හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

06 October 2013

බ්‍රිගේඩ්, ඩිවිෂන්, රෙජිමන්ට්, අම්මෝ ආමි එකේ තියන ජාති (පළමුවැනි කොටස) – Organisation of an Army (Part One)


Division85  යුද හමුදාවක සැකැස්ම නොහොත් සංවිධානය වී ඇති ආකාරය මොනවගේද කියලා දැනගන්න බොහොම දෙනෙක් කැමතියි. පහුගිය යුද සමයේදී මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මගින් යුද තොරතුරු වාර්තා කිරීමේදී යුද හමුදා භටපිරිස් අයත් වන විවිධ ප්‍රමාණයේ කණ්ඩායම් පිලිබඳ තොරතුරු කියවූවා/ඇසුවා/නැරඹුවා ඔබට මතක ඇති. නමුත් ඒ කියන භට කණ්ඩායම් මොන වගේද කියන ගැටළුව නම් ඔබෙන් සෑහෙන පිරිසක් අතරේ අදටත් ඉතිරිවී ඇති. පසුගිය කාලයේ මට සැලකියයුතු ඉල්ලීම් ගණනාවක් ලැබුනා හමුදාවක සැකැස්ම කෙබඳුද කියා ලියන්න කියලා. ඉතින් ශ්‍රී ලංකා යුද හමුදාව ඔහේ තිබුනාවේ. අවශ්‍ය විට පමණක් ඒ පැත්ත බලමු. අපි පොදුවේ යුද හමුදාවක සැකැස්ම ගැන කතා කරමු. මේ සඳහා මා ආධාර කරගන්නේ නේටෝ සංවිධානයට අයත් තොරතුරු සහ බ්‍රිතාන්‍ය යුද හමුදාවට අයත් තොරතුරු. එයට හේතුව වන්නේ බ්‍රිතාන්‍ය හමුදා සැකැස්මට බොහොම ආසන්න ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ සැකැස්ම තිබීමයි. ඉහත රූප සටහන ගත්තේ මෙතනින්
  figA-6 පුංචි උල්පතකින් උණන දියසීරාවකින් තමයි මහා ගඟක් වුනත් පටන්ගන්නේ කියලා ඔබ දන්නවනේ. ඉතින් හමුදාවක් හැදෙන්නෙත් සොල්දාදුවන්ගෙන් සමන්විත විවිධ ප්‍රමාණයේ කොටස් එක්වීමෙන්. ඔබ හිතන්නට ඉඩ තිබෙනවා මා මෙහි විස්තර කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සැකැස්ම කියා. නැහැ. මා මෙහි විස්තර කරන්නේ ‘නේටෝ – NATO’ සංවිධානයට අයත් පොදු සැළැස්ම පදනම් කරගත් විස්තරයකුයි. ඒ නිසා මෙහි යුද රහස් හෙළි කිරීමක් නැහැ. නේටෝ සංවිධානය පමණක් නොවේ, ඇමරිකාව, රුසියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය,  ඉන්දියාව, වැනි රටවල සහ තවත් රටවල් බොහොමයක යුද හමුදා සංවිධානයවී ඇති ආකාරය, ඕනෑම කෙනෙකුට, කිසිදු සීමාවකින් තොරව බලාගතහැකි ආකාරයට, සිංහල භාෂාව හැර වෙනත් භාෂා ගණනාවකින් අනතර්ජාලයේ පළවී තිබෙනවා. (සිංහලෙන් කියවන කෙනාට තමයි හුළං) ශ්‍රී ලංකා යුද හමුදාවේ, එක් එක් රෙජිමේන්තුව යටතේ ඇති බල ඇණි පිලිබඳ විස්තරයක් ද එහි ඇතුළත් වෙනවා. නමුත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒ විස්තර මා මෙහි ඇතුළත් කරන්නේ නැහැ. එය මෙතනට අවශ්‍ය නැති නිසා. ඒ නිසා මේ ලිපිය ‘යුද රහස් හෙළි කිරීමක්’ නොවෙයි.
  මොකක්ද හමුදාවක තියන පුංචිම කොටස? ඒ තමයි ‘පෙළ’ (Section) සාමාන්‍යයෙන් පෙළකට සෙබළුන් හත් දෙනෙක් අට දෙනෙක් විතර ඉන්නවා. පෙළකට ඉන්න ප්‍රධානියා තමයි ‘පෙළ අණදෙන්නා – Section Commander’ පෙළ අණදෙන්නෙක් ලෙස පත් කරන්නේ ‘කෝප්‍රල් - Corporal’ කෙනෙක්. ඊට පහළින් හෝ ඉහළින් ඇති නිළයක කෙනෙක් කවදාවත් පෙළ අණදෙන්නෙක් ලෙස පත් කරන්නේ නැහැ. (පහළින් තියන නිළය ‘ලාන්ස් කෝප්‍රල්’ Lance Corporal ඉහළින් තියන නිළය ‘සැරයන්’ Sergeant. අනේ වඳිඤ්ඤං, දැන් අහන්න එපා, කෝප්‍රල් ගේ නිළ ලාංඡනය මොකක්ද? සාජන් ගේ නිළ ලාංඡනය මොකක්ද? කියලා. එව්වා සවිස්තරව කියා දීලා හුඟක් කල්. දැන් අපි බලමු ඔය පෙළ හෙවත් පේළියේ ඉන්න පිරිස කවුද කියලා. කෝප්‍රල් 1 යි, ලාන්ස් කෝප්‍රල් 1 යි, සාමාන්‍ය සෙබළ Private 6 යි. (මේ වචනය ප්‍රයිවෙට් මිසක් ප්‍රයිවට් නෙවෙයි. සමහරු ලියන්නේ කියන්නේ ප්‍රයිවට් කියලා) දැන් හරි නේද අට දෙනා. හැබැයි ලෝකයේ හැම හමුදාවකම මේ විදිහට නැහැ. අඩු වැඩි වෙනවා. (වෙනස් වෙනවා) පෙළ හඳුන්වන සංකේතයක් තියනවා. ඒ සංකේත පාවිච්චි කරන්නේ හමුදා සිතියම් ලකුණු කිරීම සඳහායි. ඒ විතරක් නෙවෙයි. විශාල මැෂින් තුවක්කු, ගුවන් යානා නාශක තුවක්කු, ආර්.පී.ජී. මෝටාර්, යුද්ධ ටැංකි, කාලතුවක්කු, විවිධ බෝම්බ හා මර උගුල්, වැනිදේත් සිතියමක ලකුණු කරන්න සංකේත තියනවා. පස්සේ වෙලාවක බලමුකෝ ඈ. පෙළක් හෙවත් සෙක්ෂන් එකක් පෙන්වන්නේ මෙන්න මෙහෙම. .. මොකක්ද සංකේතය? තිත් දෙකක්. මේ තිත් දෙක තමන්ගේ හමුදාවේ පෙළක් නම් නිල්පාටෙන් ද, සතුරු හමුදාවෙනම් රතු පාටෙන් ද, තමයි ලකුණු කරන්නේ. ඒ කියන්නේ හමුදා සිතියමක අපේ හමුදාවට අදාළ දේවල් නිල් පාටෙනුත්,සතුරාට අයත් දේවල් රතු පාටෙනුත්, ලකුණු කරනවා. පෙළ ගැන  කතාව එතනින් ඉවරයි.
   Austrian_Line_Infantry_Platoon_1809  මේ පේළි තුනක් එකතුවෙලා තමයි ඊළඟ හමුදා කොටස සෑදෙන්නේ. ඒ තමයි ‘ඛණ්ඩය - Platoon’ (ප්ලැටූන් කියලා ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටියක් තියනවා, බලලා තියනවද) ඛණ්ඩයක් කියන්නේ පේළි තුනක එකතුව වන 24ම නෙවෙයි. තව ටිකක් වැඩි වෙලා 30 ක් 35 ක් වෙන අවස්ථාත් තිබෙනවා. රටෙන් රටට, හමුදාවෙන් හමුදාවට, මේ ප්‍රමාණය වෙනස් වෙනවා. අපි හිතමුකෝ 30 ක් විතර කියලා. මේකේ ලොක්කා කවුද? ලොක්කලා දෙන්නෙක් ඉන්නවා. පළමුවැනියා තමයි ‘ඛණ්ඩ භාර නිලධාරි – Platoon Commander’. ඔහුට පහළින් ඉන්න දෙවැනි ලොක්කා තමයි ‘ඛණ්ඩ භාර සැරයන් – Platoon Sergeant’. ප්ලැටූන් එකක් සිතියමේ පෙන්වන්නේ කොහොමද? හොර කොල්ලා………………………….. ඔච්චර අමාරු උත්තරේ හොරෙන් බැලුව නේද මගේ ෆයිල් එකෙන්?… හා හරි හරි, තිත් තුන තමයි සංකේතය. ඔය තියෙන්නේ …  :D
   පොහ් . . ..කජු කනවා වගේ වැඩක්නේ මේ හමුදා සිතියම්වල තියන සංකේත කියවන එක. (එහෙමද හිතාගෙන ඉන්නේ මල්ලී . . . .  හරි ඔහොම යන්කෝ ඉස්සරහට. දෙන්නම්  . . . . යන්ඩ)
   Chester_Wilsons_Army_Companyඊළඟ පිරිස තමයිකණ්ඩායම - Company.
  (අනේ මේ වචනය කවදාවත් ‘කොම්පැනි’ කියලා උච්ඡාරණය කරන්න එපා හොඳේ. ‘කම්පනි’ කියලා උච්ඡාරණය කරන්න.(කයන්න විවෘතව. ඒ කියන්නේ ‘කළුපාට’ කියන තැන කයන්න කියවෙන ආකාරයට) මම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ වෘත්තීය ඉංග්‍රීසි පාඨමාලාව හදාරන කාලයේ, මගේ උපදේශිකාවක වූ, සුප්‍රසිද්ධ සිනමා/වේදිකා/ටෙලිනාට්‍ය නිළි, අයිරාංගනී සේරසිංහ මහත්මිය, මට දුන්නා හොඳ ‘ලැච්චර්’ එකක්  :D මට කොම්පැනි කියවෙලා. අප්පේ හරිම සැරයි.
  ඒ වගේමයි මට ඉගැන්වූ ගුරුවරු අතර සැර/හොඳ සුප්‍රසිද්ධ අය තවත් දෙන්නෙක් ඉන්නවා. කෙටි කාලයක් සංගීතය ඉගැන්වූ සුජාතා අත්තනායක මහත්මියත් හරිම හොඳයි, ඒ වුනාට බුදු අම්මේ සැර. නමුත් ඊට පස්සේ මගේ සංගීත ගුරුවරිය වූ විශාරද චන්ද්‍රා රණතුංග නම් අම්මා කෙනෙක්, සහෝදරියක්, වගේ. අයිරාංගනී සේරසිංහ මහත්මියගෙන් ඉංග්‍රීසි ඉගෙනගත්තා වගේම, සුජාතා අත්තනායක මහත්මිය හා විශාරද චන්ද්‍රා රණතුංග මහත්මිය බුදුවෙන්ඩ, හඩු සංගීතයෙන් හොඳ සංගීතය වෙන්කරගැනීමේ හැකියාව සහ සංගීතය රස විඳීමේ හැකියාව, විශාල ලෙස වර්ධනය වුණා.) 
My Teachers
  කම්පනි එකක් හෙවත් කණ්ඩායමක් හැදෙන්නේ ඛණ්ඩ තුනක් එක්වීමෙන්. ඒ ඛණ්ඩ, No1 Platoon, No 2 Platoon No 3 Platoon ආදී වශයෙන් නම් කරනවා. (ආයෙත් කියන්න ඕනෙද රට රටවල් අනුව වෙනස්වෙනවා කියන එක) කණ්ඩායමක ඉන්නේ ඛණ්ඩ තුනේ එකතුව හා සමාන පිරිස නෙවෙයි. ඊට චුට්ටක් වැඩි වෙනවා. සමහරවිට 150 ක් විතර වෙනවා. කවුද ලොක්කා? කණ්ඩායම් භාර නිලධාරි – Company Commander සාමාන්‍යයෙන් එයා මේජර් කෙනෙක්. නමුත් නිලධාරි හිගය නිසා හෙට අනිද්දා මේජර් වෙන්න ඉන්න කපිතන් කෙනෙක් වුනත් පත්කරනවා අපේ රටේ. 
  (මොකක්දෝ කරුමයක් පළදීලා, මම ලුතිතන් කාලේ, වැඩ බලන කණ්ඩායම් භාර නිළධාරි හැටියට පත්කෙරුවා. ඉතින් ලොක්කා වගේ ජීප් එකත් කිහිල්ලේ ගහගෙන, (ඔබ දැකලා ඇති හමුදා නිලධාරීන් ජීප් එකේ යද්දී වම් අත ගරු ගාම්භීර විදිහට ජීප් එකේ ජනෙල් කවුළුව මත තබාගෙන යනවා. ඒකට අපි කියන්නේ ‘ජීප් එක කිහිල්ලේ ගහගෙන යනවා’ කියලා :D ) මමත් හමුදා ක්‍රියාන්විත සාකච්ඡා වලට ගියාම, එතන ඉන්නේ කැප්ටන්ලා, මේජර්ලා, කර්නල්ලා.  බලසේනාධිපති (Brigade Commander) අහනවා, මොකාද අර රිලවා කියලා. (Who is that f****** Monkey කියලා. ගරු සරු ඇතුව අහන්නේ. කාටද ආඩම්බර බලසේනාධිපතිතුමා විශේෂයෙන් අහනකොට ඒ කවුද කියලා)  කොහොමටත් මගේ පෙණුමත් ඒ වගේම නේ.   :D :D :D   හයියෝ  . . . . . . . . .වෙඩි තියාගෙන, බෙල්ලේ වැල දාගෙන, මූදට පැනලා, වහ කාලා, මැරෙන්න හිතෙනවා)
  ඊළඟට කවුද ලොක්කා. ඊළඟට ඉන්නවා ‘කණ්ඩායම් භාර සැරයන් මේජර් - Company Sergeant Major = CSM’ මේ සඳහා පත් කරන්නේ බලලත් නිලධාරි II නිළයේ එක්කෙනෙක්. (මේ නිළතල හා ලාංඡන ඔක්කොම කලින් කියලා තියනවා) ඊළඟට ඉන්නවා ‘කණ්ඩායම් භාර උපකරණ පාලක සැරයන් - Company Quarter Master Sergeant = CQMS’. මේ සඳහා ඉන්නේ මාණ්ඩලික සැරයන් වරයෙක්. මේ CSM සහ CQMS යන දෙදෙනා සොල්දාදු ගණයට අයත් වුනත් ඔවුන්ට වඩා පහළ නිළවල ඉන්න සියලු දෙනාම සර් කියා ඇමතිය යුතුයි. මෙන්න කණ්ඩායම පෙන්වන සංකේතය පහත තියනවා.
 (හමුදාවේ සෑම දෙයකටම කෙටි යෙදුම් තියනවා. Section = Sec, Platoon = Pl, Company = Coy, Battalion = Bn, Brigade = Bde, Division = Div, Army = Ay, Section Commander = Sec Comd, Platoon Commander = Pl Comd, Brigade Commander = Bde Comd. මේ කෙටි යෙදුම් සප්ත මහා සාගරේ වගේ මහා ගොඩක් තියනවා. වෙන ලිපියකින් කතාකරමු)
200px-Platoon_Nato_svg
 tmu op spe 2  දිග වැඩිද? අමාරුද? මෙතනින් නවත්තන්නද? හරි, තව එකක් කියලා නවත්තනවා. කණ්ඩායම් හතරක් පහක් එකතුවීමෙන් හැදෙන හමුදා සංස්ථාව තමයි ‘බලඇණිය - Battalion’. බලඇණියක සාමාන්‍යයෙන් අවම වශයෙන් 500 ක් පමණ සිටින අතර උපරිම වශයෙන් 700 – 800 ක් ඉන්නවා. (අවශ්‍යතාව අනුව තවත් වැඩිවෙනවා විවිධ කොටස් වෙනත් අංශ වලින් ගෙනත් එකතු කලාම. මොනවද ඒ කොටස්? බිඳහෙලීම්, පිපිරවීම් හා මර උගුල් සඳහා ඉංජිනේරු සෙබළුන්, පණිවිඩ හුවමාරු විශේෂ ගුවන්විදුලි යන්ත්‍ර සඳහා සංඥා සෙබළුන්, සමහරවිට ස්නයිපර් සෙබළුන් ආදී වශයෙන්) අණදෙන්නේ ‘ලුතිතන් කර්නල් – Lieutenant Colonel’ වරයෙක්. නමුත් අපේ හමුදාවේ නිලධාරි හිගය නිසා මේජර් නිලයේ අණදෙන නිලධාරි වරුන් ඉන්නවා. ගරු මම තුමාත්, මේජර් නිළයේ සිටියදී, පාබල ඒකකයක අණදෙන නිළධාරි වීමේ වාසනාව (වාසනාව? :P ) ලැබුවාවූ පින්වන්තයෙක්. (පින්වන්තයෙක්?) ඊළඟට ඉන්නේ ‘දෙවැනි අණදෙන නිළධාරි – 2nd in Command’ = 2iC. ඔහු බලඇණියේ ඉන්න ජ්‍යොෂ්ඨතම මේජර්. (ඉන්දියානු යුද හමුදාවේ, කර්නල් වරයකු පාබල බල ඇණියකට අණදෙන අතර, දෙවැනි අණදෙන නිළධාරි වශයෙන් ක්‍රියා කරන්නේ, ලුතිතන් කර්නල් වරයෙක්)
  මම කිව්වානේ කම්පනි කීපයක් තිබෙනවා කියා බලඇණියක. ඒවා නම් කරන්නේ A Company (යුද හමුදා කෙටි යෙදුම Military Abbreviation = A Coy), B Company (B Coy) ආදී වශයෙන් මේ ඒ, බී,  සී,  කියන ඒවා උච්ඡාරණය කරන්නේ හමුදාවට ආවේනික ක්‍රමයකට කියලා කිව්වා මතකද? (හම්මෝ……මේ බ්ලොග් අඩවිය නිසා, දැන් ඔයාලා හමුදාව ගැන දන්නා දේවල් හරී ගොඩයි, නේද මෙයාලා…….. :D :D ) ඒ අනුව අල්ෆා කම්පනි, බ්‍රාවෝ කම්පනි, ලෙස තමයි කියන්නේ. එක කම්පනියක් තියනවා ‘Support Company - ආධාරක කණ්ඩායම’ කියලා. ඒ කණ්ඩායමේ තමයි ලොකු මෝටාර්, ආර් පී ජී අංශ, බර මැෂින් තුවක්කු අංශ, තිබෙන්නේ. සාමාන්‍යයෙන්, බලඇණි අධාරක අවි පිලිබඳ විශේෂ පාඨමාලාව Battalion support weapon course = BSW සමත් මේජර් කෙනෙකුට තමයි ආධාරක කණ්ඩායම අණදීම ලැබෙන්නේ.
  බලඇණි මූලස්ථානයේ ඉන්න අනික් අය කවුද? ඔන්න මෙතැනදී නම් මම අපේ හමුදාවට ආසන්නව යමින් ලියන්නේ. දෙවැනි අණදෙන නිළධාරි ළඟට ඉන්නේ ‘විධායක අධිකාරි - Adjutant’ ඔහු අණදෙන නිළධාරිගේ ‘මාණ්ඩලික නිළධාරියා – Staff Officer’. ඔහු තමයි අණදෙන නිළධාරි දෙන නියෝග නොපමාව, විධිමත්ව, ක්‍රියාත්මක වෙනවාද යන්න සොයාබලන්නේ. බලඇණියේ විනය හා පරිපාලනය ගැනත් ඔහු සොයාබලා අවශ්‍ය කටයුතු කළයුතුයි. පුහුණු කටයුතු භාරව ක්‍රියා කළයුතුයි. (රාජකාරි ලැයිස්තුව දිගයි) සාමාන්‍යයෙන් විධායක අධිකාරි ලෙස පත්වන්නේ කපිතන් නිළයේ නිළධාරියෙක්. ඊළඟට ඉන්නවා බුද්ධි නිළධාරි. බොහෝවිට ලුතිතන් හෝ කපිතන් (කපිතාන් නෙවෙයි කපිතන්) නිළයේ නිළධාරියෙක්. ඒ වගේම බලඇණියේ උපකරණ පාලක නිළධාරියා ඉන්නවා. (අපේ හමුදාවේ ක්‍රමය අනුව, මොහු, කෝප්‍රල් නිළයේ සිට බලලත් නිලධාරි 2 දක්වා නිළයක සේවය කර, ඉන් ඉවත්ව, නැවත පුහුණුවක් ලබා උපකරණ පාලක අධිකාරියට පත්කළ නිළධාරියෙක්) ඔහු ඉන්නෙත් බලඇණි මූලස්ථානයේ. ඔහු බලඇණියේ සියළු දෙනාගේ ආහාර පාන, ඇඳුම් පැළඳුම්, අවි සහ පතරොම්, ගැන සොයාබලා කටයුතු කරනවා. ඔහුගේ සහයට ‘රෙජිමේන්තු උපකරණ පාලක සැරයන් මේජර් - Regiment Quarter Master Sergeant = RQMS’ ඉන්නවා. ඔහුත් බලලත් නිලධාරි 2 පන්තියේ කෙනෙක්. බලඇණියක සිටින ජ්‍යොෂ්ඨතම සෙබලා හෙවත් ‘රෙජිමේන්තු සැරයන් මේජර් - Regiment Sergeant Major = RSM’ (ඔහු බලලත් නිලධාරි 1 පන්තියේ) ඉන්නෙත් බලඇණි මූලස්ථානයේ. බල ඇණියේ විනය, පරිපාලනය, පුහුණු කටයුතු තමයි මොහුගේ වගකීම් අතර ප්‍රධාන තැනක් ගන්නේ. බලඇණි මූලස්ථානයේ ආරක්ෂාව සළසන්නේ ‘මූලස්ථාන කණ්ඩායමෙන් – Headquarter Company’ සාමාන්‍යයෙන් එහි අණදීම් පැවරෙන්නේ දෙවැනි අණදෙන නිලධාරිට පසුව සිටින ජ්‍යොෂ්ඨතම මේජර්ටයි. මෙන්න බලඇණියේ සංකේතය.
200px-Platoon_Nato_svgඅම්මෝ, දැන්නම් වචන 1300 ත් පැනලා. අදට මේ ඇති. මෙතනින් එහා ටික ඊළඟ ලිපියෙන් කියන්නම්. නැත්නම් ඔලුව කුරුවල් වෙනවා. ඔය සංකේත අමතක කරන්න එපා. ඉස්සරහට ඕනෑ වෙනවා. අමතක කරලා මගෙන් හොඳ ‘ආමි හබ්බ’ අහගන්ඩත් එපා.  :D :D වෙලාවක් තිබුණොත්, අර මම ඉස්සර කියලා දීපු, හමුදා නිළ ලාංඡන ලිපියේ, පළමුවැනි කොටස සහ දෙවැනි කොටස  නැවත කියවන්න. එය මේ ලිපියට සම්බන්ධ නිසා.
වෙනදා වගේම පින්තූර ලබාගත්තේ Google Images වෙතින්
My Signature for Blog2013 අප්‍රේල් මස 04 වැනි දින 2318 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }