හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

25 April 2013

අපි දෙන්නේ ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්ඩ. . . හරිද?. . (දෙවැනි කොටස) – WMD and NBC Warfare (Part Two)


  Biological-Weaponsඅපි දෙන්නේ සුන්නද්දූලි වෙලා යන්ඩ ලිපියේ පළමුවැනි කොටසෙන් මා ඔබට සරල හැඳින්වීමක් කළා, සමූල ඝාතක අවි කියන්නේ මොනවාද කියා. මේ ලිපි මාලාව ආරම්භ කරන්නට හේතු වුනේ, උතුරු/දකුණු කොරියා දෙක අතර ඇතිවූ උණුසුම් යුද තත්වයයි. ලිපියේ දෙවැනි කොටස ඔබවෙත ගෙන එන්නට ප්‍රමාද වුනේ මා සෑහෙන දුරට අවිවේකීව සිටි නිසයි. අනෙක් කරුණ මෙවැනි ලිපියකදී ලියන තාක්ෂණික කරුණුවල නිරවද්‍යතාව පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත වියයුතු නිසා, උඩින් පල්ලෙන් ලියන්නට බැහැ.
   මේ ලිපියෙන් මා ඔබව දැනුවත් කරන්නේ එක් එක් සමූල ඝාතක අවි වර්ග ගැනයි. එමෙන්ම වර්තමාන ලෝකයේ සමූල ඝාතක අවි භාවිතය කෙරෙහි ඇති සම්භාවිතාව කෙබඳුද යන්නත් සාකච්ඡා කරන්නට අපට අවස්ථාව තිබෙනවා. කාගෙ කාගේ කිල්ලොටෙත් හුණු තියනවා කියන පැරණි සිංහල කියමන සනාථ කරමින් ලෝකයේ බලවත් රාජ්‍ය බොහොමයක මේ සමූල ඝාතක අවි තිබෙනවා. කිසියම් දිනක මේ අවි පාවිච්චි නොකර සිටීයැයි කිසිවකුටත් සහතිකයක් දිය නොහැකියි. ඒ කියන්නේ අපේ ලෝකය පවතින්නේ සමූල ඝාතක අවි තර්ජන මැද කියන එකයි කියන්නට තිබෙන්නේ. සමූල ඝාතක අවි පාවිච්චි කරන යුද්ධයක් ඇතිවුනොත් අපි වැනි කුඩා රටවලට සිදුවන හානිය අති මහත්. ඒ නිසාම මේ ගැන දැනුවත් වීම ඉතා වැදගත්.
  සමූල ඝාතක අවි පිලිබඳ ඉතිහාසය පිරික්සීමේදී කාගේත් මතකයට නැගෙන්නේ ලෝකයේ පළමුවැනි පරමාණු බෝම්බ ප්‍රහාර දෙක වෙතයි. මිනිස් ශිෂ්ඨාචාරයේ සමූල ඝාතනයන් සිදුවූ ප්‍රථම අවස්තාව එය නොවෙයි. ඉතා ඈත අතීතයේදී ලෝකයේ පවතී ජාතිවාදී, වර්ගවාදී, ආගම්වාදී යුද්ධ වලදීත් සමූල ඝාතන සිදුවුනා. නමුත් පරමාණු බෝම්බ ප්‍රහාරයකින් සිදුවන සමූල ඝාතනය ඊට වඩා දරුණුයි, විශාලයි, අමානුෂිකයි. සමූල ඝාතක අවි වර්ග වලින් ප්‍රථම ස්ථානය ලැබෙන්නෙත් න්‍යෂ්ටික අවි වලටයි. අපි මුලින්ම නිර්වචනය කරගනිමු න්‍යෂ්ටික අවියක් කියන්නේ මොකක්ද කියා. 
  “න්‍යෂ්ටික අවියක් යනු පරමාණු ප්‍රතික්‍රියාවක් ඇතිකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ක්ෂණිකව පිපිරීමක් සිදුකිරීමෙන් සමූල ඝාතනයක් කළහැකි බෝම්බයක් වැනි අවියකි”
  මා කල්පනා කළා ගැඹුරු න්‍යායාත්මක කරුණු වලට නොයා ඔබ සමග බොහොම සරලව මේ කරුණු සාකච්ඡා කරන්න. ඒ නිසා පරමාණු දාම ප්‍රතික්‍රියා ගැන න්‍යායාත්මක කරුණු සාකච්ඡා කරන්නේ නැහැ. එය අනවශ්‍ය විදිහට ලිපිය දික්ගැසීමක් වන නිසා. එමෙන්ම පරමාණු බෝම්බ නිපදවන මූලද්‍රවය හා සමස්ථානික පිළිබඳවත් කතා කරන්නේ නැහැ. ඒ නිසා න්‍යෂ්ටික අවි වර්ග ගැන විතරක් කියන්නම්. උප වර්ග වලට නොබෙදා සරලව කියනවානම් න්‍යෂ්ටික අවි වර්ග දෙකක් තිබෙනවා. ඒ තමයි පරමාණු බෝම්බය සහ ජලකර බෝම්බය. මේ වර්ග දෙකෙන් වඩාත් බලවත් වන්නේ ජලකර බෝම්බයයි. ඉතා සරලව කියනවානම් ජලකර බෝම්බයක් පිපිරවීම සඳහා අවශ්‍ය අධික උෂ්ණත්වය ලබාගැනීමට පරමාණු බෝම්බයක් පුපුරවා ලබන උෂ්ණත්වය ලබාගත යුතුයි.
1
න්‍යෂ්ටික බෝම්බයක් පිපිරීමෙන් සිදුවන මහා විනාශය ක්‍රම කීපයකින් සිදුවෙනවා. අපි පියවරෙන් පියවර බලමු මොකද වෙන්නේ කියලා. න්‍යෂ්ටික බෝම්බයක් පිපිරුණා වහාම ක්ෂණයකින් ඇස අන්ධ කරන අපට හීනෙන්වත් හිතාගන්න බැරි තරම් මහා ආලෝකයක් හරියට විදුලි කෙටුවා වගේ එහෙමත් නැත්නම් කැමරාවක ක්ෂනිකලෝකය වගේ පිටවෙනවා. ඒ සමගම පැතිරෙනවා මහා ගිනි බෝලයක්. ඒ ගිනි බෝලයේ උෂ්ණත්වය තීරණය වෙන්නේ බෝම්බයේ ප්‍රබලත්වය අනුවයි. එදා ජපානයට දැමූ බෝම්බයෙන් ලෝහයෙන් නිපදවුණ සියල්ල ක්ෂණයකින් උණුවී ගොස් තිබුනා. අද ඊට වටා පනස් ගුණයකට සිය ගුණයකට වඩා වැඩි බලයකින් යුත් බෝම්බ තියනවා. ඉතින් ඔබට හිතාගන්න පුළුවන් නේද විනාශයේ තරම. මේ ගිනි බෝලයේ උෂ්ණත්වයේ බලපෑම කිලෝමීටර් පහකටත් වඩා ඈතට වුනත් දැනෙන්න පුළුවන්. අපි නිකම් කඩදාසි වගේ අළු වෙනවා. මේ බලන්න එදා හිරෝෂිමා බෝම්බයේ දී ගිනි බෝලය පැතිරුණ අන්තිම සීමාවේ සිටි කාන්තාවකගේ ඇඳුම පිළිස්සී එහි හැඩය පෙන්වන ආකාරයට ඇගේ සම පිළිස්සී තිබුන ආකාරය.9මේ ගිනි බෝලය අහසටත් නගිනවා. පොලොව මතුපිටත් දවනවා. එයට හසුවන සියල්ල ක්ෂණයකින් දැවීයනවා. සෙල්සියස් අංශක 3000 කට වැඩි උෂ්ණත්වයක් පුංචිම පරමාණු බෝම්බයකින් ඇති කරනවා. ඊළඟට මොකද වෙන්නේ. ගිනිබෝලය පොලොව මත ඇති තද ඝන වස්තු ගල්, ගොඩනැගිලි, වැනි සෑම දෙයක්ම කුඩා කැබලි වලට පුපුරවා දමනවා. දූවිලි බවට පත්කරනවා. (ඒ නිසයි සුන්නද්දූලි කරනවා කියන වචනය මා මාතෘකාවට යෙදුවේ) ගිනි බෝලය අහසේ ඉහලට ගමන් කලාම හරියට බිම්මලක හැඩය ගන්නවා. ගිනි බෝලයේ ඉතා අධික උණුසුමෙන් අවට වායුගෝලය ක්ෂණයකින් රත්වී මහා බලසම්පන්න වායු පිපිරීමක් ඇතිවෙනවා.  එය කොතරම් ප්‍රබලද කියනවානම්, එයට හසුවන ගොඩනැගිලි බිමට සමතලා කරනවා. කෝච්චියක් වුනත් ඔසවා ඈතට විසිකරනවා. ඈත තිබෙන ගොඩනැගිලි ඉරිතලනවා. වීදුරු ජනෙල් සිල්ල කුඩුවී යනවා. කම්පනයෙන් භූමි කම්පාවක් ඇති කරන තරමට පොලොව හෙල්ලෙනවා. ඒ වායු පිපිරීම ඉතා ඈතට දැනෙන්නේ මහා සුළඟක් ලෙසයි. පරමාණු පිපිරීමෙන් ගැමාකිරණ නිකුත්වෙනවා. ඒවා විශාල දුරකට නොගියත් ඒ කිරණ වැදුන ගස් ගල්, ගොඩනැගිලි, යාන වාහන, වාතය, ජලය, විකිරණශීලී තත්වයට පත්වෙනවා. අහසට විහිදෙන ගිනි බෝලය, ඇසට පෙනෙන නොපෙනෙන සියලු ප්‍රමාණයන්ගෙන් විවිධ ද්‍රව්‍ය (පිපිරීමෙන් විනාශවූ පොලොව මත පිහිටා තිබුණු සියලුදේ වලින් කැඩී බිඳී ගිය කොටස්) අහසේ ඉහලට රැගෙන යනවා. ඒවාගේ ස්කන්ධය අනුව සුළඟ මගින් ඒවා විවිධ දුර ප්‍රමාණයන් වෙත විසුරුවනු ලබනවා. ඒ සියල්ලම විකිරණශීලී ද්‍රව්‍ය. එයින් නිකුත්වන විකිරණ ඈත පරිසර පද්ධතීන්හි සිටින සියලුම ජීවී අජීවී වස්තු වෙත ඉඳුරාම විකිරණ වල බලපෑම එල්ල කරනවා. එයින් ඇතිවන භයානක ප්‍රතිඵල වසර ගණනාවකට, පරම්පරා ගණනාවකට ඉවත්වන්නේ නැහැ. ඒ සඳහා ප්‍රතිකාරත් නැහැ. කවදා හෝ ඒ විකිරණශීලී ද්‍රව්‍ය වල විකිරණශීලී බව ඉබේම අවසන්වනතුරු ඒවා ඒ අහිතකර බලපෑම එල්ල කරමින් පවතිනවා.
10
මේ තියෙන්නේ එදා හිරෝෂිමාවට දමන ලද ප්‍රමාණයේ බෝම්බයක බලපෑමයි.3මෙහි හයිපොසෙන්ටර් Hypocenter යනුවෙන් දැක්වෙන්නේ පිපුරුම් ලක්ෂ්‍යයේ ගැඹුරුම ස්ථානයයි. අද ලෝකයේ ඇති පරමාණු බෝම්බයකින් මෙහි දැක්වෙන දුරට වඩා විශාල දුරක් විනාශ වියහැකියි. (mi = සැතපුම්) පරමාණු බෝම්බයක් පුපුරන හැටි බලමුද.  මෙන්න එදා ජපානයේ හිරෝෂිමා නගරයට එල්ල වුන පරමාණු බෝම්බයේ පිපුරුම.


පරමාණු බෝම්බයක විකිරණ බලපෑම දීර්ඝකාලීනව පවතින බවට සාක්ෂි අදත් ජපානයේ තිබෙනවා. අදටත් එහි සෑහෙන පිරිසක් සිටිනවා විකිරණ වලට ලක්වීම නිසා සුව නොවන පිළිකා ඇතුළු විවිධ රෝගාබාධ මෙන්ම ජාන විකෘතිවීම් වලට ලක්වූ අය.
  ඉතින් මේ ටික කියෙව්වට පස්සේ පරමාණු බෝම්බ එපා වුනාද? පොඩ්ඩක් ඉන්න. කෝකටත් ඔන්න ඔහේ පරමාණු බෝම්බයක සැකැස්ම ගැනත් ටිකක් ඉගෙනගන්න. කවුද දන්නේ, මේ අඩවියෙන් බලලා, ඔබටත් එකක් හදන්න පුළුවන් වුනොත්, අපිත් බොහොම බලවත් රටක් වෙනවා. (හැබැයි ඉතින් ඇමරිකන් කාරයා රෙද්ද කරේ තියාගෙන එයි සම්බාධක දාන්න) ඇත්තටම පරමාණු බෝම්බයක් සෑදීම අපහසු වන්නේ ඒ සඳහා අවශ්‍ය යුරේනියම් මූලද්‍රව්‍යය ලෝකයට හොරෙන් එකතුකිරීම සහ ප්‍රතික්‍රියාකාරක ආරම්භ කිරීමට නොහැකි බැවින්. නවීන තාක්ෂණය නිසා සෑම රටකම සිදුවන රහස් තවත් රටවල් දැනගන්නවා. ඔත්තු බලන ක්‍රම ඉතා දියුණුයි. තානාපති සේවා වලට අමතරව විවිධ ක්‍රම (රාජ්‍ය නොවන සංවිධාන, බහුජාතික සමාගම්, විවිධ ව්‍යාපාරික ජාලයන්) මගින් ඔත්තු බැලීම සිදුකෙරෙනවා. මේ බලන්න චීනය පොළොව යට න්‍යෂ්ටික අවි ගබඩාවක් හදන බව ඇමරිකානු ඔත්තු බලන චන්ද්‍රිකාවකින් දැකපු හැටි.11පරමාණු බෝම්බයක සැකැස්ම අතිශයින් සංකීර්ණයි. එදා ජපානයට හෙලන ලද පරමාණු බෝම්බයේ සැකැස්ම පෙන්වන රූප සටහනක් තිබෙනවා. නමුත් මේ රූපයේ ඒම බෝම්බයට අදාළ වැදගත් කොටස් කීපයක් පෙන්වා නැහැ. එයට හේතුව ඒ තොරතුරු අතිශයින් රහසිගත ඒවා වීමයි.8  Warheadපරමාණු බෝම්බයට වඩා බලවත් ජලකර බෝම්බය ගැන මා ඔබ සමග සාකච්ඡා කිරීම බලාපොරොත්තු නොවන්නේ එය ඉතා සංකීර්ණ නිසයි. නමුත් නියුට්‍රන් බෝම්බය සහ ඊ බෝම්බය පිළිබඳව කෙටි සටහනක් තැබීම වැදගත් යයි සිතුන නිසා ඒ ගැන කියන්නම්. නියුට්‍රන බෝම්බය හඳුන්වන්නේ ‘උසස් තත්වාරෝපිත විකිරණ විදාරණ අවියක් – Enhanced Radiation Weapon = ERW’ ලෙසයි. තාප න්‍යෂ්ටික අවි අතර නියුට්‍රන් බෝම්බයට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. මේ බෝම්බය, සාමාන්‍ය න්‍යෂ්ටික බෝම්බයක ඇති පිපුරුම් ශක්ති විදාරණයට වඩා වෙනස්ව ක්‍රියා කරමින්, මහා බලගතු නියුට්‍රෝන ශක්ති විදාරණයක් සිදු කරනවා. මේ නිසා ජීවීන්ගේ සෛල පටල ක්ෂණයකින් විනාශ වෙනවා. ගැමා කිරණ මගින් මහා විශාල හානියක් සිදු කරනවා. වෙනත් වචන වලින් කියනවානම් සාමාන්‍ය න්‍යෂ්ටික බෝම්බයක ඇති පිපුරුම් බලයට විනිවිද යා නොහැකි ඝනකම මතුපිටවල් (කොන්ක්‍රීට්, යුධ ටැංකිවල ඝන යකඩ ආවරණ තහඩු වැනි) විනිවිද ගොස් මහා විනාශයක් (සමූල ඝාතනයක්) සිදුකරනවා. මේ නිසා විශාල භූමි ප්‍රදේශයක සිටින යුධටන්කි සහ මිසයිල්වලින් සන්නද්ධ මහා යුද සේනාවක් විනාශ කිරීම නියුට්‍රන් බෝම්බ වඩාත් සුදුසු වෙනවා. බෝම්බ වල ශක්ති ප්‍රමාණය මනින ඒකකය වන කිලෝටොන් වලින් එකක් හෙවත් කිලෝටොන් එකක නියුට්‍රන් බෝම්බයකින් පිපුරුම් ලක්ෂ්‍යයේ සිට කිලෝ මීටර් දෙකකට ආසන්න අරයක පිහිටි ප්‍රදේශයකට බරපතල හානි සිදුකල හැකියි. (නමුත් සෑම බෝම්බයක්ම නිපදවන්නේ කිලෝටොන් එකකට වඩා වැඩි ශක්තියකින්) නියුට්‍රන් බෝම්බයක්, මිසයිලයක් මගින් හෝ, ගුවන් යානයකින් හෙලන බෝම්බයක් ලෙස හෝ, කාලතුවක්කු උණ්ඩයක් ලෙස හෝ, එල්ල කල හැකියි.
  දැන් අපි ටිකක් බලමු කවුද ලෝකේ ඉන්න ලොකුම බෝම්බ කාරයෝ කියලා. පහත දැක්වෙන සටහන කියවන්න වචන වලට වඩා ලොකු විස්තරයක් එතන තියනවා.2දැන් පෙනෙනවා නේද තත්වය. ලෝක යුද්ධයක් ඇවිලුනොත් මුළු ලෝකයම ක්ෂණයකින් විනාශ කල හැකි තරම් න්‍යෂ්ටික අවි මහා විශාල ප්‍රමාණයක් තියනවා. මේ තොරතුරු වලට ඇතුලත් නොවී රහසිගතව තිබෙන අවි තව කොපමණ ඇද්ද කියා හිතාගන්නවත් බැහැ. ඊළඟට බලමු බොහෝදුරට නිවැරදි තොරතුරු අනුව මේ අවි කොහෙද රඳවලා තියෙන්නේ කියලා.6ඔබ මෙම සිතියම හොඳින් නිරීක්ෂණය කලොත් පෙනෙයි මේ අවි වලින් බහුතරයක් රඳවා තිබෙන්නේ නිරක්ෂයට ඉහල ප්‍රදේශවල බව. එයට හේතුව වන්නේ පහර දීමට ඇති ඉලක්කවල පිහිටීම අනුව මෙසේ ස්ථානගත කිරීම වඩාත් වාසි සහගත වීමයි.අපි මේ කතාව ආරම්භ කල මේ ලිපියේ පළමුවැනි කොටසේදී කිව්වනේ උතුරු කොරියාවට හොඳටම තද වෙලා දකුණු කොරියාවටයි, අමරිකාවටයි, ජපානේටයි, ඔක්කොටම ගහන්න යන්නේ කියලා. උතුරු කොරියාවේ තත්වය කොහොමද? මම කියන්නේ න්‍යෂ්ටික ප්‍රහාරක ශක්තිය පිලිබඳ තත්වය. බලන්න පහල සටහන දෙස.5
 උතුරු කොරියාවට අවශ්‍යනම් ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයටත්, සැන් ෆ්‍රැන්සිස්කෝ, ලොස් ඇන්ජලස්, වැනි මහා නගර වලටත් ගහන්න පුළුවන් බව පෙනෙනවා. කොහොමද වැඩේ? ලිපිය කියවාගෙන ඉදිරියට එන්න එන්නම තත්වයේ දරුණුකම නේද වඩ වඩාත් දැනෙන්නේ? මේ තමයි ලෝකයේ හැටි. මේ තමයි මනසින් උසස් කියන මිනිසාගේ හැටි. 
  ලිපියේ අද කොටස අවසන් කරන්නේ තවත් එක බෝම්බයක් ගැන කියලයි. ඒ තමා ඊ බෝම්බය හෙවත් විද්‍යුත්චුම්බක තරංග බෝම්බය. Electromagnetic Bomb එක අතකට මේ බෝම්බය බොහොම අහිංසකයි. (අහිංසක? බෝම්බ කොහෙද අහිංසක? :D) මේ බෝම්බයෙන් ජීවීන්ට ඉඳුරාම හානියක් සිදුවන්නේ නැහැ. මේ බෝම්බයෙන් කරන්නේ සාමාන්‍ය මට්ටමේ සංඛ්‍යාතවල සිට ඉතා අධික සංඛ්‍යාතයකින් යුත් විද්‍යුත් චුම්බක තරංග කිසියම් ඉලක්ක ගත ප්‍රදේශයක් පුරා පතුරවා හැරීමයි.hpm-bomb-2  මෙම තරංග අඩු ශක්ති මට්ටමෙන්, මධ්‍යම ප්‍රමාණයේ ශක්ති මට්ටමෙන්, සහ අධි ශක්ති මට්ටමෙන් මුදා හරින්න පුළුවන්, බෝම්බය සකසන ආකාරය අනුව. අඩු ශක්ති බෝම්බයකින් සිදුවන්නේ, ඉලක්කගත ප්‍රදේශයේ පිහිටි, සියලු විදුලි සහ විද්‍යුත් පරිපථ, සැලකිය යුතු වෙලාවක් අක්‍රියවී යාමයි. ඒ කාලය ඇතුළත, ප්‍රහාරය එල්ල කල අයට පුළුවන්, කල්තියා තමන්ගේ එවැනි පරිපථ ආරක්ෂාකාරීව තබාගෙන, සතුරු පරිපථ අක්‍රීයවූ අවස්ථාවේදී තමන්ගේ උපකරණ වලින් අවශ්‍ය වැඩ කරගන්න. මධ්‍යම මට්ටමේ ප්‍රහාරයකදී පරිගණක දත්ත අවුල්වී යන අතර පරිගණක මගින් පාලනය වන සියලුම යාන්ත්‍රික පද්ධති අක්‍රිය වෙනවා. ඉහළ මට්ටමේ ප්‍රහාරයකින් සියලු විදුලි සහ විද්‍යුත් පරිපථ සම්පූර්ණයෙන් විනාශවී යනවා. ඉතිං මේ මගින් මිසයිල් යැවීමත් අඩපන කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න රාස්සයා කන පරාස්සයා කියලා කියමනක් අපේ රටේ තියනවානේ. ඒ නිසා මේ බෝම්බ කල්තබා හඳුනාගැනීමේ ක්‍රම දැන් වැඩි දියුණු වෙමින් පවතිනවා. අනාගතේදී ලෝකය ගහගන්නේ සොල්දාදුවන් යුද භූමියට යවන්නේ නැතුව පරිගණක තාක්ෂණයෙන්. ඒ ගැන ලිපි ගොඩක් ඉදිරියේදී පලකරන්න හිතාගෙන ඉන්නවා මම.
  ‘ඊ බෝම්බය’ කියා දෙයක්, තොරතුරු තාක්ෂනයේදීත් තියනවා. ඒ කියන්නේ ඊ මේල් එකක් මගින් විනාශකාරී වෛරසයක් එවීමයි. 
  පරමාණු බෝම්බ ගැන කතා කරද්දී 1945 වසරේදී ජපානයට එල්ලවූ පරමාණු බෝම්බ ප්‍රහාර දෙක කවදාවත් අමතක වන්නේ නැහැ. ලෝක ඉතිහාසයේ මෙතෙක් එල්ලවූ එකම පරමාණු බෝම්බ ප්‍රහාරය එයයි. මේ පිළිබඳව වෙනමම ලිපියකින් කියන්න තරම් කරුණු තියනවා. පසුව වෙනමම ලිපියක් ලියන්නම්. මේ ප්‍රහාර දෙකෙන් හිරෝෂිමා නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ 166,000 ක් පමණ මියගියා. නාගසාකි නගරයේ මියගිය සංඛ්‍යාව 800,00 ක්. ඒ ආසන්නතම ගණන් බැලීමක් පමණයි. දැන් තිබෙන පරමාණු බෝම්බයක් එදා පරමාණු බෝම්බයකට වඩා 40 ගුණයකින් පමණ ශක්තියෙන් වැඩියි. එතනින් එහා දේ ඔබම හිතන්න. කවුද මේ බෝම්බ වල නිර්මාතෘ? ඔහු තමයි ඇමරිකානු ජාතික රොබට් ඔපන්හයිමර්. පළමුවැනි වරට අත්හදා බැලීමේ පරමාණු පිපිරවීම දෙස බලාසිටි ඔහුගෙ මුවගට නිතැතින්ම නැගී තිබෙන්නේ, භගවද් ගීතාවේ එන වැකියක්. ‘මම ලෝකයට මරණය මෙන් වීමි’ යන්න එහි අරුතයි.
  මා හිතනවා මීට වඩා අද ලිපිය දීර්ඝ නොකළ යුතුයි කියා. ඔබට නැගෙන ප්‍රශ්න අනුව සහ ඔබේ වටිනා අදහස් අනුව මීළඟ කොටස සකසන්නම්. තවත් සමූල ඝාතක අවි වර්ග දෙකක් (රසායනික සහ ජීව විද්‍යාත්මක) ගැන ඉදිරි ලිපි වලදී සාකච්ඡා කරමු.
  මේ ලිපියට අදාළ සියලුම රූප සටහන් ලබාගත්තේ Google Images වෙතින්. 
My Signature for Blog2013 අප්‍රේල් මස 24 වැනි දින 1256 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }