ටෝනි ඇයි ඔයා ගියේ?........... ඔයාට හිතුනද අපිට ඔයාව අමතකයි කියලා. නැහැ ටෝනි. මගේ දරුවන් පල්ල, මේ ලියන්නේ ඇස් දෙකේ කඳුලුත් තියාගෙන. පපුවේ ගිනි ගුලියක් තියාගෙන. ඔයාව කොහොමද අපිට අමතක වෙන්නේ ටෝනි, මේ මෑත කාලේ ඔයා දකින්න නොලැබුණා කියලා. ඔයා අපේ සිහින කුමාරයෙක් වුනේ, අපි අටේ නවයේ පන්තිවල ඉගෙන ගන්න කාලෙනේ. හිරිමල් වියේදීම ඔයා අපට කියල දුන්නනේ, 'ආදරේ සිහිනයකී කිව්වේ එදා කවුද සුදෝ' කියලා.
ඔයා ගම්පෙරළියේ දඟකාරයෙක් වගේ පෙන්නුවට, අපිට වැඩිය හිතට වැදුනේ නැහැ. ඒත් පරසතුමල් වලදිනම් ඔයා අපේ හිතේ සදහටම පැලපදියම් වුණා. මතකද දෙලොවක් අතරේදී කාර් එක එලවන ගමන් ඔයා ලස්සන කවියක් කියනවා සුවිනීතාවත් ලඟින් තියාගෙන;
විජිතපුර සටනට - ගොස් එන ගැමුණු කුමරුට
හිතුනා නාන්නට - ගිහින් පැන්නා බෝක්කුවකට
කියලා.
මතකද ඒ කවිය කියලා හිනාවෙන්න ගිහින් ඔයාගේ අතින් කාර් එකට හැප්පිලා මිනිහෙක් මැරුණා.
ටෝනි, ඇයි මෙහෙම යන්න හිතුනේ. ඔයාගේ කාර්ය භාරය අවසන් කියලා හිතුනද? මමනම් හිතන්නේ නැහැ. නාට්‍ය රචකයකු, නාට්‍ය පරිවර්තකයකු, තිර පිටපත් රචකයකු, වශයෙන් අපි ඔයාගේ සේවය ලබාගත්තේ බොහොම අඩුවෙන් කියලයි මමනම් හිතන්නේ. ඔයාගේ වගේ ලස්සන කඩවසම් පෙනුමක් ගන්න අපිත් ඒ කලේ පුදුම මහන්සියක් ගත්තා. හිනහත් යනවා ඒවා මතකවෙනකොට. හන්තානේ කතාවේ ඔයාගේ කඩවසම් පෙනුම තමයි අපිට ඔයා වගේ වෙන්න ආසාව ඇතිකෙරුවේ.
හැබැයි ඔයා ඒ කඩවසම් බව තියාගත්තේ අව්‍යාජ හදවතක් තියන නිසා බව අපි දන්නවා. අද ඉන්න සමහරු වගේ ලෝකේ තියන තරම් ආලේපන ගාල නෙවෙයි. ඒ වගේමයි ඔයා සිනමා තරුවක් නෙවෙයි නළුවෙක්. ජීවත්වෙන්නම බැරි තැන විතරයි, ඔයා වෙළඳ දැන්වීමක වුණත් පෙනී සිටියේ.
ටෝනි, ඔයාගේ වටිනාකම අපි තේරුම් ගත්තේ,සිනමාවේ වගේම වේදිකාවේත් එක විදිහට දිගටම රැඳී සිටිමින් ඔයා දැක්වුව දක්ෂතා නිසයි. ඔයා කවදාවත් වයසට යන නළුවෙක් නෙවෙයි කියලා මම තේරුම් ගත්තේ පවුරු වළලු බැලුවට පස්සේ.
ටෝනි, අපිට ඔයා ගැන කියන්න සුදුසුකම් නැහැ. ඔයාම ඔයා ගැන කියන්න.
ටෝනි, යන්නම යන්න එපා. ගිහින් එන්න. දෙවියන් වහන්සේ ඔයාට ගොඩක් ආදරේ නිසා තමයි, උන්වහන්සේගේ මෝක්ෂ රාජ්‍යයට, ඔයාව කැඳවන්න ඇත්තේ. දෙව් මව් තුරුලේ සැතපී, නැවත එන්න ටෝනි!
2015 ජූනි මස 16 වැනි දින 1431 පැය