නැවතුණු තැනින් ................
එදා උදේ මගේ මව මට පැවසුවේ ඇයට අත්‍යවශ්‍ය රාජකාරී කීපයක් සඳහා ස්ථාන කීපයකටම යාමට තියන බවයි , ඒ නිසා මට සිදුවුනා ඒ සෑම තැනකටම කතා කරන්න . විශේෂයෙන්ම කොට්ඨාස කාර්යාලයට හා කලාප කාර්යාලයට මේ ස්ථාන දෙකෙන්ම මට ලැබුණු පිළිතුර වුනේ ඇයව උදෑසන දුටු නමුත් මේ වෙලාවේ ඇය එම ස්ථානයේ නොමැති බවයි . අවසානේ මම අවසාන ඇමතුම ලෙස රුවන්වැල්ල රාජසිංහ මාධ්‍ය විද්‍යාලයේ විදුහල්පති තුමාව ඇමතුවා.
ඔහු තමයි එදා මට අස්වැසිල්ල සපයන පිළිතුර දුන්නේ. මේ තමයි එදා දුරකතන සංවාදය
මම - සර් මම ............................................. දුව කතා කරන්නේ
විදුහල්පති - ඔව් දරුවෝ කියන්න. මොකක්ද ප්‍රශ්නේ?
මම - සර් අම්මව අද ඉස්කෝලෙදි දැක්කද ?
විදුහල්පති - ඔව් අද උදේ මම දැක්ක. කලාපෙට යනවා කියලත් කිවුවා . ඇයි මොකක්ද ප්‍රශ්නේ ?
මම - සර් මෙහෙ බස් එකක් ගිනි අරන්. මං හිතුවේ අම්මා එකේ හිටියා කියලා . අනේ සර් අම්මා ආයේ ඉස්කෝලෙට ආවොත් මට කතා කරන්න කියන්න .
විදුහල්පති - හරි හරි මම පණිවිඩේ ඉක්මණටම කොහොම හරි දෙන්නම්.
මම - බොහොම ස්තූතියි සර්
මේ පණිවිඩය ලබා ගත් විගසම මම නැවත මගේ පියා ඇමතීය. ඒ වනවිට ඔහු පොල්ගහවෙල මෝචරිය ද රෝහලේ වාට්ටුද පිරික්සා තිබුණි. මම කීවේ ඒවා අනවශ්‍ය බවත් අම්මා රුවන්වල්ලට ගොස් ඇති බවට මට තොරතුරු ලැබුණු බව හා වහාම කතාකරන ලෙස දැන්වූ බවත්ය. ඒ නිසා ඔහු නැවත කඳවුරට ගොස්තිබුණි.
වෙලාව දහවල් 1. 00 පමණ වන්නට ඇත. මා බලාපොරොත්තුවෙන් සිටි ඇමතුම ලැබුණි .
ඒ මගේ මවය . ඇය ඉතාම බියට පත්වූ ස්වරයෙන් ඇසුවේ මා මෙතරම් බියට පත්වූ කාරණාවය . මා මොහොතකට ගොළුවිය. ඒ සමගම මගේ නෙත් දෙකෙන් නොනවත්වා කඳුළු කඩා වැටිණි . ඉන්පසු ඇය සමග විස්තරය කියා හැකි ඉක්මණින් මගේ පියාව ද අමතන ලෙස කීවාය. ඇය මා පවසන තුරු සිද්ධිය දැන නොසිටියාය. එමෙන්ම ඇය එදින උදෑසන 7. 00 වනවිට සිට ඇත්තේ වරකාපොළ නගරයේය. එදින සියල්ල යහපත් තත්වයට පත්වන විට සවස් කාලය එළඹිණි. මගේ මව බේරුනත් මියගිය අය වනුවෙන් අප තිදෙනාම ශෝක වූහ . තවත් සතියක් ගතවූ පසු මගේ පියා මවට ජංගම දුරකථනයක් රැගෙන දුන්නේය .
අදද එම ස්තානය පසු කරන විට මට එම සිදුවීම මතකයට නැගේ .
විචාරක දියණිය 23.00 පැයට