නැවතත් ඔබව සුන්දර නුවරඑළිය වෙත කැටුව යන්නයි සූදානම් වන්නේ. පසුගිය දිනවල වෙනත් කතා වලට අවධානය වැඩි වූ නිසයි නුවරඑළියේ කතා ප්‍රමාද වුනේ.
මම තවමත් ඔබ සමග සැරිසරන්නේ නුවරඑළියේ අපේ කඳවුර සහ එහි යම් යම් ක්‍රියාකාරකම් පිළිබඳවයි.
මීට කලිනුත් මම ඔබට සෙබළුන්ගේ පුහුණුවීම් කටයුතු ගැන කිව්වා මතක ඇති. අදත් පුහුණුව ගැනම වැඩිදුර තොරතුරු කියන්නම්. නුවරඑළියේ සීතල ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැනේ. පසුගිය අධික සීතල පැවති එක් දිනයක නුවරඑළියේ උෂ්ණත්වය අංශක 2.7 ක් බව වාර්තා වුනා. බොහෝදුරට එදින පිදුරුතලාගල මුදුනේ උෂ්ණත්වය අංශක 1 ක් පමණ වන්නට ඇති. මම නුවරඑලියේදී අත්විඳ ඇති අවම උෂ්ණත්වය අංශක 5.7 ක්, ඒ වගේම මම පිදුරුතලාගල මුදුනේදී අංශක 4.8 ක ‘උෂ්ණත්වයකට’ මුහුණදීලා තියනවා. හැබැයි ඒ උෂ්ණත්ව ප්‍රමාණය දැනගත්තේ ඊට පසු දිනක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයකිනුයි.
දිනපතාම පවතින අධික සීතල නිසාදෝ නුවරඑළිය ප්‍රදේශයේ මත්පැන් පරිභෝජනය ඉතා ඉහලයි. (මත්පැන් පානය කලවිට සීතල දුරුවෙනවා යන්න මිත්‍යාවකි. සිදුවන්නේ සංවේදනය නැතිවීමෙන් අපට සීතල ගැන හැඟීම නැතිවීම පමණි) සෑහෙන කාන්තා පිරිසක්ද මත්පැන් පරිභෝජනය කරනවා. දවල් කාලයේදී පවා වෙනත් ප්‍රදේශ වල දකිනවාට වඩා බීමත් පුද්ගලයන් දැකිය හැකියි.
මෙය නුවරඑළිය ප්‍රදේශයට කරන අපහාසයක් නොවන බව අවධාරණය කරමි.
මේ සීතල පරිසරය තුල යුද පුහුණුවේ යෙදීම ඉතාම කටුක අත්දැකීම් සහිතයි. පුහුණුවන ආධුනිකයන් මෙන්ම උපදේශකයන් වන අපිද පාන්දරින් අවදිවී සූදානම් වියයුතුයි.
වනය තුල කෙරෙන රාත්‍රී අභ්‍යාසයක් නම්, ඇටකටු පසාකරගෙන යන සීතලේ අපිද සිටිය යුතුයි. උෂ්ණ පලාත්වල ඉපදී, හැදී වැඩී, ඇති සමහර අයට, මේ සීතල විඳ දරාගැනීමට නොහැකිවීමෙන් අසනීප වන අවස්ථාද තිබෙනවා. පුහුණු කටයුතු වලදී සෑම විටම යුද හමුදා වෛද්‍ය බලකායේ නියෝජිතයන් දෙදෙනෙකු, අවශ්‍ය ප්‍රථමාධාර දීමට සූදානමින්, ගිලන් රථයක් ලෙස පාවිච්චි කළහැකි වාහනයක් ද සමග, අභ්‍යාසය කෙරෙන ප්‍රදේශයේ ඉන්නවා. පිදුරුතලාගල කඳු මුදුනට පාරක් ඉදිකරන්නට පැමිණි, ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ සෙබළුන් පිරිසක්, කූඩාරම් ඉදිකරගෙන පිදුරුතලාගල මහ වනයේ රැඳී සිටියදී, එක්වරම අසනීප වූ අතර, මහ රෑ ඔවුන් කරතබාගෙන කන්ද පහලට ගෙන එන්නට සිදුවුනා. කෙසේ වෙතත්, පුහුණු කටයුතු වලදී සෙබළුන් අධික වෙහෙසට පත් නොකිරීමටද වගබලාගන්නේ, මෙහි වායු පීඩනය මුහුදු මට්ටමේ ප්‍රදේශවලට සාපේක්ෂව අඩු නිසයි.
සෙබළුන් පුහුණුවේදී ලබන එක් අභ්‍යාසයක් වන්නේ, මාලිමා යන්ත්‍රය සහ සිතියමක් ආධාරයෙන්, භූමියේ මග සොයාගෙන ගමන් කිරීමයි. මෙය දිවා කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදීද වෙන වෙනම කරන අභ්‍යාසයකි. මෙසේ භූමියේ ගමන් කරන කෙනෙක් එක අංශකයකින් වැරදි කෝණයකට ගමන් කලොත් ඉදිරියට යනවිට එම කෝණය පුළුල් වීමෙන්, යායුතු මගෙන් ඉවත්වී, සම්පූර්ණයෙන් වෙනත් දිශාවකට ගමන් කිරීමට ඉඩතිබේ. (එහෙත් දැන් මේ සඳහා Global Positioning System = GPS තාක්ෂණය තිබෙන නිසා 99% ක් නිවැරදිව ගමන් කල හැකිය.) මෙසේ මග වරද්දගන්නවුන් සමහරවිට සොයා ගන්නේ, ඔවුන් අත තිබෙන, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර වලට පින්සිදු වන්නටය.
බොහෝවිට මේ අභ්‍යාසය මා සැළසුම් කරන්නේ අපගේ මූලස්ථාන කඳවුර අසලින් ආරම්භ කර හග්ගල උද්භිද උද්‍යානයේ ඉහලින්ම පිහිටි භූමි භාගයෙන් අවසන්වන ආකාරයටය. (ඔබ හග්ගල උද්භිද උද්‍යානය නරඹන්නට යන්නේනම්, යන්තම් උඩින් පල්ලෙන් එහි ඇති මල් වර්ග පමණක් නරඹා ආපසු ආවොත්, ඔබේ සංචාරයේ කිසිදු වටිනාකමක් නැත. ඇත්ත වශයෙන්ම හග්ගල උද්භිද උද්‍යානය නිසි පරිදි නැරඹීමටනම්, ඔබ ආසන්න වශයෙන් එහි පැය 5 ක් වත් ගත කිරීමට සූදානම්ව යන්න. උද්‍යානය දිගේ එහි උසම භූමියේ ඇති වන රක්ෂිතය වෙත යන්න. එහිදී ඔබට ශ්‍රී ලංකාවේ වනයක ඇති ජෛව විවිධත්වය මනාව නිරීක්ෂණය කරන්නට ඉඩ ලැබේ. එමෙන්ම, සුදු අධිරාජ්‍යවාදීන් විසින්, මුල්ම කාලයේ සිටුවන ලද තේ ගස්, අද මහා තේ වෘක්ෂයන් බවට පත්ව ඇති ආකාරයද ඔබට දැකිය හැකියි.) අපගේ මූලස්ථාන කඳවුර අසලින් උදෑසන 6.00 ට පමණ ගමන ආරම්භ කරන ආධුනික සෙබළ කණ්ඩායම්, ගමන අවසන් කරන්නේ සවස 3.00 ට පමණ හග්ගල උද්‍යානයේ මුදුනෙනි. මග වරද්දාගත්තෝ එන්නේ ඊටත් පසුවය. දවල් ආහාරය ලැබෙන්නේ එහිදීය. ඒ වනවිට බොහෝ දෙනා ඉන්නේ පාන් කියාගන්නට බැරුවය. මන්ද, ගමන අතරමග ඔවුන් සීතාඑලිය වන රක්ෂිතය හරහා පැමිණ ජලදුර්ග තරණය කර නැවත හග්ගල නැගිය යුතුය. තවත් කොටසක් පසුව . . . . .