එය 1998 වසර විය. මා එවකට 10 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවකි. එවකට මගේ පියා වවුනියාවේ සේවය කළ අතර, ඔහු අණදෙන නිලධාරියෙකු වශයෙන් කටයුතු කරන ලදී . ඔහුගේ නිලයට එවකට ඔහුට නවීනතම කැබ් රථයක් ලබාදී තිබුණි. එකල ඉදිරි ආරක්ෂක වළල්ලේ මෙහෙයුම් ක්‍රියාත්මකව තිබුණි. දහවල් කාලයේ කඳවුරුවල රැඳී සිටියද රාත්‍රියට සියලු දෙනා කැලෑවේ බංකර තුළ දිවි ගෙවුහ. එදිනද එවන් එක් රැයක් විය. පසුදා අළුයම ඔහුට අනුරාධපුරයේ රැස්වීමකට යාමට සිදුව තිබුණි. එම නිසා ඔහු කැබ් රථය වෙනදා තබන ස්ථානයේ නොව කැලය තුළට ගෙන්වා ගත්තේය. ඒ පසුදා අළුයමින්ම යායුතු වූ බැවිනි.
සියල්ල කණපිට පෙරළීමට ගත වූයේ නිමේෂයකි. දිලිසෙන වෙඩි වරුසාවක්තඋතුරු අහසේ ලෙළ දෙන්නට විය . එකෙනෙහිම කාලතුවක්කු මෝටාර් ප්‍රහාර දසත ගිගුම් දෙන්නට විය. ත්රස්තවාදීහු අඳුරු රැයේ අලිමංකඩ හමුදා කඳවුරේ වතුර ළිං අත්පත් කරගනිමින් සිටියහ. ඒ විජලනය ඇතිකරමින් අප හමුදා අඩපණ කොට අලිමංකඩ යලිත් ඔවුන් සතුකරගන්නටය. ඒ රැය ඔවුන්ට ජයග්රහණයද අප හමුදා විරුවන්ට මරණයද උරුමකර දුන්හ . බොහෝ සෙබළු විජලනය හේතුවෙන් මිය ගියහ. පසුදා උදෑසන වනවිට තත්වය තවත් දරුණු කරමින් අහසින් හෝ මුහුදෙන් ලඟා විය නොහැකි පරිදි කඳවුර වටකොට තිබුණි. මුළු ඉදිරි ආරක්ෂක වළල්ලම පසුදා උදෑසන වනවිට පසු බැස තිබුණි . තවත් වරුවක් ගතවන විට ඔහුගේ බල සේනාධිපති ඔහුව අමතන ලදී .මේ වනවිට සියලු දෙනා පසුබසින බව මගේ පියාගේ සවනත වැකුණද මෙතරම් පසු බැස්මක් ඔහු අපේක්ෂා නොකළේය .
බලසේනාධිපතිතුමා - ගුනේ තවටික වෙලාවක් යනකොට ඔයා බැටෑලියන් එක අරන් ක්ලියර් කරගෙන පස්සට යන්න . ඔයාට හමුවෙන බැටෑලියන් ඔක්කොම එකතු කරගන්න.
මගේ පියා - සර් පස්සට යන්න.
බලසේනාධිපතිතුමා - ඔව් මම නැවත සනාත කරනවා. පස්සට යන්න.
තවත් සුළු මොහොතකින් අතට ගත හැකි සියල්ල එකතුකර ගනිමින් ඔවුන් වනය මැදින් ගමන් ආරම්භ කරන ලදී . එහි තිබූ ප්‍රධාන ගැටලුව නම් කවර පෙදෙසකට යායුතු දැයි නිශ්චය කරගත නොහැකි වීමයි එමෙන්ම දින කීයක් කවර පැයක් ගතවේවිදැයි කිව නොහැකි තත්වයක් උදාවී තිබුණි.
සියලු දෙනා ඉතා දුක්මුසු වුවත් විපරමින් සතුරා පිලිබඳ විමසිල්ලෙන් ගමන් ආරාම්භ කරන ලදී . මාර්ගයේ පයින් යාහැකිවූ නමුදු වාහනයක් ගෙනයා හැකි තත්වයක් නොතිබුණි. පුළුවන් තරමක් දුර කැබ් රථය වනය මැදින් ගෙන ආ අතර ඉන් එහාට යා යුත්තේ අඩි පාරක් ඔස්සේය. අකමැත්තෙන් හෝ කැබ් රථයට සමුදිය යුතුව තිබුණි. එහෙත් සතුරා අතට පත් වීමටද ඉඩ හැරිය නොහැකිය.
අවසානයේදී කැබ් රථය නතර කර එහි පෙට්‍රල් ටැංකියට වෙඩිතබා එය පුපුරවා විනාශ කරන ලදී. තමාගේ බෙල්ල මිරිකනවා වැනි හැඟුමකින් එය අවසන් කර ඔවුහු වනයේ ඉදිරියට ගමන් කරන ලදී. මගදී ඔවුන්ට තවත් එලෙස පසු බසින තවත් මගේ පියාගේ යහළුවෙකුගේ බෑටෑලියන් එකක් මුණ ගැසිණි. මේ වනවිට ඔවුන් දින දෙකකින් පමණ අහාර ගෙන නොතිබුණි. මගේ පියාගේ යහළුවා කීවේ ද ඔවුන්ද දින කිහිපයකින් අහාර නොගත් බවයි. මහා වන මැද ඔවුන් හැකි පමණින් බත් උයාගෙන අහාර ගෙන තිබුණි. මේ වනවිට අප නිවසට යම් පණිවිඩ ඔහු ද මගේ පියාගේ මළනුවන් ද අපට දන්වා තිබුණි. එකම සැනසිල්ල වූයේ ඔහු පසු බැස හෝ ජීවත්වීමය.
තවත් සතියක් පමණ ගතවනවිට සියල්ල තරමක් සමථයට පත්වූ අතර , ඔහු නිවාඩු ලබා ගෙදර පැමිණියේය . එහෙත් ඔහු ඉතා දුකට හා මහන්සියට පත්වසිටි නිසා අපි කිසිවක් නොඇසුවෙමු. ඔහුගේ කැබ් රථයේ රියදුරා වූ සාජන් ගුණපාල පොඩි දරුවෙකු සේ අඩා වැටුණි. තවත් දවසක් ගතවන විට මගේ පියාට අධික උණ තත්වයක් ඇතිවූ අතර ගැහෙන තත්වයටද උණ විකාරයෙන් දොඩන තත්වයටද පත්විය. අධික බියට පත් අප සිතුවේ කැලෑවේ සති ගාණක් සිටි නිසා කැලෑ උණ හෙවත් මැලේරියාව සැදී ඇති බවයි . කෙසේ වෙතත් යුධ හමුදා රෝහලට ඇතුළත් කළ පසු දැනගන්නට ලැබුණේ ඔහුගේ පිත්තාශයේ ගල් සෑදීම නිසා පිත්තාශය ඉවත් කළයුතු බවයි. දීර්ඝ කාලයක් කිවුල් වතුර බීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට මේ තත්වය ඇතිවී තිබුණි .
පහතින් ඔබට එම කැබ් රථයේ ඡායාරූපයක් දැකිය හැකියි. එහි මැද සිටින්නේ මගේ පියා වන අතර , දකුණු පසින් සාජන් ගුණපාලත් වම් පසින් උප අණදෙන නිලධාරී මේජර් ප්‍රසන්න ලියනගේත් සිටිති .
විචාරක දියණිය 00.20 පැයට