හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

14 March 2012

අපේ කාලයේ තුවක්කු 2 වැනි කොටස

අපේ කාලයේ තුවක්කු පළමුවැනි කොටස මා ආරම්භ කලේ චූර්ණිකාවකිනි. මෙන්න දෙවැනි කොටසට අදාළ චූර්ණිකාව. ජ්‍යෙෂ්ට ශිෂ්‍ය භටයන් ලෙස පුහුණුව හමාර කරන සියලුම ශිෂ්‍ය භටයන්, දියතලාව පුහුණු කඳවුර වෙත යාමට පෙර, දිවුරුම් ප්‍රකාශයකට අත්සන් තැබිය යුතුය. මෙහිදී, ඛණ්ඩය භාර නිලධාරියා, ඛණ්ඩය පෙළගස්වා, සියලු දෙනාම දකුණු අතේ අල්ල ඉදිරියට සිටිනසේ වැලමිටෙන් අත නවා, දිවුරුම් දීමේ ඉරියව්වෙන් සිට ඛණ්ඩ භාර නිලධාරියා විසින් කියවනු ලබන වාක්‍යයක් කියවනු ලබයි. 

1968 වර්ෂයේදී මා මුලින්ම මේ වාක්‍යය කියවූ හැටි මට මතකය. එහිදී අපි දිවුරුම් දුන්නේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් ලංකාව ආරක්ෂා කරන බවටය. (1971 කැරැල්ලේ චුදිතයන්ට එරෙහිව නැගු චෝදනාව වූයේද දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ රාජ්‍යයට අයත් ලංකාව පැහැර ගන්නට තැත් කිරීමය) මෙම දිවුරුම් දෙන අවස්ථාවට සාමදාන (සමාදාන නොවේ) විනිශ්චයකාර වරයකුද සහභාගිවූ අතර, ඔහු සිය අත්සන යොදා දිවුරුම සහතික කළේය. මෙය ඇත්ත වශයෙන්ම ඉතා ගරුගම්භීර ලෙස සිදුවිය. අධිරාජ්‍යවාදී සහ යටත්විජිතවාදී ස්වරූපය එහි තිබුනද ශිෂ්‍ය භටයාගේ අභිමානයට ඉන් හානියක් නොවූ බවයි මගේ හැඟීම.

ඉතින්, අපේ කාලයේ තුවක්කු වලින් මීළඟට මා ඔබට හඳුන්වා දෙන්නේ .303 ලී එන්ෆීල්ඩ් වර්ගයේ රයිෆලයයි. (.303 Lee Enfield Rifle)
ලෝක ඉතිහාසයේ මෙතෙක් පාවිච්චි කල තුවක්කු අතරින් මේ තුවක්කුවට හිම්වන්නේ අද්විතීය ස්ථානයකි. මෙය ‘බෝල්ට් ඇක්ෂන් Bolt Action’ ක්‍රමයට සැකසු තුවක්කු අතරින් ව්ශිෂ්ඨතම තුවක්කුව ලෙස හැඳින්විය හැකිය. දැන් ඔබේ ප්‍රශ්නය මම දනිමි. බෝල්ට් ඇක්ෂන් කියන්නේ මොකක්ද? එය ඉතා සරලව පැහැදිලි කල හැකියි. ඔබ දන්නවානේ ඔබේ නිවසේ දොරවල් වලට සවි කර ඇති ‘සොයිබය’ නමැති කොටස. මේ තියෙන්නේ.
 ඔබ මේකට කියන්නේ වෙනත් නමක්ද? හොඳයි, නම මොකක් වුනත් මට අවශ්‍ය වුනේ, මේ කොටසේ ක්‍රියාකාරිත්වය ඔබට හොඳින් මතක තිබෙන නිසා, ඒ ඇසුරෙන් කරුණු පැහැදිලි කරන්නයි. මේ කොටස ඉංග්‍රීසියෙන් හඳුන්වනේ ‘ඩෝර් බෝල්ට්’ කියලා. ඔබට මතකනේ, අගුල දැමීමටනම්, මේ කොටස ඉදිරියට (දොරේ තිබියදී උඩට, පහලට හෝ පැත්තට විය හැකියි) තල්ලු කර, එහි හිස කොටස පැත්තට නැවීමයි කල යුත්තේ. එමෙන්ම අගුල ඇරීමටනම්, ඒ ක්‍රියාවම ප්‍රතිවිරුද්ධ දෙසට කල යුතුයි. ඉතින් බෝල්ට් ඇක්ෂන් රයිෆලයෙන් වෙඩිල්ලක් තැබීමට හා වෙඩි තැබූ පසු හිස් පතරොම ඉවත් කිරීමටත් කලයුත්තේ එම ක්රියාවමයි. දැන් තේරුනා නේද බෝල්ට් ඇක්ෂන් එක. හැබැයි දොරේ බෝල්ට් එකනම් ඔබට වමට හෝ දකුණට නැවිය හැකියි. එහෙත් රයිෆලයේ බෝල්ට් එක නැවිය හැක්කේ දකුණු පැත්තට පමණයි.

ලී එන්ෆීල්ඩ් රයිෆලයට දීර්ඝ ඉතිහාසයක් තියනවා. එය හැකි තරම් සංක්ෂිප්තවයි මම ඉදිරිපත් කරන්නේ. එයට හේතුව නීරස භාවය හැකිතාක් අඩුකර ගැනීමයි. ඔබ දැක ඇති, නැත්නම් අහලා ඇති, අපේ රටේත් ඉස්සර තිබුන, සමහර විට දැනුත් හොරට තියාගෙන ඉන්න, ‘බෙහෙත් කොටන තුවක්කු’ කියන තුවක්කු වර්ගය. බෙහෙත් කොටන කියන්නේ බෙහෙත් දාලා කාට හරි කොටනවා නෙවෙයි. ඒ වර්ගයේ තුවක්කු වලට තිබුනේ පතරොම් නෙවෙයි. තුවක්කුවේ බටය අගින් වෙඩි බෙහෙත් සහ මූනිස්සම් ඇතුළු කරලා කුඩා පුළුන් කෑලි, ඉතා කුඩා රෙදි කෑලි, ඔබලා හීනි දිග ලී කූරකින්, ඒවා හොඳින් හිර වෙන්න කොටනවා. ඒ ලී කූරට කිව්වේ ‘අච්චුක් කූර’ (Ram Rod) කියලා. ඉන්පසු තුවක්කුවේ බටයේ මුල පැත්තේ (තුවක්කුවේ මිට පැත්තේ) ඇති නිපල නමැති ස්ථානයට ගිනි තබනවා. (පසු කාලීනව නිපල මතට ගැස්සිය හැකි කොකෙක් නිර්මාණය කෙරුනා) 

ඉතින් හිතාගන්න පුළුවන් නේද යුද්ධයකදී එක වෙඩිල්ලක් තියලා ඊළඟ වෙඩිල්ල තියන්න කොච්චර වෙලා යන්න ඇද්ද කියලා. (දැනට පාවිච්චි කරන ටී 56 වැනි අවියකින්, ඉතා හොඳින් පුහුණු සොල්දාදුවකුට, විනාඩියකට උණ්ඩ 600 ක් පමණ වෙඩි තැබිය හැකියි.) මෙසේ තුවක්කු කට පැත්තෙන් වෙඩි බෙහෙත් කවලා වෙඩි තියන තුවක්කු හැඳින්වුණේ ‘මස්ල් ලෝඩර්ස්’ (Muzzleloaders) කියලයි. තුවක්කුවේ මිට පැත්තෙන් ඇරලා එතනින් පතරොම් ඇතුළු කරලා වෙඩි තියන ක්‍රමය ආවේ ඊට පස්සේ. එවැනි තුවක්කු වලට කියන්නේ ‘බ්රීච් ලෝඩර්ස්’ (Breech Loaders) කියලයි.
ලී එන්ෆීල්ඩ් රයිෆලයේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ ඇමෙරිකානු ජාතික ‘ජේ.පී. ලී’ නමැත්තායි (1831 – 1904) ඔහු විවිධ තුවක්කු වර්ග නිර්මාණය කිරීමේ පුරෝගාමියෙක්. .303 ලී එන්ෆීල්ඩ් රයිෆලය මුලින්ම නිපදවුනේ එංගලන්තයේ ලන්ඩන් නුවර උප නගරයක් වූ එන්ෆීල්ඩ් ප්‍රදේශයේදී 1902 වර්ෂයේදී. ලී මහතාට කරන ගෞරවයක් වශයෙනුත්, රයිෆලය නිපදවූ ප්‍රදේශයට කෙරෙන ගෞරවයක් වශයෙනුත් මෙය ලී එන්ෆීල්ඩ් රයිෆලය නමින් නම් කරනු ලැබුවා. 

මේ රයිෆලයේ කැලිබර් එක වුනේ .303 ඒ නිසා මේ රයිෆලයේ සම්පූර්ණ නම ‘.303 ලී එන්ෆීල්ඩ් රයිෆලය’ යන්නයි. මෙහි මුල්ම මෝස්‌තර 1880 ගණන් වල සිට බ්‍රිතාන්‍ය හමුදා විසින් භාවිතයට ගැණුනා. කෙසේ වෙතත් 1960 දශකය වනවිට බ්‍රිතාන්‍යය මෙය හමුදාවල පාවිච්චියෙන් ඉවත් කළා. ලංකාවේ මෙය පාවිච්චියෙන් ඉවත් කෙරුනේ 1980 දශකයේ මැද හෝ අග භාගයේදී. අවසාන වරට මෙය ලංකාවේ භාවිත කලේ පොලීසියයි.

සාමාන්‍යයෙන් ගිනි අවියක (firearm) තත්වය, හැකියාව, මනින ලෝක සම්මත මිනුම් දඬු තිබෙනවා. ඒ මිනුම් දඬු අනුව 303 රයිෆලයට ලැබෙන්නේ වැදගත් තැනක්. ඒ ගැන කෙටි විස්තරයක් මේ.
වර්ගීකරණය = බෝල්ට් ඇක්ෂන් රයිෆල්
නිපදවූ රට = මහා බ්‍රිතාන්‍යය
පාවිච්චි කිරීම = 1895 සිට 1960 දශකය දක්වා
ලෝකයේ සමහර රටවල අදටත් පාවිච්චි කෙරේ. කිසිදු රටක අලුතෙන් නිපදවන්නේ නැත.
පාවිච්චි කල විශේෂ අවස්ථා
1 වැනි ලෝක මහා සංග්‍රාමය
2 වැනි ලෝක මහා සංග්‍රාමය
කොරියානු යුද්ධය
අරාබි ඊශ්‍රායල් යුද්ධය
ඇෆ්ඝනිස්තාන් අර්බුදය
නිෂ්පාදන ඉතිහාසය
සැලසුම්කරු = ජේම්ස් පැරිස් ලී
මෙතෙක් නිපදවා ඇති අවි ගණන = 17,000,000 වඩා වැඩිය.
මෙතෙක් නිපදවා ඇති මෝස්‌තර ගණන 13 කි
තුවක්කුවේ දිග = පැරණි මෝස්තරය අඟල් 30 යි. නව මෝස්තරය අඟල් 44 යි.
තුවක්කු බටයේ දිග = අඟල් 25 යි
තුවක්කුවේ බර = රාත්තල් 8.8 (4 කි.ග්රෑම්)
උණ්ඩ පිටවන සාපේක්ෂ ප්‍රවේගය (Muzzle Velocity) = තත්පරයට අඩි 2441 (මීටර් 744)
සාඵල්‍ය දුර (effective range) (වෙඩිල්ලකින් ස්ථිරව ප්‍රතිඵලයක් ලැබෙන උපරිම සීමාව) = යාර 550 යි (මීටර් 503)
වෙඩි උණ්ඩයක් ගමන් කරන උපරිම දුර (maximum range) = යාර 3000 යි (මීටර් 2743)
වරකට තුවක්කුවට යෙදිය හැකි පතරොම් ගණන (magazine capacity) = 10 යි.
කොටස් හැඳින්වීම, වෙඩි තබන හැටි, ආදී තවත් රසවත් තොරතුරු මීළඟට.

12 March 2012

අලුත්ම ත්‍රස්තවාදියා


තලේබාන් කාරයෝ ලෝක කපටියෝ. මෙන්න මුන් අලුත්ම අවියක් නිපදවලා. උන් මේකට කියන්නේ ‘බැටළු රොකට් විදිනය’ ‘Sheep Rocket Launcher’ කියලලු. පේනවා නේද බැටළුවා බලාගෙන ඉන්න මරුමුස් විදිහ. දකිනකොටත් බයේ බෑ. හොඳ වෙලාවට එල්.ටී.ටී.ඊ කාරයෝ මේක ඉගෙන නොගත්තේ. ඉගෙනගත්තනම් යාපනේ පැත්තේ හිටිය එළුවෝ යොදවලා, මේ විදිහටම ‘එළු රොකට් ලෝන්චර්’ එකක් හදන්ඩ ඉඩ තිබුනා. බලන්ඩකෝ මේකා බැටළුවා කියලා නැහැ, හෙල්මට් එක එහෙම දාගෙන ඉන්න ලස්සන. මේකේ වාසි දෙකක් තියනවලු. මිනිසෙක් මේ වැඩේට යොදවන්න අවශ්‍ය නැතිවීම සහ රොකට් පුපුරලා බැටළුවා මැරුනොත් රොකට් බැටළු මස් කන්නට හැකිවීම. නව සොයාගැනීම් පිලිබඳ ගිනස් වාර්තාවකටත් යයිද දන්නේ නැහැ.

11 March 2012

අපේ කාලයේ තුවක්කු

අපි ගතකල පාසල් ශිෂ්‍යභට ජීවිතය හමුදා භටයකුගේ ජීවිතයට සෑහෙන තරම් ආසන්නව තිබුණි. පළමුවෙන්ම ජ්‍යෙෂ්ට ශිෂ්‍ය භටයකු ලෙස අපි ඇන්ද නිළ ඇඳුම යුද භටයකුගේ නිළ ඇඳුමට සර්වප්‍රකාරයෙන්ම සමාන විය. අපේ නිලධාරින් හොඳ පුහුණුවකින් යුත් අයවලුන් වූ අතර, එදා අපට සිටි නිත්‍ය හමුදාවේ උපදේශකයන්, සෑම විටම අපව උනන්දු කරවුයේ, ඉතා ඉහල හමුදා විනයක් පවත්වා ගැනීමටය. ඒ සමගම ඉංග්‍රීසි භාෂාව සැහෙන තරම් පාවිච්චි කිරීමටද සිදුවිය. මම ශිෂ්‍ය භටයකු ලෙස මුලින්ම පුහුණුව ලැබූ 1960 දශකයේදී සමහර ප්‍රධාන පෙලේ පාසල් වල .22 රයිෆල් වලින් යුත් ආයුධාගාර තිබුන අතර එම අවි වලට යොදන පතරොම් ළඟම පොලිස් ස්ථානයේ තබා තිබුණි. වෙඩි තැබීම් පුහුණුව සඳහා කුඩා වෙඩි පිටිද තිබුණි. මේ තත්වය වෙනස් වුයේ 1971 කැරැල්ලෙන් පසුවය. ඒ කාලයේ ශිෂ්‍ය භටයකුට පාසලේ යම් පිළිගැනීමක් තිබුණි. විශේෂයෙන් රෙජිමේන්තු සැරයන් මේජර් තනතුර උසුලන ශිෂ්‍යයාට ගුරුවරුන් පවා විශේෂයෙන් උසස් සැලකීමක් දැක්වුවෝය. එමෙන්ම ඔහු හැසිරුනේද නියම නායකත්ව ලක්ෂණ පිළිබිඹු කරමිනි. ඒ තනතුර දැරූ සිසුන් බොහොමයකට ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරවිය හැකි විය. පසු කාලයේදී අධ්‍යාපනය තරගයකටත් වඩා යුද්ධයක් තත්වයට පත්විය. විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් සිසු දරු දැරියෝ බොහෝ දුරට ඈත් වූහ. ආත්මාර්ථකාමී, යාන්ත්‍රික පරපුරක් බිහිවීම ආරම්භ විය. මෙහි වැරැද්ද සිසුන්ගේ නොවේ. එතනින් එහාට මම ඒ ගැන නොලියමි.
  දැන් මෙන් නොව එකල ශිෂ්‍ය භටයන් වර්ග දෙකක් සිටියහ. ඒ, කනිෂ්ට සහ ජ්‍යෙෂ්ට වශයෙනි. කනිෂ්ට ශිෂ්‍ය භටයකු වයස අවුරුදු 13 – 15 සීමාවේ සිටි අතර ජ්‍යෙෂ්ට ශිෂ්‍ය භටයකු වයස අවුරුදු 16-19 සීමාවේ සිටියේය. ඒ දෙපිරිසට නියමිත නිළ ඇඳුම්ද විය. ඇත්තටම එකල ජ්‍යෙෂ්ට ශිෂ්‍ය භටයෝ හොඳ උස මහත කොල්ලෝ වූහ. (අද නැතුවාම නොවේ) මේ වර්ග දෙකටම අවි පුහුණුව ලැබීමද විශේෂත්වයක් විය. කනිෂ්ට ශිෂ්‍ය භටයන්ට පුහුණුව ලැබුනේ .22 රයිෆලයෙනි. ජ්‍යෙෂ්ට ශිෂ්‍ය භටයන්ට .303 රයිෆලයෙන් සහ මැෂින් තුවක්කුවෙනි. ඉතින් අද මම කියන්නට යන්නේ ඒ තුවක්කු පිලිබඳවය. මේ තුවක්කු වර්ග කිසිවක් අද අපේ රටේ පාවිච්චි නොකරන නිසා, නීතිමය සීමා වලින් තොරව මේ විස්තරය කල හැකියයි සිතමි.
.22 රයිෆලය
  සාමාන්‍යයෙන් තුවක්කුවක ස්වභාවය විස්තර කිරීමේදී එයට යොදන පතරොම් වර්ගය අනුව එම තුවක්කුවේ හැඳින්වීම යෙදේ. පතරොමක පසුපස කෙලවර විෂ්කම්බය අනුව එම හැඳින්වීම සැකසෙයි. මේ තුවක්කුවට යොදන පතරොම හීනි කොච්චි කරලකට මඳක් විශාලය. අඟලකට මඳක් දිගින් වැඩි එය පැන්සලකට වඩා සිහින්ය. එහි පසුපස කෙලවර විෂ්කම්බය අඟල් දශම දෙකයි දෙකකි. (.22) ඒ නිසා මේ රයිෆලය හැඳින්වෙන්නේ .22 රයිෆලය යනුවෙනි.
  ඔබ අසා ඇති බෝර 12 තුවක්කුව බෝර 16 තුවක්කුව වැනි වචන. මුලින්ම කිවයුත්තේ එහි බෝර යන වචනය වැරදියි. නිවැරදි වචනය වන්නේ ‘බෝර්’ Bore යන්නයි. (වාහන එන්ජින් වල ‘බෝර් කරනවා’ කියන්නේ. ඒ වචනය තමයි හරි) බෝර් කියන්නේ තුවක්කුවක පතරොම ඇතුළු කරන ස්ථානය හෙවත් ‘චේම්බර්’ එක chamber  සකසා ඇති මිනුමටයි. එය කැලිබර් calibre කියාද හඳුන්වනවා.
  මේ රයිෆලය මුලින්ම නිර්මාණය කර තිබෙන්නේ 1914 දී පමණ. පළමුවැනි ලෝක යුද්ධ සමයේ ඉතා පුළුල් ලෙස ප්‍රයෝජනයට ගත්, .303 රයිෆලයෙන් පුහුණු කිරීම් සිදු කිරීමේදී, හදිසි අනතුරු සිදුවීම සහ පතරොම් වැයවීම අවම කර ගැනීමේ අරමුණෙන් තමයි, මේ රයිෆලය නිපදවා තිබෙන්නේ. 1921 පමණ වනවිට මෙය ශිෂ්‍ය භටයන් පුහුණු කිරීම සහ වෙඩිතැබීමේ ක්‍රීඩා සඳහා යොදාගන්න රයිෆලය ලෙස සියලුම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පාවිච්චියට ගැනුණා. කුඩා පාසල් සිසුන් වූ අපට මේ රයිෆලය පෙනුනේ කාලතුවක්කුවක් වගේ. කිලෝග්‍රෑම් 5 ක් පමණ බරකින් යුත් මේ රයිෆලයට එක වරකට ඇතුළු කල හැක්කේ එක පතරොමක් පමණයි. වෙනත් තුවක්කුවල මෙන් ‘ඩෝන්’ යනුවෙන් මහා හඬක් සහ පසුපසට විශාල තෙරපුමක් මේ තුවක්කුවේ නැහැ. ‘පටාස්’ හඬක් සහ සුළු ගැස්සීමක් පමණයි දැනෙන්නේ. ඉලක්කයේ සිට මීටර් 25 ක් දුර සිටයි අපි වෙඩි තැබීම පුහුණු වුනේ. මෙහි ඇති ‘බෝල්ට් එක’ ක්‍රියා කරවන්න ‘අලි මස්’ කෑවත් මදි කියලයි පුංචි අපට හිතුනේ. බෝල්ට් එක එපමණ තදයි. බෝල්ට් එක ගැන පසුව විස්තර කරන්නම්.
රයිෆලය / තුවක්කුව. මේ දෙකේ වෙනස මොකක්ද?
  අපි සාමාන්‍ය කතාබහේදී රයිපල් එක, තුවක්කුව, පිස්තෝලය, රිවෝල්වරය, වැනි වචන යෙදුවත්, සමහරු, ඒ තුවක්කු වර්ග වල වෙනස්කම් මොනවාද යන්න දන්නේ නැහැ. ඒ නිසා අපි බලමු ඒ දැනුම වැඩි දියුණු කරගන්න. රයිෆලයට ඒ නම ලැබී තිබෙන්නේ එහි බටයේ ඇතුලත ඇති විශේෂ සැකැස්මක් නිසයි. රයිෆල් බටය ඇතුලත සර්පිලාකාරව කැරකෙන කානු පද්ධතියක් තිබෙනවා. ඒවා හඳුන්වන්නේ ‘රයිෆ්ලින්ග්ස් Rifelings’ කියලයි. කානු දෙකක් අතර උස කොටසක් හෙවත් ගොඩැල්ලක් තියනවා. නමුත් තුවක්කුවක බටයේ ඇතුලත රයිෆ්ලින්ග්ස් නැහැ. එය ජල නළයක ඇතුළත මතුපිට මෙන් සිනිඳුයි. පහත පින්තූර බලන්න.
  ඔබ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි නරඹා තිබෙනවාද? ඒ චිත්‍රපටි වල නාමාවලිය දැක්වෙන අවස්ථාවේදී, ජේම්ස් බොන්ඩ් වෙඩි පහරක් එල්ල කරන දර්ශනයක් තිබෙනවා. ඒ දර්ශනය සකස් කර තිබෙන්නේ රයිෆල් බටයක් තුලින් බලන ආකාරයටයි. මෙන්න ඒ පින්තූරය.
දැන් ඔබට රයිෆලය සහ තුවක්කුව අතර වෙනස වැටහෙනවාද? මේ දෙකේ වාසි අවාසි මොනවාද? රයිෆලයේ ඇති කානු සහ ගොඩැලි සහිත බටය, එයට යොදන උණ්ඩයට වඩා මඳක් සිහින්. මේ නිසා උණ්ඩයට දැඩි පීඩනයක් ලැබෙන අතර කානු නිසා උණ්ඩයට කරකැවීමක් ලැබෙනවා. ඒ නිසා උණ්ඩය ගමන් කරන්නේ තම අක්ෂය වටා වේගයෙන් කරකැවෙමින්. එහි ප්‍රතිඵලය වන්නේ ඝන වස්තුවක් හිල් කරගෙන යාමට හැකියාව ලැබීමයි. නමුත් තුවක්කුවක බටය සිනිඳු නිසා එයට යොදන පතරොමක ඇති මූනිස්සම් තුවක්කුවෙන් පිටවන්නේ පුනීලයක හැඩයට විසිරෙමින්. මේ නිසා ඝන මතුපිටක් විනිවිද යාමේ හැකියාව අඩුයි. නමුත් කුරුල්ලෙකුට, දුවන මිනිසුන් පිරිසකට වෙඩි තැබීමට වඩාත් සුදුසු තුවක්කුවයි. කුරුල්ලා පියාඹමින් සිටින නිසාත් මිනිසුන් දුවන නිසාත් තනි උණ්ඩ සහිත රයිෆලයෙන් වෙඩි තැබීමේදී වැරදීමට ඇති අවස්ථාව වැඩියි. තුවක්කුවේ මූනිස්සම් විසිරී යන නිසා එක මූනිස්සමක් හෝ වදිනවා. නමුත් යුද කටයුතු වලදී අද යොදාගන්නේ ස්වයංක්‍රීය රයිෆල් නිසා ඒ අඩුව පිරිමැසෙනවා.
ඊළඟ කොටසෙන් තවත් විස්තර කියන්නම්.

08 March 2012

පළමුවැනි සතුරාගේ මරණය


1985 මාර්තු 8 වැනිදා උදේ 6 ට ආසන්නයි. මේ දවසත් වෙලාවත් මා මියයනතුරු අමතක වෙන්නේ නැහැ. 

මම ඒ කාලයේ යුද හමුදාවේ ‘තනි තරුවේ’ කියාගෙන හිටිය කාලේ. පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ ‘පූනානි’ කියන ප්‍රදේශයේ තමයි මම සේවය කලේ. ඒ දිනවල එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය බලය තහවුරු කරගන්නට ආරක්ෂක හමුදා සමග නිතර සටන් වැදුනා. එයින් බොහොමයක් සැඟවී සිට එල්ල කරන ප්‍රහාර. මේවා මැඩපැවැත්වීමට ආරක්ෂක හමුදා ද ඉතා සූක්ෂ්මව හා සංවිධානාත්මකව සටන් කළා. 

1985 මාර්තු මස 7 වැනිදා එවකට මා සිටි කඳවුරේ අණදෙන නිලධාරි වරයාගෙන් නියෝගයක් ලැබුනා, මා අණදුන් භට ඛණ්ඩය, (Platoon) සතුරා ගමන් කරනු ඇති බවට බුද්ධි තොරතුරු ලැබී තිබුණු, කැළෑබද අඩි පාරක යොදවා, රාත්‍රී කාලයේදී රැකසිට පහරදීමක් කරන ලෙස. එදින සවස 2 සිට සවස 4 වනතුරු මා මේ පිළිබඳව කෙටි පුනරීක්ෂණ පුහුණුව සහ අනෙකුත් උපදෙස් මගේ ඛණ්ඩයට ලබා දුන්නා. 

මට හිටිය ඛණ්ඩ භාර සැරයන් ඇත්තටම දක්ෂයෙක්. ඒ කාලයේ අපි තරුණ නිලධාරින් ලෙස, තවම යුද හමුදාවට අලුත් නිසා, බොහෝ දේවල් ගැන අසා දැනගන්නේ අත්දැකීම් බහුල, කෝප්‍රල් වරුන්ගෙන්, සැරයන් වරුන්ගෙන්, සැරයන් මේජර් වරුන්ගෙන්.

එදින රාත්‍රී 7 ට පමණ මා මගේ ඛණ්ඩයද රැගෙන රැකසිට පහරදීම සඳහා පිටත් වුනා. රාත්‍රී 8.30 වනවිට අපි සතුරා බලාපොරොත්තුවෙන් පහරදීම සඳහා ස්ථානගත වුනා. රැකසිට පහරදීමකදී ඉතා දැඩි විනයක් අවශ්‍යයි. හයියෙන් හුස්ම ගැනීම පවා නොකළ යුතුයි. එයත් සතුරාට ඇහෙන්නට පුළුවන්. (අපි පුහුණු වෙන කාලේ මගේ ‘අතීසාර’ මිත්‍රයෙක් රැකසිට පහරදීම පුහුණුවට ගිහිල්ලා, අඹේවෙල ප්‍රදේශයේ මහ රෑ මර හීතලේ ඉන්න ගමන් දන්නෙම නැතුව නින්දට වැටුනා. ටිකකින් මේකා ‘ලී ඉරනවා’ අඹේවෙල කැළෑව දෙවනත් වෙන්ඩ. පුහුණුවේදී අපේ සතුරන් හැටියට එන්නේ අපේ පුහුණු උපදේශකයෝ. සද්දේ ඉවසන්ඩම බැරි තැන මම කිව්වා ‘ගොරවන්නැතුව බුදියගනින් . . . .කෝ’ කියලා. මුගේ ගෙරවිල්ලයි මගේ ගොරනාඩුවයි ‘සතුරන්ට’ ඇහුනා. සතුරෝ ඇවිත් අපේ කණ්ඩායමම සීතල වතුරෙන් නෑව්වා.) 

ඉතින් එදා පූනානි වලදී මම හිතාගත්තා ‘අදනම් ආවොත් දෙනවා ඕකුන්ට කුඩු යන්ඩ’ කියලා. මුළු රෑම රැකගෙන හිටියත් බල්ලෙක්වත් ආවේ නැහැ. (සමහර විට දවස් ගණන් රැකගෙන ඉඳලා සාර්ථකව වැඩේ දීපු අවස්ථා තියනවා) ඔන්න අපි එලිය වැටීගෙන එනකොට ආපහු එන්ඩ පිටත් වුනා. මීටර් 500 ක් විතර එනකොට නිදිමත නිසා මම ‘සරාගොයියා’ වගේ තුවක්කුව කරේ තියාගෙන එහි බටයේ අග්ගිස්සෙන් අල්ලාගෙන තමයි ආවේ. ඉදිරියෙන්ම ගියේ සැරයන්. ඊළඟට අපේ කොල්ලෝ දෙන්නෙක්. ඊළඟට මම. 

එක පාරටම පට පටාස් ගාලා සද්දයක් ආවා. මගේ කන ලඟින් ඉතා උණුසුම් වායු ධාරා කීපයක් යනවා දැනුනා. ඒවා මගේ ජීවිතය පැහර ගන්නට එල්ලවූ සතුරු වෙඩි උණ්ඩ බව තේරුනේ පසුවයි. (තේරුනේ. . . දැන් තමයි) මට හිතාගන්න බැරිවුනා මොකක්ද වෙන්නේ, මොකද කරන්නේ කියලා. සැරයන් කෑගැහුවා ඩවුන් ඩවුන් (වහාම බිම දිගාවෙන්න) කියලා. මම ඩවුන් යනකොට සැරයන්ගේ මල පූනානි වලටත් උඩින් පැනලා. ‘සර් මොන ප .. . . ද කරන්නේ වෙඩි තියන්ඩ’ කියලා සැරයන් කෑගැහුවා. 

තුවක්කුව වෙඩි තැබීමේ ඉරියව්වට ගත්ත ගමන් මා දුටුවේ වෙඩිතබාගෙන අප දෙසට දුවගෙන එන කළු ඇඳුම් ඇඳගත් හත් අට දෙනෙකු පමණ පිරිසක්. ඔවුන් සිටියේ අපට මීටර් 100 කටත් අඩු දුරකින්. ඒ සතුරාගේ තොරතුරු සෙවීමේ මුර සංචාරයක්. (Reconnaissance Patrol) මම වහාම වෙඩි වැලක් (burst) මගේ ටී 56 තුවක්කුවෙන් මුදා හැරියා. ඉදිරියෙන්ම ආ සතුරෙකුගේ මුහුණට වැදුණු මගේ වෙඩි වලින් ඔහුගේ ඔලුව කුඩුවෙනු මම හොඳින්ම දැක්කා. වෙඩි හුවමාරුව විනාඩි 5 ක් වත් තිබුනේ නැහැ. සතුරන් 4 දෙනෙක් මියගොස් සිටියා. තුවාලවී සිටි දෙන්නෙක් අල්ලාගත්තා. අපේ දෙන්නෙකුට සාමාන්‍ය තුවාල තිබුනා. මම වහාම කඳවුරට ගුවන්විදුලි මගින් කතාකලා. අධාරක භට පිරිස් පැමිණ කඳවුරට අපව කැටුව ආවා. මට තිබුනේ සීරීම් තුවාල පමණයි. සැරයන්ට කිසිම තුවාලක් නැහැ.

කඳවුරට එනතුරුත් අර දර්ශනය මගේ හිතේ හොල්මන් කරන්න වුනා. ‘ෂිහ්. . . මම මිනිහෙක් මැරුවනේ’ යන සිතුවිල්ල මට මහා වදයක් වුනා. එදා දවසම මම කිසිම දෙයක් කෑවේ නැහැ. වතුර විතරයි බිව්වේ. මගේ හමුදා සගයින් මට නොයෙක් ආකාරයෙන් කරුණු කිව්වත් මගේ හිතේ අවුල එලෙසම තිබුනා. බැරිම තැන මගේ සගයින් මෙය කඳවුරේ අණදෙන නිලධාරි තුමාට වාර්තා කර තිබුනා. 

රාත්‍රී 9 ට පමණ මට පණිවිඩයක් ලැබුනා සාමාන්‍ය (සිවිල්) ඇඳුමකින් සැරසී අණදෙන නිලධාරි තුමාගේ පෞද්ගලික නිවස්නයට (chalet) පැමිණෙන ලෙස. ‘මොකද්ද යකෝ මේ වෙන්ඩ යන්නේ’ කියා සිතමින් මා එහි ගියා. සීරුවෙන් සිට ‘ගුඩ් ඊවිනින්ග් සර්’ කියා ගෞරව දැක්වුවා. ‘හායි යන්ග් මෑන්, කම් කම්’ කියා ඔහු මා කැඳවාගෙන අමුත්තන් පිළිගන්න සැටියේ වාඩි වෙන්නට කිව්වා.
  අපි ඒ කාලේදී අණදෙන නිලධාරි තුමාට තියන ගෞරවය අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මම වාඩි නොවුන නිසා ඔහු මා අල්ලා වාඩි කෙරෙව්වා. ඔහුත් ඒ සැටියේ අනික් කොනේ වාඩි වුනා. වේටරයෙක් බීම ට්‍රොලියක් තල්ලු කරගෙන ආව. එහි විස්කි, බ්‍රැන්ඩි, ජින්, වොඩ්කා, අරක්කු, සියල්ල තිබුනා. ‘කම් ලෙට්ස් හෑව් අ ඩ්‍රින්ක්’ ඔහු කිව්වා. සාමාන්‍යයෙන් එය නියෝගයක් ලෙසයි සැලකිය යුත්තේ. 

‘සර් ඉෆ් යූ ඩෝන්ට් මයින්ඩ් අයි ඈම් නොට් ඉන් අ මූඩ් ටු ඩ්‍රින්ක්’ මම කිව්වා. ‘ඕ කමෝන් මෑන් ඩෝන්ට් බී සිලි’ කිව් අණදෙන නිලධාරි තුමා වීදුරුවකින් බාගයක් පිරෙන්න විස්කි වත්කර, ‘නවු අයි ඈම් ඕඩරින්ග් යූ ටු ඩ්‍රින්ක්’ කිව්වා. ඔහුගේ හඬේ ස්වරය නිසාම බයවූ මම ගුඩුස් ගා ‘බොටම් අප්’ එකක් කළා. ගිනි ගුලියක් වගේ විස්කි ටික බඩට ගියා. 

ඔහු මට කරුණු පැහැදිලි කරන්නට පටන් ගත්තා. ‘අයිසේ, තමුසෙවත් මමවත් මේ ආමි එකට බැඳුණේ, මම අර මිනිහා මරනවා, මම මේ මිනිහා මරනවා, කියලා හිතලා නෙවෙයිනේ. අනික යුද්ධ කරනවා කියන්නේ මොකක්ද මිනිහෝ, දෙපැත්තකට බෙදිලා මරාගන්න එක නෙවෙයිද? තමුසේ ආමි එකට බැඳුණේ ආමි එකේ කොල්ලන්ට බනිස් බෙදන්ඩද? මතක තියාගන්නවා යුද්ධයේදී දෙවෙනි ස්ථානයක් ඒ කියන්නේ අනු ශූරතාවයක් නැහැ. ඉස්සර වෙච්ච එකා දිනුම්. අද තමුසේ ඉස්සර වුන නිසා තමුසෙගෙ පවුලේ අයට තමුසෙව ඉතුරු වුනා. ආමි එකට තමුසෙව ඉතුරු වුනා. ටිකක් හිතලා බලනවා’. ආදී වශයෙන් පැයක් පමණ මට අවවාද කර මා පිටත් කලේ රාත්‍රී ආහාරයද ලබා දීමෙන් පසුවයි.
  එතුමාගේ මේ අවවාදය මා අණදෙන නිලධාරියකු වූ පසුව මට මහත් ආදර්ශයක් වුනා.

07 March 2012

අංකල් සෑම් යුද්ධ කරපු හැටි


පහේ පන්තිය භාර ටීචර් ළමයින්ට පැවරුමක් දුන්නා. හෙට එනකොට හැම දෙනාම තමන්ගේ දෙමවුපියන්ගෙන් හෝ වැඩිහිටියෙකුගෙන් කතාවක් අහලා ඉගෙනගෙන එන්න ඕනේ. ඒ වගේම ඒ කතාවේ අවසානයට මොකක් හරි ආදර්ශයක් ගන්නට පුළුවන් දෙයක් තියෙන්නටත් ඕනේ. ඔන්න ඉතින් පහුවදා එක එක ළමයා පන්තියේදී තමන් ඉගෙනගෙන ආව කතාව කියනවා. මුලින්ම ‘හිමාලි’ ගේ වාරය. මෙන්න හිමාලිගේ කතාව. අපේ තාත්තට ලොකූ කුකුල් කොටුවක් තියනවා. එකේ ඉන්න කිකිලියෝ බිත්තර ගොඩාක් දානවා. එක දවසක් අපේ තාත්තා බිත්තර ගොඩාක් ප්ලාස්ටික් බේසමක දාගෙන, ඒ බේසම අපේ ඩබල් කැබ් එකේ ඉස්සරහ සීට් එක උඩ තියාගෙන, පොලට අරන් ගියා විකුනන්න. අතරමගදී කැබ් එකේ ඉස්සරහ රෝදයක් පාරේ තිබුන වලකට වැටිලා ගැස්සිලා බිත්තර ඔක්කොම උඩින් ගිහින් කැබ් එකේ ඉස්සරහ වීදුරුවේ වැදිලා කුඩු වෙලා හරිම ජංජාලයක් වුණා.
ඉතින් මොකක්ද මේ කතාවෙන් ගන්න ආදර්ශය? ටීචර් ඇහුවා. ‘තමන්ගේ බිත්තර ඔක්කොම එක භාජනයක ගෙනියන්න එපා කියන එකයි ආදර්ශය’ පුංචි හිමාලි උත්තර දුන්නා. බොහොම හොඳයි. ටීචර් කිව්වා.
ඊළඟ කතාව කියන්න ආවේ ‘තරුෂි’. තරුෂි කියපු කතාව මේකයි. අපිත් ගෙදර කුකුල්ලු ඇති කරනවා. දවසක් මම බිත්තර ගොඩාක් රකින්න තිබ්බා. අනේ ඒ වුනාට එයින් දෙක තුනකින් විතරයි කුකුල් පැටවූ ආවේ. තරුෂි කිව්වා.
ඉතින් මොකක්ද ඒ කතාවෙන් ගන්න ආදර්ශය? ටීචර් ඇහුවා. බිත්තර ටික රකින්නත් කලින් කුකුල් පැටවූ ගනින්න උත්සාහ කරන්න එපා කියන එකයි ආදර්ශය. තරුෂි උත්තර දුන්නා. බොහෝම හොඳයි, ටීචර් කිව්වා.
ඊළඟ වාරය සිරිපාලගේ. හොඳයි සිරිපාල මොකක්ද ඔයාගේ කතාව? ටීචර් ඇහුවා. ටීච, මේ කතාවත් එයින් ගතයුතු ආදර්ශයත් මට කියලා දුන්නේ අපේ තාත්තා. අපේ සෑම් අංකල්, පහුගිය යුද්ද කාලේ, එයාගේ හෙලිකොප්ටර් එක පදවාගෙන, එල්.ටී.ටී.ඊ. කෑම්ප් එකක් උඩින් යද්දී, එල්.ටී.ටී.ඊ. එකෙන් වෙඩි තියලා හෙලිකොප්ටර් එක එල්.ටී.ටී.ඊ කාරයෝ සීයක් ඉන්න කෑම්ප් එකකට කඩාවැටිලා.
‘දෙයියනේ’ . . . . . . .කියලා හුස්මක් ඉහළට ගත් මුළු පන්තියම ගල් ගැහිලා කතාව අහනවා. ඉතින් ඉතින්, ටීචර් කිව්වා. ඉතින් ටීච, හෙලිකොප්ටරේ කඩා වැටුනට සෑම් අංකල්ට කිසිම තුවාලයක් වෙලා නැහැ. ඒ වගේම එයාගේ මැෂින් තුවක්කුවයි, ලොකු කැළෑ පිහියයි, විස්කි බෝතලෙකුයි තිබිලා තියනවා කිසිම හානියක් නැතුව. අංකල් සෑම් ගුඩු ගුඩු ගාලා කටට තියාගෙන මුළු විස්කි බෝතලේම බිව්වලු. ඊළඟට ‘පුලුවන්නම් වරෙල්ලා’ කියාගෙන පැන්නලු එල්.ටී.ටී.ඊ. කාරයෝ මැද්දට. පැනලා මැෂින් තුවක්කුවෙන් වෙඩි තියාගෙන තියාගෙන ගියාලු වටේටම. එල්.ටී.ටී.ඊ. කාරයෝ හැත්තෑවක් මැරිලා වැටුනලු එතනම. පතරොම් ඉවර නිසා මැෂින් තුවක්කුව පැත්තකට විසි කරලා, සෑම් අංකල් ගත්තලු ලොකු කැළෑ පිහිය අතට. ඒකෙන් කොටාගෙන කොටාගෙන ගියාලු තව එල්.ටී.ටී.ඊ. කාරයෝ විස්සකට, පිහිය තලේ මිටෙන් ගැලවෙනකල්ම. ඊළඟට හිස් විස්කි බෝතලේ ගලක ගහලා කඩලා එකෙන් ඇණගෙන ඇණගෙන ගියාලු ඉතුරු එල්.ටී.ටී.ඊ. කාරයෝ දහදෙනාම මැරෙන්ඩ. සිරිපාල කතාව අවසන් කළා.
ඉතින් මොකක්ද මේ කතාවෙන් ගන්න ආදර්ශය? ටීචර් ඇහුවා. ‘සෑම් අංකල් කාපු බීපු වෙලාවට කියන කතා ගණන් ගන්න එපා කියන එකයි ආදර්ශය’ සිරිපාල කිව්වා.

‘නයිට් කොම්පස් මාච් යන්නේ’ මෙහෙමයි

පාබල හමුදා සොල්දාදුවකු, ලෝකයේ ඕනෑම ස්ථානයක, ඕනෑම වෙලාවක, ඕනෑම දේශගුණික තත්වයක් යටතේ සටන් කිරීමටයි පුහුණු කරන්නේ. සොල්දාදුවකු ඒ සඳහා එෆ්.ඊ. FE (Forwarded Everywhere) යන වෛද්‍ය වර්ග කිරීම (වෛද්ය වර්ග කිරීම යනු සොල්දාදුවකුගේ ශාරීරික/මානසික යෝග්‍යතාවය පිළිබඳව දෙනු ලබන වෛද්‍ය නිර්දේශයකි) ලබා සිටිය යුතුයි. 

පාබල සොල්දාදුවා ගොඩබිමෙන් හෝ අහසින් හෝ මුහුදෙන් හෝ ප්‍රවාහනය කර, භූමියේ කිසියම් ස්ථානයක ගොඩ බැස්සවූ විට, තම අත ඇති සිතියම සහ මාලිමා යන්ත්‍රය ආධාරයෙන් පාර සොයාගෙන එතැන් සිට අවශ්‍ය ස්ථානයට යාම සඳහා පුහුණු කර ඇත. දහවල් කාලයේදී මෙය එතරම් අපහසු නොවන ක්‍රියාවක් විය හැකි වුවද, රාත්‍රී කාලයේදී එය විශාල අභියෝගයකි. මේ සියල්ල කිරීමට පෙර සොල්දාදුවා සිතියම් කියවීම දැන සිටිය යුතුය. 

සිතියම් කියවීම පිළිබඳව යුද හමුදා භාෂාවෙන් ඇති නිර්වචනය ගැන නොසිතා, සරල භාෂාවෙන් කියන්නේනම්,

‘භූගෝල විද්‍යානුකූල න්‍යායන් පදනම් කරගනිමින්, කඩදාසියක හෝ එවැනි පැතලි තලයක, විවිධ වර්ණ, අකුරු, සංකේත, හැඩතල, ආදිය යොදාගනිමින් අඳින ලද සටහනක් කියවා, එය ත්‍රිමාන ස්වරූපයෙන් අවබෝධ කරගැනීම’ සිතියම් කියවීමයි.

ඉදින් මේ සඳහා භූගෝල විද්‍යාව පිලිබඳ පී.එච්.ඩී. උපාධියක් අවශ්‍ය නොවේ. සිතන නුවන සහ අවබෝධයයි වැදගත්. මීට කලින් ලිපියේ සඳහන්, යුද හමුදාව පාවිච්චි කරන, ‘ග්‍රිඩ් සිතියම්’ ගැන කිව්වා ඔබට මතක ඇති. සිතියමක තිබෙන සියලු සංකේත ගැන මා මෙහිදී කියන්නට යන්නේ නැහැ. නමුත් පොලොව මතුපිට ඇති නිශ්චල වස්තුවක පිහිටීම නිවැරදිව ප්‍රකාශ කරන්නට අර ග්‍රිඩ් රේඛා ආධාර වන්නේ කෙසේද යන්න පමණක් කියන්නම්. 

මා කලින් ලිපියේ සඳහන් කල පරිදි, ග්‍රිඩ් රේඛා යනු, අක්ෂාංශ රේඛා සහ දේශාංශ රේඛා ආශ්‍රිතව, පොළොවේ මීටර් 1000 ක පරතරය පෙන්වීම පිණිස, සිතියමේ ඇඳ ඇති රේඛා විශේෂයක්. අක්ෂාංශ ඇසුරෙන් ඇඳ ඇති රේඛා ‘නොර්තින්ග්ස්’ ලෙසත්, දේශාංශ ඇසුරෙන් ඇඳ ඇති රේඛා ‘ඊස්ටින්ග්ස්’ ලෙසත් හඳුන්වනවා. (ලෝකයේ වෙනත් ප්‍රදේශ වලදී මේ නම් වෙනස් වෙනවා. මේ කිව්වේ අපි ඉන්න කලාපයට අදාළ, නම්)
සුදු පාට කොටුවේ ඇති රේඛා වලින් ඔබට ග්‍රිඩ් රේඛා පිලිබඳ අවබෝධය ලැබෙනවා ඇති. ඊස්ටින්ග්ස් බටහිර සිට නැගෙනහිර දෙසට යනවිට අගයෙන් වැඩි වෙනවා. 76, 77, 78, 79, ආදී වශයෙන්. නොතින්ග්ස් දකුණේ සිට උතුරට යනවිට අගයෙන් වැඩි වෙනවා 98, 99, 00 (100), 01 (101), ආදී වශයෙන්. මේ රේඛා දෙකක් අතර පරතරය සමාන කොටස් 10 කට බෙදා දක්වා තිබෙනවා දැක්කාද? ඒ විදිහට රේඛා ඇන්දොත් එම රේඛා දෙකක් අතර පරතරය මීටර් 100 යි.

ඊළඟ රූපෙයේ තිබෙන්නේ 1:50000 පරිමාණයෙන් අන්දිනලද සිතියමක කොටසක්. එහි කලුපාට ඉලක්කම් වලින් 98 සිට 03 දක්වා ඇත්තේ ඊස්ටින්ග්ස්. 31 සිට 34 දක්වා ඇත්තේ නොතින්ග්ස්. මම කිව්වා මේ රේඛා ආධාර කරගෙන පොලොව මත ස්ථිරව පිහිටි දෙයක පිහිටීම නිවැරදිව ප්‍රකාශ කල හැකියි කියා. මොහොතකට හිතන්න ඔබ මෙම සිතියම අතේ තියාගෙන භූමියේ ඉන්නවා. ඔබට අවශ්‍යයි දුරක සිටින කෙනෙකුට ගුවන් විදුලි පණිවිඩයකින් සිතියමේ තිබෙන දෙයක් කියන්න. ඔහුගේ අතෙත් මේ සිතියමේ පිටපතක් තිබෙනවා. නමුත් ඔබ දෙදෙනාම සිතියම් කියවීම දන්නේ නැත්නම් වචන කී දාහක් වැය කිරීමට සිදුවේද? කොපමණ කාලයක් අපතේ යයිද? එතකොට සතුරා ඇවිත් අපේ ජන්ගියත් ගලවාගෙන යයි. ඒ නිසා මේ ග්‍රිඩ් රේඛා මගින් පිහිටීම ප්‍රකාශ කිරීම නිවැරදියි, ශාස්ත්‍රානුකූලයි.

හොඳයි ඔබට පෙනෙනවාද මේ සිතියමේ එක කොටුවක හතර මායිම කළුපාටින් දක්වා තියනවා? ඒ කොටුව තුල ‘මාගම’ නමැති ගම තියනවා. දැන් ඔබ කොහොමද මාගම තියන තැන කියන්නේ? හරිම පහසුයි ඔබ කලයුත්තේ මාගමට බටහිරෙන් ඇති ඊස්ටින්ග් එකේ අංකය සහ මාගමට දකුනෙනේ ඇති නොතින්ග් එකේ අංකය ප්‍රකාශ කිරීමයි. ඒ අනුව මාගම පිහිටා තියෙන්නේ 02 32 කියන ග්‍රිඩ් කොටුවේ. මෙය ලියන විට 02 සහ 32 අතර පරතරයක් නොතබා 0232 ලෙසයි ලියන්නේ. 

මෙලෙස ඉලක්කම් හතරකින් පිහිටීම ප්‍රකාශ කිරීමට කියන්නේ ‘ඉලක්කම් හතරේ ග්‍රිඩ් නිර්දේශය’ (Four Figure Grid Reference) කියලයි. සිතියමේ තව තැනක තියනවා රතු තිතකින් ‘ගල්කන්ද’ කියලා කඳු මුදුනක්. එය ග්‍රිඩ් කොටුවක් පුරා විහිදුන එකක් නෙවෙයි අපි හිතමු ඔය කඳු මුදුනේ සතුරාගේ කාලතුවක්කුවක් තියාගෙන අපට හෝ ගාලා වෙඩි තියනවා කියලා. 

ඉතින් අර ග්‍රිඩ් කොටුවම වනසනු කියලා අපේ කාලතුවක්කු හමුදාවට හෝ ගුවන් හමුදාවට කීම සුදුසු මදි. ඒ අවට සතුරන් නොවන අහිංසක මිනිසුන්ගේ ජනාවාස තිබිය හැකියි. (ඔන්න මානව හිමිකම් රැකීම) අනික, එක කාලතුවක්කුවකට බැටේ දීමට වෙඩි දහස් ගණනක් වැය කිරීම මෝඩ වැඩක්. ඒ නිසා හරියටම තැන කිව්වනම් ‘කෆීර් එකක්’ ඇවිල්ල වැඩේ දීලා යයි. ‘ෂින්’ ගාලා. ඉතින් කොහොමද මේක කියන්නේ? මෙතැනදී අපි අර කඳු මුදුන තියන කොටුව සමාන කොටස් දහයකට බෙදා ගන්නවා. ඔබ දක්ෂයෙක් නම් සිතෙන් ඒ බෙදීම කල හැකියි. නැත්නම් මාලිමාවේ ඇති පතුල් තහඩුව අඩි රූලක් මෙන් පාවිච්චි කල හැකියි. 

හොඳයි ඒ විදිහට බලමු කඳු මුදුනේ පිහිටීම. කඳු මුදුනට බටහිරෙන් තියන ඊස්ටින්ග් එක 00 එහි සිට 01 රේඛාව දක්වා පරතරය සමාන කොටස් දහයකට බෙදුවිට කඳු මුදුන තියෙන්නේ 00 3 කියල හිතමු. ඒ වගේම කඳු මුදුනට දකුණෙන් තියන නොතින්ග් එක තමයි 31 එහිසිට 32 දක්වා පරතරය 10 ට බෙදුවොත් කඳුමුදුන තියෙන්නේ 31 8 හරියේ. දැන් අපි මෙය ප්‍රකාශයර පත්කරන්නේ මෙහෙමයි. කටින් කියනවානම් කියන්නේ ‘බින්දු දෙකයි තුන, තිස් එකයි අට’ (බින්දු දෙකේ අට තිස් එකේ තුන කීම ටිකක් හරි මදි) ඉංග්‍රීසියෙන් කියන්නේ (Double zero three, thirty one eight) කියලයි. ලියන්නේ 003318 විදිහටයි මේ ක්‍රමයට අපි කියනවා ‘ඉලක්කම් හයේ ග්‍රිඩ් නිර්දේශ ක්‍රමය’ (Six Figure Grid Reference) කියලා.

හරි, ඉක්මනට කොම්පස් එකත් අරන් බහිමු කළුවරට. දැන් අපිව මුලින්ම භූමියේ නිශ්චිත තැනකට ගෙනයනවා. අපි මුලින්ම කල යුත්තේ මහ පොළොවේ උතුර තිබෙන දිසාවට සිතියමෙත් උතුර පිහිටන ආකාරයට සිතියම සකස් කර ගැනීමයි (වැරදුනොත් උතුර දකුණ නැහැ) ඒ සඳහා සිතියම පොළොවේ හෝ පැතලි මතුපිටක (ලෝහමය මතුපිටවල් බැහැ. මාලිමාව වෙනස් වෙනවා)  එලා, ඒ මත කොම්පස්  එක තබා, සිතියමේ චුම්බක උතුර පෙන්වන රේඛාව මත, කොම්පස් එකේ උතුරු සලකුණ පිහිටනසේ තබා, උතුරු කටුව සහ සිතියමේ චුම්බක උතුරු රේඛාව එක මත එක පිහිටනසේ (සමපාත වනතුරු) සෙමින් සිතියම කරකැවීමයි. දැන් අපට භූමියේ අපි ඉන්න තැන ගැන සතුටුදායක අවබෝධයක් තිබෙනවා.

මීළඟට අපට උපදෙස් ලැබෙන්නේ මෙහිසිට මෙපමණ අංශක ගණනක කෝණයකට මෙපමණ දුරක් යනු. එතැන්සිට මෙපමණ අංශක ගණනක කෝණයකට මෙපමණ දුරක් යනු ආදී වශයෙන් විස්තරයක්. මෙහිදී මුලින්ම කරන්නේ, මාලිමාවේ හිස කෙස් ගසක් වැනි සිහින් රේඛාව හා එක එල්ලේ අප යායුතු අංශක ගණන සිටින සේ මාලිමා පාත්‍රය (Compass Housing) කරකැවීමයි. ඉන්පසු දිගංශ රේඛා සහ උතුරු කටුව සමපාත වන තුරු, මාලිමාව අතේ තිබෙන තැනැත්තා, එකතැන කරකැවිය යුතුයි. එසේ සමපාතවුවිට ශීර්ෂ රේඛාව පිහිටා තිබෙන්නේ අප යායුතු දිශාවටයි. දැන් මාලිමාව වෙනස් වීමට ඉඩ නොදී පියවර ගණන් කරමින් නියමිත දිශාවට යායුතුයි. ඔබේ පහසුව සඳහා සිල්වා කොම්පස් කීපයක පින්තූර මේ සමග එක්කරනවා.

05 March 2012

නයිට් කොම්පස් මාර්ච් Night Compass March

තාක්ෂණික දියුණුවට සමගාමීව වර්තමාන ලෝකවාසීන්ගේ ජීවිතය වෙනස් වන්නේ සිතාගත නොහැකි වේගයකිනි. මෙයට හොඳම උදාහරණය වන්නේ පරිගණකයයි. මම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටියේ 1968 වසරේදීය. එකල පරිගණකයෙන් ප්‍රතිඵල නිකුත්කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සතුව පරිගණක පහසුකම් තිබුනේ නැත. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතුව තිබුණු පරිගණකය ඒ සඳහා යොදා ගැනුනි. 

ඒ පරිගණකය පිලිබඳ තොරතුරු එකල පුවත්පත්වල පල වුනේ විශාල හෙඩින් සමගය. එම පරිගණකය වෙනම කාමරයක තැබිය යුතු අති විශාල ‘පරිගණක යන්ත්‍ර රාජයෙක්’ බවත්, වායු සමනය කල එම කාමරය දූවිලි ප්‍රතිරෝධක පියවර යටතේ ඇතුළුවීම සීමා කළ, අතිශයින් ආරක්ෂාකාරී සහ රහස්‍ය, ස්ථානයක් බව කියවූවා මට මතකය. මෙන්න එම පරිගණකයෙන් නිකුත් කළ මගේ ප්‍රතිඵල ලේඛනය. අදටත් මෙය සුරැකිව මා අත තිබේ.

සාමාන්‍යයෙන් පුංචි චූර්ණිකාවක් නොකියා කතාවක් කීමේ රසයක් නැත. එදා ප්‍රතිඵල ලේඛනය අද කෞතුක වස්තුවකි. එදා මහා තාක්ෂණික වික්‍රම කියා අප දුටු දේවල් අද නිකම් සෙල්ලම් බඩුය. මේ කියන්නට යන්නේ එදා පාසල් ශිෂ්‍ය භටයන් වශයෙන් අප කළ අසීරු අභ්‍යාසයක තොරතුරුය. නවීන තාක්ෂණයට පින් සිදු වන්නට අද යුද තාක්ෂණයෙන් දියුණු රටක හමුදා සොල්දාදුවකුට මෙතරම් අසීරුතාවක් යුද බිමේ ගමන් කිරීමේදී පැන නොනගී. එහෙත් අපේ යුද හමුදාව මේ තාක්ෂණය එල්.ටී.ටී.ඊ. යුද්ධයේදී ද සමහර අවස්ථා වලදී භාවිත කළා.

යුද බිමට යන සොල්දාදුවකු අත තිබිය යුතු වැදගත් දේ අතර අවි ආයුධ, පතරොම්, බෝම්බ, හැරුණුවිට තමන් සිටින ප්‍රදේශයේ සිතියම සහ මාලිමා යන්ත්‍රයට ලැබෙන්නේ විශාල වැදගත්කමක්. යුද කටයුතු සඳහා වර්තමානයේදී බහුල වශයෙන් පාවිච්චි කරන්නේ 1 : 50000 පරිමාණයෙන් යුත් සිතියම්. අපි පාසල් ගිය කාලයේ පාවිච්චි කලේ 1:63360 පරිමාණයෙන් යුත් සිතියම් ඒවා අතර වෙනස වන්නේ අපි ඉම්පීරියල් හෙවත් අධ්රාජ්‍ය ක්‍රමය පාවිච්චි කල අතර වර්තමානයේදී මෙට්‍රික් ක්‍රමය යොදාගැනීමයි.  සම්පූර්ණ ශ්‍රී ලංකාව දැක්වීමට 1:50000 පරිමාණයෙන් යුත් සිතියම් 96 ක්,යොදාගනී. ඉම්පීරියල් ක්‍රමයේදී සිතියම් 72 ක් යොදා ගැනුනි.
යුද කටයුතු සඳහා යුද හමුදාව වෙත සහ මිනුම්දෝරු කටයුතු සඳහා බලයලත් මිනුම්දෝරුවන්ට නිකුත් කරන විශේෂ සිතියම්, යුද හමුදාවේදී අපි හඳුන්වන්නේ ‘ග්‍රිඩ් සිතියම්’ යනුවෙනි. එයට හේතුව එම සිතියම් වල ලෝකයේ අක්ෂාංශ හා දේශාංශ ආශ්‍රිතව අඳින ලද රේඛා විශේෂයක් ඇතුළත් කර තිබීමයි. මේවා පොළොවේ මීටර් 1000 ක පරතරය පෙන්වන කොටු දැලක් ආකාරයටයි ඇඳ තිබෙන්නේ.’ග්රිඩ් සිතියම්’ යනුවෙන් ඒවා හැඳින්වෙන්නේ ඒ නිසයි.
 
ඉහත දක්වා අති රූප දෙකෙන් පළමුව දක්වා ඇති සිතියම දෙස අවධානය යොමු කරන්න. එහි එකිනෙකට සමාන්තරව ඉහල සිට පහලට හෙවත් (උතුරේ සිට දකුණට) විහිදෙන දුඹුරු පාට රේඛා, දේශාංශ ආශ්‍රිත ග්රිඩ් රේඛාය. හරස් අතට හෙවත් (බටහිර සිට නැගෙනහිරට) විහිදෙන රේඛා අක්ෂාංශ ආශ්‍රිත ග්රිඩ් රේඛාය. ඒ සමග ඇති ලෝක ගෝලයේ රූපයෙන් මෙය වඩාත් පැහැදිලි වනු ඇත.

දැන් ඉතින් මොකක්ද නයිට් කොම්පස් මාච් එක කියන්නේ? කොහොමද යන්නේ? මොකටද යන්නේ? හොඳයි එකිනෙක තේරුම් බේරුම් කරගම්මු. දහවල් කාලයෙදීනම් සොල්දාදුවකුට යුද භූමියේ ගමන් කිරීමේදී පහසුවෙන් අවට පරිසරය පෙනෙනවා. ඒ නිසා සිතියම සහ මාලිමා යන්ත්‍රය ආධාර කරගෙන දුරදක්නයේද සහාය ලබාගෙන ගමන් කල හැකියි. නමුත් රාත්‍රී කාලයේදී යුද භූමියේ ඝන අඳුරේ ගමන්කිරීම ඉතා පරෙස්සමෙන් කලයුතු දෙයක්. ඒ නිසා රාත්‍රී කාලය එළඹීමට පෙර හෝ රාත්‍රියේ බලාපොරොත්තු රහිතව යුද භූමියේ ගමන් කරන්නේනම්, ඒ සඳහා සිතියම සහ මාලිමාව ආධාරයෙන් සැලසුමක් සාදාගතයුතු වෙනවා. එසේ සාදාගත් සැලසුමට අනුව පාර වරද්දාගන්නේ නැතිව, නියමිත කෝණ අනුව, තමන් බලාපොරොත්තුවන ස්ථානයට ගමන් කිරීම තමයි ‘නයිට් කොම්පස් මාච්’ කියන්නේ. (එය ඉදිරියට යාම, පසුබැසීම, තවත් පිරිසකගේ ආධාරයට යාම, ආදී විවිධ පරමාර්ථ යටතේ සිදුවිය හැකියි) 

මෙය තනිව යන ගමනක් නොවේ. විශේෂ පහරදීමකට යන තුන් හතර දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායමක සිට 100 ක් 150 ක් පමණ කණ්ඩායමක් වුවත් මෙසේ ගමන් කිරීමට ඉඩ තිබෙනවා. කණ්ඩායම විශාලවූ තරමට අවදානම වැඩියි. 

සිතියම සහ මාලිමාව අප අත තිබුනත්, ඒ භූමියේ මීට පෙර ගමන්කර නැතිනම්, විවිධ මර උගුල්, කටුකම්බි වැටවල්, ඉබේ හැදුනු වලවල්, ගංගා, වැව්, මඩ වගුරු, ආදිය තරණය කිරීමට සිදුවුනොත්, ලේසි වෙන්නේ නැහැ. 1969 වර්ෂයේදී දියතලාව කඳවුරේදී මා සහභාගිවූ නයිට් කොම්පස් මාච් එකකදී, මට ඉදිරිපසින් ගිය සගයාගේ ඉන පටියෙන් අල්ලාගෙන යාම (එය නීති විරෝධියි. යටත්පිරිසෙයින් අඩි 3 ක වත් පරතරයක් තබාගෙන යා යුතුයි.) නිසා ඔහුත් සමග මම වලකට ඇද වැටුණු අතර ගොඩට ගැනීමට, විනාඩි 10 ක් පමණ වෙහෙසෙන්නට කණ්ඩායමේ අනික් අයට සිදුවුනා. (ශිෂ්‍ය භට පුහුණුවේදී අඩුම වෙලාවකින් ගමන අවසන් කරන කණ්ඩායමට ජයග්‍රහණය ලැබෙනවා. ඒ අවුරුද්දේ අපට හුළං) 

ඉතින් මේ මාලිමා යන්ත්‍රය හෙවත් කොම්පස් එක මහා විශ්මයජනක දෙයකැයි ඔබට හිතෙනවා ඇති. හැබැයි එයටත් දැන් සිදුවී තිබෙන්නේ අර මගේ විභාග ප්‍රතිඵල ලබාදුන් දැවැන්ත පරිගණකයට අත්වූ ඉරණමමයි. දැන් ඒ පරිගණකය කටුගෙයිවත් තිබෙනවාදැයි මා දන්නේ නැහැ. නමුත් අපේ කාලයේ පාවිච්චි කල මාලිමායන්ත්‍ර තුනකින් අද භාවිතයට ගන්නේ එකක් පමණයි අනික් ඒවා කටුගෙට තමයි ගැලපෙන්නේ. මෙන්න ඒවා.
මෙය හඳුන්වන්නේ ‘ප්‍රිස්ම මාලිමාව’ හෙවත් ‘ප්‍රිස්මැටික් කොම්පස්’ කියයි. මෙය එංගලන්තයේ නිෂ්පාදනයක් වන අතර මේ තත්වයට දියුණු කර තිබෙන්නේ 1940 දී පමණ. මම මුලින්ම මේ වර්ගයේ මාලිමාවක් පාවිච්චි කලේ 1967 වර්ෂයේදී ශිෂ්‍ය භට පුහුණුව ලබද්දී. මෙය ඉතා කාර්යක්ෂම හා නිවැරදි මාලිමාවක්. පාවිච්චි කිරීමේ අපහසුතා (බර, විශාලත්වය, නඩත්තු වියදම) නිසා අත්හරිනු ලැබුවා.
මේ තමයි ඊළඟට අපිට පරිහරණයට ලැබුණු මාලිමාව. මෙය හැඳින්වුණේ ලෙන්සටික් කොම්පස් කියලයි. ඉතා සූක්ෂ්මයි. නිවැරදියි. ක්‍රියාකාරිත්වය ඉගෙන ගන්නට අමාරුයි. ඉගෙන ගත්තට පස්සේ පහසුයි. මෙය ඇමෙරිකා එකසත් ජනපදයේ නිපැයුමක්. 1935 දී පමණ තමයි මුලින්ම හදලා තිබෙන්නේ.
 
මෙන්න වර්තමානයේදී අපේ යුද හමුදාව පාවිච්චි කරන මාලිමාව. මේ මාලිමාව මුලින්ම මමත් ඉගෙනගත්තේ යුද හමුදාවට බැඳෙන්නට පුහුණුව ලබද්දියි. මෙය හඳුන්වන්නේ ‘සිල්වා මාලිමාව’ කියලයි. දැන් ඉතින් මේක බලන අපේ සිල්වලා ‘කොලර්ස් අප්’ කරන්න යන්න එපා, ‘ඔන්න බලපල්ලා අපේ නමින් කොම්පස් එකකුත් තියනවා’ කියලා. හේතුව මේකයි. මේ මාලිමාවත් 1930 දශකකයේදී පමණ වැඩි දියුණු කල එකක්. මෙය සාදා තිබෙන්නේ ස්වීඩනයේ. ස්වීඩන් භාෂාවෙන් සිල්වා කියන්නේ කැලයටයි. (අයියෝ. . . සිල්වා කැලේ) මෙය ඉතා සරල, ඉගෙනීමට පහසු, හැසිරවීමටද පහසු, ඉතා කාර්යක්ෂම මාලිමාවක්.
ඉතින් මේ මාලිමා යන්ත්‍ර වර්තමානයේදී භාවිතයෙන් ඉවත් වෙමින් තිබෙන්නේ ඇයි? Intel X58 Motherboard, Core i7 Processor, DDR3 8GB RAM, Built in 2GB VGA, 2 TB HDD, Blueray ROM, ඔන්න ඔය වගේ පරිගණකයක් තියනවනම් ඔබ තවමත් P 1, 16 MB RAM වගේ පරිගණකයකින් වැඩ කරනවාද? ඒ වගේ තමයි. දැන් මේ උපකරණ අබිභවා යන උපකරණ නිපදවා තිබෙනවා. මුලින්ම ආවේ රාත්‍රී දුර දක්නය. (Night Vision) මේ උපකරණය මම මුලින්ම පාවිච්චි කලේ 1990 දී යාපනය ප්‍රදේශයේ රාජකාරී කරද්දියි. (මුලින්ම නිපදවා තිබෙන්නේ 1939 දී පමණ ඇමෙරිකානු යුද හමුදාවයි.) අධෝරක්ත කිරණ (Infrared Beams) තාක්ෂණය පදනම් කරගෙනයි මෙය ක්‍රියාත්මක වෙන්නේ. නැවත පණ ගැන්විය හැකි බැටරි බලයෙන් ක්‍රියාත්මක වන්නේ. අතේ ගෙනයාහැකි කුඩා ප්‍රමාණයේ ඒවාගේ සිට යුද ටැංකි, නාවික යාත්‍රා, ගුවන් යානා, ආදියෙහි සවිකරන විශාල ප්‍රමාණයේ හා බලසම්පන්න ඒවාද තිබෙනවා. මෙම උපකරණයෙන් රාත්‍රී කාලයේදී අවට බලන විට පරිසරය පෙනෙන්නේ කොළ පාටටයි. නමුත් අවශ්‍ය කටයුතු සඳහා එයින් බාධාවක් නැහැ.
ඉන්පසු යුද කරලියට පැමිණි විශ්මය තමයි ජී.පී.එස්. උපකරණය. G.P.S. යන ඉංග්‍රීසි අකුරු තුනෙන් හැඳින්වෙන්නේ, Global Positioning System යන්නයි. මෙයින් අදහස් කරන්නේ පොළොවේ සිට කිලෝමීටර් 300 ක පමණ ඉහල කක්ෂයක රඳවා තිබෙන, එමෙන්ම පොලවේ වර්තනයට (කැරකෙන වේගයට) සමාන කක්ෂීය වේගයක් පවත්වාගෙන චන්ද්‍රිකා පද්ධතියක් මගින් ඇති කරන ත්‍රිමාන සංඥා ජාලයක් මගින්, පොලොව මතුපිට ඇති ඕනෑම ජී.පී.එස්. උපකරණයක පිහිටීම අනුව එය අතේ තබාගෙන සිටින්නා හෝ එම උපකරණය සවිකර ඇති යුද,නාවික,ගුවන්, යාත්‍රාව හෝ වාහනය කොතැනක සිටින්නේද/තිබෙන්නේද යන්න 99% නිවැරදිව හඳුනාගැනීමයි. මේ නිසා භූමියේ ගමන් ගැනීමේදී පෙරට වඩා ආරක්ෂාකාරීව සහ නිදහස්ව ගමන් කිරීමේ අවස්තාව සොල්දාදුවන්ට ලැබී තිබෙනවා. ඇමරිකානු යුද හමුදාවේ විශේෂ ක්‍රියාන්විත සඳහා සහභාගී වන සෑම සොල්දාදුවකුගේම යකඩ හිස්වැස්මේ ජී.පී.එස්. එකක් සහ චන්ද්‍රිකා පණිවිඩ හුවමාරු උපකරණයක් සවි කර තිබෙනවා. අපිටත් ඒ පහසුකම් හෝ ඊටත් වඩා වැඩි පහසුකම් අනාගතයේදී ලැබෙනු ඇති.

02 March 2012

මොකක්ද මේ පෙරිස්කෝප් එක කියන්නේ

වාහනයක රියදුරෙකුට තම වාහනයේ දෙපැත්තෙන් පසුපස බැලීමට සයිඩ් කන්නාඩි තිබෙනවා. ඒ වගේම පසුපස බලන්නට තවත් කන්නාඩියක් වාහනය ඇතුලේ තියනවා. දැන් කාලේ වාහන වල පසුපස සවි කල කැමරාවක් තිබෙන නිසා වහනය රිවස් කිරීම පහසුයි. අපි දන්නවා මුහුදේ දිය යටින් ගමන් කරන සබ්මැරීන්. මේවා දිය යටින් ගියත් වරින් වර දිය මතුපිටට පෙරිස්කෝප් එක යොමු කර අවට තත්වය සොයා බලනවා. හැබැයි වර්තමානයේදී චන්ද්‍රිකා තාක්ෂණය නිසා එසේ පෙරිස්කෝප් එක පාවිච්චි කරන වාර ගණන ඉතාම සීමිතයි.
පෙරිස්කෝප් එකේ සරලම නිපැයුම කර තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1430 දී පමණ. මුද්‍රණ කර්මාන්තයේ ප්‍රමුඛයකු වූ ගුටෙන්බර්ග් තමයි මේ මූලික නිපැයුම කර තිබෙන්නේ එය ඉතාම සරල නිපැයුමක්.  ඔහු මෙය හැදුවේ සෙනග රැස්වන ආගමික උත්සව වලදී එය හරිහැටි බලාගැනීමට (ඉදිරියෙන් සිටින අයගෙන් වැසෙන නිසා) අධාරක උපකරණයක් ලෙස. මෙන්න එහි පිළිවෙත.
මුලින්ම තියෙන්නේ අංශක 45 කෝණයකට, ටියුබ් එකක් තුල තැන්පත් කරන ලද, කන්නාඩි කෑලි දෙකක් මගින්, ඉදිරි භූමිය නිරීක්ෂණය වන ආකාරට සකසන ලද සරල ඇටවුමක්. දෙවැනි රූපයෙන් දැක්වෙන්නේ එම ටියුබය තුල කාච සවි කර කන්නාඩි වෙනුවට ප්‍රිස්ම යොදවා කරන ලද වඩාත් වෘත්තීය මට්ටමේ පෙරිස්කෝප් එකක්. අදනම් අපට සී.සී.ටී.වී කැමරා තිබෙනවා. නමුත් අදටත් පෙරිස්කෝප් උපකරණය සබ්මැරින් වල පාවිච්චි කරනවා. පහත දැක්වෙන්නේ පෙරිස්කෝප් එකක් සබ්මරිනයකදී පාවිච්චි කරන ආකාරය සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘නෝත් කැරොලිනා’ නමැති න්‍යෂ්ටික සබ්මැරීනය. මෙහි පෙරිස්කෝප් ක්‍රමයට අමතරව තවත් විකල්ප ක්‍රම රාශියක් තිබෙනවා.
 

01 March 2012

අමුතු තාලේ ගිනි අවියක්

මේ කතාව ආරම්භ කරන්නට කලින් එක දෙයක් මතක් කල යුතුයි. මේ මගේ බ්ලොග් එකේ 50 වැනි ලිපිය. 2011 දෙසැම්බර් මස 15 වැනි දින ආරම්භ කල මේ බ්ලොග් අඩවිය ඉතා සුළු පිරිසකගේ හෝ අවධානයට යොමුවීම සතුටක්. එමෙන්ම මා, මේ කාර්යය කරගෙන යන්නේ තොරතුරු තාක්‍ෂණය ගැන පොත් පත් වලින් ලබාගත් දැනුමෙන් සහ පරිගණක අලුත්වැඩියාව පිළිබඳව උඩින් පල්ලෙන් කල විකාර පාඨමාලාවකින් පසුවයි. හැබැයි අදටත් මා හිතවතුන්ගේ පරිගණක අලුත්වැඩියා කරන අතර මෙතෙක් මට කරගැනීමට නොහැකි අලුත්වැඩියාවක් ඇවිත් නැහැ. (ලැප්ටොප් වලටනම් මෘදුකාංග දමනවා පමණයි. ඕනෙම එකක් තියනවා. දුර්ලභ මෘදුකාංග අන්තර්ජාලයෙන් ලබාගෙන තිබෙනවා.) බ්ලොග් අඩවි හැසිරවීම පිළිබඳව මා තවමත් දන්නේ බොහොම ටිකයි. ඉදිරියේදී දැනුම දියුණු කර ගන්න සියලු උත්සාහ දරනවා. මගේ වයස අනුව එය ටිකක් වෙහෙසකරයි. ඒත් චිත්ත ධෛර්යය නොසිඳෙන තුරු දිගටම කරනවා.
හොඳයි මාතෘකාවට බහිමු. අපි දන්නවා සාමාන්‍යයෙන් තුවක්කුවකින් වෙඩි තැබීමට නම් තුවක්කුව අතේ තියන පුද්ගලයාට තමන් ඉදිරිපිට භූමියේ ඇති ඉලක්කය පැහැදිලිව පෙනෙන්නට අවශ්‍යයි. හිතේ හෝදිසියට වෙඩි තැබුවොත්, එයින් සාර්ථක ප්‍රතිඵල අත්වන්නේ ඉතා කලාතුරකින්. දුර තිබෙන ඉලක්කයකට වෙඩි තැබීම සඳහා තුවක්කු වලට සවි කරන ලද විශේෂ දුරදක්න තිබෙන බව ඔබ දන්නවා. එමෙන්ම රාත්‍රී අඳුර විනිවිද පෙනෙන දෘෂ්ටි උපකරණ තිබෙන බවත් පසුගිය කාලයේ අපේ රටේ යුද තොරතුරු කියවූ ඔබ බොහොම දෙනෙක් දන්නවා.


අපි මොහොතකට හිතමු ඔබ ගොඩනැගිල්ලක පිටත බිත්තියක මුල්ලට මුවාවී සිටිනවා කියා. ඒ මුල්ලෙන් අනික් පස ඔබේ සතුරා සිටින බව ඔබ දන්නවා. නමුත් ඔබ බිත්ති මුල්ලෙන් හිස පොවා බැලුවොත් වෙන්නේ සතුරාගෙන් ඔබට ඔලුව කුඩු යන්නට වෙඩි පහරක් ලැබීමයි. ඔබ අතේ වාහනයක සයිඩ් කන්නාඩිය වැනි කන්නාඩියක් තිබේනම් එය සෙමින් යොමුකර සතුරා සිටින්නේදැයි බැලිය හැකියි. එපමණයි. හොඳයි ඔබට පුලුවන්නම් ඔබේ තුවක්කුවේ බටය වක්‍රාකාරව අංශක 90 කට නවා එයින් වෙඩි තියන්නට? ඒ උණ්ඩය තුවක්කු බටයේ වක්‍රය අනුව අංශක 90 ක නැම්මකට හැරී ගොස් බිත්තියට මුවාවී සිටින සතුරාට වදිනවා. දෙකොනින් හිනා යන කතාවක්නේ. අර අන්දරේ කැති තලය බිම සිටවා එයට වෙඩි තැබුවාම උණ්ඩය දෙකට කැපී ගොස් හේනේ හිටිය වල ඌරන් දෙන්නෙක් මරාපු කතාව වගෙයි. හැබැයි මේ විදිහට අංශක 90 ක කෝණයක සැඟවී තිබෙන ඉලක්කයකට හෝ තමන්ට වෙඩි නොවැදී සතුරාට වෙඩි තැබිය හැකි උපක්‍රමයක් ගැන මිනිසාට මුලින්ම අදහසක් පහල වූයේ අද ඊයේ නෙවෙයි. පළමුවැනි ලෝක මහා සංග්‍රාමයේදී තමයි මේ අදහස මුලින්ම එලියට ආවේ. එහිදී ඔවුන්ගේ අවධානය යොමු වුනේ තමන් සිටින යුද අගලෙන් ඉහලට හිස ඔසවන්නේ නැතිව ඉලක්කය බලාගෙන වෙඩි තැබීමයි. මෙහිදී ඔවුන් තම රයිෆලයට පෙරිස්කොප් එකක් (ඉස්සර සමහරු කිව්වේ චීනක්කන්නාඩිය කියලා) සවිකරගෙන තරමක් සතුටුදායක ප්‍රතිඵල ලැබුවා. ඕස්ට්‍රේලියානු අධිරාජ්‍ය හමුදා බලකායේ දෙවැනි බල ඇණියේ සැරයන් ‘විලියම් බීච්’ තමයි 1915 මැයි මාසෙදි මේ සොයාගැනීම කලේ.


මීළඟට, මේ සැඟවී සිට වෙඩිල්ල හරවා යැවීමේ උපක්‍රමයට අත ගැසුවේ ජර්මනියයි. ඒ දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී. ඔවුන් කලේ සාමාන්‍ය ස්වයංක්‍රිය තුවක්කුවක බටය අගට, නැවුණු කොටසක් එක් කිරීමයි. එය තුන්පාද අට්ටාලයක සවි කර එහි යට සිට වෙඩි තැබුවා. හැබැයි ඉලක්කය එතරම් සාර්ථක නැහැ. මෙය විශේෂයෙන් යෙදෙව්වේ යුද ටැංකි ඇතුලත සිට පිටත නොපෙනෙන පෙදෙස් වලට වෙඩි තබන්නයි. 
වර්තමානය වනවිට නවීන තාක්‍ෂණය එකතුකර අති සාර්ථක අවියක් නිපදවා තිබෙනවා. එය හඳුන්වන්නේ ‘කෝනර් ෂොට්’ (Corner Shot) යනුවෙන්. මෙහි නිර්මාතෘ හැටියට සැලකෙන්නේ ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ලුතිතන් කර්නල් (ලුතිනන් නොවේ. නිවැරැදි වචනය ලුතිතන්) අමොස් ගෝලාන්. 1999 – 2000 කාලයේදී නිපදවූ මේ අවිය, භාවිතයට යොමු වුනේ 2003 පමණ සිට. අපේ හමුදාව මෙම අවිය පාවිච්ච්චි කරන්නේ නැහැ. මෙහිදී කර තිබෙන්නේ ඩිජිටල් කැමරාවක් දුර දක්නය ලෙස යොදවාගෙන, එමගින් ඉලක්කය ගෙන, අවියේ ඉදිරි කොටසේ සවිකර ඇති පිස්තෝලය හෝ බෝම්බ විදිනය, (Grenade Launcher) අවියේ පසුපස කොටසේ ඇති යාන්ත්‍රික අගුලෙන් ක්‍රියාත්මක කිරීමයි. විශේෂයෙන් වීදි සටන්, ගොඩනැගිලිවල සැඟවී සිටින සතුරන්ට පහරදීම, වැනි කටයුතු වලදී මෙය යොදාගන්නවා. චීනය, පාකිස්තානය, ඉරානය, දකුණු කොරියාව වැනි රටවල මේ අවිය බහුලව පාවිච්චි කරනවා. 
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }