හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label එදිනෙදා දැනුම. Show all posts
Showing posts with label එදිනෙදා දැනුම. Show all posts

05 February 2021

මිරිසවැටිය සත් කඩකට පැලීම 1

x



මම මගේ පරිගණක රාජයා ලෙඩවීමට කලින් පුරාවිද්‍යාත්මක ලිපි පෙළක් ඉදිරිකරමින් සිටියා. අතරමගදී එය ඇණ හිටියත් ලැබුණු ප්‍රතිචාර සමග එය ඉදිරියට ගෙනියෑමට මෙසේ උත්සාහ කරමි.


                                           මිරිසවැටියේ පැරණිම ඡායාරූපයක්


ඒ අනුව ඔබගේ පාද නමස්කාර ලත් මිරිසවැටිය දාගැබ පිළිබඳ ඔබ දත් නොදත් ඓතිහාසිකත්වය හා වර්තමානයේ දක්නට ලැබෙන මිරිසවැටියේ කථාන්දරය ඔබ වෙත ඉදිරිපත් කිරීමට තමයි මේ උත්සාහ දරන්නේ

 


                                                 අවසන් ප්‍රතිසංස්කරණයට පෙර 
                                                               මිරිසවැටිය


ඓතිහාසික මිරිසවැටිය දාගැබ ( ක්‍රි. පු. 161 – 137)

 

දුටුගැැමුණු රපු විසින් ඉදිකරන ලද ප්‍රධාන ස්තූප දෙකෙන් එක් ස්තූපයකි. මෙය උසින් අඩි 60 ක් පමණ හා වට ප්‍රමාණයෙන් අඩි 560ක් පමණ වන බව වංශ කථාවල සඳහන් වේ. මෙම ස්තූපය ඉදිකිරීමේ අරමුණ සම්බන්ධව පුරාවෘත්ත දෙකක් අසන්නට ලැබේ. ඉන් පළමු වැන්න නම් දුටුගැමුණූ රජතුමා තමා වළඳන සියලුම ආහාර වර්ගයන්  භික්ෂූන්ට පිළිගන්වා ආහාරයට ගැනීමට සූදානම්ව සිටියත් අත් වැරදීමකින් මිරිස් මාළුවක් භික්ෂූන්ට පිළිනොගන්වා ආහාරයට ගෙන ඇත. එයට පිළිමයක් ලෙස මෙම ස්තූපය කරවන ලදැයි මහාවංශයේ සඳහන් වේ. එසේම තවත් පුරාවෘත්තයක සඳහන් වන්නේ රජතුමා දිය කෙළියට යන අවස්ථාවේ රජතුමාගේ ජය කොන්තය මෙම ස්ථානයේ තබාගොස් ඇති අතර, දිය කෙළිය අවසන් කර ආපසු පැමිණ, මෙම කොන්තය එසවීමට උත්සහ කිරීමේ දී එය සෙලවිය නොහැකි  වී ඇත. එම නිසා මෙම ජය කොන්තය මැදිකරමින් මෙම දාගැබ ගොඩනගන ලදැයි වංශකථා සඳහන් කරයි.  

 

ඉන්පසු විවිධ රාජ්‍ය සමයන්හිදි මෙම දාගැබට විවිධ මැදිහත් විම් සිදුවී ඇති අතරම ආක්‍රමණිකයන්ගේ විනාශයන්ට ද නොයෙක් වර මෙම දාගැබ ගොදුරු විය. ඒ අනුව ක්‍රි.ව. (114 – 136 ) ගජබා රජ සමයේ දී  මෙම ස්තූපයට ආරක්ෂිත ආවරණයක් ඉදිකර තිබේ. එමෙන්ම වෝහරිකතිස්ස රජු දවස ක්‍රි.ව. (209- 231)  මෙම දාගැබේ ඡත්‍රය ප්‍රතිසංස්කරණය කර ඇත. ක්‍රි. ව. 914 – 923 කාලයේ පස්වන කාශ්‍යප රපු විසින් මෙම විහාර භූමියේ සියලු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර ඇති අතර ක්‍රි. ව. (1153 – 1186) මහා පරාක්‍රමබාහු රජු විසින් මෙය අඩි 206 ක් දක්වා උස්කොට ඇත.


මෙසේ වරින්වර විවිධ ප්‍රතිසංස්කරණයන්ට ලක් වුවද යටත් විජිත යුගයේදී ද මෙහි ප්‍රතිසංස්කරණයන් කිරිමට උත්සාහ දරා ඇත. ඒ ක්‍රි. ව. 1900 දී පමණ ඩිටෙල් නම් යුරෝපීය ජාතිකයා විසිනි. ඔහු විසින් දාගැබේ ප්‍රතිසංස්කරන සඳහා සැළසුම් සකස් කර ඇත. එහෙත් සැලසුම් කළ පරිදි එය ඉටු කරගත නොහැකි  වුයෙන් එය අතර මග නතර විය. ඉන්පසුව ක්‍රි. ව. 1988 වසරේ දී  එවකට පැවති රජය විසින් මෙය ප්‍රතිසංස්කරණය කළයුතු බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දන්වන ලද අතර ඔවුන් පවසා සිටියේ දාගැබේ තත්වය අනුව මේ සඳහා විශේෂඥ උපදෙස් අවශ්‍ය බවත් කඩිනමින් එය ඉටුකිරීම අපහසු බවත්ය.

 

ඒ වන විට චෛත්‍යයේ හතරැස් කොටුව අසලින් පැල්මක් ගොස් තිබූ අතර, එයට හේතුවූයේ වර්ෂ 1900 දි යුරෝපීය මැදිහත්වීමේ දී සිදුවූ වැරදි තාක්ෂණික ක්‍රමවේද නිසා ය. මෙහිදි තවදුරටත් ප්‍රතිසංස්කරණය කිරීමට පෙර ඒ පිළිබඳ විදිමත් පෙර සූදානමක් තිබිය යුතු බව දෙපාර්තමේන්තු නිලධාරින් දන්වා සිටින ලදී. කෙසේ වෙතත් මේ ප්‍රතිසංස්කරණය 2500 වෙනි බුද්ධ ජයන්තියට පෙර සිදුවිය යුතු බැවින් එවකට විශය භාර අමාත්‍යවරයා මෙය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පවරන ලදී. එහිදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින් එම කටයුත්තෙන් ඉවත් වූ අතර, ඉංජිනේරු සංස්ථාව විසින් ඔවුන් දන්නා ක්‍රම ශිල්ප යොදමින් ප්‍රතිසංස්කරණය කරන ලදී. එහිදි සිදුවූයේ බුද්ධ ජයන්තියට දවසක් පෙර සුදු පළසකින් වසා තිබූ දාගැබ හතරවටින් පැලී බිම පතිත වීමයි. වහා යුහුසුළුව කටයුතු කර එම තත්වය සමථයක්ට පත්කර, එම අවස්ථාවේ එහි ආරක්ෂාවට හමුදා අනුඛණඩයක් යවන ලදී. වාසනාවට හෝ අවාසනාවට මගේ පියා එම අනුඛණ්ඩය භාර නිලධාරියා විය.  මාධ්‍යයයට තහනම් ප්‍රදේශයක් ලෙස  එහිදි නම් කරන ලද අතර, පසුව වර්ෂ වර්ෂ 1991 දී පමණ වැඩ ආරම්භ කර වර්ෂ 1993 දී පමණ එය අවසන් කර වර්තමාන මිරිසවැටිය දාගබේ කොත පළන්දා විවෘත කරන ලදී. එහෙත් ඒ තිබෙන්නේ උසින් අඩි 192 ක් හා  විෂ්කම්භය අඩි 141ක් සහිත නව ස්තූපයකි.

 

අදට හමාර කරමි. මෙහි ඇතිවී තිබූ තත්වය කළයුතුව තිබූ දෙය කඩිනමින් ඔබ වෙත ගෙන එමි.


                                                          වත්මන් මිරිසවැටිය



විචාරක දියණිය
පස්වරු19 30 පැයට

 

11 May 2020

ස්තූපයේ විකාශනය 1 කොටස

ඔබ සියලුදෙනාම මේ වනවිට අනන්තවාරයක් ස්තූපයන් වන්දනාමාන  කර ඇතැයි සිතේ.  ඒ වගේම විවිධ වූ ස්තූපවර්ග ලංකාවේ මෙන්ම  ලෝකයේද නරඹා ද සිටිය හැකියි. එමෙන්ම ස්තූපය ලංකාවේ ආරම්භය පිළිබඳව ශාසන ඉතිහාසයෙන් හා සාමාන්‍ය ඉතිහාසයෙන් හදාරා ඇතැයි සිතමි. එහෙත් ඔබට මේ වනතෙක් ගෝචර නොවූ ස්තූපයේ විකාශය සහ අංග ඒවායේ උපයෝගීතාවය පිළිබඳ ඔබ සමග බෙදා හදා ගැනීමට කැමැත්තෙමි. 


ස්තූපය නිර්මාණය වූයේ ක්‍රි. පු. 6 වන සියවසේ බුදුන්වහන්සේගේ පහළ වීමත් සමග යැයි පුරාවිද්‍යාඥයන්ගේ හා ඉතිහාසඥයන්ගේ මතයයි. බුදුන්වහන්සේ දේශනා කළ ධර්මයට අනුව ස්තූපයක් ඉදිකළ ගෞරවය දැක්විය හැකි පුද්ගලයන් සතර දෙනෙකි . 

  •   බුදුන් වහන්සේ
  •   පසේ බුදුන් වහන්සේ   
  •   රහතන් වහන්සේ   
  •   සක්විති රජු             
( දීඝ නිකාය මහා පරිනිර්වාණ  සූත්‍රය) 

රුවන්වැලි සෑය



දාගැබ,  ස්තූපය , චෛත්‍යය යන විවිධ නම්වලින්  මෙය හඳුන්වා ඇත. චේතිය හෙවත් චෛත්‍ය  යන නම භාවිතා වී ඇත්තේ උස කඳු මුදුන යන අර්ථය ඇතිවය.  ඊට හේතුව මෙම ස්තූපය සාදන ලැබුවේ  උස්ව පිහිටි භූමි තුළය.  පන්සලක නම් මෙය එම පන්සල් භූමියේ උසින්ම පිහිටි ස්ථානයේ ඉදිකරන ලදී.  "වැවයි දාගැබයි ගමයි පන්සලයි" යන තේමාව පැමිණියේ ද මේ  කරුණු පදනම් කරගෙනය.  අතිතයේ පැරණි වැව් ගම්මානවල සිටි ජනයා වෙනුවෙන් ඔවුන් සාදා ගනු ලබන වැවෙන්  ඉවත් කරන ලද පස් උපයෝගී කරගෙන එම ගමේ උසම ස්ථානයේ මෙම වෛත්‍යය ඉදිකරන ලදී .


අප කවුරුත් දන්නා පරිදි බුදුන්වහන්සේගේ ධාතු වන්දනාව සඳහා  උන්වහන්සේගේ ශ්‍රී දේහයේ  කොටස් තැන්පත් කරමින් මෙම චෛත්‍ය ඉදිකරන ලදී .  ඒ අනුව ලංකාවේ ඉදිකළ මුල්ම චෛත්‍යය ථුපාරාමයයි. එය ක්‍රි පු 3වන සියවසට අයත් වේ.  එම චෛත්‍යය දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග්‍රහයෙන් බුදුන්වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කරමින් සාදවන ලදී.  මෙය "කාල ප්‍රසාද" නමින් හඳුන්වා ඇත.  ඊට  හේතුව නිවැරදි ශිල්පීය තාක්ෂණය නොතිබි එකල තෙත මැට්ට වියළීම සඳහා ගිනි ගසා පිළිස්සිම නිසා චෛත්‍යෙයේ බිත්ති කළු පැහැ ගැන්වීම නිසාවෙනි. 


ස්තූපයේ  විකාශනයත් සමග විවිධ හැඩ ඔස්සේ  ස්ථුපයන් නිර්මාණය කරන ලදී. මෙම හැඩ යන් අනුව ප්‍රධාන වර්ග 6කට මේ ස්තූපයන්  නම් කරනු ලැැබීය.  ඒවා නම් 





  • ඝණ්ඨාකාර‍ - ඝණ්ඨාකාර යනු  ඝාණ්ඪාරයක හැඩය මෙන් සාදා ඇති  චෛත්‍යය වේ. මේවා ප්‍රමාණයෙන් කුඩා  චෛත්‍යය වේ.  මේ ආකාරයේ  චෛත්‍යයකට උදාහරණයක් ලෙස ථූපාරාම චෛත්‍යය,  සේරුවාවිල චෛත්‍යය හැඳින්විය හැකිය.
  • ඝටාකාර - ඝටාකාර යනු කළගෙඩියක හැඩයට සාදා නිමකළ චෛත්‍යයයි.  මීට උදාහරණ ලෙස සෝමාවති චෛත්‍යය හා මගුල්මහාවිහාර චෛත්‍යය හැඳින්විය හැකිය.
  • ධාන්‍යාකාර -  ධාන්‍යාකාර යනු වී  ධාන්‍ය ගොඩක් එක්රැස්කළ හැඩයෙන් යුක්තවන  ආකාරයට නිමවන ලද  චෛත්‍යය වේ.  මෙවැනි චෛත්‍යයනට ඇති හොඳම නිදසුන කැලණි ස්තූපයයි.  එමෙන්ම වර්තමානයේ ලංකාවේ ස්තූප බහුලව ඉදිකරන්නේ මෙම ධාන්‍යාකාර හැඩයටය. 
  • පද්මාකාර -  පද්මාකාර යනු නෙළුමක හැඩය ගන්නා චෛත්‍යයන් වේ.  ඊට උදාහරණ ලෙස දෙමළ මහා සෑය හා බුත්තල යුධගනා චෛත්‍යය වහන්සේ හැඳින්විය හැකිය. 
  • බුබ්බුලාකාර - බුබ්බුලාකාර යනු දිය බුබුළක හැඩයකින් යුතුව නිර්මාණය කරන ලද චෛත්‍යයන‍් වේ.  ඊට නිදසුන් ලෙස තිස්සමහාරාම චෛත්‍යය හා රන්කොත් වෙහෙර  හැඳින්විය හැකිය .
  • ආමලාකාර  - ආමලාකාර යනු  නෙල්ලි ගෙඩියක හැඩයෙන් යුක්තව ඉදිකරන ලද චෛත්‍යය වේ.  මෙවැනි ස්තූප දුර්ලභ වන අතර වර්තමානයේ ලංකාවේ දක්නට නොලැබේ.  



කැළණි දාගැබ 



පලමු කොටස නිමයි.  දෙවෙනි කොටසින්  ස්තූපයක අංග සහ එහි උපයෝගීතාවය පිළිබඳ දැනගනිමු .



පොත පත හා අන්තර්ජාලය  ඇසුරිණි.


විචාරක දියණියපස්වරු 2200 පැයට 


19 May 2019

පාරුවේ කථාව



අතීතයේ මිනිසුන් තම ගමනාගමන හා ප්‍රවාහන මාධ්‍යයක් ලෙස පාරුව යොදාගෙන තියෙන බවට සාධක හමුවෙනවා. වැලි ගොඩ දැමීම හා පතල් ආශ්‍රිතව  පාරුව යොදාගන්නවා.


 හදිසියේම මේ පාරු ගැන උනන්දුවක් ඇති වුනේ කොහොමද ? කියන ප්‍රශ්නයට පිළිතුරක් වෙන්නේ ඊයේ පෙරේදා කියවන්න ලැබුණු පොතක් හේතුවෙන් තමයි.  මොහාන් රාජ් මඩවලයන් රචිත කලම්බො කියන කෘතියෙ මේ පාරු සංස්කෘතිය ආශ්‍රයෙන් ලියවුණු කෘතියක්. එය කියවීමෙන් පසුව තමයි මේ ලිපිය ලියවෙන කරුණු කාරණා මතුවුනේ.


 ඉස්සර අපේ තාත්ත කියනවා  අපේ අම්මා පාවිච්චි කරන උම්බලකඩේ පාරු කාරයාගේ උම්බලකඩේ වගේ කියලා .  එහෙම කියන්නේ ඇය ටිකක් අරපරිස්සමින් ඒක පාවිච්චි කරන නිසයි.



පාරුවේ ගමන් කරන්නන් දින ගණන් ගමන් කරන නිසා ඔවුන්ගේ ආහාර ඔවුන් විසින් පාරුවේ ම උයා පිහා ගන්නවා. මේකට කියන්නේ  පාරු බත කියලා මේ පාරු බත ඉතා රසවත් කියලා තමයි කියන්නේ. කරවල වගේම ගඟේ පාරුව පදින ගමන් අහුවෙන මාළු  වගේ දේවල් මේ පාරු බතේ වරදින්නේ නෑ. ඉතින් ඔවුන් කෑම රසවත් කරන්න උම්බලකඩත් භාවිතා තරනවා.




 මොනවද මේ පාරුවල ප්‍රවාහනය කළේ ?


මේ පාරු සංස්කෘතිය ලංකාව් දියුණුම යුගය තමයි ලන්දේසි යුගය හා ඉංග්‍රීසි යුගය හඳුන්වන්න පුළුවන් . ආර් ථික වශයෙන් ඔවුන්ගේ ලාබ සොයා ගැනිම උදෙසා ඔවුන් විවිධ භාණ්ඩ මේ පාරු යොදාගෙන පුවහන කටයුතු සිදුකළා  මිනිසුන්   ප්‍රවාහනය කිරීමත් සුලබව සිදුවුණා. විශේෂයෙන්ම රේන්ද ප්‍රවාහනය සිදුවු‍ණේ ද පාරුවෙන්. රේන්ද කියන්නේ  මොනවද කිවුවොත් මත්පැන් තමයි මෙලෙස ප්‍රවාහනය කළේ. මත්පැන් පීප්ප වශයෙන් එක් රැස් කරලා ඉන්පසු ප්‍රවාහනය කළා. ඒ වගේම දැව, කුළුබඩු ආදියත් මෙලෙස ප්‍රවාහනය වුණා. දින ගණන් ගතවෙන මේ පාරු ගමනෙ නවාතැන් පොළවල් තිබුණා.  කොළොම්තොටට ගොඩබස්සන මේ පාරු නාවැතැන් ගත්ත වෙළෙඳුන් එනකම් භාන්ඩ තබාගත්ත පාරු තොටවල් තිබුණා. රාජගිරිය  සිට බත්තරමුල්ල  දෙසට යනවිට හම්බවෙන පාලම් තොටත් එවැනි ස්ථානයක්. මෙවැනි ස්ථාාන ගනණාවක්ම  තිබිලා තියනවා .



 පාලම් පාරුව කියන්නේ මොකක් ද?


භාණ්ඩ ප්‍රවහනයට වගේම මිනිසුන් පුවාහනය සඳහාත් පාරු තිබුණා . මේ පාරුව මිනිසුන් ට පාලමක් නොමැති තැන්වලින් ගංගා තරණය කරන්න පාලමක් ලෙස ක්‍රියාත්මක වුණා.  ඒකයි මේකට පාලම් පාරුව කිවුවේ.  මේ පිළිබඳ කියවෙන අලංකාර ගීතයකුත් තියනවා.



මේ ගීතය ලියවෙන්න පාදක වෙලා තියෙන්නේත් කොළඹ අතීත පිංතූරයක්.  ඒක අලංකාරව සුනිල් එදිරිසිංහ මහත්තයා ගයනවා



 එහෙනම් පාරුවේ කථාවට මෙයින් සමුදෙනවා ................

විචාරක දියණිය  ප.ව. 18 00 පැයට  

13 January 2018

අකුරු ආවේ කොහෙන්ද ? 1



2018  වසරේ මගේ පළමු ලිපිය තමයි මේ ලියන්න සැරසෙන්නේ . මා පසුගිය  වසරේ පැවසූ පරිදි  මෙම බ්ලොගයේ ලිපි මදක් වෙනස් කිරීමට උත්සාහ කරනවා. එහි සාර්ථක අසාර්ථකභාවය තීරණය වන්නේ ඔබලාගේ ප්‍රතිචාර මතයි . කෙසේ වෙතත් එම වෙනස් රටාවේ ලිපිවල පළමු වැන්න මෙසේ ඉදිරිපත් කරනවා. 



ලෝකයේ භාෂාවන්, අක්ෂර වර්ග බොහොමයක් භාවිතා වෙනවා . එහෙත්  ආදී මානවයා  තම සන්නිවේදනය  සඳහා මුලින්ම අක්ෂර සොයාගත්තේ කෙසේද යන්න විග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙනවා . 



අක්ෂරයේ විකාශනය 


මානව පරිණාමයේ සුවිශේෂී කඩයිම ගින්දර සොයාගැනීමයි . ආදී මානවයාගේ මුල්ම තාක්ෂණික ක්‍රියාවලිය එයයි . එහෙත් මානවයාගේ ප්‍රගමනය අධිවේගයෙන් ඉදිරියට පැමිණීමට මුල් වූයේ සන්නිවේදනය දියුණු විමෙන්  පසුවයි . ඒ අනුව මිනිසා අක්ෂර කලාවට  පිවිස ඇත්තේ මීට වසර 6000 කට පමණ පෙර බව තහවුරු වී තිබේ . එහෙත් භාෂාවේ ආරම්භය අදින් අවුරුදු 50000 කට පමණ පෙර යුගය දක්වා දිවයයි . 



ආදි මිනිසා විසින් ශබ්ද උත්පාදනය කළ ආකාරය පිලිබඳ සාක්ෂි කෙන්යාවෙන් හමුවී තිබේ. ආදී මානවයාගේ නිජබිම වූ අප්‍රිකා මහාද්වීපයේ කෙන්යාවෙන් සොයාගන්නා ලද හිස්කබලක් විශ්ලේෂණය කළවිට එහි ( Voice Box ) විකිරණශීලි තත්වයක්  දක්නට ලැබී ඇත. මිනිසාගේ ශබ්ද උත්පාදනය සඳහා සකස්වී තිබුණේ ස්වරාලයයි . වචන කිහිපයක් උච්චාරණය කිරීමට හැකිවන පරිදි ස්වරාලයේ වෙනස්කම් ඇතිවිය. භාෂාව නිසා අක්ෂර උත්පාද වී ඇති අතර , අක්ෂර සඳහා ශබ්ද උපයෝගී කරගෙන  ඇත. වර්තමාන මිනිසාගේ ලඟම නෑයා ලෙස හඳුන්වන හෝමෝ සේපියන් මානවයා  මෙන්ම අනෙකුත් මානව වර්ගයාද සංකේත නිපදවා ඇත. හෝමෝ සේපියන් මානවයා (Animal Symbolical ) ලෙස හඳුන්වා ඇත . 



හෝමෝ සේපියන් මානවයාගේ මොළයේ  වර්ධනයත් සමග නව ස්නායු ජාලද නිපදවීමෙන් නව නිර්මාණශීලිත්වයක් ඇතිවී තිබේ . මොළය විවිධ ක්‍රියාකාරිත්වයන් සඳහා වෙන්වූ ස්ථාන ලෙස සකස් වේ . එහිදී එක් ස්ථානයක් තවත් ස්ථානයක් හා සම්බන්ධ වීමේදි නව දෙයක් නිපදවයි. ඒ සඳහා භාවිතා කර ඇත්තේ සංකේතයි. ඒ අනුව ඔවුන් භාවිතා කරන ලද  ප්‍රථම වර්ණ සංකේතය වන්නේ රතු වර්ණයයි මීට හේතුව ඔවුන්ගේ එදිනෙදා  ජීවිතය හා (life style)  බැඳුණු වර්ණය රතු වර්ණය වීමයි.  එමනිසා මෙය  ( First Code Colour ) ලෙස හඳුන්වනු ලබයි . 



උදාහරණ -           බඩගින්න - ඉදුණු රතුපාට ගෙඩි 

                             අනතුරු  -  රතුපාට ලේ 

                             මෛථුන්‍ය - රතුපාට අවයව 



මේ අනුව මෙය ( Cultural code ) ලෙස හැඳින්විය හැකිය . සංකේත භාවිතා කරගනිමින් මුලින්ම භාෂාව වර්ධනය කරගත් මානවයා  වන්නේ හෝමෝ සේපියන් මානවයාය. මෙම මානවයින් භාෂාව දියුණු කිරීමත් සමග තාක්ෂණයද දියුණු විය . ඔවුන් මුලිනම් සංකේත ලෙස භාවිතා කර ඇත්තේ කුඩා කුඩා ඉරි කැබලිය. පෙනුමෙන් ඉරි කැබලි වුවත් ඒවායේ විශාල අර්ථයක්  ගැබ්වී තිබී  ඇත . මිනිසා සංකේත භාවිතා කිරිමේ අරමුණ වූයේ ඔහුට කාලය හා අවකාශය සමග ගනුදෙනු  කිරීමේ අවශ්‍යතාවයයි.



කාලය හා අවකාශය එකිනෙක බැඳී පවතී . කාලය නොමැතිව අවකාශය තේරුම් ගත නොහැකි අතර , අවකාශය නොමැතිව කාලයද තේරුම්  ගත නොහැකිය . සංකේත මගින් කාලය හා අවකාශය ත්රුම් ගත හෝමෝ සේපියන් මානවයා ඒවා තම මොළයේ ගබඩා කරගන්නා ලදී . සංචාරක ජීවිතයක් ගතකළ මානවයා ස්ථිර ජනාවාස පිහිටුවා ගැනීමෙන් පසු සංකේත වෙනුවට රූප භාවිතය වැඩි කළේය . එහිදී මොළයේ ගබඩා කරගත සංකේත ප්‍රමාණයද වැඩිවිය . එමනිසා හෝමෝ සේපියන් මානවයාගේ සංකේත හදුනා ගැනීමේ ශක්තිය  වැඩිවිය . 




ඉතිරි කොටස ඊළඟ ලිපියෙන් ...........................



විචාරක දියණිය    22 .00 පැයට 


26 December 2016

කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි

   කාලෝ ෆොන්සේකා මහතා, අපේ රටේ බිහිවූ විද්වතුන් අතර, එක්තරා ආකාරයක විප්ලවීය චරිතයක් බව, ඔබ හොඳින්ම දන්නවා ඇති. ඔහුගේ දේශපාලන දර්ශනය හෝ කාලීනව වෙනස්වන අනෙකුත් ප්‍රතිපත්ති කෙසේ වෙතත්, හේතුවාදී චින්තකයකු ලෙස, 1970 දශකයේදී, ඔහු ලාංකික ජනතාවගේ චින්තනයේ වෙනසක් කරන්නට සමත් වුණා. ඒ තමයි, ලාංකික සමාජයේ මුල්බැස තිබුන මිත්‍යාවක් වන ගිනි පෑගීම, කිසිදු අආගමික වතාවත් කිරීමකින් තොරව, කිසිදු දේව ඇදහිල්ලකින් තොරව, කිසිදු ආගමික හෝ දේව වරමකින් හෝ ආධ්‍යාත්මික බලයකින් තොරව, විද්‍යාත්මක සාධක පමණක් ආධාර කරගෙන,  ඕනෑම කෙනෙකුට කළහැකි බව ඔප්පුකොට පෙන්වීම. 

   මේ දිනවල මට කියවන්නට ලැබුන එක්තරා පොතක් නිසා, මගේ මතකය, 1970 දශකය වෙත ඇදී ගියා. හේතුවාදී චින්තනය පිළිබඳව, එවකට මූලිකත්වය ගෙන ක්‍රියාකළ පුද්ගලයකු වන්නේ, ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර්. ඒ මහතාද මිත්‍යාවට එරෙහිව ජනතාවගේ චින්තනය වෙනස් කරන්නට ඉමහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළා. එවකට පාසල් සිසුන්ව සිටි අප, මේ කරුණු ගැන පුවත්පත්වල පළවුණු ලිපි සෑහෙන ගණනක්,  විශාල උනන්දුවකින් කියවූවා මතකයි. ඒ මහතා ගැන පසුව වෙනම ලිපියක් ලියන්නට සිතා සිටිනවා. 

මට කියවන්න ලැබුන පොත මෙන්න මේකයි.


  මේ  පොත, අද වෙළඳපොලේ මිළදී ගැනීමට තිබෙනවාදැයි, මා දන්නේ නැහැ. නමුත්, බුද්ධි වර්ධනය සහ චින්තනයේ නව පැතිකඩක් විවෘත කරගැනීම සඳහා, අනිවාර්යයෙන්ම කියවියයුතු පොතක් ලෙස, මේ පොත මා නිර්දේශ කරනවා. 

   අද සොයාගන්නට නොහැකි තරම් දුර්ලභ කරුණු රාශියක් කැටිකොට, මේ පොත සැකසීම පිළිබඳව, එහි කර්තෘ, නීතීඥ ධර්මපාල සේනාරත්න මහතාට, මගේ විශේෂ ගෞරවය සහ ස්තුතිය පුදකරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා. 

   හොඳයි, කාලෝ ෆොන්සේකා මහතාගේ ගිනි පෑගිල්ල ගැන, පොතේ තිබෙන පරිච්ඡේදය, එහෙම පිටින්ම මෙහි ඇතුලත් කරන්නේ, එය කිසිසේත් සංස්කරණය කල නොහැකි නිසයි. සංස්කරණය කලොත්, එහි ඇති මූලික රසය විනාශ වෙනවා. ඒ නිසා, ඉවසීමෙන් යුක්තව, පහත දැක්වෙන ස්කෑන් රූප වල ඇති විස්තර කියවන මෙන්, ඔබෙන් කාරුණිකව ඉල්ලනවා. 














































   අද අපේ රටේ, මිත්‍යාව කොතරම් තදින් පැතිරී තිබේද නැද්ද යන්න, ඔබටම සිතාගැනීමට ඉඩ තබා, සමුගන්නවා.

2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය 

21 December 2016

විස්තර කරන්නේ දෑහින් දුටු දේය..........

 හනේ මන්දා.......'මන්දා නාලනී' වගේ, ගජමන් නෝනා කෙනෙක් නොවුනත්, පහුගිය දොහක ගිය ගමනක විස්තරයක් තමා මේ කියන්ඩ තනන්නේ. පහුගිය 10 සහ 11 දවස් දෙකේ, අපේ ගෙදට කට්ටිය සමග පොඩි සංචාරයක් ගියා. පොඩි කිව්වට පොඩිම නෑ. 'දක්ෂිණ සීග්ගරගාමී පාරෙන්' මාතර දක්වා ගිහින්, මාතර සිට පරිසර චාරිකාවක යෙදෙමින්, කතරගම ගිහින්, තණමල්විල උඩවලව, පැල්මඩුල්ල, අවිස්සාවේල්ල, කෑගල්ල, පැත්තෙන් ගෙදර ආවා. කිලෝමීටර් 750 ක විතර චාරිකාවක්. මෙන්න දළ වශයෙන් ගමනේ වැදගත් කොටස්. දකුණු පළාතේ ගිය කොටස විශේෂයෙන්.



මුලින්ම අපේ ගෙදරින් පිටත්වුනා පාන්දර 4.00 ට විතර. කඩවතට ගිහින්, සීග්ගරගාමී පාරෙන් ගියා කොට්ටාවට. එතනින් දාගත්තා, අපේ දෝනියන්දැයි බෑණා පොඩ්ඩයි. ආයෙත් සීග්ගරගාමෙට ඇතුල්වෙලා, යන්ඩ පටන්ගත්තා කියමුකෝ එකසිය ගාණට. අම්මපා සමහර තැන්වලදි නම්, 110 ටත් ගියා, වේගය අල්ලන කැමරා තියේද කියා, බල බලා. මුළු ගමනටම ඉතින් මම තමයි ඩැයිවර. 

ඔය සීග්ගරේ අතරමග තියනවනේ, තේ බොන්ඩ, කෑම කන්ඩ, ආහාර ජීර්ණ පද්ධතියේ සහ මුත්‍රාශයේ බර අඩුකරගන්ඩ/වැඩිකරගන්ඩ තැනක්. එතන නවත්තලා, උදේට කාලා, මාතරට ගියයි කියමුකෝ. නොදෝකින්, අර ගෙඩි රුපියල් 550 ක් ගෙවපු කොළ කෑල්ලේ තියෙන්නේ, දළ වේගය පැ.කි.මී. 66 යි කියලා. ලැජ්ජා හතයි. මං වගේ ආමි ඩැයිවර කෙනෙකුට මොන තරම් අපහාසයක්ද? බැලින්නං අර නවත්තලා හිටිය කාලයත් ඇතුළුකොරලා තමයි, වේගය ගණන් හදන්නේ. අම්මපා මීට පස්සේ යන්නේ 60 ට. 

ඔන්න අපි මාතරට සැපත්වුණා. ඉස්සරවෙලාම ඇහැට වදින්නේ අර සීමාමාලකය නේ. ඉතින් එතනට ගියා. 





කෙළ මලියක්නේ. එතන නීතිරීති බොහොම තදයි. 'හුහ්, පුත්තාකම ලේෂි කෙළියක් නෙවේ' කිව්වලු, වෙසක් තොරණක් දැකපු හාජ්ජියාර් කෙනෙක්.  මේ බලන්ඩකෝ. 



ඒ මදිවට ලාළාමී කෙනෙක් දාලා ඉන්නවා, නීති කඩන එවුන්ට පොලුපාර දෙන්ඩ. මෙන්න ඒ ලාළාමී. බලා....න්ඩ පොල්ල අතේ.




මම අපේ ඇත්තිට කිව්වා, මගේ අහලකටවත් එන්න එපා කියලා. දුවටයි බෑණටයි කිව්වා, තොපි දෙන්නා මෙතැනදී නයයි පොළඟයි වගේ හිටපල්ලා, නැත්තං ලාළාමීගේ පොලුපාර තොපේ ඔලුවටම එයි කියලා.  

මාතර අහට ඇවිල්ලා ඉතිං, මාතර කොටුව නොබැලුවොත් ලොකු අඩුවක්නේ. ඔන්න ඉතින් ඒක බලන්ඩත් ගියා. ඇත්තෙන්ම මේ පාසල් නිවාඩු කාලේ, දරුවන්ට මේවා පෙන්නනවානම් හොඳයි. නමුත් එවැනි කවුරුවත් මෙතනට ඇවිත් හිටියේ නැහැ. 


මේ VOC කෑල්ල ගලවලා විකුණයිද දන්නේ නෑ හොරෙන්ම.


REDOUTE VAN ECK කියන්නේ මොකක්ද කියලා, දන්නා ඇත්තෙක් කියලා දෙනවා හොඳයි.



මෙතන තියන කුරුබිලියෙන්, දොරටු තුනක් එකවර ඇරෙනවා වැහෙනවා, දම්වැල් ලීවර ක්‍රමයකට. මෙන්න මෙව්වා තමයි ළමයින්ට පෙන්නන්ඩ ඕනේ. 




හැබෑටම මේ මක්කැයි කියාලා ලියාලා තියෙන්නේ? 

මෙහි තිබෙන කෞතුකාගාරය ඉතා වැදගත්. ලංකා ඉතිහාසයට අදාළ වැදගත් අභිලේඛනයක් වන, පනාකඩුව තඹ සන්නස මෙහි තැන්පත් කර තිබෙනවා. නමුත් ඡායාරූප ගන්න අවසර නැහැ. එහි හැඳින්වීම පමණක්, ඡායාරූපයට නගාගත්තා. 




අද කාලෙත් අලුත් ඉස්ටැයිල් ඒකෙ සමහර ගෙවල්වල මෙන්න මේ වගේ දොරවල් තියනවා. හැබැයි එව්වට ඔය ඊට පහලින් තියන පින්තූරේ ජාතියේ දොර අගුලු නැති එක ලොකු අඩුවක්. 






මාතර අහ ඉඳලා අපි ගියේ වෙහෙරහේනට. හපුච්චේ එතන නීති තවත් තදයි. මේ බලා........න්ඩකෝ.




ඒ කියන්නේ පෙම් යුවලක් ශෝභනව හැසිරෙනවා නම්, වැරද්දක් නැහැ. අශෝභන කියන්නේ, කැතට ඇඳලා, මූණ කට හෝදන්නේ නැතුව, ඔලුව පීරන්නේ නැතුව, එන එකට වෙන්ටෑ. ශෝභන සහ අශෝභන මට්ටම් පිළිබඳ නිර්ණායක ටික, ඔය බෝඩ් ලෑල්ලේම පහලින් දැම්මානම් ඉවරයිනේ. 

කවුරු මොනවා කිව්වත්, වෙහෙරහේන ගැන මගේ අවංක අදහස මෙයයි. වෙහෙරහේනේ, කිසිදු කෞතුක, ඓතිහාසික, කලාත්මක වටිනාකමක් මම නොදකිමි. මෙහි ඇති නිර්මාණ සියල්ලම පාහේ, ඉතා දුර්වල මට්ටමේ ඒවාය. මෙය, විනෝදයට යාමට සුදුසු ස්ථානයක් ලෙස, බොහෝදෙනා සලකන බව පැහැදිළිවම පෙනුනි. 




ආධාර එකතු කිරීම සඳහා විවිධ උපක්‍රම යොදා ඇත. පොලොව යට පිහිටි කොටසේ සිටි පිරිසක්, ඒ කොටසින් පිටවී යාමෙන්, ආධාර ලබාගැනීම මගහැරෙතැයි සිතා, එක් ස්වාමීන් වහන්සේ නමක්, වැඩ්ඩ වැඩිල්ලේ වේගය දැක, මට සිනහව නවතාගත නොහැකි විය. 

දෙවුන්දර ප්‍රදීපාගාරය නැරඹීමට ගිය අපේ ඔලුවට 'ප්ර්රදීපාගාරය' කඩා වැටුණේ මෙන්න මෙහෙමයි.




ඒ කියන්නේ ලංකාවේ කොයි හද්දිබ්බාගයේ ඉන්න පුංචිඅප්පුහාමි වුනත්, කොළඹ හාබර් මාස්ටර් බැහැදැක, පඬුරු පාක්කුඩම් ඔප්පුකර වරං නොගෙන, මෙතනට ඇතුළුවෙනවා බොරුය. එහෙම වරං ලබා නැත්තං, මෙතන පින්සිබල් මාස්ටර් ඉඩ දෙන්නේ නැත. වයිස් පින්සිබල් නැද්ද කියා අහන්ඩ හිතුනත්, දැන්නම්, 'හාබර්' කියන වචනේ ඇහුනත් ඇඟ හිරිවැටෙන නිසා, කට පියාගත්තෙමි. 

පස්ස පැත්තෙන් ගොස් පින්තූර ගතිමි. (ඒ කියන්නේ, ප්‍රදීපාගාරයේ පසුපස ප්‍රදේශයෙන් ගිහිල්ලාය)








 ඊට පස්සේ අපි දෙවුන්දර බලා ගමන් කළා. දෙවුන්දර උපුල්වන් දෙවාලය ආශ්‍රිත විහාරස්ථානයේ බෝධිය අතිශයින් මා සිත් ගත්තේය. එහි සිසිලස ඇත්තම දහම් සිසිලස සිතට දනවයි. 




උපුල්වන් දේවාලය මනරම්ව වර්ණගන්වා තිබුණත්, එහි විදුලි කම්බි සවිකිරීම නම් බල්ලා මාක් ය. බස් නාක බස්නායක නිලමේටවත් මෙව්වා පෙනෙන්නේ නැද්ද හැබෑට? නවීන තාක්ෂණයෙන්, මේ කම්බි එකක්වත් නොපෙනෙන ලෙස සවිකල හැකි බව, උපුල්වන් දෙවියෝවත් නිලමේට පෙන්වා දෙත්වා!




හුම්...............ගාගෙන වේගයෙන් හුම්මානයට ගියත්, හුම්මානය හුම් කිව්වේ නැත. මූද කඩේ වහලාය. ඒ නිසා, හුම්මානයේ කට නිකම්ම වැහිලාය. දෙවරක් තුන් වරක්, පොඩ්ඩක් හුම් ගෑවා විතරය. ඇහැ රිදෙනතුරු, කැමරාව අටවාගෙන, දැන් එයි වතුර පාරක්, දැන් එයි කියා බලා හිටියත්, ආවේ නෑ ඒයි. ඉතිං මොකුත් නැතුව පල්ලම් බැහීමට සිදුවිය. අපි ගියාම පුවක් ගහෙත් දෙබල් කිව්වලු. 





දීර්ඝ කාලයක් තිස්සේ, යන්නට සිතාසිටි තැනකට යාමේ වාසනාව පැදීම ගැන සතුටු වුයෙමි. ඒ උස්සන්ගොඩ ජාතික උද්‍යානයයි. මෙතනට මගේ සිත වැටුණේ හේම නලින් කරුණාරත්න මහතා, HTV නාලිකාවේදී, මේ ප්‍රදේශය ගැන කළ වැඩසටහනක් දැකීමෙනි.




අනේ අපේ කට්ටිය බයවුනානේ මේ සුන්දර පාලු තැනිතලාවේ ඇවිදින්න. ඒ නිසා යන්තම් පොඩ්ඩක් එහාට මෙහාට ගියා විතරයි.



අපේ බෑණා පොඩ්ඩ නම් ටිකක් ඇවිද්දා.

හෑ.........හදිස්සියෙන් දැක්කා, යම්කිසි පිරිසක්, උද්‍යානයේ සුඛ විහරණය කොරන ආකාරය. නමුත්, මේ උද්‍යානයට, පාපැදියක්වත් ඇතුළු කරන්න තහනම් නේද? අපි නොදන්නා සුඛ විහරණ. මට පට්.......ටාස් ගාලා තේරුණා, මොකෑ වෙන්නේ කියලා. මේ අයගේ අවධානය මා වෙත යොමුවී තිබුණත්, නෑ මේ වෙන පොටෝ ටිකක් ගන්නේ කියන හැඟීම ඔවුන්ට ලැබෙන පරිදි, ඔවුන්ව කැමරාවට අල්ලගත්තා. කලුපාට බයිසිකලයේ, ඉස්සරහ රෝදයට එහාපැත්තෙන් බිම තියන, අපේ මෙන්ඩාගේ බ්‍රෑන්ඩ් එක පෙනෙනවා, පින්තූරය මත ක්ලික් කරලා බැලුවම. මේ අය කාගේ අවසරයක්, බලයක්, වරමක්, බලපුළුවන්කාර කමක් නිසාද මෙහෙම කරන්නේ?




අපි කිරින්දට එනකොට ටිකක් හවස්වෙලා තිබුණා. කිරින්දේ සුන්දරත්වය තරමක් අඩුවී ඇති බවකුයි මා දුටුවේ. මා අවසන් වරට කිරින්දට ගියේ, 1980 දශකයේදී. ඒ කාලයේ එතන නොතිබුණු, මහා විහාර සංකීර්ණයක් දැන් එතන ගොඩ නගලා. ස්වභාව අලංකාරය සහ පරිසරය බරපතළ ලෙස විනාශ කරලා. මේ දේශපාලන ව්‍යාපාරයක් වෙන්න ඇති. ආධාර එකතු කිරීම බොහොම ජයට සිදුවෙනවා. 











සොබාදහම ඇඳි රටා 

ඒ මදිවට ඉතා අප්‍රසන්න දැන්වීම් පුවරුවක් පිහිටුවා තිබෙනවා. කිරින්ද බලන්න ඇවිත්, මුහුදේ ගිලීමෙන් මියගිය අයගේ නාම ලේඛනයක්, බිත්තියක ඇඳ තිබෙනවා. තවත් ලියන්න ඉඩතබා තිබෙනවා. මියගිය අයගේ නම සහ ලිපිනය එලෙස සටහන් කිරීම, බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසයි මා දකින්නේ. 'මේ බලපල්ලා නිකම් නැහිච්ච එවුන්' කියනවා වගේ තමයි, මා ඒ පුවරුව දැක්කේ. 




කිරින්දට වැඩිපුර එන්නේ, බැතිමතුන් නොව සංචාරකයන් බව, විහාරස්ථාන පාලකයන් දන්නේ නැද්ද? මේ විහාරස්ථානයට හොඳ ආදායමක් තිබෙන නිසා, මේ නාම පුවරුව වෙනුවට, ජීවිතාරක්ෂකයන් එක්කෙනෙකුවත් යොදවන්න පුළුවන්. නැත්නම්, වරින්වර, ශබ්ද විකාශන මගින්, සංචාරකයන්ට අවවාදාත්මක පණිවිඩයක් දෙන්න පුළුවන්. 

කතරගමට එනකොට රෑ වුණා. පාසල් වියේ සිට මා කලණමිතු, සුනිල් සහ රාණි යුවළ, කතරගම පිහිටි ඔවුන්ගේ නිවසේ, අපට නවාතැන් දුන්නා පමණක් නෙවෙයි, අන්නපානාදී සියලු සත්කාර සංග්‍රහ ලබාදී සන්තර්පණය කළා. කතරගම් පින්තූර ලෙස මා ඔබට පෙන්වන්නේ කිරිවෙහෙරේ මේ පින්තූරය පමණයි.




ආපසු ගමනේදී, විදානේට සහ දෙමළ නයන්නාට සමන්වාගෙන එන්නට හිතා හිටියත්, කාලය ප්‍රමාණවත් නොවීම නිසා ඉඩක් ලැබුණේ නැහැ. එමෙන්ම, උඩවලවේ ඇත් අතුරු සෙවනට යාමත්, අවලංගු කරන්නට වුණා. ඒ වෙනුවට, උඩවලවේ ජලාශය අසල රැඳී, වැව් දියෙන් සැනහී, දවල් ආහාරය ගෙන පිටත් වුණා. 






අතරමගදී මග කැමරාව දුටු දසුන් කීපයක් පහත දක්වනවා. 













තවත් සංචාරක සටහනකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. 

2016 දෙසැම්බර් මස 21 වැනි දින 1234 පැය 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }