හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

21 October 2014

බලන්ඩකෝ මෙයාලා දන්න දේවල් - Shame on you Plagiarist

අම්මෝ........... බලන්නකො මෙන්න මෙයාලා දන්න දේවල්. මෙයාලා තමන්ගේ අඩවියේ අලුත් ලිපියක් දාලා, මුලින්ම මෙන්න මෙහෙම කියලා තියනවා.

මෙය අන්තර්ජාලය ඇසුරෙන් උපුටාගැනිමක් වන අතර ලිපියේ රස්ඤතාවයට හානියක් නොකර ලිපිය ඉදිරිපත් කර ඇත​.

   අනේ ද කියන්නේ. ටිකක් උනන්දුවෙන් බලනකොට, මෙන්න බොලේ මේක මගේ පරණ ලිපියක්. මේ තියෙන්නේ මගේ ලිපිය.

   අම්මපා මොකක්ද මේ 'රස්ඤතාවය' කියලා මෙතන කියන්නේ? විස්කිරිඤ්ඤා වගේ දෙයක්ද? හෝ...........හෝ...........දැනුයි තේරුණේ. මුන්නැහෙලා මේ 'රසඥතාවය' කියන වචනේ තමයි ලියන්න උත්සාහ කරලා තියෙන්නේ. 'අන්තර්ජාලය ඇසුරෙන් උපුටා ගැනීමක්' ලු. 

   ඉතිං හත් දෙයියනේ, ගත්තෙ කොහෙන්ද කාගෙන්ද කියලා කියනවලකෝ. මමත් ලිපි ලියන්නේ, අන්තර්ජාලයේ මිසක් අල්ලපු ගෙදර තාප්පයේ නෙවෙයිනේ. මගේ අඩවියෙන් උපුටා ගත්තා කියන්න ඇයි ඔච්චරම ලැජ්ජා? අනික මේ රස්ඤතා අඩවියේ කාටවත් කමෙන්ට් දාන්නවත් බැහැ. ඒත් ලැජ්ජා නැතුව කියනවා ලයික් එකක් දාලා යන්න කියලා.

   උදේ පාන්දරවත් කිව්වනම්, උන්නැහේගේ දෝතම අල්ලන්න කියලා වෙන මොකක් හරි දාන්න තිබුණා. 'රස්නේ පිටින්ම කාලා බලන්න' කියලා. 

 අනේ කාලේ වනේ වාසේ කිව්වලුනේ.


1


මට මතක්වුණා පරණ ජනකවියක්. මෙන්න මෙහෙමයි ඒ කවිය.

ඇතුල් පැත්ත පිටපැත්ත නොදන්නා
කිතුල් පිත්ත උඩ පියවර මැන්නා
උකුල් ඇටෙත් උගේ එලියට පැන්නා
එහෙව් උනුත් අද සබයට එන්නා


Screenshot (61)


Screenshot (62)


අම්මපා මෙව්වා මටමනේ වෙන්නේ :D :D :D 


my-signature-for-blog[1]     2014 ඔක්තෝබර් මස 20 වැනි දින 2327 පැය

18 October 2014

කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (දෙවැනි කොටස) – Battle Appreciation and Plan (Part Two)

2
  මතකයි නේද මේ කතාවේ පළමුවැනි කොටස? මතක නැත්නම්, මෙන්න මෙතනින් ගිහිල්ලා, කියවලා එන්නකෝ. එහෙම නැතුව මේ කොටස තේරුම්ගන්න බැහැ. අපි කතාකරන්නේ, යුද්ධයකදී, කොහොමද ක්‍රියාන්විත සැළැස්මක් හදන්නේ කියන එකයි. මේ සඳහා අපි ආධාර කරගන්නවා, ප්‍රේමපාල සහ කාමිණී කියන දෙදෙනාගේ ආදර හුටපටය. මේ දෙන්නගේ ආදරයට, කාමිණීගේ පැත්තේ අය, යුද්ධ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතිං, ප්‍රේමපාල ක්‍රියාන්විතයක් සැළසුම් කරමින් ඉන්නවා, කාමිණීව ඇගේ ගෙදරින් පන්නාගෙන, තම ප්‍රේම විමුක්තිය සොයා යන්නට. අන්න ඒ සැළැස්ම හදනකොට, වැදගත්වන කරුණු තමයි, අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. 

   දැන් හරි නේද? ඔක්කොම වල් පල් ඔලුවෙන් අයින් කරලා, හොඳ අවධානයෙන් කියවන්න. නැත්නම් ක්‍රියාන්විතය 'හබක්' :D අපි, පසුගිය ලිපියේදී, ක්‍රියාන්විතයේ අරමුණ - Aim සහ ක්‍රියාන්විතය සැළසුම් කිරීමේදී වැදගත්වන සාධක - Factors වලින්, මූලික කොටස් දෙකක් පමණක් සාකච්ඡා කළා. කොහෙද, හිත එකලස් කරගෙන, ඔලුව නිදහසේ තියාගෙන, මෙව්වා කරන්න ලැබෙන්නේ නැහැනේ. එහෙන් කෝච්චි ස්ට්‍රයික් එකක් ආවා. ඊළඟට බයිසිකල් සෙල්ලමක් ආවා. මෙව්වා හින්දා, මේ ලිපිය ලියන එකත් පමාවුණා. අර ලිපි දෙකෙන් කියලා තිබුණ දේවල් දැක්කම, කොහොමද අනේ නොදැක්කා වගේ ඉන්නේ. ඒ නිසයි මේ ලිපිය පොඩ්ඩක් ප්‍රමාද කරලා, ඒ කාරණා ගැන දෙකක් කියලා හිටියේ. හරි හරි එව්වයින් කමක් නැහැ. බහිමුකො යුද්දෙට. 

අද මුලින්ම බලමු, පසුගිය ලිපියේදී සාකච්ඡා කරන්න පටන්ගත්තු, 'සාධක - Factors'  වල ඉතිරි කොටස්. අපි අන්තිමට කතාකළේ භූමිය සහ කාලගුණ තත්වය යටතේ, අපි මේ ක්‍රියාන්විතය කරන්න යන ප්‍රදේශය මොන වගේ එකක්ද යන්න, සවිස්තරව හඳුනා ගැනීමයි. (Ground and Weather > Ground in General) මතකනේ කොහෙද මේ ක්‍රියාන්විතය සිදුකිරීමට නියමිත කියලා. මතක නෑ. ඔන්න ඉතිං ඊටිං ද විලේජ් කියන්නේ ඕකට තමයි. ඇයි අනේ අපි මේ වැඩේ දෙන්න යන්නේ. නුගේගොඩ පාගොඩ ප්‍රදේශය ආශ්‍රිත, දේවාල පාරේ කියලා, සිතියමකුත් දාලා, කතාකළා මතක නැද්ද පහුගිය කොටසේදී? හපොයි...... තමුන්නාන්සේලා වගේ විශිෂ්ට මතකයක් තියන උන්නැහේලා ටිකක් එක්ක, යුද්දයකට යන්න ලැබීම, මගේ පූරුවේ ????? ක්. 


3. බාධක - Obstacles


10   මේ සාධකයෙදී සලකා බලන්නේ, අපිට ක්‍රියාන්විතය කරන්න සිදුවී තිබෙන ප්‍රදේශයේ ගමන් කිරීමේදී, කෙබඳු ආකාරයේ බාධක වලට මුහුණ දෙන්න වෙයිද කියන එකයි. ගංගා, වැව්, මඩ වගුරු, කුඹුරු යායවල්, මහ කඳු, ජනාවාස, තාප්ප, වැටවල්, ඔය කොයි ඒවාත් බාධක. මහ කැලයක් නම්, වන සතුන් ඉන්නවා. නාගරික පෙදෙස්වල රාත්‍රියට පාරේ ඉන්න බල්ලන් නිසා හරි කරදරයි.  බල්ලන්ගේ බිරීම නිසා අපේ ගමන මිනිස්සුන්ට දැනෙන්න පුළුවන්.



4. ආවරණ - Covers 

soldiers    අපි මේ යන්නේ කෙල්ලෙක් උස්සන්න නේ. නිකං චිත්‍රපටියක වගේ, 'චෙස්ට් ෆෝවඩ් දාලා, පුක් බැක් දාලා' යන්න බැහැ. කෙල්ලගේ ගේ ළඟට කිට්ටු කරනකොට, අරවට මෙව්වට මුවාවෙමින් තමයි යන්න ඕනෙ. නැත්තං, කෙල්ලගේ බාප්පොච්චි අතේ තියනවා කිව්ව කටපුංචා ගෙන්, කළු කුඩු බස්නේ ලැබෙන්ඩ ඉඩ තියනවා. මොනවද අපිට මුවාවෙන්න හැකි ස්ථාන හෙවත් ආවරණ කියන එක, සිතියමකින් බලන්න පුළුවන්. මගේ යාලුවෙකුට පුළුවන්, මේ කෙල්ලගේ ගේ පැත්තේ කරක් ගහලා හොයාගන්න, ආවරණ වශයෙන් පාවිච්චි කළහැකි ස්ථාන. පාර අයිනේ තියන ලොකු දැන්වීම් පුවරුවක් වුනත් ආවරණයක් තමයි.


5. මාර්ග සහ ප්‍රවාහනය -

Roads and Transport  


M   දැන් අපි දන්නවා, අපිට යන්ඩ අවශ්‍ය, නුගේගොඩ (පිටකෝට්ටේ කිව්වත් හරි) දේවාල පාරට බව. ඉතිං, මෙතනට යන්ඩ පාරවල් කීයක් තියනවද? නෑ නෑ, එහෙම මේ ඒ ළඟම වටේ තියන පාරවල් නෙවෙයි. මතක නැද්ද ප්‍රේමපාල ඉන්නේ කොහෙද කියලා? අවිස්සාවේල්ලේ. හයියෝ..........ඔන්න ඔය වෙලාවට තමයි ඉතිං දෙන්න හිතෙන්නේ.......... කණ පැලෙන්න කකුල් දෙකටම. දැන් හිතලා බලන්න, ප්‍රේමපාලට පුළුවන්, හයිලෙවල් පාරදිගේ නුගේගොඩට ඇවිත්, පාගොඩ පාර දිගේ එන්ඩ. නැත්නම් හයිලෙවල් එකේ ඇවිත්, මහරගම නාවින්න හන්දියෙන් දකුණට හැරිලා, ජුබිලි කනුව හන්දිය පහුකරලා, පිටකෝට්ටේ හන්දිය හරහා එන්ඩ. ලෝ ලෙවල් පාර දිගේ ඇවිත්, කඩුවෙල, බත්තරමුල්ල, ඇතුල් කෝට්ටේ, හරහා එන්ඩ. ඇතුල් කෝට්ටෙන් හැරෙන්නැතුව, බොරැල්ල, ඇස් වාට්ටුව, පැත්තෙන් කැරකිලා, හයිලෙවල් එක දිගේ නුගේගොඩ පැත්තෙන් එන්ඩ. (මම දන්නේ නැති පාරවල් ඔයා කියන්ඩකො) ඔන්න ඔහොම, පාරවල් සෑම එකක් ගැනම, මුලින්ම සළකා බලන්න ඕනෙ. මොකද, ඒ සෑම පාරකම, වාසි අවාසි දෙකම තියනවා. එතකොට ප්‍රවාහනය. ඔව්, එතැනදී බලන්නේ, මොනවගේ වාහනද මේ ගමනට සුදුසු, වාහන වලින් බැහැලා පයින් යන්න අවශ්‍යද? එහෙනම් ඒ කොතෙන්දිද? ඔන්න ඕවා තමයි ප්‍රවාහනය යටතේ හිතන්න ඕනෙ.


6. ළඟාවිය හැකි මාර්ග - Approaches 

    පාරවල් කොච්චර තිබුණත් මෙතනට ළඟාවීම සඳහා සුදුසුම මාර්ග ගැන විශේෂයෙන් සළකා බැලිය යුතුයි. අඩුම ගණනේ එවැනි ළඟාවීමේ මාර්ග තුනක් වත් හොයාගන්න පුලුවන්නම් හොඳයි. හොඳයි නෙවෙයි කොහොම හරි හොයාගන්න ඕනෙ. දැන් මේ කෙල්ලගේ ගෙදර අවට තියන වෙනත් ගෙවල්වල පිළිකන්න පැත්තෙන් වුනත් ළඟාවීමේ මාර්ග තියෙන්න පුළුවන්. මෙතනදී එක් එක් ළඟාවීමේ මාර්ගය ගැන,

i. සවිස්තරාත්මක හැඳින්වීමක්

ii. ඒ ඒ ස්ථාන වලට ඇති දුර කොපමණද යන්න පැහැදිලි කිරීමක් අනිවාර්යයයෙන් තිබිය යුතුයි.

iii. මාර්ගයේ ස්වභාවය අනුව ගමන ඉතා පහසු/පහසු/සතුටුදායක/ ආදී වශයෙන් වර්ග කර පෙන්විය යුතුයි.

iv. ඒ ඒ මාර්ගය අනුව කොපමණ භට පිරිසක් යෙදවිය හැකිද යන්න පැහැදිලි කලයුතුයි.

v. ඒ ප්‍රදේශයේ තිබෙන, සටනේදී වැදගත්වන ස්ථාන, (උස් බිමක්, උස ගොඩනැගිල්ලක්, තාප්ප වලින් වටවූ ආවරණ ප්‍රදේශයක්, පාලමක්, වැනි) මොනවාදැයි විස්තර කලයුතුයි.

vi. එක ළඟාවීමක් අවුල් සහගත තත්වයකට පත්වුනොත් අනෙක් ළඟාවීමක සිට ආධාරක භට පිරිස්වල ආධාරය ලබාගත හැකිදයන්න පැහැදිළි කලයුතුයි.

vii. කොපමණ ආවරණ ගණනක් ඇත්ත වශයෙන්ම තිබේද යන්න පැහැදිළිව දැනසිටිය යුතුයි.

viii. මේ පාරෙන් ගියොත් මෙතනට වැටෙනවා යන දැණුම තිබිය යුතුයි. (නිවැරදි දිසාවට යාමේ හැකියාව)

ix.  අපි සතුරු ප්‍රදේශයට ගොස්,  අපේ මුළු හමුදාවම එකතුවන්නේ, මෙන්න මෙතෙන්ට = Assembly Area,  ක්‍රියාන්විත කණ්ඩායම මුලින්ම එකතුවන්නේ, මෙන්න මෙතෙන්ට = Forward Base, ක්‍රියාන්විත කණ්ඩායම, වැඩේ පටන් ගන්න ආසන්නව රැඳෙන්නේ, මෙන්න මෙතන = Forming up Place යන දේවල්, කල් තබා සැළසුම් කළයුතු අතර, කණ්ඩායමේ සෑම දෙනාම ඒවා දැන සිටිය යුතුයි.


7. ඉලක්කගත ප්‍රදේශය අවට භූමි ලක්ෂණ (ස්වභාවය)

   වැඩේ දෙන්න යන ප්‍රදේශය ගැන දැනගන්න පුළුවන් හැම දෙයක්ම, පුළුවන් තරම් දුරට, දැනගෙන හිටිය තරමට, ක්‍රියාන්විතය පහසු වෙනවා. සාර්ථක වෙනවා. අපි යන්නේ නුහුරු තැනකට. ඒ නිසා, එතන කොයිවගේද කියන එක, විවිධ කරුණු ඔස්සේ සලකා බලනවා. ඒ මෙන්න මෙහෙමයි.

i. විශාලත්වය (දිග පළල):- අපිට අදාළ ඉලක්කය තිබෙන්නේ කොපමණ විශාලත්වයක පැතිරීමක් සහිතවද? උදාහරණය; කෙල්ලගෙ ගෙදර තියෙන්නේ පර්චස් 20 ක විතර ඉඩමක.

ii. හැඩතල මොන වගේද. උදාහරණය; ඉඩම වටේ කොට තාප්පයක් තියනවා. හරි හතරැස් නෙවෙයි. ගෙයි ඉදිරිපස මායිමයි පසුපස මායිමයි දිගයි. අනික් මායිම් දෙක ඊට වඩා කෙටියි. දෙපැත්තක් තියෙන්නේ පාරවල් දෙකකට. ඒ කියන්නේ ඉස්සරහ පැත්තයි, අපි ගෙදරට මූණ දෙනකොට, අපේ වම් පැත්තයි. සමතලා බිමක්. ගෙදර සැළැස්ම, ඉස්සරහ දොර තියන විදිහ, ඒ දොර හැර, ගෙට ඇතුළුවිය හැකි වෙනත් දොරවල්, කඩාගෙන යන්න පුළුවන් දොරවල්/ජනෙල් තියනවාද, කෙල්ල ඉන්නවායයි අනුමාන කරන කාමරය, ගෙදර අනික් අය ඉන්න කාමර,  සී සී ටී වී කැමරා තිබේද, බල්ලන් ඉන්නවාද, බලු කූඩුව කොතනද තියෙන්නේ.

 iii. අපි එකවරම ගෙට කඩාගෙන පැන්නම එන ප්‍රති ප්‍රහාර වැලැක්වීම සඳහා, අපේ ක්ෂණික ප්‍රහාරක කණ්ඩායම් කීයක් විතර දාන්න වෙයිද.

iv. කෙල්ල ඉස්සීමේ මෙහෙයුම සඳහා ගෙට ඇතුළුවීමට ඉතාම සුදුසු ගෙදර කොයි පැත්තෙන්ද

v. අපේ කණ්ඩායමේ එක් එක් අය, කොතනින්, කොයි වෙලාවටද, ඇතුළුවෙන්නේ

vi. කෙල්ලගේ ගෙට ආසන්නවම තියන, අනිවාර්යයෙන් ජයගතයුතු බාධක. උදාහරණ; තාප්පය, කෙල්ලගේ ගෙදර ඉන්න බල්ලා,


8. කාලගුණය (දේශගුණය) :-

i. මේ දවස්වල ඒ පැත්තේ කාලගුණ තත්වය කොහොමද. දවසේ නිශ්චිත වේලාවකදී මහ වැහි ලැබෙනවද, වැස්ස නැද්ද,


9. සැකසුම් - Deductions 

   ඔන්න මේ ලිපිය ලියන්න ගිහින්, මම අමාරුවේ වැටුණ තැනක් මේක. මොකද, හමුදා පොතේ තියන ඉංග්‍රීසි යෙදුම්, සිංහලෙන් කියන එක හරිම අමාරුයි. හමුදාවේදී මෙව්වා කවදාවත් සිංහලෙන් උගන්නන්නේ නැහැ. හමුදා ක්‍රියාන්විත සැළැස්මකදී, මෙතන මේ deductions කියන්නේ, සාමාන්‍ය ව්‍යවහාරයේදී, අඩුකරනවා කියන තේරුමෙන් නෙවෙයි. ක්‍රියාන්විතයට අදාළ, ඒ ඒ පියවර සඳහා, ඉතා තර්කානුකූලව සහ බුද්ධිමත්ව සිතාබලා, ගතයුතු හොඳම පියවර කුමක්ද යන්න, තීරණය කිරීමයි. මේ සඳහා, හමුදා මූලෝපාය ඥානය - Military Tactical Knowledge ඉතා ඉහළ මට්ටමකින් තිබිය යුතුයි.

61   පොඩි උදාහරණයක් කියන්නම්, අපේ මේ කතාවේ එන කෙල්ලවම සම්බන්ධ කරලා. ඔන්න ඔයාට කෙල්ල කියනවා, හෙට අපි දෙන්න උදේ වරුවේ පිචෑර්ස් එකක් එහෙම බලලා, දවල් හොඳ හෝටලේකින් කාලා, හැන්දෑවේ බීච් එකටත් ඇන්ටර් වෙලා, පොඩි වෝක් එකක් දාලා, වැටකෙයා පඳුරක පහසත් විඳලා, එමු කියලා.

   දැන් ඉතිං ඔහේගේ දනිස් දෙක මැන්ඩලින් ගහන්න පටන් ගන්නවා. නෙද්දකිං විතරක් මේ ......ට ......න යන්න ඕනෙ වුණේ, මගේ අතේ සතේ නැති දවසකමනේ. ඇයි යකෝ, පඩිගන්න තව සුමානයක් තියනවා. මොන .........ද මම සල්ලි හොයන්නේ? ඒ මදිවට පිචර් බලන්නයි, කන්නයි, බීච් යන්නයි, මොන ........ද?

   හ්ම්.........නොගියොත් මගේ පටිරෝල් වෙනවා. කාඩ් කුඩු වෙනවා. අමාරුවෙන් අටවගත්ත (අටම්පහුර නෙවෙයි) ලව් එකට කෙළවෙනවා. ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. ඒ මදිවට නිවාඩුවක් ගන්න වෙනවා. ටිකක් හොඳ ෂර්ට් එකකුයි කලිසමකුයි අඳින්න වෙනවා. සපත්තු දෙකකුත් හොයාගන්න වෙනවා. වියදමට සල්ලි.........? බස් ගාස්තු ත්‍රී වීල් ගාස්තු කීයක් විතර යයිද.........? පිචර් හෝල් එකේ ටිකට් වලට....අනිවාර්යයෙන් මේකි ඉන්ටවල් එකට අයිස් චොක්ස් ඉල්ලනවා.......අයිස් චොක්ස් නෙවෙයි දෙන්න හිතෙනවා........දවල් කෑමට.....ෆ්‍රයිඩ් රයිස්, කොකා කෝලා, ඩෙසර්ට්? ඇයි බීච් එකේදිත් එක එක ජාති ඉල්ලයි..........බුදු අම්මේ........මං වැටිච්ච අමාරුව. මේකිව බැන්දට පස්සේ, මගේ ඇටකටු වලින් සුප් හදලා බොයිද දන්නේ නෑ........

   දැන් මෙහෙම හිතන්න. දැන් ඔය ඉහළ ඡේද දෙකේ තියන ප්‍රශ්න විසඳගන්න ඔබ මොනවද කරන්නේ? ඉස්සරවෙලාම නිවාඩු ගැනීම. නිවාඩුවක් ඉල්ලන්න, සාධාරණ (කපටි) කරුණු දෙක තුනක් හිතන්න වෙනවා නේද? එයින් එකක් තමා අන්තිමට තෝරාගන්නේ. සල්ලි හොයාගැනීම? ඔයාගේ අතේ දැනට තියනවා මෙච්චරක්, යාළුවෙකුගෙන් ඉල්ලා ගන්නවා මෙච්චරක්, වියදම අඩුකරගන්න, සෑහෙන කල්වේලා ඇතුව පයින් යනවා සෑහෙන දුරක්, නැත්නම් යාලුවෙකුගේ බයිසිකලයකින් ගිහින් දම්මවා ගන්නවා, අහළ පහළ ඉන්න අය ඔයා ගැන නිතර හොයන අය කියලා හිතන්න. ෂර්ට්, කලිසම්, සපත්තු, එහෙම යාළුවෙකුගෙන් ගජේ ගහගන්න පුළුවන්නේ........වෙනදා නොයන විදිහට, ජැන්ඩි පහට ඇඳලා, කොහෙද යන්නේ කියලා හොයන එකෙන් ගැලවෙන්න, එක්කෝ බොරුවක් ලැස්ති කරගන්න ඕනෙ. නැත්නම් පාන්දරින් යන්න ඕනෙ, එහෙමත් නැත්නම් සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන ගිහින්, වෙන තැනකදී කිට් බිට් ගහගන්න ඕනෙ. කෙල්ල ඔයාව හම්බවෙන්න එන්ඩ කියන තැනට යන පාරේ, ඔයාගේ නෑදෑයෝ ඉන්නවා. ඒ අයගේ අවධානයට ලක් නොවෙන්න, වෙන පාරකින් යන්න වෙනවා. දැන් හිතලා බලන්න යුද්ධයක් වගේ නේද මේක? ඉතිං යුද්දෙදිත් ඔහොමම තමා වෙන්නේ. බලමු කොහොමද වෙන්නේ කියලා. 

i. ඉලක්කය වෙත ළඟාවීමේ මාර්ග ප්‍රමුඛතාව සැකසීම. (අපි කලින් කියලා තියනවනේ කෙල්ලගේ ගෙදරට යන්න පුළුවන් පාරවල් කීපයක් ගැන. අවසාන වශයෙන් එයි පාරවල් තුනක් පමණ තෝරාගන්නවා. ඉන්පසු බොහොම කල්පනාකාරීව සලකා බලා අවසාන තීරණය ගන්නවා මෙන්න මේ පාරෙන් තමයි යන්නේ කියලා) ඒ පාර, සැලැස්මේ ලකුණු කරන්න ඕනෙ.

ii. භට පිරිසේ සංයුතිය. (මේ වැඩේට මට මොන වගේ අය හිටියොත්ද වඩාත් සාර්ථකව වැඩේ කරන්න පුළුවන් වෙන්නේ? ත්‍රී වීල් ඩ්‍රයිවර්ලා දෙන්නයි, මොටෝබයික් දෙකයි, කාර් එකයි, හොඳට ගහගන්න පුළුවන් එවුන් හතර දෙනයි, ඔන්න ඔය විදිහට යුද්දෙදි නම් කාලතුවක්කු, යුද ටැංකි, මෝටාර්, මැෂින් තුවක්කු,භට පිරිස්, ආදිය)

iii. කෙල්ලගේ ගෙදර ගේට්ටුව කඩාගෙන ඇතුලට දානවද බයිසිකල්? (යුද්දෙදි නම් ප්‍රහාරක අවස්ථාවේ දී යුද ටැංකි යොදාගන්නවාද? මෙහි වාසි අවාසි දෙකම තියෙන්න පුළුවන් නිසා, ඉතා කල්පනාවෙන් කලයුතුයි. බලන්න, බයිසිකල් දෙක ගෙදර මිදුලට ගැනීමේදීත්, වාසි අවාසි දෙකම තියෙන්න පුළුවන්)

iv. කඩු, පොලු, බයිසිකල් චේන්, රම්බෝ පිහියා, එහෙම ගෙනියනවානම්, එව්වා අතේ තියන අය කොතන ඉඳලද වැඩේ කරන්නේ.? (යුද්දෙදි නම්, කාලතුවක්කු, මල්ටි බැරල්, මෝටාර්, ලොකු මැෂින් තුවක්කු, ස්ථාන ගත කරන්නේ කුමන ස්ථාන වලද?)

v. හරියටම කොයි වෙලාවටද ගේම් එක පටන් ගන්නේ. (හරියටම මෙන්න මේ වෙලාවට කියලා අනිවාර්යයෙන් තීරණය කළයුතුයි. ඊට පෙර එහෙමෙහෙ රස්තියාදුවේ යන්නේ නැහැ. එහෙම ගියොත් සැක ඇතිවෙලා, සතුරා අපට කලින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්)

vi. කෙල්ලගේ ගෙදර ගේට්ටුව වහලා තිබුනොත් කඩාගෙන යන්නේ කොහොමද කියන එක සහ අපි ඇතුළට කියාට පස්සේ වැහුවොත්, ඒක කඩන්නේ කොහොමද? (යුද්දෙදි නම් ඉංජිනේරු බලකායේ සහාය ගන්නවද. ඉංජිනේරු බලකාය කරන්නේ, අපිට බාධාවන දේවල් පුපුරවා හරිනවා, පාරවල් ක්ෂණිකව හදා දෙනවා. සතුරාට අපි ළඟට එන්න බැරි විදිහට බාධක ඇති කරනවා. ඉංජිනේරු සහාය අවශ්‍ය නම්, ඒ සඳහා කල්තියා සැළැස්මක් හැදිය යුතුයි.)

හරි අදට මේ ඇති.

මතු සම්බන්ධයි.........!!!!



my-signature-for-blog[1]    2014 ඔක්තෝබර් මස 18 වැනි දින 0031 පැය

15 October 2014

ලයිසන් ඉන්ෂුවරන්ස් නැතුවම ආශ්චර්යයට යමු

1
   අපේ රට දැන් ආශ්චර්යයට ලංවෙලා නේද ඉන්නේ? මමනම් හිතන්නේ, නෙළුම් කුළුණ හදලා ඉවර වුන ගමන්, අපිට පුළුවන් ඒක උඩට නැගලා, අපේ රටේ ආශ්චර්යය බලලා, බිමට පනින්න. එකම පුරස්නේ වෙන්නේ, මාමා ළඟදි ගණන් වැඩි කරපු එව්වා වලින් තමයි, දෙකක් දාගෙන යන්න වෙන්නේ. ඒ දුකම මදෑ කුළුණෙන් බිමට පනින්න.

   අපි දැන් ආශ්චර්යය කරා යන ගමන වේගවත් කරලා තියෙන්නේ පුදුමාකාර විදිහට. හැබැයි මේ ගමන යන්නේ ලයිසන් සහ ඉන්ෂුවරන්ස් නැතුව වීම නම් එක අතකට භයානකයි. තවත් අතකින් පුදුමාකාරයි. තවත් පැත්තකින් බලනකොට විකාරයි.

   ඔබ දැකලා ඇති මේ දිනවල රජයේ සේවකයන්ට ඉතා අඩු මිලට බෝටර් බයිසිකල් සහ ස්කූටර් ලබාදෙනවා. රු 210000/- ක් පමණ වටිනා මෝටර් බයිසිකලයක් රජයේ සේවයේ ක්‍ෂේත්‍ර රාජකාරිවල සිටින මහත්වරුන්ට දෙන්නේ රු 50000/- කට. ඒ සඳහා ණයකුත් රජයෙන්ම දෙනවා. ඒ ආකාරයටම නෝනලාට දෙනවා රු 180000/- පමණ වටිනා ස්කූටරයක් රු 45000/- කට. ඇත්තටම අගය කලයුතු හොඳ දෙයක්. කීයෙන් කීදෙනාටද ෆිනෑන්ස් කරලා හෝ බයිසිකලයක් ගන්න පුළුවන්.

2
   
නමුත් පුරස්නේ මෙන්න මේකයි. මෙව්වා පාරේ දුවන්නේ අමුතුම කෙරමෙකට. ඒ කියන්නේ මෙව්වට පාරේ දුවන්න ලැයිසොං කඩදාසි හෝ ඉන්සුවර් කඩදාසි නැහැ. මාස තුනකට පස්සෙලු එව්වා ලැබෙන්නේ. ඉතිං හත්ඉලව්වේ ඒ අල්ලපනල්ලේ මොකුත් ඇස්සිඩන්ට් එකක් හැප්පුනොත් කොයි වෙසමුනියද වග කියන්නේ? 

   නෑ නෑ, ඔන්න ඔතනදි තමයි, 'ඈස් චර්යාව' එළියට එන්නේ. මෙන්න මෙහෙමයි කෙරමේ. මාස තුනක් යනතුරු දිස්තිරික්කුවෙන් පිට යාම තහනං. පාරේ යනකොට, පොලෝසියේ මහත්තුරු විසිල් ගහලා, අතදාලා, පාරට පැනලා, නවත්තලා අල්ලගත්තොත් බෙල්ල මුලිම්ම, මොකෑ වෙන්නේ. හෙහ් හෙහ්...... එව්වා කොහෙද, එව්වට තියනවා මේ බයිසිකල් වල, 'ඈස් චර්යා ඉස්ටිකර්' කියලා ඉස්ටිකෙරයක් ගහලා. මේ තියෙන්නේ.

3
   කොහොමද මාමගේ මොළේ? ඇඟ පුරාම නේ?  ඔය ඉස්ටිකෙරේ ඉස්සරහ පැත්තේ වගේම පස්ස පැත්තෙත් ගහලා තියනවා. බයිසිකලේ යකෝ බයිසිකලේ, ආයේ ඔව්වා පදින නෝනලාගේ පස්ස පැත්තේ ඉස්ටිකර් ගහන්න පුලුවනෑ. පොලොසියෙන් අල්ලපු ගමං කොරන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මෙහෙම කියන එකයි. මේ........... රාලහාමී..............ඔය පිත්තල බොත්තං ටිකයි කාකි කෝට් බෑයයි ගලවගන්න ඕනෙද? දැනගන්නවා මම මේ යන්නේ ඈස් චර්යාවට. මෙව්වට ලැයිසොං කඩදාසි, ඉන්සුවර් කඩදාසි, නැතුවට අපේ මාමගේ ඉස්ටිකෙරේ තියනවා හරිය? නිකං බොරු පාට් දාලා අමාරුවේ වැටෙන්න එපා. මේක මේ රටේ නීතිය බල්ලට දැමීමක් කියලා හිතෙනවානං ඔය පාරේ ඉන්න බල්ලෙකුට බැටැං පොල්ලෙන් ගහනවා හිතේ කේන්තියයි, අම්මපා නීතිය රකින අපිට වෙච්චි දේ කියලා දැනෙන ලැජ්ජාවයි යනතුරු. හරිද.................ඕං අපි ගියා.

   ඔන්න ඕකයි විසඳුම. මෙව්වා සෑහෙන ගණනක් දැනටම ඇස්සිඩන්ට් හප්පගෙන. පොලෝසිය කරන්නේ ශේප් න්‍යාය දැමීම පමණයි. නෝනලාට හම්බවෙච්චි බයිසිකල් මහත්තයා හැන්දෑවට දෙකක් දාලා පැදලා, (ඇයි යකෝ නෝනගේ බයිසිකෙලේ මහත්තයා නැතුව අල්ලපු ගෙදර එකා පදින්නයැ) ඇස්සිඩන්ට් වෙලා පොලොසියට ආවමනම් ටිකක් ලෙඩේ අදිනවලු, නෝනා මොකටද මහත්තයට දෙන්න ගියේ කියලා. (එපා එපා එහෙම හිතෙන එව්වා මෙතන කියන්න එපා) 

   කුරුණෑගල දිස්තිරික්කුවේ එක ගෙදරක, බයිසිකල් දහයක් තියනවා. අම්මා, තාත්තා, දුව, පුතා, බෑණා, ලේලි, යන අයට හම්බවෙච්චා. ඒ ගෙදර කලින් බයිසිකල් හතරක් තිබුණා. දැන් නිකං බයිසිකල් 'පෙදර්සෙනාගාරයක්' වගේ ඕං. අම්මපා අපිත් ඉස්ටිකර් එකක් හදාගම්මුකෝ 'කිරිජ්ජපල්ල උගසට තිබ්බත් අපි මාමට' කියලා. එතකොට ඒ ඉස්ටිකරේ ගහගෙන ලැයිසොං කඩදාසි හෝ ඉන්සුවර් කඩදාසි නැතුව අපිටත් පදින්න බැරියැ අම්බානක. (බයිසිකල් බයිසිකල්) එතකොටනේ ඈස් චරියාවට යාමේ ආඩම්බරේ දැනෙන්නේ මාමට.
4
   තරහ අවසර. 'කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා' ලිපියේ දෙවැනි කොටස, හෙට අනිද්දම දෙන්නම්.


my-signature-for-blog[1]   2014 ඔක්තෝබර් මස 15 වැනි දින 0914 පැය

11 October 2014

නිකං ගිහිං නිකං ආවා

z_p01-People
 මේ සටහන තබන්නේ සතුටෙන් නෙවෙයි. කලකිරීමෙන්. මෙවැන්නක් ලියන්න මා හිතා හිටියේ නැහැ. අලුතෙන් ආරම්භ කළ, 'කරන්න දෙයක් නෑ' ලිපියේ ඉතිරි කොටස් සඳහා වෙහෙසෙමින් සිටින අතර, හදිසියෙන් මෙය ලියන්න සිදුවුණේ.
 (පින්තූරය ගත්තේ මෙතනින් )
අපේ රටේ තිබෙන කාලකන්ණි දේශපාලන ස්වරූපය, කදිමට නිරූපණය කරන අවස්ථාවකට, අද මට මුහුණ දෙන්නට සිදුවුණා. කතාව හැකි තරම් කෙටිකර කියනවා නම්, මෙන්න මෙහෙමයි.

පෞද්ගලික අවශ්‍යතාවක් නිසා අද මට කොළඹ ගොස් එන්නට සිදුවුණා. ඉන්ධන වියදම් කරගෙන, ඒ මදිවට පාරේ යන වලවෙට්ටු ඩ්‍රයිවර්ලා සමග වෙට්ටු දමමින්, වාහනය පදවාගෙන, ලේ කෝප කරගෙන යනවාට වඩා, කෝච්චියේ ගිහින් එන්න හිතාගෙන හිටියේ, ඊයේ පෙරේදා ඉඳලා. නමුත්, දුම්රිය රියැදුරු වර්ජනයක් තිබෙන නිසා, ඊයේ (ඔක්තෝබර් 9) ගියේ නැහැ. දුම්රිය ගමන පහසුයි, ඉක්මන්. බස් එකේ යාම වෙහෙසයි. බස්වල දාලා තියන, සින්දු යනුවෙන් නම්කර ඇති, වමනේ යන වර්ගයේ ඝෝෂා, පිත කෝප කරවන සුළුයි. නමුත් අද වත් (ඔක්තෝබර් 10) නොගියොත්, මේ ගමන අනවශ්‍ය ලෙස කල් යනවා. එයින් තුන්වෙනි පාර්ශ්වයකට කරදරයක් සිදුවෙනවා. ඒ නිසා, අමාරුවෙන් හෝ බස් එකේ යන්න හිතාගෙන, ඊයේ නින්දට ගියා.

   නමුත් මට පාන්දර ඇහැරුණා, කර්ණ රසායන හඬකින්. ඒ කියන්නේ පාන්දර 4.33 කෝච්චිය යන සුමධුර හඬින්. :e මම වහාම අපේ ජනාධිපතිනියට කිව්වා, 'මම බස් එකේ යන්නේ නැහැ. හතරහමාරේ කෝච්චිය ගියානම්, ඊළඟට හය සහ හයහමාර කොච්චි දෙකත් යයි. ඒ නිසා මම කෝච්චියෙම යනවා' කියා. ඔන්න ඉතිං ඇඳ පැළඳගෙන ගෙදරින් එලියට බැස්සා, දුම්රියපොළට යන්න බස් එකට නගින්න. මම කියලා ඇති මීට කළින් ලිපියක, මම වාසය කරන්නේ නියම 'පතිරූප දේශයක' කියලා. මීටර් 50ක් වත් යන්න ලැබුණේ නැහැ, මගේ මිත්‍රයෙක් මාව දැකලා ඇහුවා, කොහෙද යන්නේ කියලා. මම කිව්වා කොළඹ යන්න මේ ස්ටේෂන් එකට යනවා කියලා. 'ඔහොම ඔන්න, ඔහොම ඉන්න, මම කාර් එකෙන් ගෙනිහින් දාන්නම්' කියලා, බලෙන්ම වගේ මාව එතුමාගේ කාර් එකෙන් ස්ටේෂන් එකට ගෙනිහින් දැම්මා. මට විතරක් නෙවෙයි, උදේට පාරට බහින අපේ පැත්තේ බොහොමයක් අයට, මෙවැනි සත්කාර ලැබෙනවා. තමන්ගේ දරුවන් සේ සළකා, අනුන්ගේ දරුවන්ද තම වාහනයෙන් උදේට පාසලට ඇරලවීම, තමන්ගේ දරුවන් සමග ප්‍රමාද වෙමින්, අනුන්ගේ දරුවන් සිටින පාසල් වෙත ගොස්, ඔවුන්ද දමාගෙන ඒම, (ඔව්, හවසට වැඩ ඇරිලා එන අනුන්ගේ නෝනලාත් දාගෙන එනවා. තමන්ගේ නෝනා දකිනවා, අනුන්ගේ නෝනාව, ඒ නෝනාගේ ගෙදරටම ඇරලවා එන හැටි. නමුත් එතනින් එහා කිසිදෙයක් නැහැ) දිනපතා සිදුවෙනවා.

   අම්මෝ......ස්ටේෂන් එකේ මහා සෙනගක් ඉන්නවා. දැන් මොකැයි කරන්නේ. ඔන්න ඔහේ එල්ලිලා හරි යනවා කියලා හිත හදාගත්තා. ටිකට් කවුන්ටරේ තවම වහලා, කෝච්චිය එන්ඩ තව විනාඩි 15ක් විතර තියෙන්නේ. වැඩ කරන කවුරුවත් පෙනෙන්න නැහැ. මම අඳුනන පොලිස් රාළහාමිලා දෙන්නෙක් ස්ටේෂන් එකේ ඉන්නවා නිළ ඇඳුමෙන්. මම එයාලගෙන් ඇහුවා, 'බලන්නකො ටිකට් කවුන්ටරේ වහලනේ කොහොමද ටිකට් ගන්නේ' කියලා, 'අද ස්ට්‍රයික් නේ මහත්තයා, ටිකට් දෙන්නේ නැහැ, අපි මෙතන ඩියුටි ඉන්නේ, ඔන්න ඔහේ කෝච්චියට ගොඩවෙලා යන්න' කියලා එයාලා කිව්වා. මේ වෙලාවේම, දිනපතා කෝච්චියේ කොළඹ යන මගේ යාලුවෙක් ආවා. මම මේ ප්‍රශ්නය එයාට කිව්වා. 'අයියෝ ......මහත්තයා, ඊයෙත් මිනිසු ආවේ ටිකට් නැතුව, අල්ලන්නේ නැහැ, බයනැතුව යන්න' කියලා එයා කිව්වා.

   ඔබට දැකලා ඇති නේද, ස්ටේෂමක තියන අර සංඥා උපකරණයක් තියනවා, බෙල් එකක් වදිනවා, ඊට පස්සේ අර ටැබ්ලට් කියන පිත්තල කෑල්ල එලියට එනවා. ඒක අර වලල්ලේ දාලා එන්ජිමට දෙනවා, අද මෙව්වා මොකුත් නැහැ. හිටපු ගමන් රේල් ගේට්ටුව වැහුවා. ඒ වෙලාවට වදින බෙල් එක වැදුනෙත් නැහැ. කෝච්චිය ආව, හෝන් ගහන්නේ නැහැ. අනේ........වෙනදට කට කපලා එන කෝච්චියේ සෙනග නැහැ. ඒ නිසා වාඩිවෙන්නත් ඉඩ තිබුණා. ඔන්න ඉතිං ටික දුරක් යනකොට සෙනග නොහිටියේ කෝච්චියේ වහලයේ විතරයි. හැබැයි මට බයයි, ලැජ්ජයි, කොයි මොහොතේ හෝ ටිකට් පරීක්‍ෂකවරු එයි කියලා. නමුත් ආවේ නැහැ. මම හිතාගත්තා, මගේ හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත, ඔක්කොම පෙන්වනවා කොටුව දුම්රියපොළේදී. පෙන්නලා, ඇත්තම කියලා, ටිකට් එකකට මුදල් ගෙවනවා කියලා. නමුත්, මහා පුදුමයක්. කොටුව දුම්රියපොළේ ගේට්ටු හායි ගාලා ඇරලා දාලා. ටිකට් බලන අය පැත්ත පළාතේ නැහැ. ටිකට් කවුන්ටර් වහලා. මොනවා කරන්නද? මම එළියට ගියා.  

   මගේ වැඩ කටයුතු අවසන් කරගෙන, ආපහු පිටත්වෙන්න කළින්, මම අපේ ඇත්තිට ඇමතුමක් දුන්නා, 'මම දැන් ආපහු එන්න බස් නැවතුම්පොළට එනවා' කියලා. එයා උත්තර දුන්නා, 'නෑ නෑ මෙන්න රේඩියෝ එකේ කිව්වා, කෝච්චි 42ක් දිව්වා කියලා, ඒ නිසා කෝච්චියෙම එන්ඩ' කියලා  බොහොම සතුටෙන් කොටුව දුම්රියපොළට ආවා. අනේ.........උදේ වගේම පාලුයි. ටිකට් කවුන්ටර් වහලා, ඔක්කොම ගේට්ටු ඇරලා, සමහර මගීන්, පිටවීමේ දොරටු වලින් ඇතුළට යනවා. ඇතුළුවීමේ දොරටු වලින් එළියට එනවා. කාර්ය මණ්ඩලය කියලා කවුරුවත් නැහැ. පොලීසියේ මහත්තුරු දෙන්නෙක් හිටියා. මම ඇහුවා 'කෝච්චි තියනවද?' කියලා. මගේ ගමනාන්තය අහලා, එයාලා කිව්වා, 'ඔය පළවෙනි වේදිකාවේ තියන කෝච්චිය, තව පැය බාගයකින් යනවා කියලා, දැනගන්න තියනවා' කියලා. (ලැයිස්කීපරෙත් වහලා) එයාලා ඒ බව දැනගත්තත්, මොකක් හෝ හේතුවක් නිසා, ස්ථිරව කියන්නේ නැති බව පෙනුණා. මම ඇහුවා, 'ටිකට් ගන්නේ කොහොමද?' කියලා. 'ටිකට් ප්‍රශ්නයක් නැහැ, මහත්තයා යන්න' කියලා කිව්වා. මොනවා කරන්නද, මම කෝච්චියේ නැගලා ගෙදර ආවා. කෝච්චියේ එන මගීන් බොහොමයකගේ හිත සතුටෙන් පිරිලා, හිනාවෙනවා ඔක්කොම, 'හැමදාම මේ වගේ නිකං යන්න තියනවනම් මරුනේ' කියලා එක මගියෙක් කිව්වා.

   ඇත්තටම මේක සතුටට කාරණයක්ද? අපි ගමන් කළේ නිකං ද? මේ දින දෙක තුළ දුම්රිය දෙපාර්තමෙන්තුවේ පාඩුව මිලියන 100ක් විතර ඇතිලු. කවදා හෝ පොළියත් එක්ක ඒ ඔක්කොම ගෙවන්නේ, කෝච්චියේ යන නොයන, මේ රටේ මහජනතාව නොවේද? මිහින් ලංකා ගුවන් සේවයේ (සේවයේ?) මෙවර පාඩුව රුපියල් මිලියන 32000ක් කියලා අද පත්තරේක තිබුණා. දුම්රිය සේවකයෝ ඉල්ලන්නේ රු 1000 කට ටිකක් වැඩි වැටුප් වැඩිවීමක් ලු. ඇයි හත්ඉලව්වේ, මිහින් ලංකා එක මූදට තල්ලු කරලා, ඒ මකර කටට හැමදාම අයවැයෙන් ගිල්ලවන මිලියන් ගණන් සල්ලි වලින් කොටහක් දාලා, මේ ඉල්ලීම ඉටු කරලා, ස්ට්‍රයික් කරන එක දවසකට, දුම්රියෙන් වෙන මිලියන 50 කට වැඩි පාඩුව නවත්ත ගනිංකෝ.

   දුම්රිය මගීන් දෙන්නෙක් පැමිණිල්ලක් ගොනු කරලා, අධිකරණ නියෝගයක් නිකුත් කරලාලු, වහාම ස්ට්‍රයික් එක අත්හිටුවනු, වැඩට එනු, ලබන 24 වැනිදා උසාවියේ පෙනීසිටිනු, කියලා. හොඳයි, අපි මොහොතකට මෙහෙම හිතමු, ස්ට්‍රයික් කාරයෝ කියනවා, 'අපිව හිරේ දමාපල්ලා, රස්සාවෙන් අස්කරපල්ලා, අපි එන්නෑ වැඩට' කියලා. ඉතිං උන්ව අල්ලාගෙන ගිහින් රිමාන්ඩ් කරනවා. නමුත් කොයි අප්පොච්චිගේ පුතාලා (නොදෝකිං, ඒ ....ගෙ පුතාලට පුළුවං අවලං වැඩ විතරනේ) දාලද කෝච්චි දුවවන්නේ. අනේ සාලේ............මේ එදාවේල හොයාගන්න බැරුව, ඔලුව ගිනි අරං දුවන මගීන්, උසාවිම යයි. අපි දන්නවනේ, බේකරි තියරියවත් හරියට බැරි 'වල් ගොම' කාරයා, මිනිහගේ හෙන්චයියලා දෙන්නෙක් යවන්න ඇති උසාවියට. නැත්තං 13 වෙනිදට යාපනේ කෝච්චිය දුවනවා බොරුයි. හොඳ හම්බන්තොට හුප්පද වලින් තමයි අහගන්න වෙන්නේ, ලොක්කාගෙන්. වල් ගොමයාට එන්.කුමාරිගේ ගවුම අස්සට තමයි රිංගන්න වෙන්නේ. 

   මතකද පහුගිය කාලේ ආණ්ඩුවෙන් නිවේදනයක් කරලා තිබුණා, විවිධ වෘත්තීන්හි නියැලෙන අය, යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට බඳවා ගන්නවා කියලා. ඔන්න ඒ වැඩේ වටිනාකම ආණ්ඩුවට තේරෙන්නේ, මෙන්න මේ වගේ වෙලාවටයි. මේ කෝච්චි කාරයෝ හමුදාවට බැඳිලා හිටියානම්, එක නියෝගයකින්, ඔවුන්ව හමුදා සේවය යටතේ කෝච්චි රාජකාරියේ යොදවන්න තිබුණා. මේ කපටියෝ ඒක දැනගෙන තමා, හමුදාවෙන් අමතර පඩියක් ගන්න පුළුවන්කම තියෙද්දිත්, හමුදාවට බැඳිලා නැත්තේ. 

   තම කුජීත දේශපාලන ක්‍රමය වෙත එල්ලවන අභියෝග, ඒකාධිකාරී බලය යොදවා මර්දනය කිරීම, හැමදාම කලහැකිවේයයි මේ මොට්ටපාලලා හිතනවාද? 

  
my-signature-for-blog[1]   2014 ඔක්තෝබර් මස 10 දින 2356 පැය

08 October 2014

කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (පළමුවැනි කොටස) - Battle Appreciation and Plan (Part One)


  මේ ලිපිය ලියන්න පටන්ගත්තේ 2013 මැද භාගයේදී කියලා කිව්වොත්, ඔබ අතරින් සමහර අය, එය විශ්වාස නොකරනු ඇති. නමුත්, දිනෙන් දිනම ලිපිය ලිවීම මගහැරුණා. ඔන්න දැන් තමයි, ලිපියේ පළමුවැනි කොටස ඔබ වෙත ගෙන එන්න පුළුවන් වුණේ. හැබැයි පළමුවෙන් එක කරුණක් අවධාරණය කලයුතුයි. මේ ලිපිය ඉක්මණින් කියවා අවසන් කරන්නට බැහැ. අවබෝධය ලබාගැනීමට නම්, ලිපිය එකවරකට වඩා කියවන්න වෙනවා. ඒ වගේම හමුදා ක්‍රියාන්විත පිලිබඳ ඔබට සතුටුදායක අවබෝධයක් ලබාගන්නට, මේ ලිපිය ඉවහල් වෙනවා ඇතැයි මා සිතනවා.

   ඕනෑම වැඩක් හරියට කරන්න නම්, හොඳ සැළැස්මක් තිබිය යුතු බව, මම ඔබට අමුතුවෙන් කියා දෙන්නට අවශ්‍ය නැහැනේ. ජීවිතයේ යම්කිසි දියුණුවක් අපි ලබනවානම්, ඒ දියුණුවේ රහස වන්නේ, සැළැස්මක් අනුව වැඩ කිරීම බවත්, අපි දන්නවා. ගෙයක්, වාහනයක්, ගෘහ භාණ්ඩයක්, වැනි දෙයක් හදන්නෙත් සැලැස්මකට අනුව. අපි ඉගෙන ගන්නේ, විභාග වලට මුහුණ දෙන්නේ සැළැස්මකට අනුව. එහෙනම් මේ සැළැස්ම කියනදේ, අපේ ජීවිතයට බද්ධ වූ දෙයක් බව පෙනෙනවා. යුද්ධ කරන්නත් සැළැස්මක් ඕනේ. වසර දහස් ගණනක ඉතිහාසයේ සිදුවූ යුද්ධ වලදී පවා, සැළැස්මක් අනුව ක්‍රියාකර ඇති බව, ඉතිහාස කතාවලින් අප කියවා තිබෙනවා. ඉතින් අද මා ඔබ වෙත ගෙන එන්නේ යුද්ධයකදී සැළැස්මක් හදන්නේ කොහොමද, ඒ සැළැස්ම ක්‍රියාවට නගන්නේ කොහොමද, කියන මාතෘකාවයි.

මෙහිදී මා මුලින්ම කිවයුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි, මේ කතාකරන්නට යන්නේ, සංග්‍රාමික කටයුතු නමැති විෂයයේ, ඉතා ගැඹුරු පරිච්ඡේදයක් බව. ඒ නිසා, මේ ලිපිය කොටස් කීපයකින් ඉදිරිපත් කරන්නටයි, මා සූදානම් වන්නේ. එසේ නොකළොත්, මෙය අවබෝධ කරගැනීමත් අපහසු වන අතර, නීරස බව නිසා, ඉතිරි කොටස් නොකියවා අත්හැර දැමීමටත්, සමහරුන්ට සිතෙන්න පුළුවන්. හැකිතරම් කුඩා කොටස් වලින් තමයි මේ ලිපිය ඔබට ලබාදෙන්නේ.
ඉහත සජීවීකරණ රූපය ලබාගත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙනි.


  සංග්‍රාමික තත්ව අගැයීමක් සහ සැළැස්මක් (Military Appeciation & Operation Plan) සැකසීම ඉතා කල්පනාකාරීව කලයුතු භාරදූර කාර්යයක්. එය පැහැදිළි කිරීම සඳහා මම ඔබේ ජීවිතයෙන්ම උදාහරණයක් ගන්නම්කො. (පින්තූරය ගත්තේ මෙතනින්ඔබ පෙම්වතෙක් කියා හිතන්න. (ඔන්න.......... පුදනකොටම කාපි යකා කිව්වලු. මම කිව්වේ හිතන්න කියලනේ. ආය අරවා මෙව්වා හිතන්න එපා) දැන් ඉතින් ඔබ නියම SPBR කෙනෙක් කියලා හිතන්න. 

  මොකක්.........?, SPBR දන්නෙ නෑ? ඇයි දෙයියනේ, මේ නාකි අපිටනේ දැන් ලව් කරන හැටිත් උගන්නන්න වෙලා තියෙන්නේ. හරි හරි ළමා.............යි, ලියාගන්න...........SPBR = ත්‍ය ප්‍රේම භෘංග රාජයා. ඉතින් දැන් ඔබ ඔබේ මේ අකලංක වූ, නිර්ව්‍යාජ වූ, නිර්මල වූ, අති පාරිශුද්ධ වූ, සුරම්‍ය වූ, අර වගේ වූ, මේ වගේ වූ,  ප්‍රේමය වෙනුවෙන් මොනවද නොකරන්නේ. :D :D :D  ( අර සින්දුවකත් තියනවා නේද, 'ප්‍රේමය නම් - රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි....පාරිශුද්ධයි...සුරම්‍යයි' කියලා. හැබැයි සමහර ප්‍රේම නම්, පාරේ සුද්දයි - හූරන් කයි තමා     :D  


  ඔන්න ඉතින් සාම්ප්‍රදායික ක්‍රමයට ඔබේ මේ ප්‍රේමයටත් මහා බාධක පරයටත් වඩා වැඩි බාධාවන් එල්ල වෙලා. ඉතින් ඔබ මොනවද කරන්නේ. සියළු උත්සාහයන් දරනවා මේ බාධක ජයගන්න. නමුත් කෙල්ලගේ පැත්තේ ඉන්න සතුරෝ ඉතාම ප්‍රබලයි. බුරුලක් ඇත්තෙම නෑ. අන්තිමට මොකද කරන්න වෙන්නේ? ඔබත් ලේසියෙන් පසුබසින කොල්ලෙක් නෙවෙයි. ඒ නිසා ඔබ කල්පනා කරනවා, හොඳම විසඳුම 'ජම්පිං ගොයින්' හෙවත් පැනලා යාම තමයි කියලා.


  හැබෑටම අවුරුද්දකට අපේ රටේ ජෝඩු කීයක්‌ නම්  පැනලා යනවා ඇද්ද? එයින් ජෝඩු කීයක්‌ ජීවිතයේ ඉදිරි කාලය සාර්ථක කරගනියිද? සාර්ථක කරගත් අයත් අසාර්ථක කරගත් අයත් ඉන්නවා. ඔබ දන්නා කියන, ඒ වගේ 'ජම්ප් ඇන්ඩ් වෙන්ට්' ජෝඩු, ඕනෙතරම් ඇති. නමුත් යුද්ධයකදී සැළැස්මක් අසාර්ථක කරගන්නවා කියන්නේ, ජීවිත දහස් ගණනක්, රටකින් කොටසක්, මිළ කළ නොහැකි තරම් දේපල, අහිමිවී යාහැකි මහා බරපතළ විපාකයක්. ඒ නිසා, සංග්‍රාමික සැළැස්ම, සෑමවිටම, එකම මොළයකින් විතරක් කළහැකි දෙයක් නොවෙයි. හැබැයි බොහෝවිට, එහි මුලික සංකල්පය එක මොළයකින් තමයි පටන්ගන්නේ.


  අපි දැන් ආපහු අපේ ආදර කතාව හෙවත් ප්‍රේම යුද්ධයට බහිමුද? දැන් ඉතින් ඔබ සත්‍ය ප්‍රේම භෘංග රාජයෙක්නේ. ඉතින් ඔබේ අනාගත රැජිණියව ඔබටම අයිති කරගන්න සෑහෙන සටනක් දෙන්න වෙනවා. 'උන්මාද චිත්‍රා/දීඝ ගාමිණී' කතාව වුණත්, එහෙම සංග්‍රාමික ආදර කතාවක්නේ. ඒ ඉතිහාස කතාව ඇසුරෙන්, මිල්ටන් පෙරේරා සහ රුක්මනී දේවී? ගායනා කර තිබෙන, 'ඉතින් පලක් නැහැ කුමරිය හැංගිලා - ඔබෙයි මගෙයි පෙම් කතාව එළිවෙලා' කියන ලස්සන ගීතය ඔබ අසා තිබෙනවාද? මටනම් අදටත් එය මතකයි.


  හොඳයි, දැන් අපි, ඔබ මුහුණ දී තිබෙන තත්වය, මුලින්ම විමසා බලමු. සංග්‍රාමික කටයුතු වලදී, මුලින්ම, දැනට තිබෙන තත්වය පිළිබද පුරෝකථනයක් (narrative) සකස් කෙරෙනවා. මෙය බුද්ධි තොරතුරු, චන්ද්‍රිකා සහ ගුවන් ඡායාරූප, වෙනත් විශ්වාසදායක මාර්ග වලින් ලබාගත් තොරතුරු, ආදිය පදනම් කරගෙනයි සකස්කර තිබෙන්නේ. මෙහිදී බොරු වැල්වටාරම් ලියන්නේ නැහැ. 'පොල්ලෙන් ගැහුවා වගේ' යථාර්ථය දැක්විය යුතුයි. හොඳයි, මෙන්න ඔබේ ප්‍රේම යුද්ධයේ පුරෝකථනය. මෙය ඔබ ඔබටම ලියාගන්න පුරෝකථනයක්. ඇයි එහෙම කරන්නේ? මතක තබාගන්න. යුද්ධයක් ඇරඹීමේ පළමුවැනි පියවර තමයි, මේ සවිස්තර පුරෝකථනය. මෙය පදනම් කරගෙන තමයි, යුද සැළැස්ම සකසන්නේ.


  ප්‍රේමෝන්මාද අප්පුහාමිලාගේ ප්‍රේමපාල වන මම අවිස්සාවේල්ලේ පදිංචි තරුණයෙක්මි. මම, නුගේගොඩ දේවාල පාරේ පදිංචි, උන්මාද චිත්‍රාගේ බාප්පාගේ කාමිණී නමැති තරුණිය සමග කලක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් සිටිමි. මේ සඳහා මගේ මෙන්ම  කාමිණී ගේ පාර්ශ්වයෙන්ද මතුව තිබෙන්නේ දැඩි විරෝධයක්. මාගේ අභිමථාර්ථ සාධක චින්තාමාණික්‍යය වූ කාමිනී :D :D (මතකද වික්ටර් රත්නායක කියනවා, 'මංගල පෝරුව මස්තකයේ ....මම ඇය අත ගනිමී..........අමන තරුණය' කියලා) සමග විවාහවීමට නම්, මුලින්ම ඇය සමග වෙනත් ප්‍රදේශයකට පලා යාම හැර වෙනත් විකල්පයක් නැති බව පැහැදිලිවම පෙනෙනවා. කාමිණීට අයියලා දෙන්නෙක් ඉන්නවා. ඔවුන් කාමිනීගේ ගෙදරමයි ඉන්නේ. ඊට අමතරව, කාමිණීගේ බාප්පා, ඒ අසළ නිවසක වෙසෙන අතර, ඕනෑම වෙලාවක, හදිසි කලබලයකදී, ඒ පැත්තේ කොල්ලන් හත් අට දෙනෙකු වහාම කැඳවාගන්නත්, වාහන දෙක තුනක් ලබාගන්නත් ඔහුට පුළුවන්. ඔහු අතේ පිස්තෝලයක් තිබෙන බවත් සමහරු කියනවා. ඔහු ප්‍රදේශයේ කුප්‍රකට ගණන්කාරයෙක්. අපේ ප්‍රේම සම්බන්ධය හෙළිවීමෙන් පසු, කාමිණීගේ ගමන් බිමන්, ඇගේ දෙමවුපියන් විසින් අතිශයින් සීමා කරලා තියෙන්නේ. 

    ඇය ගෙදරින් පිට යනවානම්, ඇගේ අම්මා ඇය සමග යනවාමයි. සමහරවිට අයියලා දෙන්නගෙන් එක්කෙනෙක්ද යනවා. එහෙම කරන්න හේතුව, 'මට හිතුනොත් මම ඔලුව හැරිච්ච අතක යනවා' කියා කාමිණී ප්‍රකාශ කර තිබීමයි. එමෙන්ම කාමිණී මා සමග පැනයනු ඇතැයි කියන සැකයත් ඔවුන් තුළ ඇති බව සිතිය හැකි ප්‍රකාශ, ඔවුන් වරින් වර කර ඇති බව මගේ මිතුරන්ට ආරංචි වී තිබෙනවා. මේ අතර කාමිනීව ව්‍යාපාරිකයකුට විවාහ කරදීමට යන බව, ඇය මා වෙත දන්වා එවා තිබෙනවා. ඒ ව්‍යාපාරිකයා, කාමිණීට වඩා අවුරුදු 15 ක් පමණ වයසින් වැඩි වන අතර, තලත්තෑනි පෙනුමකින්ද යුක්තයිලු. කෙසේ වෙතත් ලබන මස 26 වැනිදා කාමිණීගේ ගෙදරදී විවාහය ලියාපදිංචි කර, පසුව විවාහ උත්සවයක් ගැනීමට යන බවත්, මේ ගැන රහසිගතව කරුණු සොයාබැලීමට, මා විසින් යොදවා තිබෙන, මගේ මිතුරන්ගෙන්, වැඩිදුරටත් තොරතුරු ලැබී තිබෙනවා. මේ නිසා ඊට පෙර ක්‍රියාත්මක වී කාමිණී සමග පැනයාමට මට සිදුවී තිබෙනවා. 

   මගේ ආධාරයට මට මිතුරන් 6 දෙනෙකු සිටින අතර, වාහන තුනක්, මෝටර් බයිසිකල් දෙකක්, ත්‍රිරෝද රථයක්, ඔවුන් සතුව තිබෙනවා. ඒ හැර, ආත්මාරක්ෂක සටන් ක්‍රම මැනවින් ප්‍රගුණ කළ මිතුරන් දෙදෙනෙකුද,  ඒ අතර සිටිනවා. මට මෝටර් බයිසිකලයක් තිබෙනවා. එය වේගයෙන් යාමට තරම් සුදුසු යාන්ත්‍රික තත්වයක නැහැ. එමෙන්ම මට මෝටර් රථ හෝ ත්‍රිරෝද රථ පැදවීමේ හැකියාවක්ද නැහැ.


 AIM - අරමුණ

1.   සියල්ලට පළමුව ඔබ ඔබේ අරමුණ පැහැදිලි කරගතයුතුයි. නිවැරැදි අරමුණකින් තොරව කිසිවක් කරන්න බැරි බව මම ඔබට අමුතුවෙන් කියා දියයුතු නැහැනේ. දැන් ඔබේ අරමුණ තමයි ඔබේ තථ්‍ය ප්‍රේමය වෙනුවෙන් ඔබේ පෙම්වතිය අයිති කරගැනීම. යුද්ධයකදීනම් අරමුණ විස්තර කරන්නේ කිසියම් සතුරු පිරිසක්, සතුරු කඳවුරක්, ප්‍රහාරයක් මගින් අත්පත් අල්ලාගැනීම/අත්පත් කරගැනීම හෝ විනාශ කිරීම ලෙසයි. අනේ ඉතින් පෙම්වතියව විනාශ කරන්න බැහැනේ. (බැන්දට පස්සේ?) ඒ නිසා අත්පත් කරගැනීම තමයි කරන්න වෙන්නේ. :D සමහරවිට මේ සඳහා කාලසීමාවක් නියම කරගන්න වෙනවා. අහවල් දින අහවල් වෙලාවට ප්‍රථම මෙය කළ යුතුයි කියලා. (time factor) මොකද ඊට වඩා පරක්කු වුනොත් අපට අවාසි විය හැකියි.

  (යුද්ධය පැත්තෙන් හිතමු. අපිට ආරංචියක් එනවා, සතුරන්ගේ 200 ක විතර භට පිරිසක්, තව දින දෙකක් තුළ, මඩකලපුවේ සිට අම්පාරට කැලෑ පාරවල් ඔස්සේ පයින් එන බව. අපේ ඉන්නේ 75 දෙනයි. නමුත් අපිට ආධාරයට ගෙන්න ගන්න කවුරුවත් නැහැ. යුද්ධ ටැංකි, කාලතුවක්කු, හෙළිකොප්ටර් මොකවත් නැහැ. නමුත් මේ දුර්ලභ අවස්ථාව අතාරින්නත් බැහැ. ඉතින් මොකද කරන්නේ? අන්න ඒකට මූණ දෙන්න තමයි සොල්දාදුවා පුහුණු කර තිබෙන්නේ. ආයේ කවදාවත් උන්ගේ 200 කට එක තැනකදී වැඩක් දෙන්න අවස්ථාවක් නොලැබෙන්නත් පුළුවන්. උන් ආවොත් අම්පාර වනසයි. අහිංසක මිනිස්සු මරයි. මහා විනාශයක් කරයි. අපේ ජීවිතේ පුදලා හෝ උන් වැළක්විය යුතුයි. ඒ නිසා අපි ක්‍ෂණිකව තත්ත්ව අගැයීමක් කරලා, කොහොමද 75 කින් 200 කට වැඩක් දෙන්නේ කියලා සැළැස්මක් හදනවා)

  කෙල්ලගේ දෙමවුපියෝ කෙල්ලව ගෙනිහින් කොහේ හරි හැංගුවොත් මොකද වෙන්නේ? කෙල්ලගේ අර නපුරු බාප්පා මටත් කලින් ක්‍රියාත්මක වෙලා මිනිහා ළඟ තියන 'කට පුංචා' ගෙන් මට වැඩක් දුන්නොත් මොකද වෙන්නේ? ඒ වගේම තමයි, යුද්ධයකදී, සතුරන් ඒ කඳවුරෙන් ඉවත් වුනොත්, සතුරා අපට වඩා කළින් පහර දුන්නොත්, මොකද වෙන්නේ? අන්න ඒ නිසා, අරමුණ ඉටුකරගැනීම සඳහා කාල සීමාවක් යොදාගන්න වෙනවා. ඊළඟට සළකා බැලිය යුතු න්‍යායාත්මක සාධක ගණනාවක් තිබෙනවා. මේ සාධක එකින් එක ඉතා සැළකිල්ලෙන් නිරීක්ෂණය කරමින්, විග්‍රහ කරමින් තමයි අගැයීම Appreciation සකස් කෙරෙන්නේ. ඒ අගැයීම පදනම් කරගනිමින් තමයි ක්‍රියාන්විත සැළැස්ම ඉන් අනතුරුව සකස් කෙරෙන්නේ. දැන් මෙතෙක් දුර මේ තොරතුරු කියවා බැලුවම, යුද්ධය ඔබ හිතන තරම් ලේසි නෑ නේද? ඒ නිසා තමයි හමුදා නිළධාරියකුට වසර කීපයක උසස් පුහුණුවක් සහ ඉන්පසු පිට රටවල පවා පාඨමාලා ලබාදෙන්නේ. එවැනි පුහුණුව සහ යුදබිමේ ලබන අත්දැකීම් තුළින් තමයි යුද්ධයක් දිනවිය හැකි මහ සෙනෙවියන් බිහිවන්නේ. එහෙම නැතුව ප්‍රාදේශීය සභා, පළාත් සභා, හෝ පාර්ලිමේන්තුවේ බොරු කයිය ගහන උන්නැහේලා ගෙන් නෙවෙයි.  


FACTORS - සාධක

GROUND AND WEATHER - භූමියේ සහ දේශගුණයේ ස්වභාවය

2. Ground in General - භූමිය පිළිබඳව පොදුවේ සලකා බැලීම

  යුද හමුදා සංග්‍රාමික සැලැස්මකදීත් මුලින්ම සළකා බලන්නේ දැනට තිබෙන යුද තත්වය හෙවත් අභියෝගය හෙවත් නොපමාව කළයුත්ත කුමක්ද කියන එකයි. ටිකක් බරපතළ විදිහට කියනවානම්, භූමිය හෙවත් පාරිසරික වාතාවරණය නැත්නම් කෙල්ල ඉස්සීමේ සටන කළයුත්තේ, කෙබඳු පරිසරයකදීද යන්න තමා, මුලින්ම වැදගත් වන්නේ. අපි හිතමු, අපි කෙල්ලව ආශ්‍රය කලාට, කෙල්ලගේ ගෙදර පැත්තේ වැඩිය ගිහින් නෑ කියලා. එහෙම වුනොත්, තමන්ම හෝ තමන්ගේ මිතුරන්ගෙන් හෙවත් මිතුරු හමුදාව (own or friendly forces), යොදවලා තමයි, ඔත්තු බැලීමේ කටයුතු කරලා, ඒ පැත්තේ සිතියම්, ගුවන් ඡායාරූප, අධ්‍යයනය කරලා, පුලුවන්නම් චන්ද්‍රිකා ඡායාරූපත් බලලා, භූමිය පිලිබඳ අවබෝධයක් ලබාගතයුතු වෙන්නේ. ඉතින් අපි දැන් තනියම නෙවෙයිනේ 'කෙල්ල ඉස්සීමේ මෙහෙයුම' හෙවත් 'Operation Girl Lifting' :D කරන්න යන්නේ. ඒ නිසා ඔබත් සමග ක්‍රියාන්විතයට යන සියලුදෙනාගේ ප්‍රයෝජනය සඳහා ගනු ලබන මූලික පියවර ලෙස, සංග්‍රාමික තත්ත්ව ඇගයීමක් (මේ වැඩේ යුද්ධයක්නේ) හෙවත් Battle Appreciation එකක් සැකසිය යුතු වෙනවා. ඒ නිසා තමයි අපි මේ අගැයීම හෙවත් Appreciation එක හදන්නේ. ඒ සැළැස්ම තමයි මේ විස්තර කෙරෙන්නේ.

  ඔන්න මෙතනදී තමයි අර මම කලින් කිව්ව විදිහට කෙල්ලගේ නිවස පිහිටි ප්‍රදේශය ගැන කෙටි විස්තරයක් ඉදිරිපත් කරන්නේ. කෙල්ල (යුද්ධයේදී නම් සතුරා) කිලිනොච්චියේ හිටියත්, මැදවච්චියේ හිටියත්, අලිමංකඩ හිටියත්, පාමන්කඩ හිටියත්, භූමි විස්තරය තමයි අංක එක වෙන්නේ. මෙහිදී දීර්ඝ විස්තර අනවශ්‍යයි. කෙබඳු බාධක මැද, කෙබඳු ආකාරයක ආවරණ සතුරාටත් තමන්ටත් තිබේද? වැඩේ කිරීමට යොදාගතහැකි පාරවල් සහ ප්‍රවාහන කටයුතු කෙසේද, ඉලක්කය වෙත ළඟාවන්නේ කෙසේද, ඉලක්කය හෙවත් කෙල්ල ඉන්න ස්ථානය අවට පරිසරය සහ සතුරුකම්වල තත්වය කෙසේද, වැඩේ කිරීමට කාලගුණික/දේශගුණික බාධා ඇතිවේද, (මේ පහුගිය මහා වැසි කාලය වගේ එකක් සමහර විට කෙල්ල ඉස්සීම වැනි වැඩකදී වාසියක් වෙන්න පුළුවන්. නමුත් කිලිනොච්චි, මුලතිවු, වැනි පළාත්වල මහා වැහි කාලය කියන්නේ සංග්‍රාමික කටයුතු වලට මහත් බාධාවක්. නොදකින් ඒ කුණු වැස්ස මතක් වෙනකොටත් අප්‍රසන්නයි) 




 හරි. දැන් බලමු කෙල්ල ඉන්න ප්‍රදේශය පිලිබඳ භූමි ලක්ෂණ සාධකය Ground Factor මොන වගේද කියා. ඔන්න මම හිතන විදිහට ඔබේ කෙල්ල ඉන්නේ නුගේගොඩ, පාගොඩ, දේවාල පාරේ අංක 01010 කියන ගෙදර. (බුදු අම්මේ ඇත්තටම එහෙම එකක් තිබුනොත් මම බ්ලොග් ලියලා ඉවරයි) කොහොමද විස්තර කරන්නේ? සාමාන්‍යයෙන් සමතලා භූමි ප්‍රදේශයකි. (හැබැයි දේවාල පාර හරියේ පොඩි කඳු ගැට කීපයක් තියනවා) නාගරික, ජනාකීර්ණ ප්‍රදේශයකි. අතුරු පාරවල් බහුලය. බොහොමයක් නිවාස තාප්ප වලින් වටවී ඇත. විශාල ගස් සහ තරමක් ඝනව වැවුණු රුක්ගොමු සහිත ගෙවතු අතරින් පතර දැකිය හැකිය. (මෙතැනදී වාසි අවාසිත් ස්ථානයේ අපට තිබෙන වැදගත් තොරතුරුත් පොඩ්ඩක් විස්තර කරන්න ඕනේ) අපි හිතමු කෙල්ලගේ ගෙදර ආසන්නයේ, පොඩි හිස් ඉඩමක් තියනවා කියලා, තවම නිවසක් හදලා නැති, එමෙන්ම තරමක් උස පඳුරු වලින් යුක්ත. ඒ බිම්, කොටස අපේ වැඩේට වාසියක්. අපේ ක්‍රියාන්විතයේ භට පිරිසට, එතන මුලින්ම අත්පත් කරගන්න පුළුවන්නම්, එතන ඉඳලා ඉතුරු කොටස් කරන්න ලේසියි. ඒ නිසා භූමි ලක්ෂණ සාධකය විස්තර කිරීමේදී එවැනි විශේෂ ස්ථාන ගැන කියන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, අවට පිහිටි නගර සහ ගම් ගැනත් සඳහනක් කරන්න ඕනේ. ඒ කියන්නේ නුගේගොඩ, පිටකෝට්ටේ හන්දිය, ජුබිලි කනුව හන්දිය, යන ප්‍රදේශවත් යටත්පිරිසෙයින් විස්තර කරන්න ඕනේ.


  අමාරුද? තේරෙන්නේ නැද්ද කියන දේවල්? 'මේකා මොන මගුලක් කියනවාද මම දන්නේ නෑ' කියලද හිතෙන්නේ? හරි, අදට මෙතනින් නවත්තමු. මේක පුලුවන්නම් කීපවිටක් කියවන්න ටිකක් ඔලුවට වදිනතුරු. ප්‍රශ්නත් අහන්ඩකො තියනවනම්. හැබැයි අහන්ඩ නම් එපා, අපේ රටේ අහවල් ක්‍රියාන්විතය කළේ මෙහෙමද? වගේ දේවල්. උත්තර දෙන්ඩ පුළුවන් ඒවාට දෙන්නම්. තවත් සාධක ගැන ඊළඟ ලිපියෙන් සළකා බලමු.



my-signature-for-blog[1]   2014 ඔක්තෝබර් මස 08 වැනි දින 0051 පැය 

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }