සිංහලෙන් බ්ලොග් ලිවීම අන්තර්ජාලයට එක්වී එතරම් කළක් ගතවී නැත. එහෙත් ඒ කෙටි කාලය තුල, සිංහල බ්ලොග් කරණය ලබා ඇති දියුණුවනම් අති උත්කෘෂ්ටය. භාෂා ඥානයද තාක්ෂණික ඥානයද සම සමව යොදා ගනිමින් කරන මේ හරඹය, එදා තල් කොළ කපා, තම්බා, වියළා, නිසි දිග පළලට සකසා, අවශ්‍ය ශිල්ප ඥානය මෙහෙයවා පන්හිඳක් සාදාගෙන, පුස්කොළ ලියා, කළු මැද, දුම්මල ගල්වා, ලීයෙන් පොත් කවර සාදා බැඳීම, දක්වා කළ හරඹය මෙන්ම, කාලානුරූපව කෙරෙන ශිල්ප දැක්වීමකි. අනාගතයේදී මළ භාෂාවක් බවට පත්වේද යන තර්කයෙහි දෝලනය වෙමින් පවතින අපේ මව් භාෂාව, නොනැසී පවත්වාගෙන යන්නට ගන්නා ලද, කාලීන හා මනොඥ පියවරක් ලෙස ද, සිංහල භාෂාව අන්තර්ජාලයට එක් කිරීම හැඳින්විය හැකිය. එබැවින් මේ සද්කාර්යය සාක්ෂාත් කරගැනීමෙහිලා පෙරගමන්කරුවන් වූ සියලුදෙනාට අපගේ භක්ත්‍යාදර පූර්වක ප්‍රණාමය හිමිවිය යුත්තේමය.
කිසියම් මෙවලමක් භාවිත කරන්නකුට, සිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, ඒ මෙවලම සබැඳි මූලධර්මානුකූලව එය පාවිච්චි කිරීමට සිදුවෙයි. කියත, මිටිය, යතු කැටය, පිහිය, කතුර, වැනි මෙවලම්, ඒවාට නියමිත මූලධර්ම අනුව පාවිච්චි නොකළහොත් මෙවලමට හානි වීම, පාවිච්චි කරන්නාට අනතුරු සිදුවීම, කරන කාර්යයෙන් නිසි ප්‍රතිඵල නොලැබීම, ප්‍රතිඵල වෙනස්වීම හෝ විකෘති වීම පමණක් නොව, තමන් එම මෙවලම් නිසි පරිදි පාවිච්චි කිරීමට නොදන්නා පුද්ගලයකු බව ලෝකයාට අනාවරණය වීමද සිදුවෙයි. ඉන්පසු ඔහු අසමත් හෝ දුර්වල හෝ නුසුදුසු යන ගණයකට වැටීම වැළක්විය නොහැකිය. භාෂාවක් සම්බන්ධයෙන්ද ඉහත කී කරුණු එසේම බලපවත්වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. මන්ද, භාෂාව කිසියම් ජන කොට්ඨාශයකගේ සංස්කෘතික අනන්‍යතාව මොනවට පිළිබිඹු කරන, අති ප්‍රබල මෙවලමක් බැවිනි.
භාෂාවක් යනු එක තැන පල්වෙන වතුර වළක් නොවේ. එය නව දිය දහරා වලින් පෝෂණය වෙමින් නිබඳ ගලා බසින, එහි පහස ලබන්නන් සනහන, පෝෂණය කරන ප්‍රවාහයකි. එහෙත් එයට එක්වන නව දිය දහරාවන්ගෙන් බහුතරය කුණු වළවල් වලින් ඇරඹෙන්නේ නම් අර ප්‍රධාන ප්‍රවාහයට සිදුවන්නේ කුමක්ද යන්න ඉතා පැහැදිලිය. වර්තමානයේදී සිංහල භාෂාව තරම් විවාදාත්මක තත්වයනට ලක්වී තිබෙන වෙනත් භාෂාවක් ලොව ඇත්දැයි වරෙක සිතේ. සමහර පණ්ඩිතයෝ සිංහල භාෂාවේ උරුමක්කාර, පොල්මඃකාර, අද්මිනිස්ත්රාත් බල කඩදාසි කාරයෝය. ඔවුන්ට අනුව භාෂාවේ කිසිදු වෙනසක් සිදුවියයුතු නොවේ. නව තාක්ෂණ පදයක් නිර්මාණය වීම කෙරෙහිද ඔවුන් බලන්නේ කුණුහරුපයක් දෙස බලන ඇසිනි. අනෙක් වර්ගය සිටින්නේ අනෙක් අන්තයේය. ඒ ‘කාපල්ලා බීපල්ලා, ජොලි කරපල්ලා වර්ගයේ බාසා …………ය. (කියවන්නෝ කැමති පදය දා ගනිත්වා) ඕනෑම කසිකබල් සක්ක පදයක්, ඕනෑම කාපිරි මුඩුක්කුවකින් ඇසෙන හරුපයක්, කඩදාසි වල සහතිකය පමණක් ඇති භාෂා විෂයය ගැන හරවත්, ගවේශනාත්මක, විශ්ලේෂනාත්මක දැනුමක් නැති, විද්‍යුත් මාධ්‍ය කුක්කන් හා කික්කියන් විසින් කිසිදු රීතියකට අනුකූල නොවී යොදන අතර, පැරණි ගීතයක කොටස් හෝ එහි අන්තර් වාදය ඛණ්ඩය මූලික තනුව ලෙස යොදාගනිමින්, නැත්නම් ‘මරිජුවානා රටක’ කුඩ්ඩන් විසින් ගයන ගෝත්‍රික ගායන කොටස්, විශිෂ්ට අන්තර්ජාතික සංගීතයකැයි සිතා එය එලෙසම මේ රටේ පැලපදියම් කරන්නට දත කන අමනයන්ද, පෙරකී සක්ක පද හා අඩ කුණුහරප යොදාගනිමින්, ‘මේ අපේ භාෂාව’ යයි ලොවට කියති.
ජනප්‍රිය පුවත්පත් කලාව, ජනප්‍රිය ගීත රචනා කලාව, ජනප්‍රිය නිවේදන කලාව, ජනප්‍රිය බ්ලොග් කලාව, ඈ කලාවන්හිදී, භාෂාව ‘ස්කොෂ්’ පන්දුවක් මෙන් පහර දී තල්ලු කරනු පෙනෙයි. එසේ කරන්නේ ඒ පන්දුව ඉදිරිපිට බිත්තියේ වැදී ඉල්පී වෙනත් කෝණයකින් තමාවෙත එන බව දන්නා නිසාය. මෙලෙස පහර දීමේදී අලුත් කෝණයක් සොයාගන්නෝ විරලය. වැරදියට හෝ හරියට අනුන් කොපි කරන්නෝ සුලභය. එහෙත් පන්දුව ගෙවෙමින් තමන් වෙහෙසට පත්වනු විනා ක්‍රීඩාවේ නව ප්‍රවණතා බිහි නොවේ.
අද බොහෝදෙනා කරන්නේද එදාවේල ක්‍රමයට භාෂාව යොදාගැනීම පමණක් නොවේද?
ඉදිරි පියවර වලදී ඉහතකී එක් එක් කලාවන් සබැඳිව විමසීමක් කරන්නට බලාපොරොත්තු වෙමි.
අද බොහෝදෙනා කරන්නේද එදාවේල ක්‍රමයට භාෂාව යොදාගැනීම පමණක් නොවේද?
ඉදිරි පියවර වලදී ඉහතකී එක් එක් කලාවන් සබැඳිව විමසීමක් කරන්නට බලාපොරොත්තු වෙමි.