හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

25 June 2015

මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ (දෙවැනි කොටස)

Medals
 ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පිරිනමනු ලබන පදක්කම් පිළිබඳව, ඔබට යම් අවබෝධයක් ලබාදීමටයි, මේ ලිපි පෙළ ලියන්නේ. පසුගිය ලිපියෙන්, පදක්කම් වර්ගීකරණය, පිරිනැමීමේ පිළිවෙත් සහ වීර පදක්කම් පිළිබඳව ඔබට සරල අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතනවා.පසුගිය ලිපියේදී අපි සාකච්ඡා කළා මේ පදක්කම් වර්ගීකරණය කර ඇති ආකාරය. අද අපි බලමු වීර පදක්කම් ලෙස සැලකෙන පදක්කම් වලට පසුව එන පදක්කම් මොනවාද කියා. 


2. විශේෂ කුසලතා/දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන පදක්කම්
Meritorious Awards & Medals

 මේ වර්ගීකරණයට වැටෙන පදක්කම් දෙකක් තිබෙනවා. ඒ තමයි දේශපුත්‍ර සම්මානය සහ උත්තම පූජා පදක්කම. මෙයින් දේශපුත්‍ර පදක්කම ත්‍රිවිධ හමුදාවේ මෙන්ම ශ්‍රී ලංකා පොලිස් සේවයේද නිර්දේශිත අයවලුන් වෙත ප්‍රදානය කරනු ලබනවා. (ජීවත්ව සිටින/නොසිටින) නමුත් උත්තම පූජා ත්‍රිවිධ හමුදාවේ සේවය කරන හෝ කළ අයට දෙන්නේ නැහැ. එය ලබාදෙන්නේ ත්‍රිවිධ හමුදාවේ සේවය කොට දිවිපිදූ රණවිරුවන්හේ පවුල් වලටයි. ඒ බව මා මෙතනදී සඳහන් කරන්නේ එම පදක්කම පිළිබඳව කලින් දැන සිටින අයගේ සිතේ ඇතිවන ගැටලුවට පිළිතුර වශයෙනුයි.


1. දේශපුත්‍ර සම්මානය 
10
   මිශ්‍ර ලෝහයකින් සකසා ඇති මෙම පදක්කම රිදී පැහැයෙන් යුක්තයි. පදක්කමේ ඉදිරිපස, ත්‍රිවිධ හමුදා නිරූපණය වන සංකේතයක් ඇතුලත් වන අතර, පසුපස තිබෙන්නේ රාජ්‍ය ලාංඡනයයි. දෙපස රිදී පැහැති තීරු දෙකක් සහිත, දම් පැහැති පීත්ත පටියක, පදක්කම රඳවා තිබෙනවා. සතුරු ප්‍රහාර ඉදිරියේ අභීතව මුහුණ දෙමින් සටන් කොට, තරමක් බරපතළ යන වෛද්‍ය නිර්දේශය ලබන තරමේ, තුවාල ලබන හෝ තුවාල ලැබීමෙන් මියයන, ත්‍රිවිධ හමුදා අයවලුන් සහ පොලිස් සේවයේ අයවලුන් වෙත, මෙම පදක්කම ප්‍රදානය කරනු ලබනවා. මෙම පදක්කම ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා සාමාජිකයන්ට පිරිනමන, 'දම් පැහැ හදවත - Purple Heart' පදක්කමට සමානයි කියන්නටත් පුළුවන්. 


2. උත්තම පූජා පදක්කම 
Uththama Pooja Padakkama

   මා කලින් සඳහන් කලාක් මෙන් වරදවා වටහාගන්නට එපා මෙය ත්‍රිවිධ හමුදා සාමාජිකයනට පිරිනැමෙන පදක්කමක් කියා. මෙය පිරි නමන්නේ සංග්‍රාමයේදී දවිපිදූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ කලත්‍රයා වෙතටයි. මෙම පදක්කම පිරිනැමීම ආරම්භ වූයේ 2010 වර්ෂයේ සිටයි. රිදී පැහැති මිශ්‍ර ලෝහයකින් සාදා ඇති පදක්කමේ මුහුණත ලංකා සිතියමේ අනුරුවක්, පුද්ගල අනුරුවක් ඇතුලත් වන අතර, තද නිල් පැහැති පීත්ත පටියක පදක්කම රඳවා තිබෙනවා.

   හමුදාවේ අය පදක්කම් පළඳිනවා වගේ මේ පදක්කම ලැබෙන කෙනාටත් මේ පදක්කම තම ඇඳුමේ පළඳින්න පුලුවන්ද?

  පුළුවන්. මෙන්න මෙහෙම. 

   පියාට අයිති පදක්කම පුතාට පළඳින්න පුළුවන්, සම්පූර්ණ යුරෝපීය ඇඳුම හෝ අපේ ජාතික ඇඳුම ඇඳ, ජාතික උත්සවයකට සහභාගිවන (බලන්න යන) අවස්ථාවකදී, හමුදාවෙන් ආරාධනා ලැබූ උත්සවයකදී, වෙනත් ජාතික ආගමික උත්සවයකදී පළඳින්න පුළුවන්. පැළඳිය යුත්තේ පපුවේ දකුණු පැත්තේ. (පපුවේ වම් පැත්තේ පදක්කම් පළඳින්නේ, දැනට සේවයේ යෙදී ඉන්න හමුදා/පොලිස් සාමාජිකයන්) එමෙන්ම මියගිය තම පියාගේ අනෙකුත් පදක්කම්, එලෙසම තම පපුවේ දකුණු පැත්තේ පළඳින්නත් පුතාට අවසර තියනවා, ඉහත සඳහන් අවස්ථා වලදී. පුත්තු ගොඩක් ඉන්නවනම් ලොක්කට තමයි පුලුවන්.

දියණිවරු  මේක අහලා තරහ වෙන්න එපා. ලෝකයෙම තියෙන්නේ ඒ ප්‍රතිපත්තිය. 



3. සේවය ඇගයීම සඳහා පිරිනමනු ලබන පදක්කම්/සම්මාන
       Service Medals and Decorations

     මෙම වර්ගීකරණයට වැටෙන පදක්කම් හයක් තිබෙනවා. (යුද හමුදාවට අදාළ ඒවා පමණයි) අපි ඒවා එකින් එක ගෙන බලමු.


1. විශිෂ්ඨ සේවා විභූෂණය - VSV
6

   මෙම පදක්කමේ විශේෂත්වයක් තිබෙනවා. එනම්, මේ පදක්කම පිරිනමනු ලබන්නේ, ත්‍රිවිධ හමුදාවේ, නිත්‍ය සේවයේ Regular Force සාමාජිකයන්ට පමණක් වන අතර, එයින්ද, වර්තමානයේදී මේ පදක්කම සඳහා නිර්දේශ ලබන්නේ, මේජර් ජෙනරල් සහ ඊට ඉහළ නිලයේ අයවලුන් පමණයි. (නාවික හමුදාවේ රියර් අද්මිරල්, ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල්)  කළු පැහැති මිශ්‍ර ලෝහයකින් නිමවා ඇති මෙම පදක්කමේ මුහුණත, පැරණි සිංහල රජසමයේ, අසුපිට ගමන්කරන සොල්දාදුවකුගේ ලාංඡනයක් නිරූපණය වන අතර, පසුපස රාජ්‍ය ලාංඡනය දැක්වෙනවා. දෙපස කොළ පැහැති තීරු දෙකක් සහිත, කහ පැහැති පීත්ත පටියක පදක්කම රඳවා තිබෙනවා. ශ්‍රී ලංකා ජනරජයේ නිත්‍ය හමුදාවට අයත් ජ්‍යොෂ්ඨ නිළධාරියකු වශයෙන් කර ඇති, අවංක, පක්ෂපාතී, විශිෂ්ඨ සේවය ඇගයීම සඳහා මෙම පදක්කම පිරිනමනු ලබනවා. පදක්කම් ලාභියාට තම නමට අගින් VSV යන අකුරු යොදන්නට අවසර තිබෙනවා. 


2. උත්තම සේවා පදක්කම - USP

8

   මෙම පදක්කම පිරිනමනු ලබන්නෙත්, නිත්‍ය හමුදාවේ නිළධාරීන්ට සහ සෙසු නිළයන්ට පමණයි.  තම හමුදා සේවා කාලය තුළ, නොකැළැල් සේවා වාර්තාවක් හිමි, රාජකාරිය සඳහා දැඩි කැපවීමකින් යුත්, කැපීපෙනෙන ඉහළ විනයක් සහ පැවැත්මක් ඇති අයවලුන්ට, මෙම පදක්කම පිරිනමනු ලබනවා. නිල් පැහැති පීත්ත පටියක, කහ පති තීරු දෙකක් සහිත පීත්ත පටියක රඳවා ඇති පදක්කම, මිශ්‍ර ලෝහයෙන් නිමවා ඇති අතර මුහුණත පිල් විදහා සිටින මොනරකුගේ ලාංඡනයක් සහ පසුපස රාජ්‍ය ලාංඡනය දැක්වෙනවා. පදක්කම් ලාභියාට තම නමට අගින් USP යන්න යෙදිය හැකියි.


3. විදේශ සේවා පදක්කම
27


   ශ්‍රී ලංකා ජනරජයට අයත් භූමියෙන් පිටත පිහිටි ප්‍රදේශයකදී, සංග්‍රාමික රාජකාරි ඉටු කරනු ලබන, ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය/ස්වේච්ඡා සියලු නිළයන් වෙත, මෙම පදක්කම පිරිනමනු ලබනවා. නිල් පැහැති පසුබිමක ඇති, රිදී පැහැති තීරු දෙකකින් යුත් පීත්ත පටියක රඳවා ඇති, මෙම පදක්කම, ලෝකඩ වලින් නිමවා ඇති අතර, මුහුණත මහනුවර යුගයේ කැටයමක් සහ, පසුපස රාජ්‍ය ලාංඡනය දැක්වෙනවා.


4. ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම - 1979 


23

   ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය හමුදා සේවයේ යෙදී සිටින, නිළධාරීන්ට සහ සෙසු නිලයන්ට පමණක් පිරිනැමෙන මෙම පදක්කම, ලබාගැනීම සඳහා සුදුසුකම වන්නේ, නොකැළැල්, විශිෂ්ඨ සේවා වාර්තා සහිතව, නොකඩවා අවුරුදු 12ක් හමුදා සේවයේ යෙදී සිටීමයි. රතු පැහැති පීත්ත පටියක, යුද හමුදාව නිරූපණය කරන ගුරු පැහැති තීරුවකුත්, නාවික හමුදාව නිරූපණය කරන තද නිල් පැහැති තීරුවකුත්, ගුවන් හමුදාව නිරූපණය කරන ලා නිල් පැහැති තීරුවකුත් තිබෙනවා. පදක්කම රිදී පැහැති මිශ්‍ර ලෝහයකින් නිමවා ඇති අතර, ඉදිරිපද රාජ්‍ය ලාංඡනය සහ භාෂා තුනෙන් ශ්‍රී ලංකා ජනරජය යන වචනත්, පසුපස ත්‍රිවිධ හමුදා ලාංඡනයත් දක්නට ලැබෙනවා. 


5. කාර්යක්‍ෂම සේවා විභූෂණය - KSV

7

   මෙම පදක්කම පිරිනමනු ලබන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලසේනාවට අයත් නිලධාරීන්ට පමණයි. එයින්ද වර්තමානයේදී මෙම පදක්කම සඳහා නිර්දේශ ලබන්නේ කර්නල් සහ ඊට ඉහළ නිලයේ නිලධාරීන් පමණයි. සාමාන්‍යයෙන් වසර 20 ක පමණ නොකැළැල් සේවා වාර්තාවක් හිමි අයටයි මෙය ප්‍රදානය කරන්නේ. පදක්කම් ලාභියාට තම නමට අගින් KSV යන අකුරු ලියන්නට අවසර තිබෙනවා. මැද කළු පැහැති තීරුවකින් යුත් පීත්ත පටියේ, වමට සහ දකුණට සමව පිහිටන, කොළ, කහ, රතු, දම්, යන වර්ණවලින් යුත් තෙරු දක්නට ලැබෙන අතර, පදක්කම අඳුරු පති මිශ්‍ර ලෝහයකින් නිමවා තිබෙනවා. ඉදිරිපස කදු දෙකකට මැදිවූ රාජ්‍ය ලාංඡනයත් පසුපස ස්වේච්ඡා බලසේනා ලාංඡනයත් දක්නට ලැබෙනවා. 


6. කාර්යක්‍ෂම සේවා පදක්කම - KSP


9

   මෙම පදක්කම පිරිනමන්නේ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට අයත් සෙසු නිළයන්ට පමණයි. වර්තමානයේදී බොහෝවිට නිර්දේශ ලබන්නේ, සැරයන් සහ ඊට ඉහළ නිළ වල අයවලුන්. පදක්කම ලබාදීමේ සුදුසුකම්, ඉහත කාර්යක්ෂම සේවා විභූෂණය ලබාගැනීමට අවශ්‍ය සුසුසුකම් ම වන අතර, පදක්කම් ලාභියාට තම නමට ඉදිරිරියෙන්, KSP යන අකුරු ලියන්නට අවසර තිබෙනවා. පීත්ත පටිය, මීට ඉඅහත දක්වා ඇති පදක්කමේ පීත්ත පටියම වන අතර, පදක්කමේ ඇතුලත් ලාංඡනද සමාන වන නමුත්, වෙනසකට ඇත්තේ, මෙම පදක්කම ඊයම් පැහැයට හුරු මිශ්‍ර ලෝහයකින් නිමවා තිබීමයි. 



4. ක්‍රියාන්විත සහ මෙහෙයුම් සඳහා පිරිනැමෙන පදක්කම් 
     Campaign Medals 


   යම්කිසි රටක ත්‍රිවිධ හමුදාව, කාලීනව සිදුකරනු ලබන, සංග්‍රාමික මෙහෙයුම් සහ මානුෂික ආධාර ලබාදීමේ මෙහෙයුම් වෙනුවෙන්, පිරිනමනු ලබන පදක්කම්, මේ ගණයට අයත්වනවා. 


1. උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම 


14

   1983 ජූලි මස 23 වැනි දිනට පසු, නොකඩවා වසර 3 ක කාලයක්, ශ්‍රී ලංකාවේ උතුරු හෝ නැගෙනහිර යන පළාත්වලින් එකක හෝ ඒ දෙකෙහිම සේවය කර ඇති, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නිත්‍ය ස්වේච්ඡා සියලු නිළයන්ටත්, පොලිස් නිළයන්ටත්, මෙම පදක්කම පිරිනැමෙනවා. කොළ, රතු, කහ, සමාන තීරු තුනකින් යුත්, පීත්ත පටියක් සහිත මෙම පදක්කම ලෝකඩ වලින් නිමවා ඇති අතර, මුහුණත ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් පෙන්වන රූපයකින් ද පසුපස රාජ්‍ය ලාංඡනයෙන්ද යුක්ත වෙනවා. 


2. පූර්ණභූමි පදක්කම 


13

   1977 වර්ෂයේ, ජූලි මස 22 දිනට පසුව, අවම වශයෙන්, එක් වසරක කාලයක්, යාපනය දිස්ත්‍රික්කයේ හෝ 1983 සැප්තැම්බර් මස 16 වැනි දිනට පසුව, අවම වශයෙන්, එක වසරක කාලයක්, වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යන දිස්ත්‍රික්කවල සේවය කර තිබෙන ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදා නිත්‍ය/ස්වේච්ඡා හමුදා සියලුම නිළයන්ටත්, පොලිස් නිළයන්ටත් හමුදා සිවිල් සේවකයන්ටත්, (ලිපිකරු, අරක්කැමි, වේටර්, බැට්මන්, කම්කරු, වැනි. ඔවුන්ට එය පළඳින්නට බැහැ. සිහිවටනයක් පමණයි.) මෙම පදක්කම පිරිනැමෙනවා. මැද රතු පැහැති පළල තීරුවක් සහ දෙපස සමාන පළලින් යුත් කහ සහ කොළ පැහැති තීරු දෙකකින් යුත් පීත්ත පටියක රඳවා ඇති පදක්කම රිදී පැහැති මිශ්‍ර ලෝහයකින් නිමවා ඇති අතර, ඉදිරිපස නෙළුම් මලක පෙති මෝස්තරයක් මැද ලංකාවේ සිතියම දැක්වෙන අතර, පසුපස රාජ්‍ය ලාංඡනය දක්නට ලැබෙනවා. 


3. වඩමාරච්චි ක්‍රියාන්විත පදක්කම 


15

   යාපනය අර්ධද්වීපයේ පිහිටි, වඩමාරච්චි ප්‍රදේශය, LTTE ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා, 1987 වර්ෂයේදී දියත් කල, වඩමාරච්චි මෙහෙයුම, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ කැපීපෙනෙන ක්‍රියාන්විතයක් ලෙස සැලකෙනවා. මෙම මෙහෙයුම සඳහා සටන්කරී භූමිකාවෙන්ද, භට කාර්ය සම්පාදන/වෛද්‍ය/අවට ආරක්‍ෂාව/සේවා සැපයුම්/ ආදී විවිධ ආකාරයෙන් දායකවූ, ත්‍රිවිධ හමුදා නිත්‍ය/ස්වේච්ඡා සාමාජිකයන් වෙත, මෙම පදක්කම පිරිනැමුණා.  අටපට්ටම් හැඩයකින් යුත්, ලෝකඩ පැහැති පදක්කමේ මුහුණත, ශ්‍රී ලංකාවේ සිතියමත්, පසුපස රාජ්‍ය ලාංඡනයත් දැක්වෙන අතර, පීත්ත පටිය මැද තැඹිලි පැහැති පළල තීරුවකින්ද, දෙපස කළු, සුදු, රතු, යන වර්ණ තීරු තුන බැගින්ද යුක්තයි. 


4. රිවිරැස ක්‍රියාන්විත/මෙහෙයුම් පදක්කම 


16

   යාපනය නගරය LTTE ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා දියත්කළ, රිවිරැස මෙහෙයුමට සෑම අයුරින්ම දායකවූ, ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය/ස්වේච්ඡා සියලු සාමාජිකයන් වෙත මෙම පදක්කම පිරිනැමුණා. පදක්කම රිදී පැහැයෙන් යුක්තවන අතර සූර්යයාගේ හැඩයෙන් යුක්ත මුහුණතක් සහ පසුපස රාජ්‍ය ලාංඡනයෙන් යුක්තයි. පීත්ත පටියේ මැද තිබෙන තැඹිලි, තද නිල්, සහ ලා නිල්, යන වර්ණ වලින් යුද, නාවික, ගුවන්, හමුදා නිරූපණය වනවා. 


5. උතුරු පළාත් මානුෂීය මෙහෙයුම් පදක්කම 


12

   2009 වර්ෂයේදී, ඊලාම් යුද්ධය ජයග්‍රහණයෙන් නිම කරමින්, උතුරු පළාතේ මහජනතාව වෙත, විවිධාකාරයේ සහන සහ පහසුකම් සැලැස්වීමට දායක වූ, ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය/ස්වේච්ඡා සියලුම සාමාජිකයන් වෙත මෙම පදක්කම පිරිනැමුණා. රිදී පැහැති මිශ්‍ර ලෝහ පදක්කම නිල්,රතු,කහ,කළු යන වර්ණ සහිත පීත්ත පටියක රඳවා තිබෙනවා. ඉදිරිපස ලංකාවේ උතුරු පළාත සහ ආරක්ෂක සේනා දැක්වෙන එම්බෝස් කැටයමකින්ද, පසුපස රාජ්‍ය ලාංඡනයෙන්ද යුක්තයි. 


6. නැගෙනහිර පළාත් මානුෂීය මෙහෙයුම් පදක්කම 

11

එදා මාවිල්ආරු මෙහෙයුමෙන් ඇරඹී, නැගෙනහිර පළාත පුරා දියත් කළ, මානුෂීය මෙහෙයුම් තුළින් ඊලාම් සටන ජයග්‍රහණය කරන්නට උරදුන්, ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය/ස්වේච්ඡා සියලුම සාමාජිකයන් වෙත, මෙම පදක්කම පිරිනැමුණා. ත්‍රිවිධ හමුදාව, නියෝජනය වන වර්ණ සහිත පීත්ත පටියක් ඇති මෙම පදක්කමේ, මාවිල්ආරු සොරොව්වේ ලාංඡනයක් සහ රාජ්‍ය ලාංඡනයත් පසුපස රාජ්‍ය ලාංඡනයත් තිබෙනවා.  

අද කොටස මෙතනින් අවසන් කරනවා. තවත් කොටසකින් හමුවෙමු. 



2015 ජූනි මස 25 වැනි දින 1420 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }