ටෝනි ඇයි ඔයා ගියේ?........... ඔයාට හිතුනද අපිට ඔයාව අමතකයි කියලා. නැහැ ටෝනි. මගේ දරුවන් පල්ල, මේ ලියන්නේ ඇස් දෙකේ කඳුලුත් තියාගෙන. පපුවේ ගිනි ගුලියක් තියාගෙන. ඔයාව කොහොමද අපිට අමතක වෙන්නේ ටෝනි, මේ මෑත කාලේ ඔයා දකින්න නොලැබුණා කියලා. ඔයා අපේ සිහින කුමාරයෙක් වුනේ, අපි අටේ නවයේ පන්තිවල ඉගෙන ගන්න කාලෙනේ. හිරිමල් වියේදීම ඔයා අපට කියල දුන්නනේ, 'ආදරේ සිහිනයකී කිව්වේ එදා කවුද සුදෝ' කියලා.
ඔයා ගම්පෙරළියේ දඟකාරයෙක් වගේ පෙන්නුවට, අපිට වැඩිය හිතට වැදුනේ නැහැ. ඒත් පරසතුමල් වලදිනම් ඔයා අපේ හිතේ සදහටම පැලපදියම් වුණා. මතකද දෙලොවක් අතරේදී කාර් එක එලවන ගමන් ඔයා ලස්සන කවියක් කියනවා සුවිනීතාවත් ලඟින් තියාගෙන;
විජිතපුර සටනට - ගොස් එන ගැමුණු කුමරුට
හිතුනා නාන්නට - ගිහින් පැන්නා බෝක්කුවකට
කියලා.
මතකද ඒ කවිය කියලා හිනාවෙන්න ගිහින් ඔයාගේ අතින් කාර් එකට හැප්පිලා මිනිහෙක් මැරුණා.
ටෝනි, ඇයි මෙහෙම යන්න හිතුනේ. ඔයාගේ කාර්ය භාරය අවසන් කියලා හිතුනද? මමනම් හිතන්නේ නැහැ. නාට්‍ය රචකයකු, නාට්‍ය පරිවර්තකයකු, තිර පිටපත් රචකයකු, වශයෙන් අපි ඔයාගේ සේවය ලබාගත්තේ බොහොම අඩුවෙන් කියලයි මමනම් හිතන්නේ. ඔයාගේ වගේ ලස්සන කඩවසම් පෙනුමක් ගන්න අපිත් ඒ කලේ පුදුම මහන්සියක් ගත්තා. හිනහත් යනවා ඒවා මතකවෙනකොට. හන්තානේ කතාවේ ඔයාගේ කඩවසම් පෙනුම තමයි අපිට ඔයා වගේ වෙන්න ආසාව ඇතිකෙරුවේ.
හැබැයි ඔයා ඒ කඩවසම් බව තියාගත්තේ අව්‍යාජ හදවතක් තියන නිසා බව අපි දන්නවා. අද ඉන්න සමහරු වගේ ලෝකේ තියන තරම් ආලේපන ගාල නෙවෙයි. ඒ වගේමයි ඔයා සිනමා තරුවක් නෙවෙයි නළුවෙක්. ජීවත්වෙන්නම බැරි තැන විතරයි, ඔයා වෙළඳ දැන්වීමක වුණත් පෙනී සිටියේ.
ටෝනි, ඔයාගේ වටිනාකම අපි තේරුම් ගත්තේ,සිනමාවේ වගේම වේදිකාවේත් එක විදිහට දිගටම රැඳී සිටිමින් ඔයා දැක්වුව දක්ෂතා නිසයි. ඔයා කවදාවත් වයසට යන නළුවෙක් නෙවෙයි කියලා මම තේරුම් ගත්තේ පවුරු වළලු බැලුවට පස්සේ.
ටෝනි, අපිට ඔයා ගැන කියන්න සුදුසුකම් නැහැ. ඔයාම ඔයා ගැන කියන්න.
ටෝනි, යන්නම යන්න එපා. ගිහින් එන්න. දෙවියන් වහන්සේ ඔයාට ගොඩක් ආදරේ නිසා තමයි, උන්වහන්සේගේ මෝක්ෂ රාජ්‍යයට, ඔයාව කැඳවන්න ඇත්තේ. දෙව් මව් තුරුලේ සැතපී, නැවත එන්න ටෝනි!
2015 ජූනි මස 16 වැනි දින 1431 පැය
ආවොත් යන්න ඕනා. ඉක්මනට ගියොත් ඉක්මනට එන්න පුළුවන්..
ReplyDeleteසුබ ගමන් ටෝනි ! ගිහින් එන්න.
ඔහුත් අපිත් ආයෙත් මුණගැහෙයි නේද?
Deleteනෑ ආයෙ කාවදාවත් නෑ...
Deleteස්තූතියි! නැවත එන්න.
ReplyDeleteමේ වගේ මනුස්සයෙකුට විතරයි එහෙම කියන්න පුළුවන්.
DeleteNIWAN SUWA LABEWA
ReplyDeleteඔව්, ඔහු මොන ආගමේ වුණත් අපි එහෙම පතමු.
Deleteටෝනි ඔබට සුබ ගමන් … !!
ReplyDeleteගිහින් එන්න කියලත් කියමු
Deleteපට්ට හැන්ඩියෙක්, ප්‍රතිභාපූර්ණ නළුවෙක්, දක්ෂ පරිවර්ථකයෙක්,
ReplyDeleteමොනවා කොරන්නෙයි, එන්න කිව්වම යන්න එපාය.
නැවත හමුවෙමු ආදරණීය ටෝනී.
ඔව් නැවත හමුවෙමු කියන එක තමයි දැන් ඉතුරුවෙලා තියෙන්නේ. උතුම් මිනිසෙක්.
Delete1976 වසරේ තිරගතවූ " දුහුළු මලක් " ටෝනිගේ මම බලපු පළමු චිත්‍රපටය...සුබ ගමන්...හිතාදර ටෝනි!!!
ReplyDeleteබොහොම සංවේදී චරිත රංගනයක් නේද ඒ චිත්‍රපටියේ තියෙන්නේ.
Deleteඔහුට සුබ ගමන්!
වර්තමානයේ දහසක් එළුවන් අතරේ, නියම නළුවෙක්. මෙච්චර සංවේදී විදියට ලියන්න එපා බන්. අපිට අඩන්න බෑ ඔෆිස් එකේදී. දයාබර ටෝනි ඔබට මෝක්ෂ සුව !
ReplyDeleteහරියට හරි. හැබැයි අද පරපුරේ කවුරුවත් මෙවැනි අයගෙන් බැරිවෙලාවත් ගුරුහරුකමක් නොගැනීමයි දුක.
Deleteසඳුන් සෙවණෙ චන්දන අය්යත් අපූරු සටහනක් ලියල තිබ්බ. ජංගමයෙන් කියව කියව කමෙන්ට් කරන හන්ද ලිංක් එක එකතු කරන්නට නොහැකිවට කණගාටුයි.
ReplyDeleteමහ කඳුත් පෙරලෙන දවස් ඇති බව
තුංග රුක් බිම සිඹින දවසක් එන බව
දැන සිටියෙමු... නොඇදහූවෙමු
ඔබ නික්ම ගිය වග අසන තෙක්....
මම චන්දනගේ ලිපියත් කියෙව්වා මහේෂ්. ඇත්තටම මේ වටිනා මිනිසා ගැන ලිපි දහසක් ලිව්වත් මදි.
Deleteඔබගේ මතකය සුන්දරයි
ReplyDeleteස්තුතියි මෙන්ඩා
Deleteටෝනියා අන්තිමට දැක්කේ අර ක්‍රිම් ක්‍රැකර් ඇඩ් එකේදිද මන්දා..
ReplyDeleteඔය වීඩියෝ කැලි ටික නම් අදයි දැක්කෙ
ඔහුගේ චිත්‍රපටි නැවත නැවත බැලීමෙන් පෙනෙනවා කොතරම් උසස් ප්‍රතිභාවක් තිබුණු නළුවකුද කියා.
Deleteබොහෝ කලකට පෙර දිනක රූපවාහිනියේ, සෙනසුරාදා උදෑසන "ආයුබෝවන් වැඩසටහනට" පැමිණි ටෝනි කියපු කථාවක් සිහිපත් වුණා......
ReplyDelete" අපි ජීවිතයේ කරන තරමක් කරන්නේ හපන්කම් සහ මෝඩකම් ....... පස්සේ, කරපු හපන්කම් ගැන සතුටු වන එක ......ඒවගේම කල මෝඩකම් ගැන දුක් වන එක.......
කාලයක් ගත වුණාට පස්සේ අර කරපු හපන්කම් ගැන නැවත-නැවත කල්පනා කරනකොට ඒවා විතර තවත් නම් මෝඩකම් කරලා නැහැ කියලා හිතෙනවා..... ඉතින් කනගාටු වනවා.
ඒකියන්නේ මොනදේ කලත් අවසානයේ අපට ඉතිරි වන්නේ පසුතැවිල්ල විතරයි නේද......" කියලා ඔහුට සුපුරුදු අව්‍යාජ සුන්දර සිනහවෙන් මුව සරසා ගත්තා.
විචාරක මහතා ඔබගේ හැගුම්බර මෙම සටහන, කිසිදාක නොදූටු ..... මා ආදරය කල ඒ උදාර මිනිසාගේ සුන්දර මතකයන් යලි යලිත් මා ඉදිරියේ මැවී වියැකී හරින්නට වූයේ ...... නෙතගට ආ කදුළු බිදුවක් හා සමග බවත් මතක් කරනු කැමැත්තෙමි. ඒ පිළිබඳ මාගේ ප්‍රණාමයද ඔබ වෙත පුද කරණු කැමැත්තෙමි.
හිතාදර ටෝනි ඔබට ශුභ ගමන් !
ඇත්තටම මේ සුන්දර මිනිසා සමග ටිකක් වෙලා කතා කලොත්, දේශනයක් ඇහුවා වගේ, ලොකු පොතක් කියෙව්වා වගේ දැනුමක් ලබාගන්න පුළුවන්.
Deleteලිපිය ඇගයීම ගැන ඔබට ස්තුතියි.
ප්‍රවීණ නළුවන් අතරින් මමත් ගොඩක් ආසකරපු පුද්ගලයෙක්. නැවත මේ වගේ ප්‍රතිභාපුර්ණ, අව්‍යාජ නළුවන් බිහිවෙයිද කියන එක සැකයි.
ReplyDeleteටෝනි මහත්තයාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා!!!
අද අපි ඉන්නේ නළු බට්ටන් පිරි සමාජයක. ප්‍රභාපූර්ණ මෙවැනි නළුවන් දිනෙන් දින වඳවී යාම දුකක්.
Deleteටෝනි මහත්මයා ඔබට ශුභ ගමන්.....!
ReplyDeleteහොඳ මිනිහෙක් නිසා ඇත්තෙන්ම ඔහුට සුබ ගමනක් හිමියි.
Deleteකිසිදු නළුවෙක් ලග නැති අමුතු ලස්සනක්, අපුර්ව සුන්දරත්වයක් මං ටෝනිගේ එදා තිරෙන් දැක්ක .
ReplyDeleteඔව් ඔහු හදවතින්ම ලස්සන, අද කාලයේ දකින්න දුර්ලභ වර්ගයේ මිනිසෙක්.
Deleteමාත් හිතන්නේ ටෝනිගේ තිර රචනා, පරිවර්තන වැනි කාර්යයන් කෙරෙහි අවධානය යොමු උනා මදි කියලයි.. තිර පිටපත් ලියන්න තමා ටෝනි බෙස්ට්.... ඕල් ද බෙස්ට් ටෝනි.. බෙල් රැන්ග් සෝ යු හැව් ටු ගෝ..
ReplyDeleteඔව්, ඔහුගෙන් තිර පිටපත් රචනය, පරිවර්තනය, වේදිකා නාට්‍ය රචනය අතින් මීට වඩා සේවයක් ගන්නට අපේ සිනමාව සහ වේදිකාව අසමත් වුණා.
Deleteතරුණ වගේම වැඩිහිටි චරිත වලටත් එකසේ සාධාරණය ඉටුකල ප්‍රතිභාපූර්ණ නළුවෙක්. හොඳ පෞර්ෂයක් වගේම ප්‍රසන්න බවත් නොඅඩුවම තිබුණා. නිවන් සුව පතමු!
ReplyDeleteවිචාරකතුමා මේ ගැන ලිවීමත් අගය කරනවා.
බොරු සෝබන නැති, මාධ්‍ය මගින් තම ප්‍රතිරූපය පුම්බාගන්න උත්සාහ නොකළ ශ්‍රේෂ්ඨ නළුවෙක්.
Deleteප්‍රසන්න,ප්‍රවීන,විදග්ධ කලාකරුවෙක්.... ඔබට සුභ ගමන්..!!!
ReplyDeleteලිපිය සම්පාදනය කළ විචාරකතුමාට ජයවේවා..!!
මේ වගේ මිනිස්සු හැමදාම අපේ හදවතේ ජීවත් වෙනවා. අපිට මග පෙන්වනවා.
Deleteස්තුතියි ලබ්ස්.
විශිෂ්ඨයෝ හැම කෙනෙක්ම දැන් සමු අරන්.. හ්ම්ම්.. වෙන මොනවා නම් කියන්නද.. සුබ ගමන්..
ReplyDeleteඅපි උත්සාහ කරන්න ඕනේ ඒ විශිෂ්ඨයන්ගේ තත්වයට ආසන්න වන අලුත් පරපුරක් හදන්න. එහෙම නැත්නම් අපි අනාථයි.
Deleteඅළුත් පරපුර?? චී.... මේ වගේ තැනක කියවෙන්නවත් හොඳයිද ඒක.. ඇත්තටම අපිට අපේකාලෙ සෙට් එක කියලා කට ඇරලා කියන්න කෙනෙක් නැති එක නම් ලොකු හිඩසක්...
Deleteඋපන්නොත් මරණය නියතයි. ඒ උනත් මතකය අපි අතරේ සෑහෙන කාලයක් පවතීවි. :(
ReplyDeleteඔව් මේ වගේ මිනිස්සු ශරීරයෙන් මැරුණත් මතකයෙන් මැරෙන්නේ නැහැ.
Delete