හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label ජීවිත සටහන්. Show all posts
Showing posts with label ජීවිත සටහන්. Show all posts

27 February 2021

සුුබ උපන් දිනයක් තාත්තේ...................



මතකය ඇසුරින් සිහියට ගන්නට තවමත් වෙහෙසෙනවා

ඔබ නැති දිවියේ  පාළුව තනිකම හැමදා රජයනවා 

ජීවිතයේ ඇති අනියත භාවය සැමවිට සිහිවෙනවා 

එනමුත් තවමත් සිත ඇතුළින් අපි  හැමදා හඬා වැටෙනවා........................



ජීවිත ගමනේ හැටතුන් වියේදී ඔබ අප වෙන්වෙනවා 

එනමුත් තවමත් ඔබේ උපන් දා අපි ඔබ  අගයනවා

අදත් එවන් දිනකි  මේ වසරේ  අපි ඔබ අමතනවා 

නිවන් පතන්නට දිව නෑ නැමෙන්නෙ  සිත  ඔබ ඉල්ලනවා

මතු භවයේදී අපේ පියා ලෙස පැතුමක් ගෙන එනවා .....................


සිවු වසරක් අපි ඔබේ උපන්දා පිං දම් පුදදෙනවා 

ඒ පින් බලයෙන් නිවි සැනහියන්  අපි හැම පවසනවා...............................



විචාරක දියණිය
පස්වරු 1800 පැයට

04 February 2021

දෙවෙනි කොරෝනා රැල්ල



කොරෝනා අපේ රටට ආවේ ගිය අවුරුද්දේ මාර්තු මාසේ 11වෙනිදා ලෙසයි මගේ මතකය මට කියන්නේ.  එහෙත් මැයි මාසය වනවිට තරමක් එය පාලන මට්ටමකින් පැවති නිසා  නැවත සුපුරුදු කටයුතු ඇරඹුණත්  ඔක්තොබ්ර් මාසය වනවිට දෙවෙනි රැල්ල හිස එසවූවා. එහි බලපෑම තවමත් අපි බුක්ති විඳිමින් ඉන්නවා. 


මගේ පරිගණකයත් කොරෝනාවලට අහුවුණා කිවුවොත් නිවැරදියි.  මෙහි කාලෙන් කාලෙට විවිධ දෝෂ හටගන්නවා. මගේ පියාගේ අගය සිය දහස්වාරයක් මතුකරමින් ඒ වන විට මා අසරණ වෙන හැටි අනන්තයි. මෙම දෝෂ නිවැරදි කරගැනීමට වෙළඳ සැලක සහය පතන්නට සිදු  වුණත් පසුගිය කාලය පුරාවට කුරුණෑගලට යාමට තරම් හොඳ සෞඛ්‍ය නිදහසක් තිබුණේ නෑ අදටත් එය එසේ වුණත් මෙම පරිගණකය පිළිබඳ අවසන් බලාපොරොත්තුවත් කඩවුවහොත් ඊට වැඩිය සමාව දිය නොහැකි තත්වයක් නිසා ඊයේ දිනයේ මෙය නැවත යතා තත්වයට පත්කරගත්තා  ඉතින් බොහො කාලයක් මගහැරුණු මෙම බ්ලොගය සඳහා ලිපියක් ලියන්න සිතුණේ එවිටයි පසුගිය 

        දෙසැම්බර් 15 වැනි දිනට මෙම බ්ලොග් අඩවියට  වසර 09 ක් පිරුණා.


එයත් සිහි කරමින් නව වසරට සුබ පතමින් පවතින කොරෝනා තත්වය සමනය වේවායි පතමින්  මෙතනින් හමාර කරමි.

03 May 2020

නිල අම්බරයෙන් මැකීගිය තරු දෙකක් - දෙවැන්න

ලංකාවෙ සිටින  සුවහසක් සිනමා රසිකයන් සිංහල සිනමාවට මෙන්ම හින්දි සිනමාවට දක්වන්නේ පුදුමාකාර ඇල්මක්. මේකට හේතුව අපේ කාලාවේ මූලාරම්භය සිදුවුණේ ඉන්දියාවෙන් විමයි. ඈත අතිතයේ ඉඳලම සුවහසක් සිනමා රසිකයන් අමන්දාන්නදයට පත්කළ ඒ හින්දි චිත්‍රපට සහ ඒවායේ ගීත සමඟ ලාංකික සිනමා රසිකයා සිටියේ බොහොම  ඉහළ තැනකයි.


ඉන්දියාවේ සිනමා වංශ කථාව ගැන සාකච්ඡා කරද්දි  මහා වෘක්ෂයන් දෙකක් වගේ මේ සිනමාවේ මුල් ඇදගත්ත සිනමා පවුල් දෙකක් තියනවා. ඒ තමයි කපූර් පවුල  සහ ඛාන් පවුල . ඉන්දියාවේ කෙතරම් සිනමා තාරකා තාරතාවියන් බිහිවුණත් මේ පවුල් දෙකත් ඔවුන් හා කරට කර තරඟ වදිනවා.  ඉතින් පසුගිය දවසක මේ කපූර් පවුලෙ තුන්වන පරම්පරාව නියෝජනය කරන මහා දැවැන්ත පුරුකක් අපෙන් සමුගත්තා.  ඒ තමයි රිෂී කපූර් 

මේ මහා සිනමා වෘක්ෂයේ පදනම තමයි පෘතවිරාජ් කපූර්.  සිනමා අධ්‍යක්ෂවරයෙක්,  නිෂ්පාදකවරයෙක්, රංගධරයෙක්  වශයෙන් ඔහුගේ‍‍  භූමිකාව නිරූපනය වුණා.  වයස  අවු 17 දි විවාහ විමත් සමග  දරුවන් 6 දෙනෙකුගේ පියෙක්  වුණා.  ඔහුගේ වැඩිමහල්ම පුතා තමයි රාජ් කපුර්.  1924 දි තමයි ඔහු උපන්නෙ.  ඊළගට ශම්මි කපුර්, ශෂි කපූර් දරුවන් , ඉන්පසු  බාල අවධියේ දි අනෙක් පුතුන් දෙදෙනා  මිය යනවා නිවුමෝනියාවෙන් හා වසක් ශරීර ගත විමෙන්.  අනෙක් දරුවා දියනියක්.  ඇය නමින් උර්මිලා කපුර් (වර්තමානයේ සියාල්) 

කෙසේ වෙතත් පෘතවිරාජ්ගේ මේ පුත්‍රයන් තිදෙනාම සිනමාවේ පතාකයෝධයන් වන්නේ ගහේකටු උල් නොකල යුතුයයි යන්න සැබෑවක් කරමින්. එයිනුත් රාජ් කපූර් පියාගේ අඩිපාරේම  යමින් රංගනය,  නිෂ්පාදනය,  අධ්‍යක්ෂණයට පිවිසුණා. 1946 දී ඔහු ක්‍රිෂ්නා කපූර් සමග යුගදිවියට එළඹුණා.  ඉන්පසු ඔහු පුත්‍රයන් තිදෙනකුගේ හා දියණියන් දෙදෙනෙකුගේ පියෙක් වුණා.  ඔවුන් නමින් රාජීවු කපුර්, රන්දිර් කපුර්,  රිෂි කපුර්,  රීමා කපූර් , රිතු කපූර් ( වර්තමානයේ නන්දා)  ඉතින් මේ රිෂිකපුර් ඉපදුනේ ඔන්න ඔය විදියටයි .




රාජ් කපුර් ක්‍රිෂ්ණා කපූර්

                                               


සහෝදරන්  පස්දෙනා  ඉහළ  වමි කෙළවරේ රාජීවිර් කපූර්  රීමා කපූර්
පහළ වම් කෙළවරේ රන්දිර් කපූර් රිතු කපුර්  රිෂි කපුර්


1952  සැප්තැමිබර් 4 වන දින උපත ලද  රිෂි කපූර් බද්‍ර යෞවන අවධියේම රාජ්කපූර් විසින්  සිනමාවට හඳුන්වාව දෙන ලදී.  ඒ 1970 දි තිරගත කරන ලද මේරා නාම් ජෝකර් චිත්‍රපටයෙනි.  එම  සිනමාපටයේ රඟපෑම වෙනුවෙන් ලබාලම ළමා රංගධරයාට හිමිවන ජාතික සිනමා සම්මානය හිමිවිය . මෙහිදී ඔහුට මෙම සිනමාපටය ඔහුගේ ප්‍රථම සිනමා පටය වුවත් ඔහු ඉතා කුචා අවධියේ සිය පියාගේ තවත් සිනමාපටයක් වූ ශ්‍රී 420 සිනමාපටයේ ගීතමය ජවනිකාවකට එක්වීමට මොහුට හැකිවිය.  ඒ ඉතා කුඩා අවධියේය.  


ඉන්පසුව 1973 දි  තම පියා විසින්ම අධ්‍යක්ෂණය කරන ලද බොබී සිනමා පටයෙන් එක රැයින් හින්දි සිනමාවේ සිහින කුමරා බවට පත්වන්නට හැකිවිය. මෙහිදී ඔහු සමග රඟපෑ ඩිම්පල් කපාඩියා නම් රංග වේදිනියගේ ද පළමු සිනමා ආගමනය විය.   මෙය එම දශකයේ බොක්ස් ඔෆීස් වාර්ථා බිඳ දැමූ සිනමාපටයක් විය. මෙම සිනමාපටය වෙනුවෙන් වසරේ විහිෂ්ටතම නළුවා ලෙස අභිශේක ලබන්නට රිෂි කපුර්ට හැකියාව ලැබිණි. මෙම චිත්‍රපටයේ අඩංගු සියලු ගිත  එක රැයින් ජනප්‍රිය විය. 



ඉන්පසු ඔහුට විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ වාණිජ හා කලාත්මක  සිනමාවේ  බොහෝ සිනමාපට සඳහා දායක වන්නට අවස්ථාව  ලැබිණි. ඒ අතර කේල් කේල් මේ,  කබී කබි , හම් කිසිසේ කම් නහි,  ආමර් අක්බර් ඇන්තනි, පති පත්නි ඔර්වො, නයාදෝර්, කර්ස් ,  දිවානා,  නාගිනා,  සර්ගම්,  දාමිනි,  දෝ ප්‍රේමි,  නසීබ්,   ප්‍රේම් රෝග්,  කුලි,  සාගර් ආදී විශාල චිත්‍රපට රැසකට දායක විය.  සිනමා දිවියේ ඔහුගේ දිර්ඝකාලීන  පෙම්වතියක්  වූ  නීතු සිං  සමඟ 1980 දී  මොහු යුග දිවියට එළඹ්යේය. එම විවාහයෙන් ඔවුන්ට රිද්දිමා නම් දියනියක්ද රන්බීර් නමින් පුතෙක්ද ලැබිණි . දියනිය මේ වනවිට විවාහ වි ඇති අතර ඇයටද දියනියක් සිටියි.  ඔහුගේ පුත්‍රයා වන රම්බිර් කපූර් මේ වනවිට ජනප්‍රිය හා දක්ෂ නළුවෙක්වන අතර ඔහුගේ පෙම්වතිය වන්නේ ආලියා භට් ය .




නිතු සිං සහ රිෂි කපුර් යුවල 


රිෂි කපූර් සිය බිරිඳ හා දරුවන් 


ඔහු මියයන තෙක්ම රංගනයේ යෙදුන නළුවෙකි.  ඔහුගේ පරම්පරාවේ මෙන්ම ඔහුගෙන් පසු පරම්පරාවේ නළුවන් හා ද උරෙන්උර ගැටී කටයුතු කිරීමට ඔහුට හැකිවිය. ඒවායේදි සම්මාන පවා දිනා ගැනීමට ඔහුට හැකිවිය.  රාජු චාචා,  යේ හේ ජල්වා,  හම් තුම්, ෆනා , නමස්තේ ලන්ඩන්,   ඕම් ශාන්ති ඕම්,,  ඩෙලි 6,  පටියාලා හවුස්, අග්නිපත්,  ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් , ජබ්තක් හේ ජාන්,  හවුස් ෆුල් 2 ,  බේෂරම්,   කපූර් ඇන්ඩ් සන්ස්,  මුල්ක් මෙවැනි අද්විතිය නිර්මාණ රැසකට දායක වූ ඔහුගේ අවසාන සිනමාපටය වූයේ ද බොඩි  සිනමාපටයයි. තම පුත්‍රයාටද සිනමාවේ දොරකවුළු විවිර කරදුන් අතර,  අද කපූර් පවුලේ සිවුවන පරම්පරාවේ සහෝදර සහෝදරියන් වන කරිෂ්මා, කරීනා මෙන්ම  රාජ් කපූර්ගේ ප්‍රතිභාවන් ද මැනවින් විදහා දක්වමින්  රන්බිර් කපූර් දක්ෂ මෙන්ම ජනප්‍රිය නළුවෙකුව සිටියි.


මොහු විසින් 2017 දි කෘතියක් නිකුත් කර ඇති අතර,  ආ අබ් ලෝට් චලේ මොහු විසින් අධ්‍යන්ෂණය කළ ප්‍රථම හා එකම සිනමා පටයයි.



2018 වර්ෂයේදී මොහුට ප්‍රථම වරට ලියුකේමියා රෝග තත්වයක් පෙන්නුම් කර  ඇති අතර, 2019 දී ඇටමිදුළු සැත්කමකට භාජනය කරන ලද අතර, එය සාර්ථක වී ඇත. එහෙත් 2020 අප්‍රේල් 29 දින හුස්ම ගැනිමේ අපහසුවකින් රෝහල් ගත කරන ලද  රිෂි කපූර් 30 වන දින අවුරුදු 67 දී  සුවහසක් සිනමා රසිකයන්ට සමුදී මෙලොවින් සමු ගත්තේය.

විචාරක දියණිය.

පස්වරු1800 පැයට






01 May 2020

නීල අම්භරයෙන් මැකී ගිය තරු දෙකක් - පළමු තරුව


මේ දිනවල වෙනදාට වැඩියෙන් ශෝක ජනක පුවත් වාර්ථා වෙනවා. ඒ සඳහා මේ වනවිට ලෝතයේ ඇතිවි තිබෙන තත්වය මෙන්ම  අනෙකුත් කාරණා ද ඇතුළත් වෙනවා. කෙසේ වෙතත් ලාංකිය සිනමා ක්ෂේත්‍ර යේ  තරු රැසක් මේ කාලය තුළ  සමු ගත්තා.  එහෙත්  ඊයේ උදැසන මා හට අසන්නට ලැබුණේ  තවත්  ශ්‍රී ලාංකීය සිනමාවේ යකඩයකු මිය ගිය පුවතයි. 

ඔහු නමින්  ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නම් විය. 1925 අගෝස්තු 25  කොළඹ කොටහේනේ  උපන් ඔහුට ලාංකීය සිනමාව මෙන්ම දමිළ හා හොලිවුඩ් සිනමාවේ දික්විජය කරන්නට හැකිවිය.  එකල හින්දි සිනමාවේ ආකෘතියට නැගුණු සිනමාවක් තුළ කථා නායිකාවක්, කථා නායකයෙක් මෙන්ම දුෂ්ටයෙක් ද විය.  මෙම දුෂ්ට චරිතය මැනවින් නිරූපනය කිරීමට මොහු සමත්විය. මේ සඳහා සටන් පුහුණුවද අවශ්‍ය විය.  ඒ අනුව මොහු ඉතා විශිෂ්ට සටන් අධ්‍යක්ෂවරයෙකුගේ භූමිකාවද  මනා ලෙස ප්‍රකට කළේය.


මේ සියල්ලටම ඔහු මනා පසුබිමක් සකසා ගෙන සිටියේය.  වයස අවුරුදු 15 දි පමණ මොහු රෙස්ලින්, ජූඩෝ, කරාටේ වැනි ශිල්පයන් හැඳෑරීය.  එමෙන්ම රෙස්ලින්වලින් ඔහු බස්නාහිර පළාත් පාසල් ශූරතාවය  දිනාගන්නා ලදී.  වර්ෂ 1959 දී  ඔහු ලිපිකරුවෙක් ලෙස මුල්ම රැකියාව ශ්‍රී ලංකා වරායෙන් ආරම්භකරන ලදී. 1961 ජාතික රෙස්ලින් තරඟාවලියද 1962 පොදු රාජ්‍යමණ්ඩල කරග නියෝජනය කිරීමටද ඔහුට හැකිවිය. මේ නිසාම 1964 ටොකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ඔහුට හැකිවිය.  එමෙන්ම 1966 බැංකොක් ආසියානු ක්‍රීඩාවලියද ඔහු නියෝජනය කළේය. පසුකාලයේ ඇතිවූ දනහිසේ ආබාධයක් හේතුකොටගෙන ඔහුට බොහෝ අගනා අවස්ථා මගහැරී ගියේ ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට ගිය එකම නළුවා මොහුය.  


ඔහුගේ සිනමා දිවියේ ආරම්භය සඳහන් වන්නේ වර්ෂ 1963 දිය. ඔහුගේ මුල්ම සිනමාපටය වූයේ වෙන ස්වර්ගයක් කුමටද යන්නයි . එය දමිළ සිනමාකරුවෙක් ටී. සෝමසේකරන් මහතාගේ චිත්‍රපටියකි. මුල් කාලීනව ඔහුට වැඩකිරීමට සිදුවන්නේ එවකට දක්ෂ දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සමගය.  මේ නිසා එය ඔහුගේ සිනමා දිවියට මහත් ආලෝකයක් විය. ඉහත චිත්‍රපටයේ ඔහුගේ මුල්ම රඟපෑම වූයේ සටන් ජවනිකාවකි. ඒ මහා රංගධර හෙන්රි ජයසේන සමගයි.  එහෙත් එම දර්ශනය චිත්‍රපටයෙන්  හිතාමතාව ඉවත්කර තිබුණි. මේ කාලයේදීම ඔහුගේ හොඳම මිතුරෙකු වූ  එච්. ආර්. ජෝතිපාලගේ සහයෙන් ඔහුට ලෙනින් මොරායස් නම් ප්‍රබල සිනමාකරුවාත්, රොබින් ප්‍රනාන්දු නම් සටන් අධ්‍යක්ෂකවරයාත්  හඳුනාගැනිමේ භාග්‍යය හිමිවිය. වර්ෂ 1964 දී ඔහුගේ ආරාධනයෙන් රුහුණු කුමාරි චිත්‍රපටයට එක්විය.  ඉන්පසු 1968 අටවෙනි පුදුමය 1969  කොහොමද වැඩේ යන සිනමාපටවලට දායක විය.  




රුහුණු  කුමාරි  චිත්‍රපටය තිරගතවීමෙන් පසු මොහු ඉතා ජනප්‍රියතාවයට පත්වන අතර,  ඒ නිසාම 1972 ජෝ අබේවික්‍රමයන් විසින් ඔහුට හාර ලක්ෂයෙහි රඟපාන්නට ආරාධනා කළේය.  හාර ලක්ෂය ඔහුට හැරවුම් ලක්ෂයක් විය. ප්‍රථමවරට ඔහු චරිතාංග නළුවෙකු වන්නේ මෙම සිනමාපටයෙනි.  ප්‍රථමවරට  ඔහු දෙබස් කියන්නේ මෙම චිත්‍රපටයටය.  මෙහි නිර්මාණකරු වන්නේ ටයිටස් තොටවත්ත සූරීන්ය.  එම වසරේ තවත් චිත්‍රපට රැසකට දායකවන්නට අවස්ථාව ලැබුණි. රජගෙදර පරවියෝ, සරදියෙල්ගෙ පුතා, එම සිනමාපටයන්ය.  1973 මාතර ආච්චි,  දැන් මතකද,  සුහද පැතුම , සහයට ඩැනී වැනි සිනමාපට  විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ රගපෑවේය.  1977 ව්ර්ෂයේ දී ඔහු හෙළයේ මහා සක්විති ගාමිණි ෆොන්සේකා සමග යකඩයා චිත්‍රපටයේ රඟපෑවේය.  ප්‍රධාන සටන් චරිතයක් රඟ දක්වමින් ඔහු මෙම සිනමාපටයට දායකවිය. මෙහිදී එක් දර්ශනයකදි මොහුගේ ප්‍රහාරයකට නතුවන ගාමිණීට දින තුනක් යනකම් ඇස්දෙ ඇරීමට නොහැකි වී ඇත. 


ඉන්පසු වර්ෂ 1982 පමණ වනවිට වේදිකාවට ද සම්බන්ධ විය.  ඒ සඳහා ඔහුට ඇන්තිනි සී පෙරේරා ගේ සහ  නාමෙල් විරමුණිගේ සහය ලැබුණි.   1983 වර්ෂයේ මර්වින්  ජයතුංග හා ආනන්ද හේවගේ අධ්‍යක්ෂණය කළ පසමිතුරෝ  සිනමා පටයට දායක වූ අතර,  එම චිත්‍රපටයේ යථාර්ථවාදි සිනමා රංගනයක් උදෙසා   ඔහුට ජනාධිපති සම්මාන හිමිවිය.


සිනමාවේදී ඔහුගේ  අතගත් පෙම්වතිය වූයේ සෝනියා දිසාය.  ඇය සමඟ ඔහු පෙමිවතාගේ චරිතය  රඟදක්වමින් බොහෝ  සිනමාපට වර්ණවත් කළේය.  ශ්‍රී මධාරා,  ඇගෙ ආදර කථාව,  සහයට ඩැනී,   කවුද රජා,  හරිම බඩු තුනක් එම සිනමාපට වේ.  ඔහු දමිළ සිනමාවද හොලිවුඩ චිත්‍රපටයකට ද දායක වී ඇත.  


අනෝමා  ලුම්බිණි නමැති  කාන්තාව 1978 විවාහකරගත් ඔහු තිදරු පියෙකි.   මිය යනවිට  79 වන වියෙහි වූ අතර , සිංහල සිනමාවේ තවත් මහා පුරුකක් අද දින අපෙන් සමුගන්නා ලදී .


අන්තර්ජාලය ඇසුරිණි

විචාරක දියණිය  පෙ ව 01 00 පැයට 



28 April 2020

පියාණනේ


ගතවිය තුන් වසක් ඔබ නැතිවී අද                           දවසේ්‍

පෙරටත්  වඩා  ඔබ සිහිවේ අද                               දවසේ

එනමුත්  ඉතින්  ඔබ අද නෑ අපෙ                          නිවසේ

කාලය හිමින් ඉගීලී ගොස්   ඇත                          දුකසේ      


මරණය පොදුයි දන්නෙමි මම බුදු                           දහම                     

එනමුත් මමත් මිනිස්  දියණියකැයි  කියමි                මම 

සසර දුකයි මතු   බවයත්                                   සැමදාම  

සසරේ යළිත් අපි හමුමෙු                                    මතුදාක  



ලෝ වැසි දනන් මරු තුරුලට                             යවමින් 

කොරෝනාව ඇවිදින්  හැම තැනම                      ඉතින්

තවත් යමක් සිතන්නටත් ඉඩ                             හරිමින්

පැතිරී ඇත වෛරසයක් සතර                              අතින්



කෙසේ වෙතත්  මගේ පැතුම අද                       දිනයේ 

මතු අත් බවේදී ඔබ මගෙ පියා                         වෙමින් 

සිටියා විලස  මම ඔබෙ දියණියක                   ලෙසින්

පතනෙමි අමා දම් සුව මේ                              විලසින්



විචාරක දියණිය
පෙරවරු 1000 පැයට 




16 March 2020

ස්මාර්ට් නැති ස්මාර්ට් ප්‍රේමය

අලුත් අවුරුද්දේ ජනවාරි මාසෙම වැඩ පටන් ගන්න ඉන්නකොට මේ පරිගණක රාජයා අසනීප වුණා . ඉතින් ඒවා හොඳ කරගෙන වැඩේට බහින කොට මාස දෙකක් නොදැනීම ගෙවිලා. එහෙත් ඉදිරියිට හැකි සෑම අවස්ථාවකම ලියන්න බලා පොරොත්තු වෙනවා. 


දැන් තමයි අද මාතෘතාවට එළඹෙන්නේ.   අද අපි ඉන්නේ තාක්ෂණික යුගයේ නිසා හැමදේම ජය අරන් වගේම අපිව පාලනය කිරීම, හැඟීම්, දැනීමුත් යන්ත්‍ර සූත්‍රවලට බාර දීලද කියලත් හිතනවා. කෙසේ වෙතත්  මේ ජංගම දුරකථනය පැමිණීමට පෙර සියලු සන්නිවේදන කටයුතු සිදුවුණේ ලිපි මගින් ඊටත් එහා අතීතයේ සංදේශ , සතුන්,  අණබෙර මේ සඳහා විවිධ දේ යොදා ගත්තා නමුත්. මේ සියල්ලටම වැඩිය ජංගම දුරකථනය ඉතා වේගවත්,  මනා සැකැස්මකින් යුතුව,  විධිමත් භාවයකින් යුතුව තිබෙන බව කියන්න පුවවන් . සාමාන්‍ය සන්නිවේදන රටාව සඳහා  මේ දුරකථනය   බෙහෙවින්  ප්‍රයෝජනවත් බව අවිවාදයෙන් පිළිගත යුතුයි. 


එහෙත්  ආදර සබඳතාවලදී ජංගම දුරකතනය නිසා ඇතැම්විට ආදරය පසෙකට ගොස් අනාදරය ඉස්මතුවනවා වැනි හැඟීමක් වර්තමානයේ අහන්න දකින්න ලැබෙන දේ තුළින් ගම්‍ය මාන වෙනවා. මං එහෙම කියන්නේ වර්තමානයේ අහන්න දකින්න තියෙන දේවල්වලින්. වර්තමානයේ බොහෝ මිල අධික ඒ වගේම විවිධ නව මාදුකාංග සහිත ජගම දුරකථන තියනවා මේවායින් බොහෝමයක් ප්‍රයෝජනය ගන්නේ අපේ බාල පරම්පරාවයි. වැඩිහිටි පරම්පරාවට මේවා සමග ගැටෙන්න කාලය වගේම තාක්ෂණික දැනුම පැත්ත ඔවුන්ගේ ළමුන්ට සාපේක්ෂව අල්පයි. ආදරය  හා රාගය පටලවාගෙන අන්තර්ජාලයේ විකෘති කාමාශාවන් ඇති පුද්ගලයින් විසින් මුදාහරින ලද විඩියෝ බලමින් ඒවා අත්හදා බැලීමට පවා පෙළඹෙන බවක් දක්නට ලැබෙනවා. එම නිසා  අනාගත පරමිපරාවේ අරමුණු, සිතුම් පැතුම් වෙනස්වී ඇතිබවක් දක්නට ලැබෙනවා. ජංගම දුරකථනය සමග තනිවන දරුවන් ඒවායින් කරන ක්‍රියා මොනවාදැයි සොයා බැලිමට දෙමවුපියන් අපෝසත් ළුි තිබෙනවා .ඔවුන්ට ඒ සඳහා කාලය හෝ ඥානය නොමැතිවීම යයි මට හැගෙන කරුණක් .  


මේ වගේ සිදුවිම් වලට උදාහරණ බොහෝවිට අහන්න දකින්න ලැබුනත් පසුගියදා ප්‍රසිද්ධ පාසලක සිසුන් 7ක් ශිෂ්‍යාවක් සමග මාස ගණනාවක් ලිංගිකව හැසිරෙමින් ඒවා  ජංගම දුරකථනයේ  තබා ගනිමින් ඇයව  තර්ජනයට ලක්කරම්න් සිටින විට දැරියගේ මව මෙය සොයාගන්නවා.  එහෙත් ඒ  වෙනකොට සියල්ල සිදුවී හමාරයි.


මෙහෙම වර්තමාන පරම්පරාවට ඇගිල්ල දික්කරනකොට කෙනෙක් අහන්න පුළුවන්  මේ කාලෙ විතරද මේවා වුණේ ඇයි ඒ කාලෙ වුණේ නැද්ද කියලා


ඒ කාලෙත්  කොල්ලො කෙල්ලො ආදරය කළා . හැබැයි හරිම සුන්දරයි අසුන්දර තැන් නැතිවාම නෙවෙයි. කිරිඇල්ලෙ  මධ්‍ය විද්‍යාලයෙ විදයාගාරය රතු පැහැයට හැරෙන්නෙ ප්‍රේමයෙ වියෝගය දරාගන්න බැරිව  ශිෂ්‍යාවක් පිහි ඇනුමකට ලක්වන නිසා  අදටත් ඒ ලේ පැල්ලම ඇති.  හැබැයි ඒ කාලෙ තමන්ගේ ප්‍රේමය ප්‍රකාශ කරන්න  කොල්ලෝ කෙල්ලො හොයා ගත්තෙ හරි අමුතු දේවල්  සිංදු කෑලි , ලේන්සු ,  නවකථා පොත්  වගේ දේවල් තමයි  යොදාගත්තෙ 


ලියුම් ලියන්ඩ දක්ෂ අය වෙනම හිටියා.  හැමෝගෙම ලියුම් ලිවුවෙ එක්කෙනෙක්.  එකම අත්අකුරින්  ඒත් ඒවා එකිනෙකට වෙනස් නිසැඳැැස්,  ගිත කෑලි ,  වැලපීම් නොඅඩුව තිබුණා.  පහතින්  මං ලියන්නම්   මගේ යෙහෙළියකට පැමිණි ලියුමක තිබුණු  ගීත කොටසක් . 


මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි

බ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි

කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ

පරෙවි රැජිණියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරෙයි//


ඉතින් මේ දේවල් මතක් වෙනකොට හිතුණු දෙයක් තමයි සමාර්ට් දුරකථන නැති ඒ කාලෙ ප්‍රේමය මිට වැඩිය හුඟක් ස්මාර්ට් කියලා .......


විචාරක දියණිය‍

2020 මාර්තු 16  1900 පැයට 


22 December 2019

අටවැන්න

කුඩා ළමුන් බොහෝ විට අත්හදාබැලිම්වලට පෙළඹෙන්නේ ඔවුන් කුඩා වයසේදී සියලු දෑ ඉගෙන ගන්නේ තම ජීවතවන පරිසරයේ  අහන්නට දකින්නට ලැබෙන දෑ සමග අත්හදා බැලීම් සිදුකරමින්ය. 1979  මාර්තු 18 වන දාක සිය පළමු පත්වීම ගුරුවරයෙකු ලෙස තම උගත් පාසලටම ලබාගනිමින් තම රාජ්‍ය සේවය ආරම්භ කළ මගේ පියා 1981 දි ස්වේච්ඡා හමුදාවට යොමුවන්නේ එවකට යුද්දයේ ආරම්භක අවධියේ පුහුණු  කැඩේට් භටයන්ට කැමතිනම් හමුදා සේවයට එක්වීමට අවස්ථාව ලැබෙන නිසාය. එසේ ස්වේච්ඡාවෙන් හමුදා සේවයට එක්වන මගේ පියා 1983 අධිකාරිලත් දෙවන ලුතිතන්වරයෙකු ලෙස ස්ථිර  සේවයට එන්වන අතර ඔහු 2009 පෙබරවාරි 27 මේජර්වරයෙකු ලෙස විශ්‍රාම ගියේය. 


එතැන් සිට ඔහු තම විශ්‍රාම දිවිය අර්ථවත්ව ගතකරන්නට නෙයෙකුත් කාර්යන්වල නිරතවිය. ඔහු කුඩාකල සිට ඉලෙක්ට්‍රෝනික මෙවලම් කෙරෙහි දක්වන්නේ තදබල ඇල්මකි. එය ඔහුගේ පවුලේ වැඩිමහල් සහෝදරයාටත් තිබුණි. ඔහුගේ මාර්ගයෙන් මගේ පියා රේඩියෝ සහ රූපවාහිනි අලුත්වැඩියාව ආදී නොයෙකුත් දේ ඉගෙනගත්තේය. ඔහුට එම හැකියාව ජන්මයෙන්ම ලැබුණු දෙයක් යැයි මට හැගෙන කරුණයි.  ඒ කටයුතු නැවත ඔහු ආරම්භකළේ  ඔහුගේ විශ්‍රාම දිවිය තුළය.  කෙසේ වෙතත් පරිගණකය ඔහුගේ සදාතනික මිතුරා බවට පත්වන්නට වැඩිකාලයක් ගත නොවුණි.  ඒඅනුව 2011 පමණ වන විට  ඔහු පරිගණකය සමග ගනුදෙනු කිරිම තම ප්‍රථම රාජකාරිය කර/ත්තේය. ඔහු එහි තිබෙන අලුත් අලුත් දේ අත්හදා බැලිම් කළේ ය. 

ඒ අනුව ඔහු  2011 දෙසැම්බර් 15  ඔහු  තම මුල්ම බ්ගොග් පෝස්ටුව වාක්‍ය 2කින් ආරම්භ කළ අතර  එයට ලැබුණු ප්‍රතිචාර 5කි.  


ඒ අනුව  මෙම වසරේ දෙසැම්බර් 15 වන දා මෙම බ්ගොග් අඩවිය සිය අටවැනි කඩයිම පසුකරන ලදී.   

ඔහුට තිබුණ ලේඛන හැකියාව හා ඔහු සතු දැනුම අන් අය සමග බෙදා හදා ගැනීමටත්,  විවේකය  ඵලදායි ලෙස යොදා ගැනීමටත්  ඔහු මෙය යොදාගන්නා ලදී.  මිය යනතුරුම ඔහු මෙයට සක්‍රිය දායකත්වය සැපයූ අතර, ඔහුගේ අවසන් ලිපිය කාලෝ ෆොන්සේකාගේ ගිනි පෑගිල්ලයි. එම ලිපිය සඳහාඳ ඉතා හොඳ ප්‍රතිචාර ලැබී තිබුණි.   2016 දෙසැම්බර් 30 වනදා හදිසියේ රෝගාතූර වූ ඔහු 2017 අප්‍රේල් 28 වනදා සදහටම දෙනෙත් පියා ගත්තේය.  ඔහු බ්ලොගයට ආදරය කළ හැටි මම සියසින් දුටුව නිසා මෙය ඉදිරියට පවත්වාගෙන යන්නෙමි. මේ සඳහා විශේෂ ස්තූතියක් ගස්ලබ්බා මහතාට හා දේශකයා මහතාටත් මාගේ ලිපිවලට ප්‍රතිචාර දක්වන අනෙක් බ්ලොග්කරුවන් සියලු දෙනාටත්  සිදු කරමි . 


නම් නොකීවාට තරහා නොවේවා !



විචාරක දියණිය.පෙ. ව .  11. 00 පැයට 



08 December 2019

මතකය අතරින්

බොහොම නරක විදියට පසුගිය කාලය පුරාවට කිසිම පෝස්ටුවක් නොදැම්මට හිතට බොහොම දුකයි. ඒත්  ඇතැම් ගැටලු මෙන්ම කම්මැලි කමත් මේකට මුල්වුණා කියලා මට හිතෙනවා. කෙසේ වෙතත් පරණ මතකය අලුත් විදියට දැක්ක මං හිතේ අදහස් කොලේකට කැටිකරන්නයි මේ වෑයම ......................


60 දශකයෙ හා 70 දශකයෙ තාරුණ්‍යයේ සිිටියවුන්ට පික්චර්පිස්සො කිව්වෙ කටකහනවට නෙවෙයි. අදවගෙ රූපවාහිණි,  පරිගණක,  හෝම් තියටර්,  නොතිබුණු එවැනි යුගයක රස වින්දනය සඳහා තිබුණ එකම අවස්ථාව ගිතය හා සිනමාවයි.  භාරතයේ හින්දි සිනමාවේ  මෙන්ම ලාංකීය සිනමාවේ ද ස්වර්ණමය යුගය  70 දශකයයි. මගේ පියාද එවකට තාරුණ අවදියේ සිටි අයෙක් මෙන්ම හොඳ පික්චර් පිස්සෙකියැයි කිව හැකිය.  ඔහුගේ සහෝදරයන් ද එසේම ය.  මා පෙර ලිපිවල සඳහන්  කළාක් මෙන් මගේ රසවින්දනයේ මුල් ගුරුතුමා ඔහුය.  


එකල  මා  බහතෝරන වියේදී මා හට ගිත ශ්‍රවණය ක‍ළේ කිසිදු බලපෑමකින් තොරවය. එහෙත් ඔහු ඒවා නිසිපරිදි කළමණාකරණය කළ බව සැබෑය. මා බහ තෝරන කාලය වන විට රූපවාහිනිය මෙරටට පැමිණ තිබුණු අතර , මගේ නිවසේද  කළු සුදු  රූපවාහිනියක් විය. එහි විකාහය වූ  වැඩසටහන්  තවමත් මා මතකයේ ඇත්තේ ස්වාධීන රූපවාහිනිය හා ජාතික රූපවාහිනිය පමණක් තිබුණු ඒ යුගයේ වැඩසටහන් විකාශය වූයේ ද සිමිත පරිදි නිසාය. එහි ගිය සංගීක වැඩසටහන් අතර නන්දන වින්දන  හා මධු රසාංග මා මතකයේ  හොඳින් තිබේ. එකල එම වැඩසටහන් කළ  ආරියසිරි විතානගේ මහතා හා ඉඳුනිල් දිසානායක මහත්මිය ද ප්‍රවීණ මාධ්‍යවේදීන්ය. ආරියසිරි විතානගේ මහතා ව්‍යාපාරික ලෝකය වෙත ගියත් ඉඳුනිල් දිසානායක මහත්මිය වර්තමානයේ ද නිවෙිදන වෘත්තියේ යෙදෙයි. එවකට මිල්ටන් මල්ලවාරච්ච් , වික්ටර් රත්නායක,  සුනිල් එදිරිසිංහ,  ටී එම් ජයරත්න , අබේවර්ධන බාලසූරිය, එඩ්වඩ් ජයකොඩි,  නිරංජලා සරෝජිනී,  වන්ද්‍රලේඛා පෙරේරා වැනි අය ගී ලොව රජකර වූහ.


හින්දි ගිත ද තරමක් ප්‍රචාරය වූ ඒ අවදියේ  චම්පා කල්හාරි , ටෝනි හසන්  එහි මුල් අත්පොත් තැබූ අයයි.  ඉතිරි සියලු දෙනා පැමිණෙන්නේ ඉන් පසුවය.  එකල ජනප්‍රිය මා මතකයේ රැඳුන හින්දි ගිත ද ගොන්නකි. 


එකල සිනමාව ද    ඉතා ජනප්‍රිය මටිටමක පැවතිය නිසා  විත්‍රපට රැසක් ද  එළි දැක්විය.  එකල 1990 - 1994 කාලයේදී  මගේ පියා විසින් අරලිය මල්,  ආදර හසුන  ආදි ව්ත්‍රපට  නිවසට ඩෙක් යන්ත්‍රයක් මිළදිගෙන විත්  නැරඹීමට අවස්ථාව සලසා දෙන ලදී.  ඔහු  විසින් කළ එවැනි බොහෝ දේ නිසා නිර්මාණයක සැබෑ රසය අත්විඳීමට  මටද මාගේ නැගණියට ද  වර්තමානයේ හැකිවී තිබේ. 



මෙම  කථාවට මූල භීජය සැපයූයේ  අපේ කාර්යාලයේ වාර්ෂික  විනෝද  චාරිකාවයි . දෙදිනක් පුරාවට  නායකත්ව සංවර්ධන පුහුණුවකුත් සමග පැවති විනෝද චාරිකාව කිරිඇල්ල විජය රිසෝට් හි පැවතිණි . එහදී රාත්‍රිියේ පැවති පැදුරු සාජ්ජයේ දී අපගේ කොමසාරිස් ජනරාල්තුමා  විසින් පැරණි මධුර ගීතාවලියක් ගායනා කරන ලදී. ඔහු සැබැවින්ම රසවතෙකි. ඔහු ගයන ලද ගීත පරාසය  ඔහුගේ වයසට ද ඔබ්බෙන් වීම විශේෂත්වයකි. එම ගීත ඇතැමුන්ට නවතාවයක් වූ බව නොරහසකි. ඊට හේතුව ඔහු   50 දශකයේ ගීතද ගයානා කිරීමයි . 



කෙසේ වෙතත්   ඒ රාත්‍රියේ  ඔහු විසින් ගයන ලද ගීත  මා පැරණි මතකයට මෙන්ම මගේ පියාවද සිහිකිරීමට සමත් විය. 


කාලයේ වැලිතලාවෙන් වැසුනද ඔබ මට එළියකිෙ  මේ ගණඅදුරේ.......................


විචාරක දියණිය
2019 දෙසැම්බර් 8   19.00  පැයට



04 August 2019

හොල්මන් කතා



කාලෙකින්  ලියන්න බැරිවුණ නිසා හිතට දුකයි . ලියන්නත් යමක් සොයාගන්න අතිතයේ සැරිසරන්න වෙලාවක් නැතිවුණා . ඔහොම ඉන්නකොට පාසල් කාලයේ  උසස්  පෙළ පංතියේ සිදුවුූණු රසවත් සිදුවිම් කිහිපයක් ලියන්න සිතුවා . 

අපි අපටම කියලා නිවසක පදිංචියට ආවේ  2000 වර්ෂයේ . මම  එතකොට උසස් පෙළ  පංතියේ තමයි හිටියේ.  පදිංචියට කුරුණැගල ආවත් මා ඉගෙන ගත්තේ රුවන්වැල්ලේ නිසා අවුරුද්දකට පාසැල වෙනස්කරන්න හිතුවෙ නෑ. ඒ වෙනුවට මා පාසලේ නේවාසිකාගාරයට ආවා.1995 - 2001 අවුරුද්දේ. මා පාසලේ බටහිර තුර්යවාදක  කණ්ඩායමේ සාමාජිකාවක් ව හිටියා.

ඔය කාලෙ පාසලේ නිවාසාන්තර ක්‍රිඩා උළෙල ආවා . හරියටම උත්සවේ හෙටයි කියලා ඉතින් නේවාසිකාගාරයේ සියලු දෙනා බරටම වැඩ. සමහරු ඇඳුම් මදිනවා , සමහරු සපත්තු පොලිෂ් කරනවා , සමහරු අලුතෙන් මහපු තමන්ගේ අයිටම් එකට අදාල ඇඳුම්වල හැඩ බලනවා. දැන් වැඩ ගොඩයි. අපේ නේවාසිකාගාරය බොහොම පරණතාලෙ එකක්. ඒකෙ නානකාමරය පිහිටලා තිබුණේ වෙනම.   දොරක් එලියට ඇරලා තමයි යන්න ඕන. මේ ගොඩනැගිලි දෙකටම මීටර් 100 ක් විතර ඇතින් පංති කාමර පේළියත් තියනවා. ඒ පංති කාමරයි මේ ගොඩනැගිලි දෙකයි අතර මිදුලේ පංති කාමරවලට අද්දරව තැඹිලි ගහකුත් තියනවා .  එදා රෑ පිරිමි ළමයි ඉස්කෝලේ පිට්ටනියේ හට්  ගහනවා කියලා අපි දැනගෙන හිටියා . ඇඳුම් මැදලා මහන්සි මට වතුර තිබහක් ඇවිල්ලා වතුර බොන්න බලනකොට වතුර නෑ. මම තීරණය කරා වතුර ගන්න ටැප් එකට යන්න.  නංගිලා කිවුවා අක්කේ දැන් රෑ වෙලා කියලා. එතකොට වෙලාව 10.00 විතර ඇති . මම කිවුවා හරි බයවෙන්න එපා මං ඉක්මනට වතුර ගන්නං කියලා .


මම දොර ළගට ගිහිං දොර ඇරියා විතරයි , මම දැක්කා තැඹිලි ගහේ ඉඳලා සුද ඇඳුමක් ඇඳගත්ත එක්කෙනෙක් එකපාරම මං දැක්කා විතරයි ගහෙං පැනලා දිව්වා. නිකං නෙවෙයි සොරි මැඩම් කියාගෙන . මමත් ඒ පැනිල්ලට  බයවුණ පාර ටක් ගාලා දොරවහලා ඇතුළට ඇවිල්ලා අනිත් අයට කිව්වා . දිවවෙ කුවුරු උනත් කොල්ලෙක් තැඹිලි ගහේ ඉඳලා  බයවෙච්ච පාර දිවවා කියලා ෂුවර් . එතකොටම තමයි මට සොරි මැඩම් කියලා කිව්ව වචන මතක් වුණේ. වෙච්ච සිද්දිය මුල ඉඳලා ගළපන කොට තමයි තේරුණේ මේ කොල්ලා මම හොස්ටල් එකේ මැඩම් කියලා හිතලා පැනලා දිවුවා කියලා. මොකද මැඩමුත් මහතයි.  මමත් මහතයි . ඒකට හිනාවෙලා අපි ඔක්කොම නින්දට ගියා .


 පහුවදා හවස 2.00  උත්සවේ පටන් ගත්තට ළමයි ඔක්කොම උදේ 8.00 විතර පාසලට ගියා. මමත් බෑන්ඩ් රිහසල් තිබිච්ච නිසා සංගිත කාමරේ පැත්තට යනකොට අපේ හවුස් කැප්ටන් චාමර අයියා එනවා මං දිහාට අමුතම හිනාවකුත් දාගෙන මං ඇහුවා මොකද අයියේ කියලා. ඒ පාර මෙයා කියනවා සොරි නංගි , ඊයේ බය වුණාද ? කියලා මං ඇහුවා එතකොට ගහේ හිටියේ ඔයා ද  ? කියලා. මේ යකා කියාපි ඔව් නංගී , කියලා. මට  හොඳටම හිනා ගියා.  ආපහු සිද්දිය මතක් වෙලා.  මෙයා කියනවා ඊයේ දවල් ඉඳළම අපි ඔය ගහේ තැඹිලි කඩනවා කියලා හිතාගෙන හිටියෙ. ගහත් පොඩි නිසා ලේසියිනෙ  ඉතින් මමයි තව එකෙකුයි ආවෙ ඔයා ඌ දැක්කෙ නෑ. ඌ හිටියෙ පංතියක හැංගිලා. මම ගහට නැග්ගා විතරයි  එකපාරටම දොර ඇරුණා. මම දැක්කෙම ඔයා මැඩම් වගේ . මට බය හිතුණා ඒකයි පැනලා දිව්වේ කියලා. ඊට පස්සේ  මං ඇහුවා , ඔයා කොහොම ද දන්නේ හිටියේ මැඩම් නෙවේ මං කියලා . ඒ පාර කියනවා දුවලා ඇවිල්ලා පිට්ටනියට ගිහිං කල්පනා කරාලු , ඒ මැඩම්ම ද ? කියලා,  පස්සේ හිතුවලු මැඩම් ඉන්නේ ඉස්සරහ පැත්තේ නිසා ඒ මැඩම් නෙවේ කියලා. ඊට පස්සේ උදේ අපේ හොස්ටල් එකේ නංගි කෙනෙක් යාලුවෙකුට මේ සිද්දිය කියනවා මේ ගොල්ලො අහගෙන ඉඳලා . කොහොම උනත් අපි එදා ඇතිවෙනකං ඒ වෙච්ච සිද්ධියට හිනා වුණා.


මේකත් හොස්ටල් සිද්දියක් තමයි. අපේ හොස්ටල් එක භාරව හිටිය මැඩම් ගම්පහ . එයාට තිබුණා එහේ අන්නාසි වත්තක් . සතියට දවස් 2ක් හෝ 3ක් මෙයා ඔය වත්තට  යනවා,  පෝර දාන්න. අරවට මේවට කියලා. මෙි සිද්දිය වුණේ 2002 අවුරුද්දේ මම විභාග ලියන අවුරුද්ද,  13 වසරේ නිසා මම තමයි හොස්ටල් එකේ ලිඩර් වෙලා හිටියෙත්.   ඒ දවස්වල ලංකාවට දැඩි නියඟයක් ඇවිල්ලා පැය 6ක් විතර එක දිගට ලයිට් කපනවා.  මට අම්මා ලාම්පුවකුත් ගෙනල්ලා දුන්නා පාඩම් කරන්න.  ඔන්න එදත් උදේ මැඩම් ගියා අන්නාසි වත්තට  යනවා කියලා . අපිට උයලා දෙන්න කාන්තාවන් දෙන්නෙක් හිටියා. ඒගොල්ලෝ උදේ 5.00 ඇවිල්ලා  රෑ 8.00  ට යනවා.  සාමාන්‍යෙයන්  මැඩම් වත්ත්ට ගියාම හවස 6.30 හෝ 7.00 වෙද්දි එනවා.  එදා ඔන්න 7.00  විතර ලයිටුත් කැපුවා. ලයිට් කපන්න කලින් කට්ටියම රෑ කැමත් කෑවා.  ඒත් මැඩම් ආවෙ නෑ.  වැස්සකුත් පටන් ගත්තා. ඇන් උයන ඇන්ටි මැඩම්ට  දෙහි කපනවා එකසිය ගාණට. මොකද දැන් එයා යන වේලාව හරි නිසා . අවසානේ රෑ අටත් වුණා. මැඩම් ආවේ නෑ. අන්තිමට උයන ඇන්ටි ප්‍රින්සිපල්ගේ  ගුරු  නිවාසයට ගිහිල්ලා කියලා තිබුණා මැඩම් ආවේ නැ කියලා. ඊට පස්සේ ප්‍රින්සිපලුයි , එයාගේ නෝනායි එයත් ගුරුවරියක් ඇවිල්ලා කථාකරලා ගියා. දැන් කටිටිය හොස්ටල් එක ඇතුළේ  ලාම්පු, ඉටිපන්දම් පත්තු කරගෙන ඉන්නවා.  6 වස‍රේ ඉඳලා 8 වසරේ අයට මම කිව්වා නිදාගන්න  කියලා .   11 වසරේ නංගිලා කිවුවා හෙට ඇගයිම් වගයක් තියනවා කියලා පාඩම් කරන්න ඕනෑ කියලා . 9- 10 අය මා එක්ක එකතුවෙලා කයිය ගැහුවා. හොස්ටල් එක පරන එකක් නිසා සමහර ජනෙල්වල කොකු කැඩිලා තිබුණේ.  ඒවා රෙදි පටිවලින්  තමයි ගැට  ගහලා තිබුණේ .


දැන් ඔහොම තව පැයක් විතර ගියා. මම පාඩම් කරන තැන මේසෙ ළග ජනේලෙත් රෙදි පටියකිත් තමයි ගැට ගහලා තිබුණේ. පාඩම් කරකර හිටිය ළමයි දෙන්නෙක් එක පාරට මගේ ළඟට ඇවිල්ලා කිවුවා අක්කේ ඔයාගෙ ජනේලේ රෙදි පටිය බුරුල් යෙවලාද කෙහෙද හෙලවෙනවා කියලා. මේ වෙලාවේ  ලයිට් නැතිවුණාට ලොකු වැස්සකුයි හුළඟයි තිබුණා. දැන් මේ කතාවෙන් ඇහැරලා හිටිය අය ඔක්කොම බයවුණා. ඒ පාර මමත් බය වුණොත් කටිටිය තවත් බයවෙන නිසා මම කිවුවා අයියෝ බය වෙන්න එපා, මගේ ජනේලෙනේ මම ගිහිං බලන්නම් කියලා. මම ළඟට ගිහිං  ජනේලේ ගැටේ බුරුල් වෙලා තිබ්බ තැන හදලා මගේ පැත්තට ජනේලෙ අදින්න හදනකොටම මහා බලයකකින් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට  ජනේලේ ඇරුණා. එකපාරටම නොහිතපු දෙයක් සිද්ධ වෙච්ච නිසා මට කෑ ගැහුණා. ඒ එක්කu ළමයි ඔක්කොම කෑ ගැහුවා . පස්සේ මම ඉක්මනට ජනේලේ ඇදලා වහලා කට්ටියව සන්සුන් කරලා සියලු දෙනාම නිදාගමු කියලා යෝජනා කරා. ඒ අතර පුළුවන් අය පුුළුවන් වෙලාවක් ඇහැරගන ඉම්මු කියලත් යෝජනා කරා. පස්සේ අපිට නින්ද ගිය වෙලාව අපිම දන්නේ නෑ . මට ඇහැරුණේ උදේ උයන ඇන්ටි ඇවිල්ලා දොරට ගහන කොටයි.  මැඩම් ඇවිල්ලා තිබුණේ පහුවෙනිදත් දවල් 10. 00 විතර. ඒ සතියෙම මැඩම්ව ආපහු යවන්න් ප්‍රින්සිපල් කටයුතු කළා. ඉන්පසුව අපේ ඉස්කෝලෙ චිත්‍ර ටිච අපේ පාළිකාව වුණා. 

විචාරක දියණිය
රාත්‍රී 12. 50  පැයට
  



22 April 2019

දෑ අවුරුද්ද


කලකින් ගොඩවැදුනේ මේ අඩවිය                           පැත්තේ

එවුනේ නැතත් තරහත් නෑ සිත                                ඇතුලේ 

අධිකව  රාජකාරිය  අවිවේකව  ගෙවි                       ඇත්තේ  

සිතුනත් ලියන්නට වේලාවක්                                  නැත්තේ


හදිසියෙ ඇවිත් කඩිමුඩියේ කීමට                               ඇත්තේ 

දෑ වසරකුත් ගෙවුණී  ඔහු  නැතිවී  මේ                        වසරේ   

වාතාවරණය හොඳ නෑ රට හැම තැන යම                  යුද්දේ

එන්නට කියන්නෑ ඒ නිසා මේ                                   පැත්තේ 


නමුත් කිසිවෙකුත් අමතක නොකරමි                         සත්තේ

දානෙයි බණයි විසිහත විසි අට                                   ඇත්තේ 

අම්මා ඇහුවා  ළමයෝ  අර අඩවිය                             පැත්තේ

කාලයකින් ඇයි නුඹ දැන් ගියෙ                                 නැත්තේ  

                         

ඉක්මණින්ම නැවතත් ලියන්නට                                සිතුවේ

ඔහු නැති අඩුව  සැමදා මගෙ හිත                               ඇතුළේ

ඊයේ පෙරේදා හීනෙන්                                              දැක්කේ

අපිත් සමග සුහදව පිළිසඳරේ                                     යෙදුණේ්



විචාරක දියණිය ප. ව 19 30 පැයට

04 March 2019

ඔබට සුබ උපන් දිනයක් වේවා.........................



මේ ලෝකයේ ඇත්තේ යාම් ඊම් පමණය.
නාවොත්  යාමට නොහැකිය.
නොගියොත් ඒමට නොහැකිය.
(එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන් - මළවුන්ගේ අවුරුදු දා)


දෙවසරක්  ගතවී ඇතත් අමතක කළ නොහැකි මතකයක් හදවතේ ඉතිරි කරමින් ඔබ  නික්ම ගොස් ඇත. 


ඔබගේ  65 වන උපන් දිනය පසුගිය පෙබරවාරි 27 වන දිනට යෙදී තිබුණි. ඔබේ සොයුරියන් තිදෙනාගෙන් එක් සෙයෙුරියක් ද එදින අප නිවසට පැමිණියේ එබ වෙනුවෙන් අප සූදානම් කළ පුංචි පිංකමට දායක වීමටයි. දෑ වසරක්  ගියත් අපට පෙරළිය නොහැකි  ඡායාරූප ගොන්න ඇය අතට පත්කර ගෙන අතීත සැමරුම් ඈ සිහිකළේ හදවතේ කඳුලකුත් සඟවාගනිම්නි.


ඒ අතර ඔබ විසින්  අප සමඟ සැමරූ අවසාන උපන්දින සාදයේ ඡායාරූප ද විය.
  

 






















ඉපදුනොත් මිය යන සනාතන  සත්‍යය අපට පසක් කරදී ඔබ නික්ම ගිය ද මේ මතකය සදා අමරණීයයි.



විචාරක දියණිය ප. ව. 12 00 පැයට ..................





04 February 2019

ආයුබෝවන් 2019


අවුරද්දකුත් ලබලා දෙමාසයක් ගතවෙච්ච තැන ආයුබෝවන් 2019 කිවුවම මොකක්ද නොගැළපීමක් තියනවා කියලා මටත් හිතෙනවා . ඒ වුණාට මේ වසරේ මගේ පළමු පෝස්ටුව මෙය නිසා තමයි ඒක එහෙම ලියවුණේ .



කියන්න කාරණා රැසක් තිබුණත් අවිවේකය සහ කම්මැලිකම අතර දෝලනය වෙනකොට  ඒක කම්මැලිකමටම අත ඇරලා දැම්මා කියලා කියන්න පුළුවන්. අලුත් අවුරුද්ද ලැබුවට ඇත්තටම මට හිතුණේ දවසක් ගතවෙලා තවත් දවසක් උදාවුණා වගේ කියලයි . ඒක එහෙම හිතුනේ මට විතරද කියලා බලන්න  මං අපේ අම්මගෙන් ඇහුවා. එතකොට අම්මා කිවුවේ ජීවිතේ අලුත් බලාපොරොත්තු  අරමුණු තියන අයට තමයි අලුත් අවුරුද්දක උදාවිම දැනෙන්නේ කියලා. එතකොට තමයි මට කාරණය වැටහුණේ. ඇත්තටම මගේ ජීවිතේ දැන් අවුරුදු දෙකකට කලින් එකතැන නතරවුණානේ කියලා.



හැමදාම එකම දෙයක් ගැන කථාකරනකොට ඒක අහන දකින අයටත් එපා වෙනවා. ඒක ඇත්ත.



ඒත් තාත්තා   කියන මේ අකුරු තුන මගේ ජීවිතේ ඉතිරි ජීවිතකාලය පුරාවට මගේ මනසෙන් අයින් කරන්න කාටවත් බැරිවේවි. ඉතින් මේ අවුරුද්දේ මගේ පළමුවැන්නත්  ඔබටම පුදමින් මම නවතින්නම්.




විචාරක දියණිය 18. 55 පැයට

05 August 2018

ක්‍රිෂ් 2


කොල්ලො දෙපිරසක්  රණ්ඩු වෙන ඹ්නෑම කථාවක අවසානයේ කෙල්ලෙක් ඉන්නවා කියලා මට කියලා දුන්නේ අපේ පංතිභාර ගුරුතුමියයි. ඒ 1998 වසරේ මා පාසලේ 10 වසරේ ඉගෙනුම ලබන කාලේ , දිනක සිදුවුණු සිදුවීමකුත් සමගයි. සිද්ධිය කෙටියෙන්ම කියනවානම් එදින විවෙික කාලයේ සුපුරුදු පරිදි ගෙවෙමින් තිබෙන මොහොතක, කෑම කා අවසන් වූ මා මිතුරියන් කිහිපදෙනෙකු සමග පංතියේ බැල්කනියට වී සිටි අතර, උසස්පෙළ පංතිවල අයියලා රොත්තක් 11 වසර A පංතිය දෙසට දිවයනු පෙණිනි. සැනෙකින් එම පංතියේ පිරිමි ළමයි සමග මහා ගැටුමක් නිර්මාණය විය. එකෙනෙහිම ගුරු විවෙිකාගාරයේ සිටි ගුරුවරුන් ඒ දෙසට දිවගොස් එකෙකු දෙන්නෙකුට ගසා උසස්පෙළ සිසුන්ට තරයේ අවවාද කර පන්නා දමන ලද අතර, අපේ පංතිභාර ගුරුතුමිය අපේ පංතියට දිව ආවාය. ඇය අපිට දැඩි ලෙංගතුකමක් දැක්වූ අතර, අපේ පංතියේ ළමුන්ගේ ආරත්ෂාවට ඇය පැමිණියාය. එසේ පැමිණි අවස්ථාවේ ඇය අපිට ඉහත ප්‍රකාශය සිදුකළාය. පසු විපරමේ දී ඇයගේ කියමන සැබෑවක් වී තිබුණේ එකම මලට බඹරුන් දෙදෙනෙක් සටන් කර ඇති බව දැනගත් නිසාය.


දැන් තමයි මාතෘකාවේ කථාව පටන් ගන්නේ


විශ්ව විද්‍යාල ජිවිතයේ තවත් මතකයක් ගෙනඑන්නයි හදන්නේ. සුන්දර තැන් අසුන්දර  වෙන්නේ අපේම අයගේ වරදින්. විශ්ව විද්‍යාලයේ දෙවන වසර  ආරම්භ වී සති  කිහිපයකින් කමයි මේ සිදුවීම වුණේ.  ඒ වන විට සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයට  නවකයන් පැමිණ වැඩිකලක් ගතවී කිබුණේ නෑ.  ඔවුන්ට පරිසරය ගැනත් අවබෝධයක් තිබුණේ නෑ. අනෙක් කරුණ තමයි මෙම පීඨයට සිටින පිරිමි ළමයි ප්‍රමාණය අල්පයි.  ඒ නිසා වැඩිය ගැටුම් ඇතිකරගන්න උත්සාහ කරන්නෙත් නෑ. නමුත් කළමණාකරණ පීඨය කියන්නේ පිරිමි ළමුන් වැඩිපුර සිටින පීඨයක්.  ඔවුන්ට වැඩි බලයක් තිබුණා.  මේ පීඨ දෙක අතර  සීතල යුද්ධයක් නොතිබුණා නොවෙයි . මෙවැනි වටපිටාවක් තිබෙන මොහොතක  අපේ පීඨයේ කලා සංගමයෙන් චිත්‍රපටි උළෙලක් සංවිධානය කළා .  එවකට අප දෙවන වසරේ සිටි නිසා විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් බැහැර නේවාසිකාගාරවල තමයි සිටියේ . කෙසේ වෙතත් මෙම චිත්‍රපට උළෙලේ එකල  ජනප්‍රිය හින්දි විත්‍රපට තිහිපයක් ප්‍රදර්ශනයට සකස්කර තිබුණා.  සෑම දිනකම  හවස 7.00 තමයි චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ වුණේ.  බාහිර නේවාසිකාගාරවල ශිෂ්‍යයන්ට ආපසු යාමට විශ්වවිද්‍යාල බස්රථය ලබාදෙනවා කියූ නිසාම මමත් මගේ යෙහෙළියන් කිහිප දෙනෙකුත්  චිත්‍රපට බලන්න පැමිණියා.  මේ කියන දිනයට අදාළව පෙන්නුවේ ක්‍රිෂ් 2 චිත්‍රපටයයි  .



අප විශ්ව විද්‍යාල භූමියට ඇතුළුවන විටම  පරිසරයේ යම්  වෙනසක් දැනුනත් එය ගණන් නොගෙන  චිත්‍රපට ශාලාවට හෙවත් අමරදේව ශ්‍රවණාගාරයට  ගියා.   අතුරු සිදුරු නැතිව  සියලු දෙනා වාඩිවී සිටි අතර , පළමු වසරේ  නංගිලා මල්ලිලා බොහෝදෙනෙක් හා අප බැච් එකේ අය ද තෙවන වසරේ අයියලා අක්කලා ද  ප්‍රේමවන්තයෝ ද  කළමනාකරණ පිඨයේ  ගැහැණු පාර්ශවයද පැමිණ සිටිනු දක්නට ලැබුණා.  තවත් විනාඩි තිහිපයකින් ශාලාවේ විදුලි පහන් නිවා දැමුණු අතර චිත්‍රපටයේ පෙළ තිරයේ දිස්වූවා පමණි,  මහා ගෝෂාවක් පිටතින් ඇසෙන්නට වූ අතර,  ක්ෂණයකින් පොලු මුගුරු අතින්ගත් කළමනාකරණ පිඨයේ   පිරිමි ළමුන් ශාලාවට කඩා වැදුණී.


එවිටම සියලු  දෙනා වටකරගත්  අතර,   වෙන්ඩ යන දේ සිතාගත නොහැකිව අපි මවිතව බලා සිටිමු.  අපේ සීනියස්ලා කිහිප දෙනෙක් ඇයි ? දැයි ඇසූවිට එය ගුටි හුවමාරුවකින් අවසන් විය.


ඔවුන්ගේ පීඨයෙන් පැමිණි අක්කලාට ඔවුන් මෙසේ බැණ වැදුණි.
තොපිත් ආවද මේක බලන්න‍.
බැහැපියව් එළීයට

යන පරුෂ වචනයෙන් ඔවුන් කෑ ගැසීය. ඒ සමගම ඔවුන් අපේ පීඨයේ සියලු පිරිමි පාර්ශවයට අවලාද කියමින්  ගුටි ප්‍රහාර  දියත් කරන්නට විය .


  අපට තේරුණ පරම සත්‍ය  නම් අපේ පීඨයට අලුතින් පැමිණි මල්ලිලා සොයා එලවා එලවා පහර දෙන බවයි. සියලුම ගැහැණු ළමුන් එකකතුව ඔවුන් හැකි පරිදි
බේරාගෙන ගස් අතර සැඟවීය.  රාත්‍රිය එයට වාසිදායක විය.  ඇතැම් මල්ලිලා දුවගොස් ඈත කැලෑ ප්‍රදේශයේ සැඟවී තිබුණි . ( එවකට අපේ විශ්ව  විද්‍යාල භූමියේ  සෑහෙන ඉඩ ප්‍රමාණයක් වන ලැහැබවලින්  හිස්ව පැවතුණි)  චිත්‍රපට සංවිධායක මණ්ඩලයේ අයියලා කඩිනමින් විශ්ව විද්‍යාල බස්රථය ලබාදුන්නේ නැවත කඩිනමින් නේවාසිකාගාරවලට යාමට හා පළමු වසරේ මල්ලිලාගේ ආරක්ෂාව සඳහා, අප කණ්ඩායමේ පිරිමි ළමයි නැවති සිටි බාහිර නේවාසිකාගාරයට ඔවුන්ව යැවිමටයි. මේ වනවිට අප දුරකථන මගින් ඔවුන්ට  පණිවිඩ ලබාදී තිබුණි . බොහෝ දෙනෙක් ඒ වනවිට විශ්ව විද්‍යාලයට පැමිණසිටි අතර, ඔවුන් පැවසුවේ ඉතිරි මල්ලිලා සොයාගන්නාතුරු මොවුන්ව රැගෙන යන ලෙසයි. ඉන්පසු අප ඔවුන්වත් රැගෙන විශ්ව විද්‍යාල භුමියෙන් පිටවූ අතර , බස්රථයයෙන් ඔවුන්ව අපේ පිරිමි ළමයින්ගේ නේවාසිකාගාර දොරකඩට ඇරළීය . ඇතැම් අයට සුළු තුවාල හා තැලීම්, සීීරීම් තිබූ අතර , අපේ කොළු ගැටයන් පසුදා එළිවනතුරු ඔවුන්ට සාත්තු කර තිබුණි. අනෙක් අයද සැගවුණු තැන්වලින් දුරකථන ආධාරයෙන් සොයාගෙන  රැගෙනවිත් තිබූණි. එදින අප කාටවත් නින්දක් නොවීය.


පසුදා දැනගත හැකිවූයේ විශ්ව විද්‍යාලයේ මිහින්තලා පරිශ්‍රයේ සියලු පීඨ නැවත දැනුම් දෙනතුරු වසාදමා ඇති බවයි.  රණ්ඩුවේ ප්‍රතිඵලයක් විදියට කිසිදෙයකට සම්බන්ධ නොවුණු එහෙත් පරිශ්‍රයේ සිටි ව්‍යවාහාරික විද්‍යා පීඨයටද  ගෙදර යාමට සිදුවිය. එදින උදෑසන පරිශ්‍රය ඇතුළත දී පීඨයේ සියලු දෙනා එකතුව රැස්වීමක් පවත්වන ලදී . කළමනාකරණ පීඨයද එවැනිම රැස්වීමක් ගෙන තිබුණි. එහිදී අපේ පීඨයෙන් කළමනාකරණ පිඨයේ අයියලා සමග පෙම්කෙළි සහෝදරියන්ට බැණුම් වර්ෂා එල්ලවිය.  කෙසේ වෙතත් සති තුනක පමණ ඇවෑමෙන් යළි විශ්ව  විද්‍යාලය ආරම්භ වූ අතර,  ඒ වනවිට වාතාවරණය යම්තාක් දුරට වෙන්ස්වී තිබුණු අතර, කළමනාකරණ පිඨයේ සිසුන් සිදුවූ දෙය පිළිබඳ පෂ්චාත්තාප වුණු බවක් පෙනෙන්නට  තිබූණි.


කෙසේ වෙතත්  මගේ පාසලේ ගුරුතුමිය කියූ දේ යළි සැබෑවක් කරමින් රණ්ඩුවට පදනම සැකසී තිබුණේ  අපේ පළමු වසරේ සහෝදරයෙකුත් කළමනාකරණ පිඨයේ සහෝදරයෙකුත් එකම මලකට පෙම් කළත්, ඇය සිය ප්‍රේමය අපේ සහෝදරයාට පුද කිරීම හේතුවෙනි.


විචාරක දියණිය  රාත්‍රී  22 .00 පැයට 

21 July 2018

සතුට දුක කඳුල



අදින් වසර තිහකට පමණ පෙර දිනයක මා අක්කා  කෙනෙකු කළේ මගේ නැගණියයි . වර්තමානයේ මෙන් පෙර සූදානම් සහිතව මෙලොව එළිය දකින්නේ දුවෙක්ද ? පුතෙක්ද ? යන්න දැන ගැනීමට අවස්ථාව එකළ නොවීය.පැරණී සමාජයේ සරම හා කම්බාය යන සංඛේත මෙයට ලබා දී තිබුණි. මගේ නැගණිය ඉපදුන දා ඇයව බැලීමට මා තාත්තා  ද නැන්දා ද සමඟ රෝහලට ගිය අයුරු තවම මතකය. යන අතර මගදී තාත්තා මගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.


තාත්තා : ඔයා කැමති නංගියෙකුට ද  මල්ලියෙකුට ද ?

මා විසින් ගත් කටටම කීවේ මා නංගියෙකුට කැමතියි  කියාය


අප රෝහලට යන විට අම්මා රෝස පාට රෙද්දකට නංගී තුරුළු කරගෙන සිටියාය. මගේ පැතුම ඉටුවී තිබුණිඉන්පසු අපි ඇයව කුලී රථයතින් තාත්තාගේ මහගෙදරට රැගෙන ආවෙමු. ඇගේ මුහුණ පාට අද මෙන් මට මතකය.  නිවෙසට රැගෙන ආ විගසම මගේ පියා සිදුකළේ ඇගේ ඡායාරුප කිහිපයක් ගැනීමය.  ඒ ඔහුගේ පළමු විනෝදාංශය එය නිසාය. මගේ සහ නැගණියගේ කුඩාකළ ඇති ඡායාරූප ගොන්න මේ ලංකාවේ කිසිම දරුවෙකුට නොමැති බව මම දනිමි.  සිහිවටන එකතු කරන්නට ඔහු මෙන් දක්ෂයෙකු මම නොදනිමි. මම ඇයව කුඩාකළ කකුලේ දමා නිදි කෙරෙව්වෙමි.  ඇයව බලා ගතිමි. ඇය සමග සෙල්ලම් කළෙමි.  ඇයව පාසැල් රැගෙන ගියෙමි .


වසර තිස්පහකට පසුව අද ඇය අම්මා කෙනෙක් වී මා ලොකු අම්මා කෙනෙක් බවට පත්වී ඇත. පසුගිය දිනෙක ඇය සිඟිති දියණියකගේ මවක් වූවාය. ඇයව බැලීමට රෝහලට යනවිට පෙර සිදුවීම මගේ මනසට නැගිණි.  සිඟිති  දියණියගේ රුව මගේ නැගණිය කුඩාකළ ගත් ඒ ඡායාරුව මට සිහිගැන්වීය.  අම්මා ද එය මා සමග කීවාය.  පසෙකින් සතුට දැනෙද්දී  මගේ නෙතඟ කඳුලින් තෙත්  වූයේ මිණිපිරියගේ සිනහව දකින්නට  ඇගේ සීයා මෙලොව නැති නිසාය


සතුට දුක කඳුල ජීවිතයේ ළඟම අපි සමඟ හැමදාම රැඳෙනු ඇත.


විචාරක දියණිය  ප. ව. 17.00 පැයට

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }