හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

09 October 2013

අනේ මන්දා මේ නීති ඕනෙද එපාද? – The Law and Order

 


 Judge_With_His_Gavel_clipart_imageඅපේ රටේ නීතිය වල් වැදිලා, අධිකරණය පක්ෂපාතියි, පොලීසිය සාධාරණ නැහැ කියන චෝදනා, නිතර අහන්න ලැබෙන බව අපි කවුරුත් දන්නවා. පසුගිය අවුරුදු 25 – 30 පමණ කාලය තුළ, ඉහත කී ආකාරයේ චෝදනා වැඩිවීමක් මිස අඩුවීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. බලයට පත්වන සෑම රජයකින්ම, මහජනතාව බලාපොරොත්තුවන සාධාරණත්වය ඉටු නොවුන බවයි මහජනතාවගේ මතය වන්නේ. ඒ නිසයි කාලීනව පවත්වන (සාධාරණ)මැතිවරණ වලදී ආණ්ඩු බලය ගිලිහී යන්නේ.
  නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලීසිය ගිරයට අහුවුණ පුවක් ගෙඩියක් බවත් නොරහසක්. නීතිය ක්‍රියාත්මක කරන්න පොලීසිය කොතරම් සූදානම් වුවත් දේශපාලන අධිකාරියේ දඬු අඬුව විසින්, පොලීසිය, හෙලවෙන්නට නොදී දැඩි ග්‍රහණයකට ලක්කරගෙන තිබීම, මෙතෙක් පැවති සෑම ආණ්ඩුවක්ම යටතේ දක්නට ලැබෙන, කාලකණ්නි ස්වභාවයක්. ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන අධිකරණ සේවා කොමිසම ආදිය, ඈත දිව්‍යලෝකයක තිබෙනවායැයි කියන, රසවත් ආහාරයක් ලෙසයි, අද අපේ රටේ මහජනතාව තේරුම්ගෙන තිබෙන්නේ. ඒවා ආත්ම ගණනාවක් පින්කර ලබාගතයුතු දිව්‍යලෝක සැප විනා, මේ ආත්මයේදී ලබාගත නොහැකි දේ ලෙසයි පෙනීයන්නේ. පොලිස් නිළධාරියකුට නිදහසේ තම හැඟීම් ප්‍රකාශ කරන්න අවස්ථාවක් දුන්නොත් බොහොම ජ්‍යොෂ්ට පොලිස් නිළධාරීන් පවා කියයි, තමන් දේශපාලන අධිකාරියේ හස්තයට අසුවී සිටින නිසා නීතිය හරිහැටි ක්‍රියාත්මක කරවන්නට නොහැකි බව.
  ජනතාව දැඩි ජීවන අරගලයක යෙදී සිටින නිසා, තම මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් කෙරෙන, සාධාරණ අරගලයකට එක්නොවන්නේ, අපි හැඩගැසී තිබෙන (අපේ මනසට කාවද්දා තිබෙන) පසුගාමී ආකල්ප සහ, විවෘත ආර්ථිකය මගින් ඇතිකරන ලද, ධන තණ්හාව නිසා බවයි, මටනම් හිතෙන්නේ. කවුරුන් හෝ පාලකයකු, අපේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය නොමිළේ ලබාදීම අත්හිටවූවත්, ජනතාව වීදි බසියි කියා මමනම් හිතන්නේ නැහැ. එමෙන්ම නුදුරේදී ඇත්තටම එය සිදුවූවත්, මමනම් පුදුම වන්නේ නැහැ. 
  නීතිය ක්‍රියාත්මකවීම ගැන නිතර අහන දකින කරුණු කීපයක් ගෙනහැර දක්වන්නට මම කැමතියි. මා ඔබෙන් ඉල්ලාසිටින්නේ මේ ගැන ඔබේ අදහස් දැක්වීමට මෙය විවෘත වේදිකාවක් කරගන්න ලෙසයි.  
අයිතිවාසිකම් වෙනුවෙන් ඇයි අපි ඉදිරිපත් නොවෙන්නේ?
  •   බස් එකේදී ටිකට් එකක්/ඉතුරු සල්ලි නොදීම ගැන කොන්දොස්තරගෙන් විමසන්නේ අපෙන් කීයෙන් කී දෙනාද? ඒ පිරිස අඩු නිසා නේද කොන්දොස්තරලා ගහගන්න එන්නේ. එක බස් එකක යන දෙන්නෙක් තුන්දෙනෙක් හරියට කතාකළොත් ඒ අයිතිය දිනාගන්න බැරිද?
  • බස් එක ඇතුළට/කෝච්චිය ඇතුළට ඇවිත්, අපේ කරේ නැගලා කරන, වෙළඳාම සහ සිඟාකෑම, නවත්වන්න ඕනෙද නැද්ද? ‘මග නැගුම’, ‘මග නැසුම’, ‘ගම නැගුම’, ‘ගම කෑම’, වැනි මොන බෝඩ් එක එල්ලගෙන ආවත්, අමාරුවෙන්, දාඩිය දාගෙන, තෙරපිලා, ගොඩවෙලා ඉන්න කෝච්චියේ, අපේ රෙද්ද අස්සෙන් රිංගලා වෙළඳාම් කරන්න එන්නේ, හරියට ‘අනේ අපේ රෙද්ද අස්සට එන්නකෝ’ කියලා අපි කිව්වා වගේ. ඒ මදිවට යන්තම් හරි ඇඟේ හැප්පුනොත්, අපිටම ගහන්නත් එනවා.  
  • අපි කවුරුත් ඉස්පිරිතාලෙට යන්නේ, ලක්ෂ ගණන් වියදම් කරලා, පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් ගන්න වත්කමක් නැති නිසා. එහෙම බෙහෙත් ගන්න ඇඳුනුම් කමක් තියෙන්න ඕනේ ඇයි? එහෙම නොතිබුනොත් රස්තියාදුවෙන්න හෝ නිසි ප්‍රතිකාර නොලැබෙන්න, ඇඳක් නොලැබෙන්න ඉඩ තියෙන්නේ ඇයි? දොස්තර මහත්තයා ලියලා දුන්න බෙහෙත්ටික ගන්න, අපි  අමාරුවෙන් පෝළිමේ  හිටගෙන ඉඳිද්දී, කාර්ය මණ්ඩලයේ අයට කියලා, වෙනම බෙහෙත් කවුන්ටරයක් හදලා තියෙන්නේ ඇයි?
  • පොලීසියට පැමිණිල්ලක් කරලා එහි පිටපතක් ගන්න යතුරු ලියන කඩදාසි හෝ ඡායා පිටපත් කඩදාසි, රාළහාමිට බුලත් විටක්/තේ එකක්, සමහරවිට ඊටත් වැඩි දේවල් දෙන්න සිදුවෙලා තියෙන්නේ ඇයි? ඒ ගැන ප්‍රශ්න කළොත් ගුටිකන්න සිදුවෙන්නේ ඇයි?
  • ඉස්කෝලේ පළමුවැනි වසරට ළමයෙක් දාගන්න එක, මේ තරම් දරුණු යුද්ධයක් වෙලා තියෙන්නේ ඇයි? ඒ වෙනුවෙන් අපි කොච්චර හොර බොරු වංචා කරනවද? පව් කන්දරාවක් කරලා, අර ළමයා ලවා බොරු කියවලා, පව් කරවලා, පව් කාරයෙක් හැටියට තමයි ඉස්කෝලෙට දාගන්නේ. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ නැද්ද?
  • ඇත්තටම සියළුම සුදුසුකම් සපුරා තිබියදීත්, රැකියාවක් ගන්න, යන්තම් අටවත් පාස් නැති, දේශපාලන අම්බරුවන්ගෙන් වරම් ගන්න සිදුවෙලා තියෙන්නේ ඇයි? දැනට දශක කීපයක් තිස්සේ (මට මතක හැටියට 1970 දශකයේ සිට තමයි මේ තත්වය ඇතිවුනේ. 1968 වර්ෂයේදී මගේ අයියා කිසිදු දේශපාලුවකු පසුපස නොගොස් සුදුසුකම් අනුව පමණක් රජයේ රැකියාවක් ලබාගත්තා)  මගේ පියා විදුහල්පති කෙනෙක් වුනේ එකම දෙස්පාලුවෙකුටවත් ගොට්ට අල්ලන්නේ නැතුව 1960 ගණන් වලදී.
  මේ ලැයිස්තුව තව කොපමණ දිගට ලියන්න පුළුවන්ද කියන එක ඔබ හොඳින්ම දන්නවා. එහෙනම් ඔබම මේගැන ඔබේ අදහස් ලියන්න. ඊළඟට අපි තවත් පැත්තක් බලමු.
මේ නීති හරියට ක්‍රියාත්මක කළොත් ඔබ එකඟද?
  • නියම තැනින් පාර හරහා පනින්නේ නැති/පාරේ අපද්‍රව්‍ය හෝ කැළිකසල දමන/මුත්‍රා කරන හෝ මළපහ කරණ/පදික වේදිකාව අවහිරවනසේ වාහන, ත්‍රිරෝද රථ, මෝටර් බයිසිකල් නවත්වා තබන, දැන්වීම් පුවරු තබන, කඩවල් හදන/ අයට අනිවාර්යයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක වියුතුයි. 
  • පෞද්ගලික බස්රථ මෙන්ම ලංගම බස්රථ පාර බදු අරගෙන ධාවනය කිරීම, අධික වේගය, අධික හඬ නංවන හෝන්  පාවිච්චි කිරීම, නීති විරෝධී ලෙස, ප්‍රධාන ලාම්පු ක්‍ෂණිකාලෝක කර, ඉස්සර කිරීමට/පාර ඉඩ ගැනීමට උත්සාහ කිරීම, අනික් රියදුරන් බයකර ඉස්සර කිරීම, කොන්දොස්තර වරයා අනෙක් රියදුරන්ට තම වම් අත දමා සංඥා කිරීම, වැනි කටයුතු වලට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කළයුතුයි.
  • පුෂ් බයිසිකලයක් වුවද (අනේ මේකට ෆුට් බයිසිකලේ/පුට් බයිසිකලේ/පුටාර්/අරවා මෙව්වා කියන්න එපා හොඳේ. මේ බලන්න නිවැරදි නම හැබැයි ඒ නමත් හොඳ ඉංග්‍රීසි නෙවෙයි.)  ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කර (රු 10 ක් හොඳටම ඇති) බලපත්‍රයක් ලබාගත යුතුයි. (ඉස්සර මේවා කළේ නගර සභාව හෝ ගම් සභාව විසින්) එමෙන්ම බයිසිකලයක සීනුව, රාත්‍රී කාලයේදී දැල්වෙන විදුලි පහන්, පසුපස මඩ ආවරණයේ තිබියයුතු රතු පැහැති ආලෝක පරාවර්තකය, (reflector) අනිවාර්ය කළයුතුය. බයිසිකලයක ගමන්කළ හැකිවන්නේ එක් පුද්ගලයකුට පමණි. (ටැන්ඩම් බයිසිකල් හැර. ටැන්ඩම් බයිසිකලයක ලයිසම රු 25 ක් කළයුතුයි. බඩු ගෙනයන ලොකු බක්කිය සහිත බයිසිකලයක ලයිසම රු 50 ක් කළයුතුයි) එමෙන්ම විශාල පෙට්ටි, බඩු පුරවන ලද ගෝණි වැනි, බයිසිකලයට සහ එහි සමබරතාවයට දැරිය නොහැකි, අධික බර පටවාගෙන යාම තහනම් කළයුතු අතර, බයිසිකලය පාලනය කරගැනීමට අපහසු වන පරිදි, එහි හැඬලයේ, ගමන් මලු, වෙනත් පාර්සල් ආදිය එල්ලාගෙන යාම තහනම් කළයුතුය.
saw-overloaded-bike-004
පින්තූරය ගත්තේ මෙතනින්
  මෝටර් බයිසිකලයක නමැති වාහනය නිපදවා තිබෙන්නේ, එක් අයකුට හෝ දෙදෙනෙකුට ගමන් කිරීම සඳහාය. ලෝකයේ කිසිදු දියුණු රටක, සම්මතයට පටහැනි ලෙස, මෝටර් බයිසිකලයක මිනිසුන් හෝ බඩු බාහිරාදිය පටවාගෙන යාමට එරෙහිව දැඩි නීති පනවා තිබෙන්නේ, මිනිස් ජීවිත රැකගැනීමට විනා ‘දුප්පත් මිනිස්සු ඕනේ විදිහකට ගියාවේ’ කියන අමනොඥ සිතුවිල්ලෙන් නොවේ. එහෙනම්, ‘දුප්පත් මිනිස්සු ඕනේ විදිහකට ගිහින් ඕනේ විදිහකට මැරුණාවේ’ යනුවෙන් ඒ අදහස වෙනස් කළයුතුය. ඒ නිසා පහත දැක්වෙන නීති වහාම ක්‍රියාත්මක කළයුතුය.
  මෝටර් බයිසිකලයක ගමන් කළහැකි වන්නේ දෙදෙනෙකුට පමණි. එසේ කළහැකි වන්නේද එම මෝටර් බයිසිකලය දෙදෙනෙකුට යාම සඳහා නිපදවා ඇති එකක් නම් පමණි. මෝටර් බයිසිකලයක වුවද විශාල පෙට්ටි, ගෝණි, හැඬලයේ එල්ලන ලද ගමන් මළු, ආදිය ගෙනයාමට ඉඩ නොලැබෙන අතර, පදින්නා සහ පසුපස අසුනේ වාඩිවී යන්නා අතර ගමන් මළු හෝ එවැනි කිසිදු දෙයක් තබාගෙන යාමට අවසර නොලැබේ. නිෂ්පාදකයා විසින් සවිකර ඇති, ගමන් බඩු පෙට්ටි සහ ලගේජ් කැරියර් වල පමණක්, බයිසිකලය හැසිරවීමට අපහසු බව, රථවාහන පොලිස් නිලධාරියකු විසින් නිරීක්ෂණය නොකෙරෙන ආකාරයේ භාණ්ඩ ප්‍රමාණයක් ගෙනයා හැකිය. වාහන පේළි අතරින් හිතු හිතු ආකාරයට වමෙන් දකුණෙන් දෙකෙන්ම ඉස්සර කරමින් රිංගාගෙන යන මෝටර් බයිසිකල් කරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළයුතුය.
  මඩකළපුවට යාපනයට වෙනම මෝටර් බයිසිකල් නීති දුන්නේ කවුද? පසුපස ආසනයේ හරහට වාඩිවී යන්නට අවසර දුන්නේ කවුද? මුස්ලිම් අයට (විශේෂයෙන් ඒ ප්‍රදේශවල මුස්ලිම් කාන්තාවන්ට)  හෙල්මට් දැමීම අනවශ්‍ය බවට අවසරයක් දුන්නේ කවුද? වහාම, ඒ පළාත්වලටත්, දිවයිනේ අනෙක් පලාත්වල ඇති නීතියම ක්‍රියාත්මක කළයුතුය. (මෝටර් බයිසිකල් සම්බන්ධ දැනට ක්‍රියාත්මක නීති මෙහි සඳහන් නොකෙරේ)
03-overloaded-171112
overloaded MC 1
Overloaded MC 2
පින්තූර ගත්තේ මෙතනින්
  ත්‍රිරෝද රථ ලෝකයේ දියුණු රටවල පාවිච්චි නොකෙරේ. පාවිච්චි කිරීමට අවසරද නැත. හේතුව එය මගී ප්‍රවාහනය සඳහා ආරක්‍ෂිත වාහනයක් ලෙස ලෝකයේ රටවල් විශාල ගණනක් නොපිළිගන්නා බැවිනි. අපේ රටේ ත්‍රිරෝද රථ පදවන ආකාරය නිසා ඇතිවන ගැටළු සම්බන්ධයෙන්, අද කොයි තරම් දේවල් සාකච්ඡාවට භාජනය වෙනවාද? ත්‍රිරෝද රථ නිසා අපේ රටේ වාර්ෂිකව සිදුවන මාරක අනතරු ගණන ඉහළ යනවා මිස පහළයාමක් නැහැනේද? නමුත් සම්මත නීති පවා ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි? තමන්ට වැටෙන මනාප ඡන්දය වෙනුවෙන්, ඕනෑම දහජරා වැඩක් ඉවසන, අනුමත කරන, ජරා දේශපාලුවන් නිසා නේද එවැනි තත්වයක් උදාවී තිබෙන්නේ? එදා යුද්ධයෙන් මිනිසුන් මැරුණා වගේ, අද වැඩිපුරම මිනිසුන් මැරෙන්නේ වාහන අනතුරු නිසා නේද? බොහොමයක් ත්‍රිරෝද රථ පදවන්නන්ද වමෙන් හා දකුණෙන් ඉස්සර කරමින් රිංගාගෙන යාම, ඉතා නොසැළකිල්ලෙන් අතුරු පාරවල සිට ප්‍රධාන පාරට පිවිසීම,  වැරදි ආකාරයට නැවත්වීම සහ නවත්වා තැබීම (stop & parking) අනවශ්‍ය වාහන තදබදයක් ඇතිකිරීමට හේතුවෙනවා. ඒ නිසා ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළයුතුයි. නීතිය වල් වැදුනොත්, හෙට අනිද්දා වනවිට, විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල, මේ පහළ පින්තුරයේ තිබෙන දර්ශනය දකින්න ලැබෙයි. 
Tri Show 1
එමෙන්ම එහි තවත් ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ ප්‍රවාහනය මෙන්න මේ වගේ වෙන්නත් බැරිකමක් නැහැ.
Tri Show 2
දඹුල්ලේ/වැලිමඩ/යාපනයේ එළවලු ගොවීන්ට, පෞද්ගලික සුළු පරිමාන තේ ඉඩම් හිමියන්ට, පොල් වගාකරුවන්ට, ගැලපෙන විශාල ත්‍රිරෝද රථ තිබෙනවා. නමුත් ඒවා මෙහෙ ගෙනාවොත් නිසි පිළිවෙත අනුව භාවිත කරයිද යන්න ගැටළුවක්. අපේ රට වැනි දුප්පත් රටවලින්, ත්‍රිරෝද රථය දැන්ම ඉවත් කළ නොහැකි බව, මමත් පිළිගන්නවා. නමුත් ඒ තත්වය, ත්‍රිරෝද රථ හිතුමනාපයට පාවිච්චි කිරීම සඳහා නිදහසක් දීම ලෙස, වරදවා නොගතයුතුයි.
Tri Show 3
  පාසල් සිසුන් හා රැකියා සඳහා යන අය වෙනුවෙන් දුම්රිය ගණනාවක් යෙදුවත් තදබදය අඩුවන බවක් පෙනෙන්නට නැහැ. සමහර කාර්යාල සේවිකාවන්ට දුම්රියට ගොඩවීමට අවස්ථාව අහිමිවන්නේ, දුම්රියේ දොරටු වල එල්ලී සිටින අය නිසා දොරටු සම්පූර්ණයෙන් අවහිරවී තිබෙන නිසයි. සමහරෙක් දොරටුව අසල ඉන්නේ ඇතුලේ රස්නය හා තදබදයට අකමැති නිසා. ඉක්මනින් බැහැගන්න පහසු නිසා.  ඔවුන්ද එසේ එල්ලී සිටින්නේ, ආසාවට නොවෙයි. පිටතින් එල්ලීමට නොහැකි වනලෙස, ස්වයංක්‍රීයව ඇරෙන/වැසෙන දොරටු සහිත දුම්රිය යෙදවීමට ඔබ එකඟද?
Overloaded Train
රෝද දෙකේ ට්‍රැක්ටර් ගැනත්, මේ ලිපියේදී කථාකළයුතු වෙනවා. ඒවා අද බහුළව පාවිච්චි කරන නිසා.
image0118

පින්තූරය ගත්තේ මෙතනින්
රෝද දෙකේ අත් ට්‍රැක්ටර් (අපි පුංචි කාලේ තිබුණ පීඩන භූමිතෙල් ලාම්පු වල, එක නිෂ්පාදන නමක් වුනේ, ‘පෙට්‍රොමැක්ස් – Petromax’  යන්නය. ඒ නිසා ඒ ආකාරයට ක්‍රියාකරන සියළුම ලාම්පු, ඒ නමින්ම හැඳින්වුණා. එකම හැඩය තිබුන නිසා, තවත් ලාම්පු වර්ගයක් හැඳින්වුණේ ‘ඇලඩින් ලාම්පු’ කියලා. නමුත් නියම ඇලඩින් ලාම්පු බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක්. ඒ වගේ මුලින්ම වෙළඳපොළට පැමිණි රෝද දෙකේ අත් ට්‍රැක්ටර් ‘ලෑන්ඩ් මාස්ටර් Land Master’ නමැති වෙළඳ නාමයෙන් තිබුණ නිසා, අදටත් අපේ බොහොමයක් දෙනා, රෝද දෙකේ ට්‍රැක්ටරය හඳුන්වන්නේ ලෑන්ඩ්  මාස්ටර් නමින්මයි)  ප්‍රධාන පාරවල්වල ධාවනය කිරීම වහාම තහනම් කළයුතුය. එමෙන්ම එහි ට්‍රේලරයේ, මිනිසුන් ප්‍රවාහනය සහ රියදුරු අසුනේ දෙපස, වෙනත් කිසිදු මගියකු ගෙනයාමට දැනට ඇති තහනම, ඉතා දැඩිව ක්‍රියාත්මක කළයුතුය. (වෙසක්, පොසොන්, දවස්වල සහ  වෙනත් ප්‍රධාන පෙළේ ආගමික උත්සව දිනවල, මේ ට්‍රැක්ටර් ට්‍රේලර් වල ඕනෑ තරම් මිනිසුන් පටවාගෙන යාමට තහනමක් නැත යනුවෙන් වැරදි ආකල්පයක් අපේ සමාජයේ මුල්බැසගෙන ඇත. ඒ අදහස වැරදි බව අවබෝධ කර දියයුතුයි) මේ ට්‍රැක්ටර්, ට්‍රේලරය සහිතව, රාත්‍රී කාලයේ, ගම්බද පාරක වුවද ධාවනය කරන්නේනම්, ට්‍රේලරයේ පසුපස විශාල, රතු පැහැති, ආලෝක පරාවර්තක දෙකක් සහ ‘ටේල් ලයිට් tail light’ දෙකක් අනිවාර්යයෙන් තිබියයුතු අතර, කිසිදු හේතුවක් නිසාවත්, ට්‍රේලරයේ ටේල් බෝඩ් tail board එකෙන්, එම ලාම්පු රාත්‍රී කාලයේදී ආවරණය නොවියයුතුය.
untitled
පින්තූරය ගත්තේ මෙතනින්
අපරාධ නීතිය ගැන නම් මීට වඩා දීර්ඝව කතාකරන්න ඕනේ. නමුත් කෙටි ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරන්නම්.
  • 1. අපේ රටේ, වහාම ක්‍රියාත්මක වන පරිදි, මරණ දඬුවම ක්‍රියාත්මක කළයුතුයැයි ඔබ සිතනවාද?
  • 2. ස්ත්‍රී දූෂණය, කිසිදු සැකයකින් තොරව ඔප්පු වුනොත්, මරණ දඬුවම දියයුතුයැයි ඔබ සිතනවාද?
  • 3. දූෂණයට ලක්වූ කාන්තාවකට, ඒ බව, අධිකරණය ඉදිරියේ, සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට හැකිනම්, මවට ජීවිත හානිය නොවන තත්වයක ඇති දරුගැබක්, පිළිගත් වෛද්‍ය වරයකු ලවා, ගබ්සා කරගැනීමට, ඒ මවට අයිතියක් දියයුතුයැයි ඔබ සිතනවාද? 
පහත දැක්වෙන මත විමසුම වෙතත් ඔබේ අවධානය යොමු කරවනවා. ඒ මත විමසුමටත් දායක වන ලෙස ඉල්ලනවා. මෙවැනි මත විමසුමක්, මා ඉදිරිපත් කරන්නේ, මේ බ්ලොග් අඩවියේ ඉතිහාසයේ පළමුවැනි වරටයි. ඒ නිසා කිසියම් තාක්ෂණික දෝෂ ඇතිවීමට ඉඩ තිබෙනබව ද සඳහන් කරනවා.
මරණ දඬුවම අපේ රටට අවශ්‍යද?
අපේ රටේ නීතිය ක්‍රියාත්මකවීම ගැන සෑහීමකට පත්විය හැකිද?
my-signature-for-blog[1]2013 ඔක්තෝබර් මස 06 වැනි දින 2144 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }