඳී සිටීම නිසා නොවේ. 

ඇය:-  මා දැනටමත් ඔබේමයි, මා දිවිය අලංකරණය වී, සුන්දරවී තිබෙන්නේ, ඔබ නිසයි. මා ජීවත්වන්නේ ඔබ හා බැඳී ප්‍රේමය නිසයි. මා සිටින්නේ කොහිද, මා හදවත කොහිද කියා, නොදැනෙයි මට.

දිල් තඩප් තඩප් කෙ කෙහෙරා හායෙ ආභි ජා - චිත්‍රපටිය:-  මධුමතී (1958), රංගනය දිලිප් කුමාර් සහ වෛජයන්තිමාලා, ගායනය:- මුකේෂ් සහ ලතා මංගෙස්කාර්, පද රචනය:- ශෛලේන්ද්‍ර, සංගීතය:- සලීල් චෞද්‍රි.  අධ්‍යක්‍ෂණය:- බිමල් රෝයි 







4. මුලාවූ පෙම්වතා - මේ මන්ද මාරුතයේ, මේ සුන්දර පරිසරයේ, මා හදවත ඔබ අමතයි.

   1963 දී තිරගතවූ, 'ගුම්රා' (නොමග ගිය තැනැත්තා / මංමුලාවූ පුද්ගලයා) චිත්‍රපටිය, ලංකාවේ අතිශයින් ජනප්‍රිය වූ බව මට හොඳට මතකයි. ප්‍රේමයේ වියෝවෙන් මංමුලාවූ පුද්ගලයකු, වෙනෙකෙකු සමග විවාහවූ තම පෙම්වතිය පසුපස යන සිද්ධියක්, ඉතා අනුවේදනීය ලෙස, මේ චිත්‍රපටියෙන් ගෙනහැර දක්වනවා.  හින්දි සිනමාවේ ඇති දැවැන්ත චරිතයක් වූ සුනිල් දත් (ඉහත අංක 2 යටතේ සඳහන් නර්ගීස් දත් ගේ සැමියා, අද හින්දි සිනමාවේ සිටින (නොසිටින?) සන්ජේ දත් ගේ පියා) සමග මේ චිත්‍රපටියේ අනෙක් ප්‍රධාන චරිතය කරන්නේ, ජනප්‍රිය නිළි, මාලා සිංහ.  

ඔහු:- මේ මන්ද මාරුතයේ, මේ සොඳුරු පරිසරයේ, මා හදවත ඔබ අමතයි.

ඇය:- මට මා වලක්වාගත නොහැකිය. ඔබේ ඇමතුම් හඬින් මා ඔබ වෙත ඇදී එයි

ඉන් හවාඔන් මේන් ඉන් ෆිසා(Z)ඔන් මේන් - චිත්‍රපටිය:- ගුම්රා (1963), රංගනය:- සුනිල් දත් සමග මාලා සිංහ, ගායනය:- මහේන්ද්‍ර කපූර් සමග ආශා භෝස්ලේ, පද රචනය:- සහීර් ලුජාන්වී,  සංගීතය:- රවී, අධ්‍යක්‍ෂණය:- බී.ආර්.චොප්රා 





5. ප්‍රේමය නිසා කළ වෙස් මාරුව - මා ඔබව මගේ ජීවිතයට තබා බැඳගත්තෙමි

   1962 වර්ෂයේදී තිරගතවූ, 'අස්ලි නක්ලි' (ඇත්ත බොරුව) චිත්‍රපටිය, ඉතා ඉහළ ජනප්‍රියත්වයක් ලබාගත්තේ, ඉතා මධුර මනෝහර ගීත කීපයක්ම, එහි ඇතුළත්ව තිබීම නිසයි. අහිංසක පෙම්වතුන් යුවලක්, තම ප්‍රේම සංග්‍රාමය ජයග්‍රහණය කිරීම සඳහා දරන උත්සාහය පිළිබඳ, රසවත් සිද්ධි දාමයක්, මෙහි දැක්වෙනවා. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ, හින්දි සිනමාව දිග්විජය කළ මහා නළු දේව් ආනන්ද් සහ පසුගියදා අප අතරින් වියෝවූ, සුරූපී නිළි සාධනා ශිවදාසනී විසින්.   

ඔහු:- මම ඔබව මගේ ජීවිතයට තබා බැඳගත්තෙමි. ඔබේ සියලු සංවේදනා මමද විඳින්නෙමි.

ඇය:-  මම ඔබේ ආදරය පිළිගන්නෙමි. එය යළි යළිත් ඔබටද පිළිගන්වන්නෙමි

තුජේ ජීවන් කි දෝර් සේ -  චිත්‍රපටිය අස්ලි නක්ලි (1962), රංගනය දේව් ආනන්ද් සමග සාධනා ශිවදාසනී, ගායනය:- මොහොමඩ් රෆී සමග ලතා මංගෙස්කාර්, පද රචනය:-  හස්රත් ජායිපුරි, සංගීතය:- ශංකර් ජායිකිෂන්, අධ්‍යක්‍ෂණය:- රිෂිකේෂ් මුඛර්ජි 




  මා ප්‍රිය කරන්නේ කළු සුදු චිත්‍රපටි වලට පමණද?  කියා, ඔබ මගෙන් විමසනු ඇති.  ඇත්තෙන්ම කළුසුදු චිත්‍රපටි වල තවත් රසවත්, අර්ථවත් ගීත සිය ගණනක් තිබෙනවා. නමුත් ඒවා පසුකරමින්, මා ඔබව, වර්ණ චිත්‍රපටි වෙත කැඳවාගෙන එනවා. මෙහිදී ද මා, මගේ සිත සමග දැඩි සටනක් කොට තමයි, ගීත තෝරාගත්තේ.


6. තුන් කොන් ප්‍රේමයක මායාව - මා ප්‍රියාවනි, කුමන නමකින් මා ඔබ අමතන්නදැයි නොවැටහේ 

   1964 වර්ෂයේදී තිරගතවූ, 'සංගම්' (හමුවීම) චිත්‍රපටිය, ලොව වටා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසකගේ මහත් ප්‍රශංසාවට ලක්වූ, 'සදානුස්මරණීය' යන වර්ගීකරණය ලත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය, පැය හතරකට මඳක් වැඩි කාලයක් ධාවනය වන අතර, එය එකල කිසිසේත්, ප්‍රේක්ෂක අප්‍රසාදයට ලක්වුයේ නැහැ. මේ චිත්‍රපටිය නිපදවීමට, ඉන්දීය රුපියල් කෝටියක් වැයකර තිබෙනවා.  රාජ් කපූර්, වෛජයන්තිමාලා, සහ රාජේන්ද්‍ර කුමාර්, මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑ අතර තුන්කොන් ප්‍රේමයක් පිලිබඳ, හද සසල කරවන කතා පුවතක් මෙහි ඇතුළත් වෙනවා. 

ඔහු:- කෙසේද මා ඔබ අමතන්නේ මගේ මේ පෙම්පතෙන්? මා ඔබට සුන්දරිය කියන්නද? හදවත් සොරාගන්නිය කියන්නද? කුමක්ද මා කියන්නේ

   යෙ මේරා ප්‍රේම් පත්‍ර පඩ්කර් - චිත්‍රපටිය සංගම් (1964), රංගනය:- රාජේන්ද්‍ර කුමාර් සමග වෛජයන්තිමාලා, ගායනය:- මොහොමඩ් රෆී, පද රචනය:- හස්රත් ජායිපුරි, සංගීතය:-  ශංකර් ජායිකිෂන්, අධ්‍යක්‍ෂණය:- රාජ් කපූර්.




7. කුමක්ද ප්‍රේමය, කෙබඳුද ප්‍රේමය - මම තනිවීමි, සැනසුම සොයමි. යථාර්ථය කියා දෙයක් මෙලොව ඇද්ද?

 1972 වර්ෂයේදී තිරගතවූ අමර් ප්‍රේම් (අමරණීය ප්‍රේමය) චිත්‍රපටිය, භාරත සිනමාවේ අද්විතීය සම්භාව්‍ය චිත්‍රපටියක් ලෙස ගෞරවයට පාත්‍ර වුණා. බෙංගාලි කෙටිකතාවක් පසුබිම් කරගනිමින් නිපදවුණු මේ චිත්‍රපටියේ, අති දක්‍ෂ, එමෙන්ම සුරූපී නිළි, ශර්මිලා තාගෝර්, වෛශ්‍යාවකගේ චරිතයක්, ප්‍රේක්ෂක සිත්සතන් තුළ, මානව දයාව ඉස්මතුවන ආකාරයෙන් ඉදිරිපත් කරනවා. තනිව වෙසෙන ව්‍යාපාරිකයකුගේ චරිතය රඟපාන, රාජේශ් ඛන්නා, මෙලොව යථාර්ථය කුමක්ද යන්න, සමාජයෙන් විමසනවා. 

   මේ චිත්‍රපටිය, ඉතා ඉහළ මට්ටමෙන්, සමාජ විවරණයක් කළ චිත්‍රපටියක් ලෙස, ප්‍රේක්ෂක සම්භාවනාවට ලක්වුනා. මෙහි දැක්වෙන,  ලෝක ප්‍රසිද්ධ ගායක කිෂෝර් කුමාර් ගේ ගායනා විලාසය, රාජේශ් ඛන්නාගේ රංගනයට ලබාදෙන්නේ, ඉමහත් පිටුවහලක්.  

ඔහු:- ගිනි පුපුරක් ඇවිලුණු කල, මහ වැස්ස එය නිවා දමනු ඇත. එහෙත්, ඒ වැස්සම, ගිනි පුපුරු අවුලුවන්නේනම්, ඒවා නිවන්නෝ කවරහුද? සරත් සෘතුව ගෙඋයන නටබුන් කර ගියද, වසන්තය එහි මල් පුබුදුවනු ඇත. එහෙත් ඒ වසන්තයම ගෙඋයන නටබුන් කරන්නේනම්, ගෙඋයනෙහි මල් පුබුදුවන්නෝ කවරහුද

   චිංගාරී කොයී භඩ්කේ - චිත්‍රපටිය:- අමර් ප්‍රේම් (1972), රංගනය:- රාජේශ් ඛන්නා සමග ශර්මිලා තාගෝර්, ගායනය කිෂෝර් කුමාර්, පද රචනය:- ආනන්ද් භක්ෂි, සංගීතය:- රාහුල් දේව් බර්මන්, අධ්‍යක්‍ෂණය:- ශක්ති සාමන්තා. 




8 ප්‍රේමයේ මායාකාරිය - මා නළලත තිලකයද, දෑතේ වළලුද ඔබ පතා වෙහෙසෙයි.

   1969 දී තිරගතවූ දෝ රාස්තේ (මාවත් දෙකක්) චිත්‍රපටිය, ජනප්‍රිය වුනේ, එහි එන කර්ණ රසායන සංගීතය හේතුවෙන්. මේ චිත්‍රපටිය, සම්පූර්ණයෙන්ම පාහේ, සංගීතමය චිත්‍රපටියක් කියා කිවහැකියි. මේ ගීතය මා තෝරාගත්තේ, විශේෂ හේතු කීපයක් නිසායි. මේ ජවනිකාවේ පෙනීසිටින නිළිය, මුම්ටාස්Z මධ්වානි (විවාහයට පෙර අස්කාරි) හින්දි සිනමාවේ ගිනිසිළුවක් ලෙස සැලකෙනවා. නමුත් ඇය ඉන්දීය කාන්තාවක් නොවේ. ඉරාන ජාතික කාන්තාවක්. බලන්න මේ මායාකාරිය, ඉගෙනීමේ කටයුත්තේ යෙදෙන අර අහිංසකයාව, ඇයගේ මායාකාරී හාවභාව ලීලාවන් පෙන්වා, වසඟයට ගන්නා හැටි. එතන තියන නලයක් තුළින්, ඔහු දෙස බලා ඉඟි මරන්නේ, ශෘංගාරය ඇවිස්සෙන විදිහට. රාජේශ් ඛන්නා / මුම්ටාස්, එක යුගයක, හින්දි සිනමාවේ නැතුවම බැරි පෙම් යුවළ බවට පත්ව සිටියා. 

බිඳියා චම්කේගී චූඩි ඛන්කේගී - චිත්‍රපටිය:- දෝ රාස්තේ (1969), රංගනය මුම්ටාස්Z සමග රාජේශ් ඛන්නා, ගායනය:- ලතා මංගෙස්කාර්, පද රචනය ආනන්ද් භක්ෂි, සංගීතය:- ලක්ෂ්මිකාන්ත් ප්‍යාරෙලාල්, අධ්‍යක්‍ෂණය:- රාජ් ඛෝස්ලා 




9 ඇස් බැන්දුම - කවුද හොරා

   1978 දී තිරගතවූ 'ඩොන්' (ලොක්කා, ප්‍රබලයා)  චිත්‍රපටිය, එහි කතා ප්‍රවෘත්තිය මෙන්ම, මනමෝහනීය ගීත නිසා ද, එකසේ ජනප්‍රිය වුණා. ඊට තවත් ප්‍රබල සාධකයක් වුණේ, 1970 දශකයේ සිට, සමස්ත හින්දි සිනමාවම සිය ග්‍රහණයට ගත්, අද ද එකසේ ජනප්‍රිය, මහා නළු, අමිතාභ් බච්චන් ගේ අති විශිෂ්ඨ රංගන හැකියාවයි. සොර නායකයකු අල්ලාගැනීම සඳහා පොලීසියේ ඉත්තෙකු ලෙස ක්‍රියාකරන අහිංසක තරුණයකුගේ චරිතය අතිශයින් මනබඳිනා ලෙස මේ චිත්‍රපටියේ දී ඉදිරිපත් වෙනවා. 

 ඒයි පිස්සනේ, තොපි මා හැඳින්නහුද? මා කවුද කොහෙන් ආවේද කියා තොපි දන්නහුද

අරෙ දීවානෝ මුජෙ පෙහෙචානෝ - චිත්‍රපටිය:- ඩොන් (1978), රංගනය:- අමිතාභ් බච්චන් සමග නිතූ සිං, ගායනය:- කිෂෝර් කුමාර්, පද රචනය:- අන්ජාන්, සංගීතය:- කල්යාන්ජි ආනන්ද්ජි, අධ්‍යක්‍ෂණය:- චන්ද්‍ර බාරොට් 




10. දෑ කුලමළ, ඉක්මවා ගිය ප්‍රේමයේ අභිමානය - ඔබේ ආත්ම ගෞරවය වෙනුවෙන් මම නිහඬව සියල්ල විඳගනිමි.

   මෑත භාගයේදී මා නැරඹු හින්දි චිත්‍රපටි අතරින්, වඩාත් සිත්ගත් චිත්‍රපටියක් ලෙස, 2004 වර්ෂයේදී තිරගතවූ 'වීර් - සාරා' චිත්‍රපටිය හඳුන්වන්නට පුළුවන්. ප්‍රේමය යනු මෙලොව සියළු සමාජ සම්මුතීන් සුනුවිසුනු කොට ගලායන මහා සැඩ පහරක් හෝ, සියලු බාධක අතරින් කාන්දුවෙන සිහිල් දිය දහරක් හෝ වියහැකි බව, මොනවට නිරූපණය කරන මේ චිත්‍රපටිය, ප්‍රේක්ෂක සිත්සතන් තුළ, සෑහෙන කාලයක් තැන්පත්ව තිබෙනු ඇති. වත්මන් හින්දි සිනමාව, පහසුවෙන් අතික්‍රමණය කළ, ශාරුක් ඛාන්, තම විශිෂ්ඨ රංගන වින්‍යාසය තුළින්, චිත්‍රපටියට සැබෑ ජීවයක් ගෙන දෙන අතර, සුරූපී නිළි ප්‍රීති සින්තා, ඊට නොමඳ සහයක් දක්වනවා. 

ඔබේ ආත්ම ගෞරවය වෙනුවෙන්, මම මගේ දෙතොල් තදකරගනිමි. මගේ කඳුළු ගිලගනිමි, නමුත් මා හැඩ තුළ ආදර පහන නිබඳ දැල්වේ, 

තේරේ ලියේ - චිත්‍රපටිය:-  වීර් සාරා (2004), රංගනය:- ශාරුක් ඛාන් සමග ප්‍රීති සින්තා, ගායනය:- ලතා මංගෙස්කාර් සමග රූප් කුමාර් රාතොබ්, පද රචනය:- ජාවඩ් අක්තාර්, සංගීතය:- මදන් මෝහන්, අධ්‍යක්‍ෂණය:- යාෂ් චොප්රා.



තවත් හින්දි ගීත රස වින්දනයක් ඉදිරි කාලයට තබා දැනට සමුගන්නවා. 

2016 නොවැම්බර් මස 07 වැනි දින 0119 පැය 

17 October 2016

ගෙදර මහ පොතක් ඇත - එකක්වත් මතක නැත

   හෙහ් හෙහ් හෙහ්, අහලා තියනවද ඔය මාතෘකාවේ සඳහන් කියමන? අපි ඉස්කෝලේ යන කාලේදී, සමහර ගුරුවරු, ඔය කියමන කියනවා මා අසා තිබෙනවා. මේ කියමනේ සරල තේරුම වන්නේ, තමන් පණ්ඩිතයකු කියා පෙන්වීමට උත්සාහ කලත්, පාණ්ඩිත්‍ය භාවය, අවශ්‍ය අවස්ථාවේදී දැක්විය නොහැකි පුද්ගලයෝ ද සිටිති, කියන එකයි. සමහරු තමන් පොත් ගුල්ලන් බව පෙන්නුවත්, එදිනෙදා කතාබහේදී, ලේඛනයේදී, ඒ පොත්පත් වලින් ලද දැනුමක්, හැකියාවක්, කථිකත්වයක්, ලේඛන හැකියාවක් ඇතිබවක්, පෙනෙන්නේ නැහැ. නිකම් අල්මාරිවල පොත් ගොඩගහගෙන සිටින පිරිසකුත් ඉන්නවා.  ඒ පොත් වලින්, තමන්ට හෝ අනුන්ට වැඩක් නැති බවත්, ඔවුන් දන්නවා. මේ චූර්ණිකාව මුලින්ම කිව්වේ, අද, මා ඔබ සමග, පොත් ගැන කතාකරන්න යන නිසයි.   

   මෙවර කොළඹ පොත් සල්පිල බලන්න නම් මා ගියේ නැහැ. කම්මැලියි, පොලේ එළවලු ගන්නවා වගේ තෙරපි තෙරපි, පොත් ගන්න. පොතක් තෝරන්න පුළුවන්, බොහොම විවේකීව. ඒ නිසයි නොගියේ. අපේ දෝණියන්දෑලා දෙන්නම ගියා. මගෙන් ඇහුවා, මොනවද ඕනේ කියා. මා කිව්වේ, අපේ දොස්තර මහත්තයාගේ අලුත් පොත් දෙක තියනවා නම් ගන්න කියලා. නමුත් අවාසනාවකට, ඒ පොත් දෙක, එම ප්‍රදර්ශනය පැවැත්වුණු කාලසීමාවේදී මුද්‍රණයෙන් පිටවුනේ නැහැ. 

  මෙන්න මට මෙවර ප්‍රදර්ශනයෙන්  අපේ දුවලා දෙන්නා විසින් තෑගි කළ පොත්.






   මැජික් බයිසිකලය කියන්නේ, අපූරු පරිවර්තන කෘතියක්. ලෝකප්‍රකට ළමා කතා නිර්මාතෘ වරියක වන, ඊනිඩ් බ්ලයිටන් ගේ රසවත් කථා මාලාවක් මේ ග්‍රන්ථයට ඇතුලත්ව තිබෙනවා. 

   ප්‍රබුද්ධ කාව්‍ය ග්‍රන්ථය ගැන මා ඔබ සමග වැඩිදුර කතාකරන්න අදහස් කරන්නේ නැහැ. ඔබ අතරින් බොහෝ දෙනා, මහගම සේකර ශූරීන් ගැන දන්නා නිසා. මේ පොත මා අත තිබී අතුරුදන් වුවක්. නැවත මගේ පුස්තකාලයට එකතු කරගැනීමට ලැබීම සතුටක්. 

   සුනාමි ව්‍යසනයේදී සයුරට බිලිවී අතුරුදන් වූ, මහා පඬි රුවනක් වූ, මීගොඩ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේගේ කෘති, කවදත්, ධර්ම විනය පැහැදිළි කිරීමෙහි ලා, අනුපමේය සේවයක් ඉටු කරයි. මෙහි දක්වා ඇති ග්‍රන්ථය ගැන, පසු කලෙක කථා කිරීමට ඉඩ තබමි.  

   දැන් මා බලාපොරොත්තුවන්නේ මේ ලිපිය ලිවීමේ මූලික පරමාර්ථය වන මහා පුස්තකය ගැන ඔබ සමග කථා කරන්නයි. 

මුලින්ම බලන්න පොතේ පෙනුම දැක්වෙන පින්තූර කීපයක්. 











   මෙන්න පොතේ මිළ. හැබැයි, පොත් ප්‍රදර්ශණයේදී, මේ පොතට, රු 800 ක වට්ටමක් ලැබී තිබෙනවා. මුදල්මය වටිනාකම නොව, දැනුම සම්බන්ධ වටිනාකම අතින්, අමිල ග්‍රන්ථයක් වන මෙය, මට ලබාදුන්, මගේ ලොකු දුවට, පින්සිදුවේවා කියා ප්‍රාර්ථනය කරනවා. 



   පොත කිලෝ ග්‍රෑම් පහකට වඩා බරයි. ඒ නිසා, අතේ තියාගෙන කියවන්න බැහැ. මේසයක් මත තබාගන්න සිදුවෙනවා. 


  මේ මහා ග්‍රන්ථයේ සම්පාදක ආචාර්ය, හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා ගැන ඔබ අතරින් බොහෝ දෙනෙකු හොඳින් දන්නවා ඇතැයි සිතනවා. මටනම් එතුමා මතක තියෙන්නේ 1971 ජවිපෙ කැරැල්ලේ විත්ති පක්ෂයේ අධිනීතීඥ වරයා ලෙසයි. එමෙන්ම එතුමා 'සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්‍ෂය' නමින් දේශපාලන පක්ෂකුත් නිර්මාණය කළා.




   ශබ්ද කෝෂයේ සංඥාපනයෙන් කොටසකුත් කියවා බලමු. 



   ශබ්ද කෝෂයකින් අපට ඇති ප්‍රයෝජන අපමණ බව ඔබ හොඳින්ම දන්නවා. සිංහල අපේ සැලකියයුතු පිරිසකගේ වාග්කෝෂය ඉතා දුර්වල බව, අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් අහුලාගත් කෑලි සහ සිංහලටත් නැති, ඉංගිරිසියටත් නැති, විකාරරූපී වදන් අද්‍යතන සමාජයේ පාසල් සිසුන් පවා භාවිත කරනු ඇසීම කණගාටුවට කරුණක්. 

   මේ බලන්න, අද බහුලව භාවිත කෙරෙන වදන් දෙකක් වන, එළ සහ පට්ට යන වචන, වර්තමාන භාවිතයේ  යෙදෙන්නේ, අර්ථ විරහිතව බව, මේ ශබ්දකෝෂයෙන් පැහැදිළි වෙනවා. 




   දැන් ඔබම සිතා බලන්න, ඔබ පට්ට කියා භාවිත කලාම එහි දඩබ්බරයා, වැඩකට නැති පුද්ගලයා, නීචයා, යන තේරුම් ද තියනවා. 

   එළ යන වචනය පාවිච්චි කලාම, ගවයා, එළුවා, බිහිරා, එළාපන්, දමාපන්, යන අර්ථය තිබෙනවා.

  සමහරු, බ්ලොග් අඩවි වල පලකරන කමෙන්ට්ස් වලදී මේ වචන  පාවිච්චි කරනවා. හොඳයි නේද? 

   ශබ්ද කෝෂයක් කියවීමෙන් ඔබේ වාග්මාලාව දියුණු වෙනවා. මේ දිනවල මා, දවසකට මේ ශබ්ද කෝෂයෙන් පිටු එකක් හෝ දෙකක් කියවනවා. එසේ කියවන අතර, එම පිටුවේ ඇති වචන වලින්, මා දන්නා වචන සහ නොදන්නා වචන කොපමණ තිබේද යන්න සලකා බලනවා. 

   ඇත්තෙන්ම නොදන්නා වචන සෑහෙන්න තියනවා. ඒ ඒ වචනය, විවිධාර්ථ නැගෙන පරිදි යෙදිය හැකි ආකාරය, සැලකිල්ලට ගන්නවා. ලොකු සතුටක් දැනෙනවා, විවිධ වචන අලුතෙන් ඉගෙන ගත්තම. මා හිතනවා, එයින් මගේ බ්ලොග් ලිවීමට, සෑහෙන ආධාරයක් ලැබෙයි කියා. 

   අපි බලමු පිටුවක දෙකක කොටස් කීපයක්. 









   අපේ රටේ විවිධ ප්‍රදේශ වලදී විවිධ නම් වලින් හඳුන්වන ශාකයක් තමයි, ග්ලිරිසීඩියා ශාකය. මේ ශාකය, ගිනිසීරියා, වැටහිර, ලාඩප්පා, වැට මාර, ඇල්බීසියා, කණ්ඩිමුරුංගා, වැනි නම් වලටත් හිමිකම් කියනවා. 



   මේ ශබ්ද කෝෂයෙන්, මේ ශාකයට කියන තවත් නම් දෙකක් හමුවුණා. කොංඩමරංගා සහ මකුලතා. 




  කොකං කරනවා, කොකං ගානවා කියන වචන මීට කලින් අහලා තියනවද? කොකං කරනවා කියන වචනය නම් මා අසා තිබුණා.

   ව්‍යක්ත භාෂාවට අදාළ නොවන, එහෙත් එදිනෙදා සමාජයේ (විශේෂයෙන්ම පහල ස්ථර වල) භාවිත කෙරෙන වචන, මේ ශබ්දකෝෂයේ දක්වා තිබෙනවා. 











   සමහර වචන සඳහා දක්වා ඇති අර්ථය, නොගැලපේ හෝ ප්‍රමාණවත් නොවේ, කියා සිතෙන අවස්ථා තිබෙනවා.  මෙන්න උදාහරණ.



   බ්ලැක් මාර්කට් යන්න එලෙසම යොදා, බ්ලැන්කට් යන වචනයට, බ්ලැන්කේට්ටු කියා යෙදීමේ, නොගැලපීමක් තියන බවක් පෙනෙනවා. එහෙනම්, බ්ලැක් මාර්කට්ටු වියයුතුයි. 

   බ්ලේඩ් තල, බෝඩ් ලෑල්ල, වැනි වචන නොගැලපීම් සහිත බව, බෝහොවිට කියවෙනවා. එමෙන්ම මෙහි කියන්නේ, රැවුල් බෑම සඳහා ගන්නා, වානෙන් තැනූ තල යනුවෙන් පමණයි. නමුත්, බ්ලේඩ් යන වචනය, ලෝහ නොවන ද්‍රව්‍යයකින් නිමවා ඇති, සියුම් කැපුම් දාරයකටත් කියන්න පුළුවන්. edge යන අර්ථයද ඇතුළත්ව. 

  බ්ලොක් ගැන කිව්වාට, මේ ශබ්දකෝෂයේ, 'බ්ලොග්' යන වචනය නම් නැහැ. 

  බ්ලෝ ලාම්පුව, ධමනි ලාම්පුව වන්නේ කෙසේද යන්න, මට ගැටළුවක්. 





   උරපටි නැති බ්‍රසියර් දැන් තිබෙන නිසා, උරපටි යන යෙදුම ඉවත් කරන්නට සිදුවෙනවා.

   බ්‍රේක් යන්න මෙවලමක් කියා හැඳින්වීම වැරදියි කියා හිතෙනවා. මෙවලමක් කිව්වේ, device යන අර්ථයෙන් විය හැකියි. නමුත්, වාහනයක තිබෙන්නේ බ්‍රේක් පද්ධතියක් system නේද? බ්‍රේක් පෙඩල් එක මෙවලමක්ද? අනෙක් අතට Brake සහ Break යන දෙකම මෙතන විස්තර කලානම් හොඳයි.

   අසභ්‍ය යයි සම්මත කරගෙන ඇති සමහර වදන්, තවදුරටත් එසේම තබාගතයුතුද යන්න සිතා බැලිය යුතුයි. 



   කුණුහරප හෙවත් අසභ්‍ය වචන ගැන, මේ ශබ්දකෝෂයේ දක්වා තිබීම, එවැනි වදන් ගැන පර්යේෂණ කරන අයට ප්‍රයෝජනවත් වනු ඇති. 



  කුණුහරප වශයෙන්ම නොසැලකුණත්, අව්‍යක්ත වදන් ලෙස සැලකෙන වචනද ඇතුලත්ව තිබීම, වාග්මාලා පිළිබඳ කරුනු සෙවීමේදී වැදගත් වෙනවා. 





   ගැහැණියට තමයි සියලු අපහාස. පිරිමියා සුදනා. 

   ඔබේ බිරිඳ සූතිකාවක් ද? නැත්නම් ඔබේ නිවසේ ඉන්නවාද සූතිකාවක්? 




   ෆ අක්ෂරයෙන් ඇරඹෙන වචන සෑහෙන ගණනක් ඇතුළු කර තිබීම, මේ ශබ්දකෝෂයේ විශේෂ ලක්ෂණයක් ලෙස මා දකිනවා. 




   දැන් මේ ලිපිය කියවලා **න්, නිකම් ඉන්නවා එහෙම නෙවෙයි **න්. රුපියල් 4000 ක් ගියාට කමක් නෑ **න්, පොත අරගෙන **න්, කියවනවා හොඳයි **න්. පොතේ පිටු 2023 ක් තියනවා **න්.


2016 ඔක්තෝබර් මස 17 වැනි දින 2302 පැය 

18 September 2016

ගීතයෙන් ගීතය

   නෑ නෑ, ඒ අර සින්දු කියන තරගේ නේ. මේක එහෙම දෙයක් නෙවෙයි. මේක මගේ මතකය අවදි කිරීමක්. පැරණි ගීත සහ ගායක ගායිකාවන් හඳුන්වා දෙමින්, මීට පෙර මා ඉදිරිපත් කල ලිපිය මතකයි නේද? මේ දිනවල, සිංහල බ්ලොග් ලෝකය පුරා, ගීත සාහිත්‍යයට විශේෂ තැනක් දෙන ලිපි, නිතර ලියවෙනවා. ඇත්තටම, පැරණි සිංහල ගීත සාහිත්‍යය ගැන, මගේ මතකය යලිත් අවදිවුණේ,  පැරණි හින්දි ගීත සොයමින්, යූ ටියුබ් එකේ සැරිසරණ අවස්ථාවකයි. හින්දි සංගීතය තුලින්, සිංහල සංගීතය පෝෂණය වූ බව, ඔබ බොහෝ දෙනෙකු දන්නවා.

    මුල් කාලයේදී, හින්දි ගීත තනු වලට සිංහල ගීත නිර්මාණය කිරීම, බහුලව සිදුවුනත්, පසු කාලීනව, එහි වටිනාකමක් නැති බව අවබෝධ වූ නිසා, ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කෙරෙහි, දේශීය සංගීතඥයන් යොමුවුණ අතර, 1960 දශකයෙන් ඇරඹුණු, ස්වතන්ත්‍ර ගීත නිර්මාණය නිසා, හින්දි තනු කොපි කිරීම අතහැරී ගියා. එයට තවත් හේතුවක් වුනේ, එවැනි ගීත දැඩි ලෙස විවේචනයට ලක්වීමයි. 

   කෙසේ වෙතත් සමහර කොපි ගීත, අද දක්වාම ජනප්‍රියත්වයෙන් නම් ඉහලින් තිබෙනවා. ඔබෙන් බොහෝ දෙනෙකුගේ මතකයේ නැති, එවැනි ගීත කීපයක් හඳුන්වා දෙන්නයි, අද මා උත්සාහ කරන්නේ. මේ ගීත ඉදිරිපත් කරන්නේ, ඒ ඒ වර්ෂය අදාළ කරගෙන නෙවෙයි. මගේ මතකයට නැගෙන ආකාරයටයි. 

   'මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කේ අදයිනෙ ඔයා' නමැති ගීතය සැබවින්ම අතිශයින් ජනප්‍රියවූ ගීතයක්. මෙහි මුල් ගායකයාගේ නම හෙන්රි පෙරේරා වගේ තමයි මතක. මේ ගීතය, පසු කාලයක, ආර්.මුත්තුසාමි සංගීතඥයාගේ පුත්, මොහාන් රාජ් ගායනා කල බවත් මතකයි. මා මෙහි දක්වන්නේ, සිංහල සංගීතවේදියකු වන වික්ටර් විජයන්ත විසින්, එම ගීතය ගායනා කල අවස්ථාවක්.

   මෙතැන් සිට ඉදිරියට දක්වන සෑම වීඩියෝවක්ම, සම්පූර්ණයෙන් නැරඹීමට අවශ්‍ය නැහැ, ඔබේ අන්තර්ජාල දත්ත කෝටාව සීමිත නම්. පළමුවැනි විනාඩි එකහමාර පමණ නැරඹුවාම ඇති.  හඬ ඇසුවත් ඇති.

මං පොඩි කාලේ. 


   මේ ගීතයේ තනුව, 1957 වර්ෂයේ තිරගතවූ, 'තුම්සා නහින් දේඛා' නමැති හින්දි චිත්‍රපටියේ ගීතයකින් ලබාගත් එකක්. මේ තියෙන්නේ එම ගීතය. 




   මොහිදීන් බෙග් සමග ජී.එස්.බී.රානි පෙරේරා ගායනය කරන, 'පෙම් පහන නිවී' නමැති ගීතය, නිතර ගුවන්විදුලියෙන් ප්‍රචාරයවූ ගීයක්. විශේෂයෙන්, ප්‍රේමයේ විරහව අත්විඳින තරුණ තරුණියන් අතර නිතර කියවුන, පෙම්පත් වල ලියවුන, ගීතයක්.

(අපේ කාලේ තිබුණේ එස්.එම්.එස්. ලව් නෙවෙයි. ප්‍රේම සාහිත්‍යයක්. පෙම්පත් කියන්නේ,එක්තරා ආකාරයක සාහිත්‍ය නිර්මාණ)



   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1953 වර්ෂයේ තිරගතවූ, 'ආ' නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ තියෙන්නේ එම ගීතය. 






   ජී.එස්.බී.රානි පෙරේරා විසින් ගායනා කල, 'බැඳි ආදරයට මාගේ පිටුපා යාවිද වෙන්වී' යන ගීතය, අතිශයින් ජනප්‍රිය ගුවන්විදුලි ගීතයක්. එම ගීතය පහත දක්වනවා.  



   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ 1965 වර්ෂයේ තිරගතවූ 'අර්සු' නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ තිබෙන්නේ එම ගීතය. 




   එච්.ආර්.ජෝතිපාල ගායනය කල, 'මේ ජීවනයේ මුළු සංසාරේ' නමැති ගීතයට, වරක් ජනප්‍රිය සම්මානයක්ද ලැබුනා. මේ තිබෙන්නේ එම ගීතය.


   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1972 වර්ෂයේ තිරගතවූ, 'ප්‍යාර් කා ඝර්' නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ තිබෙන්නේ ඒ ගීතය. 





   මිල්ටන් පෙරේරා ගායනය කල, 'කල්‍යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම්' නමැති ගීතය, අපේ කාලයේ පෙම්වතුන් අමන්දානන්දයට පත් කළ, ඔවුන්ගේ හද පතුළටම කිඳා බැසගත් ගීතයක්. මේ තිබෙන්නේ එම ගීතය. 


   මේ ගීතයේ තනුවත්, ඉහත සඳහන් අර්සු චිත්‍රපටියේම එන ගීතයකින් ලබාගෙන තිබෙන්නේ. මේ තියෙන්නේ එම මුල් ගීතයයි. අර්සු චිත්‍රපටිය, ලංකාවේදී, ප්‍රදර්ශන වාර්තා බිඳහෙළු චිත්‍රපටියක්.




   1968 වර්ෂයේ තිරගතවූ, අක්ක නගෝ' නමැති සිංහල චිත්‍රපටියේ, ලතා වල්පොල ගායනා කල, 'ගලනා සීත ජලේ' නමැති ගීය, අතිශයින් ජනප්‍රිය ගීයක්. මේ තිබෙන්නේ එම ගීතයයි.   




   මේ ගීතයේ තනුව උපුටාගෙන තිබෙන්නේ, 1960 වර්ෂයේ තිරගතවූ, 'ජිස් දේශ් මෛන් ගංගා බෙහ්තී හෛ' නමැති, හින්දි චිත්‍රපටියෙන්. මේ තිබෙන්නේ එම මුල් ගීතයයි. 




   1965 වර්ෂයේ තිරගතවූ, 'සත පණහ' සිංහල චිත්‍රපටියේ, සුජාතා අත්තනායක ගායනය කළ, 'මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා' නමැති ගීතය, එකල ඉතා ජනප්‍රිය වුණා. මේ තිබෙන්නේ ඒ ගීතයයි. 



   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1961 වර්ෂයේ තිරගතවූ, 'සසුරාල්' නමැති හින්දි චිත්‍රපටියේ එන ගීතයකින්. මේ තිබෙන්නේ එම හින්දි ගීතයයි.  



   
   මේ ලිපියෙන් කියවෙන්නේ, කලකට ඉහතදී  අහපු ගීත වුනත්, මෑත කාලේ අහපු ගීතයක් ගැනත් කියන්න හිතුනා. මෑත යුගයේදී, හින්දි ගී තනුවක් අනුකරණය කරමින් ගයන ලද සිංහල ගීතයක් තමයි, චම්පා කල්හාරි ගායනා කරන, 'මල්යායේ  සමනල්ලු' නමැති ගීතය. 



   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1954 වර්ෂයේ තිරගතවූ, 'ටැක්සි ඩ්‍රයිවර්' නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ එම ගීතයයි. බලන්න, මේ ජවනිකාවේ පෙනී සිටින නිළියගේ මුහුණ, අද ජනප්‍රිය හින්දි නිලියක් වන, ඓශ්වර්යා රායි ගේ මුහුණට බොහෝදුරට සමානයි නේද කියා. මේ නිළියගේ නම ශීලා රමානි.



   සමහර අවස්ථා වලදී, ප්‍රවීනයන් පවා, දැන හෝ නොදැන, අනුකරණ තනු සහිත ගීත ගායනා කර තිබෙනවා. මේ ඒ සඳහා උදාහරණ. 

   'පෙම්බර මධු' චිත්‍රපටියේ එන, 'පෙම්බර මධු මගේ' නමැති ගීතය හින්දි/උර්දු චිත්‍රපටියක එන ගීතයක තනුවක් අනුකරණය කිරීමක්.



   මේ තියෙන්නේ මුල් ගීතය 'චිරාග් කහාන් රෝෂනී කහාන්' නමැති චිත්‍රපටියෙන්.



   නන්දා මාලනීටත් වැරදුනාද? 

   නන්දා මාලනී ගයන, 'ඔබ අපෙයි ශ්‍රී ලංකා' නමැති ගීතය, ඔබ අසා ඇති බවට සැකයක් නැහැ.

 

   එම තනුවටම ගැයුණු, උර්දු ගීතයක් තමා මේ තියෙන්නේ. මේ ගීත දෙකෙන්, මුලින් නිර්මාණය වූයේ කොයි ගීතයද යන්න මට ගැටළුවක්.




    මෙවැනි ගීත සිය ගණනක් මතකයේ තිබුණත්, ඒ සියල්ල මෙහි දැක්වීම අවශ්‍ය නැති බවයි, මගේ හැඟීම. මේ ගීත ඉදිරිපත් කිරීමෙන් අදහස් කළේ, අපේ ගායක ගායිකාවන් පහත් කොට දැක්වීමක් නොව, අතීතයේදී, ඉන්දීය සංගීතය, අපේ සංගීතයට කොතරම් විශාල බලපෑමක් කලේද යන්න පැහැදිළි කිරීමටයි. මේ හා සම්බන්ධ තවත් අතිරේක තොරතුරු, ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට තරම් කරුණුත්, මා මතකයේ තිබෙනවා. අනාගතයේදී, එම කරුණු ඔබවෙත ගෙන එන්නට සිතා සිටිනවා. 


2016 සැප්තැම්බර් මස 10 වැනි දින 2324 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }