හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

03 October 2016

ඕනේ කෙහෙම්මලක් වෙච්චාවේ............. ඔන්න මම කියලා දෙනවා...................... (දෙවැනි කොටස)

   කාලෙකට පස්සේ, යුද අවියක් ගැන ලියන්නට පටන්ගත්, මේ ලිපියේ පළමුවැනි කොටසට සාර්ථක ප්‍රතිචාර ලැබීම පිළිබඳව, සතුටුවෙනවා.  මේ අඩවියේ ආරම්භයේ සිටම, ඔබේ දැනුම වර්ධනය සඳහා මා ඉදිරිපත් කළ විවිධ සංග්‍රාමික තොරතුරු කෙරෙහි, ඔබේ විශේෂ අවධානය යොමුවීම ගැනත්, මා නිහතමානීව සතුටුවෙනවා.යුද අවි ගැන, සාමාන්‍ය සමාජය දැනගතයුත්තේ ඇයි කියන ප්‍රශ්නයට, පිළිතුරු කීපයක් දෙන්න පුළුවන්. 

  • හමුදා ක්‍රියාකාරකම් පිළිබඳව පලවන මාධ්‍ය වාර්තා කියවීමේදී/නැරඹීමේදී/ඇසීමේදී/ වඩාත් පුළුල් අවබෝධයකින් යුක්තව, කරුණු සලකා බලන්නට හැකි වෙනවා.

  •  යුද අවි පාවිච්චි කරමින්, සිවිල් සමාජය තුළ සිදුකෙරෙන අපරාධ පිළිබඳව, වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිවීම.  මෙන්ම එවැනි සිදුවීම් වලට  අදාළ  ඇසින් දුටු සාක්‍ෂි වලදී, එවැනි දැනුමක් තිබීම, ඉතා වැදගත් වනවා.

  • යම් යම් ගවේෂණාත්මක කරුණු සම්පිණ්ඩනය කිරීම් සඳහා, මෙවැනි දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. 

  • විනෝදාංශයක් ලෙස, යුද හමුදා තොරතුරු අධ්‍යයනය කරන, එක්රැස් කරන අයට, වැදගත් වෙනවා. 
   පසුගිය කොටසෙන් අප සාකච්ඡා කරන්නට පටන්ගත්, AK 47 අවිය ගැන, ඔබ අතරින් සෑහෙන පිරිසකට යම් සතුටුදායක දැනුමක් තිබෙන බව මා දන්නවා. ඔබ පාසල් ශිෂ්‍ය භටයකු හෝ ආරක්ෂක හමුදා සාමාජිකයකු ලෙස සිටි/සිටින අයකු නම්, සතුටුදායක නොව, හොඳ දැනුමක් ඔබට ඇති.

   ඒ දැනුම නැති/අඩු අය වෙනුවෙනුයි මේ ලිපිය කියවෙන්නේ. 

   AK 47 කියන්නේ, සම්පූර්ණ ස්වයංක්‍රීය (Automatic) තුවක්කුවක්. 

මොකක්ද ස්වයංක්‍රීය තුවක්කුවක් කියන්නේ? 

   ස්වයංක්‍රීය තුවක්කුව නිර්වචනය කරන්නේ මෙහෙමයි:- තුවක්කුවේ ට්‍රිගරය (කොකා) මිරිකාගෙන සිටින තුරු, එම තුවක්කුවට සපයා ඇති පතරොම් සියල්ල, නොකඩවා, එකක් පසුපස එකක් වශයෙන් වෙඩි තැබීමට හැකි තුවක්කුව, ස්වයංක්‍රීය තුවක්කුවයි. මේ බලන්න.






    ස්වයංක්‍රීය තුවක්කු නිපදවන්න කලින් තිබුණේ අර්ධ ස්වයංක්‍රීය තුවක්කු. (Semi Automatic Gun) ඒ තුවක්කු වලින් වෙඩි තැබීමේදී, සෑම පතරොමක් වෙනුවෙන්ම, තුවක්කුවේ කොකා මිරිකන්න ඕනේ. 

   (අනේ මේ, කොකා ගස්සනවා කියලා, කියන්න ලියන්න එපා හොඳේ? කොකා ගස්සන්න ගියොත්, තුවක්කුව හෙලවෙලා, ඉලක්කය වරදිනවා. ඒ නිසා, හරියට ඉලක්කය අරං, කොකා මිරිකන්න) 

   ඒ වගේ අර්ධ ස්වයංක්‍රීය තුවක්කුවකට උදාහරණයක් තමා, 'ස්වයංක්‍රීයව පතරොම් ඇතුළුවන තුවක්කුව Self Loading Rifle = SLR' මේ බලන්න, හැම වෙඩිල්ලක් සඳහාම, කොකා මිරිකන්න ඕනේ. 0.40 සිට තත්පර 10 ක් බැලුවම ඇති. 

   (දැන් ඔන්න පොටෝ කෙළින උන්නැහේලා කියයි, SLR කියන්නේ, Single Lence Reflex කියන එකයි කියලා. හරි හරි, ඒකත් ඇත්ත, නමුත් මේකත් ඇත්ත)




 දැන් බලන්න පූර්ණ ස්වයංක්‍රීය (Full Automatic) කිව්වම, කරුණු කීයක් සම්පූර්ණ විය යුතුද කියා. 

  • පළමුව මේ තුවක්කුවට විශාල පතරොම් ගණනක් සපයා තිබිය යුතුයි.
  • දෙවනුව ඒ පතරොම් ස්වයංක්‍රීයව තුවක්කුවට ඇතුළු වියයුතුයි.
  • තුන්වනුව ඒ පතරොම් සියල්ල පත්තු කිරීම සඳහා, ස්වයංක්‍රීය යාන්ත්‍රික ක්‍රමවේදයක් තිබිය යුතුයි.  (automated mechanism)
   ඒ විතරක් නෙවෙයි, මෙවැනි යාන්ත්‍රණයක් සහිත තුවක්කු, නිකම්ම නිකම් තුවක්කු නෙවෙයි. ඒවා, 'ප්‍රහාරක රයිෆල් (Assault Rifle)'  කියන අවි ගණයට තමයි අයත්වන්නේ.

   මොනවද ප්‍රහාරක රයිෆල් කියන්නේ? 

   ඊට කලින් බලමුද රයිෆලයක් කියන්නේ මොකක්ද කියලා? 

   රයිෆලය යනු, එහි මිට හෙවත් බට් කොටස,  පුද්ගලයකුගේ උරහිසට හේත්තු කර වෙඩි තැබීම කළහැකි, සර්පිලාකාර කාණු සහිත බටයකින් යුත්, ගිනි අවියකි. 



   යම්කිසි ගිනි අවියක් 'ප්‍රහාරක රයිෆලය' කියන තත්වය ලබන්න නම්, සුදුසුකම් කීපයක් සම්පූර්ණ කලයුතු වෙනවා.  රයිෆලයක බටය barrel වෙනත් සාමාන්‍ය තුවක්කුවකට වඩා වෙනස්. (මෙව්වා කලිනුත් කියලාදීලා තියනවා, කොහෙද ඔලුවේ තියාගන්න එකක්යැ) ඒ බටය තුළ, සර්පිලාකාර හැඩයකට සැකසූ කාණු තිබෙනවා ඒවා හඳුන්වන්නේ, 'රයිෆ්ලිංග් Rifling' යනුවෙන්. මේ බලන්න. 





හරි, දැන් බලමු ප්‍රහාරක රයිෆලයක් කියන්නේ මොකකටද කියලා.

  • ප්‍රහාරක රයිෆලයක් නම්, එහි වෙඩි තැබීමේ ක්‍රමය, (mode) වෙනස් කිරීමේ හැකියාව තිබිය යුතුයි. ඒ කියන්නේ, අවශ්‍ය විට, අර්ධ ස්වයංක්‍රීය තත්වයටත්,  සමහරවිට, එකවර උණ්ඩ තුනක්, පහක්, වැනි ගණනක් මුදාහල හැකි, සීරුමාරු යාන්ත්‍රණයක්, තිබිය යුතුයි. (selective fire)







  • මධස්ථ ප්‍රමාණයේ බලයකින් යුත් පතරොම් යෙදීමට හැකියාව තිබිය යුතුයි. ඒ කියන්නේ, පිස්තෝල පතරොම් මෙන් කුඩා ඒවා නොවිය යුතු අතර, විශාල බලයක් සහිත රයිෆල් පතරොමක්ද නොවිය යුතුයි.

















  

   ප්‍රහාරක රයිෆලයට යොදන පතරොම්, ගැලවීමට, යලි සවිකිරීමට හැකි, පෙට්ටි හැඩයේ පතරොම් ගැබකින් magazine සැපයිය යුතුයි.









   අවම ප්‍රතිඵලදායී වෙඩි දුර (minimum effective range) මීටර් 300 ක් වත් වියයුතුයි. ඒ කියන්නේ, මීටර් 300 ක් දුරින් පිහිටි ඉලක්කයක්, සාර්ථකව ලබාගැනීමේ හැකියාව, අනිවාර්යයෙන් තිබිය යුතුයි.



ඉතිං ඔච්චර ගොඩක් ප්‍රහාරක රයිෆල් වර්ග තියනවද? අපිනම් දන්නේ ඔය AK 47, T 56, M 16, වගේ ඒවා තමයි. 



  හෙහ් හෙහ්, ඔබ දන්නවද, තවම ලෝකයට නොපෙන්වපු, අවශ්‍ය වෙලාවට එලියට දාන්න බලාගෙන ඉන්න ප්‍රහාරක රයිෆල් වර්ග පවා, සමහර රටවල තියනවා. 


දැන් මොකද හිතෙන්නේ? 

මෙච්චර ගොඩක් ප්‍රහාරක රයිෆල් වර්ග තියනවනම්, ඇයි මේ AK 47 රයිෆලයට විශේෂ තැනක් ලැබෙන්නේ? 


 හේතු ගොඩක් තියනවා. මෙන්න ඒ අතරින් ඉතා වැදගත් හේතු කීපයක්.


  • ප්‍රහාරක ශක්තිය අතින් AK 47 බොහොම ඉහලයි. කාටත් තේරෙන වචන වලින් කියනවනම්, කුඩු යන්ඩ දෙන්ඩ පුළුවන්.

  • මෙය ප්‍රබල අවියක් වුනාට බොහොම සරලයි. ටක් ගාලා ගලවලා හයි කරන්ඩ පුළුවන්. එච්චර කෑලි බෑලි නෑ, වෙනත් බොහොමයක් ප්‍රහාරක රයිෆල් එක්ක තියලා බැලුවම.  ගලෝලා බලමුද? (රයිෆල් එක රයිෆල් එක, ආයේ වෙන මොන ලබ්බද?) ඔන්න ගැලෙව්වා. හැබැයි පුතෝ ගැලෙව්වා වගේ නෙවෙයි, තිබ්බ විදිහටම හයි කරන්ඩත් ඕනේ හරිද? 




කොහොමද? අමාරුද වැඩේ? මොන පිස්සුද, මේක හරිම පහසු වැඩක්. පොඩි කොල්ලෝ කෙල්ලොත් මේවා ඉගෙනගන්නවා, ශිෂ්‍යභට පුහුණුවේදී. 

තවත් කරුණු ටිකක් කියන්නම්. මේ අවිය ගැන.

  • මේ අවිය තරම් අනුකරණයට ලක්වූ තවත් ප්‍රහාරක රයිෆලයක්, ලෝකයේ කොහෙවත් නැහැ.  මේ අවිය අනුකරණය කොට නිපදවන ලද මෝස්‌තර විසිපහකට වඩා, අද ලෝකයේ විවිධ රටවල තිබෙනවා.







  • ශක්තිමත් බව සහ කල්පැවැත්ම අතින්, මේ අවිය ඉතා පුදුමාකාරයි. හිම, ජලය, මඩ, ආදියට යටවී, වසරක් පමණ ගෙවුණු AK 47 අවි, ගොඩගත් වහාම වෙඩි තැබීමට පුළුවන්වී තිබෙනවා.  යුද්ධ ටැංකියකට යටවීමෙන් පසුවත්, හානි නොවුණු AK 47 අවියක් ගැන වාර්තා තිබෙනවා.  මේ බලන්න වතුරට දාලා තිබුනත් වැඩකරනවා.





      • නියම (genuine) AK 47 අවියක්, හොඳින් නඩත්තු කරන්නේ නම්, වසර 50 - 60 අතර කාලයක් පාවිච්චි කළහැකි අතර, නොසැලකිල්ලෙන් පාවිච්චි කලත්, අවම වසර 15 - 20 ආයුකාලයක් තිබෙනවා. 


      • සංකීර්ණ කොටස් නැති නිසා, සාමාන්‍යයෙන්, අත්‍යවශ්‍ය පහසුකම් තිබෙන කම්හලක, AK 47 අවියේ බාල අනුකරණයක්, පහසුවෙන් නිපදවන්න පුළුවන්. හොර අවි වෙළෙන්දන්ගෙන්, ඩොලර් 10 - 50 අතර ගණනකට මිළදී ගන්න පුළුවන්. මේ නිසා, සමහර රටවල, හොර අවි කම්හල් වැහි වැහැලා තියනවා. විශේෂයෙන්  බටහිර, මධ්‍යම, නැගෙනහිර,  අප්‍රිකානු රටවල. එවැනි රටවල ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධාන, බොහෝදුරට පාවිච්චි කරන්නේ, මේ ආකාරයේ AK 47 හොර කොපි. 
      (ඇයි තමුසෙලා වින්ඩෝස් හොරකොපි පාවිච්චි කොරනවානම්, අපි AK 47 හොරකොපි පාවිච්චි කළාම මොකද වෙන්නේ?  - මීට ත්‍රස්තවාදියෙක්)


      • ලෝකයේ වැඩියෙන්ම පාවිච්චි කරන ප්‍රහාරක රයිෆලය AK 47. අද වනවිට ලෝකය පුරා AK 47 තුවක්කුවේ විවිධ මෝස්‌තර, මිලියන 100 කටත් වඩා පාවිච්චි කරනවා. ඒ කියන්නේ, ලෝක ජනගහනයෙන් සෑම 60 දෙනෙකුටම, එක AK 47 තුවක්කුව බැගින් තියනවා. 


      • වර්තමානයේ, ලෝකයේ සටන් නිසා ඇතිවන, හමුදා සෙබළුන්, සන්නද්ධ විප්ලවකාරී සංවිධාන සාමාජිකයන්,  සහ සාමාන්‍ය වැසියන්ගේ මරණ, වැඩියෙන්ම සිදුවන්නේ, AK 47 තුවක්කු ප්‍රහාර වලින්. සාමාන්‍යයෙන් වසරකට එලෙස මියයන සංඛ්‍යාව, ආසන්න වශයෙන් 250,000 ක්.

      • අවම වශයෙන් ලෝකයේ රටවල් 106 ක් පමණ, තම හමුදා සඳහා ලබාදී තිබෙන්නේ, AK 47 හෝ එහි අනුකරණ මෝස්‌තර.

      • මෙපමණ විශ්මයජනක මේ රයිෆලයේ, තවත් පුදුමයක් වන්නේ, යාන්ත්‍රිකව චලනයවන කොටස් 8 ක් පමණක් තිබීම. (moving parts)

         මේ වීඩියෝ එකනම් බලන්නම වෙනවා, හොඳ අවබෝධයක් ලබාගැනීම සඳහා. මෙහි පෙන්වනවා, මේ අවියේ තිබෙන සියලුම චලනය වන කොටස් ක්‍රියාකරන ආකාරය. බොහොම දුර්ලභ සහ ඉතා දක්‍ෂ ලෙස සකසා ඇති වීඩියෝවක්.



         අදට මේ ඇති නේද? ඊළඟ කොටසේදී, අවියේ කොටස් වල නම්, වෙඩි තියන හැටි, පතරොම් වර්ග, අවියේ වෙනත් ප්‍රයෝජන, මේ අවියේ ළඟම නෑදෑයෝ, සහ තවත් දේ ගැන කතාකරමු. 

      2016 ඔක්තෝබර් මස 03 වැනි දින 2227 පැය 

      85 comments :

      1. රයිපල් කිව්වම මං දැනං උන්නෙ.. අර පෝල් රයිපලයයි.. රයිපාලයයි විතරයි ...

        /සාමාන්‍යයෙන් වසරකට එලෙස මියයන සංඛ්‍යාව, ආසන්න වශයෙන් 250,000 ක්./

        උදම් අනමු.!!!!


        ජයවේවා...


        ReplyDelete
        Replies
        1. ඇයි රැපියෙල් තෙන්නකෝන් ගැන දන්නේ නැද්ද?

          උදම් අනන අය තුවක්කු වලින්ම විනාශවී යනවා. මේ තත්වය නවත්තන්නයි ඕනේ.

          Delete
      2. මාත් හිතාගන තිබුණෙ එකම රයිපලයක් ගැන පමණයි. සැඟවිය හැකි දැනමුක් හෝ සැඟවිය යුතු දැනුමක් ලෝකයේ නැත. තිබිය යුතු ද නැත. විචාරකතුමාගේ ලිපි පෙළ සිංහල කියවන්නන්ට ඉතාම වටිනවා

        ReplyDelete
        Replies
        1. ඔව් ගුණසිංහ මහත්මයා සෑහෙන පිරිසක් රයිෆලය කියා කියන්නේ අර ඉස්සර පොලීසියේ එහෙම පාවිච්චි කරපු එකට නේද?

          මොනවා හංගන්නද. මේ තොරතුරු සිංහල භාෂාවෙන් හැර වෙනත් භාෂා වලින්, ඕනේ තරම්, අසීමිතව බලන්න පහසුකම්, අන්තර්ජාලයේ තියනවා.

          ඇගයීම ගැන ස්තුතියි.

          Delete
      3. බොහොම අපූරුයි... බොහොම අපූරුයි...ඔබට ස්තූතියි තුමනි.........:)

        අර Inside the AK-47 වීඩියෝ ක්ලිප් එක මල් හතයි.

        ReplyDelete
        Replies
        1. ස්තුතියි රවී තුමනි!

          හපොයි ගැලපෙන වීඩියෝ හොයන්න ගියාම පණ යනවා. පුළුවන් තරම් කෙටි වෙන්නත් ඕනේ, (නැත්නම් බොහෝ දෙනෙක් බලන්නේ නැහැ) අවශ්‍ය තොරතුරු ආවරණය වෙන්නත් ඕනේ. එක වීඩියෝවක් හොයන්න පැයක් විතර යන වෙලාවල් තියනවා.

          Delete
        2. වීඩියෝ සංස්කරණය කරන්න පුළුවන් මෘදුකාංගයකින් හොඳම ටික කපලා ගන්න පුළුවන් නේද?

          Delete
        3. ඒකත් හරියට මිනි ගවුම වගේ නේද විචා? කුතුහලේ ඇති කරන තරමට කෙටි වෙන්ටත් ඕන - අවශ්‍ය තැන් වැහෙන තරමට දිග වෙන්ටත් ඕන... :-D

          Delete
        4. @ හරී. ඔව් එහෙම කරන්න පුළුවන්. නමුත් ආයෙත් අප්ලෝඩ් කරන්න ඕනේ. මහා ඉසරදයක්. ඒකයි මම සමහරවිට දාන්නේ, මෙන්න මෙතන සිට මෙතන දක්වා බලන්න කියලා.

          @ බූරා. හොඳ ප්‍රවෘත්ති සිරස්තලයක තිබියයුතු ලක්ෂණයක් එක.

          Delete
        5. This link may be helpful

          http://www.adweek.com/socialtimes/start-end-times-youtube-embeds/101142

          Delete
        6. ස්තුතියි හරී. උත්සාහ කර බලන්නම්.

          Delete
      4. Replies
        1. තුවක්කු සංස්කෘතිය ලෝකය පුරා වර්ධනයවීම නම්, හොඳ දෙයක් නෙවෙයි. හොඳම උදාහරණය, ඇ.එ.ජ. සිදුවන, අහිංසක ජීවිත, පිස්සු තුවක්කුකරුවන් විසින් බිලිගැනීම. එවැනි දේ වලක්වන්න, අන්තර්ජාතික මට්ටමෙන් මහා වැඩපිළිවෙලක් දියත්විය යුතුයි.

          Delete
      5. ඔං උදේ පාන්දරම අළුත් ලිපියයෙවුවා සර්....නියමයි....පාඨකයින්ගේ දැනුවෙනුවෙන් වෙන මහන්සියට සතුති සර්.....good morning.......

        ReplyDelete
      6. ඔං උදේ පාන්දරම අළුත් ලිපියයෙවුවා සර්....නියමයි....පාඨකයින්ගේ දැනුවෙනුවෙන් වෙන මහන්සියට සතුති සර්.....good morning.......

        ReplyDelete
        Replies
        1. හෙහ් හෙහ්, දැන්නම් රෑ නිසා, සුබ උදෑසනක් කියන්න බැහැනේ ඉරේෂ්. කමක් නෑ, ඔබේ දැනුම වර්ධනයවීම ගැන සතුටු වෙනවා. ඇගයීම ගැන ස්තුතියි.

          Delete
      7. ඕවා කියලා දීලා ඔහේට 4 තට්ටුවට යන්න වෙයි

        ReplyDelete
        Replies
        1. එක පාරක් ගියා. 1993 දී. 1989 දී, මා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සේවය කරද්දී, අයියා මලෝ දෙදෙනෙක් පැහැරගෙන ගිය බවට චෝදනා කෙරුණා. දිනය, වෙලාව, ස්ථානය, වාහනයේ අංකය, මගේ නම, සියල්ල නිවැරදිව පැමිණිල්ලේ තිබුණා. පැමිණිලිකරුවන් වූයේ, අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ වැඩිමහල් සොහොයුරන් වන, ස්වාමීන් වහන්සේ නමක් සහ ග්‍රාම නිලධාරි වරයෙක්. 4 වැනි තට්ටුවට ගියාම කිව්වා, නිදහසට කරුණු ඉදිරිපත් කරන්න මාසයක් දෙන්නම්, නැත්නම් අත්අඩංගුවට ගන්නවා කියා. මට කන්න බොන්න තියා, වතුරවත් පෙවෙන්නේ නැතුව ගියා. එක පොලිස් නිලධාරියෙක් මට කිව්වා, කලබල වෙන්න එපා, සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ පැරණි ලේඛන පරීක්ෂා කර බලන්න කියා. 1989 ලේඛන 1993 වනවිට හමුදා සංරක්‍ෂණාගාරයක තිබුණේ. මා එහිගොස්, සති තුනක් තිස්සේ සෙවීමෙන් පසු ලැබුනා, ඒ තරුණයන් දෙදෙනා මා විසින් අත්අඩංගුවට ගෙන, පොලීසියට බාරදුන් ලිපිය. යන්තම් ඇඟට ලේ ටිකක් ඉනුවේ එවිටයි. එම චෝදනාවෙන් මා නිදහස් වුණා.

          එවැනි චෝදනාවකදී, මා වෙනුවෙන් කතාකරන්න, හමුදාව ඉදිරිපත් වෙන්නේ නැහැ. මා තනිවම මුහුණ දියයුතුයි.

          Delete
      8. ඔය AK47 රයිෆල් එක අනුකරනය කරලා වෙනත් රයිෆල් වර්ග හදන්න රුසියාව ඉඩදුන්නාද? එහෙම පුළුවන්නම් ඇයි අපේ රටෙත් රයිෆල් එහෙම හදන්න උත්සාහ නොකරන්නේ? මට මතක විදිහට බෆල් රථ නම් හැදුවා නේද?

        ReplyDelete
        Replies
        1. කලෂ්නිකොව් මේ අවිය සඳහා පේටන්ට් අයිතියක් ලබාගෙන නැහැ. ඒ නිසයි මෙහෙම කොපි ගහන්නේ.

          අපේ රටේ අවි ආයුධ හදන්න බැරි හේතු මෙන්න මේවයි.

          1. අපේ පාහර දේශපාලකයෝ, (මොන පක්ෂයේ වුනත්) පවතින රජයක් එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන්න හැදුවොත්, 'මෙන්න මුන් හොර අවි කම්හල් දානවා' කියලා ලෝකෙටම අඬබෙර ගහනවා.

          2. අවි නිපදවීම සඳහා, අපිට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ අමුද්‍රව්‍ය, අපි හිතන තරම් පහසුවෙන් පිටරටින් ලැබෙන්නේ නැහැ. බලගතු රටවල්, උන්ගේ අවි වෙළඳාම පවත්වාගෙන යාම සඳහා, අපේ වැඩේට අකුල් හෙළනවා. ඉතා අධික මිලකට අමුද්‍රව්‍ය ගන්නවාට වඩා, චීනය, පාකිස්ථානය, වැනි රටකින්, අවි මිලදී ගැනීම ලාබයි. අපි T 56 අවි 10000 ක් ඇනවුම් කලොත්, වැඩිපුර අවි 500 ක් විතර ලැබෙනවා. අපිට පෙනෙන්නේ නොමිලේ දුන්නා කියලා. නමුත් ඒ අවිවල ලාබයත්, අපි ගෙවන මුදලේ තියනවා.

          3. අවි කම්හලක් පටන්ගත්තට පස්සේ, මොන ක්‍රමයකින් හරි, හොර අවි රටේ තැන් තැන්වල හැදෙන්න පටන් ගන්නවා. ඒක අන්තිමට මහා හිසරදයක් වෙනවා.

          අපොයි ඔව් අපේ විදුලි සහා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව ඉතා සාර්ථකව ලංකාවේදී බෆල් රථ නිපදවූවා.

          මෙතනින් බලන්න විස්තරේ

          Delete
      9. අරකයි කනට දෙන්න තියෙන්නෙ තුවක්කුව ට වැලි දාානවට

        ReplyDelete
      10. අරකයි කනට දෙන්න තියෙන්නෙ තුවක්කුව ට වැලි දාානවට

        ReplyDelete
        Replies
        1. හැක්, තව වීඩියෝ එකක් තිබුණා, එකෙක් තුවක්කුව අස්සට අර දිගටි හැඩේ මාළු පාන් ඔබලා වෙඩි තියනවා. ෆුල් ඔටෝ නැතුව, කචස් කචස් ගාලා, එක එක උණ්ඩය ගානේ පත්තුවෙනවා.

          Delete
      11. Side Looking Radar
        Sri Lankan Rupee
        Straight Leg Rising

        ReplyDelete
      12. බොහොම ස්තූතියි විචා. අපේ රටේ රයිෆල් නිශ්පාදනය කලේ ම නැත්ද? දීර්ඝ කාලීන යුද්ධයක් තිබීම නිසා එසේ කලා නම් විදේශ විනිමය ඉතිරිකරගන්න තිබ්බා. එසේ නොකලේ සෙබල ආරක්ෂාවටද?

        ReplyDelete
        Replies
        1. ඉයන්, මේ ප්‍රශ්නෙම අහලා තිබුණා ඉහතින්, කොලොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි) විසින්. අන්න මම එතන දීලා තියනවා උත්තරේ. තරහ නැතුව ඒක කියවා බලන්න.

          Delete
        2. බොහොම ස්තූතියි විචා කියෙව්වා. එල්ටීටීයී එක ගොඩක් දේවල් ඔවුන්ම නිපදවා ගත්ත නිසා අපිත් එහෙම කලානම් කියලා හිතුවා.

          Delete
        3. ඇත්තටම අපි ඕවා කර කර ඉන්න ගියානම් පාඩු වෙනවා. ඕවා කරන්න ඔන්න දැන් තමයි සුදුසු කාලේ. නමුත් දැන් මේ වගේ දෙයක් කරන්න, අපේ රටේ කුහක දේශපාලකයෝ සහ ගෝත්‍රික හැඟීම් ඇති මිනිස්සු, ඉඩ දෙන්නේ නැහැ.

          Delete
      13. අර එළියට එන කොපුවක් වැදිලා යාළුවො මැරෙන එකා මලා.

        ReplyDelete
        Replies
        1. ශුවර් එකටම උගෙ අතිං මැරිච්ච යාලුවෙක්ගෙ බූතයෙක් ඉන්න ඇති කොපුව ඇතුලෙ.

          Delete
        2. යකෝ, හිනාගිය පාරට, තව පොඩ්ඩෙන්, බිබී හිටිය තේ එක ඉස්පොල්ලේ යනවා.

          කොයි කොපුව ඇතුළෙද බූතයා හිටියේ? :D

          Delete
      14. වීඩියෝ කීපය නම් නියමයි. ලිපිය ලියවෙච්චි රටාවේ අද නම් වෙනසක් තියෙනවා. පරණ විචාරක මහත්මයා ආයෙ ඇවිල්ලා වගේ. ඒවගේම තැනින් තැන හාස්‍යයත් තියෙනවා. සමබරව.

        විචාරක මහත්මයා කියලා තිබුනා අර්ධ, පූර්ණ ස්වයංක්‍රීය වගේම උණ්ඩ තුනක් පහක් යනවිදිහට සීරුමාරු කරන්න පුළුවන් කියලා. එහෙම එක එක විදිහට සීරුමාරු කරන්න වෙන තත්වයන් මොනවාද?

        ගැලවීම ලේසිවීම නම් ආරක්ෂාවටත් තර්ජනයක්. අපේ ගෙවල් කිට්ටුව ඉන්ධන පිරවුම්හලක් කොල්ලකන්න ආපු එවුන් ටිකක් බෑග් එකක කෑලි ටික දාගෙන ඇවිල්ලා එතන හයි කරගෙන තිබුනාලු.

        //සාමාන්‍යයෙන් වසරකට එලෙස මියයන සංඛ්‍යාව, ආසන්න වශයෙන් 250,000 ක්.// මේ අවියෙ 50වැනි හෝ හැටවැනි සංවත්සරය දවසේ නිර්මාතෲගෙන් ඇහුවම මේ ගැන දුක නැද්ද කියලා මිනිහා කිව්වේ තමුන් ඒ ගැන ආඩම්බර වෙනවා කියලයි.

        ස්තුතියි.

        ReplyDelete
        Replies
        1. අනිවාර්යයෙන්ම ආඩම්බර වෙන්ට එපැයි.. තුවක්කුව හැදුවෙ මිනිස්සු මරන්ට නෙවැ හිටං... :-D

          Delete
        2. මම දන්න තරමින් හරී, CQC (Close Quarters Combat) වලදි මේ සීරුමාරු කිරීම අවශ්‍ය වෙනවා.. ඉඩ ඇහිරුනු තත්ත්ව (උදා: ගොඩනැගිල්ලක් තුළ සිටින ප්‍රාණ ඇපකරුවන් පිරිසක් බේරාගැනීම) යටතෙදි දිගට හරහට වෙඩි තියාගෙන යන්ට බෑ නෙවැ..

          Delete
        3. @ හරී. හප්පෝ ඇති යන්තම් හොඳක් ඇහුවා. :D

          අර විදිහට මංකොල්ල කෑම, මේ තුවක්කුවේ වැරැද්දක් නෙවෙයි නේද :D

          කලෂ්නිකොව් හැදුවත්, වෙන කවුරු හැදුවත්, තුවාකුවක් හදන්නේ මොකටද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.

          @ බූරා. ඔව් ඒ අදහස හරි. ඒ වගේම තමයි CQG වලදී නිතර මැගසින් මාරු කරන්න යාම ටිකක් කරදරයි. ඒ නිසා controlled fire එකක් තමා දෙන්නේ. නමුත් එහෙම කියලා, යුද්දේ පරදින විදිහට, පතරොම් ඉතුරු කරන්න යන්නෙත් නැහැ.

          Delete
      15. වටින ලිපියක්...

        T56 එතකොට ඔය තරම්ම හොඳ නැද්ද ?

        ReplyDelete
        Replies
        1. ස්තුතියි.

          T 56 හොඳටම හොඳයි. අපේ හමුදාවේ තියෙන්නේ T 56. ඉතිං අපි යුද්දේ දිනුවනේ ඒකෙන් වෙඩි තියලා. ඊළඟ කොටසේදී T 56 ගැන කියන්නම්.

          Delete
      16. හි හී, ඉතාම සතුටුදායකයි :). සාමන්යෙන් තුවක්කු ගොඩක් මලකඩ කෑවම කොහොමද මලකඩ අයින් කරන්නේ තුවක්කුවට හානියක් නොවී ?

        ReplyDelete
        Replies
        1. මොනවද ඒවාට දාන තෙල් වර්ග?

          Delete
        2. වීචාරක මහත්තයාට කලින් වැට පැනීම වරදක් නම් සමා වෙන්න.....ගිණි අවි පිරිසුදු කරගැනීම සඳහා යොදා ගන්නා තෙල් වර්ගයක් තියෙනවා.ඒවා බොහෝ දුරට මහන මැෂින් සඳහා යොදන තෙල් වලට බෙහෙවින් සමානයි.ගිණි අවියක බාහිර ප්‍රදේශයේ තෙල් ගල්වා තැබීමේ වරදක් නැති වූවත් අවියේ බැරලයේ සහ එහි ක්‍රියාකාරී කොටස වල තෙල් ගැල්වීමෙන් පසු ඒවා දැමිය යුතුය.අවියේ බැරලයේ තෙල් ගල්වා පිස නොදැමීම හේතුවෙන් වෙඩි උණ්ඩය බැරලය තුල අනවශ්‍ය ලෙස්සා යාමකට බඳුන් වී බැරලය තුල ඇති කට්ට රටාවට හානි සිදුවීමේ ඉඩක් පවතී.එසේම අවිය අභ්‍යන්තරයේ අධිකව තෙල් ගල්වා එම තෙල් පිස නොදැමීම නිසා වෙඩි තැබීමේදී නාසය කාරාගෙන යන සුදු පැහැ දුමාරයක් පිටවීම සහ ගිනි අවියේ අධික ලෙස කාබන් බැඳීම සිදුවේ.

          Delete
        3. @ Dileepa. ඉතාම සතුටුදායකයි කියලා විතරක් මදි. A+ ද, B= ද, C ++ ද, කියලා කියන්න ඕනේ.

          සාමාන්‍යයෙන් ආරක්ෂක හමුදාවකට අයත් තුවක්කුවක් මලකදකන්න බැහැ. එහෙම වුනොත් ඒ තුවක්කුව පාවිච්චි කරන කෙනා, කවුරුවත් පාවිච්චි නොකරන්නේ නම අවිගාරකරු, Armourer වගකියන්න ඕනේ. අවම වශයෙන්, මාස තුනකටවත් වරක්, නිලධාරියකු විසින්, අවිගාරය පරීක්ෂා කරන අතර, වසරකට වරක්වත්, විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ, විශේෂ පුහුණු කණ්ඩායමක් පැමිණ, අවි පරීක්ෂාකර සුළු අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු කරනවා.

          මළකඩ ගතියක් තියනවානම් පළමුව අවිය අර වීඩියෝවේ පෙන්වනවාටත් වඩා සුළු කොටස්වලට ගලා භූමිතෙල් වල ගිල්වා තබනවා. පසුව අවිය සමග ලැබෙන විශේෂ බුරුසුවෙන් පිසදමනවා.

          අවියකින් සෑහෙන වෙඩි ප්‍රමාණයක් තැබුවම එහි බටය ඇතුලේ fouling යනුවෙන් හැඳින්වෙන අළු/කළු පැහැති පිටි වැනි තට්ටුවක් බැඳෙනවා. එය හොඳින් පිරිසිදු කලයුතුයි. සිගරට් පකටල ඇති ඊයම් කොලය රයිෆලය සමග ලැබෙන cleaning rod එකේ දවටා පිරිසිදු කරනවා.

          rifle oil සෑම කඳවුරකටම නිකුත්කරනවා, යුද්ධෝපකරණ බලකාය විසින්. අවියක් පිරිසිදු කිරීමෙන් පසු ජ්‍යොෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියකු හෝ අධිකාරි ලත් නිලධාරියකු විසින් පරීක්ෂා කරනවා නියම ප්‍රමිතියට පිරිසිදුවී ඇද්ද යන වග.

          @ jay-c z. බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීම ගැන. බැරලය ඇතුලේ හැර, trigger mechanism වැනි තැන්වල, තෙල් ටිකක් තිබුනට, ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ.

          Delete
        4. නිවැරදි කිරීම් B + ද, මලකදකන්න නෙවෙයි මළකඩ කන්න, සුළු කොටස්වලට ගලා නෙවෙයි ගලවා, සිගරට් පකටල නෙවෙයි සිගරට් පැකට්වල,

          Delete
        5. තරු පහයි (පහෙන් පහයි) ලිපියට *****. ස්තුත්යි jay-c z. වැඩි විස්තර ඇතොත් දාන්න ආ.

          Delete
      17. ජනතාවට ගිනිඅවි ගැන උගන්වන විචාරක. අහෝ.

        ReplyDelete
        Replies
        1. අයියෝ ඇනෝ. මේ ලිපියේ පළමුවැනි ඡේදය කියවා තේරුම් ගත්තේ නැද්ද? ඔබ මීට පෙර මේ අඩවියට පැමිණ, මේ අඩවිය පවත්වාගෙන යාමේ අභිමතාර්ථ ගැන අවබෝධයක් ලබා නැතිබව පෙනෙනවා. ඒ නිසා මමත් ඔබට කියනවා, අහෝ.....නොදැනුවත්කමක මහත කියා.

          Delete
      18. ඊබේ එකෙන් ගෙන්නගන්න බැරුවැති නේ?

        ReplyDelete
        Replies
        1. දේශබන්දුවාගෙන් ඉල්ලාහන්.

          Delete
        2. ඊ බේ එකේ තියනවා මෙව්වගෙ replica.

          දේශබන්දු කිව්වේ පොලීසියේ එක්කෙනාද?

          Delete
        3. ඔව් උන්නැහේ තමයි.

          http://sinhala.lankanewsweb.net/news/special-news/item/5404-2016-09-10-10-27-47

          Delete
        4. චී..........කේ............ලැජ්ජා හතයි, කක්කා ගොඩයි. :D

          Delete
      19. හොඳ විස්තරයක් විචා. අයිෆලේ නම අහල තිබ්බට මෙච්චර තොරතුරු දැනගෙන හිටියෙ නෑනෙ.

        මොකද කියන්නෙ අංකල් 50-50 දාල පටං ගම්මුද කම්මලක්.

        ReplyDelete
        Replies
        1. // 50-50 දාල පටං ගම්මුද කම්මලක් //
          මයිනෙකුයි ,හමෙකුයි එකතු උනාම පුළුවන් : D

          Delete
        2. ඇත්තටම ප්‍රසන්න, මේ අවිය ගැන ජාලයේ තියන තොරතුරු ඔක්කොම ලියන්න නම්, ලිපි පහක්වත් ලියන්න වෙනවා.

          කම්මලේ, දාමු දාමු. උඹ මයිනා මම හමා. දෙන්නටම හොඳට ගැලපෙනවා.

          Delete
      20. විචා තුමා, මිනිස්සු මරණ හැටි අවශ්‍ය නෑ, කියා දෙන්න වගා අසනාසි කරන උෟරෝ, ඉත්තෑවෝ, මොනරු, රිලව්, වදුරෝ න්ට වැඩක් දෙන හැටි ගැන.

        ReplyDelete
        Replies
        1. අම්මෝ.ඔය ප්‍රශ්නෙට මීට කලිනුත් මෙවැනි අවි ආයුධ ගැන ලියපු ලිපි වලදී උත්තර දී තිබෙනවා.

          විවිධ පලිබෝධකයන් නසන්න කැමතිනම්, හොඳ වායු රයිෆලයක් ගන්න. සාමාන්‍ය වායු රයිෆලයක්, රු 12000 ක් පමණ වෙනවා. බලපත්‍ර අවශ්‍ය නැහැ. නමුත්, ඌරන්ට, ඉත්තෑවන්ට ගහන්න නම්, ටිකක් ලොකු කැලිබරයේ වායු රයිෆලයක් අවශ්‍ය වෙනවා. එවැනි එකකට බලපත්‍ර අවශ්‍යයි. බලපත්‍ර දීමේ පිළිවෙත ගැන, ඔබේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසන්න.

          Delete
      21. වැදගත් පෝස්ට් එකක්, සිංහලෙන් මේවා පාඨකයින්ට කියවන්න ලැබීම අගය කල යුතුයි...

        ReplyDelete
        Replies
        1. අනික් හැම භාෂාවෙන්ම තියනවා. සිංහලෙන් කියවන එකාට හුළං. ඒ නිසාමයි ලිව්වේ.

          ස්තුතියි ඇගයීම ගැන.

          Delete
      22. අවි පිලිබද මූලික පුහුණුවක් ලබා තිබුනට මොකද සෑහෙන දැනුමක් ලබාගත්ත...මරේ මරු...අන්තිම වීඩියෝ එක එහෙම!

        ReplyDelete
        Replies
        1. ඔබේ දැනුම දියුණු වුනානම් එය මට මහත් සතුටක්.

          ඇගයීම ගැන ස්තුතියි.

          Delete
      23. පොඩි ප්‍රශ්නයක් තියනව....තුවක්කුවෙන් උන්ඩෙ පිටවෙන්ඩ ස්ප්‍රින් එකෙන් නේද තල්ලුවක් දෙන්නෙ...එහෙම තල්ලුවක් දෙද්දි උන්ඩෙ පිටිපස්සට වදින පහරින්ද කොපුව ගැලවිල යන්නෙ....සාමාන්යෙන් කොච්චර විතර පීඩනයකින් යුක්ත පහරක්ද ඒකට උවමනා වෙන්නෙ?ඒ පහර වදින්ඩ ඕනෙ උන්ඩයේ පිටුපස සම්පූර්ණ කොටසටමද ? නැත්තන් පිටිපසු තියන කලුපාට ඩොට් එකටද?

        ReplyDelete
        Replies
        1. ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ටිකක් දිග විස්තරයක් ලියන්න වෙනවා. මේ ලිපියේ ඊළඟ කොටසෙදි තවත් විස්තර කියනතුරු, දැනට හැකිතරම් කෙටියෙන් පිළිතුරු දෙන්නම්.

          කිසිම තුවක්කුවක උණ්ඩය පිටවීම සඳහා යාන්ත්‍රික උපක්‍රමයකින් (ස්ප්‍රින් එකක් වැනි) තල්ලුවක් දෙන්නේ නැහැ. පතරොම පිපිරීමන් ලැබෙන ගිනි බලය හෙවත්, ඉතා අධික වායු පීධනය විසින්, මහා තෙරපුමක් ඇති කරනවා. ඒ තෙරපුමෙන්, උණ්ඩය තුවක්කු බටයෙන් එලියට විදිනවා.

          පතරොමක පසුපස හරි මැද තිබෙනවා, ප්‍රයිමරය හෙවත්, එදිනෙදා කතාබහේදී, 'කැප් එක' කියා හඳුන්වන රවුම් කොටසක්. තුවක්කුවක කොකා මිරිකපුවහම, සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 3.5 ක පමණ බරක් සහිත පහරක් වදිනවා ප්‍රයිමරයට. එය වදින්නේ තුවක්කුවේ කොකා හෙවත් ට්‍රිගර් එක අයිති යාන්ත්‍රණයේම Trigger Mechanism කොටසක් වන මිටිය හෙවත් Hammer එකෙන්. ඒ බලයෙන් ප්‍රයිමරයේ ඇති ක්ෂනිකවාවිලෙන වෙඩි බෙහෙත් ගිනිගන්නවා. High Explosive ඒ ගිනි බලයෙන් පතරොම් කොපුවේ ගබඩාකර ඇති වෙඩිබෙහෙත් සියල්ල එකවර ගිනි ගැනීමෙන් ඉහත සඳහන් කල මගා ගිනිබලය ලබාදෙනවා.

          පතරොමේ කොපුව, තුවක්කුවේ චේම්බරය chamber නමැති කොටසේ, සෙලවෙන්නට නොහැකි ලෙස ලොක් වී තිබෙනවා. පතරොම පත්තුවූ වහාම අරධික ගිනිබලය හේතුවෙන් උණ්ඩය කොපුවෙන් ගැලවී ඉතා අධික වේගයකින්, තුවක්කු බටය දිගේ ඉදිරියට විදෙනවා.

          වැඩිදුර විස්තර සඳහා මා කලකට ඉහතදී ලියන ලද මේ ලිපිය කියවන්න.

          https://jangun.wordpress.com/2012/03/30/%E0%B6%B4%E0%B6%AD%E0%B6%BB%E0%B7%9C%E0%B6%B8%E0%B6%9A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80/

          Delete
      24. තුමනි..ලිපිය ඉතා වැදගත්..
        Ak47 ර‍ොකට් විදිනයක් ල‍ෙස භාවිතා කරන විදියත් කියන්න...

        ReplyDelete
        Replies
        1. ඇගයීම ගැන ස්තුතියි. ඊළඟ කොටසේදී ඔබ අසා ඇති දේ ගැන කියනවා.

          Delete
      25. //කියවීමේදී/නැරඹීමේදී/ඇසීමේදී/ වඩාත් පුළුල් අවබෝධයකින් යුක්තව, කරුණු සලකා බලන්නට හැකි වෙනවා.//

        හී හී හැමදේටම අදාලයිනේ?

        ReplyDelete
        Replies
        1. මා අදහස් කලේ මෙයයි. අපි දිනපතා අහන දකින කියවන තොරතුරු අතර, මෙවැනි අවි ආයුධ ගැන තොරතුරු තිබුනත්, ඒවා ගැන වඩාත් පුළුල් අවබෝධයක් ලබාගැනීමට නම්, මෙවැනි විශේෂිත ලිපි කියවීම වැදගත් වෙනවා.

          හැමදේටම අදාලවන්නේ නැහැ නේද? මා ගොවියකු නම්, කුඹුරක් ගැන කියනකොට එතරම් අවධානයක් දෙන්නේ නැහැ. උඩින් පල්ලෙන් ඇහුවත්/බැලුවත්/කියෙව්වත්/ මා දන්නවා ඒ කුමක්ද කියා.

          Delete
      26. This comment has been removed by the author.

        ReplyDelete
      27. සර් අපේ විශේෂ ඒකක දෙකෙන් දරුණුම පුහුණුව ලැබේන්න‍ේ කාටද ...?

        ReplyDelete
        Replies
        1. එහෙම විශේෂත්වයක් නැහැ ඉරේෂ්. විශේෂ ඒකක කියන නමින් හඳුන්වන කාටත්, විශේෂ පුහුණුවක් තමා ලැබෙන්නේ.

          Delete
      28. කොඩිතුවක්කු ගැනත් ලියන්න.

        ලෝක ජනගහනයෙන් සෑම 60 දෙනෙකුටම, එක AK 47 තුවක්කුව බැගින් තියනවා. පට්ට අසාධාරනේ කියන්නෙ මගේ එෆ්බී යාලුවෝ අච්චර ඉන්නවා. බ්ලොග් වලින් අඳුනගත්ත උන් අච්චර ඉන්නවා. එහෙම නැති යාලුවෝ අච්චර ඉන්නවා. උන් එකෙකුටවත් AK 47 එකක් නැති හැටි! කොතන හරි අසාධාරණයක් වෙලා තියෙනවා.

        ලෝක ජනගනණයෙක් කී දෙනෙකුට එක ගානෙ mobile phone තියෙනවද සහ කී දෙනෙකුට එක්කෙනා ගානෙ දොස්තරලා ඉන්නවද කියන එකත් සංසන්දනය කරන්න දැම්ම නම් හොඳයි නේද?


        ReplyDelete
        Replies
        1. කොඩිතුවක්කු කිව්වේ මේ අපේ අර පරාක්‍රම කොඩිතුවක්කු නෙවෙයිනේ?

          මෙන්න මේවා නේද?

          Delete
      29. ලිපියේ එක තැනකවත් සත පහක් තමන්ට (මුලින්) නොගත් මේක නිර්මාතෘ ලෙෆ්ටිනන්ට් ජෙනරාල් මිහයිල් කලශ්නිකොව් ගැන මතක් නොකිරීමත්. සෝවියට් දේශය මතක් නොකිරීමත් මේ ලිපියේ ලොකු අඩුපාඩුවක් හැටියට මට හිතෙන්නේ. විස්තර ටික නම් පංකාදුයි.
        http://nimnyakatanivi.blogspot.co.uk/2016/10/blog-post_6.html
        https://en.wikipedia.org/wiki/AK-47

        ReplyDelete
        Replies
        1. මා හිතන්නේ මා කල විස්තරය ප්‍රමාණවත් කියා. ඔබට රුසියාව සමග ඇති බැඳීම නිසා මෙහෙම හිතුනද? මගේ පැරණි ලිපිවලත් ඒ ඒ තුවක්කුවල නිර්මාතෘ ගැන සඳහන් කලාට විශේෂ ඇගයීමක් නම් කර නැහැ. ඔබ මෙහි දක්වා ඇති ලිපියෙන් කොටසක් මේ ලිපි මාලාව සඳහා පදනම් කරගත්තා. කෙසේ වෙතත්, ලිපිමාලාවේ අවසානයට, යම් ඇගයීමක් ඇතුළු කිරීම සුදුසුයි සිතුනා, ඔබේ අදහස් දැකීමෙන් පසු.

          Delete
        2. http://nimnyakatanivi.blogspot.co.uk/2016/10/blog-post_6.html

          මේ සබැඳියාව ඇතුළු කිරීමේ අර්ථය කුමක්දැයි නොතේරේ.

          Delete
        3. සමහර විට සෝවියට් බැඳීම නිසා වෙන්න ඇති. තමන්ගේ රට වැසියන් බේරගන්න හැදුවත් එකෙන් ලෝකෙම මිනිස්සු අදත් කොපමණ මැරෙනවද නේද?
          ඔය නිම්නයක එක වැරදිලා දැම්මේ. ඒක නෙලුම්යයට දාන්න කොපි කරගෙන හිටය. මෙතන වැටිලා වැරදිලා . බ්‍රව්සර් වින්ඩොව් කිහිපයක් එකවිට ඇරගෙන ඉන්න කොට වෙන අකරතැබ්බ තමා. සොරි වේවා.
          (ඇයි තමුසෙලා වින්ඩෝස් හොරකොපි පාවිච්චි කොරනවානම්, අපි AK 47 හොරකොපි පාවිච්චි කළාම මොකද වෙන්නේ? - මීට ත්‍රස්තවාදියෙක්) - මේක නම් ගති කතාව.

          Delete
        4. තුවක්කු සංස්කෘතිය, තව සියවස් ගණනාවක් ගියත්, මේ ලෝකෙන් තුරන් වෙන එකක් නැහැ. එන්න එන්නම, තව තවත් දරුණු ආයුධ හදනවා. ඒ ආයුධ ඉතා ම්ලේච්ඡයි.

          කලෂ්නිකොව් කලේ, ඒ වෙලාවේ සෝවියට් දේශය බේරගන්න කළයුතුව තිබුන, සුදුසුම ක්‍රියාවයි. එහෙම නොවුනා නම්, අද සෝවියට් දේශය කියලා එකක් නැතිවෙන්නට ඉඩ තිබුණා.

          හෙහ් හෙහ්, පොඩි ත්‍රස්තවාදියා, හොර අවියක් පාවිච්චි කරනවා කියලා, අන්තර්ජාලයේ ලියන අපි, ඒ සඳහා පාවිච්චි කරන්නේ හොර මෘදුකාංග.

          හොරු සමග හෙළුවෙන් තමා බලනකොට.

          Delete
      30. මේක නමි නියමයි විචාරක‍
        ඔය MP5 එකයි M-16 එකයි දෙකම මම පාවිචිචි කරල තියෙනව
        ගේමි වල
        හැබැයි ඉතින් ඒකෙත් අමුතුම ත්‍රිල් එකක තියෙනව ඇ
        පටිට ලිපි ටික

        ReplyDelete
        Replies
        1. ඔබව සාදරයෙන් පිලිගන්නවා. බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.

          පරිගණක ක්‍රීඩා කිරීමේ වරදක් මා දකින්නේ නැහැ. නමුත්, ඔබට කවදා හෝ මේ අවියක් ඇත්තටම අතට අරන් බලන්න ඉඩක් ලැබුනොත්, පුදුම හිතෙයි, පරිගණක ක්‍රීඩාවේ තිබුන අවිය සහ, ඇත්තම අවිය, අහසට පොළොව මෙන් වෙනස් බව වැටහෙන නිසා.

          Delete
      31. ස්තුති සර්.....

        ReplyDelete
      32. පොල්ලෙන්මේ ගැහුවා වගේ පුහුණු වුන අතීතයට ඇදගෙන ගියා නිකන්ම. මේ වගේ ලිපි ලියුවාට ඔබ තුමාට සියදහස් වාරයක් ස්තුතියි. චීනයේ නිෂ්පාදිත T56 SMG (මේකේ උපන්ගෙයි කොපිය) තරම් හමුදා ජිවිතයක ඇගේ කොටසක් වෙනකන් පුහුණු කරණ වෙන අවියක් ඒ කාලේ තිබුනේ නැ. අන්තිමට පරික්ෂනෙට මේක ගලවලා සවිකරන්න තියෙන්නේ ඇස්දෙක ගැටගහලා. ඒත් කාලය තප්පර 8-10 කට වැඩිවෙන්නේ නැ. මේකේ අත්දැකීම් නම් පොතක් ලියුවකි. ඇහැක් විදිහට පස්සේ බලමුකෝ.

        ReplyDelete
      33. watinawa maru.
        kalekata kalin meka kiyewwath me deweni para kiyewwe
        mn kadet karapu kale me wage dewal ahala thibuna

        ReplyDelete

      .emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }