ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයට අයත්, ආනමඩුව ප්‍රදේශයේ පිහිටි, පරමාකන්ද රජමහා විහාරය ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසට අයත් ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. කොළඹ සිට පැමිණෙන අයෙකුට මෙහි ළඟාවීමට ඇති පහසුම ක්‍රමය වන්නේ හලාවත පසුකොට බංගදෙනියෙන් දකුණට හැරී, පල්ලම හරහා, ආණමඩුවට පැමිණීමයි. අනුරාධපුර පෙදෙසින් එන්නේනම් පහසු මාර්ගය වන්නේ ගල්ගමුවට පැමිණ ආණමඩුවට ලඟාවීමයි. කුරුනෑගල හරහා එන අයට කුරුනෑගල පුත්තලම ඒ 10 මාර්ගය ඔස්සේ මෙහි ලඟාවිය හැකිය. ආනමඩුව නගරයේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ පුත්තලම දෙසට ගියවිට, මේ රජමහා විහාරයට යන මාර්ගය පෙන්වන පුවරුව දැකිය හැකිය. විහාරය පිහිටා තිබෙන්නේ ඒ හන්දියේ සිට කිලෝමීටර් 2.4 ක් දුරිනි. ඕනෑම වාහනයකට විහාර භූමියටම යාහැකි ලෙස මාර්ගය නිමවා ඇත.
මේ සිද්ධස්ථාන භූමිය පුරා ඉපැරණි කාලයට අයත් විවිධ බෞද්ධ නිර්මාණ රාශියක් දැකිය හැකිය. මෙහි ඉතිහාසය දුටුගැමුණු රජතුමන්ගේ කාලය දක්වා දිවෙන බව සඳහන් වෙයි. දුටුගැමුණු රජතුමන්ගේ දසමහා යෝධයන්ට අයත් නන්දිමිත්‍ර යෝධයා මේ ප්‍රදේශයට ආසන්න පල්ලම ප්‍රදේශයේ අයකු බව සඳහන් වෙයි.
මෙම විහාරස්ථානය පිලිබඳ සියලු තොරතුරු තෝනිගල සෙල්ලිපියෙහි සඳහන් වෙයි. මෙම විහාරස්ඨාන භූමිය අති විශාල පර්වත පන්තියක විහිදී තිබීම විශේෂත්වයකි. එම පර්වත පන්තිය, ශ්‍රී ලංකාවේ වයඹ අඩතැනි කලාපයේ පිහිටි ශේෂ කඳු පන්තියක් ලෙස හැඳින්විය හැකිය.
මේ පර්වත පන්තිය තරණය කල හැකි ගල් කුළු මෙන්ම තරණය කල නොහැකි ගල්කුළු රාශියකින් සමන්විතය.
මෙම විහාර භූමියෙහි ඉපැරණි බෝධීන් වහන්සේ නමක් සහ චෛත්ය රාජයාණන් වහන්සේ නමක්ද විහාර මන්දිර දෙකක් ද දැකිය හැකිය.
බොහොමයක් නිර්මාණ වල පෙන්නුම් කරන්නේ මහනුවර යුගයේ විහාර කර්මාන්තයන්හි ලක්ෂණය.
මෙම විහාර මන්දිරයෙහි මහනුවර යුගයේ සම්ප්‍රදායට අයත් චිත්‍ර වලින් අඳින ලද වෙස්සන්තර ජාතකය දැක්වෙන බිතු සිතුවමක්ද තවත් සිතුවම් රාශියක් සහ අලංකාර පිළිම ගෙයක්ද දැකිය හැකිය.
පර්වත සමූහයේ එක මුදුනකට නැගීම සඳහා පටු ගල්පඩි පෙළක් ඇති අතර එහි නැග්ම අඩි 200 ත් 300 ත් අතර වේ. සීග්‍ර බෑවුම් ස්වභාවයට ආසන්න නැග්මකි.
ගල් පඩි දිගේ නැග මුදුනට පිවිසි විට, තවත් ඉපැරණි බුදුගෙයක් දැකිය හැකි අතර, එය නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇත.
මේ පර්වත පන්තිය හුදෙකලාව පිහිටීම නිසා, මෙහි සිට අවට විශාල ප්‍රදේශයක ස්වභාව සෞන්දර්යය විඳ ගැනීමට අවස්ථාව උදාවෙයි.
ප්‍රධාන පර්වත පන්තිය පාමුල එයට යාබදව පිහිටි තරමක් උස ගල් තලාවකි. එහි පාමුල අලංකාර ස්වභාවික පොකුණකි. ඊට ඉහලින් ඊට වඩා ඉතා කුඩා එවැනි පොකුණු කීපයකි. ගල්තලාවේ උසම ස්ථානයේ චෛත්යයක් සහ මලසුනක් දැකිය හැකිය.
මෙම විහාරස්ථානයේ ඇති එක්තරා සෙල්ලිපියක්, දිවයිනේ වෙනත් කිසිදු බෞද්ධ සිද්ධස්තානයක නැති කරුණක් ඇතුළුකර කොටා ඇත. එනම්, මේ අසල වැවෙන් අල්ලන මාළු සඳහා, ධීවරයන්ගෙන් අයකරන බදු මුදල් මෙම විහාරස්ථානයේ උන්නතිය සඳහා යෙදවිය යුතු බවය.
මේ විහාරස්ථානය ඇතුළු සමස්ත පුදබිම නොපමාව සංරක්ෂණය කලයුතු බව පැහැදිලිවම පෙනීයයි. විහාරාධිපතින් වහන්සේ පැවසු කරුණු අනුව, මේ සිද්ධස්ථානය කෙරෙහි තවමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිසි අවධානය යොමුවී නැති බව පෙනෙයි.
අපි මෙහි යනවිට සමස්ත විහාරස්ඨාන භූමියද, අවට පරිශ්‍රයද, කඳු මුදුනද, පොකුණ සහිත සුවිසල් ගල් තලාව පිහිටි ප්‍රදේශයද, වෙසක් උත්සවය වෙනුවෙන් වෙළෙඳුන්ට බදු දී තිබුණි. ඒ හේතුවෙන්ම සිදුවන දැඩි පරිසර විනාශය හද කම්පා කරවනසුලුය. අපද්‍රව්‍ය බැහැර කිරීම වෙළෙඳුන් විසින්ද වන්දනාකරුවන් ඇති බහුතරය විසින්ද කරනු ලබන්නේ සිත්පිත් නැතිසේය. මේ තත්වය වහාම පාලනය නොකලොත් මහා පරිසර දූෂණයක් සිදුවනු නොඅනුමානය. වන්දනාකරුවන්ට ප්‍රමාණවත් තරම් වැසිකිලි කැසිකිලි පහසුකම් නැති නිසාද පරිසර හානි සිදුවේ.