හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

15 September 2017

යාල්ගංමෝදර ඛේදවාචකයේ අතුරු කථාවක් 2


නැවතුණු තැනින් ................

එදා උදේ මගේ මව මට පැවසුවේ ඇයට  අත්‍යවශ්‍ය රාජකාරී කීපයක්  සඳහා   ස්ථාන කීපයකටම යාම‍ට තියන බවයි , ඒ නිසා මට සිදුවුනා ඒ සෑම තැනකටම කතා කරන්න . විශේෂයෙන්ම කොට්ඨාස කාර්යාලයට හා කලාප කාර්යාලයට මේ ස්ථාන දෙකෙන්ම මට ලැබුණු පිළිතුර වුනේ  ඇයව උදෑසන  දුටු නමුත් මේ වෙලාවේ ඇය එම ස්ථානයේ නොමැති බවයි . අවසානේ මම අවසාන ඇමතුම ලෙස රුවන්වැල්ල රාජසිංහ මාධ්‍ය විද්‍යාලයේ විදුහල්පති තුමාව ඇමතුවා.

 

ඔහු තමයි එදා මට අස්වැසිල්ල සපයන පිළිතුර දුන්නේ.  මේ තමයි එදා දුරකතන සංවාදය 

මම - සර්  මම ............................................. දුව කතා කරන්නේ 

විදුහල්පති -  ඔව්  දරුවෝ කියන්න.  මොකක්ද ප්‍රශ්නේ? 

මම - සර්  අම්මව අද ඉස්කෝලෙදි දැක්කද ?

විදුහල්පති - ඔව් අද උදේ මම දැක්ක. කලාපෙට යනවා කියලත් කිවුවා . ඇයි මොකක්ද ප්‍රශ්නේ  ?

මම -  සර් මෙහෙ බස් එකක් ගිනි අරන්. මං හිතුවේ අම්මා එකේ හිටියා කියලා .  අනේ සර් අම්මා ආයේ ඉස්කෝලෙට  ආවොත් මට කතා කරන්න කියන්න .

විදුහල්පති - හරි  හරි මම පණිවිඩේ ඉක්මණටම  කොහොම හරි දෙන්නම්.

මම  - බොහොම  ස්තූතියි සර්  

මේ  පණිවිඩය ලබා ගත් විගසම  මම නැවත මගේ පියා ඇමතීය. ඒ වනවිට ඔහු පොල්ගහවෙල මෝචරිය ද  රෝහලේ වාට්ටුද පිරික්සා තිබුණි. මම කීවේ ඒවා අනවශ්‍ය බවත් අම්මා රුවන්වල්ලට ගොස් ඇති බවට මට තොරතුරු ලැබුණු බව හා වහාම කතාකරන ලෙස දැන්වූ බවත්ය. ඒ නිසා ඔහු  නැවත කඳවුරට ගොස්තිබුණි.

වෙලාව දහවල් 1. 00 පමණ වන්නට ඇත. මා බලාපොරොත්තුවෙන් සිටි ඇමතුම ලැබුණි . 
ඒ මගේ මවය . ඇය ඉතාම බියට පත්වූ ස්වරයෙන් ඇසුවේ මා මෙතරම් බියට පත්වූ කාරණාවය . මා මොහොතකට ගොළුවිය. ඒ සමගම මගේ නෙත් දෙකෙන් නොනවත්වා කඳුළු කඩා වැටිණි . ඉන්පසු ඇය සමග විස්තරය කියා හැකි ඉක්මණින් මගේ පියාව ද අමතන ලෙස කීවාය.  ඇය මා පවසන තුරු සිද්ධිය දැන නොසිටියාය. එමෙන්ම ඇය එදින උදෑසන 7. 00 වනවිට සිට ඇත්තේ වරකාපොළ නගරයේය. එදින සියල්ල යහපත් තත්වයට පත්වන විට සවස් කාලය එළඹිණි. මගේ මව බේරුනත් මියගිය අය වනුවෙන් අප තිදෙනාම ශෝක වූහ . තවත් සතියක් ගතවූ පසු මගේ පියා මවට ජංගම දුරකථනයක් රැගෙන දුන්නේය . 

අදද එම ස්තානය පසු කරන විට මට එම සිදුවීම මතකයට නැගේ .


විචාරක  දියණිය 23.00 පැයට 

09 September 2017

යාල්ගංමෝදර ඛේදවාචකයේ අතුරු කතාවක් 1


ඒ 2005 අවුරුද්දය. මගේ පියා සිය සේවා කාලයේ  ක්‍රියාන්විත රාජකාරියෙන් බැහැරව සේවය කළ  එක අවථාවක් විය . ඊට හේතුව පෙර වසරේ ඔහුගේ සහෝදරයා හා ඔහුගේ පුත්‍රයා සුනමියෙන් මියයාම නිසා  ඇතිවූ චිත්ත පීඩාව හේතුකොටගෙන  වැහැර  ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ  රෙජිමේන්තු මූලස්ථානයට අනුයුක්තව සේවය කරන ලදී. 

ඔබට මතක නම් ඒ මහා දුම්රිය අනතුර සිදුවූයේ මේ කාලයේය . එවකට මගේ මව රුවන්වැල්ල  කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක වරියක ලෙස කටයුතු කළ අතර මාරුවීමක් ගත නොහැකි වූ හෙයින් ඇය දිනපතා සේවයට ගියේ නිවසේ සිටය . මේ දිනවල මා විශ්ව විද්යාලවරම් ලබසිටි අතර ,  ඒ සඳහා සූදානම්ව සිටියාය. එමෙන්ම මගේ ශරීර ස්වභාවය නිසා  සෑම උදෑසනකම ජිම් එකට යාමට පුරුදුව සිටියාය.  මේ කාලය වනවිට ජංගම දුරකතනයක් තිබුනේ මගේ පියාට පමණි .

සිද්දිය මෙසේය 

සෑම උදේම  මගේ මව උදෑසන 6 .00 ට පමණ සේවය සඳහා නිවසින් පිටවේ . ඇය රුවන්වැල්ල සඳහා යන්නේ වරකාපොල හරහාය. වරකාපොල නගරයට ඉක්මනින් පිවිසීමට ඇය විසින්  දුර ගමන්සේවා බස්රථ භාවිතා කරයි. ඉතින් ඇතැම් දිනවල මා සමග පවසන පරිදි ඇය ගල්කිරියාගම බස්රථ වලද ගමන් කල බව කියයි .කෙසේ වෙතත් මෙදින උදෑසනද මවත් පියත් තම සේවයන් සඳහා නික්ම ගිය අතර මමද සුපුරුදු පරිදි  ජිම් එකට ගියාය . එය අවසන් කර  නගරයට පැමිණි මට අතොරක් නැතිව කුරුණෑගල නගරයෙන් ඇම්බියුලන්ස් හඬ ඇසෙන්නට පටන් ගත්තාය. කුමක් සිදුවී ඇත්ද  යන්න සොයා ගැනීමට සිතුවත්  ඒ සඳහා කිසිවෙකුත් නොසිටි අතර නිවසට යාම ඉක්මන් කල මම නගර මධ්‍යයෙන් බසයකට ගොඩවිය. එහිදී රියදුරු හා මිනිසෙක් කතාකරන දෙබස මගේ කන වැකිණි. එයින් ඇතිවූ බිය මට  කවරදාවත් දනී නොතිබිණ

රියදුරු - කොහේ යන බස් එකක්ද ?

මගියා -  ගල්කිරියාගම කොළඹ
රියදුරු - කීයටද වෙලා තියෙන්නේ
මගියා -  7.00 විතර තමා වෙලා තියෙන්නේ  බස් එක ගිනි අරන්  තුවාල කාරයෝ මළමිනීයි පොල්ගහවෙලයි කුරුනෑගල ඉස්පිරිතාලෙයි දෙකේම තියනවලු. කොච්ච්යට මුකුත් නෑලු . ගේට්ටුව වහලා තියෙද්දියි බස් එක දාල තියෙන්නේ . 

ඒ වන විට බසය කුරුනෑගල රෝහල පසුකරමින් සිටියේය  එතන එකම හිස් ගොඩකි සාමන්‍ය වාහන වලින්ද තුවාල කරුවන් රැගෙන එමින් තිබුණි මගේ දෙපා පන නැති තත්වයට පත්වී ආයේය. මගේ  මවත් ඒ බසයේ සිටියාද ? ඇගේ තත්වය කුමක්ද ?ප්‍රශ්න පත්‍රයක් මා ඉදිරියේ දිග හැරිණ. සියල්ලටම ගෙදර යායුතු බව මට වැටහින. බසයෙන් බැස ගෙදර  ගියේ කෙසේදැයි මට මතක නැත. ගියා නොව දිවුවාය . ස්ථාවර දුරකතනයෙන් මා පළමුව කතාකරේ මගේ පියාටය . 

මම - තාත්තේ අම්මා මට කියාගත් හැකිවූයේ  එපමණකි පියා - ඔහු මට ප්‍රථම ක්‍රියාත්මක වී තිබුණි . ඔහු සිද්දිය දැනගත් පසු  කුරුනෑගල  රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් මිනී අතගා තිබුණි. ඔහු අඩමින් පැවසුවේ මම කුරුනෑගල ගිහින් බැලුවා. අම්ම කියලා අඳුරගන්න පුළුවන් කවුරුත්  නෑ. මම මිණී ඔක්කොම බැලුවා. ඒවා පිච්චිලා. මම දැන් පොල්ගහවෙල යනවා ඔයා ගෙදරට වෙලා කොහොමහරි අම්මා රුවන්වැල්ලට ගියාද කියල බලන්න කියාය. මම රූපවාහිනියද ක්‍රියාත්මක  කර ඉන්පසු බුදුන් වැන්දේ ආම්ම රැකදෙන ලෙසයි .

විචාරක දියණිය  16.05 පැයට 

05 September 2017

ඒ ඔහුය


                    උපහාර 

           මිනිස් දිවියක අරුත කිම්දැයි 

           සොයන යුගයක පහළවූ 

          අපූරු මිනිසාණෙනි ...................

          තම අඹුදරුවන්ගේ රැක්ම

          මොහොතකට  පරදුවට දමා 

          ජීවිතය යදින සිඟිති දියණියගේ 

          ඉටු දෙවියා වූ 

        නිශ්ශංක සිරිවර්ධන 

          අපේ කාලයේ වීරයාණෙනි..................

          දිද්දෙණිය වත්ත 1 වන පියවර 

          එක්සත් සුභ සාධක සමිතියේ 

          සහෘද ජනතාව විසින් 

          ඉත සිතින්  ඔබවෙත පිදෙන  

          හෘදයාංගම  උපහාරයයි මේ ........................

මේ මගේ පියා විසින් ඔහුගේ සිතුවිලි එක්කොට නිර්මාණය කළ එකකි. මෙහි පසුබිම් කතාව 2012 වර්ෂය දක්වා දිවයයි . එවකට මගේ පියා විශ්‍රාම සුවයෙන් බ්ලොග් ලියන කාලයය. ඊට අමතර වැඩක් ලෙස ගමේ සමිතියේ ලේකම් තනතුර හෙබවීය.මගේ මව සිය සේවා කාලයේ අවසන් වසර ගෙවමින් සිටියාය. මගේ පියා එකළ ඔහුගේ කාලසටහන අනුව වැඩකරන කාලයකි උදැසන 6.00 ට පමණ අවදිවන  ඔහු හේ පානයෙන් අනතුරුව පත්තර පිටුව බලා විශේෂ වැඩක් නොමැතිනම්  උදෑසන 9.00 දක්වා කාලය ගතකරන්නේ බ්ලොග් ලෝකයත් සමගය. එදින සුපුරුදූ පරිදි එවැනි උදෑසනක් විය. 

අපේ නිවසට ඉදිරිපිට නිවසේ සෑම  විටම උන්නේ කුළි නිවසියන්ය. එය සෑම අවුරුදු 2 කට වරක් බදුදෙන නිවසකි. මෙවර පැමිණ සිටිය යුවළට අවුරුදු 3ක සිඟිති දියණියක්  සිටි අතර , දියණියගේ පියා හෙවත් කපිල අයියා  වාරයේ  වැඩ කරන ලදී . ඒ නිසා ඔහු ඇතැම් දිනවල නිවසේ සිටියේ නැත. ඔහුගේ බිරිඳ හා ඇගේ අම්මා නිවසේ සිටි අතර බිරිඳ රැකියාවක් නොකළාය . එම  දියණිය ඉතා දඟකාර වූ අතර මට සිතුන ලෙස කපිල අයියාගේ බිරිඳ තරමක් වගකීම් විරහිත කාන්තාවකි. 

මෙදින උදැසන 7 .00 ට පමණ එම නිවස පිටුපසින්  එක්වරම මහා විලාපයක් ඇසුණි. එවිටම මගේ පියා ළමයෝ අර ගෙදරින් නේද කෑ ගහන්නේ කියා මා අමතුවාය. විලාපයක් ඇසුනත් මා එක්වරම බිය වූයේ එය දෙමහල්ලන්ගේ රණ්ඩුවක් නම් එයට මැදිහත්විය නොහැකි නිසාය. මේ බව පියාටද  කීවාය .තාත්තේ පොඩ්ඩක්මොකද කියල බලමු මා කීව පසු ඔහුද විමසිලිමත් විය.

 ඉන්පසුව ඇහුණේ අනේ මගේ දරුවා ................  යනුවෙන් විලාප දෙන කටහඬයි එවර  නම් තාත්තත්  මමත්  ඒ දෙසට දිවුවේ ළමයාට මොකුත් සිදුවී ඇතිබව තහවුරු වූ නිසාය . එකෙනෙහිම අපේ ගෙදර අනෙක්පස නිවසේ අයද දුව ආහ. සියලු දෙනා නිවසේ පිටුපසට දුවගෙන යනවිට දියණිය ලිඳ ඇතුලට වැටී නිශ්ශංක අයියාගේ  උරමත සිටියි. දැන් මෙහෙයුම ළමයව එලෙසින්ම තබාගෙන නිශ්ශංක අයියාව  ගොඩට ගැනීමය.  කඹ දෙක තුනක් ලිඳට දැමුවත් ඒවා යේ එල්ලීමට  නිශ්ශංක අයියට නොහැකිය . ලිඳේ ගැබුර වැඩිවීමත් උරේ ගානට තබාගෙන වතුර වලින් බේරාගෙන සිටින  ළමයා නැවත වැටේවි යන බියෙන් එක අතකින් ළමයා  අල්ලාගෙන ඔහු නොසෙල්මනව් සිටියේය. ඔහු යට යමින් උඩ එමින් කකුල් ගසමින් අපමණ වෙහෙසුනේය. ඉන්පසු දිග ඉනිමගක් ලිඳට දමා එහි ආධාරයෙන් ඔහුව ගොඩට ගන්නා ලදී ඔහු ගොඩට එනවිට  සියලු කාන්තාවන්ට එලියට යනලෙස කීවේය. හේතුව සරම ලිදේය . මගේ පියා හා තවත්  කීප දෙනෙකු  ඉනිමග නොසෙල්වන සේ  අල්ලා සිටියේය. ළමයා හා අයියා නිරුපද්‍රිතව ගොඩට ආවෝය. 

ළමයාගේ මව අඩමින් දරුවා ඉඹින විට කාගේත් නෙතකට කඳුලක් ඉනුවේය.

සිද්ධිය වී ඇත්තේ මෙසේය ළමයාගේ මව රෙදි සෝදා වැල්වල වනමින් ඉඳ ඇත. ළමයා ඒ අසල සිට ඇති අතර   ,  එම ලිඳ ගැඹුරු වුවත් ළිං ගැට්ට පාතය . ළමයාගේ අතේ බෝලයක් තිබී එය ලිඳට වැටී ඇති අතර ළමයා එය ගැනීමට ළිං ගැට්ටට නැග ඇත . එකෙහෙහිනම ළමය ලිදට වැටී ඇත. ඒ ශබ්දයට තමයි ළමයාගේ මව එදෙස බලා තිබෙන්නේ .ළමයා ඒ අසල සිටිනිසා  අක්ක අනේ මගේ ළමයා කියා කෑ ගසා ඇත. නිශ්ශංක අයියගේ නිවස හා ඒ ළිඳ අතර ඇත්තේ මීටර් 10 කටත් අඩු දුරකි. ඔහු සංචාරක් නිමවී  සිය නිවසට පැමිණ ( ඔහු  හෝටල් සංස්ථාවේ සංචාරක  මග පෙන්නනෙකු ලෙස කටයුතු කරයි . ) උදෑසන තේ පානය කරමින් කුස්සියේ සිට ඇත. ළමයා වැටෙන ශබ්ද ඔහුටද ඇසී ඇති අතර  මොකක්ද කියා සිතන්නටත් පෙර විලාපය ඇසී දුව විත් බලන විට අම්මා ලිඳට පැනීමට දඟලන බව දැක ඇයව පසෙකට තල්ලුකර ඔහු ළමයා සිටිදෙසට විරුද්ධ දිසාවෙන් ලිඳට පැන සිය උරගිසින් ළමයා ඔසවාගෙන ඇත. නැතිනම් වතුර කැළඹී ළමයා අනිවාර්යයෙන් ගැඹුරට යන බව ඔහුගේ  මතයයි. කෙසේ වෙතත් එතන සිටි සියලු දෙනා ඔහුට පින් දුන්නේය . ඔහු ද දරුවන් 3 කුගේ පියෙකි.  එදා දවසම ඒ කතාන්දරය සඳහා වෙන් විය . දරුවාගේ පියා හවස පැමිණ සියලු  දෙනාට පින් දුනි . ඊට දවස් දෙකකට පසු මගේ පියා මේක ලියා මට පෙන්වා  මේ බලන්න මම මේක සමරු පලකයක් විදියට නිස්සංක අයියට දෙනවා කියලා මා සමග කිවුවා . ඔහු  ඒක සංවත්සර උත්සවේදී පිරි නැමුවා. කපිල අයියලා ගෙදරින්ගියා .

විචාරක දියණිය 01.40 පැයට 

31 August 2017

මුදල් ඇමතිතුමාගේ සංග්‍රහය




පසුගිය  සති 2 ට තුන් වතාවක් මේ ලිපිය පලකිරීමට හැදුවත් එය සාර්ථක උනේ නෑ. ඉතින් මටත් තරහා ගිහින් වැඩේ ඇත ඇරියා. මේ උත්සාහය සාර්ථක උනොත් හරි .

මේ දවස්වල මුදල් ඇමතිවරු ගැන වැඩිපුර  සඳහන් වන නිසා  මටත් හිතුනා  1960 දශකයේ මුදල් ඇමති කෙනෙක් ගැන ලියන්න. ඔහු තමයි ආචාර්ය එන්. එම්. පෙරේරා. මේ සිදුවීමට මගේ පියත්  සම්බන්ධයි .

එවකට මගේ පියා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා  විද්‍යාලයේ  ශිෂ්‍ය භට ඛණ්ඩයේ අණදෙන්නා විදියට තමයි කටයුතුකරලා තියෙන්නේ.  මේ විද්‍යාලයේ  පිටටනිය මැද්දෙන් අඩිපාරක් තිබෙන අතර එම අඩිපාර කෙළවර වන්නේ කැළණි ගඟෙන් . පිට්ටනිය කෙළවරේදී මේ ආදී පාර ගුරු පාරක් බව‍ට පත්වෙනවා මේ පාරෙන් මිනිස්සු පිට්ටනිය කෙලවරේ ඇති තාම නිවාස වලටත් කැළණි ගඟින් අනෙක්පස තිබුණු  ගම්මාන වලට යාමටත් භාවිතා කළා.

ආචාර්ය එන්. එම්. පෙරේරා වාසය කළ රතු වලව්ව නමින් හැඳින්වුණු නිවස පිහිටියේ විද්‍යාලය ඉදිරිපිට පාරේ අනෙක් පසින් ( මෙය තවමත් පවතිනවා ) ඉතින් මේ තමයි කතාවේ පසුබිම 

අදාළ සිද්දිය මෙසේයි .

දිනක් පාසල නිමවී මගේ පියා සිය ඛණ්ඩය පිට්ටනියේ  පුහුණුවීම්වල යොදවමින් සිට තිබෙනවා. ඒ අතරතුර මගේ පියා දැක තිබෙනවා  පිට්ටනියේ ඇත කෙලවරින් තුවායකුත් කරේ දමාගෙන  දියනෑමට පැමිණෙන මුදල් ඇමතිතුමාව  ඔහුගේ  පිටුපසින් සබන් කෑල්ලක් හා බාල්දියක්  අතින් ගත්  සේවකයෙක් පැමිණ තිබෙනවා . කෙසේ උනත් මේ ඇමතිවරයෙක් නිසා නිසි ගෞරව දැක්විය යුතුනිසා මගේ පියා ඒ අවස්ථාවේ ඛණ්ඩයට විධාන කරනවා .

මගේ පියා -  ඛණ්ඩය කල්බැලීම නවාතන් , ඛණ්ඩය සීරුවේින් සිටින්

මුදල් ඇමති තුමා -  ඉලන්දාරියා  මොකටද  මේ පුහුණුවීම් ?

මගේ පියා -  සර්, ලබන සතියේ  රන්ටැඹේ යන්න .

මුදල් ඇමතිතුමා -  ම්...........  මෙතන කීදෙක් දැන් ඉන්නවද ?

මගේ පියා -   25 යි  සර් .

 එකෙනෙහිම  ඔහු විසින් තම සේවකයාගේ කණටකර යමක් පවසා  ඔහුව නැවත නිවසට පිටත් කොට ඔහුළඟ තිබූ බාල්දියද  රැගෙන ඇමතිතුමා දිය නෑමට ගොස් තිබුණි. මගේ පියාද සුපුරුදු පරිදි ෆුනුවීම් යලි ආරම්භ කර තිබුණි. මද වීලාවක් ගිය පසු එතනට පැමිණියේ එව්වකට එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් ව පවතී සිසිල හෝටලයේ  සේවකයන් දෙදෙනෙකි . ඔවුන් විසින් බනිස් පෙට්ටියක් හා බීම පෙට්ටියක් පිට්ටනිය මැද තබා ගොස්තිබේ 

මගේ පියාගේ භාෂාවෙන් කියනාවානම් දෙයක්ලැබුණුවිට  ඉඩමේ හතර කොණ නොබැලිය යුතු නිසා බනිෂා බීම පෙට්ටියට වගකියූ ඔවුහු ඇමතිතුමාට පින් දෙමින් නිවෙස් වලට ගියහ .


විචාරක දියණිය  23.00 පැයට




17 August 2017

මරණයේ දෝංකාරය



මගේ පියා  සිය රාජකාරි දිවියේ වැඩිම කාලයක් ගතකලේ වවුනියාව ප්‍රදේශයේය. ඔහු විශ්‍රාම යාමට ආසන්න කාලයේද සේවය කලේ එම ප්‍රදේශයේ වූ අතර යුද්ධය දරුණුවටම පැවති අවදියක් විය. එකළ ත්‍රස්තවාදීන් විසින් නියමුවෙකු රහිත ගුවන් යානා මගින් බෝම්බ හෙලනු ලැබීය . දිනක් අළුයම අප නිවසේ ස්ථාවර දුරකථනය නොනවත්වා නාද වූ නමුත් මගේ නින්ද එය ගැනීමට සිත් නොදුනි.  ඇතැම් විට මගේ පියා පාන්දර කතාකරන බව දැන සිටියත් නින්ද ඊට වඩා මට වැදගත් විය. මේ වේලාවේ මගේ මව සිටියේ කුස්සියේ කෑම පිසිමින්ය. ඇයට මෙය නොඇසෙන්නේ සාලයමැද ඇති දොර වසාගෙන ඇය කුස්සියේ උයන නිසාවෙනි. තවත් වරක් නොනවත්වා නාද වුව ද  මගේ කරුම සිතට එය ගැනීමට සිත් නොදුනි. ඔය අතර , වේලාව අළුයම 5.00 වූ අතර මගේ මව කුස්සියේ තිබෙන රේඩියෝවෙන් ප්‍රවෘත්ති අසා මා වෙත දිවගෙන ආවාය

අම්මා - ළමයෝ වවුනියාවට ගහලා . තාත්තා කතා කලේ නෑ නේද?

මම  -  ඒ වෙලාවේ මට ඇති වූ බිය හා දුක අපමණ වුවත් බයාදු හඩින් මා පැවසුවේ ෆෝන් එක රින් උනා මට  ගන්න බැරි  උනා කියලාය. 

එකෙනෙහිම  නැවත අපේ ගෙදර දුරකථනය නාදවිය. අම්මා විගස ගොස් එය ගත්තාය.

එහෙත්  ඒ පියා නොව ඔහුගේ ඥාති දියණියකි.

ඥාති දියණිය -  නැන්දේ  වවුනියාවට ගහලා නේද ?                        මාමා කතා කළාද ?

අම්මා - අනේ,  කතා කරේ නෑ. කියා මාව බේරා දැමුවාය . එතැන් සිට  ඇය නොනවත්වා ගත්ත ද ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිතය. අම්මා මට  සියලු ගරුසරු පදවලින් අමතමින් නැවත නැවත ඔහුගේ දුරකථන අංක සියල්ල අංකනය කළාය. සියල්ල ප්‍රතිඵල රහිත විය . 

දැන් දෙදෙනාම ගොළුවත රකිමින් පියවර මනිති. ඔය අතර මගේ මව එදින  වැඩට නොයන බව ප්‍රකාශ කළාය. කාලය ගමන් කළේ ඉතා සෙමින්  යයි  මට වරෙක සිතිනි. 

ඔය අතරතුර මා සිතින් මටම බැන ගත්තාය. වෙලාව පෙරවරු 7.00 පසුවී මදක් ගතවී තිබුණි. එකෙනෙහිම අප නිවසේ දුරකථනය  නාදවිය. මාවත් පෙරලාගෙන ගොස් අම්මා දුරකථනය ගත්තාය.

ඒ ඔහුය . ඔයාලගේ වාසනාවට මන් බේරුනා ඔහු කීවේ එලෙසය .

 ඉන්පසු ඔහු ඇසුවේ මන් ගහපු වෙලාවෙම ගත්තා කථා නොකරේ මන්දැයි යන්නය. එවිට අම්මා මට හොඳට ඔහු සමග දෙහි කැපුවාය. 

එදා ඇතිවූ සිද්ධිය මෙසේය . නියමුවෙකු නොමැති ගුවන් යානාවක් ඉරානමඩු සිට පලාලි දක්වා ගොස්  නැවත පැමිණ වවුනියාවේ මෙම කඳවුරට අධි බලැති බෝම්බ හෙලන ලදී. ආලෝකයක් නොමැතිව ගමන්කරන මෙම යානාව නිසා දීශාව විතරක් හඳුනා ගතහැකි අතර  එය ආසන්නයටම එනතුරු දැකිය නොහැකිය. 

එදින අලුයම 3.30 ට පමණ මගේ පියා නිදා සිටින විට ඔහුට දුරකථන ඇමතුමකින් දැනුම් දී ඇත්තේ කාමරය ඉදිරිපස ඇති බංකරයට පැමිණෙන ලෙසයි.  ඔහු දොර අරිනවාත් සමග මෝටාරයක් පැමිණ කාමරයේ වහලයේ වැදීඅති අතර ඒ සමග විසිවූ ඔහු බංකරයට නිකම්ම වැටී ඇත. ඉන්පසු වෙඩි හඬවල්  දසත පැතිරෙද්දී ඔහු ජංගම දුරකතනයෙන් බංකරයේ සිට නිවසට ඇමතුම ගෙන ඇත.  

ඒ අවස්ථාවේ මගේ නින්ද විසින් එය ගනු නොලැබීය .

මෙහි අවාසනාවන්තම සිද්ධිය එය නොවේ . යානයෙන් බිමට හෙලන ලද බෝම්බය බිම පතිත වෙද්දී සියල්ලෝම බංකර වලට රින්ගද්දී සෙබළියක්‌ විසින් සෙබළුන් සිටින බංකරයට යාමට අකමැත්ත ප්‍රකාශ කර ඇත. කොතෙක් උත්සාහ කරද ඇය  එම බංකරයට  නොපැමිණ  එලි මහන් කුටියක සිට ඇති අතර,  බෝම්බය ඒ ආසන්නයට වැටී ඇත. එම බෝම්බ කෑලි ඇගේ උදරයේ වැදී දරුණු තුවාල ලැබූ ඈ එම මොහොතේම මියගොස් තිබිණි. මියගියේ ඇය පමණි . එහෙත් ඈ තුවාල සහිතව අම්මෝ ........ කියා කෑ ගැසූ අවසන් කෑගැහිල්ල මගේ පියාට කාලයක් යනතුරු දෙසවන් දෝං කාර දුන් බව ඔහු මා සමග පැවසුවේය. 

ඔහුගේ වසර 32 ක් පමණ සේවා කාලයේ  මරණය දොරකඩටම පැමිණි  ප්‍රථම අවස්ථාව මෙයයි.  

විචාරක දියණිය  23.00 පැයට 

07 August 2017

පෙළ පාළිය, විසිර යා



විචාරකතුමාගේ  පිංකමට ආවත් , නාවත්  ඔහු මතකයේ තියාගත්ත ඔබ සැමට  ස්තූතියි . ඉතින් ගිය සතියම පිංකමට කාලය වෙන්වුණු නිසා හිතේ තිබුනත් ලියාගන්න බැරිවුනා . 


අදමං කියන්නේ ඔහුගේ හමුදා ජීවිතය මට බැඳුනු හැටි .


සූරියකාන්ත  මල හා දෙබරු 

මේ කතාවට රටේ බොහොම ප්‍රසිද්ධ කාලයක් මතකයට නැගෙනවා . ඒ තමයි  1989  ඒ අවුරුද්දේ තමයි මම හා හා පුර කියාලා 1 පන්තියට ගියේ . විචාරකතුමා තමයි  මගේ පොත්වලට පිට කවර දාලා නම ලියල . එයාගේ පොඩි වැඩ නෑ . ලොකු අකුරින් තමයි නම ලියන්නේ . ඒ දවස්වල ඉඳගන්න පුටුව ළමයා ගෙනියන්න ඕන. ඉතින් මට මතකයි . ලසස්න කොස්  ලී  පුටුවක් හදලා තිබුනා . ඒ කේ හැමතැනම ලොකු අකුරින් විචාරකතුමා මගේ නම ලීවා. ඉතින් කොහේ දාලා තිබුනත් පුටුව හොයාගත්ත හැකි. හරි මේ කතා වැඩක් නෑ . කතාවට එන්ටර් වෙමුකෝ ...................


කාලේ වෙනස් තාලේ අලුත් වගේ වැඩිකල් ඉස්කෝලේ යන්න ලැබුනේ  නෑ. ඉස්කෝලේ නිවාඩු දුන්නා. හැබැයි ගුරුවරු වැඩට යන්න ඕන,  අපේ අම්ම ඉස්කෝලෙට ගිහිල්ල පාඩම් වැඩ ඉල්ලගෙන එනවා.  ඒ දවස්වල රෑට මගේ මව ඇහැරිලා ඉන්නවා . අපේ ගෙදර එතකොට හිටියේ මමයි, අම්මයි, නංගියි,  නංගි බලාගත්ත කෙනයි විතරයි. විචාරකතුමාගේ නිවාඩු කැන්සල්. ඉතින් ඔහු නෑ. තත්වය හොඳ නැතිනිසා හැමෝම කීවා ගෙදර තනියම ඉන්න එපා කියලා ඊට පස්සේ අම්ම අපි දෙන්න අරගෙන වැඩට හිටි ළමයා ගෙදර යවලා  ගියා අපේ ලොකු අම්මගේ ගෙදර. අපිට ඉතින් හොඳයි. උදේ ඉඳන් රෑ වෙනකල් සෙල්ලම් කරනවා . ඔහොම ඉන්නකොට  දවසක් රෑ විචාරකතුමා ඇවිත් කීවා අපි දියතලාවේ හමුදා කඳවුරේ තාවකාලිකව නවතින්න යනවා කියලා . ඒ වෙනකොට රජයෙන් හමුදා පවුල් සාමාජිකයන් තම රාජාකාරි ස්ථාන ආසන්නයේ රඳවා ගැනීමට අවසර දීලා තිබුණා. ඉතින් අපිත් ගියා දියතලාවේ. ඒ වුනාට මොකද නිල නිවාසයේ ඉන්න එක හිර ගෙදරට වඩා හපන් එළියට යන්ඩ බෑ. සෙල්ලන් කරන්න ඉඩ නෑ. කෑගහන්න බෑ. මොකද කඳවුර ඇතුළේ නිල නිවාසයක් තමයි ලැබුනේ . 

ඉතින් ඔහොම ඉන්නකොට  දවසක් මම දැක්කා, මං වගේම තව ගෑනු ළමයි දෙන්නෙක් තවත්  නිල නිවාසයක ඉන්නවා . ඒ වගේම, ඒ අසළ කවදාවත් දැකල නැති ලස්සන ලොකු කහපාට මල් වගයක් තියෙනවා . ඒවත් කඩාගෙන අර ළමයි එක්ක සෙල්ලම් කරන්න යනවා කියා හිතලා ,අම්මට අහුවෙන නිසා ඉස්සරහ දොරෙන් නොයා පිටිපස්සේ තිබුණු කෙටි තාප්පෙන් පැනලා ගියා මල්කඩන්න . මල් වලට ලං වෙනකොට මං දැක්ක මී මැස්සෝ වගේ සත්තු ජාතියක් ඒවායේ කැරකෙනවා . මී මැස්සෝ මට විදින එකක් නෑ , කියලා හිතලා මම මල කඩන්න හදනොකටම, ඔලුව පිටිපස්සට එකෙක් ඇන්නා තරු 10 ක් විතර පේන්න. මොකුත් නෑ. කඩාගත්ත මලත් අතඇරපු මං යටි ගිරියෙන් කෑගැහුවා . එවෙලේ තමයි අම්ම දැක්කේ මං ඉන්න  තැන,  ඒ එක්කම මං දැක්‍කා  පහළින් තිබුන පාර දිගේ රාජකාරී නිම කරලා නිල නිවාසයට එන විචාරකතුමාව . එතකොට නම් මට කලන්තේ දාන සයිස් එකක් තිබුනේ. මොකද මං දන්නවා හොඳට බැණුම් අහන්න  වෙන බව. ඊට පස්සේ අයිස් තියලා, බටර් ගාලා කරන්න පුළුවන් සේරම කරත් දවස් දෙකක් විතර යනකන් ඉදිමුම බැස්සේ නෑ. ඒ මී මැස්සෝ නෙවේ දෙබරු කියලත් මල් සූරියකාන්ත කියලත් මම දැනගත්තේ එදා . විචාරකතුමා මං හිතුවට මුකුත්කීවේ නෑ. එකදෙයයි කීවේ මං හිතුවා කටේ සද්දෙටම මේ ළමයා තමයි කියලා .


පෙළ පාළිය, විසිර යා  


දියතලාවේ  ගෙවුණු මාස 8 ක පමණ ජීවිතේ විවිධාකාර අත්දැකීම වලට මුහුණ දුන්නා. ඔය ඉන්න අතරේ විචාරකතුමා මට කිවුවා , මාව උත්සවයකට එක්ක යනවා ලස්සනට ලෑස්ති වෙන්න කියලා. ඔන්න ඉතින් පහුවදා අම්ම මට ලසස්න ගවුමක් අන්දලා, සපත්තු මේස් දාල ලෑස්ති කරා . විචාරතුමාත් ඉතින් නිල ඇඳුම් ඇඳලා, කඩු කස්තාන ඉනේ ගහගෙන ලෑස්ති වුණා. ඔන්න ඉතින් ජීප් එකක පිටිපස්සේ විචාරකතුමාගේ  යාළුවොයි මමයි විචාරකතුමයි ගියා . යනකන් යාලුවෝ බැන්නා,  ඇයි මේ ළමයා අර ගිනි අවුවට ගෙනියන්නේ කියලා . විචාරකතුමා මුකුත් කීවේ නෑ. හිනාවෙවී හිටියා . ඔන්න මට එතනට ගියාමයි තේරුනේ වැඩේ මොකක්ද කියලා . ඒ තමයි දියතලාව යුධ හමුදා පුහුණු පාසලේ විසිර යාමේ පෙළපාලි පවත්වන භූමිය , මාව ගෙනත් තියෙන්නේ  ඒ විසිර යාමේ උත්සවයක් පෙන්වන්න.  විචාරකතුමාටයි මටයි පෙළපාලිය බලන්න අසුන් දෙකක් ලැබුණා. දැන් ඔහොම සියල්ල නරඹමින් ඉඳලා එක පාරටම විදානයක් දුන්නා ආචාර  පෙළ පාලිය විසිර යා කියලා ඉඳගෙන හිටියට මං විචාරකතුමාගේ  අතත් අල්ලාගෙන හිටියේ .  එකපාරටම නැගිට්ට විචාරකතුමා ටක් ගාලා සීරුවෙන් ඉඳගෙන අත නවාගෙන අර සෙබළුන්ට සැලුට් කරා. මට තේරුණා මමත් දැන් සීරුවෙන් සිටිය යුතුයි කියලා. මමත් ඒ විදියටම සීරුවෙන් හිටියා . ඔන්න ඉතින් අර නිලධාරී  කණ්ඩය විසිර ගියා . ඊට පස්සේ  දවසක විචාරකතුමා ළඟ වැඩකරන කෙනෙක් ඇවිල්ල කියනවලු සර් ,මාරු පොටෝ එකක් තියනවා පෙන්වන්න කියලා . බැලින්නම් අර විසිර යාමේ පෙළ පාළියේ  අපි දෙන්නගේ  ෆොටෝ එකක අරගෙන, ඒක බලලා අර මනුස්සයා කිවුවලු බලන්ඩකෝ සර් දුව නිකන් ඉන්නේ සර් වගේම කියලා. විචාරකතුමා  ඒ කතාව ගෙදර  ඇවිත් අම්මත් එක්ක කිවුවා. 


මළ ගෙදර හා  වමනය 

මම තුනේ පන්තියේ විතර ඉන්නකොට විචාරකතුමා දවසක් ගෙදර ඇවිත් ඉන්න වෙලාවේ කීවා . හෙට ඔයා  මාත්  එක්ක මළ ගෙදරක යනවා කියලා . මට ඉතින් මාර සතුටුයි . මොකද මං පොඩිකාලේ ගමන් යන්න හරි කැමතියි . එහෙම තමයි ඔහු මාව ඉස්සෙල්ලම හමුදාවේ අයෙකුගේ මළගෙදර එක්ක ගියේ . මළගෙදර තිබුනේ නොර්ටන් බ්‍රිජ් වල .එවකට අපි පදිංචි වෙලා හිටියේ රුවන්වැල්ලේ නිසා හැටන්  හරහා තමයි ගමන යෙදුනේ. විචාරකතුමා ඒ මළගෙදරට සහභාගිවුණේ  ඔහුගේ හමුදා ඒකකයේ  මළගෙදර වෙනුවෙන්  සහභාගී වන නිලධාරියා ලෙසයි.  ඉතින් මමත් ඔහුත් බසයෙන් ගිනිගත්හේන නගරට ගිය අතර , හමුදාවෙන් එතැන් සිට මළ ගෙදර දක්වා නිලරථයක්  එවා තිබුණා.  ඔහු එම නිලරථයේදීම නිල ඇඳුම් ද , ඇඳගෙන මා සමග මළ ගෙදරට ගියා. තේ වතු යායක් මැද තනාතිබූ කුඩා නිවසේ  ඔහුගේ දේහය  නොතැබිය හැකි නිසා ටකරං වහලයක් තනා දේහය  තැන්පත් කිරීමට වෙනම ස්ථානයක් තනා  තිබුනා . සෙබළාගේ මෑණියන් පැමිණ විචාරකතුමා සමග ඇඩු කඳුළින් කතා කළා මට මතකයි. කුඩා වයසේ උනත් ඒ දර්ශනය මගේ සිතත් සොලවන්න සමත් වුණා. ඔහොම ඉන්නකොට, එතනට ආපු  විචාරකතුමා  දන්න හමුදාවේ කෙනක් සර්, තේ බොන්න යමු  කියා කතාකරා. ඔහුගේ කීමට ගියත්, විචාරකතුමා  වැඩිය කෑවේ බීවේ නෑ. අර පුද්ගලයා මට කේක් කෑල්ලක් හා ආනමාලු කෙසෙල් ගෙඩියක් දුන්නා. ඒ දවස්වල මට ගමන් යනකොට  වමනේ යනවා . ඒ නිසා විචාරකතුමා බයවෙලා කීව ඔයා ඕවා දුන්නට කමක් නෑ කන්න එපා කියලා ඒ වුනාට ඉතින් මේ මම ඕවා අතේ තියාගන ඉන්න බැරිනිසා කෑවා.  අවසානයේ සියලු  හමුදා  උත්තමාචාර මැද දේහය මිහිදන් කෙරුණා. ඉතින් නැවතත් නිවස බලා සුපුරුදු පරිදි ගමන් ආරම්භ කරපු අපිට ආපසු ගමනේදී නිල රථය නිවස සලටම හමුවුණා. විචාරකතුමාගේ ඔඩොක්කුවේ වාඩිවෙලා හැටන් සිට පල්ලම බහින විට දවල් ඔහු කීදේ සැබෑවක් කරමින් වමනය යාමට සානවා තිබුණි.  කට තදකරගෙන හිටියත් විචාරකතුමාගේ නිල ඇඳුම ද  මගේ ඇඳුම ද ඉවර කරමින් මට වමනේ ගියා. විච්රකතුමා එවෙලේ නම් හිටියේ දැන් මාව වාහනෙන් එළියට දාන සයිස් එකෙන් . මොකද එයා හරි නීට් . ඊට පස්සේ  වාහනේ රියදුරු මහතා කීවා ඔහොම ඉන්ඩ සර් පල්ලෙහා  වංගුවේ පොඩි දිය පාරක් තියනවා එකෙන් හෝදගමු කියලා අවසානේ එතනින් මවත් හෝදලා විචාරකතුමා ඇඳුනුත් මාරු කරලා ගමන පිටත් වුණා. ඊට පස්සේ මට හොඳට නින්ද ගියා. ගෙදර ගිය ගමන් විච්රකතුමා අම්මට මන් ගැන පැමිණිලි කරා . 

විචාරක දියණිය 
13.05 පැයට 

23 July 2017

අනුස්මරණය





තෙමසක් ගතවිය ඔහු අප හැර නික්ම         ගොසින්

ඇරයුම් කරමි ඔබ සැම හට  සැදැහැ           සිතින් 

ඇවිත් යන්න අපෙ නිවසට  බැති                සිතින් 

පින් අනුමෝදම් කරමු ඔහුට සෙනෙහෙ     සිතින් 



දිවංගත විචාරකතුමාගේ  තෙමස්පූර්ණය වෙනුවෙන්  පුණ්‍ය කර්මය ජූලි මස 28 හා 29 දෙදින අප නිවසේ පැවැත්වේ. මේ සඳහා සහභාගී  වන මෙන් ඔබ සහෘද බ්ලොග් සාමාජික සියලු දෙනාට ආරාධනා කරමු .

විචාරක  දියණිය ඇතුළු පවුලේ සැම 


වැඩි විස්තර සඳහා  බ්ලොග් සහෘද ගස්ලබ්බා මහතා අමතන්න . 


20. 45 පැයට  විචාරක දියණිය 





2016 

09 July 2017

ඔහු හා අපි .........................


ච්ත්‍රපටි බැලීම 

විචාරකතුමාගේ තාත්තා එයාල පොඩි කාලේ හැමදාම හොඳ ච්ත්‍රපටියක් ආවාම  එක බලන්න එක්ක යන පුරුද්දක් තිබිලා තියනවා, මොකද ඒ කාලේ දැන් වාගේ  සන්නිවේදන මාධ්‍ය දියුණු නැතිනිසා . පසු කාලීනව තාත්තා නැතිව, ගැන්සිපිටින් චිත්‍රපටි බලන පුරුද්දක් විචාරකතුමාට තිබිලා  තියනවා . ඒකට  හරියන්ඩම ඒ දිනවල විචාරකතුමා ඉඳලා තියෙන්නේ  චිත්‍රපටි ශාලාවක් කිට්ටුව තියන ගෙදරක . ඉතින් විචාරකතුමා ඉඳලා තියෙන්නේ එළියේ කාමරේ.  අර ශාලාවේ ෆිල්ම් එක කරකවන කොල්ල  විචාරකතුමා හොඳට යාලු කරගෙන.  ඉතින් 6.30 show එක පෙන්නනේ විචාරකතුමාට අතින් අඩ ගහලා . කරකවනවා කියන්නේ අද වගේ DVD නෑනේ  ඒ තැටිය අමුතු තාලෙටලු දාන්නේ .....  දැන් මෙයා යාලු ගැන්සියත් එක්ක ගිහිල්ලා ගැලරියේ ඉඳගෙන ෆිල්ම් එක බලනවා . ඔතන ඉන්නවා යාළුවෙක් එකම නළුවා විවිධ දර්ශන වල විවිධ ස්වරූපයෙන් ආවහම අහනවලු මූ කවුද බන් කියලා .............
 ඉතින් විචාරකතුමා කියනවලු ඒ ගාමිණි බන් .............
 ඒ අහවලා බන් ....................... ඒ උනාට මේක හරියන්නෙම නෑලු  පස්සේ විචාරකතුමා ෆිල්ම් බලන්න ගියාම ඒ යාලුවා ළඟ ඉන්දගන්නේ  නෑලු  

දවසක් ඔහොම ෆිල්ම් එකක් බලනකොට  අර යාලුවා ඇහුවලු කවුද බන් ඒ කියලා ...............

එදා විචාරකතුමා ළඟ ඉඳලා නෑ. වෙන එක්කෙනෙක් ඉඳලා තියෙන්නේ. එයා එක පාරටම කිවුවලු ........ තොගේ ............මා ඉන්නේ කියලා ......................

එදා ඉඳලා කට්ටිය නිදහසේ ෆිල්ම් බලනවලු ..........


ආයෙමත් දවසක ඔය හෝල් එකට ආවලු වැඩිහිටියන්ට පමණයි ගණයේ ච්ත්‍රපටියක් හැබැයි එක බලන්න මේ  නාඹර වයසේ පොඩිහිටියෝ ගිහිල්ලා . විචාරකතුමාට අයියයි මල්ලිලා දෙන්නෙකුයි හිටියා.  බාල මල්ලි  ඇර මේ  තුන්දෙනාගේ  වයස් අතර පරතරය තරමක් අඩුයි . ඉතින් දැන් විචාරකතුමා පුරුදු පරිදී යාලු ගැන්සියත් එක්ක ෆිල්ම් එක බලනවා . හැබැයි එදා ගැලරියේ උනාට ටිකක් පිටිපස්සේ ඉඳලා තමයි ඉඳලා තියෙන්නේ . 

ෆිල්ම් එකේ ඉන්ටවල් වෙලාවේදී ලයිට් දාපුවාම විචාරකතුමාට යාලුවෙක් කිවුවලු 
අර උඹේ මල්ලි නේද ඉන්නේ කියලා ................ බලනකොට පලවෙනි පේළියේම වාඩිවෙලා ඉන්නවලු බාප්පා ............ දැන් විචාරකතුමාට යකා නැග්ගලු . එතකොට එයත් දැකලා.  දැන් දෙන්නා සංඥා භාෂාවෙන් බැනගන්නවලු 

විචාරකතුමා - වරෙන්කො  අද ගෙදර ( අත දික්කරමින් )

බාප්පා - අනේ පලයන් යන්න,  බලපන්  පිටිපස්ස කියලා ( අතින් කිවුවලු )

විචාරකතුමා බැලුවාලු මූ මේ මොකක්ද කියන්නේ කියලා.  බලනකොට  විචාරකතුමාගේ අයියා ( ලොකු තාත්තා )  ඉන්නවලු  ODC  එකේ,  මේ දෙන්නගේ රංගනය බලාගෙන . මුකුත් දැක්කේ නෑ වගේ . ඉතින් විචාරකතුමාගේ භාෂාවෙන් කියනවානම් 

// ඉතින්   මොකේදැයි  දැන් වළදන්නේ // කියලා   හීමිට  ඉන්දගත්තලු.
එතකොටම ෆිල්ම් එක  පටන් අරගෙන 
ෆිලිම් එක ඉවරවුනාමත් ආව පරිදි  හොඳ ළමයි වගේ තනියම යන්ඩ පටන් ගත්තලු . දැන් පාරේ  යන්නේ අයියා ඉස්සෙල්ලම ඊට  අඩි 20 ක් විතර පස්සෙන් විචාරකතුමා  ඊට අඩි  10 ක් විතර පස්සෙන්  මල්ලි . ගේ ළං  උනාම  නෝ කතා නෝසිනා වගේ ගොස් , හොඳ ළමයි වගේ තම කාමර වලට රිංග ගත්තලු . 


කතන්දර කියාදීම 


ඔන්න ඉතින් පොඩිකාලේ ළමයි කවුරුත් ආසයිනේ කතන්දර අහන්න. ඉතින් අපේ අම්මා මට මතකයි  විවිධ කතන්දර කියලා දෙනවා . ඉතින්  අර ඉස්කෝලේ උගන්නපු කාලේ  විචාරක තුමාට මං කිවුවාම කතන්දර කියල දෙන්න කියල ඔහු කියන්නේ එකම කතාන්දරයයි .  ඒ තමයි  වටු කිරිල්ලිගේ කතාව. ඒකට  හේතුව මන් දන් නෑ . හැමදාම කියාන්නේ ඔය කතාව විතරයි .

ඉතින් විචාරක තුමා පටන් ගන්නවා - ඔන්න එකමත් එක කාලෙක කලෙක හිටියා වටු කිරිල්ලියක් , මේ වටුකිරිල්ලි දවසක් ගලක් උඩ බිත්තරයක් දැම්මා. බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා ............ ඉතින් ඔය විදියට කියනවා  

හැබැයි කවද ඇහුවත් කියන්නේ ඔය කතාව විතරයි .  ඒකට හේතුව මංම හොයා ගත්තා මොකද කතාව දිගයි . අවසානේ අහන්න මට ඇහරිලා ඉන්න වෙන්නෑ එයාට ලේසියි .


ඉංග්‍රීසි  ඉගැන්වීම 

විචාරක තුමාට ඉංග්‍රීසි  භාෂාව මනා ලෙස හසුරවන්න පුළුවන් . ඉතින් අපේ අම්ම අප කුඩාකල විචාරකාතුමා නිවාඩුවට නිවසට පැමිණිවිට ඔහුට පවසනවා 

අනේ,  මේ ළමයි දෙන්නත් එක්ක ඩිංගක් ඉංග්‍රීසියෙන් කතාකරන්නකෝ,  එතකොට මේ දෙන්නත් ටිකක්  ඉගෙන ගාන්නවනේ කියලා 

ඒ වුනාට  කවදාවත් ඒ කියන වෙලාවට විචාරකතුමා එහෙම කරන්නේ නෑ.......
එයා ඉංගීසි පන්තිය පටන්ගන්නේ මධුවිත ටිකක් තොල ගෑවට පස්සේ ................

එතකොට මෙහෙමයි 

විචාරකතුමා -  ළමයි ........... අද අපි ඉගෙන ගන්නේ My Self  ( ටිකක් උස ස්වරයෙන් )
                        My Name is ........................

ඔහොම ටිකක් වෙලා ගිහින් කියනවා  දැන්  බලන්න හරි ලේසියි . හෙම්බිරිස්සාව   හැදුනාම නිකම්ම ඉංග්‍රීසි පුළුවන් වෙනවා. 

මෙහෙමයි   Has shee  කිවුවාම අනෙක් කෙනා අහන්න ඕන Whos he  කියලා 
මේවගේ එකක් කිවුවාම අපට හිනා යනවා අම්මා කෝපයෙන් රතුවෙනවා . පාඩම එතකින් නිමයි . 

එදා අපිට ඔහු කියල දුන්නේ භාෂාවක් තමන් තනිව ස්වෝත්සාහයෙන් ඉගෙනගත්විට එහි මතකයේ රැඳෙන ප්‍රමාණය වැඩි බවයි. පසු කාලීනව ඔහු මාව වෙනමම ඉංග්‍රීසි කථා පුහුණුවකට යොමුකළා. නැගණියට පාසලෙන් හා උසස් අධ්‍යාපනයෙන් එය හිමි උනා ...............


බයිසිකල්  පැදීම 

මගේ මව කියන පරිදි විචාරකතුමාට  බයිසිකල් පදින  උණක් තිබුනලු . හැබැයි වේගේ වැඩියි  වගේම ඔහුටම කියලා බයිසිකලයක් තිබුනෙත් නෑ . නමුත් හදිසියට යාලුවන්ගෙන් බයිසිකල් ඉල්ලගෙන ගමන් ගොස් තිබුනා. ඉතින්  ඔහොම දවසක් ගමනක් යද්දි මතක හිටින වැඩක් වෙලා . සිද්ධිය මෙහෙමයි. 

1980 දශකයේ මුලභාගේ  ජූනි මාසයේ මුල සතියේ දිනයක හරියටම මන් ඉපදිලා  සතියකින් මගේ මවගේ මිත්තණිය මිය ගිහින් තියනවා. මගේ මව සිටි තත්වය අනුව ඇයට යාමට නොහැකි නිසා ඇය විචාරකතුමාට පැවසුවාලු , ඔයාට පුළුවන්ද  මළ ගෙදර   ගිහින් එන්න කියලා . යාළුවගේ බයිසිකලේ ගිහින් එන්න කිවුවාම,  විචාරකතුමා එක පයින් හා කියලා . 

දැන් විචාරකතුමා මළගෙදර යන්න  පිටත් වෙලා . මට කියන්න බැරි උනා, එවකට මේ දෙදෙනා ගුරුභවතුන් නිසා පාසලේ ගුරු නිවාසයේ තමයි හිටියේ . ඉතින් එතන ඉඳලා ටවුමට මහාදුරක් නෑ. ගිහින් විනාඩි පහලු ගතවුනේ මවට ආරංචි උනාලු පාර අයිනේ තිබුණු කඩල කඩයක් කඩාගෙන බයිසිකලේ පෙරළිලා කියලා . 

දැන් අම්මට "ගෙදර ගියොත් අඹු නසී  මග හිටියොත් තෝ නසී" වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ  . මාව දාල  විචාරක තුමා බලන්න යන්න විදියක් නෑ. විචාරකතුමාගේ තත්වේ දන්නෙත් නෑ.  භය බිරාන්තව ඉන්නකොට ආයේ පණිවිඩයක් ආවලු .  විචාරකතුමාටවත් , බයිසිකලේටවත් හානියක් නෑ. කඩල කඩේ කුඩු කියලා . මළ ගෙදර එතනින් ඉවරයි . බයිසිකල් පැදිල්ලත්  මගේ මව තහනම් කරාලු . ඉන්පසු 2015 වෙනකම් මන් දන්න පරිදි විචාරකතුමා බයිසිකල් පැද්දේ නෑ. 


විචාරක දියණිය 12. 25 පැයට 





                    

03 July 2017

මට ජීවිතය කියාදුන් මගේ පියා ........................


ප්‍රතිචාර දැකීමෙන් ලියන්නට සිත් වුවත් රාජකාරිය දේවකාරිය වූ නිසා මෙම සති අන්තය ගතවූයේ අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති විභාග රාජකාරි සඳහාය. 

 නැවතුණු තැනින් .........

       විචාරකතුමා පරිගණකයට මෙතරම් ඇලුම් කළේ ඔහු  Electronic භාණ්ඩ වලට දැක්වූ ඇල්ම නිසාය. කුඩාකල සිට සිය වැඩිමහල් සහෝදරයාගෙන් Electronic පරිපත සැකසීම ඉගෙනගත් ඔහුට  Electronic සම්බන්ධ සියලුම දේ ජානවලින් ලැබී තිබුණේය. මියෙන තුරාවට අප නිවසේ කිසිදු  Electronic භාණ්ඩයක් ඔහුගේ  පරීක්ෂාවෙන් තොරව මිලදීගෙන තිබුණේවත්, අලුත්වැඩියා කතර තිබුණේවත් නැත. ඔහු ඒවා පිටත තැනකට දුන්නේ ඔහුට එය කළ නොහැකිනම් පමණි . මාදිලිය , එහි ප්‍රමිතිය , නිමාව ඔහු සැමවිට අගය කළේය. එහිදී ඔහුට මිල වැදගත් නොවීය. එම නිසා මගේ වයසට සමාන ඇතැම්   Electronic භාණ්ඩ තවමත් අපේ ගෙදර  භාවිතා වේ. ඔහු නව ලෝකයට සැමවිටම ආසාකළ අතර තොරතුරුවලින් සන්නද්ධ විය.

ඔහුගේ  Electronic ආසාව නිසාම ඔහුගේ 50 වැනි උපන්දිනයට මවගෙන්  ඔහුට ලැබුනේ රූපවාහිනී යන්ත්‍රයකි. එයට ඔහු බොහෝ ආසා කළේය .  

ඔහු මට හා මගේ නැගණියට ආදරය හා ආරක්ෂාව සපයන්නට ගත් උත්සාහය අනන්තය. එවකට මා සිවු හැවිරිදි වියේ පසු වූ අතර අප ජීවත්වූයේ කුළි නිවසකය.එහි ලිඳක් තිබුණද , කැළණි ගඟ ආසන්නයේ ජීවත් වූ නිසා නෑම සඳහා ගඟට යාම පුරුද්දක් වී තිබුණි. මේ කාලයේ මා ඉතා දඟකාර බවද පැවසිය යුතුය. කෙස් වෙතත් ඔහුගේ රාජාකාරී ජීවිතය නිසා සැමවිටම අප ළඟ රැඳීමට ඔහුට නොහැකිවිය. දිනක් මව හා අසල නිවසක ළමයෙකු සමග දියනෑමට ගඟට ගිය අතර, ඒ වනවිට අසල්වාසී  බොහෝ දෙනෙක් ද  දියනෑමට ගඟට පැමිණ සිටියහ. ඔවුහු බොහෝ දෙනෙක් ගැඹුරු දියේ සිටියහ. මා වහා වතුරට පැනගත් පසු අම්මා කෑ ගැසුවාය.

අම්මා - ළමයෝ  ගැඹුරට යන්න එපා . ඉක්මණාට නාලා එන්න. 

එය මදකුදු ගණන් නොගත් මමත් ඇයත් ටික වේලාවකින් ගැඹුරු දියට  ගිය අතර ,  අප දෙදෙනාගේ කර වටට පමණ වතුර තිබිණි දෙදෙනාම ඇත අල්ලා සමබරතාව රැකගෙන සිටි අතර, හදිසියේම ඇය මගේ අත අතඇරියාය. සැණකින් දියට වැටුණු මා පහළට ගසා ගෙන යන බව දැනුණි. සැනෙකින්ම මට වැටහුනේ මගේ කටට වතුරපිරෙන බවත් කකුල්  ගැසුවත් වතුර වැඩි නිසා කකුල නොවදින බවත්ය. කෑ ගැසීමට වේර දරන හැම මොහොකම කටට වතුර පිරුණි. අත පමණක් දියෙන් ඔසවා ගැනීමට හකිවූ අතර  මගේ වාසනාවට ගඟේ සෑම කොනකම මා සෙවූ අම්මාට මගේ අත පමණක් දිස්වී තිබුණි. 

අනේ.......... මගේ ළමයා යයි  මව කෑ ගැසූ පසු සියලු දෙනා දුටු අතර , ඊට ඉහළ තොටුපලේ නාමින් උන් මාව දන්නා කෙනෙකු පැමිණණ මාව  හරහට වඩාගෙන ගොස්  බිම තැබූ සැනින් මට වතුර වමනය ගියේය . මගේ මෙන්ම අම්මාගේ නෑමද  අවසන් වූ අතර , ඇය මාවද කැටුව නිවසට පැමිණියාය . ඉන්පසු ටික දිනකින් නිවාඩු පැමිණි මගේ පියා නිවසට ජල සම්පාදනය ලබාගෙන නළ සවිකරන ලදී. එදිනෙන් පසු ඔහු නොමැතිව ගඟට යාම සපුරා තහනම් විය. මා ඉතා බියට පත්වී සිටි නමුත් මට කිසිවක් කීවේ නැත. 

එවැනිම මාගේ වීර ක්‍රියාවක් නිසා වයස අවු 2 දී පමණ මගේ නැගණියගේ කකුලේ  මහපට ඇඟිල්ල දෙකට මැදින් කැඩුණි. සිද්ධිය මෙසේය. එදින සවස සුපුරුදු පරිදි මගේ නැගණියට අහාර ලෙස සුප් කෝප්පයක් දුන් අපේ අම්මා ඇයව සාලයේ තබා මුළුතැන්ගෙට ගියාය. ගෙදර සියලු බිත්ති වලට හා දොර ජනෙල් ආදී සියලු වස්තූන්ට ගුරුවරිය වූ මා  බිත්තියේ යමක් ලිවීමට පැස්ටල් කූරක් රැගෙන ටිපෝව මතට නැග්ගාය . 

බිත්තිය දෙසට වැඩිපුර ඇලවීම නිසා අසමබර වූ ටිපෝව හා මා නැගණිය උඩට වැටුණි. මා ක්ෂණිකව ඉවත් වූ නමුත් ටිපෝදාරයට ඇයගේ දකුණු කකුලේ මහපට ඇඟිල්ල එල්ලෙමින් තිබුණි. ඇය ලතෝනි දෙමින් කෑ ගැසූ අතර , එතනට පැමිණි අම්මා මට දිගට හරහට පහර දී ඇයවද රැගෙන පාරට දිවුවාය. එවෙලේම පැමිණි බයිසිකලයකින් එවකට කරවනැල්ල මූලික රෝහලට ගෙන ගිය අතර , මම මෙහෙකාරිය සමග අඩමින් පාර බලා සිටියෙමි. මා ඉතා බියට පත් වූයේ ඇය මියයාවී යැයි සිතමින්ය . 

මුළු ගමම රෝහලට ගිය අතර සෑම දෙනාම අපාසු පැමිණියත් , මව හෝ නැගණිය පැමිණියේ නැත. අසළ ගෙදරක අයෙක් පැමිණි පැවසුවේ රෝහලේ දෙදෙනාම නවත්වා ගත් බවයි ඉතින් මම අඞමින්ම නින්දට ගියෙමි. එතැන්සිට මාසතුනක් ප්‍රතිකාර ලැබූ පසු දොස්තරවරු පැවසුවේ ඇගේ ඇඟිල්ල වෙන්වූ තැනින් ඉවත් කළ යුතු බවයි . දොස්තරලා සමග මහා  සටනක් කර,  මගේ පියා ඇයව සිය සහෝදරයා සිටි ( Male Nurse) කෑගල්ල මහ රෝහලට ගෙනගොස් ඇඟිල්ල මසා එන්නත් ලබාදී ඇඟිල්ල නොකපා බේරා ගත්තේය. අම්මා රෝහලේ සිටි කාලයේ හැකි අයුරින් මා සමග කාලය ගෙවීමට ඔහු උත්සාහ කළේය. 

ඔහු අපට රසවින්දනය කියා දුන්නේ කුඩාකල සිටය. නිදාගැනීමට යන අතරතුරේදී ඇසීමට සලස්වන්නේ ඔහු විසින් පටිගත කරගන්නා ලද  වේදිකා නාට්‍ය ගීත , පැරණි හින්දි ගීත වැනි දේය. ඒ නිසාම අපිත් ඒ රසට වහ වැටුණි. කෙසේ වෙතත් පරම්පරා ගැටුම සැම විටම පොදු ලක්ෂණයකි. 

එනම් ඔහුගේ පියා ඔහු වික්ටර් රත්නායක මහතාගේ ගීත අහනවාට විරුද්ධ විය . ඔහුගේම වචන වලින් කියතොත්  
මොකාද ඔය වික්ටර් ? යනුවෙන්  විවේචනය කර ඇත. මගේ පරම්පරාවේ දී  අප දෙන්නා 
භාතිය - සන්තුෂ්ගේ ගීත අසනවිට ඔවුන්ව විවේචනය කළේය . 


ගැහැණු දරුවන් ගේ දොර වැඩ නොදන්න්නවා නම් බැනුම් අහන්නේ දෙමවුපියන්ය . මේ ඔහු අප දෙදෙනාට කුස්සියේ වැඩ ඉගැන්වූ ආකාරයයි . ඔහු නිවාඩුවට නිවසට පැමිණි පසු රූපවාහිනිය නරඹන්නේ  ඔහුත් මමත් නැගණියත්ය. දිනක් එලෙස රූපවාහිනී නරඹමින් සිටි අතරතුර ඔහු විසින්  එය ක්‍රියා විරහිත කරන ලදී . අප දෙදෙනාම පුදුමසහගත ලෙස ඔහු  දෙස බැලූ අතර සිනාමුසු මුහුණින් ඔහු පැවසුවේ 

දැන් දෙන්නම කුස්සියට ගිහිල්ලා පැය භාගයක් අම්මාට උදවු කරලා එන්න. එතකන් ටිවී එක බලන්නේ මම විතරයි . 

අප දෙදෙනා කුස්සියට ගියපසු මුලින් මුලින් අම්ම කිසිදු වැඩක් නොදුන් අතර ඔන්න ඔහේ ඉඳගෙන ඉඳලා යන්න කියපු අම්මා පසුව හෙමින් හෙමින් අපට උයන පිහන වැඩ ඉගැන්නුවාය . එහි ප්‍රතිපලයක් ලෙස මගේ නැගණියට කුඩා වයසේම  දරලිප පත්තුකිරීමට හැකිකිවිය . 


අප දෙදෙනාගේ අධ්‍යාපන සාර්ථකවයේදී  ද  නිරතුරුව සතුටු වූ ඔහු අප හැරදා යාම අපගේම අභාග්‍යයකි .................

මතු  භවේදීත් ඔබ මගේ පියා වේවා .........................


විචාරක දියණිය  22. 50 පැයට
 

26 June 2017

මට අහිමි වූ මගේ පියා......................... ඔබට අහිමි විචාරකතුමා......................

කතාවක මුල මැද අගක් තිබිය යුතුය. 
ලිපිපෙළක ආරම්භය මෙලෙස ලිවීමට ආරම්භ කරමි.

“තාත්තා කළ දේ පුතා නොකළොත් වූ  නොට්ටිගේ පුතා” යයි කියමනක් අප සමාජයේ  අසා ඇත. එය හොඳට වඩා නරක අදහසකින් කියුවක් යයි සිතේ. කෙසේ වෙතත්

මගේ පියාට පුතාලා නොමැත. ඉන්නේදුවලා දෙදෙනෙකි. ඉතින් ඔහුගේ මෙහෙවර කොළුවෙක් වූ දුවෙකු කළ යුතුව ඇත. ඔහුගේ නොනිත් ආසාව ලිවීමය. එමෙන්ම බ්ලොගය ඔහුගේ ජීවිතය විය. අසමි දකිමි සොයමි ඉදිරියට පවත්වාගෙන යාම මාගේ ඒකායන අරමුණයි.  එමනිසා මම ඔබලාට විචාරක දියණිය වෙමි.

විචාරකතුමා ඔබලාට ඔහුගැන හා අපේ පවුලේ කථාන්තරය ලිපි වලින් කියා ඇත. එමනිසා මම එය නැවත කියන්නට අදහස් නොකරමි.

පියෙකු වශයෙන් ඔහු මගේ ජීවිතයට පැමිණීම  මට කෙතරම් භාග්‍යක්දැයි කීමට අදහස් කරමි.ඔහු නික්ම ගොස් මාස දෙකකට ආසන්න කාලයක් ගතවුවද තවම මට ඔහු මගේ ළඟ සිටිනවා යයි දැනෙයි. වසර 34 කට පසු මගේ ජීවිතයේ ලබපු අවාසනාවන්තම අවුරුද්ද 2017 බව කිව යුතුමය. ඔහු යුධ බිමේ සිටියදීවත් මෙතරම් දුකක් හෝ පාළුවක් තනිකමක් දැනී නොමැත.


මුලින්ම පුහුණු ගුරුවරයෙකු ලෙසත් පසුව යුධ හමුදා නිලධාරියෙකු ලෙසත් සේවය කළ ඔහු මටත් මා නැගණියටත් සෙනෙහෙබර පියෙකු විය.

ඔහු පුහුණුගුරුවරයෙකු වූයේ විශේෂ අවශ්‍යතා ඇතිදරුවන් සඳහා වූ පාඨමාලාවය. එහිදී මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ එම පාඨමාලාවේ හොදම ශිෂ්‍යයා වීමට ඔහුට හැකිවිය. ඊට අමතරව සිංහල , සමාජ අධ්‍යයනය හා භූගෝලය ඔහුගේ විෂයන් විය. ඔහු සිංහල විෂය ඉගැන්නුවේ පොතෙන් නොව හිතින්ය . සාහිත්‍ය ඉගැන්නුවේ ගීතයෙන් හා ඓතිහාසික කතා චිත්‍රපට වලිනි. ඉතින් ළමයින් පුස්තකාලපීරමින් නවකතා හොයයි. ඔහුගේ ගුරු මණ්ඩලයේ අනෙක් ගුරුවරු ප්‍රශ්න අසයි.

ගුරුවරියක්: කොහොමද,අනේ ඔය පරණ කතන්දර මතකතියාගන්නේ ? අපේ කෙල්ලගේ වැඩේ ගෙදර පරණ පොත් අවුස්සන  එක, ඒ කියන පොත් ගෙනත්දෙන්නලු බලන්න.


විචාරකතුමා: සිනාවෙයි..................... කිසිත් නොකියයි

 සිංහල ඉගෙනගත් කිසිදු ශිෂ්‍යයෙකුට බෝල් පොයින්ට් පෑනෙන් ලිවීම තහනම්ය. සියලු දෙනා තීන්ත පෑනෙන් ලිවිය යුතුය. ඒ මිල අධික නිසා නොව අකුරු වල නියම හැඩය අලංකාර ලෙස ලිවිය හැක්කේ තීන්ත පෑනෙන් වීම නිසාවෙනි.

වර්තමානයේ සියලු දෙනාසතුව ජංගම දුරකථන පැවතියද 1980 දශකයේ එම තත්වය කෙබදුදැයි ඔබ දන්නවා ඇත. එවකට හමුදා සේවයට ගොස් සිටි මගේ පියා අපහා  තොරතුරු බෙදා ගත්තේ ලිපි මගිනි. එහිදී අම්මාටවෙනම ලිපියකුත් අප දෙදෙනාට කුඩා ලිපි දෙකකුත් එවනු ලබයි. එහිඅත්අකුරු පැහැදිලිව වෙනස්ය. ඔහුට අලංකාර ලෙස අකුරු ලිවිය හැකිය. ඔහු වටකුරු අකුරින් හෙමින් ඉතා පැහැදිලිව අපට ලිපි එවන අතර ,   මවට වැල් අකුරින් දිගු ලිපියක් එවයි .

එවකට හදිසි පණිවිඩයක් හෝ ලබාගැනීමට අපසතුව ස්ථාවර දුරකතනයක් නොතිබුණු අතර,නිවස අසළ වෙළඳසැලකටඔහු කතා කර පණිවිඩය ලබදුන්  පසු වෙළඳසැලේ සේවකයා පැමිණ අපට කියන්නේ මහත්තයා තව විනාඩි 5 කින් කතාකරනවා කිවුවා. නෝනාට ඇවිත් ඉන්න කිවුවා. ඉතින් අපේ අම්මගේ අතේ එල්ලී මමත් යන්නේ ඔහුගේ කටහඬ අහන්නටය.

අප කඩයට ගොස් මුදලාලි ළඟ තිබෙන ස්ථාවර දුරකථනය දෙස ඇස් යොමාගෙන සිටියි.එම ස්ථාවර දුරකථන දැන් නම් දකින්ඩත් නැත. එහි නොම්මර ඇමතීම සඳහා අතේ ඇඟිලි 5ම ඕනෑය. කළුපාට ඉතා විශාල එම දුරකථනයවර්තමාන පරම්පාරාවේ අයට විහිලුවකි. එහෙත්එකල එය අගනා භාණ්ඩයකි. ඉතින් ඔහු අම්මට අවශ්‍ය පණිවිඩය කියා මටද වචන දෙකක් හෝ කතා කරයි. ඔයා මොකද කරන්නේ ? මමලඟදි ගෙදර එනවා. ඔවැනි දෑ මාසමග බෙදාහදා ගනියි.

ඔහු හැකියාවන් රාශියකින් පිරි තැනැත්තෙකි. කෑගලු විද්‍යාලයේ ඡායාරූප සංගමයෙන් ඡායාරූපකරණයට අත්පොත් තැබූ ඔහු කුඩා කැමරාවකින් ඡායාරූපකරණය ආරම්භකළේය. ඉන්පු එය විනෝදාංශයක් කරගත් ඔහු ජීවිතයේ සෑම සියලු දෙයක්ම ඡායාරූපගත කළේය. එමනිසාමගේ හා නැගණියගේ උපන් දවසේ සිට අද දක්වා සියලු දේ ඡායාරූපගතකර ඇත. ඔහු තම හමුදා ජීවිතයම ඡායාරූප ගතකර ඇත.


මගේ නැගණියබිළිඳීයක්ව


මට වයස මාස 2 දී පමණ 

ළමයින්  උකුලේ හා කකුලේ දමාගෙන නළවන්නේ අම්මාය . එහෙත් මගේ පියා මා බාල කාලයේ කකුලේ දමා නිදිකරවා ඇත. ඔහු එසේ නිදිකරවන තුරු ඈනුම් අරිමින් බලා සිටිනවා මට හොඳට මතකය. 

ඔහු අප දෙදෙනාගේ ම උපන්දින ඉහලින් සැමරුවේය. එවිට අම්මා කේක් සාදයි. ඔහු ඡායාරූපගනියි. ඔහුට කැමරාවක් නොතිබූ  දිනවල studio photographer කෙනෙකු ලවා ඡායාරූප ගෙන ඇත.


මගේ තෙවැනි උපන් දිනය 

නැගණියගේ සිවුවැනි උපන්දිනය 

 පසුව ඔහුට නිවාඩු ගැනීමේ ගැටළු නිසා  දෙදෙනාගේම උපන්දින එකවර සමරන ලදී . ඊට බාදා නොපැමිනුනේ ඇයත් මමත් අප්‍රේල් හා  මැයි මස ඉපදුනු නිසාය.

මගේ ජීවිත කාලයට මගේ පියා මට දඩුවම් කර ඇත්තේ එක් වරකි . එදවස මා 3 වන ශ්‍රේණියේසිටි අතර , ඔහු මසකට වරක් ගෙදර පැමිණෙන මුල් දිනයේ මට අවශ්‍ය ඔහුසමග  ගෙදර සිටීම විනා පාසල් යාම නොවේ. මගේ මව ගුරුවරියක වුවත්  ඇය ද ඊට විරුද්ධ වූයේ නැත. එහෙත්දිනක්  ඒ අයුරින් මා පාසල් යාමට අදිමද කලපසු මට ඉරටුවකින් පහර දී මාව පාසලට රැගන ගියේ ඔහුය. ඉන්පසු කවදාවත් මා නිකරුනේ පාසල් නොගියේ නැත. එම ඉරටු පහර මට හොදට මතකය.

මගේ ජීවිතය හා ඔහු ගසට පොත්ත හා පොත්තට ගස මෙන් බැඳී පවතී . ඔහු ගෙදරට පැමිණෙන්නේ මගේ නම කියාගෙනය.  එහෙත් අද ඔහු නිසොල්මන්ය.

තවත් බොහෝ දේ ඉදිරි ලිපි වලදී බලාපොරොත්තුවන්න .
මෙම බ්ලොගය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මාව දිරිමත් කළ ගස්ලබ්බා මහතාටත් දේශකයා මහතාටත් ස්තූතිවන්ත වෙමි .

විචාරකතුමාගේමළගෙදරට පැමිණි  ඔහුට ශෝකය ප්‍රකාශ කළ සියලු දෙනාට  මාගේ මෙන්ම පවුලේ ස්තූතිය පිරිනමමි.


විචාරක දියණිය



.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }