හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

25 May 2015

කෝ අර කලාකිරිඤ්ඤෙ

1
   මොනවා? කලාව + කිරිඤ්ඤය = කලාකිරිඤ්ඤය? ඒක යකාගේ සිංහල වචන සන්ධි කිරීමක්නේ. අපොයි!..... කලාකිරිඤ්ඤෙ කියන නම ටයිප් කරන්නත් අමාරුයි. අනේ මන්දා හැමදාම අර යුනිකෝඩ් එකට වඩා මේක හොඳයි, මේකට වඩා අරක හොඳයි, කිව්වට මොකද, ඉතා පහසුවෙන්, සඤ්ඤක, මහාප්‍රාණ, ටයිප් කරන්න තවම මොන කෝඩ් එකටවත් බැහැ වගේ. 

   'කලාකිරිඤ්ඤෙ? ඒ මොකක්ද? කලාවට සම්බන්ධ දෙයක්ද? ඔය ඉහළින් තියන පින්තූරේ දැක්කම හිතෙන්නේ ඒ වගේ. එහෙමත් නැත්නම්........ විස්කිරිඤ්ඤ වගේ එකක්ද?'

   'හෙහ් හෙහ්..... කාල තියනවා නේද විස්කිරිඤ්ඤ? හැබැයි කලාකිරිඤ්ඤෙ කන්ඩ බෑ. කලාකිරිඤ්ඤෙං පුළුවන් කාපු විස්කිරිඤ්ඤා වමාරවන්ඩ. කලාකිරිඤ්ඤෙං හරියට දෙක තුනක් වැදුනොත් ඉතිං උඩුකුරුඤ්ඤං තමා. ආයෙ දෙකක් නෑ වැදුනොත් වැදුනමයි.'

   'අනේ ඉතිං ඔය විච්චූරණ නවත්තලා හිටං, කියනවකො හිටං, මොකද්ද ඔය කලාකිරිඤ්ඤෙ කියන්නේ කියලා හිටං'.

   හරි හරි, ඔන්න එහෙනම් විච්චූරණ නැතුව, පට්....ටාන් ගන්නම්කො විස්තරේ.

   කලාකිරිඤ්ඤෙ කියන්නේ ආයුධයක්. ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ, 'නකල් ඩස්ටර් - Knuckle Duster' කියලා. අපේ රටේ සම්පූර්ණයෙන් තහනම් ආයුධයක්. ලෝකයේ සමහර රටවලත් තහනම්. දැන්නම් අපේ රටේ දකින්නට නැති තරම්. තියනවානම් කලාතුරකින්වත් එකක් දෙකක් පොලීසියට අහුවෙන්න එපායැ.

   ඔබ අතරින් සෑහෙන දෙනෙක් මේ ආයුධය ගැන දන්නවා ඇති. නමුත් මට හිතෙනවා, නොදන්නා අයත් සෑහෙන්න ඇති කියලා. ඒ නිසයි මේ ලිපිය ලියවෙන්නේ. 

   මේ ආයුධය මම මුලින්ම දැක්කේ 1966 දී පමණ. අපේ අයියාගේ යාලුවෙක් තමයි, මේක අපේ ගෙදරට ගෙනාවේ. ඒ කාලයේදීත් එය තහනම් ආයුධයක්. ඒ නිසා, බොහොම රහසිගතවයි ඒක තියාගත්තේ. එය නිපදවා තිබුණේ, මීහරක් අඟකින් කපාගත් කොටසකින්. හරියටම, මෙන්න මේ පහළ තිබෙන රූපයේ හැඩය තමයි තිබුණේ.

Knuckle Duster

   මොකක්ද මේ කුණුහරපෙ? මේකෙන් මක්කැයි කොරන්නේ? මට ඉතින් කටට එන එක කියාගන්න විදිහක් නෑ මෙතන.

   ඔන්න ඔහොම නේද හිතෙන්නේ මේක දැක්ක ගමන්. පොඩ්ඩක් ඉන්නකෝ. මෙය මේ ආකාරයෙන්ම සුදු යකඩෙන් සකසා තියනවා මා දැක්කේ, 1968 පමණ කාලයේ. එය විදේශීය නිෂ්පාදනයක්. ඒ කාලේ මෙව්වා සෑහෙන්න ලංකාවේ තිබුණා, මම හිතන්නේ. 

   මොකක්ද මේකෙන් කරන්නේ? බලන්න පහළ රූපය. මුලින්ම, මේ රූපයේ තියන විදිහට, පහරදීම සඳහා තමන්ට හුරු අතේ,  මේක පැළඳගන්නවා. ඊළඟට?........ ඊළඟට මොනවද ඉතින්, මූණ නාලුවෙන්න නෙළනවා. 

82400489

   දැන් ඔන්න ආයුධය හඳුනාගත්තා. ඊළඟට බලමු මේකේ තියන විවිධ හැඩයේ නිෂ්පාදන කීපයක්. ඇඟ හිරිවැටෙනවා එව්වා දැක්කම. 

2

3

4

5

   හැබෑටම මේකෙන් නෙළුවම එච්චරටම අමාරුද ඈ?

   අමාරුද? එහෙනම් ඔන්න බලාගන්ඩකො, මේකෙන් කාපු දෙන්නෙකුගේ පින්තූර. 

6

7


   හොඳයි, කොයි ආයුදෙත් පාවිච්චි කරන්න ගියාම වරදින අවස්ථා තියනවනේ. මෙන්න මේ ආයුදේ පාවිච්චි කරන්න ගිහින් වැරදිච්ච අවස්ථාවක්. සනීපයි නේද? 

8

   සෑම ආයුධයක්ම, සෑමදාම, එකම පෙනුමෙන් හෝ හැඩයෙන් හෝ ප්‍රමාණයෙන් හෝ ක්‍රියාකාරීත්වයෙන් හෝ පවතින්නේ නැහැනේ. ඒ ඒ ස්වභාවයන්, කාලීනව වෙනස් වෙනවා. මෙන්න බලන්න මේ ආයුධයේ කාලීන වෙනස්කම් සිදුවී ඇති ආකාරය. 

9

   දැක්කා නේද? පිහියයි නකල් ඩස්ටර් එකයි එකට සම්බන්ධ කරලා. 

10
11
12

    මේවා කාන්තා අත්බෑග් තමයි. නමුත් බලන්න, ඉතා සූක්ෂ්මව එහි නකල් ඩස්ටර් එකක් සවිකර තියනවා. අද ලෝකයේ කාන්තාවන්ට වෙන හිරිහැර ගැන හිතලා වෙන්න ඇති, මේ විදිහට නිපදවන්න ඇත්තේ.

   මේවා ලංකාවේත් ගන්න තියනවාද කියලා හොයාබැලීම, ලංකාවේ නෝනලාගේ වගකීමක්. අර 'බුස්කැට් ක්‍රෙලෙවාර්ඩ්' ද මොකද්ද කියලා එකක් තියනවා නේද කොළඹ? ඔය මාතලන් එහෙම කැරකෙනවා ඒ පැත්තේ නිතරම. අහලා බැලුවොත් හොයලා දෙයි.

   මම හිතන්නේ, මේ පින්තූර දැක්ක ගමන්, පොඩ්ඩියි, ඔමායයි, ලෝකේ පෙරළලා හරි, මෙව්වා එකක් (සමහරවිට දෙකතුනක්) ගනියි.

   නෝනලාට විතරක් නෙවෙයි කාටත් හරියන එව්වාත් තියනවා.

   මේක ජංගම දුරකතනයක් නෙවේ. ඒ වගේ පෙනෙන්න හදපු කලාකිරිඤ්ඤයක්.

13

    තද වෙච්ච ගමන්, මිටෙන් අල්ලාගෙන ඉන්න ගමන්, කෝප්පේ ගැහුවා බිත්තියේ. ඔන්න කලාකිරිඤ්ඤයක් අතේ. මරු නේද?

14

   පතරොම් ඉවරනම්, දමලා අනින එකයි ඇත්තේ.

15

  හෝව්, හෝ.......ව්! තවම කතන්දරේ ඉවර නෑ.

   මෙව්වා යුද්ධායුධ ලෙස වැඩිදියුණු කරලා තියනවා අතීතයේදී. ඒකට කිව්වේ,  කලාකිරිඤ්ඤ පිස්තෝලය හෙවත්, Knuckle Duster Pistol කියලා. මෙන්න බලන්ඩකො ඒ භාණ්ඩේ.

මේකේ කෑලි තුනක් තියනවා. නකල් ඩස්ටර්  එක, පිහිය, පිස්තෝලය. 

Apache Revolver

   හෙහ් හෙහ්, කොහොමද බඩු? මේක හදලා තියෙන්නේ කොයි කාලේද දන්නවද? සැළැස්ම හදලා තියෙන්නේ 1860 දී. මුලින්ම නිපදවලා තියෙන්නේ 1869 දී. බෙල්ජියම තමයි, මේ ආයුදේ උපන් රට. මෙන්න අනිකුත් වැදගත් තොරතුරු.

  • අවියේ බර : අවුන්ස 8 යි = ග්‍රෑම් 385 යි.
  • පිහිතලය හකුලා තිබෙනවිට අවියේ දිග : අඟල් 4.3" = මි.මී 105 යි.
  • පිහිතලය දිගහැර තිබෙනවිට අවියේ දිග : අඟල් 7.8" = මි.මී.200 යි. 
  • යොදවන උණ්ඩ වර්ගය : .27 = මි.මී. 7 ප්‍රමාණයේ උණ්ඩ.
  • එක වරකට ඇතුළු කළහැකි උණ්ඩ ගණන : 6 යි. 
   මේ අවියට තුවක්කු බටයක් නැහැ. රිවෝල්වර් චේම්බර් එකම තමයි, බැරල් එක හැටියට ක්‍රියා කරන්නේ. ඒ නිසා, මීටර් හතරකට පහකට වඩා දුර වෙඩි තියන්න බැහැ. නමුත්, කාගේ හරි ළඟට ගිහින් වැඩක් දෙන්න, හොඳටම ප්‍රමාණවත්. ඔන්න ඉතිං, ඇයි දැන් අහන්නේ, රිවෝල්වර් එක, චෙම්බර් එක, බැරල් එක, ගැන? එව්වා මම කිව්වේ හුඟක් ඉස්සරනේ.

   මේ අවිය ගැන වීඩියෝ එකක් තියනවා මෙන්න බලන්න. තප්පර 24 යි යන්නේ. ඒ නිසා බලන්න.




   වැඩේ මෙතනින් නැවතිලා නැහැ. තව තවත් ඉදිරියට ගෙන යමින්, විවිධ නිෂ්පාදන කරලා තියනවා. මීටත් වඩා කුඩාවට තව එකක් හදලා තියනවා. මෙන්න බලන්න.




 හෙහ් හෙහ් හෙහ්.............මොකද හිතෙන්නේ? එතනින් ඉවරයි කියලද? නෑ නෑ, මෙන්න ඊටත් වඩා කුඩා එකක්. පින්තූරේ විතරයි තියෙන්නේ. 

Screenshot (2)


   ඉතිං දැන් කාලේ මෙව්වා නැද්ද නිකං, අපි වගේ මොඩ් (මෝඩ?) කොල්ලන්ට ගැලපෙන එව්වා? තියනවා තියනවා. අද වෙනකොට හැම එකක්ම ඉලෙක්ට්‍රොනික් නේ. මක් කිව්වා? ඔව් අම්මපා, ඒකයි අරකයි විතරයි තවම ඉලෙක්ට්‍රොනික් වෙලා නැත්තේ. කවුද දන්නේ අනාගතේදී වෙන්නත් පුළුවං......නැද්ද මං කියන්නේ? ඔන්න බලාගන්ඩකො, අද තියන විද්‍යුත් නකල් ඩස්ටර් එක.


Screenshot (1)


   හෙහ් හෙහ් හෙහ්, කොහොමද වැඩේ? වෝල්ට් 950,000 ක කම්පනයක් දෙන්න පුළුවන්. ඇ.ඩො. 40 යි. ඔන්න ගන්නවානම් බඩු. මේක ගැනත් පොඩි වීඩියෝ එකක් තියනවා. ඒකත් බලන්ඩකො.





   මොකද දැන් හිතෙන්නේ? විද්‍යුත් කලාකිරිඤ්ඤයක් කොහොම වෙතත්, නිකං කලාකිරිඤ්ඤයක් වත් හදාගන්ඩ පුලුවන්නම් හොඳයි කියලා හිතෙන්නැද්ද? හදිස්සියකට එකෙකුගේ දෙන්නෙකුගේ හොම්බ කට කඩලා යන්න අනින්න පුළුවන්නේ. අනේ අපි එහෙම ඕං දන්නෙත් නෑ, දැක්කෙත් නෑ, ඕනේ කෙනෙක් ඉන්නවානම්, මෙන්න මෙතනට ගිහින් ඉගෙනගන්න එකයි ඇත්තේ. හැබැයි ඔව්වා පාවිච්චි කොරලා, හිරේ විලංගුවේ වැටිච්චහම, මේ අහක ඉන්න අපිට එහෙම දොස් කියනවා එහෙම නෙවෙයි  ඕං.

    මේ මාතෘකාව ඔස්සේ තවත් කරුණු සාකච්ඡා කරන්නට හැකි වුණත්, මා හිතනවා, දැන් මේ ලිපිය අවසන් කළයුතුයි කියා. සමාජයේ එදිනෙදා සිදුවීම් පිළිබඳව නොලියා, යළිත්, අවි ආයුධ සහ සංග්‍රාමික කරුණු ඇතුළත් ලිපි ලියන ලෙස, බොහෝ දෙනෙකුගෙන් ඉල්ලීම් ලැබුණා. ඒ නිසා, නුදුරේදී එවැනි ලිපි කීපයක් ඔබවෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.


2015 මැයි මස 25 වැනි දින 0014 පැය


.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }