හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

12 June 2015

යුද්ධ කරන්නෝ සහ නොකරන්නෝ (දෙවැනි කොටස)...................................... Combatants and Non Combatants (Part Two)

1
 මේ ලිපියේ පළමුවැනි කොටස කියවූ බොහෝ දෙනෙකු, සාර්ථක ප්‍රතිචාර දක්වා තිබුණා. ඔබ අතරින් සමහරකු අදහස් දැක්වීම් නොකලත්, සෑහෙන පිරිසක් එම ලිපිය කියවා ඇති බව, බ්ලොගර්/වර්ඩ්ප්‍රෙස් දර්ශක දෙකේම පෙන්වා තිබෙනවා. හොඳයි, පසුගිය ලිපියේ අවසානයේදී, මා ඔබට යම් අභ්‍යාසයක් දුන්නා. ඒ තමයි යුද හමුදාවක තිබෙන, සටන්කාරී සහ සටන්කාරී නොවන රෙජිමේන්තු මොනවාද යන්න තේරීම. කීප දෙනෙක්ම සාර්ථක පිළිතුරු ලබාදුන්නා. රෙජිමේන්තුවක නමෙන් පමණක්, එය සටන්කාරීද නැද්ද කියා කියන්න බැහැ හැමවිටම. ඒ නිසයි සමහරු සිතා තිබුණේ, ඉංජිනේරු රෙජිමේන්තුව සටන්කාරී නොවන බව.

   ඔබ දන්නවාද ශ්‍රී ලංකා යුද හමුදාවේ (ලෝකයේ හැම යුද හමුදාවකම පාහේ) යුද හමුදාධිපති තනතුර ලැබෙන්නේ, සටන්කාරී රෙජිමේන්තුවක නිළධාරියකුටයි. අද ශ්‍රී ලංකා යුදහමුදාධිපති, ලුතිතන් ජෙනරල් A W J C ද සිල්වා RWP USP ndu psc අයත් වන්නේ, ඉංජිනේරු රෙජිමේන්තුවටයි. හොඳයි, අපි මුලින්ම මේ හමුදා රෙජිමේන්තු, අදාළ කාණ්ඩ වලට වෙන්කරගත්තොත් හොඳයි නේද. අපි බලමු, කොහොමද වර්ග කරන්නේ කියා. 


  සටන්කාරී රෙජිමේන්තු 

  Combatant Regiments 

   ඇත්තටම සටන්කාරී කියලා කියන්න පුළුවන්, තමන්ගේ ශක්තියෙන්ම යුද පිටියට ගොස්, සටනේ යෙදෙන රෙජිමේන්තු වලට පමණයි. ඒ අනුව බලනකොට, පාබල හමුදාව කියන වර්ගීකරණයට වැටෙන අය තමයි, සටන්කාරී වර්ගීකරණයට කෙලින්ම වැටෙන්නේ. අපේ රටේ තිබෙන ශ්‍රී ලංකා පාබල හමුදාව, ගැමුණු හේවා බලකාය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව, තමයි පාබල හමුදා ගණයට වැටෙන්නේ. සන්නද්ධ රථවල නැගී යුද පිටියට යන පාබල හමුදාව හඳුන්වන්නේ, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව යන නමින්. ඔවුනුත් සටන්කාරී රෙජිමේන්තුවක්. විශේෂ බලකාය සහ කමාන්ඩෝ රෙජිමේන්තුව, සටන්කාරීන් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නමුත් එම රෙජිමේන්තු දෙක, සාමාන්‍ය පාබල රෙජිමේන්තුවක් මෙන් යුදබිමේ යොදවන්නේ නැහැ. සටනේ අතිවිශේෂ කාර්ය භාරයන් සඳහා පමණයි, ඔවුන් යොදවන්නේ. උදාහරණයක් වශයෙන්, සාමාන්‍ය පාබල හමුදා කණ්ඩායමකට සාර්ථකව කරගත නොහැකිවනු ඇතැයි සිතන, සතුරු කඳවුරක් වටලා එහි සිටින විශේෂ අයකු පණපිටින් අල්ලාගැනීම වැනි දේ සඳහා තමයි, මේ අය යොදවන්නේ. 

පාබල හමුදාව - Light Infantry Regiments

යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුව - Mechanised Infantry Regiment 

විශේෂ බලකාය - Special Force

කමාන්ඩෝ රෙජිමේන්තුව - Commando Regiment 

ඊළඟ වර්ගය තමයි ආධාරක සේනා.



ආධාරක සේනා - Support Arms

   මේ රෙජිමේන්තු මගින් කරන්නේ, පාබල සේනාංක වලට, සතුරා සමග සටන් කිරීම සඳහා අවශ්‍ය ආධාර ලබාදීම. ඒ නිසා, ඔවුන්ටත් යුද පිටියට යන්න වෙනවා. අපි බලමු, මේ එක් එක් රෙජිමේන්තුව යුද පිටියෙදි මොනවද කරන්නේ කියා.


සන්නාහ සන්නද්ධ බලකාය - Armoured Corps:-

   මේ අයනේ යුද්ධ ටැංකි වලින් සටන් කරන්නේ. පාබල හමුදාවල ඉදිරි ගමන සඳහා අවශ්‍ය සහය මේ අය දෙන්නේ මෙහෙමයි. පාබල හමුදාවේ කණ්ඩායමකට පහසුවෙන් විනාශ කරන්න අමාරු ඉලක්ක, ඒ කියන්නේ, සතුරාගේ ඉදිකිරීම් (බංකර්, ගොඩනැගිලි වැනි) තම යුද ටැංකිවල තිබෙන විශාල කාලතුවක්කු සහ බර මැෂින් තුවක්කු වෙඩි බලය ලබාදී විනාශ කිරීම. සතුරු ප්‍රදේශ වල සටන්කාරී මුර සංචාර වල යෙදීම. පාබල හමුදාව සමග ඉදිරියට යමින් ඒ අයගේ ගමන පහසු කරවීම. සතුරු යුද ටැංකි සමග සටන් කිරීම. ගුවන් යානා නාශක වෙඩි බලය ලබාදීම, ටැංකි ගණනාවක් එකවර යෙදවීමෙන් සතුරු හමුදා මවිතයට පත්කරමින් කම්පන ශක්තිය මගින් සතුරා පසුබැස්සවීම. 


කාලතුවක්කු හමුදාව - Artillery Corps/Regiment:-

   කාලතුවක්කු වලින් ලැබෙන ආධාරය ගැන මීට කලින් අපි කතා කරලා තියනවා. සටනක් සඳහා පාබල හමුදා යුද පිටියට බහින්න කලින්, කාලතුවක්කු හමුදාවෙන් සතුරා ඉන්න ප්‍රදේශයට වෙඩි වරුසාවක් වස්සවනවා. එවිට ඉලක්කය මෘදු එකක් වෙනවා පාබල හමුදාවන්ට. පාබල හමුදා විසින් ඉල්ලන ආධාරක වෙඩි බලය ලබාදීම, සතුරු කාලතුවක්කු වලට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම, යුද පිටියේ රාත්‍රී අහස තම පාබල හමුදාවන්ට අවශ්‍ය විට 'පැරෂූට් ආලෝක - Para Illumination' මගින් ආලෝකවත් කරදීම, වැනි තවත් දේ බොහොමයක් ඉටුකරනවා කාලතුවක්කු හමුදාවෙන්. 


ඉංජිනේරු බලකාය/රෙජිමේන්තුව - Engineers Corps:-

   ඉංජිනේරු බලකාය ගැන මෙතෙක් ඔබට වෙනම ලිපියකින් කියාදෙන්න අමතකවීම ගැන කණගාටු වෙනවා. මේ අය තමයි යුද පිටියේ ඉදිරියෙන්ම යන්නේ. කරන ප්‍රධාන රාජකාරිය තමයි යුද පිටියට යන පාබල හමුදාවන්ගේ ඉදිරි ගමනට ඇති බාධක ඉවත් කිරීම. ඒ කියන්නේ සතුරා විසින් අටවා තිබෙන මර උගුල් බිම් බෝම්බ ඉවත් කිරීම, එමෙන්ම බාධක වශයෙන් කපාදමා තිබෙන මහ ගස්, පෙරලා තිබෙන මහ ගල්, කඩා දමා තිබෙන ගොඩනැගිලි, ආදිය පුපුරවා ඉවත් කිරීම, පුපුරවා දමා ඇති පාලම් ඉදිකිරීම හෝ තාවකාලික පාලම් ඉදිකිරීම, බුල්ඩෝසර වැනි යන්ත්‍ර යොදවා පාරවල් සෑදීම. ඒ වගේම තමයි සතුරාගේ ඉදිරිගමන අඩාල කිරීම සඳහා බිම්බෝම්බ, මර උගුල්, බාධක ඇටවීම. 'සටන්කාරී ඉංජිනේරුවන් - Combat Engineers' යනුවෙන් හඳුන්වන විශේෂ පුහුණු කණ්ඩායම් තමයි මේ සඳහා යොදවන්නේ. 


සංඥා බලකාය - Signal Corps:-

   සංඥා බලකාය ගැන වෙනම ලිපියකින් කියාදී නැතත්, යුද හමුදා පණිවිඩ හුවමාරුව ගැන, මා ඔබට මීට කලින් කියාදී තිබෙනවා. මේ අය ආධාරක සේනාවක් ලෙස යුද බිමේ මොකද කරන්නේ? පාබල හමුදාව අතේ තියන පණිවිඩ හුවමාරු යන්ත්‍ර ලබා දෙන්නේ ඒ අයයි. ඒ පණිවිඩ හුවමාරුව ඖල් නොවී පවත්වාගැනීම සඳහා ඒ ඒ සේනාංක, බලසේනා, බලඇණි, සඳහා අවශ්‍ය පණිවිඩ හුවමාරු ජාල Communication Net සකස්කරදීම, සතුරු පණිවිඩ හුවමාරු වලට ඇහුම්කන්දෙන විශේෂ සංඥා උපකරණ සහිත රහසිගත මධ්‍යස්ථාන යුදබිමේ පිහිටුවාගෙන එම සතුරු පණිවිඩ වහාම උසස් මූලස්ථාන වලට ලබාදීම, සතුරු පණිවිඩ ජාලා අවුල් කිරීම, සතුරු පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන තිබෙන තැන්, නවීන තාක්ෂණික උපකරණ මගින් සොයාගෙන ඒවා විනාශ කිරීම සඳහා අවශ්‍ය ඉලක්ක ලෙස පාබල, ගුවන්, හමුදාව වෙත ලබාදීම, රේඩාර් පද්ධති නඩත්තු කිරීම, හමුදා කටයුතු සඳහා අවශ්‍ය 'මහජන ඇමතුම් උපකරණ - PA Equipments' සැපයීම, වැනි රාජකාරි බොහොමයක් මොවුන්ගෙන් ඉටුවෙනවා.  

   සටන්කාරී රෙජිමේන්තු සහ ආධාරකසේනා ළඟට ඉන්නේ සේවා රෙජිමේන්තු. ඒ අය කවුද? කරන්නේ මොනවද? 


සේවා රෙජිමේන්තු - Services


විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු බලකාය = වියාඉ - Electrical and Mechanical Engineers - EME:-

   මේගොල්ලෝ කරන ප්‍රධානතම කාර්යය තමයි, සමස්ත යුද හමුදාවේම තිබෙන වාහන සහ උපකරණ, උපකරණ කියන්නේ රූපවාහිනී, ශීතකරණ, රේඩියෝ, ඡායා පිටපත් යන්ත්‍ර, බෝම්බ සොයන උපකරණ, වැනි දේ.  (පණිවිඩ හුවමාරු උපකරණ කැඩුනම හදන්නේ සංඥා බලකායෙන්මයි) අලුත්වැඩියා කිරීම. හැබැයි මේ අය යුද පිටියටත් සම්බන්ධ වෙනවා. සෑම යුද ටැංකියක් සමගම, කාලතුවක්කුවක් සමගම ඉන්නවා, වියාඉ නියෝජිතයන්. ඔවුන් තමා, යුද පිටියේදී යුද ටැංකියක/කාලතුවක්කුවක හදිසි නඩත්තු කටයුතු කරන්නේ. ඊට අමතරව, යුද පෙරමුණට පසුපසින්, මේ අය, කුඩා නඩත්තු මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා.  ඒකට කියන්නේ, 'සැහැල්ලු ආධාරක ඛණ්ඩය - Light Aid Detachment' = LAD කියලා. ඉතින් මේ අයත්, එක අතකින්, සටනට කෙලින්ම සම්බන්ධයි කියන්නත් පුළුවන්.


ඉංජිනේරු සේවා රෙජිමේන්තුව = ඉසේරෙ - Engineer Services Regiment = ESR:- 

    මේ රෙජිමේන්තුව ප්‍රධාන වශයෙන් කරන්නේ, ගොඩනැගිලි ඉදිකිරීම සහ, ජලය සහ විදුලිය සැපයීමයි. යුද බිමට පසුපස ආරක්‍ෂිත කලාපවල, විවිධ අවශ්‍යතා සඳහා ඉදිකෙරෙන තාවකාලික ගොඩනැගිලිවල සිට, ඕනෑම මහා පරිමාණ ස්ථිර ගොඩනැගිලි සැකසීම දක්වා සියලු කාර්යයන්, මේ රෙජිමේන්තුවෙන් ඉටු කෙරෙනවා. කඳවුරු වලට අවශ්‍ය සියලු ජල සැපයුම්, විදුලි සැපයුම්, ජනක යන්ත්‍ර, මේ රෙජිමේන්තුවෙන් තමයි සැපයීම සහ නඩත්තුව කරන්නේ. මොවුන්ද, යුද බිමට පසුපසින්, තම කඳවුරු ඉදිකරගෙන, අවශ්‍ය සේවා සපයනවා.


සේවා බලකාය = සේබ - Service Corps = ASC:-

   මේ රෙජිමේන්තුවෙන් තමයි, හමුදාවට අවශ්‍ය අමු සහ වියළි ආහාර ද්‍රව්‍ය, දර/ගෑස් සහ, ක්‍රියාන්විත සඳහා අවශ්‍ය විශේෂයෙන් සකසා පැකට් කළ ආහාර සැපයීම, සියලුම ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය වාහන සැපයීම සහ, ඒවාට අදාළ ඉන්ධන ලබාදීම සිදුවන්නේ. ලෝකයේ දියුණු රටවල, සේවා බලකාය සතුව, ප්‍රවාහන හෙලිකොප්ටර්/ගුවන් යානා තිබෙනවා. සේවා බලකායේ නිළධාරි නියමුවන් විසින්මයි ඒවා පදවන්නේ. අපේ රටේ යුද්ධය පැවති කාලයේ, එවැනි ගුවන් ප්‍රවාහන ක්‍රමයක් ඇතිකිරීමට යෝජනාවක් ආවත්, එය ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතාම කාර්ය බහුල රෙජිමේන්තුවක්. යුද හමුදා පොතේ තියන විදිහට, මේ රෙජිමේන්තුව, සටන් පෙරමුණටම ගොස් ආහාර සපයන්න සූදානම්ව සිටිය යුතුයි. සටන් පෙරමුණට පසුපසින්, අති විශාල, ආහාර සහ ඉන්ධන ගබඩා පවත්වාගැනීමට, මේ රෙජිමේන්තුව ක්‍රියාකරනවා.


යුද්ධෝපකරණ බලකාය - Ordnance Corps = AOC:- 

   නම ඇහුවම නම් හිතෙන්නේ, මේගොල්ලෝ, කෙලින්ම යුද පිටියට යන පිරිසක් වගේ. නමුත් ඇත්තටම මේගොල්ලෝ කරන්නේ, සමස්ත යුද හමුදාවටම, නිළ ඇඳුම් ආයිත්තම් සැපයීම සහ තුවක්කු, පතරොම්, බෝම්බ ආදිය සැපයීමයි. කඳවුරක පොල්ගාන හිරමනේ සිට, උයන පිහන භාජන, පිහිය, කැති, පොරොව, පවා සපයන්නේ මේගොල්ලෝ. හමුදා පොතේ තියන ආකාරයට මේ අය යුද පිටියටම ගොස්, මේ සැපයුම් කලයුතුයි.


යුද හමුදා පොලීසිය - Corps of Military Police = MP :- 

   මොන පොලීසියෙන් වුණත් කරන්නේ නීතිය සහ විනය රකින එක නේද? යුද හමුදා පොලීසියෙනුත්, මූලික වශයෙන් කෙරෙන්නේ ඒක තමා. හමුදාවේ ඔනෑම නිලයකුට විරුද්ධව එල්ලවන විනය චෝදනා වලදී, අවශ්‍ය විමර්ශන කටයුතු පවත්වා, අදාළ ඉහළ මූලස්ථාන වලට වාර්තා කිරීම, හමුදා වාහන, නිසි පිළිවෙත අනුව ධාවනය වන්නේදැයි පරීක්‍ෂා කිරීම, යුදහමුදා වාහන හදිසි අනතුරු වලට ලක්වුවිට, අවශ්‍ය විමර්ශන ක්‍රියාමාර්ග ගැනීම, හමුදා පෙළපාලි සහ උත්සව වලදී, වාහන හැසිරවීම, ප්‍රභූ රථ ආරක්ෂාව සහ දොර විවෘත කරන්නන් ලෙස සේවයේ යෙදීම, සෑම ප්‍රධාන කඳවුරකම, මුරහලක් සහ චෝදනාගාරයක් පවත්වාගෙන යාම, සියලුම හමුදා සාමාජිකයන් සඳහා හමුදා හැඳුනුම්පත් නිකුත්කිරීම, වැදගත් අවස්ථා ඡායාරූප/වීඩියෝ ගත කිරීම, ආදිය තමයි, මේ බලකාය සතු ප්‍රධාන රාජකාරි වන්නේ.


පොදු සේවා බලකාය - General Service Corps = AGSC :- 

   මේ බලකාය කරන ප්‍රධාන රාජකාරී වන්නේ, සමස්ත යුද හමුදාවටම අදාළ ලිපිකරු රාජකාරි සඳහා පුහුණු සෙබළුන් ලබාදීම, (දැන් නම්, අපේ රටේ, ඒ ඒ රෙජිමේන්තුවල සිටින සෙබළුන්, පොදු සේවා බලකාය මගින් පවත්වන, විශේෂ ලිපිකරු පුහුණු පාඨමාලා හදාරා, සේවයේ යෙදෙන නිසා, පොදු සේවා බලකායෙන්, ලිපිකරුවන් සැපයෙන්නේ නැහැ) සමස්ත යුද හමුදාවේම වැටුප් හා දීමනා, විශ්‍රාම වැටුප්, සැකසීමේ රාජකාරි ඉටුකිරීම, සමස්ත යුද හමුදාවේම, සියලු නිලයන්ගේ, පෞද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම, හමුදා තූර්යවාදක, නැටුම්, කණ්ඩායම් (Army Band, Musical Orchestras, Dancing Troops) පවත්වාගැනීම සහ අදාළ උත්සව සඳහා ඒවා ලබාදීම, සමස්ත යුද හමුදාව වෙනුවෙන් බියුගල් නලා කරුවන් පුහුණු කිරීම, සහ හමුදා උත්සව සඳහා බියුගල් නලාකරුවන්ගේ සේවය ලබාදීම.


සන්නද්ධ හමුදා බුද්ධි බලකාය - Military Intelligence Corps = MIC :- 

   ඔබ අතරින් බොහෝ දෙනෙකු දන්නවා බුද්ධි බලකායෙන් කෙරෙන්නේ ඔත්තු බැලීම කියන එක බව. හැබැයි මතක තියාගන්න ඔත්තු බලන්නේ සතුරා ගැන විතරක් නෙවෙයි. හමුදාව ඇතුළේත් ඔත්තු බලනවා රාජ්‍ය විරෝධී හමුදා විරෝධී ක්‍රියාකාරකම් ඇද්දැයි සොයාබැලීම සඳහා. ඒ වගේම තමයි, ඉතා රහසිගතව, සීමිත ක්‍රියාන්විත වලත් යෙදෙනවා. Covert Operations සැඟවී සිටින, එක පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම හෝ මරා දැමීම,  විශේෂ බලකාය සහ/හෝ කමාන්ඩෝ රෙජිම්න්තුව වැනි විශේෂ කණ්ඩායම් සමග එක්ව රාජ්‍ය විරෝධී පුද්ගලයන් හෝ කුඩා කණ්ඩායම් අල්ලාගැනීම, විනාශ කිරීම, ඔවුන් සැඟවී සිටින ස්ථානවල ඇති වැදගත් ලිපිලේඛන, උපකරණ ආදිය අත්අඩංගුවට ගැනීම, ප්‍රධාන කටයුතු වශයෙන් දක්වන්න පුළුවන්.


පුරෝගාමී බලකාය - Pioneer Corps = APC :- 

   පුරෝගාමී බලකාය බොහෝවිට ඉටුකරන්නේ, ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට සහ ඉංජිනේරු රෙජිමේන්තුවට අදාළ ක්‍රියාන්විත නොවන රාජකාරි. උදාහරණයක් වශයෙන්, ඉංජිනේරු බලකාය සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් යුදබිමේ කරනු ලබන මූලික මාර්ග, ගොඩනැගිලි, අනෙකුත් ඉදිකිරීම්, ජාල සැපයුම්, විදුලි සැපයුම් ආදිය වැඩි දියුණු කිරීම සහ පවත්වා ගැනීම, ජාල දුර්ග තරණයකොට ක්‍රියාන්විත  සඳහා යන සෙබළුන්ට පහසුකම් සැපයීම, Assault Pioneer දැනට ලෝකයේ සමහර හමුදා වලින්, මේ බලකාය ඉවත්කර තිබෙනවා. අපේ හමුදාවේ මේ බලකාය පවත්වාගෙන යන්නේ ස්වේච්ඡා රෙජිමේන්තුවක් වශයෙන්.


වෛද්‍ය බලකාය - Medical Corps = AMC :- 

   සමස්ත යුද හමුදාවට සහ යුද හමුදා පුද්ගලයන්ගේ පවුල් වලට අවශ්‍ය සෑම ආකාරයකම වෛද්‍ය සේවා සැපයීම තමයි, වෛද්‍ය බලකායේ ප්‍රධාන කාර්ය භාරය. නමුත්, සංග්‍රාමික රාජකාරි වලදී, යුද පෙරමුණ ආසන්නයේම, ඉදිරි සැරසුම් මධ්‍යස්ථාන - Advance Dressing Stations = ADS යනුවෙන් හඳුන්වන, තාවකාලික වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යමින්, තුවාල ලබා රැගෙන එන සෙබළුන්ට, අවශ්‍ය මූලික ප්‍රතිකාර කොට, ඔවුන් ලබා ඇති තුවාලවල තත්වය අනුව, ප්‍රමුඛත්වය වර්ග කර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ක්‍ෂේත්‍ර රෝහල් වෙත යැවීම, මියගිය අයවලුන් පිලිබඳ ඉදිරි කටයුතු සඳහා, ඔවුන්ගේ සිරුරු ක්‍ෂේත්‍ර රෝහල් වෙත යැවීම, සියලුම හමුදා පුද්ගලයන් සඳහා අවශ්‍ය කාලීන වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම, රටපුරා අදාළ ස්ථානයන්හි යුද හමුදා රෝහල් පවත්වාගෙන යාම, ප්‍රධාන රාජකාරි ලෙස දක්වන්නට පුළුවන්.


කාන්තා බලකාය - Womens Corps :- 

   යුද හමුදාවකට කාන්තා බලකායක අවශ්‍යතාව දැනුනේ අද ඊයේ නෙවෙයි. මුල්ම කාලයේ, ඒ කියන්නේ දෙවැනි ලෝක සංග්‍රාමය පැවති අවධියේ පවා, ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය වැනි රටවල කාන්තා බලකායක් පවත්වාගෙන ගොස් තිබෙනවා. ඒ කාලයේ ඔවුන් ප්‍රධාන වශයෙන් යොදවාගෙන තිබෙන්නේ හෙදියන් වශයෙන් සහ අත්අඩංගුවට ගත් කාන්තා සිරකරුවන් බලාගැනීම සඳහායි. අද වනවිට, අපේ හමුදාවද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල,  ලිපිකරු, පණිවිඩ හුවමාරු කටයුතු, තොරතුරු තාක්ෂණ රාජකාරි, බුද්ධි රාජකාරි,  යුද හමුදා පොලීසියේ රාජකාරි, බියුගල් සහ තූර්ය වාදක රාජකාරි, හමුදා නැටුම් කණ්ඩායම් සඳහා, ප්‍රධාන වශයෙන් කාන්තා සෙබලියන් සෑහෙන ප්‍රමාණයක් යොදාගන්නවා. පසුගිය යුද සමයේදී කඳවුරු ආරක්ෂක මුර රාජකාරි, ආරක්ෂක බංකර් රාජකාරි, මාර්ග බාධක වලදී කාන්තාවන් පරීක්‍ෂා කිරීම සහ සැක කටයුතු කාන්තාවන් අත්අඩංගුවට ගැනීම, වැනි රාජකාරි සඳහාද යොදවනු ලැබුවා. අපේ රටේ කාන්තා සෙබලියන් කෙලින්ම යුද පෙරමුණට නොයව්වත් චීනය, ඊශ්‍රායලය වැනි රටවල එසේ කරනවා.


   
ස්වේච්ඡා හමුදාව - Volunteer Force

   මීළඟට මා කැමතියි, ස්වේච්ඡා හමුදාව ගැන කතා කරන්නට. ලෝකයේ සමහර රටවල, හමුදාවෙන් ඉතා සුළු පිරිසක් පමණයි සෑමවිටම සේවයේ යොදවා සිටින්නේ. එයට ප්‍රධාන හේතුව, ඒ රටවල ඉතා සාමකාමී දේශපාලන වාතාවරණයක් තිබීමයි. එමෙන්ම එවැනි රටවල හමුදාවෙන් සෑහෙන පිරිසක් ක්‍රියාකරන්නේ ස්වේච්ඡා හමුදා සෙබළුන් ලෙසයි. අවශ්‍ය අවස්ථාවකදී පමණයි ඔවුන් සේවයට කැඳවන්නේ. අපේ රටේ ස්වේච්ඡා හමුදාව අවසාන වරට සේවය සඳහා කැඳවනු ලැබුවේ, 1983 වර්ෂයේදීයි. එතැන් සිට අදදක්වා, සමස්ත ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවම, සක්‍රිය සේවයේ Active Service යෙදී සිටිනවා.

  ඔබ දන්නවාද? ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවටම ලබාදෙන, ඉහළම වීර පදක්කම වන පරම වීර විභූෂණය - PWV, පළමුවරට ප්‍රදානය කරන ලද්දේ, ස්වේච්ඡා හමුදා නිළධාරියකු වන, කපිතන් (මරණයෙන් පසු උසස්කිරීම) සාලිය අලදෙණියටයි.

   පසුගිය සංග්‍රාම සමයේදී, ස්වේච්ඡා හමුදාවේ බලඇණි රාශියක්, විවිධ මට්ටමේ ක්‍රියාන්විත රාජකාරි සඳහා යොදවා තිබුන අතර, ඔවුන් නිත්‍ය හමුදාව සමග උරෙනුර ගැටෙමින්, අභිමානනීය සේවයක් ඉටුකළා. අදටත් උතුරු නැගෙනහිර ප්‍රදේශ සෑහෙන ගණනක ස්වේච්ඡා හමුදා බලඇණි යොදවා තිබෙනවා.

   අපේ රටේ ස්වේච්ඡා හමුදා සාමාජිකයන්ටද, නිත්‍ය හමුදා සාමාජිකයන්ට මෙන්, විදේශ පුහුණුව ලබාදෙන අතර, එක්සත් ජාතීන්ගේ සාම හමුදාවේ රාජකාරි සඳහා යාමටද, අවස්ථාව සලසාදී තිබෙනවා. ස්වේච්ඡා හමුදා සාමාජිකයකු සහ නිත්‍ය හමුදා සාමාජිකයකු අතර, නිළ ඇඳුම්, වැටුප් සහ දීමනා, අනෙකුත් බොහෝ වරප්‍රසාද, එක සමානව ලබාදෙනවා. අපේ රටේ ස්වේච්ඡා හමුදාවට අයත් රයිෆල් බලකාය පමණයි, උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරි සඳහා නොයවන ලද්දේ. පසුගිය සංග්‍රාම සමයේදී, ඔවුන් ඉතා වැදගත් රාජකාරියක් වූ, මහවැලි ජලාශ සහ විදුලිබලාගාර වල ආරක්ෂාව සඳහා යොදවා තිබුණා. ශ්‍රී ජාතික ආරක්ෂක බලමුළුව = ශ්‍රීලංජාආබමු - Sri Lanka National Guard = SLNG ශ්‍රී ලංකා යුද හමුදාව සතු එකම සහ විශාලතම රෙජිමේන්තුව වශයෙන්, මෑතක් වනතුරු පැවති අතර, ඔවුන්ද උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ යොදවනු ලැබුවා. අද මෙම රෙජිමේන්තුවෙන් කොටසක් නිත්‍ය හමුදාවට අනුයුක්ත කර තිබෙනවා. 

   දැන් ඔබට පෙනෙනවා ඇති, යුද හමුදාවක සෑම රෙජිමේන්තුවක්ම, කුමන ආකාරයකින් හෝ යුද්ධයට  දායක වන බව. මේ සමස්ත යාන්ත්‍රණයම නිවැරදිව, කාර්යක්ෂමව, ක්‍රියාත්මක නොවුනොත්, යුද්ධය පරදිනවා. ඒ නිසා, කාටවත් කියන්න බැහැ, යුද්ධය කලේ අහවල් අහවල් රෙජිමේන්තු පමණයි කියා. 

   මා හිතනවා, මේ ලිපිය මගින්, ඔබට, පොදුවේ යුද හමුදාවක රාජකාරි සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සමහර අංශ ආයතන ගැන, අවබෝධයක් ලැබෙන්නට ඇතැයි කියා. ඔබට ඇති ගැටළු විමසන ලෙස, කාරුණිකව ඉල්ලනවා.



2015 ජූනි මස 11 වැනි දින 2302 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }