Showing posts with label පුංචි කතන්දර. Show all posts
Showing posts with label පුංචි කතන්දර. Show all posts
27 February 2021
04 February 2021
දෙවෙනි කොරෝනා රැල්ල
කොරෝනා අපේ රටට ආවේ ගිය අවුරුද්දේ මාර්තු මාසේ 11වෙනිදා ලෙසයි මගේ මතකය මට කියන්නේ. එහෙත් මැයි මාසය වනවිට තරමක් එය පාලන මට්ටමකින් පැවති නිසා නැවත සුපුරුදු කටයුතු ඇරඹුණත් ඔක්තොබ්ර් මාසය වනවිට දෙවෙනි රැල්ල හිස එසවූවා. එහි බලපෑම තවමත් අපි බුක්ති විඳිමින් ඉන්නවා.
මගේ පරිගණකයත් කොරෝනාවලට අහුවුණා කිවුවොත් නිවැරදියි. මෙහි කාලෙන් කාලෙට විවිධ දෝෂ හටගන්නවා. මගේ පියාගේ අගය සිය දහස්වාරයක් මතුකරමින් ඒ වන විට මා අසරණ වෙන හැටි අනන්තයි. මෙම දෝෂ නිවැරදි කරගැනීමට වෙළඳ සැලක සහය පතන්නට සිදු වුණත් පසුගිය කාලය පුරාවට කුරුණෑගලට යාමට තරම් හොඳ සෞඛ්‍ය නිදහසක් තිබුණේ නෑ අදටත් එය එසේ වුණත් මෙම පරිගණකය පිළිබඳ අවසන් බලාපොරොත්තුවත් කඩවුවහොත් ඊට වැඩිය සමාව දිය නොහැකි තත්වයක් නිසා ඊයේ දිනයේ මෙය නැවත යතා තත්වයට පත්කරගත්තා ඉතින් බොහො කාලයක් මගහැරුණු මෙම බ්ලොගය සඳහා ලිපියක් ලියන්න සිතුණේ එවිටයි පසුගිය
දෙසැම්බර් 15 වැනි දිනට මෙම බ්ලොග් අඩවියට වසර 09 ක් පිරුණා.
එයත් සිහි කරමින් නව වසරට සුබ පතමින් පවතින කොරෝනා තත්වය සමනය වේවායි පතමින් මෙතනින් හමාර කරමි.
03 May 2020
නිල අම්බරයෙන් මැකීගිය තරු දෙකක් - දෙවැන්න
ලංකාවෙ සිටින සුවහසක් සිනමා රසිකයන් සිංහල සිනමාවට මෙන්ම හින්දි සිනමාවට දක්වන්නේ පුදුමාකාර ඇල්මක්. මේකට හේතුව අපේ කාලාවේ මූලාරම්භය සිදුවුණේ ඉන්දියාවෙන් විමයි. ඈත අතිතයේ ඉඳලම සුවහසක් සිනමා රසිකයන් අමන්දාන්නදයට පත්කළ ඒ හින්දි චිත්‍රපට සහ ඒවායේ ගීත සමඟ ලාංකික සිනමා රසිකයා සිටියේ බොහොම ඉහළ තැනකයි.
ඉන්දියාවේ සිනමා වංශ කථාව ගැන සාකච්ඡා කරද්දි මහා වෘක්ෂයන් දෙකක් වගේ මේ සිනමාවේ මුල් ඇදගත්ත සිනමා පවුල් දෙකක් තියනවා. ඒ තමයි කපූර් පවුල සහ ඛාන් පවුල . ඉන්දියාවේ කෙතරම් සිනමා තාරකා තාරතාවියන් බිහිවුණත් මේ පවුල් දෙකත් ඔවුන් හා කරට කර තරඟ වදිනවා. ඉතින් පසුගිය දවසක මේ කපූර් පවුලෙ තුන්වන පරම්පරාව නියෝජනය කරන මහා දැවැන්ත පුරුකක් අපෙන් සමුගත්තා. ඒ තමයි රිෂී කපූර්
මේ මහා සිනමා වෘක්ෂයේ පදනම තමයි පෘතවිරාජ් කපූර්. සිනමා අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, රංගධරයෙක් වශයෙන් ඔහුගේ භූමිකාව නිරූපනය වුණා. වයස අවු 17 දි විවාහ විමත් සමග දරුවන් 6 දෙනෙකුගේ පියෙක් වුණා. ඔහුගේ වැඩිමහල්ම පුතා තමයි රාජ් කපුර්. 1924 දි තමයි ඔහු උපන්නෙ. ඊළගට ශම්මි කපුර්, ශෂි කපූර් දරුවන් , ඉන්පසු බාල අවධියේ දි අනෙක් පුතුන් දෙදෙනා මිය යනවා නිවුමෝනියාවෙන් හා වසක් ශරීර ගත විමෙන්. අනෙක් දරුවා දියනියක්. ඇය නමින් උර්මිලා කපුර් (වර්තමානයේ සියාල්)
කෙසේ වෙතත් පෘතවිරාජ්ගේ මේ පුත්‍රයන් තිදෙනාම සිනමාවේ පතාකයෝධයන් වන්නේ ගහේකටු උල් නොකල යුතුයයි යන්න සැබෑවක් කරමින්. එයිනුත් රාජ් කපූර් පියාගේ අඩිපාරේම යමින් රංගනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණයට පිවිසුණා. 1946 දී ඔහු ක්‍රිෂ්නා කපූර් සමග යුගදිවියට එළඹුණා. ඉන්පසු ඔහු පුත්‍රයන් තිදෙනකුගේ හා දියණියන් දෙදෙනෙකුගේ පියෙක් වුණා. ඔවුන් නමින් රාජීවු කපුර්, රන්දිර් කපුර්, රිෂි කපුර්, රීමා කපූර් , රිතු කපූර් ( වර්තමානයේ නන්දා) ඉතින් මේ රිෂිකපුර් ඉපදුනේ ඔන්න ඔය විදියටයි .
රාජ් කපුර් ක්‍රිෂ්ණා කපූර් |
සහෝදරන් පස්දෙනා ඉහළ වමි කෙළවරේ රාජීවිර් කපූර් රීමා කපූර්
|
1952 සැප්තැමිබර් 4 වන දින උපත ලද රිෂි කපූර් බද්‍ර යෞවන අවධියේම රාජ්කපූර් විසින් සිනමාවට හඳුන්වාව දෙන ලදී. ඒ 1970 දි තිරගත කරන ලද මේරා නාම් ජෝකර් චිත්‍රපටයෙනි. එම සිනමාපටයේ රඟපෑම වෙනුවෙන් ලබාලම ළමා රංගධරයාට හිමිවන ජාතික සිනමා සම්මානය හිමිවිය . මෙහිදී ඔහුට මෙම සිනමාපටය ඔහුගේ ප්‍රථම සිනමා පටය වුවත් ඔහු ඉතා කුචා අවධියේ සිය පියාගේ තවත් සිනමාපටයක් වූ ශ්‍රී 420 සිනමාපටයේ ගීතමය ජවනිකාවකට එක්වීමට මොහුට හැකිවිය. ඒ ඉතා කුඩා අවධියේය.
ඉන්පසුව 1973 දි තම පියා විසින්ම අධ්‍යක්ෂණය කරන ලද බොබී සිනමා පටයෙන් එක රැයින් හින්දි සිනමාවේ සිහින කුමරා බවට පත්වන්නට හැකිවිය. මෙහිදී ඔහු සමග රඟපෑ ඩිම්පල් කපාඩියා නම් රංග වේදිනියගේ ද පළමු සිනමා ආගමනය විය. මෙය එම දශකයේ බොක්ස් ඔෆීස් වාර්ථා බිඳ දැමූ සිනමාපටයක් විය. මෙම සිනමාපටය වෙනුවෙන් වසරේ විහිෂ්ටතම නළුවා ලෙස අභිශේක ලබන්නට රිෂි කපුර්ට හැකියාව ලැබිණි. මෙම චිත්‍රපටයේ අඩංගු සියලු ගිත එක රැයින් ජනප්‍රිය විය.
ඉන්පසු ඔහුට විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ වාණිජ හා කලාත්මක සිනමාවේ බොහෝ සිනමාපට සඳහා දායක වන්නට අවස්ථාව ලැබිණි. ඒ අතර කේල් කේල් මේ, කබී කබි , හම් කිසිසේ කම් නහි, ආමර් අක්බර් ඇන්තනි, පති පත්නි ඔර්වො, නයාදෝර්, කර්ස් , දිවානා, නාගිනා, සර්ගම්, දාමිනි, දෝ ප්‍රේමි, නසීබ්, ප්‍රේම් රෝග්, කුලි, සාගර් ආදී විශාල චිත්‍රපට රැසකට දායක විය. සිනමා දිවියේ ඔහුගේ දිර්ඝකාලීන පෙම්වතියක් වූ නීතු සිං සමඟ 1980 දී මොහු යුග දිවියට එළඹ්යේය. එම විවාහයෙන් ඔවුන්ට රිද්දිමා නම් දියනියක්ද රන්බීර් නමින් පුතෙක්ද ලැබිණි . දියනිය මේ වනවිට විවාහ වි ඇති අතර ඇයටද දියනියක් සිටියි. ඔහුගේ පුත්‍රයා වන රම්බිර් කපූර් මේ වනවිට ජනප්‍රිය හා දක්ෂ නළුවෙක්වන අතර ඔහුගේ පෙම්වතිය වන්නේ ආලියා භට් ය .
නිතු සිං සහ රිෂි කපුර් යුවල |
රිෂි කපූර් සිය බිරිඳ හා දරුවන් |
ඔහු මියයන තෙක්ම රංගනයේ යෙදුන නළුවෙකි. ඔහුගේ පරම්පරාවේ මෙන්ම ඔහුගෙන් පසු පරම්පරාවේ නළුවන් හා ද උරෙන්උර ගැටී කටයුතු කිරීමට ඔහුට හැකිවිය. ඒවායේදි සම්මාන පවා දිනා ගැනීමට ඔහුට හැකිවිය. රාජු චාචා, යේ හේ ජල්වා, හම් තුම්, ෆනා , නමස්තේ ලන්ඩන්, ඕම් ශාන්ති ඕම්,, ඩෙලි 6, පටියාලා හවුස්, අග්නිපත්, ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් , ජබ්තක් හේ ජාන්, හවුස් ෆුල් 2 , බේෂරම්, කපූර් ඇන්ඩ් සන්ස්, මුල්ක් මෙවැනි අද්විතිය නිර්මාණ රැසකට දායක වූ ඔහුගේ අවසාන සිනමාපටය වූයේ ද බොඩි සිනමාපටයයි. තම පුත්‍රයාටද සිනමාවේ දොරකවුළු විවිර කරදුන් අතර, අද කපූර් පවුලේ සිවුවන පරම්පරාවේ සහෝදර සහෝදරියන් වන කරිෂ්මා, කරීනා මෙන්ම රාජ් කපූර්ගේ ප්‍රතිභාවන් ද මැනවින් විදහා දක්වමින් රන්බිර් කපූර් දක්ෂ මෙන්ම ජනප්‍රිය නළුවෙකුව සිටියි.
මොහු විසින් 2017 දි කෘතියක් නිකුත් කර ඇති අතර, ආ අබ් ලෝට් චලේ මොහු විසින් අධ්‍යන්ෂණය කළ ප්‍රථම හා එකම සිනමා පටයයි.
2018 වර්ෂයේදී මොහුට ප්‍රථම වරට ලියුකේමියා රෝග තත්වයක් පෙන්නුම් කර ඇති අතර, 2019 දී ඇටමිදුළු සැත්කමකට භාජනය කරන ලද අතර, එය සාර්ථක වී ඇත. එහෙත් 2020 අප්‍රේල් 29 දින හුස්ම ගැනිමේ අපහසුවකින් රෝහල් ගත කරන ලද රිෂි කපූර් 30 වන දින අවුරුදු 67 දී සුවහසක් සිනමා රසිකයන්ට සමුදී මෙලොවින් සමු ගත්තේය.
විචාරක දියණිය.
පස්වරු1800 පැයට
Labels:
කලාව සහ සාහිත්‍යය
,
ජීවිත සටහන්
,
පුංචි කතන්දර
,
විශේෂ
01 May 2020
නීල අම්භරයෙන් මැකී ගිය තරු දෙකක් - පළමු තරුව
මේ දිනවල වෙනදාට වැඩියෙන් ශෝක ජනක පුවත් වාර්ථා වෙනවා. ඒ සඳහා මේ වනවිට ලෝතයේ ඇතිවි තිබෙන තත්වය මෙන්ම අනෙකුත් කාරණා ද ඇතුළත් වෙනවා. කෙසේ වෙතත් ලාංකිය සිනමා ක්ෂේත්‍ර යේ තරු රැසක් මේ කාලය තුළ සමු ගත්තා. එහෙත් ඊයේ උදැසන මා හට අසන්නට ලැබුණේ තවත් ශ්‍රී ලාංකීය සිනමාවේ යකඩයකු මිය ගිය පුවතයි.
ඔහු නමින් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නම් විය. 1925 අගෝස්තු 25 කොළඹ කොටහේනේ උපන් ඔහුට ලාංකීය සිනමාව මෙන්ම දමිළ හා හොලිවුඩ් සිනමාවේ දික්විජය කරන්නට හැකිවිය. එකල හින්දි සිනමාවේ ආකෘතියට නැගුණු සිනමාවක් තුළ කථා නායිකාවක්, කථා නායකයෙක් මෙන්ම දුෂ්ටයෙක් ද විය. මෙම දුෂ්ට චරිතය මැනවින් නිරූපනය කිරීමට මොහු සමත්විය. මේ සඳහා සටන් පුහුණුවද අවශ්‍ය විය. ඒ අනුව මොහු ඉතා විශිෂ්ට සටන් අධ්‍යක්ෂවරයෙකුගේ භූමිකාවද මනා ලෙස ප්‍රකට කළේය.
මේ සියල්ලටම ඔහු මනා පසුබිමක් සකසා ගෙන සිටියේය. වයස අවුරුදු 15 දි පමණ මොහු රෙස්ලින්, ජූඩෝ, කරාටේ වැනි ශිල්පයන් හැඳෑරීය. එමෙන්ම රෙස්ලින්වලින් ඔහු බස්නාහිර පළාත් පාසල් ශූරතාවය දිනාගන්නා ලදී. වර්ෂ 1959 දී ඔහු ලිපිකරුවෙක් ලෙස මුල්ම රැකියාව ශ්‍රී ලංකා වරායෙන් ආරම්භකරන ලදී. 1961 ජාතික රෙස්ලින් තරඟාවලියද 1962 පොදු රාජ්‍යමණ්ඩල කරග නියෝජනය කිරීමටද ඔහුට හැකිවිය. මේ නිසාම 1964 ටොකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ඔහුට හැකිවිය. එමෙන්ම 1966 බැංකොක් ආසියානු ක්‍රීඩාවලියද ඔහු නියෝජනය කළේය. පසුකාලයේ ඇතිවූ දනහිසේ ආබාධයක් හේතුකොටගෙන ඔහුට බොහෝ අගනා අවස්ථා මගහැරී ගියේ ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට ගිය එකම නළුවා මොහුය.
ඔහුගේ සිනමා දිවියේ ආරම්භය සඳහන් වන්නේ වර්ෂ 1963 දිය. ඔහුගේ මුල්ම සිනමාපටය වූයේ වෙන ස්වර්ගයක් කුමටද යන්නයි . එය දමිළ සිනමාකරුවෙක් ටී. සෝමසේකරන් මහතාගේ චිත්‍රපටියකි. මුල් කාලීනව ඔහුට වැඩකිරීමට සිදුවන්නේ එවකට දක්ෂ දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සමගය. මේ නිසා එය ඔහුගේ සිනමා දිවියට මහත් ආලෝකයක් විය. ඉහත චිත්‍රපටයේ ඔහුගේ මුල්ම රඟපෑම වූයේ සටන් ජවනිකාවකි. ඒ මහා රංගධර හෙන්රි ජයසේන සමගයි. එහෙත් එම දර්ශනය චිත්‍රපටයෙන් හිතාමතාව ඉවත්කර තිබුණි. මේ කාලයේදීම ඔහුගේ හොඳම මිතුරෙකු වූ එච්. ආර්. ජෝතිපාලගේ සහයෙන් ඔහුට ලෙනින් මොරායස් නම් ප්‍රබල සිනමාකරුවාත්, රොබින් ප්‍රනාන්දු නම් සටන් අධ්‍යක්ෂකවරයාත් හඳුනාගැනිමේ භාග්‍යය හිමිවිය. වර්ෂ 1964 දී ඔහුගේ ආරාධනයෙන් රුහුණු කුමාරි චිත්‍රපටයට එක්විය. ඉන්පසු 1968 අටවෙනි පුදුමය 1969 කොහොමද වැඩේ යන සිනමාපටවලට දායක විය.
රුහුණු කුමාරි චිත්‍රපටය තිරගතවීමෙන් පසු මොහු ඉතා ජනප්‍රියතාවයට පත්වන අතර, ඒ නිසාම 1972 ජෝ අබේවික්‍රමයන් විසින් ඔහුට හාර ලක්ෂයෙහි රඟපාන්නට ආරාධනා කළේය. හාර ලක්ෂය ඔහුට හැරවුම් ලක්ෂයක් විය. ප්‍රථමවරට ඔහු චරිතාංග නළුවෙකු වන්නේ මෙම සිනමාපටයෙනි. ප්‍රථමවරට ඔහු දෙබස් කියන්නේ මෙම චිත්‍රපටයටය. මෙහි නිර්මාණකරු වන්නේ ටයිටස් තොටවත්ත සූරීන්ය. එම වසරේ තවත් චිත්‍රපට රැසකට දායකවන්නට අවස්ථාව ලැබුණි. රජගෙදර පරවියෝ, සරදියෙල්ගෙ පුතා, එම සිනමාපටයන්ය. 1973 මාතර ආච්චි, දැන් මතකද, සුහද පැතුම , සහයට ඩැනී වැනි සිනමාපට විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ රගපෑවේය. 1977 ව්ර්ෂයේ දී ඔහු හෙළයේ මහා සක්විති ගාමිණි ෆොන්සේකා සමග යකඩයා චිත්‍රපටයේ රඟපෑවේය. ප්‍රධාන සටන් චරිතයක් රඟ දක්වමින් ඔහු මෙම සිනමාපටයට දායකවිය. මෙහිදී එක් දර්ශනයකදි මොහුගේ ප්‍රහාරයකට නතුවන ගාමිණීට දින තුනක් යනකම් ඇස්දෙ ඇරීමට නොහැකි වී ඇත.
ඉන්පසු වර්ෂ 1982 පමණ වනවිට වේදිකාවට ද සම්බන්ධ විය. ඒ සඳහා ඔහුට ඇන්තිනි සී පෙරේරා ගේ සහ නාමෙල් විරමුණිගේ සහය ලැබුණි. 1983 වර්ෂයේ මර්වින් ජයතුංග හා ආනන්ද හේවගේ අධ්‍යක්ෂණය කළ පසමිතුරෝ සිනමා පටයට දායක වූ අතර, එම චිත්‍රපටයේ යථාර්ථවාදි සිනමා රංගනයක් උදෙසා ඔහුට ජනාධිපති සම්මාන හිමිවිය.
සිනමාවේදී ඔහුගේ අතගත් පෙම්වතිය වූයේ සෝනියා දිසාය. ඇය සමඟ ඔහු පෙමිවතාගේ චරිතය රඟදක්වමින් බොහෝ සිනමාපට වර්ණවත් කළේය. ශ්‍රී මධාරා, ඇගෙ ආදර කථාව, සහයට ඩැනී, කවුද රජා, හරිම බඩු තුනක් එම සිනමාපට වේ. ඔහු දමිළ සිනමාවද හොලිවුඩ චිත්‍රපටයකට ද දායක වී ඇත.
අනෝමා ලුම්බිණි නමැති කාන්තාව 1978 විවාහකරගත් ඔහු තිදරු පියෙකි. මිය යනවිට 79 වන වියෙහි වූ අතර , සිංහල සිනමාවේ තවත් මහා පුරුකක් අද දින අපෙන් සමුගන්නා ලදී .
අන්තර්ජාලය ඇසුරිණි
විචාරක දියණිය පෙ ව 01 00 පැයට
Labels:
කලාව සහ සාහිත්‍යය
,
ජීවිත සටහන්
,
පුංචි කතන්දර
,
විශේෂ
28 April 2020
පියාණනේ
ගතවිය තුන් වසක් ඔබ නැතිවී අද දවසේ්
පෙරටත් වඩා ඔබ සිහිවේ අද දවසේ
එනමුත් ඉතින් ඔබ අද නෑ අපෙ නිවසේ
කාලය හිමින් ඉගීලී ගොස් ඇත දුකසේ
මරණය පොදුයි දන්නෙමි මම බුදු දහම
එනමුත් මමත් මිනිස් දියණියකැයි කියමි මම
සසර දුකයි මතු බවයත් සැමදාම
සසරේ යළිත් අපි හමුමෙු මතුදාක
ලෝ වැසි දනන් මරු තුරුලට යවමින්
කොරෝනාව ඇවිදින් හැම තැනම ඉතින්
තවත් යමක් සිතන්නටත් ඉඩ හරිමින්
පැතිරී ඇත වෛරසයක් සතර අතින්
කෙසේ වෙතත් මගේ පැතුම අද දිනයේ
මතු අත් බවේදී ඔබ මගෙ පියා වෙමින්
සිටියා විලස මම ඔබෙ දියණියක ලෙසින්
පතනෙමි අමා දම් සුව මේ විලසින්
විචාරක දියණිය
පෙරවරු 1000 පැයට
16 March 2020
ස්මාර්ට් නැති ස්මාර්ට් ප්‍රේමය
අලුත් අවුරුද්දේ ජනවාරි මාසෙම වැඩ පටන් ගන්න ඉන්නකොට මේ පරිගණක රාජයා අසනීප වුණා . ඉතින් ඒවා හොඳ කරගෙන වැඩේට බහින කොට මාස දෙකක් නොදැනීම ගෙවිලා. එහෙත් ඉදිරියිට හැකි සෑම අවස්ථාවකම ලියන්න බලා පොරොත්තු වෙනවා.
දැන් තමයි අද මාතෘතාවට එළඹෙන්නේ. අද අපි ඉන්නේ තාක්ෂණික යුගයේ නිසා හැමදේම ජය අරන් වගේම අපිව පාලනය කිරීම, හැඟීම්, දැනීමුත් යන්ත්‍ර සූත්‍රවලට බාර දීලද කියලත් හිතනවා. කෙසේ වෙතත් මේ ජංගම දුරකථනය පැමිණීමට පෙර සියලු සන්නිවේදන කටයුතු සිදුවුණේ ලිපි මගින් ඊටත් එහා අතීතයේ සංදේශ , සතුන්, අණබෙර මේ සඳහා විවිධ දේ යොදා ගත්තා නමුත්. මේ සියල්ලටම වැඩිය ජංගම දුරකථනය ඉතා වේගවත්, මනා සැකැස්මකින් යුතුව, විධිමත් භාවයකින් යුතුව තිබෙන බව කියන්න පුවවන් . සාමාන්‍ය සන්නිවේදන රටාව සඳහා මේ දුරකථනය බෙහෙවින් ප්‍රයෝජනවත් බව අවිවාදයෙන් පිළිගත යුතුයි.
එහෙත් ආදර සබඳතාවලදී ජංගම දුරකතනය නිසා ඇතැම්විට ආදරය පසෙකට ගොස් අනාදරය ඉස්මතුවනවා වැනි හැඟීමක් වර්තමානයේ අහන්න දකින්න ලැබෙන දේ තුළින් ගම්‍ය මාන වෙනවා. මං එහෙම කියන්නේ වර්තමානයේ අහන්න දකින්න තියෙන දේවල්වලින්. වර්තමානයේ බොහෝ මිල අධික ඒ වගේම විවිධ නව මාදුකාංග සහිත ජගම දුරකථන තියනවා මේවායින් බොහෝමයක් ප්‍රයෝජනය ගන්නේ අපේ බාල පරම්පරාවයි. වැඩිහිටි පරම්පරාවට මේවා සමග ගැටෙන්න කාලය වගේම තාක්ෂණික දැනුම පැත්ත ඔවුන්ගේ ළමුන්ට සාපේක්ෂව අල්පයි. ආදරය හා රාගය පටලවාගෙන අන්තර්ජාලයේ විකෘති කාමාශාවන් ඇති පුද්ගලයින් විසින් මුදාහරින ලද විඩියෝ බලමින් ඒවා අත්හදා බැලීමට පවා පෙළඹෙන බවක් දක්නට ලැබෙනවා. එම නිසා අනාගත පරමිපරාවේ අරමුණු, සිතුම් පැතුම් වෙනස්වී ඇතිබවක් දක්නට ලැබෙනවා. ජංගම දුරකථනය සමග තනිවන දරුවන් ඒවායින් කරන ක්‍රියා මොනවාදැයි සොයා බැලිමට දෙමවුපියන් අපෝසත් ළුි තිබෙනවා .ඔවුන්ට ඒ සඳහා කාලය හෝ ඥානය නොමැතිවීම යයි මට හැගෙන කරුණක් .
මේ වගේ සිදුවිම් වලට උදාහරණ බොහෝවිට අහන්න දකින්න ලැබුනත් පසුගියදා ප්‍රසිද්ධ පාසලක සිසුන් 7ක් ශිෂ්‍යාවක් සමග මාස ගණනාවක් ලිංගිකව හැසිරෙමින් ඒවා ජංගම දුරකථනයේ තබා ගනිමින් ඇයව තර්ජනයට ලක්කරම්න් සිටින විට දැරියගේ මව මෙය සොයාගන්නවා. එහෙත් ඒ වෙනකොට සියල්ල සිදුවී හමාරයි.
මෙහෙම වර්තමාන පරම්පරාවට ඇගිල්ල දික්කරනකොට කෙනෙක් අහන්න පුළුවන් මේ කාලෙ විතරද මේවා වුණේ ඇයි ඒ කාලෙ වුණේ නැද්ද කියලා
ඒ කාලෙත් කොල්ලො කෙල්ලො ආදරය කළා . හැබැයි හරිම සුන්දරයි අසුන්දර තැන් නැතිවාම නෙවෙයි. කිරිඇල්ලෙ මධ්‍ය විද්‍යාලයෙ විදයාගාරය රතු පැහැයට හැරෙන්නෙ ප්‍රේමයෙ වියෝගය දරාගන්න බැරිව ශිෂ්‍යාවක් පිහි ඇනුමකට ලක්වන නිසා අදටත් ඒ ලේ පැල්ලම ඇති. හැබැයි ඒ කාලෙ තමන්ගේ ප්‍රේමය ප්‍රකාශ කරන්න කොල්ලෝ කෙල්ලො හොයා ගත්තෙ හරි අමුතු දේවල් සිංදු කෑලි , ලේන්සු , නවකථා පොත් වගේ දේවල් තමයි යොදාගත්තෙ
ලියුම් ලියන්ඩ දක්ෂ අය වෙනම හිටියා. හැමෝගෙම ලියුම් ලිවුවෙ එක්කෙනෙක්. එකම අත්අකුරින් ඒත් ඒවා එකිනෙකට වෙනස් නිසැඳැැස්, ගිත කෑලි , වැලපීම් නොඅඩුව තිබුණා. පහතින් මං ලියන්නම් මගේ යෙහෙළියකට පැමිණි ලියුමක තිබුණු ගීත කොටසක් .
මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරෙවි රැජිණියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරෙයි//
ඉතින් මේ දේවල් මතක් වෙනකොට හිතුණු දෙයක් තමයි සමාර්ට් දුරකථන නැති ඒ කාලෙ ප්‍රේමය මිට වැඩිය හුඟක් ස්මාර්ට් කියලා .......
විචාරක දියණිය
2020 මාර්තු 16 1900 පැයට
22 December 2019
අටවැන්න
කුඩා ළමුන් බොහෝ විට අත්හදාබැලිම්වලට පෙළඹෙන්නේ ඔවුන් කුඩා වයසේදී සියලු දෑ ඉගෙන ගන්නේ තම ජීවතවන පරිසරයේ අහන්නට දකින්නට ලැබෙන දෑ සමග අත්හදා බැලීම් සිදුකරමින්ය. 1979 මාර්තු 18 වන දාක සිය පළමු පත්වීම ගුරුවරයෙකු ලෙස තම උගත් පාසලටම ලබාගනිමින් තම රාජ්‍ය සේවය ආරම්භ කළ මගේ පියා 1981 දි ස්වේච්ඡා හමුදාවට යොමුවන්නේ එවකට යුද්දයේ ආරම්භක අවධියේ පුහුණු කැඩේට් භටයන්ට කැමතිනම් හමුදා සේවයට එක්වීමට අවස්ථාව ලැබෙන නිසාය. එසේ ස්වේච්ඡාවෙන් හමුදා සේවයට එක්වන මගේ පියා 1983 අධිකාරිලත් දෙවන ලුතිතන්වරයෙකු ලෙස ස්ථිර සේවයට එන්වන අතර ඔහු 2009 පෙබරවාරි 27 මේජර්වරයෙකු ලෙස විශ්‍රාම ගියේය.
එතැන් සිට ඔහු තම විශ්‍රාම දිවිය අර්ථවත්ව ගතකරන්නට නෙයෙකුත් කාර්යන්වල නිරතවිය. ඔහු කුඩාකල සිට ඉලෙක්ට්‍රෝනික මෙවලම් කෙරෙහි දක්වන්නේ තදබල ඇල්මකි. එය ඔහුගේ පවුලේ වැඩිමහල් සහෝදරයාටත් තිබුණි. ඔහුගේ මාර්ගයෙන් මගේ පියා රේඩියෝ සහ රූපවාහිනි අලුත්වැඩියාව ආදී නොයෙකුත් දේ ඉගෙනගත්තේය. ඔහුට එම හැකියාව ජන්මයෙන්ම ලැබුණු දෙයක් යැයි මට හැගෙන කරුණයි. ඒ කටයුතු නැවත ඔහු ආරම්භකළේ ඔහුගේ විශ්‍රාම දිවිය තුළය. කෙසේ වෙතත් පරිගණකය ඔහුගේ සදාතනික මිතුරා බවට පත්වන්නට වැඩිකාලයක් ගත නොවුණි. ඒඅනුව 2011 පමණ වන විට ඔහු පරිගණකය සමග ගනුදෙනු කිරිම තම ප්‍රථම රාජකාරිය කර/ත්තේය. ඔහු එහි තිබෙන අලුත් අලුත් දේ අත්හදා බැලිම් කළේ ය.
ඒ අනුව ඔහු 2011 දෙසැම්බර් 15 ඔහු තම මුල්ම බ්ගොග් පෝස්ටුව වාක්‍ය 2කින් ආරම්භ කළ අතර එයට ලැබුණු ප්‍රතිචාර 5කි.
ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 15 වන දා මෙම බ්ගොග් අඩවිය සිය අටවැනි කඩයිම පසුකරන ලදී.
ඔහුට තිබුණ ලේඛන හැකියාව හා ඔහු සතු දැනුම අන් අය සමග බෙදා හදා ගැනීමටත්, විවේකය ඵලදායි ලෙස යොදා ගැනීමටත් ඔහු මෙය යොදාගන්නා ලදී. මිය යනතුරුම ඔහු මෙයට සක්‍රිය දායකත්වය සැපයූ අතර, ඔහුගේ අවසන් ලිපිය කාලෝ ෆොන්සේකාගේ ගිනි පෑගිල්ලයි. එම ලිපිය සඳහාඳ ඉතා හොඳ ප්‍රතිචාර ලැබී තිබුණි. 2016 දෙසැම්බර් 30 වනදා හදිසියේ රෝගාතූර වූ ඔහු 2017 අප්‍රේල් 28 වනදා සදහටම දෙනෙත් පියා ගත්තේය. ඔහු බ්ලොගයට ආදරය කළ හැටි මම සියසින් දුටුව නිසා මෙය ඉදිරියට පවත්වාගෙන යන්නෙමි. මේ සඳහා විශේෂ ස්තූතියක් ගස්ලබ්බා මහතාට හා දේශකයා මහතාටත් මාගේ ලිපිවලට ප්‍රතිචාර දක්වන අනෙක් බ්ලොග්කරුවන් සියලු දෙනාටත් සිදු කරමි .
නම් නොකීවාට තරහා නොවේවා !
විචාරක දියණිය.පෙ. ව . 11. 00 පැයට
08 December 2019
මතකය අතරින්
බොහොම නරක විදියට පසුගිය කාලය පුරාවට කිසිම පෝස්ටුවක් නොදැම්මට හිතට බොහොම දුකයි. ඒත් ඇතැම් ගැටලු මෙන්ම කම්මැලි කමත් මේකට මුල්වුණා කියලා මට හිතෙනවා. කෙසේ වෙතත් පරණ මතකය අලුත් විදියට දැක්ක මං හිතේ අදහස් කොලේකට කැටිකරන්නයි මේ වෑයම ......................
60 දශකයෙ හා 70 දශකයෙ තාරුණ්‍යයේ සිිටියවුන්ට පික්චර්පිස්සො කිව්වෙ කටකහනවට නෙවෙයි. අදවගෙ රූපවාහිණි, පරිගණක, හෝම් තියටර්, නොතිබුණු එවැනි යුගයක රස වින්දනය සඳහා තිබුණ එකම අවස්ථාව ගිතය හා සිනමාවයි. භාරතයේ හින්දි සිනමාවේ මෙන්ම ලාංකීය සිනමාවේ ද ස්වර්ණමය යුගය 70 දශකයයි. මගේ පියාද එවකට තාරුණ අවදියේ සිටි අයෙක් මෙන්ම හොඳ පික්චර් පිස්සෙකියැයි කිව හැකිය. ඔහුගේ සහෝදරයන් ද එසේම ය. මා පෙර ලිපිවල සඳහන් කළාක් මෙන් මගේ රසවින්දනයේ මුල් ගුරුතුමා ඔහුය.
එකල මා බහතෝරන වියේදී මා හට ගිත ශ්‍රවණය කළේ කිසිදු බලපෑමකින් තොරවය. එහෙත් ඔහු ඒවා නිසිපරිදි කළමණාකරණය කළ බව සැබෑය. මා බහ තෝරන කාලය වන විට රූපවාහිනිය මෙරටට පැමිණ තිබුණු අතර , මගේ නිවසේද කළු සුදු රූපවාහිනියක් විය. එහි විකාහය වූ වැඩසටහන් තවමත් මා මතකයේ ඇත්තේ ස්වාධීන රූපවාහිනිය හා ජාතික රූපවාහිනිය පමණක් තිබුණු ඒ යුගයේ වැඩසටහන් විකාශය වූයේ ද සිමිත පරිදි නිසාය. එහි ගිය සංගීක වැඩසටහන් අතර නන්දන වින්දන හා මධු රසාංග මා මතකයේ හොඳින් තිබේ. එකල එම වැඩසටහන් කළ ආරියසිරි විතානගේ මහතා හා ඉඳුනිල් දිසානායක මහත්මිය ද ප්‍රවීණ මාධ්‍යවේදීන්ය. ආරියසිරි විතානගේ මහතා ව්‍යාපාරික ලෝකය වෙත ගියත් ඉඳුනිල් දිසානායක මහත්මිය වර්තමානයේ ද නිවෙිදන වෘත්තියේ යෙදෙයි. එවකට මිල්ටන් මල්ලවාරච්ච් , වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, ටී එම් ජයරත්න , අබේවර්ධන බාලසූරිය, එඩ්වඩ් ජයකොඩි, නිරංජලා සරෝජිනී, වන්ද්‍රලේඛා පෙරේරා වැනි අය ගී ලොව රජකර වූහ.
හින්දි ගිත ද තරමක් ප්‍රචාරය වූ ඒ අවදියේ චම්පා කල්හාරි , ටෝනි හසන් එහි මුල් අත්පොත් තැබූ අයයි. ඉතිරි සියලු දෙනා පැමිණෙන්නේ ඉන් පසුවය. එකල ජනප්‍රිය මා මතකයේ රැඳුන හින්දි ගිත ද ගොන්නකි.
එකල සිනමාව ද ඉතා ජනප්‍රිය මටිටමක පැවතිය නිසා විත්‍රපට රැසක් ද එළි දැක්විය. එකල 1990 - 1994 කාලයේදී මගේ පියා විසින් අරලිය මල්, ආදර හසුන ආදි ව්ත්‍රපට නිවසට ඩෙක් යන්ත්‍රයක් මිළදිගෙන විත් නැරඹීමට අවස්ථාව සලසා දෙන ලදී. ඔහු විසින් කළ එවැනි බොහෝ දේ නිසා නිර්මාණයක සැබෑ රසය අත්විඳීමට මටද මාගේ නැගණියට ද වර්තමානයේ හැකිවී තිබේ.
මෙම කථාවට මූල භීජය සැපයූයේ අපේ කාර්යාලයේ වාර්ෂික විනෝද චාරිකාවයි . දෙදිනක් පුරාවට නායකත්ව සංවර්ධන පුහුණුවකුත් සමග පැවති විනෝද චාරිකාව කිරිඇල්ල විජය රිසෝට් හි පැවතිණි . එහදී රාත්‍රිියේ පැවති පැදුරු සාජ්ජයේ දී අපගේ කොමසාරිස් ජනරාල්තුමා විසින් පැරණි මධුර ගීතාවලියක් ගායනා කරන ලදී. ඔහු සැබැවින්ම රසවතෙකි. ඔහු ගයන ලද ගීත පරාසය ඔහුගේ වයසට ද ඔබ්බෙන් වීම විශේෂත්වයකි. එම ගීත ඇතැමුන්ට නවතාවයක් වූ බව නොරහසකි. ඊට හේතුව ඔහු 50 දශකයේ ගීතද ගයානා කිරීමයි .
කෙසේ වෙතත් ඒ රාත්‍රියේ ඔහු විසින් ගයන ලද ගීත මා පැරණි මතකයට මෙන්ම මගේ පියාවද සිහිකිරීමට සමත් විය.
කාලයේ වැලිතලාවෙන් වැසුනද ඔබ මට එළියකිෙ මේ ගණඅදුරේ.......................
විචාරක දියණිය
2019 දෙසැම්බර් 8 19.00 පැයට
04 August 2019
හොල්මන් කතා
කාලෙකින් ලියන්න
බැරිවුණ නිසා හිතට දුකයි . ලියන්නත් යමක් සොයාගන්න අතිතයේ සැරිසරන්න වෙලාවක්
නැතිවුණා . ඔහොම ඉන්නකොට පාසල් කාලයේ උසස් පෙළ පංතියේ සිදුවුූණු
රසවත් සිදුවිම් කිහිපයක් ලියන්න සිතුවා .
අපි අපටම කියලා නිවසක
පදිංචියට ආවේ 2000 වර්ෂයේ . මම එතකොට
උසස් පෙළ පංතියේ තමයි හිටියේ. පදිංචියට
කුරුණැගල ආවත් මා ඉගෙන ගත්තේ රුවන්වැල්ලේ නිසා අවුරුද්දකට පාසැල වෙනස්කරන්න හිතුවෙ
නෑ. ඒ වෙනුවට මා පාසලේ නේවාසිකාගාරයට ආවා.1995 - 2001 අවුරුද්දේ. මා පාසලේ බටහිර තුර්යවාදක කණ්ඩායමේ සාමාජිකාවක් ව හිටියා.
ඔය කාලෙ පාසලේ නිවාසාන්තර
ක්‍රිඩා උළෙල ආවා . හරියටම උත්සවේ හෙටයි කියලා ඉතින් නේවාසිකාගාරයේ සියලු දෙනා
බරටම වැඩ. සමහරු ඇඳුම් මදිනවා , සමහරු සපත්තු පොලිෂ් කරනවා , සමහරු අලුතෙන් මහපු තමන්ගේ අයිටම් එකට අදාල ඇඳුම්වල
හැඩ බලනවා. දැන් වැඩ ගොඩයි. අපේ නේවාසිකාගාරය බොහොම පරණතාලෙ එකක්. ඒකෙ නානකාමරය
පිහිටලා තිබුණේ වෙනම. දොරක්
එලියට ඇරලා තමයි යන්න ඕන. මේ ගොඩනැගිලි දෙකටම මීටර් 100 ක් විතර ඇතින් පංති කාමර පේළියත්
තියනවා. ඒ පංති කාමරයි මේ ගොඩනැගිලි දෙකයි අතර මිදුලේ පංති කාමරවලට අද්දරව තැඹිලි
ගහකුත් තියනවා . එදා රෑ පිරිමි ළමයි ඉස්කෝලේ
පිට්ටනියේ හට් ගහනවා කියලා අපි දැනගෙන
හිටියා . ඇඳුම් මැදලා මහන්සි මට වතුර තිබහක් ඇවිල්ලා වතුර බොන්න බලනකොට වතුර නෑ.
මම තීරණය කරා වතුර ගන්න ටැප් එකට යන්න.
නංගිලා කිවුවා අක්කේ දැන් රෑ වෙලා කියලා. එතකොට වෙලාව 10.00 විතර ඇති . මම
කිවුවා හරි බයවෙන්න එපා මං ඉක්මනට වතුර ගන්නං කියලා .
මම දොර ළගට ගිහිං දොර
ඇරියා විතරයි , මම
දැක්කා තැඹිලි ගහේ ඉඳලා සුද ඇඳුමක් ඇඳගත්ත එක්කෙනෙක් එකපාරම මං දැක්කා විතරයි ගහෙං
පැනලා දිව්වා.
නිකං නෙවෙයි සොරි මැඩම් කියාගෙන . මමත් ඒ පැනිල්ලට බයවුණ පාර ටක් ගාලා දොරවහලා ඇතුළට ඇවිල්ලා අනිත්
අයට කිව්වා . දිවවෙ කුවුරු උනත් කොල්ලෙක් තැඹිලි ගහේ ඉඳලා බයවෙච්ච පාර දිවවා කියලා ෂුවර් . එතකොටම තමයි මට
සොරි මැඩම් කියලා කිව්ව වචන මතක් වුණේ. වෙච්ච සිද්දිය මුල ඉඳලා ගළපන කොට තමයි තේරුණේ
මේ කොල්ලා මම හොස්ටල් එකේ මැඩම් කියලා හිතලා පැනලා දිවුවා කියලා. මොකද මැඩමුත්
මහතයි. මමත් මහතයි . ඒකට හිනාවෙලා අපි
ඔක්කොම නින්දට ගියා .
පහුවදා හවස 2.00
උත්සවේ පටන් ගත්තට ළමයි ඔක්කොම උදේ 8.00 විතර පාසලට ගියා. මමත් බෑන්ඩ්
රිහසල් තිබිච්ච නිසා සංගිත කාමරේ පැත්තට යනකොට අපේ හවුස් කැප්ටන් චාමර අයියා එනවා
මං දිහාට අමුතම හිනාවකුත් දාගෙන මං ඇහුවා මොකද අයියේ කියලා. ඒ පාර මෙයා කියනවා
සොරි නංගි , ඊයේ
බය වුණාද ? කියලා මං ඇහුවා එතකොට ගහේ හිටියේ ඔයා ද ? කියලා. මේ යකා කියාපි ඔව් නංගී , කියලා. මට හොඳටම හිනා ගියා. ආපහු සිද්දිය මතක් වෙලා. මෙයා කියනවා ඊයේ දවල් ඉඳළම අපි ඔය ගහේ තැඹිලි
කඩනවා කියලා හිතාගෙන හිටියෙ. ගහත් පොඩි නිසා ලේසියිනෙ ඉතින් මමයි තව එකෙකුයි ආවෙ ඔයා ඌ දැක්කෙ නෑ. ඌ
හිටියෙ පංතියක හැංගිලා. මම ගහට නැග්ගා විතරයි
එකපාරටම දොර ඇරුණා. මම දැක්කෙම ඔයා මැඩම් වගේ . මට බය හිතුණා ඒකයි පැනලා දිව්වේ
කියලා. ඊට පස්සේ මං ඇහුවා , ඔයා කොහොම ද දන්නේ හිටියේ
මැඩම් නෙවේ මං කියලා . ඒ පාර කියනවා දුවලා ඇවිල්ලා පිට්ටනියට ගිහිං කල්පනා කරාලු , ඒ මැඩම්ම ද ? කියලා, පස්සේ හිතුවලු මැඩම් ඉන්නේ ඉස්සරහ පැත්තේ නිසා ඒ මැඩම් නෙවේ
කියලා. ඊට
පස්සේ උදේ අපේ හොස්ටල් එකේ නංගි කෙනෙක් යාලුවෙකුට මේ සිද්දිය කියනවා මේ ගොල්ලො
අහගෙන ඉඳලා . කොහොම උනත් අපි එදා ඇතිවෙනකං ඒ වෙච්ච සිද්ධියට හිනා වුණා.
මේකත් හොස්ටල් සිද්දියක්
තමයි. අපේ හොස්ටල් එක භාරව හිටිය මැඩම් ගම්පහ . එයාට තිබුණා එහේ අන්නාසි වත්තක් .
සතියට දවස් 2ක් හෝ 3ක් මෙයා ඔය වත්තට යනවා, පෝර දාන්න. අරවට මේවට කියලා. මෙි සිද්දිය වුණේ
2002 අවුරුද්දේ මම විභාග ලියන අවුරුද්ද, 13
වසරේ නිසා මම තමයි හොස්ටල් එකේ ලිඩර් වෙලා හිටියෙත්. ඒ දවස්වල ලංකාවට දැඩි නියඟයක් ඇවිල්ලා පැය 6ක්
විතර එක දිගට ලයිට් කපනවා. මට අම්මා ලාම්පුවකුත් ගෙනල්ලා දුන්නා පාඩම් කරන්න. ඔන්න එදත් උදේ මැඩම් ගියා අන්නාසි වත්තට යනවා
කියලා . අපිට උයලා දෙන්න කාන්තාවන් දෙන්නෙක් හිටියා. ඒගොල්ලෝ උදේ 5.00 ඇවිල්ලා රෑ 8.00 ට යනවා. සාමාන්‍යෙයන් මැඩම් වත්ත්ට ගියාම හවස 6.30 හෝ 7.00 වෙද්දි එනවා. එදා ඔන්න 7.00
විතර ලයිටුත් කැපුවා. ලයිට් කපන්න කලින්
කට්ටියම රෑ කැමත් කෑවා. ඒත් මැඩම් ආවෙ නෑ.
වැස්සකුත් පටන් ගත්තා. ඇන් උයන ඇන්ටි මැඩම්ට දෙහි කපනවා එකසිය ගාණට. මොකද දැන් එයා යන වේලාව
හරි නිසා . අවසානේ රෑ අටත් වුණා. මැඩම් ආවේ නෑ. අන්තිමට උයන ඇන්ටි ප්‍රින්සිපල්ගේ ගුරු නිවාසයට ගිහිල්ලා කියලා තිබුණා මැඩම් ආවේ නැ
කියලා. ඊට පස්සේ ප්‍රින්සිපලුයි , එයාගේ නෝනායි එයත් ගුරුවරියක් ඇවිල්ලා කථාකරලා
ගියා. දැන් කටිටිය හොස්ටල් එක ඇතුළේ ලාම්පු, ඉටිපන්දම් පත්තු කරගෙන
ඉන්නවා. 6 වසරේ ඉඳලා 8 වසරේ අයට මම කිව්වා නිදාගන්න කියලා . 11 වසරේ නංගිලා කිවුවා හෙට ඇගයිම්
වගයක් තියනවා කියලා පාඩම් කරන්න ඕනෑ කියලා . 9- 10 අය මා එක්ක එකතුවෙලා කයිය ගැහුවා.
හොස්ටල් එක පරන එකක් නිසා සමහර ජනෙල්වල කොකු කැඩිලා තිබුණේ. ඒවා රෙදි පටිවලින් තමයි ගැට ගහලා තිබුණේ .
දැන් ඔහොම තව පැයක් විතර
ගියා. මම පාඩම් කරන තැන මේසෙ ළග ජනේලෙත් රෙදි පටියකිත් තමයි ගැට ගහලා තිබුණේ. පාඩම්
කරකර හිටිය ළමයි දෙන්නෙක් එක පාරට මගේ ළඟට ඇවිල්ලා කිවුවා අක්කේ ඔයාගෙ ජනේලේ රෙදි
පටිය බුරුල් යෙවලාද කෙහෙද හෙලවෙනවා කියලා. මේ වෙලාවේ ලයිට් නැතිවුණාට ලොකු වැස්සකුයි හුළඟයි
තිබුණා. දැන් මේ කතාවෙන් ඇහැරලා හිටිය අය ඔක්කොම බයවුණා. ඒ පාර මමත් බය වුණොත්
කටිටිය තවත් බයවෙන නිසා මම කිවුවා අයියෝ බය වෙන්න එපා, මගේ ජනේලෙනේ මම ගිහිං
බලන්නම් කියලා. මම ළඟට ගිහිං ජනේලේ ගැටේ
බුරුල් වෙලා තිබ්බ තැන හදලා මගේ පැත්තට ජනේලෙ අදින්න හදනකොටම මහා බලයකකින් ඊට ප්‍රතිවිරුද්ධ
දිශාවට ජනේලේ ඇරුණා. එකපාරටම නොහිතපු
දෙයක් සිද්ධ වෙච්ච නිසා මට කෑ ගැහුණා. ඒ එක්කu ළමයි ඔක්කොම කෑ ගැහුවා . පස්සේ මම
ඉක්මනට ජනේලේ ඇදලා වහලා කට්ටියව සන්සුන් කරලා සියලු දෙනාම නිදාගමු කියලා යෝජනා කරා.
ඒ අතර පුළුවන් අය පුුළුවන් වෙලාවක් ඇහැරගන ඉම්මු කියලත් යෝජනා කරා. පස්සේ අපිට
නින්ද ගිය වෙලාව අපිම දන්නේ නෑ . මට ඇහැරුණේ උදේ උයන ඇන්ටි ඇවිල්ලා දොරට ගහන
කොටයි. මැඩම් ඇවිල්ලා තිබුණේ පහුවෙනිදත්
දවල් 10. 00 විතර. ඒ සතියෙම මැඩම්ව ආපහු යවන්න් ප්‍රින්සිපල් කටයුතු කළා. ඉන්පසුව
අපේ ඉස්කෝලෙ චිත්‍ර ටිච අපේ පාළිකාව වුණා.
විචාරක දියණිය
රාත්‍රී 12. 50 පැයට
19 May 2019
පාරුවේ කථාව
අතීතයේ මිනිසුන් තම
ගමනාගමන හා ප්‍රවාහන මාධ්‍යයක් ලෙස පාරුව යොදාගෙන තියෙන බවට සාධක හමුවෙනවා. වැලි
ගොඩ දැමීම හා පතල් ආශ්‍රිතව පාරුව යොදාගන්නවා.
හදිසියේම මේ පාරු ගැන
උනන්දුවක් ඇති වුනේ කොහොමද ? කියන ප්‍රශ්නයට පිළිතුරක් වෙන්නේ ඊයේ පෙරේදා කියවන්න
ලැබුණු පොතක් හේතුවෙන් තමයි. මොහාන් රාජ්
මඩවලයන් රචිත “ කලම්බො” කියන කෘතියෙ මේ පාරු සංස්කෘතිය ආශ්‍රයෙන්
ලියවුණු කෘතියක්. එය කියවීමෙන් පසුව තමයි මේ ලිපිය ලියවෙන කරුණු කාරණා මතුවුනේ.
ඉස්සර අපේ තාත්ත කියනවා
“අපේ අම්මා පාවිච්චි කරන උම්බලකඩේ පාරු කාරයාගේ උම්බලකඩේ
වගේ කියලා .” එහෙම කියන්නේ ඇය ටිකක් අරපරිස්සමින් ඒක පාවිච්චි
කරන නිසයි.
පාරුවේ ගමන් කරන්නන්
දින ගණන් ගමන් කරන නිසා ඔවුන්ගේ ආහාර ඔවුන් විසින් පාරුවේ ම උයා පිහා ගන්නවා. මේකට
කියන්නේ “ පාරු බත ” කියලා මේ පාරු බත ඉතා රසවත් කියලා තමයි කියන්නේ. කරවල
වගේම ගඟේ පාරුව පදින ගමන් අහුවෙන මාළු වගේ
දේවල් මේ පාරු බතේ වරදින්නේ නෑ. ඉතින් ඔවුන් කෑම රසවත් කරන්න උම්බලකඩත් භාවිතා
තරනවා.
මොනවද මේ පාරුවල ප්‍රවාහනය
කළේ ?
මේ පාරු සංස්කෘතිය
ලංකාව් දියුණුම යුගය තමයි ලන්දේසි යුගය හා ඉංග්‍රීසි යුගය හඳුන්වන්න පුළුවන් . ආර්
ථික වශයෙන් ඔවුන්ගේ ලාබ සොයා ගැනිම උදෙසා ඔවුන් විවිධ භාණ්ඩ මේ පාරු යොදාගෙන පුවහන
කටයුතු සිදුකළා මිනිසුන් ප්‍රවාහනය කිරීමත් සුලබව සිදුවුණා. විශේෂයෙන්ම
රේන්ද ප්‍රවාහනය සිදුවුණේ ද පාරුවෙන්. රේන්ද කියන්නේ මොනවද
කිවුවොත් මත්පැන් තමයි මෙලෙස ප්‍රවාහනය කළේ. මත්පැන් පීප්ප වශයෙන් එක් රැස් කරලා
ඉන්පසු ප්‍රවාහනය කළා. ඒ වගේම දැව, කුළුබඩු
ආදියත් මෙලෙස ප්‍රවාහනය වුණා. දින ගණන් ගතවෙන මේ පාරු ගමනෙ නවාතැන් පොළවල්
තිබුණා. කොළොම්තොටට ගොඩබස්සන මේ පාරු
නාවැතැන් ගත්ත වෙළෙඳුන් එනකම් භාන්ඩ තබාගත්ත පාරු තොටවල් තිබුණා. රාජගිරිය සිට බත්තරමුල්ල දෙසට යනවිට හම්බවෙන පාලම් තොටත් එවැනි ස්ථානයක්.
මෙවැනි ස්ථාාන ගනණාවක්ම තිබිලා තියනවා .
පාලම් පාරුව කියන්නේ
මොකක් ද?
භාණ්ඩ ප්‍රවහනයට වගේම
මිනිසුන් පුවාහනය සඳහාත් පාරු තිබුණා . මේ පාරුව මිනිසුන් ට පාලමක් නොමැති
තැන්වලින් ගංගා තරණය කරන්න පාලමක් ලෙස ක්‍රියාත්මක වුණා. ඒකයි මේකට පාලම් පාරුව කිවුවේ. මේ පිළිබඳ කියවෙන අලංකාර ගීතයකුත් තියනවා.
මේ ගීතය ලියවෙන්න පාදක
වෙලා තියෙන්නේත් කොළඹ අතීත පිංතූරයක්. ඒක
අලංකාරව සුනිල් එදිරිසිංහ මහත්තයා ගයනවා
එහෙනම් පාරුවේ කථාවට මෙයින් සමුදෙනවා ................
විචාරක දියණිය ප.ව. 18 00 පැයට
04 March 2019
ඔබට සුබ උපන් දිනයක් වේවා.........................
මේ ලෝකයේ ඇත්තේ යාම් ඊම් පමණය.
නාවොත්
යාමට නොහැකිය.
නොගියොත් ඒමට නොහැකිය.
(එදිරිවීර
සරච්චන්ද්‍ර ශූරීන් - මළවුන්ගේ අවුරුදු දා)
දෙවසරක් ගතවී ඇතත් අමතක කළ නොහැකි මතකයක් හදවතේ ඉතිරි කරමින් ඔබ නික්ම ගොස් ඇත.
ඔබගේ 65 වන උපන් දිනය පසුගිය පෙබරවාරි 27 වන දිනට යෙදී තිබුණි. ඔබේ සොයුරියන් තිදෙනාගෙන් එක් සෙයෙුරියක් ද එදින අප නිවසට පැමිණියේ එබ වෙනුවෙන් අප සූදානම් කළ පුංචි පිංකමට දායක වීමටයි. දෑ වසරක් ගියත් අපට පෙරළිය නොහැකි ඡායාරූප ගොන්න ඇය අතට පත්කර ගෙන අතීත සැමරුම් ඈ සිහිකළේ හදවතේ කඳුලකුත් සඟවාගනිම්නි.
ඒ අතර ඔබ විසින් අප සමඟ සැමරූ අවසාන උපන්දින සාදයේ ඡායාරූප ද
විය.
ඉපදුනොත් මිය යන සනාතන
සත්‍යය අපට පසක් කරදී ඔබ නික්ම ගිය ද මේ මතකය සදා අමරණීයයි.
විචාරක දියණිය ප. ව. 12 00 පැයට ..................
17 February 2019
අසහාය රංගධරයා හා සොඳුරු මිනිසා
සෑම රංගන ශිල්පියෙක්ම ශිල්පිණියක්ම උත්සාහ කරන්නේ රසික හදවත් ඔවුන් සතු කරගන්නයි. එහෙත් ඒක
ලෙහෙසි පහසු කර්තව්‍යක් නොවෙයි. ජීවිතයෙන් සමු ගත්තත් සදා අණුස්මරණීය චරිතයක්
විමත් එතරම්ම අපහසු කාර්යයකි. කෙසේ වෙතත් අද මගේ කථාවේ නායකයා ඔහුයි.
හේ නමින් කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග නම්
විය. මහා පෞර්ෂයක්, මනස්කාන්ත මුහුණක්, අපූරු කටහඬක්, මානව දයාවත් පෙරදැරිව පැමිණි ඔහු 1945 ඔක්තොබර්
9 දින රාගම දී උපත ලැබීය.
කොටහේන
ශාන්ත බෙනඩික් විද්‍යාලය හා කඳාන ද මැසනඩ් විද්‍යාලයෙන් සිප්සතර හදාරන
ඔහුගේ පාසල් මිතුරා වන්නේ රවින්ද්‍ර රන්දෙනියයි.
තරුණ විජය කුමාරතුංග ඔහුගේ පළමු සිනමා නිර්මාණය
වන “හන්තානේ කතාවක්” චිත්‍රපටයට දායක වන්නේ වර්ෂ 1968 දීය. සිය
කුළුඳුල් රංගනයෙන් මනා ප්‍රතිභාවක් පෙන්වන මේ රංගනවේදීයා 1970 සහ 1980 දශකයේ
සිනමාව තමන් සන්තක කරගන්නට සමත් වන්නේය . යෞවනියන්ගේ සිහින කුමරා බවට පත්වන මොහුට
වාණිජ සිනමාව මෙන්ම කලාත්මක සිනමාවේද
දිග්විජය කරන්නට පාර තනා දෙන්නට මෙරට ප්‍රබල සිනමා අධ්‍යක්ෂකවරුන්ට
හැකිවන්නේය. අබිරහස, තුෂාරා, හතර දෙනාම සූරයෝ, එදත් සූරයා අදත් සූරයා, කෙස්ර සිංහයෝ ,
මේ දැස් කුමටද, සංගීතා, දුලීකා ,වාසනා , මදු සිහින, අනුපමා, දෙව්දුව,
නොම්මර 17, මධුසමය, මරුවා සමග වාසේ , දියමන්ති, යුක්තියද ශක්තියද, කැඩපතක ඡායා, සූරියකාන්තා, ආදරේ හිතෙනව දැක්කම වැනි විශාල වාණිජ චිත්‍රපට රැසකත් අහස් ගව්ව,
බඹරු ඇවිත්, පාරදිගේ, එයා දැන් ලොකු ළමයෙක්, කරුමක්කාරයෝ, බැද්දේගම, ගඟ අද්දර, යස ඉසුරු,
අහසින් පොළොවට, පාරමිතා වැනි
කලාත්මක චිත්‍රපට රැසකත් සිය රංඟන කෞෂල්‍ය මතු කළේය.
ඔහු රගපෑ අවසන් චිත්‍රපයට ක්‍රිස්තු චරිතයයි. එය
ඔහුගේ මරණයෙන් වසර 2කට පසු තිරගත විය. ඔහු විසින් රග දක්වන ලද මුළු සිනමා නිර්මාණ
ගණන 114 පමණ වේ. 1978 – 1983 දක්වා අඛණ්ඩව පස්වතාවක් සරසවිය සම්මාන උළෙලේ ජනප්‍රිය
නළුවා වන්නට සමත්වන මොහු සරසවිය, OCIC , ජනාධිපති ආදි සම්මාන
රැසකින් පිදුම් ලබා ඇත. ඔහු විසින් ගයන ලද ගීතයන් බොහෝ ප්‍රමාණයක් ඇත. ඊට
ජනප්‍රිය ගීත රැසක් අඩංගුය.
1. දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අළුගෝසුවනේ
එල්ලාපන්...........
2. ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී..........
3. රූස්ස ගහ යට ...........
4. මිණි කිංකිණි හඬ පරදා .............
5. සැරයටියෙන් අපි යනෙන තුරා .............
6. පායා සීත රැයේ...........
7. රැල්ළෙන් රැල්ළට පාවෙන ඔරුවේ...............
8. වළාකුළක් ගෙන ...........
9. පාට සරුංගල් වාගේ අපේ
ජීවිතේ.....................
10.
ආදරයක හැඟුමක් .....................
ඔහුගේ මෙම රංගන කාර්යය තුළ සාර්ථක වන්නට ඔහුට අතහිත
දුන් නළු නිළි පිරිසක් ද සිටියෝය. ඔහු සමග කථා නායිකාව වන්නට බොහෝ අය
පෙරුම්පිරුවත් ඉන් ජයගත්තේ කිහිප දෙනෙකි.
මාලනි ෆොන්සේකා ඒ අතර සුවිහේෂී විය. ස්වර්ණා මල්ලවාරච්චි, ගිතා කුමාරසිංහ, නීටා ප්‍රනාන්දු, බියුලා
ඩයස්, වසන්ති
චතුරාණි, සබීතා පෙරේරා, නදිකා ගුණසේකර , ශ්‍රියානි අමරසේන, වැනි නිළියන් ද
රවීන්දු රන්දෙනිය , සනත් ගුණතිලක, ෆෙඩී සිල්වා, විමල් කුමාර ද කොස්තා, ගාමිණී
ෆොන්සේකා, ජෝ
අබේවික්‍රම, ක්ලීටස් මෙන්ඩිස් වැනි
නළුවන් ඔහුගේ සමීපතයන් මෙන්ම සගයෝ වූහ.
ඔහු
විසින් සිනමාවට ඔහුගේ ඥාති පුත්‍රයා වූ ජීවන් කුමාරතුංග හඳුන්වා දුන්නේය. මේ සිනමා කාර්යය තුළ ඔහුගේ පෙද්ගලික
ජිවිතය ද ගලාගෙන ගියේය. 70 දශකයේ මැද භාගයේදී ඔහුගේ දිගුකාලීන සහායිකාව වූ මාලනී
විවාහ කරගැනිමට විජය සියල්ල සැළසුම් කළේය. කසාදය ලියාපදිංචි කොට පසුව සුළු
උත්සවයක් පැවැත්වීමට දෙදෙනා තීරණය කළ අතර, මෙම කාලයේ ද ඔවුන් දෙදෙනා චිත්‍රපටයකට දායක
වෙමින් සිටියහ . කතිකා කරගත් පරිදි
මාලනි රෙජිස්ටාර් කාර්යාලයට වි බලා සිටියේ විජය එනතුරුය. විවාහය සඳහා යාමට වීමට සුදානම් වන විටදි ඔහුට ආරංචි වුයේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා එනම් ජීවන් කුමාරතුංගගේ
පියා මියගොස් ඇති බවයි. සියල්ල පසෙක දමා මල්ශාලාවට ගිය ඔහු, තම මංගල ඇඳුම සිය සහෝදරයාගේ දේහයට ඇන්දවීය.
මාලනියට පණිවිඩයක් යවමින් පවසා සිටියේ සිය සහෝදරයා මිය ගිය බවත් අද මංගල්ලය නොකරන
බවත්ය. එදා නොකෙරුණු මංගල්ලය කිසිදා සිදු නොවුණි.
70
දශකය අගභාගයේදි විජය සම සමාජ පක්ෂයට
එකතුවෙමින් සිය දේශපාලන ගමන්මග ද ආරම්භ
කළේය. පසුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
හා සම්බන්ධ විය. එවකට බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි වී තිබු අතර, ඒ සඳහා දැවැන්ත සටනක් ආරම්භ කර තිබුණි .එම රැස්විම්
සංවිධානය කිරිමට ද වෙනත් කටයුතු සඳහා මැතිණිය හමුවීමටද විජය නිතර හොරගොල්ලට යාම
සිදුවුණි. මුලින්ම අනුර සමග කුළුපග වු අතර විජයගේ කථිකත්වයට පෙම්බැඳි එවකට යෞවනියක්
වු චන්ද්‍රිකා කුමාරතුංග ද ඔහු සමග
රැස්වීම්වලට සහභාගි වූවාය. දෙදෙනාටම හොරා දළු ලෑ ප්‍රේමය වර්ෂ 1978 දි විවාහයකින් කෙළවර විය. මෙම විවාහයෙන්
විමුක්ති හා යශෝදරා ඔවුනට දායාද විය.
විජය
1982 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග
කළ හෙක්ටර් කොබ්බෑකජුව මහතා වෙනුවෙන් සහය දැක්වීම නිසා සිරගත කළ අතර, හිරෙන් නිදහස් වූ ඔහු මහර අතුරු මැතිවරණයට ඉදිරි
පත් වූ අතර ,එහිදි ඔහුව මරණ තර්ජන කොට එයින් ඉවත් කරවිය.
එහිදි ඔහුගේ හිතවාදි අයෙක් මරණයට පත්විය. ඉන්පසු ඔහු සිය මතය ගොඩනැගිම සඳහා ශ්‍රී ලංකා
මහජන පක්ෂය ගොඩනැගීය. 1986 වන විට කිසිම
දේශපාලකයෙකුට යා නොහැකිව තිබූ යාපනයේ
සංචාරය කළ ඔහු එල් ටී ටී ඊ සංවිධානය සමඟ
සාකච්ඡාවක් පවත්වා අපේ සිරකරගෙන සිටි සෙබව 4ක් නිදහස් කරන ලදි. යාපනය නගර
මධ්‍යයේ සිට කථාවක් ද පවත්වා දෙමළ ජනතාවගේ
සිත්සතන් දිනාගත් ඔහු නල්ලූර් කෝවිලද වැඳ පුදා ගත්තේය. මෙය එවකට පැවති දේශපාලනය
උඩුයටිකුරු කිරීමට සමත්විය. දෙමළ - සිංහල ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ සාමය හා
සංහිඳියාව තුළින් පමණක් බව ඔහු තරයේ විශ්වාස කළ අතර, ඔහු ඒ සඳහා ක්‍රියා කළේය. එහි අවසන් මහා සටන 1988
ජනවාරි 28 වනදා ඔහු පවතින ආණ්ඩුවට එරෙහිව
සියලු පක්ෂ එකතු කළ අතර, කැම්බල්
පිටියේ විශාල දේශනයක් ද සිදුකළේය. එ්
ඔහුගේ අවසන් දේශපාලන රැළිය විය.
මරුවා
ඔහුට පෙර පිඹුරුපත් සැකසුවේය. 1988
පෙබරවාරි මාසයේ මුල් දිනක ඔහුගේ නිවසට දුරකථන ඇමතුමකින් පවසන්නේ දිවා හෝජනයක් සඳහා
ඇරයුමකි. ඒ කාලය එතරම් සුබවාදී නොවූ නිසා චන්ද්‍රිකා ඊට තදින්ම විරුද්ධ විය. එහෙත්
විජය ආරාධනාව පිළිගත් අතර, සුපුරුදු දින එනම් 1988 පෙබරවාරි 16 වන දින
නිවසින් පිටවීමට සූදානම් වන අතර චන්ද්‍රිකා ඔහුට පිළිගැන්වීමට ගෙනා දොඩම් වීදුරුව
අතට ගන්නටත් පෙර වැටී බිඳෙන්නේ ඇගේ හිත කීරි ගැස්සෙමිනි. “දැන් යන්න එපා” යැයි ඈ
කීවත්, දෛවය ඇයට පෙර ඉස්සර විය ඇයව සැනසූ ඔහු, “ඉක්මණට
එනවා” යැයි පවසා ගේට්ටුව දෙසට ගිය අතර, වාහනය ගේට්ටුවෙන් පිට නවතා තිබුණි. කිසිත් නොදත්
කුඩා යශෝදරා “තාත්තී මාත් එනවා” යයි පවසමින් ඔහු ලඟට දිව යමින් සිටියාය. එ් අඳුරු නිමේෂයේ දී
පාරේ සැගවි සිටි සාහසිකයෝ සතර දිගින් වෙඩි
තබන ලදි. වහා පැන සිය දියණීය දැතට ඔසවා ගත් විජයගේ පිට දෙපැත්තට පළමු වෙඩිපහර දෙක
වැදෙන අතර, වැරෙන් සිය දියණිය වත්තට තල්ලු කරන අතර, දුවන්න යයි කෑ ගසන අතර, වෙඩි ශබ්දය ඇසී චන්ද්‍රිකා දුවගෙන එන විටත් ලේ
විලක් මැද විජය සියල්ල දමා අවසන් සුසුම් හෙළා තිබුණි . මරණ තර්ජනවලදි පැවසු පරිදිම
විජයගේ මුහුණට වෙඩි තබා තිබූ අතර එම නිසා දේහයේ මුහුණ වසා තිබුණි.
එවකට
පස් හැවිරිදි වියේ සිටි මට ගුවන් විදුලියේ ප්‍රවාත්ති ඇසූ අපේ අම්මා “ළමයෝ විජේ කුමාරතුංග මරලා “යනුවෙන් කී හැටි තවම මතකය. එසැණින් රූපවාහිණිය ක්‍රියාත්මක
කළ විට සියලු විස්තර සජීවිව පෙන්වමින් තිබුණි. ඊට දින 6 කට පසුව එනම් 1988 පෙබරවාරි 21 විජයගේ ආදාහන උත්සවය
ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සෝ සුසුම් මැද නිදහස් චතුරස්‍රයේ දි සිදුවිය. විජයගේ
පක්ෂය හා ප්‍රතිපත්ථි හා ඉදිරියට ගෙනයාමය වන්ද්‍රිකා මැතිණිය දේහය ඉදිරියේ සපථ
කරත් මවක් වශයෙන් ඈ අඩියටම වැටී සිටියේ
විජය මිය ගිය දිනයේ සිට කුඩා යශෝදරා ඉතා තදින් ගිලන් විමත් සමගයි . පැවති
තත්ත්වය හමුවේ ඇයට ළමයින්ගේ යහපත වෙනුවෙන් රට අතහැර යෑම හැර විකල්පයක් නොවීය.
විජයගේ
අවසන් වචන වූයේ මෙයයි.
මරණය කියන
අකුරු හතරට මගෙ කිසීම බයක් නෑ. කවුරු මොන විදියෙ චෝදනා කෙරුවත් මගෙ හෘද සාක්ෂිය
දන්නව මං නිර්දෝෂයි කියලා. අන්න ඒ හින්දා මට කිසිම කණගාටුවක් නැතුව පෝරකයට නගින්න
පුළුවන් .......................
වසර 32 නික්ම ගියත් අද ද ඔබ ජිවමානය
විචාරක දියණිය 17.00 පැයට
Subscribe to:
Posts
(
Atom
)