හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

25 June 2014

අන්ත්‍රාවයි වෙඩිතියන පොලිස්කාරයෝ ඉදිරියෙන්


1
   මෙවැනි ලිපියක් ලියන්නට සිදුවීම සතුටක් නෙවෙයි කණගාටුවක්. මමත් ආරක්ෂක අංශයක හිටපු සාමාජිකයකු නිසා, තවත් ආරක්ෂක අංශයක් ගැන මෙහෙම ලියන්නටවීම ගැන මට කණගාටුයි. නමුත් මේවා නොලියාම බැහැ. ඒ නිසයි ලියන්නේ. පොලීසිය කියන්නේ වැදගත්, ගෞරවණීය, අභිමානවත්, සේවයක්. එය රැකියාවක් නොවේ. පොලීසියක් පවත්වාගෙන යාම අපි පොලීසියට බනිනවා වගේ ලේසි වැඩක් නොවේ. පොලිස් සේවාව සෑමවිටම එහි බලධරයන්ගේ පරිපාලනයත් කළමනාකරණයත් විසින්, නොකඩවාම අධීක්ෂණයේ තබාගතයුතු, බරපතල වගකීමක්. මහජනතාවට ඇත්තටම සේවයක් සිදුවන පොලීසියක් ලැබෙන්නේ එවිටයි.  

   නමුත් ඉතා අවාසනාවන්ත ලෙස, අපේ රටේ පොලිස් සේවය පිළිබඳව එන්න එන්නම අහන්නට දකින්නට ලැබෙන්නේ, සතුටුදායක දේවල් නොව ඉතා අසතුටුදායක, අවාසනාවන්ත සිදුවීම්. අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පොලීසිය තුලදී මියයාම, තවත් සැකකරුවන් ආයුධ සඟවා ඇති තැන් පෙන්වාදීමට ගොස් සඟවා ඇති ආයුධ වලින් පොලීසියට පහරදීමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි පහරින් මියයාම යන අවාසනාවන්ත සිදුවීම් මාලාවට අලුතෙන්ම එකතුවූ ජවනිකාව තමයි මෑතක සිට පොලිස් රාලහාමිලාට (මේ රාලහාමි කියන වචනය වෙනුවට වෙන වචනයක් දාගන්න පොලීසිය කැමති නැද්ද?  'වල් අලි' - 'වන අලි' කළා වගේ) ලබාදුන් රිවෝල්වර භයානක ලෙස පත්තුවෙන්නට පටන්ගැනීම.

  ඊයේ පෙරේදා පස්යාල ප්‍රදේශයේදී පුද්ගලයකු මෙසේ පොලිස් වෙඩි පහරින් මියගියා. වෙඩිල්ල එල්ල කොට තිබුනේ මරණකරුට ඉතා ආසන්නව සිට. මරණකරු එවෙලේ නිරායුධව සිට තිබෙන්නේ, පොලීසිය කියනවා මරණකරු පැමිණි මෝටර් බයිසිකලය පොලිස් රාලහාමිලාව යටකරගෙන යන්න හැදුවලු. මෝටර් බයිසිකල් පදින ඕනෙම කෙනෙක් දන්නවා, මිනිසකු තියා බල්ලෙකු වුනත් හරියට බයිසිකලයේ වැදුනොත් බයිසිකලය පෙරලෙන බව. නැත්නම් සමබරතාව ගිලිහී, මොහොතකට හෝ කකුල බිම තබන්නට වෙන බව. මොටෝ ක්‍රොස් පදින ආකාරයට රාළහාමිලාගේ ඔලුවට උඩින් බයිසිකලය පන්නන්නත් බැහැ. රාලහාමිලාට තිබුනා අහකට පැනලා බයිසිකලයේ ටයර් වලට වෙඩි තියන්න. බයිසිකල් කාරයාගේ කකුලකට වෙඩි තියන්න, උරහිසකට වෙඩි තියන්න, එහෙම නොකළේ ඇයි?

   අද තවත් සිදුවීමක් වාර්තා වෙලා තිබුණා දිවුලපිටිය ප්‍රදේශයෙන්. ඒ ගැන වීඩියෝ වාර්තාවක් මා දුටුවා සිරස රූපවාහිනියේ. එහිදී එක රාලහාමි කෙනෙක් තම රිවෝල්වරය පුද්ගලයකුට එල්ල කරන බව පෙනෙනවා, පාරේ එක පැත්තක සිට. පාරේ අනික් පැත්තේ එක පුද්ගලයකු සෙමින් ගමන්කරනු දකින්න ලැබුණා. මියගියේ ඒ පුද්ගලයාදැයි මා දන්නේ නැහැ. මේ වෙලාවේ පාරේ වාහන තිබුණා. රාලහාමිගේ ඉලක්කය වැරදුනානම්  අර වාහනයක ගමන් කල කෙනෙකු මියයන්නට හෝ තුවාල වන්නට ඉඩ තිබුනා 100%ක් ම.


   මෙහෙම වෙන්නේ ඇයි? මෙන්න ඒ ගැන මගේ නිරීක්ෂණ සහ නිර්දේශ.


නිරීක්ෂණ.

  • පොලිස් රාළහාමිලාගේ අතට මේ රිවෝල්වර් ආවේ බොහොම මෑතකදී. රිවෝල්වර හෝ පිස්තෝල  පාවිච්චි කලේ උප පොලිස් පරීක්ෂක සහ ඊට ඉහළ නිළයන්හි නිළධාරීන්. ඔවුන්ටනම් මේ අවිය ගැන හොඳ පුහුණුවක් ලැබුණා. නමුත්, මේ තරමක් නුහුරු ආයුධය පරිහරණය ගැන නිසි පුහුණුවක් සහ උපදෙස් රාළහාමිලාට ලැබී නැති බව පෙනෙනවා. 

  • තමන් ආසා කරන ආයුධයක් ලැබුනම එයින් වැඩ අරන් බලන්න අපි කුඩා කාලේදී හරි ආසයිනේ. සමහර රාළහාමිලා මේ අවිය තියාගෙන ඉන්න විදිහ දැකලා දැනට මාස දෙකකට පෙර මට හිතුනා මෙයාලා කාක්කෙකුට හරි වෙඩි තියලා බලයි නිකම් ඉන්න ගමන් කියලා. නමුත් දෙයියනේ මෙයාලා වෙඩි තියලා තියෙන්නේ කාක්කන්ට නෙවෙයිනේ.

2
  • සමහර රාළහාමිලා, රිවෝල්වරය ගැන සමහර කරුණු දන්නේ නැහැ කියන එක, මට තහවුරු වුන අවස්ථාවක් මතකයි. දැනට මාසෙකට විතර උඩදී මම අපේ ප්‍රදේශයේ පොදු කටයුත්තක් සඳහා එක්තරා පොලිස් ස්ථානයකට ගියා. එහිදී, එහි සිටි මා දන්නා හඳුනන පොලිස් සැරයන් කෙනෙකුගෙන් මා ඇසුවා දැන් රිවෝල්වර තිබෙන නිසා ලොකු, බර, තුවක්කු උස්සාගෙන යන්න අවශ්‍ය නැහැ නේද කියා. 'අප්පේ ඔව්' ඔහු කට පුරා සිනාසෙමින් කිව්වා.  මම ඇහුවා, 'දන්නවද රිවෝල්වරයකින් වෙඩි තියපුවම තියන වැදගත්ම වාසිය මොකක්ද' කියලා. නමුත් ඒ ගැන නම් ඔහු කිසිවක් දැන සිටියේ නැහැ. (ඒ වාසිය තමයි පිස්තෝලයක මෙන් රිවෝල්වරයක උණ්ඩ වලට අදාළ හිස් කොපු, වෙඩි තියන තැන නොවැටීම. මොකද රිවොල්වරයේ තිබෙන පතරොම් සියල්ල වෙඩිතබා අවසන් වුනාට පස්සෙයි, වෙඩි තබන්නා විසින්ම ඒ හිස් කොපු එලියට ගන්නේ, නැවත පතරොම් පිරවීම සඳහා. එය ස්වයංක්‍රීයව සිදුවන්නේ නැහැ. ඒ නිසා අපරාධකරුවකුට පුළුවන් වෙඩි තබා පලායන්න, මොකකින්ද වෙඩි තැබුවේ යන්න සොයාගැනීමට තරමක් අපහසුවන ආකාරයට) මෙවැනි දැණුමක් නැතිව එවැනි අවි පරිහරණය කිරීම පාඩුවක් බව මට හැඟුණා.

  • පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා, අද දින දිවුලපිටියේ ඇතිවූ සිදුවීම අරබයා ප්‍රකාශ කළේ, මරණකරු, උල් ආයුධයකින්, පොලිස් නිළධාරීන්ට පහරදී මරාදැමීමට ඉඩ තිබුන නිසා, ඔහුට වෙඩි තැබීමට පොලිස් නිළධාරීන්ට සිදුවී ඇති බවයි. උල් ආයුධයක් අත ඇති තැනැත්තෙකු මෙල්ල කරන්නට, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට නොහැකි වුනත්, හිත හයිය තියන මැදිවියේ ගැමියන් දෙදෙනෙකුට වුනත් පුළුවන්, ගල් පාරවල් දෙක තුනකින් සහ පොලු කෙටියකින්, ඒ උල් ආයුධ කාරයා මෙල්ල කරන්න.


  • නිර්දේශ 


    • පොලීසිය හදන්න පටන්ගන්න ඕනේ ඉහළ සිට පහළටයි. ඒ නිසා පොලිස්පති වරයාට පුලුවන්නම් අවනීතියට එරෙහිව නැගීසිටින්නට, එතැන් සිට ඉදිරියට පොලීසිය ගෙනයාම මහා කජ්ජක් නෙවෙයි. 

    • පොලිස් සේවයේ පුහුණුව මූලික පුහුණුවට සීමා කර හරියන්නේ නැහැ. පොලිස් ස්ථානවල සති අන්තයෙදී පවත්වන පන්ති වලදී, අහවලුන්ගේ පෝස්ටර් ගහන්න නොදෙනු, අහවලාගේ වාහන නොඅල්ලනු,  අහවල් හෝටලය රේඩ් නොකරනු වැනි උපදෙස් දීමට වඩා, ඒ රාළහාමිලා හරක් බලන්න යැවීම යෙහෙකි. 

    • පොලිස් රාලහාමිලාට රිවෝල්වරයක් පරිහරණය කරන හැටි පුහුණු කලයුත්තේ ජීවිතයට එක වරක් නොවේ. අපේ රටේ දුප්පත්කම ගැන සලකා බැලුවොත් යටත්පිරිසෙයින් මාසයකට වරක් උණ්ඩ 10 ක් වත් ඉලක්කපතකට වෙඩි තබා තම පුහුණුව අලුත් කරගැනීමට පහසුකම් ලබාදිය යුතුය. එමෙන්ම අවිය ගැන ඉහළ තාක්ෂණික දැනුමක් දියයුතුය. 

    • ඔය දැන් පාවිච්චි කරන .38 රිවොල්වරයේ තියන පතරොම් හය ඉවර වුනොත් මොකද කරන්නේ සැකකරුට එකක්වත් නොවැදී? (1. හිටු කියලා දුවනවා පළාතෙවත් නොහිට. 2. අනේ මචං වෙඩි තිබ්බා නෙවයි නිකම්ම පත්තුවුනා කියලා සැකකරුට කියනවා. 3. උඹ මාර ලකී මචන් වරෙන් මාත් එක්ක බීඩියක් ගහන්න කියනවා. 4. යකෝ අපිට පව් නොදී පලයන්කෝ යන දිහාක කියලා දණගහලා වැඳලා කියනවා.) අමතර පතරොම් ගෙනයාමට හා විනාඩි කීපයක් ඇදීයන වෙඩි හුවමාරුවකදී නැවත පතරොම් පුරවාගැනීම විශේෂයෙන් පුහුණු කර තිබිය යුතුය.

    • ආයුධයක් තමන් අතේ නැතත්, පිහියක් වැනි ආයුධයක් අතේ ඇති තැනැත්තකු මෙල්ල කිරීම සඳහා අවශ්‍ය ආත්මාරක්ෂක සටන් ක්‍රම පොලීසියට අනිවාර්යයෙන් පුහුණු කරවිය යුතු අතර එවැනි අභ්‍යාස නිතිපතා පැවැත්විය යුතුය. (අපේ රටේ කැරලි මර්දන පොලීසිය දැන් දක්වන්නේ දුර්වල සටන් විලාසයක්. ලෝකයේ බොහොමයක් රටවල මිනිස්සු දන්නවා කැරලි මර්දන හමුදා සමග ගැටෙන හැටි. නුදුරු අනාගතයේදී ඒවා මෙහෙ අයත් ඉගෙනගනියි. එදාට මර්දනය කරන්නේ රතුපස්වලදී වගේ හමුදාව ලවා වෙඩි තැබීමෙන්ද? අපේ පොලිස් රාලහාමිලාගෙන් 1% කාටවත් ආත්මාරක්ෂක සටන් බැරි තත්වයකයි දැනට ඉන්නේ කියලා මට හිතෙනවා)

    • පොලිස් රාළහාමිලාගේ නිද්‍රාශීලීභාවය නැති කලයුතුයි. උදාසීනකම නැති කළ යුතුයි. ඔවුන්ට වගකීම් පැවරිය යුතුයි. 

    • 1police
      • නිල ඇඳුමෙන් සිටින පොලිස්කාරයා වැඳිය යුත්තේ පූජ්‍ය පක්ෂයේ අයට පමණයි. පොලිස්කාරයන්ගෙන් වැඳුම් පිදුම් බලාපොරොත්තු වන අය පූජක තනතුරකට යාම යෙහෙකි.

      3

      • අද බොහෝ පොලිස් රාළහාමිලා තම අවිය තියාගෙන ඉන්නේ හරිම විකට ස්වරූපයකින්. අවිය ගෙනයනවානම් ඒ සඳහා අවශ්‍ය අමතර පතරොම් සහ උපාංග රැගෙන යායුතුයි. තව රාළහාමිලා එක්කෙනෙක් දෙන්නෙක් උස්සගෙන ගිහින් මැරුවොත් තමයි මතක්වෙන්නේ, අඩේ..............අර පවුචස් ද, පූචස් ද, මොන හුචෑ.......ස් ද එක දාගෙන යන්න ඕනේ කියලා. ඒ නිසා, රාජකාරි සඳහා පිටත්ව යාමට පෙර, පොලිස් රාළහාමිලා නිසි පරිදි සන්නද්ධව සිටීද යන්න, වගකිවයුතු පොලිස් නිලධාරියකු විසින් සනාථ කරගත යුතුයි.


      • sri-lanka-police
  • පොලිස් නිලධාරීන් ගේ නිළ ඇඳුම ක්‍ෂේත්‍ර රාජකාරි සඳහා වෙනස් කිරීම සුදුසුය. ක්ෂේත්‍ර රාජකාරියේදී කැන්වස් බූට්ස් සහ බේස්බෝල් කැප් ආකාරයේ කැප් එකක් වඩාත් සුදුසුයි.

  කවදත් කොහෙදිත් කොතනත් සිදුවෙනවා වගේ පොලිස් පොඩ්ඩන්ගේ දුක නැතිකරන්න කවුරුවත් නැහැ. පොලිස්කාරයකුගේ හදවතට එබී බලන්න පුලුවන්නම් ඔහු ඉන්නෙත් සතුටෙන් නෙවෙයි කියලා පෙනෙනවා. 'කොස්තාපල් පුඤ්ඤසෝම' බලලා පොලිස් ලොක්කෝ හැදෙයි කියලා හිතන්න අමාරුයි. අපේ රටේ තියන දේශපාලන ක්‍රමය තුළ පොලීසිය තවදුරටත් පිරිහීම මිස දියුණුවක් ඇතිවන්නේ නැහැ. නමුත් කවුරුන් හෝ ඒ දේශපාලන විප්ලවය නොකලොත් තව කල් යනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, 'ලංකාව ගැන හොයන කොමිසම' යනුවෙන්, වෙනමම එකක් ස්ථිරව පත්කරන්න ඉඩ තියනවා. පොලීසිය ඇතුළේ අපමණ දූෂණ වංචා තිබෙන බව පොලීසියේම අය කියනවා. ඒවා එළියටත් එනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර දකින්නට අහන්නට ලැබෙනවා බොහොම අඩුයි. පොලිස් ආඥාපනත අවශ්‍ය පරිදි සංශෝධනය කිරීම අතිශයින් ප්‍රමුඛස්ථානය ලැබිය යුතු කරුණක්. 


   පොලීසිය ගැන මහජනතාව හිතන ආකාරය වෙනස් කරන්න පටන්ගන්න ඕනේ දේශපාලකයෝ. ඔවුන් පොලීසිය අමු අමුවේ කන එක නැවත්වීම අත්‍යවශ්‍යයි.


6


   පොලීසිය තම ප්‍රවේණි දාසයන් ලෙස සිතා දේශපාලුවන් විසින් කටයුතු කිරීම නැවැත්තුවොත්, මහජනතාව පොලීසියට ලංවෙයි. පොලීසිය හරියටම අකුරටම නීතිය ඉටු කලොත්, මේ රටේ දියුණුව කොපමණ වේගවත් වනු ඇතිද යන්න නොදන්නා සේ සිටින දේශපාලුවන්, අතුගා දැමිය යුතුයි. 



5


   පොලීසිය ගැන මහජනතාව නරක විදිහට, වැරදි විදිහට හිතන්නේ බහුතර පොලිස් නිළධාරීන් පිරිසක් සාධාරණව රාජකාරිය ඉටුකරන අතර වැරදි කරන සුළුතර පිරිසක් ඉන්න නිසා කියා යමකු කියනවානම් මා එකඟ වන්නේ නැහැ. අද මුළු පොලිස් සේවයම එක්තරා ග්‍රහනයකට හසුව තිබෙනවා. ඒ නිසා පොලීසිය අචේතනිකව හා යාන්ත්‍රිකවයි ක්‍රියාකරන්නේ.පොලීසිය ගැන මහජනතාව නරක විදිහට, වැරදි විදිහට, හිතන්නේ, බහුතර පොලිස් නිළධාරීන් පිරිසක් සාධාරණව රාජකාරිය ඉටුකරන අතර, වැරදි කරන සුළුතර පිරිසක් ඉන්න නිසා කියා යමකු කියනවානම් මා එකඟ වන්නේ නැහැ. අද මුළු පොලිස් සේවයම එක්තරා ග්‍රහනයකට හසුව තිබෙනවා. ඒ නිසා පොලීසිය අචේතනිකව හා යාන්ත්‍රිකවයි ක්‍රියාකරන්නේ. ඒ හේතුව නිසාමයි අවනීතිය පිලිබඳ මහජන දෝෂාරෝපණ වැඩිවී තිබෙන්නේ. පොලිස් කාරයා අද ජෝකරයකු කර තිබෙන්නේ, දේශපාලුවන්ගේ වරදාන භුක්තිවිඳින ලොකු පොලිස්කාරයන් විසින්මයි. 


9


   හැබැයි ඉතින් මෙහෙම හිතන අයත් ඇති.


8
7

   


















     2014 ජූනි මස 25 වැනි දින 0013 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }