හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label කලාව සහ සාහිත්‍යය. Show all posts
Showing posts with label කලාව සහ සාහිත්‍යය. Show all posts

15 June 2015

මළ ගෙදර කවි කොලේ


hqdefault
 අවමංගල්‍ය උත්සව වලදී, ශෝකප්‍රකාශ කවි ගායනා ඉදිරිපත් කිරීම, අපි කුඩා දරුවන් කාලේ තිබුන සිරිතක්. මට මතකයි, ඒ කාලයේ, (1960 දශකයේ) අවමංගල්‍ය උත්සව වලදී, මෙවැනි ශෝකප්‍රකාශ කවි ගායනා හතරක් පහක්වත්, අහන්න පුළුවන්. බොහෝවිට මේ කවි පන්ති ගායනා කරන ලද්දේ, තරුණියන් විසින් වීමත් විශේෂයක්. ඔවුන්ගෙන් බොහෝ දෙනා, මේ කවි ගායනා කරන අතර, (බොහෝවිට ගායනා කළේ, භූමිදානය හෝ ආදාහනය කරන්නට ඔන්න මෙන්න කියා තිබියදී)  කඳුළු සලමින් එය කළ හැටිත්, අවමංගල සභාවේ සිටි කාන්තාවන් මෙන්ම සමහර පිරිමි අයද, කඳුළු සලමින්, එය අසා සිටි හැටිත්, මට මතකයි.  වර්තමාන පරපුරේ සෑහෙන පිරිසක්, මේ කවි කොළ ශෝක ප්‍රකාශ දැක නැතුව ඇතැයි, මට හිතෙනවා. 

ඒ කාලයේ, මේ කවි පන්ති, සමහරවිට ඒ අවමංගල්‍යය වෙනුවෙන් අලුතෙන්ම පබඳින ලද ඒවා වූ අතර, තවත් සමහරක්, එකල 'අච්චු කන්තෝරු' නමින් ප්‍රසිද්ධ මුද්‍රණාල වල තිබුණා. තමන්ගේ අවමංගල්‍යයට ගැලපෙන ලෙස, පද කීපයක් වෙනස්කර, කවි පන්ති සකසා ගැනීමට, ඒ අච්චු කන්තොරුවෙදීම පුළුවන්. හරියට දැන් ඩිජිටල් බැනරයක්, අද භාෂාවෙන් 'ඩිජිටල් ප්‍රින්ටින්ග් ස්ටුඩියෝ' එකකදී පරිගණකයෙන් තෝරාගෙන, එම ආකෘතිය, අපේ අවශ්‍යතාවට ගැලපෙන්නට සංස්කරණය කරගන්නවා වගේ.

   (ඇත්තටම දැන් තියන ඩිජිටල් බැනර්වල ලියා තිබෙන සමහර දේවල්වල, ඇත්තම තේරුම, ඒවා ගහන උදවිය තේරුම් ගන්නවාද කියා සැකයි. ඒ වගේමයි, බැනර් ගහන්න ඉඩ නැති නිසා, මළ ගෙදරට කිසිසේත් සම්බන්ධ නැති ගෙවල්වල, වැට දිගේ බැනර් ගැසීම සාධාරණද? තමන්ගේ බැනරය කැපී පෙනෙන ලෙස එල්ලීමට, මෙච්චර තරග කරන්නේ ඇයි?)

   එමෙන්ම මේ කවිපන්ති ඇතුළත් ශෝකප්‍රකාශ පිටපත්, රැස්ව සිටි පිරිස අතර බෙදාදුන් අතර, අපි ඒවා ලබාගන්නට මිනීමරාගත්තේ නැතුවා විතරයි. ගෙදර ඇවිත්, නැවත නැවත ඒවා කියවීමෙන්, යම් ආස්වාදයක් ලැබීමට අපි පුරුදුව හිටියා. ඒවා සංසන්දනය කොට, 'මේකට වඩා මේක හොඳයි' කියා, අපේ අක්කලා කියනවා, මා අසා තිබෙනවා.

   සමහර ශෝකප්‍රකාශ, එක ගමක් නියෝජනය වන පරිදි, ගමේ කීප දෙනෙක් මුදල් යොදවා, මුද්‍රණය කරවනු ලැබූ අතර, සමහර ධනවතුන්, තමන්ගේ නමින් මෙවැනි කවි කොළයක් මුද්‍රණය කර, අහවලා විසින් ඉදිරිපත් කරන ශෝක ප්‍රකාශයයි කියා, ගායනයෙහි දක්ෂ තරුණියක/කාන්තාවක යොදවා, තම නමින් එය  කියවූවා. එය ගායනා කරන අතර, ඔහු මහත් අභිමානයෙන් ඒ ස්ථානයේ රැඳී සිටියා. 

   මට දෑස් දෙකන් අදහාගන්නට බැරි අවස්ථාවක්, ඊයේ පෙරේදා දිනයක, මා සහභාගිවුණු අවමංගල්‍ය උත්සවයකදී, දකින්නට ලැබුණා. ඒ තමයි, දැනට සම්පූර්ණයෙන්ම අභාවයට පත්වී ඇතැයි මා සිතා සිටි, ශෝකප්‍රකාශ කවි ගායනයක්, එම අවමංගල්‍ය උත්සවයේදී අසන්නට දකින්නට ලැබීම. ඒ කවි ගායනය සිදුකරන ලද්දේත්, කාන්තාවන් දෙදෙනෙකු විසින්. ඒ අවස්ථාව, මගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ පටිගතකරන්නට හිතුනත්, අවසානයේදී මා තීරණය කළා, එසේ කරන්නට යාමෙන්, අවමංගල සභාවට යම් බාධාවක්/අපහසුතාවක් ඇතිවෙයි කියා. ඒ වෙනුවට, මා එම ශෝක ප්‍රකාශයේ පිටපතක් ලබාගත්තා. එම ශෝක ප්‍රකාශය, පහත ඉදිරිපත් කරනවා, ඔබේ දැනගැනීමට. 


Scan_20150610_201101


    මේ කවි සම්ප්‍රදායේ අතීත ලක්ෂණ, මේ කවි තුළිනුත් දක්නට ලැබෙනවා. එනම්, මේවා උසස් සාහිත්‍ය නිර්මාණ ලෙස සැළකිය නොහැකි, කාව්‍යොක්තියට අනුචිත පද පවා ඇතුළත්, හුදු සිවුපද පමණයි. කෙසේ වෙතත්, මෙහි ඇති විශේෂත්වය වන්නේ, අද ද, මේ පිළිවෙත දකින්නට ලැබීමයි. ජනශ‍්‍රැති පිළිබඳව අධ්‍යයනයක යෙදෙන්නෙකුට, මෙය වැදගත් තොරතුරක් වියහැකියි.

   කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි. මේ ගැන අදහස් දැක්වීමේදී, මියගිය අයට සහ මේ කවි නිර්මාණය කළ අයට, අපහාස වන ආකාරයේ අදහස් දැක්වීමෙන් වළකින්න.




2015 ජූනි මස 13 වැනි දින 1314 පැය

04 June 2015

කොහොමද ඔබේ සිංහල දැණුම?

11
 ලෝකයේ සෑම ජාතියකටම අයත් සියළු දෙනාටම, තම මව් භාෂාව විශිෂ්ඨ ලෙස භාවිත කිරීමට හැකියාවක් නැහැ. ඒ ධර්මතාව, මේ ලිපිය ලියන මටත්, ලිපිය කියවන ඔබටත් පොදුයි. කෙසේ වෙතත්, සාක්‍ෂරතාව අතින් ගතහොත්, අපේ රට, ලෝකයේම වුනත් ඉහළ තැනක තිබීම සතුටක්. සාක්ෂරතාව ඉහළින් තිබුණත්, භාෂා ඥානය අතින්, යම් කෙනෙකු, එතරම් විශිෂ්ඨ තත්වයක නොසිටින්නට පුළුවන්.

   භාෂාව ඉගෙනගැනීම ගණිතය ඉගෙන ගන්නවා හා සමානයි කියා මා ප්‍රකාශ කළොත්, සමහරවිට ඔබ එකඟ වන්නේ නැති වන්නට පුළුවන්. නමුත් එය සිංහල භාෂාවට පමණක් නොව, ලෝකයේ සෑම භාෂාවකටම පාහේ පොදු ලක්ෂණයක්. භාෂාවක ඇති ව්‍යාකරණ රටා, යෙදුම්, රීති, වාග් කෝෂය, ආදිය පිළිබඳව, හසළ දැණුමක් ලබාගැනීම, එතරම් පහසු කටයුත්තක් නොවෙයි.

   මතකද ඉස්කෝලේ ගිය කාලේ සමහරවිට බැණුම් අහමින් ඉගෙනගත්තා ව්‍යාකරණ? අම්මෝ.....එපාම වුන දෙයක් නේද? සමහර ගුරුවරු සිංහල උගන්වන්නේ ආයේ ජීවිතේටම සිංහල එපාවෙන විදිහට. ඒ විතරක් නෙවෙයි, අපි තවමත් භාෂාව ඉගැන්වීම සඳහා පාවිච්චි කරන්නේ, ඉතා පැරණි ව්‍යාකරණ නීති රීති හා පොත්පත්. නමුත් ඒ පොත්පත් අහක දැමීම නොවෙයි කලයුත්තේ. ඒවා පදනම් කරගනිමින්, අද කාලෙන් උදාහරණ ගෙනහැර පාමින්, උගන්වන්න පුලුවන්නම්, ළමයි හරිම ආසාවෙන් හා ඉක්මනින්, භාෂාවේ රටාව අල්ලා ගන්නවා.

  'හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී'

   මෙම වාක්‍ය ඛණ්ඩයේ ඇති උපමාව හා උපමේය පහදන්න.


  'කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් අතේ සල්ලී'

  'අතේ සල්ලි නැත්නම් හාමතේ' යන්නෙහි ව්‍යංගාර්ථය කුමක්ද?

   මෙන්න මේ වගේ, අද කාලේ අහන්න දකින්න ලැබෙන දේ වලින් උදාහරණ අරගෙන උගන්නන්න බැරි මොකද කියලා මටනම් තේරෙන්නේ නැහැ.

   ඒ වගේම තමයි අද කාලේ කරන ධර්ම දේශනා. තවමත් කියන්නේ 'ඉතිං පින්වත්නී, මේ වඳුරා කියනවා වටුවාට.................ආදී වශයෙන්, ඇයි කියන්න බැරි, 'පින්වත්නි, මේ ප්‍රේමවන්තයා යවනවා එස් එම් එස් එකක් තම පෙම්වතියට, අදම මාව හමුවෙන්න කියලා. පෙම්වතිය කියනවා බැහැ කියලා, අන්තිමට ප්‍රශ්නය කෙළවර වෙන්නේ, පෙම්වතා පෙම්වතියව ඝාතනය කිරීමෙන්. මෙන්න පින්වත්නි කාම තන්හා, භව තන්හා, විභව තන්හා'. 

   ටිකක් හිතලා බලන්න, මම කියන්නේ බොරුද කියලා. අද කාලයෙන් බණ කිව්වොත් තමා, මිනිස්සු අද කාලයෙන් හිතලා අවබෝධ කරගන්නේ. බුදුහාමුදුරුවොත් කළේ, අද කාලයේ බණ කීමයි. (ඒ කාලයේ සිදුවීම් අළලා) අපේ හාමුදුරුවරු හිතන්නේ, ඒ විදිහටම, අදත් ඒ පැරණි කතා වලින් බණ කියන්න ඕනෙ කියලයි. ඒකෙන් වෙන්නේ මිනිස්සුන්ට ආගම එපා වීමයි. මොකද හැමදාම එකම කතා. හැබෑටම මොකද කවදාවත්, 'නලිනි ජාතකය' පදනම් කරගෙන බණ කියන්නේ නැත්තේ? 

   පුංචි කතාවක් කියන්නද? හැබැයි අන්තිමට බනින්න එපා, 'හුහ්....පේනවා නේද මේ නාකියාගේ තරම. මේකා ප්‍රසිද්ධියේම හාමුදුරුවරුන්ට අපහාස වන විදිහේ කතාවක් කිව්වා නේද?' කියලා. ඕකනේ කියන්නේ, වැරදි විදිහට බැලුවොත් ඔක්කොම වැරදියි. මේවා එදිනෙදා කියන කතා විතරයි. ලොකුවට හිතන්ඩ එපා. මේකයි කතාව.

   ඈත පිටිසර දුප්පත් ගමක ගොවියෙක්, දුක්මහන්සියෙන් හරි හම්බ කරගත් මුදලින්, පොඩි ගෙයක් හැදුවා. සියලුම වැඩ අවසන් නොකළත්, ගෙට විදුලිය බලය ලබාගන්නත්, ගොවි මහතා වාසනාවන්ත වුණා. ඔහු හිතුවා, ගෙට ගෙවැදීමට අදාළව, ගමේ හාමුදුරුවෝ වඩම්මවලා, බණක් කියවීම සුදුසුයි කියලා. ඔන්න ඉතිං, සියල්ල සූදානම් කරලා, හාමුදුරුවා වැඩැම්මුවා.  හාමුදුරුවන්ට අසුන් පනවන්න තරම් සුදුසු පුටුවක්, මේ ගෙදර තිබුණේ නැහැ. ඒ නිසා, කොට්ට කීපයක් එක මත එක තබා, ඒවා ඇඳ ඇතිරිල්ලක ඔතා, සකසාගත් 'ආසනයක්', බිත්තියක් අසළ පනවා තිබුණා. හාමුදුරුවෝ ඒ ගැන සැළකීමක් කළේ නැහැ. දුප්පත් දායකයන් වෙත බණ කීමයි වැදගත්. දැන් හාමුදුරුවෝ බොහොම ලස්සනට බණ කියාගෙන යනවා. හාමුදුරුවෝ, අර බිත්තියට පිටුපාලා තමයි අසුන්ගෙන ඉන්නේ.

   විශාඛා සිටු දියණිය ගැන කියමින්, හාමුරුවො මෙන්න මෙහෙම කියන්න පටන් ගත්තා. 'ඉතිං පින්වත්නී............මේ විශාඛා සිටු දියණියගේ'........නමුත් මේ ටික කියනකොටම, එකවරම, මහ හඬින්, හාමුදුරුවන් අතින්, මෙවැනි අවස්ථාවකට කිසිසේත් නුසුදුසු, වදන් කීපයක් කියවුණා. මෙන්න මෙහෙම. 'ඉතිං පින්වත්නී............මේ විශාඛා සිටු දියණියගේ.......අම්මට *%$#@' කියලා හාමුදුරුවන්ට කියවුණේ. මුළු බණගෙදරම කලබලයට පත්වුණා. බණ අහමින් සිටි උපාසක අම්මලා ගෙදරින් එළියට දිව්වා. අපෙ අම්මෝ...........කියාගෙන.

   අර ගොවි මහතා තුෂ්නීම්භූත වුණා මේ මොකක්ද වුණේ කියලා. හාමුදුරුවෝ ඇහුවා 'ඇයි උපාසක මහත්තයෝ මට මෙහෙම කළේ' කියලා. ගොවි මහතා කෝපයෙන් කෑගැහුවා, 'මම, හුහ්, මම මොනවද කළේ, ඔබවහන්සේනේ මෙතන කුණුහරප කිව්වේ' කියලා. හාමුදුරුවෝ අමාරුවෙන් නැගිට්ටා. 'මෙන්න බලන්න උපාසක මහත්තයා කරලා තිබුණු දේ' කියලා පෙන්නුවා. මොකක්ද වෙලා තිබුණේ? හාමුදුරුවෝ පිට හේත්තු කළ බිත්තියේ, විදුලි කෙවෙණියක් සවිකිරීම සඳහා රැහැන් ඇද තිබුණා. ඒ සඳහා අවශ්‍ය අර, කුඩා ප්ලාස්ටික් ගිල්ලුම් පෙට්ටිය සවිකර තිබුණත්, කෙවෙණිය සවිකර තිබී නැහැ. එතන තිබුණු විදුලිය සහිත රැහැනක නිරාවරණ අග්‍රය, හාමුදුරුවන්ගේ පිටේ ගෑවිලා.  විදුලිය බලය විසින්, හාමුදුරුවන්ට නොකියවෙන දේ කියවන්නට සළස්වලා.
    
   ඔන්න ඕකයි කතාවහරි හරි ආපහු යමුකෝ ලිපියට.


   සිංහල බ්ලොග් ලෝකයේ, කාලීනව පළවන, භාෂා විෂයයික ලිපි බොහොමයකදී සිදුවන්නේ, ප්‍රතිචාර වෙනුවට, සම්ඵප්‍රලාප වැලකින් ප්‍රතිචාර කොටස පිරීයාම පමණයි. මෙහිදී බහුළවම දකින්නට ලැබෙන අදහස්, නිල් පැහැයෙන් දක්වන අතර, ඒ පිළිබඳ මා සිතන ආකාරය, රතු පැහැයෙන් දැක්වෙනවා.


   මා කියනදේ, ඔබට වැටහෙන්නේ නම්, භාෂාවකට තවත් නීති කුමකටද? 

  ඔබ මා සමග සංවාදයේ යෙදෙන්නේ, ඔබට ආවේනික, ප්‍රාදේශික, ඔබගේ සීමිත සමාජ තලයේ (යම්කිසි පලාතක්, දිස්ත්‍රික්කයක්, ආයතනයක්, විශ්ව විද්‍යාලයක්, එකට පුහුණුව ලබන කණ්ඩායමක් වැනි) යොදන වාග් මාලාවකින් නම්, එය මට නොවැටහෙන බව ඔබට නොතේරේද? 


   හැමදාමත් එකතැන පල්නොවී වෙනස්වීම, භාෂාවක පොදු ලක්ෂණය බව නොදන්නේද?

   වෙනස්වීම සිදුවන්නේ කුමන රීතියක් පදනම් කරගෙනද? ඉංගිරිසියේ Fried Rice යන්න ෆයිඩ් රයිස්, ප්‍රයිඩ් රයිස්, (අභිමානවත් බත්?) ලෙස යොදා, අද නිකම්ම රයිස් කියා යෙදීම, ත්‍රිරෝද රථයට ත්‍රීරෝද රථය කියා කීම/ලිවීම, Trishaw, නමැති ඉංග්‍රීසි පදයට, සිංහලටත් නැති ඉංගිරිසියටත් නැති, 'ත්‍රීවීල්' වැනි යෙදුමක් සැකසීම සහ අද වනවිට, ලැජ්ජා නැතුව, 'වීල් එක' කියා කීම, (දැනට මේ උදාහරණ ඇති) කුමන රීතිය යටතේ කළ, වදන් සැකසුමක්ද? ඉංගිරිසි භාෂාව මේ ආකාරයට වෙනස් නොවන්නේ ඇයි? එහි තිබෙන වදන් සැකසුම් රීති, තමන්ට අවැසි පරිදි වෙනස් නොකරන්නේ ඇයි?


  කටවහර සහ ලිඛිත වහර ලෙස දෙකක්, සිංහලයට අනවශ්‍යය.

   ඕනෑම භාෂාවක කෙටි යෙදුම් තිබේ. ඒයි, වරෙන්, ඕයි, දුප්, ඉජුඃ, වැනි යෙදුම් මෙන්ම, ප්‍රාදේශීය ව්‍යවහාර විධි, (බත් වියනවා, පොල් ඔයනවා, වැනි) යෙදුම්ද තිබේ. මෙය අප රටට පමණක් සීමාවූවක් නොවේ. සෑම භාශාවකම ප්‍රාදේශීය ව්‍යවහාර ඇත. එහෙත්, පොදු සමාජයේදී භාවිත කළයුතු බවට, සමාජ සම්මත ව්‍යවහාර භාෂාව, තම අභිමතය පරිදි විකෘති කිරීම, භාෂාව පිළිබඳ තම නිදහස පාවිච්චි කිරීමක් නොව, නොදන්නාකම පෙන්වීමකි. 


   විෂයය කුමක් වුවත්, බ්ලොග් ලිපි ලිවීමේදී, තම අභිමතය පරිදි, සිංහල, ඉංග්‍රීසි, දෙමළ, වැනි භාෂා කීපයක් මිශ්‍ර කර ලිවීමෙහි වරදක් නැත.

   මෙය තීරණය වන්නේ, මා කියන දේ ඔබට වැටහෙන්නේ නම්, ප්‍රශ්නයක් නැහැ නේද යන සංකල්පය මත ය. 

   (ආමි එකේ තියන ඩිරෙක්ටරේට්ස්  වලින් වැඩ අමාරුම එකක් තමයි ඔප්ස් ඩිරෙක්ටරේට් එක. ඩී ඔප්ස් කියන්නේ ලොකු ස්ට්‍රේන් එකක් කරගහන කෙනෙක්. බැට්ල් ටෑන්ක් එකක තියන කෲ ෆැටීග් එක තමයි අමාරු. හැබැයි ආටි වලදී මෙටා ඩේටා අරන් ගන් එක අලයින් කරාට පස්සේ බැට්‍රි කමාන්ඩර් කියන විදිහට ෆයර් එක දෙනවා)

   මෙහෙම කියන අය මා දැක/අසා තිබෙනවා. මෙතැනදී මම ලිව්වේ, මගේ විෂයයට අදාළව. නමුත් මෝටර් යාන්ත්‍රික විද්‍යාව, විදුලි සහ/හෝ විද්‍යුත් විෂයයන්ට අදාළව හෝ වෙන එකක් තියා, තමන්ගේ මෝටර් වාහනය අලුත්වැඩියා/සේවා කිරීම සඳහා රැගෙන ගියවිට, අදාළ ආයතනයේ කාර්මිකයන් කියනදේ, කට ඇරගෙන බලා ඉන්න අයත් දැකලා තියනවා. නමුත් ඉතාම කලාතුරකින් තමයි අහන්නේ, අර වචනයේ තේරුම මොකක්ද? මේ වචනයේ තේරුම මොකක්ද කියලා? මොකද තමන්ගේ නම්බුවට අඩු ලුහුඬුවක් වෙයි කියලා. මෙලෝ සංසාරයක් නොතේරුණත්, තේරුණා වගේ ඉන්නවා. ඉතින් කොහොමද කියන්නේ, මම කියනදේ ඔබට තේරෙනවානම් ප්‍රශ්නයක් නැහැ කියලා? මොකද මම කතාකරන්නේ, මට ආවේනික වාග් මාලාවකින්. එය හැම තැනටම වලංගු නොවන බව, මා තේරුම් ගත යුතුයි.

   සමහර බ්ලොග් ලිපිත් එහෙමම තමයි. 


   දැණුම යාවත්කාලීන වෙනවානම් භාෂා ප්‍රශ්න නැත.

   ඔව් එකඟයි. නමුත් දැණුම යාවත්කාලීන වන්නේ පොදු ව්‍යවහාරය පදනම් කරගෙනද? එසේ නැතහොත් සීමිත සමාජ තලයක් ඇසුරු කිරීමෙන්ද? බ්ලොග් කියවීමෙන් භාෂා දැණුම වර්ධනය නොවේ. ලෝකය පුරාම, බ්ලොග් ලියන්නේද, භාෂා දැණුම වර්ධනය කරවීම සඳහා නොවේ. සරල වින්දනය සඳහාය. එහෙත් එය භාෂා ඥානය මොට කරවන, විකෘති කරවන, විනාශ කරවන, බලවේගයක් නම්, පාඨකයන් වෙත, එහි ඇති අණිටු ඵලවිපාක පෙන්වා දියයුතුය. මන්ද, බාල පරපුරද, බහුළ වශයෙන් බ්ලොග් කියවන නිසා. බ්ලොග් ලියන භාෂා විලාශය, එදිනෙදා සමාජයේ සෑම කටයුත්තක් සඳහාම, සෑම තැනටම පොදුය, යන වැරදි වැටහීම ඇතිවීම වැලැක්වීම, බ්ලොග් ලියන අප සියළුදෙනාගේ වගකීමක්ද වන්නේය.

   ජාතියක අනන්‍යතාව පෙන්වන වැදගත් මෙවලමක් වන්නේ භාෂාවයි. එය අයාලේ යන්නට ඉඩදීම, තම මව අයාලේ යැවීම වැනිය. මන්ද, එය මව් භාෂාව කියා හඳුන්වන්නේද, මවට තරම් ආදරයක්, ගෞරවයක්, සැළකීමක්, තිබියයුතු බැවිනි. තම විචාර බුද්ධියට ගෝචර වන, හරවත් සංවාද වලට ඇහුම්කන්දීම, භාෂා ඥානයෙන් හෙබි පුද්ගලයන් සමග සංවාදයේ යෙදීම සහ හරවත් පොත්පත් ලිපිලේඛන කියවීම තුළින් පමණක්, භාෂා ඥානය දියුණු කරගත හැකිය.

   'භාෂාව යනු, විභාගය සමත්වීම සඳහා ඉගෙනගතයුතු, තවත් එක විෂයයක් පමණි' යන සංකල්පයේ සිට, භාෂාව උගන්වනතුරු/ඉගෙනගන්නාතුරු, භාෂාවේ පිරිහීමක් මිස, දියුණුවක් ඇති නොවේ. 

  
   බුද්ධිමය සංවාදයකට තුඩුදෙන අදහස්, ඉහළින්ම අගය කරන අතර, ප්‍රස්තුතයට අදාළ නොවන සහ අපහාසාත්මක අදහස්, ඉවත් කරනු ලැබේ.



2015 ජූනි මස 03 වැනි දින 2343 පැය 

20 May 2015

චාරිකා සටහන් එකතුවක්

Writing
 පහුගිය මාස පහක හයක පමණ කාලය තුළ, චාරිකා කීපයක යෙදෙන්නට, මට අවස්ථාව ලැබුණා. එයින් 'යාපනයේ සංචාරය' සහ 'වැදි ජනතාව බලන්නට ගිය චාරිකාව' පිලිබඳ අද්දැකීම්, මා ඔබ සමග බෙදා හදාගත්තා. නමුත්, සමහර චාරිකා පිලිබඳ විස්තර කියන්න අමතක වුණා. එහෙම නැත්නම්, ඊට වඩා ප්‍රමුඛස්ථානයක් ලැබිය යුතු මාතෘකා ඔස්සේ ලිපි ලියවුණ නිසා, චාරිකා සටහන් ලිවීම අතපසු වුණා. ඔන්න ඒ මගහැරුණු චාරිකා ඔක්කොම එකතු කරලා, මේ ලිපිය ලියන්නේ.

   
රන්ටැඹේ චාරිකාව 

   වැදි ජනතාව බලන්නට ගිය චාරිකාව බොහොම රසවත්. පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේදී ගිය මේ චාරිකාව සඳහා, දින තුනක් ගතවුණා. එයින් දින දෙකක් මා සහ සහෝදර විශ්‍රාමික නිළධාරීන්, නැවතී සිටියේ, රන්ටැඹේ පිහිටි ජාතික ශිෂ්‍යභට බලකායේ පුහුණු මධ්‍යස්ථානයේ. 

   මා හමුදා සේවයේ යෙදීසිටියදී, කවරදාක වත්, මේ කඳවුරට ගිහින් නැහැ. එසේ යන්නට අවශ්‍යතාවක් නොතිබුණු නිසා. මේ තමයි මා පළමුවරට එහි ගිය අවස්ථාව. ශ්‍රී ලංකාවේ දර්ශණීයතම භූමි භාගයක පිහිටි මේ කඳවුර, ප්‍රධාන නගර වලින් ඈත්ව පිහිටීමත් විශේෂත්වයක්. ප්‍රධාන නගරයක් වශයෙන් පිහිටි මහියංගනය නගරයටත්, මෙහි සිට කි.මී. 28 ක් පමණ දුරක් තිබෙනවා.

   මෙම කඳවුරු භූමිය, මහවැලි ව්‍යාපාරයට අදාළව නිමවුණු, රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශ ව්‍යාපෘතීන්හි සේවය කළ, ජර්මානු ජාතික නියෝජිතයන්ගේ නවාතැන්, ගබඩා, කාර්යාල, සංකීර්ණයක් ලෙසයි පවත්වාගෙන ගොස් තිබෙන්නේ. මේ ප්‍රදේශය වල් අලින් ගෙන් ගහණ ප්‍රදේශයක් වුවත්,

   (වල් අලියා යන්න, වන අලියා ලෙස හඳුන්වන්නට අදහස් කළේ, මොන ගොන් අලියාදැයි දන්නේ නැහැ. වල / වළ යන වචන දෙකෙහි තේරුම නොදත්, සිංහල නූගත්, අබබ්බයකු වෙන්න ඇති, ඒ යෝජනාව ගෙනෙන්න ඇත්තේ. මෙවැනි අබබ්බයන්, 'වල්' කියන වචනයට දන්නේ, එක තේරුමයි. ඒ කියන්නේ, අසභ්‍ය කියන තේරුම. මේ අය, ඒ තේරුම දන්නෙත්, තමන් වල් නිසා වෙන්න ඇති. වන අලියා, වණ අලියා කියලත් ලියයි, සමහරවිට) 

   මෙතෙක් ශිෂ්‍යභට පුහුණුවට එයින් බාධාවක් වී නැති බව දැනගන්නට ලැබුණා. කෙසේ වෙතත්, ශිෂ්‍යභටයන් වන අභ්‍යාසවල යෙදීමේදී, උපදේශක මණ්ඩලය විසින්, ආරක්ෂාව ගැන විශේෂයෙන් සැළකිලිමත්වන බවත්, දැනගන්නට ලැබුණා. කඳවුර වටා විදුලි වැටක් ඉදිකර තිබෙනවා, අලින් පැමිණීම වළක්වන්නට. මෙන්න රන්ටැඹේ ප්‍රදේශය. පින්තූරය මත ක්ලික් කර, විශාල කර බලන්න. 

Rantambe

   මෙන්න රන්ටැඹේ දී සහ මහියංගණ ප්‍රදේශයේ චාරිකාවේදී ගත් පින්තූර කීපයක්.

රන්ටැඹේ කඳවුර 

DSC01270


DSC01260



මහියංගණ චෛත්‍යය

DSC01291



සොරබොර වැව

DSC01329


DSC01324

   සොරබොර වැව ලංකාවේ ඇති වැව් අතරින් සුවිශේෂී ස්ථානයක් ගන්නේ, එහි ඇති සොරොව්වේ විශේෂත්වය නිසයි.  එය සම්පූර්ණයෙන් ස්වභාවික ගලක ඉදිකරන ලද සොරොව්වක්. ඒ ආකාරයට ලංකාවේ ඉදිකර ඇති එකම සොරොව්ව එයයි. අදාළ විස්තර, වැව අසළ ඇති පුවරුවක සඳහන්වන්නේ මෙහෙමයි. 

DSC01318

මේ සොරොව්වේ වීඩියෝවක් ගන්නට මට හැකිවුණා. මේ තියෙන්නේ ඒ වීඩියෝව. (තත්පර 30 ක් පමණයි)




  කල්පිටිය චාරිකාව 

   ඔබට මතකද මා මීට පෙර කීප වතාවක් ඔබට කියා තිබෙනවා අපේ ගමේ සුබසාධක සමිතියෙන් යන වාර්ෂික චාරිකාව ගැන. 2015 වසර වෙනුවෙන් ඒ චාරිකාව අපි ගියේ කල්පිටිය අර්ධ ද්වීපය සහ පුත්තලම ප්‍රදේශය ආශ්‍රිත කරගෙනයි.

   කල්පිටියට යනවානම් නොවරදවාම නැරඹිය යුතු ස්ථානයක් වන්නේ, කල්පිටිය නාවික හමුදා කඳවුර තුළ පිහිටි, පැරණි ඕලන්ද බලකොටුවයි. මෙය නැරඹීම සඳහා, කල්තබා දැනුම්දීමක් කර, අවසර ගන්නවානම්, වඩා හොඳයි. කෙසේවෙතත්, හතර පස් දෙනෙකු වැනි සුළු පිරිසකට නම්, ඒ මොහොතේම වුනත්, කඳවුරේ ඇති සම්බන්ධිකරණ කාර්යාලයෙන්, අවසර ගන්න පුළුවන්. 

   මේ ඕලන්ද බලකොටුව සීඝ්‍රයෙන් විනාශවීගෙන යන බවත්, පුරාවිද්‍යා සංරක්‍ෂණ කටයුතු කිසිවක් සිදුවී නැති බවත් පෙනෙනවා. පසුගිය යුද සමයේ මා, මේ කඳවුරට කීප වතාවක් ගියා. නමුත් නිදහසේ මේ බලකොටුව නරඹන්නට ලැබුණේ, මේ පහුගිය පෙබරවාරි මාසයේ යෙදුන සංචාරයෙදීයි. කඳවුර හරිම අලංකාරයි. ඔබට පුළුවන්, අවසර දී ඇති ප්‍රදේශ වලට පමණක්, නිදහසේ ඇතුළුවී නරඹන්න.

   කඳවුර ඇතුළට යනකොටම දකින්න ලැබෙන්නේ තල්මසකුගේ ඇටසැකිල්ලක් සංරක්ෂණය කර ඇති ආකාරය.

DSC01826

   හමුදා භටයන් විශ්‍රාම ගන්නවා වගේ, අවි ආයුධත් විශ්‍රාම ගන්නවා. මේ නාවික යාත්‍රාවල සවි කරන මැෂින් තුවක්කුවක් විශ්‍රාම ගෙන තිබෙන ආකාරය.

DSC01824


ඕලන්ද බලකොටුවේ පිවිසුම් දොරටුව 

DSC01827


බලකොටුව අභාවයට යමින් පවතින හැටි 

DSC01829

   බලකොටුවේ, පැරණි, අතිවිශාල, දැවමය දොරටුවක් තිබෙනවා. එහි සටහන්ව තිබෙන ආකාරයට, මේ බලකොටුව ඉදිකර තිබෙන්නේ ක්‍රි.ව. 1759 දී. MDCCLIX = 1759

DSC01862

   මේ පහත පින්තූරයේ තිබෙන්නේ, 'ක්‍රිස්තු වර්ෂ' යන්න, ANNODOMINI යනුවෙන්, සටහන් කර ඇති ආකාරයයි. 

DSC01861

   යුද්දෙට ගිහින් වෙහෙසට පත් ප්‍රහාරක යාත්‍රා, මේ කඳවුරේ, විවේක සුවයෙන් තිබෙනවා. නමුත් ඕනෑම වෙලාවක රාජකාරියට සූදානම්. අදත් අභ්‍යාසවල යෙදෙනවා. මේ යාත්‍රා අසළටම ගොස් බලන්නට අවසර තිබෙනවා. 

DSC01870

   නාවික කඳවුර නරඹා ආපසු එන ගමන්, අපි, අති සුප්‍රසිද්ධ, තලවිල ශාන්ත ආනා දෙව් මැඳුර වන්දනා කරන්නටත් ගියා. ඉතා අලංකාර පරිසරයක පිහිටි මේ දෙව් මැඳුරු භූමිය, පරිසර සංරක්ෂණය අතින් ඉහළ තැනක් ගන්නවා. 

DSC01920


DSC01927

   ඊළඟට අපි ගියේ, නොරොච්චෝලේ, 'ලක් විජය ගල් අඟුරු තාප විදුලිබලාගාරය' නරඹන්නටයි. බලාගාරය ඇතුලේ පින්තූර ගන්න අවසට නැහැ. මේ පෙනෙන්නේ, නැව් මගින් ගෙන එන ගල් අඟුරු, බත්තල් මගින් ගොඩබිම ආසන්නයට ගෙනැවිත්, ධාවන මාර්ගයක් ඔස්සේ, Conveyor Belt බලාගාරය වෙත එවන ආකාරයයි. 


DSC01917

   නොරොච්චෝලේ ප්‍රදේශයේ, ඉතා විශාල ප්‍රමාණයක්, සුළං විදුලි ජනක සවිකර තිබෙනවා. පුත්තලම ප්‍රදේශයම ගතහොත්, 100 කට අධික ප්‍රමාණයක් තියනවා වගේ දැක්කේ. මේ තියෙන්නේ. 

DSC01887

   'අනේ ඔය දෙන්නා නිකං, ඈතින් හිටෙව්ව හුළං මෝල් දෙකක් වගේ ඈත්වෙලා ඉන්නැතුව ලංවෙන්නකෝ', කියලා, ලොකු දුව කොච්චර කිව්වත්, ලංවුණේ නැහැනේ.

DSC01906

   දිවා ආහාරය සඳහා අපි බලාපොරොත්තු වුණේ, පුත්තලම - මන්නාරම මාර්ගයේ, එළුවන්කුලම ප්‍රදේශය පසුකර, කලාඔයේ දිය පැන්නුමෙන් එගොඩවී, ඔයෙන් නෑමෙන් පසු, මොක මොකවත් කරගෙන, දෙයියනේ කියලා බත්ටික කන්නයි.

   නමුත් ඔයේ වතුර වැඩි නිසා වාහන එගොඩ කරන්න බැහැ, සපත්තු පාළමෙන්. Causeway කෝසුව කියලත් කියනවා. මේ බලන්න කෝසුවේ වතුර වැඩියි. එගොඩින් පෙනෙන්නේ, විල්පත්තු අභයභූමිය.

DSC01935

   මෙතනදී මම දැක්කා, තම වර්ගයා බෝ කිරීමේ අරමුණින්, උඩුගං බලා, කෝසුවෙන් පණින මසුන්. ඔන්න මම උන්ව වීඩියෝ කරගත්තා.



   ඉතින් මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු.  දැන් කොහේ ගිහින්ද,  මොක මොකවත් කරගෙන, දවල් බත කොටාබාන්නේ කියලා, අපේ කට්ටිය විස්සෝප වුණා. හෙහ් හෙහ්......එව්වා කොහෙද මාත් එක්ක.

   මේ ප්‍රදේශය මට හොඳට හුරුයි. මම මුලින්ම මේ ප්‍රදේශයේ රාජකාරි කලේ 1987 දී. මම අපේ කට්ටියත් අරගෙන ගියා, ඉතා සුන්දර පරිසරයක පිහිටි ධීවර ජනාවාසයක් වන, 'ගඟේවාඩිය' නමැති ප්‍රදේශයට. (සිතියමේ බලන්න)

   ඉස්සර මේ පැත්ත ඉතා දැඩි ලෙස LTTE තර්ජනයට ලක්ව තිබුණා. දැන් නිදහස්. මේ අසළ, අති විශේෂ නාවික හමුදා කඳවුරක් තිබෙනවා. එය තරමක් රහසිගත එකක්.

   මෙන්න බලන්න ගඟේවාඩිය. 

DSC01948

Screenshot (14)



ත්‍රිකුණාමලය සහ තිරියාය චාරිකාව

   මේ චාරිකාවේ යෙදුණේ පහුගිය මාර්තු මාසේ. අපේ පන්සලේ තිබෙන දහම් පාසලේ දරුවන් වෙනුවෙන්, චාරිකාවක් සූදානම් කර තිබුණා. අපේ හාමුදුරුවෝ මට කිව්වා, 'මහත්තයත් ඇවිත්, පින්තූර ටිකක් අරං දුන්නොත් හොඳයි' කියලා. ඒ නිසා තමා ගියේ. මේක දහම් පාසල් චාරිකාවක්නේ. ආයෙ 'වෙන වැඩ බැහැ' ඒ නිසා, උපාසක ලීලාවෙන් ගිහින් ආවා.

   ත්‍රිකුණාමලයේ පින්තූර නම්, බොහෝදෙනෙක්, අනන්තවත් දැකලා ඇති. ඒ නිසා වැඩිය පින්තූර දාන්නේ නැහැ. ත්‍රිකුණාමාලයේ පිහිටි ෆ්‍රෙඩ්රික් බලකොටුවේ ප්‍රධාන දොරටුව මේ පෙනෙන්නේ.

1

   ත්‍රිකුණාමලයේ කෝණේස්වරම් කෝවිලට පහළින් පිහිටා ඇති, 'ස්වාමි ගල හෙවත් පෙම්වතුන් පිනූ ගල' සෑම සංචාරකයකුගේම කැමරාවට හසුවෙනවා. 

2

   අතීතයේ පටන් ත්‍රිකුණාමලයේ වෙසෙන මුව රංචුව, ප්‍රධාන නගරයක් තුළ වෙසෙන, ලෝකයේ එකම මුව රංචුවයි. නමුත් ඔවුන් වඳවේගන යනවාලු. මමත් මේ මුවාව දැක්කේ, ත්‍රිකුණාමලයේ හමුදා කඳවුරක් තුළදී. 

3

   මේ ගමනේ අපි ප්‍රධාන අරමුණක් කරගත්තේ, තිරියායේ ගිරිහඬු සෑය වන්දනාමාන කිරීමයි. අපි ඉක්මණින්ම තිරියාය බලා පිටත්වුනා. ත්‍රිකුණාමලය - පුල්මුඩේ මාර්ගයේ, තිරියායට හැරෙන හන්දිය අසළ ඇති නාවික හමුදා කඳවුරෙන්, අපිට ඉතා ඉහළ මට්ටමේ තේ පැන් සංග්‍රහයක් ලැබුණා. අපේ ගමේ ඉන්න නාවික හමුදා නිළධාරියකු විසින් එය සූදානම් කර තිබුණා. මේ තියෙන්නේ ඒ කඳවුරේ අලංකාරයි. 

4

5

   තිරියාය ගැන හැඳින්වීමක්  බලලා, පින්තූර බලමු.

6

   ලංකාවේ තිබෙන විශාලතම වටදාගේ තියෙන්නෙත්, තිරියාය ගිරිහඬු සෑයේ.

9

   ගිරිහඬු සෑය පිහිටි කන්ද පාමුල, පැරණි ගල් පාළමක් සහ දිය අගලක් දකින්නට ලැබෙනවා. 

7

8

   මේ සිතියම දාන්නේ, ඔබටත් තිරියායේ යන්න මග සලකුණු පෙන්වන්නයි. 

Screenshot (15)

   අපේ කණ්ඩායමේ හිටිය මේ සංචාරිකාවෝ, මගේ කැමරාව ඉදිරියේ, නිරූපිකාවෝ බවට පත්වුණා. 

10

11

   මේ කෙටි ලිපිය කියෙව්වාට බොහොම ස්තුතියි.


2015 මැයි මස 19 වැනි දින 2333 පැය 

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }