හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

07 June 2016

තවත් බෝම්බ පුපුරන්නට පෙර.............

   
ශ්‍රී ලංකා යුද හමුදාවට අයත්, කොස්ගම ප්‍රදේශයේ පිහිටි, පතරොම් සහ වෙඩි ද්‍රව්‍ය මධ්‍යම ගබඩාව, (Central Ammunition & Explosive Dump)  පුපුරායාමේ අනතුර හේතුවෙන්, ඉතා සංකීර්ණ තත්වයක් දැන් මතුවී තිබෙනවා. අපේ 'මාජ්ජ' බොහොමයක, මේ සිද්ධිය වූ අවස්ථාවේ සිට අද දක්වා වාර්තා කරන්නේ, මධ්‍යම අවි ගබඩාව Central Armoury) පුපුරා ගිය බවයි. මධ්‍යම අවි ගබඩාව තියෙන්නේ, වෙනම දිහාවක. (නෑ නෑ, ඒ කොහෙද කියලා ඔහෙලට දැනගන්න අවශ්‍ය නැහැ. ඒක පුපුරන්නේ නැහැ. ඒ නිසා බය නැතුව ඉන්නවා හොඳයි.) 

   අපේ රටට, වරින් වර, මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීමට සිදුවන්නේ, දේව සාපයක් නිසා යයි, අපේ පැත්තේ වැඩිහිටියකු කියනු අසා, මා මුවින් නොබැන සිටියේ, ඒ ගැන මගේ අදහස් දැක්වීම, තවත් පිපිරීම් මාලාවකට හේතුවනු ඇතැයි සිතුන නිසයි.  

   මේ සිද්ධියට දේශලනය ගෑවෙන එක වලක්වන්න බැහැනේ. දැනටමත් සමහර මාධ්‍ය වල පශ්චාත් (පශ්චාද්?) මරණ පරීක්ෂණ පැවැත්වෙනවා. කපුටෝ හත් දෙනෙක් වමනේ කළ කතා පළවෙනවා. රජය විසින්ම, සියල්ල, ඇත්ත ඇති හැටියෙන් කියනවා නම්, සාවද්‍ය තොරතුරු සහ කටකතා පැතිරීම වැළකෙනවා. අද උදේම, මාධ්‍යවේදීන් පිරිසක්, ගුවනින් ගෙනගොස් සිද්ධිය වූ තැන පෙන්නන්නයි තිබුනේ. (ගොඩබහින්න බැහැ. තවම පුපුරනවා) ඩ්‍රොන් කැමරා වලින්, රූපවාහිනී නාලිකා හොඳ ප්‍රයෝජනයක් අරන් තිබුණා. 

   මාධ්‍ය සාකච්ඡා නම් සතුටුදායක නැහැ. බස්නාහිර ආරක්‍ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ, සෑහෙන ආතතියකින්, මාධ්‍යවේදීන්ට මුහුණදුන් බව පෙනුනා. ඇත්තෙන්ම, මෙය හමුදාවේ අභිමානය, කීර්තිය, පිලිබඳ අභියෝගාත්මක තත්වයක්. මාධ්‍ය සාකච්ඡා වලට සහභාගිවූ  දේශපාලනඥයන්ද තම වාසියට, තමන්  නොදන්නා විෂයය කරුණු ඇදබෑවා. රුපියල් සීය හිඟන්නලාගේ ගොම්මන්පිල උන්නාන්සේත්, කැබ් හැප්පෙනගේ මං අමද්‍යප හේරත් උන්නාන්සේත්,  පසුපසට ගාමී එකේ නොපුබුදු උන්නාන්සේත්, කිව්වේ, මෙතන තිබුනේ අවි ගබඩාවක් කියලයි. අගමැති උන්නාන්සේත් එතරම් චිත්ත ධෛර්යයකින් කතාකරපු බවක් පෙනුනේ නැහැ.  ඔය අල්ල පනල්ලේ, වෙබ් අඩවි වලින්, පශ්ම පශ්චාද් මරණ පරීක්‍ෂණ තියලා. මේ බලන්න. 



   (මුණ්ඩ/පුණ්ඩ) ගබඩා කිරීම ගැන දන්නා මේ විසේස අඥයා, පරචිත්ත විජානන ඥානය ඇත්තෙකු විය යුතුය. එහෙම නැත්නම් කොහොමද, මේ සිද්ධිය ගැන පරීක්ෂණයක් නොකොට, වෙනත් රටක සිට මෙහෙම මතවාද පතුරවන්නේ? උන්නැහේට එක්කෝ මෙව්වා දිවැසින් පෙනෙනවා වියයුතුය.

   ලෝකයේ ඕනෑම හමුදා අවි/පතරොම් ගබඩාවක්, සතුරන්ගේ අතට පත්වීම වැලැක්වීම සඳහා, එවැනි සතුරු ආක්‍රමණයකදී, පුපුරවා හරිනවාලු. ඇත්තය. නමුත් එය කරන්නේ, මේ ගබඩාව හදන ගමන් එවැනි ඇටවීමක් සවි කිරීමෙන් නොවෙයි. හොඳ පුහුණුවක් සහිත, යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තු සාමාජිකයන් කීපදෙනෙකුට, එය සුළු වෙලාවකින් කලහැකිය. කරන්නේ අවසාන මොහොත එළඹෙන බව දැනුනොත් පමණයි. 

  අපොයි අර විසේස අඥයා දන්නා දේවල් හැබෑට. 

මෙන්න ඊළඟ එක.



   මේක දෙවන අවි ගබඩාවලු. මොනවා දෙවන ද? සතුට දෙවන ද, දුක දෙවන ද? එහෙම නැත්නම් දෙවැනි ගබඩාවද? ඒත් ඉතින් මේ වාර්තාවේ කියන්නේ, අවි ගබඩාව කියලනේ. ඒවා යකඩ ගොඩවල්නේ, කොහොමද ඒවා පුපුරන්නේ? 

   මේ කඳවුර භාරව ඉන්නේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉලෙක්ට්‍රොනික හා යාන්ත්‍රික බලකාය කියා, මේ වාර්තාවේ තිබේ. අපේ යුද හමුදාවට, 'ඉලෙක්ට්‍රොනික සහ යාන්ත්‍රික බලකාය' නමින් අලුත් බලකායක් තිබෙන බව, මා දැනගත්තේ, අද මේ වාර්තාව කියවීමෙන් පසුවය. මොකාද දන්නේ නෑ ඔය අලුත් බලකාය පිහිටෙව්වේ? සමහරවිට, ඔතන අල්ලපු වැටේ ඉන්න, අපේ දිනේෂ් ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා වෙන්ඩෑ. 

   අපි දන්නා විදිහට නම්, යුද හමුදාවට අයත් අවි සහ වෙඩි ද්‍රව්‍ය, නිල ඇඳුම්, සියලුම උපකරණ, කාර්යාල අවශ්‍යතා, ගෙන්වීම, ගබඩා කිරීම, බෙදා හැරීම, භාරව සිටින්නේ, ශ්‍රී ලංකා යුද හමුදා යුද්ධෝපකරණ බලකායයි. කොස්ගම ගබඩාව පාලනය කලෙත්, ඒ බලකායෙනි. එහෙනම් අනුමානයක් නෑ, උන්ව එතනින් එලවලා, තමන්ට අයිති නැති ජොබ් එකක් කරපු, මේ අලුත් බලකාය තමා, කොස්ගම වැඩේ කන්න ඇත්තේ. අනේ අනේ නන්නානේ.

   උණ්ඩ ගබඩාවක් ගිනිගත්විට මිනිසුන් රහිත ප්‍රදේශයක නම්, ඒ මතට ගුවනින් බෝම්බ හෙලා, සියලු පිපිරුම් ඉක්මනින් අවසන් කලහැකිය. කොස්ගම ඒ වැඩේ කරන්නට නොහැකිය. 

මෙන්න තවත් වාර්තා.






  ඇයි දෙයියනේ, හමුදා කඳවුරක පතරොම් ගබඩාව හදිසියේ පුපුරා ගියාම, ඒ වගකීම, අනිවාර්යයෙන්ම එන්නේ, හමුදාවට නෙවෙයි නම්, කොස්ගම ග්‍රාම නිලධාරි තුමාට හෝ, පවුල් සෞඛ්‍ය නිලධාරිනියට නෙවෙයිනේ. දේශපාලන විපරීත භාවයෙන්, මොළ කොලොප්පන් රෝගය උත්සන්න වූ උන්නැහේලා, මේ වගේ විහිලු මෙවැනි අවස්ථා වල කරන එකයි දුක.  ඒ මදිවට කියනවා, LTTE එක කොස්ගමට ගැහුවනම් මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? දෙගොල්ලෝ ගහගනියි. දක්ෂයා දිනයි. ආයේ වෙන මොකක්ද? 

   පොහ්, මේ අඩවි වල ඉන්න ආරක්‍ෂක විශේෂඥ වාර්තාකාරයෝ ගැන, ඇමරිකාවේ පෙන්ටගනය එහෙම දැනගත්තොත්, උන්ට පෙන්ටගනයේ විශේෂඥ ජොබ් දෙන්න, ඔබාමා මාමා විසින්ම එයාර් බස් A 320 යානයක් පදවාගෙන, මේ රටට එනවා සිකුරුය. බලන්න, යුද්ධයට බයේ, වාලධිය දෙපරැන්ද අස්සේ ගසාගෙන සිටි මේ විශේෂඥ මහත්තුරු, අර යුද්ධය පැවති කාලයේ එලියට බැස්සානම්, අපිට ඒරොප්පෙටත් වැඩක් දෙන්න තිබුනේය. කැනඩාවේ කොටි ඩයස්පෝරාව, පෝර බෑග් වලට දමා, දඹුල්ලේ එළවලු ගොවීන්ට දෙන්න තිබුනේය. ඔහොමය මෙහෙමය. 



  කොස්ගම කඳවුර හමුදාවේ සුවිශේෂ කඳවුරක්ලු. මොකක්ද සුවිශේෂත්වය කියා කියන්නේ නැත. සුවිශේෂත්වය, මෙතන මුලින්ම තිබුණු ශ්‍රී ලංකා යුද හමුදා භටකාර්ය සම්පාදන හා අණදීමේ මූලස්ථානයද? (Logistic Command) ඉන්පසු පිහිටවූ, මධ්‍යම අවි ගබඩාව ද? ඊට සමගාමීව පිහිටවූ, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය ද? ඊටත් පසුව, අවි ගබඩාව ඉවත්කොට පිහිටවූ, වෙඩි ද්‍රව්‍ය ගබඩාවද? මෙතනින් සහමුලින් ඉවත් කරන්නට සැලසුම්කර තිබුනේ, වෙඩි ද්‍රව්‍ය ගබඩාවයි. ඒ බව, අද පැවති මාධ්‍ය හමුවේදී, බස්නාහිර ආඥාපති වරයා ප්‍රකාශ කළා. එතනින් එහාට මේ වාර්තාව දේශලන උපකල්පන මත ලියවී ඇති බැවින් විහිලු සහගතය. එමෙන්ම සිකේ පුංහල වලින් ලියා ඇත. (උදාහරණ:-  අහම්බුව, අවධානම්, විධිවිදාන, ස්රුජු,)

   හොඳයි. මේ විසූක දස්සන දිගේ ගියා දැන් ඇති නේද? දැන් අපි ටිකක් යථාර්ථවාදීව මේ ගැන බලමුද? මේ සිද්ධියට යුද හමුදාව සම්පූර්නයෙන් වගකිව යුතුයි. ඒකෙ දෙකක් නැත. හමුදාවේ බස්නාහිර ආඥාපති වරයා, තම ආඥාපති පත්වීමෙන්, ඉල්ලා අස්විය යුතුය. මේ ගැන යුද හමුදාපති වරයා හැකි ඉක්මනින්, ප්‍රකාශයක් කලයුතු අතර, ආරක්ෂක ලේකම් වරයා මගින්, සේනාධිනායක ජනාධිපතිවරයාට, සවිස්තර වාර්තාවක් සැපයිය යුතුය.  මේ කඳවුරු භූමිය ගැන, සතුටුදායක අවබෝධයක් ඇති පුද්ගලයකු ලෙස, මා නිර්දේශ කරන්නේ, මෙම භූමිය කිසිසේත්, පතරොම්/අවි ආයුධ ගබඩා කිරීමට නුසුදුසු බවයි. 

හේතු:-

1. මෙය ප්‍රධාන මාර්ගයකට යාබදව සහ සීඝ්‍රයෙන් වර්ධනය වන ජනාවාස සංකීර්ණයකට මැදිව පවතී. 

2. අවට උස්බිම් වල සිට පහසුවෙන් කඳවුරු භූමිය නිරීක්‍ෂණය කළහැකිය.

3. පිපිරුමක් ඇතිවුනොත් කොතරම් භයානකද යන්න දැනටමත් ඔප්පුවී තිබේ. 

   එබැවින් මා නිර්දේශ කරන්නේ, හදිසි අවස්වථාකදී යෙදවිය හැකි, යුද හමුදා බලඇණි දෙකක් පමණ, මේ භූමියේ රඳවා තැබීම පමණක් සුදුසු බවයි. එහෙම නැත්නම්, අර උඩවලවේ තියන, වාහන අලුත්වැඩියා කරන හමුදා වැඩපොළ, මෙතනට ගේන්නකෝ.

   මේ ස්ථානයේ තිබුන, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය පමණක් මෙහි තිබුනේ නම්, වඩාත්ම යෝග්‍යය. මේ පිපිරුමෙන්, එම මූලස්නථාය සම්පූර්ණයෙන් වැනසී තිබේ. ජීවිත හානි අවම වුවද, සමස්ත ස්වේච්ඡා බලසේනාවේ අතීතය, වර්තමානය, කැටිකොටගත් සියලු ලිපිලේඛන, සමරු සටහන්, අධි ලේඛන, නැවත සැකසීමට හැකි නොවනු ඇත. ඒ හැමටම වඩා, සියලු ස්වේච්ඡා හමුදා සාමාජිකයන්ගේ, පෞද්ගලික ලිපිගොණු විනාශවී ඇත්නම්, එය ඉතා බරපතල තත්වයකි. සමස්ත ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව, 1983 වර්ෂයේ සිට, මේ දක්වා නොකඩවා සක්‍රිය සේවයේ යෙදී සිටී. ඊට පෙර සක්‍රිය සේවයේ සිටියේ, ස්වේච්ඡා බලසේනාවේ තෝරාගත් ඒකක පමණි. 

 හොඳයි, මේ පතරොම් ගබඩා සිද්ධියට මේ තරම් විශාල තැනක් ලැබුනේ ඇයි? 

1. කෙලින්ම ජනජීවිතයට බලපෑ නිසා.

2. කිසිසේත් බලාපොරොත්තු නොවූ ව්‍යසනයක් නිසා. 

3. වලක්වාගත හැකිව තිබුණු ව්‍යසනයක් දැන දැනම වෙන්නට ඉඩහැරියා යයි චෝදනා එල්ලවන නිසා. 

මෙච්චර දෙයක් වෙලත් අපේ අය ඒවා නරඹන්න යන මානසිකත්වයෙන් සිටීම ගැන මම පුදුම වෙන්නේ නැහැ. වැලිඔය ප්‍රදේශයේදී, අපි MBRL ප්‍රහාරක රථය, වෙල් යායක් මැදට අරන් ගියා, LTTE ප්‍රදේශයකට ප්‍රහාරයක් එල්ල කරන්න. ගෑණු, නයිටි පිටින් ළමයි ඉනේ ගහගෙන දුවගෙන ආවා, මල්වෙඩි බලන්න එනවා වගේ. අපේ සැරයන් කෙනෙක් හොඳ වචන ටිකක් කිව්වම ඈතට ගිහින් බලාගෙන හිටියා. 









   කොස්ගම තත්වය දැනගැනීම සඳහා, දන්නා කියන සියලු දෙනාට කතාකළා. දැනට තත්වය ගැන මෙන්න මේ ටිකයි කියන්න තිබෙන්නේ. 

1. විශාල ප්‍රදේශයක් පුරා, වී වැපිරුවා වගේ, බෝම්බ පතරොම් වෙඩි ද්‍රව්‍ය විසිරී තිබෙනවා. එයින් විශාල ප්‍රමාණයක්, නැවත පුපුරායාමේ අවදානමක් තිබෙනවා. 

2. කොළඹ - අවිස්සාවේල්ල පාර මත, විශාල බෝම්බ ගොඩක් විසිරී තිබෙනවා. ඒවා නිකම්ම ඉවත් කරන්න බැහැ. එහෙම කරන්න ගියොත් පුපුරන්න ඉඩ තියනවා. ඒවා නිසි පිළිවෙත අනුව නිෂ්ක්‍රිය කළයුතුයි. ඒ සඳහා සැලකියයුතු කාලයක් ගතවෙනවා. දින කීපයක්.

3. නිවාස මත/තුළ, ගෙවතු වල විසිරී තිබෙන බෝම්බ වලින් මහජනතාවට, විශේෂයෙන් නොදන්නාකම නිසා ඒවා අතපතගන්න යන කුඩා ළමුන්ට, තරුණ අයට, ජීවිත හානි සිදුවීමේ අවදානමක් තිබෙනවා. කුඩා වනරොද වල, පාලු ගෙවතු වල, ඇස නොගැටී තිබෙන බෝම්බ, කාලයක් ගියාට පසුව වුනත්, පිපිරීමේ අවදානම තිබෙනවා. ඒ නිසා, නොදන්නා නාඳුනන කිසිවක් අතපතගාන්නට යාම, මරුවාට අත වැනීමක්. 


මේ පිපිරීම අපේ රටේ පළමුවැනි එකද? 

   අපොයි නැහැ. ඔබ අතරින් ඉතා ස්වල්ප දෙනෙකුට පමණයි මතකයක් ඇත්තේ, මීට පෙර, 2010 වසරේදී, වවුනියාව, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ පතරොම්  සහ වෙඩි ද්‍රව්‍ය ගබඩාව, දින දෙකක් තිස්සේ, මේ ආකාරයෙන්ම ගිනිගෙන පුපුරා විනාශවූ හැටි. ඒ ගැන මාධ්‍ය වාර්තා පළවුනා. එහිදී සිදුවුනෙත්, අධික උෂ්ණත්වය හේතුවෙන්, වෙඩි ද්‍රව්‍ය වලට ගිනි ඇවිලී විනාශවීමයි. වවුනියාව නගරයේ කොටසක ජනතාව ඉවත් කරන්නටත් සිදුවුනා.

   1999 වර්ෂයේදී වවුනියාවට උතුරෙන් පිහිටි තාණ්ඩිකුලම් නමැති ප්‍රදේශයේ පිහිටුවා තිබුණු අපේ හමුදාවේ අවි ගබඩාවකට LTTE කාලතුවක්කු ප්‍රහාරයක් එල්ලවුනා. එම ගබඩාවත් දිනක් දෙකක් තිස්සේ පුපුරා ගියා. 

   ඔය කොස්ගම ගබඩාව වගේ දහ ගුණයකටත් වඩා විශාල, පතරොම් සහ වෙඩි ද්‍රව්‍ය ගබඩාවක්, ඉස්සර කොළඹ තිබුණා. දන්නවද කොහෙද තිබුනේ කියලා? ගාලු මුවදොර පිටිය යට. එය තමයි, ඒ කාලේ යුද හමුදා පතරොම් ගබඩාව. සුද්දගේ කාලයේ එකක්. පැරණි යුද හමුදා මූලස්ථානයෙන් තමයි, ඇතුළුවන දොරටුව තිබුනේ. ඔබෙන් කාටහරි ගාලු මුවදොර පිටියේ අතීතය මතක නම්, ඉස්සර එහි තිබුණා, පොළොවෙන් අඩි කීපයක් ඉහලට එසවුණු වායු කුටීර. එයින් අර ගබඩාවේ වාතාශ්‍රය පවත්වා ගත්තා. මා එකම එක වරක් ඒ ගබඩාවට ගොස් තිබෙනවා. හඃ හඃ, අද එහෙම තිබිලා පිපිරුවානම් කොහොමද වැඩේ? 


මේ විදිහට පතරොම් ගබඩා පිපිරීමේ ලෙඩේ මේ අපේ රටට විතරක් තියන දෙයක්ද? 

   අපොයි නැහැ. මේ ලෙඩේ ලෝකය පුරාම තිබෙනවා. යුද්ධ තිබෙනතාක් කල්, අනාරක්‍ෂිත ගබඩා තිබෙනතාක් කල්, ආරක්ෂිතව තිබෙන ගබඩා නිසිපරිදි කළමනාකරණය සහ නඩත්තු කිරීම නොකරනතාක් කල්, මේ ලෙඩේ තියනවා. 




මේ ගබඩා ආරක්‍ෂිතව හදන්න ක්‍රමයක් නැද්ද? 

   අපොයි තියනවා. මෙව්වා මේ වී ගබඩා හදනවා වගේ හදන්න බැහැ. ඒ සඳහා ජාත්‍යන්තරව පිළිගන්නා ක්‍රමවේදයන් තියනවා. අපේ හමුදාවේ යුද්ධෝපකරණ බලකායේ නිලධාරීන්, පිටරටවල ගිහින්, ඒ ගැන විශේෂඥ පුහුණුවක් ලබනවා, කාලීනව. පුහුණුව ලැබුවට පස්සේ ඒ අයව හඳුන්වන්නේ, Ammunition Technical Officer = ATO කියලා. ඒ අය තමයි යුද බිමේ තියන ගබඩා පාලනය කරන්නේ සහ හමුදා ඒකක වල තියන කුඩා පරිමාන ගබඩා ඉදිකිරීම, පවත්වාගැනීම, නඩත්තුව ගැන උපදෙස් දෙන්නේ. මේවා ඉදිකරන ආකාරය ගැන අන්තර්ජාලයෙන් බලන්නත් පුළුවන්. 


   පතරොම් සහ වෙඩි ද්‍රව්‍ය ගබඩා කිරීමේ සම්මත සැලසුම් තිබෙනවා. ඒවා අනුගමනය කරමින් කටයුතු කිරීම ඉතා වැදගත්. 




   වැඩ අවසන් කලාට පස්සේ පෙනෙන්නේ මෙහෙමයි. බලන්න, මෙය පොලොව යට නෙවෙයි තියෙන්නේ. මෙවැනි ගබඩාවක තබන්නේ, න්‍යෂ්ටික අවි නොවන, මිසයිල් නොවන, පුපුරන ද්‍රව්‍ය. 


මේ තියෙන්නේ එවැනි ගබඩා සංකීර්ණයක් 




මේවා ඇතුලේ කොහොමද බඩු තියලා තියෙන්නේ?

මෙන්න මෙහෙම තමා තියෙන්නේ.ඔය පහළ තියන පින්තූරයෙන් පෙන්නන 'කෙහෙල් මුව' තමා දැන් කොස්ගම පුරාම විසිරිලා තියෙන්නේ. 


ඉතිං අප්පච්චියේ මේ මගුලෙන් ගැලවෙන ක්‍රමයක් නැද්ද? 

තියනවා තියනවා. 

   මේ ගබඩා හැකි ඉක්මනින් ජන ශූන්‍ය ප්‍රදේශ වලට ගෙනයා යුතුයි. අරයකා අර විල්පත්තුවේ බලෙන් අල්ලගත්ත ඉඩම් වල මේ ගබඩා හැදුවනම් ඉවරයි වැඩේ. නැද්ද මං අහන්නේ. 

  අනවශ්‍ය (කල් ඉකුත්වූ/කල් ඉකුත්වන, දැනට අපි පාවිච්චි කරන අවි වලට නොගැලපෙන) වෙඩි ද්‍රව්‍ය විනාශ කළයුතුයි. 

  ත්‍රිවිධ හමුදාවේ වෙඩි ද්‍රව්‍ය ගබඩා ඉදිකිරීම, පාලනය, කළමනාකරණය, හමුදා පොතේ තිබෙන අදාළ නීති රෙගුලාසි, අකුරට පිළිපදිමින්, කලයුතු අතර ඒ ගැන ඉතා දැඩි විනයක් පවත්වාගත යුතුයි. 

   විශේෂ ව්‍යාපෘතියක් සේ සලකා, කඩිනම් සැලැස්මක් යටතේ, ත්‍රිවිධ හමුදාවේ සෑම වෙඩි ද්‍රව්‍ය ගබදාවක්ම දැඩිව පරීක්‍ෂා කොට, කෙටි කාලීන ආරක්‍ෂක පියවර වහාම ගතයුතුයි. 

   ඉතිං...........තවත් බෝම්බ පුපුරන්නට පෙර, කලයුතු දේ බොහොමයි. 

2016 ජූනි මස 06 වැනි දින 2342 පැය 

98 comments :

  1. බොහෝම වැදගත් සවිස්තරාත්මක දැනුවත් කිරීමක් විචාරකතුමා මේ පිළිබඳ ඔබතුමාගේ ලිපියක් අපේක්ෂාවෙන් හිටියෙ අපේ "මාජ්ජ හැසිරෙන විදිහ" සෑහෙන කාලෙක ඉඳලම සිහි කල්පනාව තියන අය දන්න හන්ද නැවත නැවතත් ස්තුතියි විචාරකතුමා. හැබැයි ඉතින් බොරු බේගල්, තමන්ට හිතෙන දේවල් කිය කිය දැනටමත් සෑහෙන විදිහට මාජ්ජ වෙළඳාම කරගෙන යනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගුණසිංහ මහත්මයා. මා හිතුවේ මේ විදිහට පාඨකයන් දැණුවත් කිරීම් මගේ යුතුකමක් කියලා.

      Delete
  2. දිවයින පත්තරේ ආරක්ෂක විශේෂඥ කීර්ති වර්ණකුලසූරියත් හොඳ වාර්තාවක් ලියයි.

    ReplyDelete
    Replies
    1. අම්මපා උන්නැහේ නම් දෙන එක ඇට්ටි හැලෙන්න. ආණ්ඩුවත් කඩා වැටෙයිද මන්දා උන්නැහේගේ විස්ලේසොන දැකලා.

      Delete
  3. සවිස්තරාත්මක පැහැදිලි කිරීමක්.. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
  4. ඩ්‍රොන් කැමරා වලින්, රූපවාහිනී නාලිකා හොඳ ප්‍රයෝජනයක් අරන් තිබුණා. //////////// - හමුදා කඳවුරක් උඩින් ගොස් පින්තූර ගැනීම - මෙය නීති විරෝධී නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපි බලාපොරොත්තු වෙන මාධ්‍ය සදාචාරය ලෝකයේ කොහෙවත් නැහැ. ප්‍රවෘත්ති කියන්නේ උණු කැවුම් වගේ විකිනෙන දෙයක්නේ ඒ නිසා සදාචාරය යට ගිහින් අවලම් කම උඩට එනවා. අනාගතයේදී, ඩ්‍රොන් කැමරා වෙඩි තබා බිම හෙලන්න වෙනවා, ආරක්ෂක හමුදාවන්ට තර්ජනයක් වුනොත්.

      Delete
  5. ඒ කියන්නේ අපිත් ඉන්නේ අවදානං කලාපේ

    ReplyDelete
    Replies
    1. අවදානං අවදානං, ඔතන ලංගම නේද තියෙන්නේ රණවිරු සෙවන? එතන මොනවා පුපුරයිද දන්නේ නෑ.

      Delete
    2. රණවිරු සෙවණ නං පුපුරන්න දෙයක් නැතිව ඇති
      ඒත් අර වෙලෙං එහා පැත්තෙ නං මොන මොනව වෙයිද කියන්න බැ
      කතාවක් තිබ්බ අර කුරුම්බැට්ටිය ඔය පැත්තට ආවෙත් ඒකට බැස්ටිය දෙන්නය කියල

      Delete
  6. විචා බොහොම ස්තූතියි දැනුවත් කිරීම ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇගයීම ගැන ඉයන්.

      Delete
  7. // මේ ගබඩා හැකි ඉක්මනින් ජන ශූන්‍ය ප්‍රදේශ වලට ගෙනයා යුතුයි.
    අවි ගබඩා උතුරු හා නැගෙනහිර පලාත් අශ්‍රිතව පවත්වා ගත යුතුයි.
    එසේම නායයාම් තර්ජනයට පත් ප්‍රදේශවල ජනතාවත් උතුරු සහ නැගෙනහිර පලාත්වල පදිංචි කල යුතුයි. සබරගමුව පලාත තුල විද්‍යාත්මක පදනමකින් වනෝද්‍යාන අතිකල යුතුයි.
    ඒක තමයි රාජ සම්ප්‍රදාය. ග්‍රාමසේවකලට ඕවා බෑ.

    ReplyDelete
    Replies
    1. ග්‍රාම සේවකලට තියා, පීචන් වෙලා එලෝලා දාපු, රජ පිස්සුවෙන් පෙලෙන, ලෝක කුපාඩි හොරෙකුටත් බෑ. එච්චරයි.

      Delete
  8. ස්තුති විචාරක... වැදගත් ලිපියක්...

    බටහිර ආඥාපතිතුමා කතා කරනකොට මටත් හිතුනා ආතතියෙන් වගේ කියලා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නිර්මාණී මෙය අභියෝගාත්මක අවස්ථාවක්. ඕනෙම උසස් හමුදා නිලධාරියෙක් අපහසුතාවට පත්වෙනවා.

      ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  9. මේ පිපිරුම් කෑලි අතේ තියාගෙන පින්තුරයක් දිවයින පත්තරේ දාල තිබෙනවා. එක ආයේ පුපුරන්න පුළුවන් එකක්ද නැද්ද කියන්න මට පුපුරන ද්‍රවය ගැන දැනුමක් නම් නෑ. කොහොම වුනත් එක නරක ආදර්ශයක් කියන එක නම් නිසැකයි. කලින් උල්කාපාතයක් වැටුනමත් එහෙමයි. එසේ කිරීමේ භයානක කම නිසා එවැනි පින්තුර පල නොකරන ලෙසට කතෘවරුන්ගෙන් කිහිපදෙනේකුගෙන්ම ඉල්ලීම්කලත් ඔවුන් ඒවා කණකට ගන්නේ නෑ.

    තමුන් ආරක්ෂක ලේඛම් වෙලා හිටිය නම් යුධ හමුදාපතිවරයා වහාම තනතුරින් ඉවත් කරන බව හිටපු ආරක්ෂක ලේඛම් නන්දසේන ඝෝටාභය රාජපක්ෂ ප්‍රකාශ කල බවක් දිවයින පුවත්පත සදහන් කරනවා. http://www.divaina.com/2016/06/07/news02.html ජනාධිපතිවරයෙකු විසින් පත්කරන ලද යුධ හමුදාපතිවරයෙකු එසේ ඉවත් කරන්නට ආරක්ෂක ලේඛම් කෙනෙකුට බලය තිබෙනවද ?

    මට මේ ආයුධ පිපිරීමෙන් වෙලා තිබෙන විනාශය දැක්කම එක පළමු සිතිවිල්ල එකිනෙකා නොදන්නා මිනිසුන් දෙපිලකට බෙදිලා මෙවැනි විනාශකාරී ආයුධවලින් දෙපැත්තට ගහගන්න යුද්ධ වළක්වාගන්න අපි මීට වැඩිය උත්සහ කලයුතුය යන්න. නමුත් සමාජමාධ්‍යවල දක්වපු අදහස්වලින් පෙනෙන්නේ නම් ආයුධ වලින් වෙන විනාශය බලන ගමන් තවත් යුද්ධයකට ආවැඩීමක්. ඔබ කියල තිබෙනවා වගේ ඒ හැමෝම යුද්ධ තිබෙනකොට නගුට දෙපරන්දේ ගහගෙන හැංගිලා හිටපු අය.

    ReplyDelete
    Replies
    1. මේ කොටස් අල්ලන්න එපා කියන්න හේතු දෙකක් තියනවා. යම් යම් රසායනික ද්‍රව්‍ය තිබෙන්න පුළුවන්, මිනිස් සිරුරට අහිතකර. ඒ වගේම, සෙලවීම නිසා සමහර වෙඩි ද්‍රව්‍ය පුපුරා යන්න පුළුවන්. නමුත් 'මාජ්ජ මෝඩයෙක්' මේවා අල්ලනවා මමත් දැක්කා. උන්ව හදන්න උන්ගේ අප්පලාටත් බැරිවුණකොට අපි මක්කොරන්නද?

      අනේ ගෝටා උන්නැහේ තවමත් හිතන්නේ, උන්නැහේ පාලනය කොරපු කාලේ අවනීති, තවමත් වලංගුයි කියලා. ඔව්වා ඔය හිතේ අමාරුවට කියන කතා. අපි ඔව්වා එච්චර ගණන් ගන්න අවශ්‍ය නැහැ. ආරක්ෂක ලේකම්ට පුළුවන්, ජනාධිපතිතුමාට නිර්දේශයක් ඉදිරිපත් කරන්න, හමුදාපති ඉවත්කළ යුතුයි කියා. නමුත් තීරණය තියෙන්නේ ජනාධිපතිතුමා අතේ.

      ඔබ දන්නවද යුද්ධයට අකමැතිම පුද්ගලයා තමයි සොල්දාදුවා. සොල්දාදුවා තම ආයුධය අතට ගන්නේ, 'අද මට මේ ආයුධය පාවිච්චි කරන්න නොලැබේවා' කියලයි. යුද්ධයක් ජයගත්තම, සොල්දාදුවා සතුටු වෙන්නේ, සතුරාගේ මරණය ගැන නොවෙයි. යුද්ධය අවසන්වීම නිසා, ආපහු තම පවුලේ අය සමග එක්වීමට ලැබෙන නිසයි.

      මාධ්‍ය වලින් යුද්ධය, මිනීමැරුම්, තුවාල සිදුවීම්, අනතුරු, උලුප්පා දක්වන්නේ, එවැනි දේ දැකීමෙන්, සතුටක් විඳින, පහත් මානසිකත්වයෙන් යුත් මිනිසුන්, මේ සමාජයේ සිටින නිසයි. මේ දෙපක්ෂයම, මානසික මට්ටමෙන් උසස් තත්වයකට ගෙන ඒම, සමස්ත ලෝක ප්‍රජාවගේම වගකීමක්.

      Delete
    2. දැන් අහන්න වෙන්නෙ එයා එහෙම ඉඳිද්දි ආයුධ/පතුරම් ගබඩා පුපුරපු වෙලාවේ හමුදාපතිව ඉවත් කළාද කියලයි. මෙව්වට කොහෙන් හිනාවෙන්නද මන්දා?

      Delete
  10. හොඳ විස්තරයක්. හැමෝටම පේන්න ශෙයාර් කරන්න ඕනෙ. මට නම් දැන් වෙබ් සයිට් වල නිවුස් බලලා ඇතිවෙලා. ඒ මදිවට බයියෝ බුකිය කනවා.

    ReplyDelete
    Replies
    1. https://4.bp.blogspot.com/-r0Xf7mI0unQ/V1YqLOIi2-I/AAAAAAACao4/3ZKs2kEsI_cEXZmkXysX7JKmFZb7KNftwCLcB/s640/69560.jpg

      මේ පින්තූරෙ කොහොමද? උඩ එක වෙන තැනක් පහළ පින්තූරෙ වෙන තැනක්. ඒත් ඇස් පේන්නෙ නැති උන්ට හොඳයි.

      ගෝල්ෆේස් එකේ එහා කෙළවරේ පහළට බහින්න පුළුවන් තැනක් තියෙන්නෙ ඔය ගබඩාවට පිවිසුම වෙන්ටැ.

      Delete
    2. [im#]https://jangun.files.wordpress.com/2016/06/69560.jpg[/im]

      Delete
    3. පෙරේද පින්තූරෙ තියෙන්නෙ ගූගල් ස්ට්‍රිට් විව් වලින් අරගත්ත පාරට පේන දර්ශණය. අනිකෙ තියෙන්නෙ කෑම්ප් එක පිටිපස්සෙ කැලේ අස්සෙන් ගිහිල්ල ගහපු එකක් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනව. ඔය ඉස්සරහ පේන ගොඩනැගිල්ල එතනට පේන්නෙ නෑ.

      Delete
    4. හරී ඔයා html කෝඩ් එක දාන්නේ නැතුව පින්තූරයේ url එක විතරක් දැම්ම නිසයි පින්තූරය වැටිලා නැත්තේ. ඔන්න මම දැම්මා.

      නොදකින් මුන්ට හතර විලිලැජ්ජාව කියලා දෙයක් නැද්ද, මේ වගේ අතේ පලවෙන බොරු පින්තූර දාන්න? ඔවුන්ව බෙල්ලෙන් ඇදගෙන ගිහින් පෙන්නන්න ඕනේ, කරලා තියන බොරුව.

      @ ප්‍රසන්න. මම අහන්නේ, මේ විදිහට මිනිස්සු නොමග යවන එවුන්ටත්, ඉරහඳ පායනවනේ.

      Delete
    5. ස්තුතියි.
      වැඩේ කියන්නෙ මේ වගේ පින්තූර දැක්කම ඇස් කන් පේන්නෙ ඇහෙන්නෙ නැති උන චූන් වෙන එකයි. ඊටපස්සෙ ඕක බලාගෙන එතන හිටියා වගේ විස්තර කියන්නෙ. සමහර එවුන්ට ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නුවත් පිළිගන්න සූදානම් නෑ.

      Delete
    6. ඒකට තමයි කියන්නේ උපන් මෝඩකම කියලා.

      Delete
  11. හරිම වටින පැහැදිලි කිරීමක් විචාරක මහත්මයා.. ස්තූතියි... හරි තොරතුරු නැතිව අන්දමන්ද වෙලා වගෙයිනෙ අපිත් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මහත්මයා නෙවෙයි බොල මාමා.

      ඔබට යම් අවබෝධයක් ලැබුණා නම් මට සතුටුයි රසී. ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  12. කොච්චොකඩේ පැත්තේ මිනිස්සු ගෙවල් ගන්නේ නෑ රතිඤ්ඤා ෆැක්ටරි නිසා...

    සමාන්‍ය මිනිස්සුන්ට පුපුරන ද්‍රව්‍ය ගැන තියෙන දැණීමවත් හමුදාවේ කිසිවකුට නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ...

    මේ පළවෙනි එක නෙමෙයිනේ... වැලිසර පිපිරුවා... මත්තෙගොඩ පිපිරුවා... දැන් සාලාව... හෙට.....?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, මේ මගුල නිසා සතින්නා පැට්ටේරි වලටත් ටිකට් එක අදෙයිද දැන්නෑ.

      නොසැලකිල්ල නිසා මේක වුණා කියලා ඔප්පු වුනොත් ඔක්කොමලව සිරදඬුවමකට යටත් කොට ඉන්පසු හමුදාවෙන් අස් කරන්න වටිනවා.

      මේ වගේම භයානක විදිහට වවුනියාවේ පිපිරීම් දෙකක් වුණා. 1998 සහ 2010.

      Delete
  13. පැහැදිළි විස්තරයට ස්තුතියි විචාරක...

    ///2010 වසරේදී, වවුනියාව, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ පතරොම් සහ වෙඩි ද්‍රව්‍ය ගබඩාව, දින දෙකක් තිස්සේ, මේ ආකාරයෙන්ම ගිනිගෙන පුපුරා විනාශවූ හැටි. ඒ ගැන මාධ්‍ය වාර්තා පළවුනා. එහිදී සිදුවුනෙත්, අධික උෂ්ණත්වය හේතුවෙන්, වෙඩි ද්‍රව්‍ය වලට ගිනි ඇවිලී විනාශවීමයි. ///

    ලංකාවේ වගේ අධික උෂ්ණත්වයක් නැති රටක උෂ්ණත්වය නිසා එහෙම වෙනවා නම් අධික උෂ්ණත්වයක් ඇති රටවල මෙවැනි සිදු වීම් බහුල විය යුතුයි නේද...
    උෂ්ණත්වය වැඩි වීම නිසා පතුරම් ගබඩා පුපුරනවා කියන්නේ අපේ ගබඩා වායුසමීකරණය කරලා නෙමෙයිද තියෙන්නේ, එහෙම කරලා නැතිනම් ඒක මහ මෝඩ කමක්නේ...

    ReplyDelete
    Replies
    1. මොන AC ද අප්පා. AC එකේ අනිවාර්යයෙන් තියන්න ඕනේ Man Portable Ground to Air Missile අපි එව්වා පාවිච්චි කරන්නේ නැහැනේ.

      ඔබ කියා ඇති ආකාරයට, අනිවාර්යයෙන්, මෝටාර් උණ්ඩ, කාලතුවක්කු උණ්ඩ, රොකට් වෙඩි, අත් බෝම්බ, High Explosive, AC කල ගබඩාවක තියෙන්න ඕනේ. අපි කරලා තියෙන්නේ Ventilators සහ Exhaust Fan සවිකිරීම පමණයි.

      Delete
  14. අහරෙන් මෙහෙන් ඇහෙන විස්තරනෙ කණට වැටුනෙ. දීර්ඝ, වැදගත් ලිපියට ස්තූතියි විචා මාමෙ.

    ReplyDelete
    Replies
    1. 'මාජ්ජ කුක්කෝ' අජාසත්ත බොරු ගහන නිසා තමයි, මේක ලියන්න හිතුනේ, ඇත්ත තත්වය පැහැදිළි කරන්න. ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  15. ඉතා හොඳ ලිපියක්.

    ලංකාවෙ රොකට් රෙජිමේන්තුවක් තියනව කියල දැනගත්තේ ලඟදි බුල්නෑව පාරෙ යනකොට.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට තනමල්විල පැත්තෙ එහෙම එකක් නොතිබුනේ. හැක්..

      Delete
    2. @ Pra Jay.

      ස්තුතියි ඇගයීම ගැන.

      හෙහ් හෙහ්, අර ඇමරිකාවේ ගිහින් රොකට් වැඩ ඉගෙනගත්ත එක්කෙනා, ඔය රොකට් රෙජිමේන්තුවේ අධිපති නොකළ එකයි පුදුමේ. Rocket Regiment/Rocket Battery කියන්නේ, Multi Barrel Rocker Launchers පාවිච්චි කරන අය.

      [im#]https://jangun.files.wordpress.com/2016/06/3551970071_cd625b70f5.jpg[/im]

      @ ප්‍රසන්න. මල් නැතුව ඉතුරු ටික තිබුනානම් රොකට්ම තමා.

      Delete
    3. ඇත්තට දැන් එයා හඳට යන්නෙ නැත්ද?

      Delete
    4. නෑ නෑ එයා අඟහරු ලෝකෙට යන්නලු හිතාගෙන ඉන්නේ.

      Delete
  16. මෙතරම් වටිනා ලිපියක් බුකියේ ෂෙයාර් කරන ෆැසිලිටි එකවත් නැති එක නම් ජාතික අපරාධයක් විචා....

    ReplyDelete
    Replies
    1. මේ ලිපියම කොපි පේස්ට් කරලා දාන්න හැකියි. ඒ එක්ක ලින්ක් දැම්මට ලින්ක් ස්පැම් කියල එන්නේ. ඒ නිසා වෙනම ලිපියක් සේ තමන්ගේ නමින් බුකියේ දැම්මනං හරි.

      Delete
    2. වැඩේ හරි ... ලින්ක් එක ෂෙයාර් කලා....

      Delete
    3. මාතේ, මං උඹට ලැජ්ජාවේ තන්තෝසෙන් ඇත්තම කියන්නද. ඇත්තටම මගේ ඔය මූණු පොතේ ගිණුමක් තිබුනට. ඕකේ වැඩ කිඩ මොකුත් මම දන්නේ නෑ. අද උඹේ කමෙන්ට් එක දැකලා හිතාගත්තා, අදනම් මේ මගුල කොහොමහරි කරනවා කියලා. ජාලෙන් උපදෙස් හොයාගෙන වැඩේ කළා. නමුත් ප්‍රතිඵලයක් දකින්න බැරිවුනා. දාලා ගහලා ආවා. උඹලට පින්සිද්ද වෙනවා ඔය මගුල කරන හැටි කියලා දුන්නොත්.

      Delete
    4. ශෙයාර් කරන එක මහ වැඩක් නෙමෙනෙ. මේකෙ ලින්ක් එක කොපි කරා ගිහින් ස්ටේටස් එක දාන තැන ඇලෙව්වා. එතකොට ටිකකින් පහළ වැටෙනවා අඩවිය ගැන පොඩි විස්තරයක් එක්ක පින්තූරයක්. එතකොට පෝස්ට් ඔබන්න තියෙන්නෙ.,

      Delete
    5. හරි හරි, මීටපස්සේ කොරලා බලඤ්ඤංකෝ.

      Delete
  17. අනේ අම්මප... අපේ රටේ ජනමාධ්‍ය නෑ... තියෙන්නෙ ජඩමාධ්‍ය

    ReplyDelete
    Replies
    1. මාධ්‍යත් නෑ තියෙන්නේ මාජ්ජ. හෙහ් හෙහ්.

      Delete
  18. අඳුරේ ගිලී ඉන්න අවාසනාවන්ත අවස්ථාවක විස්තරාත්මක ලිපියට බොහෝම ස්තුතියි විචාරක.

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන ස්තතියි. ඇත්තෙන්ම මේ ලිපිය මා ලිව්වේ මගෙන් කෙරෙන යුතුකමක් හැටියට.

      Delete
  19. කඳවුරු ජනාවාස වලින් ඈත ඉදිකරත් මිනිස්සු ඒ වටේටත් ජනාවාස හදාගන්නව නෙව.

    ආයේ අපට බෝම්බ, බිම් බෝම්බ, මෝටාර්, කාල තුවක්කු උණ්ඩ, එපා කියල ඉතුරු වෙලා තියන ඔක්කොම විකුණල දැම්මනම් ඉවරයි. ඕවායින් අපේ රටේම මිනිස්සු මරන්නේ නැතුව අපි වෙන රටක් එක්ක ගහගන්න ද? දෙවන ලෝක යුද්දේදි ඩෙන්මාර්කේ ජර්මනියත් එක්ක ගහගන්න ගියේ නෑ, තොපිට ඕනනම් අල්ලගනියව් කියලා නිකන් හිටියා විතරක් නෙවෙයි, ජර්මන් හමුදාවට කැම බීම සහ අනෙකුත් සේවා සපයලා සල්ලිත් හම්බකර ගත්තා, මිනිස්සු කවුරුත් යුද්ධකරන්න ගිහින් මැරුනෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. සහතිකම ඇත්ත. අපි ගිහිල්ලා සහරා කාන්තාරේ මැද්දේ හෝ හිමාල කන්ද මුදුනේ පතරොම් ගබඩා හැදුවත්, මිනිස්සුත් ඇවිත් පදිංචි වෙනවා.

      ඇත්තම තත්වේ තමයි, මේ ඇල්ලක් වගේ පුංචි රටේ, ඔයවගේ මහා පරිමාන ගබඩා හැදිල්ලත් ලේසි නැහැ, ජනාවාස මගහැරලා. එහෙනම් නොඉඳුල් කැලෑ කපන්න වෙනවා.

      හෙහ් හෙහ්, විකුණන්න හැදුවොත් ඒකාබද්ධ සරණාගත ආඬි රැළ පොල් ගහන්න පටන් ගන්නවා.

      ජාත්‍යන්තර පිළිගැනීම අනුව, යම් රටකට, තම රටේ හමුදාවට ප්‍රමාණවත් අවි/පතරොම්/බෝම්බ, තබාගත හැකියි. විකුනුවට පස්සේ කචල් එකක් ආවොත්, අපි අමාරුවේ.

      Delete
  20. එතකොට වේයන්ගොඩ central arms ammunition dump කියන්නේ මොකක්ද?

    http://www.lankahotnews.us/2016/06/veyangoda-central-arms-ammo-dump-too.html

    ReplyDelete
    Replies
    1. වහල දාපු රෙදිමෝලට ගෝටා ගෙනැත් දාපු ආයුධ ගබඩාව.ඡන්දෙට කලින් කිව්වෙ එතන බස්නාහිර පලාතෙ ලොකුම රෝහල හදනව කියලයි.

      Delete
    2. @ මින්.
      අපොයි ඒක අර සියල්ල දත්, අඟහරු ලෝකෙටත් ආරක්ෂක උපදෙස් දියහැකි ඕපාදූප අඩවියක්. වෙයන්ගිද එවැනි ගබඩා තියන බව ඇත්ත. ඒවා පරීක්ෂාකොට ආරක්‍ෂාව තහවුරු කරන එකත් ඇත්ත. නමුත් රටේ ආරක්‍ෂාව, ජාතික ආරක්‍ෂාව ගැන වගකීමෙන් නොහිතන මෙවැනි හිවල් මොටාලා, සංවේදී ආරක්ෂක තොරතුරු මේ විදිහට එලියට දැමීම කණගාටුදායකයි.

      @ හැලපේ.
      මතකද ඒ කාලේ ඔතන ලස්සණ චීත්ත රෙදි එහෙම නිපදවුනා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කල ජනසතු ව්‍යාපාර ඇද වැටුනේ විවෘත ආර්ථිකයෙන්.

      Delete
  21. ඔය වෙබ් අඩවි වල, ශ්‍රව්‍ය, දෘශ්‍ය මාද්‍ය වල උන්ගේ අම්මලා, තාත්තලා හරියට උපත් පාලනය නොකරපු එකේ වරද තමා ඔය :). ඔය බිම වැටිලා තියෙන කෙහෙල් මුව කොපුව පමණක් පුපුරා විසිවූ, සජීවී බෝම්බයක් සහිත කාලතුවක්කු උන්ඩ හිසක් නේද?

    ReplyDelete
    Replies
    1. ආන්න හරි. හමුදාවේ ක්‍රමේට කියනවා නම්, උන්ව හරියට හදන්න තිබුණා, උන් ඉපදෙන්න මාස 10 කට කලින්, උන්ගේ අම්මලාව මුණගැහුනා නම්. හ්ම්......

      ඔව්, ඒවා කාලතුවක්කු වලට යොදවන උණ්ඩ (බෝම්බ) වෙනත් වෙඩි ද්‍රව්‍ය පුපුරනකොට ඒ පිපිරීමේ පීඩනයට හසුවීමෙන්, නිකම් ගල් කුට්ටියක් වගේ, ඈතට විසිවෙලා තියෙන්නේ. මෙය පුපුරන්න නම්, තව කොටසක් මීට සවිකළ යුතුයි.

      Delete
  22. විචා. ඇත්තම කියනවනම් කලින් පොස්ට් එකේ කොමෙන්ට් එකෙනුත් කිව්වෙ මේක ලියන්ට කියල. බොහොම ස්තුතියි විචා හොදේ. මමනම් ඔය බයිල සයිට් කිසි දෙයක් බැලුවෙ නැහැ. මගෙ බොස් යුද්ද නීති රීති කිය කිය බයිල ගහද්දිත් මට නෙමේ වගෙ හිටිය. ආයෙත් බොහොම ස්තුතියි.!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට. ඇත්තටම, ඊයේ හවස් වෙනකොට, අපේ රූපවාහිනී නාලිකා වල ගහපු වැල් බයිලා බලාගෙන ඉන්න බැරි තැන තමයි, මේ ලිපිය ලියන්න හිතුවේ. මා හිතනවා, බොහෝ දෙනෙකුට, යම් අවබෝධයක් ලැබුණා කියා.

      Delete
  23. හොඳ පැහැදිලි කිරීමක් විචා.
    මාජ්ජ ගැනනං ඉතිං කතාකරල වැඩක් නෑ. මේ ව‍ෙගේ වෙලාවක වගකීමෙන් හැසිරෙන්න දන්නෙ කීයෙන් කී දෙනාද. අර කැලේ පෙරලං ගිය මිනිස්සුන්ට තොරතුරක් දැනගන්න තිබ්බ එකම ක්‍රමේ තමංගෙ ෆෝන් එකෙන් රේඩියෝ අහන එකය කියල ඒ මිනිස්සු කියල තිබුණ. ඉතිං ඒ වගේ වෙලාවක ඒ මිනිස්සුන්ට පැහැලිදි තොරතුරු දීම මාධ්‍යවල වගකීම වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මමනං හිතන්නේ නැහැ ප්‍රසන්න අපේ මාධ්‍ය වල තියන මේ ජරා ගතිය කවදාවත් නවතියි කියලා. මිනිස්සුන්ගෙන් එකතු කරගත්ත ගංවතුර ආධාර අරන් ගිය ලොරිවල මුන් ගැහුවේ, මුන්ගේ බැනර් විතරයි. 'මේ රටේ සුහදශීලී ජනතාවගෙන් ආධාර' කියලා පොල්ගෙඩි අකුරෙන් ගහයි කියලා මම හිතුවේ.

      මුන්ට අනිවාර්යයෙන් සහභාගී වියයුතු උපදෙස් පන්ති තියන්න ඕනේ.

      Delete
  24. අගෙයි විචා........... හොද ලිපියක් කියෙව්වා..... ඔය නිවුස් සයිට් වල යන දේවල් ගැන නං කතා කරලා වැඩක් නැහැ..... උන්ට ගංවතුර ඉවර වෙද්දිම කොස්ගම පිපුරුවා........ උන්ට රජමගුල්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු, අනේ මන්දා ඒවාට නිවුස් සයිට් කියනවද, එහෙම නැත්නම්, ලිඳ ළඟ සංගම් කියනවද කියලා.

      හරියටම හරි. කුණු හොයන කාක්කන්ට ඉබේම කුණු ගොඩවල් පහල වෙනවා.

      Delete
  25. ගොඩක් දේවල් ඉගෙනගත්තා :)

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මට ගොඩක් සතුටුයි.

      Delete
  26. "මේ තියෙන්නේ එවැනි ගබඩා සංකීර්ණයක්"
    ජර්මනියේ Ramstein Air Base ඉහලින් ගියානම් ඇමරිකාවට අයිති ලොකු "මෙව්වා" එකක් දකින්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අපොයි ගූගල් අර්ත් එකෙන් ඔයවගේ තැන් ඕනේ තරම් බලන්න පුළුවන්. ඔව්වා තවදුරටත් රහස් නෙවෙයි. හැබැයි නිවැරදිව හඳුනාගන්න නම් පෙර දැනුමක් තියෙන්න ඕනේ.

      Delete
  27. හප්පේ යන්තන් කියවල ඉවර කලා.

    ReplyDelete
    Replies
    1. දිග වැඩිද ස්වාමීනි? :D

      Delete
  28. හුඟක් දේවල් දැනගත්ත. සමහර විස්තර අර ගබඩා හදන හැටි එහෙම අන්තර්ජාලයෙන්ද ගත්තේ. නැත්නම් "හමුදා රහස් " පිටවීමක් වගේ නේ.

    ReplyDelete
    Replies
    1. මේ එකක්වත් හමුදා රහස් නෙවෙයි අජිත්. මීටත් වඩා ගැඹුරු සහ සංකීර්ණ, ඇත්තටම රහසිගත තොරතුරු පවා, විවිධ උපක්‍රම යොදවා, අන්තර්ජාලයෙන් ගන්න පුළුවන්. ත්‍රස්තවාදීන්අ එහෙම කරනවා. අර අවි ගබඩා හදන ක්‍රමය, ලංකාවේදී මම දැක තිබෙනවා. මා කලේ, අර ඇමරිකානු ප්‍රකාශණය ආශ්‍රයෙන්, එහි පින්තූර සොයාගැනීම පමණයි.

      Delete
  29. Replies
    1. ස්තුතියි අජිත්. අර ජඩ මාධ්‍ය විවේචනය කරපු කෑල්ල කපලයි දාන්න තිබුනේ. නැත්නම් නෙලුම්යායට එන එක උන්ට නම්බුවක්.

      Delete
  30. ත්‍රිවිධ හමුදාවේ වෙඩි ද්‍රව්‍ය ගබඩා ඉදිකිරීම, පාලනය, කළමනාකරණය, හමුදා පොතේ තිබෙන අදාළ නීති රෙගුලාසි, අකුරට පිළිපදිමින්, කලයුතු අතර ඒ ගැන ඉතා දැඩි විනයක් පවත්වාගත යුතුයි. ///

    එහෙම වුනා නං, මං කිවේ පොතේ හැටියටම වුනං නං ඔය ලොකුම කියන දෙකම අයිං කරන්න වෙනව නේද විචා..
    මං දන්නෑ ඕකට මධ්‍යම කියල නිව්ස් එකේ දැම්ම හරක මොකාද කියල
    ඒත් එතන වැඩ කරද්දි මම දැනගත්ත දේ තමයි ඒ මධයම කියන අයිටම් එක පිපිරුවොත් වෙන සන්තෑසිය. මර බයෙං හිටියෙ කියන්නකො හැක්.. මොනව දන්නව කියලද

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ ගබඩා ඔක්කොම හැකි ඉක්මනින් ජනශූන්‍ය ප්‍රදේශ වලට රැගෙන යායුතුයි.

      මධ්‍යම කියන්නේ ඔතනින් ඔක්කොටම බඩු බෙදාහරින නිසා.

      හෙහ් හෙහ්, කොස්ගමත් වැඩ කලාද? මදෑ පණපිටින් ආවා. ඒ කාලේ ග්‍රහචාරය හොඳ නිසා බේරෙන්න ඇති. ඒ කාලේ මීටත් වඩා බඩු තිබුණා.

      Delete
  31. වටිනා තොරතුරු රැසක් තියෙනවා මේ ලිපියේ.

    මේ වගේ දේවල් ගැන මට නං එච්චර ලොකු දේවල් මතක නෑ. අවියක් නැවත බාර දෙද්දි ටුහ් ගාලා එකක් ගිහිල්ලා වහලේ හිල් වුනා අපේ දන්න කියන සගයෙක් අතින්. ඊට පස්සේ වෙන දේවල් මේ මහත්තයට අමුතුවෙන් කියන්න ඕන නෑනේ... :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, පුහුණු කාලේදී ඒ වගේ පොඩි පොඩි බුල් එකක් දෙකක් නොගැහුවොත් ඇති වැඩක් නෑ.

      ලිපිය ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  32. මාධ්‍ය වලටම බැනලා හරියන්නෑ.එක්කෝ එයාලට කියන්න ඕනෙ දෙන විස්තර පමණක් පල කරන්න කියලා ආපදා කළමණාකරණ අංශෙන් කිසි කිසි ගාලා තොරතුරු දෙන්න ඕනෙ මිනිස්සු දැනගන්න ඕන එව්වා.මුල් පැය කීපය හරිම වැදගත්.මිනිස්සුන්ට තොරතුරු ගන්න ක්‍රමයක් තියෙන්න ඕනෙ.
    මේ අඩුව නිසා තමයි කුක්කො පිනුම් ගහන්නෙ දැන්.
    ආරක්ශක අමාත්‍යාංශෙ ලේකම් තුමා මාධ්‍ය හමු පවත්වලා කියන්නෙ මේ කලේ ගිණි නිවීමේ අභ්‍යාසයක් කියලා.
    ඒ නිසා ඔන්න අපි සන්සුන් වෙලා ආරක්ශාව ගැන සැකයක් නැතුව ආයෙත් නිදාගත්තා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මුන්ට පිස්සුද? ගිනි නිවීමේ අභ්‍යාස කරනවද පතරොම් ගබඩාව අස්සේ. ඒකට ඒවගේ පෙනෙන එකක් තාවකාලිකව හදාගත්තනම් මොකද වෙන්නේ?

      උඹ හිතනවද ලබ්ස්, ඔය මාධ්‍ය කාරයෝ කියන එවුන් යම්කිසි මග පෙන්වීමක් හෝ නියාමනයක් යටතේ වැඩකරන්න හෝ ස්වයං වාරණයක් පනවාගන්න කැමති වෙයි කියලා. අනික් පැත්තෙන් අර ලේ, මළමිනී, බැලීමේ මානසික රෝගයෙන් පෙලෙන අපේ මිනිස්සු පිරිසකුත් ඉන්නවනේ, උන් කියයි කෝ මොකුත් පෙන්නුවේ නැහැනේ කියලා. මුන්ව හදන්න ඉතිං මකලා තමයි හදන්න වෙන්නේ.

      සන්සුන් වෙලා නිදාගත්තොත් සුන් සුන් වෙලා තමයි නැගිටින්න වෙන්නේ. :D

      Delete
  33. හරිම වැදගත් ලිපියක්....තැනින් තැන කට්ටිය එක එක කතා ඒවට හොඳ පිළිතුරක්

    ReplyDelete
    Replies
    1. ඔව් රසික. කටකතා තරම් භයානක තවත් දෙයක් නැහැ.

      Delete
  34. සවිස්තරාත්මක සටහනට බොහොමත්ම ස්තුතියි ඔබට...තැනින් තැන වැටිලා තිබුන බෝම්බ කොටස් දකිද්දී මට නැගුන ප්‍රශ්නය තමයි, ඒවා පිපිරීමේ අවදානමක් නැද්ද යන්න...එයට ඔබතුමාගේ ලිපියෙන් පිළිතුරු ලැබුනා...බොහොම ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ඔබේ දැනුම වර්ධනයවීම ගැන මා සතුටුවෙනවා. ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  35. සවිස්තරාත්මක ලිපියක්. දෙවරක්ම කියන්න ඕනෑ. මාධ්‍ය විනයක් නොමැතිකම නිසා ඇතිවෙන අලකලංචිය හොඳින්ම තේරුනා.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපේ මාධ්‍ය ඉල්ලන්නේ වල් බූරු නිදහසක් කියලා මට බොහෝ අවස්ථා වල සිතී තිබෙනවා. (මේ ආණ්ඩුව කාලේදී විතරක් නෙවෙයි ඉස්සර ඉඳලම)

      මෙවැනි ලිපියක් ලියන්න හිතුවේ මාධ්‍ය පිස්සුවට උත්තරයක් දෙන්නයි.

      Delete
  36. ඉතාම වැදගත් ලිපියක්. මොකද මේ ගැන විවිධ මතවාද පලවෙනවා. විශේෂයෙන් අල්ලේ පැලවෙන ජාතියේ කෙප්ප හිටං මටත් අහන්න ලැබුනා එහෙන් මෙහෙන්.
    මේ අවි ගබඩාව ඇත්තටම ඔතනින් ඉවත් කරන්න සැලසුම් කරලා තිබුනද? ඔයාමඩුව මෙවැනි අවි ගබඩාවක් තැනීමට සුදුසු ද?
    මේ ඔක්කොටෝමත් වඩා, මේ පිපිරීම මෙන්ම මීට කලින් පිපිරුණු අවි ගබඩා වල එම තත්වය ඇති උනේ ඇයි?
    මෙම බෝම්බ ආදියට කල් ඉකුත් වීමේ දිනයක් තිබේද? එහෙම නම්, ඒවා කල් ඉකුත් වූ විට කරන්නේ කුමක්ද?
    කල් ඉකුත් වූ බෝම්බ පිපිරී යා හැකිද?
    සටහන කියෙව්වේ ඊයේ. ෆෝන් එකෙන්.

    ReplyDelete
    Replies
    1. මට බය ඔය මාජ්ජ කාරයෝ හෙට අනිද්දට කියයිද දන්නේ නෑ, සාලාව කඳවුරේ සහ අවට ගම්මාන වල රෑට හොල්මන් තියනවා. සොල්දාදුවන් මර ලතෝනි දී කෑගහනවා වගේ ඇහෙනවා කියලා.

      ඇත්තටම මේ ගබඩාව ඉවත් කරන්න සැලසුම් කර තිබුනේ යුද්ධය අවසන් වූ කාලයේ. නමුත් කුමක් හෝ හේතුවකින් එය ඉටුවී නැහැ.

      ඔයාමඩුවටම යන්න අවශ්‍ය නැහැ. ජනශූන්‍ය ප්‍රදේශයක, ඉතා රහසිගතවයි මේ ගබඩා පවත්වාගන්න ඕනේ. එය දැනගත යුත්තේ ඉතා සීමිත පිරිසක් පමණයි.

      මෙය අවි ගබඩාවක් නෙවෙයි පතරොම් ගබඩාවක්. මාජ්ජ කරයි තමයි මෙය අවි ගබඩාවක් කළේ.

      අධික උෂ්ණත්වය, එක මත එක දීර්ඝ කාලයක් ගොඩගසා තිබීම නිසා ඇතිවන පීඩනය, ඩයිනමයිට් වැනි ද්‍රව්‍ය වල ඇති වෙඩි බෙහෙත් දියවී පිටතට ගලා ඒම, කල් ඉකුත්වී දිරාගිය අත් බෝම්බයක ආරක්ෂක අගුල මලකඩ කා දිරාගොස් ඉබේම පත්තුවීම, වැනි නොයෙක් හේතු නිසා පතරොම් ගබඩා වල පිපිරීම් ඇතිවිය හැකියි.

      Delete
  37. විචා,
    මේ ලිපිය නම බොහොම බොහොම බොහොම වටිනවා.

    සාලාවේ සීන් එක ගැන ලියවෙච්ච වඩාත්ම වද්දගත් සහ ප්‍රයෝජනවත් ම ලිපය කියාඅ කිව්වොත් මම වැරදි නැහැ..

    ReplyDelete
    Replies
    1. ඔව් මා විශ්වාස කරනවා, සෑහෙන තරම් සතුටුදායක ලෙස මා කරුණු ඉදිරිපත් කර තිබෙන බව. ඇගයීම ගැන ස්තුතියි. ඇත්තටම යුදහමුදාවට පුළුවන් සියලුම මාධ්‍යවෙදීන්ට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මගින් මෙවැනි තාක්ෂණික කරුණු ඇතිව සාකච්ඡාවක් මගින් කරුණු පැහැදිළි කර දෙන්න. එවිට මිත්‍යා මත පැතිරීම වලකිනවා.

      ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  38. ගොඩක් වටිනා තොරතුරු.....

    ReplyDelete
  39. හරිම සරලව , සියළු විස්තර සහිතව ඔක්කොම කියල තියෙනවා . බොහොම ස්තුතියි . නමුත් අපිට බැරිද , මේ blog කියවන මොලේ බිඳක් හරි තියෙන එක ඔය ලොකු ජනමාධ්‍ය කරුවෙක් හොයාගන්න. එයාට බැරිනම් අඩුගානේ , මේ ලිපියවත් ආපසු පලකරන්න . මොකද එතකොට මේ දේවල් ගොඩකට පුළුවන්නේ . එක මගේ අදහස.

    ReplyDelete
  40. ඇගයීම ගැන ස්තුතියි.

    අපේ රටේ ජනමාධ්‍ය ගැන, සමාජ ජාලා අඩවි වල, බහුලව සාකච්ඡා කෙරෙනවා. මා මෙතෙක් අත්දැක තිබෙන සත්‍යය මෙයයි. රජයේ මාධ්‍ය ආයතන වලත්, පෞද්ගලික මාධ්‍ය ආයතන වලත්, ඉතා ප්‍රබුද්ධ පුද්ගලයන් වගකිවයුතු ටනතුරු උසුලනවා. නමුත්, ඔවුන් සියල්ලන්ම පාහේ, තම කාර්යභාරය කුමක්ද යන්න දැන දැනත්, නොයෙන් දේශපාලනඥයන්ගේ, ඉහල නිලධාරීන්ගේ, පටු අභිමතාර්ථ ඔස්සේ ක්‍රියා කරනවා. එබැවින්, රටේ පොදු ප්‍රශ්න දෙස මධ්‍යස්ථව සිතා බලා ප්‍රකාශ කෙරෙන අදහස් බොහොමයක්, මාධ්‍ය තුලින් නියෝජනය වන්නේ නැහැ.

    ReplyDelete
  41. ඇහුවට තරහ වෙන්න එපා, ඔබතුමා S.සෙනවිරත්නද ?

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ. කර්නල් සුසන්ත සෙනෙවිරත්න ගැමුණු හේවා බලකායේ. මම සිංහ රෙජිමේන්තුවේ.

      Delete
  42. සිවිල් ඉංජිනේරුවරුන් කපිතාන් නිලයට බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබුණි. යුධ හමුදාවට සම්බණ්ද වීමට මා ඉතා කැමැත්තෙන් සිටි බැවින් මා මේ සඳහා ඉල්ලුම් පතක් යොමු කරෙමි. ඉල්ලා තිබූ සුදුසු කම් මා සතුව ඇතත් පොඩි ගැටළුවක් තිබේ. ඒ පිලිබද මා මෙන්ම වෙනත් අයටත් දැන ගැනීම සදහා ඔබතුමාගෙන් මෙසේ විමසමි. පොඩි කාලයේ සිදුවූ හදිසි අනතුරකින් මාගේ පාදයේ ඇගිල්ලක කොටසක් අහිමි විය. නමුත් එයින් මාගේ කිසිදු හැකියාවකට බාදාවක් නැත. දිවීමට පිහිනීමට ඕනෑම දෙයක් සාමාණ්‍ය පරිදි කර හැක. මට එය නැතයි කියා දැනෙන්නෙවත් නැත. මෙය මට ඉහත තනතුරට බදවා ගැනීමේදී ගැටළුුවක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. සමාවන්න අද තමයි මේ කොමෙන්ට් එක දැක්කේ. ඔබ කියා ඇති ආකාරයට නම් එම තත්වය හමුදාවට බැඳීම සඳහා බලපෑමක් ඇති නොකරනු ඇති කියා මා හිතනවා. අනික ඔබව සටන්කාරී කටයුතු සඳහා නොයොදවන නිසා, එය එතරම් බැරෑරුම් ලෙස හමුදාව විසින් සලන්නේ නැති වෙයි.

      Delete
    2. තවදුරටත් කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් wmjgslsr@gmail.com යන ලිපිනයට ඊ මේල් එකක් එවන්න.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }